සියඹලාපිටියේ භූතයා

පහුගිය දොහක ගියා ගමෙන් පිට පොඩි ගමනක් කෑගල්ලෙ සියඹලාපිටිය දිහාවෙ. එහේ නෙව අපේ ගුරු පුංචි ඉන්නෙ. හරිම අපූරු ගම. වෙල මැද්දෙන් හැතැප්ම බාගයක් විතර වංගු වංගු පාරකින් ගියාම තමයි ගෙවල් මණ්ඩිය තියෙන්නෙ.

ඔය පල්ලෙහා තියෙන්නෙ ඒ වෙල් යාය මැදින් යනකොට දැක්ක භූතයා

[ලොකුකරන්න ඕන නම් පින්තූරෙ උඩ ක්ලික් කරන්න]

භූතයට කියල වී ලාහක කුඹුරුකෑල්ලක් කප්පවාගන්න යන්නෙ රුපියල් හත්සීය පනහයි

අත්තං දීල කුලී කරයො දාල දැං කාලෙ පිරිමහන්න බෑලු. ඔය කුඹුරු කෑල්ලෙ වී ලාස් දෙකක් විතර තිබිල තියෙන්නෙ.  භූතය ඉල්ලල තියෙන්නෙ රුපියල් එක්දාස් පන්සීයයි.

ඒ රුපියල් එක්දාස්පන්සීයට,

ගොයං කපල,
පාගල [ගොයමෙන් වී ඇට වෙන් කරල]
හුලං කරල [කා‍ටුව, පිදුරු, බොල් අයින්කරල]
ගෝනි වලටත් දාලම දෙනව.
වැඩේට යන්නෙ විනාඩි විස්සකටත් අඩුවෙන්.

කුලියට කැප්පෙව්වනං වරුවක්ම යනව කපන්න.
ඊලඟට කමතෙ ගොයංකොලේ ගහන්න ඕන,
ඊටපස්සෙ ගොයං පාගන්න ඕන [හරක් දාල එහෙම නැත්නං ගොයං පාගන මැසිමෙන්]
ඊලඟට ෆෑන් දාල හුලං කරන්න ඕන,
ඊට පස්සෙ වී මළුවලට දාන්න ඕන.
ඔය අතරෙ වැස්සොත් එහෙම තෙත ගොයම වේලෙනකන් ඉන්න ඕන පාගන්න එහෙම නැත්නං හුලං කරන්න.

හප්පේ වැඩ කෝටියයි !!

ඒ විතරක්නං මදෑ කුලිය දීල මදිපාඩුවට කසිප්පු දෙන්නත් එපැයි. ඒක නෙව කොරල පිරිමහන්න බැරි.

භූතයට ඔය මුකුත්ම නෑ, ආව, කැපුව, ගෝණියටම පැටෙව්ව ගාන ගත්ත ගියා….

ඔයිට වැඩිය ලොකු එකෙක් ඉන්නව අම්පාර අක්කරෙයිපත්තු දිහාවෙ මහා කුඹුරු යායවල් ඔල, ඒකට කියන්නෙ “සුනාමි” කියල. එදාවේල හම්බකරන් කන කුලීයට ගොයං කපන මිනිස්සුන්ටනං මේ ජාතියෙ හාවස්ටර්ස් “භූතයො”, “සුනාමි” ආව වගේ තමා]

ප.ලි :

ලාස් අටක් බුසල් එකයි ලොකු ගෝණියක බුසල් එකහමාරයි ලු.

එතකොට කුරුණි ? [දන්න කවුරුහරි ඔය සූත්තරේ කිව්වනම්]

එබුවෙ ගේ කතා – ඉකිරියා


ඔන්න තවත් දවසක් එබුවෙට ඕන උනා මූදේ නාන්න යන්න. මුගෙ මේ වැඩ වලට ඉතිං කවදත් අහුවෙන අපි හතර පස්දෙනා තමයි. මූදෙ නාන්න කිව්වම ඉතිං ගාල්ලෙ කොච්චර තැන් තියනවද.

ඕං ඉතිං පටං ගත්ත ජනමත විචාරණයක් නාන තැන තීරණය කරන්න.

ඒ මචං අපි යමං උණව‍ටුනෙ.

හපෝ බෑ බං ඔතන බිලිගන්නව. ඩිංගක් වතුරෙ එහාට ගියොත් බඩු හරි. එබුවෙ කියාපි !

එහෙනං යමං රූමස්සල.

පිස්සු කතා කරනවද බං, ඔය කැලේ යන්න බෑ මචං. අනික ඔතන වැල්ලෙ කපල්ස් පිරිල. එතෙන්ට ගියොත් නාන්න වෙන්නෙ නෑ. ඒත් එබුවෙ.

එහෙමං ඉතිං යමල්ල කො‍ටුවෙ සී බාත්.

අඩෝ…. අපේ මාම කච්චේරියෙනෙ බං. පොර දැක්කොත් අනිවා ගෙදරට කියනව. ඒපාර ඔබ්ජෙක්ෂන් එකත් එබුවෙ ගෙන්.

මේ… ! දැං නාන්න ඕනෙයි කිව්වෙත් බොට, ඒ එකෙ තැනකටවත් යන්න බෑ කියන්නෙත් උඹමයි. යන්න බැරිනං නිකා හි‍ටු.

අඩෝ අඩෝ එහෙම කරන්න එපා….. එහෙනං යමං සී බාත්, හැබැයි අළුත් කො‍ටු දොරකඩිං යමල්ල හරිය ?

හරි හරි ඕන උලව්වකින් යමල්ලකො කියල අපිත් දැං ඔන්න දා ගත්තු දවසෙ ආෆ්ටර් ස්කූල් කියල ගෙවල් වලටත් කෙප්පයක් කියල ඉස්කෝලෙ ඇරිල ඇඳුනුත් මාරු කරං හීන් සැරේ ගියා සී බාත්.

අප්පට සිරි ගියාට පස්සෙයි මතක් උනේ, ජොකා ඇරෙන්න වෙන ඇඳුමක් නෑ නෙව නාන්න. දෙනෝදාහක් ඉන්න තැනක ජොකා ඇඳං නාන්න.. අපෙ අප්පෝ ! ඊටත් ට්‍රිප් එකක් ආපු ගෑණු ඉස්කෝලයක් කො‍ටු තාප්පෙ උඩට එහාට මෙහාට ඇවිදිනව.

දැං මොකෝ කරන්නෙ. විනාඩි දහයක් බැලුව, පාලහක් බැලුව විස්සක්.. ම්හ්…  එකෙක්වත් හෙල්ලෙන පාටක් වත් නෑ.

ඕන පුකක් ! ජොකා පිටිං නාමු බං. ලැජ්ජාවක් තියනවනං උන් යන්නෙ නැතෑ.. එබුවෙ පෙරමුණ ගත්ත.

අපි එකා පිටිපස්සෙ එකා දැං බහිනව මූදට. එබුවෙ ඉස්සරහින්ම අපි ඌට පස්සෙන්. හරියට පැසන් සෝ එකක් වගේ.

හූ…… හිකි හිකි ෂ්…… හිකි හිකි…

මල හු*** අර කෙල්ලො අපිට හිනා වෙනව නේද ? පාත් වෙයල්ල යකුනේ වතුරට…. !!

එහෙම කියාපු අපේ වීර එබුවෙ දණක් විතර ගිලිල හිටපු වතුරෙ එකපාරටම වාඩි උනා ලැජ්ජාවෙන් බේරෙන්න.

වාඩි උන සුනංගුවට මෙන්න මූ බුදු අම්මෝ !!!!  කියාගෙන පස්ස පැත්ත අල්ලං නැඟිටපි !

ආයෙම

හූ…… හිකි හිකි ෂ්…… හිකි හිකි…

ඒ සද්දෙ ඇහිච්ච ගමං කෑගහං කෙලිං වෙච්ච එබුවෙ ආයෙම වතුරට පාත් උනා..

ඒ ගමන නැගිට්ටෙ &^$%;*#$##@!*$^&”:;)* %(#(@^)$ කියාගෙන.

නැගිට්ට ගමං දුවාපි වැල්ලෙ තියන ගස් ගොල්ලට.

ඔය ටික වෙන්න ගියේ නෑ එක තත්පර පහක්. කොටින්ම සිද්දිය වෙනකොට එකෙක්ගෙ වත් දණෙන් උඩට තෙමිල තිබුනෙ නෑ, ඒ මදිවට පෝලිමෙ අන්තිමට උන්න එකා තාම වතුර පාගලත් නෑ ඕං.

උනේ මොකක්ද කියල හිතාගන්න බැරිවෙච්ච අපි කට්ටියම එබුවෙ හොයාගෙන යනකොට මූ ඉන්නව ජොකාත් බාගෙට ගලෝගෙන නිකං මොනවද කාපු රිලව වගේ.

මොකෝ යකෝ තොට උනේ ?

අඩෝ කැ** ඉකිරියෙක් උඩ ද කොහෙද බං මං වාඩිවෙලා තියෙන්නෙ..

අනේ බලහල්ලකො මගෙ පුක තියනවද කියල ?

එබුවෙගෙ ඇඬිල්ලට අපේ උන්ට මැරෙන්න හිනා..

ඈ ඕයි පළවෙනි පාර වැරදිලැයි කියමු , මොන එහෙකටෙයි උඹ දෙවනි පාරත් ඌට පුක දෙන්න ගියේ ?

කවුද බං දෙවනිපාර දෙන්න ගියේ. දෙවෙනි පාර කෑගැස්සුනේ ලුණු වතුරට යකුනේ….

අනේ බං උඹවත් බලහංකො මේ හරක්ට තේරෙන්නෙ නෑ. උඹ ඉතිං සැං ජෝන් කරන එකානෙ. එබුවෙ මට කතාකරනව උගෙ හඩු පුක බලන්න…..

ෆස්ට්-ඒඩ් කලාට කොහෙද අපිට උගන්නල තියනවැයි ඉකිරියො ඇරපු උන්ට කොරන දේවල්.

ඒත් උගෙ වදේට ජොකා ගලෝල බැලින්නං ක‍ටු දෙකක් තට්ටමක් හිල් කරං ගිහිල්ල. තව ඩිංගක් හොඳින් බැලින්නං මේං කළුපාටට මොකක්ද එකක් ඇතුලෙ ‍රැඳිල.

මංචං එබුවෙ.. වැඩේ පොඩ්ඩක් සීරියස් වගේ !

අම්මට උඩු  …. ඒ කියන්නෙ මයෙ පුකට බඩුද?

මචං කට්ටක් හිරවෙලා ඇතුලෙ, ඉස්පිරිතාලෙ යන්න වෙයි වගේ……

අනේ බං ඉස්පිරිතාලෙ යන්නෙ කොහොමෙයි. ගෙදරට බඩු මාට්‍ටු වෙනවනෙ. ගොඩින් ශේප් කරන්න උඹට බැයිද?

පිස්සුද බං, අනික අහවල් දෙයක් දාලයි ඔය කට්ට ගන්නෙ අපි. බය නැතුව යමං ඉස්පිරිතාලෙ.

වේදනාව වැඩි කමටද කොගෙද අන්තිමට එබුවෙ කැමති උනා ඉස්පිරිතාලෙ යන්න. ඒත් මූ කොහොමෙයි බයිසිකලෙන් එක්කං යන්නෙ. මොකෝ වාඩිවෙන්න ඇහැක් එකක්ය.

අතේ තිබිච්ච සබ්බ සකලමනාවම එකතුකරල ත්‍රීවීල් එකක මුනිං අතට හාන්සි කරගෙන එක්කං ගියා කරාපිටියෙ මහ ඉස්පිරිතාලෙට.

ගිය ගමං මූ ඉමර්ජන්සි රූම් දාල පොඩි පහේ සර්ජරියකින් ක‍ටුව එලියට අරගෙන.

ඒත් දැං හැන්දෑ වෙලා හන්ද මූව ඩිස්චාජ් කරන්නෙ ආයෙ හෙට උදේ කියාපි.

දැං ඉතිං මොන දෙයියන්ට කියන්නද අපේ සෙන්ට් විජයසුන්දරට කියනව ඇරෙන්න.

එබුවෙ එපා කියද්දි ගත්ත කෝල් එකක් ඉස්පිරිතාලෙ කාසි පෙට්ටියෙන්, මොකෝ ඒකාලෙ අපිට හෑන්ඩ් ෆෝන් තිබුන එකක් යැ.

ඩිංග වෙලාවකින් උන්නැහෙත් ආපි. එබුවෙ ඒ වෙනකොට අමාරුවටත් එක්ක මුනිං අතට හැරිල නිදි.

පුතා පුතා…. ! මොකෝ කොල්ලො උනේ ?

නිදිමතේ වගේ ඔළුව විතරක් බාගෙට උස්සපු එබුවෙ කියාපි,

අනේ බලන්න තාත්තෙ බෙලිගහ හන්දියෙදි බයිසිකලෙන් ලිස්සල වැ‍ටුනනෙ මේ කොහෙද යන ඉකිරියෙක් උඩට.

ඈ… බෙලිගහ හන්දියෙ කොහෙද මිනිහො ඉකිරියො ?

ඒකනෙ තාත්තෙ කියන්නෙ. මගේම නරක වෙලාව. කොහෙන් ආවද මන්ද ඌ……

පිංතූරය ගත්තේ : http://tolweb.org/treehouses/?treehouse_id=4881

එබුවෙ ගේ කතා – අල්ලපු වත්තේ කුරුම්බා


මතකයි නේ ගිය සතියෙ අපි එබුවෙ ගෙ ගෙදර රෑ පාඩම් කරන්න නැවතිලා වෙච්ච දේවල්. තව ඩිංගෙන් උන්ගෙ අම්ම මහ රෑ කියල බලන්නෙ නැතුව අපි සේරෝම එලෝගන්නව.

දැං කතාව එතන ඉඳල….

ටොක් ටොක් ටොක්….

කවුරු හරි දොරට තට්‍ටුකරනව හීනෙං වගේ මට ඇහුන. ඇහැරිලා බැලින්නං වෙලාව එකොලහ හමාරයි. අනිත් එවුනුත් වැටිච්ච වැටිච්ච තැන්වල පොත් බදාගෙන කිරනව.

ඒයි නැගිටපල්ල බං, කවුද දොරට ගහනව ඇහෙන්නෙ නැද්ද. මං පයිං ඇනල එබුවෙ ඇහැරෙව්ව.

කවුද බං මේ මහ රෑ.. මළ කරදරේ…. කියාගෙන ඌ ගිහිල්ල දොර ඇරිය.

මොකද ඕයි ?

බාගෙට ඇරපු දොර පියනෙන් ඔළුව දාපු මිනිහ කාටද බනිනව.

එක පාරටම ඌව ආපස්සට තල්ලු උනා. ඊට පස්සෙ උණුවතුර බෝතලයක් දොර රෙද්ද අස්සෙන්.

ගන්නව මේක.

ආ මේකත් ගන්නව. තව ප්ලාස්ටික් කෝප්ප ටිකකුත් ඊලඟට දොර රෙද්ද අස්සෙන්.

මේක බීල ආයෙම කට්ටියත් එක්කම නිදාගන්නව. මෝඩයො !

එහෙම කියල එබුවෙගෙ අක්ක අපිටත් ගස්සං ගියා.

ගොයං කයියට ගියපු එවුන් වගේ අපි තේත් එහෙම බීල අහවර කරල ආයෙම පොතක් අතට ගත්ත ඊලඟ නිදිවඩිය එනකන්.

ගානක් දෙක් හදල, නොතේරෙන එවුන්ට තේරුනුත් කරල දීල තව පැයක් හමාරක් කරදරයක් නැතුව අපි උන්න.

මචං….

එබුවෙ මහ හයියෙන් කට ඇරිය.

මේ මචං, ඕනෙ මඟුලක් කියහං අම්මයි තාත්තයි ඇහැරවන්නෙ නැතුව. එහෙම උනොත් මේ මහ රෑ අපි කොහේ කියල යන්නෙයි. එබුවෙගෙ කටේ සද්දෙට බයවෙච්ච අනුෂ්කය කිව්ව.

බය වෙන්න එපා බං. දැං දොලහත් පහුවෙලා. ඒ දෙන්න නැගිටින්නෙ නෑ ආයෙ එලි වෙනකං.

යමංද කුරුම්බයක් බොන්න ?

අම්මප මේක හරක උනාට ඌටත් ඉඳල හිටල අපූරු දේවල් කල්පනාවට එන්නෙ. දොරකඩ කුන්දිරා ගස් දෙකේ වලු පිරිල තිබිච්ච හැටි අපි හවහ බලාගෙන උන්නෙ.

අඩේ නියම අයිඩියා එක. අර මිදුලෙ තියන කුන්දිරා නම් නියමෙට ඇති බං.

මොන කුන්දිරාද බං. ඕව කඩල තාත්තගෙන් හෙට උදේට ගුටි තමයි බොලාටයි මටයි.

එහෙනං කොහෙන්ද බං කුරුම්බා බොන්න යන්නෙ?

යමංකො කියන්න. අර උඩහ තියනව තව ගස් වගයක්.

අපි කට්ටියම හිමිහිට දොර ඇරගෙන මිදුලට බැස්ස. එබුවෙ කුස්සියෙන් මන්න පිහියත් අරං ආව.

හරි, දැං කට්ටියම මගේ පස්සෙන් සද්ද නොකර වරෙල්ල. කියල මිනිහ ඉස්සර උනා. අපි කට්ටියම දැං උගෙ පස්සෙන් ගෙයි කුස්සිය පැත්තෙ තියන සියඹලා ගහ ගාවින් තියන පස් කණ්ඩියත් නැඟල තනකොල බිස්සක් දිගේ ඇවිදං යනව.

ලාවට තියෙන හඳ එලියෙන් පේනව මහ විසාල පොල් වත්තක්.

මචං එබුවෙ, උඹලට පොල් වත්තක් තියනව කියල අපි දැනං උන්නෙ නෑ නෙ බං. උඹල හෙන සල්ලිකාරයො නේ.

කවුද කිව්වෙ මේක අපේ කියල. මේක අපේ නෙමෙයි බං අල්ලපු ගෙදර උන්ගෙ.

යකෝ… උඹ මාර බඩුවක්නෙ. ‍තෝ අපිව එක්කන් ආවෙ හොර කුරුම්බ කඩන්නද අච්චර හොඳ කුදිරා ගස් දෙක අතෑරල.

මං කිව්වනෙ බං බය වෙන්න දෙයක් නෑ කියල. අනික දොරකඩ ගහේ කුරුම්බ බිව්වනං තාත්තට අහුවෙනව බං.

මෙන්න මේ පිහිය අල්ලගනිං මං ගහට නඟින කං.

එහෙම කියල එබුවෙ සුරුස් ගාල නැග්ග. වලල්ලක්වත් නැතුව මිනිහ විනාඩියට කරටියෙ.

දග්…… දග්…. දග්… දග්…..

ඌ වගේ වගක් නැතුව කුරුම්බා කඩනව. අනුංගෙ නෙ. ඉතිං කොයින්ද අගයක්.

රෝල් වෙලා ගිහිල්ල අගල් වල වැටිල තිබිච්ච ගෙඩි ටික අහුලගෙන ගහක් මුලට වෙලා කපං බීල පලං ලොඳත් කෑව.

මංචං මේ කෝම්බ දාන්නෙ කොහාටෙයි?

ඔන්න ඔතන පොල් අගලට දාපං බං.

පිස්සුද බං, හෙට උදේට වත්ත අයිතිකාරයොන්ට අහු වෙයිනෙ.

අහුවෙන්න උන් මෙහේ ඉන්න එපැයි බං. උන් ඉන්නෙ මා ගාල්ලෙ. ආයෙම ඊලඟ පොල් මුරේට මිසක් ඊට මෙහා එන්නෙ නෑ. බය නැතුව ඔන ඔහේ දමල යමල්ල.

කුරුම්බා කෝම්බත් ගහ මුලම දාල ආපු අපි ආයෙම කාමරේට වෙලා සනීපෙට නිදාගත්ත.

හෙහ් හෙහ්… හොහ් හොහ් හා….

හිහ්…. හිහ්.. හී හී…..

මහා හිනා සැද්දෙකින් අපි කට්ටියම ඇහැරුනා. මේ එලිවෙන පාන්දර කවුද බොලේ මේ…

ඇහෙන්නෙ කුස්සිය පැත්තෙන්. අපි කට්ටියම විගහට ගියා බලන්න මෙච්චර හිනාවක් මොකද කියල.

අපි යනකොට එබුවෙගෙ තාත්තයි අක්කයි වත්ත උඩහට වෙලා හිනාවෙනව.

මොකෝ අංකල් මේ?

හා මේ ඇවිල්ල ඉන්නෙ කුරුම්බා හොරු. ඇයි මනුස්සයො මං කිව්වෙ ඕනෙ නං අර ඉස්සරහ කුන්දිරා පැලෙන් බොන්නෙයි කියල. මොන එහෙකටෙයි මේ නැඩ ගස් බඩගෑවෙ.

බඩු හරි. එබුවෙගෙ තාත්තට අතේ කෝට් ඊයෙ රෑ හොරකම. ඒත් ඉතිං මොකක්ද අර කුන්දිරා බොන්නෙයි කියාපු කතාව…..

අපි සේරම එබුවෙ දිහාට හැරුන.

හරි හරි මචං, උඹල අප්සැට් වෙන්න එපා. ඒ බීපුවත් අපේ තමා කියල.

මොකක්.. ?

එතකොට මොන උලව්වකටද බං අර නිදි කුම්බා ගාලෙ, අගල් වල වැටි වැටි මහ රෑ අපි එක්කගෙන ගියේ.

එතකොට එබුවෙ අහපි

හා දැං උඹලම කියාපං ගෙදර දොරකඩ කුන්දිරා බොන එකද එහෙමත් නැත්නං අල්ලපු වත්තෙ හොර කුරුම්බා බොන එකද වැඩිය ආතල් කියල ?

උපන්දින කේක් ගෙඩියේ විගඩම

ඇන්ටී අනේ තව කට්ලස් එකක්…..

ජංගියකුයි කර හොඳටම ඇදිච්ච බැනියමකුයි ඇඳපු පොඩි එකෙක් අම්මගෙ සායෙ එල්ලිලා.

ඇන්ටී පපඩං තියෙයි ? තා පරිප්පු ඩිංගක්….. අනේ මට මාළු කෑල්ලක්….

ඔය වගේ දේවල් අඩු වැඩි විදියට හැම අවුරුද්දකම ඇහෙන්න මගෙ උපන්දිනේ දවසෙ හැන්දෑවට ගාල්ලෙ ගුණරතන ළමා නිවාසෙදි.

උපන්දිනේකට කිසිම දවසක පාටි දාන්න පුරුද්දක් නොතිබිච්ච අම්මයි තාත්තයි මගෙ එකම එක උපන්දිනයකටවත් කේක් ගෙඩියක් කැපුවෙ නෑ. පන්තියෙ අනිත් ළමයි තම තමන්ගෙ උපන්දිනේ දවසෙ පන්තියටම කේක් ගේනකොට මං මගෙ උපන්දිනේ දවසෙ හිස් අතින් ඉස්කෝලෙ යන්නෙ කිසිම දුකකින් නෙවෙයි. ඊට පස්සෙ එළඹෙන හැන්දෑව ගැන මතක්වෙලා හිත පිරිච්ච සන්තෝසයකින්.

එදාට මම ඉස්කෝලෙ ඇරිල ගෙදර යනකොට අහල පහල ගෙවල්වල කීපදෙනෙක් එක්ක අපේ අම්ම රාජකාරි පටන් අරගෙන, මුළු කුස්සියම පුසුඹයි.

හැන්දෑවෙ පහට විතර පටන් ගන්න කෑම පාර්සල් බැඳිල්ල තුන් හතරදෙනෙකුගෙ උදව්වෙන් හවස හය විතර වෙනකොට යාන්තං අහවරයි. ඊට පස්සෙ කුස්සියෙ පෝරණුවට උඩින් තියන කොන්ක්‍රීට් කෑල්ලෙන් බාල සෝදල වේලෙන්න තියාපු ප්ලාස්ටික් භාජන වලට ආයෙම අඩුපාඩු බෙදන්න කියල එළවළු, මාළු, පපඩම්, කට්ලට් මහ ගොඩක් පුරෝගන්නව. ඕං එතනින් කුස්සියෙ රාජකාරි අහවරයි.

ඊට පස්සෙ තාත්ත හීන් සැරේ පරණ වැගන් කාර් එකට පෙට්ටිවල අඩුක් කරාපු කෑම පාර්සල්, ප්ලාස්ටික් බකට් එහෙම පටවගන්නව. මමයි කියල මහ වැඩක් නොකලත් හැම එකකටම සම්මාදං වෙන්නෙ හරිම සන්තෝසෙන්.

හැන්දෑවෙ හය හමාරට විතර අපි ඔන්න ළමා නිවාසෙට යනව. අපි යනකොට පුංචි පුංචි කොළුපැටව් තාප්පෙ ගාව ඉඳලම පෝලිං ගැහිල ඉන්නව හරිම සන්තෝස මූණු වලින්. වාහනේ උන් ටිකව පහුහරන් ඉස්සරහටම යනකොට එක පෝලිමට දුවගෙන එනව. ඊට පස්සෙ වාහනන් බාන කෑම ඔක්කෝම එයාල කෑම කන ශාලාවට අරගෙන යන්නත් උදව් වෙනව.

ඊට පස්සෙ අපිත් එක්කම ඒ පොඩි උන් රොත්ත එනව බුදුන් වඳින්න. උන් මහා හයියෙන් ගාථා කියනව අපි කියනවටත් වඩා හයියෙන්. ඊලඟට විනාඩි දෙකක් භාවනා කරන්න ඕනෙ. විහාරගෙයි මල් මල් ටයිල් උඩ එරමිනිය ගොතාගෙන වාඩිවෙන පොඩි උන්ට ඒ විනාඩි දෙක කල්පයක් වගේ. දාන ශාලාවෙ ඉඳල හුලඟ එක්කං එන පුසුඹ උන්ගෙ නැහැයවල් කොණිති ගහනව ඇති. බැරිම උනාම එකෙක් දෙන්නෙක් හොරාට ඇහැක් විතරක් ඇරලත් බලනව.

ඊටපස්සෙ හැමෝම යනව දාන ශාලාවට. අපිටත් කලිං දුවල ගියපු කොලු පැටව් ටික අපි එතනට යනකොට පිඟන් කෝප්ප එහෙම අරගෙන වාඩිවෙලා දිලිසෙන ඇස්වලින් බලාගෙන ඉන්නව. උන්ට හරිම සන්තෝසයි. හිනා කටවල් ගොඩයි.

කෑම කාල බඩ පිරිච්ච සන්තෝසෙට ඒ පුංචි එවුන් ඊටපස්සෙ අපිට අහං ඉන්න සින්දු කියනව. ඒක හරිම ලස්සන, සංවේදී මොහොතක්.

මුලින්ම පොඩි උන් ටික කෑම කාපු ලොකු මේස බිත්තිය අයිනෙ එක පිට එක ගොඩගහනව වාඩෙවෙලා උන්න බංකු එහෙම්මම තියෙන්න ඇරල. ඊට පස්සෙ වාඩිවෙන බංකු එකකට එකක් හේත්තුවෙන විදියට ලොකු රවුමක් හැදෙන විදියට තියල රවුමෙ ඇතුල් පැත්තට කකුල් දාල හැමෝම වාඩිවෙනව. අපිත් ඒ අය අතරෙන් වාඩි උනාම රවුම ගානට හිර වෙලා.

ඊට පස්සෙ සින්දු කියන්න පුළුවන් පොඩිඋන් ඒ රවුමෙ මැදට ගිහිල්ල සින්දු කියනව, නටන්න පුළුවන් කොලු පැටව් නටනව. හරිම අපූරුයි. ඒත් පපුව කඩාවැටෙන තරං දුකයි. උන් එකෙක්වත් අඬන්නෙ නෑ. ඒත් උන් අසරණයි. ඒ අසරණ කම හංගං සින්දු කියල, නටල අත්පුඩි හගනකොට උන් තරමට අසරණ නැති අපි කිසිම කෙනෙක්ට නාඬා ඉන්න බෑ.

මට අද වගේ මතකයි එක කොලු පැටියෙක් වචන පටලව පටලව මෙන්න මේ සින්දුව කිව්ව.

අම්මාවරුනේ අම්මාවරුනේ
දරුවන්ගේ දූක් කඳුළු දකිනදා
සුරලොව සිට අතපා
ඒ කඳුලැල් පිසිනා
අම්මාවරු නැති දරුවන්ගේ
සංකා දුක් කවුදෝ දන්නේ
ඒ දුක දන්නා අම්මාවරුමයි
සංසාරේ මතු බුදු වන්නේ
සෙනෙහස වැඩිදා සිතද බොලඳ වේ
ලොවම ආදරෙයි කියා සිතේ
මායාවක් වී එහි තනිවූ දා
අම්මා පමණයි ළඟ ඉන්නේ.

මං බලාගෙන අපේ අම්ම මූණ හංගාගෙන අඬනව. ඒ සින්දුව කිව්ව පොඩි එකා ඒ වෙනකොටත් හිනාවෙච්ච ගමන් මයි.

ටික ටික රෑ වෙනව. දැං පොඩි පැටට් ටිකට නිදිමතයි. එකා දෙන්නට ඈනුම් යනව. ඒ කියන්න අපිට ආයෙම ලබන අවුරුද්ද වෙනකං උන් ගෙන් සමුගන්න වෙලාව ඇවිල්ල.

අපි යන්න නැගිට්ටම උන් එක පොදියට වැටිල අම්මටයි තාත්තටයි දණ ගහල වඳිනව. ඒ හරියට තමන්ගෙම ගෙදරක අම්ම තාත්තගෙ උණුසුම විඳල නොතිබුණු උන්ට පැය කීපයකට හරි අම්ම තාත්ත උනාට පිං කියන්න වගේ.

එහෙම උපන්දින සමරපු මට ගම අතෑරල දාල කොළඹ ආවදා ඉඳල කාර්යාල සම්ප්‍රදායට අනුව මූනිච්චාවට සුභපතන ඈයො වට කරන් “හැපි බර්ත් ඩේ ටූ යූ” කියල ග්‍රීන් කැබින් කේක් කපල වැඩ ඇරිල යනගමං රෑට පාං ගෙඩියකුත් අරං ගිහිල්ල පරිප්පු හොද්දෙ පොඟවං කන්න වෙච්ච එක නම් ඇඬෙන, ලැජ්ජා හිතෙන විහිළුවක්.

ප.ලි : අද මගේ උපන්දිනේ නෙවෙයි, ඒවගේම උපන්දිනේට පෝස්ට් එකක් ලියන්නත් හිතෙන එකක් නෑ. [කිසිම ස්ථීර දෙයක් නැති ජීවිතේ]

ආටිචෝක්

හපෝ මේකගෙ ලඟින් එන ගස් ගඳ….. කොහේ රිංගනවද මංද දවස පුරාම. බැලුවොත් ඇත්නං ගේ හරියක නෑ නෙව.

ඕං අදත් ආච්චි පටන්ගත්ත අඬෝවැඩියාව….

අනේ ඉතිං ඔහේ කියන්නෙ මට ගෙයි ගෙම්බි වගේ ගෙටම වෙලා ඉන්නෙයි කියලැයි… ඒ අච්චියෙ?

මට මේකව ආං බාං කරන්න බෑ.. තාත්තණ්ඩියට විගහට ඇවිල්ල එක්කං යන්නෙයි කියනො..

ආච්චි හැමදාම වගේ ඇදල ගන්න ආයුදේ අදත් ගත්ත. හපෝ… මට බෑ තාත්තත් එක්ක අර කාන්තාරෙට යන්න. අනික ඒකෙ හොරුත් ඉන්නවලු.

මං හිමීට ආච්චි වාඩිවෙලා උන්නු දිග ඇඳි බංකුව අනිත් පැත්තෙ කෙළවරෙන් වාඩිවෙලා බිම උන්නු පූසිගෙ වලිගෙ පයිං පාගන්න හැදුව. එයැයි නිදාගෙන උන්නට වලිගෙ ඇහැරිලා…

ඔයි මොකෝ ඒපාර කරනෙ,

දොරකොඩ මහා රඹුටං ගහෙන් පෙරිල එන ඉර එලියෙ පැත්තට කරං කියවන බණ පොත උඩින් බලල මගෙන් ඇහැව්වා.

හපෝ එයැයිට හතරවටේටම ඇස්. පෙරේද කහල ගොඩට වැටිච්ච පොල් ගෙඩියක් අරන් යන නීයවත්තෙ ආච්චි දැකල ඒකත් තිලේඅම්මට කිව්වනෙ. කොහොම පේනවද මංද ඒ හැම දෙයක්ම. වෙලාවකට මට හිතෙන්නෙම එයැයිට දිවැස් තියනවැයි කියල.

මං ආයෙ හෙමීට නැගිටල ගියා තිලේඅම්ම මොකෝ කරන්නෙ කියල බලන්න. වෙලාවෙ හැටියට නං එයා පිළිකන්නෙ පඩියට වෙලා පොතක් හරි පත්තරයක් හරි බලනව වෙන්න ඕන.

කුස්සිය පැත්තෙන් හරිම හොඳ පුසුඹක් එනව.

ඒ ගමන තිලේඅම්ම හොයන එක පැත්තක තියල බෝතල් රාක්කෙ ගාවින් වමට හැරිල බිත්තිය අයිනෙ මිටි ගහල තියන වී ගෝණියකටත් පයිං ගහගෙන මං කුස්සියට ගියා.

කුස්සියෙ වම් පැත්තෙ මුල්ලට වෙන්න බැඳපු මැටි ලිප ලඟ ඇණතියාගෙන චූටිඅම්ම මක්කද තම්බනව…

චූටි අම්මේ මක්කයි ඔයි තම්බන්නේ..?

එයැයි කතාවක් නැතුවම හැන්ද මුට්ටියට දාලා සුදුපාට බෝලයක් මයෙ දිහාවට උඩින් වීසිකරා.

නරක වෙලාව ! ඒක මගෙ අතේ වැදිල රෝල් වෙලා ගියා දොර මුල්ලට..

මං රිංගල ගිහිං උණු උණුවේ දුං දාන බෝලෙ අරං බැලුව.

අම්මේ… ආටිචෝක් !

හුලං කීරිය ගාවට මං ආසම ආටිචෝක්.

ඒක තමයි එහෙනං චූටි අම්ම අද උදේ මටත් හොරා ජම්බු ගහ දිහාවට යනව දැක්කෙ. එයැයි හිතුවට මං ඒක නොදැක්කයි කියල මං දැක්ක. ඒත් වෙනද වගේ පස්සෙං දුවං නොගියෙ වඩනම්බි මාම කපල දුන්න කෝපි කෝ‍ටුව සුද්ද කර කර උන හන්ද. හෙට උදේට තැන්නෙ අයියත් එක්ක පෙර හැරක් යන්නනෙව හිතාන ඉන්නෙ. ඉතිං ඊට කලිං මේ කෝ‍ටුව සුද්ද කරල අර වෙලේ බණ්ඩා මාමගෙ දවුලෙ කඩිප්පුව වගේ රවුං කරගන එපැයි. නැත්තං සක්කරයටවත් ඇහැක මං චූටි අම්මගෙ වල්ගෙ වෙන එක නවත්තන්න.

ඒ චූටි අම්මෙ, ඔහේ ජම්බු ගහ පල්ලෙ තිබිච්ච ආටිචෝක් පඳුරු සේරොම ගැලෙව්වැයි ?

දුං දාන මුට්ටියට එබෙනගමං මං ඇහුවෙ ගලෝපු ඔක්කොම තැම්බුවද කියල සැකයක් ආපු නිසා. ඕසෙට හැදිල තිබිච්ච පඳුරු සේරෝම ගැලෙව්වනං එතන මුට්ටි දෙකක් විතර තම්බන්න තිබුන. ඒත් මෙතන තියෙන්නෙ එක මුට්ටියයි නෙවෙ.

ඕ… ආයෙ දෙතුන් පාර ගලවන්න යන්න බෑ ඔය කූඩැල්ලො විමානෙ, සේරොම ගැලෙව්ව.

එතකොට අනික්වට මොකෝ කොලේ? මෙතන ඩිංගිත්තයිනෙ තියෙන්නෙ.

මට දැං ලොකු ප්‍රස්නයක් !

ආං ඇඹුරුංගල ලඟ බිම ගෝණියෙං වහල.

සැකේට මං ඇරලත් බැලුව. මේං තියනව ලාවට මඩත් එක්ක සුදු පාට ආටිචෝක් අල.

එහෙනං කමක් නෑ. මං හිතුවෙ ඔහේ තැන්නෙ ගෙදරටත් දුන්නයි කියල. ඔන්න මක්ක දුන්නත් මේව දෙන්නෙ නෑ හොඳේ.

හා හා පෙරේත කම පැත්තක තියල මේං මේක කනවකො, චූටි අම්ම මගෙ බිම දාලම පතුරු ගියපු එනැමල් පිඟානට ආටිචෝක් පුරවල දුන්න.

පසු සටහන:

ආටිචෝක් අන්තිමට කෑවෙ මම හිතන්නෙ මීට අවුරුදු විස්සකට විතර උඩදි. පස්සෙන් පහු වල් ඌරො පෙරලල දාල ආටිචෝක් ගාලම විනාස වෙලා ගියා. ඇරත් හක්මනින් ගාල්ලට ආවයිං පස්සෙ ආටිචෝක් අමතක වෙලාම ගියා. නැත්න ඊට පස්සෙත් ඉඳල හිටල නිවාඩුවකට ගමේ ගිය වෙලාවක කාට හරි කිව්වනං පඳුරක් දෙකක් උගුල්ලල ගෙනැත් දෙයි. දැනට ආටිචෝක් වල තියන ලාවට මුල් කෑලි තියන විනිවිද පේන පොත්තයි ඒකෙ තියන කිරි රහයි විතරමයි මතක.

ලාවට තිබිච්ච ඒ මතකයෙන් ආසන්න කී වර්ඩ්ස් ඔක්කොම දාලත් ආටිචෝක් අලයක පින්තූරයක්නම් හොයාගන්න බැරි උනා. ඒත් මෙන්න මෙතන පොඩි සටහනක් නම් තියනව ඒ ගැන.

අනේ අයියේ කෝ එයා…. ? [ඇහුවෙ නැත්තෙ ඇයි ඔයා?]

කල්හාරගෙ මේ ලිපිය දැක්කම මම ආයෙමත් අදින් අවුරුදු අටකට විතර කලින් ක‍ටුනායක ගතකරපු කාලයට මතකයෙන් ගියා. ක‍ටුනායක අපනයන සැකසුම් කලාපයේ ‍රැකියාවට ගිහිල්ල කෙල්ලො ගොඩක් මැද ගතකරපු කලය මතුපිටින් බැලුවම හරිම ලස්සනයි වගේ බලන කෙනෙක්ට පෙනෙයි. ඒත් යථාර්තය ඒකම නෙවෙයි. මතුපිටින් පෙනෙන හැම දෙයකම අභ්‍යන්තරය ගොඩක් වෙනස්. හිත රිදෙන තැන් බොහෝමයි.

ඒ අත්දැකීම් වලින් කොටස් තුනකට ලියාපු පහලින් තියන ලිපිවල තිබුනෙ අපි අත්විඳපු හිතට බරක් එකතුකරාපු එක සිද්ධියක් විතරයි.  කැමතිනම් කියවන්න,

01.ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ගෑණු බෝඩිම] – පලමු කොටස
02.ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [අසභ්‍ය වීදියේ අකල් සංචාරය] – දෙවන කොටස
03.ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ] – තෙවන කොටස

මාත් එක්ක ක‍ටුනායක බෝඩිමේ හුණ්ඩු කාමරේ උන්න යාළුවන්ගෙන් එකා දෙන්න මාසයක් හමාරක් අපිත් එක්ක ඉඳල  හෙමිහිට හෙමිහිට කාමරෙන් ගියා. ඒකට හේතු ගොඩක් තිබුනත් ඉඩ කඩ මදිවීම හැම තිස්සෙම ප්‍රධාන හේතුව හැටියට අපි හැමෝම පිලිගත්තා.

එහෙම ගියත් ඒ තුන් හතරදෙනා වැඩි ඈතකට නෙමෙයි ගියේ.

ඒ බෝඩිමේදිම අඳුනගනිපු ගෑණුළමයි එක්ක වෙනමම කාමරවලට !

ලිවින් ‍ටුගෙදර් අහල තිබුනට මේ තමයි මුලින්ම හැබෑවක් කියල දැකපු කාලෙ. උන් එහෙම යනව කිව්වම අපි මුලින්ම බය උනා මුන් මේ මොනව කරන්න හදනවද කියල. ඒත් අපිට අරුමයක් උනාට සීයක් හමාරක් උන්නු ඒ බෝඩිං සංකීර්ණයේ කිසිම කෙනෙකුට ඒක ලොකු දෙයක් උනේ නෑ. කිසිම අවලාදයක්, බැනුමක් නෑ.

ඕනෙම නම් වැඩිම උනොත්, ආ නංගී… හරිගියා එහෙනං ඈ…. කියල උන් එක්කම එච්චර කාලයක් උන්නු කෙල්ලෙක්ම විහිළුවක් කරන්න ඇති.

එදා ඉඳල අපි වගේ උන් උදේට උයන්න කුස්සියට ආවෙ නෑ. කඩෙන් හැන්දැවට ආප්ප, කොත්තු කන්න ආවෙ නෑ.

පොකුණට වැටිච්ච ගල ඇතිකරපු ‍රැලි හෙමිහිට මැකිල ගියා. රොන් මඩ ආයෙම පතුලටම කිඳාබැස්සා. අපි වෙනදා වගේම අමන්දොළුව පාර දිගේ කෙල්ලො පේලියක් පස්සෙන් වැටිල රස්සාවට ගියා. ආයෙම හැන්දෑවෙ බෝඩිමට ගෑ‍ටුව. බොහොම නිස්කලංකයෙන් ඒකාකාරී විඩාබර දවස් ගෙවිලා ගියා.

ඒත් එක දවසක් !

හැන්දෑවෙ අටට විතර අපි බෝඩිමේ කපරාරු නොකරුපු බ්ලොග් ගල් වලින් බැඳපු කොට තාප්ප කෑල්ලකින් තුන් පැත්තක් විතරක් වටවෙච්ච, වහලක් නැති ෂවර් පෝලිමේ නාන අතරෙ අපේ කාමරේ උන්නු සම්පත් දුවගෙන ඇවිල්ල බැනියමක් හෝදන්න තියාගත්ත.

මොකෝ බං මේ… අපි නාන්න කතාකල වෙලාවෙ උඹ ඉහේ ඇම්මයි කියල නිදාගෙන නේද උන්නෙ ?.

……. උත්තරයක් නෑ, ටැප් එක ගාව දණ ඇණගෙන රෙද්ද හෝදනව.

උඹට මොන යකා වැහුනයි මේ හැන්දෑවෙ?

…… ඒත් සද්දයක් නෑ,

මිනිහෝ කියාපන්, මොකද උනේ……

ඒයි ඒයි…. පොඩ්ඩක් එහාට වෙයං බලන්න.. යකෝ මේ ලේ නේද……. !!!

මොකද බං උනේ… කියහංකො….

මොන රෙද්දක්ද බං. මුකුත් උනේ නෑ…..

එහෙනං මේ ලේ…. !!!

උඹලත් ගෑණු වගේනෙ. කට පියං ඉඳහල්ල යකුනේ. මුකුත් උනේ නෑ…

එහෙම කියල ඌ හෝදපු බැනියමත් අරං ආපහු කාමරේට ගියා.

අපි නාගෙන අහවර වෙලා කාමරේට යනකොට මෙන්න මනුස්සය ඉහේ ඉඳං පොරවාගෙන නිදි.

මචං… මම ඇඟට අත තියල කතා කලා.

හ්ම්…..

මචං පාං තියනව කාල නිදාගං..

ම්හ්.. උඹල කාහල්ල, මගෙ ඔළුව රිදෙනව බං…..

උනේ මොකක්ද කියල දැනගන්න අපිට ලොකුවට උවමනාව තිබුනට මිනිහ නිදාගෙන උන්න විදියට අපිට හිතුනෙ නෑ ඇහැරවල ආයෙම ඌට වද දෙන්න. අනික අතක් පයක් කැපිල කියල පේන්නෙත් නැති එකේ උදේටම අහල බලනව කියල හිතාගත්ත.

වෙනද වගේම ස්ටූල් එක මැද අලි පරිප්පු බේසම තියාගෙන වටේට වාඩිවෙලා අපි පාං කෑව.

සැරින් සැරේ ඇඳේ ඉන්න එකාගෙන් හීන් කෙඳිරියක් එනව.

පව් බං ! හැබෑටම මූට මොකද උනේ….?

අයියේ… අයියේ….

කවුද බං මේ වෙලාවෙ.

එකෙක් ගොහින් දොර ඇරිය.

නිලූපා…… එහා කාමරේ ඉන්න කෙල්ලො තුන්දෙනාගෙන් එක්කෙනෙක් !

සම්පත් අයිය ඉන්නවද?

ඉන්නව දැං නිදි ඔළුවෙ කැක්කුමයි කියල. ඇයි නංගි.

නෑ නිකං ඇහුවෙ. මං යන්නං.

නිලූපා සම්පතුත් එක්ක කීප දවසක්ම කතා බහ කරනව අපි හැමෝම දැකල තිබුනත් ඒ ගෑණු ළමය ගැන පොඩි පොඩි කතා වගයක් බෝඩිමේ පැතිරිලා තිබුන නිසා කතා බහට යනවට  අපි  කැමැත්තක් පෙන්නුවෙ නෑ. සම්පතුත් වැඩිය ඒ ළමයව කෙයාර් නොකලෙ ඒ වෙනකොටත් ගමේ ගෑණුළමයෙක් උන්න නිසා.

පහුවෙනිද අපි නැගිටිනකොට මෙන්න අසනීප කාරය නැගිටල ලේස්තිවෙලත් ඉවරයි.

මචන්, දැන් උඹට කොහොමෙයි?

අවුලක් නෑ මචං. දැං හරි.

ඒක නෙමෙයි, අද උඹගෙ ඕෆ් එක නේද, මේ කොහේ යන්නද?

හ්ම්ම්…. ලොකු හුස්මක් අරන් මිනිහ ඇඳ උඩින් වාඩි උනා..

මචං, මම ආයෙම ගමේ යනව.

ගමේ යනව.. ඒ මොකෝ බං.

ඊයෙ රෑ පොඩි අවුලක් උනා මචං.උඹල නාන්න ගිය අතරෙ  නිලූපා කාමරේට ආව. …… ……..  ……..

මොකක් ! ඉතිං…..

****************************************

කවුරුවත් මාව ඇහුවොත් දන්නෙ නෑ කියාපන් මචං. ……. මම ගිහිල්ල ඒකිට කෝල් එකක් දෙන්නම්.

අපි සේරම කතා නැතුව කසාය බීපු ගොළුවො වගේ බලා ඉඳිද්දි සම්පත් ලොකු ට්‍රැවලින් බෑග් දෙක කරේ දෙපැත්තෙ එල්ලගෙන අපිට පි‍ටුපාල එකම එක පාරක් වත් ආපහු නොහැරීම ලා අඳුරෙ පාරෙ ලයිට් කණුවෙ එලියෙන් පේන වැලි පාර දිගේ බෝඩිං වත්තෙන් එලියට ඇවිදගෙන ගියා.

“ඉතිං යකෝ ඒක මහ බලු වැඩක්නෙ”

එහෙම කියල ඌට බනින්න හරි උපදෙසක් හරි දෙන්න අපි කිසිමකෙනෙක් ඉදිරිපත් උනේ නැත්තෙ ඇයි කියල තාමත් මට හිතාගන්න බෑ. සමහර විට සම්පත් “අපේ” කියල හිතෙන්න ඇති. එහෙමත් නැත්නම් නිලූපා ගැන මුලින්ම තිබුන අපැහැදීම වෙන්න ඇති. ඒත් එක්කම ඒක උන්ගෙ ප්‍රශ්ණයක්, අපි දෙන්න හදන විසඳුමෙන් ඇතිවෙන ප්‍රතිඵල විඳින්නෙ අපි නෙමෙයි කියන සිතුවිල්ලත් කොහේ හරි තියෙන්න ඇති කියල යාන්තමට හිතෙනව.

මිනිස්සු එක එක වෙලාවට ජීවිතේ ප්‍රශ්ණ වලදි දක්වන ප්‍රතිචාර හිතාගන්නත් බැරි තරම් පුදුමයි.  !!!

කොහොම උනත් එදා ඉඳල අපි ඒ බෝඩිමෙන් අයින්වෙලා යනකන් නිලූපා අපේ මූණ බලල කතා නොකලත් අනිත් අයත් එක්ක කිසිම වෙනසක් නැතුව හිනාවෙලා උන්නා.

මම මුලින් කිව්ව වගේ ඒ අපි පිටින් දැකපු හිනාවක් විතරක්ම වෙන්නත් පුළුවන්. කොහොම උනත් ඇතුලින් පිචිචී පිච්චි ලෝකෙට පේන්න හිනාවෙච්ච නිලූපාගෙ හිතේ හයිය සම්පත්ට නැතිවෙච්ච එක ගැනනම් කණගා‍ටුවකුත් අප්‍රසන්න කමකුත් මිශ්‍රවෙච්ච හැඟීමක් තවමත් මගේ හිතේ තියනව.

පින්තූරය ගත්තේ මෙන්න මෙතනින් http://193.105.21.101/image?id=7433&hsearch=bamboo+plant

කලින් වතාවන්වලදී මෙන් මෙවරද අවුරුද්ද සැමට හොරෙන් විකුනා දමන ලදී


දිනය : අවුරුද්දට පෙර දිනය
ස්ථානය : ජනප්‍රිය රූපවාහිනී ආයතනයක මැදිරි අංක පහ.

මචං ගනින්කො හෙට ප්‍රෝග්‍රෑම් එකේ ප්ලෑන් එක බලන්න.

ඉඳා..

මේ කවුද බං ලිස්ට් එක හැදුවෙ. කෝ බැද්දගේ?

බැද්දගේ ? කවුද බං ඒ ගෝතය, ඉරාජ්ගෙ සෙට් එකේ එකෙක්ද? මං උන් ඔක්කෝටම එන්න කිව්ව බං.

රෙද්ද, බැද්දගේ පරණ බුවෙක් බං, උඹට මතක නැද්ද අර අවුරුදු උත්සව වලට එන්නෙ බතික් කිට් එකෙකින්. මිනිහ නැතුව කොහොමද බං අවුරුදු ප්‍රෝග්‍රැම් කරන්නෙ. කවුද කවියක්වත් කියන්නෙ?

බුවා ඕනෙමද? චින්ති ගෙන්නන හන්ද ඌගෙන් ෂේප් වෙන්න බැරිවෙයිද?

මගෙන් මුකුත් අහගන්නෙ නැතුව පොරගෙ නොම්මරේ හොයල අරං කතා කරල සෙට් කරගනින් හෙට ප්‍රෝග්‍රෑම් එකට.

ට්‍රීං ට්‍රීං….. ට්‍රීං ට්‍රීං….. ට්‍රීං ට්‍රීං…..

හෙලොව්… මිස්ටර් බැද්දගේ?

ඔව් කතාකරනවා…..

මිස්ටර් බැද්දගේ, හෙට අපේ ප්‍රෝග්‍රෑම් එකට උදේ නමයට එන්න පුළුවන් ද?

උදේ පහේ ඉඳල මගෙ ඩේ ප්ලෑන් එක ෆුල්, දහය හමාරට පැයබාගෙක බේක් එකක් තියනෙව. ඒ වෙලාව ඇතිනම් මං එන්නම්.

හරි, මම ප්‍රෝගෑම් එක ෆැක්ස් කරන්නම්, එතකොට ප්‍රිපෙයාර් වෙලාම එන්න පුළුවන් නෙ.

නෑ නෑ. ඒව අවශ්‍ය වෙන්නෙ නෑ. හැම අවුරුද්දකම කරන දේනෙ. මට ඕව හොඳට මතකයි.

ඕකේ දෙන්.. අපි ටෙන් තර්ටි වලට මීට් වෙමු.

මචං, බැද්දගේ හරි, පොර එන්නම් කිව්ව.

ඕයි.. මෙහෙවරෙන්. මේ ලිස්ට් එකේ රන්වලගෙ නමත් තියෙනවනෙ බං.

ඉතිං, කලින් පාරක බුවා ගෙන්නල තිබුනනෙ බං. හැමදාම ගෙන්නන උන්ව එපා කිව්වනිසා මං පරණ අවුරුදු ප්‍රෝග්‍රෑම් බලල කාලෙකින් ගෙන්නපු නැති එකෙක් නිසා නම දැම්ම.

උඹ කතාකලාද?

තවම නෑ බං. හෙට උදේට කතාකලත් පොර එයි. ඔය වගේ කට්ටිය අවුරුද්දකට පාරයිනෙ ටී.වී එකට මූණ දාගන්න එන්නෙ. ආයෙ එහෙම එන චාන්ස් මිස් කරන්නෙ නෑනෙ.

රෙද්ද තමයි, මේ මනුස්ස්ය සෙත්තපෝච්චි වෙලා සෑහෙන කල් ඕයි.

අම්මටසිරි ! දැං මොකෝ බං කරන්නෙ.

අවුලක් නෑ අවුලක් නෑ…. බුවාගෙ පුතා ගෙන්නපන්. ඌ වැඩේ ගොඩ දාල දෙයි.

එල……

මචං, තව වයසක බුවාල දෙන්නෙක් විතර ගෙන්නහං, ඉස්සර උන් අවුරුදුකාපු හැටි අහගන්න වීවර්ස්ල කැමතියි බං.

එල, මේ මචං. සූරියප්පෙරුම ලොක්කට එන්න බෑ කිව්වනෙ අන්තිම මොහොතෙ. අරලියගහට යන්න ඕන කිව්ව මොකක්ද වැඩකට.

ආ.. ඒකට කමක් නෑ බං. බුවා දැන් මෙලෝ රහක් නෑ. හැමදාම ගහන එකම තැටියෙ ගහන ලොරි ටෝක් අහල අහල මිනිස්සුන්ට එපාවෙලා. බුවාට වැඩිය දැං අත්තනායක ලොක්ක හිට් වෙනවනෙ. මිනිහ හරි ආතල් කතා කියන්නෙ. ඔය කවියක් කියල බොරු ජාතකයක් ඇදල ගත්තම අනිත් අඩුපාඩු ඔක්කොම කැපිල යනව.

එල, මම කොහොමහරි පොරව ගෙන්නගන්නං මචන්.

————————————————————-


පසු දිනය : අප්‍රේල් දාහතර
ස්ථානය : මැදිරි අංක පහ

ආයුබෝවන් සකල ශ්‍රී ලංකාවාසී සිංහල දමිල සියළු දෙනාටම.

අද දවස ඉතාමත් විශේෂ පුන්‍යවන්ත දවසක්. ඒ දවසේ විශේෂත්වය විද්වත් සාකඡාවකින් හරවත් කිරීමට අපි මැදිරිසංකීර්ණයට ආරාධනා කලා අපේ රටේ අතිශය ගෞරවාදරයට පාත්‍රවූ විද්වතුන් කිහිප පලකට.

ආයුබෝවන් ඔබ සැමට..

සාකඡාවට යොමුවීමට ප්‍රථම අපි අපේ ආරාධිත ගායන ශිල්පියාට ආරාධනය කරමු අවුරුදු ගීයකින් හා හා පුරා කියා මූලාරම්භය ගන්න කියල.

ගේමක් දෙලා ගිය අවුරුද්දේ………….

————————————————————-


පසු සටහන:

ඉහත සඳහන් කර ඇත්තේ මා කිසි දිනෙක පෞද්ගලිකව අත් වින්ද නැති, නමුත් සීයට අනූවක්වත් සැබෑවට ආසන්නයැයි මට හිතෙනා සටහනකි. ඇතැම් විටෙක මෙය හුදෙක් මාගේ හිතළුවක් වීමට ඉඩක්  නැත්තේද නොවේ. එනමුත් මෙය සබෑවටම සිද්ධවෙන්නකැයි සිතීමට තරම් අවැසි සාධක ඔබ මා අවට අනන්තවත් ඇත.

සියල්ලම වානිජකරණය වූ ලෝකයක ඉන් මිදීමට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයයනට කිසිසේත්ම ඉඩක් නැත. ඉන් ඉසිඹුවක් ඇත්තේයැයි සිතන්නේනම් හා පෙන්වන්නේ නම් එය තමා මෙන්ම අනුන් ද මුලාවට පත්කිරීමට දරනා වූ ප්‍රයත්නයක්ම වේ. එසේ දරනා ප්‍රයත්නයන් අතිමහත් බහුතරයක් වූ සමාජීය තාර්කික අවබෝධයකින් යුතු පිරිස් හමුවේ නිරුවතින් රඟයි.

වසරේ මාස එකොලහක් පුරාවටම අමතක කල ගැමි සිරිය, මනුස්සකම්, චාරිත්‍ර, අප්‍රේල් මාසයේ එක්වරම මකුළු දැල් කඩා අ‍ටුවෙන් බෑම හිතට ඇතිකරන්නේ අපහසුතාවයක්ම මිස අවුරුදු ප්‍රීතියක්නම් නොවේ. ඉතින් ඒ අවුරුද්දෙන් මට කම් නැත. බොරුවට රඟනු දැකීම සිත තුල අපුලක් ඇතිකරයි.

අවුරුදු දා අවුරුදු ප්‍රීතිය නැතිවීමට හේතු වන කරුණු කාරනා මෙන්න මෙය යැයි පැවසීමට තරම් ලඝු කොට දැක්විය නොහැක. සීමා සහිත කාලයක් තුල අසීමිත ඉලක්කයන් හඹාගෙන යන සමාජයකින් එවන් දේවල් ක්‍රමක්‍රමයෙන් මඟහැරීයාම සම්භන්ධයෙන් කිසිවෙකුට වෙන් කොට ඇඟිල්ල දිගුකොට චෝදනා කල නොහැක. සියල්ලෝම දැන හෝ නොදැන එම පෙරළියට වක්‍රව දායක වී ඇත.

මෝතා ජෙලි, ලිප්ටන් ලාඕජී, නෙස්ටමෝල්ට්, මන්චී, වෙලඳනාම උරමත දරාගත් උත්සව වල තවත් එක් වෙළඳාමක් මිස අළුත් අවුරුදු සිරියක් නැත. එදිනට අන් දිනයන්හි සරම කරමතක් උස්සා දේශීයත්වය, වෙලඳ මා‍ෆියාව, ස්වයංපෝශිත ආර්ථිකය, අඩි හයේ යෝදයා තනන මැල්ලුම් මුට්ටිය පිළිබඳව නන්ඩොඩවන දේශීය ච්න්තනය නෙස්ටමෝල්ට් කෝප්පයක් අතැතිව කුඩා කල ගමේ අවුරුදු කාලයේ කල කෙළි වැමෑරීම හා අද එවන් පසුබිමක් නැතැයිද ඊට වගකිවයුතුයැයිද කියමින් වර්ථමානිකයන්ට දෙස් දෙවොල් තැබීම බඩ දඟලවන සුළුය.

එමෙන්ම මාධ්‍ය ආයතන ප්‍රමුඛත්වය ගෙන ක්‍රියාත්මක කරනා අසංස්කෘතික දෑ පිළිබඳ විචාර හා විවේචනයන් වලට ඒ ආයතයන්හිම වේදිකාවක් ඇතිකිරීමෙන් රවටන්න හදන්නේ කාවද?

රිලා වලිගයි හොර කුරුල්ලොයි පුංචි අම්මලයි එක්ක පන්සල් ගමන්.

පුතේ අද හවහට පන්සල් යංද ? ආච්චි ඩිංගක් විතර හයියෙන් ඇහැව්ව.

කෝංගල පන්සලේ මහෝපාසිකාවෝ, නාදුගල හාමිනේ අපේ ආච්චි වෙච්චිකොට එයැයිට පන්සල් යන්න පෝයක් එන්න ඔනෙයි. හිතිච්ච හිතිච්ච වෙලාවට එයැයිට පන්සල් යන්න කාගෙන් බාදාවක් කියලැයි.

සුදු රෙද්දයි හැට්ටෙයි ඇඳල හරිම සිරියාවයි. ඒ ගොඩක් වෙලාවට උන්දැ පන්සල් යන්නෙ මොකක් හරි දායක සබාවෙ වැඩකට හරි කටිනයක් ලඟ නම් ඒකෙ වැඩ වලට, එහමත් නැත්නං පොඩි හාමුදුරුවො මොකක් හරි ලෙඩක් දාගත්තම වගේ දෙයකට තමයි. අපේ ආච්චි ගමටම අම්ම හන්ද ආයෙ ඒක පන්සලේ පොඩි හාමුදුරුවොන්ටත් ඒක එහෙම්මමයි.

උන්දැ ගෙදරින් තනියම ගියාට පන්සල කිට්‍ටුවෙනකොට උන්දැත් එක්ක තවත් හතර පස්දෙනෙක් වත් අඩුම ගානෙ ඉන්නව. සාමිලාවත්තෙ බේබි ආච්චි, කෝංගාහේනෙ නැන්දම්ම, හින්නි මාමලහ නැන්ද, නීයවත්තෙ ආච්චි ගොඩක් වෙලාවට වරදින්නෙ නෑ

ඒත් ඉතිං අද මටත් අඬගහන්නෙ අද පෝය හන්ද නෙව.

ආච්චි වාඩි වෙලා උන්න වැල් පු‍ටුව ලඟ බිම වාඩි වෙලා උන්දැ කුරු‍ටු ගාල බුලත් වට්ටියට දාන පුවක් ගනංකර කර උන්න මට ඔච්චර හයියෙන් පන්සල් යන්න අඬගහන්න ඕනෙයි. හෙමීට කිව්වනං මට ඇහෙනව නෙව.

කලිසම පුරාම වැටිල තිබුන පුවක් කුරු‍ටු ටික බිමට අත්දෙක තියල නැඟිටන ගමන් එහෙම්මම හැලෙන්න ඇරිය, ඒත් නරක වෙලාවට ඒක වැ‍ටුනෙ බුලත් වට්ටියට.

ඔය මොකෝ කලේ…..?

මං මුකුත්ම නොකියා මිදුලට බැස්ස.

ඒ සැරේ කොහේ යනවද, නිකං ඇවිදින්නෙ නැතුව අන්න අර වට්ටිය අරං මල් ඩිංගිත්තක් කැඩුවනං

හාපෝ ඔන්න තවත් මං එපා කරපු රාජකාරියක්, ඔය නන්නං ගහට උඩැහින් තියෙන වතුසුද්ද පඳුරු තුනේ දවල් වරුවෙත් මදුරුවො පිරිල. උන් තලන්නයි මල් කඩන්නයි ගියාම එපාවෙනව.

මට බෑ සුදු මල් කඩන්න, එව්වැයි හරියට මදුරුවො, ඕන්නං නීයවත්තෙ ආච්චලැහින් කඩං එන්නං රුකත්තන.

මං එහෙම කිව්වෙ නීයවත්තෙ ආච්චිලැයි අහ තියෙන උගු‍රැස්ස ගහ මතක් වෙලා.

ඊයෙ හැන්දෑවෙ තිලේඅම්ම එක්ක ඇඟ හෝදන්න ලිඳට ගියාම දැක්ක දම් පාට ගෙඩි පුරෝදාල ගහ පුරාම. ඒත් ලිං බක්කියෙ මාළු අල්ලන්න තිවුන හන්ද උගු‍රැස්ස කන වැඩේ අදට තියාගත්ත. උගු‍රැස්සනං කොයිවෙලාවෙ කන්න බැරිය.

ඒත් මෙහෙම මාළු අල්ලන්න ඇහැක්කෙ තිලේඅම්මයි චූටිඅම්මයි එක්ක විතරයි, ආච්චි උන්නන්නං ඇස් ගෙඩි දෙක නළලෙ තියං කෑගහනවනෙ. ඒත් ඉතිං අද උදේ ඉඳං හීං මාම පස්සෙ ගියහන්ද පුවක් වලු බානව බලන්න උගු‍රැස්ස අමතකම වෙලා ගියා.

නෑ නෑ. මේ හැන්දෑවෙ උගු‍රැස්ස කන්න නාකයි. තනියෙං බැරිනං කාන්තිඅම්මත් එක්කං යන්න. වතුසුද්ද හොඳටෝම ඇති රුකත්තන නැතුවට.

යකඩෝ.. ආච්චි දන්නෙ කොහොමයි උගු‍රැස්ස කතාව. කවුද එයැයිට කේලම කිව්වෙ? ඊට ඩිංගක් එහායින් පාන්තිර අඹර අඹර උන්න චූටිඅම්ම උඩ බලං හිනාවක් තද කරන් ඉන්නව. එයැයි මොකෝ හිනාවෙන්නෙ? එයැයිට විකාර.

මං කාන්ති අම්මත් එක්ක මල් කඩං එනකොට කට්ටියම ලෑස්ති වෙලා. තිලේඅම්ම ඉතිං ලෑස්තිවෙන්නෙ මං ලෑස්තිකරල අහවර වෙලානෙ. අන්තිමටම අපි දෙන්නත් ලෑස්තිවෙලා කට්ටියම එලියට බැස්ස පන්සල් යන්න.

බි ආච්චිලයි වත්ත උඩින් යන්න බෑ, කරාබුගස් මණ්ඩියෙ තියෙන ඇපල පැටලෙනව නෙව ආච්චිගෙයි, පුංචිඅම්මලගෙයි චීත්තවලයි ගවුං වලයි. වෙනද චූටිඅම්ම ගවුම දනක් උසට උස්සං ඇපල පඳුරු අස්සෙන් අපූරුවට ගියාට අද ආච්චි ඉන්න හන්ද එයත් මීය වගේ.

මිදුලෙ ඉඳං මහපාරට තියෙන පොඩි කන්ද නැඟල පාරට ආව විතරයි මෙන්න බේබි ආච්චිත් ‍රැකල ඉන්නව අපි එනකං පන්සල් යන්න.

නාදුගොල හාමිනේ පන්සල් යනවයි, මාත් මේ යන්නෙයි කියල…..

එහම කියාගෙන එයැයිතුත් වල්ගෙ වගේ පස්සෙන් එනව. මං වැඩිය එයැයි එනවට ආස නෑ. මහ විකාර දේවල් අහන්නෙ.

රුප්පෙ පුතේ තාත්ත එනවැයි කිව්වෙ කවද්ද,

අම්ම ආවෙ නැතෙයි ලඟදි,

තිලේහාමිනේ අන්න ඔහෙලැයි එළදෙන්නුටික තැන්නෙ කෑල්ලෙ වෙලේ ඉන්නො දැක්ක,

ඒ මොනවත් නැත්නං චූටිහාමිනේයි අද ඉව්වෙ හරිම පුසුඹක් නෙව ආවෙ කියල හරි කියයි. මට පේන්න බෑ ඔය හන්ද එයැයි. අනුංගෙ ඒවමයි හොයන්නෙ.

ඔන්න දැං පංසලට හැරෙන පාර, ඔතන ඉඳං තමයි මං ආසම දේවල් තියෙන්නෙ. ඉස්සෙල්ලම තියෙන්නෙ හොර ගහෙන් වැටිච්ච හොරකුරුල්ලො අහුලන එක. උන් අහුලල හයියෙන් උඩ වීසිකලාම ආයෙම කැරකි කැරකි බිමට පාත්වෙනව. සාක්කුවෙ දෙකකට වඩා දාගන්න බෑ, වැඩිය දාගත්තොත් ත‍ටු දෙක කැඩිල පාවෙන්නෙ නැති වෙනව, ඒක හන්ද ගහ යට තනකොළ අස්සෙ හංගනව එනකොට අරගන්න.

ඊලඟට යක්මල් පඳුරු ගාල. ඒවත් හරි ජාති. යක් මල් දෙකක් දණ්ඩ පිටින්ම කඩල කට දෙපැත්තෙ ගහගත්තම දෙකොන විලක්කුව ගහගත්තු යකා වගේ නටන්න ඇහැකි, ඒත් ඉතිං මේ පන්සල් යනගමන හන්ද ඒ නාඩගං කරන්න ආච්චිගෙන් ඉඩක් නෑ.

ඊටත් පස්සෙ රිලා වලිග ගස් ටික. පන්සල් ගියත් ඒ රතුපාට රිලා වලිගයක් කඩල අරං පස්සපැත්තෙන් කලිසමට යටකරගන්නනං මට ඕනමයි. එතකොට පස්ස වනන වනන සැරේට වලිගෙත් වැනෙනව. ඊට පස්සෙ හැමෝම පහුකරන් මං ඉස්සරවෙලා දුවනව පන්සල දිහාවට. කොච්චර හයියෙන් දිව්වත් තිලේඅම්ම මගෙ පිටිපස්සෙන් එලවගෙන ඇවිත් අර රිලා වල්ගෙ ඇදල ගලවල දානව පංසල කිට්‍ටු වෙනකොටම.

ඔන්න පන්සලේ මායිමට ආවමනං මං සංසුං. නැත්නං ඉතිං ගෙදර යනගමන් මඟ දිගට ආච්චිගෙන් බණ අගන්න වෙනවනෙ. බිම බලාහෙන වැලි පොළොවෙ පතුල් ඇන ඇන හරිම හෙමින් තමයි මං යන්නෙ. ඒත් ඉතිං වැඩි වෙලාවකට නෙමෙයි. හේවිසි සද්දෙ ඇහෙනකොට ආයෙමත් මට අර සිල් අමතකයි, ඔන්න දුවනව හේවිසි ගෙට.

බණ්ඩ මාමෙ, මටත් දෙනවැයි ඕක ඩිංගක් ගහන්න ? ඇඩ්ඩිං මාමෙ අනේ මටත් දෙන්නකො ඕක පිඹින්න, අනේ අර තම්මැට්ටම මට දෙනවැයි ගෙනියන්න, අර පැලිච්ච එක මං හදාගන්නං. හාමුදුරුවොන්ගෙන් අහන්නෙයි ගන්නදැයි කියල?

ඔන්න ඔහොම එක විකාරයයි පන්සලේ හේවිසි ගේ ඇතුලෙ. ඔය කෙලිය බේරගන්න බැරිහන්දම මට තිලේඅම්ම පස්සෙ කාලෙක ගෙනැත් දුන්න පුංචි දවුල් පොඩ්ඩක්.

පුතේ දැං ඔය ඇති, අපි යං අන්න බුද්ධපූජාව පටං අරං ආච්චි කතාකරනව කියල චූටිඅම්ම මගේ අතිං ඇදං යනව විහාර ගේ පැත්තට.

මෙන්න සේරමල පෝලිං හැදිල මල් අතගහන්න. මාත් රිංග ගත්ත ආච්චියි තිලේඅම්මයි අස්සට. මං කොට හන්ද තිලේඅම්මට හැමතිස්සෙම පාත් වෙන්න වෙනව මට මල් අතගස්සන්න. එහෙම කලත් මගේ අතට මල්වට්ටි හඳුන්කූරු පෝච්චි දෙන්නෙම නෑ.

තිලේඅම්මෙ…..

මොකෝ දරුවො කෑ හගන්නෙ. බුද්ධපූජාව වෙලාවටවත් කටකමිසිරියාවක් නෑනෙ. කටපියන් මල්වලට අතගහන්න. මටත් වැඩිය හයියෙන් ආච්චි මට දෝස්මුරේ දානව මෙන්න.

ඒපාර මං හීන් සීරුවෙ තිලේඅම්ම ආයෙමත් මල් අතගස්සන්න පාත්වෙනකං ඉඳල

තිලේඅම්මෙ….

ම්…..

මේ…… අර මොකෝ අර ඉස්සරහ ඉන්න ආච්චි දත් වවල තියෙන්නෙ, හරිම කැතයිනෙ,

එයැයිට ඒක හන්ද හරියට සාදු සාදු සා.. කියන්නත් බෑ. එයැයි කියන්නෙම සාස් සාස් සාස් සා… කියලෙ නෙ.

මෝඩය !  කියල මෙන්න මගේ උරේ කොනිත්තල තිලේඅම්ම කට තදකරන් උරිස් හොල්ලනව. මොකෝ මෙයැයි මේ හිනාවෙන්නෙ. දැං ආච්චිගෙන් කන්න තමයි හදන්නෙ.

ආච්චි රවනව හි‍ටු කියල මට, ඇයි යකඩෝ මං මක්ක කොලාටෙයි මේ.

ඔයින් මෙයින් පූජාවත් අහවර වෙලා බණක් එහෙම අහල කට්ටියම ආපහු එන්න පාරට බැස්ස. ගියේ අපි ටිකදෙනා උනාට මෙන්න ආපහු එනෙකොට වැල වගේ කට්ටිය. එතකොටනං යනකොට තිබිච්ච හදිස්සිය නෑ ආච්චිගෙ, පිටිපස්සෙන් එන කට්ටියත් එක්ක කදේ දාගෙන හෙමින් හෙමින් මහපාරට එන කන්ද නඟිනව.

මටත් දැං හොඳටම අමාරුයි, ඒ මදිවට නිදිමතයි සෑහෙන්න. ඉස්සරහට යැවෙන්නෙම නෑ වගේ. තිලේඅම්මෙ අනේ මාව වඩාගන්නකෝ, අනේ මගෙ කකුල් දෙකම නෑ අනේ. මගෙ නාහෙන් ඇඬිල්ල වැඩිවෙනකොට ඔන්න මාව උස්සල ගන්නව කරට, කකුල්දෙක බෙල්ල දෙපැත්තෙන් ඉස්සරහට දාං තිලේඅම්මගෙ නළල බදාගෙන මෙන්න මෙහෙම කිය කිය මං ගෙදර එනව.

කකුල රිදෙන නිසා නොවෙද පැටිය අඬන්නේ
උඩින් යන්න හැකි හින්දයි දැන් හිනැහෙන්නේ

ප/ලි: ඔය කවිය තිබුනෙ ඒ කාලෙ පුංචිඅම්මල මට කියවල දීපු පින්තූර පොතක තිබුන කතාවක. ඒකෙ ඉත්තෑ අම්මගෙ පිට උඩ යන ඉත්තෑ පැටියෙක්ද කොහේද ඔය කවිය කියන්නෙ.

ප/ප/ලි : තවමත් ගමේ ගියාම තිලේඅම්ම ඉස්සර වෙච්ච අකරතැබ්බ එක්ක ඔය දත් වවපු ආච්චිගෙ කතාවත් කියන්න අමතක කරන්නෙ නෑ

මට පියාඹන්න කුරුළු පිහා‍ටුවක් දෙන්න

නවම්ට තාත්ත ගැන ඉස් ඉස්සෙල්ලම මතකයෙ තියන විදියට තාත්ත හුල‍ඟේ පාවෙන වී කා‍ටු ගොඩක් අස්සෙන් දුඹුරු පාට හං බෑග් එකක් එක උරේක දාං ඉස්සරහට එනව. මට එදා දැක්ක මූණ මතක නැතත් ඒකාලෙ පින්තූර බලනකොටනං යාන්තං චායාවක් වගේ මැවිල පේනව. ඒ සමහර විට දැං තාත්තගෙ රූපෙයි, අර ඉස්සර ගත්තු පින්තූර වල ඉන්න තාත්තගෙ රූපෙයි එකට කවලං වෙලා මගේ හිතේ ඇඳිච්ච වෙනමම රූපයක් වෙන්න ඇති.

මං ඉපදිලා ඩිංග දවසකින් තාත්ත ආණ්ඩුවෙ රස්සවෙන් නිවාඩු අරගෙන සවුදි අරාබියෙ ගිණි නිවන හමුදාවෙ රස්සාවකට ගියාලු.  ඒ  “මට දැං පුතෙක් ඉන්නව, ගෙයක් දොරක් හදාගන්න ඕනෙ”  කියල. ලංකාවෙදි තිබුන කෙටිකාලීන හමුදා අත්දැකීම් ඒකට ලොකු උදව්වක් වෙන්න ඇති. අනික ඒ වෙනකොට කොළඹ ගිණිනිවන ඒකකයේ වැඩකරල පළපුරුද්දකුත් තාත්තට තිබිල තියෙනව.

ඉතිං මට අවුරුදු තුනක් වෙනකං තාත්තව දැක්කෙ “මගෙ සුදු පුතාට ආදරෙන්” කියල පිටිපස්සෙ ලියල එවන ලස්සන රූප තියෙන පෝස්ට් කාර්ඩ් එක්ක එවන තාත්තගෙ පින්තූරෙකින් විතරයි. එක දවසක් තාත්ත එවපු පින්තූරවල තාත්ත ෂර්ට් එකක් වත් නැතුව කාන්තාරෙ වැලිගොඩක් උඩ වාඩි වෙලා ඉන්න එකක් තිබුන. චූටිපුංචි ඒක දැකල “හා මෙන්න තාත්තට කාන්තාරෙදි හොරු අල්ලං ගහල ෂර්ට් එකත් ගලවං ගිහිල්ල” කියාපි. ඔන්න ඉතිං හැබැහින් දැක්ක කියල මතකයක් නැති තාත්ත ගැන මට දුක හිතිල පුංචිල සේරමලත් එක්ක රණ්ඩු උනාලු. තවත් දවසක් ඇඳේ යකඩ විට්ටමේ කූරු අස්සෙන් තාත්ත බලං ඉන්න පින්තූරයකට “තාත්ත ඔන්න අරාබියෙ හිරේ දාල කියල” ගෙදර හෙන ජල්ලියක් ඇල්ලුවලු.

ඔන්න ඔය අරාබි රස්සවෙන් පස්සෙ ඉස් ඉස්සෙල්ම හක්මන ආච්චිලගෙ ගෙදරට ආපු  තාත්ත තමයි අර වී කා‍ටු ගොඩක් අස්සෙන් දැක්කෙ. ඒ වෙලාවෙ කොහෙන්ද ගෙනාපු අතිං කරකවන යෝධ ෆෑන් එකකින් හුලං ගගහා මිදුලෙ වී හුලං කරනව. එදා දවසට තාත්ත එනකං මගේ ලෝකෙ ලොකුම දේ වෙලා තිබුනෙ අර වී හුලං ගහපු ෆෑන් එක. එදා ඔච්චරයි මට තාත්ත මතක. ආයෙමත් තාත්ත මතක් වෙන්න ගමන් මහන්සියට ඇතුලෙ කාමරේක නිදියගෙනව දැකල අම්ම ගාවට ගිහිං “අම්මේ… තාත්තගෙ ලොකු, යෝධයෙක් වගේ අන්න ඇඳේ නිදි” කියල කියාපු වෙලාවෙ.

ඊට පස්සෙ තාත්ත ගෙනාපු ටින් කරපු පළතුරු, චීස්, විස්කෝතු කනකොටයි, නූලකින් උඩ එල්ලල බැටරි දාල අතෑරියාම නූලෙ දිගට වටේට කැරකෙන ප්ලේන් එකයි, හැප්පුනාම පස්සෙන් පස්සට ඇවිල්ල ආයෙමත් පාර හොයාගෙන යන රතුපාට කාර් එකයි, මිදුලෙ වැලි තල්ලුකරන් යන කහපාට බුල්ඩොසර් එකයි එක්ක සෙල්ලං කරපු වෙලාවෙත් තාත්ත මගේ පස්සෙන් උන්න කියල මතකයි යාන්තං.

ඊට පස්සෙ තාත්තයි අම්මයි මාව ආච්චියි, සීයයයි, පුංචිඅම්මල රොත්තයි එක්ක ගමේ දාල ගාලු ආවලු රස්සාවට. ඒ වෙනකොට අම්මත් ආණ්ඩුවෙ රස්සවක් කරපු නිසයි, තාත්තගෙ රට යන්න ගත්තු නිවාඩුයි අහවර වෙච්ච නිසයි මාව තියල යන්න උනාලු. අද වෙනකොට මට ඒ කිසිම දෙයක් මතක නෑ, යන්තං එළිවෙච්ච වෙලාවෙ ඉඳන් ගොම්මන් වැ‍ටුනම ගෙට එන්න කියල ආච්චි කතාකරනකන් පුංචි අම්මලත් එක්ක නටපු විගඩං ඇරෙන්න.

ඔතනින් පස්සෙ ආපහු තාත්ත ගැන මතකයක් තියෙන්නෙ මාව සී.ඩී125 එකේ ටැංකියෙ උඩ තියං ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙට එක්ක යනව. ඊට පස්සෙ ආපහු කාලයක් යනකං මතක නෑ. ආපහු මතක තියෙන්නෙ හයවසරෙදි ඊස්ටර්න් ස්පොර්ට් බයිසිකලයක් අරන් දෙන්න ගාල්ලෙ ඩේවිඩ් එකට ගියපු ගමන තමයි. එදා ඉඳං පුංචි පුංචි හිස් තැන් එක්ක තාත්තව මතකයි. අද උදෙත් වගේම ඒ හැම උදේකමත් තාත්ත දැක්කට මගේ මතකයේ තාත්ත ඉන්නෙ සමහරක් දවස් වල විතරයි, හරියට කඩ ඉරක් වගේ.

ඒ සමහර විට මට තාත්තව එකදිගටම මතක තියාගන්න ඕනෑ උනේ නැති නිසා වෙන්න ඇති. තාත්ත මට ආදරේ කලා හොඳටම වැඩී. අත මානයෙන් එහාට යන්න දුන්නෙ නෑ කොයිම වෙලාවකවත්. ගහකට නගින්න, බයිසිකලයක් අරන් දුන්නත් ඒක පැදන් පාරට යන්න, ගිං ග‍ඟෙන් වට වෙලා තිබුන තාත්තගෙ ගමට ගියාම ගඟට බහින්න, බාප්පලගෙ ළමයි එක්ක ඒ ග‍ඟේ පාරු පදින්න, ඉස්කෝලෙ ළමයි එක්ක ට්‍රිප් එකක් යන්න, අඩුම තරමෙ ඉස්කෝලෙ බාහිර වැඩකට යන්න ඉඩක් නොදුන්න ගානයි. ඉඳල හිටල බැරිම උනොත් අඬල පොළොවෙ හැප්පුනාට පස්සෙ එකක් දෙකක් කරන්න ඉඩක් දුන්නත් හැම වෙලාවකම ඒක මට මදි උනා. මම එදා වගේම අදත් අනිත් තාත්තලත් එක්ක අපේ තාත්තව සංසන්දනය කරනව. මම වැරදි ඇති. ඒත් මේ මට හිතෙන හැටි.

උපන් දා ඉඳල අවුරුදු දහ අටක් වෙනකන් මට සෙනසුරු අපලෙ තිබුනලු. තාත්ත බය වෙන්න ඇති මම මොකක් හරි අණතුරක් කරගනී කියල ඔය දේවල් කලාම. ඒත් එපා කියන්න කියන්න මට ඒ දේවල් මයි කරන්න ඕන උනේ. තාත්ත නැති වෙලාවට ගෙදර ඉස්සරහ අඹ ගහේ නැගල දිමියො කකා අත්තක පැද්දී ඉන්න එක මට මහ මෙරක් වගේ උනා. තාත්ත ගෙදර ඉන්න වෙලාවට ගේ වටේ විතරක් බයිසිකල් පැදපු මම තාත්ත ගෙදර නැතිවෙනකොට හොරෙන් පාරට ගියා. කොටින්ම තාත්ත එපා කියපු හැම දෙයක්ම  තාත්ත නැති වෙලාවට කලා. ඒකෙන් මම තෘප්තියක් ලැබුව. එහෙම හොරෙන් කරපු වැඩක් ඉඳ හිට වෙලාවක තාත්තට අහු වෙලා බැනුම් ඇහුවත් කිසිම ගානක් තිබුනෙ නෑ මට. ඒකාලෙ මං තාත්තට නරක පුතෙක් වෙන්න ඇති. ඒත් මං උන්නෙ හරිම සන්තෝසෙන්.

ඒ ආදරේ මට වදයක් වෙන තරමට මාව හිරකරගෙන උන්නෙ. නිදහසේ කුරුල්ලක් වගේ පියාඹන්න බලං උන්න මට තාත්ත පෙනුනෙ හිරකාරයෙක් ආරක්ෂා කරන ජේලර් කෙනෙක් වගේ, මගේ ඉස්සරහ තියෙන මහා පවුරක් වගේ එලිය බලන්න බැරි තරං උස. මට එහෙම තාත්තව පෙනුනට තාත්තට මාව පේන්න ඇත්තෙ සම්පූර්ණයෙන්ම වෙනස් විදියකට.

අද මං පුදුම තරං නිදහසක් විඳිනව. එදා වගේම අදත් තාත්ත පැත්තක ඉඳං මම දිහා බලාගෙන ඉන්නෙ. ඒත් තාත්තට තේරිලා ඇති මට දැන් නිදහස දෙන්න කාලෙ හරි කියල. ඒත් මේ නිදහස මීට ටික කාලෙකටහරි කලින් හම්බු උනානම් මට මීට වඩා සන්තෝස වෙන්න තිබුන කියල නොහිතෙනවත් නෙමෙයි. සමහර වෙලාවට මට එහෙම නිදහසක් දුන්නනම් ඒක මගේ විනාසෙටත් මුල වෙන්න තිබුන.

මගේ මතකයේ තාත්ත කඩ ඉරක් වගේ උනාට එදා ඉඳන් අද වෙනකං තාත්තට මගේ ජීවිතයේ හැම දවසක්ම අඩුවක් නැතුව මතක ඇති හරියට මාස හයක් වෙච්ච පුතු පැටියගෙ හැම දවසක්ම මට මතක තියෙනව වගේ.

කොහොම උනත් මම අද තාත්ත ගැන හිතන විදියට මගේ පුතු පැටිය මම ගැන නොහිතයි කියල මම හිතනව. ඒ මම ඒකව කොයිම වෙලාවකවත් අනවශ්‍ය විදියට හිර කරන්න බලන් ඉන්නෙ නැති නිසා. මගේ තාත්ත නොදැන කරපු දේ දැන දැනත් මං කොහොමද කරන්නෙ. ඌ අත්ත‍ටු නැති කුරුල්ලක් නම් මම ඌට අත් ත‍ටු දෙකක්වෙනව ඌත් එක්ක එක රෑනට පියාඹන්න. ඌ වරල් නැති මාළුවෙක් නං මම උගෙ වරල් දෙක වෙනව ඌත් එක්ක එකට පීනන්න. හුලං නැති දවසක ක‍ටු රොදකට පාත් වෙච්ච වරා මලක් නම් හුලං ‍රැල්ලක් වෙනව පැළ වෙන්න තරම් සරු පොළොවක් හොයාගෙන පාවෙලා යන්න.

ඒ තමයි මගේ ආදරේ !

මාළු කොඩිතුවක්කුයි කුරක්කන් තලපයි

සුදු අක්කේ රෑට තලප කනවැයි?

කියල සෑහෙන කාලෙකට පස්සෙ තිලේඅම්ම ඇහුවෙ වැඩ ඇරිල ගෙදර ආපු අපේ අම්මගෙන්.

ඒ වෙලාවෙ මට ගියපු සන්තෝසෙ. මං මහම පෙරේතයි තලප ගිලින්න. ඒ වග දැනං උන්නු තිලේ අම්ම කුස්සි ඉස්තෝපු කෑල්ලෙ සන්තෝසෙන් උඩපනින මාව අම්මට ඇහෙං පෙන්නුව.

මට මොකෝ තලප හම්බවෙනවනං ඕනෙ එකක් කියල ඒපාර වැල් ඇඳට පැනල උඩ පනිනව. මයෙ බරට ඇඳ වැල් කිරි කිරි ගානව. ඒකෙ සද්දෙට  ඉස්තෝපු කෑල්ලෙ මුල්ලෙ වී ගෝනි අස්සෙ පැටව් ගහපු කිරි පූසිත් එළියට ඇවිල්ල පුදුමෙන් වගේ මං දිහා බලං ඉන්නව. එයැයිට පැටව් අමතකයි වගේ මගෙ විගඩං වලට.

ඔය වගේම සන්තෝසයක් ආව මතකයි ඉස් ඉස්සෙල්ලම මෙහේ බලුබ් එකක් පත්තුවෙච්ච දොහේත්. එදත් මේ වැල් ඇඳ කැඩෙන්න උඩපැන්න.

ඔයි මොකෝ කරන්නෙ. කඩල දාන්න හදනවැයි ඇඳ?

ආච්චි උළුවස්සට හේතුවෙලා ඉඳං අහනව. එයැයිගෙ පිටිපස්සෙන් බහින ඉරේ එලියෙ තද කොමටද කොහෙද මූනෙ තියෙන්නෙ හිනාවක්ද කේන්තියක්ද  කියල බලාහන්න බෑ. කොහොම උනත් මං නැවැත්තුව. නැත්නං හීං ඉරට පාරක් වදිනවනෙව පස්සට.

මං විගඩං නවත්තපු හන්දද කොහේද කිරි පූසි මහ කම්මැලි ඈනුමක් ඇරල ආපහු ගෝනි ගොඩ පැත්තට හැරිල වී පුරෝපු පෝර උරේක නියපොතු මදින්න තියාගත්ත.

චිප් පූසි චිප්……

ආච්චි එයැයිට බැනල එලවගත්ත. හොඳ වැඩේ, අච්චර ගෝනි තියෙද්දි මක්කටෙයි පෝර උරේම නියපොතු මැද්දෙ. ඉරුන නම් මොකෝ අපි එපැයි අස්කරන්න. එයැයි පැත්ත පළාතෙ එනවැයි කියලය. ආවත් ඉතිං වී බොන්න ආපු මැස්සෙක් අල්ලන්න කුරුමාණං අල්ලනව විතරෙනෙ.

පුතේ, චූටිඅම්මත් එක්ක පීල්ලගහ වත්තෙ දෙණියට ගිහිං ගහල දළු ඩිංගිත්තක් කඩං එන්න.

ඔන්න තවත් මං ආසම වැඩක්. අනික යන්නෙත්  කිව්වෙ චූටිඅම්ම එක්ක. එයැයි හරිම ජොලි පුංචිඅම්ම. අනිත් ඈයො වාගේ නෙමෙයි. මං මක්ක කරත් ඇස් උඩ තියං කැගහන්නෙ නෑ, එයත් එනව මිසක් මගෙ නාඩගං වලට.

යං කියල චූටිඅම්ම මගේ අතිං අල්ලගන්නව. ඊට පස්සෙ පිළිකන්න පැත්තෙන් කරාබුගස් මණ්ඩිය දිගේ ගිහිල්ල බේබි ආච්චිලගෙ වත්තෙන් පාරට බහිනව. ඒක තමයි තියෙන ලඟම පාර. නැත්නං හරි දුර. බේබි ආච්චි දැක්කොත් “රුප්පෙ පුතේ කොහේද මේ යන්නෙ ?” කියල අහනවමයි. එයැයිටත් ඕන නැති කෙහෙල් ගෙඩියක් නෑ. ඒත් ඉතිං අද වැඩකට නෙව යන්නෙ, වෙනද වගේ කම්මැලි කමට ඔහේ ඇවිදිනව නෙවෙයිනෙ. ඇහුවොත් කියනව අද රෑට තලපෙයි කන්නෙ කියල.

ම්ම්ම්…… එයැයිටත් ඕන වෙයිද දන්නෙ නෑ. ඒත් ඉතිං කන වෙලාවට ආවොත් සීය මහසෝනට උනත් එන්නෙයි කියල බෙදල දෙනවනෙව. ඉතිං බෙබි ආච්චි ආවොත් එයැයිගෙ තලප ගුලිය දෙන්නෙයි කියනො.

පීල්ලගහ වත්ත වෙලේ, හින්නි මාමලගෙ ගෙවල් පැත්තෙ කණ්ඩිය පල්ලෙහා වතුර පාරෙ තමයි වෙල් ගහල ගාල තියෙන්නෙ. චූටි අම්මයි මායි වතුරෙ බැහැල තර‍ඟෙට ගහල ගොබ ගලවන්නෙ. රෑට තලප කන්න විගහට යන්න තියෙන හන්ද මිසක් වෙන දවසක නං ගහල ගොට්ටකට මාළුවෙක් අල්ලං ඇවිල්ල වෙලේ ලිඳට දානවමයි. ඒත් අද ඕව කරන්න ගිහිං ආනම හදන්න පරක්කු උනොත්…

හා රුප්පෙ පුතේ…. අද තලප හදන්න වගේ…..

ඒපාර කවුද? සද්දෙ ආපු දිහා බැළුව. හා හින්නි මාම නෙව.

ඕ…. අපි අද තලප හදනො. ඔහෙත් එනවැයි.

අනේ පුතේ අද පන්සලේ පිරිත්මණ්ඩප්පෙ ගහනවනෙව. මං මේ එහේ යන්නෙයි කියල.

අඩ්ඩඩ්ඩා… අන්න ඊලඟට මං ආසම වැඩේ. හින්නි මාම කපන මල්කොළ දිගාරින එක. එයැයි ගාව නියන් මිටියක්ම තියෙනව එක එක හැඩේ මල් කපන්න. එක සීරුවට කොල නවල කපනව එක එක අතට හිල්. දිගාරිනකං හිතාගන්න බෑ එයැයි කැපුවෙ මොන මෝස්තරේද කියල. හරිම හැඩයි. ගොඩක් වෙලාවට එයැයි කපන සේරෝම දිගාරින්න කලිං මට නින්දගිහිල්ල. ආපහු උදේ වෙනකොට මෙන්න මාලිගාවක් වගේ හැඩ මණ්ඩප්පයක් තියෙනව. ඊට පස්සෙ තවත් වරුවක් විතර යනො ඉතුරු සුකුරුත්තං වැඩ අහවර වෙන්න. රෑට වටේට පොල් තෙල් පහන් පත්තුකරල මැද පැට්ටෝල් මැස් එක තියල ගත්තම දිවියලෝකෙත් මේවගේ වෙන්න ඇති කියල හිතෙනො.

හා එහෙනං අපි හෙට එන්නං ඔහේගෙ මණ්ඩප්පෙ බලන්න. දැං අපි යනෝ. අම්ම බලං ඇති.

එහෙම කියල ආපහු ආපු පාරෙන්ම ගෙදර එනෝ. ඉර බැහැපු හන්ද කරාබුගස් මණ්ඩියෙන් විගහට යන්න ඕන, නැත්නං සූ ගාල ඉන්න මදුරුවො කනව.

මෙච්චර වෙලා පුතණ්ඩියයි පුංචිඅම්මයි මක්කයි කලේ. ගහල වැව්වයි දළු කඩං එන්න මෙච්චර වෙලා ගීයේ ?

ආච්චි ඔහොම්ම මයි. එයැයිට තේරෙන්න නැද්ද මංද. මග දිගට කී දෙනෙක් එක්ක කතාකරන්න වෙනවැයි.

අන්න හින්නි මාම හෙට පිරිත් අහන්න එන්නෙයි කිව්ව ඔහේට, කියාගෙන මං වෙල් ගහල දළු මිටියත් අරං රිංගනව කුස්සියට.

අම්මෝ පුසුඹ. දර ලිපේ ගොජ ගොජ ගගා පැහෙනව මාළු හොද්දක්. මට ඉන්නම බෑ. මං එබෙනව ලිපට. ඒපාර හුමාලෙ වදිනවව මූනටම. මාළු ඔලු හතරකුයි තව කෑලියි හුමාලෙ අස්සෙන් යන්තං පේනව.

තිලේඅම්මේ කොඩිතුවක්කුත් දැම්මයි මෙකට.

ඕව් හතරක්ම ඇති. සීය කියලම ඉල්ලං ඇවිල තිබුන අපේ ගෙදර කොඩිතුවක්කු කන්න පෙරේත කොල්ලෙක් ඉන්නවැයි කියල.

මං කොඩිතුවක්කු කියන්නෙ මාළුවගෙ පීකුදු වලට. ඒක හරියට කාලතුවක්කුවක් උඩ බලං ඉන්නව වගේ. මට ඒකට කියන්නෙ කොඩිතුවක්කුයි කියල කියල දුන්නෙ තිලේඅම්ම වෙන්න ඕන. එයැයිට හරි අපූරු දේවල් තමයි හිතෙන්නෙ.

මට ඇසුත් ඕනෙ… මගෙන් තවත් ඉල්ලීමක්. මාළුවගෙ කොඩිතුවක්කුව ඇරුනම ඇස් වලට තමයි මං ආසම. හයිය ඇස් වික වික ඉන්න ඇහැකි ගොඩක් වෙලා. මාළු කන හැමදාම මගෙ පිඟානෙ පැත්තක අන්තිමට කන්න ඉතුරුකරගන්නව කොඩිතුවක්කුයි ඇසුයි.

මං මාළු හොද්දට ඇහැ ගහං ඉන්න වෙලාවෙ අම්මයි ආච්ච්යි වෙල් ගහල දළු ආනමයි, තලපයි හදල එවරයි. ඔන්න ඇතුල්පොතක දුං දම දම තියෙනව තද දුඹුරුපාට තලප ගුලි. තවත් බලං ඉන්නෙ අහවල් දේකටෙයි.

එන්න කන්නෝ………. මං බෙරිහං දෙනව.

කාටෙයි ඔය ආවඩන්නෙ. දැං මුළු ගමම එයි මෙතන සද්දෙට. ආයෙමත් ආච්චි.  බයවෙලාද කොහෙද එයැයිගෙ තලප ගුලියත් දෙන්න වෙයි කියල.

අඩියෙ සපත්තු මල් තියෙන බොකු‍ටු එනැමල් පිඟානට මං දාගන්නව දුං දම දම තියෙන තලප ගුලියකුයි මාළු බොර හොද්දයි. ආනම බෙදන්නෙ අම්ම තමයි. මොකෝ මං ආස නෑ ඒකට වැඩිය. ඒත් ඉතිං අම්මගෙන් බේරෙන්න ඇහැකිය. පුංචියට කඩාගෙන ගුලි කරගත්තු තලප ගුලියක් අස්සෙ ගහල මාළු හොද්දෙ දවටගත්තම ගත්තම ගහල දළු ආනමත් ගිලගන්න ඇහැකි. ඔය තලපෙ විකන්න එහෙම ඔට්‍ටු නෑ. විකුවොත් කට පුරාම ඇලිල මහ විනාසයක් තමයි වෙන්නෙ. ඔන්න ඔහොම  ගුලි කරකර අර ලොකු ගුලියකට මං වැඩේ දෙනව බුරිය උල් වෙනකන්ම. ඊලඟට නැහැමින් බෙදාගත්තු මාළු හොද්දෙ දියවෙලා තියෙන තලපත් එක සුරුස් ගාල එක උගුරට ඇදල දානව. ආයෙ ඉතිං ඇඟිල්ලක්වත් ගහන්න නෑ මගෙ බඩේ ඉඩක්.

මේක කියවලනං තලප හදන්න බෑ, මං මාළු හොද්දෙ අරුමෙ බල බල ඉන්න සුනංගුවට අම්ම තලප හදල අහවරයි නෙව. ඕනෙ නං මේ විදියට කන්න ඇහැකි. හදාගන්න කැමතිකෙනෙක් ඉන්නවනං මේන්න මේ කමු බොමු එකෙනුයි අරුණි අක්කගෙනුයි අහල බලන්නකො.

Follow

Get every new post delivered to your Inbox.

Join 79 other followers