කලින් වතාවන්වලදී මෙන් මෙවරද අවුරුද්ද සැමට හොරෙන් විකුනා දමන ලදී
අප්‍රේල් 18, 2011 ප්‍රතිචාර 32
දිනය : අවුරුද්දට පෙර දිනය
ස්ථානය : ජනප්‍රිය රූපවාහිනී ආයතනයක මැදිරි අංක පහ.
මචං ගනින්කො හෙට ප්‍රෝග්‍රෑම් එකේ ප්ලෑන් එක බලන්න.
ඉඳා..
මේ කවුද බං ලිස්ට් එක හැදුවෙ. කෝ බැද්දගේ?
බැද්දගේ ? කවුද බං ඒ ගෝතය, ඉරාජ්ගෙ සෙට් එකේ එකෙක්ද? මං උන් ඔක්කෝටම එන්න කිව්ව බං.
රෙද්ද, බැද්දගේ පරණ බුවෙක් බං, උඹට මතක නැද්ද අර අවුරුදු උත්සව වලට එන්නෙ බතික් කිට් එකෙකින්. මිනිහ නැතුව කොහොමද බං අවුරුදු ප්‍රෝග්‍රැම් කරන්නෙ. කවුද කවියක්වත් කියන්නෙ?
බුවා ඕනෙමද? චින්ති ගෙන්නන හන්ද ඌගෙන් ෂේප් වෙන්න බැරිවෙයිද?
මගෙන් මුකුත් අහගන්නෙ නැතුව පොරගෙ නොම්මරේ හොයල අරං කතා කරල සෙට් කරගනින් හෙට ප්‍රෝග්‍රෑම් එකට.
ට්‍රීං ට්‍රීං….. ට්‍රීං ට්‍රීං….. ට්‍රීං ට්‍රීං…..
හෙලොව්… මිස්ටර් බැද්දගේ?
ඔව් කතාකරනවා…..
මිස්ටර් බැද්දගේ, හෙට අපේ ප්‍රෝග්‍රෑම් එකට උදේ නමයට එන්න පුළුවන් ද?
උදේ පහේ ඉඳල මගෙ ඩේ ප්ලෑන් එක ෆුල්, දහය හමාරට පැයබාගෙක බේක් එකක් තියනෙව. ඒ වෙලාව ඇතිනම් මං එන්නම්.
හරි, මම ප්‍රෝගෑම් එක ෆැක්ස් කරන්නම්, එතකොට ප්‍රිපෙයාර් වෙලාම එන්න පුළුවන් නෙ.
නෑ නෑ. ඒව අවශ්‍ය වෙන්නෙ නෑ. හැම අවුරුද්දකම කරන දේනෙ. මට ඕව හොඳට මතකයි.
ඕකේ දෙන්.. අපි ටෙන් තර්ටි වලට මීට් වෙමු.
මචං, බැද්දගේ හරි, පොර එන්නම් කිව්ව.
ඕයි.. මෙහෙවරෙන්. මේ ලිස්ට් එකේ රන්වලගෙ නමත් තියෙනවනෙ බං.
ඉතිං, කලින් පාරක බුවා ගෙන්නල තිබුනනෙ බං. හැමදාම ගෙන්නන උන්ව එපා කිව්වනිසා මං පරණ අවුරුදු ප්‍රෝග්‍රෑම් බලල කාලෙකින් ගෙන්නපු නැති එකෙක් නිසා නම දැම්ම.
උඹ කතාකලාද?
තවම නෑ බං. හෙට උදේට කතාකලත් පොර එයි. ඔය වගේ කට්ටිය අවුරුද්දකට පාරයිනෙ ටී.වී එකට මූණ දාගන්න එන්නෙ. ආයෙ එහෙම එන චාන්ස් මිස් කරන්නෙ නෑනෙ.
රෙද්ද තමයි, මේ මනුස්ස්ය සෙත්තපෝච්චි වෙලා සෑහෙන කල් ඕයි.
අම්මටසිරි ! දැං මොකෝ බං කරන්නෙ.
අවුලක් නෑ අවුලක් නෑ…. බුවාගෙ පුතා ගෙන්නපන්. ඌ වැඩේ ගොඩ දාල දෙයි.
එල……
මචං, තව වයසක බුවාල දෙන්නෙක් විතර ගෙන්නහං, ඉස්සර උන් අවුරුදුකාපු හැටි අහගන්න වීවර්ස්ල කැමතියි බං.
එල, මේ මචං. සූරියප්පෙරුම ලොක්කට එන්න බෑ කිව්වනෙ අන්තිම මොහොතෙ. අරලියගහට යන්න ඕන කිව්ව මොකක්ද වැඩකට.
ආ.. ඒකට කමක් නෑ බං. බුවා දැන් මෙලෝ රහක් නෑ. හැමදාම ගහන එකම තැටියෙ ගහන ලොරි ටෝක් අහල අහල මිනිස්සුන්ට එපාවෙලා. බුවාට වැඩිය දැං අත්තනායක ලොක්ක හිට් වෙනවනෙ. මිනිහ හරි ආතල් කතා කියන්නෙ. ඔය කවියක් කියල බොරු ජාතකයක් ඇදල ගත්තම අනිත් අඩුපාඩු ඔක්කොම කැපිල යනව.
එල, මම කොහොමහරි පොරව ගෙන්නගන්නං මචන්.
————————————————————-
පසු දිනය : අප්‍රේල් දාහතර
ස්ථානය : මැදිරි අංක පහ
ආයුබෝවන් සකල ශ්‍රී ලංකාවාසී සිංහල දමිල සියළු දෙනාටම.
අද දවස ඉතාමත් විශේෂ පුන්‍යවන්ත දවසක්. ඒ දවසේ විශේෂත්වය විද්වත් සාකඡාවකින් හරවත් කිරීමට අපි මැදිරිසංකීර්ණයට ආරාධනා කලා අපේ රටේ අතිශය ගෞරවාදරයට පාත්‍රවූ විද්වතුන් කිහිප පලකට.
ආයුබෝවන් ඔබ සැමට..
සාකඡාවට යොමුවීමට ප්‍රථම අපි අපේ ආරාධිත ගායන ශිල්පියාට ආරාධනය කරමු අවුරුදු ගීයකින් හා හා පුරා කියා මූලාරම්භය ගන්න කියල.
ගේමක් දෙලා ගිය අවුරුද්දේ………….
————————————————————-
පසු සටහන:
ඉහත සඳහන් කර ඇත්තේ මා කිසි දිනෙක පෞද්ගලිකව අත් වින්ද නැති, නමුත් සීයට අනූවක්වත් සැබෑවට ආසන්නයැයි මට හිතෙනා සටහනකි. ඇතැම් විටෙක මෙය හුදෙක් මාගේ හිතළුවක් වීමට ඉඩක් නැත්තේද නොවේ. එනමුත් මෙය සබෑවටම සිද්ධවෙන්නකැයි සිතීමට තරම් අවැසි සාධක ඔබ මා අවට අනන්තවත් ඇත.
සියල්ලම වානිජකරණය වූ ලෝකයක ඉන් මිදීමට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයයනට කිසිසේත්ම ඉඩක් නැත. ඉන් ඉසිඹුවක් ඇත්තේයැයි සිතන්නේනම් හා පෙන්වන්නේ නම් එය තමා මෙන්ම අනුන් ද මුලාවට පත්කිරීමට දරනා වූ ප්‍රයත්නයක්ම වේ. එසේ දරනා ප්‍රයත්නයන් අතිමහත් බහුතරයක් වූ සමාජීය තාර්කික අවබෝධයකින් යුතු පිරිස් හමුවේ නිරුවතින් රඟයි.
වසරේ මාස එකොලහක් පුරාවටම අමතක කල ගැමි සිරිය, මනුස්සකම්, චාරිත්‍ර, අප්‍රේල් මාසයේ එක්වරම මකුළු දැල් කඩා අටුවෙන් බෑම හිතට ඇතිකරන්නේ අපහසුතාවයක්ම මිස අවුරුදු ප්‍රීතියක්නම් නොවේ. ඉතින් ඒ අවුරුද්දෙන් මට කම් නැත. බොරුවට රඟනු දැකීම සිත තුල අපුලක් ඇතිකරයි.
අවුරුදු දා අවුරුදු ප්‍රීතිය නැතිවීමට හේතු වන කරුණු කාරනා මෙන්න මෙය යැයි පැවසීමට තරම් ලඝු කොට දැක්විය නොහැක. සීමා සහිත කාලයක් තුල අසීමිත ඉලක්කයන් හඹාගෙන යන සමාජයකින් එවන් දේවල් ක්‍රමක්‍රමයෙන් මඟහැරීයාම සම්භන්ධයෙන් කිසිවෙකුට වෙන් කොට ඇඟිල්ල දිගුකොට චෝදනා කල නොහැක. සියල්ලෝම දැන හෝ නොදැන එම පෙරළියට වක්‍රව දායක වී ඇත.
මෝතා ජෙලි, ලිප්ටන් ලාඕජී, නෙස්ටමෝල්ට්, මන්චී, වෙලඳනාම උරමත දරාගත් උත්සව වල තවත් එක් වෙළඳාමක් මිස අළුත් අවුරුදු සිරියක් නැත. එදිනට අන් දිනයන්හි සරම කරමතක් උස්සා දේශීයත්වය, වෙලඳ මාෆියාව, ස්වයංපෝශිත ආර්ථිකය, අඩි හයේ යෝදයා තනන මැල්ලුම් මුට්ටිය පිළිබඳව නන්ඩොඩවන දේශීය ච්න්තනය නෙස්ටමෝල්ට් කෝප්පයක් අතැතිව කුඩා කල ගමේ අවුරුදු කාලයේ කල කෙළි වැමෑරීම හා අද එවන් පසුබිමක් නැතැයිද ඊට වගකිවයුතුයැයිද කියමින් වර්ථමානිකයන්ට දෙස් දෙවොල් තැබීම බඩ දඟලවන සුළුය.
එමෙන්ම මාධ්‍ය ආයතන ප්‍රමුඛත්වය ගෙන ක්‍රියාත්මක කරනා අසංස්කෘතික දෑ පිළිබඳ විචාර හා විවේචනයන් වලට ඒ ආයතයන්හිම වේදිකාවක් ඇතිකිරීමෙන් රවටන්න හදන්නේ කාවද?


අලුත් ප්‍රතිචාර