ඉබාගාතේ ඇවිද අවසානයේ පාර සොයාගතිමි.


දෙදහස් එක මාගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් විය. ඒ මා මාගේ වසර දහතුනක පාසැල් අධ්‍යාපනයෙන් සමුගත් වසරය. අ.පො.ස.උ.පෙ මට වැරදුණි. සාමාන්‍ය පෙළ මැද හරියෙන් ගොඩගිය මට ඉන් අනතුරුව කුමක් කරම්දැයි අවබෝධයක් නොතිබිණි. පහල පන්ති වලදී කිසිවෙකු මා ලොකු වී කුමක් කරන්නේදැයි ඇසූකල දොස්තරකෙනෙක්, ඉන්ජිනේරුවෙක් වෙනවා යැයි කටපාඩම් කල ගිරවෙකු මෙන් කී කතා නැවතත් ආවර්ජනය විය. දොස්තරෙක් වීමට මාගේ කිසිම අකමැත්තක් නොතිබූ මුත් බයෝ සයන්ස් කරනාවුන්ට නොසෑහෙන්න පාඩම් කරන්නට ඇතිවග අසා දොස්තර සිහිනය අළුයම ලූ කෙළ පිඬක් මෙන් බැහැර කලෙමි. එයින් මතු මා අත ඉතිරිවූ ඉන්ජිනේරු කජ්ජෙන් දෑවුරුද්දක්ම වලකජු ගැසුවෙමි. කරුමයක මහත. දිනන්නට තරං අවැසි කජු වලට දමාගත නොහැකිවූ මා කජ්ජ ගොඩ තිබෙද්දී වලට වැ‍ටුනි. එහෙත් ඉන් මට රිදුනේ නැත, ඇතැම් විට දෑවුරුදු ප්‍රයත්නය මාගේ සංවේදනා මොට කර ලන්නට ඇත.

එවකට මට කවි ලිවීමට අවැසි වී තිබිණි, නිසඳැස් ලිවීමට අවැසි වී තිබිණි, චිත්‍ර අඳින්නට බැරිමුත් නරඹන්නට ආසාවක් තිබිනි, කතා ලියන්නට ආසාවක් තිබිණි, නාට්‍ය නරඹන්න ආසාවක් තිබුණි, ඔහේ ඇවිදින්නට ආසාවක් තිබුණි. ඒ සියල්ල කැලිපරයට, ස්ලිංකියට, දෛශිකයනට, බැරෝමීටරයට ආදේශ කරන්නට මා නොසෑහෙන උත්සාහ කලෙමි. ඊට දැරූ ප්‍රයත්නයන් සියල්ලම ව්‍යාර්ථ වී ගියේ සියළුම ආසාවන් මොටකරමිනි. ඉන් පසු මට හැඟීම් දැනීම් යනු ආගන්තුක දේවල් විය. ඔහේ උපන්නාට වැනීමි.

කන්නට බොන්නට කිසිම ආසාවක් නොතිබිණි, උයා මේසෙට ඇරිපසු ගොස් කමි, නැවතත් ගුහාවට රිංගාගමි. නැවතත් ඊලඟ වේල සඳහා හෝ වැසිකිළියට යාමට හෝ පුස්තකාලෙන් ගෙනා පොත් දෙක කියවා අහවර වූ විට තවත් දෙකක් ගෙන ඒමට ඉන් එලියට එමි. මිතුරන් සියල්ලන්ගෙන්ම ඈත් වීමි. උන්ගේ සමාගමය මට නොරිස්සන්නක්ම විය. උන් මුනගැසුනවිට සී-බාත් යන්න අඬගසයි, රෑන්පාට් ගොස් බොන්නට අඬගසයි එහෙමත් නැත්නං කාගේ හෝ ලව් එකකට උදව් කරන්නට යන්නට අඬගසයි. ඒ කිසිවකට මගේ ආසාවක් නොතිබිණි, මට අද මෙන් එදාද බොන්නට බැරිය. ටික කලෙකින් ඔවුන්ගේ ඉල්ලීම් වලට මාගේ ප්‍රතිචාර නොලැබෙනාවග තේරුම්ගත් පසු ඔවුහු මා හැරගියහ. ඉන්පසු මා වටා ඇතිවූ ශූන්‍යතාවයට, නිහඬ බවට, ඇතිවූ හුදෙකලාවට මා ඉමහත් ප්‍රියතාවටක් දැක්වීමි.

එහෙත් ඉන් කලෙකට පසු තවදුරටත් නිවස මට ප්‍රිය තැනක් නොවීය. මා ඉන් එළියට ආමි, මා නිවසටම වී ගතකල කාලය තුල මට බොහෝ දෑ අහිමි වී ඇත. මිතුරන් සී සීකඩ ගොසින්ය. මාගේ ඇස සොරාගත් යෙහෙළියන් නව මිතුරන් සොයාගොස් උන් හා අත්වැල් පටලාගෙන මල් පාරවල් වල ඇවිදී. බස් නැවතුමේ වල බැහැපු උන් වීසිවී අළුත් මූණු පැලපදියම් වී ඇත. මා දැන උන් පරිසරයේම මා අගන්තුකයෙක් වී ඇත. හුදෙකලා වීම ම අරමුණ වූ මට එය ආශීර්වාදයක් ම මිස දුකක් නොවීය.

හුදෙකලාවීම ප්‍රමාණවත් වූවද එයද එපා වෙන කලක් එනබව මට වැටහිනි. එහෙයින් මා කුමක් හෝ කල යුතුය. එතැන් සිට, මා ගෙදර සිටිනා විට කිහිප වරක් ස්ප්‍රේ කෑන් වලින් පේන්ට් කල ඊස්ටන් ස්පෝර්ට්ස් බයිසිකලය මකුළු දැල් කඩා බ්‍රේක් පළු දමා, අළුත් බල්ලන් දමා මඩුවෙන් එලියට ගතිමි. මට යාමට කියා තැනක් නැත. එහත් මම යමි. ඔහේ පාරවල් දිගේ බයිසිකලය පැදගෙන යමි. මහ පාරවල් වලට වඩා වතු මැදින්, ඇළවල් අයිනෙන්, සෙනඟ නොමැති පාළු පාරවල් වල බයිසිකල් පැදීමෙන් මා සතු‍ටු වීමි. ඇතැම් විටක ඔහේ පැදි පාරවල් දන්නා කියන හන්දියකින් කෙළවර විය, ඇතැම් විටෙක දන්නා කියන මහපාරකට වැටිනි. ඒ සෑම විටෙකම නව රටක් සොයා ගැනීමේ කොලොම්බස් ප්‍රීතිය මම වින්දෙමි. එම ශුද්ධවූ ප්‍රීතිය අදටද අතීතාවර්ජයනයෙන් මෙම ලිපිය ලියනා මට දැනේ. දැනුදු ඉබාගාතේ යන්නට අසාවක් දැනේ. එහෙත් දැන් වගකීම් වලින් මා අත පය බැඳ දමා අවසානය.

ඇතැම් විටෙක ගාළු කො‍ටුව දිහාවට බයිසිකලයේ රෝද කැරකේ. ඒ හැම විටෙකම මා කො‍ටුවට ඇතුළු වූයේ මූද අයින දිගේ වැටී ඇති පාර දිගේ ගොස් පරණ කො‍ටු දොරකඩිනි. එය නව දොරකඩට වඩා සෑම විටම අඳුරෙන් වැසීගත්, දිය සෙවෙල බැඳුනු බිත්ති වලින් යුක්ත වූවකි. නව දොරකඩ මෙන් කාෂ්ඨක නොවූවකි. එහි තිබූ විසල් ඇණ, අසව්, සොයිබ ඇල්ලූ කළුපාට ඝනකම් ලී දොර සෑම විටම මා ගුප්ත ලොවකට ඇතුළුවන්නේය යන හැඟීම ඇතිකරයි. ඉන් ඔබ්බෙහි ඇත්තේ මායා රාජධාණියක්ය. එතැන් සිට රාක්ෂයන්, ඔළු තුනේ මකරුන් බලාපොරොත්තුවෙන් ඉදිරියට යමි. ඊලඟ මොහොතේ මා ඉදිරියෙන් ඇදෙන වාහනක දුම අස්සෙන් පෙන්නේ උසාවිය ය. මායා කාරයන් නැතත්, මකරුන් නැතත් මම දිගටම බයිසිකලේ පදිමි ප්‍රදීපාගාර වීදිය දිගේ කෙළවරටම.

බයිසිකලය තාප්පෙට හේත්තු කර ලොක් එකත් දමා  නඟිමි කො‍ටුතාප්පෙ පඩිපෙල ලයිට් හවුස් එක ලඟට යන්නට. කෙළවරටම, ප්‍රදීපාගාරය යටටම පැමිණි පසු මුහුදට මූණලා තැනූ කොන්ක්‍රීට් බංකු ලෑලි දෙකක් මම දකිමි. ඒවා බංකුම නොවූවත් වාඩිවී සිටීමට ඉන් කිසිදු බාදාවක් නැත. අඩි විස්සක් විතර පහලින් සී බාත් එක පෙනේ. ඈතින් ඉර බැහැගෙන යයි. තවත් පැය බාගයකින් ඉර දාහය නිවාගන්න වතුරට බහිනු ඇත. ගිලෙන ඉරට මූදෙ වතුරෙ රත්වෙයි කියල බයෙන් මෙන් මූදෙ නාපු අය එකා දෙන්නා ගොඩට ඇදෙනු ඇත. නමුත් මට හිතෙනා ලෙසට එයම තමයි මූදට බැසීමට යෝග්‍යම කාලය. මටත් වතුරට පැනීමය සිතක් පහලවූවත් එතනින් එහාට එම සිතුවිල්ල ක්‍රියාත්මක වෙන්නේ නැත.

ඉන් අනතුරුව මට දුම් වැටියක් අවැසි විය. මින් පෙර කිසිදාක මා දුම් වැටියක් උරා නොමැත. එනෙමුදු පෙර ඇබ්බැහි වී සිටියෙකුට මෙන් දැඩි අවශ්‍යතාවයක් ඇතිවිය. වටපිට කඩයක් නැතිහෙයින් ඊට මඳක් ඈතට වන්නට ඇති කඩය වෙත බයිසිකල් පදිමි. ගෝල්ඩ් ලීෆ් හතරක් සහ ගිණිපෙට්ටියක් මිළදීගෙන නැවතත් කො‍ටු බැමට නඟිමි. මූදෙන් හමනා දැඩි සුලඟට එරෙහිව ගිණිකූරු දැල්වීම පහසු කාරියක් නොවේ. එහෙත් මා සුලඟට පැරදීමට සූදානම් නැත. සුලඟට පි‍ටුපා වාඩිවී නැවතත් ගිණිකූරු හතරක් එකට තබා පෙට්ටියේ උලා සිගරට්‍ටුව දල්වාගනිමි. මට තනියම සිනහ නැ‍ඟේ. මා සුලඟ පරාද කර ඇත. නැවතත් ජයග්‍රාහී ලෙස මූද පැත්තට හැරී සිත් සේ දුම් වැටිය උරමි. තද තැඹිලි පාටින් ලුණු වතුරේ ගිලෙනා ඉර එලියේ අන්තිම ඩිංග මහේ මූණ තැඹිලි පහැ කරන්නට ඇත. මට ඈතක සිට මා දිහා බලා හිඳින්නට සිතේ.

සුළ‍ඟේ සැරට පළමු දුම් වැටිය පිළිස්සී අහවර වෙන්නට ලඟය. ඉන් දෙවැන්න දල්වා පළමු කොටය මූදට වීසිකලෙමි. එහෙත් සැඩ සුලඟ එය උඩ දමා මා හිසට ඉහලින් පි‍ටුපසට වීසිකර දැම්මේය. එකක් ඉවර වෙන්න එකක් ලෙස හතරම අහවර විය. මට කිසිවක් නොදැනුනි. පොඩි එකා කාලයේ ආච්චිලාගේ ගෙදරදී ලිපේ දැමූ පුළුං බඩයක් තිබූ කෝ‍ටුවක් බ්වූ දවසේ අඩුම තරමේ කට හාරන රහක් සමඟ ගුරුලේත්තුව කටට හලාගන්නකන් නොනැවතුනු කැස්සක්වත් ඇතිවිය.

ඉන් කලෙකට පසු මාගේ ඉබාගාතේ ඇවිදීම ඉබේම අඩුවී ගියේය, ඒ මට ආයෙමත් යන්නට පාරක් හමු වූ බැවිනි. ඒ පාරේ අනන්තවත් බොරු වලවල් තිබුනි. නමුත් මා දිගටම නොනැවතී ඉදිරියට ගියෙමි, ඇතැම් විටෙක මා ඇවිද තිබුනේ කළල් මඩ ගොහොරුවක් වෙතටය. ඇතැම් විටෙක ප්‍රපාතයක් දෙසටය. එනමුත් ඒ සෑම විටකම ආපසු හැරී විත් නිවැරදි පාරට වැටෙන්නට තරම් තරම් හයියක් මාගෙ පා සතුවිය. මා මුලින්ම නිවැරදි ම‍ඟේ ගමන් ගත්තේනම් බොහෝ දුරක් ගොසිනි. එහෙත් කණගා‍ටුවක්, පසුතැවීමක් මාහට නොමැත. තවත් බොහෝ දුරක් මාහට යාමට ඇතිවග දනිමි. ඒ සඳහා වාරු දෙන්නට ආදරය පිරුණු දෑස් දල්වා චූටිමැණිකේ පුතුපැටියා සමඟ මගේ පසෙකින් ඉඳී.

ඉතින් මා ඔවුන් සමඟ නවම් මාවතේ ඇවිදිමි !

ඝනකම් ලී

Advertisements

35 Responses to ඉබාගාතේ ඇවිද අවසානයේ පාර සොයාගතිමි.

  1. මේ ඉන්නෙ මං ද කියල මොහොතකට මට හිතුන… සමහර සමහර දේවල් ඉවත් වුනාම.ඇත්තටම මේ මම.

    මට මාවත් නැති කාලයක්…. හිස් බව විඳින අත් දකින කාලයක්…..

    නවම් එයින් මිදුනත් ….. තවත් අයෙක් ඒ හිස් බවේ කිමිදිලා ඉන්නව…

    ස්තූතියි නවම් ….

    කැමතියි

  2. ඉබාගාතේ ගෙවිච්ච ජීවිතයක් හරි පාරට ගත්ත චූටි මැණිකේ අක්කට පින් දෙන්න වටින්නේ. මොකද ඔය විදිහට හිටියානම් අකාලයේ තරුන ජීවිතයක් නැතිවෙලා යනවා. අයියා මාරම පිනක් කරලා තියෙන්නේ ඔයවගේ බිරිදක් ලබන්න.
    දැන් දුම් බීම අතැරලා ද ඉන්නේ…..?

    අපෝ ඉන්ජිනේරු කම ගැන නම් කියන්න එපා. මම පොඩි කාලේ ඉදන් ආශා කලේ ගුරුවරයෙක් වෙන්න. ටීචර්ලගේ වදේටම තමයි මැත්ස් කලේ. ඒකලත් ෆිසික්ස් ගුරුවරයෙක් වෙන්න සයන්ස් ෆැකල්ටි යනවා කියලා හිතාගෙන හිටියා. ඒ ලෙවල් බී තුනයි. නිකමට වගේ ඉංජිනියරින් දැම්මා ගෙදර කට්ටිය දීපු වදේට. කනාවට වගේ ඒකත් ලැබුනා.
    දන් හිතේනවා ආපු මෝඩ කම කියලා. කම්පියුටර් එකක් ඉස්සරහා උදේ ඉදන් රැ 10 වෙනකන් කෝඩ් ගහන එක තරම් ප්‍රොග්‍රැම් කරන එක තරම් එපාවෙන දෙයක් වෙන නෑ.

    කැමතියි

  3. හැම කෙනෙක්ගෙම ජීවිතේ ගන්ධබ්බ අවධියක් තියෙනවා. ඒත් ඉක්මනට ඔයා යන්න ඕනෙ පාර හොයා ගත්තා. ඒක කොච්චර හොඳද.

    කැමතියි

  4. මම අවුරුදු උත්සවේට ඇවිත් ඉක්මනට යන්න උනානෙ. කොහෙද අපේ වෙන්ඩ මහත්තයාගෙ වැඩක් හින්දා. ආපහු එන්න හිතාගෙන ගියාට එන්න බැරි උනා. ඔයාලව දැකගන්න බැරි වෙච්ච එකට නම් සෑහෙන්න දුකයි.

    කැමතියි

  5. ඔය කොයිතරම් රස කතා කිව්වත් ඊයේ නවම් අයියා, මා බලාපොරොත්තුවෙන් සිටි සුන්දර මොහොතක්… උගේ කම්මැලි කම නිසා යටපත් කරන ලදී… අන්තිමේ එය පොඩ්ඩා පිටින් පටවා නිහඩ විය. නරියා…

    මේ නවම් අයියේ වෙලාවක අපිවත් එක්ක ගෙන පලයන්කෝ බං, ගාලු කොටුවේ ඔය කිව්ව පාර දිගේ…

    කැමතියි

  6. ඉකේ,.,,,,කුජීතයි නේ…..
    මමත් ක්ජීතයි තමා කියලා හිතුනා බොලේ මේක බැලුවම…

    කැමතියි

  7. නවම් අයියේ….වැඩේ කැතයි හොදේ…මාව අදුරගෙනත්..පොඩ්ඩක් ඇවිල්ලා …අනේ සුදු මල්ලියේ කියන්න බැරි උනා නේ…..

    කැමතියි

  8. හේබා ගිය ජීවිතයක් ආපහු හරි මඟට දාන්න විඳින්න ඕන ගැහැට අප්‍රමාණයි.

    කැමතියි

  9. ජීවිතේ කියන්නේ එහෙම පිටින්ම විභාගයක්.ඒකට උත්තර හොයන එක තමයි ජීවිතේ

    කැමතියි

  10. Ravi says:

    අපෙ හැමෝගෙම වාගෙ , ඒ කියන්නෙ 90% ට ආසන්න දෙනෙක්ගෙ ජීවිතේ තියනව ගන්ධබ්බ අවදියක්. අක්මුල් ගිලිහිලා මොනවද කරන්නෙ?, ජීවිතේ කොයි පැත්තට ගියොත් හරියයිද? කියන දෙගිඩියාවෙන්, සුළඟේ පාවෙන පුලුන් පොදක් වගේ කිව්වොත් නම් සම්පූර්ණයෙන්ම වැරදියි; කොහොමත් ඒ සැහැල්ලුව නම් නැහැ; හරියට කැලේක අතරමං වෙලා, මග හසර හොයාගන්න බැරිව එහෙමෙහෙ ඉබාගාතේ ඇවිදින කාලයක්.

    උසස් පෙළ කරල, ප්‍රතිඵල අසාර්ථක උනහම තමයි, බොහෝවිට මේ තත්වය උදාවෙන්නෙ.

    මට නම් ඇත්තටම ඔහොම දරුණු තත්වයකට මුහුණ දෙන්න සිද්ධ උනේ නැහැ; ඒ මම උසස් පෙළ ප්‍රතිඵල අසාර්ථක වුනු වහාම කාර්මික විද්‍යාලයකට ඇතුලු වුනු නිසා.

    ඒත් මගේ හිතවත්ම මිතුරන් කීප දෙනෙක්ම, ඔය තත්වයට මුහුණ දුන්නබව මම හොඳාකාරවම දන්නවා. ඒත් අවසානයේ, නවම් ජීවිතේ අරමුණක් කරා යොමුවුනා වගේ, තමන් කළයුත්තේ මොකක්ද කියල, තමන්ම තීරණය කල යුතුමයි.

    / එහෙත් කණගා‍ටුවක්, පසුතැවීමක් මාහට නොමැත. තවත් බොහෝ දුරක් මාහට යාමට ඇතිවග දනිමි. ඒ සඳහා වාරු දෙන්නට ආදරය පිරුණු දෑස් දල්වා චූටිමැණිකේ පුතුපැටියා සමඟ මගේ පසෙකින් ඉඳී. /

    මේ කොටස උපරිමයි. නවම්ගේ උදාන ගීය කියල කිව්වොත් හරි මම හිතන්නෙ.

    නවම් මාවතේ, බොහෝ සැහැල්ලුවෙන්, චිරාත් කාලයක් ඇවිද යාමට සුබ පැතුම්, නවම්.

    කැමතියි

  11. Prabath says:

    “මහ පාරවල් වලට වඩා වතු මැදින්, ඇළවල් අයිනෙන්, සෙනඟ නොමැති පාළු පාරවල් වල බයිසිකල් පැදීමෙන් මා සතු‍ටු වීමි. ඇතැම් විටක ඔහේ පැදි පාරවල් දන්නා කියන හන්දියකින් කෙළවර විය, ඇතැම් විටෙක දන්නා කියන මහපාරකට වැටිනි. ඒ සෑම විටෙකම නව රටක් සොයා ගැනීමේ කොලොම්බස් ප්‍රීතිය මම වින්දෙමි. එම ශුද්ධවූ ප්‍රීතිය අදටද අතීතාවර්ජයනයෙන් මෙම ලිපිය ලියනා මට දැනේ.”

    මමත් ඇත්තටම විඳපු දෙයක්…. ආයෙත් මටත් මතක් කළා

    කැමතියි

  12. Omesh says:

    ඉතිරි දුරත් චූටිමැණිකේයි පුතු පැටියයි එක්ක පරිස්සමට යන්න…මම සුභපතනව නවම් උබට….

    කැමතියි

  13. ජීවිතේ කියන එක මාර දෙයක් බං………………… අපි හිතන දේවල් නෙමේ වෙන්නෙ……………….ක

    කැමතියි

  14. kathandara says:

    අපේ රටේ අධ්‍යාපනයේ වරදක් නම් සෑහෙන්න කොන්දක් නැතුව ඔය දොස්තර ඉංජිනේරු සිහිනයෙන් ගැලවෙන්නට බැරි වී බයෝ හෝ මැත්ස් වලට කොටු වීමයි.

    ඕනෑ විෂයයක් හැදෑරීමේ නිදහස තිබිය යුතුය.

    කැමතියි

    • arunishapiro says:

      @ kathandara,

      විචාරයට යොමු විය යුතු එහෙත් වැඩිදෙනා පැත්තකට දාන වටිනා පොයින්ට් එකක්.

      ‘කොන්ද’ කෙසේ වෙතත් ලංකාවේ රැල්ල අනුගමනය මිස ‘විකල්ප’ ගැන දැනුම, උවමනාව, ආශාව, සොයා යෑමට ශක්තිය යනාදීන් ගැන කතාබහක් නොවන්නේ අපි දෙමාපියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට, පූජ්‍ය පක්ෂයට, දේශපාලනඥයන්ට, සාස්තරකාරයන්ට හා ‘ජනමතයට’ යටත් වූ ‘පීඩිත’ බවකින් ජීවත් වෙන නිසා ද?

      එයත් ‘අධ්‍යාපනයේ වරද’ කියා අනෙක් සියළු වැරදීම් සේ එයත් ‘තම වරද නොවේ’ කියා වෙනත් පිටක පටවනු හැකි ද?

      කැමතියි

  15. nihal says:

    නවම්… මට නම් ඔබට වාගෙ දිග කතා ලියන්න බැහැ.
    මෙය ලියා ඇති ආකාරය ඔබේ අනෙක් කතා වලට වඩා මා සිත් ගනී. මට ද උසස් පෙළ මුල් වරට වැරදුනි..
    ඔබේ දෙවන ඡේදයේ ආකාරයට ක්‍රියා කළ කාලයක් මටද විය. කාලයක් නිසඳැස් ලිවීම, චිත්‍ර ඇඳීම, කඳු නැගීම, 12 රිටර්න් ක්ලාස් හෙවත් උසස්පෙළ දෙවන ට්‍රයි එකේදී කළ වික්‍රමයන්ය.

    .( අකුරු ටිකක් විතර ලොකු කරන්න බැරිද ? )

    කැමතියි

  16. මම ඒ ලෙවල් වලට කලේ මට ඕනෙ විෂයන් .ඒකට ගෙදරත් එක්ක ලොකු වලියක් දැම්ම . දවස් දෙකක් කෑමත් වර්ජනය කලා . අන්තිමට ගෙදරින් කිව්ව එකම එක පාරයි කියල විබාගෙ කරන්න දෙන්නෙ . එක පාරින්ම් ගොඩ යන්න ඕනෙ කියලා .මම ඒකත් කොලා ඉහලින්ම පාස් . රටේ ලෝකෙ තියෙන සේරම නවකතා , පරිවර්තන ,සාහිත්ය විචාර ,ඉතිහාස පොත් පොත් ,යුරෝපා ,ඉන්දියානු ඉතිහාසෙත් කියෙව්ව .හැම පත්තර කෑල්ලක්ම කියෙව්ව .සේරම හින්දි ෆිල්ම් බැලුව .දැන්නම් ඕව මුකුත් කියවන්නේ නෑ.විබාගෙ ඉවර වෙලා කැම්පස් යන පෝලිමේ අවුරුදු දෙකක් ඉන්න වුන අන්තිම සෙට් එක අපි .ඔයකාලෙ ගෙදර කෝකි වැඩෙත් කොලා .කරාටේ පන්තියකටත් ටික දවසක් ගියා .ටී වී එකයි ටෙලිපෝන් එකයි තමයි තිබුණ එකම සැපත .

    ඔහොම ඉතින් කැම්පස් ගියා කියමුකො.සෑහෙන්න නන්නත්තාර වුනේ එහේදී .ඒත් ඉතින් ඩිග්‍රිය කොලා .ෆයිනල් ඉන්දන් පොඩි පොඩි ජොබ් කරන්නත් ගියා .කොහොම හරි යන්න හිතූ රස්සාඅව හිතපු තරන් ලස්සන එකක් නෙවේ කියල තේරුනහම ඔක්කොම දමල ගහල මට ඕනෙ රස්සවට ගියා .පටන්ගත්තේ බොහොම පහල තැනින් .හැමෝම හිනා වුනා නියම රස්සාව නොකර මේව කරන එකට .මට මොකෝ මම හැමදාම කලේ මට ඕනෙ මම හරි කියල හිතූ දේ නෙ . ගෙදරින් බල කලා රාජ්ජ සේවෙට යන්නත් , මම වලි දාල ඉන්ටවිව් කට් කලා.එහෙම කෙරුව නිසා අද සතුටින් ඉන්නව කියල හිතෙනවා .

    මම මට ඕනෙ විදියට දඩබ්බර පාරක ගියා කියල හිතෙනව ,නමුත් ඒක හොඳ තීරණයක් කියලත් හිතනවා .

    කැමතියි

  17. ඉදිරි ගමන සාර්ථක වෙන්න කියලා මම සුභ පතනවා. මේ ඔයා ඊයේ ආවද? මම දැක්කේ නැහැනේ… 😦
    මම ආසවෙන් බලන් හිටියේ නවම්ව අඳුර ගන්න… මම හිතුවේ ඔයා ඇවිත් නැහැ කියලා…. :((

    කැමතියි

  18. ඩිලාන් says:

    මමත් මේ බෝට්ටුවෙම තමා,,බලන් යද්දී මම තාම රූඩ් එකට වැටිලා නෑ,,,ඔහේ ගිහින් බයෝ කලා,,,කුජීත උනා ඉතාලියට ආවා පවුලේ කට්ටිය ඉන්න හින්දා,,,කාලෙක ජොබ් කරනවා,,ආයේ නිකන් ඉන්නවා,,,බලද්දී කෙල්ලෙක් එනකන්ම ඉන්න වෙයි වගේ රූඩ් එකට වැටෙන්න

    කැමතියි

  19. මමත් නවම් ආයිය වගේම පාර හොයන කෙනෙක් මටත් වැරදුණේ ඔයාට වැරදුණ තැනම තමයි .මමනම් හිතන්නේ නවම් අයියට එයා හොයන පාර හම්බ වෙලා . නවම් අයියා ලියන සුපිරි කතා කියවන්න මම මාර ආසයි .උසස් පෙලදී ගේම අතඇරියොත් ඉතින් ඉවරම තමයි බං . අදටත් මම දුක් වෙනවා මගේ ගොං වැඩ නිසා කැම්පස් එකකට යාගන්න බැරි උණ එකට .උඹනම් දැන් නිවිලනේ නවම් අයියේ . උඹට මැණිකේ කෙනෙකුයි . පුංචි කොල්ලෙකුයි ඉන්නවනේ . පොඩි එකාව හොඳට හදාගන්න . උඹට වැරදුණ තැන් ඒ පොඩි ඒකාට වෙන්න දෙන්න එපා

    කැමතියි

  20. hare :-) says:

    අන් ජීවිත වලට සාපේක්ෂව සිතන්නට වූ කල මා කිසිසේත් මාගේ මාවත සොයාගෙන නොමැති බවක් හැ‍ඟේ. ඔබ කිවූ ලෙසම කැලිපරය අතට ගන්නට වූයේ මිතුරන්ගේ උවමනාවටය. මට ඒ කාලයේදීත් අදින් තොර ලොවක් නොවීය. හෙට ගැන සිතුවේ හෙටය. එබැවින් යන්නට නිසි මාවතක් උවමනා වූයේද නැත.

    අද මමද බයිසිකලය පදිමි. ඒ රස්සාවට යන්නටය. නිවසේ කුරුබිලිය තුල රාත්‍රියට සැඟවෙමි. මසකට දින කීපයක් ඇය සමග ගත කරමි. ඒ කම්පනය වන ජීවන රටාව එක සීරුවට ගලායන මාවතකට හොවන්නට අවට සිටින්නන් අපමණ වෙහෙසුනත් මා හට එසේ මාවතක් උවමනා වී නැත. යම් දිනෙක මා යම් එක් මාවතක් තෝරාගන්නට යම් දුරකට ඉඩ තුබුණද ඒ මාවතේ ගොස් මා නැවත වෙනත් මාවතකට හැරෙන්නට නම් හොඳටම ඉඩ තිබේ…

    ප.ලි. – මා නම් බ්‍රව්සරේ ctrl + + මගින් ඔබේ බ්ලොගයේ අකුරු විශාල කරගමි. ඒත් ඇත්තෙන්ම අකුරු මදක් විශාල කරන්නේ නම් මුල් වරට ගොඩවදින්නෙකුට එය රැ‍ඳෙන්නට උදව්වක් වන බව නොඅනුමානය….

    ප.ප.ලි – ‍ඔහොම සිගරට් බොන්න එපා යකෝ….

    කැමතියි

  21. Alchemiya says:

    මමත් ආසම දේ කොටු තාප්පේ උඩ ඇවිදින්න….
    ඉස්සර මායා මිස්ගේ Botany පන්ති යන කාලේ මමත් ඔහොම ඇවිද්දා…
    මොකක් හරි වෙලා මම නම් එච්චරම වැරදි මාර්ගෙට වැටුනෙ නෑ… ටිකක් වෙන්න පිස්සු කෙළියත්….
    ඇල්කෙමිච්චි හම්බ වුනාට පස්සේ මමත් සෑහෙන්න Deposit වුනා…
    ඒ නොවෙන්න සමහරවිට මමත් කොහේද දන්නෙ නෑ….
    කොහොම වුනත් අපේ ඉරණම කොහේ ලියැවිලා තියෙනවාද කියලා දන්නේ දෙයියොම තමයි…
    සමහර විට මුල් වතාවෙ හරි ඉරණම්කාරි හමු නොවෙන්නත් පුළුවන්…
    හරි එක්කෙනා හමු වුනාම ඔක්කොම හරියනවා….

    මම නම් සිගරැට් අරක්කු බිව්වෙ නෑ…. දැනුත් බොනව නම් යාළුවෙක්ගෙ පාටියකට ගියාම සැර බීමක වීදුරු බාගයක් විතර බොනව මිස කවදාවත් වැටෙන්න බීල නෑ…

    කැමතියි

  22. Anushka says:

    උඹේ ජීවිතයත් මගේ වගේම තමයි ඔය හරියෙදි. මට කෙලෙව්වෙ කොම්පියුටර් එක තමයි. හැබැයි අන්තිමට ජීවිතේ ගොඩ දා ගත්තෙත් උගේ පිහිටෙන්ම තමයි.

    කැමතියි

  23. අමුතු ලිපියක්. කොහොම වුණත් දැන් සතුටින් ඉන්න එක ලොකු දෙයක් අයියේ

    කැමතියි

  24. නිලා says:

    මගෙ කතාවනෙ ඔය ලියල තියෙනිනෙ. පරිසරේ නම් වෙනස්. මම ඇවිත් ඉන්නෙ පාරවල් ගොඩක් තියෛන හංදියකට . මේවගෙන් හරි පාරෙ (දුවල) ගිහින් කලින් ගියපු උන් පේන දුරටවත් යන්න ඕනෑ. අම්මෝ මට කරකැවිල්ල වගේ.

    කැමතියි

  25. පින්ග්කිරීම: මම පරමාදර්ශී “පොර” චරිතයක් සොයමි. « නවම් මාවත

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: