මට ප්‍රශ්ණ ගොඩයි [උත්තර දන්නෙ නැත්නම් ප්‍රශ්ණ අහපු එකා මරන්න ඔට්‍ටු නෑ හරිය]

පහුගිය පෝය දවසෙ අහම්බෙන් වගේ බෞද්ධයා නාලිකාවෙ ප්‍රචාරය උන බණක් අහන්න ලැබුන. ඒකත් චූටිමැණිකෙයි මායි පොඩ්ඩයි අම්මලගෙ ගෙදර ගිය නිසා. දේශනාව කලේ බුද්ධංගල ආනන්ද ස්වාමීන්වහන්සේ. පැවිදි නමින් ගොඩක් දෙනා නොදන්නවට ගිහි නම වෙච්ච උතුරුමැද අණදෙන නිළධාරී මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර ගොඩක් අය දන්නව ඇති. පහු කාලෙක පුනුරුත්තාපන කොමසාරිස් වෙලත් උන්න.

හෝව් !!

මම බණ කියන්න යනව වත්, යමෙක් වර්ණනා කරන්නවත් යනව නෙමෙයි. කියවන අය නොදන්න දෙයක් දැනගන්න කැමති වෙයි කියල හිතුන නිසයි ඒ විස්තරය කෙරුවෙ.

මම කියන්න ආවෙ මෙන්න මේක,

ඔය බණ අතරතුරේ මෙන්න මේ වගේ අදහසක් කියවුනා.

//ගව ඝාතනය වැලැක්විය යුතුය. අප ඒ සඳහා ආණ්ඩුවට බල කල යුතුය. ආණ්ඩුව ලංකාව තුල ගවඝාතනය නීතියෙන් තහනම් කල යුතුය.! එවිට ඇතමෙක් අසනා “ඇයි ගවයා විතරක්, කුකුළා ?” යන ප්‍රශ්ණ කිසිවෙක් නඟන්නේ නම් ඒ මේ සද්කාර්යයට අකුල් හෙලීම උදෙසා මය.//

ඔය මතය ඒකියන්නෙ සත්ව ඝාතනය, මත් පැන් පානය, හා වෙනත් සදාචාර විරෝධී කටයුතු, අන්‍යාගමීකරනය වගේ දේවල් වැලැක්වීම සඳහා රජය නීති පනවා ඒවා බලාත්මක කලයුතුය යන්න මෑතක බොහෝමයක් ජනප්‍රිය වේගවත් ගමන්ධාරී ස්වාමීන්වහන්සේලා ජනප්‍රිය මාධය හරහා පැවසූ අදහසක්. බැලූ බැල්මට ඒක හොඳ වැඩක් කියල නෙපෙනෙනව නෙමෙයි. මතුපිටින් බැලුවම අගෙයි කියල සාධු ! කියන අය බොහෝමයි. ඒත් ඇත්තටම ඒක එහෙමද ? අගෙයි ද ?

බෞද්ධ හිමිවරුන්ගේ කාර්ය භාරය තමන්ගේ අනුගාමිකයන් යහමඟට ගැනීම, යහම‍ඟෙහි පවත්වාගැනීම කියලයි මම හිතන්නෙ.[ඔය යහ මඟ කියන එක බොහොම ගැටළු සහගත මඟක්, මට ඒගැන පැහැදිලි අවබෝධයක් නැති නිසා ඒ ගැන ලියන්න යන්නෙ නෑ. ඒත් යහමඟ එකිනෙකාට සාපේක්ෂයි කියල නම් මට හිතෙනව] ඕනෙනම් ඔය අදහසම මීට වඩා බරපතල, ඇතැම්විට තේරුමවත් හරියට නොදන්න වචන දාල ආලවට්ටම් කරල කියන්නත් පුළුවන්. එහෙම උනොත් මේකත් තවත් එක බණක් වෙයි කියන මනුස්සයටත් අහන මනුස්සයටත් දෙන්නටම නොතේරෙන.

[හරියට පාලි ගාථා වගේ, ශබ්ධ රසය මිසක් වෙන මෙලෝ දානයක් මටනම් තේරෙන්නෙ නෑ. ඉතිං නොතේරෙන දෙයකින් තවත් ප්‍රත්‍යක්ෂ නොව්ච්ච දෙයක් ‍තෝරගන්න පුළුවන් කියල තියන විශ්වාසය මහ ‍රැවටිල්ලක් නෙමෙයිද?]

ඉතින් මිනිසුන්ගෙ අභන්තරය වෙනස් කරන්න, සිතුම් පැතුම්, විස්වාසයන් වෙනස් කිරීම තුලින් මිනිසුන් “යහමඟට” ගන්න දරන උත්සාහයන් බොහෝමයක් අසාර්ථකයි කියල නොකියා කීමක් නෙමෙයිද තමන් විසින් කලයුතු දේ ආණ්ඩුවක් විසින් කළයුතුය කියල අතහෝදාගැනීම තුල තියෙන්නෙ ?

එතනදි ඇයි දේශකයන් වහන්සේලාට නොහිතෙන්නෙ ශාස්තෲන් වහන්සේ උගන්වා ඇතිපරිදි මේ මේ ක්‍රියා කලොත් අත්වන්නේ මේ ප්‍රතිඵලයයි. එහෙයින් අවබෝධයෙන් රිස්සක් කරව ! කියල දේශනා කරන්න. ඇයි බලහත්කාරයෙන්, ආණ්ඩුබලයෙන්, බාහුබලයෙන් මිනිස්සුන් නිවන්දක්කන්න හදන්නෙ ? ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ? තමන්ගෙ ගොඩ වැඩිකරගෙන අයුතු සමාජ බලයක් ගොඩනඟා ගැනීමක් නෙමෙයි ද?

ධර්ම දේශණා කරන බොහෝමයක් ස්වාමීන්වහන්සේලා [බොහෝමයක් කිව්වේ සියල්ලන්ම එසේ යැයි නොදන්නා නිසා] කරන්නෙ කටපාඩම් කරගනිපු දෙයක් ගිරව් වගේ ඔහේ කියන එක. මොකද ඒ දේශනාව තමන්ට අවබෝධයි නම් ඒ කියන පරිදිම මාර්ගඵලවලට එළැඹිලා තියෙන්නෙ ඕනෙ. ඒත් ඒ අයම කියනව අපි තාමත් පෘතුග්ජනයි කියල. ඉතින් තමන් ප්‍රතක්ෂයෙන් නොදත් දෙයක් තවකෙනෙකුට කියල දෙන එක සධාරණයිද? තවත් අයකුට අවබෝධකරවන්න කලින් තමන් ඒ පිළිබඳව අවබෝධයක්, ප්‍රත්‍යක්ෂ භාවයක් ඇතිකරගැනීම වැදගත් නෙවෙයිද ? බණ කියන තරමට මිනිස්සුන්ට අවබෝධ නොවෙන්නෙ විවිධ අය විවිධාකාරයෙන් කරනා දේශනාවෙ කොතනක හෝ තියන අඩුපාඩුවක්, අමතකවීමක් නිසා වෙන්න ඉඩක් නැතුවද?

ප.ලි : මට මෙහෙම හිතෙන්න මගෙ මොකක්හරි අවුලක් නිසාද? එහෙමත් නැත්නම් තවත් අයට මෙහෙම හිතෙනවද ? ඒ හිතෙන අය ඒ ගැන ඔහේ හිතෙන්න ඇරල නිකන් ඉන්නව මිසක් හිතන්නෙ නැද්ද? හිතුනත් කියන්නෙ නැද්ද ?

හපෝ..නිදහසද ? මටනම් එපා. මෙහෙම හොඳා !!!

මොන කරදරයක්ද ගෑණියෙ මේ…. අම්මප මට නිදහසේ ඉන්න දුන්නෙ නැත්නං යනව ඔළුව හැරිච්ච හැරිච්ච අතේ හරිය.. අයෙ නොකිව්වයි කියන්න එපා. නිවනන් ඇත්තෙම නෑ නෙව. උදේ ඉඳං නැහිල නැහිල ගෙදර එනව ඩිංගක් නිවීහැනහිල්ලෙ ඉන්නෙයි කියල. කොහෙද.. ආ වෙලේ ඉඳල මෙතන නහූතෙට වැඩ. රෙදි හෝදන්නයි, ටයිල් මදින්නයි, මකුළුදැල් කඩන්නයි කක්ක රෙදි හෝදන්නයි. වලං හෝදන්නයි ….

අම්මප වන්දියක් අරං අයින් වෙන්න ඇහැක්නං මං මෙලහකටත් ගිහිල්ල මේ කොම්පැණියෙන්..

හික්….. !!

හික් ? තව එනවද මට කොචෝක් කරන්නත් ඈ. මං හොඳ වැඩියි. හික්…. !! දෙන්න හිතෙනව හැටක් මූණට

ඔයාටමන ඒකෙත් පාඩුව..

මට ?

ඇයි අනේ මූණ නාළු වෙච්ච ගෑණියෙක් එක්ක ඔයාට පුළුවන්ද පාරක බැහැල යන්න.. හිහ් හිහ්……

ඕන වෙලාවක සිරික්කිය දැම්මම හරියයි. අම්මප මටනං බෑ ඕයි මේ වැඩේ කරන්න. මට මීට වඩා නිදහසක් ඕනෙ.

ඔයාට විකාර අනේ. මොකෝ නිදහසක් නැත්තෙ. දැං ඉතිං යුද්දෙත් නෑ නෙ.

අම්මප මට තමුසෙත් එක්ක එන කෙන්තියක් ….

හිහ් හිහ් හී… දැං ඉතිං ඔයාට මොකද කෙරෙන්න ඕනෙ කියන්නකො…

මට නිදහස් වෙන්න ඕනෙ. මං යනෝ නිදහස හොයාගෙන. හොයාගෙන මිසක් ආයෙ මේ ගෙදරට මං නෙමෙයි අඩියක් තියන්නෙ.

අනේ මට බෑ තනියම පොඩි එකත් එක්ක මේ ගෙදර ඉන්න. මාව අම්මලයි ගෙදර ඇරලවල ඕනෙ තැනක ගිහිං එන්න.

මෙච්චර කල් උන්න එකේ එදා දවසත් අමාරුවෙන් ඉවසගෙන ඉඳල පහුවෙනිද උදේම ගෙදර උන්දැයි ළමයි අපේ අම්මලයි ගෙදරට පටෝල මං ගියා නිදහස හොයාගෙන.

අර කොහෙද යන්නෙ ?

නිදහස හොයාගෙන යනවයි කියන්නෙ අම්මෙ…..

තාම හෙනහුරා.. ඇවිද්දෝනව.. ඕව වලක්කන බෑ දුවේ.

නැන්දම්මයි ලේළියි දොරකඩ ඉඳං කතාවෙනව මට යාන්තමට වගේ ඇහිල නෑහිලා ගියා.

***************************************************************

පාරට බැහැල අදට තුන්දොහයි. මුල් දවසෙනං මතකයි නුගේගොඩ. මහරගම, කොට්ටාව, හෝමගම ගොඩගම එහෙම පහුකරගෙන එනව.. ඒත් පස්සෙං පහු නිච්චි නැතුව ගියා කොහේ කොහේද කියල.

හතරවෙනි දොහේ මං නැවතුනේ කොහේ හරි පාළු බස් හෝල්ට් එකක. හැන්දැ වරුවටම එකම බස් එකක්වත් ගියේ නෑ මතක හැටියට. හද්ද පාළු පළාතක්ද කොහෙද, හොරි හැදිච්ච බල්ලෙක් විතරයි ඒ පාරෙ යනව දැක්කෙත්.

මට හරිම නිදහසක් දැනුන ඒ වෙලාවෙ. ඒත් එක්කම බඩගින්නකුත් ආව නොසෑහෙන්න. අතේ ඉතිරිවෙලා තිබුනෙ රුපියල් දෙකයි. ඒකෙන් අහවල් දෙයක් කන්නද. හෙට උදේම මොනව හරි කන්න හොයාගන්නව කියල හිතාගෙන බස් හෝල්ට් එකේ කොට තාප්පෙට පිටදීල ඇස් පියාගත්ත.

දරුවා….

බොහොම ගැඹුරු කටහඬක්…

ක.. කවුද ??

දරුවා, කලබල නොවන්න. මම තමයි තොප මෙතුවක් කල් සෙවූ නිදහස.

ඇති යාන්තං. කොහෙද මෙච්චර කල් උන්නෙ ඔහේ ?

එක තැනක කියල නෑ. මං ඔය කොයි තැනත් ඉන්නව. ඒත් පේන්නෙ එහෙමත් කෙනෙකුට තමයි.

ඇයි ඔහේ ඇඳං ඉන්නෙ සීතාම්බරපටේ ද?

කවට බස් දොඩන්න එපා දරුව.

එහෙමයි. ඉතිං කෝ ඔහේ.. මොකෝ මට නොපෙනෙන්නෙ ?

එහෙම එකපාරටම පෙන්නන්න බෑ. තමුං මාව දකින්න සුදුසුද කියල තීරණය කරන්න ප්‍රශ්ණ තුනක් අහන්න තියනව.

හා.. අහනවකො බලන්න එහෙනං

හොඳයි. සාවධානව අහගන්න පලවෙනි එක.

තමුං මෙච්චර කල් කරගෙන ආව බඩරස්සාව අතාරින්න කැමතියිද ?

ඒ අහවල් දෙයකටද මං රස්සාව අතාරින්නෙ?

හ්ම්…. මං මෙහෙම අහන්නංකො. ඔහේ සතියට කීදොහක් රස්සාවට යන්න ඕනද

හයයි ඇයි ?

ඔහේට ඒ හැමදාම යන්න හිතෙනවද?

නොහිතෙන දවසුත් තියනව.

එතකොට නොයා ඉන්නවද ?

පිස්සුද, එතකොට නෝ පේ නෙ.

ඒ කියන්නෙ ඔහේ අකමැති උනත් යන්න වෙනව. ඊලඟට ඔහේ සතියකට කීදවසක් ලොක්කගෙන් බැණුම් අහනවද ?

ඉඳල හිටල ඉතිං බැනුමක් අහනව.

ඒ මොකෝ ?

රාජකාරි වැ‍රැද්දුවම තමයි ඉතිං.

ඒ කියන්නෙ ඔහේට ඕන ඕන දේවල් එතන කරන්න බැ ?

මුන්නැගේට පයිත්තියංද, අනුංගෙ කොම්පැණියක මට ඕන එන දේවල් කරන්න්න ඇහැක.

හා ඒ කියන්නෙ ඔහේ රස්සාව කරන තැන ඔහෙට රිස්සක් කරන්න බෑ. ඒ කියන්නෙ ඔහේගෙ කැමැත්තටම නෙමෙයි හැම දෙයක්ම. මං හරිය ?

හරි නෙවෙන්නං.

ඒ කියන්නෙ ඔහේගෙ රස්සාවෙ ඔහේට කැමති දෙයක් කරන්න නිදහසක් නෑ. ඉතිං නිදහස ඕන නං ඔය රස්සාව අතාරින්න වෙනව.

මුන්නැගේ මේ මඟුලක් කතාකරනව. මං මේ ටික දොහෙත් ඇනුවල් දාල ඉන්නෙ. රසාවට නොගිහිල්ල කොහොමෙයි, මාස පඩි කාරය වෙච්චි මං කන්නෙ බොන්නෙ කොහොමෙයි. ඒක හරියනෙන්නෙ නෑ.. වෙන විදියක් බලමු.

හ්ම්ම්.. හෙනං දෙවනි ප්‍රශ්ණෙ අහල බලමු.

ඔහේ කැමතිය ගෑණියි ළමයි අතාරින්න ?

මං මොටෝ උං අතාරින්නෙ ?

මං මෙහෙම අහන්නකො ඒකත්.

තමුන් සතියකට කී දොහක් රෑ දෙගොඩහරියෙ ගෙදර යනවද ?

සතියට කී සැරයක්…? විකාරද, ඕනෙ නං මාසෙකට සැරයක් විතර රෑවෙනව.

ඒ මොකෝ හැමදාම රෑවෙලා යන්නෙ නැත්තෙ?

එහෙම ඇහැක මනුස්සයො පවුල් කන්න. කොච්චරනං වැඩ තියනවයි ගෙදර. අනික ළමයෙකුත් ඉන්න එකේ ඌ බලං ඉන්නවන් නෙව මං ගෙදර එනකං. එහෙම එකේ රෑවෙලා යන්නෙ කොහොමෙයි. ඊටත් රෑ වෙලා ගියාම පහුවදා උදේට නැගිටගන්නත් අමාරුවෙනව. ඊට පස්සෙ ඉතිං පහුවදාම මූසලයි.

හෙහ් හෙහ්… ඔය කියවෙන්නෙ….

මක්කයි ?

ඔහේ ගෙදර යන්නෙ කැමත්තෙන්ම නෙවෙයි. යන්න ඕන නිසා. ඔහෙල ඒකට කියන්නෙ යුතුකමෙයි කියල නෙ.

හැබෑටම අයිසෙ මං කැමැත්තෙන් නෙමෙයිද ගෙදර යන්නෙ? මට ඒක මේ අහනකන් කල්පනාවට ආවෙ නෑ නෙව.

යමක් කරන්න ඕනෙයි කියල කිව්වම එතන තියෙන්නෙ බලකිරිල්ල නෙව. කාලාන්තරයක් තිස්සෙ කරගෙන කරගෙන යද්දි තමන්ටම අමතක වෙනව මේ දේ කරන්නෙ කැමැත්තෙන්මද කියල. ඊට පස්සෙ ඉතිං හිතන්නෙ නෑ. ඔහේ කරගෙන යනව. හරියට දවල් දවසෙ තණකොල කාල හැන්දෑවට මඩුවට තනියම යන හරකා වගේ.

විකාරද ? මං කරන්නෙ කැමැත්තෙන්.

හා මං මෙහෙම අහන්නංකො. ඔහේ කැමතිය ළමයට බෙහෙත් විදින්න ඉස්පිරිතාලෙ පෝලිමේ ඉන්න ?

හපෝ මතක් කරන්න එපා. කෑස් බෑස් ගාන පොඩි උන් අස්සෙ ඉන්න ගියාම එපා වෙනව.

ඔහේ කැමතිය හාමිනේ ඇඳුං ‍තෝරනකං කඩවල් වල ගෑණු ඇඳුං රාක්ක අස්සෙ රස්තියාදු වෙන්න?

මතක් කරන්න එපා…..

ඔහේ කැමතිය පොලේ ගිහිල්ල තුංමුණින් දාඩිය දාගෙන බඩු මලු උස්සං එන්න ?

නොකර කොහොමෙයි ?

ඔය……. ! කරන්න ඕන නිසා කරන දේවල් අනන්තයි නේද ? ඉතිං කොහෙද නිදහසක් ?

වලාමේ… ! ඔහෙටනං නුහුගුණේ හොඳටෝම. නිදහස ඕනෙයි කියල මං ගෑණියි ළමයයි කොහේ අතාරින්නෙයි. උන්ට මං නැතුව මොන සරණක්ද, අනික නාකි උනාම තට්ට තනියම ඉන්න.. අපෙ අප්පෝ මටනං බෑ.

ඇයි මනුස්සයො, රස්සාව අතනෑරියත් මං උන්නෙ පවුලයි ළමයිනං සු‍ටුස්ගාල අතාරින්න කැමතිවෙයිය කියල, මීට හතර දොහකට කලිං උන්ව දාල ආව හැටියට.

ඒ ඉතිං ඉඳල හිටල වෙන ඇබැද්දි.. සීරියස් ගන්න නාකයි ඒව.

අනේ උන්නැහේ අපි වෙන අතක් බලමු ඔහේව බලන්න ක්‍රමයක් ඇතිද කියල, මං කියන්නෙ මේ එක එක ඒව අතනෑර ?

මේ.. මගෙන් මුකුත් අහගන්න ලෑස්තිවෙන්න එපා මෙතන. උඩ දාගෙන ආව හැටියටනං මං උන්නෙ සේරම අතාරින්න ඇහැක් වෙයිය කියල. චික් අම්මප හද්ද පාඩුයි මෙච්චර වෙලා කතා කරපු වචන ටිකටත්. කොයි එකත් ඔහොම්මයි. මහ ලොකුවට කට නං තියනව ඔක්කොම අතෑරල නිදහස හොයාගෙන යන්න ඕනෙයි. මේ කොරන දේවල් කිසිම දෙයක ප්‍රතිඵලයක් නැතෙයි කියල. කට විතරයි. තුහ්.. !

මම අද කිව්ව කියල හිතාගන්නව, නිදහස්වෙනව කියන්නෙ මහ බරපතල දෙයක්. තමුන් තමුන්ටම වගකියන්න සූදානම් නැත්නං ඒ ගැන නොහොත ඉන්නව හොඳයි තමන්ගෙ වටේ පිටේ ඉන්න මිනුස්සුන්ටත් පිස්සු නොහදා.

පින්තූරය ගත්තේ : leadershipfreak.wordpress.com

ජාත්‍යාලය වඩවා ජාතික සමඟිය ඇතිකිරීම හෙවත් මම සිංහලයෙක් මම දෙමලෙක් සහ මම පිස්සෙක්

මිනිසුන් රටවල්, ආගම්, භාෂා, ජාතීන්, වර්ණ, දේශපාලනය පාදකකොට බෙදීමකට ලක් වී ඇතිබව ඔබ සහ මම හොඳාකාරවම දනිමු. මෙය ලංකාවට පමණක් අදාල වූ කාරණාවක් නොව මුළුමහත් ලෝකයේම තත්වයයි. මේ බෙදීම හේතුකොටගෙන අනාදිමත් කාලයක පටන් අප එකිනෙකා මරාගත්තෙමු, මරාගනිමින් සිටිමු, මතුවටද මරාගනිමු !!!

ඉතිං මිනිස්සුන්ට මෙච්චර කෙළියක් වෙනකං තේරුනේ නැද්ද ? මුකුත් කරන්නෙ නැද්ද ?

මොකෝ නොතේරී.. ඔය කියන්නෙ “ලෝක සාමය ඕනෑ” “අන්තර් ආගමින සහජීවනය ඕනෑ” “ජාතීන් අතර සමඟිය ඕනෑ” කියල කතා මහා ගොඩක් එලියට ආවෙ ඒක තේරිච්ච හන්ද නේන්නං.

ඉතිං අනේ එහෙම සංකල්ප ආවකියල මොකක්වත් වෙනස් වෙලා නෑ නෙ. ඔය හි‍ටු කියල ලෝකෙ වටේම උන් මරාගන්නෙ තවමත් ගජරාමෙට.

එහමටමත් නෑ.. ඔය සමහර එවුන් එකතුවෙලාත් ඉන්නෙ සමහර තැන්වල. අපේ රටෙත් ටික කලකට ඉස්සෙල්ල ඔක්කොම එකතුවෙලා ඉන්නව වගේ පෙනුනනෙ චණ්ඩියා මට්‍ටුකරන කල්. හා නැද්ද ?

ඒ….. ඇත්තමයි. එහෙම බැලුවම මිනිස්සු අතරෙ සමඟියක් නැත්තෙම නෑ නේද ?

****************************************************************************************

එක එක ජනකොට්ඨාශ අතර සමඟියක් නැහැ කියල පාරටම කියන්න බෑ. මිනිස්සු එකමුතු වෙනව, සමඟි වෙනව. ඒත් ඒ හැම වෙලාවකම පෞද්ගලික උවමනාවන් උඩ. ආත්මාර්ථය සඳහා. තනි තනිව කරන්න බැරි දේවල් කරගන්න. ඉලක්ක සපුරා ගන්න. ඒ ඉලක්ක සපුරා ගත්තට පස්සෙ ආයෙම උන්නටත් වඩා දරුණු විදියට වෙන්වෙලා යනව සමහර වෙලාවට.

පහිගිය යුධ කාලේ ශ්‍රී ලාංකිකයන් ඔක්කොම වගේ ආගමික, ජාති, භාෂා වශයෙන් ඇති වෙනස්කම් පැත්තකට දාල එකමුතු උනා, නැත්නම් අඩුමගානෙ එහෙම උනා කියල එන්නුවනෙ. තර්ජනය නැතිවෙලා ගියාට පස්සෙ. ඒ එකතුවේමේ හේතුව නැතිවෙලා ගියාට පස්සෙ ආයෙම පොඩි පොඩි ඉරිතැලීම් පටන්ගෙන. සමහර වෙලාවට ඒ ඉරි තැලීම් එකපාරටම බැලුවම සමහර කෙනෙක්ට නොපෙනෙන්න පුළුවන්. ඒත් කල් ගිහිල්ලහරි වැව් බැම්ම පුපුරන්න ඉඩ තියනව.

මේකට පැහැදිලිවම පේන උදාහරණයක් ගනිමු.

ඉන්දියාවේ විවිධ ආගමිකයන් බොහෝමයක් දෙනා එකතුවී බ්‍රිතාන්‍යන්ගෙන් දිනාගත් නිදහස ගෙදර අරං එනකොටම එහේ ගිණි විජ්ජුම්බර. මෙන්න එකට උන්න, මෙච්චර දවසක් එක පතේ කාපු උන් ඒකෙම පහරල එකිනෙකා මරාගන්නව. මරාගගෙන ඉස්සෙල්ලම කුට්ටි දෙකකට රට කැඩුන. ඊටපස්සෙ ඉන්දියාව විදියට ඉතුරුවෙච්ච කොටස තවත් අනු කොටස්, ප්‍රාන්ත වලට කැඩිල වෙන්වෙලා ගියේ භාෂාව, ආගම වගේ කාරණා මූලික කරගෙන. තව ඉස්සරහට තව තවත් කොටස්වලට නොබෙදෙයි කියල කියන්න බෑ.

ආත්මාර්ථයන් මූලික කරගෙන ඇතිවෙන ඕනෑම එකමුතු වීමක අවසානය ඕක තමයි. පොදු සතුරා විනාස උනාම ආයෙම හිටියටාත් වඩා දරුණු විදියට බෙදීමකට ලක් වෙනව.

ඇයි මිනිස්සුන්ට වෙන් වෙන හිතෙන්නෙ කියල කල්පනා කරල බැලුවම පැහැදිලිව පෙනෙන කාරණය තමයි ඔවුන් අනෙකුත් අයගෙන් වෙනස් කියල දරන මතය. මෙම මතය පාදක කරගෙන තමයි අනෙකුත් ප්‍රශ්ණ සියල්ලම පැන නඟින්නෙ.

මොකක්ද මේ වෙනස? කොහොමද අඳුරගෙන්නෙ ?

ශාරීරිකව මිනිස්සුන් නිසිවෙක් වෙනස් නැහැ උස, මිටි සහ වර්ණය හැරෙන්න. ඒ වෙනස සිද්ධ උනේ ලෝකයේ විවිධ දේශගුණික කලාපවල සුළු ජාන වෙනසකින් උපදින අය පරිසරයට වඩාත් අනුගතවී ක්‍රමිකව ඔවුන්ගේ සංඛ්‍යාව බහුතරය වීම හේතුවෙන්.

එසේ නොමැතිව මිනිසාගෙ එකිනෙකාගෙන් වෙනුවූ ජෛව විද්‍යාත්මක වෙනසක් ඇත්තේ නැහැ. අඩුම තරමේ විවිධ වර්ණ විවිධ, ශරීර ප්‍රමාණ හේතුවෙන් ඔවුන් එකිනෙකාගෙන් වෙනස් උප විශේෂයක්ද වෙන්නෙත් නෑ. බල්ලෙකුයි එළුවෙකුයි අතරෙ එකතුවීමකින් පැටව් බෝවෙන්නෙ නෑ, ඒවගේම මීයෙකුයි ලේනෙකුයි අතරෙත් නව පරම්පරාවක් බිහිවෙන්නෙ නෑ. ඒ උන් සත්ව විද්‍යාත්මකව වර්ග දෙකකට අයත් නිසා. නමුත් අප්‍රිකානු පිරිමියෙකු හා ඇස්කිමෝ ගැහැණියකගේ රමණයෙන් පැටියෙක් උපදිනව, ඒකා මනුස්ස පැටියෙකු මිස වෙනයම් මොකෙක්වත් නෙවෙයි.

එසේනම් මේ කියන මිනිසුන් අතරෙහි පවතින වෙනස මොකක්ද ?

කෙනෙක්ගෙ උප්පත්තිය පරීක්ෂාකරල මේකා අයිති අහවල් ආගමට, අහවල් ජාතියට කියල කියන්නෙ පුළුවන් දොස්තර කෙනෙක් ඇත්තෙ නෑ. ඒත් යම් යම් සංකල්ප ඔළුවේ තියාගෙන ඉන්න ඕනම මනුස්සයක්ට කියන්න පුළුවන්. හැබැයි ඒ සංකල්ප ගැන දැනෙනා නොදැනෙනා ඇඟවීමක් මිසක් වෙන දෙයක් ඇත්තෙ නෑ. ඒ සංකල්පයන් ආවේ කොහෙන්ද කියල පැහැදිලිව කියන්න ඔවුනට බෑ. ඒ අය අතට අහුනොවෙන ඇහැට පේන්නෙ නැති, ඒත් තියනව කියල විස්වාස කරන ඇඟවීමක් මූලික කරගෙන මෙන්න මෙයා මේ “ජාතියේ” කියල.

ඉපදිච්ච දවසේ ඉඳල කාලයක් යනකන් කිසිම කෙනෙක් දන්නෙ නෑ තමන් මොන “ජාතියට” අයිති කෙනෙක්ද කියල. ඒ උනාට අවුරුදු හය හතකට පස්සෙ සමාජයෙන් එන ඇඟවීම බාර අරගෙන මම “අහවල් ජාතියේ එකෙක්” කියල මානසික රාමුවක් හදාගන්නව. මනුස්ස දරුවෙක් විදියට ඉපදිච්ච මගෙ පොඩි එකාට මම ඉගැන්නුවෙ නැත්නම් පුතේ උඹ “සිංහලයෙක්” කියල, සමාජයෙන් ඇඟවීමක් ආවෙ නැත්නම් “උඹ සිංහලයෙක්” කියල පොඩි එකාට “දෙමළ යැයි කියාගන්නා” මනුස්සයකුයි උගෙයි අතරෙ වෙනසක්, ඇඟවීමක්, ඇතිවෙන එකක් නෑ. එහම නැත්නම් මගේ පොඩි එකා ඉන්දියාවෙ කෙනෙක්ට හදාවඩා ගන්න දුන්නොත් බංගාලි / සික් / දෙමළ / ජාතිකයෙක් වෙයි, ඇමරිකාවෙ කෙනෙක් හදා වඩාගත්තොත් ඇමරිකානු ජාතිකයෙක් වෙයි. උප්පත්තියෙන්ම ජාතිය වර්ගකිරීමේ ක්‍රමවේදයක් තිබිනනම් එහෙම වෙන්න පුළුවන්ද ?

චාරිත්‍ර වාරිත්‍ර, ඇඳුම් පැළඳුම්, ආහාරපාන විධි ක්‍රම, ආගම, භාෂාව වගේ අටෝරාසියක් කාරණා ලැබෙන්නෙ ඉපදුනාට පස්සෙ. යමෙක්ට තමන් මෙන්න මේ “ජාතියේ” කියල ඇඟවීමක් එන්නෙ හැදී වැඩෙන සමාජයේ පවතින “ජාතිය” පිළිබඳ මතත් එක්ක.

ලංකාවෙ උපන්න කෙනෙක්ට පැහැදිලිවම කියන්න පුළුවන් වෙන්නෙ තමන් “ලාංකිකයෙක්” කියල විතරයි. ඒක විතරයි හැබෑවටම පවතින “වර්ගකිරීම”. හැබෑවටම නොපවතින “සංකල්පයන්” හැබෑවටම පවතිනවා කියල විස්වාස කරන්නෙ පිස්සො. හැබෑවටම නොපවතින සංකල්පයක් තමන්ට ආදේශකරගෙන මං අහවලා කියල හිතාගෙන ඉන්න අයට “පිස්සො” කියලත් කියනව. මම සිංහලයෙක්, දෙමළෙක් කියලනැති දෙයක් විස්වාසකිරීමත් පිස්සුවක් තමයි.

පොඩිකාලෙ ඉඳල අපිට මිත්‍යාමත මහගොඩක් උගන්නල අහවරයි. ඒකට වගකියන්න ඕනෙ අපේ අධ්‍යාපන ක්‍රමය, ගුරුවරු, දෙමව්පියො, වැඩිහිටියො. ඔවුනට ඒවා ඉගැන්නුවෙ ඊට කලින් පරම්පරාව. හැබැයි ඒ ඉගැන්වීම කලේ කිසිවෙක් ‍රැවටීමේ අදහසකින් නෙමෙයි. ඒක තමයි පරම සත්‍ය කියල විස්වාස කරල. ඒ නිසා මෙතන හරි කවුද, වැරදි කවුද කියන එක මහා සංකීර්ණ දෙයක්.

මිනිස්සු ඇණකොටාගන්නෙ මරාගන්නෙ මේ “ජාතිය” කියන සංකල්පය මත ඉඳගෙන. කවදාහරි මිනිසුන්ට සංසි‍ඳෙන්න ඕනෙ නම් හැබෑවටම නොපවතින එක මානසික රාමුවක් වෙච්ච “ජාතිය” කියන සංකල්පය බැහැර කරන්න වෙයි.

හැබැයි “ජාතිය” කියන සංකල්පය බිඳල දාන එක දැනට ගොඩනඟා ඇති හරපද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනව. ඒකට අකමැති බොහෝදෙනෙක් ඉන්නව. ඒක නිසා මේ කියන්නෙ එක ‍රැයකින් කරන්න පහසු දෙයක් නෙමෙයි. ඒත් අමාරුවෙන් හරි නොකලොත් ලොක විනාසය වලක්වන්න බැරිවෙයි.

ප.ලි : සමාවෙන්න පරණ නවම්ට ආයෙම එන්න තව ටිකක් කල් යයි වගේ. මේ දවස්වල නවම්ගේ “අනෙකා” තමයි දිනල ඉන්නෙ.

මගේ නිදුක්වීම සහ ප්‍රශ්ණයක්

“මම නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා !”

මෙහි නිදුක යනු කුමක්ද ?

“නිදුක” යනු “අලප්ඩියුසි” වැනි හුදු වචනයකි.  “නිදුක” යන්නෙහි යම් අර්ථයක් ඔබ සතු වූවද “අලප්ඩියුසි” යනු කිමක්දැයි ඔබට නොවැටහේ. ඒ ඔබගේ දැනුමේ අඩුපාඩුවක් නිසා නොව එම වචනය මෙතුවක් කල් ඔබගේ වචන කෝෂයේ නොපැවතුනු නිසාවෙනි. එම “ශබ්ධය” මේ මොහොතෙහි මා විසින් ඇතිකරන ලද්දකි. “අලප්ඩියුසි” යනු මෙය යැයි කිසියම්ම දෙයකය ඈඳා නොමැති නිසාය. අවැසි නම් පාං පිටි බෝලයකට කැරට් අලයක් ඔබා පුච්චා ඒ නම තැබිය හැක. එතැන් පටන් ඔබ “අලප්ඩියුසි” හඳුනයි.

එසේ යමෙකට ඈඳා “නිදුක” යනු මෙය යැයි අපි උගෙන ඇත්තෙමු. ශබ්ධාර්ථයෙන් ගත්කල එහි සරළ අර්ථය “දුකෙන් ඈත්වීම හෝ දුක නැතිකිරීම” ට ආසන්න එකක් විය හැක.

“බල්ලාගෙන් ප්‍රවේසම් වනු”, “දුම්රියෙන් ප්‍රවේසම් වෙනු” යනුවෙන් දැන්වීමක් දු‍ටුකල අපි ප්‍රවේසම් විය යුත්තේ “බල්ලාගෙන්ය”, “දුම්රියෙන්” ය යනුවෙන් අවබෝධයක් ලැබේ. එහි ගැටළුවක් නැත. අප බල්ලා හා දුම්රිය යන ඇඟවුම් පදවලින් අදහස් කරන්නෙ මේවාය යන්න දැන සිටිමු.

එසේම දුකෙන් මිදීමට නම් අප “දුක” යනු කුමක්දැයි අවබෝධයකින් යුක්ත විය යුතුය. මිදෙන්නේ කෙසේදැයි අදහසකින් සිටිය යුතුය.

අතපයක වේදනාව, හිසේ ඇම්ම, පපුවේ කැක්කුම, ආදී රෝග පීඩාවක් දුක විය හැක, එහෙමත් නැත්නම් පෙම්වතා පෙම්වතිය ගේ වෙන්වීයාම දුකකි, දරුවන් වෙන්වීයාම දුකකි, ලබැඳියන් මියයෑම දුකකි, බලාපොරොත්තුවූ වැ‍ටුප් වර්ධක නොලැබීයාම දුකකි, බඩුමිල වැඩිවීම දුකකි, ඉන්ධන මිල වැඩි වීම දුකකි…….. මෙවන් දුක් තව අටෝරාසියකි.

ඕන ඔට්‍ටුවක්, ඔබයි මමයි දන්නේ මෙවන් සිල්ලර දුක් පමණි.

සිල්ලර දුක් ?

ඔව්, මෙය සිල්ලර දුකක් යැයි ගැ‍ඟෙන්නේ සමස්ථ ජීවිතයම දුකක්යැයි අප උගෙන ඇති හෙයිනි. කට පාඩම් කල ගිරවුන් මෙන් “ජීවිතය දුකයි” යනුවෙන් මහ ලොකුවට කීවාට එය එසේමදැයි අප කිසිවෙක් [කිසිවෙක් = මෙය ලියන මම සහ කියවන ඔබ] සොයා නැත. එනමුත් “ජීවිතය දුකක් – එය අප දන්නවා” යැයි අප සිතට ඇඟවීමක් ලබා දී ඇත්තෙමු. එපමණකින්ම සැනසී අප ජීවත්වෙමු.

එතනින් එහාට ගිය “දුකක්” පිළිබඳව වැරදී හෝ අවබෝධයක් ඇති අයෙක් වෙතොත් ඔහු හෝ ඇය මේ බ්ලොග් සටහන කියවන්නේ නැත. එය වගකීමෙන් කිවහැක.

නැවතත් අප “නිදුක් වෙත්වා” වෙත යමු.

එහිදී ඔබ “මා නිදුක් වෙත්වා” යන්නෙන් ප්‍රාර්ථනා කරනුයේ ආසන්නතම දුකෙන් මිදීම විය හැකිය. එහෙමත් නැත්නම් මා කලක් කලාමෙන් මෙලෝ දෙයක් නොසිතා ඔහේ කියන්නං වාලේ හිස් සිතින් “මම නිදුක්වෙත්වා” යැයි කියනවා විය හැක. යම් දුකකින් අත්මිදීම අරභයා එසේ පතන්නේ නම්, එය ඉහත විස්තර කල දුක් ගොන්නෙන් එකක් ව්ය හැක. හුදු ප්‍රාර්ථනවකින්ම පමණක් ඔබට සහ මට සුළු හෝ එවන් දුකකින් මිදිය නොහැක. එම දුකෙන් මිදීමට ක්‍රමයක් සොයාගත යුතුය.

උදාහරණයක් ලෙස ඔබගේ වත්මන් දුක අසනීපයක් නම් ඔබ බෙහෙතක් ගතයුතුය. වෛදවරයෙක් හමුවට යායුතුය. එසේ නොමැතිව බද්ධපර්යංකයෙන් සිට “නිදුක් වේවා – නිදුක් වේවා” යැයි සිතීමෙන් සාර්ථක ප්‍රතිඵලයක් අත්වීමකට ඉඩක් නොමැත. මෙහිදී “සාර්ථක” යනුවෙන් විශේෂණ පදයක් එක් කලේ මිමිනීමකින් එම මොහොතේ අවධානය රෝගයෙන් ඈත්වී මඳ අස්වැසිල්ලක් ලැබීමට ඉඩක් ඇතිවිය හැකි නිසාවෙනි.

එහෙමත් නැත්නම් ඔබේ දුක දරුවාට සුදුසු පාසැලක් සොයාගැනීමට නොහැකිවීම විය හැක. එවිටද ඔබ මුමුණ මුමුණා සිට පලක් නැත. පාසැලක් සොයා ගත යුතුය. එහි ක්‍රමය පිළිබඳ ඔබට ගැටළුවක් නැත. ඔබට අවැසි වී ඇත්තේ දුකින් මිදීමය.

ඔබ සිතැඟි පරිදි යම් යම් දේවල් ඒ ආකාරයෙන් සිදුනොවීමද දුකකි. අශාවන් ඉ‍ටුනොවීමද දුකකි, බලාපොරොත්තු කඩවීමද දුකකි.

එම සිතැඟී, ආශාවන්, බලාපොරොත්තු සැම විටම “හොඳ” යැයි සමාජ සම්මත දෑම වීමේ නියමයක් නැත. සමාජ විරෝධී ආශාවන් හා බලාපොරොත්තුද යමෙකුට තිබිය හැකිය. එවන් දෑ ඉ‍ටුවී දුක නැතිවීමක්ද බලාපොරොත්තුව ?

“මම නිදුක්වෙම්වා” යෙන් නොනැවතී “සියළු සත්වයෝ නිදුක් වේවා” යැයිද පතමු.

සියළු සත්වයෝ දුකින් තොරවෙත්වා යන්න එහි සරළ අර්ථය විය යුතුය. මේ සියළු සත්වයෝ යනු අම්මා තාත්තා, සහෝදර සහෝදරියන්, බිරිඳ, සැමියා, ළමුන්, බල්ලන්, පූසන්, හරකුන්, ඌරන්, කුකුලන්, මීයන්, මාළුන් මැස්සන් ඇතුළු මුළුමහත් සත්ව ලෝකයමය. එසේ නොමැතිව “සියළු මිනිස් සත්වයෝ නිදුක්වේවා” යැයි කිසිවෙකු පවසනවා මා අසා නැත.

හුදු මන්ත්‍රයක් ජපකිරීමකින් එහා ගිය සියළු සත්වයන්ගේ නිදුකට හේතුවන කිසියම්ම ක්‍රියාවක් කිරීමට ඔබ පෙළඹේද ?

නිවැසියන්ගේ දුක නැතිකිරීමට ඔබ කුමක්නම් කරයිද? හරකාගේ, බල්ලාගේ හූනාගේ, කුකුලාගේ මරණ දුක නැතිකිරීමට ඔබ කුමක් කරයිද ? මදුරුවාගේ කුසගිණි දුක නැතිකිරීමට ඔබ මතුරනා “සියළුසත්වයෝ නිදුක්වෙත්වා” යන්නෙන් උපකාරයක් කරනවාද ? වරදක් කර හිරේ විලංගුවේ වැටී සිටිනා හිරකරුවාගේ “සිරවී සිටීමේ දුකට” ඔබ කුමක් කරයිද ? හොරකමක් කිරීමට නොහැකිව ළතැවෙන හොරාගේ දුකට ඔබට යමක් කල හැකිද ? සිංහයාගේ කුසගින්නෙන් පසුපස එළවාගෙන යන මුවාගේ මරණ බිය නම් “දුක” සමණය වීමට නම් අභය ලැබිය යුතුය. එවිට සිංහයාගේ කුසගින්න නම් “දුක” ට කුමන ප්‍රතිකර්මයක්ද ?

ඕං මං අද මෛත්‍රී කලා යැයි සිතා පැත්තකටවී එරමිණියාගොතාගෙන ඔබ ඔබ විසින්ම රවටාගැනීමකට ලක්කරමින් අනුන්වද රවටමින් සිටිනවාද ?

ඔවුහු සිරගෙය බින්දෝය [සමාවන්න එය පලමු බිත්තිය පමණි]

ඈ එතුවක් කල් දුක් විඳි සිරයෙන් පලා ඒමෙන් ලද ප්‍රීතියෙන් දෑස් හැර බැළුවාය. වසර ගනනාවක් ගතකල ඒ අඳුරු කුටියේ ඇති මන්දාලෝකයට හුරු නෙත් බාහිර පරිසරයේ ප්‍රභාවයෙන් එක්වනම හැකිලී ගියද බොහෝ කලකට පසුව දකිනා නිදහස් දසුන් අහිමිකරගැනීමට අකමැති වූ ඇය නැවතත් ආයාසයෙන් දෑස් හැරියාය.

නිද්‍රාශීලී ශීත සෘතුව නිමාවී ගොසිනි. නැවුම් ලදළු පැළඳි වෘක්ෂයෝ අභිමානවත් එහෙත් සෞම්‍ය හරිතවන් ඔ‍ටුනු පළන් දේව දූතයන් මෙන් ගගනතට බැළුම් ලා සිටිති. පුස් ගන්ධය ‍රැඳි තෙත් සුසුම් ‍රැලි මුදා, නැවුම් වසන්ත සුලඟ හා මුසුව දසත හමනා මල් සුවඳ කැටිකරගත් සුවඳින් තම පෙනහළු පුරවා ගත් ඈ මෙතුවක් කල් තමා හා ඒ අඳුරු කුටියේ අපා දුක් විඳි ඔහු දෙස බැළුවාය.

හිරු‍රැසින් මඳින් මඳ දියවී ඇද හැලෙනා සියුම් හිම දිය බිඳිති ‍රැඳි පඳුරු ගොල්ලේ පිපුණු, නමක් නොදන්නා ලා නිල් පැහැති මල් දෙස පුදුමයෙන් ඔහු බලා උන්නේය. අඳුරු කුටියේ තෙත පැලුම් දාරයක වැඩී තිබූ දියසෙවෙල මත ඉඳ හිට පිපුණු නහය හකුළුවන ගන්ධයක් ‍රැඳි පුස් හැර මල් පිළිබඳව මතකයක් නොතිබූ ඔහුට එය අපූර්වතම දසුනකි.

ගැලවී ගිය නිය, හම ගිය දෑත්, දැඩි වෙහසින් මැඬීගිය මුහුණු, සිරගෙය බිඳීමෙහි ලා ඔවුන් දෙදෙනා ගත් අතිමහත් වෙනස මනාව විද්‍යාමාන කලමුදු එය ඔවුන්ගේ චිත්තාභ්‍යන්තරයේ සිට නැඟී ආ අතිමහත් උද්‍යෝගය මඳකට හෝ සැඟවීමට ප්‍රමාණවත් නොවිණි. සියවස් ගනනාවක් තිස්සේ වියළී හැකිළී තිබූ නහරවැල් නැවතක් නිදහස් ජීවයේ ලෙයින් පුරවමින් එම එම මොහොතේ අවට පරිසරය විචිත්‍රවත් කලේය.

මෙතුවක් කල් ඔවුන් නොදු‍ටු, පරිසරයේ අපූර්වතම සිද්ධීන් ඔවුන් නෙත ගැටෙනා තුරු නොඉවසිල්ලෙන් බලා උන්නද ගිමන් හැරීමට තරම් තවමත් කල් ගත වූවා මදිය. මුරකරුවන් අවදි වී ඔවුන් පසුපස එලවන්නට පලමුව සැලසුම් කල පරිදි ඔවුන් තව බොහෝ දුරකට පලා යා යුතුය. එම සැලැස්මද බොහෝම සූක්ෂම ලෙස දින ගනනක් නිදි වරා කරන ලද්දකි. විසල් බැමිවලින් හා තියුණු බැල්මැති මුරභටයන්ගෙන් යුතු මුර අටොළු වලින් සුසැදීගත් එ සිරගෙයින් පලා ඒම අතිමගත් දුෂ්කර ක්‍රියාවක් බව වසර ගනනාවක අත්දැකීම් ඔවුනට පසක් කර තිබුණි.

ඔවුන් දෙදෙනාගේ සෑම පියවරක් ගැනම පූර්ව අවබෝධයකින් යුතු මුරභටයන්ගෙන් මිදී පලා යෑම සඳහා කිසිම විටෙක ඔවුන් ගමන් නොගනිතැයි සිතනා මාර්ග තෝරාගත යුතුවිය. ඇතැම් විටෙක එම මඟ දරුණු වන සතුන්ගෙන් ගහන එකකි. තවත් විටෙක එය භයකර ප්‍රපාතයන් අසලින් වැ‍ටුණු ඒවා විය. එහෙත් ඔවුන් දෙදෙනා තුල දැඩිව දැල්වෙනා නිදහසේ බලාපොරොත්තුව ඒ සියළු බාධකයන් හරහා දැමූ පාලමක්ම විය.

ඔවුන් ගමන් කලෝය….. දින ගනන්, සති ගනන් ගමන් කලෝය….. නොනැවතීම ගමන් කලෝය. ගිමන් හැරීමට මොහොතක් හෝ නතර නොවී, විඩාපත් දෙපා නොසනහා ඔවුන් සිත් අභ්‍යන්තරයේ වූ බලාපොරොත්තු මඟින් නැවත නැවතක් ආරෝපනය වෙමින් වෙහෙස මඬිමින් ගමන් කලෝය…. එය අතිමහත් දුෂ්කරවූ දීර්ඝ වූ ගමනක්ම විය.

ක්‍රමක්‍රමයෙන් මුරභටයන්ගේ බල සීමාව ඉක්මවා හිරු ‍රැසින් නැහැවීගත් සොඳුරු මිටියාවතට පැමිණෙන ඔවුන්ට ප්‍රථමයෙන් ඇසුනේ ඔවුනට පෙර සිරගෙය බිඳ මෙහි පැමිනියවුන් ගේ ප්‍රීතිමත් සිනහවය. තබනා පියවරෙන් පියවර තමන් වෙත ලංවෙනා ඒ අපූර්වතම බිම්කඩෙහි ඇති ප්‍රීතිමත්භාවය ඔවුන් දෙදෙනාගේ චිත්තයන් ප්‍රහර්ශයෙන් පුරවාලූයේ සිරගත වීමට පෙර එකිනෙකා කෙරේ තිබූ සොඳුරු ආකර්ෂණය ක්‍රමයෙන් වඩවමිනි.

සිර කඳවුරේ දී මෙන් මොවුන් වටලාගත් ‍රැකවලුන් කිසිවෙක් මෙහි නොවීය, ජේශ්ඨයන් කිසිවෙකු නොවීය කල යුත්ත මෙය යැයි පැවසීමට නයුවෙකු මෙහි නොවුනු සෙයකි. එනමුදු සියල්ලන්ම තම තමන් විසින් කලයුතුයැයි හැඟි කාර්යන්හි මැසිවිළි නොනඟා නිරතවූ ආකරය අප කථානායක යුවල මහත් පුදුමයට පත්කලෝය. සුපිරි පාලකයන් කිසිවෙක් නොමැති මෙහි ගැ‍ටුම් කිසිවක් නොමැති සෙයකි, ඉඳ හිටක ඇතිවන සුළු මත ගැ‍ටුමක් වුවද පොකුණෙහි ඇති වූ ‍රැල්ල මඳ වෙලාවකින් පොකුණ තුලම වියැකී යන්නාක්මෙන් මඳ වෙලාවකින් සමනය වී ගියේ සුළු හෝ කැළලක් ඉතිරිනොකරමිනි.

කිසියම්ම ආගමික සංස්ථාවක සලකුණකුදු නොතිබූ මෙහි සංවිධානාත්මක ආගමක ප්‍රථිඵලයක් වන සමාජීය පරපෝෂිතයන් වන් ආගමික නියෝජිතයන් ගේ පැවැත්මක්ද නොවී ය. එහෙයින්ම වර්ගකලවූ බෙදීමක් නොමැති විය. තොපට වඩා අප නිවැරදියැයි පවසන්නන් කිසිවෙකුද ඒ සියල්ලේම ප්‍රතිඵලයක් ලෙස මෙහි නොවිනි. තවෙකෙකු අභිබවා යාමේ ආශාවෙන් මඬනා ලද්දවුන් නොවූ මෙහි සාමකාමීත්වයම ආගම වූවා සේය.

නිදහස තුලම සාමය ගැබ්වී ඇතැයි කිසිදාක නොසිතූ අප කථානායක යුවලට මෙම සංහිඳියාව මහත් අරුමයකි. ‍රැකවළුන්, නායකයින්, විවිධාකාර සංවිධානාත්මක ආගම් වැනි දෑවලින් සියල් සපිරී තුබූ කඳවුරෙහි නොතිබූ සංයමයක්, එකමුතුවක්, සංහිඳියාවක් මෙහි වූයේ කුමන නම් හේතුවක් නිසාවෙන් දැයි ඔවුනට සිතාගත නොහැකි විය. ඇතැම් විටෙක එය අසීමාන්තික නිදහසම ඔවුන් වෙත ගෙන ආ ස්වයං ශික්ෂණයක් , ස්වයං පාලනයක් විය හැක. ඔවුන් ස්වභාදහමත් සමඟ ජීවත් වීමෙන් උගත්තා විය යුතුය.

පින්තූරය ගත්තේ :integratingcorporateleaders.com

මට මේ රස්සාව එපාවෙලා තියෙන්නෙ, මැනේජරයට දෙකක් අනින්නමයි හිත !

ඉතිං මල්ලි…. කොහොමද..

දිලීප් කතාව පටන්ගත්තෙ වෑන් එකේ පිටිපස්සෙ ඉඳල දෙවෙනි සීට් එකේ හරි බරි ගැහිල වාඩිවෙනගමන්. හැම අවුරුද්දකම වගේ සම වයසෙ නෑදෑ සහෝදරයො එක්ක යන ට්‍රිප් එක දෑවුරුද්දක්ම මඟ හැරුනත් මෙවර කොහොම හරි එන්න පුළුවන් වීමෙ සන්තෝසය ඒ වචන වල ගැබ්වෙලා තිබුන.

දන්නෙ නැද්ද අයියෙ.. ඔන්න ඔහේ ඉන්නව.

මොකෝ මල්ලි නිකං හුලං බැහැල වගේ…. මොකෝ ජානී එක්ක කොක්කක්වද්ද ? හෙහ් හෙහ්..

හපෝ නෑ අයියෙ, ඒව ගානට කරගෙන යනව. ඕං ලබන අවුරුද්දෙ මැයිමාසෙ දිහාට නිවාඩු එහෙම ගන්න බලාගෙන ඉන්න ඕනෙ හරිය..

අප්පද බොල… ඒකත් එහෙමයි එහෙනං… සන්තෝසයි බං…. හැබැයි පු‍තෝ අර ධම්මිකය කොලා වගේ ‍තෝ මට විතරක් එන්නෙයි කියලනං නං කාඩ් එකක් දෙන්නෙ නෑ හරිද… උඹෙ ලිස්ට් එකේ තුන්දෙනෙක්ට ඉඩ තියාගං…

හරි හරි අයියෙ.. උඹයි අක්කයි කොල්ලයි ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ.. හෙහ් හෙහ්…..

එතකොට මේ හුලං බැහැපු සීන් එක රස්සාවෙ ජල්බරියක් නේද..?

අඩේ.. දිලීප්පයියට දිවැස් තියනවද ?

හෙහ් හෙහ්.. ඕක තේරුං ගන්න දිවැස් මොටෝ බං, ආයෙ උඹල වගේ තනිකඩ කොල්ලන්ට ප්‍රශ්ණෙකට කියල තියෙන්නෙ රස්සාවයි පරස්තාවයි විතරක් වෙච්චිකොට.

දැං මොකෝ අවුල බං…. ?

අඩෝ දිලිප්… මොනාද යකෝ ඔය අනුරාධයත් එක්ක කොරන්නෙ ඈ … උඹට නිශා එක්කං එන්න බැරිවෙච්ච එකේ පාඩුව උගෙන් පිරිමහනනවද … ? පිටිපස්සෙ සීට් එකේ ඉන්න දමයන්ත කෑගහනව.

ඒකත් බැරි නෑ බං.. ඒත් මූ ඇඹරෙනවනෙ හෙට අනිද්ද බඳින්නයි ඉන්නෙ කියල හෙහ් හෙහ්………

හෙහ්.. එහෙමයි කියල උඹ පස්සගහයි.. අපි නොදන්නවැයි උඹෙ වැඩ.. ඉඳා මෙන්න මේක කාපන්… සෑන්ඩ්විච් පාං මල්ලක් ඔළුවට උඩින් අල්ලපු අමිල කිව්ව.

ඉතිං මල්ලි කියාපංකො මොකද කීයල ඔ‍ෆිස් එකේ අවුල ? මල්ලෙන් ගත්තු සීනිසම්බල් පාං පෙත්තක් අනුරාධට දික් කරන ගමන් දිලිප් ආයෙම කතාව පටන්ගත්ත.

මෙන්න මේකයි කියල හරියටම කියන්න දෙයක් නෑ අයියෙ. ඒත් මට නං දැන් එතන වැඩකරන එක එපා වෙලා තියෙන්නෙ. හෙන කැපිලි එතන තියෙන්නෙ.

කැපිලි කිව්වෙ මල්ලි?

ඩිපාට්මන්ට් මැනේජරයට පේන්නෙ මගේ වැරදිමයි. ඌට පොඩි වැ‍රැද්දක් ඇති මාව අල්ලගෙන දිගට හරහට ලෙඩ දානව. අනික උගෙ ෂෝ-කෝස් මේල්ස් වලට රිප්ලයි කරන්න ගියාම කොරවෙලා යනව. ඌ දාන්නෙම මාව හිරවෙලා යන පොයින්ට්ස්මයි.

තව ?

තව කියන්නෙ, දැං මම එතනට ගිහිල්ල අවුරුදු පහකටත් වැඩියි. අයිය දන්නවනෙ කම්පැනි එකක අවුරුදු පහක් කියන්නෙ ලේසි පහසු දෙයක් නෙමෙයිනෙ. සීනියර් කියල සතපහක සැලකිල්ලක් නෑ.. මට පහල ඉන්න එකාටත් සලකන්නෙ මට වගේ. ඉතිං අයියෙ එපාවෙන්නෙ නැද්ද මං අහන්නෙ ?

අවුරුදු එක හමාරකින් ඉන්ක්‍රිමන්ට් එකක් ඇවිල්ල නෑ, ප්‍රමෝෂන් නෑ, ඊටත් මට තරම් පර්සනල් ඉෂූස් තියන එකක්වත් ඔතන වැඩ කරන්නෙ නෑ අයියෙ. අයියම දන්නවනෙ මට ගෙදර ගැන බලන්න ඕන, මල්ලිව ක්ලාස් යවන්න ඕන, අළුත් ගෙදර ෆවුන්ඩේෂන් එකෙන් එහාට යන්න අවුරුදු දෙකක් ගිහිල්ලත් බැරි උනා. අනික මැනේජරය මේ දේවල් ගැන හොඳටම දැනගෙන තමයි මේ ලෙඩ ඔක්කොම දාන්නෙත්.

ඊලඟට අනිත් උන්ගෙ වැඩත් මං අදින්න ඕන, උන් එන්නෙම පරක්කුවෙලා.. ඒත් උන්ට කිසිම ඇක්ෂන් එකක් නෑ ඔන්න මං නිවාඩුවක් ගන්න ගියාම දාහක් දේවල් කියනව. ඉතිං අයියම හිතල බලන්න එපා වෙන්නෙ නැද්ද කියල එහෙම තැනක වැඩ කරන්න.

හරි මල්ලි. අපි හිතමුකො ඔය ඔක්කොම හරිය කියල. ඒත් මල්ලී කම්පැණි එකක සැලරි ඉන්ක්‍රිමන්ට් එකක් කරන්න කලින් ගොඩක් දේවල් ටොප් මැනේජ්මන්ට් එකට හිතන්න වෙනව. ආයතනයේ ස්ථාවරත්වය, ඊලඟ අවුරුද්දේ අපේක්ෂිත ආදායම, රිස්ක් එක, අපේක්ෂිත වියදම…. ඔන්න ඔය වගේ මහා ගොඩක් දේවල්. හදිස්සි ඉන්ක්‍රිමන්ට් එකක් දීල ඊලඟ අවුරුද්දෙ බිස්නස් එක වහල දානවට වැඩිය නියමිත වෙලාවට ඒ දේවල් කරන්න තමයි ඕනම කම්පැණි එකක් කැමති.

අනික මල්ලි එක රුපියල් දාහක ඉන්ක්‍රිමන්ට් එකකින් උනත් අවුරුද්ද අන්තිම මහා විසාල බිලක් එකතුවෙනව ආයතනයට. මොකද උඹට විතරක් ඒක දුන්නොත් උඹත් එක්ක එක මට්ටමේ ඉන්න අනිත් උන් ඩිසපොයින්ට් වෙනව. එතකොට උන්ගෙ පර්ෆෝමන්ස් බහිනව. ඒක නිසා ගොඩක් වෙලාවට මුළු ආයතනයටම බලපාන පොදු සූත්‍රයක් යටතේ තමයි පඩි වැඩි කරන්නෙ. ඊට අමතරව ඒ ඉන්ක්‍රිමන්ට් එකට සමානුපාතිකව ඕ.ටී පැයකට ගෙවන ප්‍රමානය, ඊ.පී.එෆ්, බෝනස්…. ඔය වගේ දීමනා සේරම වැඩි වෙනව.

එතකොට අයිය කියන්නෙ අපි ඉන්ක්‍රිමන්ට් ඉල්ලන්න එපා කියලද ?

පිස්සුද බං..? ඉන්ක්‍රිමන්ට් ඉල්ලපල්ල, හැබැයි ඒ ඉල්ලන දේ ඒ විදියටම නොවුනම මළ පන්නගෙන බෙරිහන්දෙන්න කලින් එහෙම වෙන්නෙ ඇයි කියල පොඩ්ඩක් තේරුම් ගන්නත් බලපන්. එහෙම නැත්නං කෙළවෙන්නෙත් උඹටමයි.

හෙහ් … උන් කොහෙද මට කෙළවන්නෙ, මේ මඟුලක් කට අස්සෙ තියාගෙන වෙන රස්සා හොයන්නත් බෑ. ගේමට ගේම ඉල්ලගෙන මාත් ඉන්නව. මොකෝ උන් මාව අස්කරන්නද ?

කම්පැණි එක්ක ගේම ඉල්ලන එක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි මල්ලී.

ඒව කොහෙද මාත් එක්ක අයියෙ, අනික උන් දන්නව මම වැඩකාරය කියල, මම ඔතනින් නැවතුනොත් ඩිපාට්මන්ට් එකම කලැප්ස් වෙනව බලාගෙන ඉඳැද්දි. ඒක නිසා මං මොනව කලත් උන්ට බෑ මාව අස්කරල දාන්න.

ගේම ඉල්ලනව කියල මල්ලි මොනාද කරන්නෙ ?

මොනාද මට කරන්න බැරි අයියෙ.. මමනෙ එන ක්ලයන්ට්සලගෙ මේල්ස් වලට ඇක්ෂන් ගන්නෙ.. ඉස්සර දත කාගෙන නොකා නොබී ඒවට රිප්ලයි කලාට දැං මම මගේ පාඩුවෙ, නිවිහැනහිල්ලෙ තමයි කරන්නෙ, සමහර ඉෂූස් සෝල්ව් කරන්න දවස හමාර යනව. ඔහොම යනකොට ලොක්කන්ට තේරෙයි හොඳට. හෙහ් හෙහ්.

ඒ කියන්නෙ මල්ලිට එන කැපිලි කෙටිලි නිසා මල්ලි ඉස්සර වගේ වැඩ කරන්නෙ නෑ … එහෙමද ?

ඔව් අයියෙ, ආයෙ මට එපා උනොත් එපා උනාම තමයිනෙ. දන්නවනෙ මගෙ හැටි.

මම මල්ලිගෙන් දෙයක් අහන්නද ?

අහන්න අයියෙ ඕනෙ දෙයක්.

අපි දැන් හිතමු මල්ලිට මේ කම්පැනි එකෙන් ලොකු අසාධාරණයක් වෙනව කියල. මල්ලි බලාපොරොත්තුවෙන්නෙ මොනවගේ සාධාරණයක් ද මෙතනදි ?

සාදාරනයක් කියන්නේ අයියේ….. මේ… මේ.. මගෙ පස්සෙන් එලවන්නෙ නැතුව, මගෙ පාඩුවෙ වැඩක් කරගෙන යන්න දෙනවනං මට ඇති.

හරි, අපි මෙහෙම හිතමු. ඔන්න මල්ලි තමයි ඔය ඩිපාට්මන්ට් එකේ හෙඩ්. මල්ලිගෙ යටතෙ ඉන්නව වැඩ කරන්න උනන්දුවක් නැති, හැමතිස්සෙම ඇරගන්ට්, ඩල් කැ‍රැක්ටර් එකක් තියන මනුස්සයෙක්. එතකොට මල්ලිට මිනිහ ගැන මොකක් හිතෙයිද ?

දිලිප්පයියත් ඔය වටෙන් එන්නෙ මං වැරදියි කියල කියන්න නේද?

නෑ අනුරාධ මල්ලි.. මම හදන්නෙ ඔයාගෙ ප්‍රශ්ණෙ ඔයාටම තේරුම් කරවන්න, ඔයාව ඔය කියන ඩිපාට්මන්ට් හෙඩ්ගෙ සපත්තුදෙකට බැස්සම මෙතන තියන අවුල ලිහාගන්න පුළුවන් වෙයි.

ඉතිං කියන්නකො.. මල්ලි ඒ මිනිහට මොනව කරයිද ?

මංද අයියෙ..

හරි මං ලේසි කරන්නම්කො. ඔන්න ඒ මනුස්සය ප්‍රඩක්ෂන් ලයින් එකේ මොනා හරි අවුලක් කරනව, එතකොට මල්ලි මොනා කරයිද?

හ්ම්.. ඉන්ක්වයර් කරයි. ඩිසිප්ලිනරි ඇක්ෂන් ගනී.

හරි, ඊලන්ඟ දවසෙ මේ මනුස්සය ග්‍රම්පි මූඩ් එකෙකින් ඔ‍ෆිස් එකේ වැඩ ඔනවට එපාවට කරයි, එතකොට ඔයා මොනව කරයිද?

මුකුත් කරන එකක් නෑ.. ඒත් මිනිහ ගැන පොඩි අප්සට් ෆීලිං එකක් ඇතිවෙයි.

හ්ම්….

හැමදාම ඔය වගේ ඒ මනුස්සය මෙලෝ රහක් නැති විදියට ඔ‍ෆිස් එකේ ඉන්නකොට ඔයා මොනව කරයිද ? ඔයා ඇයි හිතන්නෙ මෙලෝ රහක් නැති මනුස්සයෙකුට පාඩුවෙ රස්සාව කරගෙන යන්න දීල, සැලරි ඉන්ක්‍රිමට්ස් ඒ මදිවට තව බෝනසුත් දෙන්න ඕනෙ කියල ?

මල්ලී ප්‍රයිවට් සෙක්ටර් එකේ තියන කම්පිටිෂන් එකත් එක්ක ඇරගන්ට් වෙලා බෑ, වැල යන අතට මැස්ස ගහන්න ඉගෙන ගන්න, එහෙම නැතුව සවයිව් වෙන්න බෑ. හැබැයි එතනදි අදහස් වෙන්නෙ නෑ රස්සාව ‍රැකගන්න ලොක්කට ගොට්ට අල්ලන්න ඕන කියල. හරියට ඔළුව කල්පනා කරනවනම් කොන්ද කෙලින් තියාගෙන රස්සාව කරන්න ඕන තරම් ඉඩ තියනව.

ඒ උනාට අයියෙ මේ ම්නිහ මට කැපිල්ල දාන එකමනෙ වැඩේ. මට ඒ වෙලාවට හැටක් විතර අනින්න හිතෙනව ඌට.

මෝඩ වැඩ කරන්න එපා මල්ලි.. ඩිපාට්මන්ට් හෙඩ් එක්ක ඇරගන්නව කියන්නෙ ගොඩක් වෙලාවට කැරියර් එකට බැරියර් එකක් දාගන්නව වගේ වැඩක්, මනුස්සයෙක් එක්ක ඇරගන්න යන්නෙ නැතුව රස්සාව කරන එක වෙනමම කලාවක් බං. අනික මම හිතන්නෙ නෑ හොඳ මැනේජර් කෙනෙක් කිසිම වෙලාවක තමන්ගෙ කෝ-වර්කර්ස්ලට ඇණයක් වෙනව කියල හේතුවක් නැතුව. මොකද මිනිහ දන්නව හැමෝගෙම ඔප්ටිමම් කන්ට්‍රිබියුෂන් එක නැත්නම් දවස අන්තිමට ෆෙල් වෙන්න මිනිහමයි කියල.

තව එකක් මල්ලි, අමාරු සි‍ටුවේෂන් එකකදි ඔයා කොහොමද සවයිව් වෙන්නෙ කියන එකත් සෑහෙන්න වැදගත් විදියට නෝට් ඩවුන් වෙනව ඔයාගෙ හයිරාකි එකේ කොච්චර උඩට යනවද කියන එක තීරෙණය කරනකොට. ඒක නිසා මල්ලි දැනට වැඩ කරන කම්පැනි එකේ කැරියර් ඩිවලොප්මන්ට් එකක් බලාපොරොත්තුවෙනව නම්, මැනේජ්මන්ට් එකත් එක්ක ලෝයල් විදියට වැඩකරන්න, ප්‍රශ්ණ එන වෙලාවට නෙගෝෂියේට් කරගෙන මැනේජ් කරගන්න පුරුදුවෙන්න වෙයි.

හැබැයි එහෙම වැඩ කරගෙන යන අතරෙත් මල්ලිට හිතෙනවනම් මේක හරියන කෙළියක් නෙමෙයි කියල කරන්න තියන හොඳම වැඩේ තමයි පුළුවන් තරම් කාලයක් හොඳින් වැඩ කරල හිත හොඳින් වෙන තැනකට යන එක.

මොන එකකටද අයියෙ වැඩ කරන්න බැරි නම් හොඳ හිතින් අයින් වෙන්නෙ, කෙළවෙලාම යන්න කියල අරූගෙ මූණට දෙකක් දීල වෙන එකකට යනව මිසක්.

ඔයා දන්නවද අලුතින් රස්සාවකට යනකොට අළුත් කම්පැණියෙ අය ඔයාගෙ එම්ප්ලොයිමන්ට් රෙකෝඩ් එකෙක් ඉල්ලගන්නව ඔයා අන්තිමට වැඩ කරපු කම්පැනි එකෙන්. රෙපියුටේෂන් එකක් තියන ස්ටෑන්ඩඩ් එකක් තියන කම්පැණි එකක ඉම්ප්ලයිඩ් රෙස්පොන්සිබිලිට්ය් එකක් තමයි නිවැරදි එම්ප්ලෝයී රෙකෝඩ් එකක් දෙන එක. හදිස්සියෙවත් ඔයා ප්‍රශ්ණයක් ඇතිකරගෙන නම් රිසයින් වෙලා තියෙන්නෙ, එහෙමත් නැත්නම් ඔයාගෙ සේවා කාලය සතු‍ටුදායක නෙවෙයි නම් ඔයාට අළුත් රස්සාව ලැබෙන්න තියන ඉඩකඩ බොහෝම අඩුයි.

ඒක නිසා මල්ලි නිවිහැනහිල්ලෙ හිතල බලන්න ඇයි හෙඩා ඔයා එක්ක වලිබර වෙලා තියෙන්නෙ කියල. කේන්තියෙන් නැතුව සාධාරණ ඇහැකින් බැළුවොත් ඔයාට ප්‍රශ්ණෙ තේරුම් ගන්න පුළුවන් වෙයි. මොකද මේ ප්‍රශ්ණෙන් එළියට එන්න ඕන ඔයා විසින්මයි. එහෙම නැතුව ඔයා දැනට කරගෙන යන විදියට දිගටම ගියොත් සිද්ධවෙන්නෙ ඔයා තව තවත් මඩ වලේ ගිලෙන එක මිසක් ගොඩ ඒමක් නම් නෙමෙයි අනුරාධ.

පින්තූරය ගත්තේ : huckguyett.com

දැන් පෙන්නනවා – කැලයක් මැද ආදරය හෙළුවෙන් – අධ්‍යක්ෂනය : ලූලා නැති වලේ කණයා

මචං, මට හිතෙන්නෙ නිර්ධා උඹට කැමතියි කියල.

ගඟ අයිනෙ වැටිල තිබිච්ච කුඹුක් කොටේ උඩ වාඩිවෙච්ච ප්‍රියන්ත කකුල් දෙක වතුරට දනගමන් කිව්වෙ අමුතු හිනාවකුත් එක්ක.

උඹ කොහොමද දන්නෙ ?

ඇයි බං උඹට තේරුනේ නැද්ද කෑම්ප් එකට ආව වෙලාවෙ ඉඳල ඒකි උඹෙ පස්සෙමයි කියල.

මම දැක්කෙ නෑ බං, අනික මම මේ ගමන ආවෙ වනාන්තරය රසවිඳින්න මිසක් කෙල්ලෙක්ගෙ හිත් කියවන්නෙ නෙමෙයිනෙ.

ඒත් මචං උඹෙ පරමාර්ථ මොකක් උනත් නිර්ධා උඹට කැමතියි කියන ෆැක්ට් එක වෙනස් වෙන්නෙ නෑනෙ, අනික උඹ දන්නවනෙ නිර්ධා කියන්නෙ මොනවගේ කේස් එකක්ද කියල, ඒක නිසා පොඩි හරි කැමත්තක් පෙන්නන වෙලාවෙ අඩියක් ඉස්සරහට තියපං

උඹ ඔතනදි නිර්ධාගෙ කැමැත්ත කියල අදහස් කලේ මොකක්ද ? මාත් එක්ක එකට ඉන්න ආසාවක් ද ? එහෙමත් නැත්නං හැන්දෑවක වඩයක් කාල ප්ලේන්ටියක් බොන්න තියන ආසාව වගේ දෙයක් ද?

උඹ නං මහ නුහුගුණ කාරයෙක්. කෙල්ලෙක්ගෙ හිත ගැන කතාකරන්න වඩයක් උදාහරනෙකට අරගෙන හරියනවද බං ?

මොකක් උදාහරනෙට ගත්තත් ඒකෙන් අවශ්‍ය පැහැදිලිකිරීම එනවනං අවුලක් නෑනෙ මචං.

උඹ ඉතිං ඇස් පනාපිටම පේන්න තියන දෙයක් උනත් පිළිගන්න කැමති එකෙක් නෙවෙයිනෙ. අනේ මංද උඹට මොන කෙහෙල් මලක්ද වෙලාතියෙන්නෙ කියල, ඇයි බං උඹටත් අනිත් මිනිස්සු වගේ සාමාන්‍ය විදියට හිතල සරළව ආදරය කරන්න බැරි.

ඒපාර උඹ කැමැත්ත “ආදරයක්” කරගත්තද? මොකක්ද බං ආදරේ කියන්නෙ ?

ඔය ඉතිං… මනුස්සයො…….. ආදරේ කියන්නෙ ගෑණියෙක්, පිරිමියෙක් එකට එකතුකරවන ආකර්ෂණයට, බැඳීමට.

ආදරේ කියන්නෙ බැඳීමට, ආකර්ෂණයට නං අහවල් දෙයකටද බං ඒ දෙකට එහෙම්මම පවතින්න ඉඩහරින්නෙ නැතුව ආදරේ කියන වචනෙත් ඔබ්බල තියෙන්නෙ?

මං එහෙම කිව්වට ආදරේ වචන දෙකකට සීමා කරන්න බෑ මචං, ඒක හරිම සංකීර්ණ හැඟීමක්.

කෙහෙල් මල් සංකීර්ණෙ…. උඹලම තමයි ඒකට ඕනෙ නැති බරක් එල්ලල මෙලෝ සතෙකුට තේරුං ගන්න බැරි දෙයක් කරල තියෙන්නෙ. ඊට පස්සෙ ඔන්න බොලා ආදරේ පූජණීයයි කියල සින්දු එහෙම ලියල ඒක මත්තෙම නහින්න හදනව. තේරුං ගන්න බැරි දේවල්වලට පූජනීයත්වයක් ආරූඩකරන එක ඉස්සර කාලෙ ඉඳලම මිනිස්සුන්ගෙ හැටියක් මචං.

හා.. එතකොට උඹ කියාපන් ආදරේ කියන්නෙ මොකක්ද කියල. කේන්තියෙන් වගේ නැඟිට්ට ප්‍රියන්ත සිගරට් එකක් පත්තුකරන් ගඟ දිහා බලාගෙන ඇහුව.

මුකුත් නෑ …. !

ඒ කියන්නෙ උඹත් ආදරේ මොකක්ද කියල කියන්න දන්නෙ නෑ… ?

ඒක නෙමෙයි මම කිව්වෙ, ආදරේ කියල කිසිම දෙයක් නෑ කියල.

මොන පිස්සෙක්ද……. ඔප්පුකරහං එහෙනං.

නැති දෙකක් නෑ කියල ඔප්පුකරන්න තරං මං පිස්සෙක් නෙමෙයි මචං.

එතකොට ආදරේ විස්වාසකරන මංද පිස්ස ? එහෙනං ඉතිං උඹ ඇරෙන්න මේ ලෝකෙ ඉන්න හැම එකාටම-එකීටම පිස්සු වෙන්න ඕනෙ. මං හරිද ?

උඹ හරිත් නෑ වැරදිත් නෑ, මොකද නැති දෙයක් විස්වාසකරන හැමෝගෙම ලඟ පිස්සෙක් කියල කියන්න තරම් පිස්සුවක් නැති හන්ද. සමහර අය ලඟ ඕක වැඩිපුරත් තවත් සමහර් අය ලඟ අඩුවෙනුත් තියනව මචං.

එතකොට උඹ කියන්නෙ ආදරය කියල දෙයක් නෑ කියලද?

මම කැමතියි පිළිගන්න ආදරය කියල දෙයක් නෑ කියල. හැබැයි උඹ එහෙම දෙයක් පිළිගන්නවට, විස්වාස කරනවට මගෙ අකමැත්තකුත් නෑ.

මොන කෙහෙල්මලක් කියනවද කියල මටනම් තේරෙන්නෙ නෑ, කෙලින්ම කියහං මිනිස්සු එකිනෙකා එක්ක බැ‍ඳෙන්නෙ ආදරය නිසා නෙමෙයි කියල ?

එහෙම එකක් නෑ බං. හැබැයි මිනිස්සු හිතාගෙන ඉන්නව එහෙම එකෙක් තියනව කියල.

එතකොට උඹ කියන්නෙ ආදරය කියන්නෙ මිනිස්සු විසින් හදාගනිපු දෙයක්ය හැබැවටම එහෙම දෙයක් නැතිය කියලද?

ඔව්, කාලයක් එක්ක ගොඩනැගිච්ච ආගමික, සමාජීය සංකල්ප නිසා සීමා මායිම් පැනවුන රමණට එක්ස්කියුස් එකක් විදියට මිනිස්සුම හදාගනිපු දෙයක් තමයි ආදරය. ආදරය ඉස්සරහට දාගෙන ඔය දේ කලාම ගල් ගහන අය අඩුයි කියල උඹට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ මචං. මතක තියාගනින් මේක සියවස් ගනනාවක් තිස්සෙ තව අතුරු කාරනා මහා ගොඩක් එක්ක ඇතිවෙච්ච දෙයක්.

අවශ්‍ය දෙයකට සීමා මායිම් ඇතිවෙනකොට ඒකට යම්කිසි මිලක් නියම වෙනව. ඔන්න ඔතනදි තමයි අර ආදරේ කියන සංකල්පීය මුදල මතුවෙන්නෙ..

උඹ කියනව අරක ආව, මේක ආව කියල, ඕව කොහෙන්ද බං එන්නෙ ?

ඒකට මම වඩාත්ම කැමති උත්තරය දෙන්නම්. මේක මම හොයාගනිපු දෙයක් නෙමෙයි ඒත් මට පිළිගන්න පුළුවන් උත්තරයක්.

මොකක්ද?

ජාන !

ජාන…… ? ඒ මොන විකාරයක්ද , ජානවලට හිතන්න පුළුවන්ද ඔය එක එක උලව් තියරි ගේන්න ?

ඒකට ඕව්, නෑ, බෑ වගේ උත්තරයක් දෙන්න බෑ මචං.

ජාන තමයි මනුස්සය මෙන්න මෙහෙම වෙන්න ඕනෙ, පාට මේකයි, උස මේකයි, ලිංගය මේකයි වගේ හැම ඩීටේල් එකක්ම තීරණය කරන්නෙ. ජාන තමයි කෝර් එක. ජාන වලට ඕනෙ නිතරම පැතිරෙන්න, හරිටට කම්පියුටර් වෛරස් එකක් වගේ. උඹයි මමයි කියල වෙන්කරල අඳුරගන්න උදව් වෙන වෙසල් එකක් විතරයි බොඩි එක. රියල් ඩ්‍රිවන් ෆැක්ටර් එක ජාන.

ජාන කැමති නෑ බාධකවලට, ඒක නිසා හැම තිස්සෙම විවිධ උපක්‍රම හොයාගන්නව ඒව මඟ ඇරල යන්න. ඒක නිසා තමයි මනුස්සයට විවිධ දක්ෂතා ඇවිල්ල තියන්නෙ. ඒ හැම දක්ෂතාවයකම මූලික පරමාර්ථය ජීවයේ පැවැත්ම තහවුරු කරගැනීම. ඔන්න ඔය තියරි එක තමයි මනුස්සයට නිදහසේ සමාජීය වාරණ වලින් කට්ටිපැනල නිදහසේ සෙක්ස් කරගන යන්න “ආදර”ලයිසන් එක දෙන්නෙ.

එතකොට ඔය කෙල්ලෙක්, කොල්ලෙක් දැක්කම හිතන්ව කියන්නෙ “මෙයා තමයි බඹා කෙටූ එක්කෙනා, සංසාරෙ පුරාවට පතාගෙන ආව කෙනා” වගේ දේවල් ?

හෙහ් හෙහ්.. ඒ මචං වඩාත් උචිත ජාන අතරෙ ඇතිවෙන ආකර්ෂණය, හරියට කාන්දම් දෙකක් අතරෙ ඇතිවෙන ආකර්ෂණය වගේ. එහෙම නැතුව ඕක කොටන්න බඹෙක් ඕනෙ නෑ. ඔතන තියෙන්නෙ පොඩි ආගමික – සංස්කෘතික මික්ස් එකක් මචං. ඔන්න ඕක තේරුංගන්න බැරිවෙච්ච කොහේ හරි ඉඳපු සාහිත්‍යකාරයෙක් ගොතාපු කෙබරෙකට අහුවෙලා ඉන්නෙ. අනික මචං ඔය පෙරුම්පුරන සංකල්පය ආවෙත් ආගමික සාහිත්‍යක් හරහානෙ. එහෙම නැතුව ගෑණියෙක්ටයි ම්නිහෙක්ටයි එකට ඉන්න පෙරුම් පුරන්න ඕනෙද, මොකෝ ඔය එකට ඉන්න උන් සේරම පෙරුම් පුරපු උන්ද?

ඔය මෙලෝ සතෙකුට තේරුංගන්න බැරි සාහිත්‍ය ටෝක් සේරම ගෙනාවෙ සෙක්ස් කැතයි කියල හිතපු මිනිහ තමයි බං. ලස්සනට පාට කලාම වේලිච්ච බලුබෙට්ටක් උනත් සල්ලි දීල අරං යන මිනිස්සු ඉන්න සමාජයක ඕක ලේසියෙන් තේරුම් ගන්න ටිකක් අමාරුයි.

උඹ ඕව වෙන කාටවත් කියන්න එපා, අල්ලං ගොහිං දායි අංගොඩ. එතකොට නිර්ධා උඹෙ පස්සෙන් එන එකෙයි මේ උඹෙ කෙහෙල්මල් තියරියයි අතරෙ තියන සම්භන්දෙ මොකක්ද?

දැම්මම පිස්ස කිව්වොත් කතාවෙ ඉතුරු ටික ඇහුඅම උඹට කියන්න දෙයක් නැතිවෙයි, ඒක නිසා පොඩ්ඩක් ඉවසල ඉඳිං නිර්ධට ඇප්ලයි වෙන්නෙ කොහමද කියල කියනකං.

හොඳට බලපන් ට්‍රිප් එක ආපු උන්ගැන කල්පනා කරල. ආපු එකොලොස් දෙනා අතරෙන් නිර්ධායි මායි විතරයි තනිකඩ උන්ට ඉන්නෙ.

ඇයි මිනිහො එතකොට මං ?

උඹට ඉන්නෙ කෙල්ලො දෙතුන්දෙනෙක් විතර.. අමතකද ?

ඒ එකෙක්වත් සීරියස් කරන ඒව නෙමෙයිනෙ බං, අනික උන් එකෙක්වත් මෙතන නෑ නෙ.

හරි. මම තව ටික වෙලාවකින් ඒකට උත්තර දෙන්නම්, දැන් අහපන්කො මම කියන්න හදන දේ.

නිර්ධා කියන්නෙ මාත් එක්ක අවුරුදු දෙකක් විතර එකට ක්ලාස් ආපු කෙල්ලක්. ඒ කාලය පුරාවටම මාත් එක්ක වචන දෙක තුනකට වඩා කතානොකරපු කෙනා උඹ අද කියනව මට කැමතීයි වගෙයි කියල. ඒක උඹ මට කියන්නෙ මේ කැලේ මැද කෑම්ප් එකට ආවට පස්සෙ. මට හොඳටම ෂුවර් උඹට මීට කලින්, ඒ කියන්නෙ කොළඹ ඉන්න කාලෙ එහෙම දෙයක් තේරුනේ නෑ, ඒ වගේම නිර්ධාට එහෙම අවශ්‍යතාවයකුත් ඇතිවෙලා තිබුනෙ නෑ කියල.

දැං උඹ මොකක්ද කියන්න හදන්නෙ … ?

අහගෙන ඉඳපන්කො. එතකොට තේරෙයි.

මම කියාගෙන ආවෙ සිවිලයිස් සොසයිටි එකේදි කිසිම උනන්දුවක් නොපෙන්නූ නිර්ධා එකපාරටම මේ කෑම්ප් එකේදි මම ගැන උනන්දු උනා කියලනෙ. උඹ දන්නවද ඇයි කියල ?

කියපන්කො බලන්න ?

ඉස්සෙල්ලම බලපන් නිර්ධා කියන්නෙ කවුද කියල, ඒකි හොඳ බර අත්තක්, පෙනුමෙත් කිසිම වැ‍රැද්දක් නෑ, ඉගනගන්න දක්ෂයි. කොටින්ම ඒකිට කොල්ලෙක් හොයාගන්න කිසිම කම්පිටිෂන් එකක් නෑ.  ඉතිං ඒකිට කිසිම කලබලයක් ඇත්තෙ නෑ කොල්ලෙක් හොයාගන්න, ඇති තරම් කාලය ගන්නව වැඩිපුරම හොඳ දේ පික් කරගන්න.

දැන් බලපන් අපි දැන් ඉන්නෙ කොහෙද කියල, සිංහරාජෙ ෆොරස්ට් කෑම්ප් එකක, ග‍ඟෙන් එගොඩ, හැතැප්ම දෙකක පයින් යන දුරෙන් මෙහා වාහනයක් නෑ මෙ ග‍ඟෙන් එගොඩ යන්න තියන බැරල් බෝට්‍ටුව ඇරෙන්න. සත්තු සර්පයො ඉන්න පුළුවන්, ඕනෙම වෙලවක අණතුරක් වෙන්න ඉඩකඩ වැඩියි.

ඉතිං ?

ඉතිං කියන්නෙ මචං, මේ කැලේ මැදදි නිර්ධට ආරක්ෂාව ඕනෙ, ‍රැකවරණය ඕනෙ. ඒ පෙළඹවීම කරන්නෙ නිර්ධාගෙ ජාන, සියවස් ගනනාවක් තිස්සෙ වර්ධනය වෙවී ආපු පැවැත්ම ‍රැකගන්න වලිකන ජාන. ඒක ලබාගන්න තියෙන්නෙ උඹෙන් හරි මගෙන් හරි එහෙමත් නැත්නම් අපේ ගයිඩ්ගෙන් හරි තමයි. මොකද මේ ගමන ආපු අනිත් උන් ඔක්කොම කපල්ස්.

ඒක තමයි මං කියන්නෙ, උඹේ තියරිය හරි නම් ඇයි ඒකි මට නැතුව උඹට ඇහැ දාන්නෙ?

උඹ කලින් කිව්වනෙ කෙල්ලො දෙතුන් දෙනෙක් එක්ක සීරියස් නොවෙන රිලේෂන්ශිප් තියනව කියල.

ඔව් ඉතිං ?

නිර්ධාගෙ ජාන එයාව පොළඹවන්නෙ යන්න පුළුවන් හොඳම තේරීමට යන්න. උඹත් එක්ක ඒකිගෙ පැවැත්ම ස්ථාවර නෑ. එහෙම කෙනෙක් එක්ක නව ජානපරම්පරාවක් ආරම්භ කලොත් ඒවායේ පැවැත්ම පිළිබඳව ගැටළුවක් මතුවෙනව. ඒක නිසා නිර්ධා උඹට සමීප වෙන්නෙ නෑ. ඒ වගේම තමයි නිර්ධා ගයිඩ්ව නොදන්න නිසා ඌට සමීපවෙන්නෙත් නෑ. එතකොට ඉබේම නිර්ධාගෙ ජාන නිර්ධාව පොළඹවනව වඩාත්ම රිලයබල් ඔප්ෂන් එක ‍තෝරගන්න.

ඒ කියන්නෙ උඹ තමයි මෙතන නිර්ධට ඉන්න ගැලපෙනම එකා ?

ඔව්, මේ පරිසර සාධකත් එක්ක මාව ‍තෝරාගන්න තමයි නිර්ධාගෙ ජාන ඒකිව පොළඹවන්නෙ. හැබැයි සමහරවිට ඒ පෙළඹවීම තාවකාලික එකක් වෙන්නත් පුළුවන්, ආරක්ෂාවක් ලබාගන්න විතරක්ම වෙන්නත් පුළුවන්. ආයෙම කොළඹ ගියාම ඒකි කලින් හිටිය වගේම මාව නොදන්න ගානට ඉන්නත් ඉඩ තියනව. ඉතිං මං ඕකට ආදරේ කියල ටොම්පචයක් ඇප්ලයි කරගත්තොත් මට මොකක්වෙයි කියලද උඹ හිතන්නෙ ? පපුව පැලිල මැරිල යන්නත් බැරි නෑ.

මචං.. ඔන්න නිර්ධා මේ පැත්තට එනව.

අපි මේ කතාව දැනට නවත්තමු. ඇහුනොත් හොඳ නෑනෙ.

හෙහ් හෙහ්.. ඇයි කෝ උඹෙ මෙච්චර වෙලා කියාපු පඬි ටෝක්, මොකෝ උඹෙ ජාන කිව්වද කටපියාගෙන හි‍ටු කියල ?

ඒව කියන්න බෑ මස්සිනා…. අතට ආපු චාන්ස් එකට පයිං ගහල තව කොච්චර කාලය හූල්ලන්න වෙයිද කියල කවුද දන්නෙ. අනික මගේ ජානත් කැමති නැතෑ තව කාලයක් පවතින වැඩක් කරන්න. ඊටත් මචං කොයි පඬියත් ඔය මං පොර සින්දුව කිව්වට හැබෑජීවිතේදි ජානෙට යටයි නෙ.

හෙහ් හෙහ්…

ප.ලි : කොහොමයි මගෙ ලව් තියරිය. මහදැනමුත්ත පරාදයි !!! හැබැයි වැරදිලාවත් ලූලෙක් මේ පැත්තට ආවොත් “කණයට” දෙයි දුවන්න නේද ? හෙහ් හෙහ්.. ඒත් කමක් නෑ දෙනවනං ආයෙ දෙන්න ඕන හොඳම එකෙන් හරිය ?

පින්තූරය ගත්තේ : http://knowyourmeme.com/photos

බියර් බෝතලයේ දේසනාව – මෙහෙමයි පවුල් කන්නෙ මචං…….


ඕං බලපන් මචං…. මේකිගෙ තියන සැකේ…

කාගෙද බං….

ප්‍රසන්න සාක්කුවෙන් ගත් ජංගම දුරකතනය දුලිප්ට පෑවේ අප්‍රසන්න මුහුණිනි.

එහි තිරයේ Chanika Calling….. යනුවෙන් දිස් වේ.

උඹෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් නේද….. ඉතිං ආන්සර් කරන්නෙ නැත්තෙ?

මඳ වෙලාවක් නාදවෙන දුරකතනයට ඔරවා සිටි ප්‍රසන්න ඇමතුම විසන්ධිකර පසෙකින් තැබීය

මට මේ වැඩේ එපාවෙලා බං තියෙන්නෙ. මම අද දවාලෙ කෝල් කරල කිව්ව උඹත් එක්ක පොඩ්ඩක් සෙට් වෙන්න යනව කියල.

ඉතිං…. ?

එතන ඉඳල එක කෝල් විස්සකට වැඩිය එන්න ඇති මේකිගෙන්.

ඉතිං බං ලව් කරන කාලෙ කෙල්ලගෙන් කෝල් එකක් එනවට වඩා සැපක් තවත් තියනවයි ?

ඒ ඉතිං ලව් කරන්න කතාකරනවනම් නෙ, මේක එහෙම එකක් නෙමෙයි මචං.

එහෙනං… ?

කෝල් කරල කියයි “බොන්න එපා හොඳේ” “අනේ රෑ වෙන්න එපා” “ඔයා ඔය යාළුව ආශ්‍රයකරනව වැඩියි” “මොනවද අනේ ඔයාලට ඔච්චර කතාකරන්න තියෙන්නෙ” “ඔන්න අටට කලින් බෝඩිමට ගියේ නැත්නම් මම තරහයි” ඔන්න ඔය වගේ විකාර ගොඩයි බං.

ඉතිං මචං තමන් ආදරේ කරන මිනිහට බොන්න එපා, රෑවෙන්න එපා කියන එකේ වැ‍රැද්ද මොකක්ද?

උඹ කැමතිද උඹෙ වයිෆ් හැමතිස්සෙම කනිපින්දං ගානවට “බොන්න එපා, රෑවෙන්න එපා, යාළුවො එක්ක ඇවිදින්න එපා” කියල.

නෑ මම හිතන්නෙ නෑ. ඒත් මචං මම ඔය අත්දැකීමට මූණදීල නෑ.

ඒ කියන්නෙ උඹෙ වයිෆ්ට ගානක් නැ උඹ බීල රෑට ගෙදර යනවට.

ගානක් නැතුව නෙමෙයි මචං. මුතූ කිසිම දවසක මට කිසිම නීතියක් දාල නෑ. ඒක නිසා මට ඒකිට ඇණයක් වෙන්න උවමනා වෙලා නෑ. මම ඈණයක් නෙවෙනතාක් කල් එයා මට ඇණයක් වෙන්නත් නෑ කියල මට විස්වාසයි.

සර්.. මොනවද ගේන්නෙ ?

අපිට ගේන්න කාල්ස්බර්ග් ස්ට්‍රෝන්ග් දෙකයි හැඬැල්ලො බයිට් එකයි.

අනික මචං, මම බියර් එකකට වඩා දෙයක් බොන්නෙ නෑ මොකද මම දන්නව මගේ ලිමිට්.

එතකොට උඹ කියන්නෙ උඹ උඹට ඕන විදියට ජීවත්වෙනව මුතූ එයාට ඕනෙ විදියට ජීවත් වෙනව කියලද? ඒක එහෙම වෙන්න ඕන නම් අහවල් දෙයකටද බං උඹල බැන්දෙ ?

ඔය… උඹ වලිගෙ පගගෙන නෙ ප්‍රසන්න… සහයෝගයෙන් ජීවත්වෙන එකයි මම එතනින් අදහස් කලේ. එහෙම නැතුව එයා මොනවා කලත් මට ගානක්වත් මම මොනවා කලත් එයාට ගානක්වත් නෑ කියන එක නෙමෙයි. අපි දෙන්න තනි තනිවම කරන හැම දෙයකම බලපෑම දෙන්නටම සමානව දැනෙනව. ඒත් ඒ දේවල් දරාගන්න පුළුවන් සීමා ඇතුලෙ සිද්ධවෙනවනම් එතන ගැටළුවක් නෑ මචං.

ඒ කිව්වෙ ?

හ්ම්… මම මෙහෙම කියන්නම්කො…… සීතල බියර් උගුරකට පස්සෙ බැදපු හැඬැල්ලෙකුට පිඟානෙ පැත්තක තිබිච්ච දෙහි බෑයෙන් බිංදුවක් මිරිකල දාගෙන හපන ගමන් දුලිප් ආයෙම කතාව පටන් ගත්ත.

උඹ හිතපන්කො මම අද බීල ගෙදර යනව කියල. මම බලාපොරොත්තු වෙන්න නරකයි මුතූ වෙනද වගේ දුවල ඇවිල්ල මාව පිළිගනීවි කියල. ඒක එහෙම වෙන්නෙ නෑ. ගෑණු ගෙදර දාල පිරිමි අපි තනියම විනෝද වෙලා එනකොට උන්ට තරමක දුකක්, කේන්තියක් ඇතිවෙනව. ඒ වෙලවට අපි දැනගන්න ඕන ඒ කේන්තිය සමනය වෙන විදියට වැඩ කරන්න.

මහ දේවල් කරන්න ඕන නෑ අමනාපෙන් පැත්තකට වෙලා ඉන්න ගෑණිව ලඟට ඇදල අරගෙන පොඩ්ඩක් හුරතල් කරල, එහෙම නැත්නම් උයන පිහන දෙයකට පොඩි උදව්වක් කරල, විහිළුවක් දෙකක් කරල බොහොම ලස්සනට ඒ දේ කරන්න පුළුවන්. හැබැයි වැරදිලාවත් “මේ මොන මඟුලක් ද ? මේ ගෑණිට ඇවිල්ල දොරවත් අරින්න බැරිද” කියල හිතල ආරෝවක් ඇදගත්තොත් ඔන්න පුතේ එදා ඉඳල වැඩේ දෙල්.

උඹ ඔය කියන්නෙ අත්දැකීමෙන් ද ? මෙච්චර වෙලා බ්යර් මග් එක දෑතට මැදිකරගෙන හිටපු ප්‍රසන්න ඇහුව.

හෙහ් හෙහ්…. උඹට කැමතිනම් එහෙම හිතාගත්තට මගෙ අමනාපයක් නෑ..

ඒත් බං අපි මොන එහෙකටද ගෑණුන්ට ඕන විදියට ජීවත් වෙන්නෙ පිරිමිය පවුලේ මූලිකය වෙච්චිකොට, අනික ගෑණුන්ට යටත් වෙලා, එහෙමත් නැත්නම් උන්ට බයවෙලා, හුරතල් කර කර ඉන්න කොන්ද පණ ඇති පිරිමියෙකුට පුළුවන්ද ?

හෝව් හෝව්……. මචං.. පිරිමිය පවුලෙ මූලිකය කියල කවුද කොහේද බං කියල තියෙන්නෙ ? ඔන්න ඔතන නෙ බං උඹල වරද්දගන්නෙ. පවුලක ප්‍රධානිය පිරිමිය නෙමෙයි බං, ගෑණි. පිරිමිය ඉන්නෙ නාම මාත්‍රිකව විතරයි. ෆැමිලි එකේ කෝර් ඩිසිෂන්ස් ගන්නකොට වැඩි බරක් එන්නෙ ඒ පැත්තෙන්, රස්සාවල් කරගෙන උයල පිහල ළමයින්ගෙ වැඩයි මිනිහගෙ වැඩයි තමන්ගෙ වැඩයි කරල වැඩි බරක් අදින්නෙ ගෑණි. ඒක මේ අද ඊයෙ ඇතිවෙච්ච දෙයක් නෙමෙයි ඉස්සර ඉඳලම තිබිච්ච දෙයක් නෙමෙයි.

ඒ මොන විකාර කතවක්ද බං, ඕක හයියෙන් කියන්න එපා, මෙතන ඉන්න උන් උඹට හිනාවෙයි…..

ඒ උඹ දන්න තරම ප්‍රසන්න, ලෝකෙට පේන්න පිරිමිය ‍රැස් විහිදෙව්වට හිත යටින් දන්නව හැබෑව මොකක්ද කියල. ස්වාභාවිකවම ගෑණි මූලික වෙලා තමයි බං පවුල් හැදිල තියෙන්නෙ. එතනදි සත්තුයි මිනිස්සුයි කියල වෙනසක් නෑ. උදාහරනෙකට ගනිං මීමැසි කූඩුවක්, එහෙමත් නැත්නං වේ ගුලක්. පිරිමිය කියන්නෙ පවුල වටේට තියන ෂෙල් එක මිසක් ෆැමිලි කෝර් එක නෙමෙයි. හැබැයි උවමනා නම් ඒ ක්‍රමේට පිටින් ගිහිල්ල පිරිමියට ඩොමිනේට් වෙන්න පුළුවන්, හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්න බ්‍රෙන් පවර් එකෙන් මිසක් මසල් පවර් එකෙන් නම් නෙවෙයි. පවුල ඇතුලෙදි ගෑණිට නිසි තැන දෙනවනම් ගෙදරින් පිටට ගියාම උන් පිරිමියට ස්වභාවයෙන්ම මූලිකත්වය දෙනව මචං

උඹට නම් පිස්සු බං, මුතූ උඹව බයකරගෙන යටත් කරගනෙද කොහෙද ඉන්නෙ. ඒකනෙ මේ වගේ විකාර කියවෙන්නෙ, නැත්නං මේ කොන්ද පණ ඇති පිරිමියෙක් කියන කතාද බං…

හෙහ් හෙහ්… මාත් කාලයක් උඹ හිතන විදියට තමයි මචං හිතාගෙන උන්නෙ. ඔන්න ඔහේ අපි මේ කතාව අමතක කරල දාමු බං. ඒක නෙමෙයි රෑට උඹට බෝඩිමෙන් කන්න දෙනවද?

නෑ මචං, කඩෙන් මොනාහරි අරං යන්න ඕනෙ.

පිස්සුද .. අපි මෙතනින්ම ඩිනර් එක අරගෙන යමු… අනික මේ රෑ බෝඩිම ලඟ කඩවල් වහලත් ඇති. පොඩ්ඩක් ඉඳහංකො..

ෂ් … මල්ලී…… අපිට ඩිනර් මෙනූ එක ගේන්න….

මචං.. උඹ බීෆ් කනව නේද ?

අවුලක් නෑ..

එහෙනම් මල්ලි අපිට ස්පෙෂල් මික්ස් චොප්සුයි රයිස් ෆුල් එකක් ගේන්න..

හරි සර්..

ඈ මචන් ෆුල් එකක් ඇතිවෙයිද…. ?

අවුලක් නෑ මචං.. මෙතන ෆුල් එක දෙනව දෙන්නක්ටම ඇතිවෙන්න. අනික ආයෙ ගෙදර ගිහිල්ල මුතූගෙ කෑම කන්නත් එපාය, අද උදේ ඉඳලම ඔන්න උඳු ඇට වගයක් දියේ දාගෙන උන්න රෑට ‍තෝසෙ හදන්න ඕන කියල.

උඹ මාර බඩුවක්නෙ, මෙතනින් කාල ආයෙ ගෙදර ගිහිල්ලත් කනවද .. ?

උඹ හිතනවද අද උදේ ඉඳං ප්ලැන් කරල ‍තෝසෙත් හදාගෙන මං එනකං නොකා ඉන්න ගෑණිට සන්තෝස හිතෙයි කියල මම නොකෑවොත් … ඊටත් මේ බීල රෑවෙලාත් ගිහිල්ල ?

තේරුං ගනිං මස්සිනා… මේ තමයි පවුල් කෑම කියල කියන්නෙ.. හෙහ් හෙහ් ….. !!

පින්තූරෙ ගත්තේ : http://www.old-picture.com

පාළු වංගුව

ඈ තම සියුම් කියුඹුවැල් ලා රත් පැහැති දබ‍රැඟිල්ලෙන් වම් කණ පි‍ටුපස රඳවමින් මඳ ඉසිඹුවක් ලද මුවින් හුස්මක් ගන්නට මුහුණ ඉහලට හැරවූවාය. දහදිය මල්වලට ඇළුණු කෙහෙ රොදක් ඈගේ නළළ මත්තේ විය. ටයිල් පොළොව මත වූ කොස්සෙන් කට්ටි පැන්න වලි කැට කිහිපයක් ඇගේ දනිස් සිදුරු කර ඇත.

ඔහු තවමත් අයාගත් මුවින් සිවිළිම දෙස බලාගත්වන් මය.

ඇතිද?

නොමනාපය මුසු පුදුමය කැටිවූ බැල්මක් පමණක් හෙළූ ඔහු සිය සුරතෙන් නැවතහ් ඈ හිස තම යටිකය වෙත තදකලේ ය.

අප්‍රසන්න ක්‍රියාවක් අපහසුවකින් තොරව නිරතවීමට නම් තම සිත දුර ඈතක පා කර යැවිය යුතු බව ඈ පසුගිය වසර කිහිපයෙහි මනා ලෙස උගත්තාය.

ඒ දෙදහස් හය වසරය. ඈ පරිගණක පන්තිය අහවර වී මඟට පිළිපන්නා විතරය.

කුමුදු…. අර… අන්න අරය අද මෙතනටම ඇවිල්ල ඉන්නව අනේ……

කෝ…..

අර ඉන්නෙ අනේ බෝ ගහ ලඟ. එහෙනං අපි ගියා..

අනේ ඉඳපං බං…..

උඹට විකාරද ? තනියෙන් කතාකරන්න බය එකා දෙන්නෙක් ඉන්න තැනක කතා කරයිද.. මං යනව උඹ කතාකරපං, නැත්නං අදත් බලං ඉඳල යන්න යයි.

කුමුදු ලොත‍රැයි කූඩු අතරින් තම දෑස් යැව්වාය.

සුදෝ සුදු ලිනන් කමීසයකින් හා තද නිල් පැහැති ඩෙනිම් කලිසමකින්ද ඊටම කැපෙන අළු-කොළ පැහැති ඩෙසර්ට් බූට්ස් යුවලනින්ද සැරසුණු දේවින්ද පාරේ යන කෙළි රොත්ත අතරින් තම තියුණු දෑස් යවමින් සිටියේය.

ෂ් ෂ්… මේ.. ඔය ළමය කාවද මේ හොයන්නෙ.

හ්ම්ම්.. අද මාව හම්බුවෙන්න කෙනෙක් එනව කිව්ව ඒකයි මේ බැලුවෙ….

ආ…… එහෙමද.. එහෙනං ඔයා ඉඳල එයාව මුණගැහිලම එන්නකො. අපි යන්නම් පරක්කුත් වෙලා තියෙන්නෙ.

එහෙම කියාපු කුමුදු අඩි දෙක තුනක් ඉස්සරහට ගිහිල්ල නැවතුනා.

මොකද නැවතුනේ….. ?

නෑ අනේ ඉස්සරහ වංගුව ගාව පාළුයි. එතන පහුවෙනකන් වත් යන්න කෙනෙක් එනවද කියල බැළුවෙ.

කෝ කවුරුවත් නෑනෙ පේන්න ඔයයි මමයි ඇරෙන්න.

ඒක තමයි.

අකමැත්තක් නැත්නං මම එන්නද වංගුව පහුවෙනකල් ඔයා එක්ක ?

එතකොට අර ඔයා හම්බුවෙන්න ආපු කෙනා… එයා පව් නෙ..

එයා පව් හන්ද තමයි එන්න අහන්නෙ…

ඒ කියන්නෙ ඔයා මුණගැහෙන්න ආවෙ මාවද?

හ්ම්..

එහෙනං එන්න.

යමු..

ඇයි ඔයා එකම පන්තියෙ ඉඳලත් මාත් එක්ක මෙච්චර කල් කතා නොකලෙ ?

මං බයයි ගෑණු ළමයින්ට.

ඇයි ඒ…. ?

බෑ කියයි කියල….

මොනාටද ?

යාළුවෙන්න…

ඉතිං කතාකරන හැම ගෑණු ළමයක් එක්කම යාළුවෙන්න ඕනෙද?

ඔව්…. එහෙම නැත්නං මොකටද ගෑණු ළමයි එක්ක කතාකරන්නෙ ?

හ්ම්…. මංද….

පාළු වංගුව නං දැන් පහු උනා..

ඒක තමයි…. දැං ඔයා මෙතන ඉඳං තනියම යනවද ?

හ්ම්ම්.. ඔව්. එතකොට ඔයා …. ?

මාත් ඔය පැත්තට තමයි යන්නෙ, හැබැයි එපා කිව්වොත් ඔයාට පහුවෙලා එන්නම්.

මං එපා කියන්නෙ නෑ.

කඨෝර රසැති උණුසුමක් මුව පුරා පැතිරී යත්ම ඇ ඉවතට තල්ලුවී ඇඳ මතට වැ‍ටුනා ය.

අප්‍රසන්න ක්‍රියාවකත් ප්‍රසන්න මතකයක අතීතාවර්ජනයකත් අවසන එකම මොහොත සිදුවීමෙන් සිතට ගෙන ආ හැඟීම ඇයට කිසිසේත්ම ගලපාගත නොහැක්කක් විය.

බෙඩ් සයිඩ් කබඩ් එක මත වූ ටිෂූ රෝලෙන් කොටසක් කඩා මුව පිසදැමූ ඈ දෑත් මෙට්ටයට ඔබා පසුපසට තල්ලුවී ගොස් බිත්තියට හේත්තු වූ වී සුසුමක් හෙලා ඉදිරියෙන් පෙනනා කණ්නාඩියට සිනා සුනාය.

ඈගේ සිනහව සුන්දර නැත.. එය වේදනා බර අප්‍රසන්න පෙනුමක්ගෙන ඇත.

නැවතත් දිගු සුසුමක් හෙලූ ඈ තෙත් නෙත්වලින් තම පිළිබිඹුව බොඳකරමින් කල්පනා කලාය… ඒ අන් කිසිවක් නොව විවාහයට පෙර දේවින්ද හා ගතකල අතිශය සුන්දර කාලයේ දී ඔහුව නොදක්කේ කෙසේද යන්නය.

වැඩි වෙලාවක් ඈට ඒ ගැන කල්පනා කරන්න ඉඩ නොතබාම නැවත වරක් රළු ග්‍රහණයකින් ඈගේ සිතිවිළි දැහැන බිඳී බිඳී ගියේ නැහැය දෙපසින් සීතලක් පහලට ගලා යද්දීය.

ඉඳින් මේ කුමුදු වෙනුවෙන් ඔබට සිතන්නට අවස්ථාවයි, ඔබ තුල සිටිනා, කිසිවෙකු නොදැකි දේවින්ද ඔබේ කුමුදුට පෙන්වීමට මෙය සුදුසුම කාලයයි. අත්පත් කරගැනීමකට වඩා සහයෝගී ජීවතයක් වඩා අගනේය යන්න සිතට ඒත්තුගැන්වීමට සුදුසුම කාලයයි. එසේම හදවතින් පමණක්ම දේවින්දව දැකීම නවතා බුද්ධියටද ඇරයුම් කිරීමට කාලයයි.

ප:ලි : අන්න තවත් අපූරු නොදන්න මඟුලක් ලියල තියනව. කන්ස්පිරසි ගැන උනන්දු ඇත්තො ගිහිං බැළුවනං…

පින්තූරය ගත්තේ : http://events.nationalgeographic.com/events

මෙහෙම ලිව්වම කුණුහරුප උනත් අවුලක් නෑ නේ ?

රත් පියුමක් ය පෙති විදහා පිපුණු සැණින්
විල් තලයක් ය සා පවසට පිහිට වෙමින්
ලිය ගොමුවක් ය සරතැස සනහනා නොමින්
රොන් කෙමියක් ය බඹරුන් කැඳවනා සොඳින්

එක දින පායලා ආ වැනි දෙපෝ ස‍ඳෙන්
පුන් කුඹු නැඟි ගගනත ලා බැළුම් ලමින්
රතදර පිපී කැළුම් ගිණියම් වූ සුසුමෙන්
නෙත් අලලවයි අහකට ගනු නොහැකි ලෙසින්

මී මල් රෑන සේමා ලෙළදෙන නෙරියෙන්
රන් දළ වණින් බැබලෙන ඉඟ තීරෙන්
තාලෙට අඩියෙ නැළවෙන පුන් පිරි වටොරින්
නොනැ‍ඟෙන කෙසරු කිම මෙ දියත පලවීමන්

කෝමල රඹ කඳන් දුහුලෙන් මෑත් කලෙන්
කරළියෙ පෙ‍රැළි කරවන මුදු අවුල් හැරෙන්
සළෙළුන් අවදි කල ගිජි‍ඳෙකු අකුණු සැරෙන්
හුයකින් තබනු හැකිවෙද බැඳ තබා තදින්

පලි : මේවත් කුණුහරුපද නේ.. හික් !

පින්තූරෙ ගත්තේ : ගත්තුතැන කොපි කරන්න කලින් ෆයර්ෆොක්ස් ක්‍රෑෂ් උනා

Follow

Get every new post delivered to your Inbox.

Join 79 other followers