මම මැරෙනව යකෝ…

ඔන්න ඔහොම කියල අදටත් යහතින් ජීවත්වෙන කී දෙනක් ඉන්නවද….?

වැඩිය ඕනෙ නෑ. මමත් කී පාරක් ඔහොම කියල තියෙනවද, එහෙම කියපු දෙතුන් පාරට වඩා කී පාරක් නං හිතිල තියෙනවද. මං නං මළේ නෑ. යස අගේට පවුලකුත් කාගෙන බ්ලොග් එකකුත් කොරං ඉන්නව. ඔය හිතට එන කේන්තියට ඔහොම කිව්වට මැරෙන්නෙ මොන හිතකින්ද. දාල යන්න බැරි දේවල් කීයක් නං තියෙනවද අපි වටේ එතිල.

කියන්නං වාලෙ එහෙම කිව්වට මට හිතෙන විදියටනං  ඔය දාල යන්න බැරි කිසිම දෙයක් අපි ලං කරං නෑ. ජිවත් වීමේ ආසාව හන්ද අපිට නොදැනෙන්න යටි හිත අපිව මොනව හරි දෙයකට ඇලීමක් ඇතිකරනව. එතකොට හිතෙනව මම මැරිල කොහොමද කියල.

මැරෙන්න හිතෙන අවස්ථා වලකන පොදු හේතු කාරනා විදියට,

මම මැරුණොත් ගෑණි / මනුස්සය කන්නෙ බොන්නෙ කොහොමද?
දරුවොන්ට යන කලදවසක් තියෙයිද?
වයසක අම්ම / තාත්ත බලාගන්නෙ කව්ද?

ඔය වගේ අතිශය සංවේදී හේතු වල ඉඳල

ඉඩං කඩං වල වැඩට දුවපනින්න මං නැතුව කවුද ඉන්නෙ?
පංසලට දානෙ ඩිංග ගෙනියන්නෙ කව්ද?
ගෑණුළමය / පිරිමි ළමය තනි වේවි නේද?
බල්ලට කන්න දෙන්නෙ කව්ද?

වගේ එච්චර බලපෑමක් නොකරන කාරනා වෙනකන් හේතුත් ඊට අදාල අනෙකුත් අතුරු කරුණු කාරණාත් මතක් වෙනව ඒ වෙලාවට. ඔන්න එතකොට ආපහු මැරෙන්න යන එකාට ජීවිත ආසාව පහල වෙනව.

වැඩිය ඕනෙ නෑ, හය වසරෙදි විතර මටත් මැරෙන්න හිතුන.

මගෙ අම්මෝ… මැරෙන්න….. ඕව් ඕව් මැරෙන්න තමයි.

කෝච්චියට බෙල්ල තියන්න, වාහනේකට පනින්න, කො‍ටු තාප්පෙ උසම කෙළවරෙන් මූදට පනින්න, වස බොන්න, බෙල්ල වැල දාගන්න ඔය මොන ක්‍රමයකින් හරි  මැරෙන්න මයි මට ඕන උනේ එදානං. ඔය ත්‍රස්ත චේතනාවෙන් ඩිංගක් වෙලා ඉන්නකොට මට එකපාරටම මතක් උනා තාත්ත හවසට පූස් පැටියෙක් ගේනව කියල. ඔන්න ඩිංගක් විතර අර මැරෙන්න ආපු හිත වෙනස් වෙන්න පටන් ගත්ත. මම මැරුනොත් අර පූස් පැටිය බලාගන්නෙ කව්ද, ඌත් එක්ක සෙල්ලං කරන්නෙ කව්ද, නාවන්නෙ කව්ද [පූසො නාවන්නෙ නෑ නේද?] ඔන්න ඔය වගේ දේවල් හන්ද ආපහු මම ජීවත් වෙන්න තීරණය කලා. හොඳ වෙලාවට තාත්ත මට කලින් ම කියල තිබුනෙ හවසට පූස් පැටියෙක් ගේනව කියල. නැත්නං ඉතිං බලාගන්න තිබුන කාට කාටත් මට කේන්ති ආවම වෙන්නෙ මොකක්ද කියල.

අනික බොහෝමයක් දෙනා මැරෙන්නෙ තව කෙනක්ට පාඩමක් උගන්නන්න හිතාගෙන. ගොඩක් වෙලාවට ගෑණු ළමය හරි පිරිමි ළමය හරි තරහ  වුනාම මැරෙන්නෙම ඒ හේතුව හින්ද. මහේ මරණෙට වග කියන්න ඕන ඔයා කියන එක තවත් තහවුරු කරන්න සමහර වෙලාවට සටහනකුත් ලියලම යන්න අමතක කරන්නෙ නෑ සමහරු. ඔතනදි අර පූස ගැන මතක් කරල මාව බේරගත්තු යටි හිතත් සමහර විට දුර්වල වෙනව ඇති ඒ වෙලාවෙ වියෝ දුකේ තියන ආවේගයට. හැබැයි ජීවත් වෙන්න පුංචි වාසනාවක් හරි තිබිල ඉස්පිරිතාලෙකට ගෙනිච්චොත් සීයට අනූ නමයක් ම කියන්නෙ “මොනව හරි කරල මාව බේරගන්න කියල” ඒ අර ආවේගය පහ වෙලා ආපහු ජීවිත ආසාව මතුවෙන්න තරං කාලයක් ගතවෙච්ච හන්ද.

හිතේ ආවේගෙට මැරෙන්නෙ කියල විවිධ උපක්‍රම පාවිච්චි කරනව, ගොඩක් වෙලාවට තමන්ට ඉක්මනින්ම ලංකරගන්න පුළුවන් උපාය තමයි යොදාගන්නෙ, ඔය ඉක්මන් වීම හන්දම ඒක මැරෙන්න තියන ක්‍රමයක් නොවෙන්නත් පුලුවන්. මැරෙන්න හදනකොට මොන නැකැත්ද නේද. මම දන්න ගෑණුළමයෙක් සාමන්‍ය පෙළ ප්‍රතිඵල මදියි කියල තාත්ත දොස් කිව්වට අර ටොයිලට් සුද්ධකරන්න පාවිචිචි කරන හාපික් බිව්ව. අනේ කරුමෙ කියන්නෙ මැරෙන්න බැරි වුනා. හැබැයි හාපික් වලට පිච්චුන බඩවැල් කපල අයින් කලා, දැන් ඒ ළමයට එක පාර කෑම ගොඩක් කන්න බෑ, පොඩි පොඩි කෑම වේල් වැඩි ගනනක් තමයි කන්නෙ. ඒ මදිවට හාපික් බබා කියල කාඩ් එකකුත් වැදිල තිබුන. තව ඔය භූමිතෙල් බීපු අය, මී පාසනම් කාපු අය, පෙට්‍රල් බීපු අය [ගිණි කූරකුත් ඕන වැඩේ හරියටම වෙන්න] ජීවිතේ බේරගත්තු කතා පත්තරව අනන්තවත් තිබුන පහු ගිය දවස්වල.

දැන් නං ඒව දකින්න නැත්තෙ පත්තර වල ලියල ලියලම උන්ට එපා වෙලාද එහෙම නැත්නං පණ නහගන්න එක අඩුවෙලාද මන්ද. කොහොමිං කොහොම හරි පණ නහගන්න උන් අඩුවෙනවනං මේ නවම් වගේම අනිත් හැම දෙනාම සතු‍ටුවෙනව නෙ. ඔය වගේ පණ නහගන්න කෙනෙක් ගෙ ජීවිතය බේරගන්න පුළුවන් නම්. පින් පව් පැත්තක තියල හිතුවත් සැහෙන්න වටින දෙයක්. හ්ම්ම්.. කොහොමද අපි එහෙම කරන්නෙ….. තම තමන්ගෙ වටපිටාව ගැන සැලකිලිමත් වෙනවනං, තව කෙනෙක් ගැන හොයල බලනවනං, අනුනනට ඇහුම්කන් දෙනවනං, තවත් කෙනෙක්ගෙ හදිසි වෙනස් වීමකට සංවේදී වෙනවනං ඔය සියදිවි හාණි කරගන්න පාදක වෙන හේතු ගොඩක් වලක්වාගන්න පුළුවන්.

මිනිස් හිත කියන්නෙ ගොඩක් දරුණුවෙන්න වගේම හිතාගන්න බැරිතරම් මෘදු, සංවේදී වෙන්න පුළුවන් දෙයක්. එහෙම මෘදු වෙච්ච වෙලාවක ඇල්පෙනෙත්තක් බිම වැ‍ටුනත් දුක හිතෙන්න පුළුවන්. ඒක නිසා ජීවිතේ කොයිම මොහොතකවත් ඇහුම් කන් දෙන්න තියෙන අවස්ථාවන් මගහරින්න එපා. සමහර වෙලාවට ඒ ඔයාගෙ ආදරණීය බිරිඳ, අම්ම, තාත්ත, නංගි, මල්ලි, දුව, පුතා, අසල්වැසිය, වෙන්න පුළුවන්. දුකින් ඉන්නව දැක්කොත් හොයල බලන්න අමතක කරන්න එපා. අනුකම්පාවෙන්, ආදරෙයන් කතාකරන වචනයකට, පුංචි හරි බලාපොරොත්තුවකට, හිනාවකට නැතිවෙන්න යන ජීවිතයක් බේරගන්න පුළුවන් වෙයි.

වෙන්න ඕන මොකෝ ඔය පෙට්‍රෝලියම් බේස් එක නැතුව ක්‍රීම් හදන්නෙ අමාරුයි.
Advertisements

31 Responses to මම මැරෙනව යකෝ…

  1. අපේ පැත්තේ ගෑණු ලමයෙක් දෙවනි තට්ටුවෙන් බිමට පැන්නා. එයාගෙ කොල්ලත් එක්ක තනියම ඉස්කෝලේ වෙලාවෙන් පස්සේ පන්ති කාමරයකට වෙලා “කතා කර කර” ඉඳිද්දී ටීචර් කෙනෙක් ඇවිත්. මැරුනෙ නම් නෑ. කකුලක් කැඩුන විතරයි. මටත් කාලයක් මැරෙන්න ඕනෙ කියල හිතුන ඔය වගේ. ඒ උනාට පණ නහ ගන්න තරම් ගටක් නෑ මට ඒ නිසා ලෙඩක් හැදිලා මැරිලා පල කියල හිත හිතා හිටියේ. අන්තිම කැමති පත්තරේත් ලියල තිබ්බෙ මම 😀

    කැමතියි

  2. ```Outsider``` says:

    මට මැරෙන්න හිතුණු වෙලාවල් වලදි මම දවස් තුනකට හැමදාම කල් දානව. යතුකම් තියෙන ඒව අහවර කරන්න.
    කොහොම හරි දෙවෙනි දවසෙ හවස් වෙද්දිම මැරෙන එක මට එපා වෙනව කරුමෙට.

    කැමතියි

    • නවම් says:

      ඒක තමයි මනුස්ස ස්වභාවය. කොච්චර කිව්වත් තව එක මොහොතක් හරි වැඩිපුර ජීවත් වෙන්නයි ආසාව. සමහර විට ඒක උඩුහිතට නොදැනීම යටිහිත ක්‍රියාත්මක වෙලා වෙන හේතුවක් අස්සෙ හංගල ජීවිත ආසාව ඇතිකරනව. එතකොට අපිට ඒ මරණීය සිතුවිල්ල වෙන කෙනෙක් ගෙ ඇ‍ඟේ ගහල ආපහු ජීවත් වෙන්න පුළුවන්. හරියට “මං මැරිල කොහොමද, කව්ද තාත්ත ගේන පූස් පැටිය බලාගන්නෙ” කියල මට හිතුන වගේ.

      කැමතියි

  3. මට මැරෙන්න නම් හිතිල නෑ’ ඒත් බැරි වෙලාවත් හදිසියෙ වත් මැරුණොත් කියල හිතිල මගෙ සමීපතමයන්ට ලියුම් ලියල තියන්න ඔ්නෙ කියල නම් කාලයක් පිස්සුවක් තිබුණා.

    කැමතියි

  4. udaya says:

    හරි වටින පෝස්ට් එකක්. සියදිවි හානි කර ගැනීම දුලබයි කියල කියන්න බෑ. තවම වෙනව. මට එකතරා කාලෙක ඔයවගේ සියදිවි හානිකරගැනීමට පෙලඹෙන අයව ආශ්‍රය කරන්න ලැබුන. [මම ස්වේච්ඡාවෙන් කවුන්සලින් සෙන්ටර් එකක් වැඩ කලා]. සියදිවි හානි කරගැනීම් නවත්වන්න බොහොම පොඩි උත්සාහයකින් පුළුවන්. මේ පෝස්ට් එකේ තියෙන කරුණු වගේ ඒවත් සමහර විට යොදාගන්නව. සියදිවි හානි කරගැනීමට යොමුවෙන ගොඩක් අය විශාදය කියන මානසික රෝගී තත්වයට ගොඳුරු වුන අය. ඒවගේ ප්‍රශ්න මනෝ වෛද්‍යවරුන්ගෙ විෂයට තමයි අයිති වෙන්නෙ. මේ පෝස්ට් එකට බොහෝම ස්තූතියි…!

    කැමතියි

  5. මැරෙන්නත් ඕන ඒත් නවම් අයියගේ පෝස්ට් එකට කමෙන්ට් එකක් නොදා මැරෙන්නේ කොහොමෙයි ?

    එල ..නවම් ..එල

    ජය වේවා !!

    කැමතියි

  6. arunishapiro says:

    ලෝකයේ සියදිවිනසා ගන්නවුන් අතරින් 2007 දී හතරවැනි ස්ථානය ගන්නේ ශ්‍රී ලංකාවයි. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව. පළමු ස්ථානය: ලිතුවේනියාව, දෙවැන්න: බෙලාරූස්, තුන්වැන්න: රුසියාව.

    සියදිවිනසා ගැනීම තෝරා ගැනීමක් නොවේ. එය තෝරා ගැනීමක් නම් පුද්ගලයා ජීවත්වන්නට තෝරා ගනු ඇත. එම අවස්ථාවේ ජීවත්වීමේ හැකියාව නොපෙනෙන පුද්ගලයා සියදිවිනසා ගැනීම තෝරාගැනීමක් යයි වැරදියට සිතයි.

    අනුකරණය පහසු ය. සියදිවිනසා ගැනීම් බහුල සමාජයක එය නිතර ඇහෙන දකින අය වැඩි සොයා බැලීමකින් තොරව එකඟ වෙන, අනුමත කරන හා හවුල්වන මානසිකත්වයට බහිති.

    සියදිවිනසා ගැනීම කෙටි කාලීන ප්‍රශ්නයකට සදාකාලික අනුවණ විසඳුමක් ලබා දීමකි!!!

    කැමතියි

    • නවම් says:

      මං නං හිතන්නෙ සියදිවි හානි කර ගැනීම ‍තෝරා ගැනීම් දෙකකින් එකක්. අපි යන්නෙ හැම තිස්සෙම ලේසි පාරෙ හන්ද වෙලාවෙ හැටියන මැරෙන එක හොඳම විසඳුම කියල පේනව ඇති, ඒ වෙලාවෙ හැටියට ජීවත් වීමේ ඔප්ෂන් එක ‍තෝරගත්තොත් ච්ත්තාවේග හන්ද ඇහිරිලා තියෙන හිතට පාර හොයාගන්න බැරිවෙයි. ප්‍රශ්ණ වලට ආදරේ කරන්න බැරිහන්දම ප්‍රශ්ණෙ නැතිකරනවද, ප්‍රශ්ණය සංවේදනය වීම නැතිකරනවද කියල මිනිස්සු තීරණය කරනව.

      කැමතියි

    • budhajeewa says:

      ලිතුවේනියා, බෙලරුස්, රුසියාව මේ රටවල් තුනම සෝව්යටි රටවල් නේ? එතකොට ඒවයි ලංකාවයි අතර මොකක්ද මහා පොදු සාධකේ?

      කැමතියි

  7. Alchemiya says:

    මම හැමදාම කියනවා වගේ අපේ ජීවිත අපට අයිති නැහැ. අපේ ජීවිතවල අයිතිය තියෙන්නේ අනිත් අයට. ඒ අයට නොදන්වා අපි ජීවිතය නැති කරගන්න එක් ඒ අයගේ මානව හිමිකම් කඩ කිරීමක්… මොකද මිනිසා කියන්නේ සමාජ සත්ත්‍වයෙක් අපි හැමෝම මොනයම් විදියකින් හරි හැමෝටම සම්බන්ධයි. අප මිය යනවා කියන්නේ ඒ සම්බන්ධයේ පුරුකක් බිඳ දැමීමක්…. .

    අහලා තිබුණානේ දැන් ලියන්නේ නැද්ද කියලා……..
    ඔන්න කාලෙකට පස්සේ මමත් ලිපියක් දැම්මා….

    ඔබතුමා බද්දෙගම පැත්ත හොඳට දන්නවා වගේ නේද ?
    මමත් ඒ පැත්තේ තමයි…

    කැමතියි

  8. budhajeewa says:

    මගේ අදහස, ජීවිතේ කියන්නේ යම් එක් සිද්ධියක් පමණක් කිරීමට තැනුනු දෙයක් නම්, ඒ දේ වැරදුනාම ජීවිතේ නැති කරගත්තට අවුලක් නෑ. හැබැයි ජීවිතේ කියන්නේ යම් එක දෙයක් පමණක් කරන්න තියන දෙයක් නෙවෙයි, ඉතිං එකක් වැරදුනු පළියට ජීවිතේ නැති කරගන්න යාම අතාර්කිකයි.

    අනික, එක දෙයක් වැරදුනු පළියට ජීවිතේ නැති කරගන්න ගියා නම්, මේ ලෝකෙ සියළු දෙනාම සියදිවි නසාගන්න ඕන. කරන කරන හැම එකම වැරදෙන මම වගේ පොරක් කීපාරක් මැරෙන්න එපාද?

    කැමතියි

  9. මචෝ මේ පෝස්ට් කියවන්න XP වල අකුරු පේන්නෑ නෑ පුලුවන් කමක් තියේ නම් අකුරු ලොකු කරල දාන්න ස්තූතියි!

    කැමතියි

  10. Anushka says:

    කොහොමත් මැරෙන එකේ මොකටද බං නිකන් කලබල වෙන්නේ

    කැමතියි

  11. Malli says:

    මම තරහ උනා කියලා, අපේ ගැනු ලමය කලයක් මැරෙන්න හැදුව, ඉතින් මම ආයේම එයා හොයා ගේන අවා.. දැන් ඔන් අය මැරෙන්න කියලා යනවා.. හබැයි එ නම්, මත් එක්ක ඉන්න බැ කියලා.. හික් හික් … මොනව උනත් ඔය කිය කිය ඉන්න උන් නම් මැරේන්නේ නෑ.. එ වගේම මැරේන උන් කියව කියව ඉන්නේත් නෑ.. මොනවා උනත් කතාව ඇත්ත..!

    “සමහර වෙලාවට ඒ ඔයාගෙ ආදරණීය බිරිඳ, අම්ම, තාත්ත, නංගි, මල්ලි, දුව, පුතා, අසල්වැසිය, වෙන්න පුළුවන්. දුකින් ඉන්නව දැක්කොත් හොයල බලන්න අමතක කරන්න එපා. අනුකම්පාවෙන්, ආදරෙයන් කතාකරන වචනයකට, පුංචි හරි බලාපොරොත්තුවකට, හිනාවකට නැතිවෙන්න යන ජීවිතයක් බේරගන්න පුළුවන් වෙයි.”

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: