මට පියාඹන්න කුරුළු පිහාටුවක් දෙන්න
මාර්තු 11, 2011 ප්‍රතිචාර 35
නවම්ට තාත්ත ගැන ඉස් ඉස්සෙල්ලම මතකයෙ තියන විදියට තාත්ත හුලඟේ පාවෙන වී කාටු ගොඩක් අස්සෙන් දුඹුරු පාට හං බෑග් එකක් එක උරේක දාං ඉස්සරහට එනව. මට එදා දැක්ක මූණ මතක නැතත් ඒකාලෙ පින්තූර බලනකොටනං යාන්තං චායාවක් වගේ මැවිල පේනව. ඒ සමහර විට දැං තාත්තගෙ රූපෙයි, අර ඉස්සර ගත්තු පින්තූර වල ඉන්න තාත්තගෙ රූපෙයි එකට කවලං වෙලා මගේ හිතේ ඇඳිච්ච වෙනමම රූපයක් වෙන්න ඇති.
මං ඉපදිලා ඩිංග දවසකින් තාත්ත ආණ්ඩුවෙ රස්සවෙන් නිවාඩු අරගෙන සවුදි අරාබියෙ ගිණි නිවන හමුදාවෙ රස්සාවකට ගියාලු. ඒ “මට දැං පුතෙක් ඉන්නව, ගෙයක් දොරක් හදාගන්න ඕනෙ” කියල. ලංකාවෙදි තිබුන කෙටිකාලීන හමුදා අත්දැකීම් ඒකට ලොකු උදව්වක් වෙන්න ඇති. අනික ඒ වෙනකොට කොළඹ ගිණිනිවන ඒකකයේ වැඩකරල පළපුරුද්දකුත් තාත්තට තිබිල තියෙනව.
ඉතිං මට අවුරුදු තුනක් වෙනකං තාත්තව දැක්කෙ “මගෙ සුදු පුතාට ආදරෙන්” කියල පිටිපස්සෙ ලියල එවන ලස්සන රූප තියෙන පෝස්ට් කාර්ඩ් එක්ක එවන තාත්තගෙ පින්තූරෙකින් විතරයි. එක දවසක් තාත්ත එවපු පින්තූරවල තාත්ත ෂර්ට් එකක් වත් නැතුව කාන්තාරෙ වැලිගොඩක් උඩ වාඩි වෙලා ඉන්න එකක් තිබුන. චූටිපුංචි ඒක දැකල “හා මෙන්න තාත්තට කාන්තාරෙදි හොරු අල්ලං ගහල ෂර්ට් එකත් ගලවං ගිහිල්ල” කියාපි. ඔන්න ඉතිං හැබැහින් දැක්ක කියල මතකයක් නැති තාත්ත ගැන මට දුක හිතිල පුංචිල සේරමලත් එක්ක රණ්ඩු උනාලු. තවත් දවසක් ඇඳේ යකඩ විට්ටමේ කූරු අස්සෙන් තාත්ත බලං ඉන්න පින්තූරයකට “තාත්ත ඔන්න අරාබියෙ හිරේ දාල කියල” ගෙදර හෙන ජල්ලියක් ඇල්ලුවලු.
ඔන්න ඔය අරාබි රස්සවෙන් පස්සෙ ඉස් ඉස්සෙල්ම හක්මන ආච්චිලගෙ ගෙදරට ආපු තාත්ත තමයි අර වී කාටු ගොඩක් අස්සෙන් දැක්කෙ. ඒ වෙලාවෙ කොහෙන්ද ගෙනාපු අතිං කරකවන යෝධ ෆෑන් එකකින් හුලං ගගහා මිදුලෙ වී හුලං කරනව. එදා දවසට තාත්ත එනකං මගේ ලෝකෙ ලොකුම දේ වෙලා තිබුනෙ අර වී හුලං ගහපු ෆෑන් එක. එදා ඔච්චරයි මට තාත්ත මතක. ආයෙමත් තාත්ත මතක් වෙන්න ගමන් මහන්සියට ඇතුලෙ කාමරේක නිදියගෙනව දැකල අම්ම ගාවට ගිහිං “අම්මේ… තාත්තගෙ ලොකු, යෝධයෙක් වගේ අන්න ඇඳේ නිදි” කියල කියාපු වෙලාවෙ.
ඊට පස්සෙ තාත්ත ගෙනාපු ටින් කරපු පළතුරු, චීස්, විස්කෝතු කනකොටයි, නූලකින් උඩ එල්ලල බැටරි දාල අතෑරියාම නූලෙ දිගට වටේට කැරකෙන ප්ලේන් එකයි, හැප්පුනාම පස්සෙන් පස්සට ඇවිල්ල ආයෙමත් පාර හොයාගෙන යන රතුපාට කාර් එකයි, මිදුලෙ වැලි තල්ලුකරන් යන කහපාට බුල්ඩොසර් එකයි එක්ක සෙල්ලං කරපු වෙලාවෙත් තාත්ත මගේ පස්සෙන් උන්න කියල මතකයි යාන්තං.
ඊට පස්සෙ තාත්තයි අම්මයි මාව ආච්චියි, සීයයයි, පුංචිඅම්මල රොත්තයි එක්ක ගමේ දාල ගාලු ආවලු රස්සාවට. ඒ වෙනකොට අම්මත් ආණ්ඩුවෙ රස්සවක් කරපු නිසයි, තාත්තගෙ රට යන්න ගත්තු නිවාඩුයි අහවර වෙච්ච නිසයි මාව තියල යන්න උනාලු. අද වෙනකොට මට ඒ කිසිම දෙයක් මතක නෑ, යන්තං එළිවෙච්ච වෙලාවෙ ඉඳන් ගොම්මන් වැටුනම ගෙට එන්න කියල ආච්චි කතාකරනකන් පුංචි අම්මලත් එක්ක නටපු විගඩං ඇරෙන්න.
ඔතනින් පස්සෙ ආපහු තාත්ත ගැන මතකයක් තියෙන්නෙ මාව සී.ඩී125 එකේ ටැංකියෙ උඩ තියං ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙට එක්ක යනව. ඊට පස්සෙ ආපහු කාලයක් යනකං මතක නෑ. ආපහු මතක තියෙන්නෙ හයවසරෙදි ඊස්ටර්න් ස්පොර්ට් බයිසිකලයක් අරන් දෙන්න ගාල්ලෙ ඩේවිඩ් එකට ගියපු ගමන තමයි. එදා ඉඳං පුංචි පුංචි හිස් තැන් එක්ක තාත්තව මතකයි. අද උදෙත් වගේම ඒ හැම උදේකමත් තාත්ත දැක්කට මගේ මතකයේ තාත්ත ඉන්නෙ සමහරක් දවස් වල විතරයි, හරියට කඩ ඉරක් වගේ.
ඒ සමහර විට මට තාත්තව එකදිගටම මතක තියාගන්න ඕනෑ උනේ නැති නිසා වෙන්න ඇති. තාත්ත මට ආදරේ කලා හොඳටම වැඩී. අත මානයෙන් එහාට යන්න දුන්නෙ නෑ කොයිම වෙලාවකවත්. ගහකට නගින්න, බයිසිකලයක් අරන් දුන්නත් ඒක පැදන් පාරට යන්න, ගිං ගඟෙන් වට වෙලා තිබුන තාත්තගෙ ගමට ගියාම ගඟට බහින්න, බාප්පලගෙ ළමයි එක්ක ඒ ගඟේ පාරු පදින්න, ඉස්කෝලෙ ළමයි එක්ක ට්‍රිප් එකක් යන්න, අඩුම තරමෙ ඉස්කෝලෙ බාහිර වැඩකට යන්න ඉඩක් නොදුන්න ගානයි. ඉඳල හිටල බැරිම උනොත් අඬල පොළොවෙ හැප්පුනාට පස්සෙ එකක් දෙකක් කරන්න ඉඩක් දුන්නත් හැම වෙලාවකම ඒක මට මදි උනා. මම එදා වගේම අදත් අනිත් තාත්තලත් එක්ක අපේ තාත්තව සංසන්දනය කරනව. මම වැරදි ඇති. ඒත් මේ මට හිතෙන හැටි.
උපන් දා ඉඳල අවුරුදු දහ අටක් වෙනකන් මට සෙනසුරු අපලෙ තිබුනලු. තාත්ත බය වෙන්න ඇති මම මොකක් හරි අණතුරක් කරගනී කියල ඔය දේවල් කලාම. ඒත් එපා කියන්න කියන්න මට ඒ දේවල් මයි කරන්න ඕන උනේ. තාත්ත නැති වෙලාවට ගෙදර ඉස්සරහ අඹ ගහේ නැගල දිමියො කකා අත්තක පැද්දී ඉන්න එක මට මහ මෙරක් වගේ උනා. තාත්ත ගෙදර ඉන්න වෙලාවට ගේ වටේ විතරක් බයිසිකල් පැදපු මම තාත්ත ගෙදර නැතිවෙනකොට හොරෙන් පාරට ගියා. කොටින්ම තාත්ත එපා කියපු හැම දෙයක්ම තාත්ත නැති වෙලාවට කලා. ඒකෙන් මම තෘප්තියක් ලැබුව. එහෙම හොරෙන් කරපු වැඩක් ඉඳ හිට වෙලාවක තාත්තට අහු වෙලා බැනුම් ඇහුවත් කිසිම ගානක් තිබුනෙ නෑ මට. ඒකාලෙ මං තාත්තට නරක පුතෙක් වෙන්න ඇති. ඒත් මං උන්නෙ හරිම සන්තෝසෙන්.
ඒ ආදරේ මට වදයක් වෙන තරමට මාව හිරකරගෙන උන්නෙ. නිදහසේ කුරුල්ලක් වගේ පියාඹන්න බලං උන්න මට තාත්ත පෙනුනෙ හිරකාරයෙක් ආරක්ෂා කරන ජේලර් කෙනෙක් වගේ, මගේ ඉස්සරහ තියෙන මහා පවුරක් වගේ එලිය බලන්න බැරි තරං උස. මට එහෙම තාත්තව පෙනුනට තාත්තට මාව පේන්න ඇත්තෙ සම්පූර්ණයෙන්ම වෙනස් විදියකට.
අද මං පුදුම තරං නිදහසක් විඳිනව. එදා වගේම අදත් තාත්ත පැත්තක ඉඳං මම දිහා බලාගෙන ඉන්නෙ. ඒත් තාත්තට තේරිලා ඇති මට දැන් නිදහස දෙන්න කාලෙ හරි කියල. ඒත් මේ නිදහස මීට ටික කාලෙකටහරි කලින් හම්බු උනානම් මට මීට වඩා සන්තෝස වෙන්න තිබුන කියල නොහිතෙනවත් නෙමෙයි. සමහර වෙලාවට මට එහෙම නිදහසක් දුන්නනම් ඒක මගේ විනාසෙටත් මුල වෙන්න තිබුන.
මගේ මතකයේ තාත්ත කඩ ඉරක් වගේ උනාට එදා ඉඳන් අද වෙනකං තාත්තට මගේ ජීවිතයේ හැම දවසක්ම අඩුවක් නැතුව මතක ඇති හරියට මාස හයක් වෙච්ච පුතු පැටියගෙ හැම දවසක්ම මට මතක තියෙනව වගේ.
කොහොම උනත් මම අද තාත්ත ගැන හිතන විදියට මගේ පුතු පැටිය මම ගැන නොහිතයි කියල මම හිතනව. ඒ මම ඒකව කොයිම වෙලාවකවත් අනවශ්‍ය විදියට හිර කරන්න බලන් ඉන්නෙ නැති නිසා. මගේ තාත්ත නොදැන කරපු දේ දැන දැනත් මං කොහොමද කරන්නෙ. ඌ අත්තටු නැති කුරුල්ලක් නම් මම ඌට අත් තටු දෙකක්වෙනව ඌත් එක්ක එක රෑනට පියාඹන්න. ඌ වරල් නැති මාළුවෙක් නං මම උගෙ වරල් දෙක වෙනව ඌත් එක්ක එකට පීනන්න. හුලං නැති දවසක කටු රොදකට පාත් වෙච්ච වරා මලක් නම් හුලං රැල්ලක් වෙනව පැළ වෙන්න තරම් සරු පොළොවක් හොයාගෙන පාවෙලා යන්න.
ඒ තමයි මගේ ආදරේ !
තාත්තගේ අගය කියලා දාපු මේ පෝස්ට් එක ගොඩක්ම ලස්සනයි නවම් අයියා. ඇත්තටම අපිව ලොකු මහත් කරන්න තාත්තලා ගන්න වෙහෙස මහන්සිය දැනෙන්නේ අපිත් කවදහරි ඔය තත්වයට ආපු දවසට. නවම්ට නම් දැනටමත් ඒක තේරිලා ඇති නේ? මොකද නවමුත් තාත්තෙක් නේ.
අම්මා සදකි මම ඒ ලොව හිරුය රිදී…
දරුවන් වෙනුවෙන් අපමන වෙහෙස මහන්සියක් දරන ආදරනීය අප්පච්චිලාට මේ ලිපිය උපහාරයක්ම වේවා !!!
පීතු පාදං නමා මහන්
කැමතියිකැමතියි
හරිම හැඟීම්බරව ලියලා තියෙනවා. මටත් පුංචි කාලේ ඔය වගේ පොඩි මතක ටිකක් තමයි තාත්තා ගැන තියෙන්නේ. මොකද මම ටිකක් ලොකු වෙනකම්ම තාත්තා ලංකාවේ හිටියේ නැහැ. සැරින් සැරේ ලංකාවට ඇවිත් යනවා විතරයි. තාත්තා ලංකාවට ආපු හැම දවසක්ම මට මතකයි. ඇයි ඉතින් එදාට සෙල්ලම් බඩු, චොකලට් වැහි වැහැලනේ. ඊට අමතර ඒ දවස් වල මට මතක එකම එක දෙයයි. ඒ තමයි මම කරන දඟ වැඩ අහු වුන ගමන් තාත්තා කියනවා “ආයිත් මෙහෙම වැඩක් කරලා තිබුනොත් ගහනවා උස්සලා බිත්තියේ ගෙම්බා ගැහුවා වගේ” කියලා. මට ඉතින් එහෙම කිව්වහම අර කාටුන් වල වගේ බිත්තියේ සමතලා වෙලා ඉන්න මාව මැවිලා පේනවා…. 😀
කැමතියිකැමතියි
ඒ දවස් වල මාත් නංගිට කිව්වෙ “දෙනව බිත්තියෙ ඇළවෙන්න” කියල. එහෙම කිව්වම මගෙත් මතකය යන්නෙ අර කාටුන්වලට තමයි. ඒත් මගෙ වර්ශන් එකේ බිත්තියේ කොලයක් වගේ ඇලවිච්ච නංගිව පෝස්ටරයක් ගලවනව වගේ බිත්තියෙන් ගලවල දෙතුන්පාරක් විතර හයියෙන් ගැසුවම මුල් ගානටම එනව. 😀
කැමතියිකැමතියි
මටත් ඔය අන්තිමට කිව්වා වගේ ඊට පස්සේ තාත්තා ඇවිත් කොලයක් වගේ මාව ගලවල හොලවලා යතා තත්ත්වයට මාව ගේනවා මැවිලා පේනවා…. 😀
කැමතියිකැමතියි
ඇවිත් ගිය බවට පමණක් සටහනක් ඉතිර කර යන්නෙමි.
කැමතියිකැමතියි
ඇවිල්ල හොරෙන්ම යනවට වඩා මේත් මදැයි 🙂
කැමතියිකැමතියි
තාත්තලා ආදරේ දෙන විදිහ අම්මලට වඩා වෙනස්, ඉතින් සමහාවෙලවට හිතෙනවා තාත්ත ආදරේ නැත්දෝ කියලත්, එත් ලොකු වෙලා කල්පනා කරල බලද්දී ටම ආදරේ හරියට වැටහෙන්නේ, එතකොට පරක්කු වැඩි 😦
කැමතියිකැමතියි
ඔව් සමහර වෙලාවට ගොඩක්ම පරක්කු වැඩියි. මට කලින් වෙච්ච සිද්ධීන් වෙනස් කරන්න බැරිවුනාට මගේ වටේ තියන දේවල් , අනාගතේට වෙන්න තියෙන දේවල් වෙනස්ම විදියට ගතවෙයි කියල මම විස්වාස කරනව.
කැමතියිකැමතියි
මගේ තත්තා ගැන තියෙන මතකයනම් ඔයිට වඩා හුගක් වෙනස්.ඒ ගැන කියලා මේ ලිපිය කන්න ඕනේ නැ.ඔයාගේ පුංචි පැටියාට ලෝකේ තියෙන ඔක්කොම සතුට දෙන්න.එයාට ජීවිතය විද ගන්න වගේම ජීවිතයේ බරත් පතලත් තේරුම් කරලා දෙන්න.
කැමතියිකැමතියි
මම කියන්නෙ නෑ මේතන මගේ කතාවත් සුරංගනා කතාවක් වගේ ලස්සනයි කියල. ඒත් මම එහෙම උනේ ඇයි කියල තේරුම්ගන්න උත්සාහ කරනව ක්ෂිතිජ. එතකොට හිතට සැහැල්ලුවක් දැනෙනව.
කැමතියිකැමතියි
අපි එක් එක්කෙනාට තියෙන අත්දැකීම් අද්වතීයයි නවම්.දවසක් මම තාත්තා කෙනෙක් වුණ දවසට මගේ දරුවන්ට මම මට අහිමි වුණ දේ දෙනවා.
මමත් තේරුම් ගන්න උත්සහ කරනවා.මම නැවත නැවතත් ඒ දේ නොවෙන්න උත්සහ කරනවා.අනාගතයේදී බලමු.
කැමතියිකැමතියි
ඔව් ක්ෂිතිජ, මම හිතන්නෙ මගේ තාත්තත් සීයගෙන් එයාට නොලැබිච්ච ආදරේ මට දෙන්න ඇති. ඒත් ඉතිං මට ඒක මදි උනානෙ. මගෙ පොඩි එකාටත් මට වගේ හිතුනොත්…….
කැමතියිකැමතියි
උඹ පොඩ්ඩාට එහෙම හිතන්න දෙන්න නැති වෙන්න ආදරේ කරපන් සහෝ
කැමතියිකැමතියි
හුඟක් හැඟීම්බර පෝස්ට් එකක් අය්යෙ. මම එක පාරක් තාත්තා එක්ක රණ්ඩු කරා මට Rowing වලට යන්න දෙන්න කියලා. ඒත් තාත්තා මට යන්න දුන්නෙම නෑ. හේතුවක් කියන්නෙත් නැතුව යන්න එපාම කියනවා. මම තාත්තට හොරෙන් දවස් ගානක් Rowing වලට ගියා. ඒත් අන්තිමට තාත්තට අහු වෙලා මා එක්ක කතා කරන්නැතුව හිටියා දවස් ගානක්. අන්තිමට තමා මම දැනගත්තෙ මට වතුරෙන් මාරක් අපලයක් තියෙනවා කියල ඒ වයසෙදි. ඇත්ත දැනගත්තට පස්සෙ මම ආයෙ ගියේ නෑ. ඒත් හිතුවක්කාරකමට තාත්තගෙ හිත රිදවපු එකට මම තාම පසුතැවෙනවා.
කැමතියිකැමතියි
ඔන්න ඔය ගුප්ත බව, අදහස් හැඟීම් ප්‍රකාශකිරීමේ මැළිකම තමයි බොහෝමයක් හිත් රිදවීම් වලට හේතු වෙන්නෙ. පිණිබිඳුගෙ තාත්තට වගේම මගේ තාත්තටත් එක එක නීති තහංචි පනවන්න සාධාරණ හේතු තියෙන්න ඇති. ඒත් ඒ දේවල් අපිට තේරෙන විදියට, ළමා මනසට දරාගන්න පුළුවන් විදියට කිව්වනම් සමහර විට අපි බොහෝමයක් දෙනා දඩබ්බර නොවෙන්න ඉඩ තිබුන. එහෙම උනානම් තාත්තගෙයි අපෙයි හිත් රිදෙන එක අඩුකරගන්න ඉඩ තිබුන.
කැමතියිකැමතියි
ඒක නම් ඇත්තම ඇත්ත. ඒක හිතේ තියාගන්නැතුව කිව්වානම් ඉවරයි. අනිත් එක හුඟක් දරුවො හිතන්නෙ තාත්තා අපිට ආදරේ නෑ කියලා. එයා ආදරේ උනත් හිතේ තියාගෙන දරුවොන්ට තරහ මූණක් පෙන්නනවා.
කැමතියිකැමතියි
මාත් ඔය කාරණයට එකඟයි. දෙයක් එපා කියද්දි ඒකට සාධාරණ හේතුවක් එක්කම කියනවනම්, මාත් කැමතියි ඒ දේ නොකර ඉන්න. ඒ දේ තේරුම් ගන්න. නමුත් කිසිම හේතුවත් නැතුව (හේතුවක් තිබුනට නොදැන) දෙයක් කරන්න හෝ නොකර ඉන්න කිසිම කැමැත්තක් නෑ… ඒ හින්ද තමයි ඒ දේ හොරෙන් හෝ කරන්න පෙළබෙන්නෙ.
කැමතියිකැමතියි
තාත්තා වෙනුවෙන් ඔබට කළ හැකි හොඳම දේ නම් ඔබේ පුතා ට හොඳ තාත්තා කෙනෙක් වීමයි.
කැමතියිකැමතියි
ඔව් ක.කා අනිවාර්යයෙන්ම. ඒත් මට මෙහෙම හිතුනට අපේ තාත්ත හිතන්න ඇති මේක තමයි තාත්තකෙනෙක් වෙන හොඳම විදිය කියල. කවදාවත් වැරැද්දක් කරන්න හිතන් එහම හැසිරෙන්න නැතුව ඇති. මම අද තාත්තකෙනෙක් විදියට ඒක විඳිනවනෙ. සමහර විට මම අද තාත්තකෙනෙක් වෙන විදියට හෙට මගේ පොඩි එකා අකමැතිවෙයි. එහෙම උනොත් මට ලොකු දුකක් දැනෙයි. මොකද මම එහෙම හැසිරුනේ මට තියෙන අත්දැකීම් මතනෙ.
කැමතියිකැමතියි
ආවෙමි! කියෙව්වෙමි.
කැමතියිකැමතියි
නිහඩ ආදරවන්තයා අපේ තාත්තා කියන්නේ නිකන් නෙමේ
කැමතියිකැමතියි
අපි පොඩි කාලේ හිතන්නේ ‘තාත්ත සෑහෙන්ඩ දේවල් ගැන දන්නවනේ. මගේ තාත්ත නොදන්න දෙයක් නෑ’
ටිකක් ලොකු වෙද්දී ‘ තාත්ත ගෙන් මල වදේ. මොනවා කරත් එපා. එයා මොනවද දන්නේ?’
තරුණ වයසේදී ‘ තාත්තල මොනවද දන්නේ. ඒ කෝපි කාලෙ වගේ නෙවෙයි නේ දැන්. දැන් ලෝකේ දියුණුයි’
මැදි වයසට එළඹෙද්දී ‘තාත්තල ඒ දවස් වලම අපිට මේ ගැන කොච්චර කිව්වද ? අපි පොත් කියවල ගත්ත දැනුමට වැඩ තාත්තල ජීවිතයෙන් ගත්ත දැනුම වැඩියි’
වයසට යද්දී ‘ අපේ තාත්තල කොච්චර බුද්ධිමත් විදිහට අපිව හැදුවද කියල දැන් තමයි තේරෙන්නේ. අනේ මට තාත්තට හරියට සලකගන්ඩ බැරුව ගියානේ ‘
කැමතියිකැමතියි
ලංකාවේ තාත්තලා අතරින් මගේ තාත්තා කොයිතරම් වැරදි තිබුණත් මා අගයන්නේ ඔහු ‘නිදහස් චින්තනය’ වචනයේ පරිසමාප්ත අර්ථයෙන් මට පහදා දුන් නිසා.
කවදාවත් මුකුත් කරන්න එපා කියන්නෙ නැතිව අරක කරාම මේකයි වෙන්නෙ කියලා දුන්න. එහෙම දැන දැනත් කරාම කෙළවෙන වැඩක් කරනවා ද නැද්ද යන තීරණය බාර දුන්නාම නිදහස් තීරණ ගැනීම සුරංගනා කතා නෙමේ ජීවිතේ සත්‍යයක්.
කිසිම දෙයක් නොකර ඉන්න යැයි වැඩියෙන් කියන අය අතරේ වතුරට බය නොකර පිහිනන හැටි කියා දෙන, පන්සල් යන්නට පෙර ගාථාවේ අරුත සොයාගන්නා හැටි කියා දෙන, අඹ ගහකට නඟිද්දී වැටෙන්නෙ කකුල් දෙකෙන් යැයි පෙන්නලා දෙන අය ඉතා අඩුයි.
කැමතියිකැමතියි
අපිටත් මෙවැනිම මතක තියනවා නේ..ඔන්න බලලා,ආපු වග සහතික කලා
කැමතියිකැමතියි
තාත්තලා ගැන ලියන මේ වගේ ලියවිලිවලට මම ගොඩක් අකමැතියි . ඇවිල්ලා කමෙන්ට් එකක් නොදා යන්න හැදුවට . අද දවල් නවම් මට දීපු සුපිරි කමෙන්ට් එක නිසා මම මගේ කැඩිච්ච හිත හදාගත්ත බව ආපහු මතක් උනා .
මගේ තාත්ත නැතිවෙලා දැනට අවු 16ක් වෙනවා . මම තාත්තව මතක්කරන්නෙ නෑ .
කැමතියිකැමතියි
මටත් හිතුන සඳරු මේක කියෙව්වම උඹට රිදෙයි කියල. ඒත් අනාගතය වෙනස් කරන්න හිතාගෙන වර්තමානය හොඳම විදියට ගතකරන්න උඹ ලෑස්තියිනෙ මලේ.
කැමතියිකැමතියි
හා බලමුකෝ චුටි පුතාගේ තාත්තත් , පොඩි එකාව හිර නොකර ඉඳීද කියලා කොල්ලා කරන දඟ වැඩ වලට. තාත්තගෙම පුතානේ ඉතිං. අර ලංකාදීපේ… 😛 එහෙම පේන්න තියන්න එපා ඕං…
කැමතියිකැමතියි
බලමු බලමු මොකකින් මොකක් වෙයිද කියල කවුද දන්නෙ නේද. ලංකාදීපෙ නං බලනව. හැබැයි ලහිපිට අතට අහුවෙන්න තියන්නෙ නෑ 😉
කැමතියිකැමතියි
ඒක හොඳා, ලහිපිට ගෙදර පැත්ත පලාතක ගේන්නවත් එපා… අර බබාලගේ උපන් දිනේ දාන කෑල්ලත් පේන්න තියන්න එපා…
කැමතියිකැමතියි
හරි අපූරුවට තාත්තා කෙනෙක්ගේ සෙනෙහස ගැන ලියලා තියෙනවා. මේවගේ හැඟීමක් තමා මට ආවේ ක්ලැරන්ස් විජේවර්ධනයන් ගායනා කරන දිලීප පොඩි පුතු සිංදුව අහපුවාම. අහලා බලන්න ඒක ඔයාලටත් තේරේවි
කැමතියිකැමතියි
මගේ තාත්තා
http://nadeesthoughts.wordpress.com/2010/10/02/remembering-father/
කැමතියිකැමතියි
නවම් අයියේ මට මගේ ඊ ලිපිනයට ඔයාගේ ඊ ලිපිනය එවන්න හැකිද මට උපදෙස් ටිකක් ගන්න ඕන මචං
කැමතියිකැමතියි
hisahasa@gmail.com
කැමතියිකැමතියි
හ්ම්…..දැන්නම් නවම් අයියේ කියන්නද නවම් මාමේ කියන්නද කියල හිතා ගන්න බෑ..ඒත් ඉතින් මේ කොමෙන්ටුවෙන් පස්සෙත් “බං” කියල කතා කරයි
මම..ගණන් ගන්න එපා..ඒත් බං අයියෙ අම්මා සඳ වෙලා තාත්ත රිදී තරුවක් වෙන්නෙ ඔය කියන සිසිලස නොදෙන නිසාමයි..මම නම් කියන්නෙ මේ තරු උපමාව එපා ..තාත්තා කියන්නෙ “ඉර” ..දරුවන ඕනෑවට වඩා නිදහසක් මොකටද? නිසිකලට මිස..මගේ තාත්ත නැති වෙලා තවම අවුරුදු තුනයි..එතකොට තාත්තට වයස 49යි..අපේ තාත්ත ඉරක් වගෙ නොසිටියානම් කොල්ලො තුන්දෙනෙක් කොහොම හදාගන්නද..සඳුගේ සිසිලස එයත් දුන්නානම් අපේ කෑලිත් නෙත..අනුන්ගෙ පහනින් එලිය බලනව කියල හිතන්න එපා ..ඒත් ඕනෙනම් හිතන්න..මෙහෙමයි මටනම් හිතෙන්නෙ..දැනෙන්නෙ..
http://kalumalli.wordpress.com/category/%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%9A-%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%80%E0%B7%99%E0%B6%A0%E0%B7%8A%E0%B6%A0-%E0%B6%9A%E0%B6%BD%E0%B7%94%E0%B7%80/
කැමතියිකැමතියි
ඒක හරි බං කළු මල්ලි, ජීවිතේ සිද්ධි දෙදෙනෙකුට කිසිම වෙලාවක එකම විදියට බලපාන්නෙ , සංවේදනය වෙන්නෙ නෑ නෙ. අපි හැමෝම යම් යම් දේවල් තේරුම් ගන්නෙ ඒ ඒ පරිසර සාධක, මානසික මට්ටම් එක්කනෙ. ඒකයි මිනිස්සු හැමෝම එකිනෙකාට වෙනස්. ඒකයි මේ ලෝකය විචිත්‍ර මෙච්චර.
කැමතියිකැමතියි