බියර් බෝතලයේ දේසනාව – මෙහෙමයි පවුල් කන්නෙ මචං…….


ඕං බලපන් මචං…. මේකිගෙ තියන සැකේ…

කාගෙද බං….

ප්‍රසන්න සාක්කුවෙන් ගත් ජංගම දුරකතනය දුලිප්ට පෑවේ අප්‍රසන්න මුහුණිනි.

එහි තිරයේ Chanika Calling….. යනුවෙන් දිස් වේ.

උඹෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද….. ඉතිං ආන්සර් කරන්නෙ නැත්තෙ?

මඳ වෙලාවක් නාදවෙන දුරකතනයට ඔරවා සිටි ප්‍රසන්න ඇමතුම විසන්ධිකර පසෙකින් තැබීය

මට මේ වැඩේ එපාවෙලා බං තියෙන්නෙ. මම අද දවාලෙ කෝල් කරල කිව්ව උඹත් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න යනව කියල.

ඉතිං…. ?

එතන ඉඳල එක කෝල් විස්සකට වැඩිය එන්න ඇති මේකිගෙන්.

ඉතිං බං ලව් කරන කාලෙ කෙල්ලගෙන් කෝල් එකක් එනවට වඩා සැපක් තවත් තියනවයි ?

ඒ ඉතිං ලව් කරන්න කතාකරනවනම් නෙ, මේක එහෙම එකක් නෙමෙයි මචං.

එහෙනං… ?

කෝල් කරල කියයි “බොන්න එපා හොඳේ” “අනේ රෑ වෙන්න එපා” “ඔයා ඔය යාළුව ආශ්‍රයකරනව වැඩියි” “මොනවද අනේ ඔයාලට ඔච්චර කතාකරන්න තියෙන්නෙ” “ඔන්න අටට කලින් බෝඩිමට ගියේ නැත්නම් මම තරහයි” ඔන්න ඔය වගේ විකාර ගොඩයි බං.

ඉතිං මචං තමන් ආදරේ කරන මිනිහට බොන්න එපා, රෑවෙන්න එපා කියන එකේ වැ‍රැද්ද මොකක්ද?

උඹ කැමතිද උඹෙ වයිෆ් හැමතිස්සෙම කනිපින්දං ගානවට “බොන්න එපා, රෑවෙන්න එපා, යාළුවො එක්ක ඇවිදින්න එපා” කියල.

නෑ මම හිතන්නෙ නෑ. ඒත් මචං මම ඔය අත්දැකීමට මූණදීල නෑ.

ඒ කියන්නෙ උඹෙ වයිෆ්ට ගානක් නැ උඹ බීල රෑට ගෙදර යනවට.

ගානක් නැතුව නෙමෙයි මචං. මුතූ කිසිම දවසක මට කිසිම නීතියක් දාල නෑ. ඒක නිසා මට ඒකිට ඇණයක් වෙන්න උවමනා වෙලා නෑ. මම ඈණයක් නෙවෙනතාක් කල් එයා මට ඇණයක් වෙන්නත් නෑ කියල මට විස්වාසයි.

සර්.. මොනවද ගේන්නෙ ?

අපිට ගේන්න කාල්ස්බර්ග් ස්ට්‍රෝන්ග් දෙකයි හැඬැල්ලො බයිට් එකයි.

අනික මචං, මම බියර් එකකට වඩා දෙයක් බොන්නෙ නෑ මොකද මම දන්නව මගේ ලිමිට්.

එතකොට උඹ කියන්නෙ උඹ උඹට ඕන විදියට ජීවත්වෙනව මුතූ එයාට ඕනෙ විදියට ජීවත් වෙනව කියලද? ඒක එහෙම වෙන්න ඕන නම් අහවල් දෙයකටද බං උඹල බැන්දෙ ?

ඔය… උඹ වලිගෙ පගගෙන නෙ ප්‍රසන්න… සහයෝගයෙන් ජීවත්වෙන එකයි මම එතනින් අදහස් කලේ. එහෙම නැතුව එයා මොනවා කලත් මට ගානක්වත් මම මොනවා කලත් එයාට ගානක්වත් නෑ කියන එක නෙමෙයි. අපි දෙන්න තනි තනිවම කරන හැම දෙයකම බලපෑම දෙන්නටම සමානව දැනෙනව. ඒත් ඒ දේවල් දරාගන්න පුළුවන් සීමා ඇතුලෙ සිද්ධවෙනවනම් එතන ගැටළුවක් නෑ මචං.

ඒ කිව්වෙ ?

හ්ම්… මම මෙහෙම කියන්නම්කො…… සීතල බියර් උගුරකට පස්සෙ බැදපු හැඬැල්ලෙකුට පිඟානෙ පැත්තක තිබිච්ච දෙහි බෑයෙන් බිංදුවක් මිරිකල දාගෙන හපන ගමන් දුලිප් ආයෙම කතාව පටන් ගත්ත.

උඹ හිතපන්කො මම අද බීල ගෙදර යනව කියල. මම බලාපොරොත්තු වෙන්න නරකයි මුතූ වෙනද වගේ දුවල ඇවිල්ල මාව පිළිගනීවි කියල. ඒක එහෙම වෙන්නෙ නෑ. ගෑණු ගෙදර දාල පිරිමි අපි තනියම විනෝද වෙලා එනකොට උන්ට තරමක දුකක්, කේන්තියක් ඇතිවෙනව. ඒ වෙලවට අපි දැනගන්න ඕන ඒ කේන්තිය සමනය වෙන විදියට වැඩ කරන්න.

මහ දේවල් කරන්න ඕන නෑ අමනාපෙන් පැත්තකට වෙලා ඉන්න ගෑණිව ලඟට ඇදල අරගෙන පොඩ්ඩක් හුරතල් කරල, එහෙම නැත්නම් උයන පිහන දෙයකට පොඩි උදව්වක් කරල, විහිළුවක් දෙකක් කරල බොහොම ලස්සනට ඒ දේ කරන්න පුළුවන්. හැබැයි වැරදිලාවත් “මේ මොන මඟුලක් ද ? මේ ගෑණිට ඇවිල්ල දොරවත් අරින්න බැරිද” කියල හිතල ආරෝවක් ඇදගත්තොත් ඔන්න පුතේ එදා ඉඳල වැඩේ දෙල්.

උඹ ඔය කියන්නෙ අත්දැකීමෙන් ද ? මෙච්චර වෙලා බ්යර් මග් එක දෑතට මැදිකරගෙන හිටපු ප්‍රසන්න ඇහුව.

හෙහ් හෙහ්…. උඹට කැමතිනම් එහෙම හිතාගත්තට මගෙ අමනාපයක් නෑ..

ඒත් බං අපි මොන එහෙකටද ගෑණුන්ට ඕන විදියට ජීවත් වෙන්නෙ පිරිමිය පවුලේ මූලිකය වෙච්චිකොට, අනික ගෑණුන්ට යටත් වෙලා, එහෙමත් නැත්නම් උන්ට බයවෙලා, හුරතල් කර කර ඉන්න කොන්ද පණ ඇති පිරිමියෙකුට පුළුවන්ද ?

හෝව් හෝව්……. මචං.. පිරිමිය පවුලෙ මූලිකය කියල කවුද කොහේද බං කියල තියෙන්නෙ ? ඔන්න ඔතන නෙ බං උඹල වරද්දගන්නෙ. පවුලක ප්‍රධානිය පිරිමිය නෙමෙයි බං, ගෑණි. පිරිමිය ඉන්නෙ නාම මාත්‍රිකව විතරයි. ෆැමිලි එකේ කෝර් ඩිසිෂන්ස් ගන්නකොට වැඩි බරක් එන්නෙ ඒ පැත්තෙන්, රස්සාවල් කරගෙන උයල පිහල ළමයින්ගෙ වැඩයි මිනිහගෙ වැඩයි තමන්ගෙ වැඩයි කරල වැඩි බරක් අදින්නෙ ගෑණි. ඒක මේ අද ඊයෙ ඇතිවෙච්ච දෙයක් නෙමෙයි ඉස්සර ඉඳලම තිබිච්ච දෙයක් නෙමෙයි.

ඒ මොන විකාර කතවක්ද බං, ඕක හයියෙන් කියන්න එපා, මෙතන ඉන්න උන් උඹට හිනාවෙයි…..

ඒ උඹ දන්න තරම ප්‍රසන්න, ලෝකෙට පේන්න පිරිමිය ‍රැස් විහිදෙව්වට හිත යටින් දන්නව හැබෑව මොකක්ද කියල. ස්වාභාවිකවම ගෑණි මූලික වෙලා තමයි බං පවුල් හැදිල තියෙන්නෙ. එතනදි සත්තුයි මිනිස්සුයි කියල වෙනසක් නෑ. උදාහරනෙකට ගනිං මීමැසි කූඩුවක්, එහෙමත් නැත්නං වේ ගුලක්. පිරිමිය කියන්නෙ පවුල වටේට තියන ෂෙල් එක මිසක් ෆැමිලි කෝර් එක නෙමෙයි. හැබැයි උවමනා නම් ඒ ක්‍රමේට පිටින් ගිහිල්ල පිරිමියට ඩොමිනේට් වෙන්න පුළුවන්, හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්න බ්‍රෙන් පවර් එකෙන් මිසක් මසල් පවර් එකෙන් නම් නෙවෙයි. පවුල ඇතුලෙදි ගෑණිට නිසි තැන දෙනවනම් ගෙදරින් පිටට ගියාම උන් පිරිමියට ස්වභාවයෙන්ම මූලිකත්වය දෙනව මචං

උඹට නම් පිස්සු බං, මුතූ උඹව බයකරගෙන යටත් කරගනෙද කොහෙද ඉන්නෙ. ඒකනෙ මේ වගේ විකාර කියවෙන්නෙ, නැත්නං මේ කොන්ද පණ ඇති පිරිමියෙක් කියන කතාද බං…

හෙහ් හෙහ්… මාත් කාලයක් උඹ හිතන විදියට තමයි මචං හිතාගෙන උන්නෙ. ඔන්න ඔහේ අපි මේ කතාව අමතක කරල දාමු බං. ඒක නෙමෙයි රෑට උඹට බෝඩිමෙන් කන්න දෙනවද?

නෑ මචං, කඩෙන් මොනාහරි අරං යන්න ඕනෙ.

පිස්සුද .. අපි මෙතනින්ම ඩිනර් එක අරගෙන යමු… අනික මේ රෑ බෝඩිම ලඟ කඩවල් වහලත් ඇති. පොඩ්ඩක් ඉඳහංකො..

ෂ් … මල්ලී…… අපිට ඩිනර් මෙනූ එක ගේන්න….

මචං.. උඹ බීෆ් කනව නේද ?

අවුලක් නෑ..

එහෙනම් මල්ලි අපිට ස්පෙෂල් මික්ස් චොප්සුයි රයිස් ෆුල් එකක් ගේන්න..

හරි සර්..

ඈ මචන් ෆුල් එකක් ඇතිවෙයිද…. ?

අවුලක් නෑ මචං.. මෙතන ෆුල් එක දෙනව දෙන්නක්ටම ඇතිවෙන්න. අනික ආයෙ ගෙදර ගිහිල්ල මුතූගෙ කෑම කන්නත් එපාය, අද උදේ ඉඳලම ඔන්න උඳු ඇට වගයක් දියේ දාගෙන උන්න රෑට ‍තෝසෙ හදන්න ඕන කියල.

උඹ මාර බඩුවක්නෙ, මෙතනින් කාල ආයෙ ගෙදර ගිහිල්ලත් කනවද .. ?

උඹ හිතනවද අද උදේ ඉඳං ප්ලැන් කරල ‍තෝසෙත් හදාගෙන මං එනකං නොකා ඉන්න ගෑණිට සන්තෝස හිතෙයි කියල මම නොකෑවොත් … ඊටත් මේ බීල රෑවෙලාත් ගිහිල්ල ?

තේරුං ගනිං මස්සිනා… මේ තමයි පවුල් කෑම කියල කියන්නෙ.. හෙහ් හෙහ් ….. !!

පින්තූරෙ ගත්තේ : http://www.old-picture.com

ප්‍රේමණීය හිඩැස

මොහොතකට පෙර ඔවුන් හුන් තැන මෙය යැයි කියන්නට මෙන් සීරුවට ඇතිරූ ඇඳ ඇතිරිල්ලේ පොඩි වී හැකිළුණු තැනට ඔබ්බෙන් ගලවා දැමූ මුතු ඇට පොටකි. ඇඳ රෙද්දෙහි වර්ණයටම සමාන යැයි කිවහැකි එය බැලූ බැල්මට නොපෙනුනත් කණ්නාඩිමේසයට මඳක් ඉහලින් ඇති සෑන්ඩ් ස්ටෝන් බිත්තියේ සවි කර ඇති බිත්ති ලාම්පුවෙන් නික්මුන මන්දාලෝකය ඇති කල සෙවනැල්ල එය උළුප්පා පෙන්නීය. කාමරයේ අනෙක්පස ඇති පු‍ටුවක ඇන්දක් මත දැමූ ස්ටෝන්ස් සාරිය මත වැ‍ටුණු විදුලි එළිය පංකාවේ සුළඟ විසින් වරින් වර කාමරය පුරා විසුරවා දැමුයේ මොහොතකට පෙර රාගී සුසුමින් කැළඹීගිය වා තලයේ දරාගැනීමට නොහැකි වත්මන් නිශ්චලභාවය බිඳින්නට මෙනි.

කවීෂ හිඳගෙන හුන් තැනින් නොනැඟිටම අත මානයේ තිබූ ජංගම දුරකථනය ගෙන වෙලාව බැලීය. රාත්‍රී අටටත් කිට්‍ටුය. ඈ නානකාමරයට ගොස් පැයකට ආසන්නය. ඔහු සෝෆාවෙන් නැඟිට බැල්කනියේ විසල් ජනේල විවෘත කර දැමුයේ පරිසරයේ අඳුරට කාමරයට එන්න ඉඩ හරිමිනි. නමුත් ජනේලයෙන් එලියට ආ කාමරයේ වූ ආලෝකය අඳුර හා සටන් වැද මඳ දුරක් ඈතට පලවා හැරියේ ඔහු බලාපොරොත්තු නොවූ පරිදිය.

ජනෙල් පළු දෙක මැදින් පැමිණ අඳුර මරා දැමූ ආලෝක ඉර දිගේ සීරුවට ඉදිරියට ගොස් බැල්කනියේ සීතල යකඩ වැට අල්ලාගත් ඔහු ජනේලයෙන් එපිට ඇති ඉමක් නොපෙනෙන මහ සයුරේ ඇතින් පාවෙන ආලෝක ගුලි දිහා බලා සිටියේ මින් පෙර නොදැකි දසුනක් මෙන් ය. අඳුරු මුහුදේ ඈත ක්ෂිතිජයේ ඇති කුඩා එළි පේලි ඉඳහිට නොපෙනී යන්නේද අහසේ තරු මෙන්ය. මඳ වෙලාවක් ඒ දෙස බලා සිටි ඔහුට අහස හා මුහුද තනි යායක්ව පෙනුනේ බොඳ වී ගිය දෙනෙතට හසුවීමට තරම් ක්ෂිතිජ මායිමේ දැල්වෙනා එළි දීප්තිමත් නොවූ නිසාවෙනි.

කවීෂ…

එක්වරම පි‍ටුපසින් නැඟි හඬින් ගැස්සී කල්පනා දැහැනින් මිදුනු ඔහු සීතල යකඩ වැට අත්නොහැරම උරහිසට උඩින් හිස හරවා පි‍ටුපස බැලීය.

වර්ෂා….

මොහොතකට පෙර නොදු‍ටු සුන්දරත්වයක් තෙත් හිසකෙසින් යුතු ඈගෙන් නික්මේ. පපු මත්තට හැඳ උන් ලා ක්‍රීම් පැහැති නානකාමර තුවායෙන් නිරාවරණය වූ ඈගේ දඟයුග මෙතෙක් සීතලේ බැල්කනියට වී හුන් ඔහුගේ ගත සිත යලි උණුසුම් කරන්නට විය.

ඔයා ඉස්සර හිටියට වඩා හැඩවෙලා……

කෝමල බැල්මක් හෙලා රතුවූ මුහුණින් ඈ බිම බලා සිනාසුනාය.

පුදුම හමුවීමක් නේද ? ….. මෝටර් රියෙන් බසිනාවිට නැවතූ තැනින් ඔහු නැවතත් කථාව පටන්ගත්තේය.

හ්ම්….

මම දැනගන හිටියෙ නෑනෙ දේවින්ද ඔයාගෙත් යාළුවෙක් කියල….. එක අතකට නොදැන හිටිය එකත් හොඳයි, ඔයා එනව කියල මම දැනගෙන හිටියනම් සමහර විට මං නොඑන්නත් ඉඩ තිබුන.

ඇයි ඒ… ඔයා මාව දකින්න ඒ තරම්ම අකමැත්තකින්ද හිටියෙ ?

නෑ… මං කැමැත්තෙන් හිටියෙ. ඒත් ඔයා අකමැතිවෙයි කියල මම හිතුවෙ.

ඔයාටනම් ඉස්සර වගේම පිස්සු… හී හී….

ඇගෙ සිනහව තවමත් පෙර මෙන්ම චමත්කාරය. හිනැහෙන විට පුංචි වෙන ඇස්වලටත් වලගැහෙනා වම් කම්මුලටත් පෙම් බැඳි අතීතය ඔහුට සිහි විය.

වර්ෂා….

ම්..

ඇයි අපිට අපේම වෙලා ඉන්න බැරි උනේ…..

එන්න. අපි මෙතනින් වාඩිවෙලා කතාකරමු..

ඈ ඔහුගේ අතින් ඇද බැල්කනියේ පසෙක තිබූ කාමරයෙන් පෙරී එන ලා එළියට මඳක් නිරාවරණය වී ඇති දිගු සීතල යකඩ බංකුව මත වාඩි වූවාය.

ඔයා ඇඳුමක් දාගන්නෙ නැද්ද?

කමක් නෑ මෙහෙම හොඳයි.

නෑ ඉන්න.. මම ඕවර්කෝට් එක ගෙනැත් දෙන්නම්. නැත්නම් මේ සීතල මුහුදු සුළඟට ඔයා ලෙඩවෙයි. එහම උනොත් ආයෙ අනිද්දට ආපහු ෆ්ලයි කරන්න අමාරුවෙයි.

කාමරයට ගිය ඔහු ඇඳවිට්ටමේ දමා තිබූ ඕවර් කෝට් එක ‍රැගෙන විත් බැල්කනිය අසල හිටගෙන කාමරයට පි‍ටුපා මුහුද වෙත නෙත් යොමා සිටි ඈගේ උර මතින් දමා ඉන වටා දෑත් යවමින් තම තුරුළට ගෙන ඇගේ දකුණු උරහිස මත තම නිකට රඳවාගත්තේ අපමණ සෙහෙනෙහසිනි. ක්ෂණයකින් සිදුවූ දෙයින් ඈ නොසන්සුන් වුවද ඒ මින් තුන්වසරකට පමණ අපමණ ලොබ බැඳි සුපුරුදු උණුසුම ඔහු හා ඈ අතර තිබූ ඇඳුම විණිවිදින තුරු පමණි.

වර්ෂා… ඔහු ඇසෙන නෑසෙන ස්වරයෙන් ඇගේ සවනට මිමිණුවේය.

ම්ම්.. … ඔහුගේ ගැඹුරු, හැඟුම් බර හඬ ඈ සවනත වැටෙත්ම මැකී ගිය හිරිගඬු වැටිය නැවතත් ගෙල පුරා පැතිර ගියේය.

ඔයා ඇයි මාව දාල ගියේ …. ?

කවීෂ…

ම්..

ඒ ප්‍රශ්ණය එච්චරටම සාධාරණ නෑ කියල ඔයාට හිතෙන්නෙ නැද්ද?

මංද.

කවීෂ… අපි අපිට නැති උනේ ඇයි කියන එකට උත්තර හොයන්නෙ නැතුව ඉඳිමුද ?

ඇයි ඒ…. ?

එන්නකො.. අපි වාඩිවෙමු අතනින්, දැන් නම් මගෙ කකුල් දෙකත් රිදෙනව.

යමු…

ඇයි ඔයා ඔතන වාඩි උනේ.. වෙනද වගේ මගෙ උකුලෙ ඔළුව තියාගෙන ඉන්න අකමැතියිද ?

අකමැත්තකට නෙමෙයි වර්ෂා… අවුරුදු තුනක් තිස්සෙ පිච්චිලා යාන්තම් නිවීගෙන ආපු මගෙ හිත ආයෙම අවුලවාගන්න මට බෑ.

ඔයා හරිම අසාධාරණයි කවීෂ. ඇයි ඔයා අමතක කරන්නෙ ඒ වගේම කාලයක් මමත් ගතකලා කියන එක?

වර්ෂා.. අපි ආයෙම මේ රණ්ඩුවෙනවද ?

හි හී…. ඔව් නේද…?

ඉස්සර වගේමයි අපි තාමත්.

නෑ කවීෂ.. ඉස්සර අපි රණ්ඩුවෙනකොට තේරෙන්නෙ නෑ රණ්ඩුවෙනව කියල.

හ්ම්.. ඒකත් ඇත්ත තමා.

මට ආරංචි උණා ඔයාගෙ අම්ම නැතිවුණා කියල. ඒත් මම ගියපු අලුතම නිසා නිවාඩු ගන්න බැරි උනා හොස්පිට්ල් එකෙන්, අනික කන්ට්‍රැක්ට් එකේ විදියට වැකේෂන් යන්න පුළුවන් අවුරුද්දෙ අන්තිමට විතරයිනෙ.

ඒකට කමක් නෑ වර්ෂා. අම්මා ඔයාට සලකපු විදියට මම කොහෙත්ම බලාපොරොත්තු උනේ නෑ ඔයා ඒවි කියල. අනික ඔයා ආවානම් නෑදෑයොන්ගෙන් ඔයාට ප්‍රශ්ණයක් වෙන්නත් තුබුන. හැමෝම ඔයා එක්ක තරහෙන් හිටියෙ ඒ කාලෙ.

ඔයත් ?

කොච්චර රණ්ඩු උනත් එදා ඔයා සේරම දාල යයි කියල මමවත් හිතුවෙ නෑනෙ.

ඒත් මම ඇහුව එකට ඔයා උත්තරයක් දුන්නෙ නෑ නෙ

මොකක්ද?

ඔයත් මාත් එක්ක තරහෙන්ද කවීෂ හිටියෙ ?

ඒක තරහක්ම කියල කියන්න බෑ වර්ෂා. ඒක මහා සංකීර්ණ හැඟීමක්. මහප්‍රාණ ඔළුවෙ තියාගෙන හිටපු නැදෑසනුහරයක් මැද මහේ හිතට එන ඕනම විකාරයක් කියන්න පුළුවන් ආදරණීය හිතත් අරගන ඔයා ගියාම මාව හිස් වෙලාම ගියා. ඒ හිස්කම පිරවුනේ නෑදෑයො ටික වටවෙලා ඔයාගැන කියාපු වැරදිවලින්. අන්න ඒ පීඩනය හිතින් පිට වුනේ ඔයා ගැන ඇතිවෙච්ච වෛරයක් විදියට. ඒකම තමයි ඔයා කැනඩා යනව කියල දැනගත්තත් වචනයක්වත් කතාකරන්න නොහිතුනේ. ඒත් මමත් ලංකාවෙන් ඇවිල්ල තනියම කාමරේකට කො‍ටුවෙලා ඉන්නකොට තමයි කල්පනා උනේ ඔයාට මාවදාල යන්න පරිසරය හැදුවෙත් මම නේද කියල. මට තිබුන ඔයාවත් අරන් ගමෙන් යන්න ඒ දවස් වලම.

නෑ කවීෂ, එහෙම නොවුන එක හොඳයි

ඒ කියන්නෙ ඔයා කැමතියි මාව දාල යන්න වෙච්ච එක ගැන ?

කැමැත්තටත් වඩා මට උවමනාවක් තිබුන කිව්වොත් හරි ඒ පරිසරයෙන් ඈත්වෙන්න. මම බය උනා හතරවටෙන්ම මට ආපු පීඩනය මාව පොඩි කරල දායි කියල. මම ජීවත්වෙන්න ආස ගෑණියෙක් කවීෂ.

ඇයි ඔයා මට කිව්වෙ නැත්තෙ අපි මෙහෙන් යමු කියල, එහෙම කිව්වනම් මම ඔයත් එක්ක එනවනෙ.

මම බලාපොරොත්තු වුනා ඔයා මාව තේරුම් ගනී කියල. අනික මම ඒ දවස් වල මට උන කෙණෙහිළිකම් ඔයාට කියල සාධාරණයක් බලාපොරොත්තු උනා නම් එතන ලොකු විනාසයක් වෙන්න තිබුන. ඊටත් මම එහම කිව්වනම් මායි නෑදැයොනුයි අතරෙ හිරවෙලා ඔයා ප්‍රශ්ණ ගොඩක පැටලෙන්න ඉඩ තිබුන. සමහර වෙලාවට ඒකෙ බරත් මගෙ කරට එන්න තිබුන. ඉතින් එවෙල මට කරන්න තිබුන හොඳම දේ තමයි ප්‍රශ්ණවලින් ඈත්වෙලා යන එක. මට දැන් තේරෙනව මම ඒ ගත්තෙ හොඳ තීරණයක් කියල

ඇයි ඔයා එහෙම හිතන්නෙ ?

මම හැම ප්‍රශ්ණයක්ම දරාගෙන සාම්ප්‍රදායික ගෑණියෙක් වගේ ඔයාත් එක්ක හිටියනම් ඔයාටයි මටයි කිසිම දවසක අපි දෙන්නට උනේ මොකක්ද කියල තේරුම් ගන්න බැරිවෙන්න ඉඩ තිබුන. එහම උනානම් අද වගේ අහම්බෙන් දැක්කත් හිනාවක්වත් නැතුව වෙන් වෙලා යන්න හොඳටෝම ඉඩ තිබුන. ඒත් අද …….. අවුරුදු තුනකට පස්සෙ නිවිහැනහිල්ලෙ කල්පනා කරල නිවිච්ච හිත්වලින් එක කාමරේක බොහෝම සන්තෝසෙන්. ඉතින් ඔයාට හිතෙන්නෙ නැද්ද මම ගනිපු තීරණය හරි කියල.

ඒත් ඔයාට අපරාදෙ කියල හිතෙන්නෙ නැද්ද නිස්කාරනේ දෙතැනක ගෙවිල ගියපු අපි දෙන්නගෙ ජීවිතේ ?

නෑ කවීෂ, අපි දෙන්නගෙ ජීවිතේ නිස්කාරනේ ගෙවිල ගියේ නෑ…. ඒ අවුරුදු තුනේ ඔයයි මමයි තනියම ජීවිතේට මුණදීල යම්තාක් දුරකට හරි යථාර්තය තේරුම් ගත්ත. ඒ වගේම ඔයා මාස්ටර් ඩිග්‍රී එකක් කලා, මම ඇල්බටා හොස්පිට්ල් එකේ ස්ටාෆ් නර්ස් කෙනෙක් උනා. ඉතින් ඔයාට හිතෙනවද ඒ පහුගිය කාලෙ අපරාදෙ කියල.

හ්ම්… වර්ෂා හිතනවද අපිට ආයෙම සන්තෝසෙන් ඉන්න පුළුවන් වෙයි කියල.

ඔයා අහන්නෙ මීට අවුරුදු හතරකට කලින් ප්‍රශ්ණ ඇතිවෙන්න කලින් තත්වය ගැනනම්; ඔව් මම හිතනව පුළුවන් කියල. ඒත් ඔයා අහන්නෙ අදින් පස්සෙ එක වහලක් යට ජීවත්වෙන එක ගැනනම්; අපිට ඒ ගැන ගොඩක් කතාකරන්න තියනව. ඒ වගේම විසඳගන්න දේවල් ගොඩක් තියනව. අනික මේ හැඟීම ගිණි ගත්තු පුළුං ගොඩක් වගේ ඉක්මනට පත්තුවෙලා ඉක්මනටම නිවිල යන එකක් නෙමෙයි කියල කාටද කියන්න පුළුවන්. සමහර වෙලාවට හෙට උදේට ඔයයි මමයි පුරුදු ජීවිත වලට අයෙම ගියාම මේ පුළිඟුව නිමිල යයි. ඒක නිසා මම කැමති නෑ හිත ගොඩක්ම සන්තෝසයෙන් තියන වෙලාවක ජීවිතේගැන ලොකු තීරණ අරගන්න. අපි ජීව්තේට ඉඩදෙමු යන්න ඕන පාර හොයාගන්න. එහෙම හොඳයි නේද කවීෂ ?

පින්තූරය ගත්තේ : පින්තූරය ගත්තේ : http://www.wallchan.com

මගේ පුතා හරි හපනා DHA + බොන්නා

මයේ කොල්ලා දැං කිරි බීමට එච්චර මනාපයක් නැතිය. අවුරුද්දක් වෙනකං අම්මාගේ තනේ එල්ලී සිටි කොල්ලට දැං කිරි වලට වඩා රහ ජාති ලැබේ. ඌ පාං කයි, බත් කයි, ආප්ප කයි, කඩල කයි, මුං කයි, චීස් කයි. ඒත් වැඩි හරියක්ම කන්න කැමති පරිප්පුය. පිය පාර්ශවයෙන් ආරෙට එනවා වෙන්නට ඇත. උගෙ තාත්තාද කන තරමක් කන්නේ පරිප්පු ය. ඒත් අපේ ගෙදර වැඩිප පරිප්පු උයන්න වෙන්නේ නැතිය. ඒ අපි අකමැති නිසා නොව කොලුවාගේ නැනී පද්මා ඇන්ටී නිසාය. ඈට පරිප්පු වහ කදුරු සේය. එහෙයින් උන්දෑ මාසෙකට වතාවක් ගම ගියපසු පරිප්පු උයමු, තෙල් දමමු, තෙම්පරාදු කරමු. ඒ ඊලඟ මාසය වෙනකල් ඉඳ හිටක මිසක් කෑමට නොහැකි වන නිසාය.

කියන්න ආවේ කිරි ගැනය, ලියා ඇත්තේ පරිප්පුය. මේවාට කියන්නේ “යන්නේ කොහේද මල්ලේ පොල් කියාය”. ඉස්කෝලේ යන කාලේ අපි කිව්වේ ඊට තවත් කෑල්ලක් එකතු කරය. ඒ “යන්නේ කොහේද මල්ලේ පොලුයි පොල්ලේ මලුයි” කියාය.

පොල් කීවාම තවත් කතාවක් මතක් විය.

අපි පොල් ගන්නේ දෙමටගොඩ පොලෙනි. ඒ ඉතිං හැන්දෑවටය. පොල් ගන්න හොඳ උදේම යැයි අම්මා කිපදොහක් කීවද අපිට නම් මළාට උදේක පොල් ගන්නට බැරිය. ඒ වෙන කිසිවක් නිසා නොව පොල් අරං ඔ‍ෆිස් යන්න බැරි නිසාය. ඉතිං අපි හැන්දැවේ හත හමාරට විතර වැඩ ඇරී ගෙදර එන ගමන් දෙමටගොඩ පොලට යමු. උදේ එතනින් යනකොට තිබු මහා පොල් ගොඩ බාගෙට බාගයක් අහවර වී ඇත. කරන්නට දෙයක් නැත. උදේ ඉඳං දෙනොදහක් හොල්ලා බලා තේරී ඉතුරු වූ පොල් ගොඩෙන් අපිද කනට කිට්‍ටු කර හොල්ලා යාන්තං දිය අඬන පොල්ගෙඩි ටිකක් කද බැඳගෙන ගෙදර එමු.

දෙමටගොඩිං පොල් අරගෙන බයිසිකලයේ අංගොඩ යනවා කියනේ එලෝ පොල් පේනා වැඩකි. එනමුත් අංගොඩ දිහාවේ පොල්වල ගිණි ගනං ඇහූ විටද එලෝ පොල් පෙනේ. එහෙයින් අපි අඩු මිලට එලෝ පොල් බැලීමට කැමති වෙමු.

එක දොහක තනියම පොල් මල්ලක් බයිසිකලයේ එල්ලං එනකොට කොලොන්නාව යූ.සී පල්ලමේ මල්ල ලිහී දොහ් දොහ් ගා පාර පුරා පොල් ගියේය. සුළු ප‍ටු නැත. පොල් ගෙඩිම දහයකි. කරන්න දෙයක් නැත. බයිසිකයලය පරේ අයිනේ හි‍ටුවා ලැජ්ජ බිම දිගේ යන්නට හැර පාර දෙපැත්තේ කාණුවලින් පොල් ඇහිලුවෙමි.

ඉස්සර නම් අම්මේ මුත්තේ කිව්වත් නොකරන දෙයකි. දැං ඉස්සර කෙලි කරන්නට බැරිය. ඒ වෙන උලව්වක් නිසා නොව දැං බැඳලා නිසාය. එහෙයින් ළූණු බිකත් බඩට යැයි සිතිය යුතුය. නැත්නම් මේ කෙළිය මෙලෝ පුතෙකුට මේ සම්මජාතියේ කරන්නට බැරිය.

ආයෙමත් පීළි පැනලාය. කිසි දවසක තනි පීල්ලක ගමනක් නොතිබුන මට පීලි ගමං බොහොම අමාරුය. ගෙදර උන්දෑ නොඉන්නට මෙලහකටත් පීලි පැන කොහේ හෝ ඇණගෙනය. උන්දෑ නම් පීල්ලේ ගමනට හරි රුසියෙකි.

වැල් වටාරං හොඳටෝම ඇතිය. ආයෙම කිරි කතාවට එමි.

පොඩ්ඩාට මුලදී අම්මාගේ කිරි මදි වී දොස්තරගෙන් අසා ගිණි ගනන් දී අකුරු තුනේ ටිං කල පිටි ජාතියක් ගෙනාවෙමි. ඌ නෙවේය ඒ කටේ තිව්වේ. රෑ දෙගොඩ හරියේ මේකා බෑඟිරි දී අඬයි. බලං ඉන්නට බැරිය. මට පොඩි එකාගේ අම්මා එක්ක කේන්තිය.

දැං ඔහේවත් ඔය පිටි ටිං එක බොනවා යැයි මම කීමි. උන්දෑ ඒ බීවාදැයි මට මතක නැතිය. කොහොම උනත් කීපදොහකින් උන්දෑට හොඳහැටි කිරි එරුනේය. ඒ හොඳ වෙලවටය. නැත්නම් බාගවෙලාවට තාත්තා වෙච්චි මට කිරි එරෙන්න ඉඩ තිබුනේය.

මාස හතක් අටක් යහතින් අම්මාගේ කිරි බිව් කොල්ලාට ආයෙම කිරි මදිවිය. ඊට පසු ආයෙම හරකා සහ ගේට්‍ටුවේ පිටි ටිං එකක් බොහොම සර්දාවෙන් ගෙනාවෙමු.

අ‍ඳොමැයි.

මේකා ඒක කටේ තියන්නේ නැත. ඊට පසු බැරිම තැන මාත් හිච්චි එකා කාලේ බීපු බීපු ලැට්ටෝජං පෙට්ටියක් ගෙනාවෙමු. අගේ ය මේකා ඒක අපූරුවට බොයි. ඒ හරියට ඌ තාත්තාගේ මාසේ පඩිය ගැන දන්නවා වගේය. තාත්තාටම හරියන පුතයෙකි.

පොඩි එකා සනීපෙට ලැට්ටෝජං බොන සඳ උගේ අම්මාට ඌට ඒ වෙනුවට ෆුල් කිරීං මිල්ක් පවුඩර් දෙන්න ඕනෑ විය. මුල්ම වතාවේ ඉස්තරං පිටි ටිං වලින් පටන් අරං අහවර වූ හැටි මතක තිබු නිසා මෙවර වන් ප්ලස් වලින් පටන් ගත්තෙමු.

පුදුමයකි මේකා මේ වතාවේ ලාබ දේවල්වලට අකමැති හැඩකි. කටේ තිව්වේ නැත. ඊට පස්සේ “ෆයිව් ෆයිව් ටෙං” හා “පූසං සිංහයන් කරනා” මගාර්ඝ පිටි පැකට්‍ටුව ගෙනාවෙමු. දවසකට දෙවරක් පොඩි එකා ඒකනං බොයි. බොනවා විතරක් නම් මදෑය ඒකා ඒ වෙළඳ දැන්වීමේ සද්දේ ඇහුනොත් කොහේ හිටියත් දිවවිත් කට බලියාගෙන ටී.වී එක බලයි.

කිරි කතාව එතනින් අහවරය.

දැං අපි බලාන ඉන්නේ පොඩි එකා “ෆයිව් ෆයිව් ටෙං” කියා අල්ලපු ගෙදර පූසා සිංහයෙක් කරනා තුරුය.

පසු සටහන: අර පොඩි එකා නොබිව් වන් ප්ලස් එක උදේට උදේට දීල ගෙදර උන්දෑ මට දී ඇත. දැං මටත් මොළේ එහෙම පෑදීගෙන එනවා වගේ දැනේ.

පස්සේ ලියමි : ඊයේ පෙරේදා කෙහෙල්කො‍ටුවට වෙච්චි අලකලංචිය හන්ද ඇ‍ඟේ ලේ වතුර වී ඇතිය. දන්නා පිංවතෙක් මගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් පඩංගුව අ‍ටුවෙන් බාගන්නා හැටි මුල සිට සරළව කියනවානම් අගේයැ.

පින්තූරෙ මෙතනින් : http://www.panoramio.com/photo/37722539

දැං අවුරුදු දෙකයි – උන්න හැටියට මලා මදැයි චූටිමැණිකෙ.

හැතැප්ම දෙකකට වැඩිය දුර නැති ඉස්කෝල දෙකක අවුරුදු දහතුනක්ම ඉඳල, ඒ මදිවට බද්දෙගෙ, ටිල්නියගෙ, ඩකා ගෙ පන්තිවල නූලෙ වාඩිවෙලා ඉරට්ටෙ ලිය ලිය අවුරුදු දෙකක්ම කට්ට කාල, තවත් අවුරුදු දෙකක් ඇන්.ටී. ඇස් එකේ තාප්පෙ එහා පැත්තෙයි මෙහා පැත්තෙයි ඉඳල, මදි පාඩුවට තවත් අවුරුදු දෙකක් එක ලඟ තියෙන නෝනාවාට්‍ටුවෙයි වැලිකඩයිත් ඉඳල අන්තිමට පත්තර පි‍ටුවක් හන්ද නෙව අපි දෙන්න එක වහලක් යටට උනේ.

කරුමයක් තියනවනං වලක්කන්න ඇහැක චූටිමැණිකෙ නේද?

අම්මප එක අතකට ඒ කාලෙ හම්බ උනානං මෙච්චර දුරක් නේන්නත් තිබුන නේද? ඒ කාලෙ මොනව කියල තේරෙන වයසක් ද. අනික අර ඔහෙගෙයි මගෙයි ඕ-ලෙවල් කාලෙ ගත්තු අයි.ඩී පින්තූර දෙකේ හැටියට කීයටවත් ලඟින් තියන්න ඇහැක් දෙන්නෙක්ය.

ඊටත් ඉතිං වැරදිලාවත් මයෙ හිත ගිහිල්ල පස්සෙං ආවනං ඔයැයිගෙ ඉස්සර කොල්ල මට අම්බානක ගහල මදි පාඩුවට ගෙදර ගිහිල්ලත් කන්න ඔතල දෙයි නෙව. එහම හිතෙන කොටනං මගෙ පූරුවෙ පිනකට තමයි ඇහැ ගැහුනෙ නැත්තෙ. වැරදිලාවත් එහෙම උනානං බලන්න තිබුන ර‍ඟේ.

යකාගෙ හැටියටයි විමානෙ කිව්ව වගේ අපි දෙන්න තකට තක, මට ඩෝං යන තරමට ඔහේ කට පියං ඉන්න එක නං පූරුවෙ වාසනාවක්ම තමයි, නැත්නං අපි දෙන්න කා කොටාගෙන කොහෙං අහවර වෙයිද කියල දෙයියො තමයි දන්නෙ.

කට කෑවත් කියන්න තියනදේ කියන්න එපැයි. ඔහෙගෙ ගොඩ හොද්ද මේ අවුරුදු දෙකට ලුණු මිරිස්, ඇඹුල් එහෙම ගානට වැටිල පදං වෙලා ආපු හැටියට තව අවුරුද්දක් හමාරක් යනකොට මනුස්සයෙකුට කටේ තියන්න ඇහැක් ගානට එයි මයෙ හිතේ. එදාට අපි දාමු පාටියක් හොඳේ.

තාම ඇවිල්ල තියෙන්නෙ යාන්තං අවුරුදු දෙකයි. තව කොච්චාර යන්න තියනවද කියල මතක් වෙනකොටත් සරුවාංගෙම හීතල වෙලා යනව සන්තෝසෙට.

ඔහෙට හිතාගන්න ඇහැක චූටි මැණිකෙ තව අවුරුදු තිස් පහක් හතලිහක් ගියාම අපි දෙන්න කොහොම ඉඳියිද කියල. මට නං හිතෙන්න අපේ කොළු පැටිය රට ගියාම අපි දෙන්න තනිවෙයි ය කියල. පැන්සොං ගියපු නර්ස් නෝන කෙනෙකුයි මැනේජර් මහත්තයෙකුයි ඉස්තෝප්පුව කෙලවරේ යකඩ බංකුවෙ වාඩිවෙලා ලැප්-ටොප් එකත් පැත්තකින් තියාගෙන ඉස්කයිප්පුවෙන් කොල්ලත් එක්ක දොඩන රූපයක් මයෙ හිතට ආව මේක ලියන වෙලාවෙ.

සමහර වෙලාවට අපෙ කොළුව අපිදෙන්නත් අරං යයි නේද? අපි ඌව බලාගත්තු විදියට ඌ අපිවත් බලාගනියි නේද ? කවුරු කාට කියන්න ඇහැක්ද ඕව, ඒත් ඉතිං කවුරු ආව ගියත් ඔහේ මාත් එක්ක නොවැ ඒ මදෑ.

ඒ වෙනකොට මයෙ තට්ටෙ පෑදිලා තියෙයි, දතුත් හැලිල තියෙයි, අතපයත් වලංගු නැතිවෙලා ඇසුත් නොපෙනී යයිද මංද, ඒත් මොනව වෙනස් උනත් අද වගේම එදාටත් මේ පීනස් ලෙඩේනං අඩුවක් නැතුව තියෙයි නේ. කරුමේ කරුමේ !

මොකෝ හිනාවෙන්නෙ, ඔහේටත් ඒ ආනිසංසෙම තමයි, මොකෝ වයසට යන්නෙ මං විතරෙයි. ඔහෙගෙත් දත් හැලිල හම ‍රැලි වැටිල මයෙ ගානටම එයි. ඊටත් වැඩි වෙයිද කියන්න බෑ. ඒක හන්ද දැන්ම ඉඳල එක එක කිරීං ජාති උලල පරිස්සං වෙන්ට හොඳා, එහෙම හැඩට උන්නොත් කාටෙයි ආඩම්බර. තට්ට නාකියෙක් ලමිස්සියෙක් බැඳල කියල මයෙ නාකි යාළුවොයි අහල පහල ඉන්න එවුනුයි ඉරිසියාවෙ පැලෙයි නේද එතකොට. උන්ට හොඳම වැඩේ. ඉරිසියාකාර හැත්ත.

ඒ මොනව උනත් තාමත් ඉස්සර වගේම බැරි උනත් ඉඳල හිටල ඔයි උකුලෙ තියං ඔළුව අතගාන එකනං අමතක වෙන එකක් නෑ නෙව. හැබැයි අතගාල අහවර වෙලා නාකි කෝලං කියල මයෙ තට්ටෙට ටොක්කක් අනිනව එහෙම නෙවෙයි හොඳේ….. නාකි උනත් මං ඔහේ එක්ක නැතුව වෙන කවුරු එක්ක කෝලං කරන්නෙයි චූටිමැණිකෙ.

සියළුම සිංහල බ්ලොග් කරුවන් ගේ බිරින්දැවරුන් වෙත ලියමි.

දැන් කීප දොහක ඉඳං මයෙ මිනිහ නිස්කාරනේ මත් එක්ක කේන්ති ගන්නව නෙව. මයෙ මොන වැ‍රැද්දකටද කිය ඇහුවට කියන්නෙත් නෑ. කතා බහත් බොහෝම අඩු වෙලා මේ දවස් ටිකට. කිසිම මනුස්සයෙක් පෙන්නන්න බෑ. අහවල් දෙයක් හන්දද කියල මට නං හිතාගන්න බෑ.

කල්පනා කරලමද කොහෙද දවස් දෙක තුනට ඇදිල ගිහිල්ල සුදු මැලි වෙලා හරියට අර හුඹගෙන් ඇදල ගත්තු නයා වගේ. අපෙ අප්පෝ බැලුවම දුකේ බෑ. කොහොමට හිටපු මිනිහෙක්ද? [මාව බැඳගන්න කලින්]

මං නිකං සැකේට වගේ මනුස්සය කක්කුස්සියට ගිය වෙලේ ලැප් ටොප් එක ඇදල අරං නිදිවරං, මගෙන් රටක කතා අහං බොහෝම කැපවීමෙන් දරුවටයි මටයි වත් නැති ආදරෙන් ආරස්සා කොරන බ්ලොග් රාජයා බැලුව.

අනේ දෙයියනේ බලන්න දුකයි.පටංගන්න කොට දවසට පෝස්ට් දෙකක් විතර දාපු මනුස්සයා ටික කාලෙකින් සතියකට දෙකක් ඊටත් පස්සෙ සතියකට එකක් දාන තරං නිර්මාණ බංකොලොත් භාවයකට පත්වෙලා. ස්ටේටස් පේජ් එක බලන බැරි තරමට කඩාගෙන වැටීල නොවැ.

ඒත් පෝස්ට් අඩු උනාට දාන එක දෙක හරි බලන්න හාර පන්සීයක් සතියකට එනව. ඉතිං මේ මනුස්සයට හිත හදාගන්න ඒකවත් මදියිද මංද.

එක අතකට ඒක අහන්න දෙයකුත් නෙමෙයි. මේ මිනිහ කිසිම දෙයක් ඇති කියන ජාතියෙ නෙමෙයි නෙව.

මං ඒත් කිව්ව ලියන්න තරං වැදගත් දෙයක් නැත්නං ගෙදර ඉස්සරහ මැටි ගඩොල් කපන වලේ මැටි පාගන මී හරක් දෙන්න ගැන හරි, අල්ලපු ගෙදර කෙල්ල ලිඳගාව නානකොට අර අනිත් පිස්සව ආදර්ශයට අරං පොතක් අරගෙන බැල්කනියට වෙලා ඉඳල මගෙන් කාපු කොහු පාර ගැන හරි, බැල්කනියෙ වනල තිබිච්ච අන්ඩවෙයාර් එක හුලඟට ගිහිල්ල ලෑන්ඩ් ලෝඩ්ගෙ වයිෆ්ගෙ පෑන්ටි වැලේ පැටලිච්ච එක ගැන හරි ලියන්නෙයි කියල.

කොහේද මේ මිනිහ කිව්වෙ “ඈ ඕයි ගෑණියෙ, ඕව ලියල රෙද්දක් ඇඳං පාරෙ යන්න ඇහැක්ද ?” කියල.

අනේ මේ මිනිහගෙ මං නොදන්න බොරු සදාචාරෙ පැත්තක තියල අර මාළුව වගේ විලිසංගෙ නැති කතා ටිකක් ලිව්වනං ආයෙ කාලයක් යනකං ගොඩ. එහෙමත් නැත්නං මොකක්හරි ඇනෝනිමස් ආතල් එකක් ගත්තනං ඇ‍ඟේ ලේ ටිකත් රත් කරගනෙ කොකු දෙක තුනක් පටලවාගෙන සන්තෝසෙන් ඉන්න ඇහැකි.

කවද්ද ඉතිං මේ මනුස්සය මං කියන දෙයක් ඇහැව්වෙ. ඒත් කීව නාහන ගුරු උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි කියල අතෑරල දාන්න ඇහැක. මොකක් උනත් මේ මයෙ අම්මල බෑ බෑ කියද්දි ජෝඩු කරපු මඟුලනෙව.

ඔය මං උඩින් කියාගෙන ආවෙ මට කියන්න ඕන දේට පොටක් පාදගන්න.

මේං මට කියාගන්න ඕන දේ…….

මයෙ මනුස්සයගෙ ගෙදර ගෙනැල්ල කරන රාජකාරි වැඩ කටයුතු අහවර උනාම ඉඳල හිටල ලැප් ටොප් එක ඉල්ලං කියවන බ්ලොග් කීපයෙනුත් දෙක තුනක්ම කිසිම පෝස්ට් එකක් නැතුව පාළු වෙලා ගිහිල්ල. බලන්න දුකේ බෑ.

අනේ මං වගේ තම තමංගෙ මිනිස්සුන්ට ඔයාලත් පුළුවන් විදියට වතුර පාරක් ගහල , හති කුඩු පැකට් එකක් එහෙම දීල පොඩි උදව්වක් කරන්න ඔය බ්ලොග් පංඩංගුව ඇදගෙන යන්න. මොකද එහම නැත්නං කාලයක් යනකොට සිංහල බ්ලොග් ලියන්න ඉතුරුවෙන්න කසාද නොබැඳපු හිච්චි කොළු කෙළි රොත්තකුයි, රස්සා එහෙම කොරල ලොකු මහත් වෙච්ච දරුවො දීගතල දීල එහම අහවර වෙච්ච වයසක රොත්තකුයි තමයි. මයෙ මිනිහ වගේ හැඩි දැඩි විවාහක පිරිමි බ්ලොග් අවකාශයෙන් අතුගෑවිලා යයි.

මනුස්සයා උදේ පාන්දරම ඇහැරවන්න, හොඳ කිරි තේ එකක් එහෙම ගිහිල්ල දීල ආදරෙන් ඔළුව ඉඹල එහෙම වැඩ පටගන්න කියල කොම්පියුටරේ ගාවට එක්කං යන්න.

ආයෙම හැන්දෑවට ගෙදර ආවමත් කම්පියුටර් එක බදාගෙන ඉන්න එකට මුකුත් කියනව එහෙම නෙවෙයි.

ඉවසන්න… වෙන කවුරුවත් වෙනුවෙන් නෙමෙයි සිංහල බ්ලොග්කරුවන්ගේ අනාගතය වෙනුවෙන්.

ගෙදර උයන්න පිහන්න එළවලු මාළු එහෙම නැත්නං වැරදිලාවත් සති අන්තයේ ගෙදරට වෙලා සනීපෙට බ්ලොග් ලියන මනුස්සයවනම් ඒක නවත්තල කඩේ යවන්න එහෙම එපා. ඔයාම මල්ලක් අරන් හන්දියට පයින් යන්න. ඒක ඇඟටත් බොහොම හොඳයි.

තව පොල් ගාන, පිටි කොටන, පිටි හලන වැඩ වලට එහෙමත් හවුල් කරගන්න එපා. ඒකත් තමාම කරන එක අනාගතයේ ඔය ආරන තෙල් බඩවල් වලට එහෙම බොහොම හොඳයි.

ඊලඟට ඔය උකුලෙ දාල නිදි කරවන ළමයි එහෙම ඉන්නවනම් ඒ අය නිදි කරවන එකත් ඔයාලම කරන්න මතක තියාගන්න ඕන. මතක තියාගන්න ඒකත් බොහෝම හොඳ ව්‍යායාමයක්. අමතක කරන්න එපා.. රිය සක වන් පුළුලුකුළ !! සිහිනිඟ ගත හැක මිටින !!!

තව ඩිංගෙන් වැදගත්ම දේ අමතක වෙනවනෙව. ඔය ඉඳල හිටල බ්ලොග් ලියන පුරුස පක්සෙ කඩන බෝතල් වලට බර බරේ දානව එහෙම නෙවෙයි. ඒවයෙදි සිද්ධවෙන අත් වැරදීම්, කට වැරදීම්, අකලකංචි එහෙම බොහෝම වැදගත් ඔය බ්ලොග් කලාවෙ තවත් පැති කඩක් වෙච්ච මඩ පෝස්ට් වලට එහෙම. මඩ කියන්නෙ සිංහල බ්ලොක් කලාවේ ජීවනාලිය කිව්වොත් හරියටම හරි. සමහර ඌරන්ට මඩ කිව්වොත් දවල්ට බතුත් ඕනෙ නෑ. [මේකෙත් එනව නේද යාන්තං මඩ පුවක් ගඳ ?]

මීට,
සදා බ්ලොග් ලැදි,
චූටි මැණිකේ.

ලෝකෙ හොඳම ගෑණි ඕනෙද, මටනම් එපා….. [මොකටද නිකං හිත රවට්ටගන්නෙ]


ගෑණි, පවුල, ගෙදර උන්දැ, ඒයි, යෝදි, අරය, වාතේ, බිරිඳ, ඇණේ, වයිපරේ, හාමිනේ, නෝනෙ, මළ යස්සණී, රත්තරං, පැටියා, කුක්කු බබා, මැණික, බබාලගෙ අම්ම, නෝනා මහත්තයා, ළමයින්ගෙ අම්ම,  වස්තුව, මේ ඇහුනයි, මයෙ අම්මා, බාරි, ඩාලිං, හනී,…………

ඔය ඔක්කෝම කියන්නෙ ගෙදර ගැණු මනුස්සයාට නෙ. ඔතන මළ පැන්නම කතාකරන වචන මුකුත් ලියල නෑ. ඒව ලිව්වනං ඉතිං මේක පබ්ලිෂ් කරන්න බෑ නෙව.

කොයි පිරිමියත් බලාපොරොත්තු වෙන්නෙ ලෝකෙ ඉන්න හොඳම කෙනා තමන්ගෙ බිරිඳ කරගන්න. [ඇත්තනෙව, කවුද සෙකන්ඩ් ඩිග්‍රී එකේ සිලෙක්ෂන් එකක් කරන්නෙ පිස්සු නැත්නම්]

ඒක නිසා අපි කල්පනා කරල බලමු හොඳම කියන විශේෂණය ඇතුලේ තියෙන ප්‍රධාන කරුණු කරණා මොනවද අකියල.

ලස්සන / සුදු [සුදු = පිරිසිඳු, පිරිසිඳු = හොඳ, එමනිසා සුදු = හොඳ]

මේක ගැඹුරෙන් කල්පනාකරල බැලුවොත් අපි අත්විඳින සත්‍යයක්. හොඳ පෙනුමක් තියෙන සුදු, උස මහත පුද්ගලයෙකුට, කෙට්‍ටු, කළු මනුස්සයකුට වඩා මූලික සමාජ පිළිගැනීමක් තියෙනව [ලංකාව ඇතුලෙ]. මනුස්සය කවුද කියල අඳුරගත්තම ඒ සිතුවිල්ල වෙනස් වෙන එක වෙනම කතාවක්.

අහිංසක

නපුරු නැති, පලිගන්නේ නැති, එකට එක කියන්නෙ නැති, බැන්නත් ඔළුව පැත්තකට හරවල හිනාවෙලා ඉන්න, මල් වැච්ච දිග ගවුම් අඳින, නිතඹෙ වදින තරම් ඝණකම කොණ්ඩයක් තියෙන වගේ……

බුද්ධිමත්

රටතොට ගැන, සමාජය ගැන, ලෝකය ගැන හොඳ අවබෝධයක් ඇති, ජීවිතේට සාර්ථකව මූණදෙන්න පුළුවන්……

කරුණාවන්ත

මොන වැ‍රැද්ද කලත් හිනාවෙලා සමාව දෙන, ගෙදරට එන කුරුල්ලන්ට ලේන්නුන්ට කන්න බොන්න දෙන, රෑ දෙගොඩ හරියෙ බීගෙන හතර ගාතෙන් ගෙදර ගියත් වෙනද වගේම ආදරෙන් පිළිගන්න….

තව අනු කාරණා මහ ගොඩයි……

අපි නිකමට වගේ හිතමුකො ඔය වගේ ගොඩක් දෙනා බලාපොරොත්තු වෙන සිහින කුමාරිය ලෝකෙ කොහේ හරි ඉන්නව කියල.  ඒයා තමයි ලෝකෙ හොඳම ගැහැණිය කියල.

ඒත් ඉතිං ලෝක සම්ප්‍රදායේ හැටියට එක ගෑණියෙකුට නීත්‍යාණුකූලව විවාහ වෙන්න පුළුවන් එක පිරිමියෙක් එක්ක විතරයිනෙ. ඉතිං අනේ අර ලෝකෙ හොඳම ගෑණි විවාහ කරගන්න බලං ඉන්න අනිත් පිරිමි ටිකට මොකද වෙන්නෙ.

හොඳම ගෑණි නෑ කියල ඉතිං ඉතුරු පිරිමි ටික කසාද නොබැඳ ඉඳීද?

විකාර…………

හැමෝම තම තමන්ගෙ සිතුම් පැතුම් අනුව තරාදියෙ දාල බොහෝම අමාරුවෙන් බැලන්ස් කරල හොඳම කෙනා කියල හිත හදාගෙන එයා එක්ක හාදවෙනව / විවාහ වෙනව.

ඊට පස්සෙ ඔන්න අර හීන කුමාරිගෙ ඇති ඒත් හැබෑ කුමාරිගෙ නැති කරුණු කාරණා එකිනෙක මතුවෙනව.

ඔන්න ඉතිං ඊටත් පස්සෙ, “ගිණි අවි සහ ගිණිකෙළි”. එහෙමත් නැත්නම් “දිය යටින් ගින්දර”

හැබැයි ඉතිං හැම තැනම එහෙම නෑ….. [දන්නෝ දනිති]

අර අඩුපාඩු, අඩුපාඩු විදියටම දැකල ඒවායේ පැවැත්ම පිළිගන්නවනම් සහ  ඒක නිසාම ඇතිවෙන ගැ‍ටුම් වලක්වාගන්න පුළුවන් නම් ඔන්න ආයෙමත් ලෝකෙ ඉන්න හොඳම ගෑණි තමන්ගෙ ගෙදර.

ඔව්… පිළිගන්න… කිසිවෙක් සර්ව සම්පූර්ණ නෑ. අඩුපාඩු එමටයි. ඇයගේ වගේම ඔබගෙත්….

තමන් සෑම විටම නිවැරදියි කියල සිතුවිල්ලේ ඉන්නා තුරු තමන් වැරදියි. ඒවගේම තමන්ගෙත් වැරදි තියනව කියල කල්පනාවෙන්න පටන්ගත්තු තැන ඉඳල තමන් නීවැරදි මාවතේ ගමන් කරනව.

සති අන්ත පත්තර වල කිචි පි‍ටුවෙ තියෙන නළු නිළියන්ගෙ සර්ව සම්පූර්ණ පවුල් ජීවිතවල ලස්සන ගැන හිතල තම තමන්ගේ පවුල් ඒවත් එක්ක සසඳන්න යන්න එපා. එහෙම උනොත් මහ විනාසයක්. ඒ හැමදෙයක්ම හැබෑව යටපත් කරමින් පැන නඟින සමාජීය පිලිගැනීම උදෙසා කරන ප්‍රකාශ විතරමයි.

ඒවගේම අල්ලපු ගෙදර ගෑණිගෙ පිළිවෙල ගැන කල්පනා කරල ගෙදර ගෑණිව කන හදන්න එපා.

කොටින්ම හොඳ අමතක කරල නරක විතරක් මතකයේ තියාගන්න කැත පුරුද්ද අමතක කරන්න. හිත පින්තූර ඇල්බම් එකක් කරගන්න, මොකද ලස්සන මතක සටහන් විතරයිනෙ අපි ඇල්බම් එකකට ඇතුල් කරන්නෙ.

ප/ලි :  ඒ ඔක්කෝම පැත්තකින් තියමුකෝ, අපේ තියෙන දාහක් අඩුපාඩු ගැන නාහෙන් නාඬා ඉන්න එකම මදෑ ලෝකෙ හොඳම ගෑණි වෙන්න.

ප/ප/ලි : මේ සටහන ලියන්න හිතුනෙ, බ්ලොග් නොලියන, බ්ලොග් නොකියවන මගේ යාළුවෙක් ඊයෙ හවස කෝල් කරල තමන්ගෙ ගෑණිගෙ අඩුපාඩු කිය කිය නාහෙන් අඬපු නිසා. මම නං ඌට අන්තිමටම කිව්වෙ. ඔච්චරම අවුල් නං, යන්න ඕනෙමයි කියනවනං යන්න දීපං කියල තමයි. බලෙන් නවත්තගෙන අල කන්නයැ. මට උනත් ඔච්චරයි !

මාර නැකතකට බත් කෑ පුතු පැටියා….

ගෙදර කුස්සිය පැත්තෙ බැල්කනියෙ ගෑවෙන නොගෑවෙන තරමට තාප්පෙ අයිනෙ හැදිල තියෙන අඹ ගහේ ගේ පැත්තට නැමිල තියෙන අත්තෙ කූවුවක් හදාපු නම දන්නෙ නැති කුරුළු ජෝඩුව අපි මේ ගෙදරට එනකොටත් බොහෝම කලබලයෙන් තමයි උන්නෙ. මුලින්ම අපි හිතුවෙ කාලයක් වහල තිබුන මේ උඩ තට්‍ටුවට අපි ආවට බයවෙලා කියල. බැල්කනියෙ කොට තාප්පෙ පලින් පල තිබුන කුරුළු වසුරු පැල්ලම් කිව්වෙකිව්වෙත් ඒ කුරුළු ජෝඩුව එතනට වෙලා හැන්දෑවෙ ඈතින් පේන අවිසාවේල්ල පාරට උඩහින් බහින ඉරේ හැඩ බල බල ඉන්න ඇති කියල.

ඒත් සතියක් විතර ගිහිල්ලත් ඒ දෙන්නගෙ කලබලේ අඩු උනේ නෑ.. කුරුල්ල කොයිවෙලාවකවත් එක තැනක ඉන්න නෑ. ඒ අත්තෙන් මේ අත්තට පැන පැන අඹ ගහේ දිරච්ච පොතු අස්සෙ ඉන්න වේයො අල්ලන එකමයි වැඩේ. ඊට දවස් දෙක තුනකට පස්සෙ උනන්දුවෙන් බලනකොටයි දැක්කෙ ඉඳල හිටල රවුම් කූඩුවෙ පුංචි දොරෙන් පුංචි කුරුළු පැටව් දෙන්නෙක් එබිකම් කරනව.

කුරුලු තාත්තා අච්චර කලබලෙන් අත්තෙන් අත්තට පැන පැන වේයො ඇල්ලුවෙ ඇයි කියල ඒ වෙලාවෙ තමයි මට තේරුනේ.

දැං අපේ පැටියටත් කෑම කවන්න වෙලාවක් බලවගත්තොත් හොඳයි නේද ?

මෙච්චර වෙලා මටත් හොරෙන් කුරුල්ලො බල බල උන්න මගෙ පිටිපස්සෙන් හිටපු චූටිමැණිකෙ ඇහුවා…

හ්ම්….

අනේ.. ඉතිං ඕකට නැකතක්ම ඕනෙයි, ඊටත් අපි පොඩි එකාට බත් තලපෙ කවන්නෙ, අනික ඊයෙ දවාලෙ මම බත් කනකොට සුදු බත් ඇට හතරක් පහක් කැව්වෙ..

ඒ ඩිංග මම හිතුව මිසක් කිව්වෙ නෑ. කිව්වනං ඕං වැහි වලාවක් පාත්වෙන්න හොඳටෝම ඉඩ තිබුන එතනට.

දැං ඉතිං නැකැත් හදවන්නෙ කොහොමෙයි..

අපේ අම්මට බොහෝම විස්වාසවන්ත කේන්දර බලන ගුරුන්නාන්සෙ කෙනක් ඉන්නව උනත් දැං කාලෙක ඉඳල උන්දැට කියල මට නැකැත් හදවන එක නවත්තල දාල ඉන්නෙ මගෙ මොකක්හරි අලුගුත්තේරු කතාවකට. ඉතිං එහෙව් එකේ ආයෙ ඕක අම්මට කියන්න බෑ නෙව.

දැං මොකද කරන්නේ… ඒ…..

ඔහොම කල්පනා කරකර අමාරුවෙ වැටිල ඉන්නකොට අපේ කේන්දර ගුරුන්නාන්සෙ තමයි නෑ බැ නොකියා ඒ උදව්ව කරල දුන්නේ.

ආයිත් මට දෙපාරක් මතක් කරන්න උනේ නෑ හැරෙන තැපෑලෙන් උත්තර ලැබුනා.

ඕං ඒ සුභ නැකතට මගෙයි චූටිමැණිකෙගෙයි පුතු පැටියා බත් කාපු පිංතූර ටිකක්.

ඕං මගෙ හිත ඉස්සෙල්ලම ගියේ පැන්සලට

ඕං මගෙ හිතයි අතයි ඉස්සෙල්ලම ගියේ පැන්සලට.

දෙයියන්ගෙ මල්ලිලු නෙ මේ.

ආච්චි අම්මගෙ කිරිබත් නේද මේ.....

සීයගෙන් තමයි මුල්ම කිරිබත් කට.

අම්මයි තාත්තයි සීයයි ආච්ච්යි මායි

නැන්දයි සීයයි ආච්චියි මායි.

ප/ලි :

මං අද තමයි ඉස් ඉස්සෙල්ලම තාත්තගෙ බ්ලොග් එක කියවන මාමල නැන්දල සීයල ආච්චිල බලන්න ආවෙ.

පේනවනෙ, අච්චර රහ කෑම තියෙද්දි මං මුලින්ම අතට ගත්තෙ පැන්සලක් !

කවදහරි මාත් තාත්ත වගේ බ්ලොග් එකක් ලියනකොට මගෙ අම්මයි තාත්තයි මට කොච්චර ආදරේද කියල ලියල තියන්නම්. එදාට නැන්දල මාමල හැමෝම එන්න ඕන කියවල යන්න.

මීට,
අම්මගෙයි තාත්තගෙයි පුතු පැටියා [ලීනු]

චූටි මැණිකේ පැහැරගනී – පපුව නතරවී රුධිර ගමනාගමනය වැඩිවීම.


ඒකාංගික ටෙලිනාට්‍ය තිරපිටපත

රචනය : නවම්

අධ්‍යක්ෂණය : නවම්

නිෂ්පාදනය : තවමත් සොයමින් පවතී

ප්‍රධාන නිළිය : චූටි මැණිකේ [කෙල්ල]

ප්‍රධාන නළුවා : නවම් [කොල්ලා]

සහාය නළු 01 = ගාමිණී සීයා [ජෝකර්]

සහාය නළු 02 = කළු තඩි ත්‍රීවීල් රියදුරු [දුෂ්ඨයා] [නම මතක නෑ, ගිරිගෝරිස් කියමු. ගිරිගෝරිස්ල ත්‍රීවීල් පදින්නෙ නැතිඋනාට ඒ නළුවාගේ පෙනුමට අනුව ඒ නම තමා වැඩිපුර ගැලපෙන්නෙ]

+++++++++++++++++++++++++++++++++++++++++++++++++

පලමු දර්ශණය:

අංගොඩ හන්දිය [කඩුවෙල පාර] රාත්‍රී හතයි කාලට පමන.

මෝටර් බයිසිකලයකින් කහ පැහැති ත්‍රීවීල් රථයක් ලුහුබඳින තරුණයෙක්. ඔහු කෙතරම් උත්සාහ කලත් එම අවස්ථාවේ පවතින මාර්ග තදබදය හේතුවෙන් ඔහුට ත්‍රීවීල් රථය ඉස්සර කිරීමට ඉඩක් නොලැබේ. එක් වතාවක් යාන්තම් ලද ඉඩකින් ත්‍රීවීල් රථයේ වම් පැති දොරට ආසන්නවත්ම එහි තුල සිටි තරුණියක් ඉතා අපහසුවෙන් යන්තම් ඔළුව එලියට දමා ඔහුට යමක් පවසයි [ඊට පි‍ටුපසින් පැමිණි හංවැල්ල බස් රථයක කන් බිහිරි කරවන හෝන් සද්දෙට ඔහුට ඈ පැවසූ කිසිවක් නෑසෙයි]

මොන රෙද්දක්ද… ඔහු කේන්තියෙන් හිස හරවා බස් රථය දෙස බලයි. එවිටම ක්ලච් බැලන්ස් නැතුව බයිසිකල් ක‍ටුව “හුටස් !” ගා මහපාර මැදම නතර වෙයි.

සෙල්ෆ් ස්ටාර්ට් කලත් වැඩක් නැත. පෙරදා ඇඳ විට්ටමේ වැදී දකුණු කකුල ඇමැට්ටි වී තිබූ බැවින් කික් ස්ටාර්ට් කල නොහැක. කරුමයක මහත. අසරණ ඔහු පාර මැද කිසිවක් කරකියාගත නොහැකිව සිටියදී පෙරකී තරුණිය ‍රැගත් ත්‍රීවීල් රථය ඉදිරියට ඇදේ. පසුපසින් වාහන පෝලිමක් හෝන් හඬවයි.

යකෝ හෝන් ගැහැව්වට පාර පලල් වෙන්නෙවත් මේක ස්ටාර්ට් වෙන්නෙවත් නෑ. [ඔහු සිතයි - සිතනා දේවල් රූපගත කල නොහැකි බව හැබෑය. එනමුත් බෙල්ට් එකක් නොලැබුනොත් තිර පිටපත නවකතාවක් හෝ කෙටිකතාවක් හෝ කිරීම රචකයාගේ අරමුණයි]

බොහෝම අමාරුවෙන් ඔහු තල්ලු බයිසිකලය තල්ලු කරන් පාරේ අයිනකට ගෙන කිහිප වරක උත්සාහයෙන් පනගන්වාගෙන නැවතත් හි‍ටු කියා දර්ශණ පථයෙන් නොපෙනී ගිය ත්‍රීවීල් රථය ලුහුබඳී.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++

[දෙවැනි දර්ශණය]

පලමු දර්ශණයෙන් පැය තුනකට පෙර.

අංගොඩ හන්දියේ රාත්‍රී දර්ශණය බොඳවී, පෙර දසුනේ ත්‍රීවීල් රථයේ සිටි තරුණිය හා ඈ ලුහුබැඳගිය තරුණයා අත්වැල් පටලා පිටකො‍ටුවේ පලමු හරස්වීදියේ ගිණිගහන අව්වේ ඇවිදින දර්ශනයකට මාරුවේ.

ඔවුන් දෙදෙනා කැමරාවට පි‍ටුපා යමක් සොයනා විමසිල්ලෙන් පාර දෙපස කඩවල් දෙස බලමින් ඉදිරියටම යයි.

තරුණයා තරුණියගේ අතින් ඇද නවතී.

හා ගාමිණී සීයා…

ඔහු වයස හතලිස්පහක පනහක පෙනුම ඇති අත් දිග කමීසයකින් හා කළු කලිසමකින් සැරසීගත් පුද්ගලයෙකි. [:)] [තරුණයාට බොහෝම දුරින් නෑකමට සීයා වෙන්නෙකි - නෑකම හඳුනාගත්තේ එදිනම උදයේය]

හා දැං බඩුටික ගන්නෙයි ආවෙ, කාත් එක්කෙයි ආවෙ, කෝ නෝන ආවෙ නෑතෙයි [ඔහු හුස්මක් කටක් නොගෙන අසයි]

ඔව් ඔව් බඩුටික ගන්නයි ආවෙ, මේ ඉන්නෙ මයෙ නෝන තමයි [තරුණයා පිළිතුරු දෙයි]

හප්පේ.. මේ නෝනයි? මං උන්න ඔහේගෙ දුවෙක්ය කියල [ඔතන කලින් ලියල තිබුනෙ "මං උන්නෙ ඔහේගෙ ලොකු අක්කයි කියල" ඒත් නිසි බලධාරිණී දැඩි සේ බලපෑම් කලා ඒක වෙනස් වෙන්න ඕනෙය කියල]

එන්න එන්න.. මෙහෙන් එන්න. අපි බලමුකො බඩු ටික ඉස්සෙල්ලම.

බලන්න දෙයක් නෑ සීයෙ වේලපහම බලලනෙව තියෙන්නෙ. ඔන්න ඔහේ බිල සෙට්ල් කරල බඩුටික පටවන්නකො.

එහෙම හරියනවයි, අන්තිමට ඔහේ කියාවි බඩුවල පොත්ත විතරෙයි මදේ තිබුනෙ නැතෙයි කියල. ආයෙ එහෙම බෑ බඩුව බල අතගාලම මිසක් මම නෙමෙයි දෙන්නෙ.

හා හා එහෙනං බලමුකො.

ඔතනින් වාඩිවෙලා ඉන්නකො [සීයා තරුණ ජෝඩුවට අසුනක් පෙන්වා කඩය ඇතුලට යයි]

විනාඩි පහලවකට පමණ පසු තරුණයා හා තරුණිය ඇනවුම් කරතිබූ ශීතකරණය හා රූපවාහිණිය පෝටර් කෙනෙකු කර මතින් පැමිනෙයි.

සීයා හා තවෙකෙකු එකතුව පෙට්ටිය කඩා තරුණයාට පෙන්වයි.

ෂා නියමයි ! ඔය තියෙන්නෙ කිරි ටොයියා වගේ [තරුණයාට ඉබේම කියවෙයි]

දැං කොහොමෙයි මේක හෙනියන්නෙ? [තරුණිය ඉදිරියට පැන අසයි]

හා.. ඒකට බය වෙන්න දෙයක් නෑ, අපේ තියනව බඩු අදින්න හදාපු ත්‍රී වීලර්ස්. එයින් එකක පටවන්න පුළුවන්.

ගිරිගොරිස් අයියා….. හයර් එකක් තියනවා යමුද? [ගාමිණී සීයා ඈත සිටිනා යමෙකුට කෑගසා කතාකරයි]

හරේ ගාමිණී අයියා යාං…

කහ පැහැති ත්‍රීවීලර් රථයක් පැමින තරුණයා හා තරුණිය සිටිනා කඩය ඉදිරිපිට නවත්වා කළු මහත බූතයෙක් වැනි මනුස්සයක් බසී.

මෙතනට යන්න කීයක් ගන්නවද ? [තරුණයා කොළයක ඇඳි මාර්ග සිතියමක් පෙන්වා අසයි]

හම්මෝ අද මරදානෙ පිකට් එකක්, එතනින් යන්න පැයක්වත් කට්ට කන්න වෙයි, රුපියල් දාහක්වත් ගන්න වෙනව.

දාහක් අපෙ අප්පෝ [තරුණයාගේ ඇස් උඩයයි]

අනේ ගිරිගෝරිස් අයියෙ, මේ බඩු ටිකටම අතේ තිබිච්ච සබ්බ සකලමනාවම අහවර උනා. ඔන්න ඔහේ කීයක් හරි අඩු කරන්නකො [තරුණයා ඔහුට දනින් වැටී නොවඳිනා ගානය]

දාහක් කිව්වෙත් මේ ගාමිණී මහත්තයට සලකල. නැත්නං රුපියල් එක්දාස් පන්සීයක්වත් ගන්න හයර් එකක් මේක [ගිරිගෝරිස් තම බුලත් කහට බැඳුනු දත් පෙන්වා මෝඩ හිනාවක් පායි]

හ්ම්.. එහෙනං මොකක් කරන්නෙයි, ආයෙ අපි හන්ද රුපියල් පන්සීයක්ම පාඩු කරගත්තු එකේ තවත් අඩු කරන්නෙයි කියන්නෙ කොහොමෙයි, ඔන්න ඔහේ යං එහෙනං. [තරුණිය පවසයි]

මේකිට දෙකක් මෙතනම දෙන්න ඇත්නං. ඕනෙ එකටයි එපා එකටයි හැමතිස්සෙම කට දානව [තරුණයා තරුණියට රවන ගමන් සිතයි]

හරේ මහත්තයා, විනාඩි පහක් දෙන්න බඩුටික පටවගන්න.

ගිරිගෝරිස් තවත් දෙදෙනුකු හා එක්ව බඩු පටවන අතර තරුණයා හා තරුණිය ඒ අසල වඩේ කරත්තයකින් රුපියල් පහ බැහින් ගත් රුපියල් දෙකේ වඩේ ළූණු පෙති සමඟ ඇදල අරී.

හරේ මහත්තයා, පටෝල අහවරයි යං.

ඒත් සමඟම පොද වැස්සක් ඇදහැලීමට පටන්ගනී.

දැන් කොහොමෙයි යන්නෙ [තරුණයා අසයි]

හා ඒක අවුලක් කරගන්න එපා. ගෙනියන්න ඕනෙ තැන එඩ්‍රස් එක ගිරිගොර්රිස්ට දෙන්න. මිනිහා ගානට බඩු ටික ගෙනිහින් බායි. [ගාමිණී සීයා]

හා එහෙනං අවුලක් නෑ නෙ මෙන්න මෙතනට… [තරුණිය තරුණයාගේ කකුල හයියෙන් පාගා ඔහුට රවා]

ඔයාට විකාරද, ලක්ෂෙක විතර බඩු මේ නොදන්න මනුස්සයෙක්ගෙ අතේ යවන්නෙ, ඔයා බයිසිකලේ එන්න, මම ගිරිගෝරිස් එක්ක ත්‍රීවීලර් එකේ එන්නම් [තරුණයාට තවත් යමක් පැවසීමට ඉඩක් නොතබා ඈ ත්‍රීවීලර් එකග ගොඩවෙයි]

එහනං මහත්තය යන්න. මං බඩු ටිකයි නෝනයි පරිස්සමින් අරන් යන්නං [ගිරිගෝරිස් බුලත් කහට දත් පෙන්වා කට කොනකින් සිනාසෙයි]

ත්‍රීවීලරය පණගන්වා ඉදිරියට ඇදෙයි.

ඒයි ඔහොම ඉන්නවා….. මගේ ෆෝන් එකේ බැටරි බැහැල, ආයෙ මාව මිස් උනොත් හොයාගන්න බැරි වෙයි. [තරුණයා බෙරිහන් දෙයි]

එය ඔවුන් කිසිවෙකුටත් නෑසුන සෙයකි.

වේගයෙන් ඉදිරියට ඇදෙනා ත්‍රීවීලරය දෙස තුෂ්නිම්භූතව මඳ මොහොතක් බලා හිඳි තරුණයා සිදුවූ දෙය පිළිබඳව සිහි එලවාගත් විගස වැස්සේම ඔවුන් ලුහුබඳින්නට විය.

පිටකො‍ටුවේ කෙලින් වීදියේ දහසක් වාහන අතරේ ඉදිරියෙන් යන ත්‍රීවීලරයක් ලුහුබැඳීම අතුරේ යාමක් වැනිය. පොඩ්ඩක් එහාට මෙහාට වුනහොත් වෙනත් වාහනයකට අඩයක් විය හැකිබව දැන දැනත් අප වීර තරුණයා සිය ප්‍රියම්බිකාව පැහැරගන යන වාහනය ලුහුබඳී.

ගෑස්පහ හන්දියේ ලොරි රථ අස්සෙන් දමන්නට ගොස් බයිසිකලෙයේ සිග්නල් ලයිට් එකක්ද කඩයක් ඉදිරිපිට තිබූ පොල්තෙල් බැරලයක හැඬලයක වැදී ඇද විය. ඉන් එහා වෙනත් අලාබ හානි ඇත්දැයි සෙවීමට ඔහුට නොහැකි වූයෙ පොල් තෙල් කාරයා කඩය තුල සිට දැමූ “ඕයි” සද්දයටත් වඩා කහ පැහැති ත්‍රීරෝද රිය ඇස් මානයෙන් ඈතට ඇදීයනු දැකීමය.

කෙසේ හෝ පේව්මන්ට් උඩින්, රෙදි වැලවල් අස්සෙන්, පකිස් පෙට්ටි අස්සෙන් දන්න රථ ශිල්ප සියල්ලම දමා අප කථා නායක තරුණයා නැවතත් ත්‍රීවීලයට කිට්‍ටු කරන් ඔරුගොඩවත්ත, කොටිකාවත්ත පසු කරන් අංගොඩ දිගාවට ඇදේ.

+++++++++++++++++++++++++++++++++++++++++++++++

[තෙවැනි දර්ශණය - නැවතත් වර්ථමානයට - අංගොඩ හන්දියේ බයිසිකලය නතරවූ අවස්ථාව | මෙතන සීන් එක මාරුවෙන එක පොඩ්ඩක් විතර අප්සට්, ඊලඟ පාර නාට්ටියක් ලියනකොට ඒව හරියයි]

තරුණයා නැවතත් බයිසිකලය පණගන්වා ත්‍රීවීලරය ගිය දිහාවට ලුහුබැන්දද ඔවුන් පෙනෙනා මානයක නොමැත. බඩුටික යා යුතු තැනටගියද එතැනට ඔවුන් පැමින නොමැත.

තරුණයා නැවතත් බයිසිකලය හරවාගෙන ත්‍රීවීලය අවසානයට දු‍ටු හතරමං හන්දියට පැමින ඔවුන් කොයි අත ගියාදෝයි හිස කසමින් කල්පනා කරයි.

ඈ හට ඔහුට දුරකථන ඇමතුමක් දීමටද නොහැක [ඒ වනවිට ඔහුගේ දුරකතනයේ බැටරි බැස ඇතිබව ඈ නොදනී]

ඔහු වහ වහා අසල ඇති කොමියුනිකේෂන් එකකට ගොස් ඈ හට ඇමතුමක් ගනී. එනමුත් ඈගෙන් ප්‍රතිචාරයක් නොමැත. නැවතත් ඔහු අවසිහියෙන් මෙන් බයිසිකලයට නැඟී හතරමං හන්දියෙන් දකුණට හැරී අංගොඩ මානසික රෝහල දෙසට පවනට බඳු වේගයෙන් ඇදේ. ඔවුන් පිලිබඳව කිසිම සලකුණක් නොමැත. නැවතත් ඔහු බයිසිකලය හරවාගෙන හන්දියට පැමිනේ.

තරුණයා නැවතත් පෙර දුරකථන ඇමතුම ලබාගත් ස්ථානයට ගොස් එහි හිමිකරුට තමාට සිදුවූ අකරතැබ්බය පවසා තම දුරකතනය ඇපයට තබා සිම් පත තාවකාලිකව දමාගැනීමය දුරකථනයක් ඉල්ලාගනී. ඉන් නැවත්ට ඇමතුමක් ගත්තද ඈගෙන් කිසිම ප්‍රතිචාරයක් නොමැත.

තරුණයාට හැඬුම් ඒ. ඔහු දකුණතින් දෑසට නැඟුනු කඳුළු පිසදමා නැවතත් බයිසිකලයෙන් ඔවුන් යා යුතුවූ ගමනාන්තය බලා ගමන් කරයි.

ගිරිගෝරිස්ට මඟ වැරදීවත්ද? එහෙමත් නැත්නම් ඔහු ඈ පැහැරගත්තේද? ඈ ගෙළ මිරිකාදමා බඩු ටිකත් අරන් පැනගියේද? දාහක් සිතුවිළි ඔහුගේ සිතේ පෙරළිකරයි [මෙම සිතිවිලි බැක්ග්‍රවුන්ඩ් වොයිස් එකක් සමඟ රූපය හා මුසුවේ]

පාරේ අලි නාවන සයිස් වලවල් වල වැටී කොන්ද කැඩී යාම වලකනු පිණිස අප කතානායක වීර තරුණයා ෆුට් රෙස්ට් එක මත හිටගෙන මෙවර බයිසිකලය පවනට බඳු වේගයෙන් පදී.

තරුණයා හා තරුණිය තව නොබෝ දිනයකින් පදිංචියට යාමට නියමිත ඇනෙක්සිය අසලට ලඟාවත්ම එය ඉදිරිපිට කිසියම් පිරිසක් කලබලයෙන් මෙන් එහා මෙහා දුවනු බයිසිකලයේ ලයිට් එලියෙන් තරුණයා දකී. තරුණයා වේගය අඩුකර ඔවුන් අසල නවත්වනවාත් සමඟම පිරිස තුලින්,

“කොහේද මනුස්සයො ගියේ මාව මේ රෑ අර යකක් වගේ මනුස්සයෙක් එක්ක ත්‍රීවීලර් එකක මේ බඩුගොඩක් එක්ක පටවල”

යනුවෙන් හඬක් නැගිනි.

අනේ දෙවියනේ කාට කියම්ද මා මේ අවනඩුව [තරුණයාගේ කඳුළු පිරුණු ඇස් වල සමීප දසුනක් සමඟ බැක්ග්‍රවුන්ඩ් වොයිස් එකක් මුසු විය]

නිමි !

වෙලඳ දැන්වීම:

ඒජන්ට් වොරන්ටි සමඟ [සොෆ්ට් ලොජික්, අබාන්ස් ......] ඔබට අවැසි සියළුම ඉලෙක්ට්‍රොනික බඩු, [ටීවී, ෆ්‍රිජ්, ඕඩියෝ සෙට්ප්ස්, හෝම් තියටර් සිස්ටර්ම්ස්, ඩී.වී.ඩී ප්ලේයර්ස්, ප්‍රොෆෙෂනල් කැමරා ඇතුළු එකී මෙකී නොකී දෑ ඉතාමත් අවම මිලකට ලබාගැනීමට අවැසි නම් පිටකො‍ටුව පලමු හරස් වීදියේ "මංගලසිරි" ට්‍රේඩර්ස් වෙත අදම පිය නඟන්න.

[කම්පැනි ප්‍රයිස් වලට වඩා රුපියල් විසි හත්දාහක් අඩුවෙන් ඒ වගකීමේ සහතිකයත් එක්කමයි මම මයෙ බඩු ටික ගත්තෙ]

හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ මේ බඩු රට ඉඳල එන අයගෙ ඩියුටි‍ෆ්‍රී එකවුන්ට් හරහා ගන්න නිසා වොරන්ටි ලියවෙන්න ඔබගේ නමට නෙමෙයි. හැබැයි වොරන්ටි ක්ලේම් කරන්න ඒක ගැටළුවක් වෙන්නෙ නෑ.

අනික ගන්නකොට අමතක කරන්න එපා වොරන්ටි කාඩ් එකේ සටහන් වෙලා තියෙන පර්චස්ඩ් ඩේට් එක. මම ගත්තු බඩු මීට මාසෙකට කලින් පර්චස් කරපුවා. සමහර ඒව ඇති ගොඩක් ඉස්සර ඩියුටි ‍ෆ්‍රී ෂොප්වලින් මිලදී ගනිපුවා. එහෙම උනොත් අපරාදෙනෙ.

ලාබ බඩුවෙ පොඩි හිලක් තියෙනෙවනෙ. ඒත් ඉතිං හිල ලොකු නොවෙච්ච බඩුවක් හරියට බලල ‍තෝරල ගත්තොත් කාලයක් යනකං හිතට බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. නැද්ද මං අහන්නෙ ?

පින්තූරෙ ගත්තෙ මෙතනින් : http://www.flickr.com/photos/71952913@N00/603512646/

නවම් මාවත දරුණු හැකර් ප්‍රහාරයකට ලක්විය !

බැරිම තැන මම මේක හැක් කලා. හැමදාම බ්ලේඩ්, සිරින්ජර්, ෆෝසෙප්, කිඩ්නි ට්‍රේස්, ඇනස්තීශියා ඇප්‍රේටස්, ඉන්ක්‍යුබේටර්ස් එක්ක හරඹ කරන මට බ්ලොග් එකක් හැක් කිරීම කජ්ජක් නෙමෙයි කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. කොහොම උනත් තුන් හිතකවත් නොතිබුන දෙයක් තමයි මේ උනේ. ඒත් ඉතිං මටෙයි කියල හැමදාම ඉවසන්න පුළුවනෑ. බැරිම තැන තමයි හිතට එකඟව නොවුනත් මේ වැඩේ කලේ. කොහොම උනත් මම මේකෙ වගකීම නම් ගන්න කිසිම සූදානමක් නෑ. සම්පූර්ණ වැ‍රැද්ද නවම්ගේ. මගෙ මිනිහ උනත් සුද්දකරන්න ඕනෙ නෑනෙ.

මේක පටං අරන් දැනට මාස හතරක් පහක් විතර ඇති, පෝස්ට් පනහත් පන්නල, හිට්ස් විසිදාත් පැනල, මහ ලොකු බ්ලොග් යාළුවො කට්ටියකුත් ඉන්නවලු. ඒත් ඉතිං මට ඒ කිසිම දෙයකින් සතපහක වැඩක් නෑ. කොච්චර ඉල්ලුවත් මට ආසාවට එක පෝස්ට් එකක් ලියන්න දෙන්නෙ නෑ මේ මිනිහ. ඉල්ලුවොත් කියන්නෙ “අනේ මේ ඔයා ලියන පෝස්ට්” කියල. ඒ කතාව වැරදිමත් නෑ. මම එච්චර ඔය ඔන්ලයින් වැඩ දන්නෙ නෑ නෙ. ඒත් ඉතිං අනේ අපිටෙයි කියල කියල දුන්නොත් තේරුං ගන්න බැරිය මොකෝ.

ඒකත් ඉතිං මේ මිනිහට වෙලාවක් තියෙන්න එපැයි. උදේ පස්සට ඉරපායනකං බුදියගෙන ඇඳ ගාවටම එන තේ එක එක හුස්මට බීල දඩි බිඩි ගාල කලිසමට බැහැල වැඩට දුවල ආයෙ ඉතිං රෑට කන වෙලාවටනෙව ගෙදර එන්නෙ. උදේට මූණ හෝදන්නෙත් නැද්ද කොහෙද. ඊයා….

වැඩිය එපා, පහුගිය දොහේ තිබුන අර අවුරුදු උත්සවේට මාවයි පොඩි එකායි එක්කං ගියාන මක්ක වෙනවයි. [හිතේ කේන්තියට එහෙම කිව්වට මට එදා උදේ පන්තියක් තිබුන නෙව. මට හෙන තර්ජනේ පන්ති නොයා යං උත්සවේට කියල] ආයෙ මං බෑ කිව්ව. ඕවයෙ බඩගාන්නයි පොඩි එකා හදාගන්නයි, පන්ති යන්නයි, රස්සාවට යන්නෙයි…. එක වැඩක් කියලයි මට..

කොහොම උනත් මේ කෙහෙල්මල් බ්ලොග් එක හන්ද මට සෑහෙන්න පාඩුයි. ඉස්සර හරක වගේ ගෙදර වැඩ කරපු මිනිහා දැං ඇඳට වෙලා ලැප්ටොප් එකත් උකුලෙ තියාගන කොට කොට ඉන්නව විතරයි. මෙලෝ වැඩක් කරන්නෙ නෑ. වෙලාවකට රෑට කන්න සිහියත් නෑ. පහුගිය දවසක පොඩි එකා ඇඳේ තියල ඩිංගකට බලාගන්න කියල ගියා මීයෙක්ද කොහේද කුස්සියෙ බඩු පෙරලනව ඇහිල. ඇවිල්ල බලද්දි පොඩි එකා රෝල් වෙලා ඇවිල්ල ඇඳවිට්ටම බදාහෙන ඉන්නව. තව ඩිංගෙන් බිම. මේ මිනිහ ඒ මුකුත් දන්නෙ නෑ, ලැප්ටොප් එක බදාගෙන. ආයිත් නෑ මං එදානං කිව්ව උන්දැට කන්දෙකේ ඇඟිලි ගහගන්න. ඔන්න ඊටපස්සෙ ඇස්දෙකේ කඳුළු පුරෝගෙන මං දිහා බලං ඉන්න පටන්ගත්ත. එදා ඉතිං මට ළමයි දෙන්නෙක්ම නළවන්න උනානෙව. ආයිත් නං මොකක් කළත් බනින්නෙ නෑ කියල හිතාගත්ත. හරිම අමාරුයි මේ මිනිහ නළවගන්න අඬන්න ගත්තම.

එදායින් පස්සෙනං ගෙදර ආවම ලැප්ටොප් එක බදාගන්න එක ඩිංගක් විතර අඩු උනා. එහෙමයි කියල ආයෙ මට උදව්වක් නෑ. ඒ වෙලාවත් මේ මනුස්සය ගන්නෙ මගෙ උකුළෙ ඔළුව තියාගෙන ඉන්න. මාත් ඉතිං හොරි කසපිය ගිණි පිඹපිය වගේ තමා. අනේ මන්ද ගෑණු අපිට නිවනක් නෑ නෙ මේවගේ මිනිස්සු බැඳගත්තම. ආදරේ කියල මෙහෙමත් කොරන්න පුළුවනෑ. මං හිතන්නෙ ගෙදරදි වැඩිය ඔය බ්ලොග් කෙරුවාව නොකලට ඔ‍ෆිස් එකේදි ඒකටත් එක්ක ලියනවද කොහේද. නැත්නං සතියට පෝස්ට් දෙකක් තුනක් කොහොම ලියන්නද. රස්සාවටත් කෙළවෙන පොටක්ද දන්නෙ නෑ ඒ සැරේ. ආයෙ නෑ එහෙමනං පොඩි එකාවත් අරං යනව අම්මලාගෙ ගෙදර ඕන කුදයක් ගහගන්න කියල. එතකොටවත් තේරෙන්නෙ නැතෑ ඔය බ්ලොග් කෙරුවාව මාසෙ අන්තිමට කන්න බොන්න දෙන්නෙ නැතෙයි කියල.

හිතේ ආවේගෙට මේක හැක් කලාට ලියන්න දෙයක් හිතාගන්න බෑ. ඒක හන්ද මං නවම් ආපහු එන්න කලින් ලැප්ටොප් එක තිබුන දැනම තියල කුස්සියට යන්න ඕන තේ එකක් හදල දෙන්න. බෝතලේ වතුර දැං නිකන්ම නිවෙන නිසා කේතලේ ලිපේ තියන්න වෙනව. නැත්නං ආයෙ නිවිච්ච වතුරෙන් තේ හැදුව කියල වෙනම අඩව්වක් අල්ලයි ඔය මිනිහ. ඕව් ඕව්.. හීන්දෑරි කමට උන්නට හරි නීතිකාරය. ඩිංග එහා මෙහා වෙන්න බෑ.

ආ… කියන්න හිතාගෙනම ආපු එක තව පොඩ්ඩෙන් අමතක වෙනව.

මේ මං කලා වගේ අනිත් බ්ලොග් ලියන අයගෙත් බිරින්දෑවරු, වෙන්ඩ බිරින්දෑවරු ආතතියෙන් නම් ඉන්නෙ මං වගේ තම තමන්ගෙ මිනිස්සු ලියන බ්ලොග් එක හැක් කරල ඔන්නෙ ඔහේ හිතේ තියන ආවේගෙ පෝස්ට් එකකට දාල පබ්ලිෂ් කරල දාන්න. මම මේ අත්දැකීමෙන් කියන්නෙ. ආයෙ නෑ ඊට පස්සෙ හිතට පුදුම සැනසිල්ලක් දැනෙන්නෙ.

එතකොට රට්‍ටු දැනගන්නෙ නැතෑ මේකල කරන වැඩ ගෙවල් වලදි. ආයෙ බ්ලොග් ලියන්න ගියාම එයාලට වැඩිය හොඳ මිනිස්සු ලෝකෙම නෑ වගේ තමයි කතාව. ගෙවල් වල ඉන්න ගෑණු අපිනෙ දන්නෙ එයාලෙගෙ වැඩ. තව ඉතිං කියන්න  තියෙන දේවල් නං අනන්තයි. ආයෙ ඉතිං ඒව කිව්වොත් බල්ලො බහ් කන්නෙ නෑ. අනික පවුල පරිස්සංකරගන්නත් එපැයි.

වැඩේ ගැස්සිලා ගියොත් අර ටැබූගෙ, මොහොමඩ්ගෙ, පිස්සාගෙ බ්ලොග් හැක් කරපු මහා හැකර් රාජයා බෙල්ල මුලින්ම අල්ලල දීල ජාම බේරගන්න පුළුවන්. ඕනනං වෙනදට වැඩිය කටට රහට විශේෂ කෑමක් හදල දීල වෙනදට වැඩිය පොඩ්ඩක් ආදරේ පෙන්නන්න, විනාඩියෙන් ඔය මිනිස්සුන්ට ඕව අමතකයි. ආයෙ ඉතිං ඔය පිරිමි ජාතියම ‍රැවටෙන්න බලාගෙන ඉන්න සත්තු ජාතියක් කියල නවම් හැමතිස්සෙම කියන්නෙ කට කහනවට වෙන්න බෑනෙ !

මීට,
චූටි මැණිකේ…

ඉබාගාතේ ඇවිද අවසානයේ පාර සොයාගතිමි.


දෙදහස් එක මාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් විය. ඒ මා මාගේ වසර දහතුනක පාසැල් අධ්‍යාපනයෙන් සමුගත් වසරය. අ.පො.ස.උ.පෙ මට වැරදුණි. සාමාන්‍ය පෙළ මැද හරියෙන් ගොඩගිය මට ඉන් අනතුරුව කුමක් කරම්දැයි අවබෝධයක් නොතිබිණි. පහල පන්ති වලදී කිසිවෙකු මා ලොකු වී කුමක් කරන්නේදැයි ඇසූකල දොස්තරකෙනෙක්, ඉන්ජිනේරුවෙක් වෙනවා යැයි කටපාඩම් කල ගිරවෙකු මෙන් කී කතා නැවතත් ආවර්ජනය විය. දොස්තරෙක් වීමට මාගේ කිසිම අකමැත්තක් නොතිබූ මුත් බයෝ සයන්ස් කරනාවුන්ට නොසෑහෙන්න පාඩම් කරන්නට ඇතිවග අසා දොස්තර සිහිනය අළුයම ලූ කෙළ පිඬක් මෙන් බැහැර කලෙමි. එයින් මතු මා අත ඉතිරිවූ ඉන්ජිනේරු කජ්ජෙන් දෑවුරුද්දක්ම වලකජු ගැසුවෙමි. කරුමයක මහත. දිනන්නට තරං අවැසි කජු වලට දමාගත නොහැකිවූ මා කජ්ජ ගොඩ තිබෙද්දී වලට වැ‍ටුනි. එහෙත් ඉන් මට රිදුනේ නැත, ඇතැම් විට දෑවුරුදු ප්‍රයත්නය මාගේ සංවේදනා මොට කර ලන්නට ඇත.

එවකට මට කවි ලිවීමට අවැසි වී තිබිණි, නිසඳැස් ලිවීමට අවැසි වී තිබිණි, චිත්‍ර අඳින්නට බැරිමුත් නරඹන්නට ආසාවක් තිබිනි, කතා ලියන්නට ආසාවක් තිබිණි, නාට්‍ය නරඹන්න ආසාවක් තිබුණි, ඔහේ ඇවිදින්නට ආසාවක් තිබුණි. ඒ සියල්ල කැලිපරයට, ස්ලිංකියට, දෛශිකයනට, බැරෝමීටරයට ආදේශ කරන්නට මා නොසෑහෙන උත්සාහ කලෙමි. ඊට දැරූ ප්‍රයත්නයන් සියල්ලම ව්‍යාර්ථ වී ගියේ සියළුම ආසාවන් මොටකරමිනි. ඉන් පසු මට හැඟීම් දැනීම් යනු ආගන්තුක දේවල් විය. ඔහේ උපන්නාට වැනීමි.

කන්නට බොන්නට කිසිම ආසාවක් නොතිබිණි, උයා මේසෙට ඇරිපසු ගොස් කමි, නැවතත් ගුහාවට රිංගාගමි. නැවතත් ඊලඟ වේල සඳහා හෝ වැසිකිළියට යාමට හෝ පුස්තකාලෙන් ගෙනා පොත් දෙක කියවා අහවර වූ විට තවත් දෙකක් ගෙන ඒමට ඉන් එලියට එමි. මිතුරන් සියල්ලන්ගෙන්ම ඈත් වීමි. උන්ගේ සමාගමය මට නොරිස්සන්නක්ම විය. උන් මුනගැසුනවිට සී-බාත් යන්න අඬගසයි, රෑන්පාට් ගොස් බොන්නට අඬගසයි එහෙමත් නැත්නං කාගේ හෝ ලව් එකකට උදව් කරන්නට යන්නට අඬගසයි. ඒ කිසිවකට මගේ ආසාවක් නොතිබිණි, මට අද මෙන් එදාද බොන්නට බැරිය. ටික කලෙකින් ඔවුන්ගේ ඉල්ලීම් වලට මාගේ ප්‍රතිචාර නොලැබෙනාවග තේරුම්ගත් පසු ඔවුහු මා හැරගියහ. ඉන්පසු මා වටා ඇතිවූ ශූන්‍යතාවයට, නිහඬ බවට, ඇතිවූ හුදෙකලාවට මා ඉමහත් ප්‍රියතාවටක් දැක්වීමි.

එහෙත් ඉන් කලෙකට පසු තවදුරටත් නිවස මට ප්‍රිය තැනක් නොවීය. මා ඉන් එළියට ආමි, මා නිවසටම වී ගතකල කාලය තුල මට බොහෝ දෑ අහිමි වී ඇත. මිතුරන් සී සීකඩ ගොසින්ය. මාගේ ඇස සොරාගත් යෙහෙළියන් නව මිතුරන් සොයාගොස් උන් හා අත්වැල් පටලාගෙන මල් පාරවල් වල ඇවිදී. බස් නැවතුමේ වල බැහැපු උන් වීසිවී අළුත් මූණු පැලපදියම් වී ඇත. මා දැන උන් පරිසරයේම මා අගන්තුකයෙක් වී ඇත. හුදෙකලා වීම ම අරමුණ වූ මට එය ආශීර්වාදයක් ම මිස දුකක් නොවීය.

හුදෙකලාවීම ප්‍රමාණවත් වූවද එයද එපා වෙන කලක් එනබව මට වැටහිනි. එහෙයින් මා කුමක් හෝ කල යුතුය. එතැන් සිට, මා ගෙදර සිටිනා විට කිහිප වරක් ස්ප්‍රේ කෑන් වලින් පේන්ට් කල ඊස්ටන් ස්පෝර්ට්ස් බයිසිකලය මකුළු දැල් කඩා බ්‍රේක් පළු දමා, අළුත් බල්ලන් දමා මඩුවෙන් එලියට ගතිමි. මට යාමට කියා තැනක් නැත. එහත් මම යමි. ඔහේ පාරවල් දිගේ බයිසිකලය පැදගෙන යමි. මහ පාරවල් වලට වඩා වතු මැදින්, ඇළවල් අයිනෙන්, සෙනඟ නොමැති පාළු පාරවල් වල බයිසිකල් පැදීමෙන් මා සතු‍ටු වීමි. ඇතැම් විටක ඔහේ පැදි පාරවල් දන්නා කියන හන්දියකින් කෙළවර විය, ඇතැම් විටෙක දන්නා කියන මහපාරකට වැටිනි. ඒ සෑම විටෙකම නව රටක් සොයා ගැනීමේ කොලොම්බස් ප්‍රීතිය මම වින්දෙමි. එම ශුද්ධවූ ප්‍රීතිය අදටද අතීතාවර්ජයනයෙන් මෙම ලිපිය ලියනා මට දැනේ. දැනුදු ඉබාගාතේ යන්නට අසාවක් දැනේ. එහෙත් දැන් වගකීම් වලින් මා අත පය බැඳ දමා අවසානය.

ඇතැම් විටෙක ගාළු කො‍ටුව දිහාවට බයිසිකලයේ රෝද කැරකේ. ඒ හැම විටෙකම මා කො‍ටුවට ඇතුළු වූයේ මූද අයින දිගේ වැටී ඇති පාර දිගේ ගොස් පරණ කො‍ටු දොරකඩිනි. එය නව දොරකඩට වඩා සෑම විටම අඳුරෙන් වැසීගත්, දිය සෙවෙල බැඳුනු බිත්ති වලින් යුක්ත වූවකි. නව දොරකඩ මෙන් කාෂ්ඨක නොවූවකි. එහි තිබූ විසල් ඇණ, අසව්, සොයිබ ඇල්ලූ කළුපාට ඝනකම් ලී දොර සෑම විටම මා ගුප්ත ලොවකට ඇතුළුවන්නේය යන හැඟීම ඇතිකරයි. ඉන් ඔබ්බෙහි ඇත්තේ මායා රාජධාණියක්ය. එතැන් සිට රාක්ෂයන්, ඔළු තුනේ මකරුන් බලාපොරොත්තුවෙන් ඉදිරියට යමි. ඊලඟ මොහොතේ මා ඉදිරියෙන් ඇදෙන වාහනක දුම අස්සෙන් පෙන්නේ උසාවිය ය. මායා කාරයන් නැතත්, මකරුන් නැතත් මම දිගටම බයිසිකලේ පදිමි ප්‍රදීපාගාර වීදිය දිගේ කෙළවරටම.

බයිසිකලය තාප්පෙට හේත්තු කර ලොක් එකත් දමා  නඟිමි කො‍ටුතාප්පෙ පඩිපෙල ලයිට් හවුස් එක ලඟට යන්නට. කෙළවරටම, ප්‍රදීපාගාරය යටටම පැමිණි පසු මුහුදට මූණලා තැනූ කොන්ක්‍රීට් බංකු ලෑලි දෙකක් මම දකිමි. ඒවා බංකුම නොවූවත් වාඩිවී සිටීමට ඉන් කිසිදු බාදාවක් නැත. අඩි විස්සක් විතර පහලින් සී බාත් එක පෙනේ. ඈතින් ඉර බැහැගෙන යයි. තවත් පැය බාගයකින් ඉර දාහය නිවාගන්න වතුරට බහිනු ඇත. ගිලෙන ඉරට මූදෙ වතුරෙ රත්වෙයි කියල බයෙන් මෙන් මූදෙ නාපු අය එකා දෙන්නා ගොඩට ඇදෙනු ඇත. නමුත් මට හිතෙනා ලෙසට එයම තමයි මූදට බැසීමට යෝග්‍යම කාලය. මටත් වතුරට පැනීමය සිතක් පහලවූවත් එතනින් එහාට එම සිතුවිල්ල ක්‍රියාත්මක වෙන්නේ නැත.

ඉන් අනතුරුව මට දුම් වැටියක් අවැසි විය. මින් පෙර කිසිදාක මා දුම් වැටියක් උරා නොමැත. එනෙමුදු පෙර ඇබ්බැහි වී සිටියෙකුට මෙන් දැඩි අවශ්‍යතාවයක් ඇතිවිය. වටපිට කඩයක් නැතිහෙයින් ඊට මඳක් ඈතට වන්නට ඇති කඩය වෙත බයිසිකල් පදිමි. ගෝල්ඩ් ලීෆ් හතරක් සහ ගිණිපෙට්ටියක් මිළදීගෙන නැවතත් කො‍ටු බැමට නඟිමි. මූදෙන් හමනා දැඩි සුලඟට එරෙහිව ගිණිකූරු දැල්වීම පහසු කාරියක් නොවේ. එහෙත් මා සුලඟට පැරදීමට සූදානම් නැත. සුලඟට පි‍ටුපා වාඩිවී නැවතත් ගිණිකූරු හතරක් එකට තබා පෙට්ටියේ උලා සිගරට්‍ටුව දල්වාගනිමි. මට තනියම සිනහ නැ‍ඟේ. මා සුලඟ පරාද කර ඇත. නැවතත් ජයග්‍රාහී ලෙස මූද පැත්තට හැරී සිත් සේ දුම් වැටිය උරමි. තද තැඹිලි පාටින් ලුණු වතුරේ ගිලෙනා ඉර එලියේ අන්තිම ඩිංග මහේ මූණ තැඹිලි පහැ කරන්නට ඇත. මට ඈතක සිට මා දිහා බලා හිඳින්නට සිතේ.

සුළ‍ඟේ සැරට පළමු දුම් වැටිය පිළිස්සී අහවර වෙන්නට ලඟය. ඉන් දෙවැන්න දල්වා පළමු කොටය මූදට වීසිකලෙමි. එහෙත් සැඩ සුලඟ එය උඩ දමා මා හිසට ඉහලින් පි‍ටුපසට වීසිකර දැම්මේය. එකක් ඉවර වෙන්න එකක් ලෙස හතරම අහවර විය. මට කිසිවක් නොදැනුනි. පොඩි එකා කාලයේ ආච්චිලාගේ ගෙදරදී ලිපේ දැමූ පුළුං බඩයක් තිබූ කෝ‍ටුවක් බ්වූ දවසේ අඩුම තරමේ කට හාරන රහක් සමඟ ගුරුලේත්තුව කටට හලාගන්නකන් නොනැවතුනු කැස්සක්වත් ඇතිවිය.

ඉන් කලෙකට පසු මාගේ ඉබාගාතේ ඇවිදීම ඉබේම අඩුවී ගියේය, ඒ මට ආයෙමත් යන්නට පාරක් හමු වූ බැවිනි. ඒ පාරේ අනන්තවත් බොරු වලවල් තිබුනි. නමුත් මා දිගටම නොනැවතී ඉදිරියට ගියෙමි, ඇතැම් විටෙක මා ඇවිද තිබුනේ කළල් මඩ ගොහොරුවක් වෙතටය. ඇතැම් විටෙක ප්‍රපාතයක් දෙසටය. එනමුත් ඒ සෑම විටකම ආපසු හැරී විත් නිවැරදි පාරට වැටෙන්නට තරම් තරම් හයියක් මාගෙ පා සතුවිය. මා මුලින්ම නිවැරදි ම‍ඟේ ගමන් ගත්තේනම් බොහෝ දුරක් ගොසිනි. එහෙත් කණගා‍ටුවක්, පසුතැවීමක් මාහට නොමැත. තවත් බොහෝ දුරක් මාහට යාමට ඇතිවග දනිමි. ඒ සඳහා වාරු දෙන්නට ආදරය පිරුණු දෑස් දල්වා චූටිමැණිකේ පුතුපැටියා සමඟ මගේ පසෙකින් ඉඳී.

ඉතින් මා ඔවුන් සමඟ නවම් මාවතේ ඇවිදිමි !

ඝනකම් ලී

Follow

Get every new post delivered to your Inbox.

Join 79 other followers