චූටිමැණිකෙ නෑ ගම් ගොහින් [අද පුතුපැටියගෙයි මගෙයි දවස]

ඔහෑ ඔහෑ ඌ…… හික් කෑං ඈ…… ඔහෑ ඔහෑ…

හ්ම්…. මම අමාරුවෙන් ඇහැක් ඇරල ඇඳට වම්පැත්තෙ බිත්තියෙ එල්ලපු ඔරලෝසුව බැළුව.

වෙලාව උදේ පහයි

චූටි මැණිකෙ දෙහිවලින් ගාල්ල ඉන්ටර්සිටි බස් එකකට දාල ඇවිල්ල පැය බාගෙකට වැඩිය බුදියගන්න වෙලා නෑ. ඉහ ඉද්දර තියෙන වොට් පහේ බල්බ් එකේ ලාමක කහ පාට එළිය හන්ද එකපාරටම අනිත් ඇහැත් අරින්න අමාරුවක් උනේ නෑ.

ඇයි චූටි පැටියො.. බඩගිනිද මගෙ මැණිකට ආ…

වෙනද මේ වෙලාවට චූටිමැණිකෙගෙන් පුතු පැටිය කුක්කු බොනව. ඒත් අද හදිස්සියෙම ගමේ යන්න උන හන්ද අන්තිමටම කිරි පෙව්වෙ උදේ හතරට විතර. පොඩ්ඩට වැඩිපුර බඩගිණි වෙනවනෙ එලිවෙන ජාමෙට.

ඉන්න මගෙ පැටියො, අම්ම කුක්කු තියල ගියේ.

එහෙම කියල ඇඳ පැත්තක තියාපු ස්ටූල් එක උඩ වතුර භාජනේක තියල තිබුන බෝතලෙන් ෆීඩින් කප් එකට කිරි වක්කරගත්ත. කලබලේ වැඩිකමට සරමෙත් හැළුන ඩිංගිත්තක්. අපරාදෙ.

ඔහෑ ඔහෑ…………  ආයෙමත් පැටිය අඬනව.

හා දැන් හරි වස්තුවෙ. එන්න අපි කුක්කු බොමු….

මම එහෙම්මම ඇ‍ඳෙන් බහින්නෙ නැතුව පැටිය ඉන්න පැත්තට ඇදුන. කලබලේ වැඩිකමට පෙරවන රෙද්දෙ පැටලිලා සරමෙ ගැටෙත් බුරුල් උනා.

බොන්න පැටියො. හා.. මම හැන්දෙන් පොඩ්ඩ පොඩ්ඩ පොවනව. පුතුපැටිය සූප්පුවෙන් කිරි බොන්න හරිම අකමැතියි. සමහර විට සූප්පුවෙන් කිරි එනව වේගෙ මදි ඇති. එහෙමයි කියල සූප්පුවෙ සිදුර ලොකු කරන්න හොඳ නෑ කියල අම්ම කිව්ව. එහෙම උනොත් කිරි නිකන්ම ගලාගන එන හන්ද චූටිමැණිකෙගෙන් කිරි උරන එකක් නෑලු.

එක විදියකට ඉන්නෙ නෑ. අත් දෙකයි කකුල් දෙකයි හයියෙන් ගහනව හරියට වයින් කරල වගේ.

ඔහොම කලොත් නං කිරි බොන්න වෙනෙ නෑ පැටියො. කෝ ඉතිං මට පොවන්න දෙනෙ නෑනෙ ඔයා.

හී.. ආ. ර්ර්ර්…….

ලඟකදි ඉඳල අපි කතාකරනකොට පුතුපැටියත් අපිත් එක්ක කතා කරනව එයාගෙම වචන වලින්. බලාගෙන ඉන්න ආසයි !

කොහොම හරි විනාඩි පහලවක් විතර පොඩ්ඩත් එක්ක හරඹ කරල කිරි අවුන්ස දෙකකට කිට්‍ටු වෙන්න පොවාගත්ත, තවත් අවුන්ස බාගයක් විතර පැටියගෙ ඇඟ පුරාමයි මගෙ සරමෙයි, ඇඳ රෙද්දෙයි.

දැන් ඉතිං බඩ පිරුනනෙ. ආයෙමත් වටයක් නිදාගන්න වෙලාව හරි. තවම ඉතිං කුක්කු බොනවයි නිදාගන්නවයි තමයි දවසෙ වැඩි හරියක්ම.

දොයී… පු….තා….. ආ……
බයි…… පු..තා….ආ…..
නුඹෙ අම්මා ඇතින්නියා……
ගලෙන් ගලට පනින්නියා…….

ඔහෑ ඔහෑ……. ඕ……….

මොන, නිදාගන්න ගියාම එක විකාරයයි. මගෙ බඩට චූටි පතුල් දෙක ගහල දුන්නක් වගේ නැමිල පිටිපස්සට පනිනව. ඒක හන්දාම මම පුතුපැටිය නිදිකරවන්නෙම ඇඳ උඩට වෙල කකුල් දෙක උඩ කොට්ටයක් තියල.

හා හා.. මගෙ පැටිය දොයියනකෝ….

දොයී… පු….තා….. ආ……
බයි…… පු..තා….ආ…..
පේලි පේලි පේලි සැදී ඇත්තු ඇදෙනවා
හ්ම්….. හ්ම්…….

මට කවි මතක් වෙන්නෙම නෑ. කොහොම හරි තවත් විනාඩි විස්සක්විතර පෙරළි කරල පැටිය නිදි උකුලෙම. ඇ‍ඳෙන් තියන්න ඕන වැඩිය ගැස්සෙන්නෙ නැතුව. පොඩ්ඩක් හරි වැඩිපුර ගැස්සුනොත් ආපහු ඇහැරිලා අඬනව.

යාන්තං හෙල්ලෙන්නෙ නැතුව තිව්ව. ඊට පස්සෙ වටේට කොට්ට හයක් තියල නෙට් එකෙන් වැහුව.

හම්මෝ නිවන් ගියා වගේ…….. !

ආයෙම නිකමට වගේ ඔරලෝසුව දිහා බැලුව. අම්මෝ වෙලාව හතයි. පැය දෙකක්ම ගිහිල්ල දන්නෙම නැතුව.

දැං ඉතිං ඊලඟ ඩියුටිය.. පොඩ්ඩාගේ චූ රෙදි සේදීම.

ගත්ත ඇඳ පාමුල තිබ්බ රෙදි කූඩෙ අත් දෙකෙන්ම උස්සල. අම්මේ මේකෙ බර. බර නැතුව තියෙයියැ. කලින් දවසෙ හැන්දෑවෙ ඉඳල තෙමපු රෙදිනේ. නැප්කින්, චූටි කලිසම්, කොට් ශීට්, බෙඩ් ශීට්, කොට්ට උර මහ ගොඩයි. පුතුපැටියටත් ඉතිං තෙමන්න ගියාම දිගක් පළලක් නෑ. පළාතම වනසනවනෙ.

ආයෙ ඉතිං මේ රෙදි ටැප් වතුරෙන් හෝදන්නය කියලය. මාසෙ අන්තිමට එන බිල දැක්කම ලේ කෝප වෙනවනෙ. යුනිට් විස්සට මෙහායින් බේරගත්තොත් ශේප්. වැරදිලාවත් විස්ස පැන්නොත් හෙන බිලක් එනව. ඒක ගෙවන්නනං ඉතිං සතියක් වත් ලෙල්ලටම කොස්ට් කටින් කරන්න වෙනව. ඉතිං පර්ස් එක ගැන හිතල අදිනව අඩි විසිපහක් විතර ගැඹුර ලි‍ඳෙන් වතුර. බැරිම උනොත් ඇඟටත් හොඳයිනේ කියල හිතල සැනසෙනව.  එහෙම හිත හදාගෙන කොනක ඉඳන් රෙදිටික හෝදල ගෙදර පිටිපස්සෙ වැලේ ක්ලිප් ගහල එල්ලනව. බැරි හරියක් ඉස්සරහ වැලෙත් එල්ලනව. එතනට අව්ව තදටම වැටෙන නිසා පැය තුනකින් විතර කරවෙන්න වේලිලා.

ඔය ටික කරල ඉවර වෙනකොට ඉසවගන්න බැරි බඩගින්නක් එනව. ඒත් එක්කම මතක් උනා උදේ තේ එක තවම බෝතලේ කියල. කුස්සියට ගිහින් බැලින්නං චූටිමැණිකෙට උණුවතුර බෝතලේ මූඩිය තදකරන්න අමතක වෙලා තේ එක නිවිල ඇල්වතුර ගානටම.

ඔහෑ ඔහෑ.. ඔහෑ……….

අන්න ආයෙමත් පුතුපැටිය ඇහැරිලා. තාත්ත එනවෝ…… නාඬ ඉන්න මගෙ පුතා…..

තේ බොතලේ සින්ක් එකට හලල බෝතලෙත් හෝදල ආයෙමත් දුවනව කාමරේට. මෙන්න කොල්ල නැඟිටල නෙට් එකෙනුත් බාගයක් විතර ඔළුවත් එක්ක ඇඟ එලියට දාගෙන ඇඬිල්ලත් නවත්තල වටපිට බල බල ඉන්නව.

කවුද මේ චන්ඩියා… ඒ…. කෝ බලන්න චන්ඩියා.. කියල මම ඔළුව වන වන නටාගෙන ඇඳ ගාවට යනව.

ඕ….. ආ….. හී….. පුතුපැටියට මාව දැකල සන්තෝසයි.

මගෙ මැණික ඔහොමම ඉන්න, තාත්ත කෑම කාල එනකං.. එහම කියල වටේ විසිරිලා තිබුන කොට්ට බලකො‍ටුව ආපහු පිලිවෙලට හදල තවත් ‍රැට්ල්ස් දෙක තුනකුත් ලඟින් තියල ටක්ගාල දුවල ගියා කෑම කන්න. ආයෙ මගේ කෑම හරිම ඉක්මන්නෙ. පාන් පෙති පහයි පරිප්පුයි පොල්සම්බෝලෙටයි විනාඩි පහයි.

ඔන්න මූලික වැඩටික අහවරයි. දැන් නිදහස්. නිදහස් කිව්වට නිදහස්ම නෑ. පොඩ්ඩව පේන තැනක ඉන්න එපැයි. ආයිත් මම කාමරේ. ඉරිද පත්තරේ බලනත් බැරි උනානෙ. ඒකත් අරං ඇඳට ගියා. පොඩ්ඩ එයාගෙ පාඩුවෙ තනියම සද්ද කරකර සෙල්ලම් බඩුවක් බඩ උඩ තියාගෙන ඉන්නව. මෙන්න මම ඉන්නව දැක්ක විතරයි පැත්ත පෙරලිලා කෙඳිරි ගාන්න පටන්ගත්ත. දැං ඉතිං මොන පත්තරද. පැටිය එක්ක සෙල්ලං කරන්න වෙනව ඒ සේරම පැත්තකින් තියල.

ඩිංග වෙලාවක් යනකොට මෙන්න පැටිය මගේ ඇඟට යටවෙලා තිබුන පත්තරේ අදිනව. එයාටත් බලන්න ඕන වෙලා වගේ. වැඩිය කියවන්න දෙයක් නැති පත්තර පි‍ටුවක් පොඩ්ඩත් දුන්න. බලන්න එපැයි මහ ලොක්කෙක් වගේ සද්ද දදා පත්තරේ බලන අපූරුව. හැබැයි වැඩේ කියන්නෙ උඩ යට මාරුකරන් තමයි කියවන්නෙ.

පොඩ්ඩක් වෙලා යනකොට ඒකත් එපාවෙලා පත්තරේ තීරුවක් ඉරල දැම්ම. එනපොට හරියන්නෙ නැති හන්ද වැඩිය නොතේරෙන්න පත්තරේ අතෙන් ගත්ත.

දැන් වෙලාව දහය හමාරයි. ඒකියන්නෙ පොඩ්ඩ කෙසෙල් කන වෙලාව. ඇඳ උඩ පැටිය එහෙම්මම ඉන්න ඇරල කුස්සියට ගියා කෙසෙල් ගෙඩියක් ගේන්න. කෙසෙල් නම් හරි ඒත් කෝ ෆීඩින් කප් එක කෙසෙල්ගෙඩිය දාල පොඩිකරන්න. හැම තැනම හෙව්ව.

ම්හ්… ! පේන්න නෑ. මම උදේ කිරි පොවල කොහේද තිව්වේ…. ම්……

ආ.. මතක් උනා. කාමරේ ස්ටූල් එක උඩ. ගිහිල්ල බැලින්නං මහ විනාසයයි. ඉතුරු වෙච්ච කිරිවලට කූඹි වැලක් එනව ස්ටූල් කකුල දිගේ. එක ඩිංගක් අමතක උනොත් පළාතක් ඉවරයි.
ඒ සැරේ ඒක උණුවතුර දාල සෝදල කෙසෙල් ගෙඩියත් ඒකට පොඩිකරන් ඇවිල්ල කැව්ව. පුතුපැටිය කෙසෙල්වලට හරිම ආසයි. උදේ කීරි බිව්ව වගේ නෙමෙයි කිසිම කරදරයක් නැතුව කෑව.

ඊටපස්සෙ වඩාහෙන එලියෙ රවුමක් එක්කන් යන්න ඕන. වට පිට ගැන හරි විපරම. කටත් ඇරන් විස්තර හොයන්නෙ.

ඔන්න ටික වෙලාවකින් දඟලන්න කෙඳිරිගාන්න පටන් ගත්ත. ඇසුත් නිකං මැලවෙලා. ආයෙමත් නිදිමත වෙලාද කොහෙද. කාමරේට ගිහිල්ල පැටියව නිදි කරවල, නා ගන්න කියල මම බාත් රූම් එකට රිංගුව. හ්ම්ම්…. ටයිල් ටික ටිකක් හැඩිවෙලා. වෙනදනම් ඒවත් සෝදල එහම තමයි නාන්නෙ. ඒත් අද ඒ සෙල්ලං කරන්න වෙලාවක් නෑනෙ. ටක් ගාල ෂවර් එකට ඔළුව යන්තං තෙමාගෙන සබං ගෑව විතරයි

ඔහෑ ඔහෑ..ඔහෑ…..

මොකෝ මෙහෙම්මම දුවන්නයැ. ඇඟ සේරම සබන් නෙ.

හා හා පුතා, තාත්ත දැන් එනවා…ආ… නාඬා ඉන්න මගේ පැටියා.. ඕ ඕ….. බාත් රූම් එකේ ඉඳන් නානගමන්ම කතා කරල නලවගත්ත යාන්තං.

මං එනකොට මෙන්න කොට්ටෙනුත් පැත්තකට පැනල මුනින් අතට ආයෙමත් නිදි. ඇහැරුනොත් ආයෙමත් නිදි කරන්න තියෙන අමාරුව දන්න හන්ද වැඩි සෙල්ලං නොදා විසිරිලා තිබුන කොට්ට ටික විතරක් හදල එහාට උනා.

ඊටපස්සෙ ජාලෙ පැත්තෙ රවුමක් දාල ඔ‍ෆිස් එකේ තත්වෙ එහෙම බලාගෙන අහවර වෙනකොට ඔන්න මටත් එනව දවල් බඩගින්න. ආයෙ බලන් ඉන්නෙ මොකටද කියල ඒකත් අහවර කරල ආයෙමත් උදේ බලන්න බැරිවෙච්ච පත්තරේ එහම බලල හීණියට දමාපු නින්ද කැඩුනෙ ආපහු පොඩ්ඩගෙ ඇඬිල්ලට.

දැන් නම් ඉතිං ආයෙම නිදිකරවනව බොරු, දැන් ඉතිං එයා එක්ක සෙල්ලම් කරන්න, උඩදාන්න, කිතිකවන්න ඕන. ඒ වෙලාවට බලන්න ඕන තියෙන සන්තෝසෙ. කෙළ බේර බේර හිනා වෙන්න. පුතුපැටිය හරිම ආසයි එයාගෙ බඩට අපි මූණ තියල සද්ද ඇහෙන්න පිඹිනවට. තව  ආසම දෙයක් තමයි මගේ බඩ උඩ මුනින් අතට හාන්සි වෙලා ඉන්න. ඔය සේරම දේවල් කරල පැට්ටට ඇති වුනාම ආයමත් වඩාහෙන ඇවිදින්න ඕන. දැං ඉතිං හැන්දැ වෙලා නිසා එලියට එක්කන් යන්න බැ. මදුරුවො පිරිල එලියෙ.

චූටිමැණිකෙ ඉක්මනට එනවනම් දැන් හොඳයි. පුතුපැටිය නාවන්නත් බැරිඋන නිසා ඇඟවත් සෝදවන්න. නැත්නං ඉතිං ‍රැට නිදිකරවනව බොරු, හරි දාඩිය මේ දවස්වල.

කෝල් එකක්වත් දීල බලන්න ඕන කොයි හරියෙද දැන් ඉන්නෙ කියල. සමහරවිට දැන් නුගේගොඩට කිට්‍ටුකරල ඇත්තෙ.

දෙකකට
Advertisements

63 Responses to චූටිමැණිකෙ නෑ ගම් ගොහින් [අද පුතුපැටියගෙයි මගෙයි දවස]

  1. blog gadol says:

    මගෙ අම්මියෝ! තාත්තා කෙනෙක් වුණාමත් කරන්න තියෙන වැඩ තොගේ! බයත් හිතෙනවා

    කැමතියි

  2. නවම් අයියේ_පොඩ්ඩ කොච්චර වද දුන්නත් එක පාරක් හිනා වුන ගමන් ලොකුම සතුට ඒක වෙනව වගේම,පොඩ්ඩ ලොකු වෙනකොට හිතේවි හැමදාම අර පුංචියට හිටපු විදිහට හිටියනම් හොඳයි කියලා.ලස්සනට ලියල තියෙනවා.ඔක්කොම වැඩ නවත්තලා කියවගෙන ගියා.ලිපිය පොඩි වැඩියි වගේ නේද?

    කැමතියි

    • නවම් says:

      අයිත් අහල, මොන වදේ දුන්නත් හිනාවෙනකොට ඒ සේරම අමතකයි මලේ. දැන් නම් හිතෙන්නෙ විගහට ලොකු වෙනවනම් හොඳයි කියල. ඒත් පස්සෙ හිතෙයි අපරාදෙ කියල. දැන් ආපහු කියවගෙන යනකොට නම් මටත් එහෙම හිතෙනව. එත් හවස් වරුවෙ අපි දෙන්නට වෙච්ච අබග්ග ලිව්වනම් තවත් මෙ වගෙම පොස්ට් එකක් වෙනව.

      කැමතියි

  3. Bunny says:

    ළමයි = උණු කිරි.. වගේ නෙවැ :-/

    උණු හින්දා බොන්නත් බැ..කිරි හින්දා විසි කරන්නත් බැ..

    ඒත් ඔහොම හුරතල් වෙනකොට ආසාවේ බැ 😀

    කැමතියි

  4. abeetha says:

    මේ අතරෙ වෙන ඒවා තව කොච්චරක්නම් තියෙනවද? අපේ මෑන්ට දැන් ඇවිදින්න පුලුවන් නිසා ලොකු අමාරුවක් නෑ… ඒත් පස්සෙන් දුවලා ඉවරයක් නෑ….

    කැමතියි

  5. Abc says:

    අප්පොච්චියේ මේ අප්පොච්චිට තියන රාජකාරි ගොඩ. අපිත් පොඩි කාලෙ ඔය වගේම වද දෙන්න ඇති අම්මල තාත්තලට. දැන් කියලත් වෙනසක් නැහැ.

    කැමතියි

  6. nihal gurusinghe says:

    අහල තියෙනවද සුනිල් එදිරිසිංහගෙ පරණ සිංදුවක් තියෙනව ” බිරින්දෑ නෑගම් ගිහින් ” කියල.

    කැමතියි

  7. අපිත් පොඩි කාලේ අම්මා කොහේ හරි ගියහම තාත්තට මේ වගේ වැඩ රාජකාරී තියෙන්නැති කියල හිතුණා.අම්මෝ ලගින්ම ඉන්න ඕන නේද?අර බාත්රූම් එකේ නානකොට බබා ගාව කවුරුත් නැතිව තියන්න බය නැද්ද?

    කැමතියි

  8. ඉතින් චූටි මැනිකේ ආපු ගමන් නවම් අයිය නිදහස් නේද ? දවසකට දෙකකට ඔයවගේ පොඩි කට්ටක් කෑවම මොකද නවම් අයියේ . දැන් ඉස්සරහට පටන්ගන්න මැච් සීසන් එක නවම් අයියට ඒ ගැන මොකද හිතෙන්නේ . බබාව වඩාගෙනතමයි ඕං මැච් බලන්න වෙන්නේ

    මට බොරු කියන්න හිත දෙන්නේ නෑ බං . මම ළමයින්ට කැමති නෑ .මම කවදාකවත් ළමයෙක් හදන්නෙත් නෑ .ඒ අතින් උඹ වාසනාවන්තයි බං .

    ඉතින් නවම් අයියගේ කොලුපැටියට තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුනේ පිහිටයි ආරක්‍ෂාවයි !!

    කැමතියි

  9. phew! අම්මලා පොඩි කට්ටක්ද කන්නෙ දරුවො ලොකුමහත් කරන්න කියලා තේරෙන්නෙ තාත්තලට ඒ රාජකාරිය දවසකට දෙකකට බාරගන්න උනාම තමයි නේද? 🙂
    කොහොම උනත් අයියටත් හොඳයි පුරුදු වෙන්නත් එක්ක. 🙂

    කැමතියි

  10. හරිම ලස්සන පෝස්ට් එකක්. අපිවත් මේ විදිහට හදන්න අපේ අම්මා තාත්තා කොච්චර මහන්සි වෙන්න ඇතිද? අපි එයාලට නොදැනුවත්ව හරි කොච්චර වද කරන්න ඇතිද කියලා හිතිලා ළාවට කඳුලු බිංඳු දෙක තුනක් ඇස් දෙකෙන් පැන්නා….

    කැමතියි

  11. මගේ අම්මේ……. එහෙම කියවුනාට අදින් සෑහෙන කාලෙකට පස්සේ දවසක අයියා මේ ගෙවුනු දවස ආසාවෙන් ආදරෙන් සිහිපත් කරාවි……..

    කැමතියි

  12. Alchemiya says:

    මම ඔය කට්ට අවුරුදු එකහමාරක් යනකල් කෑවා.. උදේට ඇල්කෙමිච්චි වැඩට ගියාම මම තමයි බලාගන්න එන ගෑණු ළමයා එන වෙලාවට පැටියව කවලා පොවලා නාවලා තියන්නේ…
    මේ නිසාම පැටියා මාත් එක්ක හරි ෆිට්…. හරියට යාළුවො වගේ.. ඒක හැමදාම තියේවි කියලා හිතෙනවා…

    කැමතියි

  13. Chinthana says:

    නියමයි…………. මටනම් ඕව කරන්න තව දශකයක් විතර යාවි……

    කැමතියි

  14. Chinthana says:

    මගේ තාත්තට නම් කවදාවත් ඔහොම දවසක් ඇවිත් නෑ.මොකද එයා Army එකේ ඒ නිසා ගෙදර නෑ එදත් අදත් එහෙමයි.මම ඒකට තාත්ත එක්ක තරහ නෑ.කොහොම උනත් අම්ම කෙනෙක් දරුවෙක් හින්ද විදින දුක මේ ලිපියෙන් හොදට තේරුම් ගන්න පුළුවන්.

    කැමතියි

  15. පොඩි එකෙක් නලවන එකත් ලේසි නෑ නේද?

    කැමතියි

  16. Anushka says:

    අනේ මන්දා බං මට තියෙන්නෙ මාර කරුමයක්. පොඩි එවුන් මාව දැක්කම මර හඬ දීල අඬන්න ගන්නවා. එකෙක්වත් අතට එන්නෙ නෑ. මගේ ගර්ල් ගෙ අක්කගෙ පොඩි හුරතල් කෙලි පොඩ්ඩක් ඉන්නව. කෙල්ලගෙ අතට සුටුස් ගාල එනව. අය්යො මංදැක්කම මර හඬ දෙනව බං. හැබෑටම මොකෝ ඒ?

    කැමතියි

  17. බුදු අම්මෝ…. ඉස්පාසුවක් නම් නැති හැඩයි…. තාත්තෙක් වුනොත් ගිනි විච්චුම්බරයයි….

    මගේ තාත්තත් අම්ම නැති කොට මෙහෙම වෙන්නැති මං පොඩි කාලෙ. ඒවගෙම අම්ම කොරපු හරිය…

    කැමතියි

  18. නදී says:

    අය්යා මේක ලියපු එක හොදයි.ගොඩක් අයට අම්ම අප්පචිල එයාල වෙනුවෙන් පොඩි කාලෙ කොච්චර මහන්සි වෙන්වද කියල තෙරුම් ගන්න.අපිටත් චූටි නංගි බබෙක් ඉන්නවා.එයා ඈහෑරිලා ඉද්දි දවස ගෙවෙනවා තේරෙන්නෙ නෑ.ගේම පිරිලා.සද්ද දානවා.ඒත් මේ දවස් ටිකේ එයාට හෙම්බ හෑදිලා.පොඩි අයට ලෙඩ උනාම දවසම මෑලවිලා ඉන්නවා දුකේ බෑ.

    කැමතියි

  19. Ravi says:

    බොක්කෙන්ම ලියල තියෙනව නවම්,පොඩි එකා අකුරු අඳුනන දවසක මේක ඌට පෙන්නහං,

    කැමතියි

  20. හිතා ගන්න පුලුවන්නේ තාත්තට එක දවසකට මෙච්චර අමාරුනම් අම්ම කොච්චර අමාරුවෙන්ද ලමයෙක් හදන්නේ… ලස්සනට ලියලා තියෙනවා… 🙂

    කැමතියි

  21. අප්පොච්චියේ…… පිස්සු පීකුදු වෙනවනේ

    කැමතියි

  22. තාත්තෙක් වීමට තව අම්බානෙක ක ඇත……හික්ස්ය…ඉකේයියා ය

    කැමතියි

  23. අනේ වාසනාවන්. පොඩි එකෙක් අඩන සද්දයක් අහන්නත් ආසයි. චූටි මැනිකේ මාර වැඩ නේ කරන්න තාත්තවයි පැටියවයි දාලා ගිහින්. තාත්ති මෙහේ ලමයි නලවන්න හදනවා. මරු නේ අයියා. ආසාවේ බෑ.

    ඉක්මනට බදින්න ඕනේ. එතකොට චූටි එකෙක් නලවන්න පුලුවන් නේ හි හි හි

    කැමතියි

  24. නවම් says:

    ඕං ඇති යාන්තං මේ පෝස්ට් එක දැකල එකෙකුට හරි කසාද බඳින්න ආසාවක් ආව. 🙂

    කැමතියි

  25. Suhani says:

    අකමැත්තෙන් උනත් කියන්න ඕනේ මම නම් අපේ තාත්තගෙන් ඔය විදියෙ ආදරයක් නම් අත්විඳලා නෑ. අපේ තාත්තා හරිම අමුතු චරිතයක්. එයාගෙ ආදරේ හිතේ හංගගෙන තමයි ජීවත් උනේ. කොටින්ම අපිට කවමදාකවත් දුවේ.. පුතේ.. කියල කතා කරල නෑ.. අපේ නමින් තමයි කතා කරේ.. ඒත් මම හොඳාකාරවම දන්නවා මගේ මහත්තයා නම් කවදා හරි නවම් වගේ ආදරණීය තාත්ත කෙනෙක් තමයි වෙන්නේ කියල… මොකද ඔයාගේ පෝස්ට් එක කියවන මොහොතක් පාසා මට හිතුනේ එයා කවදා හරි අපි දෙන්නගේ දරුවන්ට සලකන්නෙත් මේ විදියටම නේද කියලා.. මොකද ඔයාට වගේ හරිම ලස්සන හදවතක් තමයි එයාටත් තියෙන්නේ..
    නවම්ට ගොඩාක් ස්තූතියි ලස්සන හීන ලෝකෙක මාව තනි කරල ගියාට.. චූටි පුතයි.., චූටි මැණිකෙයි ගොඩාක් පිං කරල තියෙනවා නවම් වගේ ආදරණීය අප්පච්චියෙක් සහ සැමියෙක් ලැබෙන්න..
    ඔයාලගේ පුංචි පවුල හැමදාමත් සතුටින් තියන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා..

    කැමතියි

    • නවම් says:

      මම දන්නව එහෙම හිතුන එකම කෙනා ඔයා නෙමෙයි කියල, ඒ මටත් එහෙම හිතෙන නිසා. ඒත් තාත්ත ඉස්සර ඔයාල අපි පුංචි දවස් වල අද හිතේ හිරකරං ඉන්න ආදරේ පෙන්නන්න ඇති. ටික ටික අපි ලොකුවෙනකොට ඒ ආදරේ හිතේ හිරකරගන්න ඇති. ඒ අඩුව තමයි ඉඳ හිටක අපිව කොනිත්තන්නෙ. ඒත් කවදාවත් මගේ පොඩි එකාට ඒ අඩුව දැනෙන්නෙ නැතිවේවි.

      ඒවගේම ඔයාගෙ මහත්තයාටත් එහෙම පොඩි එකා ඉස්සරහ විවෘත වෙන්න පුළුවන් වෙයි. බැරි උනොත් හිත රිද්දගන්නෙ නැතුව උදව් වෙන්න අගුළු දාපු දොරවල් ඇරගන්න, මටත් එහෙම වෙන්න චූටිමැණිකෙ ගොඩක් උදව් කලා. මම දන්නව ඒ ජීවිතේ කොච්චර ලස්සනද කියල. මම විඳිනව ඒක මේ වෙනකොට උපරිමේටම. සුහානිටයි මහත්තයටයිත් ලස්සන ජීවිතයකට චූටිමැණිකෙත් එක්ක නවම් සුභ පතනව

      කැමතියි

  26. නවම්ගෙ පෝස්ට් වලින් මම ගොඩක් කැමති එකක් මේක . දරුවෙක් මේ ලෝකෙට බිහිකිරීම අම්ම්ට විතරයි කරන්න පුලුවන් .නමුත් එයාව බලා හදාගැනීමේ වගකීම දෙමාපියො දෙන්නටම තියෙනවා .එත් ගොඩක් වෙලාවට සමාජෙ හිතන්නෙ අම්ම තමයි දරුවගෙ උපතේ ඉඳල එයා ඉලන්දාරි කාලෙ වෙනකනුත් බලාසොයාගෙන හදාවඩා ගන්න ඕනෙ කියලා .බැරිවෙලාවත් කොල්ල හරි කෙල්ල හරි නොසන්ඩාල වැඩක් කරත් බනින්නෙ අම්මට මුන් හැදූ හැටි වැරදියි කියලා

    නමුත් නවම් වගෙ අලුත් පරම්පරාවෙ අය මෙහෙම හිතන එක හොඳ දෙයක් .

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: