ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ] – තෙවන කොටස

ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [ගෑණු බෝඩිම] – පලමු කොටස

ජීවිතය සොයා ක‍ටුණායක ගියෙමි [අසභ්‍ය වීදියේ අකල් සංචාරය] – දෙවන කොටස

බෝඩිමේ ගේට්‍ටුවෙන් ඇතුලට ආව විතරයි “මම යන්නම් මල්ලී” කියාගෙන අක්ක අපිව ඉස්සරකරන් ගියා. වත්ත ඇතුලෙ තියෙන හාඩ්වෙයාර් එකේ එලියෙ පැත්තෙ උස බිත්තියෙ බෝඩිම පැත්තට හරවල හයිකරල තිබුන ෆ්ලෑෂ් ලයිට් එකේ එලියට පි‍ටුපාල අක්ක යනව. එතකොටයි අපි දැක්කෙ අක්ක ඇවිදිනකොට කොච්චර හැඩද කියල. වළලු කර වටේට පටියක් එතිච්ච අඩි උස සපත්තු දෙකක් දාල ඇවිදින නිසාද මන්ද දණපොල්කට්ට ගවට දිහ තට්‍ටු තට්‍ටු ‍රැළි සාය උකුල පැද්දෙන පැද්දෙන පැත්තට යනව. අද දවල් අපේ කාමරේ ලඟදි දැක්ක විදියටම කොණ්ඩෙ උඩට උස්සල තනි කරලට ගොතල පෝනි ටේල් එකක් දාල, ඒකත් ඇවිදින තාලෙට පිටේ වදිනව. හෑන්ඩ් බෑග් එක වම් අතෙන් පද්ද පද්ද එයා හරිම සැහැල්ලුවෙන් යනව.

වෙලාව රෑ දහය හමාර විතර වෙලා නිසා හැමෝම තම තමන්ගෙ කාමරවල. ඒත් හැම කාමරේකම වහපු දොරවල් වල යටින් එන කහ එලිය කියනව ඒ කවුරුවත් නිදි නෑ කියල. අපි, අපේ කාමරේට ගිහිල්ල ඇඳුම් මාරුකල හයදෙනාම අර ෂවර් පේලියෙන් රෑ කියල බලන්නෙ නැතුව නාගත්ත. ඇයි හෙට වැඩට යනකොට පිළිවෙලකට යන්න එපැයි. අනික බුද්ධික අයිය වෙලාසනම කියල තිබුන උදේට තියෙන පෝලිමේ ර‍ඟේ. අපිට ඕන උනේ නෑ ඉස් ඉස්සෙල්ලම රස්සවට යන දවසෙ බාත් රූම් පොලිමක් නිසා පරක්කු වෙලා යන්න.

නා කියාගෙන කාමරේට ඇවිල්ල එක පිඟානක් අරන් අර හින්දපු පරිප්පුයි මාළු හොදියි එකට දාල පාං වාටියකින්ම කවලං කලා. බවගින්න වැඩිකමටද මන්ද පුදුම සුවඳයි. අපිට කෑම තියාහන්න මේසයක්වත් තිබුනෙ නෑ ඒ කාමරේ. බුද්ධික අයිය ඇඳපොලු වලට උඩින් මෙට්ටෙ දාන්න ඉස්සෙල්ල එලාගන්න කියල දීපු මල් පත්තර පි‍ටු ටිකක් බිම එලාගෙන හොදි පිඟාන මැදින් තියල වටේට වාඩිවෙලා පාන් ගෙඩි තුන බාගෙ බාගෙ අතින්ම කඩල බෙදාහෙන හොදිවල පොඟවන් කන්න පටන් ගත්ත.

මල්ලිල මම කරදරයක්ද දන්නෙ නෑ කරන්නෙ…

මෙන්න අක්ක ආයෙමත් අපේ කාමරේ දොරකඩ. හැමෝම තම තමන්ගෙ කාමරවල නිසා අපි අපේ දොර වහන්න හිතුවෙ නෑ.

මල්ලිල මොනවහරි වැඩක් නම් මම යන්නම්.

අපි හොදි පිඟාන වටකරන් වාඩිවෙලා ඉන්න නිසා එයාට පේන්නෙ නෑ අපි කරන්නෙ මොනවද කියල.

නෑ නෑ අක්කෙ අපි මේ පාං කනව. අක්ක කාලද ඉන්නෙ ?

මම එහෙන්ම කාලනෙ මල්ලි එන්නෙ.

එයා අපිට නොකියන මොකක් හරි කතාවක් තියෙනව කියල හිතුන නිසා අපි කාටවත් අහන්න හිත් දුන්නෙ නෑ එහෙන් කියල කිව්වෙ කොහෙන්ද කියල.

කමක් නෑ අක්කත් එන්න, පාං කෑල්ලක් කමු අපිත් එක්ක.

එහෙම කියල අපි පොඩ්ඩක් එහාට වෙලා රවුමෙ ඉඩක් හදල දුන්න. ඒත් අපිත් එක්ක  වාඩි වෙන්නෙ නැතුව අපි දුන්න පාං කෑල්ලට හොදි ඩිංගක් වක්කරහෙන දොර ගාවට ගිහිල්ල පඩියෙන් වාඩි උනා. ඒ සමහර විට එයා රෑ ගවුමක් ඇඳන් උන්න නිසා වෙන්න ඇති කියලයි අපිට හිතුනෙ.

දොර පඩිය උඩ වාඩිවෙලා උළුවස්සට හේත්තු වෙලා ගවුම ඇදල කකුල් දෙකත් වහගෙන තාප්පෙට උඩින් පේන තරු නැති අහස දිහා බලාගෙන අක්ක හෙමීට පාං කෑල්ල කනව.

අපිට එතන ඉන්න අමාරු තරං නිහඬයි. කිසිම දෙයක් එයාගෙන් අහන්නත් බෑ මොන විදියට තේරුම් ගනීද කියල හිතට බයයි.

එක නිසා එයාට එහම්මම ඉන්න ඇරල අපි කිඹුල්ලු කිරිමැටි ගිලින්න වගේ පාං ගිලිනව. වේලාසන රහට දැනිච්ච හොද්ද දැං මෙලෝ රහක් නෑ.

මල්ලිල මම ගැන මොනව හිතනව ඇතිද නේද? නරක ගෑණියෙක් කියල හිතෙනව ඇති නේද, නැතිනං කොල්ලො විතරක් ඉන්න කාමරේකට මේ රෑ එන්නෙ මොන කෙල්ලද නේද?

නෑ අක්කෙ, අපි එහෙම හිතුවෙ නෑ.

හිතුවත් මගෙ තරක් නෑ මල්ලි. මම නරකයි කියල මූණට නොකිව්වට මේ බෝඩිමේ ඉන්න හැම කෙනෙක්ම දන්නව මං ගැන. හෙට හවස් වෙනකොට මල්ලිලත් දැනගනී. ඒත් මොන එකකටද මන්ද මං ආස නෑ මං ගැන මේ මල්ලිල වෙන කෙනෙක්ගෙන් අහනවට. හේතුවක් කියල කියන්න මට තේරෙන්නෙ නෑ. ඒත් මං ආසයි ඇත්තටම මං කවුද කියල දන්න දෙතුන් දෙකෙක්වත් මේ බෝඩිමේ තියල යන්න.

තියල යන්න?

ඔව්, තියල යන්න මල්ලි…….

මමත් මේ බෝඩිමේ ඉන්න අනිත් කෙල්ලො වගේම ගම රට අතෑරල දාල මෙහේ රස්සාවට ආපු කෙල්ලෙක්. ඒත් මට මෙහේ රස්සාවකට එන්න හේතු උනේ නංගිලට මල්ලිලට උගන්නන්න නෙමෙයි, උකස් වෙච්ච ගේ දොර ඉඩ කඩං බේරගන්න නෙමෙයි. වයසක අම්ම තාත්තට කන්න බොන්න දෙන්න නෙමෙයි. මට ඒ කිසිම ප්‍රශ්ණයක් තිබුනෙ නෑ.

හ්ම්….. එහෙන මෙයා වැඩ වරද්දගෙන ගෙදරින් පැනල ආපු පොහොසත් පවුලක කෙල්ලෙක් ! ඔහොම කතාවක් ඊයෙ පෙරේද පත්තරේක තිබිල කියෙව්ව මතකයි.

එහෙනං ඇයි අක්ක මෙහේ ආවෙ?

මට ඒ කිසිම දෙයක් තිබුනෙ නැති නිසා මල්ලි.

ඒ කියන්නෙ?

මම මතක ඇති කාලෙක ඉඳල හිටියෙ ළමා නිවාසෙක.

අපිට කාපු පාං කෑලි හිරවුනා. මාළු හොදියි පරිප්පුයි ඉස්පොල්ලෙ ගියා. දවාලෙ උණුවතුරෙ දමල මරාපු මකුණො සිය දහස් ගුණයකින් වැඩිවෙලා ඇවිල්ල පස්ස පැත්ත කනව වහේ දැනුන. හෙට රස්සාවට යනව කියල මෙච්චර වෙලා හිතේ තිබ්ච්ච සතුට එහම්මම නැතිවෙලා ගියා.

මම හෙට උදේම කොළඹ යනව මල්ලි. මෙහේ රස්සාව කරන්න අමාරුයි. කොළඹ ගියා කියල ලේසි වෙන්නෙ නෑ කියල මං දන්නව. ඒත් කීයක් හරි වැඩිපුර හොයාගෙන කවද හරි මටයි කියල ජීවිතයක් ගොඩනඟා ගන්න මමත් ආසයි මල්ලි. මේ රස්සාව හැමදාම කරන්න බෑනෙ කියල ආයෙම අර හිස් අහස දිහා බලාගෙන ලොකු හුස්මක් හෙළුව.

ඒ කතාවට හූ මිටි තියන්නවත් අපේ කල්පනාව හොඳ තත්වයක නෙමෙයි තිබුනෙ ඒ වෙලාවෙ.

පාං කෑල්ල මාළු හොදියි පරිප්පුයි එක්ක හරි රහයි මල්ලි, අක්ක පොඩි එකෙක් වගේ එහෙම කියල දොරකඩට වෙලා තව ඩිංගක් වෙලා අපි දිහා බලාගෙන ඉඳල,

මම එහෙනම් යන්නම්. මල්ලිලට හෙට ඉඳල අලුත් ජීවිතයක් නේද. බුදුසරණයි ! කියල ගියා.

Advertisements
%d bloggers like this: