සියළුම සිංහල බ්ලොග් කරුවන් ගේ බිරින්දැවරුන් වෙත ලියමි.
අගෝස්තු 1, 2011 ප්‍රතිචාර 53
දැන් කීප දොහක ඉඳං මයෙ මිනිහ නිස්කාරනේ මත් එක්ක කේන්ති ගන්නව නෙව. මයෙ මොන වැරැද්දකටද කිය ඇහුවට කියන්නෙත් නෑ. කතා බහත් බොහෝම අඩු වෙලා මේ දවස් ටිකට. කිසිම මනුස්සයෙක් පෙන්නන්න බෑ. අහවල් දෙයක් හන්දද කියල මට නං හිතාගන්න බෑ.
කල්පනා කරලමද කොහෙද දවස් දෙක තුනට ඇදිල ගිහිල්ල සුදු මැලි වෙලා හරියට අර හුඹගෙන් ඇදල ගත්තු නයා වගේ. අපෙ අප්පෝ බැලුවම දුකේ බෑ. කොහොමට හිටපු මිනිහෙක්ද? [මාව බැඳගන්න කලින්]
මං නිකං සැකේට වගේ මනුස්සය කක්කුස්සියට ගිය වෙලේ ලැප් ටොප් එක ඇදල අරං නිදිවරං, මගෙන් රටක කතා අහං බොහෝම කැපවීමෙන් දරුවටයි මටයි වත් නැති ආදරෙන් ආරස්සා කොරන බ්ලොග් රාජයා බැලුව.
අනේ දෙයියනේ බලන්න දුකයි.පටංගන්න කොට දවසට පෝස්ට් දෙකක් විතර දාපු මනුස්සයා ටික කාලෙකින් සතියකට දෙකක් ඊටත් පස්සෙ සතියකට එකක් දාන තරං නිර්මාණ බංකොලොත් භාවයකට පත්වෙලා. ස්ටේටස් පේජ් එක බලන බැරි තරමට කඩාගෙන වැටීල නොවැ.
ඒත් පෝස්ට් අඩු උනාට දාන එක දෙක හරි බලන්න හාර පන්සීයක් සතියකට එනව. ඉතිං මේ මනුස්සයට හිත හදාගන්න ඒකවත් මදියිද මංද.
එක අතකට ඒක අහන්න දෙයකුත් නෙමෙයි. මේ මිනිහ කිසිම දෙයක් ඇති කියන ජාතියෙ නෙමෙයි නෙව.
මං ඒත් කිව්ව ලියන්න තරං වැදගත් දෙයක් නැත්නං ගෙදර ඉස්සරහ මැටි ගඩොල් කපන වලේ මැටි පාගන මී හරක් දෙන්න ගැන හරි, අල්ලපු ගෙදර කෙල්ල ලිඳගාව නානකොට අර අනිත් පිස්සව ආදර්ශයට අරං පොතක් අරගෙන බැල්කනියට වෙලා ඉඳල මගෙන් කාපු කොහු පාර ගැන හරි, බැල්කනියෙ වනල තිබිච්ච අන්ඩවෙයාර් එක හුලඟට ගිහිල්ල ලෑන්ඩ් ලෝඩ්ගෙ වයිෆ්ගෙ පෑන්ටි වැලේ පැටලිච්ච එක ගැන හරි ලියන්නෙයි කියල.
කොහේද මේ මිනිහ කිව්වෙ “ඈ ඕයි ගෑණියෙ, ඕව ලියල රෙද්දක් ඇඳං පාරෙ යන්න ඇහැක්ද ?” කියල.
අනේ මේ මිනිහගෙ මං නොදන්න බොරු සදාචාරෙ පැත්තක තියල අර මාළුව වගේ විලිසංගෙ නැති කතා ටිකක් ලිව්වනං ආයෙ කාලයක් යනකං ගොඩ. එහෙමත් නැත්නං මොකක්හරි ඇනෝනිමස් ආතල් එකක් ගත්තනං ඇඟේ ලේ ටිකත් රත් කරගනෙ කොකු දෙක තුනක් පටලවාගෙන සන්තෝසෙන් ඉන්න ඇහැකි.
කවද්ද ඉතිං මේ මනුස්සය මං කියන දෙයක් ඇහැව්වෙ. ඒත් කීව නාහන ගුරු උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි කියල අතෑරල දාන්න ඇහැක. මොකක් උනත් මේ මයෙ අම්මල බෑ බෑ කියද්දි ජෝඩු කරපු මඟුලනෙව.
ඔය මං උඩින් කියාගෙන ආවෙ මට කියන්න ඕන දේට පොටක් පාදගන්න.
මේං මට කියාගන්න ඕන දේ…….
මයෙ මනුස්සයගෙ ගෙදර ගෙනැල්ල කරන රාජකාරි වැඩ කටයුතු අහවර උනාම ඉඳල හිටල ලැප් ටොප් එක ඉල්ලං කියවන බ්ලොග් කීපයෙනුත් දෙක තුනක්ම කිසිම පෝස්ට් එකක් නැතුව පාළු වෙලා ගිහිල්ල. බලන්න දුකේ බෑ.
අනේ මං වගේ තම තමංගෙ මිනිස්සුන්ට ඔයාලත් පුළුවන් විදියට වතුර පාරක් ගහල , හති කුඩු පැකට් එකක් එහෙම දීල පොඩි උදව්වක් කරන්න ඔය බ්ලොග් පංඩංගුව ඇදගෙන යන්න. මොකද එහම නැත්නං කාලයක් යනකොට සිංහල බ්ලොග් ලියන්න ඉතුරුවෙන්න කසාද නොබැඳපු හිච්චි කොළු කෙළි රොත්තකුයි, රස්සා එහෙම කොරල ලොකු මහත් වෙච්ච දරුවො දීගතල දීල එහම අහවර වෙච්ච වයසක රොත්තකුයි තමයි. මයෙ මිනිහ වගේ හැඩි දැඩි විවාහක පිරිමි බ්ලොග් අවකාශයෙන් අතුගෑවිලා යයි.
මනුස්සයා උදේ පාන්දරම ඇහැරවන්න, හොඳ කිරි තේ එකක් එහෙම ගිහිල්ල දීල ආදරෙන් ඔළුව ඉඹල එහෙම වැඩ පටගන්න කියල කොම්පියුටරේ ගාවට එක්කං යන්න.
ආයෙම හැන්දෑවට ගෙදර ආවමත් කම්පියුටර් එක බදාගෙන ඉන්න එකට මුකුත් කියනව එහෙම නෙවෙයි.
ඉවසන්න… වෙන කවුරුවත් වෙනුවෙන් නෙමෙයි සිංහල බ්ලොග්කරුවන්ගේ අනාගතය වෙනුවෙන්.
ගෙදර උයන්න පිහන්න එළවලු මාළු එහෙම නැත්නං වැරදිලාවත් සති අන්තයේ ගෙදරට වෙලා සනීපෙට බ්ලොග් ලියන මනුස්සයවනම් ඒක නවත්තල කඩේ යවන්න එහෙම එපා. ඔයාම මල්ලක් අරන් හන්දියට පයින් යන්න. ඒක ඇඟටත් බොහොම හොඳයි.
තව පොල් ගාන, පිටි කොටන, පිටි හලන වැඩ වලට එහෙමත් හවුල් කරගන්න එපා. ඒකත් තමාම කරන එක අනාගතයේ ඔය ආරන තෙල් බඩවල් වලට එහෙම බොහොම හොඳයි.
ඊලඟට ඔය උකුලෙ දාල නිදි කරවන ළමයි එහෙම ඉන්නවනම් ඒ අය නිදි කරවන එකත් ඔයාලම කරන්න මතක තියාගන්න ඕන. මතක තියාගන්න ඒකත් බොහෝම හොඳ ව්‍යායාමයක්. අමතක කරන්න එපා.. රිය සක වන් පුළුලුකුළ !! සිහිනිඟ ගත හැක මිටින !!!
තව ඩිංගෙන් වැදගත්ම දේ අමතක වෙනවනෙව. ඔය ඉඳල හිටල බ්ලොග් ලියන පුරුස පක්සෙ කඩන බෝතල් වලට බර බරේ දානව එහෙම නෙවෙයි. ඒවයෙදි සිද්ධවෙන අත් වැරදීම්, කට වැරදීම්, අකලකංචි එහෙම බොහෝම වැදගත් ඔය බ්ලොග් කලාවෙ තවත් පැති කඩක් වෙච්ච මඩ පෝස්ට් වලට එහෙම. මඩ කියන්නෙ සිංහල බ්ලොක් කලාවේ ජීවනාලිය කිව්වොත් හරියටම හරි. සමහර ඌරන්ට මඩ කිව්වොත් දවල්ට බතුත් ඕනෙ නෑ. [මේකෙත් එනව නේද යාන්තං මඩ පුවක් ගඳ ?]
මීට,
සදා බ්ලොග් ලැදි,
චූටි මැණිකේ.




අලුත් ප්‍රතිචාර