
පුතේ අද හවහට පන්සල් යංද ? ආච්චි ඩිංගක් විතර හයියෙන් ඇහැව්ව.
කෝංගල පන්සලේ මහෝපාසිකාවෝ, නාදුගල හාමිනේ අපේ ආච්චි වෙච්චිකොට එයැයිට පන්සල් යන්න පෝයක් එන්න ඔනෙයි. හිතිච්ච හිතිච්ච වෙලාවට එයැයිට පන්සල් යන්න කාගෙන් බාදාවක් කියලැයි.
සුදු රෙද්දයි හැට්ටෙයි ඇඳල හරිම සිරියාවයි. ඒ ගොඩක් වෙලාවට උන්දැ පන්සල් යන්නෙ මොකක් හරි දායක සබාවෙ වැඩකට හරි කටිනයක් ලඟ නම් ඒකෙ වැඩ වලට, එහමත් නැත්නං පොඩි හාමුදුරුවො මොකක් හරි ලෙඩක් දාගත්තම වගේ දෙයකට තමයි. අපේ ආච්චි ගමටම අම්ම හන්ද ආයෙ ඒක පන්සලේ පොඩි හාමුදුරුවොන්ටත් ඒක එහෙම්මමයි.
උන්දැ ගෙදරින් තනියම ගියාට පන්සල කිට්‍ටුවෙනකොට උන්දැත් එක්ක තවත් හතර පස්දෙනෙක් වත් අඩුම ගානෙ ඉන්නව. සාමිලාවත්තෙ බේබි ආච්චි, කෝංගාහේනෙ නැන්දම්ම, හින්නි මාමලහ නැන්ද, නීයවත්තෙ ආච්චි ගොඩක් වෙලාවට වරදින්නෙ නෑ
ඒත් ඉතිං අද මටත් අඬගහන්නෙ අද පෝය හන්ද නෙව.
ආච්චි වාඩි වෙලා උන්න වැල් පුටුව ලඟ බිම වාඩි වෙලා උන්දැ කුරුටු ගාල බුලත් වට්ටියට දාන පුවක් ගනංකර කර උන්න මට ඔච්චර හයියෙන් පන්සල් යන්න අඬගහන්න ඕනෙයි. හෙමීට කිව්වනං මට ඇහෙනව නෙව.
කලිසම පුරාම වැටිල තිබුන පුවක් කුරුටු ටික බිමට අත්දෙක තියල නැඟිටන ගමන් එහෙම්මම හැලෙන්න ඇරිය, ඒත් නරක වෙලාවට ඒක වැටුනෙ බුලත් වට්ටියට.
ඔය මොකෝ කලේ…..?
මං මුකුත්ම නොකියා මිදුලට බැස්ස.
ඒ සැරේ කොහේ යනවද, නිකං ඇවිදින්නෙ නැතුව අන්න අර වට්ටිය අරං මල් ඩිංගිත්තක් කැඩුවනං
හාපෝ ඔන්න තවත් මං එපා කරපු රාජකාරියක්, ඔය නන්නං ගහට උඩැහින් තියෙන වතුසුද්ද පඳුරු තුනේ දවල් වරුවෙත් මදුරුවො පිරිල. උන් තලන්නයි මල් කඩන්නයි ගියාම එපාවෙනව.
මට බෑ සුදු මල් කඩන්න, එව්වැයි හරියට මදුරුවො, ඕන්නං නීයවත්තෙ ආච්චලැහින් කඩං එන්නං රුකත්තන.
මං එහෙම කිව්වෙ නීයවත්තෙ ආච්චිලැයි අහ තියෙන උගුරැස්ස ගහ මතක් වෙලා.
ඊයෙ හැන්දෑවෙ තිලේඅම්ම එක්ක ඇඟ හෝදන්න ලිඳට ගියාම දැක්ක දම් පාට ගෙඩි පුරෝදාල ගහ පුරාම. ඒත් ලිං බක්කියෙ මාළු අල්ලන්න තිවුන හන්ද උගුරැස්ස කන වැඩේ අදට තියාගත්ත. උගුරැස්සනං කොයිවෙලාවෙ කන්න බැරිය.
ඒත් මෙහෙම මාළු අල්ලන්න ඇහැක්කෙ තිලේඅම්මයි චූටිඅම්මයි එක්ක විතරයි, ආච්චි උන්නන්නං ඇස් ගෙඩි දෙක නළලෙ තියං කෑගහනවනෙ. ඒත් ඉතිං අද උදේ ඉඳං හීං මාම පස්සෙ ගියහන්ද පුවක් වලු බානව බලන්න උගුරැස්ස අමතකම වෙලා ගියා.
නෑ නෑ. මේ හැන්දෑවෙ උගුරැස්ස කන්න නාකයි. තනියෙං බැරිනං කාන්තිඅම්මත් එක්කං යන්න. වතුසුද්ද හොඳටෝම ඇති රුකත්තන නැතුවට.
යකඩෝ.. ආච්චි දන්නෙ කොහොමයි උගුරැස්ස කතාව. කවුද එයැයිට කේලම කිව්වෙ? ඊට ඩිංගක් එහායින් පාන්තිර අඹර අඹර උන්න චූටිඅම්ම උඩ බලං හිනාවක් තද කරන් ඉන්නව. එයැයි මොකෝ හිනාවෙන්නෙ? එයැයිට විකාර.
මං කාන්ති අම්මත් එක්ක මල් කඩං එනකොට කට්ටියම ලෑස්ති වෙලා. තිලේඅම්ම ඉතිං ලෑස්තිවෙන්නෙ මං ලෑස්තිකරල අහවර වෙලානෙ. අන්තිමටම අපි දෙන්නත් ලෑස්තිවෙලා කට්ටියම එලියට බැස්ස පන්සල් යන්න.
බි ආච්චිලයි වත්ත උඩින් යන්න බෑ, කරාබුගස් මණ්ඩියෙ තියෙන ඇපල පැටලෙනව නෙව ආච්චිගෙයි, පුංචිඅම්මලගෙයි චීත්තවලයි ගවුං වලයි. වෙනද චූටිඅම්ම ගවුම දනක් උසට උස්සං ඇපල පඳුරු අස්සෙන් අපූරුවට ගියාට අද ආච්චි ඉන්න හන්ද එයත් මීය වගේ.
මිදුලෙ ඉඳං මහපාරට තියෙන පොඩි කන්ද නැඟල පාරට ආව විතරයි මෙන්න බේබි ආච්චිත් රැකල ඉන්නව අපි එනකං පන්සල් යන්න.
නාදුගොල හාමිනේ පන්සල් යනවයි, මාත් මේ යන්නෙයි කියල…..
එහම කියාගෙන එයැයිතුත් වල්ගෙ වගේ පස්සෙන් එනව. මං වැඩිය එයැයි එනවට ආස නෑ. මහ විකාර දේවල් අහන්නෙ.
රුප්පෙ පුතේ තාත්ත එනවැයි කිව්වෙ කවද්ද,
අම්ම ආවෙ නැතෙයි ලඟදි,
තිලේහාමිනේ අන්න ඔහෙලැයි එළදෙන්නුටික තැන්නෙ කෑල්ලෙ වෙලේ ඉන්නො දැක්ක,
ඒ මොනවත් නැත්නං චූටිහාමිනේයි අද ඉව්වෙ හරිම පුසුඹක් නෙව ආවෙ කියල හරි කියයි. මට පේන්න බෑ ඔය හන්ද එයැයි. අනුංගෙ ඒවමයි හොයන්නෙ.
ඔන්න දැං පංසලට හැරෙන පාර, ඔතන ඉඳං තමයි මං ආසම දේවල් තියෙන්නෙ. ඉස්සෙල්ලම තියෙන්නෙ හොර ගහෙන් වැටිච්ච හොරකුරුල්ලො අහුලන එක. උන් අහුලල හයියෙන් උඩ වීසිකලාම ආයෙම කැරකි කැරකි බිමට පාත්වෙනව. සාක්කුවෙ දෙකකට වඩා දාගන්න බෑ, වැඩිය දාගත්තොත් තටු දෙක කැඩිල පාවෙන්නෙ නැති වෙනව, ඒක හන්ද ගහ යට තනකොළ අස්සෙ හංගනව එනකොට අරගන්න.
ඊලඟට යක්මල් පඳුරු ගාල. ඒවත් හරි ජාති. යක් මල් දෙකක් දණ්ඩ පිටින්ම කඩල කට දෙපැත්තෙ ගහගත්තම දෙකොන විලක්කුව ගහගත්තු යකා වගේ නටන්න ඇහැකි, ඒත් ඉතිං මේ පන්සල් යනගමන හන්ද ඒ නාඩගං කරන්න ආච්චිගෙන් ඉඩක් නෑ.
ඊටත් පස්සෙ රිලා වලිග ගස් ටික. පන්සල් ගියත් ඒ රතුපාට රිලා වලිගයක් කඩල අරං පස්සපැත්තෙන් කලිසමට යටකරගන්නනං මට ඕනමයි. එතකොට පස්ස වනන වනන සැරේට වලිගෙත් වැනෙනව. ඊට පස්සෙ හැමෝම පහුකරන් මං ඉස්සරවෙලා දුවනව පන්සල දිහාවට. කොච්චර හයියෙන් දිව්වත් තිලේඅම්ම මගෙ පිටිපස්සෙන් එලවගෙන ඇවිත් අර රිලා වල්ගෙ ඇදල ගලවල දානව පංසල කිට්‍ටු වෙනකොටම.
ඔන්න පන්සලේ මායිමට ආවමනං මං සංසුං. නැත්නං ඉතිං ගෙදර යනගමන් මඟ දිගට ආච්චිගෙන් බණ අගන්න වෙනවනෙ. බිම බලාහෙන වැලි පොළොවෙ පතුල් ඇන ඇන හරිම හෙමින් තමයි මං යන්නෙ. ඒත් ඉතිං වැඩි වෙලාවකට නෙමෙයි. හේවිසි සද්දෙ ඇහෙනකොට ආයෙමත් මට අර සිල් අමතකයි, ඔන්න දුවනව හේවිසි ගෙට.
බණ්ඩ මාමෙ, මටත් දෙනවැයි ඕක ඩිංගක් ගහන්න ? ඇඩ්ඩිං මාමෙ අනේ මටත් දෙන්නකො ඕක පිඹින්න, අනේ අර තම්මැට්ටම මට දෙනවැයි ගෙනියන්න, අර පැලිච්ච එක මං හදාගන්නං. හාමුදුරුවොන්ගෙන් අහන්නෙයි ගන්නදැයි කියල?
ඔන්න ඔහොම එක විකාරයයි පන්සලේ හේවිසි ගේ ඇතුලෙ. ඔය කෙලිය බේරගන්න බැරිහන්දම මට තිලේඅම්ම පස්සෙ කාලෙක ගෙනැත් දුන්න පුංචි දවුල් පොඩ්ඩක්.
පුතේ දැං ඔය ඇති, අපි යං අන්න බුද්ධපූජාව පටං අරං ආච්චි කතාකරනව කියල චූටිඅම්ම මගේ අතිං ඇදං යනව විහාර ගේ පැත්තට.
මෙන්න සේරමල පෝලිං හැදිල මල් අතගහන්න. මාත් රිංග ගත්ත ආච්චියි තිලේඅම්මයි අස්සට. මං කොට හන්ද තිලේඅම්මට හැමතිස්සෙම පාත් වෙන්න වෙනව මට මල් අතගස්සන්න. එහෙම කලත් මගේ අතට මල්වට්ටි හඳුන්කූරු පෝච්චි දෙන්නෙම නෑ.
තිලේඅම්මෙ…..
මොකෝ දරුවො කෑ හගන්නෙ. බුද්ධපූජාව වෙලාවටවත් කටකමිසිරියාවක් නෑනෙ. කටපියන් මල්වලට අතගහන්න. මටත් වැඩිය හයියෙන් ආච්චි මට දෝස්මුරේ දානව මෙන්න.
ඒපාර මං හීන් සීරුවෙ තිලේඅම්ම ආයෙමත් මල් අතගස්සන්න පාත්වෙනකං ඉඳල
තිලේඅම්මෙ….
ම්…..
මේ…… අර මොකෝ අර ඉස්සරහ ඉන්න ආච්චි දත් වවල තියෙන්නෙ, හරිම කැතයිනෙ,
එයැයිට ඒක හන්ද හරියට සාදු සාදු සා.. කියන්නත් බෑ. එයැයි කියන්නෙම සාස් සාස් සාස් සා… කියලෙ නෙ.
මෝඩය ! කියල මෙන්න මගේ උරේ කොනිත්තල තිලේඅම්ම කට තදකරන් උරිස් හොල්ලනව. මොකෝ මෙයැයි මේ හිනාවෙන්නෙ. දැං ආච්චිගෙන් කන්න තමයි හදන්නෙ.
ආච්චි රවනව හිටු කියල මට, ඇයි යකඩෝ මං මක්ක කොලාටෙයි මේ.
ඔයින් මෙයින් පූජාවත් අහවර වෙලා බණක් එහෙම අහල කට්ටියම ආපහු එන්න පාරට බැස්ස. ගියේ අපි ටිකදෙනා උනාට මෙන්න ආපහු එනෙකොට වැල වගේ කට්ටිය. එතකොටනං යනකොට තිබිච්ච හදිස්සිය නෑ ආච්චිගෙ, පිටිපස්සෙන් එන කට්ටියත් එක්ක කදේ දාගෙන හෙමින් හෙමින් මහපාරට එන කන්ද නඟිනව.
මටත් දැං හොඳටම අමාරුයි, ඒ මදිවට නිදිමතයි සෑහෙන්න. ඉස්සරහට යැවෙන්නෙම නෑ වගේ. තිලේඅම්මෙ අනේ මාව වඩාගන්නකෝ, අනේ මගෙ කකුල් දෙකම නෑ අනේ. මගෙ නාහෙන් ඇඬිල්ල වැඩිවෙනකොට ඔන්න මාව උස්සල ගන්නව කරට, කකුල්දෙක බෙල්ල දෙපැත්තෙන් ඉස්සරහට දාං තිලේඅම්මගෙ නළල බදාගෙන මෙන්න මෙහෙම කිය කිය මං ගෙදර එනව.
කකුල රිදෙන නිසා නොවෙද පැටිය අඬන්නේ
උඩින් යන්න හැකි හින්දයි දැන් හිනැහෙන්නේ
ප/ලි: ඔය කවිය තිබුනෙ ඒ කාලෙ පුංචිඅම්මල මට කියවල දීපු පින්තූර පොතක තිබුන කතාවක. ඒකෙ ඉත්තෑ අම්මගෙ පිට උඩ යන ඉත්තෑ පැටියෙක්ද කොහේද ඔය කවිය කියන්නෙ.
ප/ප/ලි : තවමත් ගමේ ගියාම තිලේඅම්ම ඉස්සර වෙච්ච අකරතැබ්බ එක්ක ඔය දත් වවපු ආච්චිගෙ කතාවත් කියන්න අමතක කරන්නෙ නෑ
බෙදා හදා ගන්න කැමතිනම් ඔන්න
Like this:
Be the first to like this post.
අලුත් ප්‍රතිචාර