කලින් වතාවන්වලදී මෙන් මෙවරද අවුරුද්ද සැමට හොරෙන් විකුනා දමන ලදී


දිනය : අවුරුද්දට පෙර දිනය
ස්ථානය : ජනප්‍රිය රූපවාහිනී ආයතනයක මැදිරි අංක පහ.

මචං ගනින්කො හෙට ප්‍රෝග්‍රෑම් එකේ ප්ලෑන් එක බලන්න.

ඉඳා..

මේ කවුද බං ලිස්ට් එක හැදුවෙ. කෝ බැද්දගේ?

බැද්දගේ ? කවුද බං ඒ ගෝතය, ඉරාජ්ගෙ සෙට් එකේ එකෙක්ද? මං උන් ඔක්කෝටම එන්න කිව්ව බං.

රෙද්ද, බැද්දගේ පරණ බුවෙක් බං, උඹට මතක නැද්ද අර අවුරුදු උත්සව වලට එන්නෙ බතික් කිට් එකෙකින්. මිනිහ නැතුව කොහොමද බං අවුරුදු ප්‍රෝග්‍රැම් කරන්නෙ. කවුද කවියක්වත් කියන්නෙ?

බුවා ඕනෙමද? චින්ති ගෙන්නන හන්ද ඌගෙන් ෂේප් වෙන්න බැරිවෙයිද?

මගෙන් මුකුත් අහගන්නෙ නැතුව පොරගෙ නොම්මරේ හොයල අරං කතා කරල සෙට් කරගනින් හෙට ප්‍රෝග්‍රෑම් එකට.

ට්‍රීං ට්‍රීං….. ට්‍රීං ට්‍රීං….. ට්‍රීං ට්‍රීං…..

හෙලොව්… මිස්ටර් බැද්දගේ?

ඔව් කතාකරනවා…..

මිස්ටර් බැද්දගේ, හෙට අපේ ප්‍රෝග්‍රෑම් එකට උදේ නමයට එන්න පුළුවන් ද?

උදේ පහේ ඉඳල මගෙ ඩේ ප්ලෑන් එක ෆුල්, දහය හමාරට පැයබාගෙක බේක් එකක් තියනෙව. ඒ වෙලාව ඇතිනම් මං එන්නම්.

හරි, මම ප්‍රෝගෑම් එක ෆැක්ස් කරන්නම්, එතකොට ප්‍රිපෙයාර් වෙලාම එන්න පුළුවන් නෙ.

නෑ නෑ. ඒව අවශ්‍ය වෙන්නෙ නෑ. හැම අවුරුද්දකම කරන දේනෙ. මට ඕව හොඳට මතකයි.

ඕකේ දෙන්.. අපි ටෙන් තර්ටි වලට මීට් වෙමු.

මචං, බැද්දගේ හරි, පොර එන්නම් කිව්ව.

ඕයි.. මෙහෙවරෙන්. මේ ලිස්ට් එකේ රන්වලගෙ නමත් තියෙනවනෙ බං.

ඉතිං, කලින් පාරක බුවා ගෙන්නල තිබුනනෙ බං. හැමදාම ගෙන්නන උන්ව එපා කිව්වනිසා මං පරණ අවුරුදු ප්‍රෝග්‍රෑම් බලල කාලෙකින් ගෙන්නපු නැති එකෙක් නිසා නම දැම්ම.

උඹ කතාකලාද?

තවම නෑ බං. හෙට උදේට කතාකලත් පොර එයි. ඔය වගේ කට්ටිය අවුරුද්දකට පාරයිනෙ ටී.වී එකට මූණ දාගන්න එන්නෙ. ආයෙ එහෙම එන චාන්ස් මිස් කරන්නෙ නෑනෙ.

රෙද්ද තමයි, මේ මනුස්ස්ය සෙත්තපෝච්චි වෙලා සෑහෙන කල් ඕයි.

අම්මටසිරි ! දැං මොකෝ බං කරන්නෙ.

අවුලක් නෑ අවුලක් නෑ…. බුවාගෙ පුතා ගෙන්නපන්. ඌ වැඩේ ගොඩ දාල දෙයි.

එල……

මචං, තව වයසක බුවාල දෙන්නෙක් විතර ගෙන්නහං, ඉස්සර උන් අවුරුදුකාපු හැටි අහගන්න වීවර්ස්ල කැමතියි බං.

එල, මේ මචං. සූරියප්පෙරුම ලොක්කට එන්න බෑ කිව්වනෙ අන්තිම මොහොතෙ. අරලියගහට යන්න ඕන කිව්ව මොකක්ද වැඩකට.

ආ.. ඒකට කමක් නෑ බං. බුවා දැන් මෙලෝ රහක් නෑ. හැමදාම ගහන එකම තැටියෙ ගහන ලොරි ටෝක් අහල අහල මිනිස්සුන්ට එපාවෙලා. බුවාට වැඩිය දැං අත්තනායක ලොක්ක හිට් වෙනවනෙ. මිනිහ හරි ආතල් කතා කියන්නෙ. ඔය කවියක් කියල බොරු ජාතකයක් ඇදල ගත්තම අනිත් අඩුපාඩු ඔක්කොම කැපිල යනව.

එල, මම කොහොමහරි පොරව ගෙන්නගන්නං මචන්.

————————————————————-


පසු දිනය : අප්‍රේල් දාහතර
ස්ථානය : මැදිරි අංක පහ

ආයුබෝවන් සකල ශ්‍රී ලංකාවාසී සිංහල දමිල සියළු දෙනාටම.

අද දවස ඉතාමත් විශේෂ පුන්‍යවන්ත දවසක්. ඒ දවසේ විශේෂත්වය විද්වත් සාකඡාවකින් හරවත් කිරීමට අපි මැදිරිසංකීර්ණයට ආරාධනා කලා අපේ රටේ අතිශය ගෞරවාදරයට පාත්‍රවූ විද්වතුන් කිහිප පලකට.

ආයුබෝවන් ඔබ සැමට..

සාකඡාවට යොමුවීමට ප්‍රථම අපි අපේ ආරාධිත ගායන ශිල්පියාට ආරාධනය කරමු අවුරුදු ගීයකින් හා හා පුරා කියා මූලාරම්භය ගන්න කියල.

ගේමක් දෙලා ගිය අවුරුද්දේ………….

————————————————————-


පසු සටහන:

ඉහත සඳහන් කර ඇත්තේ මා කිසි දිනෙක පෞද්ගලිකව අත් වින්ද නැති, නමුත් සීයට අනූවක්වත් සැබෑවට ආසන්නයැයි මට හිතෙනා සටහනකි. ඇතැම් විටෙක මෙය හුදෙක් මාගේ හිතළුවක් වීමට ඉඩක්  නැත්තේද නොවේ. එනමුත් මෙය සබෑවටම සිද්ධවෙන්නකැයි සිතීමට තරම් අවැසි සාධක ඔබ මා අවට අනන්තවත් ඇත.

සියල්ලම වානිජකරණය වූ ලෝකයක ඉන් මිදීමට මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යයයනට කිසිසේත්ම ඉඩක් නැත. ඉන් ඉසිඹුවක් ඇත්තේයැයි සිතන්නේනම් හා පෙන්වන්නේ නම් එය තමා මෙන්ම අනුන් ද මුලාවට පත්කිරීමට දරනා වූ ප්‍රයත්නයක්ම වේ. එසේ දරනා ප්‍රයත්නයන් අතිමහත් බහුතරයක් වූ සමාජීය තාර්කික අවබෝධයකින් යුතු පිරිස් හමුවේ නිරුවතින් රඟයි.

වසරේ මාස එකොලහක් පුරාවටම අමතක කල ගැමි සිරිය, මනුස්සකම්, චාරිත්‍ර, අප්‍රේල් මාසයේ එක්වරම මකුළු දැල් කඩා අ‍ටුවෙන් බෑම හිතට ඇතිකරන්නේ අපහසුතාවයක්ම මිස අවුරුදු ප්‍රීතියක්නම් නොවේ. ඉතින් ඒ අවුරුද්දෙන් මට කම් නැත. බොරුවට රඟනු දැකීම සිත තුල අපුලක් ඇතිකරයි.

අවුරුදු දා අවුරුදු ප්‍රීතිය නැතිවීමට හේතු වන කරුණු කාරනා මෙන්න මෙය යැයි පැවසීමට තරම් ලඝු කොට දැක්විය නොහැක. සීමා සහිත කාලයක් තුල අසීමිත ඉලක්කයන් හඹාගෙන යන සමාජයකින් එවන් දේවල් ක්‍රමක්‍රමයෙන් මඟහැරීයාම සම්භන්ධයෙන් කිසිවෙකුට වෙන් කොට ඇඟිල්ල දිගුකොට චෝදනා කල නොහැක. සියල්ලෝම දැන හෝ නොදැන එම පෙරළියට වක්‍රව දායක වී ඇත.

මෝතා ජෙලි, ලිප්ටන් ලාඕජී, නෙස්ටමෝල්ට්, මන්චී, වෙලඳනාම උරමත දරාගත් උත්සව වල තවත් එක් වෙළඳාමක් මිස අළුත් අවුරුදු සිරියක් නැත. එදිනට අන් දිනයන්හි සරම කරමතක් උස්සා දේශීයත්වය, වෙලඳ මා‍ෆියාව, ස්වයංපෝශිත ආර්ථිකය, අඩි හයේ යෝදයා තනන මැල්ලුම් මුට්ටිය පිළිබඳව නන්ඩොඩවන දේශීය ච්න්තනය නෙස්ටමෝල්ට් කෝප්පයක් අතැතිව කුඩා කල ගමේ අවුරුදු කාලයේ කල කෙළි වැමෑරීම හා අද එවන් පසුබිමක් නැතැයිද ඊට වගකිවයුතුයැයිද කියමින් වර්ථමානිකයන්ට දෙස් දෙවොල් තැබීම බඩ දඟලවන සුළුය.

එමෙන්ම මාධ්‍ය ආයතන ප්‍රමුඛත්වය ගෙන ක්‍රියාත්මක කරනා අසංස්කෘතික දෑ පිළිබඳ විචාර හා විවේචනයන් වලට ඒ ආයතයන්හිම වේදිකාවක් ඇතිකිරීමෙන් රවටන්න හදන්නේ කාවද?

Advertisements

32 Responses to කලින් වතාවන්වලදී මෙන් මෙවරද අවුරුද්ද සැමට හොරෙන් විකුනා දමන ලදී

  1. නියමම ලිපියක් සහෝ. නියමයි. වැඩක් නෑ කිව්වට ඒත්. ලබන අවුරැද්දෙත් ඔහොම තමයි
    මේ ධනේෂ්වර ආර්ථිකයත් එක්ක, වතුරත් විකුණන කාලෙක කෝකත් මාකට් වෙනවා…
    අපේ හිතට එකඝව යමක් කරලා සතුටු වෙමු.

    කැමතියි

  2. නවම් says:

    ඇත්ත. මාකට් වීමෙන් ගැලවෙන්න බෑ. ඒත් අපි එහෙම මාකට් වෙන්නෙ නෑ කියල බොරුවට ගර්ජනා කරන සිංහ හම් පොරවගනිපු නරි රඟනකොට ලැජ්ජයිනෙ බං…. ඒ ඇත්ත පිළිගන්නවනම් මේක මෙච්චරටම කැත, ගඳ ගහන තැනක් වෙන්නෙ නෑ.

    කැමතියි

  3. නියම ලිපියක්. කාලයත් එක්කම අලුත් අවුරුද්ද වාණිජකරනය වෙලා. කිව්වත් වගේ ඔය බැද්දගේ රංවල සූරියප්පෙරුම වගේ විද්වත් අයට අවුරුද්ද සීමා වෙලා. ඒ කට්ටිය නැති උනදාට චින්ති වගේ උන්ට තමයි කරන්න වෙන්නේ. එදාට අනාගත් පරපුරට දෙයියන්ගේම පිහිටයි. 😦

    ඔය දැන්ම තියා නවම් අයියත් මොකක් හරි ඩීවීඩි එකකට අවුරුදු චාරිත්‍ර අවුරුදු ක්‍රිඩා ටිකක් රයිට් කරලා තියා ගන්න. නැත්නම් පුතු පැටියට අලුත් අවුරුද්ද කියලා පෙන්නන්න දෙයක් නැති වෙයි.
    ඒ උනාට අයියලාගේ ගමේ නම් හොදට අලුත් අවුරුදු සමරනවා ඇති. දැන් අවුරුද්ද ගමට සීමා වෙලා නෙව.

    කොහොමෙයි අවුරුදු සරුද ???

    ඔන්න අයියටයි අක්කටයි පුතු පැටියටයි ඔක්කෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!! 🙂

    කැමතියි

  4. නවම් says:

    මොන, ගමේ යන්න බැරිඋනා. චූටිමැණිකෙට දහතුන් වෙනිදත් වැඩ [එයා ඉතිං අත්‍යාවශ්‍ය සේවා නෙ] මේ අවුරුද්දත් කොළඹ කුලී ගෙදර ටී.වී එක ඉස්සරහ ගෙවිල ගියා. මධුරංග මල්ලීට නම් ගමේ අවුරුදු තියෙන්න ඇති නේ.

    කැමතියි

  5. Buwa says:

    නියම ලිපියක් සත්‍යය මීට ගොඩක් ආසන්නයි කියලයි මටත් හිතෙන්නෙ , සහන් මාධ්‍ය පොරක්ම නිසා ලොකු රංවල මැරිලා කියන එක නම් සමහරවිට දැනගෙන ඉඳියි

    කැමතියි

  6. මාරයාගේ හෝරාව... says:

    අනේ මේ ඒ දවස් ටිකෙත් අර වෙනදා විදියටම කරගෙන යන මගුල් ටිකම කරගෙන යනවනං ලොකු දෙයක්..අර කිව්වත් වගේ උන් අපිවත් රවට්ටලා උනුත් රැවටෙනවා…
    අපි බලයිද ඔය මගුල්..?

    උඹ හිතළුවක් කියලා හරි දාලා තියෙන්නේ දැනටත් සිද්ද වෙන දේම තමයි…

    කැමතියි

  7. abeetha says:

    ශිහ් අපේ සිහින උළෙළත් මෙහෙමම කරන්න තිබුනා බන්… අපරාදේ…. 😀

    කැමතියි

  8. දුමී says:

    “අහේතු කාලේන කජ්ජේන පුහුලං” කියලා කිව්වෙ මම නෙමේ. ඒ කියන්නෙ එක කියලා තියෙන්නෙ කට කහනවට නෙමේ.

    ඔහොම තමයි බං නවම් මලයෝ, මේ විපරීත ලෝකෙ අපිම දන්නෙ නෑ අපිවත් කවද හරි විකුනලා දාන කං…. මම දන්නෙ නෑ ඇත්තටම චිත්තිලා, විරාජ්ලවත් මේ කාලේ ටී.වී වල ඔන්චිලි වාරම් කිව්වද කියලා….!

    කැමතියි

  9. නවම් says:

    කමක් නෑ දුමී අයියෙ බොරුව නොදා විකුනනවනම්, මොන රෙද්දක් කලත් ආයෙ ආපස්සට යන්න බෑ. නොවිකිණී ඉන්නත් බෑ. ඒත් බලං ඉන්න බැරි බලෙන් පටවන බොරු ගොඩනෙව. බොරු සුචරිතවාදීන්ට වැඩිය පාරෙ ඇඟ විකුනන ගෑණිගෙ අවංකකම වටින්නෙ නැද්ද හැබෑටම.

    අනේ චින්තියි ඉරාජුයි කියන වාරම්, හැබැයි තව අවුරුදු දෙක තුනකින් උන් ඔන්චිලි වාරම් ‍රැප් කරල අවුරුද්ද දා කියල ඒ වේගෙට ඔන්චිලි පදින්න ගිහිල්ල එදාට විතරක් රෙද්ද අඳින කෙල්ලන්ගෙ කොඳු කඩල දායි.

    කැමතියි

  10. නවම් අයියා කියන කතාව ඇත්ත… අවුරුද්දත් තනිකරම වෙළඳාමක් වෙලා තියෙන්නේ…

    කැමතියි

  11. මේ ලෝකේ හැමදේම අධ්‍යාපනය හිටන් මාර්කට් වෙන එකේ අවුරුද්ද ගැන කුමන කතාද සහෝ

    කැමතියි

  12. රොයිලි ප්‍රනාන්දු says:

    නවම්, සුබ අලුත් අවුරුද්දක් කියන ගමන් පුලුවන්නම් Share button ටික දාන්නකෝ බ්ලොග් එකට. WP එකේම තියෙන ටික හොඳටම ඇති. ඒක දැම්මනම් නිකන්ම කියවල යන්නෙ නැතුව twitter, fb පැත්තට ලින්ක් කරගෙන යන්න පුලුවනි. හිතලා බලන්න. තව එකෙක් හරි ඒවී බ්ලොග් එකට. 😀

    කැමතියි

  13. susara wijeratne says:

    Good and eye opening post
    අවුරුද්ද විතරක් නෙමෙයි හැමදාමත් අපගේ දේශීය සන්ස්කෘතිය මාධ්‍ය වල විකිනෙන්නෙ ඔහොම තමයි.

    කැමතියි

  14. මොවා කරන්නද නවම් අයියේ . අතීතය ටිකෙන් ටික අපිට අමතක වෙනවා . අපි හැමෝම මිනිස්සු මේ කර කර හිටපු දේ අපිට මේ මොහොතකින් අමතකයි ! ඉතින් …

    කාලෙ වෙනස් වෙනවා නවම් අයියේ මිනිස්සු යන්ත්‍ර වෙනවා .ජීවිතේ කියන රේස් එකේ වේගෙන් දිවිවේ නැති එකා පිටි පස්සෙන් දුවගෙන එන උන්ට පෑගෙනවා . ඉතින් අපිට කොහෙද .ගැමි සිරිය, මනුස්සකම්, චාරිත්‍ර, ගැන හිතන්න . වෙලාවක් ඔයාට මට අනික් අයට .අපි කාටවත් වෙලාවක් නෑ අපිට අවුරුදු මතක් වෙන්නෙත් ඒ ගැන ඇඟට දැනෙන්නෙත් යම්කිසි කාලයකදී විතරයි .

    ඇත්තම කීවොත් අපි මේ කරන්නේ අපිවම රවටගෙන පොඩි ආතල් එකක් ගන්න එක .අපි ඒක දන්නවා ඒත් අපි වෙන මොනවා කියලා කරන්නද ?
    …………………………………………………………………………………………………………………………………………………………..
    මම කීප වතාවක්ම ඇවිල්ලා බලල ගියා කොහේද බං උඹ ගිහේ අවුරුද්දටවත් නෑ මම හිතුවා ඔයාගේ මැනිකේ සිරාවටම බ්ලොග් ලියන්න තහන්චි දාලා කියලා … සුපිරි ලිපියක් නවම් අයියේ …!!

    කැමතියි

    • නවම් says:

      ඔව් සඳරු, අපි ‍රැවටෙනව තමයි, ඒ ‍රැවටීම ඇතුලෙ හරිම සනීපයක් දැනෙනව නේද.

      අවුරුද්ද දෙදොහෙ චූටිමැණිකෙ ඩියුටි බං එයාල ඉතිං අත්‍යාවශ්‍ය සේවානෙ. අවුරුද්ද පැත්තක දාල පොඩ්ඩා එක්ක ඔට්‍ටු අල්ල අල්ල උන්න. අද තමයි ඔන්න බබා බලාගන්න මනුස්සය අවුරුද්දට ගමේ ගොහින් ආවෙ.

      කැමතියි

  15. hare :-) says:

    එහෙමමත් කියන්න එපා… ඔය වෙළඳ දැන්වීම් නැත්තං එයාල කොහොමද අපට නොනගතේ කියන්නේ? අවුරුදු උදාව කියන්නෙ? තව ලිප ගිණි මොලවන, ආහාර අනුභව කරන වෙලාවල් කියන්නේ? ඔය අනිත් වැල් වටාරම් ටික දාන්නෙ නැකැත් වෙලාවල් අතර කාලෙ ගත කරන්නනේ… ඒව නොදැම්මොත් අපි කොහොමද නැකතට ඒව කරන්නේ? අවුරුද්දක් නෑනේ ඔය විද්‍යුත් මාධ්‍ය ටික නැත්තං…

    කැමතියි

    • නවම් says:

      හැබෑවටම මට අමතක උනානෙව. උන්දැල නැත්නං ආයෙ අපිට චාරිත්‍ර දැනගන්නෙ කොහොමෙයි නේද? අනේ ඉතිං කොහොමෙයි දොසක් කියන්නෙ….

      කැමතියි

    • Beetle says:

      විහිළුවක් වුණාට එක පැත්තකින් මේකේ ඇත්තක් නැත්තෙමත් නෑ නේද..? ඇත්තටම අදකාලේ අවුරුද්දේ ටීවී එක විශේෂ අංගයක්… විශේෂයෙන් අවුරුදු නැති අයට වෙළඳ දැන්වීම් වල ඔතලා හරි, පොඩ්ඩක් හරි අවුරුද්ද සමීප කරන්නේ ටීවී එකේ බතික් සරම් ඇඳගෙන කොණ්ඩේ වෙට් ජෙල් කරගෙන ඉන්න ඩයල් තමයි…

      වෙන දෙයක් ඕනි නෑ නවම් ම කියලා තියෙන්නේ ගෙදර අය නැති නිසා ටීවී එක ඉස්සරහට වෙලා අවුරුද්ද ගෙවුණා කියලා… අපි කැමති වුණත් නැති වුණත් ඒක තමයි ඇත්ත… විකුණන්නේ නැතිව මොන මඟුලක්වත් කරන්න බැරි එකයි වැඩේ…

      කැමතියි

  16. nihal says:

    කලා කරුවෙකුට මිස්ටර් කියා ඇමතීම ඔහුට කරන අගෞරවයක් කියලයි මම හිතන්නෙ.
    රන්වල කරපු අවුරුදු උත්සවය මම බැලුව. ඒක මසුරං. අන්න නියම මිනිස්සු.. මගේ පුද්ගලික මතය ඔය දැන් ඉන්න අයට තව අවුරුදු සීයක් වත් යයි ඒ තත්වෙට එන්න.

    කැමතියි

  17. අවුරුදු උත්සවේ ගත්තම තනිකරම මාකටින් පාරක් යන්නෙ. ඒ මදිවට අවුරුදු ක්‍රීඩාත් වෙනස් කරලා. ලිප්ටන් ලාඕජී වැඩිපුරම තේ බීම, ලකී යෝගට් කැවීම. කාලෙත් එක්ක වෙනස් වෙන්න ඕනෙ තමයි. ඒත් අපි කොහෙද හිටියෙ කියල මතක තියාගෙන. මෙහෙම ගියොත් අපේ දරුවො ඉපදිච්ච කාලෙක උන්ට කියල දෙන්න පෙන්නල දෙන්න ජන ක්‍රීඩා සිරිත් විරිත් නැති වෙයි. ඔක්කොම විකෘති කරලා.

    කැමතියි

  18. නීරෝ says:

    ඇත්තටම වටිනා ලිපියක්…ස්තුතියි…
    අපේ වටින කියන දේවල් ගැන දැන් ඉන්න එවුන්ට කිසි අගයක් නැහැ. ඒ වගේම රෝහණ බැද්දගේ, ලයනල් රංවල වගේ වටිනා මිනිසුන් ගැන මේ ඉන්න අය මොකුත් දන්නේ නැහැ, ඔහේ යන්නං වාලේ රැල්ලට යනවා. ඇතුලතින් හිස්, බාහිර ඔපය විතරයි

    කැමතියි

  19. tharu says:

    දෑන් මාද්‍යය කියන්නේ ප්‍රබල වි‍යාපාරයක් , පොදු ජනතවගේ සිතුම්පතුම් ජීවනරාටව, මෙ ඔක්කොටම සම්මතයන් දෙන්නේ මාද්‍යය.
    දෑන් ලන්කවෙ මාද්‍යය වි‍යාපර වෑහි වහෑල. හෑම දශමයෙම FM නලිකා.මේ වි‍යාපාර රදවගන්න ඔනෙම දෙයක් කරන්න ඔවුහු පෙලබෙනවා. මෙ නිසා ලන්කවේ සන්ගීතය සම්පුර්නයෙන්ම විනශවෙලා.
    මෙ තෑන බලන්න.
    http://tharu.net/about.html

    කැමතියි

  20. Bunny says:

    ඉරිසියාවනේ.. පැහැදිලි ඉරිසියාව.. ඉරාජ් වගේ එකෙක් නැගලා එන එකට හැමෝම ඉරිසියා කරන්නෙ ඇයි ? 😀

    කැමතියි

  21. කියල තියෙන දේ නම් සහතික ඇත්ත. ඒක නෙමෙයි අලුත් අවුරුද්ද ඔයාටයි, පවුලේ හැමෝටමයි කිරියෙන් පැණියෙන් ඉතිරෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා… 😀

    කැමතියි

  22. අපේ සම්පත් අපේ මිනිස්සුන්ට අගේ නැහැ………….

    කැමතියි

  23. Jayan says:

    owwa ohoma thamai. mata galle vala avurudu samarapu vidiha mathak venava. colombo valadi avuruddata ballek vath enne na ne ape gedara. nikan ohe gevila yanava.. harima boring ma kaalayak

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: