මාළු කොඩිතුවක්කුයි කුරක්කන් තලපයි

සුදු අක්කේ රෑට තලප කනවැයි?

කියල සෑහෙන කාලෙකට පස්සෙ තිලේඅම්ම ඇහුවෙ වැඩ ඇරිල ගෙදර ආපු අපේ අම්මගෙන්.

ඒ වෙලාවෙ මට ගියපු සන්තෝසෙ. මං මහම පෙරේතයි තලප ගිලින්න. ඒ වග දැනං උන්නු තිලේ අම්ම කුස්සි ඉස්තෝපු කෑල්ලෙ සන්තෝසෙන් උඩපනින මාව අම්මට ඇහෙං පෙන්නුව.

මට මොකෝ තලප හම්බවෙනවනං ඕනෙ එකක් කියල ඒපාර වැල් ඇඳට පැනල උඩ පනිනව. මයෙ බරට ඇඳ වැල් කිරි කිරි ගානව. ඒකෙ සද්දෙට  ඉස්තෝපු කෑල්ලෙ මුල්ලෙ වී ගෝනි අස්සෙ පැටව් ගහපු කිරි පූසිත් එළියට ඇවිල්ල පුදුමෙන් වගේ මං දිහා බලං ඉන්නව. එයැයිට පැටව් අමතකයි වගේ මගෙ විගඩං වලට.

ඔය වගේම සන්තෝසයක් ආව මතකයි ඉස් ඉස්සෙල්ලම මෙහේ බලුබ් එකක් පත්තුවෙච්ච දොහේත්. එදත් මේ වැල් ඇඳ කැඩෙන්න උඩපැන්න.

ඔයි මොකෝ කරන්නෙ. කඩල දාන්න හදනවැයි ඇඳ?

ආච්චි උළුවස්සට හේතුවෙලා ඉඳං අහනව. එයැයිගෙ පිටිපස්සෙන් බහින ඉරේ එලියෙ තද කොමටද කොහෙද මූනෙ තියෙන්නෙ හිනාවක්ද කේන්තියක්ද  කියල බලාහන්න බෑ. කොහොම උනත් මං නැවැත්තුව. නැත්නං හීං ඉරට පාරක් වදිනවනෙව පස්සට.

මං විගඩං නවත්තපු හන්දද කොහේද කිරි පූසි මහ කම්මැලි ඈනුමක් ඇරල ආපහු ගෝනි ගොඩ පැත්තට හැරිල වී පුරෝපු පෝර උරේක නියපොතු මදින්න තියාගත්ත.

චිප් පූසි චිප්……

ආච්චි එයැයිට බැනල එලවගත්ත. හොඳ වැඩේ, අච්චර ගෝනි තියෙද්දි මක්කටෙයි පෝර උරේම නියපොතු මැද්දෙ. ඉරුන නම් මොකෝ අපි එපැයි අස්කරන්න. එයැයි පැත්ත පළාතෙ එනවැයි කියලය. ආවත් ඉතිං වී බොන්න ආපු මැස්සෙක් අල්ලන්න කුරුමාණං අල්ලනව විතරෙනෙ.

පුතේ, චූටිඅම්මත් එක්ක පීල්ලගහ වත්තෙ දෙණියට ගිහිං ගහල දළු ඩිංගිත්තක් කඩං එන්න.

ඔන්න තවත් මං ආසම වැඩක්. අනික යන්නෙත්  කිව්වෙ චූටිඅම්ම එක්ක. එයැයි හරිම ජොලි පුංචිඅම්ම. අනිත් ඈයො වාගේ නෙමෙයි. මං මක්ක කරත් ඇස් උඩ තියං කැගහන්නෙ නෑ, එයත් එනව මිසක් මගෙ නාඩගං වලට.

යං කියල චූටිඅම්ම මගේ අතිං අල්ලගන්නව. ඊට පස්සෙ පිළිකන්න පැත්තෙන් කරාබුගස් මණ්ඩිය දිගේ ගිහිල්ල බේබි ආච්චිලගෙ වත්තෙන් පාරට බහිනව. ඒක තමයි තියෙන ලඟම පාර. නැත්නං හරි දුර. බේබි ආච්චි දැක්කොත් “රුප්පෙ පුතේ කොහේද මේ යන්නෙ ?” කියල අහනවමයි. එයැයිටත් ඕන නැති කෙහෙල් ගෙඩියක් නෑ. ඒත් ඉතිං අද වැඩකට නෙව යන්නෙ, වෙනද වගේ කම්මැලි කමට ඔහේ ඇවිදිනව නෙවෙයිනෙ. ඇහුවොත් කියනව අද රෑට තලපෙයි කන්නෙ කියල.

ම්ම්ම්…… එයැයිටත් ඕන වෙයිද දන්නෙ නෑ. ඒත් ඉතිං කන වෙලාවට ආවොත් සීය මහසෝනට උනත් එන්නෙයි කියල බෙදල දෙනවනෙව. ඉතිං බෙබි ආච්චි ආවොත් එයැයිගෙ තලප ගුලිය දෙන්නෙයි කියනො.

පීල්ලගහ වත්ත වෙලේ, හින්නි මාමලගෙ ගෙවල් පැත්තෙ කණ්ඩිය පල්ලෙහා වතුර පාරෙ තමයි වෙල් ගහල ගාල තියෙන්නෙ. චූටි අම්මයි මායි වතුරෙ බැහැල තර‍ඟෙට ගහල ගොබ ගලවන්නෙ. රෑට තලප කන්න විගහට යන්න තියෙන හන්ද මිසක් වෙන දවසක නං ගහල ගොට්ටකට මාළුවෙක් අල්ලං ඇවිල්ල වෙලේ ලිඳට දානවමයි. ඒත් අද ඕව කරන්න ගිහිං ආනම හදන්න පරක්කු උනොත්…

හා රුප්පෙ පුතේ…. අද තලප හදන්න වගේ…..

ඒපාර කවුද? සද්දෙ ආපු දිහා බැළුව. හා හින්නි මාම නෙව.

ඕ…. අපි අද තලප හදනො. ඔහෙත් එනවැයි.

අනේ පුතේ අද පන්සලේ පිරිත්මණ්ඩප්පෙ ගහනවනෙව. මං මේ එහේ යන්නෙයි කියල.

අඩ්ඩඩ්ඩා… අන්න ඊලඟට මං ආසම වැඩේ. හින්නි මාම කපන මල්කොළ දිගාරින එක. එයැයි ගාව නියන් මිටියක්ම තියෙනව එක එක හැඩේ මල් කපන්න. එක සීරුවට කොල නවල කපනව එක එක අතට හිල්. දිගාරිනකං හිතාගන්න බෑ එයැයි කැපුවෙ මොන මෝස්තරේද කියල. හරිම හැඩයි. ගොඩක් වෙලාවට එයැයි කපන සේරෝම දිගාරින්න කලිං මට නින්දගිහිල්ල. ආපහු උදේ වෙනකොට මෙන්න මාලිගාවක් වගේ හැඩ මණ්ඩප්පයක් තියෙනව. ඊට පස්සෙ තවත් වරුවක් විතර යනො ඉතුරු සුකුරුත්තං වැඩ අහවර වෙන්න. රෑට වටේට පොල් තෙල් පහන් පත්තුකරල මැද පැට්ටෝල් මැස් එක තියල ගත්තම දිවියලෝකෙත් මේවගේ වෙන්න ඇති කියල හිතෙනො.

හා එහෙනං අපි හෙට එන්නං ඔහේගෙ මණ්ඩප්පෙ බලන්න. දැං අපි යනෝ. අම්ම බලං ඇති.

එහෙම කියල ආපහු ආපු පාරෙන්ම ගෙදර එනෝ. ඉර බැහැපු හන්ද කරාබුගස් මණ්ඩියෙන් විගහට යන්න ඕන, නැත්නං සූ ගාල ඉන්න මදුරුවො කනව.

මෙච්චර වෙලා පුතණ්ඩියයි පුංචිඅම්මයි මක්කයි කලේ. ගහල වැව්වයි දළු කඩං එන්න මෙච්චර වෙලා ගීයේ ?

ආච්චි ඔහොම්ම මයි. එයැයිට තේරෙන්න නැද්ද මංද. මග දිගට කී දෙනෙක් එක්ක කතාකරන්න වෙනවැයි.

අන්න හින්නි මාම හෙට පිරිත් අහන්න එන්නෙයි කිව්ව ඔහේට, කියාගෙන මං වෙල් ගහල දළු මිටියත් අරං රිංගනව කුස්සියට.

අම්මෝ පුසුඹ. දර ලිපේ ගොජ ගොජ ගගා පැහෙනව මාළු හොද්දක්. මට ඉන්නම බෑ. මං එබෙනව ලිපට. ඒපාර හුමාලෙ වදිනවව මූනටම. මාළු ඔලු හතරකුයි තව කෑලියි හුමාලෙ අස්සෙන් යන්තං පේනව.

තිලේඅම්මේ කොඩිතුවක්කුත් දැම්මයි මෙකට.

ඕව් හතරක්ම ඇති. සීය කියලම ඉල්ලං ඇවිල තිබුන අපේ ගෙදර කොඩිතුවක්කු කන්න පෙරේත කොල්ලෙක් ඉන්නවැයි කියල.

මං කොඩිතුවක්කු කියන්නෙ මාළුවගෙ පීකුදු වලට. ඒක හරියට කාලතුවක්කුවක් උඩ බලං ඉන්නව වගේ. මට ඒකට කියන්නෙ කොඩිතුවක්කුයි කියල කියල දුන්නෙ තිලේඅම්ම වෙන්න ඕන. එයැයිට හරි අපූරු දේවල් තමයි හිතෙන්නෙ.

මට ඇසුත් ඕනෙ… මගෙන් තවත් ඉල්ලීමක්. මාළුවගෙ කොඩිතුවක්කුව ඇරුනම ඇස් වලට තමයි මං ආසම. හයිය ඇස් වික වික ඉන්න ඇහැකි ගොඩක් වෙලා. මාළු කන හැමදාම මගෙ පිඟානෙ පැත්තක අන්තිමට කන්න ඉතුරුකරගන්නව කොඩිතුවක්කුයි ඇසුයි.

මං මාළු හොද්දට ඇහැ ගහං ඉන්න වෙලාවෙ අම්මයි ආච්ච්යි වෙල් ගහල දළු ආනමයි, තලපයි හදල එවරයි. ඔන්න ඇතුල්පොතක දුං දම දම තියෙනව තද දුඹුරුපාට තලප ගුලි. තවත් බලං ඉන්නෙ අහවල් දේකටෙයි.

එන්න කන්නෝ………. මං බෙරිහං දෙනව.

කාටෙයි ඔය ආවඩන්නෙ. දැං මුළු ගමම එයි මෙතන සද්දෙට. ආයෙමත් ආච්චි.  බයවෙලාද කොහෙද එයැයිගෙ තලප ගුලියත් දෙන්න වෙයි කියල.

අඩියෙ සපත්තු මල් තියෙන බොකු‍ටු එනැමල් පිඟානට මං දාගන්නව දුං දම දම තියෙන තලප ගුලියකුයි මාළු බොර හොද්දයි. ආනම බෙදන්නෙ අම්ම තමයි. මොකෝ මං ආස නෑ ඒකට වැඩිය. ඒත් ඉතිං අම්මගෙන් බේරෙන්න ඇහැකිය. පුංචියට කඩාගෙන ගුලි කරගත්තු තලප ගුලියක් අස්සෙ ගහල මාළු හොද්දෙ දවටගත්තම ගත්තම ගහල දළු ආනමත් ගිලගන්න ඇහැකි. ඔය තලපෙ විකන්න එහෙම ඔට්‍ටු නෑ. විකුවොත් කට පුරාම ඇලිල මහ විනාසයක් තමයි වෙන්නෙ. ඔන්න ඔහොම  ගුලි කරකර අර ලොකු ගුලියකට මං වැඩේ දෙනව බුරිය උල් වෙනකන්ම. ඊලඟට නැහැමින් බෙදාගත්තු මාළු හොද්දෙ දියවෙලා තියෙන තලපත් එක සුරුස් ගාල එක උගුරට ඇදල දානව. ආයෙ ඉතිං ඇඟිල්ලක්වත් ගහන්න නෑ මගෙ බඩේ ඉඩක්.

මේක කියවලනං තලප හදන්න බෑ, මං මාළු හොද්දෙ අරුමෙ බල බල ඉන්න සුනංගුවට අම්ම තලප හදල අහවරයි නෙව. ඕනෙ නං මේ විදියට කන්න ඇහැකි. හදාගන්න කැමතිකෙනෙක් ඉන්නවනං මේන්න මේ කමු බොමු එකෙනුයි අරුණි අක්කගෙනුයි අහල බලන්නකො.

Advertisements

60 Responses to මාළු කොඩිතුවක්කුයි කුරක්කන් තලපයි

  1. ```Outsider``` says:

    නියම ලියවිල්ලක් නෙව. අපූරුවට රස වින්ද..

    කැමතියි

  2. Alchemiya says:

    අඩුවැඩි වශයෙන් මගෙත් පුංචි කාලෙ ජීවිත කතාව මේවගේ තමයි…..
    කොහොමත් ඉතිං අපි ඔහෙලා එක පලාතෙ උදවිය නොවැ…
    හැබැයි දුක ආප් පොඩි එවුන්ට ඒ වගේ සුන්දර කාලයක් නැති එක ගැනයි….
    මාව ආයෙම ඒ කාලෙ අතීතෙට ගෙනිච්ච ඔහෙට බොහොම ඉස්තුතියි හොඳේ…….

    කැමතියි

  3. දකුනේ හිත.... says:

    මමත් ආසම කෑමක් තමා තලප…තලප වගේම මෙ සටහනත් රස වින්දා….

    කැමතියි

  4. වැප් says:

    අපූරු බස් වහරක් මචෝ …. එක දිගට කියවං ගියා

    ආනම කියන්නේ මොකක්ද බන් …..?

    කැමතියි

  5. අනේ නවම් අයියේ මං තාම තලප කාලා නැහැනේ…

    කැමතියි

  6. මරුවටම ලියලා තියන්වා නවම් ..එල එල..

    කැමතියි

  7. මාරයාගේ හෝරාව... says:

    මං දන්න කොළඹ කිට්ටුව පන්සලක් තියේ..
    ආන්න එහෙ ලොකු හාමුදුරුවෝ පන්සලේ තියෙන දානයකට වරද්දන්නේ නැති එකක් තමා තලප ගුලි ටිකයි මුංඇට හොද්දයි…
    හොඳම හරිය තමා අනිත්මට ඉතිරිවෙන දිය වෙච්ච තලප හොදි සාරේ ඇඳලා අරින එක…

    කැමතියි

  8. තලප කාල නෑ නේ බොලේ….. පොඩි කාලේ පාඩම් පොත් වල නම් කියවලා තිබ්බා..ඒත් තාම කන්න චාන්ස් එකක් ආවේ නම් නෑ….

    කැමතියි

  9. නවම් says:

    ඉකේයිය බං. ලැජ්ජ නැද්ද මේ දෙනෝ දාහක් ඉන්න තැනක තලප කාල නැහැයි කියන්න.

    කැමතියි

  10. මාරම ආසයි දිගටම ලියවගෙන යන්න. හරියට ලක්ශ්මන් කහදගමගේ මහත්තයාගේ පොතක් කියවනවා වගේ. අයියත් පුලුවන් නම් පොතක් ලියන්න. ඒ තරමටම මේ කතා ටික ලස්සනයි.

    තිලේ අම්මා කියන්නේ කවුද ? ආච්චි අම්මද ?

    චූටි මැනිකේ ඇවිත් වෙන්ටෑ. නැත්නම් අයියා, පුතු පැටියා එක්ක ඔට්ටු වෙවී ඉන්නවනේ. දැන්වත් තේරුනාද චූටි මැනිකේ අක්කා කොච්චර දුකක් විදිනවද කියලා පුතු පැටියා එක්කලා. හි හි හි.මාසෙකට සැරයක් අක්කා ගාල්ලේ ගියොත් කොහොමට හිටීද ? 🙂

    කැමතියි

    • නවම් says:

      අනේ බං මලේ, මේ යන්තං මක්කවත් කුරු‍ටු ගෑවට පොත් ලියන එක සෙල්ලං වැඩක් නෙමෙයිනෙ. ඇසූ පිරූ තැන් තියෙන්නෙ එපැයි.

      තිලේ අම්ම කියන්නෙ පුංචි කාලෙ අම්මයි තාත්තයි ගාල්ලෙ ඉඳිද්දි හක්මන ආච්චිලගෙ ගෙදරදි මාව බලාගත්තු පුංචි අම්මල රොත්තෙන් මගේ ලඟින්ම උන්න පුංචිඅම්ම. මට කොච්චර ආදරේද කියනවනං අදටත් තිලේඅම්මගෙ දූල මට ඉරිසියා කරනව ඕං [විහිළුවට හොඳේ]

      ඔව් ඔව් එදා හැන්දෑවෙම චූටිමැණිකෙ ආව. නැත්නං මම පොඩ්ඩත් එක්ක බ්ලොග් ලියයි.

      කැමතියි

  11. වෙරංගා says:

    හම්මෝ…
    තලප.මතක් කරද්දිත් ආසයි.
    ඔන්න මම නම් පහුගිය දොහේ ඇති වෙන්නම කෑවා ගෙදර ගිහින් හිටි ටිකට.
    ගහල දලු නම් තාත්තා හොයන් ආවේ අමාරුවෙන්.ගහල දලු වෙනුවට පරිප්පු හොද්දක් එක්ක උනත් කන්න ඇහැකි නෙව.
    ඇයි නවම් අයියලා ආනමට රතු ලුනු,අමු මිරිස් ලියලා දාලා දෙහි ඩිංගිත්තක් කවලම් කරලා ගන්නේ නැතෙයි?

    කැමතියි

  12. nish says:

    තලපයි ඔය මුං ඇට වලින් හදන ආනමයි නම් මරු බන්. කොහෙ දැන් ඕවා කන්න නැහැ බන් දුක තමා

    කැමතියි

  13. sameera says:

    ayyandi math kala nam nae eeath kanta nam asai kohomahari hadagena hari kala balanna oni eeath api thALAPA KIYALA WENA MONAWATH HADAI DA DAN NAE

    කැමතියි

  14. dee says:

    තලප හපන්න බැරි ආනම එක්ක කන කොට.. හැපෙන දෙයක් කළවම් කොර ගත්තම හපන්න ඇහැකි.. මන් දවසක් තලප හපලා කෑවා මාළු හොදියි, පිපිඤ්ඤා සලාදයි එක්ක.. 😉

    අල කොළෙ මාළුව නම් ගිය සතියෙත් කෑවා..එදා අසමෝදගම් සම්බෝලෙත් තිබ්බා. මම කළමනා ගත්තෙ හම්බෙගමුව පොලෙන්, ඉව්වෙ නම් මම නෙමේ ඕන්!

    කැමතියි

  15. Ravi says:

    කුරක්කන් තලප මම කාල තියෙනව නවම්, අනුරාදපුරේට හැතැම්ම තිහක් හතලිහක් එහා තියෙන තන්තිරිමලේ පන්සලට ගියපු වෙලාවක අපෙ අප්පච්චි එක්කලා, එහෙ ලොකු හාමුදුරුවො තමයි දුන්නෙ,

    එහෙදි තලප කොටා බෑවෙ හැබැයි ගොඩ හොද්ද වගෙ නමක් තියෙන බොරයක් වාගෙ හොද්දක් එක්කල, හරියට මතක නැහැ බං සෑහෙන කාලෙකට කලියෙං නෙව, ඌරු මසුයි බඩ ඉරිඟු ඇටයි හොද්දෙ තිබුන නම් මතකයි ඔන්න,

    මොනව කොරන්නද, පූරුවෙ කරපු පව් වලට, උඹෙ විස්තරේ කියවල පාං කෑලි දෙකක් කෙලල ඇරිය පරිප්පු හොද්දකුත් එක්කල,කරුමේ, කරුමේ, වෙන අහවල් දෙයක්දෑ,

    කැමතියි

    • නවම් says:

      අයිත් අහල කරුමෙ නොවෙන්නං වෙන අහවල් මඟුලක් යැ. ගොඩ හොද්ද කියන්නෙ ලිපේ තියන්නෙ නැතුව හදන හොද්දකට, නිකං ඒක කිරි හොද්ද වගේ. ඔය කෑගල්ලෙ දිහාවෙ එහම හදනවයි කියල අපේ අම්ම දවසක් කිව්ව මතකයි, පුංචිඅම්මල රොත්තෙන් ගුරු පුංචි කෑගල්ලට කැන්දං ගිය ගුරු බාප්ප ඔය ගොඩහොද්ද හදන්න හරි දස්සයිලු.

      කැමතියි

      • අපේ පැත්තෙ මුං කිරිබත් හැදුවම කන්ඩ හදනව ගොඩ හොද්ද… ඒක හදන්නෙත් ලිපේ තියන්නෙ නැතුව තමා… හීං කොච්චි, රතුලූණු උම්බලකඩ ලුණු කැට මිරිස් ගලේ තියල හොඳට අඹරල ඒ තලපෙ අරන් වතුරෙ දියකරල පදමට දෙහි දාන එක තමා කරන්නෙ… තලප අපේ පෙම්බරයගෙත් ප්‍රියතම කෑමක්.. ගිය සතියෙ කුරහන් තලපයි පරිප්පු ආනමයි, මාලු හොද්දයි කෑව.. පොටොත් ගත්ත ලියන්ඩ කියල ඒ ගැන… හතරදිබ්බාගෙම මාලු කඩවල මාලුබඩ හෙව්වත් හම්බුන්නෑනෙව.. මක්කරන්ඩද ඉතිං.. පෙම්බරයගෙ දොලදුක තාම හරියට හිඳුනෙ නෑ ඒ හන්ද

        කැමතියි

  16. මට ඉරිසියයි………….. අනේ ඇත්තමයි තලප කන්න නම් හම්බ වෙලාම නෑ. දැන් ඉතින් බඩ පණුවො බොක්ෂින් ගහනවා.
    අම්මෝ හිතාගන්න පුලුවන් රස කොච්චරද කියලා. බොර මාළු හොද්දත් එක්ක ම්ම්ම්ම්ම්ම්ම්ම්………..

    කැමතියි

  17. නවම් says:

    ඔන්න අර වැව් මාළුබඩ බැදුමට රිටර්න් එක. මොකෝ කියන්නෙ ආයෙමත් මට රිටර්න් එකක් දෙන්න අදහසක් එහෙම තියනවද? එහෙම උනොත් ආයෙ මං අද වගේ සුළු අවි වලින් එහෙම නෙමෙයි ගහන්නෙ, කෙලින්ම මල්ටිබැරල් පලාතම වැනසිලා යන්න.

    කැමතියි

  18. Nasaraniya says:

    ආන්න කොල්ලෙක් ගමේ කෑමක් ගැන ලියල තියනවා දැක්කමද කොහෙද…
    තලප හදන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඒත් මට වඩා දන්න කෙනෙක් ඒක කියලා දෙයි කියල හිතන නිසා මම කට වහ ගන්නම්. තලප කොටාබාන්ට ඕනැ කොරන්නෙ දඩ මස් හොද්දයි මුං ඇට ආනමයි. කිවුවට මොකෝ ඈත රූණු රටේ හේන් පොජ්ජකට වෙලා ගිනි මැලයක් ගහගෙන අමු ඉරිඟු කරලක් ගින්නට දාලා බයිට් එක හදාගෙන ලාවට අනුමත වෙලා හීනියට අමරදේව මහත්තයගෙ සින්දුවක් කියලා ඔය කිවුව කුරහන් තලපෙ දෙසා බෑම තරම් ආතල් එකක් තවුතිසා දිවිය ලෝකෙත් නෑ කියලයි මට නම් හිතෙන්නෙ. (ඔතන දඩ මස කිවුවෙ ගෝනා හරි වල් ඌරා හරි තමයි. )

    අපේ සීයල තාත්තල නම් කියන්නෙ තලප කෑවට පස්සෙ ඉතුරු වෙන බොරේ මී හරක් බානකට වඩා වටිනවයි කියලයි.

    වැඩි කතා මක්කටෙයි?
    කොල්ලො උඹට ජය වේවා. අපි වාගෙ නසරානියො හමු නොවේවා……..

    කැමතියි

  19. එකම පාරක් කාල තියනවා .කෑවට පස්සේ වෙච්ච දේ මට කියන්න හිතෙන්නේ නෑ ..මට ඔය කුරක්කං ජීර්නය කරගන්න අමාරුයි . අපේ නංගි දවසක් ප්‍රායෝගික තාක්‍ෂණ විශයට ඔන්න ඔය තලපයක් හදන්න පුරුදු උනා . හැබැයි පැය ගානක් ඔට්ටු වෙලත් අම්මටයි නංගිටයි ඔය හදාපු අමුතුම අමුතු ද්‍රාවනය බෝලයක් කරගන්න බැරිඋනා .

    නවම් අයියගේ වචන වලට මම මාරම කැමතියි . මුල ඉඳලා අග වෙනකම්ම හිත එක දිගටම බැඳලා තියාගන්න පුලුවන් විදිහටයි නවම් අයියා ලියලා තියෙන්නේ . නවම් අයියා අන්තිමට ඔයිං එකක් කෑවේ කවදද ? චූටි මැනිකෙට බැරිද ඕව හදන්න .? කීවොත් හදලා දෙයි .

    හැලප නම් කාලා තියනවා ඔය කීව ඒවා නම් ජීවීතේටම එක පාරයි ..! කන්න ආසයි ඒත් බයයි .

    කැමතියි

    • නවම් says:

      ඔව් ඔව් මටත් ඔය සීන් එක තියෙනව, තලප විතරක් නෙමෙයි කුරක්කන් වලින් හදන ඕනම දෙයක් කෑවම. ඒත් ඉතිං ඔවයෙන් ඇහැක අපේ බඩජාරිකම නවත්තන්න.
      අන්තිමට මෙයින් එකක් කෑවෙ මගෙ හිතේ මීට අවුරුදු අටකට දහයකට විතර කලින් වෙන්න ඕන. චූටිමැණිකෙට පොඩ්ඩත් එක්ක මේ කෙලි කරන්න බෑ සඳරු දැම්ම. පස්සෙ බලමු. ඒත් මං හිතන්නෙ නෑ උන්දැ දන්නව කියල හදන්න.

      කැමතියි

  20. දුමී says:

    නියමයි, ඔන්න බලහන්කෝ, ජීවිතේටම තලප කාලා නැහනේ… විස්වාස කොරනවද ? තලප මොන රසද නවම් ? හබැයි අර කියලා තිබ්බ විදිහා නම් මාළු හොද්ද නම් ජාති ඇති….!

    නියම ලියමන…. සිරාම සිරා…!

    කැමතියි

  21. nihal gurusinghe says:

    කුරහන් තලප මං කාල තියෙනව. හැබැයි කිතුල් තලප වලට තමා වඩා ආස. කිතුල් තලප හපන්න බෑ. ඇලෙනව. හොද්දෙ පොඟවල ගිලින්න ඕන. මගේ ඊළඟ ලිපිය සමහර විට.. අපි කෑ දේවල් ගැන. අර ඇල්කෙමිය කියන්න වගෙ අපෙ දරුවන්ට ඒව කන්න වාසනාවකුත් නෑ. අපේ ගෑණු ඒව හදන්න දන්නෙත් නෑ.

    කැමතියි

  22. කෙරෝලක ඉදං කියවන්ඩ කියලා බැලුවේ. අපේ කුරුලු හමුදාවේ හිටිය ශැවොලියත් කතා කරන්නෙ ඔය උඔ ලියලා තියෙන විදිහටම තමා

    කැමතියි

  23. පින්ග්කිරීම: පැල මද කා දොදොලුත් හදා ඒ මදිවට හාවොත් ඇල්ලූ වගයි ! « නවම් මාවත

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: