හාමුදුරුනමකට, පියතුමෙකුට, මවුලවිතුමෙකුට සහ කුරුක්කල්තුමෙකුට එක වේදිකාවක හිඳ ධර්ම සංවාද පැවැත්විය හැකිද?


 

හා හා දැං පිංවත්, සැදැහැවත් උපාසක උපාසිකාවො, දේව දරුවො කැති පොළු එහෙම හොයන්න දුවනව නෙමෙයි. ඔන්න ඔහේ කියවාගෙන යන්නකො කලබල නොවී.

නවම් කිසිම දෙයක් අනවශ්‍ය විදියට විශ්වාස කරන කෙනෙක් නෙමෙයි. උප්පැන්නෙ බෞද්ධ කියල තිබුනට පස් පව් නොකරන, හතර පෝයට සිල් ගන්න ජීවියෙක් නෙමෙයි. එහෙමයි කියල ‍රැඩිකල් වෙලා ලොකුව පෙන්නෙන්න දඟලන කෙනෙකුත් නෙමෙයි. තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කියල පාඩුවෙ දෙන දෙයක් කාල වෙනදෙයක් බලාගෙන ඉන්න පොඩි මනුස්සයෙක්. [එහෙම කියල දැම්මෙ පොඩි සුදු කොඩියක්. වෙඩි තියන්නෙ එහෙම නෑ ඕං. මං දරුපවුල් කාරය වෙච්චි]

ඒත් මටත් ඉඳල හිටල මහ විපරීත විලම්බීත දේවල් කල්පනාවට එනවනෙ. ඔන්න ඔහොම කල්පනා වෙච්ච දෙයක් තමයි මේ පෝස්ට් එකේ මාතෘකාවට වැ‍ටුනෙ. ඒකටත් මුල උනේ කාලයකට ඉස්සර ස්වාධීන රූපවාහිණී නාළිකාවෙ විකාශනය වෙච්ච දොරමඬලාවෙ එපිසොයිඩ් කිහිපයක්. දැන් නම් මොන හේතුවකටද මන්ද ඒවගේ සාකඡා දොරමඬලාවෙ දැන් යන්නෙ නෑ. මට හිතෙන විදියට ඔය දේ උනේ සර්වාගමික සංකල්පය බොහොම උජාරුවට නැගල ගියපු කාලෙ වෙන්න ඕනෙ.

ඔය වැඩසටහන් කිහිපය මෙහෙයවූවෙ බෞද්ධ, හින්දු, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගම් නියෝජනය කරමින් ඒ ඒ ආගම්වල යන් ජනප්‍රියතාවයක් තියෙන ආගමික නායකයන් කිහිප පොලකගෙ සහභාගීත්වයෙන්. මම ඉන්නෙ ඒ හැම ආගමකම හරයන් ගැන පූර්ණ අවබෝධයකින් නොවුනත් සමාජ මතයන් ගැන සංවේදීයි.

එක් ආගමක් ඇතැම් අවස්ථාවන්වල තවත් ආගමක මතයන් අභිබවා යනව. උදාහරණයක් විදියට බුදුදහම ප්‍රාණ ඝාතය පිලිබඳව දරණ මතය නෙමෙයි අනිත් ආගම් දරන්නෙ. ඔය මම කිව්වෙ මම දන්න, පැහැදිළිවම තේරුම් කරන්න පුළුවන් උදාහරණයක් විතරයි. මේ ආගම් පිළිබඳව හොඳ අවබෙධයක් ඇති අය ලඟ මීට වඩා සාධාරණ, සාර්ථක උදාහරණ ඇති. මම ඒ දේවල් ගැන සඳහන් කොකරන්නෙ ඒක මේ පෝස්ට් එකේ පරමාර්ථය නොවන හන්ද. [ඒව ගැන හොයන්න ඕනෙනං ඉතිං ඔය තියෙන්නෙ ඕනෙ තරම් බ්ලොග්]

අදහස් හා තම මත සීයට සීයක් නොගැලපෙන දෙදෙනක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් ගේ මතයන් පිළිබඳව එකම වේදිකාවක වාද නොකර සාමකාමීව සාකඡා කරන්න නම් ඇතැම් අතු කිණිති කපා හරින්න වෙනව. එහෙමත් නැත්නම් තම මතයට විරුද්ධ මතයක් ඇහුනොත් නෑහුනා වගේ ඉන්න ඕනෙ, එහෙමත් නැත්නං ආඳ වගේ ලිස්සල යන උත්තරයක් දීල වෙන මාතෘකාවකට පනින්න ඕනෙ. මම බලපු කොටස් කිහිපයේම උනේ ඔය දේ තමා.

තම තමන්ගෙ මතයන් පිළිබඳව සෘජු ස්ථාවරයක නොඉන්න මඟපෙන්වන්නන් අපිට කියල දෙන්නෙ නිවැරදිම මාවතද එහෙමත් නැත්නම් වැරදි පාරක් උනත් ගුටි කෙළගන්නෙ නැතුව සාමකාමීව යන්න පුළුවන් පාරක්ද කියල මට හැමතිස්සෙම හිතෙනව.

අනික හැමතිස්සෙම දකින දෙයක් තමයි නැ‍ඟෙන ගැටළුවලට පිළිතුරක් දෙනවට වැඩිය වෙන වෙන දේවල් කලවම් කරල ප්‍රශ්ණෙ අහපු මනුස්සයව තවත් අතරමං කරල දාන එක. විශේෂයෙන්ම ඒක වෙන්නෙ ඒ මතයට විරුද්ධ මතයන් දරණ කණ්ඩායමක් ඒ වේදිකාවෙම ඉන්නකොට.

තමන්ගෙ මතය සෘජුව නොබියව ප්‍රකාශ කරන්න බැරිනම් තම තමන්ගෙ දැක්මට අනුව තම තම අනුගාමිකයන් දැනුවත් නොකර මොන එකකට මේ වගේ ප්‍රසිද්ධ වේදිකාවල් වලට නැඟල වෙනත් ආගමිකයන්ටත් උපදෙස් දෙන්න ගොහින් එම නොගැලපීම මතම නැ‍ඟෙන ප්‍රශ්ණ වලට ඇටිකෙහෙල් ගිලපු උගුඩුවො වගේ දඟලනවද ?

ප/ලි: මෑතකදි සර්වාගමික සමුළුවට විරුද්ධව ඇතිවෙච්ච සංවාද වලින් පස්සෙනම් ඔය වගේ සාකඡා අහන්න දකින්න ලැබුනෙ නෑ. ඒත් මට තියෙන ගැටළුව ඒ කාලෙත් මේ දේවල් ඇති වුනේ කාගේ උවමනාවටද කියලයි

ප/ප/ලි: මේ ලිපියෙහි යම් ආගමික මතයක් දරන කිසිවෙකු අපහසුතාවකට පත්කිරීමේ අදහසක් නොමැතිබව සලකන්න.

 

Advertisements

27 Responses to හාමුදුරුනමකට, පියතුමෙකුට, මවුලවිතුමෙකුට සහ කුරුක්කල්තුමෙකුට එක වේදිකාවක හිඳ ධර්ම සංවාද පැවැත්විය හැකිද?

  1. එක එක ආගම් වල එකිනෙකට නොගැලපෙන දෙවල් කියනවා තමයි. උදාහරනයක් විදිහට බුදුදහමේ පුනුරුප්පත්තිය ගැන කිව්වට ක්‍රිස්තියානි ආගමේ ඒ මතය බැහැර කරනවා. ඒත් හරය ගත්තම ඕනෙ ආගමක පව්කාරයෙක් නොවී ජීවත් වෙන මග කියල දෙනවා. අපි දැනගත යුතුයි ආගමකින් හෝ දර්ශනයකින් අවශ්‍ය දේ පමනක් ගන්න.

    කැමතියි

    • නවම් says:

      මගෙ ගැටළුව තියෙන්නෙ එතන නෙමෙයි. මම පිළිගන්නව කිසිම ආගමක් තවෙකකට පූර්ණව සමාන නෑ කියල. ඒ වගේම ඒ ඒ ආගම් උත්සාහ කරන්නෙ තම තමන් නිවැරදියි කියල ඒ අනුගාමිකයන් යහ මඟ යවන්නත් කියල. ඒත් නොගැලපීම තියෙන්නෙ ඒ විවිධාකාරයේ මතයන් එකම වේදිකාවක සමසුන්වල හිඳගෙන කරන සාකඡාවලදි උවමනාවෙන්ම ඇතැම් මාතෘකාවලින් ලිස්සල යන එක. එහෙමත් නැත්නම් ප්‍රේක්ෂක ගැටළුවකින් එම වේදිකාවේ ඉන්න යම් ආගමික නියෝජිතයකුට අපහුතාවයක් ඇතිවෙනවනම් අතරමඟදි ගැටළුව කපාහරින එක.

      ඔවුන් අවංකයි නම්, තමන්ගෙ මතය වෙනුවෙන් පෙනී සිටිනවනම්, අවංකවම හුදී ජනයාට ධර්මාවබෝධය ලබාදෙන්න කටයුත්තක නම් එම වේදිකාවේ අසුන් ගන සිටීමේ අරමුණ, ඇයි එහෙම වෙන්නෙ?

      වැරදියට වටහා ගන්න එපා නවම් ආගමික විරෝධී පූර්ණ භෞතික වාදියෙක් නෙමෙයි.

      කැමතියි

  2. මේක හරවත් සංවාදයක් වෙන්න ඕනා…ආයේ මම මැද්දට පැනලා මේක කඩා කප්පල් කොරන්නේ මක්කටද (ඔන්න මම වැදගත් කමෙන්ට් එකක් දැම්මෝ…)

    කැමතියි

  3. Buwa says:

    ඔතන කතන්දරේ ගොඩක් ප්‍රශ්න කාරීයි , ගොඩක් වෙලාවට ඔය මත ඉතාම ප්‍රභල විදිහට ගැටෙනව ඉතින් ලිස්සල නොගියොත් ඉතින් ගැටුමක් තමයි . හිතන්න ඉතාම නිවැරදි අවබෝධයක් තියන හාමුදුරු කෙනෙක් පුනර්භවය කියන එක බුදු දහමේ එන විදිහ විස්තර කරල , වර්ථමානෙ ලොකේ විවිධ තැන්වලින් ගත්ත සාක්ෂි එහෙම පෙන්නල කතා කලොත් . මැරුනට පස්සෙ ස්වර්ගේ ගිය අය ගැන උදාහරන පෙන්නන්න ගිහින් ෆාදර් කොයි තරම් අපහසුවකට පත්වේද ? හාමුදුරුවොත් ගේමට බර නම් කතෝලික කෙනෙක්ගෙ පුනර්බවයක කතාවක් පිලිගත් සාක්ෂි එක්ක පෙන්නුවොත් වැඩේ තවත් දෙල් නේ? ඒක නිසා තමයි ශේප් න්‍යාය දාගෙන යනව ඇත්තේ(මම ඔය වැඩසටහන් බලල නම් නැ හැ ) . මම නම් හිතන්නේ වාද වලට යනවට වැඩිය වර්ථමානයට ගැලපෙන විදිහට තමන්ගෙ දර්ෂනය නිවැරදිව යොදා ගන්න අනුගාමිකයින්ට පෙන්වන එකයි වැදගත් . අපේ රටේ ප්‍රධාන ආගම් 4 න් 3කම බහුතරයක් අඩංගු වෙන්න හොඳ දේවල් තමයි .විග්‍රහය තමයි වෙනස්

    කැමතියි

    • නවම් says:

      ඒකම තමයි මාත් කියන්නෙ, ඇයි ඔවුන් තම තමන්ගෙ ආගම් යම් යම් තැන් වලදි ගැටෙන බව දැන ගෙනම මේ වගේ එකම වේදිකාවල අසුන්ගන්නෙ. තමන් දරන මතයකට විරුද්ධ දහම් පණිවිඩයක් ඒ වෙලාවක පිටවුනොත් ගැ‍ටුමක් ඇතිවේවියැයි බියෙන් නිහඬව සිටීමෙන් ඔවුන් දක්වන්නේ නිහඬ එකඟතාවයක් නෙමෙයිද?

      කැමතියි

  4. raj says:

    මට නං හිතෙන්නෙ ඔය සර්ව ආගම් සංකල්පය ගෙනල්ල තියෙන්නේ දේශපාලකයො.මොකද එයාලට ඕන කාව හරි විකුණලා ‍ඡන්ද ගොඩ වැඩි කරගන්නනෙ. උදාහරණයක් විදියට රාජ්‍ය නායකයා පල්ලියකට කෝවිලකට ගියාට කමක් නෑ (එයා නායකය විදියට ඒ තැන් වලට අවශ්‍ය පහසුකම් සපයන්න වගේ දේවල් වලට).හැබැයි කුරුසෙ ලග යාඥා කරන්න හරි නලලේ අලු ගාගන්න හරි දේවල් කරනවනම් කරන්නෙ තක්කඩි කමට මිසක් වෙන දේකට නෙවේ.හැම ආගමකම හොද දේවල් තියනවා තමයි. ඒත් තමන්ට තියන ආගම අදහනව මිසක් හැම එකේම හොදඒව ගන්න යන අය එකක්වත් හරියට කරන අය නෙවේ.

    කැමතියි

  5. Observer says:

    @ ගෝල්ඩ් fish,
    නැහැ, නැහැ, නවම්ට ඉඳල හිටල ඕක හැදෙනව කියල මාත් අහල තියෙනව.

    කැමතියි

  6. මොන ආගමේ උනත් වැරැද්දක් කියන්නේ නෑනේ. ඒ නිසා හරි දේ විතරක් අරගන්න එක හොදයි.

    කැමතියි

    • නවම් says:

      ඒකෙ කිසිම ගැටළුවක් නෑ, ඒත් මම කලින් කිව්ව වගේ හැම ආගමකම හොඳ දේවල් ගත්තම හරි කියන එක ලොකු බොරුවක මුලාරම්භය. ඒතනදි කාලයක් ගිහිල්ල ආගම් සාමාන්‍යකරනය වෙන්න පටන්ගන්නව. තමන් තමන්ගෙම හෙවනැල්ලට ‍රැවටෙනව.

      උදාහරනයකට ඉස්සර දොරමඬලාවට ආපු “නියාස් මවුලවිතුමා” බුදුහාමුදුරුවන්ගෙ ගුණ වර්ණනා කලා, හාමුදුරුවන්ට “අපේ හාමුදුරුවො” කියල ආමන්ත්‍රණය කලා. එතකොට බෞද්ධයන් “අනේ හරි හොඳ මවුලවිතුමෙක්” කියල කියනව. ඒත් කිසිම බෞද්ධ හාමුදුරුනමක් අන්‍යාගමික නායකයෙකුගෙ ගුණ වර්ණනාවක් කලොත් අර කලින් කී බෞද්ධයන්ට මොනව හිතෙයිද?

      එතනදි ක්‍රියාට්මක උනේ මොකක්ද කියල හොඳට කල්පනා කරල බැළුවොත් හැමෝටම තේරෙයි.

      කැමතියි

  7. මම නම් හිතන විදිහට බෞද්ධ ධර්මය ආගමක් කරගෙන තියෙන්නේ අපේ මිනිස්සු. එක එක ආගම් වල කියන දේවල් එකිනෙකට වෙනස්. එකම වේදිකාවක ආගම් ගැන සාකච්ඡා කරනවනම් ඒක හරිම සංයමයකින් කරන්න ඕන දෙයක්. ඒත් ඒ දේ එහෙම වෙන්නේ නැහැ. මට නම් ඔය සමහර ලිස්සල යන බොරු වැඩ සටහන් එපා වෙලා. අනික සුදු පිරුවට ඇඳගෙන ආගම් ගැන කතා කරන ගොඩක් අයගේ පෞද්ගලික ජීවීතය අජූතයි. එයාල ඉන්නේ මහජනයට උපදෙස් දෙන්න විතරයි. ඒවා පිළිපදින්න පුලුවන්ද බැරිද කියලා එයාලවත් දන්නේ නැහැ.

    කැමතියි

  8. Kathandara says:

    මට පේන විදියට බුද්ධාගමේ ඇති වෙනස තමයි දෙයියෝ නැතිවීම.
    ඒ එක්කම ධර්මයේ බලයෙන් නැතුව රාජ්‍ය නීති මගින් මිනිස්සු ධාරමික කරන්න, තමන්ට කැමති ආගමක් ඇදහීමේ අයිතිය නැති කරන්න හදන එකම ආගමත් බුද්ධාගම තමයි ලංකාව තුල.

    කැමතියි

  9. Susantha says:

    ඔබ හරියටම හරි.
    බුද්ධ ධර්මය ආගම කියන සංකල්පයෙන් ගොඩක් දුර තියන දෙයක්. ඒක ඇත්ත. බුද්ධාගම්කාරයොනෙ අද ඉන්නේ. (ඔය දොරමඬලාව ගැනනම් මම මත පල කරන් නැහැ. මොකටද ගුරුවරු මිත්‍රයො තරහ කරගන්නේ.) හැබැයි පංසල් නොයන තරමට හොදයි ගියහමු එතන තියන විසූක දසසන වලට අපිට පව් පිරෙනවා වැඩියි.

    කැමතියි

  10. එහෙම සංවාදයක් ඇත්තටම කරන්න අමාරුයි ..එහෙම නම් ඔතන සංවාදයක් නෙවේ විවාදයක් ඇති වෙන එක තමයි සිද්ද වෙන්නේ

    මෙහෙම හිතලා බලමු ..ඔය ඉහත කියපු ආගම් නියෝජනය කරන අයට තමන්ගේ ආගමික මතයක් අනික් නියෝජිතයින්ට ඒත්තු ගන්වන්න උවමනා උනොත් ඒක කරන්න පුලුවන්ද ? කිසිම විදිහකින් බෑ නේද ? “අපේ ආගමේ කියලා තියෙන්නේ මෙහෙමයි ඔයාලගේ මතය ටිකක් විතර වෙනස්. මේ කියලා තියනදේ තමා හරි” කීවොත් .අනික් අය පිලිගනීවිද ? “බොලේ ඔවුමයි” කියලා නිකම් ඉඳීවිද ? ..එයාලා තමන්ගේ පැත්තෙන් ආගමික මත ඉදිරිපත් කරන්න පටන් ගනීවි . ඉතින් ඔයවගේ දේවල් කරන්න ගියාම වෙන්නේ නිකම් නැති ප්‍රශ්න ආගම් අතර ඇතිවෙන එක

    මොන රූපවාහිනී නාලිකාවෙන් ඔය වගේ වැඩසටහන් කලත් එයාලාගේ හිතේ තියෙන්නේ වාණිජ පරමාර්ථය විතරයි .ආගමික සහයෝගීතාව වර්ධනය කරන්න බලාගෙන නම් ඕව කරනවා වෙන්න බෑ ..ඒ මදිවට දහසකුත් එකක් අවවාද දීලා පොඩි පෙර හුරුවකුත් එහෙම තියලා තමයි වැඩ සටහන කරනවා ඇත්තේ .. නවම් ඔයාට සුවර්ද .. ඕක ලයිවු ප්‍රෝගෑම් එකක් කියලා (අපි නොදන්න ලයිවු)

    කැමතියි

    • නවම් says:

      ඔව් සඳරු, වාද නොකර සිටීම ගැ‍ටුමකින් ගැලවීමට හොඳම මඟ තමයි. හැබැයි ඒ නිහඬ බව තුලම යම් කිසි එකඟතාවයක් තියෙනෙව කියල ඒ ආගම ගැන නොදන්න කෙනෙක්ට හිතෙන්න බැරිකමක් නෑ නේද. අර සමිතිවල කියන්නෙ “නිහඬතාවයෙන් පෙනී යන්නේ වාර්ථාවේ අඩු ලුහුඬු නොමැතිබවයි” කියල.

      කැමතියි

  11. Bindi says:

    මගෙත් අදහස තම තම කැමැත්ත මත තමාට හරි යයි හිතෙන දෙයක් අදහගෙන අනුන්ට වදයක් නොවී වාද විවාද වලට වලට නොපැටලී ඉන්න ටික කාලේ ජිවත් වෙලා මැරිලා යන එක. වේදිකා වල සංවාද නම් මන්ද . මට ඔය අවවාද අනුශාසනා වැඩිය අල්ලන්නේ නැති නිසා ත් ඉතා ගැඹුරින් කෙරෙන සාකච්චා වලට ඔලුව ඉඩ නැති නිසාත් ඕව බලන්නේ නැහැ. උපතින් බෞද්ධයෙක් නිසා දන්නා විදියට බුදු දහම අදහනවා. දහම් පාසල් ගිහින් අවසාන විභාගෙත් කලා. අපේ දහම් පාසල එදා අපේ දහම් දැනුමටත් වඩා සාහිත්‍ය ,සමාජය , භාෂාව විතරක් නෙමේ ලියන්න කියන්න ..චිත්‍ර අඳින්න තෑගී දිනන්න තෝතැන්නක් වුනා. අනික් ආගම් වලට ගරහන්න වත් කොයි ආගම හොඳද කියල කෙස් පැලෙන වාද විවාද වත් තිබුනේ නැහැ. බුදු දහම දර්ශනයක් වගේම එදිනෙදා ජිවත් වෙද්දී එන ප්‍රශ්න වලට පවා උත්තර තියෙන ආගමක් . මම අනික් ආගම් ඉගෙන ගෙන නැතත් ඒවයෙත් ඇති ඒ වගේ දේවල් .

    ඔය වැඩේ සංවාද ඉතිහාසය සමාජය වගේ විෂයන් ගැඹුරින් හදාරන අයට හොඳයි. සාමාන්‍ය මිනිස්සුන්ට ඕව බලෙන් අහන ඉන්න සලස්වන එක තේරුමක් නැහැ. උදාහරණයකට ජෙරුසලම ගැන හදාරන කෙනෙක් මුස්ලිම් ..ක්‍රිස්තියානි ..යුදෙව් ආගම් අතර සමාන කම් දකින්න පුළුවන්. ඕව ප්‍රසිද්ද වේදිකා වලට ගෙනාවොත් ඉතින් ගුටි කෙලි තමයි.

    හැබැයි මම අත්දැකීමෙන් දන්නවා මිගමුව පැත්තේ සමහර ගම් පන්සලයි පල්ලියයි හරි සහයෝගෙන් වැඩ කරන.

    මතකනේ ආගම තුලිනුත් සෞන්දර්ය දැක්ක මර්සලින් ජයකොඩි පියතුමා ට කිව්වේ පන්සලේ පියතුමා කියල . ඒ දෙවිවරු වගේ මිනිස්සු…මම දන්නා කතෝලික යෙහෙලියක් සෝම හාමුදුරුවන්ගේ බන ඇහුව මම ජීවිතේට ඒ බණක් අසා නොතිබෙද්දී.

    කැමතියි

  12. nihal says:

    ආගම , දේශපාලනය වගේ මාතෘකා ගැන මම නං විවාද කරනවට කැමති නැහැ. කවදාවත් එකඟ වෙන්න බැරි දේවල්.
    හැම ආගමක්ම හොඳයි. සුළු සුළු වෙනස් කම් තිබුනට. බුදු හාමුදුරුවොත්, ජේසුතුමත්, මහමත්තුමාත් පාරවල් තුනකින් එකම තැනකට ගමන් කළ තුන් දෙනෙක්. හැම ආගමකටම ගරු කිරීම තමා වඩා හොඳ.

    කැමතියි

  13. නවම් එක්ක සියයට සියයක් එකඟයි ………………

    “හාමුදුරුනමකට, පියතුමෙකුට, මවුලවිතුමෙකුට සහ කුරුක්කල්තුමෙකුට එක වේදිකාවක හිඳ ධර්ම සංවාද පැවැත්විය හැකිද?”
    කිසි දිනක හරි සාර්ථක ධර්ම සංවාදයක් කල නොහැක, හරියට ධර්ම සංවාදයක් කරනවා නම් බුවාගේ කමෙන්ට් එකේ වගේ තමන් කියන දේ ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕන. එතකොට අනිවාර්යෙන් එක පැත්තක් පරදිනවා. එතකොට ඒක සංවාදයක් නෙමේ විවාදයක් වෙනවා.

    කැමතියි

  14. sithuwam says:

    ඕක මේ පැත්තෙනුත් දකින්න පොඩි ඉත්සාහයක් කරානම් හොඳයි කියල හිතෙන්නෙ නැද්ද?ඇත්තටම ලෝකෙ මොනවා කරත් ආගම්,කුල,රට,ජාති මේ හැමදේම මිනිස්සු අතර ප්‍රශ්ණ ඇති වෙන්න මූලිකව බලපාන සාධක.කවුරු මොනවා කීවත් සමාජයක ජීවත් වෙන මිනිස්සු අතරෙ මේ නිසා ඇතිවෙන විවිධාකාර වුන සමාජීය ගැටළු තියෙනවා.තාම ක්‍රිස්තියානි කාරයාට මිත්‍යාදෘශ්ටිකයා,මුස්ලිම් මිනිසට හම්බයා නැත්තම් තම්බියා,දෙමළ මිනිහට පර දෙමළා කියන ඒ ආකල්ප සමාජය තුළ තියෙනවා.ඒක නැතිවෙන්නෙත් නෑ.මොකද ඒ මිනිස්සු අතර තියෙන විවිධත්වය.ඒ නිසා ඔය වගේ කතිකාවතක වැරැද්දක් මමනම් දක්න්නෙ නෑ.ඒ තුළින් මේ විවිධත්වය එකමුතුවක් කරන්න ආදර්ශයක් දෙනවනම් ඒක කොච්චර හොඳද.
    හැබැයි ඔය කියන වැඩසටහන ගැන සාධාරණීකරනයක්නම් නෙවී මේක.ඒ සම්බන්ධව මගෙ ආකල්පය මේ අදහස එක්ක කිසිම සම්බන්ධයක් නෑ.

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: