අඳුරු තිර දැමූ දේවාලය සහ දෙයියන්නාන්සේ

ඉස්කෝලෙ පරිගණක ඒකකයක් තිබුන. ඒත් ඒක හරියට දේවාලෙ වගේ. හතරවටේටම ජනෙල් වහල ඇළුමිනියම් කොල අලවල සීල් කරල, කොළ පාට තිර රෙදි දාල. දොර ගාව පාපිසි දෙකක්ම තියල. තව සපත්තු රාක්ක හතරක් එලියෙ බිත්තිය අයිනෙ. අනිත් විෂයන් ඉගෙනගන්න අපි ගියපු නැ‍ටුම් කාමරය, චිත්‍ර කාමරය, ලී වැඩ කාමරය. යකඩ වැඩ කාමරය, පුස්තකාලය, ඔය හැම තනකටම වඩා මහේෂාක්‍ය ලීලාවෙන් තමයි පරිගණක ඒකකයක් තිබුනෙ.

ඒකෙ උගන්නපු ගුරුවරයත් ඇවිද්දෙ නහය කෙලින් බලාගෙන. පපුව පුම්බගෙන, අත් දිගට සුදු ෂර්ට් ඇඳල, මූණ බලන්න පුළුවන් තරම් තදේට සපත්තු පොලිෂ් කරල. එයා හිනා වෙන්නෙ බොහෝම අඩුවෙන්. ඒ හිනා උනෙත් හොඳ උස මහත, නීට් එකට අඳින පොෂ් කොල්ලො එක්ක විතරයි. මං වගේ හීනි කෙට්‍ටු උන් නොදැක්ක ගානට යනව. බුද්ධාගම උගන්නන ලියනගේ සර්, සිංහල උගන්නන සෙනෙහෙලතා මිස්, ගණිතය උගන්නන ආරියරත්න සර් එක්ක හිනා වෙලා කතාකරපු අපි කොම්පියුටර් සර් එනකොට එකත් පස්ව කාණුවට බැස්ස නොබැස්ස ගානයි.

කොම්පියුටර් පාඩමට ඒ කාමරේට ගියාම ඉස්සෙල්ලම ගෙවල්වල පරිගණක තියෙන, පරිගණක දැනුම තියෙනෙ ළමයි ටික එතන තියෙන පරිගණක ටික ඔක්කෝම අල්ලගන්නව. පෙර පරිගණක දැනුමක් නැති අපි බයෙන් වගේ පිටිපස්සෙ පේලියකට වෙලා බලං ඉන්නව අපේ පන්තියෙ දක්ෂ යාළුවො පරිගණකය පාවිච්චි කරන දිහා. එයාල සමහර දවස වලට ගෙදරින් ඩිස්කට් කියල කළු පාට ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකක් සයිස් කො‍ටුවක් ගෙනැල්ල දානව පරිගණකයට. ඊට පස්සෙ ඒකෙ ඉඳල එක එක සෙල්ලං කරනව. අපිත් සමහර වෙලාවට උන්ගෙ කරවල් වලට උඩින් ඇඟිලි වලින් ඉස්සි ඉස්සි බලනව. සමහර පරිගණකවල කො‍ටු පිරෙවෙනව. තව ඒවයෙ වෙඩි තියනව. තවත් ඒවයෙ කාඩ් ගහනව. අපිට හරි සන්තෝසයි ඒව බලාගෙන හිටියම. පාවිච්චි කරන්න හම්බු නොවුනට දුකක් දැනුනෙ නෑ. අපි බයවුනා අපි ඕක නොදැන පාවිච්චි කරන්න ගිහිල්ල කැඩෙයි කියල. ඉතින් හම්බු නොවීම ගැන අණතුරකින් වැලකීමේ සතුටකින් හිත හදාගෙන තමයි මමයි අනිත් යාළුවොයි හිටියෙ.

කාලයක් යනකොට අපිට පිටිපස්සට වෙලා බලාගෙන ඉඳලම ඇතිවෙලා තිබුනෙ. එහෙමයි කියල පොරකාල කවදාවත් පරිගණකයක් අල්ලගන්න උවමනාවක් තිබුනෙ නෑ. ඒකෙ තිබුන ගුප්ත බවම අපිව ඒකෙන් අපිටත් නොදැනිම ඈත් කරල තිබුනෙ ඒ වෙනකොට. ඔය නිසාම අපි ඒ පරිගණක පීරියඩ් එකේ ඉස්කෝලෙ උඩපිට්ටනියට යන්න පුරුදු උනා. එතන හරිම නිදහස් තැනක්. එක පැත්තකින් හොස්ටල් එක අනිත් පැත්තෙ පල්ලමේ ඉස්කෝලෙ ගොඩනැගිලි. හැමතිස්සෙම වගේ ළමයි සෙල්ලම් කරකර උන්න නිසා කිසිම වෙලාවක අපි පීරියඩ් කට් කරල ඉන්නව කියල කාටවත් තේරුමක් තිබුනෙ නෑ. එතන ඉඳල අපි ගොඩක් වෙලාවට කලේ මැයි ගස්වල මල් පොහොට්‍ටු කඩල ඒකෙ කොක්ක වගේ තියෙන රේණු දෙකක් පටලවල අදින සෙල්ලම තමයි. නොකැඩී රේණුව ඉතුරුවෙන එකා දිනුම්.

ඔන්න ඔහොමයි අපේ පරිගණක පාඩම ගෙවිල ගියේ. ඒ එක්දාස් නමසීය අනූනමය දෙදාහ කලෙ වෙන්න ඕන.

ඊට කාලෙකට පස්සෙ රස්සාවක් හොයාගන්න පරිගණක දැනුම ඕන උනා. එහෙමයි කිව්වට අපි දැනගෙන උන්නෙ පරිගණකවලින් සෙල්ලම් කරන්න පුළුවන් කියල විතරයි. පත්තර බලනකොට ඒ කාලෙ වැඩිපුරම පරිගණක පාඨමාලා තිබුනෙ ඩෙස්ක් ටොප් පබ්ලිෂින් යටතේ තමයි. ඔයිට අමතරව පරිණක ක්‍රමලේඛණ පාඨමාලා තිබුනත් මට ඒව මෙලෝ දෙයක් තේරුනේ නෑ. ඒක නිසා ගියා ඩෙස්ක් ටොප් පබ්ලිෂින් ඉගෙනගන්න මාතර ඇබකස් එකට. පන්ති කාමරයටම එක පරිගණකයක් තිබුන. ඒකෙන් තමයි චූටි මිස් කෙනෙක් පාඩම ඉගැන්නුවෙ. අපි ඉතිං එයා කියල දෙන පාඩම ඔහේ පොතක ලියාගත්ත. ඊට සතියකට පස්සෙ තමයි එදා පාඩම ප්‍රැක්ටිකලි කරන්න වෙන්නෙ.

ප්‍රැක්ටිකල් වලට ගියා…… ඒක ඉස්කෝලෙ තරම් දේවාලයක් නෙමෙයි. සපත්තු නම් එකෙත් ගලවන්න වුනා. හැමෝටම එක ගානෙ පරිගණක තිබුන. මමත් අනිත් අය වගේ වාඩිවුනා පු‍ටුවෙ. පරිගණක තිරය කළු පාටයි. මවුස් එක හෙලුවට මුකුත් වෙන්නෙත් නෑ. මම හරිම අසරණයි. වටපිට බැළුව. අනිත් අයගෙ පරිගණක වැඩ. මගේ එක නෑ. අහන්න කිසිම කෙනෙක් නෑ. කිසිම කෙනෙකුට මාව පේන්නෙ නෑ.

ඔයා ඇයි ප්‍රැක්ටිකල් කරන්නෙ නැද්ද?

ඉන්ස්ට්‍රක්ටර් ගෑණුළමයෙක් ඇවිල්ල ඇහුව මගෙන්.

මේක වැඩ කරන්නෙ නෑති එකක්ද. මවුස් එක හෙල්ලුවට මුකුත් වෙන්නෙ නෑ නෙ.

හ්ම්… කෝ බලන්න..

මවුස් එක වැඩකරන්න කම්පියුටර් එක ඕන් කරල ඉන්න එපාය. ඔයා ඒකවත් දන්නෙ නැද්ද.

එහෙම කියල එයා පහලට නැවිල බොත්තමක් එබුව.

Advertisements

45 Responses to අඳුරු තිර දැමූ දේවාලය සහ දෙයියන්නාන්සේ

  1. නවීන් says:

    ඔයාගේ පාසල මාතර රාහුලද?.. මම නම් ගියේ එහෙට තමයි.. මගේ අත්දැකීම් බොහොදුරට මේ වගේ තම්යි.. ඉස්කෝලේ පරිඝනක කාමරේ කිසිම පරිඝනකයක් මම අල්ල නැ.. 😀 ඔයාවගේම.. 😀

    කැමතියි

  2. අපෝයි ඔව් ඒ දවස්වල කම්පියුටර් එකක් යූස් කරන්න පුලුවන් කියන්නෙ හරි ලොකු දෙයක්………………. මමත් මුලින්ම හාඩ්වෙයාර් කෝස් එකක් කලේ කම්පියුටරේ හදන්න එක එකාට වඳින්න බැරි නිසා……….

    කැමතියි

  3. sameera says:

    මගේ කතාවත් ඕකම තමා ,මO ඉගෙනගත්තෙත් ඔහොම තමයි .

    කැමතියි

  4. ඉන්ස්ට්‍රක්ටර් ගෑණුළමයෙක් නෙමෙයි අක්කා කෙනෙක්.

    අපි ඔහොම නෑනේ… ඉක්කෝලෙන් ඉගෙන ගන්න පුළුවන් හැම දේම ඉගෙන ගත්තා… පාඩම් වැඩ හැර…

    කැමතියි

  5. වැප් says:

    කියලා වැඩක් නැහැ මම පරිගණකයක් ඇල්ලුවේ 2003 දි විතර. එතකල් කලේ අනි අය කියන එව්වා කට බලියන් බලන් ඉන්න එක තමයි

    කැමතියි

  6. මාරයාගේ හෝරාව... says:

    මං නං මගේ ගෝලයෝ ටිකක් කම්පියුටර් පංති යන්න ගත්ත හින්දා උංට පුරුදු වෙන්න කොම්පියුටරයක් නැති හින්දා මං ගානේ එකක් අරං පන්සලේ පැත්තකින් තියලා දුන්නා… ඒකෙන් තමා ටික ටික අල්ල ගත්තේ..පොඩි එවුන් තමා මට මුල අල්ලලා දුන්නේ..පස්සේ ඉතිං එළිවෙනකල් නිදි මරාගෙන තනියම එහෙ මෙහෙ දගලලා යන්තං අද මේ ගානට හරි මේක ආං බාං කරගන්න පුළුවන් උනා…

    කැමතියි

  7. නවම් අයියා ලියලා තියෙන්නේ මගේ කතාවමද කොහෙද? මමත් ඉස් ඉස්සෙල්ලාම කම්පියුටර් එක අතින් ඇල්ලුවේ ඒ ලෙවල් කාලේ. එතකොට නම් මම මවුස් එකෙන් ක්ලික් කරන්න දන්නේ නෑ. හැම විටම රයිට් ක්ලික් වෙනවා. එතකොට අර ලිස්ට් එකක් එනවා. එපාම වෙනවා එතකොට නම්.

    ඊට පස්සේ ලග හිටපු යාලුවෙක් තමා හරියට ක්ලික් කරන හැටි උනත් කියලා දුන්නේ. ඊට පස්සේ නම් ටිකක් ටිකක් හුරු උනා. මම ඉස්කෝලේ යන හැමදාටම පංතියට යන්නේ නෑ. කම්පියුටර් ලැබ් එකට තමා යන්නේ.

    ඔහොම හැමදාම යද්දි ඒකේ හිටපු ටීචර් මට චුට්ටක් ෆෝටෝශොප් කියලා දුන්නා. මම ඒකට ගොඩක් ආස උනා. කොච්චර ආස උනාද කියලා කියනවනම් මාව කම්පියුටර් ලැබ් එකෙන් එලව ගන්නත් බැරි උනා. ඉස්සර නෙට් නැති හින්දා එන්කාටර් කියලා එන්සයික්ලෝපීඩියා සොෆ්ට්වෙයාර් එකකින් ෆොටෝ අරගෙන ඒවම එඩිට් කර කරා හිටියා.

    මම කැම්පස් සිලෙක්ට් උනාට පස්සේත් මම ආස කලේ පරිගනක ඉංජිනේරුවෙක් වෙන්න. අර ග්‍රැෆික් වලට තිබ්බ ආසව හින්දම. නමුත් කැම්පස් එකේ ග්‍රැෆික් කියන නාමයක් මට ඉගෙන ගන්න ලැබුනේ නෑ. මාරම දුකයි. වෙලාවකට හිතෙනවා මගේ අවුරුදු හතරක් නාස්ති උනාද කියලත්.

    මොනා උනත් මම අදටත් ආස ග්‍රැෆික්ස් පැත්තට. අපේ බැච් එකේ මොකක් හරි බැනර් එකක් එහෙමත් නැත්නම් ඉන්විටේශන් එකක් හදන්න ඕනේ නම් මා ලගට තමා දුවගෙන් එන්නේ. මමත් මාරම ආසාවෙන් ඒක කරලා දෙනවා. !!!!!

    කැමතියි

  8. arunasir says:

    පොඩි දුකකුත් නැතුවනෙවෙයි කතාව ඇහුවම. ඒත් සර් ඉස්සරහට ගිහිං ඔය කතාව සර්ට කියලා විසදගන්න හයිය තිබුනාන නං අද ඔහොම නොලියා ඉන්න තිබුනා. පරිපාලනය කියන්නේ ලංකාවේ සර් ඔය කරන දේ වගේ එකකට. සර් සාධාරනයි කොල්ලෝ. ටීචිං අරංම බලන්න ඒක ඔයා. අනික මං අද මේක පැය 24ම ඇරල දාල ඉන්නවා. ළමයි ප්‍රයෝජන ගන්න හැටි දැක්කම අවංකවම දුකයි. උන්ට කොම්පියුටර් උඩින් ලුණු කැට කීපයක් තියලා තියන්න ඕන.

    කැමතියි

  9. dimuthu says:

    1997(year 10) iddi man mulinma computer course ekak karanna giya.practical karapu mul dawase nikan holman wage.mouse thibuneth ne.

    කැමතියි

  10. සාතන්ට නම් සර් කෙනෙකුගෙන් හොඳ අවවාදයක් ලැබුන… ඒ හින්ද මුල අමාරු වුනේ නෑ… ඒ සර් දීපු අවවාදෙම තමයි කවුරු හරි කොම්පීතර් ඉගෙන ගන්න ඕන කිව්වහම මම කියන්නෙත්….

    “මේක කලොත් මොනවගේ එකක් වෙයිද කියල පොඩ්ඩක් හිතල ඕන දෙයක් කරන්න (හාඩි වෙයාර් ගැන නෙමෙයි)”

    ඕක තමයි මට ලැබුන අවවාදෙ….

    කැමතියි

  11. මේක උනේ පුංචි කාලෙ. මම ඉස්සෙල්ලාම කෝල් එකකට ආන්සර් කරපු දවස මතක් උනා. මට ඊට කලින් කවදාවත් කෝල් එකක් ඇවිත් තිබුනෙ නෑ. රිසිවරේ අරන් කනේ තියාගත්තට මොනාද කියන්නෙ කියලා දන්නෙ නෑ. ළඟ හිටපු එක්කෙනෙක් කිව්වා හෙලෝ කියන්න කියලා. එතකොටයි මම දන්නෙ කෝල් එකක් ගත්තම හෙලෝ කියන්න ඕනෙ කියලා.

    කැමතියි

  12. හහා.. මතක් කරන්න එපා ඔය කොම්පියුටර් කාමරේ ගැන
    මම එකම එක පාරයි ඕකට ගියේ. ඒ අපි AL කාලෙ සතියට පීරියඩ් දෙකක් තිබ්බනේ ඕකට යන්න.
    මුල්ම දවසෙ ඉතිං දේවාලයකට යන්න වගේ සපත්තු එහෙම ගලවලා ගියා.
    එක මැෂින් එක වටේ පස් දෙනෙක් විතර වාඩි වෙන්න ඕනෙ. මම වාඩි වෙච්චි ගමන් ඒකෙ පවර් බට්න් එක ඔබලා ඔන් කලා. ඕකට සර්ට මල පැන්නා, කියන්න කලින් ඔන් කලා කියලා බණින්න ගත්තා.
    මට මළ පැන්නා ඊට වඩා. මම කිව්වා “මට මේවා මැජික් නෙමේ” කියලා. ඊට පස්සේ පොඩ් වචන හුවමාරුවකින් පස්සේ මම ආයෙ ඒ පැත්තේ නොයන්න හිතාගෙන එලියට බැස්සා.

    හැබැයි නවම් අයියේ මේ සිද්ධිය උනේ නම් අර කෙට්ටු කේඳෑරි සර් එක්ක. සමහර විට ඔයා කියන බුවා ඕගොල්ලන්ගෙ කාලෙන් පස්සෙ යන්න ඇති.

    කැමතියි

  13. asanka says:

    මොන්වා කියනවද බන් ඒකාලේ කොම්පීතර ගෑන.දෑක්කත් මෑජික් වගේ.හෑබෑයි ඒකාලේ පොරව වගේ හිටපු උන් ගොඩක් මම කියන්නේ O/L කාලේ උසස් පෙල නම් හොදට ගොඩදාගත්තේ නෑ.හරියට අර කියන්නේ විසිල් විතරයි බල්ටි නෑ කියලා.පඩ පාර විතරයි වෑඩ නෑ.මම නම් ඇත්තටම කොපීතරයක් හරියට අතපත ගෑවේ A/L ඉවරවෙලා කෑම්පස්යන්න මාස කීපයකට කලින්..ඔන්න අපේ තරම.දුප්පත් අපිට මොන කොම්පීතරද බන්….ඇත්තටම අපේ ගෙවල් වල තිබුනු පරිසරයත් එක්ක ඔවා ගන්න අහන්න බෑ බන්.එයාලා තිබුනු සබ්බ සකලමනාවම වියදන් කරෙඔ අපේ ඉගනුමට.
    ඇත්තටම අපි තෑනකට ඇවිත් එයාලවත් සතුටින් තියන්න එක තමයි අපේ ඒම් එක වුනේ…අනේ මන්දා බන්..

    කැමතියි

  14. Observer says:

    අපේ පරම්පරාවට ඔය ප්රශ්නෙ තිබුන් නැහැ. කොම්පියුටර් ගැන ඇහුවෙත් බොහොම පහු කාලෙක.දැන් දන්න චුට්ටත් ළමයින්ගෙන් ඉගෙන ගත්තෙ.

    කැමතියි

  15. මාලින්ද says:

    මගෙ කතාවම තමයි මේ ඇරපු අතක් නෑ. මාත් වැඩිපුරම හිටියේ එක්කෝ පිට්ටනියේ නැත්තන් කැන්ටිමේ. ඇහැට කඳුලකුත් ආවා නොදැනිම මගෙම කතාව නේද මේ කියලා හිතිලා. මම ඉස්සර වෙලාම කොප්පූටරයක් අත පත ගෑවේ කරන කොට

    කැමතියි

  16. මාලින්ද says:

    මගෙ කතාවම තමයි මේ ඇරපු අතක් නෑ. මාත් වැඩිපුරම හිටියේ එක්කෝ පිට්ටනියේ නැත්තන් කැන්ටිමේ. ඇහැට කඳුලකුත් ආවා නොදැනිම මගෙම කතාව නේද මේ කියලා හිතිලා. මම ඉස්සර වෙලාම කොප්පූටරයක් අත පත ගෑවේ A/L කරන කොට

    කැමතියි

  17. Praසන්ன says:

    අපෝ අපේ ඉස්කෝලෙ කොම්පියුටර් රූම් එක ඔයිට අන්තයි. අපි ඒ.ලෙවල් කරන කාලෙ 1994 විතර එක දවසක් ඕක ඇතුලට ගියා. සපත්තු ගලවල එහෙම. කොම්පියුටරේ දැම්මට බූට් වෙන්නෙ නෑ. සිස්ටම් ඩිස්ක් ඉල්ලනව (ඒ කාලෙ ඉතිං අපි ඕව දන්නෙ නෑනෙ.) පස්සෙ ඒක කැඩිල කියල සී.පී.යූ. එක තියෙද්දි මොනිටරේ හදන්න යවල තිබුන.

    පස්සෙ මම 95 විතර PI එකක් ගෙනහල්ල ඒක කඩාල්ලල තමයි තනියෙම ඉගෙන ගත්තෙ.

    කැමතියි

  18. මේ පෝස්ට් එකේ කියවෙන පාසැල් පරිසරය මගේ පාසැල් කාලයට අරන් ගියා, ඒ වගේම ඉන් සඳහන් වෙන්නේ අපේ පාසැල් ගැනද? පහළ පිට්ටනිය, උඩ පිට්ටනිය, මැයි ගස් පේලිය, ටොකු ගෙඩි, කොකු ඇඳීම, හොස්ටල් බ්ලොක්…

    අපි පාසැලෙන් සමුගන්නවාත් සමඟමයි ලංකාවේ කොම්පියුටර් එන්න ගත්තේ (ඊට පෙර මහා බැංකුව වගේ ආයතනවල, පේරාදෙනිය වි.වි. වගේ තැන්වල විතරයි කොම්පුයුටර් කියන නාමයවත් තිබුණේ – ඒ ගැන විස්තරයක් තාක්ෂණික කියන ලේබලය යටතේ මගේ බ්ලොග් එකේ පලකර ඇත ). ඒ මුල් කාලයේ දී ම ක්ෂේත්‍රයට පිවිසුන මා ඇන ගනීවි කියලා (ඔබ කිව්ව විදියට මා ද පන්තියේ පැත්තකට තල්ලුවෙන පන්තියේම වූ නිසා) ඔට්ටු අල්ලපු අයගෙන් ලොකු දහිරියක් ලැබුණා ඉදිරියට එන්න.

    හැබැයි ක්ෂේත්‍රයට පිවිසී මාස කිහිපයක් තුල දී ගාල්ලේ ප්‍රධාන පාසැල් කිහිපයකම කොම්පියුටර් ගැන දේශණ හා ප්‍රදර්ශණ කිහිපයක් කරා ඒ 1983-1984දී. 1985දී ගාල්ලේ විදුහලක සියවස සැමරුමට පැවැති ප්‍රදර්ශණයකට 30ක පමණ කණ්ඩායමක් පුහුණුකර ඒ මගින් පාසැල් ලමුන්ට කොම්පියුටර් කියන්නේ මොකක්ද කියන එක හඳුන්වා දුන්නා.

    1985දී තෝරාගත් “මහා” විද්‍යාල කිහිපයකට සින්ක්ලෙයර් කියන හෝම්-කොම්පියුටර් ලැබෙන්න පටන් ගත්තේ.

    විවේකයක් ලැබුනාම තොරාගත් ලිපි කියවන නමුත් අදනම් සටහනක් නොතියා යන්න හිත ඉඩදෙන්නේ නැහැ.

    මුලදී තිබුණ වාතාවරණය අනුව බලද්දී ලංකාවේ කොම්පියුටර් ක්ෂේත්‍රයේ දියුණුවත්, සිංහල භාෂාව ඒ අංශයේ අනුගතවීමත් දකිද්දී හරිම සතුටුයි. මා 1983-1984 කාලයේ සිංහල අකුරු සෙට් එකම කරලා සිංහලින් වැඩකරන Word Processorයක් හැදුවා (ඒ කාලේ සම්මතයන්ට අනුව) ඒක දියුණුකර ඉදිරියට ගේන්න ආයතනයක් හොයාගන්න බැරි වුණා. ඒත් අද මා දිනපතාම සිංහලින් අකුරු කොටන්නේ ආඩම්බරයෙන්.

    කැමතියි

  19. හුලං says:

    මට කොම්පූටරෙ හම්බුනෙ ඇටෙන් පොත්තෙන් එලියට එන්නත් කලින්. ඒ කලින් වැඩියි කියලයි මට හිතෙන්නෙ. ගංජා ගැහුවට වැඩිය වැඩේ බයානකයි ඒකට ඇබ්බැහි වුනාම. මටත් හැදිල තියෙන නිසයි ලෙඩේ ගැන කියන්නෙ. දැන් මගෙන් මනුස්ස ගතියක් පේන්නේ බෝම කලාතුරකින් කියලයි දකින ඈයො කියන්නෙ. අනේ මංද!

    කැමතියි

  20. මගේ ඉස්කෝලෙට මුලින්ම කොම්පියුටරයක් ලැබුනේ මම දහය වසරේ ඉන්නකොට . අපිට උගන්වන්න හිටපු සර් කාරය මෙන්න මෙහෙම කීවා මට අද වගේ මතකයි

    “ළමයි මෙන්න මමම හදාපු පොඩි ගේම් එකක් තියනවා මේක ගැහුවම ඔයාලට හොඳට ටයිප් කරන්න පුලුවන් වේවි” එයා දුන්නේ ඩේවු කියන ගේම් එක ! එදා මූ කියපු පට්ට බොරුව මතකෙට එනකොට අද මට ගුරු ගෞරවය අමතක වෙනවා .

    කොහොම හරි උදේ 8 ඉඳලා හවස 5.30 වෙනකම්ම . මගේ පලාතේ ඉන්න හැම එකෙකුටම ඔය ආඩම්බර යන්ත්‍රය ආම්බං කරන හැටි කියලා දෙන එක මම දැන් බොහොම කැමැත්තෙන් කරන දෙයක් . ..ඔයාට කියන්න අපේ පලාතේ ඉන්න අවුරුදු විසි ගනං වල කොල්ලෝ කෙල්ලෝ පවා පරිගණකය ගැන දන්නේ බොහොම ටිකක් විතරයි … ඉස්කෝලවලට නිසිකලට පරිගණක නොලැබීමේ පල විපාක තමයි ඒ

    කැමතියි

  21. Charmi says:

    හහ්… හා….. හැමෝගෙම කතාව එකයි වගේ…

    කැමතියි

  22. ඩිලාන් says:

    අම්මෝ මමත් ඔය කොම්පීතරව දැක්කෙත් 1999 දී ඒත් අම්මෝ ඒකේ තිබුන තේජස

    කැමතියි

  23. ලොලේ ලොල්.ඔයාලගෙ ඉස්කෝලෙ කොම්පීටර් කාමරේටවත් යන්න පුලුවන්කම තිබුන.අපේ ඉස්කෝලෙ කොම්පීටර් පාඩමේදි හැමදාම කලුලෑල්ලෙ ඇඳපු කොම්පීටරේක කොටස් කියල දෙන එක විතරමයි කොලේ!!

    කැමතියි

  24. උඔ මේ විකාර කතා කරනවා. ඒලෙවල් කොරලා ඉවර වෙනකං මම මැසිමක් අතින් අල්ලලා තිබ්නෙ නෑ

    කැමතියි

  25. arunishapiro says:

    බිල් ගේට්ස් ගිය ඉස්කොලෙට පරිගණකයක් තෑගි දීලා තිබුනෙ, එයාගෙ දරුවෙක් ඒ පාසැලට ගිය නිසා දරුවාගේ ධනවත් අම්මා එයා වැඩ කරන කොම්පැණිය හා තිබි සම්බන්ධයකින්. ඉන් වැඩිය ප්‍රයෝජන ගත්තෙ බිල් ගේට්ස් මිස වඩා ධනවත් පවුලේ දරුවා‍ නෙමේ.

    හැබැයි, බලන්න බිල් ගේට්ස් ටත් පරිගණකයක් තිබුනෙ නැහැ. එයත් ගියෙ වෙන තැන්වලින් ඒක පාවිච්චියට.

    ඉතින් නවම් මල්ලී, ඔයා බිල් ගේට්ස් නොවෙච්ච එකට නිදහසට වෙන කාරණාවක් හොයා ගන්න වෙනවා!!!

    කැමතියි

  26. Anushka says:

    අය්යෝ මට A/L කෙල වුනෙත් ඔය පරගනකෙ නිසා. හැබැයි අද යන්තං කාල ඇඳලා ඉන්නෙත් ඌ නිසා. අපේ නම් ඉතින් පරිගනක යුගේ එන්නෙ ඔය කාලෙම ඒ කියන්නෙ 99/2000 කාලෙ තමයි. මට හෙන පිස්සුවක් හැදුනෙ ඕකට. අපේ තාත්තා කොහෙන්ද 286 ජාතියෙ භාන්ඩයක් හොයා ගෙන ආවා. අනික් උන් පාවිච්චි කලේ පෙන්ටියම්. අනේ ඉතින් අපිට කොහෙන්ද පූසො මාලු කිව්ව වගේ. මම යන්තම් ඩොස් ගේම් ටිකක් ගහනකොට අරුන් ගහන්නෙ මෝටල් කොම්බැට්, කාර් රේස්,ඇයි තව…එව්වා මෙව්වා..යන්තම් 2000 අවුරුද්ද වෙනකොට දුප්පතාගෙ හිතවතා සයිරික්ස් එකක් හම්බවුනා උගෙන් නම් සෑහෙන්න වැඩ ගත්තා. හැබැයි ඔය රෙද්ද A/L හින්දම ඇනුනා. අය්යො…හැබැයි දැන් ඉතින් ඌම තමයි දෙය්යා

    කැමතියි

  27. මටත් ඔයිට වඩා වෙනස් තත්වයක් තිබුනෙ නෑ . . . . උසස් පෙල අවසාන කාලෙදි ඕපන් ආක් එකේ හිටපු තම තම නැණ පමණින් බ්ලොග් එක ලියපු කුමුදු පින්ටෝ සර් තමා මට කොම්පියුටර් අතගාන්න පුරුදු කලේ
    http://kumudupinto.wordpress.com/

    කැමතියි

  28. Nish says:

    මට පේන විදිහට ඕක ගුරුවරුන්ගේ ප්‍රශ්නයක් 1995 1996
    කාලයේදි අපේ විදුහලේ තිබ්බ පරිගනක ඒකකයේ දී අපිට ඔය තත්වය ඇති උනේ නෑ.

    කැමතියි

  29. king says:

    මගේ අත්දැකීම. මට autocad ඉගෙන ගන්න ඕනා උන. එකට ගන්න පරිගණයක් ගැන මූලික දැනුම තියෙන එය විතරයි. මමත් සම්මුක පරීක්ෂන්යේදී මටත් ගෙදර පරි ගණයක් තියෙනව කියල පච කෙල්ල කොහොම හරි සෙට් උන. පරිගණකය ඕන කරන්න ඉගෙන ගත්තේ එහා පැත්තේ එකා කරන බලන ඉඳල. එතකොට ඩොස් වලින් වැඩ කරන්නේ. ඔන්න මම කොහොමහරි ඔන් කර ගත්ත. ඊට පස්සේ autocad දුවවන්න දන්නේ නෑ. පැය 3-ක් කලේ ඔන් ඕෆ් කරපු එක.

    කැමතියි

  30. king says:

    මටත් තිබ්බා පොත් පිස්සුව. පොත් අරගෙන බඩගින්නේ හිටපු දවස් අන්නන්තයි . මහින්ද සෙනරත් අය්යා මතක වෙන්ව පොත් ගැන මතක වෙන හම වෙලාවේම. පොඩි රස්සවක කර communication එකක්. පඩියෙන් පොත් ගන්න එළිවෙනකම් කියවනවා. පුස්තකාලයකට බැරිවෙලාවත් රින්ගුවොත් පොතක් උස්සගෙනම තමයි එන්නේ. සෝවියට්‌ පුස්තකාලේ අපේ තැන.

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: