එක දවසක් හැන්දෑවක – පරණ කතාවක්

ඔයාට මතකද එදා අපි අලි සෙල්ලං බලන්න අර ගැට්ටෙ වාඩි වෙලා ඉඳිද්දි කාක්කෙක් ජරා කලා…

හැන්දෑවෙ බැල්කනියට වෙලා ඈතින් පේන ගඩොල් වලේ ඉහත්තාවෙ බැඳල ඉන්න මීහරක් ජෝඩුව දිහා බලාගෙන අතරෙ චූටි මැණිකෙ ගෙනාපු අඩු සීනි ප්ලේන් ටී එක තොල ගාන ගමන් මම ඇහුව.

මොන අලි සෙල්ලංද ? මොන කාක්කෙක් ද? ඔයාට විකාරද ?

එතන ප්‍රශ්ණම තුනක් !!!.. අනේ මංද මේ ගෑණු නම්…

ඇයි චූටි ඔයාට ඔය ඩිංගට අමතක උනාද……?

මං අහල තියනව බැඳල ළමයි බමයි හම්බු උනාම ගෑනුත් එක විදියක් වෙනව කියල. ඒත් හීනෙං වත් හිතුව් නැ ඔයාටත් එහෙම වෙයි කියල. මං කොච්චර ජොලියෙන් ඉන්න හිතාගෙන හිටපු කොල්ලෙක්ද.. හයියෝ…… සල්ලි !!

මේ මිනිහට විකාරද කොහෙද…. කවද්ද ඔයයි මායි අලි සෙල්ලං බලන්න ගියේ….

ඇයි සත්තලනේ අර වියතක් විතර සාය කොටයක් ඇඳං ඇවිල්ල ඒක දිහා බල බල ගියපු කොල්ලෙක් බයිසිකලෙත් එක්ක කරගම්පිටිය හන්දියෙදි කාණුවට දොන්ත පදෝරියං උනේ ??

ඇග් ! කොට සා….. මෙ… විකාරද හැබෑටම ?

අප්පට සිරි….. බඩුම තමයි. !!! ඒ ගියේ ඔයා එක්ක නෙමෙයිද ?

මගෙ තැටියෙ ට්‍රැක් පැනල නේද…… ?

න්..නෑ…. ම්.. මේ…

මොකද තටමන්නෙ ?

නෑ… මේ.. හැබැටම ඔයයි මායි අලි බැළුවෙම නැද්ද?

උන්දැ ඊලඟ උත්තරේ දෙන්න කලිං මං සරං ඔඩොක්කුවෙ වාඩි වෙලා උන්න පොඩි එකා ටක්ගාල ගත්ත උකුලට. ආරක්ෂිත උපාය මාර්ගයක් විදියට.

ඉස්සර ජේ. වී. පී කාලෙ පොඩි උන් වඩාගෙන පෙළපාලි යන උන්ට පොලීසියෙන් ගහන්නෙ නැතිය කියල මං කොහෙන්ද මන්ද අහල තිබුන යාන්තමට මතකයි.

ඇයි අලි බලන්න ඔයාලයි තාත්ත පෙරහැරේ ගියාද?

එන පොට හොඳ නැතිය. ප්‍රශ්ණයට උත්තරයක් වෙනුවට තවත් ප්‍රශ්ණයක් එන්නේ මහ ම නරක වෙලාවට ය.

නෑ එහෙම නෙවෙයි.. මං ඇහැව්වෙ ඇත්තටම ඔයයි මායි එහෙම ගියේ නැතෙයි ?

හුහ්…… ! ඈ ගස්සා ගෙන ගෙට ගියා ය.

දැං ඉතිං හරිය.. මට කට වැරදී ඇතිය. ආයේ සුමානයක් යනකල් හරියකට උන්දෑ මාත් එක්ක නෝ කතා ය. වැඩේ ගොඩින් බේරා නොගත්තොත් බත් කාඩ් එකටත් කෙළවෙන පොටක් ය.

ඒත් කරුමේ කියන්නේ මං මුන්දෑ එක්ක නැත්නං වෙනකාත් එක්කදැයි අලි බලන්න ගියේ කියා නිච්චි නැතිය. එකක් කියලය, කී දෙනක්ද. නිවී හැනහිල්ලෙ කල්පනා කරලා බලන්ට ඕනෑය.

හැබැයි ඒකට මෙය කාලය නොවේ ය.

අනිද්දා මඟුල් ගෙදරක යන්නට තිබේ ය. මේ ආරෝව සමහන් කරගන්නේ නැතුව අතිං අල්ලාගෙන ගෙයිං අඩියක් එලියට තියනවා බොරුය.

එතන ගියත් මුන්දෑ මාත් එක්ක හිනාවෙන, දොඩන හැම කෙල්ලෙක්ටම රවන්න පටන්ගනීවි ය. එතකොට උනුත් සුපුෂ්පිතවී කෙහෙවළු පටලවාගත්තොත් සායම යන්නේ මගේය.

ගෑණුන්ට එවායේ වගක් නැතිබව අද්දැකීමෙන්ම දනිමි.

එහෙයින් කෙසේහෝ මා කුමන හෝ දහං ගැටයක් ගසා මෙය මෙතනම අහවර කරගත යුතුය.

චූටි මැණිකේ…. චූටී… චූටියෝ…

ම්හ්… සද්දයක් නැතිය.

මෙන්න පොඩ්ඩා මගෙ සරමේ චූ දැම්මෝ….

තාත්තලට ඕවත් පුළුවන් වෙන්න ඕනෙ. එකක් විතරක් නෙමෙයි !!!

කාමරයෙන් මහ දරුණු ගණයේ උත්තරයක් ලැබිණි. කර මුලටම කෙළවී ඇති සෙයකි.

පොඩි එකා දමාපු චූවක් නැතිය. උන්දෑ මගේ බොරුවට අහු උනේ නැතිය.

බව්වා…

පොඩි එකා බැල්කනියෙන් පල්ලෙහා පාරේ ඉන්නා බල්ලා මට පෙන්නයි.

ආ.. අක්කලගෙ බව්ව නේද පුතේ…. බව්වෝ මෙහාට එන්න…. චූටි පුතාට බලන්න ලඟට එන්න…..

ඌ දෙපාර අඬගහනකොට ලඟට ආවේය. බල්ලන් කීකරු ය.

ප.ලි.ය.

මේක ලිව්වේ මීට අවුරුදු දෙකකට කලින් ය, ඒ 2012 මාර්තු 17 වෙනිදා ය. දැන් පොඩි එකා ලොකුය, කලිසමේ චූ දමාගන්නේ නැතිය. චූටි මැනිකේද මගේ තක්කඩි කම්වලට කේන්ති ගැනීම අතෑර බොහෝ කල් ය. ඒත් එදා කාක්කා කක්කා දැම්මේ කාත් එක්ක අලි බලන්න ගිය ගමනේදෑයි තවමත් නිච්චි නැතිය.

ප.ප.ලි :

ආදරණීය රිදුම – 05 එන්න තව පොඩ්ඩක් කල් යයි වගේ..

ආදරණීය රිදුම – 04


තිළිණි හමු උනාට පස්සෙ ගෙවුන බොහෝමයක් දවස්වල වගේ එදා හැන්දෑවෙත් මම ඈගෙන් සමු අරන් ක්වාටස් එකට ආවෙ බොහෝම සැහැල්ලුවකින්. හරියට අවුරුදු දහ අටේ විස්සෙ කොල්ලෙක් වගේ ප්‍රීතියෙන් පිම්බිච්ච හදවතකුත් එක්ක.

එකමත් එක කාලෙකට කලින් මගේ හිතෙන් ගිලිහිලා ගියපු සැහැල්ලුව නැවත ගෙන එන්න, දුක්ඛ දෝමනස්සයන් බොහෝමයක් දුරු කරල ප්‍රීතියෙන් පුරවල දාන්න ඈ එක්ක ගතකරන එක මොහොතකට පුළුවන්. මම ඒ සුවයට ඇබ්බැහිවෙලා කිව්වොත් හරි.

සමහර සවස් වලට ඇයට මාව මුනගැහෙන්න එන්න වෙන්නෙ නෑ. ඈට මට වගේ නෙමෙයි මිතුරු මිතුරියන් බොහොමයි. ඇගේ සේවා ආයතනයේ විතරක් නෙමෙයි ඉන් පිටත උනත් ඈට බොහෝමයක් මිතුරන් හිටිය.

එක අතකට ඒ වගේ ප්‍රීතිය ඉහවහා ගියපු ක්‍රියාශීලී පුංචි ජීවියෙකුට මිතුරන් ගොඩක් ඉඳීම කොහෙත්තම පුදුමයට කාරණාවක් නෙවෙයි.

තිළිණි නොදැක ගතවෙන සතියක් හිතට ගේන්නෙ ලොකු බරක්, ඒ වගේ දවස් වලටනම් ඇය මෙච්චර ප්‍රීතිමත් නොවුනා නම් හොඳයි කියලත් හිතුන.

එහෙම උනා නම් ඈට මාත් එක්ක ගතකරන්න වැඩිපුර කාලයක් ඉතුරුකර ගන්න තිබුන. ප්‍රීතිමත් සැන්දෑවන් ගොඩක් ඇයත් එක්ක ගතකරන්න තිබුන.

 ඒත් එදා ඈගෙන් සමු අරන් එනකොට තිබිච්ච ප්‍රීතිය ඒ සුවදායිබව තිබුනෙ මගෙ ජංගමයට ඇමතුමක් එන කල් විතරයි.

දුරකතනය අතට අරගෙන මොහොතක් ඒ දැල්වෙන තිරය දිහා බලාගෙන ඉඳල ආන්සර් කලා අන්තිමට.

ආදිත්‍ය…..

අනුරාධාගෙ චෝදනාත්මක හැඬුම්බර කටහඬ මාව නොසන්සුන් කලා. ඈට උත්තර දෙන්න කලින් මම තවත් මොහොතක් කල්පනා කලා, ඒ ඈ කතා නොකලයුතුම මොහොතක්. ඒත් එදත් අනිත් හැමදාකම වගේ කතා නොකලයුතුම මොහොතක ඈ කතා කරනව.

ඇයි ඔයා කතා කරන්නෙ නැත්තෙ… ?

මගේ නිහඬතාවට ටික මොහොතක් ඉවසාගෙන හිටපු ඈ ඇහුව.

ඇත්තටම මට ඒ වෙලාවෙ දෙන්න සාධාරණ උත්තරයක් තිබුනෙ නෑ අනුරාධා ගෙ හිත නොරිද්දා. මට ඕනෙ වුනේ මුකුත් නොකියා නිහඬව ඉන්න.

මට ඕනෙ උනේ නෑ ඒ හිත රිද්දන්න කොහෙත්තම. ඒත් ප්‍රශ්ණයකට පස්සෙ උත්තරයක් නැතිකම ඇතිකරන නිහඬබව  අනුරාධා නොසන්සුන් කරන දෙයක් කියල මම හොඳාකාරවම දන්නව.

නෑ අනුරාධා.. මම මේ ඩිනර් එක ගන්න හැදුවෙ…

මම ඔහේ කටට ආවක් කිව්ව.

හානේ.. එහෙම නම් මම ආයෙ පස්සෙ කතාකරන්නම්.

ඈ එහෙම කිව්වත් ස්වරයේ තිබුනෙ හරියට “හා ඒකත් එහෙමද” කියන්න වගේ දෙයක්. ඒක නිසා අවිනිශ්චිත සංවදයක් කල් දාල හිතෙන් පිච්චි පිච්චී ඉන්න අකමැතිහන්දම මම,

නෑ අනුරාධා.. මම තව පොඩ්ඩකින් කන්නම්, ඔයාගෙ දවසෙ වැඩ ටික ඉවරයිද ?

කියල අහල සංවාදය පටන්ගත්ත..

ඔව්.. මගේ වැඩ නම් ඉවරයි, ඔයාගෙ වැඩනම් තවම ඉවර නෑනෙ ?

ඈගෙ ඒ ප්‍රශ්ණය ආයෙ මගේ පපුව ඇවිළුවා. ඉස්සර ඉඳලම අනුරාධා වහෙන් ඔරෝ කතාවලට හරිම දක්ෂයි, ඒ කරල පැත්තකට වෙලා මම දතකට පූට්ටුකරන් ඉන්න දිහා උපහාසයෙන් බලාගෙන ඉන්නෙ නපුරැ රැජිනක් වගේ. ඒ හොඳටම ඇති මාව පුච්චන්න.

හෙහ් හෙහ් හෙහ්.. ඔව් මම තවම ඩිනර් එකවත් ගත්තෙ නෑනෙ. ඊට පස්සෙ ඔෆිස් එකේ පොඩි වැඩක් කරන්නත් තියනව.

මම මගේ කිසිම තේරුමක් නැති කෘතීම හිනාව ඉස්සරහට දාල කිව්වෙ ඒ අවස්ථාවෙ ඇතිවෙච්ච අපහසුතාවයෙන් මිදෙන්න.

අනේ ඉතිං අපිට බෑනෙ ඔහොම ලස්සනට හිනාවෙන්න.

ඈ තවත් හීයක් හදවතේ ගැඹුරුම තැනකට ඉලක්ක අල්ලලා විද්ද.

ගෑණුන්ට මොකද මංද කියන්න කියන දෙයක් එක සැරේටම කියල දාන්න බැරි ඩිංග ඩිංග කොනිත්තන්නෙ නැතුව. කොහොම උනත් අනුරාධාට මොනව නැතත් ඒ හැකියාව නම් උපරිමේටම පිහිටල තියන වග කලින් වතාවල් වගේම දැනුත් ඔප්පුකරනව.

මොකක්ද අනුරාධා ඔයා ඔය නොකියා කියන්නෙ…. බැරිම තැන මම කෝච්චියට බෙල්ල තිව්වෙ එක පාරටම අහවර වෙනවනම් ඒකත් එකක් කියල හිතල.

මොනව නොකියා කියන්නද ආදිත්‍ය. හිතේ හොර තියං ඉන්නකොට හොඳකට අහන දෙයක් උනත් දැනෙන්නෙ රුයිතෙට තමා.

ඈ  මගෙ හුස්ම හිරකරනව.

විකාර කියවන්නෙ නැතුව කියන්න දෙයක් තියනවනම් එක පාරකට කියන්න.

කවුද තිළිණි කියන්නෙ ?

ආදරණීය රිදුම – 03


කිසිම වෙලාවක ආදරණීය දෙබසකට තිළිණිට මගේ වයස ගැටළුවක් උනේ නෑ. වෙලාවකට ඒ ගැන මගේ හිතේ මගේ හිතේ පොඩි කුකුසක් තිබුනත් ඈගෙ හැසිරීම කිසිම වෙලාවක ඒක වර්ධනය කරන්නක් උනේ නෑ.

ඈ සැලකුවේ නිතරම මම ඇගේ සම වයසේ මිතුරෙක් වගේ. ඒක නිසා කිසිම වෙලාවක අපිට කතාකරන්න මාතෘකාවලින් නම් අඩුවක් උනේ නෑ.

බොහෝමයක් වෙලාවල් වල ඈගේ මාතෘකාවක් දිගේ කතා කරන එක තමයි උනේ, මම හැම වෙලාවෙම වගේ පරිස්සම් උනා ඈයටම කතාව පටන්ගන්න ඉඩ දෙන්න. මොකද සමගර විට මගේ නාකි මාතෘකා ඈට කම්මැලි වෙන්න පුලුවන්. එහෙම උනොත් ඈ ට මාව එපා වෙලා ඇගේ සම වයසේ කෙනෙක් එක්ක හාද වෙන්න හොඳටම ඉඩ තිබුන.

මම කැමතිඋනේ නෑ එහෙම වෙනවට, එහෙම උනොත් අයෙම මම අර දොලොස්වෙනි තට්ටුවෙ තට්ට තනියම හිරවෙනව.

ලංකාවෙ ඉඳිත්දි සතියකට සැරයක් ආයෙ ආයෙ මතුවෙන සුදු කෙස් කොට පාට කරන එක එහෙදී නැවතුනේ තිළිණිගෙ ඉල්ලීමටමයි. ඈ හරි මනාප උනා පලින් පල කිසිම රටාවකට නැතුව අහඹු විදියට සුදුවෙච්ච කෙස් ගස් දකින්න.

ඒකට අනුරාධා. එයාට පෙන්නන්න බෑ සුදු කොණ්ඩ ගස්. මුලදි එයාම එයාගෙ ඇහිබැම හදන ට්වීසර් එකකින් මගේ සුදු කෙස් ගැලෙව්ව, මුලින්ම විනාඩියෙන් කරපු වැඩේය පහු පහු වෙනකොට විනඩි දෙක, තුන, හතර, පහ වගේ වැඩිවෙනකොට අපි දෙන්නම තීරණය කලා ඩයි එකක් ගාන එක තමයි හොඳම විසඳුම කියල.

තිළිණි මගේ සුදු කෙස්ගස් වලට ආසයි කියල දෑන ගත්ත දවසෙ මම කියාපු අනුරාධාගෙ ධවල කේෂ නාශක ප්‍රොජෙක්ට් එක ගැන විස්තර අහල කඳුළු එනකල් හිනා වුනේ මම පුදුමයෙන් බලාගෙන ඉඳිත්දි.

මොකද බූතයෙක් වගේ බලගෙන ඉන්නෙ ?

මම බය උනා ඔයාට පිස්සු හැදුනද කියල ඔහොම හිනා වෙනකොට..

ඇයි ඔයා දන්නෙ නැද්ද ඒ කතාව ?

මොන ?

ඇයි අනේ අර ගෑණු දෙන්නෙක් බැඳපු නාකි ගමරාලගෙ කතාව ?

හා දැං මං නාකි ගමය එහෙනං ඈ…… මම බොරුවට තරහක් පෙන්නුව.

නැතුව.. හිතාගෙන ඉන්නෙ කොල්ල කියල වෙන්න ඇති. හැටි විතරක් කොණ්ඩෙත් ඉදිල.

ඈ බොරුවට රණ්ඩුවක් පටන්ගන්න යන්නෙ…. ඒ මං ඈට කැමති එක හේතුවක් !

බොරුවට මාව අස්වසන්න නොහදන එකට, ඒ සජීවී කමට මං හරිම ලෝබ කලා. සමහර වෙලාවට එයා “අනේ නෑ ඔයාට නෙමෙයි කිව්වෙ අයියෝ” වගේ බොරුවක් කිව්වනම් අනුරාධාගේ දෙබසක් වගේ මැරිච්ච ගතියක් දැනෙන්න ඉඩ තිබුන. ඒත් එහෙම උනේ නෑ.

ප්‍රීතියෙන් රන්ඩු කලා. මම ආසාවෙන් බලන් හිටියා

ඈ ජීවයෙන් පිරිච්ච පුංචි ජීවියෙක් !!

කෝ ඉතිං අහන්නකො…

වයසට නොගැලපෙන තරම් බොළඳකමක් ආරූඪ කරගෙන අහක බලාගෙන ඈ මගේ හිතේ ඇතිකරපු ප්‍රහර්ෂය මූනෙන් මතුවෙන්න නොදී කම්මුලේ ඇතුල්පැත්ත විකාගෙන හිටපු මගේ කනෙන් ඇදල ඈ දිහාට මාව හරවා ගත්ත.

ඈ ඒ වගේ වැඩ වලට හරිම දස්සයි !!

ඔන්න ඉතිං එක ගමරාළ කෙනෙක් හිටියලු ටිකක් වයස පහේ හරිද ?

ඈ අවුස්සන්න ඕනවටම හූ මිටි තියන්නෙ නැතුව මමත් හිටිය…

මොකක්ද අනේ.. ඔන්න ඔහොම නම් මම කියන්නෙ නෑ. ඈ බොරු තරහක් අරගෙන ආයෙම හුරතල් වෙනව.

ඉතිං ඉතිං කියන්නකො….

මේ ගමරාළට හිතුනලු තමන්ගෙ හමිනේට දෑන් තනියම ගෙදර වැඩපල කරගන්නත් බැරි එකේ තවත් අඹුවක් එක්ක එන්න. එහෙම හිතල එහා ගමෙන් ඇහැට කනට පේන ළමිස්සියෙක් එක්කං ආවලු.

මේ ළමිස්සි හරිම හැඩකාරි. ඒ වගේම තමයි වැඩත් හරිම පිළිවෙලයි. උන්දෑගෙ සත්කාර හන්ද දැන් ගමයත් අලු ගසල දාල පණ ගහල ආවලු. ගෙදරම හරි කළ එළියයි.

ගමයත් මම වගේමයි… මම හිතුව.

හරිද ? … කෝ ඉතිං අහන්නෙ නැද්ද අනේ ??

කතාව කියන ගමන් ඈ බලනව මං අහං ඉන්නවද කියල.

ඉතිං ඊට පස්සෙ ….

මේ ගමයගෙ කෙස්සත් ඔයාගෙ වගේ තැනින් තැන සුදුවෙලා. ගමයගෙ හාමිනේට මේකෙ වගක් නැති උනාට අලුත් මහගෙට නම් මේක දකිනකොට මොකක්ද මොකක්ද වගේලු. ඒක හන්ද දවාලට බත් කාල ඩිංගක් ඇල වෙලා ඉන්න වෙලවට අලුත් මහගෙ ගමයගෙ ඔළුව බොහොම ආදරෙන් උකුලෙන් තියාගෙන විඩෙන් විඩේ අර සුදු ගස් එක දෙක ගලවනවලු.

දෙදොහක් විතර මේක දිහා බලං උන්න ගම හාමිනේට ඉරිසියයි තිරිහං පාට වැටෙන ගමය දැකල. උන්දෑ මොකොද කලේ. අලුත් මහගෙ නාන්න ඔයට යන අල්ල පනල්ලෙ ගමයගෙ ඔලුගෙඩිය අල්ලගෙන කලු කෙස්ස හිඳිනව. ගමයත් මොකක් කොලත් උන් දෙන්නම මයෙ වෙච්චි කියල ඔහේ කරබාගෙන ඉන්නව.

ඔය වැඩේ මාරුවෙන් මාරුවට සුමාන දෙක තුනක් වෙනකොට අන්තිමේ ගමයට ඉතුරු උනේ තට්ට ගෙඩිය විතරයි !!!!

හෙහ් හෙහ් හෙහ්…. මටත් අන්තිමට තට්ට ගෙඩිය විතරක් ඉතුරුවෙයිද දන්නෙ නෑ ගමයට වගේ …. මම හයියෙන් හිනා උනා.

හපොයි නෑ….

මම කැමති සුදු, කළු කවලම් වෙච්ච ඔළුවට !!!

ඈ හිනාවෙලා කිව්ව.

ආදරණීය රිදුම – 02


තිළිණි ඇයි මට සමීප උනේ කියල මට තවම පැහැදිළි නෑ.

මෙන්න මේ හේතුවය කියල එකක් පෙන්නන්න හැදුවම තව වෙන හේතුවක් මතුවෙනව, ඒ වෙලාවට කලින් එක නෙමේය පස්සෙ මතුවෙච්ච එකය කියල පිළිගන්න හැදුවම මෙච්චර වෙලා නොතිබිච්ච තවත් හේතුවක් තුන්වෙනි එක විදියට මතුවෙනව, ඒකට පස්සෙන් හතර, පහ, හය විදියට එකක් පස්සෙ එකක් විදියට හේතු පෝලිමක්ම ඇවිල්ල මාව එහෙම්පිටින්ම අවුල් කරල දානව.

ඒවෙලාවට ආයෙම අර කලින් ආව වේදනාව මහා බරකුත් එක්ක ඇවිල්ල හිතේ වාඩිවෙනව. ඊට පස්සෙ ඒක පපුවෙ ඉඳල පටන් අරගෙන ටික ටික බෙල්ල පහුකරන් නිකට, කම්මුල්, කන් පහුකරන් ඔළුව ඇතුලට වැදිල තෙරපිලා තෙරපිලා සිතුවිළි ඔක්කොම හිස්කබලෙන් එලියට තල්ලුකරනව කෙස් ගහේ ඉඳල කකියන ඔලුවෙ කැක්කුමකුත් එක්ක.

කොච්චර වේදනාවක් දැනුනත් කිසිම විදියකින් ඒ සිතුවිළි මතුවෙන එක නවත්තන්න ක්‍රමයක් තිබුනෙ නෑ.

නවත්තන්න උවමනාවකුත් එන්නෙ නෑ. ඒක තමයි මම ජීවත්වෙනවා කියල දැනෙන එකම මොහොත. ඒක නිසා කොච්චර පීඩාවක් උනත් මමත් ආසයි ජීවත්වෙනවා කියල දැනෙනවට.

තිළිණි එහෙමටම හැඩ රුවක් තියන කෙල්ලෙක් නෙමෙයි හිත ඇදිල ගියාට, මගෙ ජීවිතේ ඊට වඩා හැඩ නැවතුම් පොළවල් කීයක් නම් පහුකරන් ආවද. අන්තිමට නැවතිච්ච අනුරාධා ඒ අතරෙන් කෙනෙක්.

තිළිණි අනුරාධා එක්ක හැරෙන්නවත් පුළුවන් කෙනෙක් නෙමෙයි, කොටින්ම අනුරාධා මහා කන්දක් නම් තිළිණි පොඩි තෙත පස් කැටියක්. ඒත් අනුරාධා රිදුමක් වෙලා හිටපු මට තිළිණිගෙ ඒ
පුංචිකම කොහොමත් ගැටළුවක් උනේ නෑ.

අල් ෆරිස් එකේ දොලොස්වෙනි තට්ටුවෙ අවුරුද්දක් තිස්සෙ හිරවෙලා හිටපු මට තිළිණි හම්බුවෙන්නෙ හරිම අහම්බයකින්.

වෙනදා වගේම ඩියුටි ඕෆ් වෙලා ටැක්සියක් එනකල් ලොබි එකේ ඉඳපු මම කනට හුරුපුරුදු වචන ඇහෙන දිහාව බැලුවෙ ඉබේටම වගේ. මට පිටුපාල තියන ෆෝන් බූත් එකේ ඇතුලෙන් ඒ හඬ ඇහෙන්නෙ. උවමනාවටත් වැඩියෙන් හයියෙන් කරන කතාව අහන් ඉන්න මම ඉඳපු තැනින් තවත් අඩි කීපයක් පස්සට උනා.

එතනටත් ටැක්සි නවත්තන තැන හොඳට පේනව. ඒක නිසා කමක් නෑ, ටක්සියක් ආවොත් ඉක්මනට යන්න පුළුවන්, අනික මම මේ අහන් ඉන්නෙ අපේ කෙනෙක්ගෙ කතාවක්නෙ, විදේශිකයො ගොඩක් මැද මගේ ඒ කැත කෑදර සන්වන්දීම එහෙම සාධාරණීයකරනය කරගත්ත.

විනාඩි පහකට විතර පස්සෙ බූත් එකේ දොර ඇරගෙන බොහොම සාමාන්‍ය පෙනුමක් තියන ගෑණු ළමයෙක් එළියට ආව.

ඈ ඇඳල හිටියෙ වැළි පාටට ලඟින් යන දුඹුරු පාට ලිනන් කලිසමක්, ඒකටම ගැලපෙන පර්ල් පාට දිග ටොප් එක දනිස්සට පොඩ්ඩක් විතර උඩට වෙනකල් වහගෙන. වම් උරේ එල්ලිලා ඉන්න අහිකුණ්ඨික මල්ලෙ බරට ඇඳුමෙ කර වැඩිපුරත් එක්ක පහලට ඇදිල.

මම විගහට ඇස් අහකට ගත්ත. නැත්නම් ඈ මම නරක මිනිහෙක් විදියට තීරණය කරන්න හොඳටෝම ඉඩ තිබුන

ඔයා ලංකාවෙද ?

කිසිසේත්ම නොහිතපු විදියට මගේ කට ඉස්සර උනා. එයා පුදුම වෙන්න කලින් මම ම මගේ වචන ගැන පුදුම උනා. තත්පර කීපයක් ගියා උනේ මොකක්ද කියල තේරුම් ගන්න.

ඔව් නෙ.. ඔයත් ලංකාවෙද ?

යාත්‍රිකව වගේ කියවිච්ච ඒ දෙබස්වලින් පස්සෙ තවත් පොඩ්ඩක් වෙලා එකිනෙකා දිහා බලාගෙන හිටපු අපි දෙන්නගෙ හිනාව එක සැරේම පුපුරල ගියේ ඒක කොච්චර මෝඩ සංවාදයක්ද කියල කියන්න වගේ.

ඊට විනාඩි පහලොවකට විතර පස්සෙ අපි දෙන්න හිටියෙ කොෆී බීන් එකේ රෙඩ් වෙල්වට් දෙකක් කකා.

මේට්ලන්ඩ් ක්‍රෙසන්ට් එකේ නැති ගොඩක් කේක් වර්ග වලින් පිරිච්ච කැබින් එකෙන් රෙඩ් වෙල්වට් තෝර ගන්න අපි දෙන්න ඔට්ටු ඇල්ලුවෙ හරියට අවුරුදු ගානක් දැන අඳුරගෙන හිටිය දෙන්නෙක් වගේ.

එදායින් පස්සෙ හැම සති අන්තයකම අපි දෙන්නගෙ සුපුරුදු මීටින් පොයින්ට් එක උනේ කොෆී බීන් එක. සමහර දවස් වල පැයක් හමාරකට පස්සෙ පරිසරය ඒකාකාරී උනාම අපි දෙන්න යනව කොෆී ෂොප් එකේ එලියෙ ස්මාරකයක් වගේ තියල තියන වොක්ස් වැගන් එකට එහා පැත්තෙ තියන සන් ෂේඩ් එක යටට.

එක දෙයක් කියල නෑ, අපිව පහුකරන් යන ගැහැණියකගෙ පර්ෆියුම් සුවඳෙ ඉඳල හඳ, තරු වෙනකල් කතා කරනව.

තිළිණි කියන්නෙ පුදුමයන් ගොඩකගෙන් පිරිච්ච කෙල්ලෙක්, නිතරම ප්‍රීතියෙන් උතුරන, කුතුහලය ඉහවහා ගියපු අපූරු ජීවිතයක්. ඈ ගේ ඒ ප්‍රීතිමත් කම නොනවතින උනන්දුව, නිතරම අවධානයෙන්, කුතුහලයෙන් ඉන්න ගතිය මම මීට කලින් දැකල තියෙන්නෙ ජර්මන් ශෙපර්ඩ්ස්ලගෙන් විතරයි කියල කිව්වොත් ඒක ඈට කරන අපහාසයක් වෙන එකක් නෑ කොහෙත්තම.

ගෙදර ඉන්න වෙලාවටත් මගේ ප්‍රියතම මොහොතවල් ගතවෙන්නෙ නිතරම කන් උස්සගෙන ප්‍රීතියෙන් ඉන්න ටෙඩී ලඟ. ඌට තියෙන්නෙ බොහොම තියුණු අවධානයක්, මං ඩිංගක් හයියෙන් හුස්මක් හෙලුවත් බිම තියාගෙන ඉන්න නිකට විගහට උස්සල තෙත ඇස්වලින් මගේ දිහා බලාගෙන ඉන්නෙ හරියට ඇයි කියල අහන්න වගේ.

සමහර වෙලාවට මම ඌත් එක්ක ඔහේ කතා කරනව.. එකම දේ කී සැරයක් කිව්වත් නොනැසෙන උනන්දුවකින් අහන් ඉන්න ඌට පුලුවන්. ලංකාව දාල එන්න කිට්ටුව කැටයම් කපාපු හීතල වීදුරුවට අමතරව මට ඇහුම්කන් දුන්න එකම ජීවියා ඌ.

තිළිණිත් ඒ වගේමයි ඈට ඕනෑම කම්මැලි මාතෘකාවක් හරි අපූරු උනන්දුවකින් හූ මිටි තිය තියා අහන් ඉන්න පුලුවන්.  ඒ හැකියාව හරිම සුන්දරයි. සමහර විටක ඒක මවාගත්තු උනන්දුවක්ද කියලත් නොහිතුනා නෙවෙයි, ඒත් ඒක ගැන අහල ඈට අපහාසයක් කරන්න මට කිසිම වෙලාවක හිතුනෙ නෑ.

මම ඒ මොහොත ආස්වදනය කලා ……….

ආදරණීය රිදුම – 01


මගේ ඔලුව ඇදුම් කනව තිළිණි ලංකවට ආවා කියල දැනගත්ත වෙලාවෙ ඉඳල.

මම හිතුවෙ නෑ මෙච්චර ඉක්මනට එයි කියල, ඒ ආවත් මෙහෙම මට කලින් නොකියාම එයි කියල……..

වීදුරුවෙ හීතල තොල් දෙකටම දැනෙන්න තද කරගෙන මම මිමිනුවෙ රහසින් වගේ.

ඔයා ලංකාවට ගියාම පිළිගන්න එයා එයි නේද එයාපෝට් එකට …. ම්ම්…… ඒත් කවදා හරි මම යනදාට කවුද මාව පිලිගන්න එන්නෙ….. ?

එනකොට ආවා වගේම කාත් කවුරුවත් නැතුව එදාටත් මම යයි නේ ?

ක්වීන් ආලියා එකේ තඩි හත්තක් යටට වෙලා ලගේජ් වලට බර දීල හිටපු මගේ වම් උරහිසේ ඔලුව තියාගෙනෙ ඈ එහෙම කියනකොට ඉස්සරහට තියපු කකුල ආපසට ගන්න කී සැරයක් නම් හිතුනද.

හරියටම මෙන්න මේකයි කියල ඇඟිල්ල තියල පෙන්නන්න බැරි හේතුවක් ඒක වැලැක්වුව.

අන්ත දෙකෙන් මොකක් තෝරාගන්නද කියල හිතාගන්න බැරි වෙලාවල හිරවෙන රික්තකයේ මම එවෙලෙ හිරවෙලා ඉන්න ඇත්තෙ. කවුරු හරි මට මෙන්නෙ මෙහෙම කරපන් කියල අණක් දෙනවනම් කොච්චර හොඳද කියල හිතෙන තරමටම හිත මහා පීඩනයකින් පිරිල තිබුනෙ.

ඒත් මට කවුරුවත් එහෙම කිව්වෙ නෑ.

මටම මගේ තීරණවලට වගකියන්න වෙනවට කොහොමත් බය මම ඉස්සර වගේම මගේ හිතට හිතන්න නොදී අයිස් කන්දක් කරගත්ත.

වෙන කෙනෙක් කියන ඔනෙම දෙයක් පිළිගන්න තරමටම මම හිස් වෙලා තිබුනෙ, ඒ කෙනා තිළිණිද අනුරාධා ද කියල ගැටළුවක් තිබුනෙ නෑ.

මොහොතක හිතුන තිළිණි එයාගෙ දිළිසෙන ඇස්වලින් බලල අනේ යන්න එපා කියයි කියල, ඒ මොහොතෙම ආයෙම හිතුන අනුරාධගෙන් කෝල් එකක් එයි කියල.

අන්තයන් දෙකක දෝලනය වෙන හිතක් ගේන්නෙ පුදුම වේදනාවක්. කවුරුහරි මේ වේදනාව සමනය කරවනව නම්……

පපුව ඇතුලෙන් පටන්ගන්න ගුලියක් ටිකෙන් ටික ලොකු වෙලා ඇවිත් උගුරෙන් පිටවෙන්න තෙරපෙනව.

ඒක දරාගන්න බැරි තරමේ වේදනාවක් !

ඔලුව පුපුරන්න තරම් වේදනාවක් !

නෑ තිළිණි, කවුරු නැතත් මම එන්නම් එදාට ඔයාව ගන්න එයාපෝට් එකට !!!

නියොන් එලියට දිළිසෙන කඳුළු පිරුන දුඹුරු ඇස් දිහා බලාගෙනෙ මම කිව්වෙ ඉල ඈට තෙරපගෙන එලියට පනින්න හදන හදවතේ වෙදනාව තිළිණිට දැනෙයි කියල බයට අමාරුවෙන් හිරකරගෙන.

ඒත් ෆයිනල් කෝල් එක දුන්නට පස්සෙ උරහිසේ තියගෙන හිටපු ඔළුව මගෙ පපුවට තියල අත් දෙකෙන් මාව තදින් බදාගත්තට පස්සෙනම් ඈට ඇහෙන්න ඇති මගෙ පපුව දෙදරවාගෙන හමන කුණාටුවෙ සද්දෙ.

දිළිසි දිළිසි තිබුන ඇස් දෙකෙන් එක පාරටම කම්මුල් තෙමාගනෙ රූටගෙන වැටුනු කඳුළු මගේ ඩෙසට් බූට් එක උඩට වැටිල ඒකටම වියැකිලා යන හැටි මම බලාගෙන හිටියෙ ආයෙම ඔළුව උස්සල ඒ දුඹුරු පාට ඇස් දිහා බලන්න බැරි කමට.

ඒ කඳුළු වගේම මගේ මතකයත් දියවෙලා සැඟවෙලා යනවනම් කොච්චර හොඳද කියල කී සැරයක් නම් මට හිතුනද…. .

ඒත් මතකයන් කියන නපුරු පුංචි කුරුමිණියො අපිත් එක්ක ජීවිතකාලෙ පුරාවටම යන යන තැන ඇවිල්ල සැරින් සැරේ උන්ගෙ පුංචි අඬු වලින් හිතේ සියුම්ම තැන් පාරනව.

එච්චර වේදනාත්මක සමුගැනීමකින් මාසයක් යන්නත් කලින් ඇයි ඔයා මට නොකියම ආවෙ තිළිණි ? එදා මට විතරයිද දුක හිතුනෙ ?

හීතලෙන් ගල් වෙලා මගේ ඉස්සරහ තියන වීදුරුවෙන් මම ඇහුවෙ උත්තරයක් බලාගෙන කියල මම කිව්වොත් මම පිස්සෙක් කියල කියයි. ඒත් මේ කතාව අහුවොත් මාව වරදවා වටහා නොගනී කියල හිතන්න බැරි කිසිම කෙනෙක් නැතිකොට හීතල වීදුරුවක් උනත් හොඳ අහන් ඉන්නෙක්.

ඇත්තටම මට ඕනෙ වෙලා තිබුනෙ වක්කරන වතුර කලගෙඩියම උරාගෙන මුකුත් නොවුනා වගේ බලාගෙන ඉන්න මහ පොළොවක් වගේ මනුස්සයෙක්.

එහෙම කෙනෙක් නැති වෙලාවට වීදුරුවක් උනත් හොඳ මිත්‍රයෙක්. ආයෙ කටක් ඇරල වචනයක්වත් කිසිම කෙනෙකුට නොකියයි කියල විස්වාස කරන්න පුලුවන් මිත්‍රයෙක්.

තනිකඩව ගතකරපු කාලයට සම වෙන්න වගේ විවාහ ජීවිතයක් මාත් එක්ක පහු කරපු අනුරාධාටත් මගෙ කතාව තේරුම් ගන්න බැරිවෙච්ච කොට වෙන මනුස්සයෙක් මගේ හිත තේරුම්ගනී කියල හිතන එකත් විහිළුවක්.

ඒත් …..

කුණු කවි

පැම්පස් පෑඩ් සමඟින් කොන්ඩම් ගැට දා
මල්ලේ මැදට වෙන්නට ලා පැක් කරලා
විසි කල කාලෙ අවසානයි අහක බලා
කුණුගොඩ නැතිය දැන් ඒතැනින් අස්කරලා

ටික ටික එකතුකරලා මුලු සතියෙ කුණු
ඔබලා තදින් කට බැඳලා හොඳින් මලූ
වට පිට බලා තබලා මුල ලයිට් කණූ
ගියොතින් බඩු හරිය කරටම වැටෙයි නඩූ

එහෙයින්,

අල පොතු ළූණු පොතු අලිගැටපේර පොතු
බ‍ටු පොතු හෙරළි පොතු සහ තියඹරා පොතු
ඉන්නල පොතු සමඟ ඉඳහිට කොහිල පොතු
මොන විදියකට හෝ තම්බා කෑම යුතූ

තවද,

බෙලික‍ටු නෙරලු ක‍ටු සහ තව දිවුල් ක‍ටු
පොල්කුඩු සමඟ අරගෙන කොස් ගෙඩියෙ කටූ
ගලගා දියෙන් හෝ ඇඹුලෙන් මාළු කටූ
බැරි බැරි ගානෙ හෝ ගිලලා දැමිය යුතූ

අමතකද මචං උඹට … ? [අමතක වීම වෙලාවකට හරිම කාලකණ්නි දෙයක්]

ඉස්කෝලෙ පොඩි පන්තිවල අපිත් එක්කම ඉඳල ටිකෙන් ටික ලොකු පන්තිවලට යනකොට ඒ කාලෙ හිටපු යාළුවො ඉබේම මඟෑරෙන එක මහ අමුතු දෙයක් නෙවෙයි.

සමහර වෙලාවට එහෙම මඟෑරෙන්නෙ ඒ කාලෙ ඉඳපු බොහොම හොඳ යාළුවො වෙන්න පුළුවන්. අපි කිසිම දවසක දැන ගන්න එකෙක් නෑ ඒ අය කොච්චර දුරකට අනාගතේදි හොඳ යාළුවො වෙන්න පුළුවන් කමක් තිබුන අයද කියල.

ඒ දවස් වල අපේ හිත් ගොඩක් පොඩියි යාළුවො ගොඩක් රඳවාගන්න. ගොඩක් වෙලාවට අපේ යාළුවො පන්තියෙන් පන්තිය වෙනස් වෙනව. ගොඩක් වෙලාවට හොඳම යාළුව වෙන්නෙ අල්ලපු පු‍ටුවෙ වාඩිවෙලා ඉන්න කෙනා. එහමත් නැත්නම් මගේ තරහ කාරයගෙ තරහ කාරයා. සමහර වෙලාවට සුවඳ ගහන මකන කැල්ලක්, එහෙමත් නැත්නම් තුඩවල් මාරුකරන පැන්සලක් තියන කෙනා හොඳම යාළුව වෙනව.

ඒ කාලෙ ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙදි හතර පහ වසර වලදි හොඳම යාළුව වෙලා හිටිය කියල මතකයේ තියෙන්නෙ මධූක කියල කළු උස පොහොසත් කොල්ලෙක්.

මම යාළු උනේ මිනිහ ගේන හැම් පෙති මැදිකරපු සැන්ඩ්විච් කන්නයි දෙපැත්ත මාරු කරල ලියන්න පුළුවන් කළුපාට හත‍රැස් පෑනයි නිසාද කොහෙද. ආණ්ඩුවෙ මාස් පඩි ගත්ත අපේ අම්මටයි තාත්තටයි මට හැම් ගිල්ලන්න වත්කමක් කොයින්ද ?

තව උන්න බොහොම ප්‍රසිද්ධ ඩොක්ටර් කෙනෙකුගෙ පුතෙකුත් අපිත් එක්ක අසිත් කියල. ඒ නම් පහ වසර වෙනකල් විතරයි. ඊට පස්සෙ මිනිහ කොළඹ ඉස්කෝලෙකටද කොහෙද ගියා. අසිත් එක්ක යාළුවෙලා උන්නෙ උගෙ දනිහ ගාවටම දිග නිල්පාට කොට කලිසමේ තිබිච්ච අමුතු පෙනුමටද කොහද.

මේ මෑතක මධුකගෙන් නොම්මරේ ඉල්ලගෙන කතාකරන ගමන් ඔය කලිසමේ විස්තරේ කිව්වම ඌ කට කනේ තියාගෙන හිනාවුනා උඹ මොකටද මයෙ කලිසම පස්සෙ ආවෙ කියල.තව මොනවද මංද අළුගුත්තේරු කතා තුන හතරකුත් කිව්වට පස්සෙ මට බැක්ග්‍රවුන්ඩ් එකෙන් ඇහෙනව ගෑණු පරාණයක් මහ හයියෙන් හිනාවෙනව. ඒ මොකක්ද කියල ඇහුවම ඌ කියාපි “මචං මම මේ වයිෆ් එක්ක ඩ්‍රයිව් කරනගමන් ස්පීකර් ෆෝන් දාල තියෙන්නෙ” කියල.

උන් දෙන්න වගේම පොඩිකාලෙ එකට ඉඳල අමතක වෙලා ගියපු තවත් අපූරු යාළුවෙක් ආයෙම මූණු පොත නිසා අවුරුදු දහයකට දොලහකට විතර පස්සෙ හොයාගත්ත. අනුෂ්කගෙ [අනුවර්ත නමක්] තිබිච්ච අමුතු වචන නිසා ඒ කාලෙ හරිම ජනප්‍රියයි. මට හොඳට මතකයි මිනිහට “ටොනික් පියන්” කියල කියන්න බෑ. කිව්වෙම “බීම පියන්” කියල.

කතා කරන්නෙත් හරිම අමුතු එකෝ එකෙකුත් එක්ක. මගෙ මතකෙ හැටියට මිනිහ උන්නෙ හොස්ටල් එකේ. හරිම හිත හොඳ, බොරු සෝබන නැති කොල්ලෙක් වෙච්ච ඌ එක්ක යාළුකමක් ගොඩ නැඟුනෙ උගෙ හොඳ හිත නිසා වෙන්න ඕනෙ [මට හරියට මතක නෑ]

ඉස්සර කොච්චර හොඳ යාළුවෙක් උනත් දැං කොහොමද දන්නෙ නැති නිසා මූණු පොතේ මුලින්ම චැට් කරන්න පටන්ගත්තෙ වැඩිය විශ්වාසයක් නැතිව. මොකද ඉස්සර වගේම තාමත් හිත හොඳ ඇති කියල කතාබහ කරපු තුන් හතර දෙනෙක්ම ඒ වෙනකොට බොහොම වෙනස් වෙලා උන්න නිසා මට මේක ගැනත් වැඩිය ෂුවර් එකක් තිබුනෙ නෑ. ඒත් වචනයක් දෙකක් චැට් කරනකොට තමයි තේරුනේ තවමත් ඉන්නෙ ඉස්සර එකාම තමයි කියල.

මූණු පොතේ චැට් එකෙන් පරණ විස්තර, අළුත් විස්තර එහෙම කතා කරල ආයෙම සෙට් වෙමු කියල ටෙලිෆෝන් නොම්මරත් මාරු කරගත්ත. ඊට දෙදොහකට පස්සෙ මට අනුෂ්කට කෝල් එකක් ගන්න හිතිල රිංග් කරල බැලුව. ම්හ්.. නෑ සද්දයක්. ආයෙම ට්‍රයි කලා, ඒත් නෑ රිංග්ස් යනව…… ආන්සර් කරන්නෙ නෑ. මොනවහරි හදිස්සි වැඩක් වෙන්න ඇති කියල පස්සෙ කෝල් කරනව කියල හිතාගෙන නිකා උන්න. ඊලඟ දවසෙත් මිනිහගෙන් නෑ උත්තරයක්.

මොන මඟුලක්ද, දැන් මට යකා නැඟල. මූ මූණු පොතේ චැට් එකෙන් නම් පන දෙන්න වගේ කතාව. ඒත් කෝල් කලාම ආන්සර් කරන්නෙ නෑ. බැරිම තැන මම දැම්ම ටෙක්ස්ට් මැසේජ් එකක් ඌට හොඳටම බැනල, “බීරි වෙලාද යකෝ කෝල් කලාම ආන්සර් කරන්න බැරි” කියල.

මෙන්න ඒ සැනින්ම රිප්ලයි එකෙක් උගෙන්.

“ඇයි මචං උඹට අමතක උනාද මගෙ කන් හරියට ඇහෙන්නෙ නෑනෙ” කියල.

මට මිනිහගෙ ටොනික් පියන් / බීම පියන් කතාව මතකයේ තිබුනට ඉස්සර ඉඳන්ම පාවිච්චි කරන්න අකමැති නිසා බෑග් එකටම වෙලා හිටපු හියරින්-ඒඩ් එක අමතක වෙලා.

අමතක වීම් මිනිස්සුන්ගෙ හිත් කොච්චර රිදවනවද………………… මහ කාලකණ්ණි හැඟීමක් කාලයක් යනකන් මගෙ හිතේ තිබුන ඒ සිදුවීම නිසා.

ප.ලි : අද වෙනකොට අනුෂ්කත් මේ නවම් මාවතට එනව. පූර්ණ අනුමැතිය ඇතුව තමයි සටහන පල කලේ.

පසුහඹන්න

Get every new post delivered to your Inbox.

Join 334 other followers

%d bloggers like this: