පැළ පොල් මද නං ආයෙ මොනවද

තිලේ අම්මේ….. උදේ ආච්චිත් එක්ක නාං එනකොට මං දැක්ක පැල පොලයක් තියෙනව පල්ලෙහා. අරං එන්නෙයි.

කොහේද පුතේ..

අර කහලගොඩට පල්ලෙහා ජම්බු යට.

ඉන්න මාත් එන්නං, තනියම යන්න එපා ගොරොක් ගහ මුල කඩ් ගුලක් තිවුන.

ඔහේ ඕන්නෑ. මං ගේන්නං.

එහෙනං පරිස්සමෙං. ලිං බක්කියෙ මාළු අල්ලන්න යනව එහෙම නෙවෙයි හො‍ඳෙයි ?

නාන ලිඳ තියෙන්නෙ වෙල් මට්ටමට හන්ද ලිඳේ වතුර හැමතිස්සෙම උතුරල යනව. වෙලේ ඉන්න මාළු සමහර වෙලාවට ලිඳේ වතුරබහින කානුව දිගේ උඩහට පීනගෙන ඇවිල්ල ලිං බක්කියෙ ගල් අස්සෙ කැරකි කැරකි ඉන්නව. නාන්න ලිඳට ගියාම මං පොල්ක‍ටු වලින් මාලු අල්ලනව ලිඳට දාන්න කියල. ඒත් ආච්චිත් එක්ක ඔය සෙල්ලං කරන්න බෑ.

කෝ ඇහුනද?

හරීඊඊඊ…….

වචනෙ පිට උනා විතරයි මං කහලගොඩයි නන්නං ගහයි අතරෙන් තියෙන ලිඳට යන මැටි පාර දීගේ දුවනව නෙමෙයි ඉගිල්ලෙනව පල්ලෙහාට. ඒ වෙලාවට වෙනද ඔය පාරෙ යද්දි ඇනෙන ගල් ඇනෙන්නෙත් නෑ. ගොරක ගහේ මං එනකං බලං ඉන්න යකා ඇත්තෙත් නෑ.

බ්‍රා……..ස්…..  කියල මං පැල පොලේ ගාව බ්‍රේක් ගහනව. මොන…….. පල්ලමේ දුවං ආපු වේගෙට නවතින්නෙ වෙරළුගහත් පහුකරල.

කී…..ක්     කී….ක්    කී…ක් ගගා ජම්බුගහ ගාවට රිවස් කරනව. එතකොට හරියට හීංකිතර මාමගෙ කාර් එක වගේ.

යාන්තං ගොබේ ආපු පැළ පොලේ අත්දෙකින්ම උස්සල ගත්ත. හීනියට මුල් දෙක තුනකුත් ඇදිල. ඒත් හිතාපු තරං පැළවෙලා නෑ. මේකෙ මදේ තාම පුංචි ඇති. තව ඩිංගක් විතර ගොබේ ඇදිල තිබුනනං නියම ගාන. ඒත් තවත් කල් බලං ඉන්න ඇහැකි කාටෙයි. තව තියෙන්න ඇරියොත් හින්නි මාමලැහ සමීරය හීං සැරේ අරං යයි.

තිලේ අම්මේ මෙන්න ගෙනාවෝ…………. ලෙලි ගහල දෙනවැයි?

තිලේ අම්ම පොල් ඔයන කිතුල් උලේ ගහල පොලේ ඔයනකං මං කුස්සියෙ පඩිය උඩ ඇණ තියං බලං ඉන්නව. ඒයැයි මට පස්ස හරෝගෙන නෙ ඔයන්නෙ. මට බයේ බෑ හයියෙන් උලේ ගහල ගෙඩිය ලෙලි ගහන්න කලිංම බි‍ඳෙයිද කියල. එහෙම උනොත් පැළමදේ චප්ප වෙලා යාවි.

ඔයල ඉවරෙයි….?

මට බලං ඉන්න බෑ. පඩියෙ යන නයි කූඹි වැලෙන් ආපු එකෙක්ද කොහේද මගෙ පස්සත් කනව. ඒ මදිවට තැන්නෙ ගෙදර බල්ලත් ඇවිල්ල බලං ඉන්නව කණ්ඩි ගැට්ට උඩ වාඩිවෙලා.

ඔහේ මොකෝ බලං ඉන්නෙ, පැළමද කන්නෙයි. දුප් යන්න.. මං කුස්සි පඩියට උඩහින් ඊයෙ හවහ වැල ගෙඩියක් කාල එකතුකරල තිබුන කොස් ඇටයක් අරං බල්ලට ගැහුව. යන පාටක් නෑ. ඌටත් පැළ මද කෑල්ලෙක් දෙන්න වෙනව දැන් නං. කිව්වම අහල දුවපිය යන්න. මං තව කොස් ඇටේකින් ගැහුව.

ඔය මක්ක කරනවැයි, කොස් ඇට ටික වීසිකරන්නෙ ?

හපෝ ආච්චිත් ඇවිල්ල. දැං දීපල්ලකො එයැයිටත් බාගයක්. තනියෙම පොල් ඔයාගන්න ඇහැක් කාලයක් උනාමනං පල්ලෙහා තියං කාල එනව මිසක් ගේන්නෙ නෑ ගේ හරියකට.

පුතේ…. මහ පිහිය ගේන්න.

ඇති යාන්තං ඔයල ඉවරයි වගේ. මං දූවල යනව කුස්සියට. දවල්ට උයල අහවර උනාම ජනෙල් සේරම වහන හන්ද කුස්සියම කරුවලයි. ඇරල තිබුනොත් ඉතිං හොර පූසි උස්සං දුවනව උම්බකලඩ කෑල්ලක් හරි කරෝල කූරියෙක් හරි.

ඩිංග වෙලාවක් යනකොට කරුවලට ඇහැ හුරු උනාම පේනව මහපිහිය බෝතල් රාක්කෙ යටම කෑල්ලෙ තියෙනව. මගෙ අම්මේ ඒකෙ බර.

ආ..

හෙමිං ගහන්න හොඳේ..  අර තඩි පිහියෙන් ගැහුවම පැළ මදේ කුඩුවෙලා යාවි. එහෙම තැලිච්ච ඒව කාල වැඩක් තියෙනවයි.

තිලේ අම්ම මං දිහා බලල මහම මහ පැළමද පෙරේතයෙක් කියන්න වහේ හිනාවක් දාල සීරුවට එකපාරෙන් දාං…. ගාල බින්ද පොලේ.

මගෙ අම්මේ… මේ තියෙන්නෙ කිරිම කිරි පාටට ගෑණු බෑය පැත්තෙ පැළමදේ. ආසාවෙ බෑ… පුංචියි කියල හිතං උන්නට පුංචිම නෑ.

ඊට පස්සෙ හීනි උලක් තියෙන පිහියක් අරං ගෑණු පොල්කට්ටෙ හිලෙන් එළියට මතුවෙලා තියෙන පැළමදේ මුල් කපල ඒ පිහි තුඩෙන්ම ඉතුරු කෑල්ල ඇතුලට තල්ලු කරනව. එහෙම නැතුව පැළමදේ ගෙඩිය පිටින්ම පොල් බෑයෙන් හලවගන්න බෑ නෙව.

අර ලොවි සම්බල්, ජූල් සම්බල්, පොල් බඩ වගේ මේකනං බෙදාගෙන කන්න හිතෙන්නෙන නෑ. ඒත් ඉතිං මොන හිතකින්ද පුංචි අම්මලට නොදී කන්නෙ. මොකෝ එයාල මට නොදී මක්කාවත් කාල තියෙයි.

මට හම්බුවෙන පැළමද බාගෙ කන්න මං දුවං යනව ඉස්සරහ රඹුටං ගහේ බැඳපු ඔන්චිල්ලාවට. ඒකෙ දාපු ගෝනි පඩංගු බොක්කෙ වාඩිවෙලා නීවිහැනහිල්ලෙ කන්න තමයි මං ආස. පුළුං වගේ, කටට දැනෙන්නෙ නෑ හැපෙනව. අර ගොබේ ආපු පැත්තෙ තියෙන කොහු ගතිය තියෙන කෑල්ලනං මට විනාඩි දහයක් විතර වික වික ඉන්න ඇහැකි. හරිම කිරි රහයි.

ආච්චිලගෙ ගෙදරදි ඔහොම ඉඳල හිටල පැල පොලයක් හම්බ උණාට, කොප්පරා වේලන, හේනෙගෙදර ඇඩ්ඩිං මාමලයි අහ පොල් ඔයන දවසක ගියානං ඇති තරං පැළමද. එහේ එක එක සයිස් එකෙන් තියෙනව. ටීක් බෝල සයිස් එකේ ඉඳල ලොවි ගෙඩි, ඩොංග ගෙඩි, මැංගුස් ගෙඩි, ජූල් ගෙඩි තරං වෙනකන් තියෙනව. හැබැයි රහම ටීක් බෝල සයිස් එකේ ඉඳල මැංගුස් තරං ඒව තමයි. ලොකු වෙන්න ලොකු වෙන්න රහ අඩුයි. පුළුං ගතිය වැඩී, දිය රහයි.

පොල් ඔයන තැනින්ම වාඩි වෙලා ඇඩ්ඩිං මාම සුද්දකර කර බේසමට දාන ඒවයෙන් රහම ඒව ‍තෝරං බුරිය උල්වෙනකං කාල තාව ඔතල දෙනතරමක් අරං එනව මං.

එදා ඉඳං අද වෙනකං මං තවමත් පෙරේතයි පැළමද වලට. ඒත් මේ කොළඹ හිතුන හිතුන වෙලාවට කන්න පැළමද හොයාගන්න නෑ. දවසක් ඇතුල්කෝට්ටෙ පල්ලිය ඉස්සරහ මනුස්සයෙක් ෂොපින් බෑග් වල දාල පැළමද විකුනනව දැකල බයිසිකලේ නවත්තල ගිහින් බැළුව. ජූල් ගෙඩි විතර විසාල දිය පැළමද පහක් දාපු බෑග් එකක් රුපියල් සීයයි කිව්ව. ඒත් කමක් නෑ කියල මං ඇහුව පොඩි පැළමද නැද්ද කියල.

පොඩිව රහ නෑ මහත්තයො. ඒක හන්ද ලොකුව විතරයි මං විකුනන්නෙ කිව්ව.

අනේ මං බෙසම් ගනං පුංචි කාලෙ කාපු පැළමද…………..

Advertisements

37 Responses to පැළ පොල් මද නං ආයෙ මොනවද

  1. මචන් මතකද මන්දා ඉස්සෙල්ලා ඉදුරුව හරියේ මිනිස්සු පැලපී එකතු කරන් විකුණන්න හිටියා.ඒ පැත්තේ යනවානම් තාත්තා හැමදාම අරන් දෙනවා.
    තාමත් මම ඒ පැත්තේ යනකොට හැමදාම ඒ හරියේ හිමින් යන්නේ.දැන්නම් අවුරුදු 4-5 කින් දැක්කේ නැ.

    කැමතියි

  2. මම ඔයාගේ කලින් බ්ලොග් එකකත් කිව්වා. මමත් ආසයි පැලපී කන්න. මාරම රහක් තියෙන්නේ. ඔය නුවර පාරේ බැලුම් මහර හරියෙත් සමහරක් දාට පැලපී විකුනන්න තියෙනවා. ඒත් බස් එකේ යද්දි ගන්න බැහැනේ. අම්මා පොලේ ගියොත් ගේනවා. ඒ ඇරෙන්න නම් පැලපී කන්න ලැබෙන්නේ නෑ. 🙂

    කැමතියි

  3. අයියෝ… මටත් පැල මද කන්න ඕනා දැන්. ලියලා මදිවට ෆොටෝසුත් දාලා අපේ කට අවුස්සනවනේ. :d

    කැමතියි

  4. නොදකින්……පොල් පැලයක් වත් බේර ගන්න බැනවම් කාරයත් එක්ක…ඉකේයියා….
    හැබැයි අර කිව්වත් වගේ මදේ ලොකු එව්ව රහ නෑ තමා…

    කැමතියි

  5. Anushka says:

    උඹේ ඊයෙ ලිපිය කියවනකොටම මට මතක් උනේ පැල මද. මම පොල් බඩ නං කාල නෑ. එකම එක පාරක් පොඩි කෑල්ලක් කෑවා වගේ මතකයක් තිබ්බ. හැබැයි මචෝ පැල මද නං ඉතින් අම්බානට. ඉස්සර මම බියගම හිටියා. එහෙ ලොකු පොල් ගොඩක් තිබ්බා. අපේ වත්තෙ වැඩ කරපු මනුස්සයෙක් හිටියා. මිනිහා හිටි ගමන් ඕකෙන් පැල පොල් ගෙඩියක් ලෙලි ගහල දෙනවා. අන්න මිනිස්සු. පොඩි පැල මද තමයි කිරි රස. ලොකුව මහ දිය රහයි.

    කැමතියි

  6. හපොයි දැන් ඉතින් මේ බෝඩිං ගෙවල් වල පැල මද හොයන්න කියලද? අයියෝ මේක කියවල වෙච්ච අපරාධයක්. හිටුකො අපිත් ලියන්න හොයාගන්න අමාරු කෑමක් ගැන. එතකොට වත් තේරෙයි අපි විඳින දුක. එතකල් ඉතින් මෙහෙම වත් කියල හිත හදා ගන්නවා. පැළ මද රස නෑ…………. තිත්තයි………….

    කැමතියි

  7. Kasun says:

    පට්ට කෑම නේද මචෝ………ම්…..ම්……

    කැමතියි

  8. බයිට් එකට කන්න පුලුවන්ද ? නවම් අයියා මේ අහක හිටපු මාවත් ඇවිස්සුවා . මෙච්චරකල් පොල් කෑල්ලක්වත් කන්න මට ආසාවක් තිබ්බේ නෑ .. මේ දැං ඉඳලා පැල මද කන්න කොහේදෝ නැති ආසාවක් ඇවිල්ලා …

    ඇයි අයියේ පැල තවානකට පැනපං ..ෂේප් එකේ පොල් පැල ටිකක් උස්සගත්තනම් .ගෙදර ගෙනල්ලා කන්න පුලුවනි නේද ? පොල් පැලයක් එච්චර ගනං නෑ නේ ..

    හැබැයි ඕං අපේ පැත්තේ ආවොත් නම් දෙන්නම් ඔය පැල මද ඕන තරම් .. අපේ ඇල දිගටම කැලේ අස්සේ පොල් ගෙඩි වැටිලා පැල වෙලා යනවා .. අලි ඉන්න නිසා මිනිස්සු ඒ පැත්තේ යන්නේ නෑ ..අලියට බය නැත්නම් නවම් අයියා ..ගිහිං ඕන තවමක් ඔවුවා කාලා එන්න ..

    ජය වේවා !!

    කැමතියි

  9. රොයිලි ප්‍රනාන්දු says:

    ලංකාවෙ ඉඳගෙනත් සමහරු පැලපි කන්න නැතුව අඬනවා. එතකොට අපි මෙහෙ අපි????????

    කැමතියි

  10. හුම්ම් දෑන් ඔකොම පෑත්තක දාලා හොයපන්කෝ පෑල පී … වත්තේ ඈවිදලා බලන්න ඔනේ..

    කැමතියි

  11. arunishapiro says:

    කතාව විශිෂ්ඨ රසයෙන් යුතුයි. අද ලියලා තියෙන විදියට නම් පැලපොල් හතක් දෙන්න වටිනවා. ‍ගමේ ගිහින් ආවා වගේ දැනුන කියවලා ඉවරවෙද්දී!!

    කැමතියි

  12. රංග says:

    ඉස්සර මම කන්නම ආස කෑමක්. ඒත් දැන් නම් දැක්කත් අහක බලාගෙන යනව. සමහර ආසාවල් ජීවිතේ අත්දැකීම් එක්ක වෙනස් වෙනවනේ

    කැමතියි

  13. උඹ දැන් කිව්වනම් පැල පොල් ගැන මට එවපිය 10 ක් විතර හොයලා. ආයේ උඹඨ කතා කරන්නෙ නම් නැෑ… ගිය පාර ඇනගත්තනේ…

    කැමතියි

  14. he he he.. පොල් මද වලට ගහන්න කෑමක් නෑ බන්

    කැමතියි

  15. පින්ග්කිරීම: තුන් යහළු වික්‍රමය ! « නවම් මාවත

  16. පින්ග්කිරීම: පැල මද කා දොදොලුත් හදා ඒ මදිවට හාවොත් ඇල්ලූ වගයි ! « නවම් මාවත

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: