නවම් මාවත ලියන එකා අවංක නැත. කොලේ වසා ගසයි !

මා කිසිවිටෙකත් ඔබට අවංක භාවයක් පෙන්වා නොමැත. මා එසේ වර්තමානයේ නොකලත් අනාගතයේදී හෝ එසේ ඔබ කෙරෙහි අවංක වේ යැයි සිතන්නේනම් ඔබ ඔබවම රවටා ගැනීමකි. සමාවෙන්න මා කෙදිනක හෝ කිසිවෙකුටවත් පූර්ණ ලෙස අවංක නොවෙමි. මා පමණක් නොව අන් කිසිවෙකුත් තවෙකෙකුට පූර්ණ අවංක භාවයක් පලකරන්නේ යැයි මම නොසිතමි. මාගේ කළු සුදු  ජීවිත අන්තයන් අතර බොහෝ විසල් කලාපයක් අළු පැහැයෙන් පිරී ඇත. මේ බාහිරෙන් පෙනෙන රූපය ඇතුලේ සිටින සාන්තුවරයෙකු හෝ යක්ෂයෙකු නොවන මා කිසිම විටෙක කිසිවෙකුට පූර්ණ ලෙස විවෘත නොවෙමි.  කිසිවෙකුට මා පූර්ණ ලෙස වටහා ගැනීමට සුළු හෝ ඉඩක් නොතබමි. වැරදීමකින් හෝ කිසිවෙකුට මාගේ සිතුවිළි කියවන්නට හෝ ඇතුලාන්තය දකින්නට හැකි වූයේනම් මා හිරගෙවල් හතක සිරකර දමනු ඇත්තේම ය. එහෙයින් මා පැලඳ සිටිනා වෙස් මූණෙන් සැබෑව සඟවා සිටිමි. දොරගුළු තදකරමි. එය මා උවමනාවෙන්ම කරන්නෙකි. එය මාගේ පැවැත්ම සඳහාමය. කිසිවෙකු ‍රැවටීමට ඉන් මා අදහස් නොකරමි.

මා සුන්දර මනුස්සයෙකු ලෙසම පමණක් ඔබ දකින්නේනම් රුචි වෙමි. කැරළි ගසන විප්ලව වාදියා කිසි වෙටෙකත් ඔබට හෙලි නොකිරීමට පරිස්සම් වෙමි. නිතොරින් මන්දස්මිතියක් ම පෙන්වමි. ඒ පණු කෝම්බ වූ දත් ඔබ කෙරෙන් වසන් කිරීමටය. දරාගත නොහැකි වේදනාවක් පැමිනිකල්හි අඳුරු ගුහාවට වැදී හඬමි. නැවතත් ඔබ දකින්නට පැමිනෙන්නේ කඳුලු වියැකුනු පසුව මිස ඊට පෙර නම් නොවේ. මා දුර්වලයෙකු බව පෙන්වීමට අකමැත්තෙමි. මිනිස් වනාන්තරයේ දුර්වලයන්ට පැවැත්මක් නැති වග මා අත්දැකීමෙන් උගෙන ඇත. ප්‍රත්‍යක්ෂකොට ඇත්තෙමි. එහෙයින් සැබෑ දුර්වලයෙකු වූ මා ඔබ සැම ඉදිරියේ “පොර” මැට්ටෙන් ශරීරය වසා ශක්තිවන්තයෙකු ලෙස නැඟී හිඳිමි. ශරීරයේ ඉහඳ පණුවන් නළියන වණ කැලැල් නොපෙනෙන්නට අඳිමි, පලඳිමි. ඉන් හමනා නහය හාරන දුගඳ නැසීමට සුවඳ ගල්වමි. කුණු වී ඕජස් ගලන ආධ්‍යාත්මය සුදු පිරුවටයකින් වසාගෙන ශාන්තු වරයෙකු ලෙසින් ඔබ ඉදිරියට පැමිනෙමි. ඒ සියල්ලම ඔබ සියල්ලන් අතර මාගේ පැවැත්ම තහවුරු කරගැනීම සඳහාමය.

ජීවිතයේ අනේක විධ කටයුතු රාජකාරි මැද, ඇතැම් විට ඒවා මඟහැර මම බ්ලොග් ලියමි. එහි සටහන් කරන්නේ මාගේ ජීවිතයේ සිදුවීම් ය. මතක තබා හැනීමට අවැසි සිදුවීම් ය. චණ්ඩිකම් ය. වැඩිපුර ලැජ්ජාවක් නොහිතෙනා පාරාජයන් ය, අහිමි වීම්ය. කොළුකම් ය. කිසිම විටෙක කළුවරේ දොර වහගෙන කරන දේවල් නොලියමි, අඳුරේ සැඟවා තැබීමට පරිස්සම් වූ කිසිවක් නොලියමි. කොටින්ම මාගේ ජීවිතයේ සිදුවූ, රෙද්දක් ඇඳන් කියන්නට බැරිවූ කිසිවක් මෙහි සටහන් කර නොතැබීමට පරිස්සම් වෙමි. ලියන්නේම මාගේ ප්‍රතිරූපය වර්ධයනය කෙරෙනා දේවල්මය. හාණි වන කිසිවෙක් ලියවෙන්නේම නැත. ඇතැම් විටෙක ආන්දෝලනාත්මක පෙලඹවීමක් ඇතිකරනා යමක් ඉඳ හිටෙක ලියවෙන්නට ඉඩක් නැත්තේ නැත. එයද මතුපිටින් බැලූ කල්හි සෘජු ලෙසම නොපෙනෙන, එනමුත් සැඟවූ යටි අරුතයකින් ප්‍රතිරූප වර්ධනය කරන්නන්මය. මාගේ සමාජීය ප්‍රතිරූපය එක අඟලකින් හෝ ඉහල නංවාගැනීමට මට නොදැනුවත්වම මා ක්‍රියාත්මක වෙමි. එය දලඹුවෙකුගේ ශරීරය පුරා ඇති විෂ ‍රැඳුනු සියුම් කෙඳි ‍රැස ඌ ආරක්ෂා කරනවා මෙන් මා ගොදුරු කර ගැනීමට බලා ඉන්නාවුන් ගෙන් ආරක්ෂා කරයි.

ඇතැම් විටෙක යමෙකුගේ විප්ලවකාරී අදහස් ඇති හෝ මට එකඟවිය නොහැකි කරුණු ඇති ලිපියක් කියෙවා හිතට නැ‍ඟෙන අවංකම හැඟීම ඊට යටින් සටහන් නොකරන්නෙමි. විටෙක සැර හොඳටම බාල කර හෝ සීනි දැවටූ පෙරුංකායං ගුලියක් වන් සටහනක් තබමි. ඒ කිසිවෙකුගේ හිත තැලීම මට තරම් නොවන්නේයැයි සිතෙනා බැවිනි. කිසිවෙකුගේ හරි වැරදි භාවය තීරණය කිරීමට මට අයිතියක් නැත. මට සමාජය හැදීමේ භාරදූර වගකීමක් නැත. එවන්, මට පාලනය කරගත නොහැකි වගකීමක් ගැනීමටද කිසිම අවශ්‍යතාවයක් හෝ උනන්දුවක් නැත. මම මගේ දරුවා හදාගනිමි. ඌ උගේ දරුවන් හදනු ඇත. මගේ සමාජ ශෝධනය එතනින් අහවරය. එනමුදු හිතුකොත් එකෙකු ඉඳහිට කොනිත්තමි, ඒ ඌ ආපසු හැරී මාව කොනිත්තන්නේ නැතැයි සිතුනොත් පමණි. ටොක්කක් ඇන්නත් පසුව හිස අතගාමි. එහෙත් යම් ලිපියකට තබනා සටහන පූර්ණ අවංක සටහනක් නොවෙන අවස්ථා ද නැත්තේ නොවේ. ඒ හැම විටෙකම ඒවා කඩු, කිණිසි නොවේ, හුදෙක් මල්, කඳුළු සහ සිනහවකි. එයින් ඔවුන්ට සතුටක් අත් වේනම් එයම මාගේ සතුටට හේතුවකි. මා එවන් ප්‍රතිසටහනක් මාගේ ලිපියක් යටින් සටහන් වී ඇතිබව දැකීම මට සතුටක් වන්නාසේම ඔබ ගේ සටහනකට යටින් ඔබගේ මතය හෝ ස්ථාවරය තහවුරු වන ප්‍රතිසටහනක් දැකීම ඔබටද සතුටක් වන බව දනිමි.

මම හිට්ස් වලට කෑදරය, කමෙන්ට්ස් වලය පණ ඇරලාය. මා මේ සියල්ල ලියන්නේ මා වෙනුවෙන් කියන්න ආසා මුත් ලැජ්ජාය. ඒ එම කතාවේ මා නොකියන දෙයක් ගැබ් වී ඇති බැවිනි. මෙය සත්‍ය වශයෙන්ම ලියන්නේ මා වෙනුවෙන්ම නම් මාගේ පෞද්ගලික මුද්‍රිත දිනපොතක ලියනු විනා මෙසේ අන්තර්ජාලීය සටහන් තබන්නේ නැත. එසේ තැබුවද එය පෞද්ගලික ලෙස තබාගන්නවා විනා සියල්ලන්ටම කියවීමට, සෙවුම්යන්ත්‍ර වලට හසුවීමට ඉඩ නොතබන්නෙමි. කමෙන්ට්ස් දැමිමට ඉඩක් නොතබමි, දිනකට වරක් හෝ බ්ලොග් ස්ටේටස් නොබලමි. වැරදිලා කවුරුන් හෝ තැබූ කමෙන්‍ටුවකට “ස්තූතියි” කියා හෝ ප්‍රතිචාරයක් තබන්නේ නැත. ලිපියක් ලිවීමේදී අනුන්ගේ පොස්ට් වලට ලින්ක්ස් දමන්නේ නැත. බ්ලොග් රෝල් දමන්නේ නැත. සින්ඩි වලට ඇතුලත් කරන්නේද නැත. බ්ලොග් එකට හිට් කවුන්ටර් දමන්නේ නැත. ප්‍රොෆයිල හදන්නේ නැත, ෆලෝවර්ස් ලා තියාගන්නේ නැත. එහෙයින් මා මෙය ලියන්නේ මා වෙනුවෙන්ම නොවේ. කියවනා සුළු හෝ පාඨකයන් උදෙසාද ඉන් කොටසක් වෙන්කෙරේ. තව තවත් පාඨකයක් පිරිසක් ඇතිකර ගැනීමය ආකර්ෂණීය පෝස්ට් ටොපික්ස් දමමි. වැඩි දෙනෙක් කියවන්නට රුචි වර්ගයේ ලිපි පල කරමි, එනමුත් ඉඳ හිටෙක කිසිවෙකු නොකියවනු ඇතැයි, කිසිම ප්‍රතිචාරයක් නොවැටෙනු ඇතැයි සිතුනත් මට යමක් ප්‍රකාශ කිරීමට තදින්ම අවැසි වූවොත් එවන් සටහනක් ද පලකිරීමට පසුබට නොවෙමි. කෙසේ වුවද මාස තුනක්වත් වයස නැති මගේ බ්ලොග් ඉතිහාසයේ එවන් අවශ්‍යතාවයක් තවමත් පැනනැඟී නොමැත.

මා මුදල් හම්බකරගෙන නැත, එමෙන්ම මිනිසුන්ද හම්බකරගෙන නැත. මා සමාජශීලී සත්වයෙක් නොවේ. මුළුගැන්වී සිටීමට කැමැත්තෙමි. ලෙහෙසියෙන් කෙනෙකු හා මිත්‍ර නොවෙමි. මම බොහෝ විට මා ආරක්ෂාකාරීය යන්න තහවුරු වී නැත්නම් කම්ෆර්ට් සෝන් එකෙන් පිටතට යාමට අකමැතිය. එසේ නමුදු දන්නා අඳුනන මිනිසුන් බොහෝමයක් ඇත. මා ඔවුන් මිතුරන් ලෙස හැඳින්වීමට අකමැත්තෙමි. ඒ මිතුරා යන්නට මාගේ අර්ථකතනය වෙනස් බැවිනි. දන්නා කියනවුන් හා මිතුරන් අතර මා වෙනසක් දකිමි. බොහෝ කලකකට පෙර දන්නා කියන උන් වී සිට පසුව මිතුරු වී මා හා එක පළලේ ලගින්නට ඉඩ දුන් කිහිප දෙනෙක් මට ඇත. නමුත් ඇතැම් විටෙක උනට මා අවැසි විටෙක මා උන් අහලකවත් නැත. එය උන් මාගෙන් බිඳවීමට තරම් හේතුවක් නොවන බව, මට උන් අවැසි සෑම විටෙකම මා අසල හිඳීමෙන් ඔප්පු කර ඇත.

මෙය මාගේ වර්තමානයේ ඔබ ඉදිරියේ විවෘත වියහැකි උපරිමය ය. මින් එහාට මා වටා ඇති කෝශයේ එකදු සිවියක්වත් නොගලවමි. එසේ වුවහොත් මා පිළිස්සී යනු ඇත.

කොටින්ම මා පෘතුග්ජනය !

Advertisements

51 Responses to නවම් මාවත ලියන එකා අවංක නැත. කොලේ වසා ගසයි !

  1. Taboo Subjects says:

    බාගයක් කියවගෙන ගිහින් ආපහු උඩට ගිහින් බැලුවා මා මේ මතක නැතිවෙලා වැරදීමකින් කියවන්නෙ මාම ලියපු බ්ලොග් සටහනක් නෙවෙයි කියල සහතික කර ගන්න. 🙂

    අප කාට වුණත් ප්‍රසිද්ධියේ ලිවිය හැකි දේ සීමිතයි. එතැනින් එහාට කරන උපකල්පන පාඨකයාගේ වැඩක්. නමුත් එයින් වංක භාවයක් අදහස් වේය මා සිතන්නේ නැහැ. වංක භාවය යනු උපන් දා සිට සාන්තුවරයකු සේ ජීවත් වීය යන බොරුවක් පවත්වා ගැනීම පමණයි.

    “නවම් මාවතේ මට හමුවූ පුංචි මිනිස්සු” සීරීස් එක නිහාල්ගෙන් පටන් අරගෙන කියන්ට අදහසක් සෑහෙන කාලයක සිට තියෙනවා. නමුත් කාර්යබහුලත්වය නිසා එය තව පමා වනු ඇති.

    – Taboo

    කැමතියි

    • නවම් says:

      මේක මට සෑහෙන කාලෙක ඉඳං කියන්න ඕන වුන දෙයක්. බ්ලොග් එක පටන්ගත්තු දවස් වලම ඉන්ට්‍රඩක්ෂන් එකක් විදියට දාන්න තමයි ලිව්වෙ. ඒත් පෝස්ට් කරන්න හිත් දුන්නෙම නෑ. මොකද මංද. සමහර විට මෙහෙම්ම අමුවෙන්ම ලිව්වොත් එදායින් පස්සෙ එකෙක්වත් බලන එකක් නෑ කියල හිතුනද දන්නෙ නෑ.

      මේ මෑතක ආපහු ඒක මතක් උනේ සමහරක් බ්ලොග් ලියන අය ශුද්ධවන්තයො වගේ ඉන්න හදන කෙලිය දැකල මට කැසිල්ලක් ආව හන්ද. එදා මේක ලියනකොට වැඩිය අද වෙනකොට ඩිංගක් හොඳට ලියන්න පුළුවන් නිසා සමහර කෑලි කපල කොටල තවත් ඒව ඇතුලත් කරල දැම්ම ඕන එකක් වෙන්න කියල.

      කැමතියි

  2. මාරයාගේ හෝරාව... says:

    මලක් නෙවෙයි මල් වට්ටියක් මෙතන තියලා යන්න විදියක් මට කියහං…

    කැමතියි

  3. nihal gurusinghe says:

    හු: මං හිතාන හිටියෙ මට විතරයි ලියන්න පුළුවන් කියල. දැන් බලං ගියාම මට වැඩිය හොඳට ලියන එවුන් ඉන්නවනෙ.
    ඇත්ත .. ටිකක් හංගල ලිව්වට වරදක් නැහැ.
    මා මේ බ්ලොග් ලෝකයට ඇද දැමූ එකාට සාප වේවා. මට මින් ගැලවිල්ලක් නැත. දැන් කමෙන්ට් කරන්ටත් සිදුවී තිබේ.

    කැමතියි

  4. වැප් says:

    මොකෑ බොල නවමෝ … මේ වෙලා තියෙන්නේ ….

    අඩා ටැබුවා නිහාල් කොහෙද බන් පොඩි මිනිහෙක් වෙන්නේ 😀 …..

    කැමතියි

    • Taboo Subjects says:

      නිහාල් පමණක් නොව එක්තරා අර්ථයකින් මහින්ද රාජපක්ෂද පොඩි මිනිහෙකි. මොවුන් පොඩි මිනිසුන් වන්නේ කවදාවත් ලොකුවට හිතන්ට බැරි නිසාය. නිහාල්ගේ ඔළුවට මහල් හතරකට උඩින් ඉන්නා මිනිසා නම් ලොකු මිනිහෙකි.

      මා නිහාල් දන්නා කාලයේ ඔහු ටී-ෂර්ට් ඇන්දේ නැත. ඉඳහිට සල්ලි ගත්තා මිසෙක කඩේ වෙන වැඩ කළේද නැත. අපට රෙස්ලිං මැච් බලන්ට ටීවී එකක්ද දා තිබුණේය.

      මා සති දෙකකට පෙර නවම් මාවතට ගිය වෙලේ දුටුවේ ටීවී එක අයින් කර ඇති බවය. ටී ෂර්ට් එකකින් සැරසුණු නිහාල් තේ හදමින් හිටියේය. මට නිහාල් ගැන ඇත්තටම දුක හිතුණේය. කවදා හෝ මහින්ද රාජපක්ෂ ගැනත් මට මෙසේ දුක හිතෙණු ඇතැයි සිතමි. මේ පුංචි මිනිස්සුය. කූඩැල්ලන් මෙට්ටේ තියන්ට බැරිය.

      – Taboo

      කැමතියි

      • වැප් says:

        ම්ම් දැන් නම් බුවා ඉඳ හිට එතන වාහන නවත්වන අයට සද්ද දානවා ……
        ඒ එක්කම මා දන්නා කල ඉඳන් ටිසර්ට් අඳිනවා …

        මං හිතන්නේ ඉක්මනින් ලිව්වා නම් හොඳයි ඒ කතා සිරියස් එක …..

        ටැබූ මහත්තයා, ඉතින් කොහෙන් ගියත් අන්තිමට ඉවර කරන්නේ අපේ මහින්ද මහත්තයාගෙන් නොවැ 😀

        ඔය මොක නැතත් නවම් මාවතේ කෙල්ලෝ ගැන ලියනවා නම් තමයි හොඳ …. කතා අම්බානක ඇති මයේ හිතේ ……

        කැමතියි

        • නවම් says:

          අන්න ලියනවනං මාතෘකාව, “නවම් මාවතේ කෙල්ලෝ” ඔතන ඉන්න සමගරක් කෙල්ලො ලස්සනට පාට කරපු ගූ මුට්ටියකට දෙවෙනි නෑ, ඩිංගක් ඇතුලට එබිල බැලුවොත් හරි බිඳුනොත් හරි පලාතම ගඳ ගහයි, ඒක බේරෙට අන්තයි. මටත් සෑහෙන කාලෙක ඉඳල හිතේ තියෙන්නෙ ලියන්න, ඒත් හිතෙන්නෙම නෑනෙ.

          කැමතියි

      • නවම් says:

        තේ හදනවනං මදෑ. දැං නිහාල් තමයි කොත්තු හදන්නෙත්. හැන්දෑවට අතුගාන්නෙත්. කඩේ ඉන්න ගෑණු දෙන්න ඌව මෝර කරන් ඌට ආතල් දිදී ඉන්නව. ඉතිං උන්ට පේන්න නිහාල් හෙන පොර ටෝක් පොර සයිස් දානව. හැබැයි වැරදිලාවත් නැවක් විතර සයිස් උගෙ පවුල කඩෙට ආපු දවසට නිහාල් මීක් නෑ. හූන වගේ කුස්සි කෑල්ලට වෙලා ඉන්නව. එදාට ඌ සෑහෙන්න පුංචි මිනිහෙක් !

        කැමතියි

    • නවම් says:

      නෑ බං. සෑහෙන්න කාලයක් තිස්සෙ කියන්න ඕන වෙච්ච එකක් අමාරුවෙන් තටමල තටමල කරුංක ගෙඩියක් දමාහත්ත. 😀

      කැමතියි

    • නවම් says:

      අයිත් අහල, ඊයෙ හැන්දෑවෙ ගෙදර යනගමන් මයිසිකලේ නවත්තල එස්.එස්.සී එක ලඟ වඩේ කරත්තෙන් ඉස්සො වඩේ කෑව. ඊට එහා හන්දියෙ මහසෝන උන්න නෙව ! 😀

      වැඩිය ගනං ගන්න එපා ඇල්කෙමියො, ඉඳල හිටල මට මෙහෙම මොලේ කුරුවල් වෙලා යන දේවල් හිතෙනව, මේ දවස් වල එහෙම හිතෙනව වැඩියිද මංද, මෙච්චරම නොවුනත් ලඟින් යන දේවල්මයි ඩ්‍රාෆ්ට් එකේ තියෙන්නෙ.

      කැමතියි

  5. Ravi says:

    නවම්, නවම්, නවම්,

    විවෘත වෙන්නෙ නැහැයි කිව්වට මීටත් වඩා මොන විවෘත්තයක්ද බං,ඔය කියල තියෙන්නෙ ඔක්කොම, අතුණුබහන් විතරයි එලියට ඇදල නැත්තෙ,

    / මෙය මාගේ වර්තමානයේ ඔබ ඉදිරියේ විවෘත වියහැකි උපරිමය ය /

    අප්පට සිරි, ඒ කියන්නෙ උඹ ඉස්සරහට මීටත් වඩා විවෘත වෙන්න හිතාගෙන ඉන්නවද? බයකුත් හිතෙනව බං ඇත්තටම,

    කැමතියි

  6. නවම්ට එරෙහිව නවම්,
    මටනම් හිතෙන්නේ මේක ඔයා ඇතුලේම තියෙන අරගලයක් කියලයි.

    කැමතියි

  7. බ්ලොග් ලියනකොට විතරක්ම නෙවේ අපි කොයිවෙලේත් ඔහොමයි නේද . අපි කාගෙත් ජීවිත සුපර් මෑන් ගේ තරම් ලස්සන නෑ . මටනම් ගෙදර අයගෙන් හංගන්න දේවල්ම සෑහෙන ගානක් තියනවා . මේ ලෝකේ ඉන්න මොකා උනත් 100% අවංක නෑ . කාටවත් 100% අවංක වෙන්නත් බෑ ! කවුරුහරි 100% අවංකවෙන්න යනවද ? එහෙනම් ඌ පිස්සෙක් .

    නවම් අයිය ලියපු හොඳම පෝස්ට් එක ..මම කැමතිම පෝස්ට් එක . මෙන්න මෙහෙමයි බ්ලොග් එකක් ලියන්නේ මම අද ලිවීම ගැන ඔයාගෙන් සෑහෙන දේවල් ඉගනගත්තා ..

    ජය වේවා !!

    කැමතියි

  8. මොකෑ නවම් අයියා සිද්ධ උනේ ? මුලින් මුලින් කියවගෙන යද්දි හිතුනේ ගාමිනි වියන්ගොඩ මහත්තයාගේ පරිවර්තනයකින් කෑල්ලක් උපුටා ගත්ත එකක් ද කියලා.

    පස්සේ තමයි මීටර් උනේ.

    “මා මුදල් හම්බකරගෙන නැත, එමෙන්ම මිනිසුන්ද හම්බකරගෙන නැත. මා සමාජශීලී සත්වයෙක් නොවේ.”

    ඕක නම් පට්ටපල් බොරුවක් !!! සල්ලි හම්බ කරගෙන නෑ. නමුත් මිනිස්සු හම්බ කරගෙන තියෙනවනේ. 🙂

    කැමතියි

  9. ඔයා මේක මොන අදහසකින් ලිවුවත් මට නම් කියන්න තියෙන්නෙ අපි කවුරුත් සුදු මිනිස්සුත් නෙමේ හැබැයි කලු මිනිස්සුත් නෙමේ. අපි ඔක්කොම අළු මිනිස්සු.

    කැමතියි

  10. ඔයාගේ විතරක් නෙමෙයි, මේ ලෝකේ ඉන්න හැමෝගෙම ඇතුලාන්තය ඔය වගේ තමයි. ලියලා තියෙන විදිහනම් ඉතාමත්ම අනර්ගයි…

    කැමතියි

  11. වෙරංගා says:

    අනේ මේ ඔහේ දොඩනවැයි??
    මෙයිට වඩා තවත් අවංක වෙන්නේ මක්කටෙයි ?
    මේක නෙව ඇත්ත…..:D

    කැමතියි

  12. යකෝ…..මේ මක්කා ලියලා තියෙන්නේ….හෙන සන්කීර්නයි නේ බොලේ..පරීක්ෂනයක ප්‍රතිඵලයක් වත් ද? දැන් මේ විවෘත වෙන්න එපා යකෝ…අඩු ගානේ ටවල් එකක් වත් ඇදගෙන හිටු..නැති නම් ඉකේයියා….

    කැමතියි

  13. මං උඹෙන් කිසි දෙයක් අහන්නේ නෑ… මොකද තෝ මට බොරුවක් කිව්වත් , ඇත්තක් කිව්වත් ඒක කොයි විදියද කියලා හොයාගන්න බැරි නිසා. ඒක නිසා..
    මන්දන්නේ නෑ බං මොනා ලියන්නද කියලා.

    උඹ අර උඹේ කොටහ තියාගෙන අපිට කියවන්න පුළුවන් , බෙදාගන්න පුළුවන් දෙයක් ලියපං… අපි ඉතිං දවසකට පාරක් හරි ඈවිත් යනවනේ…

    කැමතියි

    • නවම් says:

      ඔන්න බලහල්ලකො අපිට ඉඳල හිටල ආසාවටවත් නිදහසේ සංකීර්ණ වෙන්න ඉසක් නැති හැටි. බොලං ඒක මානව අයිතිවාසි කමක් !

      ගනං ගන්න එපා බං, ඉඳල හිටල පු‍ටුව රත්වෙනකං වාඩිවෙලා උන්නම ඔහොම කරප්ෂන් වෙනව. ඩිංගක් වෙලා නැගිටල මොලේට හුලං ඩිංගක් වදින්න එහේට මෙහේට ඇවිද්දම හරියනව. අනිද්ද දිහාට ආයෙ මේ පැත්තෙ එන්නකො

      කැමතියි

  14. dinesh says:

    ඇයි බං මේ….??මට තේරෙන්නෙ නෑ .ඔහෙ හිතට එන ,හිර කරගෙන ඉන්න බැරි ඕනෙ මඟුලක් ලියපන් මචං.අපි,අපිනෙ.ඔව් ඉතිං ඕනෙවට වැඩිය පුද්ගලික එව්ව ලියන්න ගියොත් අපි නිකං අපේම ** ඇර ගන්නව වාගෙ වෙනව.

    කැමතියි

  15. කෙටියෙන්ම අපි කලු සුදු මෑද අලු වෙමු..

    🙂

    කැමතියි

  16. h :-) says:

    නියම ලිවිල්ලක්… මේක පොඩි පොඩි වෙනස්කම් කරලා ඕන කෙනෙක්ට ඇප්ලයි කරන්න පුළුවන්. ජීවිතේ ස්ථාවර කියල දෙයක් ඇත්තෙත් නෑ බලාගෙන ගියාම. හැමදේ ගැනම අපි දරණ මතය අදාල කාරණේ අනුව වෙනස් වෙනවනේ. ඒ නිසා මම හෙන අවංකයි හෝ වංකයි කියන්න බෑ තමයි… අර කිව්ව වගේ අළු පාට කලාපයේ තමයි අපි හැමවෙලේම…

    කැමතියි

  17. නවම් මාවත ලියන කොල්ලට විතරක් නෙමෙයි, මේක හැමෝටම අදාලයි බං.
    ඕං තවත් මේ වගේ ඒවා ලියනව නෙමෙයි, පාරේ බැහැල යන්න පුළුවන් වෙන එකක් නෑ.

    කැමතියි

  18. chathu says:

    නියමයි… මැක්සා… මට හිතුනේ වැරදිලා වෙන බ්ලොග් එකකටවත් ගියාද කියලා. හැබැයි මට හිතෙන්නේ ඔය විවෘත වුනු ටිකත් වැඩියි කියලා… අනේ මන්දා !!!

    කැමතියි

  19. Suhani says:

    පෝස්ට් එකේ අන්තර්ගතේ ගැන කතා කරන්න ගත්තොත් නම් මෙතන ඉන්න ගොඩක් අය කියන දේවල් වලට මාත් එකඟ වෙනවා. අපි ජීවත් වෙන මේ කලු සුදු ලෝකෙ අපි හුඟක් අය අළු පාට තිත් තමා. ඒ වගේම මට කියන්න අවශය වුනේ නවම්ගේ ලේඛන හැකියාවනම් හරිම ඉහලයි. මම හරිම කැමතියි ඔයාගේ භාශා ශෛලියට. හැම වචනයකම පුදුම බලයක් මම දකිනවා…

    කැමතියි

  20. Anushka says:

    ඔනෑවට වඩා විවෘත වෙන්න ගිහින් හෙනට කෙලවගත්ත එකෙක් මං. ආයෙ නං ඔය ගොන් කං කරන්නෙ නෑ. විවෘත වෙන්න නෙමේ බං ඕනෙ ..ස්ථානෝචිත ප්‍රඥාව

    කැමතියි

  21. කලු මල්ලි says:

    සමහර වෙලාවට කොලේ වහන්න වෙනව..සමහර වෙලාවට ගහන්න වෙනව..තවත් වෙලාවට කොලෙත් වහල ගහන්නත් වෙනව..කොහොම උනත් මේ ව බලාගෙන …ලියාගෙන අපි අපිටම ගහගන්නව..අපි අපිවම ඉඹගන්නව…ජීවිතය තාම ජීවත් වෙනව….

    කැමතියි

  22. rmtj says:

    ”’. මා සමාජශීලී සත්වයෙක් නොවේ. මුළුගැන්වී සිටීමට කැමැත්තෙමි. ලෙහෙසියෙන් කෙනෙකු හා මිත්‍ර නොවෙමි. මම බොහෝ විට මා ආරක්ෂාකාරීය යන්න තහවුරු වී නැත්නම් කම්ෆර්ට් සෝන් එකෙන් පිටතට යාමට අකමැතිය. එසේ නමුදු දන්නා අඳුනන මිනිසුන් බොහෝමයක් ඇත.”’

    .are u okay with this.or do you regret about it.coz i hv da sm characteristics.n i am teenager.jst want to know abt ur opinion.
    sorry wenna one sinhalen type karanna bari unata.

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: