මට ඔබ සමඟ වෛරෙයක් නැත. ඇත්තේ කාලකණ්නි අප්‍රසන්න භාවයකි !

මා, පසුගිය දිනෙක අසතුටට පත් වූ අප සහෝදර බ්ලොග් කරුවෙකු ඔහුගේ බ්ලොගයේ තැබූ සටහනක් දුටිමි, ඊටත් පෙර ඊටත් වඩා අසතුටට පත් බ්ලොග් ලියනා සහෝදරයන් කිහිප දෙකෙකු තම තමන්ගේ බ්ලොග් අවකාශයන්හි තැබූ සටහන් හා ඒවාට යටින් සටහන් වූ පාඨක අදහස් නිරීක්ෂනය කලෙමි. සමහරක් සටහන් මා වින්දනයට පත් කරන්නට සමත් විය. එහෙත් ඒම සටහන් හවස් ජාමයේ ගුණේ ගේ තිප්පොලෙන් ගමේ බඩු කටගාගත්තෙකු තම එදිරිවාදීන්ට අම්ම මෝ නැතිව බණිනු අසා ඇතිවන ගුජුප්සාජනක පහත් ප්‍රීතියකට වඩා යමක් මා තුල ඇතිකරන්නට අසමත් වූ හෙයිනුත් එම සටහන් මා හට අදාල නොවූ බැවිනුත් ප්‍රතිචාරයක් තැබීමට උත්සුක නොවීමි. දැනුදු එම කාරණාව මා හට එතරම් වද දෙන්නක් හෝ වැදගත් දෙයක් නොවේ.

එයටත් වඩා මා මේ බ්ලොග් කරණයට පිවිසුනේ තවෙකෙකුගේ වැරදි පෙන්වා නැති ලොකුකමක් මවා ගැනීමට හෝ තවත් සහෝදරයෙකුගේ හෝ සහෝදරියකුගේ සිත් රිදවීමකට නොවේ. තවත් පුද්ගලයෙකුගේ හරි වැරදි සෙවීමට, ඒවා මොරගා කිවීමට තරම්, විශම සමාජයක එක් අංශුවක් තරම් වූ මගේ බුද්ධිය මෝරා නැතැයිද ඒසඳහා මා හට කිසිම අයිතියක් නැතැයි යන්න මම විස්වාස කරමි. එහෙයින්ම මෙය මගේ ජීවිතයේ සොඳුරු, මතකයේ තබා හැනීමට අවශ්‍ය සිදුවීම් සටහන් වෙන තැනක් පමණකි.

එනමුදු එක් දිනෙක මට එතරම් වැදගත් නොවූ සටහනක වැරදීමකින් ප්‍රති සටහනක් තැබුවෙමි. ඇතැම් විටෙක එම ලිපියේ තිබූ ආවේගය මා පොලඹවන්නට ඇත. ඉන් කලකට පසු අද, මගේ නෑදෑ සනුහරයම ආමන්ත්‍රනය කරමින් එයට ප්‍රතිචාරයක් ලැබුනි. උදේ වරුවේම මෙයට කිනම් ප්‍රතිචාරයක් සටහන් කරනු දැයි කල්පනා කලෙමි. එනමුදු එවන් වෛරී සටහනකට තබනා ප්‍රති සටහනකින් හිත් නරක්වීමක් හැර අන් යමක් සිදුනොවෙනාහෙයින් ඔහු හට සෘජු පිළිතුරක් නොතබා නවම් මාවතෙහි සටහනක් තැබීමට තීරණය කලෙමි. මා අනුන්ගේ ගෙවල් වලට පැන ගුටි කෙළගන්නට අකමැත්තෙමි.

සමන් [මෙය හුදෙක් අනුවර්ත නාමයකි], මට ඔබ සමඟ හෝ දසුන් [මෙය ඔහුගේ බ්ලොග් සටහනේ පහර එල්ල කල සින්ඩි පරිපාලකගේ නම වෙනුවට මා යොදාගත් අනුවර්ථ නාමයයි] සමඟ පුද්ගලික හිතමිතුරු කමක් හෝ පසමිතුරු කමක් නොමැත. දැක නොමැත. මා ඔහු විසින් පවත්වාගෙන යන ඔහුගේ පුද්ගලික බ්ලොග් අඩවියේ සටහනක් තැබීම තබා පාඨකයෙකු හෝ වී නොමැත. එමෙන්ම ඔහු මගේ අඩවියේ ලිපි කියවනවායැයි කිසිම සාක්ෂියක් මා හට නොමැත. කොටින්ම මාගේ ලිපි ඔහුගේ සින්ඩියේ පලවෙනවාට අමතරව ඔහු හා මා අතර කිසියම්ම හෝ ඇයි හොඳයියක් නොමැත. එහෙයින් වැරදීමකින් හෝ ඔබ, මා මෙය සටහන් කරන්නේ ඔහු වෙනුවෙන් යැයි සැක කරන්නේනම් එය පුස්සකි.

යම් සංගමයක හෝ සමාජයක නයුවන් ගේ පුද්ගලික මතවාද අන් අයට බලපෑමක් නොකරනු ඇතැයි හෝ ඔවුන් නිවැරදි යැයි සිතනා කරුණු පාදකකොට ගන්නා ක්‍රියා මාර්ගයන්හි සෘජු හෝ වක්‍ර බලපැමක් සාමාජිකයන් වෙත නොවේ යැයි පැවසීමට තරම් මා අඳබාලයෙකු නොවන්නාසේම ඔබද නොවෙතැයි සිතමි. සින්ඩිය දසුන් [බ්ලොග් පරිපාලක අනුවර්ථ නාමය]  ඇතුළු සුළු පිරිසකගේ මූලිකත්වයෙන් හා ඒ හා සබැඳි බ්ලොග් කරුවන් රාශියකගේ එකතුවෙන් පවත්වාගෙන යන්නාවූ ක්‍රියාවලියකි. ඔවුන් එය පවත්වාගෙන යන්නේ මාගේ හෝ ඔබගේ ඉල්ලීමට නොවේ. එය ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ අභිමතාර්ථයන් මුල් කරගෙනය. ඒවා කුමක්දැයි සෙවීමට තරම් නාස්ති කිරීමට එදා වේල උදෙසා පොරබදන මා ඇතුළු බොහෝ දෙනක් උත්සාහ නොකරනු ඇත. ඒ ඊට වඩා ප්‍රමුඛතාවයන් දිය යුතු අනන්තවත් කරුණු කාරනා ඔවුනට ඇති හෙයිනි.

යම් දිනෙක ඔවුන්ගේ පරමාර්ථයන් හා මාගේ සිතුවිළි නොපෑහේනම් ඔබ මෙන් ඔවුන්ගේ සින්ඩියේ එල්ලී සිටිමින් ඔවුනට දෙස් දෙවොල් කණිපින්දං නොතියා ඔවුන්ගෙන් සමුගනිමි. ඇතැම් විටෙක ඔබට එසේ කිරීමට තරම් ආත්ම ශක්තියක් නොමැති වීමට පුළුවන. එසේනම් ඔබට ඔවුන්ගේ අනුකම්පාව හිමිවිය යුතුය යන්න මාගේ පුද්ගලික හැඟීමයි.

දසුන් [බ්ලොග් පරිපාලක අනුවර්ථ නාමය] ගේ හා ඔහුගේ ඇඩ්මින් නඩයේ ඔබ පවසනා ඊනියා ඒකාධිපතීත්වය කෙරෙහි උරණ වූ ඔබ රට වටේ සිටිනා සියළුම බ්ලොග් කරුවන් ඔහු දේවත්වයෙන් ලා සලකන බවට මොර දෙයි. අනේ නැත ! දසුන් [බ්ලොග් පරිපාලක අනුවර්ථ නාමය] යනු මගේ බ්ලොගය සයිබර් අවකාශය තුල පතුරන තවත් එක් සින්ඩියක නයුවෙකු පමණකි. එයට මම අනිකුත් සින්ඩි පරිපාලකයන්ට මෙන්ම ඔහුටද ස්තූතිවන්ත වෙමි. එසේම බොහෝ බ්ලොග් කරුවන් හදවතින් පිළිගන්නා එනමුත් එළිපිට පිළිනොගන්නා සත්‍යක් වන සින්ඩියක් නොමැතිව විසල් පාඨක අවධානයක් සුහුඹුල් බ්ලොගයකට ලබා ගැනීම අපහසු කර්තව්‍යකි යන්නද පිළිගමි. එපමණකි ඉන් එහාට ඔබ සිතා සිටින පරිදි පිදේණි තට්‍ටු නොපුදන්නෙමි. ඔබ මුල සිටම ඔබගේ මුල හරියෙන් වමට දඟර ගැසී අගින් දකුණට දඟර ගැහුන කශේරුකාවේ දිගුව පාගාගෙන ඒ වේදනාවෙන් බෙරිහන් දෙයි. එහෙයින් ඉන් බව මුදවාලිය හැක්කේ ඔබටම මිස මෙය ලියන මට හෝ වෙනයම් කෙනෙකුට නොවේ. කරුණාකර ඔබේ දකුණු පය ඔසවන්න, ඉන් ඔබට සහනයක් දැනෙනු ඇත.

මෙම ලිපිය අගට ඔබට සටහන් කිරීමට ප්‍රතිචාරයක් ඇතැයි සිතමි. එනමුදු මා මෙහි ඔබේ අනන්‍යතාවය සඳහන් කර නොමැති බැවින් ඔබද එය සඳහන් කිරීමට පෙර දෙවරක් සිතනු ඇතැයි මා උදක්ම බලාපොරොත්තු වෙමි. මන්ද යත් ඔබගේ පෙර ප්‍රතිචාරය හේතුවෙන් මා ඔබ කෙරෙහි ඇතිකරත් අප්‍රසාදය, කළකිරීම ඔබගේ පාඨක සමූහයා ඔබ කෙරෙහි ඇතිකරගන්නවාට බ්ලොග් කරුවෙකු ලෙස මා අකමැති හෙයිනි.

පසු සටහන :

මෙම මාතෘකාව යටතේ මා සටහනක් තැබුවේ එකම එක බ්ලොගක පමණකි [අනුවර්ත නාමයකින් සමන් යැයි හැඳින්වූ /ජනප්‍රිය ගනයේ ලා නොසැලකෙන / අතේ සහ කකුලේ ඇඟිලි වලින් පෝස්ට් ගිනියහැකි.] එහෙයින් යමෙකු මෙහි නැවතත් මාගේ පරම්පරාවම ඇමතීමට පෙර මා මෙය සටහන් කර ඇත්තේ ඔවුන් ගැනමදැයි විමසිල්ලෙන් බලනු ඇතැයි සිතමි.

Advertisements

46 Responses to මට ඔබ සමඟ වෛරෙයක් නැත. ඇත්තේ කාලකණ්නි අප්‍රසන්න භාවයකි !

  1. Alchemiya says:

    මම වැඩිය බ්ලොග් කියවන්නේ නං නෑ…
    මට තේරෙන්නේ නෑ ඔය කුණුහරුපේ…. හරියට කෙළින් කිවුවනං ඉවරයි නේ..
    මොකද අපහාස නඩු දාන්නයෑ…

    කැමතියි

    • නවම් says:

      මේ කලෙකට ඉහත සිංහල බ්ලොග් අවකාශයේ එක් සින්ඩි පරිපාලකයෙකුගේ ක්‍රියාකලාපය ගැන බ්ලොග් ලියන්නෙකුගේ ලිපියකට මා දැමු ප්‍රතිචාරයකට මට ඊයේ හවස ලැබුන ප්‍රතිචාරයකට තබන සටහනකි.

      මම සිද්ධිය කෙලින් ම නොකියා වක්‍රාකාරයෙන් කිව්වෙ ඒ බ්ලොග් කරුවා කෙරෙහි කිසිවෙකු කළකිරවීමට මට උවමනා නැති නිසා ඇල්කෙමියො.

      සමහර විට මේ ලිපියට වැටෙන කමෙන්ට් වලින් සිද්ධිය එලිවෙන්නත් බැරි නෑ. මොකද මම කමෙන්ට් වාරණයක් කරල නැති නිසා තවම.

      කැමතියි

  2. අනේ මන්දා නවම් අයියේ මේවාට මොනවා කියලා කරන්නද ? ඒකට සින්ඩි පරිපාලකයෝ ගැන ලියන්න හොදයි. ඒ උනාට ඉවසන්නෙ නැත්තේ කමෙන් දාන එක.

    කැමතියි

  3. Taboo Subjects says:

    බ්ලොග් යනු පත්තර නම් සින්ඩි යනු පත්තර කඩය. සින්ඩි වලින් බ්ලොග් ප්‍රචාරණයට යම් පිටිවහලක් ලැබේ. නමුත් එය අවශ්‍යම නොවේ. කියවන්ට දෙයක් ඇතිනම් පාඨක පිරිස රඳවා ගැනීම ගැටළුවක් නොවේ. Taboo Subjects සම්බන්ධව ඇත්තේ සින්ඩි දෙකකට පමණෙකි (ලාංකීය සිතිවිලි හා කොත්තු). නමුත් හිට්ස් ගණන පසුගිය මාස දොළහ තුළ පමණක් 350,000කි.

    බ්ලොග් වලට අපි නැතුව බෑය සින්ඩියන් දමන පුහු ප්‍රචාරය නම් තනිකරම බොරුවකි.

    තව උදාහරණයක් කියන්නේ නම් බ්ලොග් යනු බල්ලා වන අතර සින්ඩි යනු වලිගයයි. බල්ලා වලිගය වනනවා මිසෙක වලිගයට බල්ලා වනන්ට ඉඩ දිය යුතු නොවේ.

    කෙනෙකුට යම් සින්ඩියක් සමඟ ප්‍රශ්න තිබේ නම් මුලින්ම කළ යුත්තේ ඉන් ඉවත්වීමය කියන එක ගැන නම් ඔබ හා 100% එකඟයි.

    – Taboo

    කැමතියි

    • Chinthana says:

      Taboo Subjects – maxxxxxxxa මචෝ චවන ටිකනම්.ඔය ටික තමා මෙච්චර කාලයක් බොහෝ දෙනෙක්ට තෙරුම් ගන්න බැරිවුන දේ.නියමයි… නියමයි….

      කැමතියි

    • නවම් says:

      ටැබූ මෙතන නඟන තර්කය නිවැරදි වෙන්නෙ යම් තරමක ප්‍රචලිත බ්ලොග් අඩවි වලට පමණයි. මම අළුතෙන් වෙනම බ්ලොග් එකක් පටන්ගෙන කොච්චර පෝස්ට් දැම්මත් සමහර විට පාඨකයන් අතරට නොයන්න තියෙන ඉඩකඩ වැඩියි. නමුත් අහඹු අවස්ථාවක ඇහැගැටෙන්න ඉඩක් නැතුවාම නෙවෙයි. හරියට සින්ඩි ගැන දැනගන්න කලින් මට අහම්බෙන් ටැබූ සබ්ජෙක්ට් මුනගැහෙනව වගේ. අදටත් මම ටැබූ කියවන්නෙ මගේ බුක් මාර්ක් එකක හරහා මිසක් සින්ඩියකින් නෙමෙයි.

      එමෙන්ම පත්තර කඩයක් හරහා මිසක් පත්තර අච්චු කන්තෝරුවෙන් පත්තර මිළදීගැනීමේ සම්ප්‍රදායක් නැත. තවද බ්ලොගයක අරමුණ වැඩි පාඨක පිරිසක් ග්‍රහනය කරගැනීම නොවේ නම් ද සින්ඩියක අවශ්‍යතාවයක් පැන නොනඟිනු ඇත.

      අතලොස්සක පිරිසක් හැරුනම මා ඇතුළු බොහෝ දෙනක් බ්ලොග් ලියන්න ඕපා දූප, වල් පල්, ඉස්සර කරපු ගොංකං සහ බූරුකං. ඒවයෙ ඉඳහිටක පලවෙන වැදගත් ලිපියක් නිසා දිගටම පාඨකයන් ඒවා ලුහුබඳින්නෙ නෑ මගේ මතකයෙ හැටියට.

      නමුත් යම් පාඨක පිරිසක් ඇතිකරගත් පසු ටැබූ නඟන තර්කයට මාත් එකඟයි.

      කැමතියි

    • Shan says:

      yes, true we don’t want to be contoled by syndicators. Blogging is a free thing for everyone to do

      කැමතියි

  4. Chinthana says:

    ඇත්ත නවම් ඔයයි කතාව.ඒ වගේමයි Taboo Subjects කියපුදේත්.තමන් හරියට දෙයක් කරණවනම් ඒක කොහොමත් හරියනවා.ඒ වගේමයි තවත් එකක් මචෝ [ ඔයා අදහස් කරපු සින්ඩය නම් මටමත් අදහස් කරන්නේ ] එයට අපේ බ්ලොග් add කරන විටත් නීති රීති වලත් යම් තරමක ඔය කතාව තියෙනවා ඒත නිසා ඒක කලින් කියවන්න ඕනා.අනික තමා ඒ බ්ලොග්කරු කරන දෙයින් ඔහුට සෙතක් වෙන්නේ නැහැ.තවත් ඒ සින්ඩිය ජනප්‍රිය වෙනවා විතරනේ.අනික තමා ඒ බ්ලොග්කරුගේ ලිපි වලින් අදහස් වෙන්නේ ඔහුට ඒම සින්ඩිය නැතුව බැහැ වගේ කියල අදහස් කරන්නත් පුළුවන් නේද.හැමෝම එක වගේ නැහැනේ මචෝ ඕකයි මෙතන වෙලා තියෙන්නේ එකිනෙකාගේ අරමුණු වෙනස් ඒ අය හිතන දේ නොලැබුනාම ඒ අයව පාළනය කරගන්න ඒ අයටත් බැහැ ඒකයි.[ මම කිවුවෙ සින්ඩ් හිමිකරු සහ බ්ලොග්කරු යන දෙදෙනාම ගැනයි ]

    කැමතියි

  5. abeetha says:

    මගේ අදහස.. මම මීට කලිනුත් කියලා තියෙනවා නවම්… මගේ බ්ලොග් ලිවීමේ පලවෙනි අරමුන මේ තියෙන මානසික පීඩනයෙන් මිදීම… දෙවැන්න කාට හෝ දැනුමක් හෝ විනොදයක් දීම, තුන්වෙනි එක ඉතින් ආතල් එකට මඩක් ගහලා ෆන් එකක් ගැනීම… කියවන ප්‍රමානය ගැන අදාලතාවයක් ඇත්තෙම නෑ…. එකෙක් කියෙව්වත් සීයක් කියෙව්වත් එකයි…. දාහක් කියෙව්වත් එකයි…. ඉතින් සින්ඩි කුමටද බන් අපිට…. එක පේලියකින් කිව්වොත් මෙහෙමයි….

    අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ….

    කැමතියි

  6. Malith says:

    මම හිතන්නෙ සින්ඩියෙන් හොද ප්‍රචාරයක් බ්ලොග් වලට ලැබෙනව කියල නමුත් එයම පමනක් නොවෙයි හොද ප්‍රචාරයක් ලබාගන්න තිබෙන එකම මග, මම දැකල තියෙනව සමහර බ්ලොග් කරුවන් බ්ලොග්කරනය පටන්ගෙන තිබෙන්නෙ තවත් කෙනෙකුගෙ බ්ලොග් එකක් දැකල.
    අනෙකුත් බ්ලොග් වල සටහන් වලට ප්‍රතිචාර දැක්වීමෙන්ම පමනක් තමන්ගේ අනන්‍යතවය ගොඩ නගගත්තු පිරිසකුත් ඉන්නව ඔවුන්ගේ බ්ලොග් සටහන් නොදැක්කත් ඔවුන් පිලිබද ප්‍රසිධියක් තිබෙනව , එම නිසා එම ප්‍රසිද්ධියම තමන්ගේ බ්ලොග් අඩවියේ ප්‍රචාරයට යොදාගන්න පුලුවන්.

    එකදේයක් තියෙනව මොන විදියෙකින් හරි බ්ලොග් එකට කියවන්න එන්නෙ නැත්නම් බ්ලොග් ලියන එකෙන් වැඩක් නැහැ 😀

    කැමතියි

    • නවම් says:

      ඔව් මමත් කියන්නෙ නෑ ප්‍රචාරයක් ලබාගන්න තියෙන එකම මාර්ගය සින්ඩි කියල. ඒත් සින්ඩියක් කියන්නෙ බ්ලොග් ගොඩක් එකම තැනකට එකතු කරන යාන්ත්‍රනයක් නිසා අළුත් පාඨකයන්ට, රචකයන්ට රුකුලක් තනි තනි බ්ලොග් ලුහුබඳිනවට වඩා. මගේ බ්ලොග් එකට පාඨකයන් බහුතරයක් ඇදුනෙ සින්ඩි නිසා. අද මම පාඨකයන් විස්සක් තිහක් විතර ඉන්න බ්ලොග් රචකයෙක්. ඒත් එහෙමයි කියල සින්ඩියකින් මම ගත්තු උදව්ව අමතක කරන්න සූදානම් නෑ.

      කැමතියි

  7. මොකද්ද බං අයියේ වෙලා තියෙන්නේ? කිසි දෙයක් තේරුනේ නෑ බං… අද වැලන්ටයින් නිසා, පරන සීන් මතක් වෙලා උඹේ ඔළුව විකාර වෙලාද? 😀

    කැමතියි

  8. නවම් , යාළු ..ඔයා කලකිරිලයි ඉන්නේ…. මාත් ඔහොම හිටිය… ඒ වගේ වෙලාවක , මේ බ්ලොග් අවකාශයේම ඉන්න වටිනා චරිතයක් මට කිව දෙයක් ඒ විදිහටම මම කියන්නම්.

    Don’t worry even if the whole world blames you
    DO WHAT YOU THINK RIGHT

    ඒ වචන මගේ හිත හැදුවා….

    මගේ ලිවිල්ල නම් අඩු වේවි. ඒත් කියවන එක නම් අඩුවක් වෙන එකක් නැහැ… නවම් නැවුම් වෙන්න….

    කැමතියි

  9. ගහන තැනට කෙලින්ම ගහපන් අයියේ…ඌට රිදෙන්නේ එතකොට…
    ලියන එක අඩු කොරොත් බලා ගමු…කපනවා ඩෝ කෑලි කෑලි වලා…අර බ්ලොග් කාරයට කිව්වේ

    කැමතියි

  10. chathu says:

    ගණන් ගන්න එපා නවම් සහෝ… අපිට ඕවට මරාගන්න යනවට වඩා කරන්න වැඩ තියෙනවා. බ්ලොග් එක දාන්න සින්ඩියක් නැතිම වුනොත් අපි සෙට් වෙලා සින්ඩියක් හදමු. ඕවට සැලෙන්න එපා… අපි එකතු වුනොත් කරන්න බැරි දෙයක් නෑ සහෝ…

    කැමතියි

  11. wicky says:

    ඔය කියන්නෙ අර xxxගෙ බ්ලොග් එක වෙන්න ඕනා……..

    [සමාවෙන්න විකී, මෙම ප්‍රතිචාරයෙහි සහෝදර බ්ලොගයක නමක කොටසක් ඇතුලත් වී තිබුන හෙයින් සංස්කරනය කරන්න සිදුවිය]

    කැමතියි

  12. තමන්ගේ පස්ස විතරක් හෝදගන්නේ නැතුව අනුන්ගේ ඒවත් හෝදන්න ගියහම තමයි අනවශ්‍ය ප්‍රශ්ණ ඇතිවෙන්නේ. තම තමන්ගේ ආතල් එක අරගෙන කන බොන දෙය්ක බෙදාගෙන කෑ. ටැබූ ගේ ප්‍රතිචාරයට නවම් සහෝගේ ප්‍රතිචාරයට එකඟ වෙනවා.

    කැමතියි

  13. arunishapiro says:

    අභීත එක්කයි මාත් …
    //අපේ ගමන අපි යනවා අපේ පාඩුවේ….//

    කැමතියි

    • Alchemiya says:

      අභීත අරුණි,

      මටත් කියන්න තියෙන්නේ ඒකමයි…

      මෑතකදී මම දිවයින පත්තරේට ලෝකයේ කාලගුණ විපර්යාස ගැන ලිපියක් යැව්වා…. ඒක පළ වෙලා තිබුණෙ නැහැ, කතෘතුමා ඒ ගැන කිසිම දෙයක් සඳහන් කරලා මට විද්‍යුත් තැපෑලක් එවලත් නෑ… මේ නිසා මම ඉන්නේ හරිම හිතේ අමාරුවෙන්… ඒ නිසා මම දිවයින පත්තර කන්තෝරුව කුඩු කරන්නයි යන්නේ….

      මේ වගේ වැඩක්නේ සිද්ධ වෙලා ගියෙන්නේ… මට නම් ඒ සිද්ධිය හරිම පිළිකුල්… මමත් ඔය ගැන ලියන්න හිතුවා.. නමුත් “ජුජුබ්සාජනක ගතිය” වැඩි නිසාම ඒ ගැන ලියන එක අතෑරලා දැම්මා….

      මල විකාර… තමන්ගේ බ්ලොගය දැම්මෙ නැත්තං පාඩුද ? මොකෝ හම්බකරන් කන්නේ ඕකෙන් යෑ….

      ලොල් කියන්නේ ලොලේම ලොල්….

      කැමතියි

  14. වලියක් නම් කැලනියෙන් සෙට් එකක් බස්සමු මර්වින් සිල්වාට කියලා.හැබැයි ඇවිල්ලා ගස් බැන්දොත් තමයි කේස් එක.

    කැමතියි

  15. හරියටම හරි සහෝ, ඕක අපේ ජාතියෙ වැ‍රැද්ද, කිසිම තමන්ගෙ කමක් නෑ, හැඟීමක් නෑ, සමහර විට ඕව දැනෙන විට අපි ප්‍රමාද වැඩි වෙන්න පුලුවන් මේ සිංහල බ්ලොග් ලෝකයේ. මගෙත් මේ සම්බන්දව ලිපියක් පලකලා. ජය

    http://www.sanhindapamula.info/2011/02/blog-post_12.html

    කැමතියි

  16. මාරයාගේ හෝරාව... says:

    අනේ බං ඔය කියන සිංඩියෙන් මාව මගේ මුල් කාලෙදිම කැපුවා…
    පොඩි වරදවා වටහා ගැනීමක් වෙලා..
    හැබැයි ඒ වෙන කොට මට මං වෙනුවෙන් කතා කරන්න තරං හිත හොඳ එවුං තුන් හතර දෙනෙක් හදා ගන්න පුළුවන් වෙලා තිබුනා..හොඳ උපදෙස් ටිකක් හින්දා..මං නියම විදියට කතා කරලා මගේ ප්‍රශ්නේ විසදා ගත්තා.
    අදටත් මං ඒ සිංඩියේ දෙයියනේ කියලා ඉන්නවා…
    ඒත් කෝකටත් කියලා තව සිංඩි දෙකතුනකත් මං එල්ලුනා…
    දැන් ඒ හැටි අවුලක් නැහැ..යංතං කොහොම හරි මගේ එකත් කියවන ටාක දෙනෙක් හරි ඉන්නවා.

    මටනං ඉතිං නැග්ග ඉනිමගට පයින් ගහන්න බැහැ.අනික සිංඩිනැතුව මේ ගමන එන්න පුළුවන් මං ඒක නැහැයි කියන්නේ නැහැ..ඒත් ඉතිං බස් කෝච්චි තියෙද්දී පයින් ගාටන්න මටනං ඕන නැහැ.

    අදටත් මගේ බ්ලොග් එකට වැඩිම පිරිසක් එන්නේ ඔය කියන සිංඩිය හරහා..ඒ වගේම ගාණක් අනිත් ප්‍රධාන සිංඩිය හරහා එනවා..ඒ ඇරුනම අඹගහ අස්සේ ඉදලත් එනවා..අනිත් සහොදරයින්ගේ බ්ලොග් රෝල් හරහා එනවා..

    මාත් ලියන්නේ මගේ විනෝදාංශයක් හැටියට උනත් මං කැමතියි කවුරුහරි කියවනවා කියලා මට දැනෙද්දී..
    එහෙම නැතුව මටනං කියන්න බැහැ අනේ මටනං කවුරු කියෙව්වත් එකයි නැතත් එකයි කියලා..
    මම රහත් වෙලා නැහැ.

    අනික අපි ඔය ප්‍රධාන කාරණේ ගැන ගත්තොත් අපි මුළින්ම සිංඩියට යන දවසේ ඇහිල්ලක් බැළිල්ක් නැතිව තියෙන හැම නීතියටම යටත් වෙලා ගිහිල්ලා පස්සේ බුරලා වැඩක් නැහැ.

    ඊළග දේ තමයි අපිත් දැනගන්න ඕන ලියන දේ හරහා මිනිස්සුන්ටත් දෙයක් දෙන්න..එහෙම නැතිව බ්ලොග් එකක් හරහා අපිට ලෝකයකට කතා කරන්න ලැබිලා තියෙන අවස්ථාව නිකං කොපි පේස්ට්වලට හරි..මාතෘකාවෙන් එහාට යමක් නැති දේවල් වලින්ම බ්ලොග් එකක් කරගෙන යන්න ගියාමත් ඕක වෙනවා..

    අපිත් හැදිලා අනුන්වත් හදාගෙන හිමීට ගමන යනවානං හොඳයි…

    මොනවා උනත් බ්ලොග් එක කියන්නේ මටනං මහා සම්පතක්..මං ඒකට සාධාරණයක් කරන්න ඕන..
    ඒ වගේම බිලොග් එක හැම අතටම බෙදලා දෙන සිංඩි ටිකත් මට මහ මෙරකට වඩා වටිනවා..
    මේ මොනවා තිබ්බත් මිනිස්සු අපි එක්ක නැති වෙචිච දවසට බ්ලොග් ලිවිල්ල නිකංම නැවතිලා යනවා.

    උඹ කරපු මේ වැඩේ අන්තිම හොඳයි නවම්…

    කැමතියි

  17. මම සිංහල බ්ලොග් කියවන්න ගත්තේ 2009 යේ මුල් කාර්තුවේ ඉදලා, මගේම කියලා බ්ලොග් පොඩ්ඩක් හදා ගත්තේ 2010 ජූනී මාසේ. මම ගොඩක් වෙලාවට කොමෙන්ට් නොදැම්මට සෑහෙන්න බ්ලොග් කියවනවා.

    මේ වෙනකම් මගේ බ්ලොග් එක කියවලා තියෙන්නේ 7000කටත් අඩු පිරිසක්. ඒක මහ ලොකු ගාණක් නෙමේ කියලා ඔයා දන්නවනේ. කොමෙන්ට්ස් වැටෙන්නෙත් පෝස්ට් එකකට දෙකක් විතර. ඒකත් මගේ බ්ලොග් එක නිතරම කියවන (දෑහින් දැකලා නැතත්) හිතවත් අය. නමුත් මට ඒකේ කිසි ප්‍රශ්නයකුත් නැහැ, මම ලියන එක නවත්වන්නෙත්. මොකද මම ලියන එක රදා පවතින්නේ වැටෙන කොමෙන්ට්ස් ගාණෙන් වත් හිට්ස් ගාණෙන් වත් නෙමේ. එහෙම කොමෙන්ට්ස් වලටයි හිට්ස් වලටයි ඇබ්බැහි වුනොත් අපිට ස්වාධීන වෙන්න බැරි වෙනවා.
    ඇත්ත ගොඩක් අය අපි ලියන දේ කියෙව්වම කොමෙන්ට් කළාම සතුටු හිතෙනවා තමයි. ඒත් හිට්ස් හරි කොමෙන්ට්ස් හරි බලාගෙන ලියන්න ගියොත් අපිට ඕන විදිහට ලියන්න බැරි වෙනවා (අපිට ඕන වෙනස්කම් කරන්න බැරි වෙනවා) සහ අපිව එකම රාමුවකට කොටු වෙනවා (අපි බය වෙනවා වෙනසක් කළොත් හිට්ස් අඩුවෙයි කියලා).

    මම දැක්කා ඔයා ලියලා තියෙනව; ඔයා දැක්කා කියලා “කොමෙන්ට්ස් නැතුව වේලෙන බ්ලොග්”
    මචන් හැමෝම එක මිම්මෙන් මනින්න එපා සමහර මිනිස්සුන්ට කොමෙන්ට්ස් තිබ්බත් එකයි නැතත් එකයි, ඒ අය ලියන එක ලියනවා, මොකද ඒ අයගේ අවසාන අරමුණ තියෙන්නේ කොමෙන්ට්ස් වලටයි හිට්ස් වලටයි ටිකක් එහායින්.

    තරහා වෙන්න එපා මෙහම කිව්වට.

    කැමතියි

    • නවම් says:

      ප්‍රථමයෙන් මාලන්, ප්‍රතිචාරයට මගේ කිසිම අමනාපයන් නෑ ඕං සන්තෝසයක් මිසක්. මම ලියන දේවල් වලට එන ප්‍රතිචාරවලට තරහ වෙලා නහය කපාගන්න මට බෑ නෙව. ඔයාගෙ තර්කය නිවැරදි වෙන්නෙ ප්‍රතිචාර ගැනහෝ පැමිනෙන්නෙන් ගැන සැලකිලිමත් නොවෙන බ්ලොග් කරුවෙක්ට පමණයි. මට හිතෙන විදියටනම් බ්ලොග් ලියන බහුතරයක් තමන්ව කියවන අය ගැන සැලකිලිමත්. ඒ උනාට මේ ලිපිය යටින් වැ‍ටුන ඇතැම් ප්‍රතිචාර නිසා මට දැන් තේරෙනව එහෙම නොවෙන අයත් ඉන්නව කියල. ඒක ගැන මට මෙන්ම වෙනත් කිසිවෙකුටවත් කිසිම තර්කයක් නෑ.

      මම අර කමෙන්ට්ස් නැතුව වේලෙන බ්ලොග් ගැන කිව්වෙ, බොහෝමයක් එහෙම බ්ලොග් අතර මඟ නැවතිලා කියල හිතුන නිසා මිසක් ඒ ගැන හරි හමං අධ්‍යයනයක් කරල නෙමෙයි. ඒක නිසා ඒක වරදින්න ඉඩක් නැත්තෙ නෑ. ඒත් සාමාන්‍ය පෘතුග්ජන මිනිස්සු විදියට තමන් කරන යම් දෙයකට ප්‍රතිචාරයක්, අගයකිරීමක් බලාපොරොත්තු වීම අසාමාන්‍ය දෙයක්වත් අඳබාල දෙයක්වත් කියල මම දකින්නෙ නෑ. ඒත් එක්කම මම කොතනකවත් කියල නෑ හැමෝම එහෙමයි කියලත්.

      ඒ හැම දෙයක්ම පැත්තකින් තියල මම ගැන කතාකලොත්, මම නම් හිට්ස් වලට, කමෙන්ට්ස් වලට ආසයි. ලිපියක් පල කලාම වෙලාව තියෙන හැටියට බ්ලොග් ස්ටේටස් බලනව. ඊටත් පෝස්ට් එකක් දාන්න කලින් ඩිංගක් විතර ආකර්ශණීය මාතෘකාවක් දානව.

      මම මගේ සිතුවිලිවලට අවංකයි. එච්චරයි !

      කැමතියි

  18. පින්ග්කිරීම: සියලුම බ්ලොග් රචකයන් සහ සින්ඩි පවත්වා යන්නන් වෙත කෙරෙන පොඩි ඉල්ලිමක් « සිහින දනව්ව

  19. පින්ග්කිරීම: ඔබත් මිනිසෙකි ,මමත් මිනිසෙකි « සිහින දනව්ව

  20. මගේ බ්ලොගයේ ලියවෙන්නේ ජ්‍යොතිෂය ගැන.2010 ඔක්තෝම්බර් වල ඉදන් ලියපු මගේ බ්ලොගයට ප්‍රධාන වශයෙන්ම හිට්ස් ආවේ සින්ඩි වලින් තමයි.බ්ලොග් කියවන විට (බ්ලොග් අවකාශයේ සැරසරන විට ) ඇතැම් සින්ඩි විවේචනය කල බ්ලොග් සටහන් දැක ඇතත් එහිදී හරි වැරදි පාර්ශ්වයන් සොයා බලන්න කවදාවත් ගිහින් නැහැ.සින්ඩි වලින් හොදම සින්ඩිය තෝරන්න ඡන්දයක් තියන්න හදපු බ්ලොග් සටහනකට පමනක් එම ක්‍රියාවේ නුසුදුසු කම පෙන්වමින් කමෙන්ට් කලා හැරෙන්න එවැනි ලිපි වලට කමෙන්ටු දමන්න ගිහිනුත් නැහැ.යාළුවා මෙම බ්ලොග් අවකාශයේ විවිධාකාර පුද්ගලයන් සිටිනවා.බ්ලොග් අවකාශයේ සෑම පුද්ගලයකු සමගම සමාන ඇසුරු මිස සමීප ඇසුරු අනවශ්‍ය බව මගේ මතයයි.එසේ නොවුනහොත් බ්ලොග් අවකාශයේද තැනින් තැන විවිධ කල්ලි මතුවේවි.(මෙම තත්ත්වය සෑම විටම නොවන බවද කිව යුතුය.බුද්ධිමත් මෙන්ම ගුණ යහපත් බ්ලොග් කරුවන් හා කියවන්නන් එකතුව යහපත්ය.)දැන් බලන්න ඔයා ඔය කියන පුද්ගලයා සින්ඩියකට බැනල පෝස්ට් ලිව්වට ඔයාගේ කමෙන්ටුව ඉවසා වදාරල නැහැ.ඉතින් ඒ වගේ අයට උපදෙස්(හෝ වෙනත් දෙයක්) ලබා දෙන්න ගිය ඔයා නිකං ඉල්ලගෙන කාල වගේ.

    කැමතියි

  21. ඔන්න මමත් කියන්න ඕනේ මගේ බ්ලොග් එක පොස්ට් එකකින් කියලම දැන්නා.

    ඔයා කියන එක හරි සහෝ

    බොරු කියන්න ඕනේ නැනේ මම ලියුව දෙයක් කවුරු හරි කියවලා කොමෙන්ට් එකක් දාල ගියොත් මට හිතට සතුටුයි අනේ කවු හරි මේක කියවලා කොමෙන්ට් එකක් දාල ගියානේ කියලා.හැබැයි නොදා ගියා කියලා අප්සෙට් එකක් නැ මොකෝ මම ලියන්නේ මගේ හිතේ තියෙන අදහස් පිට කරන්න මිසක් හිට්ස් ගාන වැඩි කරගන්නවත් කට්ටිය ලවා කියව ගන්නවත් නෙමේ.සත්‍ය ජීවිතේ කෙලින් කියන්න බැරි හුගක් දේවල් බ්ලොග් සටහනකින් එලියට දාන්න පුලුවන්.මගේ බ්ලොග් එක පැත්තේ ඇවිත් ගියාට බොහොම ස්තුතියි

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: