පොල් බඩ සහ අහිමි වෙච්ච ගම

මේකත් තවත් කෑමක් තමයි. ඒත් මම මීට කලින් ලියාපු ලොවි සම්බෝල කතාව කියවලා උන්ට දීල කෑවෙ නෑ කියල මාළුවයි, අභියයි අනුෂ්කයයි තර්ජනේ දැම්ම හින්ද දෙතුන්පාරක්ම හිතන්න උනා මේක ලියන්න කලින්. මොකෝ අර රංගගෙ යාලුවො කෙල්ල ඉස්සුව වගේ මාවත් ඉස්සුවොත් බඩුම තමයිනෙ.

මාළුව නං කෝල් එකක් දීලම නාහෙන් ඇඬුව. මිනිහගෙ කටට ඒ වෙනකොටත් කෙළ උනනව. වචන සෑහෙන්න පැටළුනා ඕං. කොච්චර ටැපලුනාද කිව්වොත් “කෝට්ට පරංගියේ” ගියෙත් උන්දැගෙ මාලිගාව ඉස්සරහින් කිව්වෙ. තව තව රජ කතා සෑහෙන්න කිව්ව, අයිත් ඉතිං එව්ව මෙතන කිව්වොත් උන්දැ රෙද්දක් ඇඳං පාරෙ ගිහිල්ල හමාරයි.

ඒත් ඉතිං උන්ගෙ කරුමෙට ලොවි කන්න නැති උනාට  මං මක්ක කරන්නෙයි !. ඔන්න ඔහේ ලියල දානව මේකත්.

ඉස්සර මං ඔය හක්මන දිහාවෙ අපේ ආච්චිලගෙ ගෙදර ඉඳිද්දි හරි අපූරු ජාති කෑම තමයි කෑවෙ පුංචි අම්මල රොත්තත් එක්ක. එයැයිල තමයි ඔය විච්චූරණ ජාති හදන්නෙ. ඒ කාලෙ ලොකු පුංචි ඇරෙන්න අනිත් එක්කෙනෙක්වත් බැඳල නොහිටපු හන්ද ඔයි දේවල් කරන්න ඇති පදං වෙලාව ඒ කට්ටියට. ඔයිං දෙකක් මං කලිං කිව්ව. නොදන්න කට්ටිය ජූල් සම්බල් මෙතනින් කියවන්න, ලොවි සම්බල් මෙතනින් කියවන්න. හදන හැටිත් කියල තියෙනෙ හන්ද කැමති කට්ටියට හදාගන්නත් ඇහැකි.

අද කියන්න යන කෑම ජාතියනං හදාගන්න දෙයක් නෑ, හැබැයි හැමතිස්සෙම කන්න ලැබෙන්නෙනං නෑ. ඕක ඉතිං කෑමක් කියලම කන්න ගියොත් මහ විනාසයක් වෙන්නෙ. අනික ඕකට දැං ආණ්ඩුවෙන් තහනම් කරල තියන හන්ද කන්න ගියොත් හිරේ විලංගුවෙත් වැටෙන්න බැරි නෑ.

කෑමෙ නම නං ඉතිං “පොල්බඩ”

දැං ඉතිං බලයි නවම් මාවත ලියන්නෙ අලියෙක්ද කියල. නෑ නෑ කලබල වෙන්න දෙයක් නෑ. මං අලියෙක් නෙමේ ඕං.

ඉස්සර ආච්චිලගෙ ඉඩං වල හරි අහල පහල ඉඩමක හරි පොල් ගහක් කපනව කිව්වොත් මං ඔය කාගෙ හරි අතක එල්ලිලා යනවමයි එතනට. පහල ගෙදර පුංචිමාම තමයි ගමේම ගස්වලට වගකියන්නෙ.  අත් පොරවයි, මහ පොරවයි කඹ රෝලයි අරං යනවනං ඉතිං මට ගෙදර ඉන්න බෑ. මං ඉතිං කෑගහනව පුංචි මාමේ…. පොල් ගහක්දෝ……? පොල්නං ඉතිං හරි, මං ඉගිල්ලෙනව… අනිත් ගස් වගේ නෙමෙයි පොල්ගහක් කපනකොට හරි හරි වාසි තියෙනව. කලටි, කුරුම්බ, වෑවර, ලුණු ගොබලු, ඊලඟට මං ආසම පොල් බඩ.

වෙනදනං ඔය කුරුම්බ, වෑවර වලට මං මහ පෙරේතයි, හැබැයි පොල් ගහක් කපන දවස් වලටනං මං ඔය ගහ කපන්න කලින් බිමට වලු පිටින් කපල දාන වෑවර ගෙඩියකට වැඩිය වග කියන්නෙ නෑ. ඇයි ඉතිං තව ඩිංග වෙලාවකින් පොල්ගහේ කරටිය බිමනෙ.

දඩ බඩාං……. හුරා…. පොල්ගහ බිමෝ………

ඊටපස්සෙ පහලගෙදර පුංචිමාම අත් පොරව අරං එහව කරටිය පාහින්න, කඳ කුට්ටිකරන්න කලිං කරටිය කපල අහක් කරනව, නැත්නං පොල් කඳ පෙරලනව බොරු, ඇයි කරටිය සුවල්ප බරක් යැ. බෙල්ල කපන්නැහෙ කපල අහක් කරාට පස්සෙ අපිට ඕන එකක් කරගන්න ඉඩ ඇරල මහ පොරවෙන් කඳ දෙකුට්ටි කරනව. එහෙම දීල ගියාට හිච්චි අපිට ඇහැක අර මහ විසාල කරටිය පලන්න. එහෙමයි කියල බලං ඉන්න තරං ඉවසිල්ලක් කොයින්ද අපිට. අපේ කොලු නඩේ ඉන්න ලොකුම එකා අර පැත්තක තියෙන අත් පොරව අරං පොල්පිති පාහිනව. මෙක වැඩි වෙලාවක් කරන්න හම්බවෙන්නෙ නෑ. පුංචිමාම මේ නාඩගම බලං ඉන්න බැරුව ඇවිල්ල කරටිය දෙබෑකරල දෙනව.

ඊට පස්සෙ ඕං අපිට මඟුල් වගේ.

අර කරටිය වටේ තිබිච්ච මෝරපු පොල් පිති අහක් කරාට පස්සෙ මෙන්න සුදු පාට ලා පොල් පිති, පොල් කොළ, පොල් මල්, කොළපු, හනසු සේරම දිලිහී දිලිහී තියෙනව. ලා පොල් මලේ හිච්චි හිච්චි ගෙඩිත් තියනව, ඒවනං ඉතිං කන්න බෑ. කහට රහයි ඒත් වෙනද ලෙලි ගහල, මහ පිහියෙන් ගහල බිඳල කන පොල් ගෙඩි පිටිං කජු කනව වගේ කනකොට අමුතු ගතියකුත් ඇඟට එන. අච්චර රහ බඩ තියෙද්දි මක්කටෙයි කහ කඩ කෑලි කන්නෙ කියල ඒව අතින්ම අඹරල කඩල දාල, ඔය මෝරපු පොල්පිති කෑලි එහෙම අයිං කරල පාදගන්නව අපේ නිධානෙ, ලා කරටිය

බුදු අම්මේ ඒවයෙ රහ, හරිම කිරි රහයි, හරිම සුවඳයි. මටනං දැනුත් සුවඳ දැනෙනෙව වහේ. ඒ වයෙනුත් මං වැඩියෙම ආස ලාම ලා පොල් කොළ වලටයි, කිරි පාට කොළපුවත් එක්ක තියෙන පොල් මල් වලටයි තමයි. ඒව හරිම මෘදුයි, හැබැයි කෑවට පස්සෙ දත් ටිකනං පොල් කොළපු පුච්චපු අඟුරු වලින් මදින්නම වෙනව, නැත්නං ගන දෙයක් නෑ, කහට පිපෙනව බලං ඉඳිද්දි. හිච්චි කාලෙ කවුද පස්සෙන් පැන්නුවෙ නැත්නං දත් මදින්නෙ, ආච්චි තමයි ඉතිං එයැයිගෙ අත්දෙකිං මාව හෙල්ලෙන්න බැරි විදියට ඇඟට හිර කරං දබර ඇඟිල්ලට කුඩුකරපු අඟුරු අරං බරස් බරස් කියල බලෙන්ම මද්දවන්නෙ. මගෙ දාංගලේට වීදුරුමහත් තුවාලවෙනව එතකොටනං. මක්ක උනත් ගොරක පාටට තිබුන දත්ටික ආපහු මුතුකැට කරල තමයි ආච්චි මාව අතාරින්නෙ.

ඊට සෑහෙන කාලෙකට පස්සෙ ලොකු මහත් වෙලා ගං ගොඩවල් අතෑරල මෙහේ කොළඹ ගාල් උනාට තාමත් පොල් බඩයක් කන්න තියෙන ආසාවනං නැතිවෙලා නෑ. ඒත් දැං ගං වලත් ඉස්සර වගේ ඔව්ව නැතුව ඇති. පුංචි අම්මලත් කසාද බැඳල එහේට මෙහේට වෙලා. පහල ගෙදර පුංචිමාමත් දැං ගස් කපන්න කොන්ත්‍රාත් අරං චේන් සෝ එකෙන්. පහුගිය සැරේ ගමේ ගියාම මං දැක්ක ලෑන්ඩ්මාස්ටරේක ලී මෝලකුත් පටවං යනව. මං හිතන්නෙ එයැයි මාව දැක්කෙ නෑ. නැත්නං ඉස්සර එයැයිගෙ පස්සෙං වැටිල පොල් බඩකන්න දුවපු මං අඳුරගන්න බැරිවෙයියැ.

ඉඳල හිටල ආච්චිගෙයි, සීයගෙයි දානෙකට ගමට ගියත් මට ආපහු ගමත් එක්ක පෑහෙන්න බෑ වගේ. රුප්පෙ පුතේ කියල කතාකරපු, හීං මාම, වඩනම්බි මාම, හින්නි මාම,  හේනෙ ගෙදර නැන්ද, දැ කතාකරනෙ මහත්තය කියල. එතකොට මං ගමට අයිති නෑ කියලයි මට හිතෙන්නෙ. අපි ගමෙං ආපු හන්ද කොළඹින් පිලිගන්නෙ නෑ. ගම දාල කොළඹ ආව හන්ද ආපහු ගමන් පිලිගන්නෙත් නෑ. අපි හරියට ගන්ධබ්බයො වගේ පාවෙවී ඉන්නව.

Advertisements

34 Responses to පොල් බඩ සහ අහිමි වෙච්ච ගම

  1. වැප් says:

    අඩේ මගෙත් ආසම කෑමක් ….දැනට අවු තුනකට විතර උඩදි කෑවා … ගෙදර තිබුණු එච්චර උස නැති පොල් පැලයක් කපපු දවසක ….

    ඔය හනසු අඟුරු වලින් මං අදටත් දත් මදිනවා මාසයකට විතර සැරයක් 😀 බුලත් විටක් කෑවොත් එහෙම

    කැමතියි

  2. shathika aththa bang
    game idan wena koheta hari giyama aith game un akka pehennawa boru.
    issella akata mada gode watila pissu natapu un apiwa ada amathakaisamaharun katha karanneth apith akka bayen wage.

    කැමතියි

  3. අනේ පොල් බඩ. ඔයා නම් දවසක අපෙන් ගුටි කනවා අපිට බඩගිනි හදවලා. මාත් පොල් බඩ කාල කාල අන්තිමට අර ටිකක් මෝරගෙන ඒවත් කනවා. අපෝ එතකොට කට කහනවා. ඇයි ඊට පස්සෙ හැදෙන බඩේ අමාරුව. ඒත් ඔය මොන දේකින් වත් පොල් බඩ කන එක නතර කරන්න පුලුවන්ද.

    ඇයි පොල් ගෙඩිය පැල වේගෙන එන කොට පොල් ගෙඩිය ඇතුලෙ හැදෙන පැල පී. අම්මෝ පිස්සු හැදෙනෝ…

    කැමතියි

  4. දකුනේ හිත.... says:

    අපි ගමෙං ආපු හන්ද කොළඹින් පිලිගන්නෙ නෑ. ගම දාල කොළඹ ආව හන්ද ආපහු ගමන් පිලිගන්නෙත් නෑ.

    අද මම තම පලවෙනියා……කොහොම වුනත් ගම ගැන මතක් වුනා…ඒ කාලේ මතක් වුනා…ඒත් දැන් පරක්කු වැඩියි….ගම අපිව දාල ගොඩාක් දුර ගිහිල්ල….

    කැමතියි

  5. මො​කෑ බොල මේ කොරලා තියෙන්නේ? දැං ඉති’ංඅවුරුදු උත්සවේටවත් එන්නේ කොහොමද කියපිය?

    පොල්බඩ ගැන නම් වැඩක් නෑ කියලා. මාත් අයියා වගේ කොඹලට ගාල් වුනාට ගම කුරුණැගලනේ… එහෙ තාම තියෙනවා බඩු. ඇයි බං පැල මද… අම්මෝ එක පාර සීයක් විතර කන්න පුළුවන්…

    කැමතියි

  6. පූසා says:

    මාත් ආසම කෑමක් හැබැයි දෙතුන් පාරක් විතරයි කාල තියෙන්නේ. ඒත් මීට අවුරුදු ගානකට කලින්. ආයේ නම් ජීවිත කාලෙටම අඩුම ගානේ තව එක පාරක් කන්න ලැබෙයිද කියලත් සැකයි 😦

    කැමතියි

  7. මොනවා කරන්නද අයියා කාලෙත් එක්කම මිනිස්සු පරිසරය වගේ දේවල් වෙනස් වෙනවා. කිව්වත් වගේ මාත් ආසයි පොල් බඩ කන්න. 😦
    ඒවගේ කෑමක් තමයි පැලපී කියලා කියන්නේ.
    අපේ පුංචි අම්මලාගේ ගෙදර පොල් ගිඩියක් පැලවෙන්නම දෙන්නේ නෑ. පොල් ගෙඩිය පලලා පැලපී කනවා. ඒකත් මාර රහයි. 🙂

    කැමතියි

  8. නවම් මාවත ඉන්න පැත්තේ පොල් ඉඩම් වල ගහලා තියෙනව ලු “”මේ පොල් වත්තට දෙවි පිහිටයි…”” … ”කපන්නෙපා කප් රුක අපේ බඩ කන්න” වගේ වදන්….
    හික්ස්…හැබැයි අර ලොවි අච්චාරුව නම් මැක්සා හොදේ……..

    කැමතියි

  9. Observer says:

    පොල් බඩ, පැල්පි, මතක් වෙනකොටත් කටට කෙල උනනව.

    කැමතියි

  10. මම පැල මදනම් කාල තියෙනවා. හැබැයි පොල් බඩනම් කාලා නැහැ. මේක කියෙව්වහම කොහෙන් හරි හොයාගෙන කන්නමයි හිතෙන්නෙ.

    කැමතියි

  11. dinesh says:

    මමනම් පොල් බොඩ,පැල පී,මදි නොකියන්න කාල තියනව.ඒ උනාට මේ වෙලාවෙ ‍තෝ මේ මඟුලක් මතක් කොරල හීනෙනුත් පෙනෙයිද දන්නෙ නෑ.

    කැමතියි

  12. අනේ මන්දා නවම් අයියේ මම ඔය පොල් ගහට වඳින්න උනත් ලෑස්ති මිනිහෙක් .පොල් ගහ කියන්නේ කප්රුක වගේ නේ. ඔය විවාහ යෝජනා එහෙම ගේනකොට කපු මහත්තයා කියනවලු ඒ දැරිවිගෙ වත්තේ පොල්ගහකුත් තියනවා කියලා ! ඉතින් කසාදේ එතනින්ම සෙට් ..

    අපෝ උඹල වගේ බඩජාරි .. කොහොම උනත් මම ඔය කන දේවල් වලට ඒතරම් ලැදි නෑ ..පොල් ගහෙන් ගන්න පුලුවන් ගුනදායක බීම වර්ග ගැන මොහොතක් හිතන්න ..

    පොල් අරක්කු !! ආ ….. ආ…. ආ…

    කැමතියි

  13. arunishapiro says:

    පොල් බඩ රහ මතකයේ නැහැ. පැලපොල් රහක් නම් ඉතුරු වෙලා තියනවා. පැල මද කිව්වෙත් ඒවට වෙන්නැති.

    කැමතියි

  14. http://ahasgawwa-tmg.blogspot.com/ says:

    මාතර කොලඹ පාරෙ මාතර එනකොට මිදිගම හන්දිය පාස් කලාට පස්සේ පැල මද විකුණන තැනක් තියෙනවා . පැල මද බෑග් එකක් රු 20 යි

    දීකිරි පොල් කාල තියෙනවද ?හරි රහයි .වැලිගම පැත්තේ තම්යි මේ පොල් ජාතිය තියෙන්නෙ .එක ගහකට ගෙඩි කීපයයි හැදෙන්නෙ .

    කුරුම්බා හකුරු එක්ක කන්න .මරු රහ

    කැමතියි

  15. රංග says:

    උඹ කිවුවමයි මතක් උනේ මගෙත් කෑදර කෑමක් ඕක. පැලමද නම් මතක් කරන්න එපා. පරන ගෑනි පැලමද වලට හෙන පෙරේතයි.

    කැමතියි

  16. blog gadol says:

    සිරාවට ලියලා තියෙනවා සහෝ! බොරු කියන්න ඕනෙ නෑ, මමනං පොල්බඩ කාල නෑ. හැබැයි පැලපිනං ඕන තරම් කාලා තියෙනවා

    කැමතියි

  17. පින්ග්කිරීම: පැළ පොල් මද නං ආයෙ මොනවද « නවම් මාවත

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: