එහෙමත් කාලයක් හැබෑටම
ජූලි 21, 2012 ප්‍රතිචාර 60
බහින්නයි කිව්වෙ ලොවි ගහෙන් !! දොරකඩ ගහෙන් කඩාගනිපු හීනි පේර කෝටුවත් උරුක් කරගෙන ලොවි ගහේ කොළ වලට බනින ආච්චිගෙ ඔළුගෙඩිය විතරයි මට පේන්නෙ. ගිණි මද්දහනෙ අව්ව හරියටම එයැයිගෙ තෙල් ගාල තදකරල බැඳපු කොණ්ඩෙට වැදිල එහෙ මෙහෙ වීසිවෙනව. හරියට අර ටී වී එකේ හවසට පෙන්නන සින්දුවල කැරකෙන කණ්නාඩි කෑලි අල්ලපු ව්ලිය වීසිවෙන වීදුරු බෝලෙ වගේ. මෙච්චර කාලයක් උන්න මං මෙහෙම විජ්ජාවක් දැකල තිබුනෙ නෑනෙ. දැං මං එකපාරක් කිව්ව නේද බහින්නෙයි කියල, මට කෝලං කරන්න වෙලාවක් නෑ මෙතන… ඒ පාරනං ආච්චිට කේන්ති ගිහිල්ලද කොහෙද, නැත්නං මක්කටෙයි අර පේර කෝටුවෙන් අත මායිමේ තියන ලොවි කොළ වලට ගහන්නෙ. දැං බැසොත් නං ආයෙ දෙකක් නෑ හොඳවැයිං කෝටු පාරවල් තුන හතරක් වදිනව පළු නඟින්න. දෙණියෙ වෙලේ වතුර බිබුලට පැනපු දවසට වඩා අද නං ආච්ච්ට කේන්ති ගිහිල්ල. ඒ කියන්නෙ මෙදා පොටේ පස්ස පැත්තටත් වදිනව. මට හොඳට මතකයි ඇඩ්ඩිං මාමලයි අහ පැලමද කන්න ගිහිල්ල පොල් උල කකුල උඩ අතෑරගත්ත දවසෙ ලෙඩා කියල බලන්නෙ නැතුව පළු නඟින්න දුන්න පාර. හපෝ ආයෙම නං එහම එකක් කන්න බෑ. ඩිංග වෙලාවක් නොහොල්මනේ ඉන්නකොට ආච්චිගෙ ගමං වේගෙ එහම යාන්තමට බාල උනා. කෝට්ට වැනිල්ලත් නැවතිලා.. කරදර නොකර බහින්න දරුවො කියන එකක් අහල…. ආ.. ඔය එන්නෙ.. ආච්චිගෙ කේන්තිය නිවීගෙන එන්නෙ.. ඒත් දැන්ම බහින්න නරකයි. තා ඩිංගක් ඉන්න ඕන. එයැයි දන්නව කේන්ති අරං මාත් එක්ක මෙලෝ දෙයක් කරන්න බැහැයිය කියල. පුතේ.. කෝ බහින්නකො කිව්වම. ඊයෙ සීය ගෙනාපු තල්සූකිරි මුලත් ඇති. යං… හෙහ් මං අහුවෙයි ඕවට. චූටි අම්මයි මායි ඊයෙ හැන්දෑවෙමයි ඒකට වගකිව්වෙ. ඒත් ඒ වගක් මෙතන කියන්න නරකයි. එහෙම උනොත් ආයෙම පරළවෙන්න බැරි නෑ ආච්චි. කෝ කෝ මගෙ හොඳ පුතානෙ. බහින්නකො ඔය ගහෙන්, ඔන්න තව වෙලා ඉඳල දිමිගොට්ටක් එහෙම ඇවිස්සුනොත්……. ආච්චි දන්නෙ නැති උනාට දැනටමත් එක දිමිගොට්ටක් යාන්තමට ඇවිස්සිලා එක එකා මගෙ කකුල දිගේ නඟිනව. දඟලන්නත් බෑ තවත් එවුන් ඇවිස්සෙයි කියන බයට. කලබලේට බහින්නත් බෑ ආච්චිගෙ අතේ තියන කෝටුව දකිනකොට. ඒකෙන් වැදිච්ච පාරවල් මතක්වෙනකොට දිමියං කෑම සනීපයි කියල මං වගේම චූටි අම්මත් හොඳට දන්නො. දැන් වෙලාව හොඳයි වගේ මගෙ ඉල්ලීම ඉදිරිපත් කරන්න.. මට ආයෙම මල් කපන්න ඕනෙ, නැත්නං බහින්නෙ නෑ නෑ මයි. මම පොඩ්ඩක් සද්දෙ දාල ලොවි අතු හොලවල එහෙම කිව්ව. අනේ පුතේ මල් කැපුවම කැතයිනෙ. ලස්සනටනෙ ගස්වල මල් පිපෙන්නෙ.. හා එහෙනං පුංචිමාම කපන්නෙ, එයැයිට විතරක් හොඳයි ? අනේ දරුවො ඒ කිතුල් මල් නෙ. අනික ඒව කපන්නෙ පැණි ගන්නනෙ. ඒ උනාට කමක් නෑ මටත් මල් කපන්න ඕන, මට ඇහැක අර තඩි කිතුල් ගස් බදන්න. ආයෙම අයිලෙ පදින යකා වගේ මහ හයියෙන් ලොවි අතු හොලවල කිව්ව. පුතේ නටන්න එපා. ඔතන දි !!! ආච්චිට කියල කට ගන්න හම්බු උනේ නැ මහා දිමි සේනාවක් කඩං වැටුන මගෙ ඔළුවෙයි කං වලයි අත පයෙයි. කනව කනව ඉවරයක් නෑ. පිහිදානකොට අහුරු අහුරු අතට අහුවෙන්නෙ.. කාණ්ඩයක් මගෙ මූණ කනව තව කාණ්ඩයක් කං කනව, තව එවුන් තව තව නා නා ප්‍රකාර තැන් කනව. බුදු අම්මෝ , ඉන්න බැරියෝ. කනවෝ කනවෝ.. සරබරාස්…….. දඩහ් !!!!! ගහෙන් පෙරලිච්ච මං නතර උනේ තිලේ අම්ම කපල මට්ටන් කරල හදල තිබිච්ච රත්මල් පඳුරු වැට උඩ !! අම්මෙහ්…. ආහ්….. මල් පඳුරු අස්සෙ හිරවෙච්ච හිරවිල්ලට හෙල්ලෙන්නවත් බෑ මට. ඇත ඇත….. මේකගෙ නාහට නාහනකොම තරමට නෙමෙයි. දැං ඉතිං උහාන පලකො කංකානං ගෙදර. මට නං තවත් බෑ මේ සුම්මක්කරේ කොරන්න. ඉන්න දීපංකරේකින් තාත්තණ්ඩිට ඇවිල්ල එක්ක යන්නෙයි කියනො. ආච්චි මට පලු යන්න බැන බැන උස්සල ගත්ත හිරවෙලා උන්න රත්මල් පඳුරු ගොඩෙන්. හරි හරි.. ඕකට කෑගහන්න ඕනෙයි. ඔය ළමය ඉන්නෙ යහතිං. ඔහෙටත් කුඩුහම කැඩුනම ඇති ගම දෙවනත් කරන්න. සීයා ඔප්පු මිටිය අස්සෙන් බලන ගමන් කිව්වෙ නිකං ඔලොක්කුවට වගේ. සීයයි මුණුපුරයි ඕන කෙංගෙඩියක් කරගනන් එකයි, මං නෑ ආයෙ ඇහැක් ඇරල බලන්නෙ දෙකට පැළුනයි කිව්වත්. හොඳටෝම කේන්ති ගිහිල්ල හිටිය ආච්චි බුරුල් වෙච්චි කොණ්ඩෙ දකුණු අතින් පටලෝල ගැටයක් දාගෙන කුස්සිය පැත්තට යනගමන් කියාගෙන ගියා. මොකෝ පුතේ අච්චිත් එක්ක ඔට්‍ටුවෙන්න ගස් නැග්ගෙ. මං ගස් නැග්ගෙ මගෙ උවමනාවට නෙමෙයි. සීයහෙ ඔපීසි කාමරේ තියන අළුත් ගෙයි දිග පඩිය උඩ වාඩිවෙලා තැලුම් අතගාන ගමන් මං කිව්ව. එහෙනං ? ආච්චි මං පස්සෙන් එලවන්න ගත්තනෙ සීයෙ. ඒ මදිවට අර හීනි පේර කෝටුවකුත් අතේ. හෙහ් හෙහ් හෙහ්.. ගාල හිනවෙච්ච සීය ඔළුව වැනුවෙ හරියට “ඊටපස්සෙ” කියල අහන්න වගේ. ඉතිං මං සුරුස් ගාල පස් කණ්ඩියට නැඟල එතනින් ලොවි ගහට මාරු උනා. හ්ම්…. මොකෝ එතකොට ආච්චි එලෝගෙන ආවෙ ? ආ.. මේ අර එයැයි වවාපු බිං ඕකිඩ් පඳුරුවල හැදෙන මල් කැපුවයි කියලනෙ. මං වැඩිය ගානකට ගන්නෙ නැතුව කිව්ව. මක් කිව්ව ? අර අහවල් දෙයකටද මල් කපන්න ගියේ ? පැණි ගන්න. පැණි කොහෙන්ද ඒවයෙ. පැණි තියෙන්නෙ කිතුල් මල් වල නෙව. ඉතිං සීයෙ මට ඇහැක අර විසාල කිතුල් ගස් බදන්න. ඒකනෙ මං ඇහැක් විදියට බිම තියන එකක් කැපුවෙ. ආච්චි ඒකත් එපාලු. හ්ම්ම්.. ඒකත් හැබෑව. පුතාට ඇහැක කිතුල්ගස් බඩගාන්න. හැබැයි ඉතිං එහෙමයි කියල මිදුලෙ වවල තියන මල් සේරොම ටික වනසල දැම්මම හරියන්නෙ නෑ නෙව. අපි මෙහෙම කරමු. මං පුතාට කපන්න මලක් හොයල තියනං. ඒකට ඩිංගක් වෙලා යනවනෙ. එතකං හොඳ දරුව වගේ චූටි අම්මත් එක්ක ගිහිං ඔය දිමියං කාපු තැන්වල මක්ක හරි ගාගන්නකො. +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ දිමියං කාපුවට බෙහෙත් කරන්න ගිහිල්ල වෙච්ච විනම්බෑසිය ලියන්න තවත් පෝස්ට් එකක් ඕන කරන හන්ද ඒ චැප්ටර් එක ස්කිප් කරල පැය හතරක් විතර ඉස්සරහට පනිනව කතාව මෙතන ඉඳං. [ඒ කතාව ටික පස්සෙ වෙලාවක ලියන්නම්] +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++ ආ.. අන්න හරි. මලක් තියනව හිතේ හැටියට කපන්න ඇහැකි යං. එහෙම කියපු සීය මගේ අතින් අල්ලං ගියේ පේර ගහ ලඟට. පේර මල් කපන්න බෑ සීයෙ. ඒව චූටියි, අනික නැට්ටෙන් සුටුස් ගාල ගැලවෙනව ඒව. පේර මල් නෙමෙයි. ආං අතන බිමට නැවිච්ච අත්තෙ…. අඩේ.. මෙන්න කිතුල් මලක් වගේ එකක් කොළපුවත් එක්කම කහපාටට පේර ගහේ එල්ලෙනව. ඒ මොකක්ද සීයෙ ඒ, එච්චර විසාල මල් කොහෙද පේර ගහේ. දුවල ගිහිල්ල බැලින්නං සීය අඩි එකහමාරක් විතර පුවක් මලක් ගෙනැල්ල පේර කඳට තියල ගැටගහල. එවෙලෙ මට ගියපු සන්තෝසෙ. මං සීය දිහා බලල හිනාවෙච්ච හිනාවිල්ලට තා ඩිංගෙන් කට කනේ ගැවෙනව. හෙහ් හෙහ්. එදා ඉඳල දෙතුන් දොහක් යනකං මයෙ රාජකාරිය උනේ පහල ගෙදර පුංචි මාම ගස් මුට්ටියත් අරං කිතුල්ගස් බඩගාන ජාමෙට මාත් පොල්කට්ටක් විදල ලණුවකින් ගැටගහල හදාගත්තු මුට්ටි පොඩ්ඩක්ත් අරං අර පේරගහේ පීදිච්ච පුවක්මල කපන එක තමයි සීයගෙ දුණු පිහියෙන්. මයෙ හිතේ අව්වට වේලිලාම පුවක් මල් කිණිති හැලෙනකන්ම මං මල් කැපුව.

අයියේ, උඹෙ අත් දෙකනම් කැවුන්ම් වලින් තවන්න ඕනි බන්! හරි අපූරුවට පද ගලපනවා
එදා හැන්දෑවෙ කැවුං වලින් නෙමෙයි උණුවතුරෙන් තවල තෙල් ගෑව කියල නං මතකයි අර ගහෙන් වැටිච්ච පාරට. හෙහ් හෙහ්
නවම්……
මල නොතලා මල් පැණි බොන සමණළයෙක් මං උනාද ඊට පස්සේ
ආයෙත් අහල, මං පැණි බිව්වට මල් තැළුවෙම නෑ
පස්සෙ කාලෙක නවම් මල් ඔතලා, පැනි බොන්න පටංගත්තා
නියමෙටම දෙබස් ගලපලා ලියලා තියෙනවා කතාව… ඒක නෙමේ අර මැද්දෙන් ඔබපු කෑල්ලට මාගේ විරෝධය… ඒ ටිකත් ලිව්වනම් තව ලස්සනට තියෙයි…. විශිෂ්ටයි.
ඒක නෙමේ මේ අත්දැකීමක්ද ප්‍රබන්ධයක්ද කියලා හිතාගන්න බෑ….
ඒ කෑල්ල මැද්දෙන් එබුව නම් මේක මහා පතරංගයක් වෙනව. කියවන අය බාගටක් කියවල අතෑරල දායි. මේ කතාවෙ සැකිල්ල මගේ අත්දැකීමක්. පොඩි පොඩි කොටස් අතිනුත් දාන්න උනා සැකිල්ල පුරවන්න. දෙබස් වගේ දේවල්.
/ ආච්චි දන්නෙ නැති උනාට දැනටමත් එක දිමිගොට්ටක් යාන්තමට ඇවිස්සිලා එක එකා මගෙ කකුල දිගේ නඟිනව. /
ඒයි උඹ අහල තියද එල සිංදුවක් තියනව, අපි ඔය නකතං වෙන්ට වැදුනම සද්ද නගල කියන එකක්….
දිමියකු ආවයි කකුල දිගේයා,
ඇවිදින් කෑවයි දකුණු …….,
ඉදිමී ආවයි……….සේමා,
……… හමාරයි මගේ පණේයා.
ලල් ලල ලල, ලල් ලල ලල,ලල් ලල ලල ලලා ලලා
ලල් ලල ලල, ලල් ලල ලල,ලල් ලල ලල ලලා ලලා
හෙහ් හෙහ්. ආයෙ ඕව අහපු නැති කාලයක් යැ අපි පහුකලේ. ඔයි සිංදුව අපේ කෙමෙස්ට්‍රි ලැබ් එකේ මේසෙකට තට්‍ටු දදා කියල තව ඩිංගෙන් ගුටිත් කනව.
අඩේ රවි,
ඔන්න අපේ වර්ෂන් එක
බඹරෙකු ආවයි කකුල දිගේයා
ඇවිදින් විද්දයි දකුණු ..ටේයා
ඉදිමිලා ආවයි පොල්ගෙඩි සේයා
මැක්සල් බැන්දයි වැඩක් නැතේයා
තව තියෙනවා
ඈත හිමේ වෙද ගෙදරට ගියාදෝ…
මට ඒ ටික මතක නෑ.
නවම් උඹේ ලියවිල්ල නම් සුපිරියි. මටම වුනා වගේ දැනුනෙ.
ඒ බං හෙන්රි ….ඕකෙ ඔරිමජිනල් එක ඇවිල්ල හිට….. කඩියකු ආවයි……
මම මේ නවමගෙ දිමි සීන් එක නිසා එතෙන්ට දිමියෙක් ආදේස කලා ……එපමණයි
ඈත හිමේ වෙද ගෙදරට ගියාදෝ,
වෙද හාමිනේ තෙල් ගා අත ගෑවාදෝ,
…… …… …….. …… ආවාදෝ,
….. …….. ……… ….. ගියාදෝ,
හප්පට සිරි… ටැංක්යූ රවී.
අර 3 වෙනි 4 වෙනි පේලිවල ඔය තරං අසභ්‍ය වචන තියෙනවද, ඔය හැටි තිත් ඉරි දාන්න? :ඪ්
එහෙනං, කැරකිල..
ලල් ලල ලල, ලල් ලල ලල,ලල් ලල ලල ලලා ලලා
ලල් ලල ලල, ලල් ලල ලල,ලල් ලල ලල ලලා ලලා
ඈග් !! අපි දැනං උන්නෙ පලවෙනි පේලි හතර විතරයිනෙ. බලං ගියාම හොඳ හොඳ සෙල්ලං තියෙන්නෙ ඉතුරු කවි ටිකේනෙ.
වෙදහාමිනේ කිව්වම මට මතක් වෙන්නෙම රෙබකා නිර්මලී
ඒ ඉදිමිච්ච ඉදිමිල්ලටද මංද තාමත් ඔය ඇවිදිනකොට පොඩි බකලයක් තියෙන්නෙ. හෙහ් හෙහ්….
කපන්න මලක් ඉල්ලනකොටම මට මතක් උනේ ඔයවැඩේ කලානං හරි කියල. අංශක 45ක විතර ඈන්ගල් එකකට තිබුන පැල පොල්ගහක මාත් පොඩිකාලෙ මලක් කැපුව.
-රාජ්
අඩේ එහෙනං ඒකෙන් පැණිත් එන්න ඇති. මං කැපුව මලෙන් ආවෙ පුවක් පැණි
පොඩි කාලෙ ඉඳන්ම ඔය පෙන්නුම් කරලා තියෙන්නෙ?
මොකක්ද ?
මගේ ඇඟ හිරිවැටුනා දිමියෝ කන විදිහ මතක් වෙලා.
තායිලන්තෙද කොහෙද නං කනව කියන්නෙ යන්තම් තෙලට දාල අරගෙන….
හපෝ උං ඇඹුලයිනෙ, තායිලන්තෙ උන් නෙවෙයි මෙහේ උන්
මල් කපලා රා බොන්ඩ තියෙන පුරුද්ද පොඩි කාලෙ ඉඳලම තිබිලා තියෙනවා එහෙනම් !
දැන් රතු දත්ත පොතට යන ජොබ් එකක්නේ ඔය… නරකද ආයෙම වැඩමුළු එහෙම තියලා අයියා ඕක නග්ගලා ගත්තොත්… අපිත් ඉන්නවනේ සපෝට් එකට…
සුදර්ශි ශාලාව ලඟ තියන කිතුල්ගස් නම් මදිනව කියල මට කවුද කිව්ව. වෙනී අයිය විස්තරේ දන්නව ඇති
මලක් “ගහන්න” ආසාවක් ආවේ නැතෙයි?
පූසා, කට කට!!
සමාව භාජනේකට!
හෙහ් හෙහ් සීය ගහල දුන්න මල තමයි මං කැපුවෙ
හරිම රසවත්!!! මටත් මගෙ සීයා මතක් වුනා … ඔයාගෙ සීයා වගේ ම කෙනෙක්.
අපේ සීය අහස කඩං වැටෙනව කිව්වත් කලබල නොවෙන ඒ වගේම ඒකට උත්තරේකුත් හොයල දෙන ජාතියෙ කෙනෙක්.
යකෝ ගිය පාර නිවාඩු ගිහින් මාස දෙකකට කිට්ටු කාලයක් හිටියා . . . නිවාඩු දවසෙම ඇවිත් මාව එක්ක ගිහින් වඩාගෙන වත්ත වටේ දෙන්නත් එක්ක ඇවිද ඇවිද අල තෙල් දාපුවත් එක්ක බත් කවපු පුංචි ආච්චිව ( තාත්තගේ පුංචි අම්මව )යි ආතවයි බලන්න යන්න බැරි උනා නොව . . සික් . . හරි දුකයි බන් . . .
මේක කියෙව්වාම පුදුම දුකක් දැනුනේ ඒක මතක් වෙලා . ..
අද හෙටම කෝල් එකක් වත් දෙන්න ඕන . . .
ගොඩක් වෙලාවට ඔහොම දේවල් වෙනව දුකා අයියෙ. ඒ දේවල් මඟෑරුනා නේද කියල කල්පනාවෙන්නෙත් ගොඩක් පහුවෙලා. ඕක මටත් ඔහොම්මම තියනව.
maru maru ekanam. ane nawam ara sambawya ewwa epa appa. mewwa odai eeta wada
හෙහ් හෙහ්.. හා හා බලමුකො
මේකා ඒ දවස්වල ඉදලම මල් කපලනේ.
හැබෑටම ඔහේ මල් කපන්න ආසෙයි ???
ආසාව තිබුනට එකටත් සාත්තරේ දැනගන්න එපැයි මලේ.
හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ කියන්නේ මේවට තමයි
අප්පටසිරි, දැං එතකොට හැදිල තියෙන්නෙ මොන වගේ ගහක්ද බීටලේ ?
නවම් කොල්ල රත්මල් ගස් ගොඩට වැටිච්චී
ඉනේ තිබුන සරම් කොටේ ඔලුවේ එතිච්චී
ඒ මදිවට දිමි ගොට්ටත් පුකට වැටිච්චී
පඳුරේ තිබුණු කොටු බෝටු පුකේ ඇනිච්චී
හක හක පුකේ ඇනිච්චී
(සැ යු.. : පුක යනු සරීරාවයවයක් මිස කුණු හබ්බයක් නොවේ යයි පරිනත බ්ලොග් ගොබිලෝ පවසා ඇත. )
ආච්චිත් බයවෙන්න ඇත්තෙ අර කපාපු රත්මල් කෝටු ඇනුනද කියල වෙන්න ඇති. ඒත් හොඳ වෙලාවට හිට උනා මිසක් ඇනුනෙ නෑ එකක්වත්. ඒකටත් හරියන්න දිමියො කෑව.
//පඳුරේ තිබුණු කොටු බෝටු පුකේ ඇනිච්චී//
මේක දැක්කම මතක් උනේ,
ජිම් පප්පා ජිම් පප්පා ලිඳේ වැටීලා //
ලිඳේ තිබුන කෝටු බෝටු පුකේ ඇනීලා //
ඕක ඉස්කෝලෙ පොඩි පන්තිවලදි කොල්ලො කියාපූ කවියක්. මොකට කිව්වද, තවත් පද තිබුනද කියලනම් මතක නෑ.
දෙපෙත්තෙං නෙමෙයි බීටුලුස් මූගේ නං දෙපැත්තෙන්ම පෙන්නුං කොරල තීනො…….උඹත් එහෙනං මලක් කැපුව නේහ්… පැනි එන්න බැන්ද බෙහෙත මොනාද බං…..
මං නං බෙහෙත් බැන්දෙ නෑ බං. ආයෙ පුවක් මලේ මොන පැණිද, පුංචිමාම නං ගැට දොඩං, රතු ළූණුයි තව මොන මොනවද දාල පොට්ටනියක් හදනව කියල මතකයි, පෝස්ට් එක ලියනකොටම හරි බෙහෙත හදාගන්න විදිය හොයාගන්න ගූගල් කලා, ඒත් හම්බු උනේ නෑ.
ඇයි බං ඔච්චර කපලත් තෙලිජ්ජ ජුංගිත්තක්වත් පෙරා ගන්න බැරි උනැයි උඹලට..?
මේ පුවක් මල් වල මොන තෙලිජ්ජද බං අයියෙ. හැබැයි පුංචි මාම මැදපු කිතුල් ගස් තුනේන් නං ගොඩක් වෙලාවට තෙලිජ්ජ වීදුරුවක් හම්බුවෙනව මැස්සොත් එක්කම.
මට අදටත් මතකයි පුංචි මාම බොන තෙලිජ්ජ වීදුරුවෙ ඉන්න මැස්සො එයාගෙ තඩි පොල් උඩුරැවුලෙ රැඳෙනව. ඊට පස්සෙ හිනාවෙලා ඇඟිල්ලෙන් රැවුල පිහිදානව.
මේව මතක් වෙනකොට ආයෙම හිතෙනව “එහෙමත් කාලයක් හැබෑටම” කියල.
කාලෙකින් මම මේ බ්ලොග් එකේ ආසා කරපු කතා විලාශය,,කොහෙද මෙලෝ දෙයක් නොතේරෙන දේවල් නේ පහු ගිය ටිකේම ලිවුවේ, නොතලා මල් කපලා රා බොන්ඩ පොඩි කාලේ ඉදල පුරුදු වෙලා නේ
ඈ ඩිලා, බලං ගියාම මොකෙක්වත් මගෙ අපභ්‍රංස පෝස්ට් වලට කැමති නෑ වගේනෙ බං.
නෑ නේන්නං… මෙන්න මේවනේ පෝස්ට්!…… හරිම ලස්සනට ලියවිලා තියෙනවා…
අපි ආස කරපු අපේ පොඩි කාලේ…
ලස්සනට ලියැවිලා තියෙනවා බං~
ස්තූතියි සාබිත්
ලියද්දි උපමා භාවිතය, සහ ව්‍යවහාරය ගැන මමත් උනන්දු හන්දද කොහෙද මට අද නවම්ගෙ පෝස්ට් එක රසයෙන් ඉතා ඉහලයි!!
/ආයෙම අයිලෙ පදින යකා වගේ මහ හයියෙන් ලොවි අතු හොලවල කිව්ව./
ආයෙ කවර කතාද?
අර රංගි කියන්නහෙ වැටෙන්ඩම ලියල…!!!
හම්මෝ ජනූ උඹ හොඳයි කිව්වොත් ආයෙ ඒකෙ අහන්න දෙයක් නෑ. තැන්කූ තැන්කූ.
ජනූ දැකල තියනවද යකා අයිලෙ පදිනව. ඒක බලන්න වටින වැඩක්. රෑ තිස්සෙ තොයිල් බලල එළිවෙන පාන්දරට එන කං පාත්වෙන නිඳිමත කොහෙන් ගියාද නෑ යකා අයිලෙ පද්දනකොට කුණුහරුප විමානයක් කියාගෙන.
මොකෝ කියන්නෙ නවම් අයියා පටන් ගමුද සයිඩ් බිස්නස් එකක් පුවක් රා
ඇයි පුවක් වයින් ??
ඒයි නවමො..අඩේ සංබාව්විය ලියවිල්ල අතඇරල දාන්නම එපා බොලං….ඉඳහිටල වත් ඔලුව ඔල්මොරොන්දං වෙලා උතුර දකුණ මාරුවෙන සයිස් එකකුත් ලියහං..ඇහුණද?….එහෙම එව්වත් තියෙන්න එපාය …නැද්ද මං අහන්නෙ….විවිධත්වය තියෙන්නම ඕන….හෙහ්, හෙහ්,
ඔන්න එහෙනං…උඹ ලියනව නේද එව්වත් …හොඳ එකා නෙව
මේ මනුස්සය විතරයි මගේ සම්භාව්‍ය පෝස්ට් අග්‍ය කරන්නෙ. අනේ අයියෙ උඹ මේක වෙලපහ කිව්වනං මම උඹර අරගෙම නෙවෙයි බං සලකන්නෙ. චැහ් ! හරිම අපරාදෙ. බලමු ඊලඟ පාරවත් හරි හමං විදියකට සලකගන්න.
ආයෙ එව්වා ලිව්වොත් අම්මපා නවම් අයියෙ බොට දිමි ගොට්ටක් කඩලා දාන්නෙ.
නියමයි . ලස්සන කතාව . ඔන්න ඔහේ මේවගේ ලියන්න . දාර්ශනික සිතුවිලි කියවල මක් කරන්නද .. අනේ ඇත්තටම වසවර්ති කොලුවෙක් වෙන්න ඇති. නිවාඩුවටද ගමේ ගියේ. පොල් මලින් තෙලිජ්ජ !!! අය්යෝ පව් . ළමයින්ගේ ආසාවල් වල ඉවරයක් නැහැ . අපේ කෙල්ලට මේ දවස්වල දුනු විදින පිස්සුවක් . පින්සල් අමුණලා දුන්නක් හදාගෙන සිලි සිලි බෑග් එකක් එල්ලගෙන වැද්දියක් වෙලා සෙල්ලම් කරනවා . අම්මපා කොයි දේසේ උන්නත් අපේ වැදි ගති මතු වෙන හැටි .
කොළුවො පැටව් කාලෙ වසවර්තියො උනේ නැත්නං ආයෙ වැඩක් තියනව යැ. මොකෝ පොඩි එකා කාලෙ කරන වසවර්ති වැඩ ලොකු වෙලා කලොත් එකෙක්වත් ඉවසයිද ?
සිරා කතාවක් බන්. ඔය වගේ එක සිද්ධියක් නැති වුණාට ඔය වගේ පුංචි පුංචි ආතල් කෑලි ගොඩක් තිබ්බ බන් මටත්. මේක අර කෙහෙල්කොටුවේ චූටි එකා දැක්කනම් සිරා චිත්තරේකුත් බලා ගන්න තිබ්බා. (අර සරත් අයියා ලියපු කවි පන්තියට අදාල එකක්)
Pingback: පැල මද කා දොදොලුත් හදා ඒ මදිවට හාවොත් ඇල්ලූ වගයි ! « නවම් මාවත