අසරණ දෙමාපියන්ද දරුවන්ද?

වැඩිහිටි නිවාසයක ඉන්න, පාරක් අයිනක අම්බලමක, වහල දාපු කඩපිලක එහෙමත් නැත්නං ගරා වැටෙන, දියසෙවෙල කාපු බිත්ති තියෙන ගෙදරකට වෙලා තනියම උයා පිහාගෙන කාල ලෙඩක් දුකක් හැදුනම තැනින් තැන කළු පුස් කාපු තුවායක් ඔළුවෙ පෙරවගෙන හැරමිටියක් ඇන ඇන ඉස්පිරිතාලෙ බෙහෙත් පෝලිමේ ඉන්න වයසක අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් දැක්කොත් අපි හැමෝටම මතක් වෙන්නෙ ඒ අය නොකා නොබී දුක් විඳල ලොකු මහත් කරපු දරුවන්. උන් වෙනුවෙන් අපේ හිත් වල තියෙන්නෙ, කාලකණ්නි දරුවො, පවු කාරයො, අම්මට තාත්තට සලකන්නෙ නැති මුඩුම හැත්ත වගේ අප්‍රසන්න වචන ගැබ් වෙච්ච සිතුවිලි පොදියක්. එහෙම දර්ශණයක් දැකපු වෙලාවට තමන්ගෙ අසල ඉන්න කෙනා අඳුරන්නෙ නැති උනත් එයා එක්ක අර අන්ත අසරණ මිනිස්සුන්ගෙ දරුවන්ට දෙස් තියන්න පටන් ගන්නව. ඔය කාරණාව වෙලාවකට මටත් පොදුයි. මිනිස්සු විදියට එහෙම හිතෙන එක වැ‍රැද්දක් නෙමෙයි.

ඒත් අපි කොයිම මොහොතක හරි ඇයි ඒ මිනිස්සුන්ට එහෙම උනේ කියල හිතල බලල තියෙනවද නිකමටවත්. ඒ හැම මොහොතකම අපි අසරණ වෙලා ඉන්න මිනිස්සු ගැන විතරක්ම හිතන්නෙ මිනිස් සිතුවිලි හැමතිස්සෙම වගේ ක්‍රියාත්මක වෙන්න බලන්නෙ හදවත ආශ්‍රය කරගෙන මිසක් බුද්ධිය ආශ්‍රිත කරගෙන නොවෙන නිසා කියලයි මට හිතෙන්නෙ [මෙතන හදවත සහ බුද්ධියේ ආධිපත්‍ය ගැටළුව තියෙනව]

මම දකින විදියට මිනිස්සු අසරණ වෙන්නෙ ඔවුන් අතීතයේ තනි තනි පුද්ගලයන් වශයෙන් යම් යම් අවස්ථාවල ගනිපු වැරදි තීරණ නිසා. ඒ වෙලාවෙ ගන්නා තීරණයේ පසු බලපෑම ඔවුන්ගේ වර්තමානයේ ඉඳල ගොඩක් ඈත තියෙන්නෙ. ඒක නිසාම දකින්න ගොඩක්ම අපහසුයි. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ටත් නොදැනීම ඔවුන් ඒ දිහාට ඇවිදන් යනව. එදාට අර තීරණයේ පසු බලපෑමට [ප්‍රතිඵලයට] ලක් වෙනව. ඒත් ප්‍රත්‍යයේ හේතුව දුර අතීතයේ සිද්ධවෙච්ච දෙයක් නිසා කිසිම කෙනෙකුට මතක නෑ. ඉතිං ඔවුන් දන්නෙ නෑ ඇයි තමන් අසරණ උනේ කියල.

දාහකුත් එකක් හේතු, මූලය වෙන මේවගේ  ගැටළුවලින් එකක් විතරක් එලියට අරං උදාහරණයක් විදියට ඒකයි ඊට යටින් ප්‍රශ්ණ් තුනකුයි සටහන් කරන්නම්.

චූටි මැණිකෙගෙ ටිකක් දුරින් නෑදෑවෙන සහෝදරියක් අපි දැනට තාවකාලිකව පදිංචිවෙලා ඉන්න ගෙවල් කිට්‍ටුව ඉන්නව. ඒ පවුලට අවුරුදු දෙකක් විතර වෙන පුතෙකුත් ඉන්නව. මේ දරුව බලාගන්න කියල ගමේ ඉඳල අම්මත් ඇවිල්ල ඉන්නව. හැබැයි තාත්ත තට්ට තනියම ගමේ ගෙදරට වෙලා තනියම උයාගෙන පිහාගෙන කාල ඉන්නව. අසනීපයක් හැදුනොත් තනියම ඉස්පිරිතාලෙට යනව. ඔන්න ඔහොමයි ඒ ජීවිත ගතවෙලා යන්නෙ.

මේ ලඟකදි දවසක කට්ටිය සේරම අපේ ගෙදර ආව පුතුපැටිය බලල යන්න. එදා අර අක්කගෙ තාත්තත් ඇවිල්ල උන්න. මම විස්තරේ දැනං උන්න නිසා ඒ තාත්තගෙන් ඇහුව “තාත්ත ඇයි තනියම ගමට වෙලා ඉන්නෙ, අම්මත් මෙහේ නිසා ගමේ ගෙවල් දොරවල් විකුනල දාල මෙහේට වෙලා ඉන්න පුළුවන් නේ” කියල

මම මොකටද කාගෙවත් ගෙදරක ඉන්නෙ, මම හදාගනිපු ගෙවල් දොරවල් තියෙද්දි, මට මහේ වැඩ පල තනියම කරගන්න තාම ඇහැකි.  ඔන්න ඕක තමයි ඒ තාත්ත කිව්වෙ.

මම හොඳටම දන්නව අර අක්කටයි අයියටයි කවදාවත් ආයෙම ගමට යන්න බෑ කියල කරන රස්සවල්වල හැටියට, අනික තව අවුරුදු කීපයකින් පොඩි එකා ඉස්කෝලෙකට දැම්මම ආයෙත් හෙල්ලුම් බොරු.

දැං අර මම උඩින්ම ලියාපු ඉස්පිරිතාලෙ බෙහෙත් පෝලිමේ තට්ට තනියම ඉන්න තාත්ත මේ තාත්ත උනානම් කවුද වැරදි,

දරුවොද ?

තාත්තද ?

එහෙමත් නැත්නම් ඒ අයගෙ තීරණද ?

සමහර විටෙක ඒක වැඩිහිටි පරම්පරාව සහ දූදරු පරම්මරාව අතර තියෙන මත ගැ‍ටුම නිසාම ඇති වෙච්ච දෙයක් වෙන්න පුළුවන්. ඒ තාත්ත, බෑන කෙනෙක් යටතේ ජීවත් වෙන්න අකමැති ඇති, තමන්ගේ කාලය අවසන් වේගෙන එනව කියල තේරුම් ගිහිල්ල නැතුව ඇති.

මේ ගැන කියවන ඔබ සැමට තම තමන්ගේ මත ඇති. මම කැමතියි ඒ හැම දෙයක්ම අහන්න, කියවන්න. එතකොට මට ඒ දේවල් උදව් වේවි ප්‍රශ්ණයක් දිහා විවිධ පැති වලින් බලන්න, සමහරවිට ඒකම මෙච්චර කල් මම ලෝකය දිහා බලන්න පාවිච්චි කරපු කණ්නාඩි දෙක මාරුකරන්න කාලය් හරි කියල හිතෙන්නත් පුළුවන්. ඒක නිසා ඉඩක් තියෙනවනම් අදහසක් තියල යන්න. [අමතක කරන්න එපා මේක බොහෝම සංවේදී ඉසව්වක්]

paarak ayinaka ambalamaka, wahala dhaapu kadapilaka
Advertisements

27 Responses to අසරණ දෙමාපියන්ද දරුවන්ද?

  1. budhajeewa says:

    ඒ උනාට ඕක ජනප්‍රිය හේතුව නෙවෙයි, ඕව කියන්න නැහැදිච්ච හැත්ත. සමාජයට ඕන අපි හරි, අපිට පස්සෙ එන හැම එකාම වැරදි, උං ඇව්ල්ලා මේක විනාස කරලා දානවා, සංස්කෘතිය – සදාචාරය – සභ්‍යත්වය – අරක – මේක.

    “පින්වතුනි බලන්න, අද සමාජය ඉතාම පරිහානියට පත් වෙලා, එදා තිබුනු සාරධර්ම අද තරුණ පරම්පරාව ළඟ නෑ. බ්‍ලා බ්‍ලා බ්‍ලා…” කියල හැම හාමුදුරු කෙනෙක්ම බණ කියන්න පටං ගන්නේ අපි හරි, අලුත් එවුං වැරදි කියල අහන්න මේ සමාජේ තියන ඉල්ලුමට සැපයුම දෙන්න.

    කැමතියි

  2. ```Outsider``` says:

    හරි වැරැද්ද මොක වුණත් මම තාත්තගෙ තීරණේට එකඟයි. තමන්ට තමන්ගෙ වැඩ කරගන්න පුඵවන් තාක් කල් ස්වාධීනව දරුවන්නට වුණත් කරදරයක් නොවන ලෙස නිදහසේ ඉන්න එක හොඳයි. බැරිම අවස්ථාවක විතරක් දරුවන්ගෙ පිහිට ලැබුණම ඇති.

    කැමතියි

  3. වැරදි දෙගොල්ලො ගාවම තියෙනවා. අපේ බාප්පගෙ නෝනා හුඟක් කාලෙකට කලින් නැති උනා. එයාලට හිටියෙ එක පිරිමි දරුවයි. එයා හුඟක් ඉහලට ඉගෙන ගත්තා. ගෙදර හිටියෙ බාප්පයි එයාගෙ පුතයි විතරයි. එයාගෙ පුතා බඳින්න යද්දි අපි හුඟක් සතුටු උනා බාප්පා දැන් තනි වෙන්නෙ නෑ කියලා. ඒත් රැකියාවෙ ප්‍රශ්න නිසා ඒ අය්යට ගමේ ඉන්න බෑ. කොළඹ රස්සාව කරන්නෙ. බාප්පා කොලඹ යන්න කැමති නෑ ගේ පාලුවට යනවා කියලා. එයා කියන්නෙ මේ මගේ ගෙදර මම දුක් විඳල හදා ගත්ත ගෙදර දාල යන්න බෑ කියලා. අනේ මන්ද බාප්පා ඉස්සරටත් වැඩිය තනිවෙලා. තට්ට තනියම ගෙදරට වෙලා ඉන්නවා පුතා බලන්න එනකල්. ඒ අය්යටත් හැමදාම නිවාඩුත් නෑ. තිබුනත් දරුවොන්ගෙ වැඩ හන්ද හැම නිවාඩුවකටම යන්නත් බෑ. අනේ මන්ද. මේ ප්‍රශ්නෙදි කවුරුත් හරිත් නෑ. කවුරුත් වැරදිත් නෑ.

    කැමතියි

  4. මේකට මට තියෙන අත්දැකීම තමයි අපේ ආච්චි.. කී පාරක් අපේ ගෙදරට ගෙනාවත් මාසයක් වත් ඉන්නැතුව ආපහු යන්නෙ නවම් කියල තියෙන හේතුත් කියන ගමන්. Outsider කියන කතාවත් ඇත්ත. දරුවන්ට බරක් නොවී ඉන්න එකත් සාධාරණයි. නමුත් දුර්වල වෙලා ඉන්න කාලෙදි එහෙම දෙයක් කියන එක සාධාරණ නෑ නේද.

    කවුද කිව්ව කතාවක්.. දැන් බණ වලට කියන්නෙ දානෙ ආනිසංසයි, දෙමාපියන්ට නොසැලකීමයි දායක සභාව ගැනයි විතරයි කියල. මටනම් ඒක තාම බොරු කරන්න ලැබුන්නෑ.

    කැමතියි

  5. dinesh says:

    දෙමවුපියන්ට සැලකීම දරුවන්ගේ යුතුකමක්.දරුවන්ගෙ වැඩ නිසා එයාල අපහසුතාවයට පත් කිරීම මම කොහොමටවත් අනුමත කරන්නෙ නෑ.දෙන්නම වැඩට යන තැනකනම් ළමයි හදපුවාම බලා ගන්න කෙනෙක් නැත්තන් ළමයි නොහද ඉන්න ඕනෙ.නැත්තන් අම්ම ගෙදර නවතින්න ඕනෙ.එහෙමත් නැත්තන් සර්වන්ට් කෙනෙක් ගන්න ඕනෙ.කොහොම හරි බැන්දට පස්සෙ තමන්ගෙ ප්‍රශ්න තමන් බලා ගන්න ඕනෙ.එහෙම නැතුව අර අසරණ දෙමවුපියන්ට කරදර කරණ එක අසාධාරනයි.

    මෙතන වැ‍රැද්ද තියෙන්නෙ අපේ රටේ.තියන කාර්යාල ටික ඔක්කොම තියෙන්නෙ කොලඹ. 90% ක් විතර ‍රැකියා ප්‍රධාන නගරවලට මධ්‍ය ගතවෙලා.කුරුණෑගල දිහා ඉන්න කෙනෙකුට උනත් උදේ හවස යන්න එන්න බෑ.ඉතිං එයත් කොලඹ කොහෙ හරි නවතින්න ඕනෙ.දුර වැඩිකම නෙමෙයි නිසි මාර්ග පද්ධතියක් නැති කම.දියුණුරටවල මේ හැමෝම යන්නෙ එන්නෙ තම තමන්ගෙ ගෙවල්වල ඉඳල.සමහරවිට වැඩ කරණ තැනට ගෙදර ඉඳල 300km ක් විතර තියනවා.ඒ උනාට ගමනට යන්නෙ විනාඩි 45යි.එහෙම නැත්තන් තමන්ට ලඟම ස්ථානයේ සේවා පහසුකම් සලසල දෙනවා.අපි හිතමු අපි ඈතක ඉන්නකොට අර විදියට ගෙදරක තනිවෙලා ඉන්න අම්ම තාත්ත දෙන්න අසනීප උනා කියල.එක දුරකතන ඇමතුමකින් කිසිම අමතර ගෙවීමකින් තොරව ඇම්බියුලන්ස් එක ගෙදරට එනවනම් ,බෙහෙත් ගන්න ස්පිරිතාල වල පෝළිමේ ඉන්න ඕනෙ නැත්තම්,දරුවන්ට කරදරේකුත් නෑ.දෙමවුපියන්ට දුකකුත් නෑ.ඉතිං මෙහෙම තත්වෙකට එන තාක් දෙගොල්ලටම දුක තමා.

    කැමතියි

  6. Anushka says:

    මේක හරි සංවේදී මාතෘකාවක් තමයි. මෙතනදි කවුද හරි කවුද වැරදි කියන්න කාටවත් බෑ. පුලුවන් කම තියාගෙනත් අම්ම තාත්තට සලකන්නෙ නැති උන් ගැන ඉතින් කතා කරන්න දෙයක් නෑ. නමුත් අර කියනව වගේ රැකියාව වගේ හේතු කාරනා නිසා ඇත්තටම වුවමනාව තිබ්බත් කරන්න දෙයක් නෑ.ඒක ඉතින් රටේ කරුමෙ. සියල්ලටම ඉතින් කොලොම්බෝ වුනාට පසු ඕක තමයි වෙන්නෙ.

    කැමතියි

  7. මට කියන්න දෙයක් හිතෙන්නේ නැහැ. මොකද මම ඇත්තටම එහෙම තාත්තා කෙනෙක් අම්ම කෙනෙක් දැක්කොත් මට ඈතිවෙන්නේ.. මේ අම්මා හරි තාත්තා හරි පවු කියන හැඟිම විතරයි. ඒ ඈරෙන්න එයාලගේ වටේ පිටේ දේවල් ගැන කිසිම දෙයක් හිතෙන්නේ නෑ. නවම් අයියා කියනකම් මට ඒ වගක් කවදාවත් හිතුනේ නෑ… ඒත් මම නම් දකින්නේ.. එයාලට උදව්වක් අවශ්‍ය වෙලාවට එයාලගේ දරුවෝ ගැන බල බල ඉන්නේ නැතුව අපිට උදව් කරනවනම් තමා හොඳ කියලා.

    මං දන්නේ නෑ මට හිතුන හැටි..

    කැමතියි

    • නවම් says:

      ඒක තමයි ගෝල්ඩ් ‍ෆිශ් මල්ලි, ජීවිතේ, සමාජය අපි දකිනවට වඩා හරිම සංකීර්ණයි. කිසිම වෙලාවක කිසිම දෙයක් දැක්ක පමණින් නිගමනයකට එලඹෙන්න නරකයි. මොකද ගොඩක් සමාජීය ගැටළු හරියට මූදේ පාවෙන අයිස් පර්වතයක් වගේ. මතුපිටට පේන්නෙ බොහෝම සුළු කොටසයි. හැම දෙයක් ගැනම සාධාරණව බැලුවොත් පොඩ්ඩක් හරි වැටහීමක් ලබාගන්න පුළුවන්. ඕක හන්දම මම මිනිස්සු විනිශ්චයකරන එක නවත්තල ටිකක් කල්.

      කැමතියි

  8. ඉතාම කාලෝචිත ලිපියක්… සහ බ්ලොග් අවකාශයට අවශ්‍ය හොඳ දැක්මක්… ඉස්සෙල්ලාම ස්තූතියි…

    මේ සිද්දිය ඈත්තෙන්ම කොහෙවත් ඉරි ගසා වෙන් කරන්නට බෑරි , තියරි නෑති ඒත් ප්‍රායෝගික සහ පුද්ගල බද්ධ වාතාවරනයක් නේද?

    දරුවන්වත්, දෙමාපියන්වත් වෑරදි නෑ. හරිත් නෑ. ඒත් ඒ ඒ පවුල් ඒ ඒ අය සඳහා ගෝචරම ප්‍රායෝගිකම විසඳුම (සමාජ සම්ම්මතය කියන පටු රාමුව බෑහෑර කොට) තමන් විසින්ම සොයා ගෑනීම , ප්‍රායෝගිකව සිතීම, යා හෑකි ප්‍රායෝගික විසඳුම සමග නම්‍යශීලී වීම මත කුටුම්භ ප්‍රශ්න බොහෝ දුරට සමනය කර ගත හෑකියි නේද.. දරුවන් දෙමාපියන් ගෑන මෙන්ම දෙමාපියන් දරුවන් ගෑනද මේ නම්‍යශීලිත්වය තිබිය යුතුයි නේද ?

    ලෝක සම්මතය කියා දෙයක් වෙනුවට මිනිස්සුන් ප්‍රායෝගිකව හිතනවනම් කොච්චර හොඳද නේද?

    කැමතියි

  9. LANKAPRIYA says:

    ඔය ප්‍රශ්නේ ඔයිට වැඩ සංකීර්ණයි. දරුවන්ගේ දරුවන් නිසා දෙමවුපියන්ගේ ගැන බැලීම අතපසුවීම ස්වභාවිකව වෙන දෙයක්.. එකට දෙගොල්ලෝ ජීවත් වෙන දුර ප්‍රමාණයත් බලපාන්න පුළුවන්.. සමරහර වෙලාවට ආර්ථිකය ඔය හැම එකටම වැඩියෙන් බලපානවා. අපේ අම්මයි තාත්තයි කවදාවත් මහ ගෙදරින් පිට ඉන්න කැමති වුනේ නෑ.. ඉතින් හැමදාම මල්ලි තමයි එකට හිටියේ. අපි කොයිතරම උත්සහ කලත් අම්ම හරි තාත්ත හරි දවස් දෙක තුනකට වැඩිය අපේ ගෙවල්වල නවතින්නේ නෑ. හැබැයි අපි අම්මය් තාත්තයි ජීවත් වෙනතුරාවට ඒ අයට සැලකුවා. බැරි වුනේ හිතු හිතු වෙලාවට ඒ අය ළඟ ඉන්න විතරයි.. ඊට පස්සේ ආර්ථිකය නිසා රට යනවා. දෙමවුපියෝ තවත් දුරස් වෙනවා.. මගේ බ්ලොගේ තාත්ත ගැන ලියල තියෙන කතාව බලන්නකෝ .. අපි ඒ ටික පවා විඳවනවා ඒ අය ගියාට පස්සේ..
    සමහර වෙලාවට තමුන්ගේ සහකාරය හරි සහකාරී හරි සමග එකට ජීවත් වීම සඳහා දෙමවුපියන් බිලිවෙනවා.. බොහොමයක් තමුන්ගේ දෙමාපියන් ගැන විතරක් සලකල මිනිහගේ හරි ගෑනීගේ හරි දෙමවුපියන්ට සලකන එකට අකුල් හෙළනවා. නොයෙකුත් හේතු හොයාගෙන එක සාධාරණීකරණය කරනවා. මෙහෙම කරන ස්ත්‍රී සහ පුරුෂ දෙපක්ෂයේම අය මම දන්නවා.. මුලිකවම හේතු පාදක වෙන්නේ අපි මේ නොනවත්වා දුවන රේස් එක කියල ඔහොම බැලුවම තීරණය කරන්න වෙනවා. ආණ්ඩු කඩාගෙන ඉලක්ක කර දුවන්න ගියාම මග තියෙන දේවල් ඔක්කොම නොපෙනී යනවා..

    කැමතියි

    • නවම් says:

      ඔව් මමත් පිලිගන්නව රේස් එක තමයි මේ හැම දේකටම මුල කියල. ඒත් අතරමඟ රේස් එකෙන් නැවතිලා ඊට පස්සෙන් දුවන් ආපු උන්ට යට වෙලා පෑගිලා මැරිල යන්න කැමති එකෙක් වත් හොයාගන්න බෑ. ඒ තරමටම රේස් එක ජීවිතත් එක්ක බද්ධ වෙලා. අපි අද රේස් දුවනව වගේම අපිට ඉස්සෙල පරම්පරාවත් දිව්වෙත් එක විදියක රේස් එකක්.

      කැමතියි

  10. මාරයාගේ හෝරාව... says:

    නවම් උඹත් දරුවෙක්ගේ තාත්තා කෙනෙක්නේ..
    තව ටික දවසකින් උඹ ඒ දරුවව දානවා රේස් එකට..ඊට පස්සේ ඒ රේස් එකේම දුවවනවා..අන්තිමට අර දරුවා ඒක දුවන්නම එපැයි..දීර්ඝ කාලයක් දරුවව රේස් එකට පුරුදු කරලා දවසක් එනවා අනේ ඒ රේස් එකට නොදැම්මනං කියලා හිතෙන..

    දරුවන්ගේ දියුණුව අධ්‍යාපනය කියන තැනනේ අපි දැන් ඉන්නේ. ඉතිං ඒ දියුණුව උපරිම දෙන්න ට්‍රයි කරලා අන්තිමට දරුවා අපි ගාව තියා ගන්න හදන එකේ කිසිම සාධාරණත්වයක් මං දකින්නේ නැහැ.
    ඒකා යන්නේ ඒකාට උඹලා පුරුදු කරපු පාරේ..ඒ තවත් එක මැෂින් එකක් විතරයි.
    හැමදාම ඒ මැෂින් එක පාලනය කරන්න උඹට බැහැ. ඒක තමන්ට හුරු කල පාරේ නොනවත්වාම ගමනක් යනවා.
    අනිත්මට උඹලටත් වෙන්නේ ඕකමයි..අද ඔය රේස් එකේ දුවන හුගාක් අයට වෙන්නේ ඒකයි. අනික උඹලා හැමෝම ඒ දරුවාගේ ළමා කාලය උදුරගත්ත පරම්පරාවක්…
    නිකමටවත් දරුවාගේ පැත්තෙන් උඹලා කවුරුවත්ම හිතන්නේ නැහැ.
    උඹලා කරන්නේ උඹලා දකින කණ්නාඩියෙන්ම ලෝකය දකින්න උන්ට හුරු කරන එක..
    නිකමටවත් උංට උංගේ කණ්නාඩියකින් ලෝකය දකින්න උඹලා දෙන්නේ නැහැ..ඉතිං උං ඒ ගමන යයි..දවසක උඹලත් තනි වෙයි…
    එදාට තේරුම් ගනිල්ලා දරුවන් අත කිසි වරදක් නැත කියලා.
    දරුවන්ගේ ළමා කාලය නවීන ලොකයේ අවශ්‍යතා මතයයැයි කියලා විනාස කරලා දාන හැම දෙමාපියෙකුටම අයිති වෙන අවසාන ප්‍රතිඵලය තමයි ඔය..
    එකම දේ ඒකටත් සූදානං වෙයල්ලා..ළමයාව රොකට් එකක් කලානං උඹලා පොලොවේ තනිවෙන්න හිත හදාගනිල්ලා.
    මොකක් හරි පූරුවේ පිනක් තිබිලා දරුවෝ උඹලාට සැලකුවොත්..උඔලා ලගම රැදුනොත් ඒ උඹලාගේ පෙර පින් හින්දයි..

    මං මෙතනදී නවම් උඹවම අරගෙන කතා කලේ හරියටම තත්වේ තේරෙන්න කතා කරන්න ඕන නිසයි එහෙම නැතිව උඹවත් සූත්‍රයට ආදේශ කරන්න නෙවෙයි..
    ඒත් උඹට උනත් පුළුවන් සූත්‍රයට ආදේශ වෙලා…උත්තරය ලබා ගන්න.
    දරුවන් උඹලාගේ..අනාගතය උන්ගේ..තීරණය උඹලා අතේ…

    අඩියක් හරි පස්සට යන්න ලෑස්තිද..?

    කැමතියි

    • නවම් says:

      ඔව් ඒක එහෙම තමයි මාරයො. අපේ පරම්පරාව රේස් එකට දැම්මෙ අපිට කලින් පරම්පරාව. ඉස්සෙල්ල “අපේ පුතා අපේ දුව රාජකාරි කරන්නෙ අග නුවර අන්න අර ලොකු කොම්පැනියෙ” කියල සන්තෝස වෙච්ච ඒ පරම්පරාව එතනින් එහාට නොහිතන එකේ වැ‍රැද්ද තමයි මේ වෙලා තියෙන්නෙ.

      ඒක නිසා තමයි මම කිව්වෙ

      “මම දකින විදියට මිනිස්සු අසරණ වෙන්නෙ ඔවුන් අතීතයේ තනි තනි පුද්ගලයන් වශයෙන් යම් යම් අවස්ථාවල ගනිපු වැරදි තීරණ නිසා. ඒ වෙලාවෙ ගන්නා තීරණයේ පසු බලපෑම ඔවුන්ගේ වර්තමානයේ ඉඳල ගොඩක් ඈත තියෙන්නෙ. ඒක නිසාම දකින්න ගොඩක්ම අපහසුයි. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඔවුන්ටත් නොදැනීම ඔවුන් ඒ දිහාට ඇවිදන් යනව. එදාට අර තීරණයේ පසු බලපෑමට [ප්‍රතිඵලයට] ලක් වෙනව. ඒත් ප්‍රත්‍යයේ හේතුව දුර අතීතයේ සිද්ධවෙච්ච දෙයක් නිසා කිසිම කෙනෙකුට මතක නෑ. ඉතිං ඔවුන් දන්නෙ නෑ ඇයි තමන් අසරණ උනේ කියල.”

      කොයිම මොහොතක හරි මේ අද විඳින්නෙ තමන් වපුරපු දේවල් වලම අස්වැන්න කියල තේරුම් ගන්නවනං ඔය ගැ‍ටුම තරමක් දුරකටහරි සමනයකට පත් වෙයි. ඒ වෙනකන් ඔය තත්වය වෙන්ස් නොවී පවතියි.

      මේ ගැටළුවට විසඳුමක් තියෙන්නෙ අන්න ඒ අවබෝධය මත කියල මට හිතෙන නිසා මගේ එකත් කවදහරි රේස් එකේ දිව්වත් මං ඌත් එක්ක ඌට හයියක් වෙන්න බලං ඉන්නව මිසක් උගෙ පිටේ බැඳපු ගලක් නොවෙන්න උපරිම උත්සාහය ගන්නව. මොකද මමයි ඌව හැදුවෙ. එහෙම නැතුව උගේ උවමනාවට මේ ලෝකෙට ආව නෙමෙයිනෙ. ඒ වෙනකොට මම මගේ කාලෙ ගතකරල ඉවරයි. එතනින් එහාට තියෙන්නෙ උගේ කාලෙ. ඉතිං ඇයි මං ඌට දැන දැනම හිත් වේදනාවක් දෙන්නෙ. කොයිම මොහොතකවත් ලෝකෙ ආපස්සට කැරකෙන්නෙ නෑ.

      එහම උනොත් ඌට අවංකවම හිතෙන නිසා මිසක් යුතුකම කියන සෙක්කුවේ බැඳිල ඌ මාත් එක්ක ඉන්න එකක් නෑ. සමාජ සම්මතය නිසා මාත් එක්ක ඉන්න එකක් නෑ. මං ඒ දවස එනකන් අත් දෙක බැඳං බලන් ඉන්නෙත් නෑ. ඒ අතරෙ මට තව සෑහෙන්න වැඩ කොටසක් තියනව කරන්න.

      කැමතියි

  11. සමහර වෙලාවට දෙමව්පියන්ගේ තීරන හන්දා එයාලා තනි වෙන අවස්ථා තියෙනවා. උදාහරනයකට අපේ ගෙදර මාවයි මල්ලිවයී දීග තල දුන්නම අපේ අම්මයි අප්පච්චියි දෙන්නම මහ ගෙදර ඉන්නවා ලු. එතකොට එයාලා ට ඉන්න වෙන්නේ තනියම . එයාලා කැමති නෑ එයාලා ගොඩ නගපු ලෝකය දාලා එන්න.

    අනිත් හේතුව තමයි අපේ අම්මා කියන්නේ අපටත් තනියම අපේ ලෝකය ගොඩ නගා ගන්න ඉඩ දෙන්නලු එහෙම ඉන්නේ. දැන් නවම් අයියා කියන්න බලන්න කවුරු හරිද කවුරු වැරදි ද කියලා ???

    කැමතියි

    • නවම් says:

      මෙහෙමයි මධුරංග, මම දකින විදියට මෙතන කවුරුවත් වැරදි නෑ. තම තමන්ගෙ ජීවිතවල තීරණ ගැනීමේ අයිතිය තම තමන් සතුයි. ඒත් ඒක පිළිගත්තම සමහර වෙලාවට බාහිර සමාජයෙන් එන ප්‍රශ්ණ වලට මූණ දෙන්න වෙනව. සමහර වෙලාවට තමන්ගෙ හර්ද සාක්ෂිය වද දෙනව. මම දන්නව කවද හරි මධුරංගයි මල්ලියි මැරි කරල දුන්නම මහ ගෙදර තනියෙම ඉඳීම අම්මගෙයි අප්පච්චිගෙයි බලාපොරොත්තුව උනාට ඒක කොයිම මොහොතක හරි ඔයාල දෙන්නගෙ හිත පිච්චෙන සිද්ධියක් වෙනව කියල.

      කැමතියි

  12. මට මේ ගැන කියන්න දෙයක් නෑ නවම් අයියේ . මට පරිස්සම් කරන්න දෙන්නෙක් නෑ මට ඉන්නේ අම්ම විතරමයි . මම හොඳටම දන්නවා මගේ ඇඟේ අන්තිම පන ඩිංග හරි වැය කරලා මගේ අම්මට සලකනවා . මම හිතාගෙන ඉන්නේ එහෙමයි . මට ඒක කරන්න පුලුවන් වෙයි මම ජීවත් වෙලා හිටියොත්

    ඉස්සර වගේ නෙවෙයි. දැං ජීවිතේ කියන්නේ රේස් එකක් ටිකෙන් ටික කාලෙත් එක්ක අපිට දුවන්න වෙනවා . මේ දුවන දිවිල්ලෙදි අපිට අපේ දෙමවුපියන්වත් ඇදගෙන දුවන්න පුලුවන් වෙන්න ඕන . නැත්නම් මේ රේස් එක දින්නට වැඩක් නෑ ..

    කැමතියි

  13. මම පොඩි කාලේ ඉඳලා දැකපු දෙයක් තමයි අපේ දෙමව්පියෝ අපි වෙනුවෙන් එයාලගේ සතුට හැම තිස්සෙම කැප කලා. කොටින්ම එයාලට කියලා දෙයක් එයාලා කවදාවත් කරගත්තේ නැහැ. හැමදේම කලේ අපි වෙනුවෙන්. දැනටත් එයාල කරන්නේ ඒක. මැරෙනකම්ම එයාල කරන්නේ අපේ ජීවිත සැපවත් ලෙස ගෙවන්න පාර හදන එක.

    බැන්දට පස්සෙත් තමන්ගේ ළමයිව අම්මලට බලා ගන්න දෙන එකටනම් මම තදින්ම විරුද්දයි. මොකද අම්මලා කියන ජාතිය අපි ඉපදිච්ච දවසෙ ඉඳන් කරන්නේ අපිව හදන එක. ළමයිව බන්ඳලා දුන්නහම තමයි එයාලට නිදහසක් හම්බ වෙන්නේ. ඉතින් අයිමත් තමන්ගේ ළමයිගේ ළමයි බලාගන්න ගියහම එයාලගේ නිදහස නැති වෙනවා. අන්තිමට මුලු ජීවිත කාලේම වැඩ කාරියක් වගේ කරලා තියෙන්නේ අනුන්ගේ වැඩ. ඉතින් ළමයිව හැදීමේදී හෝ.. විවාහ වීමේදී ඉස්සරහට එන මෙවැනි දේවල් ගැන කලින්ම සිතා ඒවාට විසඳුම් හොයා ගන්න එක අපේ වැඩක්.

    දෙමව්පියන්ට කවද හරි එයාලට කැමති විදිහට ජීවත් වීමට අපි ඉඩ සලසා දිය යුතුයි. මොකද අපි ගෙදරින් පිට වෙනකම්ම එයාලා මුලු ජීවිතේම කැප කරන්නේ අපි වෙනුවෙන්. ඉතින් ඒ ජීවිතේ අවසානයට ලඟා වෙන කාලයේදීවත් එයාලට කැමති විදිහට නිදහසේ ජීවත් වෙන්න අපි ඉඩ සලසා දිය යුතුයි. එයාලා මොන විදිහේ තීරණ ගත්තත් හොඳම දේ එයාලට කැමති විදිහට ඒ දේවල් කරන්න ඉඩ දීම. එයාල ගන්න තීරනේ අනුව අපේ ජීවිතත් තරමක් දුරට හරි වෙනස් කර ගන්න අපිට සිදු වෙවී. නමුත් එහෙම කරයි කියලා තමන්ට කවදාවත් වැරදෙන එකක් නැහැ. මොකද දෙමව්පියන්ම සතු‍ටු කිරීම තමයි, මම දකින විදිහට මට කරන්න පුලුවන් ලොකුම පින සහ කලගුන සැලකීම.

    දිනේශ් කිව්වා වගේ අපේ රට හැදිලා තියෙන විදිහ නිසා මේ ප්‍රශ්නය හරිම සංකීර්න දෙයක්. ඒ ඒ වෙලාවට සුදුසු විදිහට තමයි අපිට විසඳුම් හොයා ගන්න වෙලා තියෙන්නේ.

    කැමතියි

    • නවම් says:

      ඔතන තමයි ඔයා ජීවිතේ දිහා බලන විදියයි, මම ජීවිතේ දිහා බලන විදියෙයි වෙනස තියෙන්නෙ. මම මට කලින් පරම්පරාවෙ සිතුවිලි ගැන තර්ක කරන්න යන්නෙ නෑ. මොකද ඒකට මට කිසිම අයිතියක් නැති නිසා. මම දකින විදියට කවුරුවත් වෙන කෙනෙක් වෙනුවෙන් සතුට කැපකරන්න සූදානම් නෑ. බාහිරෙන් බැළුවම එහෙම කැප කිරීමක් පෙනුනත් ඇතුලාන්තයෙන් එහෙම නෑ. තමන්ම උදාහරණයකට අරන් බැලුවොත් ඔයාටත් තේරෙයි. මොකද මං එහෙම නෑ. හැබැයි තමන් සීයට සීයක්ම කැමැත්තෙන් කරන් දෙයක් රාමුවෙන් පිට ඉන්න කෙනෙකුට කැපකිරීමක් කියල පේන්න ඉඩක් නැත්තෙ නෑ. මොකද මම හරිම ආසාවෙන් කරන් සමහර දේවල් කැම කිරීම් කියල දකින අය ඕන තරම් ඉන්නව මගේ වටේ.

      ළමයි හදාගැනීමට දෙමාපියන්ගේ උපකාරය ගැනීම ගැන මට තියෙන්නෙ වෙනම තර්කයක්. මමත් කැමතියි කිසිම කෙනෙකුට කරදරයක් නොකර මගේ දේවල් මමම කරගන්න. ඒත් අපි හැදිල වැඩිච්ච පරිසරයත් එක්ක ජීවත් වෙන පරිසරයක් එක්ක, සමාජයත් එක්ක, ආර්ථිකයත් එක්ක මම හිතන්නෙ නෑ ඒ දේවල් තනියම කරගන්න පුළුවන් වෙයි කියල. ළමයෙක් හදාගන්න දරන්න උවමනා වියදම් එක්ක සාමාන්‍ය ‍රැකියාවක් කරන බොහෝදෙනෙක්ට තනි මාසික පඩියකින් ජීවත් වෙන්න බොහෝම අමාරුයි. එහෙමයි කියල ළමයි නොහදා ඉන්න එක නෙමෙයි මම දකින විදියටනම් විසඳුම. ඊට වඩා මේක සරළ විවාදයකින් උත්තර හෙයන්න පුළුවන් ප්‍රශ්ණයකුත් නෙවෙයි. එකිනිකා මතම් පමණක් පැවැත්මක් තියන සමාජයක ඒක තර්කාණුකූල සත්‍යක් නෙමෙයි.

      ඒ කොහොම උනත් මගේ පෝස්ට් එකේ පරමාර්ථය උනේ මිනිස්සු තනි වෙන්නෙ ඇයි කියන එක. දරුවන් හැදීම ඒ දාහක් කරුණු අස්සෙ තියෙන එක දෙයක් විතරයි.

      කැමතියි

  14. Chinthana says:

    මේ කතාවට මට නම් ඇස් වලට කදුලුත් ආවා.මට නම් නවම් අයියේ කියන්න තියෙන්නේ මම තාම ඒතරම් ලොකු කෙනෙක් [වයස] නෙමෙයි.කවද හරි මම අපි වෙච්ච දවසට ඔය කතාවෙ වගේ අම්මා තාත්තා තනි කරන්නේ නැහැ කියලයි.

    තවත් එකක් තියෙනවා නවම් අයියේ.කෙලින්ම කියන්නම්කෝ, කොල්ලෙක් කෙල්ලෙක්ට ලව් කරනවා.දෙන්නගෙම ගෙවල් වලින් විරුද්දයි ලවි එකට.දෙන්නගෙම ගෙවල් වල ඉන්නෙ එකම දරුවයි.එත් ඒ දෙන්නටම රස්සාවල් තියෙනවා ඒ නිසා ඒ දෙන්නා පැනලා ගිහිං කසාද බැදලා ගෙයක් අරන් ජීවත් වෙනවා.ඔහොම කාලය ගියා කියමුකෝ.ගෙවල් දෙකෙන්ම මේ දෙන්නට සමාව දෙන්නේ නැහැ.දෙන්නවම එළවගන්නවා.පස්සෙ දෙන්නගෙම මෙවුපියෝ වයසට ගිහිං ““ගරා වැටෙන, දියසෙවෙල කාපු බිත්ති තියෙන ගෙදරකට වෙලා තනියම උයා පිහාගෙන කාල ලෙඩක් දුකක් හැදුනම තැනින් තැන කළු පුස් කාපු තුවායක් ඔළුවෙ පෙරවගෙන හැරමිටියක් ඇන ඇන ඉස්පිරිතාලෙ බෙහෙත් පෝලිමේ ඉන්න වයසක අම්ම කෙනෙක් තාත්ත කෙනෙක්“ වුනොත් කවුද වැරදි?

    ඇත්තටම අවුරුදු ගානක් ආදරය කරල, හොදට ඉගෙනගෙන, දෙන්නම හොද රස්සාවල් හොයාගත්ත ඒත් දෙන්නගෙ ආදරයට ගෙවල් වලින් විරුද්ද වෙච්ච නිසා හොරෙන් කසාද බැදලා දෙමවුපියන්ගෙන් සමාව ඉල්ලුවත් සමාව නොලැබිච්ච කොල්ලයි කෙල්ලයිද?

    කැමතියි

    • නවම් says:

      නෑ චින්තන, මෙතන කිසිම කෙනෙක් වැරදි නෑ. හැම දෙයක්ම තමන්ට අවැසි විදියටම පවතින්න ඕන කියන සිතුවිල්ල තමයි ගැටළුව. මනුස්සයා අනිත් සියළුම සතුන්ගෙන් වෙනස් උනාට, පැවැත්ම උදෙසා ගෙනයන ක්‍රියාවලියෙ හරය බොහෝමයක් දුරට සමානයි. ඉපදෙනව, ලොකුවෙනව, කන්න බොන්න හොයාගන්නව, සහකරුවෙක් හරි සහකාරියෙක් හරි හොයාගන්නව. මෙච්චර කල් හැදිච්ච වැඩිච්ච පවුල අතෑරල වෙන් වෙනව, ඊලඟ පරපුර බිහිකරනව. ඒක තමයි සමාජ පැවැත්මේ හරය. ඔය සරළ සත්‍ය තේරුම් ගන්නවනම් ඔය ගැටළුවට උත්තර හොයන එක එච්චර අමාරු දෙයක් නෙමෙයි. ඔච්චර දරුණු වෙලා තියෙන්නෙ සොබාදමේ හරයන් අපි විසින් මවාගත්තු පුහු සමාජීය මත එක්ක ගැටෙන නිසයි.

      කැමතියි

  15. nipuna perera says:

    මම ඔය බර වචන දාල කතා කරන්න දන්නේ නෑ , දන්නා සිංහලෙන් කියන්නේ , මේකෙ වරද තියෙන්නේ මම හිතන විදියට දරුවන්ගෙ සහ වර්තමාන සමාජයේ , මොකද අපිත් වයසට ගියාම කව්රු මොනවා කිව්වත් ටිකක් ෆිස්සු කෙලිනවා , මම මගේ අත්දැකීමක් කියන්නම් අපේ පැත්තේ සීය කෙනෙක් හිටිය ඒ සීය වයස 83 වෙනකොට ටික්කක් ඔලුව out ගිහන් තිබුනේ වයසට යනකොට කාට කාටත් ඕක අනිවා වෙනවා , මේක අර ගොන් බුරු ළමය් හිතන්නේ නැතුව අර මනුස්සයට බනිනවා උන් තේරුම් ගන්නේ නෑ උන්ටත් මෙහෙම කාලයක් එනවා කියල , අනිත් 1 හැම මිනිහෙක්ම 100% හරි නෑ මොක්කක් හරි aulak තියෙනවා , අම්මල තතලගේත් වරදවල් තියෙනවා අපිට එගොල්ලොන්ව හදන්න බෑ . උදාහරණයකට අපේ තාත්තල ගේ අදහස් අපේ අදහස් වලට ගැල පෙන්නේ නෑ එහෙම වෙනකොට පොඩ්ඩක් cha වෙනවා ,අපි ඉතින් ඉවසගෙන ඉන්න ඕන , මම දන්නා විදියට බුදුහාමුදුර්වොත් ඉවසීමෙන් සැනසීම ලැබෙන කියල ඇති ! mata therana widiyata ketuwa ! tnx poppy akki mey wage ewa publish kanawata ! & google translin gana qwata !

    කැමතියි

  16. මචන් මව්පියන් තමන්ගේ දරුවන් මත්තෙම යැපෙන්නම ඕනේද ? මෙතෙක් කලක් ස්වාධීන වෙලා හිටියා වගේ මැරෙන්න බැරිද ? දරුවන්ට තමන්ගේ ම්ව්පියවරුන්ට සලකන්න බැරිද ? දරුවන් එච්චරම බිසී ද

    මචන්ග් ඔය ප්‍රශ්නේ හුගක්ම තියෙන්නේ මධ්‍ය පාන්තික සමාජයේ කියලා මම හිතන්නේ. ඕකට දරුවන් වගේම දෙමව්පියනුත් වග කියන්න ඕනේ.

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: