අපේ මාමණ්ඩිගෙ හිතේ තිබිච්ච බය අහවරයි ඕං


හ්ම්…. හැබෑටම මේ කෙල්ලට මංගල්ලයක් හරියන්නෙ නැති හැටි.

මොන හෙනයක් ගහලද මංද. ගේනෙ ගේන එකාගෙ මොකක් හරි ඇදයක් පේනවනෙව මේකිට.

ඕං හාමිනේ මටන මීටපස්සෙ කියනව නෙමෙයි මේකිට මිනිස්සු හොයන්නෙයි කියල. ඔන්න ඔහේ යන්න බැරිනං ගෙදර ඉඳපුවාවෙ. මෙච්චර කල් කන්න දුන්න වගේ ඉතුරුටිකත් ඇහැක් හැටියකට කොරනව. [ඕං බලන්ට අපේ මාමණ්ඩිගෙ හින්නංකිතර මොලේ]

කලබල වෙන්නෙ නැතුව ඉන්න ඒයි. වෙලාව ආවම කෙලීට හරියයි. මොකෝ තාම දීගතල දෙන වයස පහු උනාය. [ඒකත් හැබෑව. වයස හතලිහයි තරුණ පෙණුමැති කියලනෙව පත්තරේ වැඩි හරියක් එව්ව තියෙන්නෙ – අනේ නැන්දම්මේ…]

හැබෑටම මොකෝ දුවේ මේ…

හිත ගිය කවුරුහරි ඉන්නවැයි ඇන්.ටී, ඇස් එකේවත්?

අම්මට විකාර…. [හික්……]

ඔව් ඔව්, අම්මටයි දූටයි දෙන්නටම විකාර. මේව්ව බල බල ඉඳල මටත් දැන් විකාර. ඒක හන්දමද කොහේද එකෙක්වත් කැමති වෙන්නෙ නැත්තෙ. අනේ අම්මප මාත් ඉතුරු උනානෙව මේ නාඩගං බලන්න. ඇයි උලව්වෙ නහින දෙහින කාලෙ අපිට හිත සැනසිල්ලක් නැති හැටි. [දීලත් ඉඳී කියල තමයි බය]

උඹ රටේ ලෝකෙ කරක් ගහන එකී. අර තුන්සීය හැටපස් දවසෙම හෙයි මුල්ලෙ ඉඳපු සෝමෙගෙ බාල කෙලී රජෙක් වගේ එකෙක් එක්ක දීග ගියේ. ඔය හන්දියට ගිය වෙලේ දැකල ඇවිල්ල ගෙදරින් අහල ලු නෙව. [කොයි ගෙයි මුල්ලෙද දන්නෙ නෑ උන්නෙ]

දැං තාත්ත මටත් කියන්නෙ රස්සාවත් නොයා හන්දියෙ කඩේ ගාවට වෙලා ඉන්නෙයි කියලැයි කැන්දං යන්න එනකං?

ට්ලිං ටිලිං……..

අන්න පියුං ඇවිල්ල. බැලුවනං මෙහාටත් ලියුං තියෙයිද කියල.

ආ… මෙන්න…

සුමාන තුනකට කලින් පත්තරේ දාපුවට තාමත් උත්තර එනවැයි… ඔන්න ඔහේ කඩල බැළුවනං.. [වේලි වේලි ඉන්න එකෙක් වෙන්ඩැ මෙච්චර පරක්කු වෙලා]

හ්ම්…… ආ….. මේං මේ කේන්දර කොපියනං ටක්කෙටම හරි වගේ. [අනේ උලව්වේ…..]

අනේ මේ.. ඔහොම හරිය කියල කීයක් නං බැළුවද…

එහම කියන්නෙ එපා ඒයි. ඔන්නෙ ඔහේ ගුරුන්නාන්සෙ අයියට කියල මේකත් බලවගෙන ආවනං. [මොකෝ සල්ලි ගන්නවැයි කියලැයි]

හ්ම්.. කෝ මයෙ සෙරෙප්පු දෙක හොයල ගන්නවකො එහෙනං. ඒක කොයි වෙලාවකවත් තියාපු තැන නෑ නෙ ඇවිදිනවනෙ වත්ත පුරාම.

අන්න ලිඳ ගාව තිබුන මං දැක්ක. ඔහේ ම නෙ දොරකඩ රඹුටං ගහට වඳුරො පැනල කියල සෙරෙප්පු දෙකත් දාල වැට ඉනනකුත් උගුල්ලං ආවෙ. ඒ වෙලාවට ඉතිං සරම ඇ‍ඟේ තියෙනවද කියලත් සිහියක් නෑ නෙ.

ප/ලි : අර ලියුං කරදහියෙ තිබුනෙ මයෙ වේලපත්කඩෙයි කියනවනෙව.
ප/ප/ලි: මොන එහෙකට මේ යෝදි මට බහ දුන්නද කියල උන්දැ තියා දෙයියො වත් දන්නෙ නැතුව ඇති.

%d bloggers like this: