නවම් මාවත දරුණු හැකර් ප්‍රහාරයකට ලක්විය !

බැරිම තැන මම මේක හැක් කලා. හැමදාම බ්ලේඩ්, සිරින්ජර්, ෆෝසෙප්, කිඩ්නි ට්‍රේස්, ඇනස්තීශියා ඇප්‍රේටස්, ඉන්ක්‍යුබේටර්ස් එක්ක හරඹ කරන මට බ්ලොග් එකක් හැක් කිරීම කජ්ජක් නෙමෙයි කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. කොහොම උනත් තුන් හිතකවත් නොතිබුන දෙයක් තමයි මේ උනේ. ඒත් ඉතිං මටෙයි කියල හැමදාම ඉවසන්න පුළුවනෑ. බැරිම තැන තමයි හිතට එකඟව නොවුනත් මේ වැඩේ කලේ. කොහොම උනත් මම මේකෙ වගකීම නම් ගන්න කිසිම සූදානමක් නෑ. සම්පූර්ණ වැ‍රැද්ද නවම්ගේ. මගෙ මිනිහ උනත් සුද්දකරන්න ඕනෙ නෑනෙ.

මේක පටං අරන් දැනට මාස හතරක් පහක් විතර ඇති, පෝස්ට් පනහත් පන්නල, හිට්ස් විසිදාත් පැනල, මහ ලොකු බ්ලොග් යාළුවො කට්ටියකුත් ඉන්නවලු. ඒත් ඉතිං මට ඒ කිසිම දෙයකින් සතපහක වැඩක් නෑ. කොච්චර ඉල්ලුවත් මට ආසාවට එක පෝස්ට් එකක් ලියන්න දෙන්නෙ නෑ මේ මිනිහ. ඉල්ලුවොත් කියන්නෙ “අනේ මේ ඔයා ලියන පෝස්ට්” කියල. ඒ කතාව වැරදිමත් නෑ. මම එච්චර ඔය ඔන්ලයින් වැඩ දන්නෙ නෑ නෙ. ඒත් ඉතිං අනේ අපිටෙයි කියල කියල දුන්නොත් තේරුං ගන්න බැරිය මොකෝ.

ඒකත් ඉතිං මේ මිනිහට වෙලාවක් තියෙන්න එපැයි. උදේ පස්සට ඉරපායනකං බුදියගෙන ඇඳ ගාවටම එන තේ එක එක හුස්මට බීල දඩි බිඩි ගාල කලිසමට බැහැල වැඩට දුවල ආයෙ ඉතිං රෑට කන වෙලාවටනෙව ගෙදර එන්නෙ. උදේට මූණ හෝදන්නෙත් නැද්ද කොහෙද. ඊයා….

වැඩිය එපා, පහුගිය දොහේ තිබුන අර අවුරුදු උත්සවේට මාවයි පොඩි එකායි එක්කං ගියාන මක්ක වෙනවයි. [හිතේ කේන්තියට එහෙම කිව්වට මට එදා උදේ පන්තියක් තිබුන නෙව. මට හෙන තර්ජනේ පන්ති නොයා යං උත්සවේට කියල] ආයෙ මං බෑ කිව්ව. ඕවයෙ බඩගාන්නයි පොඩි එකා හදාගන්නයි, පන්ති යන්නයි, රස්සාවට යන්නෙයි…. එක වැඩක් කියලයි මට..

කොහොම උනත් මේ කෙහෙල්මල් බ්ලොග් එක හන්ද මට සෑහෙන්න පාඩුයි. ඉස්සර හරක වගේ ගෙදර වැඩ කරපු මිනිහා දැං ඇඳට වෙලා ලැප්ටොප් එකත් උකුලෙ තියාගන කොට කොට ඉන්නව විතරයි. මෙලෝ වැඩක් කරන්නෙ නෑ. වෙලාවකට රෑට කන්න සිහියත් නෑ. පහුගිය දවසක පොඩි එකා ඇඳේ තියල ඩිංගකට බලාගන්න කියල ගියා මීයෙක්ද කොහේද කුස්සියෙ බඩු පෙරලනව ඇහිල. ඇවිල්ල බලද්දි පොඩි එකා රෝල් වෙලා ඇවිල්ල ඇඳවිට්ටම බදාහෙන ඉන්නව. තව ඩිංගෙන් බිම. මේ මිනිහ ඒ මුකුත් දන්නෙ නෑ, ලැප්ටොප් එක බදාගෙන. ආයිත් නෑ මං එදානං කිව්ව උන්දැට කන්දෙකේ ඇඟිලි ගහගන්න. ඔන්න ඊටපස්සෙ ඇස්දෙකේ කඳුළු පුරෝගෙන මං දිහා බලං ඉන්න පටන්ගත්ත. එදා ඉතිං මට ළමයි දෙන්නෙක්ම නළවන්න උනානෙව. ආයිත් නං මොකක් කළත් බනින්නෙ නෑ කියල හිතාගත්ත. හරිම අමාරුයි මේ මිනිහ නළවගන්න අඬන්න ගත්තම.

එදායින් පස්සෙනං ගෙදර ආවම ලැප්ටොප් එක බදාගන්න එක ඩිංගක් විතර අඩු උනා. එහෙමයි කියල ආයෙ මට උදව්වක් නෑ. ඒ වෙලාවත් මේ මනුස්සය ගන්නෙ මගෙ උකුළෙ ඔළුව තියාගෙන ඉන්න. මාත් ඉතිං හොරි කසපිය ගිණි පිඹපිය වගේ තමා. අනේ මන්ද ගෑණු අපිට නිවනක් නෑ නෙ මේවගේ මිනිස්සු බැඳගත්තම. ආදරේ කියල මෙහෙමත් කොරන්න පුළුවනෑ. මං හිතන්නෙ ගෙදරදි වැඩිය ඔය බ්ලොග් කෙරුවාව නොකලට ඔ‍ෆිස් එකේදි ඒකටත් එක්ක ලියනවද කොහේද. නැත්නං සතියට පෝස්ට් දෙකක් තුනක් කොහොම ලියන්නද. රස්සාවටත් කෙළවෙන පොටක්ද දන්නෙ නෑ ඒ සැරේ. ආයෙ නෑ එහෙමනං පොඩි එකාවත් අරං යනව අම්මලාගෙ ගෙදර ඕන කුදයක් ගහගන්න කියල. එතකොටවත් තේරෙන්නෙ නැතෑ ඔය බ්ලොග් කෙරුවාව මාසෙ අන්තිමට කන්න බොන්න දෙන්නෙ නැතෙයි කියල.

හිතේ ආවේගෙට මේක හැක් කලාට ලියන්න දෙයක් හිතාගන්න බෑ. ඒක හන්ද මං නවම් ආපහු එන්න කලින් ලැප්ටොප් එක තිබුන දැනම තියල කුස්සියට යන්න ඕන තේ එකක් හදල දෙන්න. බෝතලේ වතුර දැං නිකන්ම නිවෙන නිසා කේතලේ ලිපේ තියන්න වෙනව. නැත්නං ආයෙ නිවිච්ච වතුරෙන් තේ හැදුව කියල වෙනම අඩව්වක් අල්ලයි ඔය මිනිහ. ඕව් ඕව්.. හීන්දෑරි කමට උන්නට හරි නීතිකාරය. ඩිංග එහා මෙහා වෙන්න බෑ.

ආ… කියන්න හිතාගෙනම ආපු එක තව පොඩ්ඩෙන් අමතක වෙනව.

මේ මං කලා වගේ අනිත් බ්ලොග් ලියන අයගෙත් බිරින්දෑවරු, වෙන්ඩ බිරින්දෑවරු ආතතියෙන් නම් ඉන්නෙ මං වගේ තම තමන්ගෙ මිනිස්සු ලියන බ්ලොග් එක හැක් කරල ඔන්නෙ ඔහේ හිතේ තියන ආවේගෙ පෝස්ට් එකකට දාල පබ්ලිෂ් කරල දාන්න. මම මේ අත්දැකීමෙන් කියන්නෙ. ආයෙ නෑ ඊට පස්සෙ හිතට පුදුම සැනසිල්ලක් දැනෙන්නෙ.

එතකොට රට්‍ටු දැනගන්නෙ නැතෑ මේකල කරන වැඩ ගෙවල් වලදි. ආයෙ බ්ලොග් ලියන්න ගියාම එයාලට වැඩිය හොඳ මිනිස්සු ලෝකෙම නෑ වගේ තමයි කතාව. ගෙවල් වල ඉන්න ගෑණු අපිනෙ දන්නෙ එයාලෙගෙ වැඩ. තව ඉතිං කියන්න  තියෙන දේවල් නං අනන්තයි. ආයෙ ඉතිං ඒව කිව්වොත් බල්ලො බහ් කන්නෙ නෑ. අනික පවුල පරිස්සංකරගන්නත් එපැයි.

වැඩේ ගැස්සිලා ගියොත් අර ටැබූගෙ, මොහොමඩ්ගෙ, පිස්සාගෙ බ්ලොග් හැක් කරපු මහා හැකර් රාජයා බෙල්ල මුලින්ම අල්ලල දීල ජාම බේරගන්න පුළුවන්. ඕනනං වෙනදට වැඩිය කටට රහට විශේෂ කෑමක් හදල දීල වෙනදට වැඩිය පොඩ්ඩක් ආදරේ පෙන්නන්න, විනාඩියෙන් ඔය මිනිස්සුන්ට ඕව අමතකයි. ආයෙ ඉතිං ඔය පිරිමි ජාතියම ‍රැවටෙන්න බලාගෙන ඉන්න සත්තු ජාතියක් කියල නවම් හැමතිස්සෙම කියන්නෙ කට කහනවට වෙන්න බෑනෙ !

මීට,
චූටි මැණිකේ…

85 Responses to නවම් මාවත දරුණු හැකර් ප්‍රහාරයකට ලක්විය !

  1. Alchemiya පවසන්නේ:

    එහෙනං එහෙනං………………
    චූටි මැණිකෙ කිරි ගහට ටොමහෝක් මිසයිලෙයක් ගැහැවා වගේ කියලා තියෙන්නේ…
    ඕක ඔය කොයි මිනිහටත් පොදුයි… මේ අපේ මිනිහත් ඔහොමමයි… ගෙදර එන්න රෑ වෙනවා කිය කිය අන්න රසායනාගාරෙට වෙලා අර දිනපොතක් ලියනවා හැමදාම… රෑට ඇඳට ගෙන්න ගන්නත් හරි අමාරුයි.. දන්නවනේ ඉතිං අපි කරන්න ඕන එකම දේ ඒ ගොල්ලො ඇඳට ගෙන්න ගන්න…… එතකොට නං එනවා උඩ දාගෙන…….

    අපේ එක්කෙනත් කොටන්න ගත්තාම මේ ලෝකෙ සිහියක් නෑ… ( මේ මම කිවුවේ කොම්පියුටරේට කොටන එක ගැන…. වෙන එකක් එහෙම නොවෙයි… ඈ….) දවසක් පොඩි එකා වැටිලා කෑ ගහනවා… මේ මිනිහ නෙවෙයි ඇහැක් ඇරලා බැලුවේ….

    ඕව ගණන් ගන්න එපා චූටි මැණිකෙ…. ඔයා විතරක් නොවෙයි.. අපි හැමෝගෙම කතාව එකයි… මේ මිනිස්සු රට හදන්න යනවා තමන්ගේ ගෙදර දහසක් අඩුපාඩු තියාගෙන….

    අනේ ඉතිං කාට කියන්නද මේ අවනඩු….

    මීට,

    ඇල්කෙමිච්චි…
    (ලොක්කා නාන්න ගියා… එන්න ඉස්සර මේ ලිවුවේ…)

    • නවම් පවසන්නේ:

      අනේ ඇල්කෙමිච්චි අක්කට කියන්න, මයෙ මිනිහ නම් ඇඳට ගෙන්නගන්න ආයෙ වදවෙන්න ඕනෙ නෑ. ඒක තියෙයිනං ඉතිං නොකෑවත් ගානක් නෑ මේ මිනිහට. මගෙ මිනිහ එකයිනෙව ලියන්නෙ. දෙකක් ලියන ඇල්කෙමිය හන්ද අක්ක කොච්චර ආතතියකින්ද ඉන්නෙ කියල මට හිතාගන්න ඇහැකි. ඔය කොයි මිනිහත් ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ තමා නේද.. ?

      • Alchemiya පවසන්නේ:

        අනේ නංගි කියලා වැඩක් නෑ…. දැන් දෙකක් නෙවෙයි ඔන්න තව අටමගලයකට ලියනවා විද්‍යාව ඩොට් කොම් ද මොකද්ද කියලා… දැයේ දරැවන්ගේ ඇස් පාදන්න කියලා.. හරියට මෙයා අධ්‍යාපන ඇමති වගේ…. මේ දවස්වල නං මං කෑගහලම උදේ පාන්දර නැගිටගෙන කොටන්නේ නෑ..ඉස්සර නං උදේ පාන්දර හටය නැගිටලා පාඩමක් කොටලා තමයි වැඩට යන්නේ….. එහෙම කෙටුවා නම් තුනටම ලියනවා….
        ඒ මදිවට මේවා ලියන්න කරුණු හොයාගන්නත් එපායෑ… රෑ තිස්සේ කොම්පියුටර් දෙකම දාගෙන වැඩ… කන්න බොන්න සිහියක්වත් නෑ… ඊයෙත් ඔන්න නැනෝටෙක්නොලොජි එකක් අල්ලගෙන කියව කියව හිටියා.. ඒ විතරක් නං මදැ.. ඕවා මටත් කියලා දෙන්න එනවනේ…….
        හොඳ දේකට තියෙන්නේ TV එකේ ඔක්කොම ඕපාදූප චැනල් ටික දෙය්යනේ කියලා කණක් ඇහිලා බලන්න පුළුවන් වෙච්චි එකයි….
        මං නං දැන් මේව කියන්න යන්නෙත් නෑ… කම්මලේ බල්ලට හෙන ගැහුවහේ ගාණක් තියෙවා යෑ… දවසක් මං ඔය කතාව කිවුවාම කිවුවෙ නැතෑ කම්මලේ වැඩට ආවෙ බැන්ද දවසෙ කියලා…
        එදා තමයි අපේ ගෙදර මුලින්ම Star wars චිත්තරපටිය රූගත කළේ… පීරිසි පියාඹනවා හිටු කියලා… අන්තිමට කොහොම හරි දෙකක් නළලට වද්දගත්තා… ඊට පස්සෙත් මටමයි කරදරේ මැහුං හයක් දාගෙන ගෙදරට වෙලා හිටියා සති දෙකක්ම….. ඊට පස්සේ නං මම පියාඹන පීරිසි සෙල්ලම කරන්නේ නෑ… ගෙදර තියෙන බේබි සයිස් මෝල්ගහෙන් ගහනවා ඇරෙන්න..

        අම්මපා නංගි ඔයා කියන්නේ මේ මිනිහා රට හදන්න මහින්දගේ දෑත ශක්තිමත් කරන්න කියලා ගිය අවුරුද්දේ මේ තියෙන දේවල් ඔක්කෝම දමලා ගහලා ආයෙම ලංකාවට එන්න නේ හැදුවේ… ගෙවල්වල හැමෝම කෑගහලා තමයි නවත්තගත්තේ…. හරියට මහින්ද මෙයාගෙ බාප්පා වගේ…. දෑත ශක්තිමත් කරන්න…

        වෙන අය මෙහේ එන්න දඟලනවා… මේ මිනිහට අතට ආපු චෑන්ස් එක අතාරින්න හදනවා… ඔන්න ඔහෙමයි අපේ උන්දැගෙ මොලේ…. අනුන්ට නං උපදෙස් දෙයි මහෞෂධ පණ්ඩිතයො වගේ… ඒ වුනාට ඒව ගෙදරට කරන්න යනකොට ඒ මොලේ නෑ…. ලෝකෙට පරකාසෙම තමයි…..

        මං හිතන්නේ PhD එක කරලා Permanent Head Damage එක වෙලාද කොහෙද…. මොනව කරන්නද ඉතිං මොනව උනත් ඉතිං අවුරුදු 7 ක් ලව් කරලා බැඳගත්ත මිනිහනේ.. ඉතිරි ටිකත් මේ වගේම ගෙවලා දානවා… ඔයාගෙ මනුස්සයා වගේම සුරා සූදුවෙන් තොර නිසා ඉතිං කියන්න වැරැද්දක් නෑ… හැබැයි පොත්ත සුදු පාට කෙල්ලෙක් දැක්කොත් නං කෙළ බේරෙනවා… හැබැයි මම කියලා තියෙන්නේ මෙනු එක කියෙවුවට කමක් නෑ කන්න ගිහින් බඩේ අමාරු හදාගෙන එන්න එපා කියලා… ඒ නිසා මනුස්සයා ගෙදර කෑම ඇරෙන්න පිට කෑම කන්නේ නෑ…

        ඇල්කෙමිච්චි අක්කා…

        • නවම් පවසන්නේ:

          ඇල්කෙමිච්චි අක්කට කියන්න මේ මිනිහට මට වැඩිය අනිත් හැම ගෑණියෙක්ම ලස්සනටනෙ පේන්නෙ. මොන කරුමයක්ද මංද. පාරට බැස්සොත් ඇත්නං මේ මිනිහගෙ වැඩේ වෙන වෙන ගෑනුන්ගෙ හැඩ මට පෙන්නෙන එක. අනේ පුරුදු වෙලාම මම නෙමෙයි ඕව කනකට ගන්නෙ.

          රණ්ඩුවක් එහම පටන්ගන්න යනකොට මමනම් විගහට ඔෆ්ලයින් මෝඩ් යනව. ආයෙ එතකොට එයාම තනියම කෑගහල එපාවෙලා නවත්තනව. සමහර වෙලාවට ඒකට වැඩිපුර කේන්ති යනව, එයා හියන දේවල් වලට මගෙන් උත්තර නැති වුනාම. ඒත් ඉතිං ඒව වැඩිය දුර දිග යන්නෙ නෑ.

  2. ඉන්දරේ පවසන්නේ:

    හහා ! :D මේක නං මැක්සා!! :)

    නවම් අයියා වෙත: මේ.. එදා යනවා දැක්කෙත් නෑ නෙව!

    • නවම් පවසන්නේ:

      හා, මට නවම් ගෙදර ඇවිල්ලත් කිව්ව තමා ඉස්කෝලෙ උන්න කෙනෙක් මුනගැහුන කියල. අනේ මුකුත් හිතන්න එපා, මම ක්ලාස් ඉවරයි කියල කෝල් එකක් දුන්න විතරයි මේ මනුස්සය සිහියක් පතක් නැතුව ආවනෙව. මම හිතන්නෙ වැඩි දෙනෙක්ට යනව කියලවත් කියන්න වෙලාවක් නැතිවෙන්න ඇති. ආන්න එහෙමයි මම මනුස්සය හදාගෙන තියෙන්නෙ.

  3. රොබින් පවසන්නේ:

    නවම් අයියේ. බඩු මාට්ටු.
    කැචයි හොඳේ.

  4. චමීදේවා පවසන්නේ:

    හිහිහිහි……….
    මරු නවම්…
    දැන්නම් ගෑනූ ඔක්කොම මෙතන ලියයි වගේ ආතතිය යන්නත් එක්ක….:D

  5. blog gadol පවසන්නේ:

    හික් හික්!! දැන් ඉතිං දිගට හරහට බ්ලොග් හැක් වෙයි

  6. පිණිබිඳු පවසන්නේ:

    නවම් අයියා තවම ජීවතුන් අතර දැයි සැකයක් උපදී.

  7. වැප් පවසන්නේ:

    හික් හික් දැන් එයි ස්ත්‍රි පාරණ ටික … පිරිම පාරණ වල ..ලොගින් වලින් ….

    ලඟදිම ලිප්ටන් වට රවුමේ තියෙයි වගේ උද්ගෝසනයක්

  8. මධුරංග පවසන්නේ:

    චූටි මැනිකේ අක්කා නියමෙට ගානටම දීලා තියෙනවා නවම් අයියගේ කොන්ද කඩලා යන්නම. නියමයි අක්කේ ලස්සනට ලියලා තියෙනවා. දැන් නම් විවාහක බ්ලොග් ලියන්නන්ට දෙයියන්ගේ පිහිටයි.
    අපි හිතන් හිටියේ නවම් කියන්නේ සිරාම කොල්ලෙක් කියලා. අක්කා කිව්වමයි දනේ මනුස්සා කවුද කියලා :) ඒ උනාට නවම් කියනේ හිත හොද කොල්ලෙක්. අක්කට පන ඇරලා ආදරේ කරන්නේ. :)
    බොරු නෙමේ අක්කා නවම් අයියමයි කිව්වේ !!!!!
    ඔය කවුරු කවුරුත් තම තමන්ගේ ගෑනු උදවිය පරිගනක පාවිච්චි කරන විදිහ ගැන පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉන්නවනම් තමා හොද. :)

    • නවම් පවසන්නේ:

      හිතේ වේගෙට කිව්වට නවම් එහෙමටම නරක මනුස්සයෙක් නෙමෙයි මල්ලි. ආයෙ වැ‍රැද්දකට කියල කරන්නෙ ඔය බ්ලොග් කෙරුවාව විතරයිනෙ. අනිත් මිනිස්සු වගේ බීගෙන රෑතිස්සෙ බඩගාන්නෙ එහෙම නෑ. ඒ අතින් නම් දාහකින් හොයාගන්න බැරි මනුස්සය. ඒත් ඉතිං ගෑණු අපිට මොකක් හරි කොණක් අල්ලගන්න එපැයි රණ්ඩුවක් අල්ලන්න.

  9. කොට ජීවිතේ පවසන්නේ:

    හිහ්..හිහ්… මේකනම් මරු හැක් කිරිල්ල. මමත් පාසල්ගේ බ්ලොගය හැක් කරලා බලන්න ඕනා.. හැබැයි ඉතින් චූටි මැණිකේ නවම්ගේ සායම හොඳට අතුල්ලලා යවලා තියෙනවා… :D

    • නවම් පවසන්නේ:

      අයිත් අහල, චූටි මැණිකෙ වැඩකට බැස්සොත් ආයෙ වෙන කනෙක්ට කරන්න දෙයක් ඉතුරුකරන ජාතියෙ ගෑණියෙක් නෙමෙයිනෙ. මිනිහ කියල බලන්නෙ නෑ. සායම යවල මදින හම යවන්නත් දෙපාරක් හිතන්නෙ නෑ.

  10. Omesh පවසන්නේ:

    එහෙම තමා ඉන්න ඕන චූටි මැනිකේ අක්කේ…හොඳ වැඩේ…

  11. වාසනා පවසන්නේ:

    ම‍ටත් තියෙනවා කථාවක් කියන්ට. නගා, ඔයා මේක ප්‍රශ්නයක් කරගන්ට එපා…. මං වගේ මේක ආභරණයක් කර ගන්ට… මං නං බ්ලොග් ලියන්නේ නැතුවා… ඒකටත් එක්ක මගේ නෝනා……… ලියනවා ලියනවා ඉවරයක් නැහැ……. එයා ලියපු එව්වා ඉස්සර නං මට පෙන්නුවා…. දැන් නං පෙන්නන්නේ නැහැ……… මොකද මං පෙන්නුවත් නැතත් ඒ හැම එකම කියවනවා කියලා එයා දන්නවා….. පහු ගිය කාලේ උන්දි බස් පැදිල්ලක්ද මොකද්ද එකක් අල්ලාගෙන බ්ලොග් එක අතහැරලා දැම්ම තාලෙට තිබුනේ….. ඒ කාලේ උන්දිගේ බ්ලොග් එක රැකබලා ගත්තේ අපේ හිතවත්, නෑදෑ කොමට මාමා‍ කෙනෙක් වෙන රවී තුමා තමයි…. දැන් නං නෝනාට බස් පැදිල්ල එපා වෙලාද කොහෙද ආපහු ඔන්න බ්ලොග් එකේ මකුළු දැල් එහෙම කඩලා කාරිය වැඩ පටන් අරගත්තාලු… (වැඩියේ මකුළු දැල් තිබුනේ නැහැලූ රවීට පිං සිද්ධ වෙන්ට)
    මගේ නෝනා මට ගාන්න ඕනෑ සේරම බටර් ටික ගාන්නේ එයාගේ බ්ලොග් එක හරහා. මොකද ‍කෙලින්ම ගානවාට වඩා මං ඔය නිවී හැනහිල්ලේ එයාගේ බ්ලොග් එක කියවන වෙලාවට මං ම අරං මගේ ඇඟේ ඒවා ගා ගත්තහම එයාට වාසි වැඩියි කියලා එයා හොඳට වටහාගෙන තියෙන්නේ. ඔය නවම් කොලුත් එහෙම තමයි කියලායි මට නං හිතෙන්නේ. අපේ දුවත් කවදාහරි ලොකු මහත් වෙච්චි දවසක අම්මා දැනටම එයාට ගාලා තියෙන බටර් අරං තවරා ගනියි කියලා මට විස්වාසයි.
    ඉතිං නගා, මගේ යාළු මිත්‍රයන්ටත් මං හරි ආඩම්‍බරෙන් කියන්නේ මගේ වයිෆ් බ්ලොග් කාරියක් කියලා. අර නිදහස් සිතුවිලි කියන බ්ලොග් එක ලියන්නේ මගේ වයිෆ්නේ කිව්වහම කිහිප දෙනෙක්ම ආ ඇත්තද, මං ඒක හරි ආසාවෙන් කියවනවා කියලා කිව්වා, හැබැයි වැඩි දෙනෙක් නං ඇහැව්වේ ආ හැබෑද? කලින් නං ගිහින් නැහැ, උඹ කිව්ව නිසා ගිහින් බලන්නම් කියලා, උන්න හැටියට මලා මදැයි කිව්වලු.

    ඉතිං එයාගේ ඔය බස් බ්ලොග් ෆේස් බුක් කෙරුවාවෙන් දැන් ඉන්නවා මයේ අප්පේ මහා ජන සන්නිපාතයක් යාළුවෝ…………. ඒ කට්ටිය සේරම එකතු වෙලා පහුගිය ඉරිදා පවත්වපු අවුරුදු උළෙලට අපිත් ගියානේ….. හැබැයි නගා මේ නවම් කොලුවා ඇවිත් ගිහින් එයාට මීට් වෙන්න බැරි වුනා කියලා මගේ නෝනා තාම නාහෙන් අඬනවා. කට්ටිය නං කිව්වේ ඔයාවයි බබාවයි එක්කන් එන්න කියලා නවම් ගියා කියලා. ඔන්න නගා, නවම් දවසම අවුරුදු උත්සව භූමියේ නෙමෙයි ගත කෙරුවේ හරිද? :D

    ඉතිං මට ආයෙත් කියන්ට තියෙන්නේ, මං මේ සිංහල අකුරක් කොටා ගන්න විඳින දුක අනුව බැලුවහම නවම් වගේ කොල්ලෝ දාහෙන් සම්පතයි නගා. ඔයාගේ මහත්තයා බ්ලොග් එකක් කරගෙන යනවා කියන්නේ ඔයා නොසෑහෙන්න සෑහෙන්න විදිහට ආඩම්බර වෙන්ට ඕනේ කාරණයක්. ඉතිං මං මගේ වයිෆ්ගේ බ්ලොග් එක ගැන ආඩම්බරයි වගේ ඔයාත් එහෙම හිතන්න පටන් ගන්න. කොහොමටත් මාත් ලඟදිම මේ වැඩේට අත ගහන්නට හිතන් ඉන්නේ, ඊට පස්සේ බැරියැ අපේ අම්මාට දවල්ට විතරක් නෙමෙයි රෑටත් අපි දෙන්නා බ්ලොග් ලියනකම් දූවවට හොඳින් බලා ගන්ට. දැන් මං සිංහල එහෙම ටික ටික පුරුදු වෙනවා. මේ පුරුදු වෙන්නත් එක්ක තමයි මේක ටයිප් කොලේ. එහෙනං මං දැන් නවතිනවා.

    රන්දිල්ගේ හබී වාසනා

    • සුදු හංසී පවසන්නේ:

      වාසනා අයියත් නවම් අයියගේ පිහිටෙන් රන්දුනා අක්කට බටර් තවරලා තියෙන්නේ ඔය….

    • නවම් පවසන්නේ:

      ඔව් ඔව්, මට මතකයි නවම් එදා හවස ගෙදර ඇවිල්ල කිව්ව රන්දිල් අක්ක එක්ක කතාකරන්නත් බැරි උනා කියල. මේ මනුස්සය රවී කියල හිතල වාසනා අයිය එක්ක කතාකරන්න ගිහිල්ල නෝන්ඩිත් වෙලා තිබුන. පස්සෙ යාන්තං දෙන්න මරාගන්නෙ නැතුව අවුල ගොඩින් බේරගෙන තිබුන. තව ඩිංගෙන් රන්දිල් අක්කට පාරෙ බැහැල යන්න බැරිවෙනව මේ මිනිහ කරන වැඩ වලට. වාසනා අයිය හරි ජොලි පොරක් නේද? අපේ නවම් නං වැඩියම පැත්තක් ගහල ඉන්න කැමති මනුස්සයානෙ.

      මම නං කියන්නෙ වාසනා අයියටත් දැන් කාලෙ හරි තමන්ගෙම කියල බ්ලොග් එකක් පටන් ගන්න හරි රන්දිල් අක්කගෙ බ්ලොග් එකේම පදිංචි වෙන්නහරි.

  12. හිකිස් . . . වැරදිලාවත් හරි හාමිනේ මගෙ බ්ලොග හැක්කලොත් හෙම . . . නං ගං වෙනස්කරල ලියන්නෙ ඔය ටිකම තමයි . . .

  13. උදය පවසන්නේ:

    ආයෙත් නවම් අඩයි වගේ….

  14. හා පැටික්කි (MS) පවසන්නේ:

    හලේ අම්මියෝ………
    මාරයි චූටි මැණිකේ………..
    දෙන්නම බ්ලොග් ලිව්වනම් ඉවරනේ. ඔන්න චූටි මැණිකේ සතියට දවස් 3කට මේ හැක් කරන වැඩේ ඉල්ල ගන්න නිත්‍යානු කූලව. එතකොට අපට බැරි යැ ඔහොම දෙන්නගේ හොඳ ලිපි බලන්න. හික්ස්………..

    @ වාසනා අයියා…….
    ඈ අයියේ……….. අයියත් කෝම හරි අනුන්ගේ තැනක හරි කියන්න ඕන ටික කියා ගත්තානේ………..
    අක්ක ගැන මුකුත් කියලා බෑ මේ දවස් වල මට ඔන් ලයින් ටියුසන් දෙනවා…… හැබැයි ෆ්‍රී ඈ………. හික්ස්………….

  15. Ansh Lucky Sri Jay පවසන්නේ:

    හෙහෙහෙ.. මැක්සා..! :D

  16. සුදු හංසී පවසන්නේ:

    මම තනිකඩ වීම ගැන ආඩම්බර වෙම්.. කාටවත් මේ මගේ තවලම හැක් කරන්න බැහැ…. හි.. හී.. නවම් අයියගේ පට් රෝල්….

  17. ගෝල්ඩ් fish පවසන්නේ:

    ඉකා… මේ මොකෝ වෙලා තියෙන්නේ… නවම් ලොක්කා මාට්ටු වෙලා.. නේද? මෙ මේ චූටි මැණිකේ අක්කේ… මුගේ බ්ලොග් එකේ තියෙනවා නෙව ඔයාට නොකියපු කතා වගේකුත් කෙල්ලෝ ගැන ඒ ටිකත් බලන්න.

    අනිත් එක ඔයා කොහොමෙයි දන්නේ, අර අනිත් උන්දැලාගේ බ්ලොග් හැක් වෙච්ච සීන් එක… මට පේන්නේ ගෑනියි මිනිහයි එකතු වෙලා අනිත් බ්ලොග් ටිකට වැඩේ දීලා… දැන් මෙතෙන බබා සීන් දානවා නේද?

    • නවම් පවසන්නේ:

      මේ මේ මාළු මලේ… හිතුවයි අපි දෙන්නෙට වෙන වැඩ නැතෙයි කියල ඔය අනුන්ගෙ බ්ලොග් කැක් කොර කොර ඉන්න. අපි බැඳපු මිනිස්සු, ඔයිට වැඩිය ලොකු වැඩ අපිට තියෙනව හරිය…. මොකෝ යසෝදරාට කියල දෙනෙයි ඔයාගෙ බ්ලොග් එකත් හැක් කරන විදිය?

      • ගෝල්ඩ් fish පවසන්නේ:

        හික් විහිඵවත් වත් තේරෙන්නේ නැහැනේ චූටි මැණිකේ අක්කට… නවම් අයියනම් ඔහොම නෑ.. හරි හොඳ එකා… හැබැයි අක්කේ මට තේරුනා ඕකා දවස් ගානක ඉඳන් අපි ලව්වා, ඌට අක්කේ කියෝගන්න බලං උන්නා කියලා. ඒ මදිවට අර ලංකාදීපේ සීන් එක…. තාමත් ලංකාදීපේ ගන්නවා කියන්නේ… ඌට හිනා යන්නේ නැද්ද මන්දා ඒක බලද්දී…

  18. ඩිලාන පවසන්නේ:

    නවම් කම්බස්,,,අනේ අම්මෝ බයේ බෑ මේවා දකිද්දිත්,,අපේ අනාගතය ගැන මහා බයක් දැනෙනවා නේ

  19. මේකනම් මරේ මරු…
    යහමින් ලුණු ඇඹුල්…!
    පව් අසරණයා වෙලාවකට…
    මා ඒත් හිතුවා රැවුල කපන්නේ වත් නැතිකොට…
    හ්ම්ම්ම්… පිරිමි අපට උරුම දේවල් තමා මෙව්වා….

  20. arunishapiro පවසන්නේ:

    මිසිස් චූටි මැණිකේ,
    හඳුනා ගන්න ලැබුණාට සතුටුයි. හාමිනේ බ්ලොග් ලියන නිසා මට දැනට කිසි අඩුපාඩුවක් නැහැ. ඒත් මම කල්පනා කරන්නෙ හෙට අනිද්දා විශ්‍රාම ගියාට පස්සෙ මොකක් වෙයි ද කියලා. රුවල් නැවේ මාත් එක්ක යයි ද මෙයා බ්ලොග් එකත් එක්ක යයි ද?
    සුබ දවසක්!
    සුදු අප්පුහාමි

    • නවම් පවසන්නේ:

      සුදුඅප්පු අයියේ,

      මම හිතන්නෙ නෑ අරුණි අක්ක බ්ලොග් එකක් හන්ද ජීවිතේට තවත් අළුත් අත්දැකීමක් ලබාගන්න තියෙන අවස්ථාවක් මඟහරී කියල. අනිවාර්යෙන්ම සුදුඅප්පු අයිය එක්ක රුවල් නැවේ රවුංගහන්න එයි. ඔය කොහේහරි ඉවුරකට සේන්දු උනාම පෝස්ට් එකකුත් ලියල දායි නේද?, අපිට වැඩිය අයිය අක්ක ගැන දන්නවනෙ. අක්කට කියන්න අර එවාපු පොත් වලින් මේදවස් වල දරුවන් හදනහැටි ගැන ලියාපු පොත කියවනව කියල. [තව හදන්න නෙමෙයි, ඉන්න එකා හදාගන්න]

  21. බුද්ධි පවසන්නේ:

    චූටි මැණිකා නැන්දේ,

    අපේ බුද්ධි අයියලාගෙ ගෙදරත් ඊට දෙවෙනි නැ!.

    අයියත්, අක්කා ලොකු ෆයිල් එකක කරුනු ගොනු කරලා නඩු දාන්න කිට්ටු වෙද්දිම ඔපිස් එකේ මැසිමෙං තමාලු ඕවා ලියාගෙන එන්නෙ. මොකෝ බ්ලොග් එක කන්ටිනිව් කරනොගත්තොත් සින්ඩි වලින් හැලෙනවා කියන්නෙ. අනික ටැපික් එකත් තද සැරේට බහිනවලු!

    සමහර දවස්ඔල්ටනං ඩොංගල් එකත් අතුරුදහං වෙනවා. අක්කනං කියන්නෙ එයාව අල්ලගන්ඩ එපා ඕවාට කියලා. ඔය එක එක තැං ඔල දාලා මීයෝ අරං ගිහිල්ලා ඇති කියලා. හුගත් වෙලාවට අයිස්කිරිං කන්න මාරු කාසි හොයද්දි මීයා ඩොංගල් එක බෙඩ් කබඩ් එකේ මුල්ලක දාලා ගිහිල්ලා තියෙනවා මම දකිනවා.

    ඒ උනාට අපේ අයියනං අවුරුදු උස්සවේට අක්කව එක්කං ආවායින් අක්කගේ හිත වෙනස් වෙලා. මැණිකා නැන්දටත් එන්නයි තිබ්බෙ එදා! එහෙනං ඕවා අමතක වෙලා යන්නත් එක්කලා ඇස් බැඳගෙන යෝගට් කවා ගන්න තිබ්බා.

    කෝකටත් මේවා මං කිව්වා කියලා එහෙම කියන්ඩ එපා මැණාකා නැන්දේ හොඳේ……

    මීට හිතවත් සයිබර් යායේ ටිකිරි

    • නවම් පවසන්නේ:

      ටිකිරි මලේ, හැබෑටම මටත් එන්නයි තිබුනෙ. එදා එන්න බැරිවෙච්ච කේන්තියත් මේ බ්ලොග් හැක් කිරිල්ලට සෑහෙන්න උදව් උනා. අපරාදෙ මට මැරියන් නාඟාවත් බලාගන්න තිබුන ආවනම්. ඊලඟපාරත් අර මනුස්සයට හීනයක් පෙනුනොත් මොනවහරි කරල එන්න බැරිය. එතකොට පොඩ්ඩත් ලොකුයි නෙ.

      හැබෑටම ලිව්වෙ නැත්නං ඔය සින්ඩියෙන් හැලෙනවලුය? අපෙ අප්පෝ එහෙම උනොත් හරිම අපරාදයක්නෙ වෙන්නෙ. එහෙනං මීටපස්සෙ වැඩිය බනින්න නරකයි බ්ලොග් ලියනවට එහෙනං. අපේ මනුස්සය ඔය වගක් කිව්ව්නං මං මෙච්චර දුර යන්නෙ නෑ නෙ. හැන්දෑවට ඇඟ හෝදගන්න වතුර ඩිගක්වත් උණුකරල තියන්න ඕන. උදෙත් වැඩට ගියේ නොන්ඩි ගගහනෙ.

  22. ෴ සොඳුරු සිත ෴ පවසන්නේ:

    ඔයා ද නවම් ගේ ආදරණිය චූටි මැණික.
    අඳුන ගැනීම සතුටක්…..
    නවම් ඔයාට හරි ආදරෙයි.ඔයා වාසනාවන්තයි. මේ ලියුමත් නවම්ගේ හිතේ පිරිල තියෙන ආදරයෙන් දෝරෙ ගලනවා…

    ලස්සන නිර්මාණයක් යාළු…….

  23. කුරුං ගුරුං පවසන්නේ:

    කෝ මම උදේ දාපු කොමෙන්ට් එක?
    “ඔරේන්ජ් ලයිට් නැතුවම රෙඩ් ලයිට් පත්තු වෙලා වගේ”

  24. හිස් අහස පවසන්නේ:

    මෙන්න බලාපල්ලා සිංහයා වගේ හිටපු මිහෙක්ට වෙලා තියන දේ ! .මට පේන විදිහට නවම් අක්කා ටිකක් සැරයි වගේ . ඔන්න ඕක තමයි මම කසාද නොබැඳ ලිවිං 2ගෙදර් ව ඉන්න තීරණය කලේ . නවම් අයියේ දැන් කොහොමද ලෝකයාට මූන දෙන්නේ . ඔයා වයිෆ්ට බියයි ලු හූ………. හූ…. හූ…. හූ…. හැබැයි අයියේ මම වැරදිලාවත් කසාද බැන්ඳ දවසක මගේ බිසව මට ඔහොම දෙයක් කරොත් ආයේ බිසව කියලා බලන්නේ නෑ කඩේට ගිහිල්ලා කඹයක් ගෙනෙල්ලා මම එවෙලම එල්ලිලා මැරෙනවා . ඒයාට කුද ගහගන්න කියලා . කොහොමද මගේ පුරුස සක්තිය …

    මේ නවම් අයියේ දැන් මැනිකේ ලඟ පාතක නෑ නේද ? මොකද කියන්නේ එදා සෙට් උනා වගේ තව පාරක් සෙට් වෙමුද ? එදා සම්පූරණ වියදම උඹගෙන්නේ . මේපාරත් උඹට තමයි ගෙවන්න වෙන්නේ . කමක් නෑ නේ ….?

  25. මලී පවසන්නේ:

    මට මේ දවස්වල කියවන්න ඒ තරම් වෙලාවක් නැතත් මිනිහ මේක පෙන්නුවම මුකුත් නොකිය ඉන්න බෑ වගේ… චූටි මැණිකෙ අක්ක වගේ උකුලෙ තියාගෙන නලවන්න තාම හම්බවෙලා නැතත් මමනං ඔය කෝලං වලට නෑ ඕං. කොටින්ම මම දැම්මම කියල තියෙන්නේ මාත් එක්ක කෝලං විතරක් කරන්න එපා කියල.

    ඔයා තවම ඔය ඇස් වල කඳුළු වලට රැවටෙනවද? මමනං දවසින් දෙකෙන් දැනගත්ත ඕක මගෙ මිනිහගෙ මායමක්ය කියල. කොයි වැරැද්ද කලත් කටක් අරින්න බෑ කඳුළු පුරෝගන්නව. මුළදි මාත් හිතුවා අනේ…හරීම අහිංසකයි නෙව කියල… ඒත් බැලින්නං පස්සෙ ඒක පුරුද්දක් කරගත්තා. කණෙන් ඇදල දෙකක් කිව්වම හරි ගියා. දැන් ඔය මම කෑ ගහන වෙලාවට මීය වගේ කරබාගෙන ඉන්නේ යස අගේට…

    බ්ලොග් ලිවිල්ලත් ඒ වගේ… පහුගිය සතියෙ දෙකේ දවස ගානෙ ලිව්ව…. මට කෝල් එකක් දෙන්නවත් වගක් නෑ… ඒව මිනිස්සුන්ට හැදෙන එක එක පිස්සු. ඕව ටික දවසකිං ඇරිල ගියෙ නැත්තං තමයි කොස්ස ගන්න වෙන්නෙ අතට…. නැත්තං ඔය පොඩි එකාගෙ ආසාවනේ කියල ඔන්නොහේ ලියන්න දෙන්න.

    ඔයා ඔය මිනිහටනම් බය වෙන්න එපා. ඉන්නෙ කෙට්ටුවට නම් පොඩ්ඩක්වත් බය වෙන්න ඕන නෑ… දෙන්නයි තියෙන්නෙ කණ හරහා එකක් වැඩිය සද්දෙ දාන්න ආවොත්…

    • නවම් පවසන්නේ:

      අනේ අප්පේ ඇ‍ඟේ හැටියට ගුටි ගහන්න නෙමෙයි, මැටි ගහන්නයි වෙලා තියෙන්නෙ. කොහොම උනත් මම සැරෙන්ඩර් වෙන්නෙ නෑ මිනිස්සුන්ට, ඇයි අප්පේ අපේ කාන්තා අයිතිවාසිකම් වලට මොකෝ වෙන්නෙ එහෙම උනොත්.

  26. රංගයා පවසන්නේ:

    නවම් අයියේ… උඹ ජීවතුන් අතරද? තාම ජීවතුන් අතර නම් මේකට reply එකක් දාපන්… :D

  27. ..ChAnDiKa.. පවසන්නේ:

    උපරිමෙනුත් උපරිමයි!!! :D :D :D :D

  28. Ravi පවසන්නේ:

    හිතවත් චූටි මැණිකේ වෙත,

    ඔබගේ ලිපිය කියෙව්වා. ඒකෙ ආරාධනා කරල තිබ්බ නිසා, ඔන්න මගේ අදහසුත් කියන්න ඕනය කියල හිතුනා. මගේ අත්දැකීම මෙහෙමයි.

    අපෙ මනුස්සය, …………..අර රවි, අප්පා හරිම රෙගුලාසි කාරයා…….ඔයාට කියන්ඩ චූටි, මට ඔය ඉවුම් පිහුම් කාරිය එච්චර තේරෙන්නෙ නැහැ. ආයෙ බොරු කියන්නෙ මක්කටෙයි. ඉතින් බැඳපු දා ඉඳම්ම මේ මිනිහගෙ කනුකුනුව, …….ලුණු මදි,……. මිරිස් වැඩියි, ……ඇඹුල් නිකම් පෙන්නල විතරයි, ඔන්න ඔය වගෙ රටේ නැති එව්ව.

    අනික මම ඔය අලුතෙන් සාරියක්, සෙරෙප්පු ජෝඩුවක් කාරිය ගන්ඩ ගියාම, එපා කියන්නෙමත් නැහැ. ඒත් පොඩි බරබරයක් දානව ගිය මාසෙත් ගත්ත නේද? ඒකට මොකද උනේ? ඔන්න ඔය වගේ.ඔහොම තමයි ඉතින් එයාගෙ හැටි.

    අනික් එක තමයි, මට ඔය මහගෙදර, ප්‍රවීනා, නිල් නෙතු, ඉතිං ඊට පස්සෙ වගෙ ටෙලි නාට්‍ය බලන්න වෙන්නෙ එහෙමත් වෙලාවක. මේ මනුස්සය බී.බී.සී බලන්න ඕන කියයි, සී.එන්.එන් බලන්න ඕන කියයි. මොකවත්ම නැත්නම් කොහේ හරි දීපංකරේක ගහන ක්‍රිකට් මැච් එකක් දාගෙන, උඩ පැන පැන ඒක බලයි.

    ඔයවගෙ දේවල් තිබ්බට ඇත්තටම දාහකින් හොයාගන්න බැරි මනුස්සය. මමත් ඉතින් ඔය පොඩි අඩු පාඩු ගනන් නොගෙන, ඔන්නොහෙ කමක් නැහැ, සර්ව සම්පූර්ණ මිනිස්සු කොහෙන් හොයන්ඩද? කියල හිත හදාගෙන හිටියා.

    ” No one is perfect, you just have to live with what you get ” කියල ඔය කවුදෝ කියලත් තියනවනෙ.

    ඔන්න දැන් තමයි කතාව. මෙච්චර වෙලා කිව්වෙ පසුබිම. දැන් ඔන්න මාස හය හතකට ඉස්සරවෙලා, රවි හවස ගෙදර එනකොට උස්සන් ආව ඔෆිස් එකේ ලැප් ටොප් එක. ආපු වෙලාවෙ ඉඳන් ලැප් එක දිග ඇරගෙන මොනවදෝ කොරනව.තනියම හිනා වෙනව, කොටනව, එක වැඩයි.වෙනද තේ එක බලාගෙන ගෙට ගොඩ වෙන මනුස්සයට මෙදා තේ එකේ වගක් වත් නැහැ.

    එදා ඔන්න පරිප්පුවට මගෙ අතින් ලුණු වැඩිවෙලා. මම බයේ හිටියෙ ඕකට මූණ එල්ලගෙන, දවස් දෙකක්වත් ඉඳීය කියල.රෑ දහයත් උනා. ඒත් මෙන්න,……..කන්ඩ එන පාටක් නැහැ. බැරිම තැන මම බත් එක ලඟට ගිහින් දුන්නා. “මට හැන්දකුත් ගේන්ඩකො” කියාපි. ඒ කරල අර ලැප් එකේ කෙටිල්ල මොහොතකට වත් නතර නොකර කොහොමහරි හැන්දෙන්ම බත් ටික කෑවනෙ මේ මනුස්සයා.මම දෙතුන් පාරක් මූණ දිහා බැලුවා, ලුණු ගැන මොකවත් කියයි කියල. මොන…….වගේ වගක් නැහැ.

    ඉවසන්ඩම බැරි තැන මම ඇහුවා ” කෑම රහද? ” කියලා. ” ෂඃ, නියමයි, මාර රහයි ” කියාපි කෙටිල්ල නතර නොකරම.අනේ ඇත්තමයි මගෙ කටත් එක්ක ඇරුන පුදුම වෙච්චි පාර.

    එදා ඉඳල හවස ආපු වෙලාවෙ ඉඳන් ඔය ලැප් එකේ තමයි රාජකාරිය.කෑම ගැන නම් අපරාදෙ කියන්ඩ බැහැ ලුණුද, මිරිස්ද, ඇඹුල්ද කිසි ගානක් නැහැ, දෙන දෙයක් කනවා, ඒ මදිවට කාල ” මාර රහයි අනේ” කියලත් කියනවා,

    අනික් එක දැන් මම දන්නව, සාරියක් අලුත් හෑන්ඩ් බෑග් එකක් ගැන කියන්ඩ ඕන වෙලාව. මෙයා ඔය කවි එහෙම ලියල, මට පෙන්නවනෙ. ඉතින් මම ඔය හැම එකටම ” අනේ හරි ෂෝක් මෙයා ” කියල, ඒ එක්කම ” අලුත් සාරි වගේකුත් නම් ඇවිල්ල තිබ්බ හන්දියෙ කඩේට ” කියල නිකමට වගේ කියනවා.” හරි, හරි, ඕන නම් ගන්න කියනවා ” අරකට කොටන ගමන්ම. ඒ වැඩෙත් හරි.

    ටී.වී. එකත් එහෙම තමයි. ඒ පැත්තවත් බලන්නෙ නැහැ.ඉතින් ඔන්න ඔහොමයි චූටි මැණිකෙ, මගේ අත්දැකීම නම්.

    Blogging makes a man perfect, at least in my view.

    මම,

    සඳා.

    • නවම් පවසන්නේ:

      අනේ සඳා අක්කේ, මටත් ඔය උයන දේ රහ නැතෙයි කියන කතාව නං හැමදාමත් කියනව. මේ දවස්වල අම්මල එක්ක ඉන්න නිසා එච්චරම කරදරයක් නෑ. ඒත් ඉතිං තව මාස දෙකකින් විතර අම්මල ආයෙම ගමේ ගියාම තමයි මට හොඳ හොඳ කතා අහගන්න වෙන්නෙ කෑම වලට.

      අක්ක කිව්වත් වගේ මේ මනුස්සයට ඔය බ්ලොග් පඩංගුව බදාගෙන ඉන්න දුන්නොත් පුන්නක්කු දුන්නත් කයි වගේ. ඒත් ඉතිං එක පාරටම බ්ලොග් ලියන්න නිදහස දුන්නොත් ආයෙ මම සැරෙන්ඩර් උනා වගේ පෙනෙයි. හෙමින් සැරේ එයාට ආයෙ ලියන්න දෙන්න ඕන.

      • heshan 4771 පවසන්නේ:

        akke meka post karanna onna oya kiyewwahama athi akke tharaha wenna epa oya oya liyala thiyena widihata oyawa nawam ayya palanaya karanna haduwoth mokada wenne kiyala hithanna. anika oya widihata jeewath wena nawam ayya pirimiyekda kiyali mata hithune. mama purusha ardipaththayak gana hithena minihek kiyala hithanna epa . mama ehema nemei. namuth agen pathin podi nam minihata baya nathuwa gahana ganu innawi kiyala mata methana samahara comment waladi pennuna. akke ohoma pirimith hithala gahanna giyoth mokada wenne kiyala hithanna. ganiyekta wagema pirimiyektath watinama de thami thamange abimane. oya eka nathi karanna gaththoth ayya eka parata waradi thearana unath ganna idathiyenawa. pirimiyek ahanna akamathima wachana thami ganita baya minihec kiyana eka . denna dennata garu karanna kiyali mama kiyanne wena mukuth newei. oya mata baninna habai mama kiyapu de ganath hithanna

  29. abeetha පවසන්නේ:

    ඔක්කොම ගෑණු ලියපු එකේ මමත් ලියපුහාම මොකද? ඇත්තම කියනවනම් චූටි මැණිකේ අපේ ගෙදර ඔය කියන මොන ප්‍රශ්ණයක්වත් නෑ.. මොකද ටිකක් හිනාවෙන අපේ මනුස්සයා තමයි ගෙදර තියෙන ලොකු ප්‍රශ්ණ ඔක්කොම ගැන තීරණ ගන්නේ… මම ඉතින් ඔය පොඩි පොඩි දේවල් ගැන තීරණ ගන්නේ.. උදාහරනෙකට කිව්වොත් ලිබියාවට ඇමරිකාව දිගටම ගහයිද? ලෝක කුසලානෙ ලංකාවට ගන්න බැරි උනේ ඇයි? ජපානෙට එන භූමිකම්පාවල අගය රික්ටර්මාපක කීයද වගේ ලොකුම ලොකු ප්‍රශ්ණ විසදන්නේ අභීත තමයි… මම විසදන්නේ පොඩි ප්‍රශ්ණ..හරියට මේ වගේ,.. අභීත ගේන සල්ලි කොහෙන්ද තියන්නේ.. හෙට ගෙදරට ඕන බඩු මොනාද? අභීතව කඩේ යවන්නෙ මොකටද? ගෙදරට සල්ලි සොච්චම වියදම් කරන්නෙ කොහොමද වගේ දේවල්….

    ඔහොම ගියානම් කිසිම රංඩුවක් නෑ අප්පා..

    ටිකක් හිනාවෙන්න එකේ අභීතගේ බිරිඳ
    රංජුලා…

    • නවම් පවසන්නේ:

      අපේ ගෙදරත් ඔය දේම තමයි රංජුලා.. මේ මිනිහ නොදන්න දෙයක් නෑ, ඒත් අප්ප කුස්සියෙ අඩු මොනවද කියල දන්නෙ නෑ. මම හිතාගෙන හිටියෙ මගෙ මිනිහ විතරයි මෙහෙම කියල, අපෙ අප්පෝ බලාගෙන ගියාම හැම එකාම එක වගේනෙ. අපරාදෙ අවුරුදු උත්සවේට ආවනම් මිනුස්සුන්ගෙ පතුරු යවන්න තිබුන අපි දෙන්නට නේද?

  30. රංග පවසන්නේ:

    මම උඹව පාසල් / කොටී ට අඳුන්නල දෙන්න බලද්දි උඹ වාශ්ප වෙලා. කීයටද බං ගියේ?

  31. budhajeewa පවසන්නේ:

    හික්ස්. මැක්සා වැඩේ. මහත් ලොල් ය.

    PS: මගේ බ්ලොග් එක හැක් කරවා ගැනීම සඳහා ටෙන්ඩර් කැඳවනු ලැබේ!

  32. chathuranga පවසන්නේ:

    හපොයි… මේක නම් වැරදි ආදර්ශයක්… අපේ හාමිනේ දැන්ටම දෙසන දෙසිල්ලට මේකත් දැක්කොත් එහෙම !!! අප්පා වහ කනවා සනීපයි…

    නවම් උඹට අබ සරණයි !!!!

  33. දුකා. පවසන්නේ:

    ඔයාට කියන්න චූටි මැනිකේ නංගියේ අපේ ගෙදරත් ඔය සන්තෑසියමයි.

    අපේ මිනිහගේ නගා ඉස්සර ජපානේ ඉන්න කාලේ උන්දැගේ මනුස්සයා ඒ කාලේ හරියට බොනවලු (දැන් නම් කටහරියක තියන්නේ නෑ) බීලා ඩෝප් වෙලා කොමඩ් එක බදාගෙන වමනේ කොරන නිසා බාත් රූම් එකට දාලා දොර වහලා අපේ මනුස්සයට කියනවලු “මූ මට නෙමෙයි ඕයි ලව් කරන්නේ කොමඩ් එකට කියලා” මටත් වෙලාවකට අහන්න හිතෙනවා “තමුසේ මටයි ළමයටයි වඩා ආදරේ ඔය කොම්පීටර් මගුලටද කියල හැබෑවටම නගේ”

    හොහොමයි හරි අපේ මිනිහා එක්ක රන්ඩුවක් අල්ලපු ගමන් ඒකේ පාඩුවත් මටමයි නගේ. රන්ඩුව අල්ලපු දාට පහුවදාම ලියනව පෝස්ට් එකක්. ඒක දැක්ක ගමන් ඉතින් මට යකා වැහෙනවා. කොච්චර රන්ඩු කලත් මේ මිනිහා හැඟීමක් දැනීමක් නෑ වගේ පෙන්නගෙන ඉන්න නිසා පස්සේ පස්සේ මට තනියෙම රන්ඩු කරන්න වෙන නිසා මාත් ඔන්න ඕහේ ඕන මගුලක් කියලා අතෑරලා දානවා.

    ඔයාට කියන්න නගේ මම රන්ඩුවක් අල්ලපු වෙලාවක ලියපු පෝස්ට් එකකට දාපු කොමෙන්ට් එකක් නිසා තමයි අර කට කහන කතා ලියන දුමී අයියත් සැට් වුනේ.

    මේ දවස්වල අපේ මිනිහගේ ජොබ් එකට කෙලවෙලානේ ඉන්නේ. ලංකාවේ බිසිනස් එකක්ද මොකද්ද මගුලකුත් කොරන්න යනවා අර ටිකක් හිනා වෙන්න ඇවිත් යන්න කියලා කිචි කවාගෙන හිනාවෙන්න ඕන බ්ලොග් එකක් ලියන අබේපාල මාමද කව්ද කියන මනුස්සයා එක්ක.

    තව ඉතිං මේ මගුල් බ්ලොග් කෙරුවාව හින්දා අඳුන්ගත්තු බොහෝම හොඳ යාලු මිත්තරයෝ රාසියක් ඉන්නවා උන්දෑගෙත් අපේත් දුක සැප බෙදා ගන්න. ඕන වෙලාවක උදව්වක් වුනත් කොරන ලෑස්තියි. අපිට විතරක් නෙමෙයි ඕනම කෙනෙකුට අර ඉලංදාරියා මල්ලිටත් ඔපරේසන් එකට ලක්ස තිහක් හොයන්න මේ කට්ටිය එකතු වෙලා මෙ දවස් වල ඔය එක එක වැඩ කොරනවනේ.

    ඕවා ඉතිං කම්පනා කොලාම අපිට මේ මිනිස්සුන්ගේ ආදරේ ටිකක් අඩු වුනා වුනත් මේ බ්ලොග් කෙරුවාවේ හොඳකුත් තියෙනවා කියලා හිතෙන නිසා පස්සෙන් පහු මම නම් ඔය මගුල කොටන එක අතරෑලා දාන්න කියන කංකෙඳිරිය නතර කොරලා දැම්මා.

    අනික අපේ මිනිහා මේ දවස්වල පුතාවයි මාවයිත් ලංකාවට ගෙනත් ඇරලලා තනියෙන් ජීවත් වෙන එකේ වෙන වෙන දිහාස් වල ගිහින් බීලා එහෙම පිස්සු කෙලින්න නොයා ගෙදරට වෙලා බ්ලොග් එකක් ලියාගෙන ඉන්න එක හොඳයි කියලත් තමයි මට නම් දැන් දැන් හිතෙන්නේ.

    කිව්වත් වගේ ඔය බ්ලොග් කෙරුවාවේ අපිට පොඩි පොඩි අඩුපාඩු වුනත් මේ මිනිස්සු ඕක කොරන නිසා වෙන හොඳකුත් තියෙන නිසා නගාත් ඔන්න ඔහේ ඔය නවම් මලයට ඕක හීනියට කොරගෙන යන්න ඉඩ දෙන්න නගේ.

    අහ් අපිව ලංකාවට ගෙනත් ඇරලන්න ආපු ගමන් අපේ මිනිහත් ගියානේ අර අවුරුදු උත්සවේට. නවම් මලයත් ඒකට ගිහින් හිටියයි කියලා දන්නේ නගාගේ මේ හැකින් ලිපිය නිසා තමයි. අනේ උන්දෑ බොහොම දුක්වෙයි එදා උන්දැට නවම් මලයත් එක්ක වචනයක් කතා කොරන්න බැරි උනු එකට.

    එහෙනම් නගේ පරිස්සමින් වැඩිය සන්ඩු සරුවල් නොකර සාමදානෙන් ඉන්න හොඳේ

    මීට දුකාගේ බිරීන්ද නදීෂා

    • නවම් පවසන්නේ:

      අනේ නදීශා අක්කේ මට නවම් කියාපු විදියටනම් ඔය අබේපාල මාම එච්චර හොඳ මනුස්සයෙක් නෙමෙයි. අවුරුදු උත්සවේ දවසෙ කඹ ඇදිල්ලෙන් හොර කලාලු. අනික මිනිහ අළුතින් පැලක් අටෝගන්න මේදවස්වල දත කනවලු. මේ මනුස්සයත් එක්ක එකතුවෙලා බිස්නස් කලොත් අර ගහෙන් වැ‍ටුන මිනිහට ගොනා ඇන්න වගේ තියෙයිද දන්නෙ නෑ. අනික ඔය මනුස්සය සාක්කුවෙ ලේනෙකුත් දාගෙන යනවලු [මහ අමුතු වැඩක් නෙ ඒක, කිති නැද්ද දන්නෙ නෑ ලේන දඟලනකොට]

      කොහොම උනත් අක්ක කියනව වගේ නිවාඩු වෙලාවට රට වටේ නඩලං ගහන්නෙ නැතිව කාමරේට වෙලා බ්ලොග් කොට කොට ඉන්න එකත් එක අතකට හිතට නිදහස් තමා. ඇස් මානෙ ඉන්නවනෙ. නැත්නං මේ මනුස්සයගෙ හැටියට ඔය රස්තියාදුවෙ යන්න පටන්ගත්තොත් බො‍රැල්ලෙ තැටියෙන් කන්න දෙන තැනින් මෙහා නවතිනව බොරු.

      මේ බ්ලොග් ලියන අයියල, මල්ලිලගෙ අක්කල නංගිල කියල තියෙන දේවල් කියෙව්වම තමයි තේරෙන්නෙ බ්ලොග් කරයෙක්ගෙ ගෑණියෙක් උනාම මෙහෙව් අකරතැබ්බවලට මූණ දෙන්නෙ වෙනව කියල. මං උන්නෙ මගෙ මනුස්සය විතරයි මහෙම අලුගුත්තේරු වැඩ කරන්නෙ කියල. බලං ගියාම කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු ඩිංග ඩිංග නෙමෙයි නැහැමින් තියනව වගේ.

  34. රංග පවසන්නේ:

    චූටි මැනිකෙව ශේප් කරලා ආයෙ එකවුන්ට් එක ඉල්ල ගනිං මචං

  35. මේ අක්කේ… ඔය මගේ කුමාරයා ඉන්නවා නේද… ඌ හෙන තක්කඩියා. බැරි වෙලාවත් මේ පෝස්ට් එකට දාලා තියෙන කමෙන්ට් දැම්මොත් මොනා වෙයිද කියන්න බෑ…

    මොකද හැම කෙනාම බ්​ලොග් ලියන උන්දැලාගේ වයිපර් නෙව. ඉතිං නම් ටිකත් ඔක්කොම දාලා… ඔය මගේ වෙන්ඩ මිනියා හෙන හොරා… ඒක නිසා ඌ සමහරවිට මඩක් ගහන්නත් බැරි නෑ… නවම් අයියගේ වයිප් නවම් අයියට , එයාගේ යාළුවන්ගේ වයිපර් ලාගේ නම් හොයලා දුන්නා කියලා….

  36. අමිල පවසන්නේ:

    බලන් යනකොට බ්ලොග් ලියන ඈයින්ගේ ගෑනුත් සෙල්ලම් නෑ නොවැ

  37. Pingback: ඇල්කෙමියාගේ රසායනාගාරය හයිඩ්‍රජන් සංවත්සරය සමරයි… කියවූ සහ ප්‍රතිචාර දැක්වූ හැමෝටම ප්‍රණාම

  38. Pingback: ඇල්කෙමියාගේ රසායනාගාරය හයිඩ්‍රජන් සංවත්සරය සමරයි… කියවූ සහ ප්‍රතිචාර දැක්වූ හැමෝටම ප්‍රණාම

  39. හොද හාමිනේ කෙනෙක් ඉන්නේ ඔන්න හාමිනේටයි නවම් අයියාටයි පොඩි පැටියාටයි සුබ අලුත් අවුරුද්දක් වේවා.

  40. kathandara පවසන්නේ:

    ලියවෙන ගෙතෙන කියවෙන හැම අකුරකම
    ලොකු බලයක් ඇතිය ඒ ගැන සැකය කිම
    බ්ලොග් කියවන ලියන හැමටම ලබන මෙම
    නව අවුරුද්ද ජයවේවා පතමි මම

    දාහක් හමාරක් තව ලිපි ලියවේවා
    කියවන අයගෙ ඇස් ඒ දෙස යොමුවේවා
    සැමටම එයින් හද තුල තුටු ඇතිවේවා
    සිංහල වියුණු අවකාශය බැබලේවා!

    -කතන්දරකාරයා

  41. සනත් පවසන්නේ:

    නවම් ඔබ ඇතුලු පවුලේ සැමට ලැබුවාවු අළුත් අවුරුද්ද සිත සතුටින් බරවන පැතූ පැතුම් ඉටුවන ඉසුරුබර සුභ අලුත් අවුරුද්දක් වේවා!

  42. Anushka පවසන්නේ:

    අක්කට කියන්න අක්කෙ මගෙ මිනිහා ඔය අනුෂ්කය…මං ගැන ඇරෙන්න අනික් හැම ගෑණි ගැනම කවි කෙටි කතා ලියල තියෙනවා අක්කෙ. මම් මේ පපුවෙ ගින්දරින් ඉන්නෙ ඒ ගැන. හැම දාම බොරු පොරොන්දු දිදී මග අරින මනුස්සයව ඔන්න මම යාන්තන් රෙජිස්තර් කොර ගත්තා. මේකා ෂුවර් නෑ අක්කෙ.

    අනේ අපේ මිනිහගෙ බ්ලොග් කෙරුවාව.. අවුරුද්දටම 10ක් ලියයි ඔන්න. ඔය නවම් අය්යගෙ වදේටම දැන්නම් මාසෙට එකක් වගේ ලියනවා. ඒ අතින් නම් එච්චර කරදරයක් නෑ. අනේ ඉතින් මට නම් මේ මිනිහව නලවගන්න බෑ අක්කෙ. දොඹකරයක් ගෙනල්ල තමයි නලවන්න වෙන්නෙ.

    මීට
    අනුෂ්කගේ ලියාපදිංචි බිරිඳ

  43. රොබින් පවසන්නේ:

    සුබ අලුත් අවුරැද්දක් වේවා සහෝ

  44. කල්හාර පවසන්නේ:

    අප්පා බ්ලොග් එක හැක් කරලා තියන කෙනාගෙ හැටියට නම් ලේසි වෙන්නෙ නැහැ……………….

  45. මිස්ටර් අන්ද මන්ද පවසන්නේ:

    මාර ඇටෑක් එක..

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

Follow

Get every new post delivered to your Inbox.

Join 71 other followers