ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ගෑණු බෝඩිම] – පලමු කොටස

නවම් ඉස් ඉසෙල්ලාම රස්සාවකට ගියේ ක‍ටුණායක අපනයන සැකසුම් කළාපයේ තියන ජාත්‍යන්තර මට්ටමේ මුද්‍රණායතනයකට. අද වෙනකනුත් ඒක තමයි මම දැකපු හොඳම මුද්‍රණායතනය. ඒකෙ ප්‍රධානම කටයුත්ත උනේ මෝස්තර ලෝකයේ ප්‍රධානම වෙළඳනාම යටතේ නිමවෙන ඇඳුම් පැළඳුම් වල ටැග්ස් මුද්‍රනය කරන එක, ස්පිඩෝ, බිමිනි බේ, ටෙස්කෝ චැරොකි, ලිස් ක්ලෙයාර් බෝන්, ටොමී හයි‍ෆිගර්, වික්ටොරියා සීක්‍රට්, ගුචි, බෙන් ශර්මන්, ලකොස්ට්, බනනා රිපබ්ලික් ඒ අතරින් මට මතක ටිකක්. ඊට අමතරව ඇඳුම් වලට තියල මහන ලේබල් එහෙම ගොතන අංශයකුත් වෙනම තිබුන.

ඔය රස්සාවට ගාල්ලෙ වෘත්තීය පුහුණු අධිකාරිය පවත්වාගෙන ගියපු මුද්‍රණ පුහුණු  ආයතයේ මාත් එක්ක පුහුණුව ලබාපු තවත් යාළුවො හයදෙනෙකුත් එදාම ආව. අර කෙල්ලෙක් උස්සන්න හදාපු චමින්දයටයි පරණෙටයි අපිත් එක්ක එන්න බැරි උනා ඒත් ආපු උන් ටිකත් වරදක් නෑ. අපි එකෙක් වත් ගාල්ලෙ ඉඳන් ක‍ටුනායක ඇවිල්ල තිබුනෙ නැති නිසා අපේ තාත්ත ස්වෙඡාවෙන්ම ඉදිරිපත් වුනා අපිව එක්ක එන්න. ඉරිදා දවසක උදේ පාන්දරම සමුද්‍රෙන් කොළඹ ඇවිල්ල පිටකො‍ටුවෙන් බස් එකේ ඇවරිවත්තට ආව.  එතන ඉඳල අපි වෙලපහම හොයල තියාගත්තු [අහල විතරක් තිබුන] බෝඩිම හොයාගෙන තඩි බෑග් මලු කර තියන් අමන්දොළුව බේස්ලයින් පාර දිගේ යනව.ඔහොම්ම විනාඩි විස්සක් විතර ඇවිදල හොයාගත්ත බෝඩිමේ ගේට්‍ටුව, ඉස්සරහම තියෙන්නෙ හාඩ්වෙයාර් එකක්. ඒකත් පහුකරන් වත්ත ඇතුලට යන්න කියල එතන උන්න කෙනෙක් කිව්ව. ඊට පස්සෙ, එහෙනම් හරිනේ මම යන්නම් පුතාල කියල අපේ තාත්ත ආපහු ගියා, රෑ වෙන්න කලින් ආපහු ගෙදර යන්නත් ඕනනෙ.

අපි හයදෙනා තව අඩි දහයක් විතර ඉස්සරහට ගියා.. මෙන්න කෙල්ලෙක් තුවායක් විතරක් ඇඳං අපි ඉස්සරහින් දුවල අතුරුදහන් වුනා. විළිලැජ්ජාවෙ සන්තෝසෙ බෑ. කෙල්ලොත් ඉන්නව වගේ බෝඩිමේ. තව ඩිංගක් ඉස්සරහට යනකොට මෙන්න බොලං ජංගි, බ්‍රා, යටසායවල් ගවුං කොටයි තව අනං මනං එල්ලෙන වැල් පෝලිමයි. ඒ වැල් වලට පිටි පස්සෙන් පපුව ගාවට උස්සල සායවල් ඇඳගත්තු, තුවා ඇඳගත්තු ගෑණු දරුවො පෝලිමක් හෝදපු රෙදි වලින් තවත් වැල් පුරවනව. අර බාගෙට හෙළුවෙන් දුවාපු කෙල්ල දැකල ආපු චූන් එක කොහෙන් ගියාද මන්ද, [තාත්ත ගේට්‍ටුව ගාවින්ම හැරිල ගියාපු එක හොඳට ගියා, නැත්නං මේ විසූක දස්සන දැකල මේ රස්සවෙන් කමක් නෑ කියල ආපහු ගෙදර කුදලං යනව ෂුවර්]

මචං මේකෙ අම්බානකට කෙල්ලො නේ.

කොල්ලෙක් පේන්නවත් නෑ බං.

ඔව් ඕයි, සිරාවටම අපි වැරදි තැනකටද ආවෙ බං

අපි කට්ටියට දැං එලෝ කෝටියක් ප්‍රශ්ණ. කොල්ලෙක් වත් නැති බෝඩිමක කොහොම ඉන්නයි, ආසාව තිබුනට අඩුරුදු විසි එකේ විසි දෙකේ කොල්ලො නෙව අපි හිරි ඔතප් එහම බිඳිල නෑ නොවැ. අනික ඔච්චර කෙල්ලො ගොඩක් මැද, බුදු අම්මෝ !. ඕන මඟුලක් කියල තව ඩිංගක් ඉස්සරහට යනකොට මෙන්න කෙල්ලො පිරිවරාගෙන බුද්ධික අයිය හිනාවක් දාගෙන අපි දිහාට එනව. බුද්ධික අයිය අපිට කලින් ගාල්ලෙන් ක‍ටුණායක ආපු කෙනෙක්, මිනිහ තමයි අපිට මේ බෝඩිම සෙට් කරල දුන්නෙ.

මොකෝ මේ මල්ලිල බයවෙලා වගේ බුද්ධික ? අර කෙල්ලෙක් නෝන්ඩියට වගේ අපි දිහා බලල උගෙන් අහනව.

ගාල්ලෙ එක කෙල්ලක්වත් අපිට මෙහෙම නෝන්ඩි දැම්මෙ නෑ, වස ලැජ්ජාවයි. මිනිහට තේරුනා අපි ඉන්න තත්වෙ. ඒක හන්ද සීන් එක වැඩිය නෝන්ඩි කරන්නෙ නැතුවම අපේ කාමරේ පෙන්නන්න එක්කන් ගියා.

මේක අපි කලින් හිතන් උන්න ජාතියෙ බෝඩිමක් නෙමෙයි, තට්‍ටු දෙකේ බිල්ඩිං දෙකකුයි, වත්ත පුරාම තව තනි තට්‍ටුවෙ බ්ලොක් ගඩොලින් බැඳපු ගෙවල් හතර පහකුයි  තියන හොස්ටල් එකක් වගේ. බිල්ඩිමක් කිවට යාන්තං බ්ලොග් ගල්වලින් බිත්ති බැඳල කපරාරු කරල වහලක් ගහපු, එක තට්‍ටුවක දෙපැත්තට මූන දාපු මිදුලට දොරවල් ඇරෙන හදාපු එකක්. අපේ ගෙදර කාලෙකට ඉස්සෙල්ල තිබුන කුකුළු කූඩුවත් මීට පිළිවෙලයි. කාමර කාමර හැම තැනකම. අපිට හම්බු උනේ දෙවෙනි බිල්ඩිමේ යට තට්‍ටුවෙ මුලින්ම තියෙන කාමරයක්. දොරට අඩි හතරක් විතර ඉස්සරහින් අඩි දහයක් විතර උස වත්තෙ මායිම් තාප්පෙ.

ඕන්න බොලාගෙ කාමරේ කියල මිනිහ ඩිංගක් එහායින් බලං උන්න කෙල්ලො රොත්ත ගාවට ගියා. අපිත් ඌට උගෙ වැඩක් බලාහන්න ඉඩ දීල කාමරේට රිංගුව. කාමරයක් කිව්වට අපේ ගෙදර කක්කුස්සියත් මීට වැඩිය ලොකුයි වගේ. කාමරේටම තියෙන්නෙ එක තට්‍ටු ඇඳයි. දැන් අපිට හෙන ප්‍රශ්ණෙ හය දෙනෙක් මේකෙ ඉන්නෙ කොහොමද කියල. අන්තිමට තීරණය කලා හතරෙ දෙනෙක් එක තට්‍ටුවක දෙන්න ගානෙ ඇඳේ නිදාගන්නත් තව දෙන්නෙක් බිම නිදාගන්නත්.

ඒ සේරටම කලින් කාමරේ අස්පස් කරගන්න එපැයි. සෑහෙන කාලෙකින් පාවිච්චි කරල නෑ වගේ දූවිලි හැම තැනම. ඉස්සෙල්ලම ඇ‍ඳෙන් පටන්ගම්මු කියල මෙට්ටෙ එහම එලියට දාල ඇඳ පොලු එක එක ගැලෙව්ව. පිස්සු හැදෙයි, මෙන්න යකෝ ඇඳපොළු වල දෙපැත්තෙ මකුණො. උපන්තේකට මකුණෙක් දැක්කමයි මං ඔය. දැං ඉතිං මොකෑ කරන්නෙ. සෙට් එකම කල්පනා කරනව.

හානේ… ! අළුතින් මල්ලිල කට්ටියක් ඇවිල්ල නේද. මම මේ මෙට්ටයක් එලියෙ දාල තියනව දැකල බැලුවෙ.

ම්.. කවුද ඒ කියල කට්ටියම හැරිල බැළුව.

හෙනම හෙන හැඩ කෙල්ලෙක්. හිරට හිරේ කොටට කොටේ ඇඳල ඒ මදිවට පෝනි ටේල් එකකුත් දාල. අපි කට්ටියටම කට උත්තර නෑ.

ඇයි මල්ලි ඇඳේ මකුනො නේද ? හැම කාමරේකම ඔහොමයි. වහල තියෙන කාමරවල ඊට වඩා ඉන්නව. උණුවතුර එකක් ගහන්න, එතකොට ඔක්කොම හරි කියාගෙන එයා ගියා.

අපිත් ඉතිං අක්ක කියාපු විදියට බුද්ධික අයියගෙන් බාල්දියක් ඉල්ලන් හීටරේ ගහල  උණු වතුර එහෙම හදාගෙන මකුණු සංහාරය කරල, ඩෙටෝල් දාල කාමෙරේ බිත්තිත් එක්ක හෝදල, ගෙදරින් ගෙනාපු ඇඳ රෙදි එහම දාල බෑග් එහෙම පිළිවෙලකට තියල, ජනේලෙයි තට්‍ටු ඇඳේ උඩම කණුවකුයි අල්ලල පොඩි රෙදි වැලක් එහෙම ගැටගහල කාමරේ පිළිවෙලක් කරගත්ත. දැන් නම් මනුස්ස වාසයක් වගේ.

දවල්ට කන්නත් බැරිවෙච්ච හන්ද වැඩ කරල අහවර වෙනකොට හෙනම බඩගිනියි. අයිත් කොල්ලො අපි උයන්නය කියලයි. එලියෙ බාගෙට බිත්ති බැඳපු ෂවර් පෝලිමෙන් නා කියාගෙන එහෙම හය දෙනාම ගියා එලියට රෑටයි දවල්ටයි දෙකටම හරියන්න කන්න කියල. මගෙ මතකෙ හැටියට අපි කෑවෙ කොත්තු වෙන්න ඕනෙ. රුපියල් හැටයිද කොහෙද. බඩගින්නෙ වැඩි කමටද මන්ද මාරම රහයි ඒ කොත්තුව, ඇදවෙච්ච වක් ගැහිච්ච බඩවල් දිගෑරෙන්න කෑව. කෑම කෑවට ආයෙම බෝඩිමට යන්නත් කම්මැලියි. කරන්න දෙයක් ඇත්තෙත් නෑනෙ. කට්ටියම තීරණය කලා ඇවරිවත්ත ටවුම දිහාවට පයින් ගිහිල්ල එමු කියල.

Advertisements
%d bloggers like this: