මට ප්‍රශ්ණ ගොඩයි [උත්තර දන්නෙ නැත්නම් ප්‍රශ්ණ අහපු එකා මරන්න ඔට්‍ටු නෑ හරිය]

පහුගිය පෝය දවසෙ අහම්බෙන් වගේ බෞද්ධයා නාලිකාවෙ ප්‍රචාරය උන බණක් අහන්න ලැබුන. ඒකත් චූටිමැණිකෙයි මායි පොඩ්ඩයි අම්මලගෙ ගෙදර ගිය නිසා. දේශනාව කලේ බුද්ධංගල ආනන්ද ස්වාමීන්වහන්සේ. පැවිදි නමින් ගොඩක් දෙනා නොදන්නවට ගිහි නම වෙච්ච උතුරුමැද අණදෙන නිළධාරී මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර ගොඩක් අය දන්නව ඇති. පහු කාලෙක පුනුරුත්තාපන කොමසාරිස් වෙලත් උන්න.

හෝව් !!

මම බණ කියන්න යනව වත්, යමෙක් වර්ණනා කරන්නවත් යනව නෙමෙයි. කියවන අය නොදන්න දෙයක් දැනගන්න කැමති වෙයි කියල හිතුන නිසයි ඒ විස්තරය කෙරුවෙ.

මම කියන්න ආවෙ මෙන්න මේක,

ඔය බණ අතරතුරේ මෙන්න මේ වගේ අදහසක් කියවුනා.

//ගව ඝාතනය වැලැක්විය යුතුය. අප ඒ සඳහා ආණ්ඩුවට බල කල යුතුය. ආණ්ඩුව ලංකාව තුල ගවඝාතනය නීතියෙන් තහනම් කල යුතුය.! එවිට ඇතමෙක් අසනා “ඇයි ගවයා විතරක්, කුකුළා ?” යන ප්‍රශ්ණ කිසිවෙක් නඟන්නේ නම් ඒ මේ සද්කාර්යයට අකුල් හෙලීම උදෙසා මය.//

ඔය මතය ඒකියන්නෙ සත්ව ඝාතනය, මත් පැන් පානය, හා වෙනත් සදාචාර විරෝධී කටයුතු, අන්‍යාගමීකරනය වගේ දේවල් වැලැක්වීම සඳහා රජය නීති පනවා ඒවා බලාත්මක කලයුතුය යන්න මෑතක බොහෝමයක් ජනප්‍රිය වේගවත් ගමන්ධාරී ස්වාමීන්වහන්සේලා ජනප්‍රිය මාධය හරහා පැවසූ අදහසක්. බැලූ බැල්මට ඒක හොඳ වැඩක් කියල නෙපෙනෙනව නෙමෙයි. මතුපිටින් බැලුවම අගෙයි කියල සාධු ! කියන අය බොහෝමයි. ඒත් ඇත්තටම ඒක එහෙමද ? අගෙයි ද ?

බෞද්ධ හිමිවරුන්ගේ කාර්ය භාරය තමන්ගේ අනුගාමිකයන් යහමඟට ගැනීම, යහම‍ඟෙහි පවත්වාගැනීම කියලයි මම හිතන්නෙ.[ඔය යහ මඟ කියන එක බොහොම ගැටළු සහගත මඟක්, මට ඒගැන පැහැදිලි අවබෝධයක් නැති නිසා ඒ ගැන ලියන්න යන්නෙ නෑ. ඒත් යහමඟ එකිනෙකාට සාපේක්ෂයි කියල නම් මට හිතෙනව] ඕනෙනම් ඔය අදහසම මීට වඩා බරපතල, ඇතැම්විට තේරුමවත් හරියට නොදන්න වචන දාල ආලවට්ටම් කරල කියන්නත් පුළුවන්. එහෙම උනොත් මේකත් තවත් එක බණක් වෙයි කියන මනුස්සයටත් අහන මනුස්සයටත් දෙන්නටම නොතේරෙන.

[හරියට පාලි ගාථා වගේ, ශබ්ධ රසය මිසක් වෙන මෙලෝ දානයක් මටනම් තේරෙන්නෙ නෑ. ඉතිං නොතේරෙන දෙයකින් තවත් ප්‍රත්‍යක්ෂ නොව්ච්ච දෙයක් ‍තෝරගන්න පුළුවන් කියල තියන විශ්වාසය මහ ‍රැවටිල්ලක් නෙමෙයිද?]

ඉතින් මිනිසුන්ගෙ අභන්තරය වෙනස් කරන්න, සිතුම් පැතුම්, විස්වාසයන් වෙනස් කිරීම තුලින් මිනිසුන් “යහමඟට” ගන්න දරන උත්සාහයන් බොහෝමයක් අසාර්ථකයි කියල නොකියා කීමක් නෙමෙයිද තමන් විසින් කලයුතු දේ ආණ්ඩුවක් විසින් කළයුතුය කියල අතහෝදාගැනීම තුල තියෙන්නෙ ?

එතනදි ඇයි දේශකයන් වහන්සේලාට නොහිතෙන්නෙ ශාස්තෲන් වහන්සේ උගන්වා ඇතිපරිදි මේ මේ ක්‍රියා කලොත් අත්වන්නේ මේ ප්‍රතිඵලයයි. එහෙයින් අවබෝධයෙන් රිස්සක් කරව ! කියල දේශනා කරන්න. ඇයි බලහත්කාරයෙන්, ආණ්ඩුබලයෙන්, බාහුබලයෙන් මිනිස්සුන් නිවන්දක්කන්න හදන්නෙ ? ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ? තමන්ගෙ ගොඩ වැඩිකරගෙන අයුතු සමාජ බලයක් ගොඩනඟා ගැනීමක් නෙමෙයි ද?

ධර්ම දේශණා කරන බොහෝමයක් ස්වාමීන්වහන්සේලා [බොහෝමයක් කිව්වේ සියල්ලන්ම එසේ යැයි නොදන්නා නිසා] කරන්නෙ කටපාඩම් කරගනිපු දෙයක් ගිරව් වගේ ඔහේ කියන එක. මොකද ඒ දේශනාව තමන්ට අවබෝධයි නම් ඒ කියන පරිදිම මාර්ගඵලවලට එළැඹිලා තියෙන්නෙ ඕනෙ. ඒත් ඒ අයම කියනව අපි තාමත් පෘතුග්ජනයි කියල. ඉතින් තමන් ප්‍රතක්ෂයෙන් නොදත් දෙයක් තවකෙනෙකුට කියල දෙන එක සධාරණයිද? තවත් අයකුට අවබෝධකරවන්න කලින් තමන් ඒ පිළිබඳව අවබෝධයක්, ප්‍රත්‍යක්ෂ භාවයක් ඇතිකරගැනීම වැදගත් නෙවෙයිද ? බණ කියන තරමට මිනිස්සුන්ට අවබෝධ නොවෙන්නෙ විවිධ අය විවිධාකාරයෙන් කරනා දේශනාවෙ කොතනක හෝ තියන අඩුපාඩුවක්, අමතකවීමක් නිසා වෙන්න ඉඩක් නැතුවද?

ප.ලි : මට මෙහෙම හිතෙන්න මගෙ මොකක්හරි අවුලක් නිසාද? එහෙමත් නැත්නම් තවත් අයට මෙහෙම හිතෙනවද ? ඒ හිතෙන අය ඒ ගැන ඔහේ හිතෙන්න ඇරල නිකන් ඉන්නව මිසක් හිතන්නෙ නැද්ද? හිතුනත් කියන්නෙ නැද්ද ?

ජාත්‍යාලය වඩවා ජාතික සමඟිය ඇතිකිරීම හෙවත් මම සිංහලයෙක් මම දෙමලෙක් සහ මම පිස්සෙක්

මිනිසුන් රටවල්, ආගම්, භාෂා, ජාතීන්, වර්ණ, දේශපාලනය පාදකකොට බෙදීමකට ලක් වී ඇතිබව ඔබ සහ මම හොඳාකාරවම දනිමු. මෙය ලංකාවට පමණක් අදාල වූ කාරණාවක් නොව මුළුමහත් ලෝකයේම තත්වයයි. මේ බෙදීම හේතුකොටගෙන අනාදිමත් කාලයක පටන් අප එකිනෙකා මරාගත්තෙමු, මරාගනිමින් සිටිමු, මතුවටද මරාගනිමු !!!

ඉතිං මිනිස්සුන්ට මෙච්චර කෙළියක් වෙනකං තේරුනේ නැද්ද ? මුකුත් කරන්නෙ නැද්ද ?

මොකෝ නොතේරී.. ඔය කියන්නෙ “ලෝක සාමය ඕනෑ” “අන්තර් ආගමින සහජීවනය ඕනෑ” “ජාතීන් අතර සමඟිය ඕනෑ” කියල කතා මහා ගොඩක් එලියට ආවෙ ඒක තේරිච්ච හන්ද නේන්නං.

ඉතිං අනේ එහෙම සංකල්ප ආවකියල මොකක්වත් වෙනස් වෙලා නෑ නෙ. ඔය හි‍ටු කියල ලෝකෙ වටේම උන් මරාගන්නෙ තවමත් ගජරාමෙට.

එහමටමත් නෑ.. ඔය සමහර එවුන් එකතුවෙලාත් ඉන්නෙ සමහර තැන්වල. අපේ රටෙත් ටික කලකට ඉස්සෙල්ල ඔක්කොම එකතුවෙලා ඉන්නව වගේ පෙනුනනෙ චණ්ඩියා මට්‍ටුකරන කල්. හා නැද්ද ?

ඒ….. ඇත්තමයි. එහෙම බැලුවම මිනිස්සු අතරෙ සමඟියක් නැත්තෙම නෑ නේද ?

****************************************************************************************

එක එක ජනකොට්ඨාශ අතර සමඟියක් නැහැ කියල පාරටම කියන්න බෑ. මිනිස්සු එකමුතු වෙනව, සමඟි වෙනව. ඒත් ඒ හැම වෙලාවකම පෞද්ගලික උවමනාවන් උඩ. ආත්මාර්ථය සඳහා. තනි තනිව කරන්න බැරි දේවල් කරගන්න. ඉලක්ක සපුරා ගන්න. ඒ ඉලක්ක සපුරා ගත්තට පස්සෙ ආයෙම උන්නටත් වඩා දරුණු විදියට වෙන්වෙලා යනව සමහර වෙලාවට.

පහිගිය යුධ කාලේ ශ්‍රී ලාංකිකයන් ඔක්කොම වගේ ආගමික, ජාති, භාෂා වශයෙන් ඇති වෙනස්කම් පැත්තකට දාල එකමුතු උනා, නැත්නම් අඩුමගානෙ එහෙම උනා කියල එන්නුවනෙ. තර්ජනය නැතිවෙලා ගියාට පස්සෙ. ඒ එකතුවේමේ හේතුව නැතිවෙලා ගියාට පස්සෙ ආයෙම පොඩි පොඩි ඉරිතැලීම් පටන්ගෙන. සමහර වෙලාවට ඒ ඉරි තැලීම් එකපාරටම බැලුවම සමහර කෙනෙක්ට නොපෙනෙන්න පුළුවන්. ඒත් කල් ගිහිල්ලහරි වැව් බැම්ම පුපුරන්න ඉඩ තියනව.

මේකට පැහැදිලිවම පේන උදාහරණයක් ගනිමු.

ඉන්දියාවේ විවිධ ආගමිකයන් බොහෝමයක් දෙනා එකතුවී බ්‍රිතාන්‍යන්ගෙන් දිනාගත් නිදහස ගෙදර අරං එනකොටම එහේ ගිණි විජ්ජුම්බර. මෙන්න එකට උන්න, මෙච්චර දවසක් එක පතේ කාපු උන් ඒකෙම පහරල එකිනෙකා මරාගන්නව. මරාගගෙන ඉස්සෙල්ලම කුට්ටි දෙකකට රට කැඩුන. ඊටපස්සෙ ඉන්දියාව විදියට ඉතුරුවෙච්ච කොටස තවත් අනු කොටස්, ප්‍රාන්ත වලට කැඩිල වෙන්වෙලා ගියේ භාෂාව, ආගම වගේ කාරණා මූලික කරගෙන. තව ඉස්සරහට තව තවත් කොටස්වලට නොබෙදෙයි කියල කියන්න බෑ.

ආත්මාර්ථයන් මූලික කරගෙන ඇතිවෙන ඕනෑම එකමුතු වීමක අවසානය ඕක තමයි. පොදු සතුරා විනාස උනාම ආයෙම හිටියටාත් වඩා දරුණු විදියට බෙදීමකට ලක් වෙනව.

ඇයි මිනිස්සුන්ට වෙන් වෙන හිතෙන්නෙ කියල කල්පනා කරල බැලුවම පැහැදිලිව පෙනෙන කාරණය තමයි ඔවුන් අනෙකුත් අයගෙන් වෙනස් කියල දරන මතය. මෙම මතය පාදක කරගෙන තමයි අනෙකුත් ප්‍රශ්ණ සියල්ලම පැන නඟින්නෙ.

මොකක්ද මේ වෙනස? කොහොමද අඳුරගෙන්නෙ ?

ශාරීරිකව මිනිස්සුන් නිසිවෙක් වෙනස් නැහැ උස, මිටි සහ වර්ණය හැරෙන්න. ඒ වෙනස සිද්ධ උනේ ලෝකයේ විවිධ දේශගුණික කලාපවල සුළු ජාන වෙනසකින් උපදින අය පරිසරයට වඩාත් අනුගතවී ක්‍රමිකව ඔවුන්ගේ සංඛ්‍යාව බහුතරය වීම හේතුවෙන්.

එසේ නොමැතිව මිනිසාගෙ එකිනෙකාගෙන් වෙනුවූ ජෛව විද්‍යාත්මක වෙනසක් ඇත්තේ නැහැ. අඩුම තරමේ විවිධ වර්ණ විවිධ, ශරීර ප්‍රමාණ හේතුවෙන් ඔවුන් එකිනෙකාගෙන් වෙනස් උප විශේෂයක්ද වෙන්නෙත් නෑ. බල්ලෙකුයි එළුවෙකුයි අතරෙ එකතුවීමකින් පැටව් බෝවෙන්නෙ නෑ, ඒවගේම මීයෙකුයි ලේනෙකුයි අතරෙත් නව පරම්පරාවක් බිහිවෙන්නෙ නෑ. ඒ උන් සත්ව විද්‍යාත්මකව වර්ග දෙකකට අයත් නිසා. නමුත් අප්‍රිකානු පිරිමියෙකු හා ඇස්කිමෝ ගැහැණියකගේ රමණයෙන් පැටියෙක් උපදිනව, ඒකා මනුස්ස පැටියෙකු මිස වෙනයම් මොකෙක්වත් නෙවෙයි.

එසේනම් මේ කියන මිනිසුන් අතරෙහි පවතින වෙනස මොකක්ද ?

කෙනෙක්ගෙ උප්පත්තිය පරීක්ෂාකරල මේකා අයිති අහවල් ආගමට, අහවල් ජාතියට කියල කියන්නෙ පුළුවන් දොස්තර කෙනෙක් ඇත්තෙ නෑ. ඒත් යම් යම් සංකල්ප ඔළුවේ තියාගෙන ඉන්න ඕනම මනුස්සයක්ට කියන්න පුළුවන්. හැබැයි ඒ සංකල්ප ගැන දැනෙනා නොදැනෙනා ඇඟවීමක් මිසක් වෙන දෙයක් ඇත්තෙ නෑ. ඒ සංකල්පයන් ආවේ කොහෙන්ද කියල පැහැදිලිව කියන්න ඔවුනට බෑ. ඒ අය අතට අහුනොවෙන ඇහැට පේන්නෙ නැති, ඒත් තියනව කියල විස්වාස කරන ඇඟවීමක් මූලික කරගෙන මෙන්න මෙයා මේ “ජාතියේ” කියල.

ඉපදිච්ච දවසේ ඉඳල කාලයක් යනකන් කිසිම කෙනෙක් දන්නෙ නෑ තමන් මොන “ජාතියට” අයිති කෙනෙක්ද කියල. ඒ උනාට අවුරුදු හය හතකට පස්සෙ සමාජයෙන් එන ඇඟවීම බාර අරගෙන මම “අහවල් ජාතියේ එකෙක්” කියල මානසික රාමුවක් හදාගන්නව. මනුස්ස දරුවෙක් විදියට ඉපදිච්ච මගෙ පොඩි එකාට මම ඉගැන්නුවෙ නැත්නම් පුතේ උඹ “සිංහලයෙක්” කියල, සමාජයෙන් ඇඟවීමක් ආවෙ නැත්නම් “උඹ සිංහලයෙක්” කියල පොඩි එකාට “දෙමළ යැයි කියාගන්නා” මනුස්සයකුයි උගෙයි අතරෙ වෙනසක්, ඇඟවීමක්, ඇතිවෙන එකක් නෑ. එහම නැත්නම් මගේ පොඩි එකා ඉන්දියාවෙ කෙනෙක්ට හදාවඩා ගන්න දුන්නොත් බංගාලි / සික් / දෙමළ / ජාතිකයෙක් වෙයි, ඇමරිකාවෙ කෙනෙක් හදා වඩාගත්තොත් ඇමරිකානු ජාතිකයෙක් වෙයි. උප්පත්තියෙන්ම ජාතිය වර්ගකිරීමේ ක්‍රමවේදයක් තිබිනනම් එහෙම වෙන්න පුළුවන්ද ?

චාරිත්‍ර වාරිත්‍ර, ඇඳුම් පැළඳුම්, ආහාරපාන විධි ක්‍රම, ආගම, භාෂාව වගේ අටෝරාසියක් කාරණා ලැබෙන්නෙ ඉපදුනාට පස්සෙ. යමෙක්ට තමන් මෙන්න මේ “ජාතියේ” කියල ඇඟවීමක් එන්නෙ හැදී වැඩෙන සමාජයේ පවතින “ජාතිය” පිළිබඳ මතත් එක්ක.

ලංකාවෙ උපන්න කෙනෙක්ට පැහැදිලිවම කියන්න පුළුවන් වෙන්නෙ තමන් “ලාංකිකයෙක්” කියල විතරයි. ඒක විතරයි හැබෑවටම පවතින “වර්ගකිරීම”. හැබෑවටම නොපවතින “සංකල්පයන්” හැබෑවටම පවතිනවා කියල විස්වාස කරන්නෙ පිස්සො. හැබෑවටම නොපවතින සංකල්පයක් තමන්ට ආදේශකරගෙන මං අහවලා කියල හිතාගෙන ඉන්න අයට “පිස්සො” කියලත් කියනව. මම සිංහලයෙක්, දෙමළෙක් කියලනැති දෙයක් විස්වාසකිරීමත් පිස්සුවක් තමයි.

පොඩිකාලෙ ඉඳල අපිට මිත්‍යාමත මහගොඩක් උගන්නල අහවරයි. ඒකට වගකියන්න ඕනෙ අපේ අධ්‍යාපන ක්‍රමය, ගුරුවරු, දෙමව්පියො, වැඩිහිටියො. ඔවුනට ඒවා ඉගැන්නුවෙ ඊට කලින් පරම්පරාව. හැබැයි ඒ ඉගැන්වීම කලේ කිසිවෙක් ‍රැවටීමේ අදහසකින් නෙමෙයි. ඒක තමයි පරම සත්‍ය කියල විස්වාස කරල. ඒ නිසා මෙතන හරි කවුද, වැරදි කවුද කියන එක මහා සංකීර්ණ දෙයක්.

මිනිස්සු ඇණකොටාගන්නෙ මරාගන්නෙ මේ “ජාතිය” කියන සංකල්පය මත ඉඳගෙන. කවදාහරි මිනිසුන්ට සංසි‍ඳෙන්න ඕනෙ නම් හැබෑවටම නොපවතින එක මානසික රාමුවක් වෙච්ච “ජාතිය” කියන සංකල්පය බැහැර කරන්න වෙයි.

හැබැයි “ජාතිය” කියන සංකල්පය බිඳල දාන එක දැනට ගොඩනඟා ඇති හරපද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනව. ඒකට අකමැති බොහෝදෙනෙක් ඉන්නව. ඒක නිසා මේ කියන්නෙ එක ‍රැයකින් කරන්න පහසු දෙයක් නෙමෙයි. ඒත් අමාරුවෙන් හරි නොකලොත් ලොක විනාසය වලක්වන්න බැරිවෙයි.

ප.ලි : සමාවෙන්න පරණ නවම්ට ආයෙම එන්න තව ටිකක් කල් යයි වගේ. මේ දවස්වල නවම්ගේ “අනෙකා” තමයි දිනල ඉන්නෙ.

අයියා.. අනේ දිව දාන්න එපා ……. !

මගෙ දත් නරක්වෙන්නෙ හි‍ටු කියල, අහවල් දෙයක්ද මංද, පැණි රහ කන්නෙත් බොහොම අඩුවෙන්, අඩුම ගානෙ විනාඩි පහක්වත් දත් මදින්න ගතකරනව දවසකට දෙපාරක්. ඒත් අවුරුද්දකට එකපාරක්වත් දතක් පුරවන්න වැඩේ සෙට් වෙනව. දතක් පුරවන්න ගන්න ගාන ගැන කල්පනා කරල බැලුවම දත් වහල්ල ගලවල දාන්නත් හිතෙනව වෙලාවකට.ඒත් තාම මේ උක් දඬු කන පැටි වයස නිසා ඒකත් කරන්න බෑ නෙව. මොකෝ ලොඹු කටින් ඔයසෙල්ලං කොරන්න ඇහැක.

පහුගිය දොහක හැන්දෑවෙ කාපු මාරි බිස්කට් එකක දත් අස්සෙ ‍රැඳිච්ච කෑලිඔලට දිවෙන් සවල් ගගහ ඉඳිද්දි තඩි වලක් අහුවෙච්චි උඩු හක්කෙ කෙළරටම වෙන්න දතක.

කරුමේ කරුමේ…. මාසෙ පඩිය අතට ගත්තා විතරයි. ඔන්න කුට්ටියක්ම වියදං වෙන පොටක් පෑදිච්ච්චි. හැම මසෙකම මේ වගේ මොකක් හරි උලව්වක් සෙට් වෙනව කෙලවෙලාම යන්න.

එක්කො පොඩි එකා ලෙඩවෙනව, එක්කො යසට තිබිච්ච කලිසමක් පැලිල උදේ බලනකොට. එහෙම නැත්නං වේලෙන්න තියාපු සපත්තු දෙකෙන් එකක් පර බල්ලෙක් අරං ගිහිල්ල. එක්කො මොකෙක් හරි මළ යකෙක් බඳිනව. ඒ මොකවත් නැත්නං මේවගේ පණු කෝම්බයක් හරි. මයෙ පාරුවෙ සෑහෙන්න පුවක් තියනවද කොහෙද.

දිවට දැනිච්ච හැටියට නං පොල් වලක් විතර විසාලයි වගේ. පුදුමයි මෙච්චර ලොකු වෙනකල් දැනුනෙ නැති එක.

පහුවදා උදේම දත් දොස්තර ගාවට යනව කියල හිතාගෙන තව දතක් පනුවො කයි කියල බයට වෙනදට වැඩිය හොඳහැටි දත් මැදල නිදාගන්න ගියා. මොන, නින්ද අහලකවත් නෑ. දිව යන්නෙම අර දතේ හිල හොයාගෙන. හිලක් පෙන්නන්න බැරි හැටි මේ දිවට !!

කොහොමින් කොහොම හරි පහුවදාට එලි උනාට පස්සෙ උදේ නමයට විතර ගියා දොස්තර මුනගැහෙන්න. චූටි මැණිකෙටත් එන්නෙයි කිව්වට පොඩ්ඩා නාවන්න තියනව කියල උන්දැ නතර උනා ගෙදර.

උදෙන්ම ගිය නිසාද කොහෙද සෙනඟ කවුරුවත් නෑ. වෙනද පේන්න ඉන්න නර්ස් කෙල්ලත් නෑ. මං ඉතිං පැත්තක තියල තියන පු‍ටු පේලියෙ කෙළවරම එකෙන් වාඩි උනා. විනාඩියක් දෙකක් ඉන්නකොට දොස්තරගෙ කාමරේ ඇතුලෙන් මුකුළුවක් ඇහෙනව. කවුද මන්ද අමුතු ඇක්සන්ට් එකෙකින් කතාකරන ගෑණු කටහඬක් ඇහෙන්නෙ. කතාවෙ විදියට නම් වැඩිය සිංහල බෑ වගේ.

ටිං…..

ඒ මගේ වාරෙ.

මං බාග දොර ඇරගෙන ඇතුලට ගියා. මෙන්න දෙයියනේ ඉන්නව ඉටිකිරිස් නර්ස් කෙලිපැටියෙක්. කොට ගවුමක් ඇඳල මහා දිග කොණ්ඩයක් එක සීරුවට ගොතල ඔළුව වටේ ඔතාගෙන. හරිම සිරියාවයි. මෙච්චර වෙලා දතේ හිල අස්සෙ රිංගාගෙන උන්න මයෙ දිව දැං තමා එලියට ආවෙ.

චූටි මැණිකෙ නාව එකමයි කාරිය !!

ආ.. එන්ඩ පුතා. වාඩිවෙන්න. දොස්තර මට අර ඇඳ වගේ පු‍ටුව පෙන්නල කිව්ව.

මං ගිහිල්ල ඒකෙ හාන්සිවෙලා හරි බරි ගැහුන විතරයි පු‍ටුවෙම පැත්තක හයිකරල තිබිච්ච ලයිට් එකක් ඇදල අරං මයෙ මූණට ඇල්ලුව ගිණිකණ වැටෙන්නම.

කෝ බලන්න. මොකක්ද ප්‍රශ්ණෙ කියල…… කට අරින්නකො..

ආ……….

මොකක්ද මන්ද ආවුදේකින් දෙපාර අර පණුවො කාපු දතට ඇනපු දොස්තර; හ්ම්ම්…. පොඩ්ඩක් වැඩිපුර නරක්වෙලා වගේ. අපි බලමුකො කරන්න පුලුවන් මොකක්ද කියල.

එහෙම කියාපු දොස්තර අර දත් හාරන මැසිම කටේ ඔබල එහාට මෙහාට හරව හරව කිසිම අනුකම්පාවක් නැතුව හාරන්න පටන්ගත්තෙ නැද්ද.

ක්ර්ර්ර්ර්ර්.. ඩ්ර්ර්ර්ර්ර්.. බ්ර්ර්ර්ර්ර්.. ට්‍රීඊඊඊ..

චුස් චූස් චූස්…

හර් ඊ.. ඩැන් කෙල්ල ගහන්න.. මගෙ ඔළුව පැත්තෙන් හිටගෙන ඉන්න නර්ස් කිව්ව.

මාත් පොඩ්ඩක් පැත්ත හැරිල කෙල එහෙම ගහල ආයෙම හරි බරි ගැහුන පු‍ටුවෙ.

ආයෙමත්; ක්ර්ර්ර්ර්ර්.. ඩ්ර්ර්ර්ර්ර්.. බ්ර්ර්ර්ර්ර්.. ට්‍රීඊඊඊ..

ටොක් ටොක් ටොක්.. රිදෙනවද ? දතට ආයෙම මොකක්ද එකකින් තට්‍ටුකරපු දොස්තර අහනව.

නෑ.

හ්ම්ම්.. පොඩ්ඩක් ඇතුලට ගිහිල්ල. අපි ටෙම්පරි ‍ෆිලින් එකක් කරල සති දෙකක් බලමු. ඒ අතරෙ කැක්කුම ආවෙ නැත්නං පර්මනන්ට් එකක් දාමු. හොඳද ?

හා.

ඔයියා හොන්දට්ට ඩත් මද්දින්න. ඒම උනා නං මේම වෙන්නෙ නෑනෙ. ඒ අර නර්ස් කෙල්ල

දොස්තරත් “ඒකනේ” කියාපි. බලමුකො මේ මනුස්සය කියාපු බොරුවෙ තරම. දත් නරක් වෙන්න වෙන්න නෙ උන්දැට හොඳ. හෙහ් අපි අහුවෙයි ඕවට..

“අලේ ලෑ ඩොට්ට. මං ඩට් මඩිනො හොන්ඩට්ට, ඒට් න්රක් වෙනො” කටේ කෙළ එකක් පුරෝගෙන මං කිව්ව.

“ඔයියා කෙල්ල ගහන්නකො ඉස්සෙල්ල” කටේ කෙළත් එක්ක කතා කරන එක අහං ඉන්න බැරි තැනමද කොගෙද නර්ස් කිව්ව.

ඊට පස්සෙ නර්ස් ගෙනැල්ල දුන්න මොකක්ද මන්ද පේස්ට් එකක් පුංචි අඬුවකට අරගත්තු ඩොක්ටර් අර දතේ හාරපු හිලට ඔබල ටිකක්වෙලා කට ඇරං ඉන්න කියල නිල්පාට ලයිට් එකක් තියන බවුත් එකෙක් වගේ එකක් කටට දාල නර්ස්ට අල්ල ගන්න කියල පැත්තකට උනා.

තත්පර විස්සක් තිහක් යන්න ඇති. මේක ආයෙම එලියට ගන්න පාටක් නෑ.

මම ඇහැ කොනකින් බැලුව දොස්තර මොකක් කරනවද කියල. මිනිහ පේන්නවත් නෑ. නර්ස් කෙල්ල විතරක් අර ගැජට් එක මගේ කටට ඔබාගෙන ඇහැ පිය නොගහ මගෙ කට දිහා බලාගෙන ඉන්නව

කට ඇතුලෙ හි‍ටු කියල ආයෙම කෙළ උනනව. දිවත් නලියනව. නිකමට වගේ මං දිව ගාල බැලුව අර පුරවපු දත කොහොමද කියල.

හා හා එප්පා අයියා.. දිව දාන්න එප්පා !!!!!!!!

මාවත් පු‍ටුවෙන් උඩ යන සයිස් එකට නර්ස් කෙල්ල මහා හයියෙන් කෑගැහුව !!

නර්ස්ගෙ කෑගැහිල්ලට මෙච්චර වෙලා කොහේටද වෙලා හිටපු දොස්තරත් “ඇයි ඇයි” කියල දුවගෙන ආපි.

හොඳවෙලාවට චූටි මැණිකෙට පොඩ්ඩාව නාවන්න තිබුනෙ, නැත්නං උන්දැත් දුවං එනව මේකිගෙ සද්දෙට. එහෙම උනානං එහෙම …..

නෑ ඩොක්ට, මෙයියා දිව්ව දැම්ම දත්තට.

හෙහ් හෙහ්.. දැං ඔය ඇති මිස් ඕක ගන්නකො එළියට.

එගෙම කියපු දොස්තර අර ගැජට් එක අරගත්තට පස්සෙ ආයෙම දත බලල “හා දැං හරි”

මාත් තැංකූ ඩොක්ටර් කියල ගෙඩිය පිටින් රුපියල් 1000 දීල දොරෙන් එලියට ආපි.

හුටා… !

මං ඇතුලට යනකොට එකෙක්වත් නො ඉඳපු අර පු‍ටු පේලියෙ කෙල්ලො තුන්දෙනක් වාඩිවෙලා. උන් තුන් දෙනාම දිව විකාගෙන තොල් විකාගෙන මහා හිනාවක් හිරකරං.

හි.. හී. හිහ් හීඊ..ඊ හහ් හීහීඊ……..

උන්ව පහුකරං එලියට අඩියක් තිව්ව විතරයි මහා හයියෙන් පුපුරල ගියා…..

මං පස්ස බලන්නෙ නැතුව බයිසිකලෙත් ඉස්ටාට් කරං ආපි. ටික දුරක් ගියාම තමයි හෙල්මට් එක අතේ කියල කම්පනාවට ආවෙ.

ප.ලි : ඔන්න බලමුකො ඉතිං මයෙ විළි බියේ තරම ඈ.

සියඹලාපිටියේ භූතයා

පහුගිය දොහක ගියා ගමෙන් පිට පොඩි ගමනක් කෑගල්ලෙ සියඹලාපිටිය දිහාවෙ. එහේ නෙව අපේ ගුරු පුංචි ඉන්නෙ. හරිම අපූරු ගම. වෙල මැද්දෙන් හැතැප්ම බාගයක් විතර වංගු වංගු පාරකින් ගියාම තමයි ගෙවල් මණ්ඩිය තියෙන්නෙ.

ඔය පල්ලෙහා තියෙන්නෙ ඒ වෙල් යාය මැදින් යනකොට දැක්ක භූතයා

[ලොකුකරන්න ඕන නම් පින්තූරෙ උඩ ක්ලික් කරන්න]

භූතයට කියල වී ලාහක කුඹුරුකෑල්ලක් කප්පවාගන්න යන්නෙ රුපියල් හත්සීය පනහයි

අත්තං දීල කුලී කරයො දාල දැං කාලෙ පිරිමහන්න බෑලු. ඔය කුඹුරු කෑල්ලෙ වී ලාස් දෙකක් විතර තිබිල තියෙන්නෙ.  භූතය ඉල්ලල තියෙන්නෙ රුපියල් එක්දාස් පන්සීයයි.

ඒ රුපියල් එක්දාස්පන්සීයට,

ගොයං කපල,
පාගල [ගොයමෙන් වී ඇට වෙන් කරල]
හුලං කරල [කා‍ටුව, පිදුරු, බොල් අයින්කරල]
ගෝනි වලටත් දාලම දෙනව.
වැඩේට යන්නෙ විනාඩි විස්සකටත් අඩුවෙන්.

කුලියට කැප්පෙව්වනං වරුවක්ම යනව කපන්න.
ඊලඟට කමතෙ ගොයංකොලේ ගහන්න ඕන,
ඊටපස්සෙ ගොයං පාගන්න ඕන [හරක් දාල එහෙම නැත්නං ගොයං පාගන මැසිමෙන්]
ඊලඟට ෆෑන් දාල හුලං කරන්න ඕන,
ඊට පස්සෙ වී මළුවලට දාන්න ඕන.
ඔය අතරෙ වැස්සොත් එහෙම තෙත ගොයම වේලෙනකන් ඉන්න ඕන පාගන්න එහෙම නැත්නං හුලං කරන්න.

හප්පේ වැඩ කෝටියයි !!

ඒ විතරක්නං මදෑ කුලිය දීල මදිපාඩුවට කසිප්පු දෙන්නත් එපැයි. ඒක නෙව කොරල පිරිමහන්න බැරි.

භූතයට ඔය මුකුත්ම නෑ, ආව, කැපුව, ගෝණියටම පැටෙව්ව ගාන ගත්ත ගියා….

ඔයිට වැඩිය ලොකු එකෙක් ඉන්නව අම්පාර අක්කරෙයිපත්තු දිහාවෙ මහා කුඹුරු යායවල් ඔල, ඒකට කියන්නෙ “සුනාමි” කියල. එදාවේල හම්බකරන් කන කුලීයට ගොයං කපන මිනිස්සුන්ටනං මේ ජාතියෙ හාවස්ටර්ස් “භූතයො”, “සුනාමි” ආව වගේ තමා]

ප.ලි :

ලාස් අටක් බුසල් එකයි ලොකු ගෝණියක බුසල් එකහමාරයි ලු.

එතකොට කුරුණි ? [දන්න කවුරුහරි ඔය සූත්තරේ කිව්වනම්]

මට මේ රස්සාව එපාවෙලා තියෙන්නෙ, මැනේජරයට දෙකක් අනින්නමයි හිත !

ඉතිං මල්ලි…. කොහොමද..

දිලීප් කතාව පටන්ගත්තෙ වෑන් එකේ පිටිපස්සෙ ඉඳල දෙවෙනි සීට් එකේ හරි බරි ගැහිල වාඩිවෙනගමන්. හැම අවුරුද්දකම වගේ සම වයසෙ නෑදෑ සහෝදරයො එක්ක යන ට්‍රිප් එක දෑවුරුද්දක්ම මඟ හැරුනත් මෙවර කොහොම හරි එන්න පුළුවන් වීමෙ සන්තෝසය ඒ වචන වල ගැබ්වෙලා තිබුන.

දන්නෙ නැද්ද අයියෙ.. ඔන්න ඔහේ ඉන්නව.

මොකෝ මල්ලි නිකං හුලං බැහැල වගේ…. මොකෝ ජානී එක්ක කොක්කක්වද්ද ? හෙහ් හෙහ්..

හපෝ නෑ අයියෙ, ඒව ගානට කරගෙන යනව. ඕං ලබන අවුරුද්දෙ මැයිමාසෙ දිහාට නිවාඩු එහෙම ගන්න බලාගෙන ඉන්න ඕනෙ හරිය..

අප්පද බොල… ඒකත් එහෙමයි එහෙනං… සන්තෝසයි බං…. හැබැයි පු‍තෝ අර ධම්මිකය කොලා වගේ ‍තෝ මට විතරක් එන්නෙයි කියලනං නං කාඩ් එකක් දෙන්නෙ නෑ හරිද… උඹෙ ලිස්ට් එකේ තුන්දෙනෙක්ට ඉඩ තියාගං…

හරි හරි අයියෙ.. උඹයි අක්කයි කොල්ලයි ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ.. හෙහ් හෙහ්…..

එතකොට මේ හුලං බැහැපු සීන් එක රස්සාවෙ ජල්බරියක් නේද..?

අඩේ.. දිලීප්පයියට දිවැස් තියනවද ?

හෙහ් හෙහ්.. ඕක තේරුං ගන්න දිවැස් මොටෝ බං, ආයෙ උඹල වගේ තනිකඩ කොල්ලන්ට ප්‍රශ්ණෙකට කියල තියෙන්නෙ රස්සාවයි පරස්තාවයි විතරක් වෙච්චිකොට.

දැං මොකෝ අවුල බං…. ?

අඩෝ දිලිප්… මොනාද යකෝ ඔය අනුරාධයත් එක්ක කොරන්නෙ ඈ … උඹට නිශා එක්කං එන්න බැරිවෙච්ච එකේ පාඩුව උගෙන් පිරිමහනනවද … ? පිටිපස්සෙ සීට් එකේ ඉන්න දමයන්ත කෑගහනව.

ඒකත් බැරි නෑ බං.. ඒත් මූ ඇඹරෙනවනෙ හෙට අනිද්ද බඳින්නයි ඉන්නෙ කියල හෙහ් හෙහ්………

හෙහ්.. එහෙමයි කියල උඹ පස්සගහයි.. අපි නොදන්නවැයි උඹෙ වැඩ.. ඉඳා මෙන්න මේක කාපන්… සෑන්ඩ්විච් පාං මල්ලක් ඔළුවට උඩින් අල්ලපු අමිල කිව්ව.

ඉතිං මල්ලි කියාපංකො මොකද කීයල ඔ‍ෆිස් එකේ අවුල ? මල්ලෙන් ගත්තු සීනිසම්බල් පාං පෙත්තක් අනුරාධට දික් කරන ගමන් දිලිප් ආයෙම කතාව පටන්ගත්ත.

මෙන්න මේකයි කියල හරියටම කියන්න දෙයක් නෑ අයියෙ. ඒත් මට නං දැන් එතන වැඩකරන එක එපා වෙලා තියෙන්නෙ. හෙන කැපිලි එතන තියෙන්නෙ.

කැපිලි කිව්වෙ මල්ලි?

ඩිපාට්මන්ට් මැනේජරයට පේන්නෙ මගේ වැරදිමයි. ඌට පොඩි වැ‍රැද්දක් ඇති මාව අල්ලගෙන දිගට හරහට ලෙඩ දානව. අනික උගෙ ෂෝ-කෝස් මේල්ස් වලට රිප්ලයි කරන්න ගියාම කොරවෙලා යනව. ඌ දාන්නෙම මාව හිරවෙලා යන පොයින්ට්ස්මයි.

තව ?

තව කියන්නෙ, දැං මම එතනට ගිහිල්ල අවුරුදු පහකටත් වැඩියි. අයිය දන්නවනෙ කම්පැනි එකක අවුරුදු පහක් කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමෙයිනෙ. සීනියර් කියල සතපහක සැලකිල්ලක් නෑ.. මට පහල ඉන්න එකාටත් සලකන්නෙ මට වගේ. ඉතිං අයියෙ එපාවෙන්නෙ නැද්ද මං අහන්නෙ ?

අවුරුදු එක හමාරකින් ඉන්ක්‍රිමන්ට් එකක් ඇවිල්ල නෑ, ප්‍රමෝෂන් නෑ, ඊටත් මට තරම් පර්සනල් ඉෂූස් තියන එකක්වත් ඔතන වැඩ කරන්නෙ නෑ අයියෙ. අයියම දන්නවනෙ මට ගෙදර ගැන බලන්න ඕන, මල්ලිව ක්ලාස් යවන්න ඕන, අළුත් ගෙදර ෆවුන්ඩේෂන් එකෙන් එහාට යන්න අවුරුදු දෙකක් ගිහිල්ලත් බැරි උනා. අනික මැනේජරය මේ දේවල් ගැන හොඳටම දැනගෙන තමයි මේ ලෙඩ ඔක්කොම දාන්නෙත්.

ඊලඟට අනිත් උන්ගෙ වැඩත් මං අදින්න ඕන, උන් එන්නෙම පරක්කුවෙලා.. ඒත් උන්ට කිසිම ඇක්ෂන් එකක් නෑ ඔන්න මං නිවාඩුවක් ගන්න ගියාම දාහක් දේවල් කියනව. ඉතිං අයියම හිතල බලන්න එපා වෙන්නෙ නැද්ද කියල එහෙම තැනක වැඩ කරන්න.

හරි මල්ලි. අපි හිතමුකො ඔය ඔක්කොම හරිය කියල. ඒත් මල්ලී කම්පැණි එකක සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් කරන්න කලින් ගොඩක් දේවල් ටොප් මැනේජ්මන්ට් එකට හිතන්න වෙනව. ආයතනයේ ස්ථාවරත්වය, ඊලඟ අවුරුද්දේ අපේක්ෂිත ආදායම, රිස්ක් එක, අපේක්ෂිත වියදම…. ඔන්න ඔය වගේ මහා ගොඩක් දේවල්. හදිස්සි ඉන්ක්‍රිමන්ට් එකක් දීල ඊලඟ අවුරුද්දෙ බිස්නස් එක වහල දානවට වැඩිය නියමිත වෙලාවට ඒ දේවල් කරන්න තමයි ඕනම කම්පැණි එකක් කැමති.

අනික මල්ලි එක රුපියල් දාහක ඉන්ක්‍රිමන්ට් එකකින් උනත් අවුරුද්ද අන්තිම මහා විසාල බිලක් එකතුවෙනව ආයතනයට. මොකද උඹට විතරක් ඒක දුන්නොත් උඹත් එක්ක එක මට්ටමේ ඉන්න අනිත් උන් ඩිසපොයින්ට් වෙනව. එතකොට උන්ගෙ පර්ෆෝමන්ස් බහිනව. ඒක නිසා ගොඩක් වෙලාවට මුළු ආයතනයටම බලපාන පොදු සූත්‍රයක් යටතේ තමයි පඩි වැඩි කරන්නෙ. ඊට අමතරව ඒ ඉන්ක්‍රිමන්ට් එකට සමානුපාතිකව ඕ.ටී පැයකට ගෙවන ප්‍රමානය, ඊ.පී.එෆ්, බෝනස්…. ඔය වගේ දීමනා සේරම වැඩි වෙනව.

එතකොට අයිය කියන්නෙ අපි ඉන්ක්‍රිමන්ට් ඉල්ලන්න එපා කියලද ?

පිස්සුද බං..? ඉන්ක්‍රිමන්ට් ඉල්ලපල්ල, හැබැයි ඒ ඉල්ලන දේ ඒ විදියටම නොවුනම මළ පන්නගෙන බෙරිහන්දෙන්න කලින් එහෙම වෙන්නෙ ඇයි කියල පොඩ්ඩක් තේරුම් ගන්නත් බලපන්. එහෙම නැත්නං කෙළවෙන්නෙත් උඹටමයි.

හෙහ් … උන් කොහෙද මට කෙළවන්නෙ, මේ මඟුලක් කට අස්සෙ තියාගෙන වෙන රස්සා හොයන්නත් බෑ. ගේමට ගේම ඉල්ලගෙන මාත් ඉන්නව. මොකෝ උන් මාව අස්කරන්නද ?

කම්පැණි එක්ක ගේම ඉල්ලන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි මල්ලී.

ඒව කොහෙද මාත් එක්ක අයියෙ, අනික උන් දන්නව මම වැඩකාරය කියල, මම ඔතනින් නැවතුනොත් ඩිපාට්මන්ට් එකම කලැප්ස් වෙනව බලාගෙන ඉඳැද්දි. ඒක නිසා මං මොනව කලත් උන්ට බෑ මාව අස්කරල දාන්න.

ගේම ඉල්ලනව කියල මල්ලි මොනාද කරන්නෙ ?

මොනාද මට කරන්න බැරි අයියෙ.. මමනෙ එන ක්ලයන්ට්සලගෙ මේල්ස් වලට ඇක්ෂන් ගන්නෙ.. ඉස්සර දත කාගෙන නොකා නොබී ඒවට රිප්ලයි කලාට දැං මම මගේ පාඩුවෙ, නිවිහැනහිල්ලෙ තමයි කරන්නෙ, සමහර ඉෂූස් සෝල්ව් කරන්න දවස හමාර යනව. ඔහොම යනකොට ලොක්කන්ට තේරෙයි හොඳට. හෙහ් හෙහ්.

ඒ කියන්නෙ මල්ලිට එන කැපිලි කෙටිලි නිසා මල්ලි ඉස්සර වගේ වැඩ කරන්නෙ නෑ … එහෙමද ?

ඔව් අයියෙ, ආයෙ මට එපා උනොත් එපා උනාම තමයිනෙ. දන්නවනෙ මගෙ හැටි.

මම මල්ලිගෙන් දෙයක් අහන්නද ?

අහන්න අයියෙ ඕනෙ දෙයක්.

අපි දැන් හිතමු මල්ලිට මේ කම්පැනි එකෙන් ලොකු අසාධාරණයක් වෙනව කියල. මල්ලි බලාපොරොත්තුවෙන්නෙ මොනවගේ සාධාරණයක් ද මෙතනදි ?

සාදාරනයක් කියන්නේ අයියේ….. මේ… මේ.. මගෙ පස්සෙන් එලවන්නෙ නැතුව, මගෙ පාඩුවෙ වැඩක් කරගෙන යන්න දෙනවනං මට ඇති.

හරි, අපි මෙහෙම හිතමු. ඔන්න මල්ලි තමයි ඔය ඩිපාට්මන්ට් එකේ හෙඩ්. මල්ලිගෙ යටතෙ ඉන්නව වැඩ කරන්න උනන්දුවක් නැති, හැමතිස්සෙම ඇරගන්ට්, ඩල් කැ‍රැක්ටර් එකක් තියන මනුස්සයෙක්. එතකොට මල්ලිට මිනිහ ගැන මොකක් හිතෙයිද ?

දිලිප්පයියත් ඔය වටෙන් එන්නෙ මං වැරදියි කියල කියන්න නේද?

නෑ අනුරාධ මල්ලි.. මම හදන්නෙ ඔයාගෙ ප්‍රශ්ණෙ ඔයාටම තේරුම් කරවන්න, ඔයාව ඔය කියන ඩිපාට්මන්ට් හෙඩ්ගෙ සපත්තුදෙකට බැස්සම මෙතන තියන අවුල ලිහාගන්න පුළුවන් වෙයි.

ඉතිං කියන්නකො.. මල්ලි ඒ මිනිහට මොනව කරයිද ?

මංද අයියෙ..

හරි මං ලේසි කරන්නම්කො. ඔන්න ඒ මනුස්සය ප්‍රඩක්ෂන් ලයින් එකේ මොනා හරි අවුලක් කරනව, එතකොට මල්ලි මොනා කරයිද?

හ්ම්.. ඉන්ක්වයර් කරයි. ඩිසිප්ලිනරි ඇක්ෂන් ගනී.

හරි, ඊලන්ඟ දවසෙ මේ මනුස්සය ග්‍රම්පි මූඩ් එකෙකින් ඔ‍ෆිස් එකේ වැඩ ඔනවට එපාවට කරයි, එතකොට ඔයා මොනව කරයිද?

මුකුත් කරන එකක් නෑ.. ඒත් මිනිහ ගැන පොඩි අප්සට් ෆීලිං එකක් ඇතිවෙයි.

හ්ම්….

හැමදාම ඔය වගේ ඒ මනුස්සය මෙලෝ රහක් නැති විදියට ඔ‍ෆිස් එකේ ඉන්නකොට ඔයා මොනව කරයිද ? ඔයා ඇයි හිතන්නෙ මෙලෝ රහක් නැති මනුස්සයෙකුට පාඩුවෙ රස්සාව කරගෙන යන්න දීල, සැලරි ඉන්ක්‍රිමට්ස් ඒ මදිවට තව බෝනසුත් දෙන්න ඕනෙ කියල ?

මල්ලී ප්‍රයිවට් සෙක්ටර් එකේ තියන කම්පිටිෂන් එකත් එක්ක ඇරගන්ට් වෙලා බෑ, වැල යන අතට මැස්ස ගහන්න ඉගෙන ගන්න, එහෙම නැතුව සවයිව් වෙන්න බෑ. හැබැයි එතනදි අදහස් වෙන්නෙ නෑ රස්සාව ‍රැකගන්න ලොක්කට ගොට්ට අල්ලන්න ඕන කියල. හරියට ඔළුව කල්පනා කරනවනම් කොන්ද කෙලින් තියාගෙන රස්සාව කරන්න ඕන තරම් ඉඩ තියනව.

ඒ උනාට අයියෙ මේ ම්නිහ මට කැපිල්ල දාන එකමනෙ වැඩේ. මට ඒ වෙලාවට හැටක් විතර අනින්න හිතෙනව ඌට.

මෝඩ වැඩ කරන්න එපා මල්ලි.. ඩිපාට්මන්ට් හෙඩ් එක්ක ඇරගන්නව කියන්නෙ ගොඩක් වෙලාවට කැරියර් එකට බැරියර් එකක් දාගන්නව වගේ වැඩක්, මනුස්සයෙක් එක්ක ඇරගන්න යන්නෙ නැතුව රස්සාව කරන එක වෙනමම කලාවක් බං. අනික මම හිතන්නෙ නෑ හොඳ මැනේජර් කෙනෙක් කිසිම වෙලාවක තමන්ගෙ කෝ-වර්කර්ස්ලට ඇණයක් වෙනව කියල හේතුවක් නැතුව. මොකද මිනිහ දන්නව හැමෝගෙම ඔප්ටිමම් කන්ට්‍රිබියුෂන් එක නැත්නම් දවස අන්තිමට ෆෙල් වෙන්න මිනිහමයි කියල.

තව එකක් මල්ලි, අමාරු සි‍ටුවේෂන් එකකදි ඔයා කොහොමද සවයිව් වෙන්නෙ කියන එකත් සෑහෙන්න වැදගත් විදියට නෝට් ඩවුන් වෙනව ඔයාගෙ හයිරාකි එකේ කොච්චර උඩට යනවද කියන එක තීරෙණය කරනකොට. ඒක නිසා මල්ලි දැනට වැඩ කරන කම්පැනි එකේ කැරියර් ඩිවලොප්මන්ට් එකක් බලාපොරොත්තුවෙනව නම්, මැනේජ්මන්ට් එකත් එක්ක ලෝයල් විදියට වැඩකරන්න, ප්‍රශ්ණ එන වෙලාවට නෙගෝෂියේට් කරගෙන මැනේජ් කරගන්න පුරුදුවෙන්න වෙයි.

හැබැයි එහෙම වැඩ කරගෙන යන අතරෙත් මල්ලිට හිතෙනවනම් මේක හරියන කෙළියක් නෙමෙයි කියල කරන්න තියන හොඳම වැඩේ තමයි පුළුවන් තරම් කාලයක් හොඳින් වැඩ කරල හිත හොඳින් වෙන තැනකට යන එක.

මොන එකකටද අයියෙ වැඩ කරන්න බැරි නම් හොඳ හිතින් අයින් වෙන්නෙ, කෙළවෙලාම යන්න කියල අරූගෙ මූණට දෙකක් දීල වෙන එකකට යනව මිසක්.

ඔයා දන්නවද අලුතින් රස්සාවකට යනකොට අළුත් කම්පැණියෙ අය ඔයාගෙ එම්ප්ලොයිමන්ට් රෙකෝඩ් එකෙක් ඉල්ලගන්නව ඔයා අන්තිමට වැඩ කරපු කම්පැනි එකෙන්. රෙපියුටේෂන් එකක් තියන ස්ටෑන්ඩඩ් එකක් තියන කම්පැණි එකක ඉම්ප්ලයිඩ් රෙස්පොන්සිබිලිට්ය් එකක් තමයි නිවැරදි එම්ප්ලෝයී රෙකෝඩ් එකක් දෙන එක. හදිස්සියෙවත් ඔයා ප්‍රශ්ණයක් ඇතිකරගෙන නම් රිසයින් වෙලා තියෙන්නෙ, එහෙමත් නැත්නම් ඔයාගෙ සේවා කාලය සතු‍ටුදායක නෙවෙයි නම් ඔයාට අළුත් රස්සාව ලැබෙන්න තියන ඉඩකඩ බොහෝම අඩුයි.

ඒක නිසා මල්ලි නිවිහැනහිල්ලෙ හිතල බලන්න ඇයි හෙඩා ඔයා එක්ක වලිබර වෙලා තියෙන්නෙ කියල. කේන්තියෙන් නැතුව සාධාරණ ඇහැකින් බැළුවොත් ඔයාට ප්‍රශ්ණෙ තේරුම් ගන්න පුළුවන් වෙයි. මොකද මේ ප්‍රශ්ණෙන් එළියට එන්න ඕන ඔයා විසින්මයි. එහෙම නැතුව ඔයා දැනට කරගෙන යන විදියට දිගටම ගියොත් සිද්ධවෙන්නෙ ඔයා තව තවත් මඩ වලේ ගිලෙන එක මිසක් ගොඩ ඒමක් නම් නෙමෙයි අනුරාධ.

පින්තූරය ගත්තේ : huckguyett.com

ජයවීර මැතිණියගේ හා එම මැතිතුමාගේ ලිංගික අධ්‍යාපන පාඩම – මල් වඩම් අනවශ්‍යයි !!

මචං.. අද පට්ට දවස නේ?

ඒ මොකෝ අද පට්ට ?

ඇයි ගොනෝ අපේ සෞඛ්‍ය මිස් අද අපිට අර පාඩම කරන දවස නෙ.

අප්පටසිරි හැබැමයි.. බලහංකො මට අමතකම වෙලා ගියානෙ.

මටත් එහෙමයි බං.. අද බඩේ අමාරුවෙයි කියල ගෙදර නවතින්න හැදුවෙ. තාත්තගෙ කටේ බලේටමයි ආවෙ.

මේ මචං.. සිරාවටම අපිට අර ඒ ලෙවල් අයියලට පෙන්නනව වගේ පින්තූරත් පෙන්නයිද බං..

අනේ මංද බං.. එහෙමනං සිරාවට තියෙයි නේ… ?

ටාං ටාං ටාං…..

යමං බං පන්තියට අන්න බෙල් එක ගැහුව.

යමල්ල යමල්ල.. උදේ පාන්දරම අද ගණං.

වෙනදට සුරුස් ගාල යන උදේ පීරියඩ් හතර එවර උනේ කල්පයක් විතර ගිහිං. ඒ මදිවට උගන්නපු මෙලෝ මළදානයක් මතක නෑ. කොටින්ම ගානක් වැරදිච්ච වෙලාවෙ සර්ගෙන් වදින පොල් ටොකුවලට වෙනද නං හුජ්ජ පනින්න ආවට අද නං ගානක්වත් නෑ. අම්මප මේ ලිංගෙටකරන්න ඇහැක් වැඩ !

දඩාං…… !

බුදු අම්මෝ….!

මොකාද යකෝ…..

මං මං බං.. මොකෝ මේ කල්පනාව.. යන්නෙ නැතෙයි කැන්ටිම පැත්තෙ.. ?

අමතක උනා බං…. යමං යමං…

අඩෝ මේ… අද බොලා එකෙක්වත් ජයවීර මිස් දැක්කද…. ?

ම්හ්…… නෑ නෙ බං.. මොකෝ ?

මොකෝ කියන්නෙ, අද අර පාඩම නෙ බං.

අප්පටසිරි, මිස් අද නිවාඩුද දන්නෙ නෑ…

නෑ නෑ බං.. මං අද දැක්කෙ උඩ පිටනිය පැත්තෙන් සර් එක්කම එක්කම එනව.

හා.. එහෙමද.. එහෙනං කමක් නෑ. මං මේ බයේ උන්නෙ අද නේවිද කියල බං.

හෙහ්… හෙහ්.. වෙනදට නං බයේ ඉන්නෙ එයි කියල නේ.. උඹල තමයි දවසකටවත් බඩු…. හෙහ් හෙහ්.

අනේ පල නරියො යන්න. අපිට බලන්න බැරිය උඹත් කට ඇරං බලං ඉන්නව අද….

ඒයි කාල බීල ඉවර නං විගහට යමල්ල බං.. ඉන්ටවල් එක ඉවර වෙන්නත් කිට්‍ටුයි.

යමල්ල යමල්ල.

ඉන්ටවල් එකෙන් පස්සෙ පීරියඩ් එක සෞඛ්‍ය !!

කොල්ලො ටික සේරම වාඩිවෙලා ඉස්සරහ දොර දිහා ඇස් පිය නොගහ බලං ඉන්නව මිස් එනකං. බෙල් එක ගහල විනාඩි පහක් විතර වෙන්න ආව. ඒත් මිස් නෑ.

මචං.. හරේ …… මිස් එනෝ…..! බැල්කනියෙන් එබිල පහල බලාගෙන උන්න එකෙක් බෙරිහන් දුන්න.

තවත් විනාඩි දෙකකට විතර පස්සෙ ලැසි ගමනින් මිස් එනව. අපිට තියන හදිස්සියෙන් සීයෙන් එකක්වත් නැතිගානට.

ආයුබෝවන් !

ආයූබෝඕවාආන්න්න්න්….

ගුරු පු‍ටුවෙ වාඩිවෙච්ච මිස් ගත්ත රෙකෝඩ් බුක් එක. පෙරළුව පලවෙනි පි‍ටුව.. තව ඩිංගක් ඉඳල දෙවෙනි පි‍ටුවත් පෙරළුව.. ඊලඟට තුන.. හතර.. පහ…..

පොතේ පි‍ටු සීයක් විතර තියනව. විනාඩියට එක ගානෙ පෙරළුවත් විනාඩි හතලිස් පහේ පීරියඩ් එකෙන් ඉතුරුවෙච්ච පැය බාගෙට පෙල්ලන්න පුළුවන් පි‍ටු තිහයි… මේ මොන විනසයක්ද වෙන්න යන්නෙ….

ළමයි.. ඔහොම පොඩ්ඩක් ඉන්න. මේ රෙකෝඩ් බුක් එකේ පොඩි වැ‍රැද්දක් තියනව. මම ස්ටාෆ් රූම් එකට ගිහිල්ල එනකං කෑ ගහන්නෙ නැතුව ඉන්න ඕනෙ හොඳද ?

හුටා ! මේ මොන ගිණිගෙඩියක්ද පාත්වෙන්න යන්නෙ… කලිං පීරියඩ් හතරෙම සර්ල අගේට ලිව්ව පොතේ මේ අහවල් වැ‍රැද්දක්ද එක පාරටම…

එතකොට මිස් අපේ පාඩම….? ඉවසාගෙන ඉන්න බැරිවෙච්ච එකෙක් පේලියෙ කෙළවරේම ඉඳල අහපි !

ඌ දිහා අමුතු හිනාවකුත් එක්ක බැල්මක් දාපු මිස්.. “කලබල වෙන්න ඒපා. මං ඉක්මනට එනව” කියල පොත් මිටියයි හෑන්ඩ් බෑග් එකයි අරං ආව වගේ දහගුණයක් වේගෙන් ගියා….

අඩෝ…. මොකෝ මචං සීන් එක.. අද පාඩම කරන්නෙ නෑ වගේනෙ මිස්….

ඒකනෙ බං. හෙන අපරාදෙනෙ. මං උණත් තියාගෙන බං ආවෙ.

අනේ ඒකනෙ බං. ඉන්ටර්වල් එකට හරියකට කාගන්නවත් බැරි උණා මට.

උඹල මේ රෙද්දක් කතාකරනව, මං ටොයිලට් එක ගාව කොල්ලො පිරිල උන්න නිසා ඉන්ටර්වල් එකේදි චූ කරන්නෙත් නැතුව බං ආවෙ පාඩමට පරක්කුවෙයි කියල, දැං බිළිං ගෙඩිය වගේ …. ඉන්න බෑ……

ෂ්… ෂ්… මචං ජයවීර සර් එනව. දොරගාවට වෙලා හිටිය මොනිටර් පන්තිය සයිලන්ස් කලා.

ආයුබෝවන් ළමයි !

ආයුබෝවන් සර් !

මොකද මේ සද්දෙ කට්ටියගෙ.. හ්ම්.. පොතක් පතක් බලාගන්න බැරිද ගුරුවරයෙක් පන්තියෙ නැති වෙලාවෙ ආ… ?

මීක් සද්දයක් නෑ පන්තියෙන්ම.

හ්ම්.. කමක් නෑ.. මොකක්ද මේ පීරියඩ් එක….

සෞඛ්‍ය සර්…. !

ඉස්සරහම පේලියෙ උන්න එකෙක් කිව්ව.

හ්ම්… ඒක මගේ විෂය නෙමෙයිනෙ. අපි සෞඛ්‍ය මිස් ආයෙන එනකං දැනට විද්‍යාව පාඩමක් කරමු. කෝ ගන්න බලන්න මේ දවස් වල උගන්නන්නෙ කොයි හරියද කියල බලන්න….

පසු සටහන : අපේ විද්‍යා ගුරු ජයවීරයන්ගේ ප්‍රිය ඇඹේණිය වූ ද, අපගේ සෞඛ්‍ය ගුරුවරිය වූද ජයවීර මැතිණිය එදින කාලපරිඡේදය අවසන් වනතුරු අප දෑසට නොගැ‍ටුණු බවද. පසුව වැඩිහිටි සිසුන්ගෙන් දැනගත් පරිදි ඔවුන්ටද මෙම පාඩම යෙදී තිබූ දිනයෙහිද අවාසනාවන්ත ලෙස පන්ති වාර්ථා පොතෙහි යම් කිසි අඩුලුහුඬු කමක් දැක ජයවීර මැතිණිය අතුරුදගන් වී ඇති අතර ජයවීරයානෝ එම හිඩැස බීකරයක් හා පිපෙට්‍ටුවක් ආධාරයෙන් වසා ඇති බවද සංවේගයෙන් පවසා සිටිමි.

ඉඳින් ලත් තැනම ලොප් වූ අපගේ ලිංගික දැනුමට මල් වඩම් අනවශ්‍ය ය !!

පින්තූරෙ ගත්තේ : http://www.divinesecretsofadomesticdiva.com

ඔබ සැමගේ අවධානය පිණිසයි !

මේ දිනවල ශාන්තා මායාදුන්නේ ඇස්ට්‍රා දමා නොයෙක් කෑම ජාති සාදන්නේය. ඒවා ජාතික රූපවාහිණියේ පෙන්වන්නේ ය. ඒ ජාතික රූපවාහිණියම ළදරු පෝෂණය ගැන නුගසෙවනේද මුරගාන්නේ ය. ඒ මදිවාට කලකට පෙර සූරියප්පෙරුම මුත්තා ලොඹු කටින් මැල්ලුම් මුට්ටිය කවා හදනා අඩි හයේ යෝධයා ගැනද නන්දෙඩවූවේය. පෝසන මළුද දේ.

උන් හෙළුවෙන් ය. ඉඳින් අපිද රෙදි ගලවා දමමු. එවිට කිසිවෙකුටත් අනුන්ගේ හෙළුවට ඇඟිල්ල දිගු කර වෙහෙස විය යුතු නැත.

සෑම කෙනෙකුටම නියමිත මිලක් ඇතිබව නැවත නැවතත් ඇස් පනාපිටම ඔප්පුවෙමින් පවතී !!

සැ.යු : උක්ත රූ සටහන ඊ මේලයකින් උපුටා ගන්නා ලද්දකි.

සරම [අවසානයේ එය ගෑණුන්ට ගිය සේක !]

සරම හරිම අපූරු ඇඳුමකි. එය හරිම සරළය. ගත්තා මැහුවා ඇන්දාය. මං සරමක් ඉස්සරම ඇන්දේ ඉස්කෝලේ තුනේ හෝ හතරේ දී විය යුතුය. ඒ දෙකට කපා අම්මා මසා දුන් තාත්තාගේ පරණ බතික් සරමකි. එදා මට හරිම ඉහල දවසකි. සරම ඇඳං මම ගම පුරාම ගියෙමි.

ඒ කාලේ මගේ යාළු ගෑණු ළමයා ගුණවර්ධන අංකල්ගේ ලොකු දුවය. ඈ දෙකවසරේ ය. ඈට ද සරම පෙන්නන්න ගොස් කුස්සියේ බංකුවේ ඇණ තියාගෙන වාඩිවී “කුමුදු ඔයා මගෙ අළුත් බඩුව දැක්කා දැයි” ඇසීමි. ඈ ද “ආනේ ශෝක්” යැයි කීවාය. ඒත් ගෙදර වැඩකාරී “ගෑණු ළමයි ඉන්න තැන්වල ඔහොමත් වාඩි වෙනවදැයි” අසා මා එලවා ගත්තේය. එකත් එකටම ඈ මගේ මක්කා හෝ ගෑණු ළමුන් නොදැකිය යුතු යමක් දැක ඇත. ඒ මාගේ සරම ගැන ඇති මුල්ම මතකය ය.

එදා ඉඳං සරම මට ය මම සරමට ය. සරම ඇඳං නිදාගැනීමද හරිම සෝක් ය. ඇඳට ගිහිං ඉනෙන් සරම කඩා එය කර මතක් වෙනකං ඇදගෙන පෙරවා ගන්නට පුළුවන් ය. හැබැයි එතකොට දණක් වෙනකං හෙළුවෙන් ය. ඒකටත් විකල්පයක් තිබේ. ඒ තුං කුදේ ගහං කකුල් දෙකද සරම ඇතුළට ගැනීමය. ටික වෙලාවකින් සරම ඇතුලේ බොහොම සුවදායක උණුසුමක් ඇතිවෙනවා ය. ඒ සෙල්ලම නින්ද යනකං විතරය. හිච්චි එකා කාලෙයේඋදේට ඇහැරෙනකොට ඔළුවේ ඉඳං පෙරවාගත් සරම වලල්ලක් වී ඇඳවිට්ටමේ එල්ලෙනෙවා ය. එහෙමත් නැත්නම් ඇඳ පා මුලය. හිච්චි හන්දා කාටවත් ගානක් නැතිය. අනිත් උන්ට ගානක් නැතිනම් මටද ඒකේ වගක් නැතිය.

මගේ වැඩිපුර මනාපයක් තිබුනේ බතික් සරම් වලටය. ඒත් ඒවා ගනං ය. ඒක නිසා මට තිබුනේම පිජාමා සරං ය. අට නමය පන්තිවලට යනකොට නම් සමහර දවස්වල උදේට නැගිටිනකොට පිජාමා සරං ඉබේම සිතියං සමඟ බතික් වී තිබුණි. ඇතැම් විටක ඩයි වැඩිවී ඇඳ රෙදිද බතික් වී තිබුණි. සරං ඇඳං නිදාගත්තාට උදේ නැගිට්ට ගමං ඇ‍ඳෙන් බහින්නට බැරිය. ඒ ටෙන්ට් එක ගසා ඇති නිසාය. හීන් සීරුවේ ටෙන්ට් එක බෑවෙනකන් සිටිය යුතුය. එවන් දිනවල මේකගෙ තියන කම්මැලි කම, ඇහැරිලත් තවම ඇඳේ යැයි ගෙදර කවුරුහරි කණු කුණු ගායි.

මුල්ම කාලේ නින්දට සීමා වූ මගේ සරං කෙටිය පහු පහුවෙනකොට ගෙදරින් එලියටද වැඩියේ ය. ඒ දහම් පාසැලට ය. දහම් පාසැල් සරමට යටින් අඳින්න අම්මා මසා දුන් පාට පාට ලංකට් සැට් එකක්ද තිබුනේය. දාඩිය දමන නිසා මං ඒවා අඳින්න වැඩි මනාපයක් නොපෙන්නුවත් ගෑණු ළමයි ඉස්සරහා සරම කඩං වැ‍ටුනොත් ලැජ්ජ වෙන්න වෙනවා යැයි අම්මා කී නිසා අකමැත්තෙන් වුවද ඇන්දෙමි. ලංකට් නම් මදෑය. අම්මා සුදු පාට ඉණ පටියක්ද ගෙනාවාය. ඒ වැඩි ආරස්සාවටය. දාංගලේට ගියාම මගේ සරම කොහේවත් ය මම කොහේවත් ය. මෑතක නොදන්නා මඟුල් ලියන්න පටං ගත්තු ඩී.කේ ද මගේ දහම් පාසැලේ සරං යාළුවෙක් ය. ඌයි මායි දහම්පාසැලේ අටොල්ලක නැඟී ප්ලේන් සෙල්ලම් කල හැටි හොඳට මතකය. ඌට මතකදැයි අසා දැනගත යුතුය.

සරම ඕනෑම තැනකට ඕනෑම වැඩකට ඔබිනා මල්ටි පර්පස් ඇඳුමක් ය. දුවන්න උවමනා විට යට කෙළවර කණපිට හැරෙන සේ උස්සා ඉනේ ගැටේය ඩිංගිත්තක් විතර පහලට වෙන්න ගැටගසා වලා පොට ගසාගන්නා සේම ගස් නැඟීමේදි සරම ඉහලට උස්සා ඉදිරියෙන් කැටිකොට කකුල් දෙක අස්සෙන් පි‍ටුපසට දමා ඉනට යටකර අමුඩයද ගසා ගත හැකිය. අමුඩය ගැසීම අළුත් පිජාමා සරමෙන් ඩිංගක් විතර අමාරුය. ඒ නිතරම ගැට ලිස්සන්න බලනා නිසාය. ටික කලක් පාවිච්චි කර පරණ වූ කල එයද අමුඩයට කදිමට ගැලපේ.

මුලින්ම පීනන්න පුරුදු වන්නේද තෙත සරමට හුලං බදලා ය. සරම තෙමුණු විට රෙද්දේ සිදුරු එයාර් ටයිට් වී හුලං බදලා අල්ලයි. එවිට මඳ වෙලාවක් දියේ නොගිලී ඉන්නට පුළුවං ය. ඇලේ මාළු අල්ලන්නටද සරමෙන් පුළුවන. ඒ වතුර යටින් සරම බොක්ක ගසා ගෙනගොස් එකපාරටම ඉස්සීමෙනි. හැබැයි පරිස්සං විය යුතුය. බැරිවෙලාවත් හුංගෙක් එහෙම හිටියොත් මල්ලි දෙක වෙන්න අනින්න ඉඩ ඇතිය.

සීයා පාන්දර වත්තේ පුවක් අහුලං දමාගෙන එන්නේද සරං ඔඩොක්කුවේ ය. වවුල්ලු බී බිමට කඩා දමනා පුවක් වල හරියට කහටය. ඒක නිසා සීයාට වෙනම පුවක් සරමක් තිබුනේය. උදේම කරාබුනැටි අහුලන්න යන්නේද ඒ සරම ඇඳගෙනය. කරාබු මණ්ඩියට නං මාත් යන්න හරිම කැමති ය. මා ද හරි හරියට සීයා එක්ක සරං ඔඩොක්කුවට කරාබු අහුලා ගැටේ නොකැඩෙන්න පරිස්සමට අල්ලගෙනැවිත් කුස්සි ඉස්තෝප්පුවේ කෙළවරට සරමේ වළාපොට ලිහමි. සොරොස් ගා දෙපතුල ගාවට කරාබු වැටේ.

අපේ තාත්තා ගෙදරට අඳින්නේ සරං ය, එලියට කලිසං ය. තාත්තාගේ තාත්තා සීයා නං ගෙදරටද එළියටද ඇන්දේ සරමය. ඇතැම් විට එලියට අමුඩයද ඇන්දේය. ඒ ඕවිටට යන විටය. අම්මාද ඉස්සර ගමේ ඉන්නකාලේ ඉඳ හිටක සරං ඇන්දාය. ඒ දිය රෙද්ද හොයා ගන්න බැරි තැන තාත්තාගේ සරමක් ය. අම්මාගේ තාත්තා ද ඇන්දේ සරං ය. මුළෑදෑනි රාජකාරියට යනකොට ‍ටුවිඩ් රෙද්දක් ඇන්දේය. ඒක හරියට ආච්චිගේ චීත්තයක් වාගේ දෙකොණ මූට්‍ටු නොකල රෙද්දක් ය.

ඉස්සර සරං කාරයා ගමේ බයියා උනාට දැං සරං පොෂ් ඇඳුමකි. ඒ පොෂ් සරං ගිණි ගනං ය. ඒවා පාට පාට ය. තව එකක් අල්ලි අල්ලි ය. හනිමූං කොරන්න මාත් එයිං පොෂ් සරං දෙකක් ගත්තේ යන්න උනේ හොඳවැයිං හෝටල් දෙකකට නිසා ය. අපරාදේ කියන්න බැරිය, එදා ඉඳං හැමදාම වාගේ ඇන්දත් තාම ගත්තා වගේ අළුත් පිට පෙණුමට ඇත්තේ ය. ඒ පොෂ් සරංවල හැටිය.

හුටා ! එළියේ රම්පෙට පොරි වෙන්න වහිනවා ය. හාල්පොත වගේ ඇති සරං දෙකම හෝදා වැලේ දැම්මේ උදේය. බඩු හරිය……  දෑං රෑට අඳින්නට එකක් නැතිය !!

ප.ලි : සරං හොයනකොට ගූගලයා දුන්නේ ඔය උඩ තියන ජාතියේ ඒවා ය. එකකට එකක් පරාද නැතිය. හරි ලස්සන සරංය. එකක් ‍තෝරන්න මහ වෙලාවක් ගියේය. බලං යනකොට ලෝකයේ සරං වැඩිපුරම අඳින්නේ ගෑණුය. මුං සම තැන ඉල්ලා අපේ සරමටත් කෙළලා වගේය ! අහෝ !!

උපන්දින කේක් ගෙඩියේ විගඩම

ඇන්ටී අනේ තව කට්ලස් එකක්…..

ජංගියකුයි කර හොඳටම ඇදිච්ච බැනියමකුයි ඇඳපු පොඩි එකෙක් අම්මගෙ සායෙ එල්ලිලා.

ඇන්ටී පපඩං තියෙයි ? තා පරිප්පු ඩිංගක්….. අනේ මට මාළු කෑල්ලක්….

ඔය වගේ දේවල් අඩු වැඩි විදියට හැම අවුරුද්දකම ඇහෙන්න මගෙ උපන්දිනේ දවසෙ හැන්දෑවට ගාල්ලෙ ගුණරතන ළමා නිවාසෙදි.

උපන්දිනේකට කිසිම දවසක පාටි දාන්න පුරුද්දක් නොතිබිච්ච අම්මයි තාත්තයි මගෙ එකම එක උපන්දිනයකටවත් කේක් ගෙඩියක් කැපුවෙ නෑ. පන්තියෙ අනිත් ළමයි තම තමන්ගෙ උපන්දිනේ දවසෙ පන්තියටම කේක් ගේනකොට මං මගෙ උපන්දිනේ දවසෙ හිස් අතින් ඉස්කෝලෙ යන්නෙ කිසිම දුකකින් නෙවෙයි. ඊට පස්සෙ එළඹෙන හැන්දෑව ගැන මතක්වෙලා හිත පිරිච්ච සන්තෝසයකින්.

එදාට මම ඉස්කෝලෙ ඇරිල ගෙදර යනකොට අහල පහල ගෙවල්වල කීපදෙනෙක් එක්ක අපේ අම්ම රාජකාරි පටන් අරගෙන, මුළු කුස්සියම පුසුඹයි.

හැන්දෑවෙ පහට විතර පටන් ගන්න කෑම පාර්සල් බැඳිල්ල තුන් හතරදෙනෙකුගෙ උදව්වෙන් හවස හය විතර වෙනකොට යාන්තං අහවරයි. ඊට පස්සෙ කුස්සියෙ පෝරණුවට උඩින් තියන කොන්ක්‍රීට් කෑල්ලෙන් බාල සෝදල වේලෙන්න තියාපු ප්ලාස්ටික් භාජන වලට ආයෙම අඩුපාඩු බෙදන්න කියල එළවළු, මාළු, පපඩම්, කට්ලට් මහ ගොඩක් පුරෝගන්නව. ඕං එතනින් කුස්සියෙ රාජකාරි අහවරයි.

ඊට පස්සෙ තාත්ත හීන් සැරේ පරණ වැගන් කාර් එකට පෙට්ටිවල අඩුක් කරාපු කෑම පාර්සල්, ප්ලාස්ටික් බකට් එහෙම පටවගන්නව. මමයි කියල මහ වැඩක් නොකලත් හැම එකකටම සම්මාදං වෙන්නෙ හරිම සන්තෝසෙන්.

හැන්දෑවෙ හය හමාරට විතර අපි ඔන්න ළමා නිවාසෙට යනව. අපි යනකොට පුංචි පුංචි කොළුපැටව් තාප්පෙ ගාව ඉඳලම පෝලිං ගැහිල ඉන්නව හරිම සන්තෝස මූණු වලින්. වාහනේ උන් ටිකව පහුහරන් ඉස්සරහටම යනකොට එක පෝලිමට දුවගෙන එනව. ඊට පස්සෙ වාහනන් බාන කෑම ඔක්කෝම එයාල කෑම කන ශාලාවට අරගෙන යන්නත් උදව් වෙනව.

ඊට පස්සෙ අපිත් එක්කම ඒ පොඩි උන් රොත්ත එනව බුදුන් වඳින්න. උන් මහා හයියෙන් ගාථා කියනව අපි කියනවටත් වඩා හයියෙන්. ඊලඟට විනාඩි දෙකක් භාවනා කරන්න ඕනෙ. විහාරගෙයි මල් මල් ටයිල් උඩ එරමිනිය ගොතාගෙන වාඩිවෙන පොඩි උන්ට ඒ විනාඩි දෙක කල්පයක් වගේ. දාන ශාලාවෙ ඉඳල හුලඟ එක්කං එන පුසුඹ උන්ගෙ නැහැයවල් කොණිති ගහනව ඇති. බැරිම උනාම එකෙක් දෙන්නෙක් හොරාට ඇහැක් විතරක් ඇරලත් බලනව.

ඊටපස්සෙ හැමෝම යනව දාන ශාලාවට. අපිටත් කලිං දුවල ගියපු කොලු පැටව් ටික අපි එතනට යනකොට පිඟන් කෝප්ප එහෙම අරගෙන වාඩිවෙලා දිලිසෙන ඇස්වලින් බලාගෙන ඉන්නව. උන්ට හරිම සන්තෝසයි. හිනා කටවල් ගොඩයි.

කෑම කාල බඩ පිරිච්ච සන්තෝසෙට ඒ පුංචි එවුන් ඊටපස්සෙ අපිට අහං ඉන්න සින්දු කියනව. ඒක හරිම ලස්සන, සංවේදී මොහොතක්.

මුලින්ම පොඩි උන් ටික කෑම කාපු ලොකු මේස බිත්තිය අයිනෙ එක පිට එක ගොඩගහනව වාඩෙවෙලා උන්න බංකු එහෙම්මම තියෙන්න ඇරල. ඊට පස්සෙ වාඩිවෙන බංකු එකකට එකක් හේත්තුවෙන විදියට ලොකු රවුමක් හැදෙන විදියට තියල රවුමෙ ඇතුල් පැත්තට කකුල් දාල හැමෝම වාඩිවෙනව. අපිත් ඒ අය අතරෙන් වාඩි උනාම රවුම ගානට හිර වෙලා.

ඊට පස්සෙ සින්දු කියන්න පුළුවන් පොඩිඋන් ඒ රවුමෙ මැදට ගිහිල්ල සින්දු කියනව, නටන්න පුළුවන් කොලු පැටව් නටනව. හරිම අපූරුයි. ඒත් පපුව කඩාවැටෙන තරං දුකයි. උන් එකෙක්වත් අඬන්නෙ නෑ. ඒත් උන් අසරණයි. ඒ අසරණ කම හංගං සින්දු කියල, නටල අත්පුඩි හගනකොට උන් තරමට අසරණ නැති අපි කිසිම කෙනෙක්ට නාඬා ඉන්න බෑ.

මට අද වගේ මතකයි එක කොලු පැටියෙක් වචන පටලව පටලව මෙන්න මේ සින්දුව කිව්ව.

අම්මාවරුනේ අම්මාවරුනේ
දරුවන්ගේ දූක් කඳුළු දකිනදා
සුරලොව සිට අතපා
ඒ කඳුලැල් පිසිනා
අම්මාවරු නැති දරුවන්ගේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
සංසාරේ මතු බුදු වන්නේ
සෙනෙහස වැඩිදා සිතද බොලඳ වේ
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ.

මං බලාගෙන අපේ අම්ම මූණ හංගාගෙන අඬනව. ඒ සින්දුව කිව්ව පොඩි එකා ඒ වෙනකොටත් හිනාවෙච්ච ගමන් මයි.

ටික ටික රෑ වෙනව. දැං පොඩි පැටට් ටිකට නිදිමතයි. එකා දෙන්නට ඈනුම් යනව. ඒ කියන්න අපිට ආයෙම ලබන අවුරුද්ද වෙනකං උන් ගෙන් සමුගන්න වෙලාව ඇවිල්ල.

අපි යන්න නැගිට්ටම උන් එක පොදියට වැටිල අම්මටයි තාත්තටයි දණ ගහල වඳිනව. ඒ හරියට තමන්ගෙම ගෙදරක අම්ම තාත්තගෙ උණුසුම විඳල නොතිබුණු උන්ට පැය කීපයකට හරි අම්ම තාත්ත උනාට පිං කියන්න වගේ.

එහෙම උපන්දින සමරපු මට ගම අතෑරල දාල කොළඹ ආවදා ඉඳල කාර්යාල සම්ප්‍රදායට අනුව මූනිච්චාවට සුභපතන ඈයො වට කරන් “හැපි බර්ත් ඩේ ටූ යූ” කියල ග්‍රීන් කැබින් කේක් කපල වැඩ ඇරිල යනගමං රෑට පාං ගෙඩියකුත් අරං ගිහිල්ල පරිප්පු හොද්දෙ පොඟවං කන්න වෙච්ච එක නම් ඇඬෙන, ලැජ්ජා හිතෙන විහිළුවක්.

ප.ලි : අද මගේ උපන්දිනේ නෙවෙයි, ඒවගේම උපන්දිනේට පෝස්ට් එකක් ලියන්නත් හිතෙන එකක් නෑ. [කිසිම ස්ථීර දෙයක් නැති ජීවිතේ]

අනේ අයියේ කෝ එයා…. ? [ඇහුවෙ නැත්තෙ ඇයි ඔයා?]

කල්හාරගෙ මේ ලිපිය දැක්කම මම ආයෙමත් අදින් අවුරුදු අටකට විතර කලින් ක‍ටුනායක ගතකරපු කාලයට මතකයෙන් ගියා. ක‍ටුනායක අපනයන සැකසුම් කලාපයේ ‍රැකියාවට ගිහිල්ල කෙල්ලො ගොඩක් මැද ගතකරපු කලය මතුපිටින් බැලුවම හරිම ලස්සනයි වගේ බලන කෙනෙක්ට පෙනෙයි. ඒත් යථාර්තය ඒකම නෙවෙයි. මතුපිටින් පෙනෙන හැම දෙයකම අභ්‍යන්තරය ගොඩක් වෙනස්. හිත රිදෙන තැන් බොහෝමයි.

ඒ අත්දැකීම් වලින් කොටස් තුනකට ලියාපු පහලින් තියන ලිපිවල තිබුනෙ අපි අත්විඳපු හිතට බරක් එකතුකරාපු එක සිද්ධියක් විතරයි.  කැමතිනම් කියවන්න,

01.ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ගෑණු බෝඩිම] – පලමු කොටස
02.ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [අසභ්‍ය වීදියේ අකල් සංචාරය] – දෙවන කොටස
03.ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ] – තෙවන කොටස

මාත් එක්ක ක‍ටුනායක බෝඩිමේ හුණ්ඩු කාමරේ උන්න යාළුවන්ගෙන් එකා දෙන්න මාසයක් හමාරක් අපිත් එක්ක ඉඳල  හෙමිහිට හෙමිහිට කාමරෙන් ගියා. ඒකට හේතු ගොඩක් තිබුනත් ඉඩ කඩ මදිවීම හැම තිස්සෙම ප්‍රධාන හේතුව හැටියට අපි හැමෝම පිලිගත්තා.

එහෙම ගියත් ඒ තුන් හතරදෙනා වැඩි ඈතකට නෙමෙයි ගියේ.

ඒ බෝඩිමේදිම අඳුනගනිපු ගෑණුළමයි එක්ක වෙනමම කාමරවලට !

ලිවින් ‍ටුගෙදර් අහල තිබුනට මේ තමයි මුලින්ම හැබෑවක් කියල දැකපු කාලෙ. උන් එහෙම යනව කිව්වම අපි මුලින්ම බය උනා මුන් මේ මොනව කරන්න හදනවද කියල. ඒත් අපිට අරුමයක් උනාට සීයක් හමාරක් උන්නු ඒ බෝඩිං සංකීර්ණයේ කිසිම කෙනෙකුට ඒක ලොකු දෙයක් උනේ නෑ. කිසිම අවලාදයක්, බැනුමක් නෑ.

ඕනෙම නම් වැඩිම උනොත්, ආ නංගී… හරිගියා එහෙනං ඈ…. කියල උන් එක්කම එච්චර කාලයක් උන්නු කෙල්ලෙක්ම විහිළුවක් කරන්න ඇති.

එදා ඉඳල අපි වගේ උන් උදේට උයන්න කුස්සියට ආවෙ නෑ. කඩෙන් හැන්දැවට ආප්ප, කොත්තු කන්න ආවෙ නෑ.

පොකුණට වැටිච්ච ගල ඇතිකරපු ‍රැලි හෙමිහිට මැකිල ගියා. රොන් මඩ ආයෙම පතුලටම කිඳාබැස්සා. අපි වෙනදා වගේම අමන්දොළුව පාර දිගේ කෙල්ලො පේලියක් පස්සෙන් වැටිල රස්සාවට ගියා. ආයෙම හැන්දෑවෙ බෝඩිමට ගෑ‍ටුව. බොහොම නිස්කලංකයෙන් ඒකාකාරී විඩාබර දවස් ගෙවිලා ගියා.

ඒත් එක දවසක් !

හැන්දෑවෙ අටට විතර අපි බෝඩිමේ කපරාරු නොකරුපු බ්ලොග් ගල් වලින් බැඳපු කොට තාප්ප කෑල්ලකින් තුන් පැත්තක් විතරක් වටවෙච්ච, වහලක් නැති ෂවර් පෝලිමේ නාන අතරෙ අපේ කාමරේ උන්නු සම්පත් දුවගෙන ඇවිල්ල බැනියමක් හෝදන්න තියාගත්ත.

මොකෝ බං මේ… අපි නාන්න කතාකල වෙලාවෙ උඹ ඉහේ ඇම්මයි කියල නිදාගෙන නේද උන්නෙ ?.

……. උත්තරයක් නෑ, ටැප් එක ගාව දණ ඇණගෙන රෙද්ද හෝදනව.

උඹට මොන යකා වැහුනයි මේ හැන්දෑවෙ?

…… ඒත් සද්දයක් නෑ,

මිනිහෝ කියාපන්, මොකද උනේ……

ඒයි ඒයි…. පොඩ්ඩක් එහාට වෙයං බලන්න.. යකෝ මේ ලේ නේද……. !!!

මොකද බං උනේ… කියහංකො….

මොන රෙද්දක්ද බං. මුකුත් උනේ නෑ…..

එහෙනං මේ ලේ…. !!!

උඹලත් ගෑණු වගේනෙ. කට පියං ඉඳහල්ල යකුනේ. මුකුත් උනේ නෑ…

එහෙම කියල ඌ හෝදපු බැනියමත් අරං ආපහු කාමරේට ගියා.

අපි නාගෙන අහවර වෙලා කාමරේට යනකොට මෙන්න මනුස්සය ඉහේ ඉඳං පොරවාගෙන නිදි.

මචං… මම ඇඟට අත තියල කතා කලා.

හ්ම්…..

මචං පාං තියනව කාල නිදාගං..

ම්හ්.. උඹල කාහල්ල, මගෙ ඔළුව රිදෙනව බං…..

උනේ මොකක්ද කියල දැනගන්න අපිට ලොකුවට උවමනාව තිබුනට මිනිහ නිදාගෙන උන්න විදියට අපිට හිතුනෙ නෑ ඇහැරවල ආයෙම ඌට වද දෙන්න. අනික අතක් පයක් කැපිල කියල පේන්නෙත් නැති එකේ උදේටම අහල බලනව කියල හිතාගත්ත.

වෙනද වගේම ස්ටූල් එක මැද අලි පරිප්පු බේසම තියාගෙන වටේට වාඩිවෙලා අපි පාං කෑව.

සැරින් සැරේ ඇඳේ ඉන්න එකාගෙන් හීන් කෙඳිරියක් එනව.

පව් බං ! හැබෑටම මූට මොකද උනේ….?

අයියේ… අයියේ….

කවුද බං මේ වෙලාවෙ.

එකෙක් ගොහින් දොර ඇරිය.

නිලූපා…… එහා කාමරේ ඉන්න කෙල්ලො තුන්දෙනාගෙන් එක්කෙනෙක් !

සම්පත් අයිය ඉන්නවද?

ඉන්නව දැං නිදි ඔළුවෙ කැක්කුමයි කියල. ඇයි නංගි.

නෑ නිකං ඇහුවෙ. මං යන්නං.

නිලූපා සම්පතුත් එක්ක කීප දවසක්ම කතා බහ කරනව අපි හැමෝම දැකල තිබුනත් ඒ ගෑණු ළමය ගැන පොඩි පොඩි කතා වගයක් බෝඩිමේ පැතිරිලා තිබුන නිසා කතා බහට යනවට  අපි  කැමැත්තක් පෙන්නුවෙ නෑ. සම්පතුත් වැඩිය ඒ ළමයව කෙයාර් නොකලෙ ඒ වෙනකොටත් ගමේ ගෑණුළමයෙක් උන්න නිසා.

පහුවෙනිද අපි නැගිටිනකොට මෙන්න අසනීප කාරය නැගිටල ලේස්තිවෙලත් ඉවරයි.

මචන්, දැන් උඹට කොහොමෙයි?

අවුලක් නෑ මචං. දැං හරි.

ඒක නෙමෙයි, අද උඹගෙ ඕෆ් එක නේද, මේ කොහේ යන්නද?

හ්ම්ම්…. ලොකු හුස්මක් අරන් මිනිහ ඇඳ උඩින් වාඩි උනා..

මචං, මම ආයෙම ගමේ යනව.

ගමේ යනව.. ඒ මොකෝ බං.

ඊයෙ රෑ පොඩි අවුලක් උනා මචං.උඹල නාන්න ගිය අතරෙ  නිලූපා කාමරේට ආව. …… ……..  ……..

මොකක් ! ඉතිං…..

****************************************

කවුරුවත් මාව ඇහුවොත් දන්නෙ නෑ කියාපන් මචං. ……. මම ගිහිල්ල ඒකිට කෝල් එකක් දෙන්නම්.

අපි සේරම කතා නැතුව කසාය බීපු ගොළුවො වගේ බලා ඉඳිද්දි සම්පත් ලොකු ට්‍රැවලින් බෑග් දෙක කරේ දෙපැත්තෙ එල්ලගෙන අපිට පි‍ටුපාල එකම එක පාරක් වත් ආපහු නොහැරීම ලා අඳුරෙ පාරෙ ලයිට් කණුවෙ එලියෙන් පේන වැලි පාර දිගේ බෝඩිං වත්තෙන් එලියට ඇවිදගෙන ගියා.

“ඉතිං යකෝ ඒක මහ බලු වැඩක්නෙ”

එහෙම කියල ඌට බනින්න හරි උපදෙසක් හරි දෙන්න අපි කිසිමකෙනෙක් ඉදිරිපත් උනේ නැත්තෙ ඇයි කියල තාමත් මට හිතාගන්න බෑ. සමහර විට සම්පත් “අපේ” කියල හිතෙන්න ඇති. එහෙමත් නැත්නම් නිලූපා ගැන මුලින්ම තිබුන අපැහැදීම වෙන්න ඇති. ඒත් එක්කම ඒක උන්ගෙ ප්‍රශ්ණයක්, අපි දෙන්න හදන විසඳුමෙන් ඇතිවෙන ප්‍රතිඵල විඳින්නෙ අපි නෙමෙයි කියන සිතුවිල්ලත් කොහේ හරි තියෙන්න ඇති කියල යාන්තමට හිතෙනව.

මිනිස්සු එක එක වෙලාවට ජීවිතේ ප්‍රශ්ණ වලදි දක්වන ප්‍රතිචාර හිතාගන්නත් බැරි තරම් පුදුමයි.  !!!

කොහොම උනත් එදා ඉඳල අපි ඒ බෝඩිමෙන් අයින්වෙලා යනකන් නිලූපා අපේ මූණ බලල කතා නොකලත් අනිත් අයත් එක්ක කිසිම වෙනසක් නැතුව හිනාවෙලා උන්නා.

මම මුලින් කිව්ව වගේ ඒ අපි පිටින් දැකපු හිනාවක් විතරක්ම වෙන්නත් පුළුවන්. කොහොම උනත් ඇතුලින් පිචිචී පිච්චි ලෝකෙට පේන්න හිනාවෙච්ච නිලූපාගෙ හිතේ හයිය සම්පත්ට නැතිවෙච්ච එක ගැනනම් කණගා‍ටුවකුත් අප්‍රසන්න කමකුත් මිශ්‍රවෙච්ච හැඟීමක් තවමත් මගේ හිතේ තියනව.

පින්තූරය ගත්තේ මෙන්න මෙතනින් http://193.105.21.101/image?id=7433&hsearch=bamboo+plant

Follow

Get every new post delivered to your Inbox.

Join 79 other followers