උපන්දින කේක් ගෙඩියේ විගඩම
නොවැම්බර් 21, 2011 ප්‍රතිචාර 25
ඇන්ටී අනේ තව කට්ලස් එකක්…..
ජංගියකුයි කර හොඳටම ඇදිච්ච බැනියමකුයි ඇඳපු පොඩි එකෙක් අම්මගෙ සායෙ එල්ලිලා.
ඇන්ටී පපඩං තියෙයි ? තා පරිප්පු ඩිංගක්….. අනේ මට මාළු කෑල්ලක්….
ඔය වගේ දේවල් අඩු වැඩි විදියට හැම අවුරුද්දකම ඇහෙන්න මගෙ උපන්දිනේ දවසෙ හැන්දෑවට ගාල්ලෙ ගුණරතන ළමා නිවාසෙදි.
උපන්දිනේකට කිසිම දවසක පාටි දාන්න පුරුද්දක් නොතිබිච්ච අම්මයි තාත්තයි මගෙ එකම එක උපන්දිනයකටවත් කේක් ගෙඩියක් කැපුවෙ නෑ. පන්තියෙ අනිත් ළමයි තම තමන්ගෙ උපන්දිනේ දවසෙ පන්තියටම කේක් ගේනකොට මං මගෙ උපන්දිනේ දවසෙ හිස් අතින් ඉස්කෝලෙ යන්නෙ කිසිම දුකකින් නෙවෙයි. ඊට පස්සෙ එළඹෙන හැන්දෑව ගැන මතක්වෙලා හිත පිරිච්ච සන්තෝසයකින්.
එදාට මම ඉස්කෝලෙ ඇරිල ගෙදර යනකොට අහල පහල ගෙවල්වල කීපදෙනෙක් එක්ක අපේ අම්ම රාජකාරි පටන් අරගෙන, මුළු කුස්සියම පුසුඹයි.
හැන්දෑවෙ පහට විතර පටන් ගන්න කෑම පාර්සල් බැඳිල්ල තුන් හතරදෙනෙකුගෙ උදව්වෙන් හවස හය විතර වෙනකොට යාන්තං අහවරයි. ඊට පස්සෙ කුස්සියෙ පෝරණුවට උඩින් තියන කොන්ක්‍රීට් කෑල්ලෙන් බාල සෝදල වේලෙන්න තියාපු ප්ලාස්ටික් භාජන වලට ආයෙම අඩුපාඩු බෙදන්න කියල එළවළු, මාළු, පපඩම්, කට්ලට් මහ ගොඩක් පුරෝගන්නව. ඕං එතනින් කුස්සියෙ රාජකාරි අහවරයි.
ඊට පස්සෙ තාත්ත හීන් සැරේ පරණ වැගන් කාර් එකට පෙට්ටිවල අඩුක් කරාපු කෑම පාර්සල්, ප්ලාස්ටික් බකට් එහෙම පටවගන්නව. මමයි කියල මහ වැඩක් නොකලත් හැම එකකටම සම්මාදං වෙන්නෙ හරිම සන්තෝසෙන්.
හැන්දෑවෙ හය හමාරට විතර අපි ඔන්න ළමා නිවාසෙට යනව. අපි යනකොට පුංචි පුංචි කොළුපැටව් තාප්පෙ ගාව ඉඳලම පෝලිං ගැහිල ඉන්නව හරිම සන්තෝස මූණු වලින්. වාහනේ උන් ටිකව පහුහරන් ඉස්සරහටම යනකොට එක පෝලිමට දුවගෙන එනව. ඊට පස්සෙ වාහනන් බාන කෑම ඔක්කෝම එයාල කෑම කන ශාලාවට අරගෙන යන්නත් උදව් වෙනව.
ඊට පස්සෙ අපිත් එක්කම ඒ පොඩි උන් රොත්ත එනව බුදුන් වඳින්න. උන් මහා හයියෙන් ගාථා කියනව අපි කියනවටත් වඩා හයියෙන්. ඊලඟට විනාඩි දෙකක් භාවනා කරන්න ඕනෙ. විහාරගෙයි මල් මල් ටයිල් උඩ එරමිනිය ගොතාගෙන වාඩිවෙන පොඩි උන්ට ඒ විනාඩි දෙක කල්පයක් වගේ. දාන ශාලාවෙ ඉඳල හුලඟ එක්කං එන පුසුඹ උන්ගෙ නැහැයවල් කොණිති ගහනව ඇති. බැරිම උනාම එකෙක් දෙන්නෙක් හොරාට ඇහැක් විතරක් ඇරලත් බලනව.
ඊටපස්සෙ හැමෝම යනව දාන ශාලාවට. අපිටත් කලිං දුවල ගියපු කොලු පැටව් ටික අපි එතනට යනකොට පිඟන් කෝප්ප එහෙම අරගෙන වාඩිවෙලා දිලිසෙන ඇස්වලින් බලාගෙන ඉන්නව. උන්ට හරිම සන්තෝසයි. හිනා කටවල් ගොඩයි.
කෑම කාල බඩ පිරිච්ච සන්තෝසෙට ඒ පුංචි එවුන් ඊටපස්සෙ අපිට අහං ඉන්න සින්දු කියනව. ඒක හරිම ලස්සන, සංවේදී මොහොතක්.
මුලින්ම පොඩි උන් ටික කෑම කාපු ලොකු මේස බිත්තිය අයිනෙ එක පිට එක ගොඩගහනව වාඩෙවෙලා උන්න බංකු එහෙම්මම තියෙන්න ඇරල. ඊට පස්සෙ වාඩිවෙන බංකු එකකට එකක් හේත්තුවෙන විදියට ලොකු රවුමක් හැදෙන විදියට තියල රවුමෙ ඇතුල් පැත්තට කකුල් දාල හැමෝම වාඩිවෙනව. අපිත් ඒ අය අතරෙන් වාඩි උනාම රවුම ගානට හිර වෙලා.
ඊට පස්සෙ සින්දු කියන්න පුළුවන් පොඩිඋන් ඒ රවුමෙ මැදට ගිහිල්ල සින්දු කියනව, නටන්න පුළුවන් කොලු පැටව් නටනව. හරිම අපූරුයි. ඒත් පපුව කඩාවැටෙන තරං දුකයි. උන් එකෙක්වත් අඬන්නෙ නෑ. ඒත් උන් අසරණයි. ඒ අසරණ කම හංගං සින්දු කියල, නටල අත්පුඩි හගනකොට උන් තරමට අසරණ නැති අපි කිසිම කෙනෙක්ට නාඬා ඉන්න බෑ.
මට අද වගේ මතකයි එක කොලු පැටියෙක් වචන පටලව පටලව මෙන්න මේ සින්දුව කිව්ව.
අම්මාවරුනේ අම්මාවරුනේ
දරුවන්ගේ දූක් කඳුළු දකිනදා
සුරලොව සිට අතපා
ඒ කඳුලැල් පිසිනා
අම්මාවරු නැති දරුවන්ගේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
සංසාරේ මතු බුදු වන්නේ
සෙනෙහස වැඩිදා සිතද බොලඳ වේ
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ.
මං බලාගෙන අපේ අම්ම මූණ හංගාගෙන අඬනව. ඒ සින්දුව කිව්ව පොඩි එකා ඒ වෙනකොටත් හිනාවෙච්ච ගමන් මයි.
ටික ටික රෑ වෙනව. දැං පොඩි පැටට් ටිකට නිදිමතයි. එකා දෙන්නට ඈනුම් යනව. ඒ කියන්න අපිට ආයෙම ලබන අවුරුද්ද වෙනකං උන් ගෙන් සමුගන්න වෙලාව ඇවිල්ල.
අපි යන්න නැගිට්ටම උන් එක පොදියට වැටිල අම්මටයි තාත්තටයි දණ ගහල වඳිනව. ඒ හරියට තමන්ගෙම ගෙදරක අම්ම තාත්තගෙ උණුසුම විඳල නොතිබුණු උන්ට පැය කීපයකට හරි අම්ම තාත්ත උනාට පිං කියන්න වගේ.
එහෙම උපන්දින සමරපු මට ගම අතෑරල දාල කොළඹ ආවදා ඉඳල කාර්යාල සම්ප්‍රදායට අනුව මූනිච්චාවට සුභපතන ඈයො වට කරන් “හැපි බර්ත් ඩේ ටූ යූ” කියල ග්‍රීන් කැබින් කේක් කපල වැඩ ඇරිල යනගමං රෑට පාං ගෙඩියකුත් අරං ගිහිල්ල පරිප්පු හොද්දෙ පොඟවං කන්න වෙච්ච එක නම් ඇඬෙන, ලැජ්ජා හිතෙන විහිළුවක්.
ප.ලි : අද මගේ උපන්දිනේ නෙවෙයි, ඒවගේම උපන්දිනේට පෝස්ට් එකක් ලියන්නත් හිතෙන එකක් නෑ. [කිසිම ස්ථීර දෙයක් නැති ජීවිතේ]


බඩගින්න තියෙන කෙනෙක්ගෙ බඩ පුරවන එක කොච්චර හොඳද උපන්දීනේට බොරු විගඩම් නොකර.. එතකොට ආයි උපන්දිනේ එනක හිත පිරිලා තියෙනවා නවම් !
අපි ඔක්කොම ජීවත් වෙන්නෙ ඔය බොරු සෝබන සමාජෙ තමා.
ඔය ළමා නිවාස/වැඩිහිටි නිවාස කිව්වාමත් කොටස් 2ක් තියෙනවා. සමහර ඒවට අපි දානයක් දෙන්න නම් අවුරුද්දකට විතර කලින් දිනයක් වෙන් කරගන්න ඕනේ. හැබැයි වැඩි දෙනෙක් යන්නේ ඒවටමයි.
තව කොටසකට දානයක් ලැබෙන්නේ බොහෝම කලාතුරකින්. ඒ අය හරිම අමාරුවෙන් තමයි කෑම වේල් තුන හොයාගන්නේ!
මටත් ඔය වගේ අත්දැකීම් තියෙනවා. ඉස්සර අපේ අම්මා ඉගෙන්නුවේ ළමා නිවාසෙක…. ගෑණු ළමයි තමා හිටියේ.අර ඉෂාරා අක්ක එහෙම හිටියේ. එතෙන හැම කෙනෙක්ම අම්මලා එනකං බලාගෙන ඉන්නේ…
අපිත් මාතර සිරි මංගල පිරිවෙන කියන තැන, පවත්වාගෙන යන ළමා නිවාසෙට සහ මහලු නිවාසෙට ආධාර කරනව.
ඔය වගේ දෙයක් තමයි බං කෙරෙන්න ඕනෙ . . අපි උපන්න නය ගෙවන්නත් එක්ක . . .
කරුමෙට දැං සෝබනේට කේක් ගෙඩියක් කපල මූනිච්චාවට අතට අත දීල
‘හැපි බර්ත් ඩේ” කියන එවුං එක්ක උපන්දිනේ සමරන්න තමයි වෙලා තියෙන්නෙ . . . .
උඹේ පොඩිඋන්ටත් ඒ අත්දැකීමම විඳින්න දීහන් මලේ!
ලොකේ දැන් හැම දෙයක්ම මිනිස්සු කරන්නේ ශෝ එකට!මේ වගෙ දෙයක් ක්කරන එකෙන් ලැබෙන පින කොච්චරද?
මමත් ඔබ වගේ දානෙකට අවුරුදු ගාණක් සහභාගි වෙලා තියෙනවා. අපේ මාමගේ දුවගේ උපන්දිනේට අපි කිඳෙල්පිටියේ ළමා නිවාසෙට රෑ දානේ දුන්නා. කාලෙත් එක්ක ඒක මග ඇරුණත් නවම් සහෝගේ කථාව කියෙව්වම ඒ මතකේ අළුත් වුනා. ඔය කියපු ඔක්කොම අපිත් එදා අත්වින්දා… ඇත්තෙන්ම හරිම සංවේදීයි. මේ අවුරුද්දේ හිටපු පොඩි එකා ඊලඟ අවුරුද්දේ යද්දී ලොකු ඉළන්දාරියෙක් වෙලා… ! පුදුමේ කියන්නේ උන්ටත් අපිව මතක තියෙන එක…
උපන්දින සම්ප්‍රදායේ මමත් නෑ. පහුගිය උපන් දිනෙන් පස්සේ කේක් කපන සැමරුම් උපන්දිනයෙන් මම අයින් වුනා. අනික දැන් පාටි දාලා සමරන්න තරම් සතුටක් අපේ උපන් දින වල තියෙනවා යෑ. දැන් මරු කටට නොවැ හැරිලා ඉන්නේ. යන තැනකට වැඩක් කරගන්නයි ඕනේ දැන් ඉඳන්ම…
අපි ඉන්න බෝට්ටුවෙ යන තව කට්ටිය ඉන්නවා එහෙනම්,
http://cyberyaya.blogspot.com/2011/05/blog-post.html
ලබන වසරේ සිට අප ගම් ප්‍රදේශයේ (මත්තේගොඩ ) ළමා නිවසයකට පාටි දෙකක් ලැබෙනු ඇත. බ්ලොග් පෝස්ට් එකකට බොහෝ දේ කල හැක.
after long time some tear on my eyes
ලංකාවේ ඉන්නකන් මගේ උපන් දිනේටත් ඕකම තමයි කලේ.. ඊට පස්සේ ලම්න්කවට යනකන් උපන්දිනේ කල දාල එත් ළමා නිවාසයට ගියා. මගේ එක කතාවක ලියල ඇති සිදුවීමෙන් මගේ හිට කලකිරුණා ඒ තැන්වල ඉන්න ය බොහොමයක් හොරු ! එහෙමයි කියල අසරණ දරුවෝ මොනවා කරන්නද ?
උපන්දිනේ දවසට පාර්ටි දාලා කාලා බීලා නටලා විනෝද වෙනවට වඩා මෙහෙම දෙයක් කරන එක ලොකු පිනක්.
අයියා පුතු පැටියගෙත් උපන්දිනේට මෙහෙම කරන්න.
මම අන්තිමට උපන්දිනයක් සැමරුවේ මට වයස අවුරුදු පහේදී එදයිං පස්සේ අද වෙනකම් මම උපන්දිනේකට කියලා මෙලව මගුලක් කරලා නෑ . මට ඒ දවස මතක් වෙන්නෙත් මේ මූනු පොත නිසාම විතරයි ..
ජෝගි නටනවාට වඩා බඩගිනි කාරයෙකුත් බත් වේලක් දෙන එක කොයිතරම් හොඳයිද
අපෙ තාත්තගේ අවුරුද්දේ දානේ දෙන්නත් අපි තෝරාගත්තේ ළමා නිවාසයක් . හැබැයි දානේ බෙදන්නේ අපි . මොකෝ කීවොත් ඒකේ පාලිකාව හරි කට්ටයි . එයාගේ ළමයින්ව ඒ ළමා නිවාසේ ඇතුලේම තියාගෙන හොඳට ගිල්ලවනවා . ඒක නිසා අපි හැම ළමයටම කෑම බෙදලා එයාල කන තුරුත් ඉඳලාම තමා එන්නේ
පහුවෙච්ච උපන් දිනයෙන් උදා වූ වසරට සුබ පැතුම් නවම් මල්ලී!!!
[කිසිම ස්ථීර දෙයක් නැති ජීවිතේ] ඒත් මැරෙන තෙක් ජීවත් වෙන එක ස්ථිරයි නේ!!
ලස්සනට ලියල තියෙනව.
ළමා නිවාස වලට කෑම වේලක් දෙන එක ඇත්තටම සත්ක්‍රියාවක්…විකාර පාටි වලට වැඩිය….ඒත් මට බෑ ඒ වැඩේ කරන්න….මේ ලෝක ළමා දිනය වෙනුවෙන් වත් ලියපු සටහනකට මගේ ටීකාව ( ටීකාව = Comment )
/ළමා නිවාසයකට කවද හරි ගිහින් තියෙනවද?…….මම ගියා එකම පාරක්…..මගෙ උපන් දිනේකට ආහාර වේලක් පරිත්‍යාග කරන්ට…….ඒ එදා එදාමයි…..මම එන ගමන් බිරිඳට කිව්ව…” ආයෙ මට එහෙම කතා කරන්ට එපා එහාට යන්ට……සල්ලි ඕනනම් යවන්ට” ඒ තරමට ඒ ආදරය යදින අහිංසක දෑස් මගෙ හද සසල කලා……ඇත්තටම මල් කැකුළු රැසක් නේද මේ අකාලයෙ පරවෙලා යන්නෙ කියල හිතනකොට …………ලොකු වැරැද්දක් වෙනව ඇස් පනාපිට පෙනෙනව, ඒත් අපට ඊට විරුද්ධව කටයුතු කරන්ට ශක්තියක් නැති උනාම …..අත පය බැඳල දාල වගෙ උනාම හිතට දැනෙනෙ ඉච්ඡා භංගත්වය …අසරණ හැඟීම….. දැනිල තියනව්ද කවදක හරි? /
/ මට අන්න ඒ හැඟීම දැනුන මදිය නොකියන්ට…….ජීවිතේටම ඒ එක පාර ඇති……මගෙ හදවතට ඒක දරා ගන්ට අමාරුයි…….අනේ, ආයෙ පාරක් නම් කොහෙත්ම බෑ……../
ප.ලි. – කවද හරි කමක් නෑ, මලේ උඹටත් ඇතිනෙ බොල උපං දිනෙයක්ය කියාල එකක්….හෙහ්, හෙහ්, අන්න එදාට මේ සුබ පැතුම!!!!
එහෙම අසරණ ලමයිවත් විකුණන් කන තැන් ඕන තරම් තියෙනවා.. අපිටම හම්බුනා එහෙම තැනක්.. ගෙනියන කෑම ඉන්න උන් පොඩි බැඳ ගන්නවා.. ඒ ළමයි බාගෙට බඩගින්නේ.. ඒක දැක්කාම තවත් දුකයි..
පොඩ්ඩි පොඩි කාලේ අත්තම්මත් ඔය විදියට ලමා නිවාස වලට කෑම දුන්නා පොඩ්ඩිගේ උපන් දිනේට. පොඩ්ඩිත් ඒ ලමයි එක්ක හරි හරියට දැඟලුවා. ගෙදර ගිහින් බර ප්‍රශ්නත් ඇහුවා. ඒත් හිත වාවන්නේ නැති ඇත්ත විස්තර දන්නේ දැනුයි. සල්ලි ගොඩාක් විසි කරලා පාර්ටි දානවට වඩා මාත් ඔය වැඩේට කැමතී.
පානදුරේ තියෙනවා අරුණ කියල ළමා නිවාසයක්…අපිත් ඒකට දාන දෙනවා..මේ වගේම තමයි…..
දුක් සීන් තමයි ලයිෆ් එක කියන්නේ…ගනං ගන්න එපා ….
එහෙම උපන්දින සමරපු මට ගම අතෑරල දාල කොළඹ ආවදා ඉඳල කාර්යාල සම්ප්‍රදායට අනුව මූනිච්චාවට සුභපතන ඈයො වට කරන් “හැපි බර්ත් ඩේ ටූ යූ” කියල ග්‍රීන් කැබින් කේක් කපල වැඩ ඇරිල යනගමං රෑට පාං ගෙඩියකුත් අරං ගිහිල්ල පරිප්පු හොද්දෙ පොඟවං කන්න වෙච්ච එක නම් ඇඬෙන, ලැජ්ජා හිතෙන විහිළුවක්.
මේක නම් සිරාවටම ඇත්ත බන් අයියේ….
හැම ප්‍රතිචාරයකටම බොහොම ස්තූතියි, මේ දවස් වල පොඩ්ඩක් වැඩිපුර වැඩ. ඉතිං ලැබෙන විවේකයෙ තව කාගෙ හරි බ්ලොග් පෝස්ට් එකක් කියවන්න තමා යොදවන්නෙ.
ආස හිතෙන කතාවක්. ලස්සනයි. සංවේදී. ඔහොම තමයි මචං ජීවිතේ…
හ්ම්ම්ම්ම්ම්ම්ම්….. සංසාරෙන් මිදෙනකන් අපිත් එක එක භවයන් වල මේ වගේ ඉපදෙන්න වෙනවා බං.සංසාරෙන් එගොඩ වෙනකන් දුක තමයි…