හෘදසාක්ෂියක් නැති මිනිසා ! [වෛද්‍යවරයෙකි සිත් රෝගී වූ]



මෑත දිනයක මා හට නවලෝක රෝහලට යා හැකිදැයි විමසා දුරකතන ඇමතුමක් ලැබිණි. ඒ මා ගාල්ලේ සිටි කල අසල්වැසි වූ පිළිකාවකින් ජීවිතයේ අවසන් සමය ගෙවනා අම්මා කෙනෙකුට ඇගේ වෛද්‍යවරයා හමුවීමට නොම්මරයක් ගැනීමටය. ඇ ඇගේ ජීවිතයේ අවසාන කාලපරිඡේදය ඉමහත් ශාරීරික මෙන්ම මානසික වේදනාවකින් ගෙවන්නියකි. එහෙයින් එදින උදෑසන කෙතරම් රාජකාරි බහුල වූවද එය අතපසු කිරීමට බැරි ඉල්ලීමකි.

මිස්, මට “ජයේ අන්තයටම ගියපු බලය වර්ධනයකරන” ඩොක්ටර්ට ඇපොටින්ට්මම්ට් එකක් ගන්න පුළුවන්ද?

කවදටද?

පුළුවන් තරම් ඉක්මනට, හෙට උනත් කමක් නෑ.

මේ සතියෙ ඉෂූ කරන නොම්මර ඉවරයි. ආයෙම ඩොක්ටර් එන්නෙ දොලොස් වෙනිද.

එහෙනම් මට දොලොස්වෙනිදට ඇපොයින්ට්මන්ට් එකක් දෙන්නකො.

එහෙම බෑ. අද තුන් වෙනිදනෙ. දොලොස්වෙනිදට සතියකට කලින් තමයි ඒ වීක් එකට ඇපොයින්ට්මන්ට් ඉෂූකරන්නෙ.

එහෙමද, එහෙනම් මම ආයෙම එන්නම්.

<><><><><><><><><><><><><>

ලයනල් අංකල්, මම නවලෝකෙට ගියා. ඒත් ඇපොයින්ට්මන්ට් එකක් ගන්න වෙන්නෙ දොලොස්වෙනිදට තමයි. ඊට මෙහා දවස් ඔක්කොම බුක්.

කමක් නෑ පුතා, අම්මගෙ බෙහෙත් තවම තියනවනෙ. එහෙනම් වරද්දන්නෙ නැතුව දොලොස්වෙනිදට නොම්මරයක් ගන්න හොඳද?

හරි අංකල්, මම ගන්නම්.

<><><><><><><><><><><><><>

මම ආයෙම කියාපු දවසෙ ඇපොයින්ට්මන්ට් එක ගන්න ඕනමයි කියල හිතාගෙන ගෙදරින් ආවට අමතක වෙලා ඔ‍ෆිස් එකටම ආව. ඒ ඇවිල්ලත් මතක් උනේ පැය තුනක් විතර ගියාට පස්සෙ. ඒගමන සේරම වැඩ පැත්තක දාල ගියා නවලෝකෙට නොම්මරයක් ගන්න.

මිස්, මට “ජයේ අන්තයටම ගියපු බලය වර්ධනයකරන” ඩොක්ටර්ට  ඇපොටින්ට්මම්ට් එකක් ගන්න පුළුවන්ද?

පුළුවන්, නොම්මර විසි හය,ඩොක්ටර් එන්නෙ හවස හතහමාරට. ඇපොයින්ට්මන්ට් එක අට හමාර විතර වෙයි.

කමක් නෑ මිස්. දෙන්න.

තවුසන්ඩ් රුපීස්.

ඕකේ හියර්.

තෑන්ක්ස්

ආයෙම මම ඔ‍ෆිස් එකේ. තව පොඩ්ඩක් විතර වැඩ කරගෙන යනකොට මතක් උනා රෑ අටහමාරට ලෙඩා පෙන්නල ඉවරවෙනකොට අඩුම තරමෙ නමයවත් වෙයි, මේ මිනිස්සුන්ට ගෙදර යන්න බස් නැතිවෙයි නේද කියල.

ඒක නිසා ආයෙමත් නවලෝකෙට ගියා ඊට පස්සෙ දවසකවත් කලින් නොම්මරයක් ගන්න පුළුවන්ද බලන්න. මේ වෙනකොට ඇපොයින්ට්මන්ට් එක දාල පැය හතරක් විතර ගිහිල්ල.

එතනදි ආයෙම කල්පනා වුනා රෑ හත හමාරටනම් දොස්තර නවලෝකෙට එන්නෙ මීට වඩා වේලාසන එන වෙන හොස්පිට්ල් ඇති නේද කියල, ලංකා හොස්පිට්ල් එකටයි, ආසිරි එකටයි කෝල් කරල බැළුව. ආසිරි එනව හවස හතරට. එහමනං මේකෙ ඇපොයින්ට්නම්ට් එක කැන්සල් කරගත්තනම් හරිනෙ.

මිස්. මම මේ අද උදේ දාපු ඇපොයින්ට්මන්ට් එක කැන්සල් කරගන්න ඕන

කවුද ඩොක්ටර්

“ජයේ අන්තයටම ගියපු බලය වර්ධනයකරන ඩොක්ටර්”

සොරි ! ඩොක්ටර් කියල තියෙන්නෙ ඇපොයින්ට්මන්ට් කැන්සල් කරන්න එපා කියල.

හ්ම්…….

එහෙමනං මට මේ රිසිට් එකේ not refundable කියල ලියල දෙනවද?

ඇයි ඒ.. ?

මේක ගාල්ලෙ ලෙඩෙක්ට දාපු ඇපොයින්ට්මන්ට් එකක්. මගේ එකක් නෙමෙයි, දැන් මේකෙන් වැඩක් නෑ

ඇයි ඒ.. ?

ලෙඩා අද දැන් පොඩ්ඩකටකලින් නැති උනා !

මම බොරුවක් කිව්වෙ එහෙම කිව්වමවත් සල්ලි ආපහු දෙයි කියල හිතාගෙන. මොකද මැරිච්ච ලෙඩෙක්ගෙන් සල්ලිගන්න බෑනෙ මනුස්සයෙකුට.

ඒ වුනත් අපිට සල්ලි රිෆන්ඩ් කරන්න බෑ. ඔයාට ඩොක්ටර් මුනගැහෙන්න වෙනව. එතකොට සමහරවිට ඩොක්ටර්ගෙන් ආයෙම සල්ලි ඉල්ලගන්න පුළුවන්.

මට රුපියල් දාහ සෑහෙන්න ලොකු දෙයක් උනත් එතන ඒකට රණ්ඩු වෙනවට  වඩා ඔ‍ෆිස් එකේ මට වැඩ තිබුන නිසා මම ආයෙම මුකුත් නොකියා ආව.

කොහොම උනත් මට දොස්තර ගැන පුදුමහිතුන. ඊටත් වඩා නවලෝකෙන් මට දීපු ප්‍රතිචාරය හරිම අප්‍රසන්නයි. මම සල්ලි බැන්දෙ දොස්තර සහ රෝගීන් අතර අතරමැදියෙක් ලෙස ක්‍රියාකරන රෝහලට. ඇයි එයාලට මුදල් ආපසු දෙන්න බැරි. ඇයි මම ඒක කරන්න දොස්තර මුනගැහෙන්න ඕන. ඊටත් මගේ ඇපොයින්ට්මන්ට් එක කැන්සල් කලානම් වෙන කෙනෙක්ට ඒ වෙලාව දෙන්න ඕන තරම් ඉඩ තිබුන. මොකද එදා ඉඳල සතියකට පස්සෙ තමයි ඇපොයින්ට්මන්ට් ඩේට් එක තිබුනෙ.

එදා හැන්දැවෙ ගෙදර යන්න කලින් ආසිරි හොස්පිට්ල් එකට ගිහිල්ල ආයෙම රුපියල් එක්දාස් පනහක් දීල වේලාසන නොම්මරයකට සල්ලි බැන්ද. දැං මම ගාව එකම ලෙඩා, එකම දවසට, එකම දොස්තරට සල්ලි බැඳපු රිසිට් දෙකයි.

<><><><><><><><><><><><><>

දහවෙනිද ඒ කියන්නෙ ඇපොයින්ට්මන්ට් ඩේට් එකට දවස් දෙකක් තියෙද්දි මට ආසිරි හොස්පිට්ල් එකෙන් කෝල් එකෙක් ආව.

“ජයේ අන්තයටම ගියපු බලය වර්ධනයකරන” ඩොක්ටර් දොලොස්වෙනිද දාපු ඇපොයින්ට්මන්ට් ඔක්කොම ඊට කලින් දවසට ෂෙඩියුල් කරල, ඒක නිසා පේෂන්ට් එන්න ඕන දොලොස්වෙනිද නෙමෙයි එකොලොස් වෙනිද.

එහෙමද?

එතකොට වෙලාව. මම එහෙම ඇහුවෙ ආයෙම අර මිනිස්සු ගාලු යන්න ඕන නිසා.

කලින් වෙලාවම තමයි.

ඔ.කේ. තෑන්ක්ස්.

කලින් ලෙඩාට හොල්ලන්න බැරිවෙච්ච ඇපොයින්ට්මන්ට් එක දොස්තර කිසිම වගකීමක් නැතුව වෙනස්කරල. ලෙඩ්ඩු එන්නෙ කොච්චර දුරක ඉඳලද, වේලාසන ඇපොයින්ට්මන්ට් එකක් දාගන්නෙ අනිත් වැඩ රාජකාරි එක්ක ගැ‍ටුමක් ඇතිවෙන එක වලක්වාගන්න නේද, හදිස්සියෙවත් ලෙඩාට ඒ වෙනස්කරපු දවසට එන්න බැරිවුනොත් මොකද කරන්නෙ. ඒ වගේ කිසිම දෙයක් ගැන සැලකිල්ලක් නැතුව දොස්තර දවස වෙනස්කලා.

ඉතිං අර මනුස්සය සේරම වැඩ පැත්තක තියල එකොලොස් වෙනිද එයාගෙ අම්ම එක්ක කොළඹ ආව. මමත් හොස්පිට්ල් එක ලඟට ගියා  සල්ලි බැඳපු රිසිට් එක එයාලට දෙන්න.

එහෙම දීල එන්න හදනකොට මතක් උනේ තවත් සල්ලි බැඳපු රිසිට් එකක් මගේ ලඟ නේද කියල. නවලෝකෙන් කිව්වනෙ දොස්තර මුණගැහිල සල්ලි ආපහු ඉල්ලගන්න පුළුවන් වෙයි කියල. ඒක නිසා අර මනුස්සයට විස්තරේ සේරම පැහැදිලි කරල ඒ රිසිට් එකත් දුන්න දොස්තර එක්ක කතාකරල බලන්න කියල.

ටික වෙලාවකින් අම්මව පෙන්නගෙන ඒ මනුස්සය එලියට ආව. මම ඇහුව මොකද උනේ කියල, මෙන්නෙ මෙහෙමයි කතාව වෙලා තියෙන්නෙ.

ඩොක්ට, මම ගාල්ලෙ නිසා කොළඹ ඉන්නෙ යාළුවෙකුට කියල තමයි ඇපොයින්ට් එක ගහ්තෙ. එයා ඉස්සෙල්ල නවලෝකෙට සල්ලි බැඳල තිබුනෙ හෙටට. ඒත් ඇපොයින්ට්මන්ට් එකේ වෙලාව ‍රැ අට හමාර නිසා ඩොක්ටර් ආසිරි එකට ඊට කලින් එනව කියල ආයෙම සල්ලි බැඳල තිබුන මෙහෙන්. නවලෝකෙන් කිව්ව කලින් ඇපොයින්ට්මන්ට් එකේ සල්ලි ඩොක්ටර් මුනගැහිල ඉල්ලගන්න පුළුවන් කියල. පුළුවන් වෙයිද ඩොක්ටර්?

දෙන්න රිසිට් එක බලන්න.

ආ.. මේකට රිෆන්ඩ් කරන්න බෑ. ඒ සල්ලි දැනටනත් නවලොකෙන් බෑන්ක් කරල ඇති මගෙ එකවුන්ට් එකට. අනික ඇපොයින්ට්මන්ට් එකක් ගන්නකොට පොඩ්ඩක් හොයල බලන්න එපැයි.

එච්චරයි !

පවුරු බිඳ නොදමා පිළිස්සී මියයමි – කිසිවෙකු මා වැරදියැයි නොකියනු ඇත එවිට !


මා අවට බොහෝ උණුසුම් ය ගිණියම් ය
මඟ දෙපස දැඩි ‍රැසින් කාශ්ඨක වූ පවුරුය
ඉන් ගත දවනා ගිණි සුලං මිස අන් කිසිවක් හමා නොයේ
කලෙක මා සතැපවූ සැනැසූ මේ පර්වතමය
අද දිනයේ හිත් පිත් නැතිලෙස මා පෙලන්නේ…….

විටෙක දරණු බැරි තරම් වේදනාවකින් පතුල් දැවේ
මා ගමන් කරනා මඟ අතුරා තුබූ පාවාඩ සුල‍ඟේ ගොසිනි
දෙපස උල් වූ ක‍ටු ඇති මල් වැරූ රෝස පඳුරුය
ගත දැවටී සම් මස් විනිවිද ගියද මට වේදනාවක් නොදැනේ
මේ මා මිය යමින් ගමන්ගන්නා ජීවිතයේ රුදු මාවතයි……

මින් ඔබ්බෙහි වෙනත් පෙත් මං ඇතිදැයි නොදනිමි
ගත දැවූවද මේ පවුරු පවසයි රකිනා වග මා මෘගයන්ගෙන්
එහෙයින්ම පවුරු සිඳලනු, නව මං සොයනු නොහේ
එසේ සිඳලූහොත් මා පාපතරයෙකු වෙනු නො අනුමානය
සුදනුන් ඔවුනත ඇති කැට කැබැලිති මුගුරුවලින් මා තලනු ඇත
එහෙයින් මා මිය යමි මේ විසල් පවුරු මැද දාහයෙන් පීඩිතව…….

එකල්හි ඔවුන් පැමිනෙනු ඇත පිරුවට ‍රැගෙන
වණ කැලැල් ගහන ඕජස් ගලන සිරුර ‍රැගෙන යාමට
තබනු ඇත දෙනෝදාහක් මැද පිරිසිඳුකොට විලවුන් ගල්වා
කඳුළු පිරිණු ඇස් ඇති හිස් හදවත් ඇත්තවුන් එකත්පස්ව හිඳිනු ඇත
එනමුදු කිසිවෙකු මා හදවත නොදකිනු ඇත කෙදිනකවත්
පවුරු බිඳගොස් නිල්ල පිරුණු තනකොල ගොල්ලේ වැතිර සිටිනා….



රිලා වලිගයි හොර කුරුල්ලොයි පුංචි අම්මලයි එක්ක පන්සල් ගමන්.

පුතේ අද හවහට පන්සල් යංද ? ආච්චි ඩිංගක් විතර හයියෙන් ඇහැව්ව.

කෝංගල පන්සලේ මහෝපාසිකාවෝ, නාදුගල හාමිනේ අපේ ආච්චි වෙච්චිකොට එයැයිට පන්සල් යන්න පෝයක් එන්න ඔනෙයි. හිතිච්ච හිතිච්ච වෙලාවට එයැයිට පන්සල් යන්න කාගෙන් බාදාවක් කියලැයි.

සුදු රෙද්දයි හැට්ටෙයි ඇඳල හරිම සිරියාවයි. ඒ ගොඩක් වෙලාවට උන්දැ පන්සල් යන්නෙ මොකක් හරි දායක සබාවෙ වැඩකට හරි කටිනයක් ලඟ නම් ඒකෙ වැඩ වලට, එහමත් නැත්නං පොඩි හාමුදුරුවො මොකක් හරි ලෙඩක් දාගත්තම වගේ දෙයකට තමයි. අපේ ආච්චි ගමටම අම්ම හන්ද ආයෙ ඒක පන්සලේ පොඩි හාමුදුරුවොන්ටත් ඒක එහෙම්මමයි.

උන්දැ ගෙදරින් තනියම ගියාට පන්සල කිට්‍ටුවෙනකොට උන්දැත් එක්ක තවත් හතර පස්දෙනෙක් වත් අඩුම ගානෙ ඉන්නව. සාමිලාවත්තෙ බේබි ආච්චි, කෝංගාහේනෙ නැන්දම්ම, හින්නි මාමලහ නැන්ද, නීයවත්තෙ ආච්චි ගොඩක් වෙලාවට වරදින්නෙ නෑ

ඒත් ඉතිං අද මටත් අඬගහන්නෙ අද පෝය හන්ද නෙව.

ආච්චි වාඩි වෙලා උන්න වැල් පු‍ටුව ලඟ බිම වාඩි වෙලා උන්දැ කුරු‍ටු ගාල බුලත් වට්ටියට දාන පුවක් ගනංකර කර උන්න මට ඔච්චර හයියෙන් පන්සල් යන්න අඬගහන්න ඕනෙයි. හෙමීට කිව්වනං මට ඇහෙනව නෙව.

කලිසම පුරාම වැටිල තිබුන පුවක් කුරු‍ටු ටික බිමට අත්දෙක තියල නැඟිටන ගමන් එහෙම්මම හැලෙන්න ඇරිය, ඒත් නරක වෙලාවට ඒක වැ‍ටුනෙ බුලත් වට්ටියට.

ඔය මොකෝ කලේ…..?

මං මුකුත්ම නොකියා මිදුලට බැස්ස.

ඒ සැරේ කොහේ යනවද, නිකං ඇවිදින්නෙ නැතුව අන්න අර වට්ටිය අරං මල් ඩිංගිත්තක් කැඩුවනං

හාපෝ ඔන්න තවත් මං එපා කරපු රාජකාරියක්, ඔය නන්නං ගහට උඩැහින් තියෙන වතුසුද්ද පඳුරු තුනේ දවල් වරුවෙත් මදුරුවො පිරිල. උන් තලන්නයි මල් කඩන්නයි ගියාම එපාවෙනව.

මට බෑ සුදු මල් කඩන්න, එව්වැයි හරියට මදුරුවො, ඕන්නං නීයවත්තෙ ආච්චලැහින් කඩං එන්නං රුකත්තන.

මං එහෙම කිව්වෙ නීයවත්තෙ ආච්චිලැයි අහ තියෙන උගු‍රැස්ස ගහ මතක් වෙලා.

ඊයෙ හැන්දෑවෙ තිලේඅම්ම එක්ක ඇඟ හෝදන්න ලිඳට ගියාම දැක්ක දම් පාට ගෙඩි පුරෝදාල ගහ පුරාම. ඒත් ලිං බක්කියෙ මාළු අල්ලන්න තිවුන හන්ද උගු‍රැස්ස කන වැඩේ අදට තියාගත්ත. උගු‍රැස්සනං කොයිවෙලාවෙ කන්න බැරිය.

ඒත් මෙහෙම මාළු අල්ලන්න ඇහැක්කෙ තිලේඅම්මයි චූටිඅම්මයි එක්ක විතරයි, ආච්චි උන්නන්නං ඇස් ගෙඩි දෙක නළලෙ තියං කෑගහනවනෙ. ඒත් ඉතිං අද උදේ ඉඳං හීං මාම පස්සෙ ගියහන්ද පුවක් වලු බානව බලන්න උගු‍රැස්ස අමතකම වෙලා ගියා.

නෑ නෑ. මේ හැන්දෑවෙ උගු‍රැස්ස කන්න නාකයි. තනියෙං බැරිනං කාන්තිඅම්මත් එක්කං යන්න. වතුසුද්ද හොඳටෝම ඇති රුකත්තන නැතුවට.

යකඩෝ.. ආච්චි දන්නෙ කොහොමයි උගු‍රැස්ස කතාව. කවුද එයැයිට කේලම කිව්වෙ? ඊට ඩිංගක් එහායින් පාන්තිර අඹර අඹර උන්න චූටිඅම්ම උඩ බලං හිනාවක් තද කරන් ඉන්නව. එයැයි මොකෝ හිනාවෙන්නෙ? එයැයිට විකාර.

මං කාන්ති අම්මත් එක්ක මල් කඩං එනකොට කට්ටියම ලෑස්ති වෙලා. තිලේඅම්ම ඉතිං ලෑස්තිවෙන්නෙ මං ලෑස්තිකරල අහවර වෙලානෙ. අන්තිමටම අපි දෙන්නත් ලෑස්තිවෙලා කට්ටියම එලියට බැස්ස පන්සල් යන්න.

බි ආච්චිලයි වත්ත උඩින් යන්න බෑ, කරාබුගස් මණ්ඩියෙ තියෙන ඇපල පැටලෙනව නෙව ආච්චිගෙයි, පුංචිඅම්මලගෙයි චීත්තවලයි ගවුං වලයි. වෙනද චූටිඅම්ම ගවුම දනක් උසට උස්සං ඇපල පඳුරු අස්සෙන් අපූරුවට ගියාට අද ආච්චි ඉන්න හන්ද එයත් මීය වගේ.

මිදුලෙ ඉඳං මහපාරට තියෙන පොඩි කන්ද නැඟල පාරට ආව විතරයි මෙන්න බේබි ආච්චිත් ‍රැකල ඉන්නව අපි එනකං පන්සල් යන්න.

නාදුගොල හාමිනේ පන්සල් යනවයි, මාත් මේ යන්නෙයි කියල…..

එහම කියාගෙන එයැයිතුත් වල්ගෙ වගේ පස්සෙන් එනව. මං වැඩිය එයැයි එනවට ආස නෑ. මහ විකාර දේවල් අහන්නෙ.

රුප්පෙ පුතේ තාත්ත එනවැයි කිව්වෙ කවද්ද,

අම්ම ආවෙ නැතෙයි ලඟදි,

තිලේහාමිනේ අන්න ඔහෙලැයි එළදෙන්නුටික තැන්නෙ කෑල්ලෙ වෙලේ ඉන්නො දැක්ක,

ඒ මොනවත් නැත්නං චූටිහාමිනේයි අද ඉව්වෙ හරිම පුසුඹක් නෙව ආවෙ කියල හරි කියයි. මට පේන්න බෑ ඔය හන්ද එයැයි. අනුංගෙ ඒවමයි හොයන්නෙ.

ඔන්න දැං පංසලට හැරෙන පාර, ඔතන ඉඳං තමයි මං ආසම දේවල් තියෙන්නෙ. ඉස්සෙල්ලම තියෙන්නෙ හොර ගහෙන් වැටිච්ච හොරකුරුල්ලො අහුලන එක. උන් අහුලල හයියෙන් උඩ වීසිකලාම ආයෙම කැරකි කැරකි බිමට පාත්වෙනව. සාක්කුවෙ දෙකකට වඩා දාගන්න බෑ, වැඩිය දාගත්තොත් ත‍ටු දෙක කැඩිල පාවෙන්නෙ නැති වෙනව, ඒක හන්ද ගහ යට තනකොළ අස්සෙ හංගනව එනකොට අරගන්න.

ඊලඟට යක්මල් පඳුරු ගාල. ඒවත් හරි ජාති. යක් මල් දෙකක් දණ්ඩ පිටින්ම කඩල කට දෙපැත්තෙ ගහගත්තම දෙකොන විලක්කුව ගහගත්තු යකා වගේ නටන්න ඇහැකි, ඒත් ඉතිං මේ පන්සල් යනගමන හන්ද ඒ නාඩගං කරන්න ආච්චිගෙන් ඉඩක් නෑ.

ඊටත් පස්සෙ රිලා වලිග ගස් ටික. පන්සල් ගියත් ඒ රතුපාට රිලා වලිගයක් කඩල අරං පස්සපැත්තෙන් කලිසමට යටකරගන්නනං මට ඕනමයි. එතකොට පස්ස වනන වනන සැරේට වලිගෙත් වැනෙනව. ඊට පස්සෙ හැමෝම පහුකරන් මං ඉස්සරවෙලා දුවනව පන්සල දිහාවට. කොච්චර හයියෙන් දිව්වත් තිලේඅම්ම මගෙ පිටිපස්සෙන් එලවගෙන ඇවිත් අර රිලා වල්ගෙ ඇදල ගලවල දානව පංසල කිට්‍ටු වෙනකොටම.

ඔන්න පන්සලේ මායිමට ආවමනං මං සංසුං. නැත්නං ඉතිං ගෙදර යනගමන් මඟ දිගට ආච්චිගෙන් බණ අගන්න වෙනවනෙ. බිම බලාහෙන වැලි පොළොවෙ පතුල් ඇන ඇන හරිම හෙමින් තමයි මං යන්නෙ. ඒත් ඉතිං වැඩි වෙලාවකට නෙමෙයි. හේවිසි සද්දෙ ඇහෙනකොට ආයෙමත් මට අර සිල් අමතකයි, ඔන්න දුවනව හේවිසි ගෙට.

බණ්ඩ මාමෙ, මටත් දෙනවැයි ඕක ඩිංගක් ගහන්න ? ඇඩ්ඩිං මාමෙ අනේ මටත් දෙන්නකො ඕක පිඹින්න, අනේ අර තම්මැට්ටම මට දෙනවැයි ගෙනියන්න, අර පැලිච්ච එක මං හදාගන්නං. හාමුදුරුවොන්ගෙන් අහන්නෙයි ගන්නදැයි කියල?

ඔන්න ඔහොම එක විකාරයයි පන්සලේ හේවිසි ගේ ඇතුලෙ. ඔය කෙලිය බේරගන්න බැරිහන්දම මට තිලේඅම්ම පස්සෙ කාලෙක ගෙනැත් දුන්න පුංචි දවුල් පොඩ්ඩක්.

පුතේ දැං ඔය ඇති, අපි යං අන්න බුද්ධපූජාව පටං අරං ආච්චි කතාකරනව කියල චූටිඅම්ම මගේ අතිං ඇදං යනව විහාර ගේ පැත්තට.

මෙන්න සේරමල පෝලිං හැදිල මල් අතගහන්න. මාත් රිංග ගත්ත ආච්චියි තිලේඅම්මයි අස්සට. මං කොට හන්ද තිලේඅම්මට හැමතිස්සෙම පාත් වෙන්න වෙනව මට මල් අතගස්සන්න. එහෙම කලත් මගේ අතට මල්වට්ටි හඳුන්කූරු පෝච්චි දෙන්නෙම නෑ.

තිලේඅම්මෙ…..

මොකෝ දරුවො කෑ හගන්නෙ. බුද්ධපූජාව වෙලාවටවත් කටකමිසිරියාවක් නෑනෙ. කටපියන් මල්වලට අතගහන්න. මටත් වැඩිය හයියෙන් ආච්චි මට දෝස්මුරේ දානව මෙන්න.

ඒපාර මං හීන් සීරුවෙ තිලේඅම්ම ආයෙමත් මල් අතගස්සන්න පාත්වෙනකං ඉඳල

තිලේඅම්මෙ….

ම්…..

මේ…… අර මොකෝ අර ඉස්සරහ ඉන්න ආච්චි දත් වවල තියෙන්නෙ, හරිම කැතයිනෙ,

එයැයිට ඒක හන්ද හරියට සාදු සාදු සා.. කියන්නත් බෑ. එයැයි කියන්නෙම සාස් සාස් සාස් සා… කියලෙ නෙ.

මෝඩය !  කියල මෙන්න මගේ උරේ කොනිත්තල තිලේඅම්ම කට තදකරන් උරිස් හොල්ලනව. මොකෝ මෙයැයි මේ හිනාවෙන්නෙ. දැං ආච්චිගෙන් කන්න තමයි හදන්නෙ.

ආච්චි රවනව හි‍ටු කියල මට, ඇයි යකඩෝ මං මක්ක කොලාටෙයි මේ.

ඔයින් මෙයින් පූජාවත් අහවර වෙලා බණක් එහෙම අහල කට්ටියම ආපහු එන්න පාරට බැස්ස. ගියේ අපි ටිකදෙනා උනාට මෙන්න ආපහු එනෙකොට වැල වගේ කට්ටිය. එතකොටනං යනකොට තිබිච්ච හදිස්සිය නෑ ආච්චිගෙ, පිටිපස්සෙන් එන කට්ටියත් එක්ක කදේ දාගෙන හෙමින් හෙමින් මහපාරට එන කන්ද නඟිනව.

මටත් දැං හොඳටම අමාරුයි, ඒ මදිවට නිදිමතයි සෑහෙන්න. ඉස්සරහට යැවෙන්නෙම නෑ වගේ. තිලේඅම්මෙ අනේ මාව වඩාගන්නකෝ, අනේ මගෙ කකුල් දෙකම නෑ අනේ. මගෙ නාහෙන් ඇඬිල්ල වැඩිවෙනකොට ඔන්න මාව උස්සල ගන්නව කරට, කකුල්දෙක බෙල්ල දෙපැත්තෙන් ඉස්සරහට දාං තිලේඅම්මගෙ නළල බදාගෙන මෙන්න මෙහෙම කිය කිය මං ගෙදර එනව.

කකුල රිදෙන නිසා නොවෙද පැටිය අඬන්නේ
උඩින් යන්න හැකි හින්දයි දැන් හිනැහෙන්නේ

ප/ලි: ඔය කවිය තිබුනෙ ඒ කාලෙ පුංචිඅම්මල මට කියවල දීපු පින්තූර පොතක තිබුන කතාවක. ඒකෙ ඉත්තෑ අම්මගෙ පිට උඩ යන ඉත්තෑ පැටියෙක්ද කොහේද ඔය කවිය කියන්නෙ.

ප/ප/ලි : තවමත් ගමේ ගියාම තිලේඅම්ම ඉස්සර වෙච්ච අකරතැබ්බ එක්ක ඔය දත් වවපු ආච්චිගෙ කතාවත් කියන්න අමතක කරන්නෙ නෑ

කෙල්ල හෝ කොල්ලා ඔබව හැරයයිද – නොවරදින ගුරුකම් [මා කල ගුරුකමක් හරිගියේ නැත !]


ඔබ ආදරය ලබන්න කැමතිද?

උත්තරය “ඔව්” නම් අයිතිකරගන්න හදන්න එපා !!

තවත් මනුෂ්‍ය ප්‍රාණියෙක් ඔබට කිසිම මොහොතක අයිතිකරගන්න බෑ. පු‍ටුවක්, මේසයක්, වාහනයක් අයිතිකරගන්න පුළුවන්. ඒත් පණ ඇති, මැරි මැරී ඉපදෙන සිතුවිලි පරම්පරාවන් තියෙන ප්‍රාණියෙක් බෑ කොහොමවත්ම ඔබට අයිතිකරගන්න. තමන්ගේ කියල කියන්න. අඩුම තරමෙ ගෙදර ආදරේට කියල හිතාගෙන ඇතිකරන බල්ලෙක්, පූසෙක්වත් බෑ කිසිවෙකුට අයිතිකරගන්න. නීතියෙන් අයිති උනත් සිතුවිලි වලින් අයිති නෑ.

දෙමව්පියන්ට දරුවො වත්, දරුවොන්ට දෙමව්පියන් වත්, සැමියට බිරිඳවත්, බිරිඳට සැමිය වත් කිසිසේත්ම අයිති නෑ. කිසිම විටක ආදරය, අයිතිය කියල පටලවාගන්න එපා.

ඔබ හිතනවනම් යමෙක් ඔබට අයිතියි කියල, එතන ඉඳල ඔබ ඉන්නෙ ලොකු අසතුටකින්. ඔබට යමෙක් අයිතිනම් ඉබේම ඔබ ස්වාමියා හා අනෙකා සේවකයා වෙනව. යමෙකු කෙරෙහි ආධිපත්‍ය පතුරවන්නනම් ස්වාමියා සෑම විටෙකම නිවැරදි වෙන්න ඕනෙ. ඔබ යටි හිතින් හිතනව මම ම තමයි හරි. මගේ මතයම විතරයි ක්‍රියාත්මක වෙන්න ඕන කියල. ඒ ස්ථාවරයේ ඉඳල තමයි ඔබගේ යටත් වැසියා ගැන හිතන්නෙ. එහෙම උනාම ඔබ බලාපොරොත්තු  වෙනව ඔබේ සිතුවිලි හැසිරෙන විදියටම අනිකාගේ සිතුවිලිත් හැසිරෙයි කියල. ඇත්තටම එහෙම  එහෙම වෙනවනම්  එතන කිසිම හිත් රිදවීමක් නෑ, ගැ‍ටුමක් නෑ. ඒත් අවාසනාවකට යථාර්ථය ඒක නෙමෙයි.

යමෙක් යමෙකුට අයිතියි නම් කෙනෙක් සෑම විටම අනෙකාට කොන්දේසි විරහිතව එකඟ වෙන්න ඕනෙ. කොන්දේසි විරහිතව යටත් වෙන්න ඕනෙ. හරියට පු‍ටුවක් වගේ. ඕනෙ වෙලාවට වාඩිවෙන්න පාවිච්චි කරන්න පුළුවන්, එහෙමත් නැත්නම් උඩක තියෙන දෙයකට ලං වෙන්න ආධාරකයක් විදියට පාවිච්චි කරන්න පුළුවන් එහමත් නැත්නම් පලල ලිපට දාන්න පුලුවන්. ඒ, පු‍ටුව කිසිම ක්‍රියාවකට ප්‍රතිචාර නොදක්වන නිසා. ඒක නිසාම ඔබට පු‍ටුවත් සමඟ කිසිම හිත් රිදවීමක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒත් ප්‍රාණියෙක් එක්ක එහෙම බෑ. අනන්තවත් එකඟ නොවීම්, පුංචි පුංචි විප්ලව, අරල, මත ගැ‍ටුම් අනන්තයි.

ඔබ ජීවත් වෙන්නෙ ඔබේ දෙමව්පියන්ට, සැමියාට, බිරිඳට උවමනා විදියටද? උත්තරය යම්තාක් දුරකට “ඔව්”, සහ යම්තාක් දුරකට “නෑ”

“ඔව්” කියන කොටසේදි ඔබ යටත්. “නෑ” කියන කොටසේදි ඔබ ස්වාධීනයි.

සමහර වෙලාවට ඔබ “ඔව්” කියන කොටසේදි ඉන්නෙ හිතේ පූර්ණ එකඟතාවය මත නෙවෙයි. ප්‍රීතියෙන්, සන්තෝසයෙන් නෙමෙයි. නමුත් කලාතුරකින් හෝ ඔබේ චිත්තාවේගත් ඔබව අයිතිකරහන්නාගෙ චිත්තාවේගත් එක්ක එකට සමපාත වෙනවනම් ඔබට සතුටෙන් ඉන්න පුළුවන්. ඒත් ඒ බොහොම කළාතුරකින්.

“නෑ” කියන කොටසේදී, ඒ කියන්නෙ ඔබ ස්වාධීන අවස්ථාවේ බාහිරෙන් බැළුවොත් ඔබ සතුටින්, ඒ කියන්නෙ ඔබව ක්‍රියාත්මක කරන්නෙ, ඔබ ක්‍රියාත්මක වෙන්නෙ ඔබේම සිතුවිලි මත. තමන්ට කැමති දේ කරන්න තියෙනකොට හැමෝම සතුටින්. ඒත් පුංචි ගැටළුවක්. ඔබේ ස්වාධීන අදහස් නිසා ඔබ යුගලයේ අනිකාට [දෙමව්පියන්, සහකරු හෝ සහකාරිය, ඇතැම් විට දරුවන්] මානසික හෝ කායික පීඩාවක් වෙනව කියල ඔබට යම් අවස්ථාවක වැටහුනොත් ඒ මොහොතේ ඉඳල ඔබ අසතුටෙන්. ඒත් එහෙම වෙන්නෙ ඔබේ හිත අනෙකාගේ සිතුවිලි තේරුම් ගන්න තරං මෘදු විවෘත නම් විතරයි, එහෙම නැත්නං අනෙකා වේදනාවෙන් පීඩිතව ඉන්නකොටත් ඔබට සතුටින් ඉන්න පුළුවන්. ඒක ඔබට සාපේක්ෂව නොවුනත් අනෙකාට සාපේක්ෂව මහ කාලකණ්නි සතුටක්.

නීති දණ්ඩන පනවල යමෙක් යටත්කරගන්න පුළුවන් උනාට ආදරේ දිනාගන්න බෑ. සුළු කාලයකට නීති දාල බලපෑම් කරල යමෙක් ඔබ වෙත රඳවගන්න පුළුවන් වෙයි, ඒත් ඒ අනිකාට තමන්ගෙ චිත්ත පීඩාව දරාගන්න පුලුවන් වෙනකන් විතරයි. දවසක් එනව ඔබේ බැමි පුපුරවල දාන්න තරම් විභව ශක්තියක් ඔබේ ක්‍රියාකාරකම් තුලින් ඔබ නොදැනුවත්වම  ඔබ විසින්ම අනෙකා තුල ඇතිකරල. එදාට ඔබට ශක්තියක් නෑ එයට එරෙහිව නැඟී සිටින්න. ඔබ අසරණයි.

දැං ඒකට මොකද කරන්නෙ අපි.

අපි හැමෝම [ඒ කියන්නෙ යුගලයම] එකිනෙකාට පූර්ණ නිදගසක්, කොන්දේසි විරහිත නිදහසක් දුන්නොත්, අනිකාව අයිති කරගන්න උත්සාහ නොකලොත් මං හිතන්නෙ පුළුවන්. වරදවා තේරුම් ගන්න එපා, මම මේ කියන්නෙ කුඩු ගහන එකාට කුඩු ගහන්නත් බඩු ගහන එකාට බඩු ගහන්නත් නිදහස දෙන්න කියන එක වගේ ප්‍රාථමික කාරනාවක් වත් තනි තනි ඒකක වශයෙන් වෙන්කරල අරන් විශ්ලෙෂනය කරන්න පුළුවන් කාරනාවක් වත් නෙමෙයි. සමස්ථ ඒකකයම එකක් කියල සලකල තේරුම්ගන්න උත්සාහ කරන්න ඕන.

ඒත් ඒක මේ කියනව වගේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ, තව කෙනෙක් කෙරෙහි තමන්ගේ ආධිපත්‍ය යොදවා තමන්ගේ පැවැත්ම තහවුරු කරගැනීම මිනිස් ස්වභාවය නිසා. කොයි මොහොතක හරි ඒ ආධිපත්‍ය බිඳවැ‍ටුනම තමන් විශේෂ පුද්ගලයෙක්, වැදගත් පුද්ගලයෙක් කියල හිතේ මෙච්චරකල් ගොඩනගා ගත්තු අභිමානය බිඳවැටෙනව. ඒක පොඩ්ඩක් නෙමෙයි සෑහෙන්න දරාගන්න අමාරු හැඟීමක්. [මේ ලියන මටත් ඒක එහෙම්මම පොදු කාරණාවක් ඒත් මං හැම තිස්සෙම උත්සාහ කරනව]

අපි එකිනෙකාට පුළුවන් විදියට සුළු වශයෙන් හෝ නිදහසක් දෙන්න පුළුවන් නම්, අනිකා මත යොදවන බලපෑම අවම කරන්න පුලුවන් නම්, අනිකාගේ සපත්තු දෙක දාගෙන ඇවිදින්න පුළුවන් නම්, අනිකා වෙනුවෙන් ඔබට හිතන්න පුළුවන් නම් එදාට ඒ සම්භන්ධකම් අදට වඩා ලස්සන වෙයි, සුන්දර වෙයි.

අමතක කරන්න එපා; කිසිම කෙනෙක් ප්‍රශ්ණයකට ආදරේ කරන්න කැමති නෑ. ඒක නිසා ඔබ කිසි විටෙක අනෙකාට ප්‍රශ්ණයක් වෙන්න එපා. එහෙම ප්‍රශ්ණයක් වෙලා ආපහු ආදරයක්, ‍රැකවරණයක් බලාපොරොත්තු වෙන්නත් එපා !

මේ ලියාපු දේවල් කියවල තමන්ගේ අනිකා එක්ක යුද්ධ ප්‍රකාශ කරන්න යන්න එපා. බලහත්කාරයෙන් ලබාගන්න නිදහස තාවකාලිකයි. එහෙම උනොත් හැම තිස්සෙම කොයි මොහොතකහරි යටත් කරගැනීමට එන බලපෑමකට බයෙන් තමයි ජීවත් වෙන්න වෙන්නෙ. හැකි අයුරකින්, පැවැත්මට හානියක් නොවෙන විදියට ඔබේ අනිකාට නිදහස දෙන්න, අළුතෙන් තවත් කෙනෙක්ව අයිතිකරගන්න උත්සාහ නොකර ඉන්න. මතක තියාගන්න අයිතිකරගැනීම කියන්නෙයි සහයෝගයෙන් එකට ජීවත් වීමයි කියන්නෙ දෙකක්.

ඔබේ අනෙකාට නිදහසේ පියාඹන්න දෙන්න කුරුල්ලෙක් වගේ. එහෙම උනාම කොයිම මොහොතකවත් ඇස් මායිමෙන් එහාට පියාඹන එකක් නෑ. පියෑඹුවත් උන්නටත් වඩා ආදරයක් අරන් ආපහු එයි. වැරදිලාවත් ආපහු නො එන්නම ඈතට පියෑඹුවත් ඒක ඔබගේ මෙන්ම අනිකාගේත් දීර්ඝකාලීන සතුටට හේතුවක් වෙයි එසැනකින් දුකක් හිතට ආවත්.

ප/ලි:   මේ සටහන ලිව්වෙ අවුරුදු විසි නමයක් වගේ සුළු කාලයක් ජීවිතය ඇතුලත විඳපු සහ විඳින අත්දැකීම් එක්ක මම තේරුම් ගත්ත දේවල්. ඇතැම් විට මේකට අහපු දැකපු කියවපු දේවලුත් ටිකක් එකතුවෙලා ඇති. කොහොම උනත් මේ මම ජීවිතය දකින විදිය. ඒක නිසාම මම හරිම සැහැල්ලුයි. අන්න්තවත් වැරදුන තැන් මගේ ජීවිතේ තිබුනත් ඒ එකක් ගැනවත් පසුතැවීමක් නැතුව ඉන්නෙ ඒක නිසා වෙන්න ඇති.

ඉස්සරහට වැරදුනත් මම හිනාවෙලා ඉඳී !


ජංගි කතාවක් – කෙල්ලන් ඉන්න තැන් හොයන අළුත් ක්‍රමයක්

ඉස්කෝලෙ කාලෙ මායි අර සිඬාලේප කතාවෙයි කිම්බ කතාවෙයි උන්න සංකයයි තව එකෙකුයි තමයි එකටම වගේ උන්නෙ. තව එකෙක් කියල නම නොකිය හිටියෙ අද කතාවෙ මිනිහ කතා නායක හන්ද. කවුද කියල එලි උනොත් මං දොට්ට පහලට ගිහිල්ලත් ඉවරයි. ඒත් කතාව කියන්න ලේසි වෙන්න අපි මිනිහට කියමු ඒ.ජේ කියල [ඔය මිනිහගෙ මුල් අකුරු දෙකක්] නෑ නෑ මේ අර ප්‍රේමදාසගෙ සෙරෙප්පුවලින් සුප් හදන්න බලං උන්න ඒ.ජේ නෙමෙයි වෙන එකෙක්.

අපි තුන්දෙනාගෙන් ඒ.ජේ යි මමයි උන්නෙ එක පන්තියෙ. සංක අල්ලපු පන්තියෙ. ඒත් යාළුකමට පන්ති මොනවද. උදේ පාන්දර ඉඳල ඉස්කෝලෙ අරිනකන් එක දහ දොලොස් පාරකට වැඩිය අපි තුන්දෙනා මුනගැහෙනව. පන්ති දෙකේම ඕෆ් පීරියඩ් එකක් උනොත් තුන්දෙනාම එකම පන්තියකදි අල්ලගන්න පුළුවන්. එහෙමත් නැත්නං උඩ පිට්ටනියෙ මැයි ගස්යට වාඩිවෙලා කොකු අදිනව. ඔය මැයි මලේ රේනු වලින් කොකු ඇදිල්ල වෙනම කලාවක්. ඒක ගැන පස්සෙ කියන්න බැරිය. [ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙට ගියපු කට්ටිය එහෙම දන්නව ඇති විස්තරේ]

මේ වෙනකොට අපි දොලහ වසරෙ මුල හරියෙම. ඔය ඉතිං නැට්ටට කිරි උනන කාලෙ නෙව. අපේ ඒ.ජේ ටත් ඔන්න පිළිබඳ හිතක් පහල වෙච්චි. වෙන කවුරුවත් ගැන නෙමෙයි අර නෝටි අක්ක උගන්නපු ඉස්කෝලෙ නංගි බබෙක්ට. උදේ හවා අපේ ඉස්කෝලෙ මැදින් ගෑණු ළමයි දෙතුන්දාහක් උඩට පල්ලෙහාට යනකොට ඔහොම කොල්ලෙක්ට නොහිතුනානං ඉතිං ඌ ගැන කියන්න දෙයක් නෑ.

“ඉස්කෝලෙ මැදින් ගෑණු ළමයි දෙතුන්දාහක් උඩට පල්ලෙහාට යනව ?? ” ඔව් ඔව් ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙ ගැන දන්න කට්ටිය විතරේ දන්නවනෙව. හැමදාම උදේ හත හමාරටයි හසව දෙකටයි අපි ස්වයංවර මංගල්ලෙට ලේස්තිවෙනව. අනේ එහෙමත් දවස්. අපේ කොල්ලෙන්ගෙ හොඳ වැඩිකමටද කෙල්ලන්ගෙ හොඳ කමටද මන්ද ඉස්කෝලෙ ට්‍රැ‍ෆික් යුනිට් එකේ කොල්ලන්ට මහ පාරෙ වාහන ආම්බාං කරනවට අමතරව ඉස්කෝලෙ මැදින් වැටිල තියෙන පාරෙ අඩි දහයෙන් දහයට වගේ හරි මැදින් හිටගෙන ඉන්නත් තිබුන. දැං එක පැත්තක කොල්ලො යනව අනිත් පැත්තෙන් කෙල්ලො යනව. හරිම සාම කාමී ළමයි. ඕකුන් උන්නෙ නැත්නං බලන්න තිබුන අපේ අයියල කෙල්ලංගෙ අතින් අල්ලං ඉස්කෝලෙ එනව. [ඔය ට්‍රැ‍ෆික් කොල්ලන් හැමෝම සෙට් කරන් උන්නෙ උඩහ ඉස්කෝලෙ කෙල්ලො තමයි ඇයි ඉතිං හැමදාම උදේ පාන්දර උන් දිහා බලාගෙන ඉන්නෙ නීතියෙන්ම අවසර උන්ට තිබුනනෙ]

ඒ.ජේ ටත් හිත වැ‍ටුනෙ ඔන්න ඔය ළමයකුට තමයි. දැං ඉතිං මේක වෙනදටත් වැඩිය උදෙන් ඉස්කෝලෙ එනව හෙනම හෙන පිලිවෙලට. උදේ ආව වෙලේ ඉඳං සංකටයි මටයි කනුකුණු ගානව පාරට යන්න මුගෙ ජිඟිරිපාං කෙල්ල බලන්න. ඇයි ඉතිං දවසටම බලාගන්න වෙන්නෙ උදේට එකපාරයි දවල්ට ඉස්කෝලෙ ඇරුනම එකපාරයි නෙ. අපි දෙන්නටත් මොකෝ අනුන්ගෙ හරි කෙල්ලෙක් බලන්න තියෙනවනං. ඔය දෙතුන්දාහක් කෙල්ලො අස්සෙ අපෙත් බඹා කොටපු එකී උන්නොත් එපා කියයි. ඉතිං අපිත් යනව මේකව මැදිකරං දෙපැත්තෙන්.

ඔන්න බොලේ කෙල්ල ඉස්සරහටම එනව. බොබ් කට් කපාපු කොට මොඩ්ල් කෙල්ලෙක්. හරිම සිරියාවයි. යකෝ මේ කෙල්ල කොහෙන් පාත් උනාද අපි මේ ඉන්නව ඇහැට දැකල නෑනෙ මේහෙව් එකක්. කෙල්ලගෙ අතේ නෙට් බෝලෙකුත්. ඈ ඕයි මේකි කොට වැඩි නැද්ද නෙට්බෝල් ගහන්න? [මේ සේරම මට හිතිච්ච මිසක් කටෙන් පිටවෙච්ච දේවල් නං නෙමෙයි]

ඔන්න ඔහොම සතියක් විතර ගියා. හැමදාම උදේට ඒ.ජේ කෙහෙල් ඇවරි හිනාව දාගෙන අපි දෙන්නවත් දෙපැත්තෙන් තියාගෙන පල්ලෙහාට යනව ආයෙම හවසට පුස්තකාලෙ ඉස්සරහ තියෙන නෝටිස් බෝඩ් එක ලඟ ‍රැකල ඉඳල පස්සෙන් යනව. ඔතනින් එහාට මෙලෝ දෙයක් වෙන්නෙ නෑ. දැං මේ රුටීන් එක අපි දෙන්නට එපාම වෙලා.

මචං ඔහොම ගිහිල්ල හරියන්නෙ නෑ. කෙල්ල කැමතියිද කියල දන්නෙත් නෑ නේද?

මේ උදේ පාන්දර උඩට පල්ලෙහාට ගිහිල්ල හැමෝටම නෝන්ඩි වෙලා බං අපි. පස්සෙන් ගියා ඇති දැන් ඉතිං අහපන්. බැරිම තැන සංකය කිව්ව.

එහෙම කොහොමෙයි බං එක පාරටම අහන්නෙ, අනික මේකි පොත්ත රතුවට උන්නට කවුද දන්නෙ කොහේ කාගෙ කවුද කියල. අන්තිමට මට හෙන මරාලයක් කරගහන්න වෙයි. උඹල නං කියයි.

එහෙනං ඔකිගෙ යාළුවෙක්ගෙන් වත් අහල බලහං, අර කෙමෙස්ට්‍රි ක්ලාස් එනව නේද ඕකිත් එක්ක එන කළු එක.

පිස්සුද ඕයි. එක එකාගෙන් ඔය මඟුල් අහල අන්තිමට මං ඒ කෙල්ලට නෝන්ඩි වෙන්න වෙන්නෙ. අනික කෙල්ලටත් හොඳ නෑ නෙ බං.

මුගෙ ගනං. බොට අහන්න බැරිනං නිකා හි‍ටු. මීට පස්සෙ මං නෙවෙයි උඹත් එක්ක මේ ක‍ටු කන්න එන්නෙ. නවම් ‍තෝත් මුගෙත් එක්ක යනව නෙවෙයි. සංකයට මළ පැනල අරූට අම්ම මෝ නැතුව බනිනව.

හරි හරි බොලව්, ඉඳපල්ල මං පොටක් පාදගන්නකං. අනේ එතකං හොඳ එවුන් දෙන්න වගේ වරකො මාත් එක්ක. ඒ.ජේ නාහෙන් අඬනව.

හරි, එන්නං මේ සතියෙ විතරයි. උඹ අහනවනං අහපං, ඊට පස්සෙ අපි නෑ තොගෙ මඟුල් වලට. කෙල්ලොන්ට උනත් මෙහෙම පාච්චල් වෙන්න බෑ ඕයි. සංකය ආපහු බෙරිහන් දෙනව.

ඒ සතියත් සුපුරුදු විදියට පාරෙම ගෙවුන. දැං අර මං කලින් කිව්ව පාර දෙකට බෙදන්න මැද්දෙන් හිටන් ඉන්න ට්‍රැ‍ෆික් කොල්ලන්ටත් මොකක් හරි සීන් එකක් කියල තේරිලා. උන් ඉස්සරහින් යනකොට දානව කින්ඩි හිනාවක්, ආයිත් වසන්න හිතෙන්නෙ නෑ.

ඔන්න ඊලඟ සිකුරාද ඒ.ජේ එනව අපි දෙන්න ගාවට මහ හිඟන මුනක් දමාගෙන. දැං අපි දන්නව මොකක් හරි මහ චාටර් වැඩක් තමයි කියල.

මචං මං කෙල්ල ඉන්න පැත්ත හොයා ගත්ත හෙට යමන්ද?

බෑ කියන්නෙ මොන හිතකින්ද මෙ මූණ දිහා බලාගෙන. අනික බෑ කිව්වොත් මූ මෙතනම බිම වාඩිවෙලා අඬන සයිස්.

හා යමං.

එහනං බොලා දෙන්න හවස හතරට විතර කලේගාන හන්දියට වරෙල්ල. අනේ වරද්දන්න එපා බොලව් හොඳේ?

හරි හරි අපි එන්නං උඹ පුටාර් එක අරං වරෙන්. මගෙ එකේ ඩබල් දාන්නෙ බෑ බං. පොල්ල  ජොයින්ට් එකෙන් දිරල.

ඔන්න දැං සෙනසුරාදා අපි දෙන්න හන්දියට වෙලා බලං ඉන්නව මූ එනෙකං. කොල්ල එනව පුටාරෙ පැදං. අප්පට සිරි පොර ටී එකක් ඇඳල ඊට උඩින් බොත්තන් නොදාපු කො‍ටු කො‍ටු අත්දිග ෂර්ට් ඒකක් ඇඳල ඩෙනිමක් ගහල රබර් ක‍ටු දෙකකුත් දාගෙන එනව. [ඩෙක් ෂූස් නැද්ද ඇහුව ? මොන අපි ඒ කාලෙ ඕව්ව ගැන අහලවත් නෑ. අනික ඉස්කෝලෙටයි මඟුල් ගෙදරකයි හියොත් ඇරෙන්න අපි දාන සපත්තු]

යමල්ල යමල්ල පරක්කු වෙලා කියල ඒ.ජේ සංකයවත් හන්දියෙන් දාගෙන පදිනව වක්වැල්ල පාරෙ. මං උන් දෙන්නට ඉස්සරහින් පදිනව.

ඔය ඉස්සරහ බෝක්කුවට මෙහායින් දකුනට හරෝපන් ඒ.ජේ මහ අබ්ලික් වොයිස් එකකින් කෑගහනව . සංකය දාගෙන පැදල පොරට අම්බානක හති.

හරි හරි මචන් මේ හරියෙ තමයි ගෙවල් තියෙනව කිව්වෙ. බැහැල හෙමින් යමල්ල.

මොන මඟුලක්ද බං, ගෙවල් දන්නවනං යමංකො බයිසිකලෙන්ම යමංකො.

ඉන්න පාර විතරයි බං මම දන්නෙ.

අනේ හරකො, ඉන්න පාරක් විතරක් දැනගෙන කෙල්ලෙක් හොයාගන්න පුළුවන්ද? මොකෝ ඒකි ඉන්නෙ පාරෙද?

නෑ මචං. ගෙවල් තියෙන්නෙ මේ පාරෙ අයිනෙ. පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ල බලමු.

එහෙම කියල මේක බයිසිකලෙත් තල්ලු කරන් අපි දෙන්නත් ඉස්සර කරන් යනව. අපිට මොකෝ අපේ කෙල්ලෙක්ය කියල වගක් නැතුව අපි මුගෙ පස්සෙන් යනව.

මචං නවම්, මොකෝ බං අරූ අර වතු වලට එබි එබි කරන්නෙ?

අනේ මන්ද බං. ගුටි කන පොටක්ද දන්නෙ නෑ.

මේ කෝකටත් අපි දෙන්න ටිකක් පහු වෙලා යමු. නැත්නං මුගෙ හරක් වැඩ වලට අපිටයි කන්න වෙන්නෙ.

හ්ම්..

එකපාරටම ඒ.ජේ නැවතුනා ගෙයක් ලඟ, පොර වැට ගාවටම ගිහිල්ල වත්තට එබිකං කරනව. පාත් වෙනව. ආයෙමත් ඉස්සෙනව ආපහු ඩිගක් ඉස්සරහට ගිහිල්ල ආයෙමත් පාත් වෙනව ඉස්සෙනව මේකට මොකෝ වෙලා තියෙන්නෙ ?

හරි හරි මචං මේක තමයි ගෙදර. දැං කවුරුවත් දකින්න කලිං යමල්ල. කට කනේ තියං ඒ.ජේ කියනව.

සිරාද, බර අත්තක් වගේ නේ, කෝ කෙල්ල හිටියද ගෙදර. මොකෝ උඹත් එක්ක හිනා උනැයි?

කෙල්ල කොහේද බං අද ගෙදර, ඒකිට අද ගුරුගේ ගෙ පිචිස් ක්ලාස්නෙ.

මොන රෙද්දක්ද බං, කෙල්ල ගෙදරත් නෑ කියල දැන ගෙනද මෙහෙම කට්ට කෑවෙ. එතකොට උඹ කොහොමෙයි දන්නෙ මේ ඒකිගෙ ගෙදරමෙයි කියල?

උඹලට පිස්සුද, ගෙදර ඉන්න දවසක මෙහෙම ඇවිල්ල මාට්‍ටු උනොත් නෝන්ඩිනෙ බං. මේ ඒකිගෙ ගෙදරම තමයි.

උඹ කොහොමෙයි හරියටම කියෙන්නෙ.

ෂෝට වැලේ තිබුන බං

ෂෝට? මොන ෂෝටක්ද බං බොට පිස්සුද?

ඒකි නෙට්බෝල් ප්‍රැක්ටිස් කරනකොට සායට යටින් අඳින රතු ෂෝට බං !

කුහකයා සහ අසහනේ


ඔහොමද බූරුවො ආදරේ කරන්නෙ,
උඹලා ඔය මොනවද කරන්නෙ,
බස් එකේ මුල්ලෙ තුරුළු වෙලා
සෙනඟ දිහා හොරෙන් බලං

පාක් එකේ කාක් වසුරු අස්සෙ
ගෙවිච්ච රබර් ක‍ටු දෙක තට්ටමට තියං
ගහක් යට වාඩිවෙලා කුඩෙං වහං
ඔහොමද යකෝ ආදරේ කරන්නෙ

තොපි අහල නැද්ද ආදරේ පූජනීයයි කියල
ප්‍රේමය රාගයෙන් තොරයි කියල
නිසි වයසට එනෙකං හි‍ටු
තොපිලට කුලප්පුව

වරෙව් මං එක්ක පෝලිමේ
අද දෙන්නං තොපි සේරටම
ටවුම මැදිං සෙනඟ අස්සෙන්
යමව් ගෙවල් වලට කියල බන්දල දෙන්න
කාලකණ්නි හැත්ත

මොකෝ බොල ‍තෝ අඬන්නෙ
හුජ්ජ ගියැයි කලිසමේ
ඒපාර මේකිත් අඬන්න තියාගත්ත
මොකෝ තොට මාරු උනැයි මෙතනම

යකෝ හරි වයස එනකං ඉවසල හි‍ටු
මේ මං උන්නෙ, එකියෙක් දිහා නෑ ඇහැක් ඇරල බැලුවෙ
තොපිලට අසහනේ,
ඒකයි මේ හෙණේ !

මට පියාඹන්න කුරුළු පිහා‍ටුවක් දෙන්න

නවම්ට තාත්ත ගැන ඉස් ඉස්සෙල්ලම මතකයෙ තියන විදියට තාත්ත හුල‍ඟේ පාවෙන වී කා‍ටු ගොඩක් අස්සෙන් දුඹුරු පාට හං බෑග් එකක් එක උරේක දාං ඉස්සරහට එනව. මට එදා දැක්ක මූණ මතක නැතත් ඒකාලෙ පින්තූර බලනකොටනං යාන්තං චායාවක් වගේ මැවිල පේනව. ඒ සමහර විට දැං තාත්තගෙ රූපෙයි, අර ඉස්සර ගත්තු පින්තූර වල ඉන්න තාත්තගෙ රූපෙයි එකට කවලං වෙලා මගේ හිතේ ඇඳිච්ච වෙනමම රූපයක් වෙන්න ඇති.

මං ඉපදිලා ඩිංග දවසකින් තාත්ත ආණ්ඩුවෙ රස්සවෙන් නිවාඩු අරගෙන සවුදි අරාබියෙ ගිණි නිවන හමුදාවෙ රස්සාවකට ගියාලු.  ඒ  “මට දැං පුතෙක් ඉන්නව, ගෙයක් දොරක් හදාගන්න ඕනෙ”  කියල. ලංකාවෙදි තිබුන කෙටිකාලීන හමුදා අත්දැකීම් ඒකට ලොකු උදව්වක් වෙන්න ඇති. අනික ඒ වෙනකොට කොළඹ ගිණිනිවන ඒකකයේ වැඩකරල පළපුරුද්දකුත් තාත්තට තිබිල තියෙනව.

ඉතිං මට අවුරුදු තුනක් වෙනකං තාත්තව දැක්කෙ “මගෙ සුදු පුතාට ආදරෙන්” කියල පිටිපස්සෙ ලියල එවන ලස්සන රූප තියෙන පෝස්ට් කාර්ඩ් එක්ක එවන තාත්තගෙ පින්තූරෙකින් විතරයි. එක දවසක් තාත්ත එවපු පින්තූරවල තාත්ත ෂර්ට් එකක් වත් නැතුව කාන්තාරෙ වැලිගොඩක් උඩ වාඩි වෙලා ඉන්න එකක් තිබුන. චූටිපුංචි ඒක දැකල “හා මෙන්න තාත්තට කාන්තාරෙදි හොරු අල්ලං ගහල ෂර්ට් එකත් ගලවං ගිහිල්ල” කියාපි. ඔන්න ඉතිං හැබැහින් දැක්ක කියල මතකයක් නැති තාත්ත ගැන මට දුක හිතිල පුංචිල සේරමලත් එක්ක රණ්ඩු උනාලු. තවත් දවසක් ඇඳේ යකඩ විට්ටමේ කූරු අස්සෙන් තාත්ත බලං ඉන්න පින්තූරයකට “තාත්ත ඔන්න අරාබියෙ හිරේ දාල කියල” ගෙදර හෙන ජල්ලියක් ඇල්ලුවලු.

ඔන්න ඔය අරාබි රස්සවෙන් පස්සෙ ඉස් ඉස්සෙල්ම හක්මන ආච්චිලගෙ ගෙදරට ආපු  තාත්ත තමයි අර වී කා‍ටු ගොඩක් අස්සෙන් දැක්කෙ. ඒ වෙලාවෙ කොහෙන්ද ගෙනාපු අතිං කරකවන යෝධ ෆෑන් එකකින් හුලං ගගහා මිදුලෙ වී හුලං කරනව. එදා දවසට තාත්ත එනකං මගේ ලෝකෙ ලොකුම දේ වෙලා තිබුනෙ අර වී හුලං ගහපු ෆෑන් එක. එදා ඔච්චරයි මට තාත්ත මතක. ආයෙමත් තාත්ත මතක් වෙන්න ගමන් මහන්සියට ඇතුලෙ කාමරේක නිදියගෙනව දැකල අම්ම ගාවට ගිහිං “අම්මේ… තාත්තගෙ ලොකු, යෝධයෙක් වගේ අන්න ඇඳේ නිදි” කියල කියාපු වෙලාවෙ.

ඊට පස්සෙ තාත්ත ගෙනාපු ටින් කරපු පළතුරු, චීස්, විස්කෝතු කනකොටයි, නූලකින් උඩ එල්ලල බැටරි දාල අතෑරියාම නූලෙ දිගට වටේට කැරකෙන ප්ලේන් එකයි, හැප්පුනාම පස්සෙන් පස්සට ඇවිල්ල ආයෙමත් පාර හොයාගෙන යන රතුපාට කාර් එකයි, මිදුලෙ වැලි තල්ලුකරන් යන කහපාට බුල්ඩොසර් එකයි එක්ක සෙල්ලං කරපු වෙලාවෙත් තාත්ත මගේ පස්සෙන් උන්න කියල මතකයි යාන්තං.

ඊට පස්සෙ තාත්තයි අම්මයි මාව ආච්චියි, සීයයයි, පුංචිඅම්මල රොත්තයි එක්ක ගමේ දාල ගාලු ආවලු රස්සාවට. ඒ වෙනකොට අම්මත් ආණ්ඩුවෙ රස්සවක් කරපු නිසයි, තාත්තගෙ රට යන්න ගත්තු නිවාඩුයි අහවර වෙච්ච නිසයි මාව තියල යන්න උනාලු. අද වෙනකොට මට ඒ කිසිම දෙයක් මතක නෑ, යන්තං එළිවෙච්ච වෙලාවෙ ඉඳන් ගොම්මන් වැ‍ටුනම ගෙට එන්න කියල ආච්චි කතාකරනකන් පුංචි අම්මලත් එක්ක නටපු විගඩං ඇරෙන්න.

ඔතනින් පස්සෙ ආපහු තාත්ත ගැන මතකයක් තියෙන්නෙ මාව සී.ඩී125 එකේ ටැංකියෙ උඩ තියං ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙට එක්ක යනව. ඊට පස්සෙ ආපහු කාලයක් යනකං මතක නෑ. ආපහු මතක තියෙන්නෙ හයවසරෙදි ඊස්ටර්න් ස්පොර්ට් බයිසිකලයක් අරන් දෙන්න ගාල්ලෙ ඩේවිඩ් එකට ගියපු ගමන තමයි. එදා ඉඳං පුංචි පුංචි හිස් තැන් එක්ක තාත්තව මතකයි. අද උදෙත් වගේම ඒ හැම උදේකමත් තාත්ත දැක්කට මගේ මතකයේ තාත්ත ඉන්නෙ සමහරක් දවස් වල විතරයි, හරියට කඩ ඉරක් වගේ.

ඒ සමහර විට මට තාත්තව එකදිගටම මතක තියාගන්න ඕනෑ උනේ නැති නිසා වෙන්න ඇති. තාත්ත මට ආදරේ කලා හොඳටම වැඩී. අත මානයෙන් එහාට යන්න දුන්නෙ නෑ කොයිම වෙලාවකවත්. ගහකට නගින්න, බයිසිකලයක් අරන් දුන්නත් ඒක පැදන් පාරට යන්න, ගිං ග‍ඟෙන් වට වෙලා තිබුන තාත්තගෙ ගමට ගියාම ගඟට බහින්න, බාප්පලගෙ ළමයි එක්ක ඒ ග‍ඟේ පාරු පදින්න, ඉස්කෝලෙ ළමයි එක්ක ට්‍රිප් එකක් යන්න, අඩුම තරමෙ ඉස්කෝලෙ බාහිර වැඩකට යන්න ඉඩක් නොදුන්න ගානයි. ඉඳල හිටල බැරිම උනොත් අඬල පොළොවෙ හැප්පුනාට පස්සෙ එකක් දෙකක් කරන්න ඉඩක් දුන්නත් හැම වෙලාවකම ඒක මට මදි උනා. මම එදා වගේම අදත් අනිත් තාත්තලත් එක්ක අපේ තාත්තව සංසන්දනය කරනව. මම වැරදි ඇති. ඒත් මේ මට හිතෙන හැටි.

උපන් දා ඉඳල අවුරුදු දහ අටක් වෙනකන් මට සෙනසුරු අපලෙ තිබුනලු. තාත්ත බය වෙන්න ඇති මම මොකක් හරි අණතුරක් කරගනී කියල ඔය දේවල් කලාම. ඒත් එපා කියන්න කියන්න මට ඒ දේවල් මයි කරන්න ඕන උනේ. තාත්ත නැති වෙලාවට ගෙදර ඉස්සරහ අඹ ගහේ නැගල දිමියො කකා අත්තක පැද්දී ඉන්න එක මට මහ මෙරක් වගේ උනා. තාත්ත ගෙදර ඉන්න වෙලාවට ගේ වටේ විතරක් බයිසිකල් පැදපු මම තාත්ත ගෙදර නැතිවෙනකොට හොරෙන් පාරට ගියා. කොටින්ම තාත්ත එපා කියපු හැම දෙයක්ම  තාත්ත නැති වෙලාවට කලා. ඒකෙන් මම තෘප්තියක් ලැබුව. එහෙම හොරෙන් කරපු වැඩක් ඉඳ හිට වෙලාවක තාත්තට අහු වෙලා බැනුම් ඇහුවත් කිසිම ගානක් තිබුනෙ නෑ මට. ඒකාලෙ මං තාත්තට නරක පුතෙක් වෙන්න ඇති. ඒත් මං උන්නෙ හරිම සන්තෝසෙන්.

ඒ ආදරේ මට වදයක් වෙන තරමට මාව හිරකරගෙන උන්නෙ. නිදහසේ කුරුල්ලක් වගේ පියාඹන්න බලං උන්න මට තාත්ත පෙනුනෙ හිරකාරයෙක් ආරක්ෂා කරන ජේලර් කෙනෙක් වගේ, මගේ ඉස්සරහ තියෙන මහා පවුරක් වගේ එලිය බලන්න බැරි තරං උස. මට එහෙම තාත්තව පෙනුනට තාත්තට මාව පේන්න ඇත්තෙ සම්පූර්ණයෙන්ම වෙනස් විදියකට.

අද මං පුදුම තරං නිදහසක් විඳිනව. එදා වගේම අදත් තාත්ත පැත්තක ඉඳං මම දිහා බලාගෙන ඉන්නෙ. ඒත් තාත්තට තේරිලා ඇති මට දැන් නිදහස දෙන්න කාලෙ හරි කියල. ඒත් මේ නිදහස මීට ටික කාලෙකටහරි කලින් හම්බු උනානම් මට මීට වඩා සන්තෝස වෙන්න තිබුන කියල නොහිතෙනවත් නෙමෙයි. සමහර වෙලාවට මට එහෙම නිදහසක් දුන්නනම් ඒක මගේ විනාසෙටත් මුල වෙන්න තිබුන.

මගේ මතකයේ තාත්ත කඩ ඉරක් වගේ උනාට එදා ඉඳන් අද වෙනකං තාත්තට මගේ ජීවිතයේ හැම දවසක්ම අඩුවක් නැතුව මතක ඇති හරියට මාස හයක් වෙච්ච පුතු පැටියගෙ හැම දවසක්ම මට මතක තියෙනව වගේ.

කොහොම උනත් මම අද තාත්ත ගැන හිතන විදියට මගේ පුතු පැටිය මම ගැන නොහිතයි කියල මම හිතනව. ඒ මම ඒකව කොයිම වෙලාවකවත් අනවශ්‍ය විදියට හිර කරන්න බලන් ඉන්නෙ නැති නිසා. මගේ තාත්ත නොදැන කරපු දේ දැන දැනත් මං කොහොමද කරන්නෙ. ඌ අත්ත‍ටු නැති කුරුල්ලක් නම් මම ඌට අත් ත‍ටු දෙකක්වෙනව ඌත් එක්ක එක රෑනට පියාඹන්න. ඌ වරල් නැති මාළුවෙක් නං මම උගෙ වරල් දෙක වෙනව ඌත් එක්ක එකට පීනන්න. හුලං නැති දවසක ක‍ටු රොදකට පාත් වෙච්ච වරා මලක් නම් හුලං ‍රැල්ලක් වෙනව පැළ වෙන්න තරම් සරු පොළොවක් හොයාගෙන පාවෙලා යන්න.

ඒ තමයි මගේ ආදරේ !

%d bloggers like this: