අළු යට ගිණි පුපුරු නොනැසී…

ඔයාට මාව දකින්න ආසයි කිව්වනෙ.

ඔන්න මං අනිද්ද එනව ඉන්ටර්විව් එකකට නේෂන් ට්‍රස්ට් බෑන්ක් එකට අම්මත් එක්ක. හැබැයි කතා කරන්න වෙනෙ එකක් නං නෑ හොඳද.

කතා නොකලත් මොකද, පහුගිය මාස තුනටම මං ඔයා ව දැකල තුබුනෙ අර මට මේල් කරල තිබුන තව යාළුවො දෙන්නෙකුත් එක්ක උන්නු අපැහැදිලි පින්තූරෙන් විතරයි නෙ. මම තමයි ඔය පින්තූරෙ මැද ඉන්නෙ කියල කියනකන් ම මම ඔයා කියල හිතාගෙන හිටියෙ කෙළවරේ හිටපු පොඩ්ඩක් විතර පෙනුම තියෙන ගෑණු ළමයව.

ඒකෙ හිටපු විදියට අනූ මහ ගොඩක් ලස්සන කෙනෙක් නෙමෙයි. කෙට්‍ටුයි, උසයි, කොන්ඩෙ දිගයි. පින්තූරෙ වැඩිය පැහැදිලි නැති හන්ද මං ඔයාව හිතේ ඇඳගත්තෙ ඒ විදියට. තව අතුරු කාරනා හිත් හෝදිසියෙන් ඇඳගන්න හැදුවට ඔළුවෙ කැක්කුමක් ආව හන්ද අතෑරල දැම්ම.

කියාපු දවසෙ උදේ ඔන්න මං ඔයා බලන්න ටවුන්හෝල් වලින් 138 බස් එකේ නැගල පබ්ලික් ලයිබ්‍රරි එක ලඟින් බැහැල ස්විඩිෂ් ඕඩියෝ ට්‍රේඩින් එකට පොඩ්ඩක් පිත්තල හන්දිය පැත්තට වෙන්න පාරෙන් එහාපැත්තෙ තියෙන බස් හෝල්ට් එකේ යකඩ ස්ටූල් එකකට වෙලා බලං ඉන්නව.

උදේ පාන්දර කියල නෑ. බස් හෝල්ට් එකට පිටිපස්සෙ තියෙන යකඩ වැටේ දෙන්නෙක් තද දුඹුරු පාට තීන්ත ගානව. මං ආසම සුවඳවලින් එකක් තීන්ත සුවඳ,  ඩිංගකට ඔයා ව අමතක වෙලා නිදහසේ ඒ සුවඳ වින්ද. තවමත් ඔය වාහන පේන්ට් කරන තැන්වලින් එන සුවඳට මං හරිම පෙරේතයි, නැවතිල ඉන්න තරං හිතෙනව.

ඔහොම ඇස් පියන් සුවඳේ ඉන්නකොට ඉඳල හිටල හීනියට හමන සුළඟට බස් හෝල්ට් එක ඉස්සරහ තියනෙ තේක්ක ගහේ ලොකු කොළ වලට මුවාවෙලා තිබුන ඉර එලිය ඇස්පියන් වලට තට්‍ටු කරන්න පටන්ගත්ත. බැරිම තැන මං ඇස් ඇරිය.

තේක්ක ගහ පාමුළ කවුද දෙන්නෙක් ඉන්නව. එක්කෙනෙක් ඔසරියක් ඇඳල, අනික් එක්කෙනා කෙට්‍ටු උස කෙනෙක් ස්ලැක් එකකුයි බ්ලවුස් එකකුයි ඇඳල.

ඒත් එක්කම මට ටෙක්ස්ට් මැසේජ් එකක්. “කැමතිනම් එන්න ලඟට” එතකොටයි මං දැනගත්තෙ අර ඉන්නෙ ඔයා ල කියල. බලං හිටිය ලඟට නොයා, අර ඕසරිය ඇඳල උන්නෙ ඔයා ගෙ අම්ම කියල තේරිච්ච හන්ද. අනික එයා ප්‍රින්සිපල් කෙනෙක් ලු. ප්‍රින්සිපල්ල එක්ක මට තියෙන්නෙ සොඳුරු මතක නොවෙන හන්ද කකුල් දෙක බෑ කිව්ව.

“මම තව විනාඩි 5 කින් ඉන්ටර්වීව් එකට බැංකුව ඇතුලට යනව. එනකන් ඉන්නවද” තව ටෙක්ස්ට් මැසේජ් එකක්.

“හා මං ඉන්නං” මං උත්තර දුන්න.

තවමත් මං අර කලිං වාඩිවෙලා උන්නු යකඩ ස්ටූල් එකේ කියල තේරුනේ ඔයා බැංකුව ඇතුලට ගියාට පස්සෙ තදින්ම දැනුන අව් ‍රැල්ල මූණ කොනිතිගහන්න පටංගත්තටත් පස්සෙ. මං නැගිටල එතන තිබුන අනිත් ස්ටූල් එකට බර දුන්න.

ඒ වෙනකොට අර තීන්ත ගාපු දෙන්න වැටේ එළිය පැත්තෙ ගාල ඉවර වෙලා ඇතුල් පැත්තෙත් ගාන්න පටන් අරං. අව්ව තදින්ම අළුත් තීන්ත උඩට වැටිල දිලිහෙනව, ඉක්මනට වේලෙන හන්දද මංද තීන්ත සුවඳ ඉස්සරට වැඩිය තදින්ම මගේ නහය කොනිත්තනව.

ආපහු මට අර තේක්ක ගහ දිහා බැළුන, ඔයාගෙ අම්ම එතන නෑ. වට පිට බලනකොට දැක්ක පාර මාරුවෙලා මං ඉන්න දිහාවට ඇවිදගෙන එනව. ඇවිල්ල හරියටම මං කලිං වාඩිවෙලා උන්න යකඩ ස්ටූල් එකට අඩි දෙක තුනක් පිටිපස්සට වෙන්න හිටගෙන. බස් හෝල්ට් එකේ වහල හන්ද අව්ව වැ‍ටුනෙ අම්මගෙ ඕසරියෙ ලොකු කිරිබත් කෑලි හතරක් වෙනකං විතරයි.

එතනට මං උන්න තැනට වැඩිය හරි කෙලිං බැංකුවෙ දොර පේනව. අම්ම එතනම පැය බාගයකටත් වැඩිය හිටං හිටියෙ ඉන්ටර්වීව් එකට ගිහිල්ල එලියට එනකොටම ඔයාගෙ මූණ බලල මොකෝ උනේ කියල හිතාගන්න වෙන්න ඇති. ඔයා හිනාවක් මූණෙ පුරවං එලියට එනකොට අර අව් ‍රැල්ල අම්මගෙ දුඹුරුපාට ලෙදර් සෙරෙප්පු දෙකේ අන්තිම අඟලෙ තිබුනෙ.

ඔයා අර හිනා වෙන්ම පාර පැන්න හරිම අමුතු විදියට, හරිම හුරතල් විදියට. දැං ඔයා මට අඩි දෙක තුනක් එහායින්. ඔයා මං මෙච්චර කල් හිතේ ඇඳන් ඉඳපු ගෑණු ළමයෙක් නෙමෙයි. හරිම වෙනස් පෙනුමක් ඔයාට තිබුනෙ. ඔයාට තිබුනෙ බෝනිකි පෙනුමක් නෙමයි. මං ආපහු ලියනව, හරිම වෙන්ස් පෙනුමක්. දාහක් අතරෙන් උනත් මේ ඔයා කියල වෙන් කරල අඳුනගන්න පුළුවන් පෙනුමක්.

මං හරිම ආස උනා ඒ බැල්මට, පෙනුමට. ඔයාගෙ කකුලෙ ඇඟිලි වල පුංචි පුංචි දාඩිය මල් පිපිල තිබුන. ඒ, ඒ වෙනකොට අව්ව අම්මගෙ සෙරෙප්පු දෙක පහුකරල ඊට ඩිංගක් ඉස්සරහින් හිටිය ඔයගෙ කකුල් දෙකට පැනල හිටපු හන්දද එහෙමත් නැත්නං ඉන්ටර්විව් එකේදි දාපු දාඩිය වේලෙන්න තරං වෙලාවක් නොගිය හින්දද හියල මං හොයන්න නොගියෙ ඒ දාඩිය මල් රටාවෙ ලස්සනදිහා බලං ඉන්න එක මට වඩා වැදගත් උන හන්ද.

ඒත් ඒ ඇඟිලි අයිතිකාරි මං ඒ දිහා බලං ඉන්නව දැනගෙන ඇඟිලි නටවන්න පටන්ගත්තු හන්ද ගොඩක් වෙලා ඒ දිහා බලං ඉන්න බැරි උනා.

ඒත් එක්කම පිටකො‍ටු යන බස් එකක් හෝල්ට් එකේ නැවැත්තුව. අම්ම ඉස්සරවුනා.. ඔයා ඊට පස්සෙන් අර ලස්සන ගමනෙන් බස් එක ලඟට ගිහිල්ල අල්ල හොල්ලන්නෙ නැතුව ඇඟිලි ටික විතරක් නවල ආපහු දිග ඇරල අමුතු විදියකට ටටා කියල පිටිපස්සෙ දොරෙන් නැගල හියා.

මං ඒ වෙනකනුත් අර යකඩ ස්ටූල් එකේ ඇලවිලා. අව්ව්වත් බස් හෝල්ට් එකේ හෙවනැල්ල මගෙ කකුල් දෙක ලඟටම ගෙනැවිල්ල තිබුන.

ඔන්න ඔහොමයි මගෙ දෙවෙනි ආදරේ සයිබර් ලෝකෙන් හැබැ ලෝකෙට ආවෙ !

ප/ලි : ඔය කියන නේෂන් ට්‍රස්ට් බැංකුව දැන් නං එතන නෑ. අපි දෙන්නත් දැන් නෑ. දෙදාස් එකොලහ අවුරුද්දට සුභපතල යැව්ව ටෙක්ස්ට් මැසේජ් එකට රිප්ලයිත් නෑ. ඒ තිබුන බිල්ඩිමේ දැං රතුපාට ලොකු කතිරයක් ගහල තියෙනව. මොකක්ද මංද ඒ…

Advertisements

23 Responses to අළු යට ගිණි පුපුරු නොනැසී…

  1. ඔයාගේ ආදර කතාව ලස්සනට ගලාගෙන යනවා අහන්න පුදුම ආසයි. කෙනෙකුගේ ජිවිතය සම්පූර්න වෙන්න ආදරයක් අවශ්‍යයි නේ.
    ඉස්සර අපි ඒ ලෙවල් කරන කාලේ සමහර කොල්ලොත් ඔය විදිහට තමයි ආදරය කරන්න වෙලා තියෙන්නේ. මොකද ගෑනුලමයව පන්ති එක්කගෙන එන්න අම්මත් එනවනේ. අර ගෑනු ලමයා හොරෙන් තමන්ගේ ආදරවන්තයා දිහා බලනවා. ආයෙත් අම්ම දිහාත් බලනව.

    ඔයවගේ ගෑනු ලමයෙක් එක්ක දවසක් හම්බවෙලා ඇහුවා ඔය විදිහට ආදර කරන්න උනාම දුක නැද්ද කියලා. එයා කිවේ දුකයි තමයි නමුත් ඒකෙත් පොඩි සුන්දරත්වයක් තියෙනවා කියලා.

    කැමතියි

  2. අතඇරලා දාපං බං. කියන තරම් ලේසි නෑ කියලා දන්නවා. ඒත් බං….
    උඹට දැනට කව්රුත් නැත්තං එන සිංහල අළුත් අවුරුද්දට කලිං හොඳ කෙනෙක් හම්බුවෙන්න කියලා ඕං අපි ප්‍රාර්ථනා කරනවා… ඉන්නවා බං ඒ ආදරේ තවත් වැඩි වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    කැමතියි

  3. නවම් says:

    මං දැං මහා ආදර කතාවක බාගයක් මාළුවො. වෙලාවක ඒකත් ලියන්නං. තවම මහෙ වචන පොහොසත් නෑ ඒක ලියන්න

    කැමතියි

  4. pinibindu says:

    ආදරේ කරන කෙනෙක් එක තත්පරේකට පෙනිල ගියත් ඇති නේද?

    ගීතයක් සේ මතු වෙයන් නොසිතූ වෙලාවක

    කැමතියි

  5. dinesh says:

    මචං මටනම් මාර සුන්දර දර්ශනයක් හිතේ මැවුනෙ.කෙල්ලගෙ “ටටා” පාර උඹ සිරාවට ලියල තියනවා.

    අම්මප සයිබරෙන් වත් ලව් කරන්න මේ කොම්පැනි කාරයොත් එක්ක අපිට වෙලාවක් නෑනෙ.දැන් ආදර කතාවත් ලියමුකො බලන්න.

    කැමතියි

  6. Kathandara says:

    ආදරය ගැන කවි දෙකක්

    1. ආදරය
    හෙලවෙන කණු හොඩ
    දිරච්ච ටකරම
    බස් නැවතුම් පොළ
    මහ මැදුරක් විය

    2. ආදරය
    බස් නැවතුම ලඟ
    දූවිලි කාගෙන පැය ගණනක් ලැග
    ඇය දැක සැනසෙන
    තත්පර දහයද
    මොක් සුව ගෙන දෙන
    මහා භද්‍රයකි.

    කැමතියි

  7. Alchemiya says:

    ආදරේ කියන්නේ මහා තේරුම් ගන්න බැරි මොකක්දෝ එකක්….
    අම්මගේ ආදරේ කවදාවත් හිඳෙන්නේ නැති උල්පතක් වගේ
    තාත්තගේ ආදරේ ඉඳලා හිටලා වැටෙන මහා වැස්සක් වගේ – හැමදාම නෑ හැමතැනම නෑ ඒත් ආදරෙයි. පෙන්නන්නේ නෑ
    බිරිඳගේ ආදරේ මුහුදු රැල්ල වගේ…. වෙලාවකට එනවා.. වෙලාවකට නෑ
    දරුවොන්ගෙ ආදරේ හුළඟ වගේ… හැම වෙලාවෙම ඇඟේ සිතේ දැවටෙනවා….

    පෙම් කරන කාලේ ආදරේ අනේ මන්දා…. ඒක ගැන නම් කියන්න හරියට උපමා මගේ ගාව නෑ…..

    කැමතියි

  8. arunishapiro says:

    සටහන මාවත් අතීතයට එක්කන් ගියා. ඔය කියන හරියෙ තවත් ආදර කතාවක් දිග හැරුණා. බස් හෝල්ට් එකේ සුදු තීන්ත ගාපු යකඩ වැටක් එදා තිබුනෙ. මමත් එක්ක එදා දවස ගෙවූ මගේ යෙහෙළියකට එකම දවසේ 3 දෙනෙක් ආදරය ප්‍රකාශ කළා. ඉන් පළමු එක්කෙනා හා අද ඇය විවාහ වෙලා. අනිත් දෙන්නා අද මාධ්‍යයෙන් දකින සමාජයේ දේශපාලනමය නොවන ඉහළ ‘පොර’වල් දෙකක්. අපි හැමෝම තවමත් යාළුවෝ!

    කැමතියි

  9. මාත් මගෙ හොඳම යාලුවව දැක්කේ නවම් මාව‍‍තේ ලොකු බිල්ඩිමක් ලඟ දි. මේ ජීවිතකාලයේම හමුවෙලා තියෙන හොඳම යාළුවා තමයි ඒ. ඒකත් මේ වගේම සයිබර් හදුනා ගැනීමක්… එදාටත් අදටත් හෙටටත් ඒ යාළුකම එහෙමම තියේවි….

    මගෙ ආදරය නම් මොන මාවතක දි මුණ ගැහේවි ද දන්නේ නැහැ…

    ලස්සනයි යාලු … කියවන කොට මැවිල පේනව …

    කැමතියි

  10. හරිම ලස්සනට ලියලා තියනවා . මම නවම් මාවත ජීවිතේටම දැක නොතිබුනාට . මගේ හිතේ අපේ බස් හෝල්ට් එක මැවිලා පෙනුනා .නියමයි නවම් අයියේ . ඒත් දැන් ඕව අමතක කරලා දාන්න .

    දැං ඉතිං ඔයාට රටක් වටින පුතු පැටියෙකුයි . මැනිකේ කෙනෙකුයි ඉන්නවනේ

    ජය වේවා !!

    කැමතියි

  11. dedunu says:

    පට්ට බ්ලොග් එක අමුතුම ස්ටයිල් එකක් මේකේ තියෙන්නේ

    කැමතියි

  12. පින්ග්කිරීම: වරා මලයි කුමාරයයි [අළු යට ගිණි පුපුරු නොනැසී- පසුවදනක්] « නවම් මාවත

  13. පින්ග්කිරීම: අපි දෙන්නයි සාත්තර ගුරුන්නාන්සෙයි දෙයියන්නාන්සෙයි « නවම් මාවත

  14. පින්ග්කිරීම: චූටි මැණිකෙට ආදරෙන්…… « නවම් මාවත

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: