කෙල්ල හෝ කොල්ලා ඔබව හැරයයිද – නොවරදින ගුරුකම් [මා කල ගුරුකමක් හරිගියේ නැත !]


ඔබ ආදරය ලබන්න කැමතිද?

උත්තරය “ඔව්” නම් අයිතිකරගන්න හදන්න එපා !!

තවත් මනුෂ්‍ය ප්‍රාණියෙක් ඔබට කිසිම මොහොතක අයිතිකරගන්න බෑ. පු‍ටුවක්, මේසයක්, වාහනයක් අයිතිකරගන්න පුළුවන්. ඒත් පණ ඇති, මැරි මැරී ඉපදෙන සිතුවිලි පරම්පරාවන් තියෙන ප්‍රාණියෙක් බෑ කොහොමවත්ම ඔබට අයිතිකරගන්න. තමන්ගේ කියල කියන්න. අඩුම තරමෙ ගෙදර ආදරේට කියල හිතාගෙන ඇතිකරන බල්ලෙක්, පූසෙක්වත් බෑ කිසිවෙකුට අයිතිකරගන්න. නීතියෙන් අයිති උනත් සිතුවිලි වලින් අයිති නෑ.

දෙමව්පියන්ට දරුවො වත්, දරුවොන්ට දෙමව්පියන් වත්, සැමියට බිරිඳවත්, බිරිඳට සැමිය වත් කිසිසේත්ම අයිති නෑ. කිසිම විටක ආදරය, අයිතිය කියල පටලවාගන්න එපා.

ඔබ හිතනවනම් යමෙක් ඔබට අයිතියි කියල, එතන ඉඳල ඔබ ඉන්නෙ ලොකු අසතුටකින්. ඔබට යමෙක් අයිතිනම් ඉබේම ඔබ ස්වාමියා හා අනෙකා සේවකයා වෙනව. යමෙකු කෙරෙහි ආධිපත්‍ය පතුරවන්නනම් ස්වාමියා සෑම විටෙකම නිවැරදි වෙන්න ඕනෙ. ඔබ යටි හිතින් හිතනව මම ම තමයි හරි. මගේ මතයම විතරයි ක්‍රියාත්මක වෙන්න ඕන කියල. ඒ ස්ථාවරයේ ඉඳල තමයි ඔබගේ යටත් වැසියා ගැන හිතන්නෙ. එහෙම උනාම ඔබ බලාපොරොත්තු  වෙනව ඔබේ සිතුවිලි හැසිරෙන විදියටම අනිකාගේ සිතුවිලිත් හැසිරෙයි කියල. ඇත්තටම එහෙම  එහෙම වෙනවනම්  එතන කිසිම හිත් රිදවීමක් නෑ, ගැ‍ටුමක් නෑ. ඒත් අවාසනාවකට යථාර්ථය ඒක නෙමෙයි.

යමෙක් යමෙකුට අයිතියි නම් කෙනෙක් සෑම විටම අනෙකාට කොන්දේසි විරහිතව එකඟ වෙන්න ඕනෙ. කොන්දේසි විරහිතව යටත් වෙන්න ඕනෙ. හරියට පු‍ටුවක් වගේ. ඕනෙ වෙලාවට වාඩිවෙන්න පාවිච්චි කරන්න පුළුවන්, එහෙමත් නැත්නම් උඩක තියෙන දෙයකට ලං වෙන්න ආධාරකයක් විදියට පාවිච්චි කරන්න පුළුවන් එහමත් නැත්නම් පලල ලිපට දාන්න පුලුවන්. ඒ, පු‍ටුව කිසිම ක්‍රියාවකට ප්‍රතිචාර නොදක්වන නිසා. ඒක නිසාම ඔබට පු‍ටුවත් සමඟ කිසිම හිත් රිදවීමක් නැතුව ජීවත් වෙන්න පුළුවන්. ඒත් ප්‍රාණියෙක් එක්ක එහෙම බෑ. අනන්තවත් එකඟ නොවීම්, පුංචි පුංචි විප්ලව, අරල, මත ගැ‍ටුම් අනන්තයි.

ඔබ ජීවත් වෙන්නෙ ඔබේ දෙමව්පියන්ට, සැමියාට, බිරිඳට උවමනා විදියටද? උත්තරය යම්තාක් දුරකට “ඔව්”, සහ යම්තාක් දුරකට “නෑ”

“ඔව්” කියන කොටසේදි ඔබ යටත්. “නෑ” කියන කොටසේදි ඔබ ස්වාධීනයි.

සමහර වෙලාවට ඔබ “ඔව්” කියන කොටසේදි ඉන්නෙ හිතේ පූර්ණ එකඟතාවය මත නෙවෙයි. ප්‍රීතියෙන්, සන්තෝසයෙන් නෙමෙයි. නමුත් කලාතුරකින් හෝ ඔබේ චිත්තාවේගත් ඔබව අයිතිකරහන්නාගෙ චිත්තාවේගත් එක්ක එකට සමපාත වෙනවනම් ඔබට සතුටෙන් ඉන්න පුළුවන්. ඒත් ඒ බොහොම කළාතුරකින්.

“නෑ” කියන කොටසේදී, ඒ කියන්නෙ ඔබ ස්වාධීන අවස්ථාවේ බාහිරෙන් බැළුවොත් ඔබ සතුටින්, ඒ කියන්නෙ ඔබව ක්‍රියාත්මක කරන්නෙ, ඔබ ක්‍රියාත්මක වෙන්නෙ ඔබේම සිතුවිලි මත. තමන්ට කැමති දේ කරන්න තියෙනකොට හැමෝම සතුටින්. ඒත් පුංචි ගැටළුවක්. ඔබේ ස්වාධීන අදහස් නිසා ඔබ යුගලයේ අනිකාට [දෙමව්පියන්, සහකරු හෝ සහකාරිය, ඇතැම් විට දරුවන්] මානසික හෝ කායික පීඩාවක් වෙනව කියල ඔබට යම් අවස්ථාවක වැටහුනොත් ඒ මොහොතේ ඉඳල ඔබ අසතුටෙන්. ඒත් එහෙම වෙන්නෙ ඔබේ හිත අනෙකාගේ සිතුවිලි තේරුම් ගන්න තරං මෘදු විවෘත නම් විතරයි, එහෙම නැත්නං අනෙකා වේදනාවෙන් පීඩිතව ඉන්නකොටත් ඔබට සතුටින් ඉන්න පුළුවන්. ඒක ඔබට සාපේක්ෂව නොවුනත් අනෙකාට සාපේක්ෂව මහ කාලකණ්නි සතුටක්.

නීති දණ්ඩන පනවල යමෙක් යටත්කරගන්න පුළුවන් උනාට ආදරේ දිනාගන්න බෑ. සුළු කාලයකට නීති දාල බලපෑම් කරල යමෙක් ඔබ වෙත රඳවගන්න පුළුවන් වෙයි, ඒත් ඒ අනිකාට තමන්ගෙ චිත්ත පීඩාව දරාගන්න පුලුවන් වෙනකන් විතරයි. දවසක් එනව ඔබේ බැමි පුපුරවල දාන්න තරම් විභව ශක්තියක් ඔබේ ක්‍රියාකාරකම් තුලින් ඔබ නොදැනුවත්වම  ඔබ විසින්ම අනෙකා තුල ඇතිකරල. එදාට ඔබට ශක්තියක් නෑ එයට එරෙහිව නැඟී සිටින්න. ඔබ අසරණයි.

දැං ඒකට මොකද කරන්නෙ අපි.

අපි හැමෝම [ඒ කියන්නෙ යුගලයම] එකිනෙකාට පූර්ණ නිදගසක්, කොන්දේසි විරහිත නිදහසක් දුන්නොත්, අනිකාව අයිති කරගන්න උත්සාහ නොකලොත් මං හිතන්නෙ පුළුවන්. වරදවා තේරුම් ගන්න එපා, මම මේ කියන්නෙ කුඩු ගහන එකාට කුඩු ගහන්නත් බඩු ගහන එකාට බඩු ගහන්නත් නිදහස දෙන්න කියන එක වගේ ප්‍රාථමික කාරනාවක් වත් තනි තනි ඒකක වශයෙන් වෙන්කරල අරන් විශ්ලෙෂනය කරන්න පුළුවන් කාරනාවක් වත් නෙමෙයි. සමස්ථ ඒකකයම එකක් කියල සලකල තේරුම්ගන්න උත්සාහ කරන්න ඕන.

ඒත් ඒක මේ කියනව වගේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ, තව කෙනෙක් කෙරෙහි තමන්ගේ ආධිපත්‍ය යොදවා තමන්ගේ පැවැත්ම තහවුරු කරගැනීම මිනිස් ස්වභාවය නිසා. කොයි මොහොතක හරි ඒ ආධිපත්‍ය බිඳවැ‍ටුනම තමන් විශේෂ පුද්ගලයෙක්, වැදගත් පුද්ගලයෙක් කියල හිතේ මෙච්චරකල් ගොඩනගා ගත්තු අභිමානය බිඳවැටෙනව. ඒක පොඩ්ඩක් නෙමෙයි සෑහෙන්න දරාගන්න අමාරු හැඟීමක්. [මේ ලියන මටත් ඒක එහෙම්මම පොදු කාරණාවක් ඒත් මං හැම තිස්සෙම උත්සාහ කරනව]

අපි එකිනෙකාට පුළුවන් විදියට සුළු වශයෙන් හෝ නිදහසක් දෙන්න පුළුවන් නම්, අනිකා මත යොදවන බලපෑම අවම කරන්න පුලුවන් නම්, අනිකාගේ සපත්තු දෙක දාගෙන ඇවිදින්න පුළුවන් නම්, අනිකා වෙනුවෙන් ඔබට හිතන්න පුළුවන් නම් එදාට ඒ සම්භන්ධකම් අදට වඩා ලස්සන වෙයි, සුන්දර වෙයි.

අමතක කරන්න එපා; කිසිම කෙනෙක් ප්‍රශ්ණයකට ආදරේ කරන්න කැමති නෑ. ඒක නිසා ඔබ කිසි විටෙක අනෙකාට ප්‍රශ්ණයක් වෙන්න එපා. එහෙම ප්‍රශ්ණයක් වෙලා ආපහු ආදරයක්, ‍රැකවරණයක් බලාපොරොත්තු වෙන්නත් එපා !

මේ ලියාපු දේවල් කියවල තමන්ගේ අනිකා එක්ක යුද්ධ ප්‍රකාශ කරන්න යන්න එපා. බලහත්කාරයෙන් ලබාගන්න නිදහස තාවකාලිකයි. එහෙම උනොත් හැම තිස්සෙම කොයි මොහොතකහරි යටත් කරගැනීමට එන බලපෑමකට බයෙන් තමයි ජීවත් වෙන්න වෙන්නෙ. හැකි අයුරකින්, පැවැත්මට හානියක් නොවෙන විදියට ඔබේ අනිකාට නිදහස දෙන්න, අළුතෙන් තවත් කෙනෙක්ව අයිතිකරගන්න උත්සාහ නොකර ඉන්න. මතක තියාගන්න අයිතිකරගැනීම කියන්නෙයි සහයෝගයෙන් එකට ජීවත් වීමයි කියන්නෙ දෙකක්.

ඔබේ අනෙකාට නිදහසේ පියාඹන්න දෙන්න කුරුල්ලෙක් වගේ. එහෙම උනාම කොයිම මොහොතකවත් ඇස් මායිමෙන් එහාට පියාඹන එකක් නෑ. පියෑඹුවත් උන්නටත් වඩා ආදරයක් අරන් ආපහු එයි. වැරදිලාවත් ආපහු නො එන්නම ඈතට පියෑඹුවත් ඒක ඔබගේ මෙන්ම අනිකාගේත් දීර්ඝකාලීන සතුටට හේතුවක් වෙයි එසැනකින් දුකක් හිතට ආවත්.

ප/ලි:   මේ සටහන ලිව්වෙ අවුරුදු විසි නමයක් වගේ සුළු කාලයක් ජීවිතය ඇතුලත විඳපු සහ විඳින අත්දැකීම් එක්ක මම තේරුම් ගත්ත දේවල්. ඇතැම් විට මේකට අහපු දැකපු කියවපු දේවලුත් ටිකක් එකතුවෙලා ඇති. කොහොම උනත් මේ මම ජීවිතය දකින විදිය. ඒක නිසාම මම හරිම සැහැල්ලුයි. අන්න්තවත් වැරදුන තැන් මගේ ජීවිතේ තිබුනත් ඒ එකක් ගැනවත් පසුතැවීමක් නැතුව ඉන්නෙ ඒක නිසා වෙන්න ඇති.

ඉස්සරහට වැරදුනත් මම හිනාවෙලා ඉඳී !


Advertisements

43 Responses to කෙල්ල හෝ කොල්ලා ඔබව හැරයයිද – නොවරදින ගුරුකම් [මා කල ගුරුකමක් හරිගියේ නැත !]

  1. කාංචන says:

    මචං උඹේ ලිපි කියවනකොට උඹේ අත්දැකීම් ගැන හිතුවම උඹට ඔයිට වඩා තුන්හතරගුණයක් වයසයි වගේ මට දැනෙන්නේ…

    කැමතියි

  2. නවීන් says:

    මරු කතාව මේක 1000% සත්‍යයි.. මේ ගුරුකම නම් හරි යනවාමයි අත්දු‍ටුවයි ප්‍රත්‍යක්ෂ්‍යයි….

    කැමතියි

  3. වැප් says:

    //ඉස්සරහට වැරදුනත් මම හිනාවෙලා ඉඳී !\\

    මේ වැඩේදි උබට තනියක් නැහැ …ඕන තරම් මග බලං ඉන්නවා හිනා වෙන්න 😀

    කැමතියි

  4. මම මෙච්චර කල් කියෙව්ව වටිනාම බ්ලොග් සටහන් වලින් එකක් මේක, ගොඩක් වටිනවා සහෝ, Thnx

    කැමතියි

  5. නියම ලිපියක් නේ. මාරම උපදෙස් ටිකක් දීලා තියෙන්නේ. බොහොම වටිනවා නවම් අයියා !!!!

    කැමතියි

  6. සමහර වෙලාවට කාටහරි මාව අයිතියි කියන හැඟීම පුදුම සහනයක් දනවනවා. ඒත් සමහර වෙලාවට ඒ හැඟීමම මහ වදයක් වෙනවා.

    කැමතියි

  7. බානුක says:

    කියන දේ නම් අනිවාර්යෙන්ම හරි…
    ඒත් ඕක කරන්න ගියමනෙ අමාරු….

    කැමතියි

  8. පට්ටපල් ඇත්ත ,අමුලික ඇත්ත ඒත් මේක තේරුම් ගන්න නම් සැහෙන්න ජීවිතයේ සෑහෙන්න
    අත්දැකීම් විදීන්න ඕනෑ,

    කැමතියි

  9. Kesara says:

    හ්ම්……… බලමු උත්සහ කරලා……
    හොඳ ලිපියක්. ස්තූතියි !

    කැමතියි

  10. අපිආදරෙන් එකිනෙකාට සලකනව නම් යටත්කරගැනීම, අනිකාට ප්‍රථිවිරුද්ව තමන් තුල ඇති කරගන්නා ආත්මාභිමානය හෙම නැති කරල දාන්න පුළුවන් කියල මම හිතනව. ආදරෙන් කරුණාවෙන් යුතුකම සහ වගකීම දැන සිහියෙන් කටයුතු කිරීමෙන් බොහෝ ප්‍රශ්න විසදන්න පුළුවං කියල මම නම් හිතනව.

    කැමතියි

  11. හෙට අඟහරුවාදා . මම හිතට එකඟව උත්තරයක් දෙන්නම් හෙට හවස හරියටම 6.30 ….

    කැමතියි

  12. නවම් අයියේ මගේ කමෙන්ට් එක නෑනේ… මක්කෙයි වුනේ ඒකට?

    ඔයා කියන කතාව ඇත්ත….

    කැමතියි

  13. සුළඟ says:

    ඉතා හොඳ ලිපියක්. 100% එකඟයි.
    මැණික්

    කැමතියි

  14. Ravi says:

    නවම්, මල්ලියෙ, බලාපං ආයෙ පාරක් උඹේ උප්පැන්නෙ අරගෙන, ෂුවර්ද වයස විසිනවයයි කියල, අඩේ, දැම්මම ඔහොම දාර්ශණික කම්පනාවල් පහල වෙන්ඩ ගියාම උඹ වැඩිකල් නොයා අලුත්ම දර්ශණයක් ඉදිරිපත් කරයි ලෝකෙට, ආයෙ ඒකෙ දෙකක් නැහැ,

    මගෙ සුබ පැතුම්, උඹ එන්න එන්නම හොඳ වෙනවා, ඇස් වහක් කටවක් නැහැ, හෙහ්………….. හෙහ්,

    ඔය අදහස් අතින් පරස්පර අය එක්ක සහයෝගයෙන් ජීවත්වෙන්නෙ කොහොමද? කියන එක නම් නවම් සෑහෙන්න බරපතල ප්‍රශ්නයක්, ඕකට නිවැරදි උත්තරයක් හොයාගත්තය කියන්නෙ ජීවිතේ ප්‍රශ්න වලින් 99% ක්ම විසඳිලා කියන එකයි,

    දැන් අපි මෙහෙම කල්පනා කලොත්,සරල උදාහරණයක් ගත්තොත් මම අඳින්න කැමති රතු ෂර්ට් කියමු, මගේ බිරිඳ කැමති මම කොළ ෂර්ට් එකක් අඳිනවට, එතකොට දැන් මොකද කරන්නෙ? අඳින ෂර්ට් එක මොන පාටද කියල තීරණය කරන්න මට තියෙන අනුල්ලංඝනීය වූ අයිතියට ඇය බාධා නොකරනවනම් එතන ගැටලුවක් නැහැ,ප්‍රශ්නෙ එන්නෙ ඇය මගේ කැමැත්තට බලපෑම් කරන්නට සූදානම් උනොත් නේද?

    එහෙම උනොත් මොකද කරන්නෙ? විකල්ප හතරක් තියෙනව, 1. ඇගේ කැමැත්ත නොසලකා හැර රතු කමිසය ඇඳීම, 2. ඇගේ කැමැත්තට ඉඩදී කොළ කමිසය ඇඳීම, 3. රතු සහ කොළ මිශ්‍ර කමිසයක් ඇඳීම, 4. වෙනස්ම වර්ණයක කමිසයක් ඇඳීම,

    මෙතන 2,3,4 කියන අවස්ථා තුනේම කෙනෙකුට හිතෙන්ඩ පුලුවන් තමන්ගෙ කැමැත්තට බලපෑමක් උනාය, තමන් යටත් උනාය කියල, එහෙම හිතන එකේ වැරැද්දකුත් ඇත්තටම නැහැ,අනික් අතට තමන් එහෙම කලේ අනෙකාගේ රුචිකත්වය වෙනුවෙන් කල කැපකිරීමක් විදිහටය කියල හිතනව නම් ගැටලුවකුත් ඇත්තටම නැහැ, හැම දේම රඳාපවතින්නෙ නවම්, ආකල්ප මතනෙ, තමන් ඒ ප්‍රශ්නය සහ ඒ අවස්ථාව දිහා බලන ආකල්පය මත,මේ ආකල්පය එකිනෙකාට වෙනස්, ඒක අනිවාර්යයයි, ඒ නිසාම මේවගෙ ප්‍රශ්න වලට සර්ව සාධාරණ විසඳුම් නැහැ, තමන්ම තමන්ට ගැටලුවක් නොවන විසඳුමක් සොයාගන්න ඕනෙ,

    මමත් මේ ගැන පෝස්ට් එකක් ලියන්න සෑහෙන කාලයක ඉඳල කල්පනා කරමින් හිටියෙ, ස්තූතියි නවම්, මට පොඩි තල්ලුවක් දුන්නට,

    කැමතියි

    • නවම් says:

      අම්මෝ ලොකු කමෙන්ට් එකක්. මගෙ හිතේ මෙච්චර එකක් ආවමයි මට.

      මේක මගේම හිතුවිල්ලක් නෙමෙයි රවී අයියෙ. මම හිතෙන්නෙ මට එහෙම හිතෙන්නෙ මම කියවපු ක්‍රිෂ්ණමූර්තිගෙ, ඕෂෝගෙ, ඊ. ඩබ්. අදිකාරම්ගෙ පොත් නිසා වෙන්න ඇති. ඊට අමතරව තව තවත් කියැවීම් හේතුවෙන්න ඇති. එහම නැතුව මම තනියම හොයාගනිපු දේවල් නෙමෙයි. ඒවගේම ජීවතේ කඩාවැටීම්වලදි මට ගොඩක් වෙලාවට ඒ කියැවීම් ආවාර්ජනය වෙනව. එහෙම නොවෙන වෙලාවල් නැතුවම නෙමෙයි. ඒත් පස්සෙ මතක් උනාම ආයෙම ඇනලයිස් කරල බලල වැ‍රැද්දක් වෙලා නම් සමාව ගන්න තරං මට පුළුවන්. එහෙම නැත්නං මෙච්චර ප්‍රශ්ණ තියෙන ලෝකෙක වැඩි හිත් රිදවීමක් නැතුව පවුල්කන්න බෑනෙ.

      මම අත්දැකීමෙන් දන්නව ඕනම මත ගැ‍ටුමක් සාකඡාවෙන් සමතයකට පත්කරගන්න පුළුවන් දෙපාර්ශයවයටම ඇහුම්කන් දෙන්න, අනිකා කෙරෙහි ඉවසන්න පුළුවන් නම්. හැබැයි තනි පාර්ශවයකට විතරක් මේක කරන්න බෑ [හිත සතුටින්] කිසිම කෙනෙක් හැමදාටම හැමදේම ඉවසන්නෙ නෑනෙ.

      රවී අයියගෙ පාට පාට ෂර්ට් ගැටළුවෙදිත් දෙපාර්ශවයම එකිනෙකා කෙරෙහි ඉවසනවනම්, අනිකාට නිදහස දෙනවනම්, ජීවිතේ දිහා එක මොහොතකට විතරක් ලඝු නොකර සමස්ථයම බලනවනම් ඇත්තටම තේරෙනව එතන හිත් රිද්දාගන්න කිසිම දෙයක් නෑ කියල. හැමදෙයක්ම හිතෙනෙ. හිතන පතන විදිය වෙනස්කරගන්න පුළුවන්නම් ජීවිතේ හරිම ලස්සනයි. [කොච්චර කිව්වත් මායි චූටිමැණිකෙයි ඇරගන්නෙම ඔය ඇඳුම් හුටපට වලටම තමයි]

      මේ ගොඩක් දේවල් ඉගනගත්තෙ චූටිමැණිකෙගෙන්. උන්දැ මාත් එක්ක තර්ක නොකලට රණ්ඩු නොවුනට ඒ නිවීමම, නිහඬකමම මට ගොඩක් දේවල් තේරුම් කරල දීල අහවරයි.

      කොච්චර කිව්වත් මේ දේවල් සේරම අමතක වෙලා යකා ආරූඪවෙන වෙලාවල් නැතුවමත් නෙමෙයි ! 😀

      කැමතියි

  15. Anushka says:

    දැන් ඔය ඇඳුම් පැළඳුම් සිද්ධියෙදි මගේ තත්වය හරිම ඛේදවාචකයක්. අද මම මට ඕනෙ විදිහට තෝර ගන්නෙ එකම එක ඇඳුමයි. හොඳ වෙලාවට ඒක සුපර් මෑන් ක්‍රමයට අඳින්නෙ නැත්තෙ. නැත්නම් ඒ අයිතියත් මට නැති වෙනවා. අම්මප…

    හැබැයි ඉතින් ඒකෙත් එක හොඳක් තියෙනවා. මගේ ඇඳුම් මටම ලස්සනයි. දැන් ඔය නෝ ලිමිට් වගේ තැන්වලදි මම අනිවාර්යයෙන්ම එයාගෙ උදහසට ලක් වෙනවා. ඇඳුම් තේරීම පැත්තක තියෙද්දි මම ගිහින් ටී වී බලනවා.ඉතින් අනිවාර්ය දෝස්මුරයක් ෂුවර් ය.

    ඔන්න කාටවත් කියන්න එපා හරිද? දවසක් කඩවත කැන්ඩි එකේදි මට මාර සීන් එකක් නෙ උනේ. මෙයා ඉතින් හැම ජාතියෙන්ම ඇඳුම් අරන් අර තඩි මල්ලක දාගෙන ඇවිත් මාව කැශියර් එක ළඟ පෝලිමේ තියලා පොඩ්ඩකට එහාට ගියා. මගේ කරුමෙට වගේ මාව හිස් වෙච්ච කවුන්ටරේකට යැව්වා එතන හිටපු එකෙක්. දෙනෝ දාහක් මැද්දෙ අර රෙදි මල්ල මේසෙ උඩට හැලුවා. හුටා..ඔය කොරල තියෙන්නෙ. හැම ජාතියකම ඇඳුම් කිව්වම ඉතින් හිතා ගනිල්ල. මගේ කියල තිබ්බෙ ෂෝටක් විතරයි. බහුතරයක් අතිශයින්ම කාන්තාවන්ගෙ. මම ඉතුරු සල්ලි ටික වත් බැලුවෙ නෑ. මලු තුන හතරත් අරන් මාරු උනා

    කැමතියි

  16. නවම් says:

    😀 අන්න බලන්න ඉවසීමෙන් කටයුතු කරල තියෙන අපූරුව ! ඒක ලැජ්ජාව වගේද ? 😉

    කැමතියි

  17. ලිපිය සුපර් නවම් අයියේ .ඒත් දෙයක් ලැබෙන්නේ නැත්තම් බලෙන් හරි මට ඒක ගන්න හිතෙනවා . අනේ මන්දා ඒක මගේ අඩුපාඩුවක්ද හැකියාවක්ද කියලා .

    මම මේතරම් කල් උඹගේ පොඩි උපදෙසක් හිස් මුදුනින්ම අනුගමනය කරමින් ඉන්නවා ඉදිරියටත් එහෙමයි බලමු වැල යන්නේ කොයි අතටද කියලා . වැල කොයි අතට ගියත් . මම නියපොත්තෙන් කොනිත්තලා මැස්ස දිහාට ගන්නවා ..(උඹට තේරුනාද මන්දා )

    කැමතියි

  18. Alchemiya says:

    මේක කියලත් බෑ… නොකියත් බෑ….
    මමත් කාළයක් මගේ නොවන දෙයක් අයිති කරගන්න දැඟළුවා.. මමත් ඇයත් දැනගෙන හිටියා අපි-අපිට අයිති නැති බව… ඈ මට වඩා අවුරුදු 10 ක්ම බාලයි.. මම ඈව රැක ගත්තේ ඇහැක් වගේ.. පන්ති යනකොට එක්ක යන්න.. රෑ වෙලා ගෙදර එනකොට බස් හෝල්ට් එකට යන්න, ආදී මෙකී නොකී සියළුම දේ කෙරුනේ මගේ අතින්… වෙනකක් තියා මම බැඳලා හනිමූන් ගිහින් ගෙදර ඇවිත් මහන්සි යන්නත් ඉස්සර කළේ ඇගේ පැවරුමක් ටයිප් කරලා මුද්‍රණය කරලා මහරගමට ගිහින් බයින්ඩ් කරවලා දීපු එක… ඒ යන එනකං මට ඈ කිවුවේ මාව අහිමි වෙච්චි දුක… (සමහරවිට ඔබ හිතනවා ඇති මං හරිම වංචා කාරයෙක් කියලා)

    මම රට ආවට පස්සේ සේරම වෙනස් වුනා… ඈ තවමත් ඒ වගේම මට ආදරේ වුනත්, ඒ ආදරේ වෙනත් කෙනෙක්ට දීලා ඈ දීග යනවාලු… මම ඈට සෑම මාසෙකම කතා කළත්, ඈ මට ඒ ගැන වචනයක් වත් කියන්නේ නැත්තේ අපේ හිත් රිදෙයි කියලා වෙන්න ඇති….

    ඒකෙන් මම හිතාගත්තේ කිසිම දේකට වැඩිපුර ආදරේ කරන්නේ නෑ කියලා… මම ආදරේ කරපු බොහෝ දේවල් මට ලැබිලා නෑ. ලැබිච්ච දේවල් වලට ආදරේ කරන්න බයයි… නැති වුනොත් දුක හිතෙයි කියලා…

    ඉතින් මෙන්න මෙහෙමයි ගොඩක් දෙනාගේ ජීවිත…. හැමෝගෙම කිල්ලෝටවල හුණු ටික ටික තියෙනවා… ඒක තේරුම් අරන් ජීවත් වෙන එකයි වැදගත්….

    කොහොමත් කිසිම දෙයක් බලෙන් අයිතිකරගන්න කාටවත් බෑ… ඒ වගේමයි… හිමි නැති දේ, මොනවා කරලා ලඟට ගත්තත්, ආයෙ ඈතට යනවා…. ඒක සදාතනික නියමයක්….

    කැමතියි

  19. මේ යටත් වෙලා ඉන්නව යටත් කරගෙන ඉන්නව කියන එකේදි විශ්වාසය කියන දේ ගොඩක් බලපානව මම හිතන්නෙ …කෙනෙක් තමන් ගැන ලොකු විස්වාසයකින් ඉන්නව නම් ඇත්තටම ඒ විස්වාසය නැතිකරගෙන නරක කෙනෙක් වෙන්න ඔහු හෝ ඇය අකමැතියි.අයිය කිව්ව වගේ හොදම දේ කිසිමකෙනෙක් පාලනය කරන්න නොයන එක තමා.එතකොට ජීවත් වෙන්න හරිම ලේසියි
    මේ සබ්ජෙක්ට් එක ගැන කතාකරන්න ඇත්තටම මම පොඩියි .. ඒත් මේ මට හිතෙනදේ
    මමත් දැන් ටික කාලයක ඉදන් කිසිම දෙයක් ගැන වැඩිය හිතන්න වැඩිය ආදරේ කරන්න යන්නෙ නෑ …ඒ ඇත්තටම ඒදේ නැති උනාම තියන දුක අඩුකරගන්න ඕනෙ නිසා ….හොදම පෝස්ට් එකක් අයිය

    කැමතියි

  20. Ansh Lucky Sri Jay says:

    හ්හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්………..
    🙂

    කැමතියි

  21. ඇත්ත තමයි.. කොරන්ට ගියාම තමයි අමාරුව්..

    කැමතියි

  22. සහෝ කොමෙන්ටුව දාන්න පරක්කු වුණාට සමාවන්න.

    විවාහය කියන එක තවත් එක් පවුල් දෙකක බැදීමක් කියලා හිතන , පුද්ගලයෝ දෙන්නෙක්ගේ ගැලපීම කේන්දරෙන් ( මම මේ කියන්නේ කෙන්දරේ හරිද වැරදිද කියලා නෙමේ )එහෙම නැත්නම් නැදැ පරපුරෙන් සල්ලිවලින් මනින සමාජයක මේවා මොකද ?

    මටත් මේ ගැන පොඩි කතාවක් තියෙනවා කියන්න මගේ අයියා (න්‍යාති සහෝදරයෙක් ) ඒ අක්කාව කසාද බැන්දේ පොඩි ලව් එකකට පස්සේ.මට මතකයි ඒ අක්කාට වෙන කොල්ලෙකුත් හිටියා මූත් එක දැනම් හිටියා ඒ කලින් ලව් එකත් අවුරුදු කීපයක් ගිය එකක් පස්සේ ඒ දෙන්නා ( පරණ ලව් එක ) ගොඩක් ප්‍රශ්ණ අස්සේ වෙන් වුණා (ප්‍රශ්ණ කසාදේ වෙනකම්ම වගේ තිබුණා ) කෝම හරි මට මතකයි අයියා පැය බාගෙන් බාගෙන් අක්කාට කතා කරලා කොහෙද ඉන්නේ ? මොකද කරන්නේ ? කවුද ඉන්නේ ඔය වගේ ප්‍රශ්ණ ලිස්ට් එකක් අහනවා ඒ වගේම අක්ක උත්තරත් දෙනවා අයියාට ඒක ඔප්පු කරලා පෙන්නත් ඕනේ.ඉතින් අක්කා කරන්නේ ඔෆිස් එකේ ඉන්නවානම් ඒකේ පොන් එකෙන් කොල් එකක් අරන් කතා කරනවා නැත්නම් ඉන්න තැන පොටෝ එකක් ගාල එස් එම් එස් කරනවා.ඒ වගේම සමහර වෙලාවල් තියෙනවා අක්කා එයාගේ ඔෆිස් එකේ වැඩ හින්දා පරක්කු වෙන ඒ වෙලාවට ඉතින් බඩුම තමා විනාඩි පහෙන් පහට කෝල් තමා මට තාම හිතා ගන්න බැ කොහොමද මේ වගේ වෙලාවට ඉවසන් ඉන්නේ කියලා.බනිනවා අඩනවා පිස්සු විකාරයක්.මිනිස්සු ආදරය කරන දේ පෙට්ටගමක තියලා පරිස්සම් කරනවා වගේ තමා ඒ වැඩෙත්

    අයියානම් කිව්වේ අක්කාගේ කෙන්දරේ හොදයිලූ ඒ වගේම අයියාගේ කේන්දරේ ඉන්න ග්‍රහායෝ හින්දාලු අක්කාව සැක කරන්නේ මටනම් කියන්න තියෙනේ මේවා මේ හිතින් මවා ගත්ත මනස් ගාත සාධාරණිකරන්න හදන බොරු තර්ක

    කසාද බැන්දට පස්සේත් ඔය ටික ඔහෝමමයි හැබැයි ඉතින් ගැනුන්ගේ හැට හතර මායම් දන්නවානේ අක්කා ඔය ඔක්කොමවලින් දැන් ශේප්.හැබැයි ඉතින් මම දන්නවා එක දෙයක් ඔය සැකේ පත්තු වුණ දවසටම මුල ගේම ගිණි ගන්නවා.

    යම් පුද්ගලයන් දෙන්නෙක් ජෝඩු වුණාම ( එ කියන්නේ ඉතින් අපි කියනවා වගේ යාලු වුනාම එහෙම නැත්නම් විවාහ වුනාම ) වඩා වැදගත්ම දෙවල් තමා අනෝන්‍ය විශ්වාෂය , එකිනෙකා තේරුම් ගැනීම සහ කැපකිරිමේ හැකියාව .

    හුගක් වෙලාවට ලගම යාලුවන් අතරේ හිතන පතන විදිය හුගක් දුරට සමානයි.ඉතින් ඉහත සදහන් කරපු දෙදෙනෙක් අතරත් ඒ වගේ වෙන්න ඕනේ.නැමුත් ඉතින් හුගක් දුරට වෙන්නේ බැද ගත්තනම් බෙරේ ගහන්න වෙනවා කියලා හිතලා ඉන්නවා මොකෝ කවදා හරි බෙරේ ගැලෙව්වොත් සමාජයෙන් ඊට හම්බ වෙන දේ ගැන අහන්නත් දෙයක් නැනේ,

    කැමතියි

    • නවම් says:

      හම්මෝ, ඇයි බං එච්චර සැකයක් තියාගෙන කසාද බැන්දෙ. පුදුම පීඩනයකනෙ දෙන්නම ඉන්න ඇත්තෙ. කොයි වෙලාවෙ පුපුරයිද කියල දන්නෙ නැතුව එහෙම ජීවත්වෙන ජීවිතේ හරි අපායක් වගේ දෙන්නටම දැන්න ඇති.

      ඒත් ගොඩක් දේවල් වලට මුල හිත නිසා ඒක වෙනස් කරගත්තනම් දෙන්නම දැන් සතුටින් ඇති. මම නම් දකින්නෙ සමාජයට බයේ ප්‍රශ්ණ තියාගෙන එකට ජීවත් වීම එච්චර නුවණක්කාර දෙයක් නෙමෙයි කියල.

      කැමතියි

  23. nihal says:

    නවම් සහ අරුණි ලියන ඒව මම කියවන්නෙ නිවාඩු දවස් වල. ඒකයි කමෙන්ට් එකක් දාන්න කල් යන්නෙ.

    කැමතියි

  24. starry angel says:

    සම්පුර්ණ ඇත්ත…..එත් ආදරේ අයිති කර ගන්නේ නැතුව ආදරේ කරනකොට එක ඇත්ත ආදරයක් වෙනවද?

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: