චූටි මැණිකෙට ආදරෙන්……
ජනවාරි 24, 2011 ප්‍රතිචාර 53
තාත්තා උනත් මා බත සරි කරන….
අම්මා නුඹයි මගෙ දරු දරියන් රකින….
අමරදේව මාස්ටර්ගෙ මේ සින්දුව ඇහෙන ඇහෙන වාරයක් පාසා මට මතක් වෙන්නෙ අපේ අම්මයි තාත්තයි. අපිට නොපෙන්නුවට අනන්තවත් දහ දුක් විඳින්න ඇති අපිව හදන්න. ආණ්ඩුවෙ කන්තෝරුවල ලිපිකාරයො වෙච්ච ඒ දෙන්නට හතරමහා නිධානය පහලවෙලා නොතිබුනාට මට අපි දුක් වින්ද කියල මතකයක් නෑ. මං හිතන්නෙ හැම දුකක්ම ඒ දෙන්න විඳ දරාගෙන අපිට හිනාවෙන්න ඉඩක් හදල දෙන්න ඇති.
දැනට අවුරුද්දක විතර ඉඳල ඒ හැඟීමට තවත් අමුත්තියක් එකතුවෙලා. ඒ වෙන කවුරුවත් නෙමෙයි.
මෙච්චර කල් තනියම නිදාගත්තු ඇඳ බෙදාගන්න, තනියම අඬපු මාත් එක්ක හවුලේ අඬන්න, හවුලේ හිනාවෙන්න, මගෙ ගොං කමකට රවන්න, මට නීති දාන්න, රණ්ඩු වෙන්න, කොටින්ම මගෙ ජීවිතේ බෙදාගන්න ආපු චූටි මැණිකෙ.
මං මේ බ්ලොග් එක ලියන්න පටන්ගත්තෙ උඹ ගැන ලියනව කියල හිතාගෙන. ඒත් ඊට කලිං වෙන අනං මනං නොදැනීම කුරුටු ගෑවුණාට උඹේ හිතේ අමනාපයක් නැතුව ඇති. එහෙම උනේ මට උඹ ගැන ලියන්න කොහොම පටන්ගන්නද කියල හිතාගන්න බැරුව උන්න හන්ද. එහෙමයි කිව්වට මම දන්නෙ නෑ අදත් මට උඹ ගැන හිතේ තියන හැඟීම් සේරම ඒ විදියටම ලියල තියන්න පුළුවන් වේවිද කියල. මගෙ වචන එච්චරටම පොහොසත් නෑ. ඒක හන්ද මේ ලියවෙන්නෙ මගේ හිතේ උඹ ගැන තියෙන ආදරෙන් අංශු මාත්‍රයක් විතරමයි.
මට තවම මතකයි අපේ අම්ම ලංකාදීප ලහිපිටේ උඹව හොයන්න වෙච්ච මහන්සියක්. හැම සති අන්තයකම අම්ම කොටු ඇඳල, බෝල ඇඳල තියෙන ගෑණු ළමයි අස්සෙ උඹ ඉන්නවද කියල මං අම්මට හොරෙන් බලනව. ඒ වෙනකොට මං හතර සැරයක්ම අසාර්ථක වෙච්ච, හතර සැරයක්ම පපුව පුච්චගත්තු ආදරවන්තයෙක් හන්ද උඹ ගැන උනත් මහා බලාපොරොත්තුවක් තිබුනෙ නෑ.
අනික මගෙ කිසිම විශ්වාසයක් තිබුනෙ නෑ ප්‍රපෝස්ඩ් මැරේජ් ගැන. ආදරේ කරලත් තේරුම් ගන්න බැරි වුනාම ම්ට එහෙම හිතුන එක වැරදි නෑ. අනික උඹ කොයි වගේද කියල දන්නෙත් නෑ නෙ. මහත, මිටි, කලු, කකුල් පැලිච්ච, වපර ගෑණු ළමයි මගෙ හිතේ කැරකෙන්න පටන් ගෙන හිටියෙ ඒ වෙනකොටත්. ඒත් එල්.ආර්.එච් ක්වාටර්ස් වලදි උඹව දැක්කට පස්සෙ ඒ හිත වෙනස් උනා. මං දැකල තියෙන ලස්සනම ගෑණු ළමය නොවුනට උඹ හරි ලස්සනයි. මූන බැලුවෙ නෑ ඔළුව උස්සල අතේ බැඳල තිබුන ඕරලෝසුවත් එක්ක සෙල්ලං කර කර අහපු දේවල් වලට උත්තර දුන්න මිසක්.
එතනින් පස්සෙ වෙච්ච දේවල් උඹයි මමයි දන්න හන්ද ආපහු මෙතන ලියන්න යන්නෙ නෑ. ඒත් මගෙ හිතේ තියෙන දේවල්………
පෝරුවෙන් බහිද්දි උඹෙ හීතල වෙලා තිබුන චූටි අතින් අල්ලගත්තෙ දෙයියනේ දැන් මේ මගේ ගෑණි නේද කියල හිත පුරවන්. එදා ඉඳං අද වෙනකන් උඹෙ හිතෙන් වාන් දමන ආදරෙන් මං හැමදාම පෙඟිල තෙතබරියං වෙලා. වෙලාවකට උඹේ ඒ ආදර්ට අලගු තියන්නවත් මගෙ ආදරේ මදිද මන්ද. එහෙමයි කියල උඹ කවදාවත් කණු කුණු නොගෑවට හැමදාම මහෙ හිතේ මහා බරක් තියෙනව මං ඇතිවෙන්න ආදරේ දෙන්නෙ නෑ කියල. උඹට වැරදිලාවත් එහෙම හිතෙනවනම් මට සමාවෙයං. මෙගෙ පපු සොරොව්ව පුංචි වැඩි ඇති හිරවෙලා තියෙන ආදරේ එකපාරටම එලියට නො එන්නෙ. ඒත් මැරෙනකන් ගලන්න තරම් ආදරයක් මේ පපුව ඇතුලෙ හිරවෙලා තියෙනව.
මට මතකයි ඉස්සර දවසක ඔෆිස් එකේ බැඳපු එකෙක්ගෙන් විහිලුවකට වගේ ඇහුවම “උඹට ආපහු බඳින්න චාන්ස් එකක් දුන්නොත් බඳිනවද” කියල. ඌ මට මොකක්ද හිනා යන කතාවක් කිව්වට මං දැං දන්නව ආපහු උඹවම බඳින්න මගෙ හිත කොච්චර ලේස්තිද කියල. එච්චරටම උඹ මගේ වෙලා.
ඉස්සර මං වැඩ ඇරිල ගෙදර එන්නෙ උඹෙ ඔය උණහුම් උකුලෙ ඔළුව තියං ඉන්න බලාගෙන. පණ හිහිල්ල ගෙදර එන මට ඒක මහා සැනසීමක්. උඹේ හීනි ඇඟිල තුඩු කෙස් අතරින් දුවනකොට කියාගන්න බැරි සනීපයක් දැනෙනව. එහෙම ඉඳල ඩිංග වෙලාවකින් හෙල්මට් එකේ රස්නෙට දාඩිය දාල ගඳ ගහන ඔළුව ආදරෙන් ඉඹිනකොට මට උඹ ගැන හිතෙන ආදරේ කියාගන්න තේරෙන්නෙ නෑ බං චූටි මැණිකෙ. ඊට පස්සෙ තව තවත් තුරුළු වෙන්නමයි හිත. “යනව යනව ගිහිල්ල ඇඟ සෝදගන්නව හොරා”… කියල හිනාවෙලා තල්ලු කරල මාව එලවගන්නෙ නැත්නං එහමම නිදාගන්නමයි හිත බඩගින්නෙම.
ඒත් දැං මං ගෙදර එනකොට ඒ උකුළෙ ගොඩක් වෙලාවට අපි දෙන්නගෙ පුතු පැටිය හරි සනීපෙට දොයියනව. ඒ වෙලාවටනං ඉතිං ඩිංගක් විතර දුක හිතෙනව ඉස්සර උඹේ උකුලෙ උණුහුම මතක් වෙලා. ඒත් අර බෙල්ල ඇල කරල ඇස් පුංචි වෙන පරණ පුරුදු හිනාවට ඔක්කොම මහන්සිය කොහේ යනවද මන්ද. මොන මගුල කරත් උඹත් එක්ක තරහ වෙන්න බැරිත් ඔන්න ඔය හිනාවටම තමයි. උඹ මොන ගොන් වැඩේ කලත් ඒ හිනාව දැක්කම මට ආපු කේන්තිය එතනින්ම ඉවරයි.
මං දැකල නෑ උඹ මේ අවුරුදු එක හමාරටම බුම්මගෙන නහයෙන් අඬ අඬා ඉඳපු දවසක්. හැම තිස්සෙම ඉන්නෙ මේ දැං අවුරුදු ලැබුව වගේ. එහෙම වෙන්නෙ කිසිම කහටක් නොරැඳෙන උඹේ අහිංසක හිත හන්ද වෙන්න ඇති. පුංචි දරුවෙක් සන්තෝස කරනව වගේ උඹව සන්තෝස කරන්න හරිම ලේසියි. රටකජු ගොට්ටකට, තෙල් දාපු කඩල මුලකට, එහමත් නැත්නං රුපියල් දෙකේ වඩේ අහුරකට උඹෙ හිත පිරෙනව. ඒ තරමට උඹේ බලාපොරොත්තු සරළයි, අහිංසකයි.
අතට කීයක් හරි හම්බුවෙලා “යං අපි ඇඳුමක් ගන්න” කිව්වම “ඔව් අපි ඔයාට ඔෆිස් ඇඳන් යන්න ලස්සන ෂර්ට් එකක් ගනිමු” කියල උඩ පැනගෙන ලැස්තිවෙනව. ඊලඟට මං කඩේ ඇතුලෙදි “මට නෙමෙයි ඕයි තමුසෙ මොනව හරි ගන්නව” කියල කොච්චර උඹත් එක්ක ඔට්‍ටු වෙනවද. අන්තිමේදි කියන දේ නාහන උඹට හොඳවැයින් පොල් ටොක්කක් ඇනල බලෙන් අරන් නොදුන්නොත් එහෙම උඹ හැම තිස්සෙම හදන්නෙ මට මොනවහරි අරන් දීල උඹ හිස් අතින් ගෙදර එන්න. මං උඹ වගේ පරිත්‍යාගශීලී ගෑණියෙන් තවම දැකල නෑ චූටි මැණිකෙ මගෙ අම්ම ඇරුනම.
උඹ මට මගෙ ජීවිතේ මුනගැහිච්ච හොඳම යාළුව. මට හිතෙන ඕනම විකාර අදහසක් උඹට දෙපාරක් නොහිතා කියන්න පුළුවන්. උඹ නොවෙන්න වෙන ගෑණියෙක්නං මං ලක්මි ගැනයි අනූ ගැනයි කියවනකොට මට පිස්සු කියල දමල ගහල ගිහිල්ල මෙලහකටත්. මොනව කිව්වත් ඉරිසියාවෙන් පැලෙන්නෙ නැතුව හිනාවෙලා “තමුසෙට පිස්සු ඕයි” කියල හිනාවෙලා ඉන්න හැම ගෑණියෙක්ටම බෑ බං උඹ වගේ. අනික හිත පිරුවටයක් වගේ නැත්නං කවදාවත් ගෑණියෙක්ට කියන්න බෑ තමන්ගෙ මිනිහගෙ කලින් ආදරය බලල එන්න වෙලාවක යං කියල. උඹ එහෙම කිව්වම මං පුදුම වෙලා ගියා මේ ගෑණිගෙ හදවත මෙච්චරටම ලොකුයිද කියල.
ඉතිං මට කියාපන් අම්ම තාත්ත වගේ මට ආදරේ කරන උඹ හන්ද මේ ජීවිතේ ලස්සන නැද්ද, සරළ නැද්ද කියල.
මට උඹ ගැන ආඩම්බර නැද්ද කියල.
ප/ලි: මේ ලියපු දේවල් කියවනකොට බොළඳ කතා කියලත් හිතෙනව. ඒත් මහප්‍රාණ විදියට ආදරේ කරන්න නොදන්න මං උඹ ගැන වෙන මොනව ලියන්නද මගෙ චූටි මැණිකෙ?


කතාව කියවගෙන යද්දී හිතට ලොකු සතුටක් දැනුනා. මේ වගේ ආදරයක් ලබන්න නවම් පින් කරලා තියෙනවා. ජීවිතේ සරලව හිතන කෙනෙක් එක්ක ජීවත් වෙන්න හරිම ලේසියි.
මොකද එයාලට මහ මෙරක් තරම් බලාපොරොත්තු නෑ. එයාලගේ හිත් වලට ආදරේ පිරෙන්නම තිබ්බනම් කල්පයක් උනත් දීග කන්න පුලුවන්. එහෙම හිතක් ලැබෙන්නේ කලාතුරකින්.
ඔය දෙන්නගෙයි දරු පැටියගෙයි අනාගතයට මම එක සිතින්ම සුබ පතනවා.
(ඔන්න මමයි මේ ලිපිය ඉස්ස ඉස්සෙලාම රස විඳින්නේ )
ස්තූතියි මධුරංග.
නියමයි අයියෙ….!ඔයා හරි වාසනා වන්තයි ඔය වගේ අක්කි කෙනෙක් ලබෙන්න ඔන්න ඔයාල3ටම බුදුසරනයි….
අකුරක්වත් අඩුවක් නැතුව උඹ මගේ කථාව ලියලා තියෙනවා මචං……
ඔයාල දෙන්නගෙ ජීවිතේ ඉස්සරහටත් ඔහොම ලස්සනට ගෙවන්න පුලුවන් වෙන්න කියල ප්‍රාර්තනා කරනවා.හෑමෝටම මෙහෙම් ඉන්න පුලුවන් නම්…
හිතුවොත් හැමෝටම බැරි වෙන එකක් නෑ නේද?
ඇත්තටම සන්තෝසයි මචං..වාසනාවන්…
බොහෝම ස්තූතියි චාමර
උඹ හරි වාසනාවන්තයි අයියේ.
යශෝධරාවකට ආදරේ කරලා කෙලවෙලා ඉන්න මාත්, දැන්තියාම අපේ අම්මට ගෙනිහින් දෙන්න ඕනෙ ලංකාදීපේ. එතකොට වෙන දෙයක් වෙන්නේ නැතෑ.
චූටි මැණිකේ අක්කටයි, උඹටයි, පුංචි කොලු පැටියටයි සුභ අනාගතයක්…!
ලංකාදීපෙ තමයි බෙහෙත
මේක තමයි මචං දවසේ කියමන !!! තාමත් හිනා……….
මම කියන්න ඕන එක ගොල්ඩ්ෆිශ් කලින් කියලානේ
ඔය ගොල්ලෝ තුන් දෙනාටම සොභයවත් සුන්දර අනාගතයක් පතනවා
බොහෝම ස්තූතියි ක්ෂිතිජ
උඹ නම් සැබෑ වාසනාවන්තයෙක් බන්.. තුන්දෙනාටම වාසනාවන්ත අනාගතයකට සුභ පැතුම්!!
ස්තූතියි නවීන්
හරිම ලස්සනයි බන්.
ඇහැට කඳුලක් උනන තරම් ලස්සනයි, හැඟීම්බරයි.
ස්තූතියි දුකා. අද ගෙදර ගිහිල්ල මේ කමෙන්ට්ස් පෙන්නනකොට ……….
කියන්න වදන් නෑ….
ඔන්න ඔහොම ඉන්න… එතකොට හැමදාම වැලන්ටයින් තමයි…..
බොහොම ස්තූතියි ඇල්කෙමියො.
නියමයි නවම්, උඹල තුන් දෙනාට තිසරණ සරණයි…!
ස්තූතියි දුමී !
උඹ හරි වාසනාවන්තයි අයියේ.ඒ වගේම උබලා තුන් දේනාටම සුබ පතනවා…හැමදාමත් මම නවම් මාවතේ ඇවිදින්න එනවා….දිගටම ලියන්න….
බොහොම ස්තූතියි මල්ලී.
ඇත්තටම හරිම සතුටක් දැනුනා,සටහන දිගටම ලියැවිලා තියෙනවනම් නවතින්නේ නැතුවම හරිම කැමතියි කියලා තමයි හිතුනේ. … ජීවිතේ මොන ප්‍රශ්න ආවත් හිනාවෙලා හැමදෙයක්ම විසඳාගන්න. හැමදාමත් ඔය තුන්දෙනාට සතුටින් ඉන්න ලැබෙන්න කියලා තමයි ප්‍රාර්ථනාව….
ස්තූතියි ලහිරු
ඇත්තටම නවම් අයියේ මම කසාද බඳින්න බයෙන් හිටපු එකෙක් ..ඒත් දැන්නම් මට හිතෙනවා පවුල් ජීවිතේ කියන්නේ ඒතරම් අවුල් ජාලයක් නෙවේ කියලා .. සමහරවිට ඔය තරම් ලස්සන කූඩුවක් අයියට හම්බ වෙලා තියෙන්නේ අයියා ගිය ආත්මේ කරපු පිනකට වෙන්ඩ ඇති …අපිට එහෙම නොවෙන්නත් පුලුවන්
පුදුමයි බං …මේතරම් ලස්සන ආදරයක් ? මටත් දැන්මම කසාද බඳින්න හිතෙනවා (ඒත් මගේ එක්කෙනා තවම 10නේ)..
නවම් අයියේ මේ ලෝකේ හැම මිනිහටම උඹට වගේ මැනිකක් හම්බවෙන්නේ නෑ …ඒක නිසා අයියගේ මැනික ඇස්දෙක වගේ පරිස්සම් කරගන්න … ජය වේවා !!! මචං
නවම් අයියේ කැදල්ලට ………………….
තිස්තුංකෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි ආරක්‍ෂාවයි ..!
බය නැතුව බැඳහං මලේ හරි වයසට ආවම බොලා දෙන්නට දෙන්න ස්ෂුවර් නම්. ඉවසපන් හැම තිස්සෙම, කව දාවත් අනිකා අයිතිකරගන්න යන්න එපා. නිදහස දියන් ඇතිතරං. හිරකරන් ඉන්නකොට තමයි බං සත්තු උනත් පැනල යන්න හදන්නෙ. පොලොවෙ පය ගහල ඉඳපන්, එතකොට හැමදාම මඟුල් තමයි.
හරිම අව්‍යාජ, සිත්ගන්නා සුළු පෝස්ට් එකක්.
ආදරය සිඳී බිඳී ගිහින් සිත ඉරි තැලී ගිය අයගෙ හදවත්වලට මේක දිව්‍ය ඖෂධයක් වගේ බව කියන්නම ඕනි. මේවගේ හිත නිවී සැනසෙන දෙවල් ලියන ඔබටත්, ඔබේ ආදරණීය චූටි මැණිකෙටත්, පොඩි එකාටත් තෙරුවන් සරණයි…!
ගොඩක් ස්තූතියි උදය ඇවිල්ල සටහනක් තියල ගියාට
කියන්න වචන නැහැ මචං..උපරිමටම ලියල තියෙනවා… තුන්දෙනාටම ඇස්වහක් කටවහක් නොවැදී සැමදා සතුටින් දිවි ගෙවන්න ජයෙන් ජයම පතනවා… මේක මගේම කතාවක් වගේ සමීප නිසා තවත් දැනුනා… මට හැබැයි ඔබ්සවර් එක තමයි බෙහෙත වුනේ….
.. මම විශ්වාස කරන එකක් තමයි අපි කාටවත් වැරැද්දක් නොකරන තාක් අපේ ජීවිත කිසි දවසක වරදින්නේ නැහැ…
මෙක උඹේ කතාව වගේ කියල ලියල තියෙනකොට හරිම සතුටක් දැනුන. තවත් ලස්සන පවුලක් !. උඹලටත් ඇස්වහක් කටවහක් නැතුව හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලයි නවම් ගෙත් පැතුම
හිතට දැනුන ලිපියක්. වාසනාවන්ත ජීවිතයකට මගේ සුබ පැතුම්…
ස්තූතියි රොබිනා
ජීවිතේ ඔහොම තමයි..ඉරණම්කාරයා අපි හිතන කෙනා නෙමෙයි…
ලහි පිටු අස්සෙ මගේ ඉරණම් කාරය සොයන එකත් මේ විදිහටම සිද්ද වෙනවා…ඒත් ඒ ගැන මගේ හිතේ තිබුනේ සෘණාත්මක සිතුවිල්ලක්…. ඒත් බලමු ?
බොළඳ නැහැ… මේක තමයි ආදරේ… ආදරේ බොළඳයි තමයි…. මහප්‍රාණ විදිහට ආදරේ කරන අය ඉන්නව නම් එයාල ආදරේ විදින්නෙ නැතිව ඇති….
ස්තූතියි සොඳුරු සිත, දැං තමයි ඔන්න මගේ හිතට ෆිට් එකක් ආවෙ.
වාසනාව පිරුණු යුග දිවියක් ගෙවනා ඔබ දෙදෙනාට හෘදයංගම සුබ පැතුම්!!
අඩේ උඹේ මේ පෝස්ට් එකෙන් මට මාර හිතට ෆිට් එකක් ආව. මමත් උඹ වගේ ලව් කරන ගිහින් නාගෙන ඉන්න කෙනෙක්. ගොඩක් වෙලාවට බැන්දොත් ප්‍රොපොසල් තමා. මේක දැක්කම නම් ටිකක් බය අඩු උනා
ඇති යාන්තං ඔන්න තවත් එකෙක්ගෙ බය ඇරුනා……
හරිම ලස්සනයි, නවම්, කියන්ඩ වචන එන්නෙත් නැහැ අම්මපා, මටත් ඔය කතාව ඔහොම්මම කියන්ඩ පුලුවන් නිසා හිත පතුලටම දැනුනා,
එහෙනම් මට හිතාගන්න පුළුවන් කොච්චර උණුහුම් කූඩුවක්ද කියල
මාරම කතාව යාළුව.ඇත්තටම එහෙවු ආදරයක අයිතිකාරවෙක් ගොඩක් පිං කරල ඇති කියලත් හිතෙනව. මරු…
මේකටත් පොඩ්ඩක් ඔළුව දාල බලන්න.
http://mathakathotupala.blogspot.com
මේකටත් පොඩ්ඩක් ඔළුව දාල බලන්න.
http://mathakathotupala.blogspot.com
ආදරේ බොළඳ උනේ නැත්නම් ඒ ආදරෙන් වැඩක් නැහැ. ඔයා ලස්සනට ලියලා තියෙනවා. අත්දැකීම් නිසාද කොහෙද හිතට තදින්ම වැදුනා. ඉදිරියටත්, ජීවිතකාලෙටම ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ස්තූතියි කො.ජී. මමත් ආසාවෙන් කියවන්නෙ පාසල් අමාරුවෙ දාපු හැටි
ලස්සන සටහනක්!
ස්තූතියි ගින්දර !
aiya hamotama open wela thamange hitha thiyana dewal kinna baha.. ubanam sira porak
jeewitha api hithanawata wada lassanai… eth samahara wita api e lassana widinna danna naha…
samahara wita samajaya apita e lassanawidinna dennath naha… eth blog liyana sira set eka dakkama mata hithuna, mama wagema hithana thawa set ekak innawane kiyala…. ela okkotama suba…
බලාපොරොත්තු සැහැල්ලු වෙනතරමට ජීවිතේ ලස්සනයි මලේ.
මම සිරා පොරක් නෙමේ හසන්. මම වගේම, සමහර වෙලාවට මටත් වැඩිය ලස්සනට ආදරේ කරන හිත් මේ බ්ලොග් අවකාශයේ තියෙනව.
හිතට මාර විදිහට දැනුන කතාවක්, හැමෝම බලාපොරොත්තු වෙන්නෙ මේ වගේ ආදරයක්නෙ.. මගේ ජීවිතේටත් ටිකක් සමීපයි වගේ, හැබැයි මම නම් තාම පවුල් පන්සල් වෙලා නෑ..
ස්තූතියි. බය වෙන්න එපා. ආදරෙන් ඉන්නකොට ජීවිතේම ලස්සනයි මොන බාධක තිබුනත්
අයියන්ඩි හරි වාසනාවන්තයි.