එබුවෙ ගේ කතා – අල්ලපු වත්තේ කුරුම්බා
දෙසැම්බර් 5, 2011 ප්රතිචාර 51
මතකයි නේ ගිය සතියෙ අපි එබුවෙ ගෙ ගෙදර රෑ පාඩම් කරන්න නැවතිලා වෙච්ච දේවල්. තව ඩිංගෙන් උන්ගෙ අම්ම මහ රෑ කියල බලන්නෙ නැතුව අපි සේරෝම එලෝගන්නව.
දැං කතාව එතන ඉඳල….
ටොක් ටොක් ටොක්….
කවුරු හරි දොරට තට්‍ටුකරනව හීනෙං වගේ මට ඇහුන. ඇහැරිලා බැලින්නං වෙලාව එකොලහ හමාරයි. අනිත් එවුනුත් වැටිච්ච වැටිච්ච තැන්වල පොත් බදාගෙන කිරනව.
ඒයි නැගිටපල්ල බං, කවුද දොරට ගහනව ඇහෙන්නෙ නැද්ද. මං පයිං ඇනල එබුවෙ ඇහැරෙව්ව.
කවුද බං මේ මහ රෑ.. මළ කරදරේ…. කියාගෙන ඌ ගිහිල්ල දොර ඇරිය.
මොකද ඕයි ?
බාගෙට ඇරපු දොර පියනෙන් ඔළුව දාපු මිනිහ කාටද බනිනව.
එක පාරටම ඌව ආපස්සට තල්ලු උනා. ඊට පස්සෙ උණුවතුර බෝතලයක් දොර රෙද්ද අස්සෙන්.
ගන්නව මේක.
ආ මේකත් ගන්නව. තව ප්ලාස්ටික් කෝප්ප ටිකකුත් ඊලඟට දොර රෙද්ද අස්සෙන්.
මේක බීල ආයෙම කට්ටියත් එක්කම නිදාගන්නව. මෝඩයො !
එහෙම කියල එබුවෙගෙ අක්ක අපිටත් ගස්සං ගියා.
ගොයං කයියට ගියපු එවුන් වගේ අපි තේත් එහෙම බීල අහවර කරල ආයෙම පොතක් අතට ගත්ත ඊලඟ නිදිවඩිය එනකන්.
ගානක් දෙක් හදල, නොතේරෙන එවුන්ට තේරුනුත් කරල දීල තව පැයක් හමාරක් කරදරයක් නැතුව අපි උන්න.
මචං….
එබුවෙ මහ හයියෙන් කට ඇරිය.
මේ මචං, ඕනෙ මඟුලක් කියහං අම්මයි තාත්තයි ඇහැරවන්නෙ නැතුව. එහෙම උනොත් මේ මහ රෑ අපි කොහේ කියල යන්නෙයි. එබුවෙගෙ කටේ සද්දෙට බයවෙච්ච අනුෂ්කය කිව්ව.
බය වෙන්න එපා බං. දැං දොලහත් පහුවෙලා. ඒ දෙන්න නැගිටින්නෙ නෑ ආයෙ එලි වෙනකං.
යමංද කුරුම්බයක් බොන්න ?
අම්මප මේක හරක උනාට ඌටත් ඉඳල හිටල අපූරු දේවල් කල්පනාවට එන්නෙ. දොරකඩ කුන්දිරා ගස් දෙකේ වලු පිරිල තිබිච්ච හැටි අපි හවහ බලාගෙන උන්නෙ.
අඩේ නියම අයිඩියා එක. අර මිදුලෙ තියන කුන්දිරා නම් නියමෙට ඇති බං.
මොන කුන්දිරාද බං. ඕව කඩල තාත්තගෙන් හෙට උදේට ගුටි තමයි බොලාටයි මටයි.
එහෙනං කොහෙන්ද බං කුරුම්බා බොන්න යන්නෙ?
යමංකො කියන්න. අර උඩහ තියනව තව ගස් වගයක්.
අපි කට්ටියම හිමිහිට දොර ඇරගෙන මිදුලට බැස්ස. එබුවෙ කුස්සියෙන් මන්න පිහියත් අරං ආව.
හරි, දැං කට්ටියම මගේ පස්සෙන් සද්ද නොකර වරෙල්ල. කියල මිනිහ ඉස්සර උනා. අපි කට්ටියම දැං උගෙ පස්සෙන් ගෙයි කුස්සිය පැත්තෙ තියන සියඹලා ගහ ගාවින් තියන පස් කණ්ඩියත් නැඟල තනකොල බිස්සක් දිගේ ඇවිදං යනව.
ලාවට තියෙන හඳ එලියෙන් පේනව මහ විසාල පොල් වත්තක්.
මචං එබුවෙ, උඹලට පොල් වත්තක් තියනව කියල අපි දැනං උන්නෙ නෑ නෙ බං. උඹල හෙන සල්ලිකාරයො නේ.
කවුද කිව්වෙ මේක අපේ කියල. මේක අපේ නෙමෙයි බං අල්ලපු ගෙදර උන්ගෙ.
යකෝ… උඹ මාර බඩුවක්නෙ. තෝ අපිව එක්කන් ආවෙ හොර කුරුම්බ කඩන්නද අච්චර හොඳ කුදිරා ගස් දෙක අතෑරල.
මං කිව්වනෙ බං බය වෙන්න දෙයක් නෑ කියල. අනික දොරකඩ ගහේ කුරුම්බ බිව්වනං තාත්තට අහුවෙනව බං.
මෙන්න මේ පිහිය අල්ලගනිං මං ගහට නඟින කං.
එහෙම කියල එබුවෙ සුරුස් ගාල නැග්ග. වලල්ලක්වත් නැතුව මිනිහ විනාඩියට කරටියෙ.
දග්…… දග්…. දග්… දග්…..
ඌ වගේ වගක් නැතුව කුරුම්බා කඩනව. අනුංගෙ නෙ. ඉතිං කොයින්ද අගයක්.
රෝල් වෙලා ගිහිල්ල අගල් වල වැටිල තිබිච්ච ගෙඩි ටික අහුලගෙන ගහක් මුලට වෙලා කපං බීල පලං ලොඳත් කෑව.
මංචං මේ කෝම්බ දාන්නෙ කොහාටෙයි?
ඔන්න ඔතන පොල් අගලට දාපං බං.
පිස්සුද බං, හෙට උදේට වත්ත අයිතිකාරයොන්ට අහු වෙයිනෙ.
අහුවෙන්න උන් මෙහේ ඉන්න එපැයි බං. උන් ඉන්නෙ මා ගාල්ලෙ. ආයෙම ඊලඟ පොල් මුරේට මිසක් ඊට මෙහා එන්නෙ නෑ. බය නැතුව ඔන ඔහේ දමල යමල්ල.
කුරුම්බා කෝම්බත් ගහ මුලම දාල ආපු අපි ආයෙම කාමරේට වෙලා සනීපෙට නිදාගත්ත.
හෙහ් හෙහ්… හොහ් හොහ් හා….
හිහ්…. හිහ්.. හී හී…..
මහා හිනා සැද්දෙකින් අපි කට්ටියම ඇහැරුනා. මේ එලිවෙන පාන්දර කවුද බොලේ මේ…
ඇහෙන්නෙ කුස්සිය පැත්තෙන්. අපි කට්ටියම විගහට ගියා බලන්න මෙච්චර හිනාවක් මොකද කියල.
අපි යනකොට එබුවෙගෙ තාත්තයි අක්කයි වත්ත උඩහට වෙලා හිනාවෙනව.
මොකෝ අංකල් මේ?
හා මේ ඇවිල්ල ඉන්නෙ කුරුම්බා හොරු. ඇයි මනුස්සයො මං කිව්වෙ ඕනෙ නං අර ඉස්සරහ කුන්දිරා පැලෙන් බොන්නෙයි කියල. මොන එහෙකටෙයි මේ නැඩ ගස් බඩගෑවෙ.
බඩු හරි. එබුවෙගෙ තාත්තට අතේ කෝට් ඊයෙ රෑ හොරකම. ඒත් ඉතිං මොකක්ද අර කුන්දිරා බොන්නෙයි කියාපු කතාව…..
අපි සේරම එබුවෙ දිහාට හැරුන.
හරි හරි මචං, උඹල අප්සැට් වෙන්න එපා. ඒ බීපුවත් අපේ තමා කියල.
මොකක්.. ?
එතකොට මොන උලව්වකටද බං අර නිදි කුම්බා ගාලෙ, අගල් වල වැටි වැටි මහ රෑ අපි එක්කගෙන ගියේ.
එතකොට එබුවෙ අහපි
හා දැං උඹලම කියාපං ගෙදර දොරකඩ කුන්දිරා බොන එකද එහෙමත් නැත්නං අල්ලපු වත්තෙ හොර කුරුම්බා බොන එකද වැඩිය ආතල් කියල ?








අලුත් ප්රතිචාර