දොළ දුක් කෑම

ජූල් සම්බෝල.

ඔන්න ඉතිං මගෙ කටට කෙළ උනනව.  මේක ලියල ඉවරවෙනකන් හි‍ටු……

ඕනකරන ජාති:

01. ජූල් ගෙඩියක්:

ජූල් ගෙඩියක් කිව්වට ඔය වැඩේට ඕනම ගෙඩියක් ගන්න බෑ. මෙන්නෙ මේව තමයි ඔය ගෙඩියෙ ස්පෙසි‍ෆිකේෂන්ස්.

ගහෙන් කඩාපු එකක් වෙන්න ඕන, පැහිල වැටෙන ගෙඩි ඔට්‍ටු නෑ. කහට වැඩි හොඳටම අමුවත් ඔට්‍ටු නෑ.

දැං ඉතිං ඔය දකුණු පලාතෙ හරි, උතුරු මැද හරි නොවෙන කට්ටිය මක්කැයි කරන්නෙ. මොකෝ අනික් පලාත්වල ඔය ශුෂ්ක කළාපයෙ හැදෙන ජූල් ගස් අහම්බෙකින් මිසක් හැදෙන එකක්යැ.

කොළඹ ඉන්න කට්ටියට ඔත්තුවක් දෙන්නං.

ඔය වැල්ලවත්ත මාර්කැට්‍ටුවෙ තියනව, තව බො‍රැල්ලෙ එළවලු තට්‍ටු තියන හරියෙ සමහර දවස්වලට ආච්චි කෙනෙක් විකුනනව, අනිත් තැන තමයි නුගේගොඩ ඉස්ටේසම ලඟ. ඔය නුගේගොඩ නං වරදින්නෙ බොහොම කලාතුරකින් තමයි.

කඩෙං ගන්නවහං හොඳට බලල ගන්න ඕන, සමහර හෙඩිවල පොත්ත ඩිංගක් නියපොත්තෙං හීරුවම කොළ පාට මතු උනාට නැට්ට කඩාපු තැන පරන පාටයි, එහෙම වෙන්නෙ පැහෙන්න කලිං කඩාපුවයි තමයි.

හරි ඔය මදෑ. හරි ගෙඩියක් ‍තෝරගත්ත කියමුකො. මෙන්න මෙව තමයි ඕන කරන අනිත් ජාති.

02. ලුණු [සාමාන්‍ය ප්‍රමානයේ ගෙඩියකට ලුනු කැට නං තේ හැන්දක්, කුඩු නං තුං කාලක් විතර]

03. කොච්චි කරල් පහක් විතර [කොච්චිත් ඔය මම කියපු තැං වල තියනව ඕන පදං]

කොච්චි හොයාගන්නම නැත්නං ගම්මිරිස් ගන්න, අමු මිරිස් නං කිට්‍ටුකරන්න එපා. රසය හොඳටම වෙනස් වෙනව. හැබයි කොච්චිම හොයාගන්න බලන්න. කොච්චිවල රසයයි, සුවඳයි හරිම සුවිශේෂයි.

04. හිරමනයක්

05. ඇඹුරුම් ගලක් [ෆුඩ් ප්‍රොසෙසර්ස්, බ්ලෙන්ඩර් එහෙම හරියන එකක් නෑ, නියම රහ ගන්න ඇඹුරුම් ගලක් ඕනෙමයි]

ඕන ජාති හරිනං පටංගම්මු වැඩේ.

ඔය ‍තෝරගත්තු ජූල් ගෙඩිය හෝදල පිහිදාල ගන්න. පිහියක් අරං කට්ට පොඩි නොකර දෙකට පලාගන්න.

පොල් බිඳිනව වගේ මහ පිහියෙ මොට්ට පැත්තෙං එහෙම ගහනව නෙවෙයි. එහෙම උනොත් කට්ට පොඩිවෙයි. කට්ට පරිස්සං කරගන්න. කට්ටෙං පස්සෙ පොඩි වැඩක් තියනව.

දැං පොල් ගානව වගේ හීනියට පලාගත්තු ජූල් බෑ දෙක කට්ටටම ගාගන්න. ඊලඟට අර කොච්චි කරල් පහයි ලුණුයි තෙත නැති ඇඹුරුම් ගලේ දාල හොඳට හීනි වෙන්කං අඹරගන්න. කොච්ච්යි, ලුණුයි ඇඹරෙන කොට බොහොම හොඳ සුවඳක් එන්න ඕන දැං.

ඊලඟට ඔය ගලටම හීනියට ගාගනිපු ජූල් පොඩ්ඩ පොඩ්ඩ දාල හොඳට හීනිවෙනකං අඹරගන්න හරියට පොල් සම්බෝල අඹරනව වගේ. ඔක්කොම ඇඹරුවම ගලේතියෙද්දිම ආපහු හොඳට ඇඟිලි වලින් අනාගන්න. පොල් සම්බෝල වගෙ විසිරිලා නෙමෙයි එකට තලපෙයක් වගේ පොඩ්ඩක් එකට ඇලිල තමයි මේක තියෙන්නෙ.

ඊලඟට ඩිංහක් විතර දබර ඇඟිල්ලට අරගෙන දිවේ තියල ලුණු, මිරිස් බලල අඩුපාඩු හදාගන්න ඕන. සැරනං මදි වෙන්න බෑ. එක ගෙඩියකට ඔය දාපු කොච්චි හොඳටම ඇති. අනික කොච්චි රහ දැනෙන්නෙ කාගෙන යනකොට තමයි.

ඕං හදල අහවරයි !

දැං අර පරිස්සං කරපු ජූල් ක‍ටුදෙක ගන්න, අරං ගලේ තියන ජූල් සම්බෝල පුරවගන්න. ඔක්කොම ඔය ක‍ටු දෙකට දාන්න බැරිනං අතිං තදකරල පුරවගන්න.

දැං ඔය පුරවගත්තු ක‍ටු දෙක පැත්තකිං තියල, ඇඹරුම් ගල හෝදල කුස්සිය එහෙම අස් කරල, තවත් ඔය සම්බෝලෙ කන අය කට්ටිය ඉන්නවනං එක බෑයක් ඒ පැත්තටත් දීල, අනිත් බෑයත් අරං බොහොම නිස්කලංක තැනකට යන්න. වත්තෙ කෙලවරක තියන ගහක්, වතුර පාරක්, වගේ නිදහස් තැනක් නං ඔය සම්බෝලෙ මාරම රහයි. එහෙම නැත්නං සති අන්තයෙ පත්තරේ බලනගමනුත් අගෙයි.

ඕකෙ නම සම්බල් උනාට අනිත් සම්බෝල වගේ වෙන දේවල් එක්ක නෙමෙයි කන්නෙ, නිකංමයි මේක කන්නෙ.

කනව කිව්වට මෙක හපන්න නරකයි, මහපට ඇඟිල්ලටයි, දබර ඇඟිල්ලටයි  පොඩ්ඩ පොඩ්ඩ අරං දිවේ තියල උඩුතල්ලට දිවෙං තද කරල හෙමීට ගිලිල්ල ඕන.

සේරම කාල ඉවර උනාම තවත් වැඩක් තියනව.

මතකද මම ඉස්සෙල්ල කිව්ව ජූල් සම්බෝල කට්ටට පුරවල හොඳට තද කරන්න කියල, ඔහොම තද කරාට පස්සෙ ඔය සම්බෝලෙ තියන ඉස්ම ගතිය හිරමනේට නොගෑවී ඉතුරු උන ජූල් වලට උරාගන්නව.

දැං ඔය හිස් කට්ට අත්දෙකට මැදිකරල අල්ලෙන් පොඩි කෑලි වලට කඩල දත් වලිං ලෑටි ගාල කන්නත් ඕන. ජූල් සම්බල් කතාවෙ ඔතන තමයි මම ආසම තැන.

දිව්‍යලෝක රහයි ඒ ඩිංග.

ප/ලි :
ඕක ඉස්සර හදන්නෙම අපෙ පොලිස් පුංචියි චූටි පුංචියි තමයි, ඕක හදනකොට අපේ ආච්චි කියන්නෙ අදත් පටංගත්තද දොලදුක් කෑම හදන්න කියල.

ඒක හන්ද මමත් ඉතිං බලං උන්න චූට්මැණිකෙටත් හදල දෙන්න, අනේ එයාට  ඕක කන්න ආසාවක් ආවෙ නෑ නෙව. එයා කෑවෙම වෙරළුයි නෙල්ලියි 🙂

එහෙමයි කියල මට නොකා ඉන්න ඇහැක. මම තනියම හදං කෑව. එතකොට අම්ම කිව්වෙ මූටනෙ දොළ හැදිල තියෙන්න කියල.

මම සැලුනෙ නෑ….

Advertisements

19 Responses to දොළ දුක් කෑම

  1. හේ හේ ..පට්ට හොදේ ..හදාගෙන කාලා විස්තරේ කියන්නම්කෝ ඔයාට

    කැමතියි

  2. මගේ කමේ තාම කෙල උනනවා… කොහෙම හරි ඔය කෑමනං හදාගෙන කනවමයි….

    කැමතියි

  3. ranga says:

    ගමේ ගියාම අනිවා මේක හදවගෙන කන්න ඕනෙ

    කැමතියි

  4. udaya says:

    නියමයි, විශිෂ්ටයි වැනි වචනවලින් හොඳ කියනවට වඩා ඔබේ මේ කෑම වට්ටෝරුව අනර්ඝයි. කිසි දිනක අසා නැති අපූරුම කෑමක් පිළිබඳව ඔබ ඉදිරිපත් කල අංග සම්පූර්ණ විස්තරය ඉතාම සිත්ගන්නාසුලුයි. මා මෙතෙක් දක ඇති සියළුම කෑම වට්ටෝරු වලට වඩා මෙහි ඇති විශේෂය නම් ඔබ එය රසවිඳින ආකාරයද බොහෝ ආශ්‍රිත කරුණුද ඉතා රසවත් අයුරින් ඉදිරිපත් කර තිබීමයි.
    ඔබගේ බ්ලොග්කරණයට මාගේ සුභ පැතුම් පිරිනමන අතර ගුණාත්මක භාවයෙන් වැඩි මෙවැනි සුවිශේෂී ලිපි තව තවත් ලිවීමට හැකිවේවායි පතමි.

    කැමතියි

  5. RanDil says:

    ජූල් නේද? අපි මේවාට කියන්නේ දිවුල් කියලානේ………
    මට නං ඇඹුල් පේන්නට බැරිය… ඒත් මේක කියෙව්වාම කන්නම හිතුනා… අද හෙටම හදන්න ඕනේ……………

    කැමතියි

  6. බකට් says:

    නියමයි. මමත් අසාම කෑමක්. එත් මක් කරන්නද? දිවුල් ගෙඩියක් කොහෙන් හොයන්නද…ඉන්නෙ මවු රටෙ නොවුන කොට.

    කැමතියි

  7. manju says:

    Niyamai kama wattoruwa. eka rasa widina akarayat maru.et itin oya kauwa widiye jul hoyana eka tama wade.

    Jaya wewa

    කැමතියි

  8. පින්ග්කිරීම: බට කිරිල්ල තුවක්කුව « නවම් මාවත

  9. http://ahasgawwa-tmg.blogspot.com/ says:

    ඔහෙල අපි ඉතින් කජ්ජු ,ජූල් එහෙම කට පුරා හිත පුරා කාල ජූල් ගස් හන්දියෙන් බස් එකට නැගිල රුපියල්, දහේ පාලහේ ටිකට් අරන් කොලඹ ආව උදවියනෙ.නැද්ද නවම්? 🙂

    කැමතියි

  10. පින්ග්කිරීම: පැළ පොල් මද නං ආයෙ මොනවද « නවම් මාවත

  11. සංජීව says:

    නවම්,,උඹේ දිවුල් ( ජූල් … හික්.. හික්) රෙසිපිය දැක්කම කටට කෙල ඉනුව… මම තව පොඩි වැඩක් කියන්නම්.. ඔය මිරිස් ගල්, හිරමනා නැති ගෝතයන්ටත් ජූල් සම්බෝලේ කන්න.උවමනා කරන්නේ උඹ කිව්ව ජාතියෙම ගෙඩියකුයි, වස විසක් නැති කෝටු කෑල්ලකුයි ( පේර කෝටුවක් මරු ) අර කිව්ව කොච්චි ලුනු ටිකකුයි ..

    ඉස්සෙල්ලම අර ජූල් ගෙඩියෙ පුංචි හිලක් හදා ගන්නව උල් පිහියකින් පරිස්සමට. අත එහෙම හිල් කරගන්නව නෙමෙයි..ඊට පස්සෙ අර පේර කෝටු කෑල්ලෙන් හිමීට අර හිලට දාල දිවුල් මද ටික බුරුල් කර ගන්නවා..හිමීට අර කොච්චි ටිකයි ලුනු කැට ටිකයි ජූල් ගෙඩියට රිංගවලා කෝටු කෑල්ලෙන් කොටනව ටික ටික.. ඊට පස්සෙ කෝටු කෑල්ලට ටික ටික අරගෙන .. කන්න තමයි තියෙන්නේ..කට්ටෙ තමයි හොඳම හරිය..

    කැමතියි

  12. පින්ග්කිරීම: පැල මද කා දොදොලුත් හදා ඒ මදිවට හාවොත් ඇල්ලූ වගයි ! « නවම් මාවත

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: