තුන් යහළු වික්‍රමය !


එදා අට වසරෙ දෙවෙනි වාර විභාහෙ අන්තිම දවසට කලින් දවස. මතකෙ විදියට තිබුනෙ සෞඛ්‍ය ප්‍රශ්ණ පත්තරේ වෙන්න ඕනෙ. ඊලඟට, ඒ කියන්නෙ හෙට තියෙන්නෙ සෞන්දර්ය ප්‍රශ්ණ පත්තරේ. ඒ වෙනකොට විභාගෙ පටන්ගනිද්දි හිතේ තිබිච්ච බය, කලබල ගතිය හොඳටම අඩුවෙලා ගිහිල්ල නිසා හැමෝම හරිම සැහැල්ලුවෙන් තමයි හිටියෙ. ගුරුවරු උනත් අන්තිම ප්‍රශ්ණ පත්තර ගැන වැඩි සැලකිලක් නෑ වගේ කොපි කරන උන්ට කොපි කරන්න ඔහේ ඉඩ දීල තිබුන. ආයෙ මුළු ලකුණු වැඩි කරගන්න තියෙන මේ චාන්ස් එක අතෑරියෙ නෑ කවුරුවත්.

ඔය වෙනකොට කට්ටිය පොඩි පොඩි ට්‍රිප් එහම යන්නත් කතා කරගන්නව. සමගර ඒව අම්මල තාත්තල එක්ක පවුලේ සංචාර. තවත් ඒව කොල්ලො කොල්ලො සෙට් වෙලා ඔය ගාල්ලෙ කො‍ටුවෙ ඇවිදින්න යන්න, එහෙමත් නැත්නං යාළුවෙකුගෙ ගෙදරක යන්න වගේ පොඩි පොඩි ට්‍රිප්. යාළුවො එක්ක යන ට්‍රිප් එහම යනවට ගෙදරින් වැඩි මනාපයක් නැති නිසා මමනං ඒව ගැන හිතුවෙවත් නෑ. ඊටත් මං එනකං ගමේ ගෙදර බලං ඉන්න තිලේඅම්ම, කාන්තිඅම්ම, චූටිඅම්ම එහම මතක් උනාම කොල්ලොත් එක්ක යන ට්‍රිප් සේරම කැලේ.

ඔන්න ඊට පහුවදා අන්තිම ප්‍රශ්ණ පත්තරේ ලියන්න ඉස්කෝලෙට උදේම ගියා. උදේම ගියේ විභාගෙටම නෙමෙයි, ටොකු ගෙඩියක් අහුලගන්නත් එක්ක. ඊයෙ පරක්කු වෙච්ච හන්ද අනිත් එවුන් සේරම අහුලගෙන. ආයෙ නෑ ඒ දවස් වල ඔය ටොකු ගෙඩියකින් කොල්ලෙක්ගෙ ඔළුවට පාරක් දුන්නෙ නැත්නං උදේට කෑවෙ නෑ වහේ තමා. ඒකෙන් පාරක් ඉස්මුදුනට වැදුනම චූ බර හැදෙනව ඕනම චන්ඩියෙක්ට. හැබැයි මොන හේතුවකටද මන්ද ටොකු පාර කාපු එකෙක්වත් ගහපු එකා එක්ක තරහ උනේ නෑ. ඌ ලඟ දවසෙ උදෙන්ම ටොකු ගහ යට ඇවිදල ගෙඩියක් හොයාගෙන අරූට රිටර්න් එක දෙනව ඇරෙන්න.

ටොකු ගහ යට වෙනදට පොරකන එකෙ කොල්ලෙක්වත් අද නෑ. උන් සේරම තක්බීර් වෙලා මූණට මූණ බලාගෙන. ගහ යට තණකොල පඳුරක් ලඟ හොඳට මෝරපු ටොකු ගෙඩියක් !. මං පැනපුගමන් අහුලගත්තෙ ඊයෙ මට චූ පනින්න පාරක් දුන්න කෝදාගොඩයෙගෙ ඔළුගෙඩියෙන් පැණි බේරෙන්න දෙනව කියල හිතාගෙන. අනිත් දවස්වල නං කවුරු හරි ටොකු ගෙඩියක් අහුල ගත්තොත් වටේ පිටේ ඉන්න එවුන් ටක් ගාල මාරු වෙනව. ඇයි කාට කවද දීපු ටොක්කෙ රිටර්න් එක හම්බුවෙයිද දන්නෙ නෑ නෙ. ඒත් අද එකෙක්ටවත් මගේ ටොකු ගෙඩිය අහුලගත්තු එක ගානක් උනේ නෑ.

මොකෝ බං අද බොලාට වෙලා තියෙන්නෙ?

මං පොකුනට උඩහින් තියෙන සිමෙන්ති පඩියෙ වාඩිවෙලා උන්නු සමීරයගෙන් ඇහැව්ව.

ඇයි උඹට ගේට්‍ටුව ලඟදි ආරංචි උනේ නැද්ද?

නෑ බං. මොකෝ අවුල?

කෝදාගොඩය නැතිවෙලා ලු.

නැති වෙලා… එහෙම කොහොමෙයි නැති වෙන්නෙ, ඌ ඉඳිකට්ටක් ය. ඕක කොහේහරි හැංගිලා ඇති බං. ඌ දන්නව අද මගෙ ටොකු පාර කන්න වෙනව කියල. මේං බලහං සයිස් එක. පැණි බේරෙන්න දෙන්න ඇහැකි. මං පුවක් ගෙඩියක් විතර ලොකු ටොකු ගෙඩිය නැට්ටෙන් අල්ලල වනන ගමන් සමීරයට කිව්ව.

උඹෙ ටොක්කට බයේ නෙමෙයි බං. ඌ ඊයෙ විභාගෙ ලියල ගෙදර ඇවිල්ල නැතිලු.

උඹ කොහොමෙයි දන්නෙ?

අද උදේ පොලීසියෙන් ඇවිල්ල රාජපක්ෂ මිස්ගෙන් කට උත්තරයකුත් අරගෙන බං. මිස් තමයි දැන් ටිකකට කලින් ධනුෂ්කට කියල තියෙන්නෙ.

ආ.. ඒක තමයි අද ඉස්කෝලෙ එනකොට ගේට්‍ටුව ගාව පොලීසියෙන් ඉඳියෙ. මං හිතුවෙ ඊයෙ හැන්දෑවෙ ප්‍රිෆෙක්ට්ස්ලගෙ වලිය හන්ද කියල.

කෝදාගොඩ කියන්නෙ පන්තියෙ මට පේලියකට පස්සෙන් ඉඳපු එකෙක්.. මදාවි වැඩ වලට පන්තියෙ ඉස්සරහින්ම ඉන්නෙ ඌ තමයි. කොච්චර මදාවි වැඩ කලත් කවුරුවත් ඌත් එක්ක තරහ උනේ නෑ. ඒ උගෙ හොඳ හිත නිසාමයි. මේ යකා කොහේ ගියාද මේ විභාගෙ අස්සෙ.

ඊයෙ විභාගෙ ඉවරවෙලා ට්‍රිප් එකක් යන්න දාගත්තෙ, මූ ට දවස වැරදිලා ඊයෙ හැන්දෑවෙම ගියාවත්ද?

එහෙම වෙන්නත් බෑ ඌත් එක්ක යන්න හිටපු අමිලයි රන්දිමයයි ඔය ඉන්නෙ විභාගෙට ඇවිල්ල.

විභාගෙ වෙලාවත් ආව නිසා අපි ඊ. එම්. කේ බිල්ඩිම පැත්තට පල්ලම් බැස්ස. යන අතරෙත් හැමෝම කතාවෙන්නෙ කෝදාගොඩයගෙ අතුරුදහන් වීම ගැන තමයි. එක එකා උන්ගෙ වර්ශන් වලින් කෝදාගොඩටය මොකෝ උනේ කියල කියනව.

මචං ඌ ෂුවර් එකටම අර කෙල්ලෙත් එක්ක පැනල යන්න ඇති. ඕකුන් දෙන්නට හෙන කැසිල්ලක් තිබුනෙ.

නෑ බං උන්ගෙ ගෙදරින් ඔය කෙල්ලට බැනල තිබුන, මූ ඕකට අප්සැට් එකේ උන්නෙ. කෝච්චියට බෙල්ල තිව්වවත්ද?

බොලාට විකාරද බං. ඌට සෞඛ්‍ය පේපර් එක අමාරුයි කිය කිය උන්නෙ. දෙකක් නෑ මූ ඒකෙ අප්සට් එකට කොහේ හරි හැංගිලා ඇති.

ඔන්න ඔය වගේ කතා ගොඩකුත් එක්ක අපි විභාගෙ තියෙන පන්තියට ආව.

රාජපක්ෂ මිස් ඔන්න එනව රෙජිස්ටර් එකත් උස්සන් නම් මාක් කරන්න.

ගූඩ් මෝර්නිං ළමයි.

ගූඩ් මෝරිනිං මිස්.

ඔය ළමයි දන්නව ඇති කෝදාගොඩ පුතා ඊයෙ ඉඳල ආ ගිය අතක් නෑ කියල. ඔයාල මොනව හරි දන්නවනං කරුණාකරල කියන්න මට. ඒ දරුවගෙ අම්මයි තාත්තයි ඊයෙ ඉඳල නොකා නොබී අඬනව දරුවනේ…

පන්තිය මීයට පිම්බ වගේ.

කමක් නෑ. පුතාලට මොනවහරි ආරංචි උනොත් මට ඇවිල්ල කියන්නකො. අපි දැං නම් ලකුණු කරමු.

ධනුෂ්ක….

ප්‍රසන්ට් ටීචර්

පුෂ්පික…

ප්‍රසන්ට් ටීචර්

…………

………….

සේනක……

ඌ මැරිලා…. පන්තියෙ මුල්ලෙ ඉඳපු රන්දිමය කිව්ව

පන්තිය ගල්භීත උනා..

කෝදාගොඩගෙ මුල් නම් තමයි සේනක. රාජපක්ෂ මිස් නම ලකුණුකරනකොට හැන්දාම කියෙව්වෙ හැමෝගෙම මුල් නම් විතරයි. මිස් කියන්නෙ ඒක තමයි උපන් වෙලාවට අයිති සුභ අකුරු වලින් දෙමාපියො දමාපු නම. ඒක නිසා පාවිච්චි කරන්නත් ඕනෙ ඒ නම කියලයි. [එහෙමයි කිව්වට මිසුත් සමහර අයගෙ මුල් නම් පාවිච්චි කලේ නම් ලකුණු කරනකොට විතරයි]

මුළු පන්තියම දැන් රන්දිම දිහා බලාගෙන. රන්දිම වෙවුලනව, දාඩිය දාල ඇස් දෙකත් රතුවෙලා හොඳටම. රාජපක්ෂ මිස් මුකුත් නොකියා රන්දිම ලඟට ගිහිල්ල ඔළුව අතගෑව.

ඇයි පුතා සනීප නැද්ද ඔයාට. මේ බලන්නකො හොඳටම දාඩියත් දාල. එන්න අපු එලියට යමු හුලං ටිකක් වදින්නත් එක්ක. කියල අතින් අල්ලගෙන එලියට එක්කගෙන ගියා.

රන්දිමත් කතාවක් බහක් නැතුව ඔහේ හීනෙන් වගේ මිසුහ්ට් එක්ක පන්තියෙන් එලිට ගියා.

අපි සේරම තක්බීර් වෙලා මූණට මූණ බලාගෙන ඉන්නව. එකෙක්වත් කතා කරන්නෙ නෑ.

දඩාං………… !

ඒ අස්සෙ පන්තියෙ මුල්ලෙ වාඩිවෙලා ඉඳපු අමිල එකපාරටම පු‍ටුවත් පෙරලගෙන බිමට වැ‍ටුන. අපි කට්ටිය හොඳටම බයවෙලා දැන්. ඇයි ඩිංගකට කලින් රන්දිමය අසනීප උනා දැන් අමිලය. ඊලඟට කවුද?

වතුර ටිකක් එහෙම මුණට ඉහල අමිලයට සිහිය ගත්ත. ඇස් ඇරියට මිනිහ මේ ලෝකෙ නෙමෙයි වගේ ඉන්නෙ. එකෙක් දුවල ගිහිල්ල එලියෙ ඉඳපු බණ්ඩාරගොඩ සර්ට කිව්ව අමිලයට අසනීප වග. සර් මිනිහවත් පන්තියෙන් එලියට එක්කගියා.

ඊට පොඩ්ඩවෙලාවකට පස්සෙ රාජපක්ෂ මිස් ප්‍රෂ්ණ පත්තර ටික බෙදාගෙන ගියා. ඒත් අපි කාටවත් උත්තර ලියන්න සිහියක් නෑ. ඇයි දෙයියනේ පන්තියෙ දෙන්නෙක් එකපාරටම සනීප වෙලා. අපි කොහොමෙයි විභාගෙ ලියන්නෙ.

ළමයි… දැන් ඔක්කෝම හරි. අමිලයි, රන්දිමයි උදේ කාපු කෑමක් විසවෙලයි අසනීප උනේ. ඒ දෙන්න ඉස්පිරිතාලෙට යැව්ව. ඔයාල කලබල වෙන්නෙ නැතුව පේපර් එකට ලියන්නකො.

මිස් කොච්චර කිව්වත් අපිට හරි නෑ…. එහෙනං රන්දිමය කෝදාගොඩය මැරිල කිව්වෙ මොකෝ.. ඒත් මිස් අරහෙම කිව්වට පස්සෙ ආයෙ අහන්නත් බෑ. අපි කට්ටියම කරබාගෙන විභාගෙ ලියල ගෙදර ආව. ඒ දවස් වල හෑන්ඩ් ෆෝන්, මැසෙන්ජර්ස් එහම අහලවත් නැති අපි අළුත්ම තත්වය බලාගන්න ඊලඟ දවස වෙනකන් ඉන්න ඕනෙ.

පහුවදා ඉස්කෝලෙ ගියාම තමයි සිද්ධිය හරියට ආරංචි උනේ,

අමිලයි, කෝදාගොඩයි රන්දිමයි බීක්කෙ ටැංකියෙ නාන්න ගිහිල්ල. බීක්කෙ ටැංකිය කියන්නෙ ගාල්ලට වතුර දෙන ලොකු වතුර ටැංකිය. කට්ටිය නාන්න යනව කියල යන්නෙ ඔතන පල්ලෙහා තියෙන පොඩි වැවක් වගේ තියෙන ටැංකියට වතුර ගහන්න කලින් එකතුකරල තියෙන තැනට [මම දැකල නෑ ඔය කියන තැන. අහල විතරයි තියෙන්නෙ. ගාල්ලෙ ඉන්න සමහර අය නම් ඕක ගැන හරියටම දන්නව ඇති] කියන විදියට කෝදාගොඩ ටිකක් එහාට පීනගෙන ගිහිල්ල අනිත් දෙන්න ඉවුරෙ ඉන්නකොට. කොච්චර එපා කිව්වත් කනකට ගන්නෙ නැතුව තමයි කෝදාගොඩ ඈතට ගිහිල්ල තියෙන්නෙ.

එහෙම පීනන අතරෙ එකපාරටම යට ගිහිල්ල…… ආයෙම උඩ ඇවිල්ල නෑ…..

අමිලයි රන්දිමයි බයටම මේ සිද්ධිය කාටවත් කියල නෑ. ඒත් පන්තියෙ නම් ලකුණු කරන වෙලාවෙ නොදැනිම කියවෙලා. ඒ නොකිව්වනම් තවත් කාලයකට කෝදාගොඩට මොකද උනේ කියල කිසිම කෙනෙක් නොදැන ඉන්න තිබුන.

මේ සිද්ධිය මතක් උනේ කෝදාගොඩත් එක්ක නාන්න ගියපු රන්දිම ඊයෙ හවස සිනමන් ග්‍රෑන්ඩ් එක ලඟදි මුනගැහිල කතාකරපු නිසා. මිනිහ දැන් ඒකෙ චෙෆ් කෙනෙක්.

ප/ලි : මෙහි සඳහන් සියළු නම් ආදේශක පමණක් බව සලකන්න.

Advertisements

19 Responses to තුන් යහළු වික්‍රමය !

  1. “සේනක……

    ඌ මැරිලා…. ”

    මේක කියවපු ගමන් මට මැරෙන්න හිනා ගියා. ඒ උනාට ලිපිය අන්තිම වෙනකන් කියවගෙන යද්දි ගොඩක්ම දුක හිතුනා. තමන් එක්ක හිටපු යාලුවෙක් නැති උනා කිව්වම කාට උනත් ගොඩක් දුක හිතෙනවා.

    අපි කෝදාගොඩ සහෝදරයට නිවන් සුව පතමු !!!!!!

    කැමතියි

  2. බැරිවෙලාවත් අර යාලුවෝ දෙන්නා ඉස්කොලේ ආවේ නැත්තන් තාම ඔක අභිරහසක් වෙන්න තිබ්බා…

    කැමතියි

  3. එකට ඉගෙන ගත්තු යාලුවෙක්ගෙ මරණය කියන්නෙ දරාගන්න අමාරු දෙයක්. අපි 11 වසර ඉන්න කොට අපේ පන්තියෙ ගෑණු ළමයෙක් සියදිවි නසාගත්තා. පස්සෙ බලද්දි එයාට ළමයෙකුත් හම්බෙන්න ඉඳලා. ඒ ළමයා යාලු වෙලා හිටපු පිරිමි ළමයා ටික කාලයක් හැංගිලත් හිටියා. මොනා උනත් ඒ මරණය නම් සෑහෙන ශොක් එකක් උනා පන්තියෙ ලමයින්ට.

    කැමතියි

  4. ඔය සීන් එක උනේ මම පහ වසරෙදි වගේ ද කොහේද……
    බීක්කෙ ටැන්කිය එක්ක ඔය සිද්දිය හොදටම බැදිලා තියෙනවා….
    අපේ ඉස්කෝලේ හැමෝමලා වගේ ගොඩක් දුක් උන දවසක්…

    කැමතියි

  5. randika2 says:

    කොල්ලෝ කී දෙනෙක්ගේ ජීවිත නැතිවෙලා තියෙනවද දෙමව්පියන්ට හොරෙන් ඔය වගේ තැන් වල නාන්න ගිහිල්ලා.අපරාදේ තරුන ජිවිත….

    කැමතියි

  6. මමත් දන්න ඔය වගේ කතාවක් තියෙනවා. කොල්ලෝ තුන් දෙනෙක් වස්කඩුවේ වතුර ටැංකියේ නාන්න ගිහිං.. අන්තිමේ එකෙක්ව ලොකු බටයක් ඈතුලේ හිරවෙලා නැතිවුනා.

    පණ්ඩිත කමටයි ආතල් ගන්නයි ගියාම තමා ඔහොම වෙන්නේ…

    කැමතියි

  7. Alchemiya says:

    මමත් බීක්කෙ ටැංකිය ලඟට ඕනතරම් ගිහින් තියෙනවා… ඒත් වතුරට නම් අඩියක් වත් තියලා නෑ…. බයටම…
    මගෙ යාළුවෙක්ගේ අයියා කෙනෙකුත් බීක්කෙ ගිළිලා මලා…. ඒ 1985-87 කාලේ…
    එතැන හරිම ලස්සනයි…. ඒත් නාන්න ගියොත් භයානකයි…..

    කැමතියි

  8. අප්පා බඩ පපුව දාලා ගියා මේ කතාව කියෙවුවාට පස්සේ .මම මුලින්ම හිතුවේ මේක ජෝක් කතාවක් වෙන්නෙ ඇති කියලා . පස්සේ හිතුවේ කෝදෙ කොහේ හරි හැංගිලා කියලා . අන්තිමට තමයි කතාව දැනගත්තේ . මගේ යාළුවෙක්ගේ අයියා කෙනෙකුත් එක දවසක් වතුරේ ගිලිලා මලා . ඊටපස්සේ අපි කවුරුවත් වැවු වල මැදට නොඟිහිං ඉන්න ප්‍රවේසම් උනා

    පොඩි එවුං කාලේ බයට ඕක හිතේ හංගං ඉන්න ඇති කාටවත් නොකියා ,ඒක කාගෙවත් වරදක් නෙවේ ..

    කැමතියි

  9. arunishapiro says:

    නාන්න යන හැටි ගැන දැනුවත් කරන්න වැඩිහිටි අය මදියි. ඉන්නෙ කොහේවත් යන්න එපා කියන අයනෙ. කොහේවත් නොගිහින් ඉන්න එක මිනිස් ස්වභාවය නෙමෙයිනෙ.

    ඉස්සර ඈත කාලයක සෙන්ට් පීටර්ස් කොල්ලො ටිකක් මීගමුවේ නාන්න ගිහින් කොල්ලෙක් වතුර වළකට පැන්න අත් සහ ඔළුව ඉස්සරහට දාලා. වතුර යට තිබිච්ච මඩේ එරිලා එයාව යාළුවෝ කිමිදිලා එළියට ඇදිලා ගනිද්දී පණ ගිහින්. තවත් කාලයක් ගිහින් විශාඛාවේ කෙල්ලො ටිකක් නොදන්න කුඹුරක ඇවිදින්න ගිහින් මඩේ එරිලා එතැනත් කෙල්ලක් පණ නැති කරගත්ත.

    පිස්සු කෙළිද්දී වටපිටාව ගැන පොඩ්ඩක් අවධානයෙන් ඉන්න පුංචි කාලේ පටන් දරුවන් දැනුවත් කරන්න ඕනා. පරීක්ෂාකාරී වීම පුරුද්දක් වුනාම අවදානම් සහ විපත් වලින් ගැලවෙන්න පුළුවන්.

    කැමතියි

  10. පින්ග්කිරීම: පණ්ඩිත වී ආතල් ගමු « අරුණි ශපීරෝ‍ වෙතින්

  11. Kathandara says:

    අපි හොඩ දෙනෙක් පීනන්න දන්නේ නෑ. නාන්නේ ලංවලින්. ගලායන වතුර (ගංගා වගේ) හො වැව්, මුහුද ආශ්‍රීතව ඉන්න අයගෙනුත් කීප දෙනෙක් විතරයි පීනන්න ඉගෙන ගන්නේ.

    නමුත් ප්‍රශ්ණය ඒක නෙමේ.

    1. පීනන්න හරියට දන්නේ නැතුව වතුර ටිකක් දැක්ක ගමන් මීහරක් වගේ වතුරට බහින එක.

    2. අනාරක්‍ෂිත තැන් ආරක්‍ෂා කර නොතිබීම – මේවා, නගර සභා, ප්‍රාදේශීය සභාවලින් කරන්න ඕනෑ.
    අපේ උන් ට්‍රිප් එකක් ගියාම කරන්නේ හොඳටම බීලා දකින දකින වතුර ගොඩේ නාන්න යන එකනේ. හරියට මුළු ජීවිතේටම ආයේ නාන්න වෙන්නේ නෑ වගේ.

    මටත් මේ වගේ මරණයක් දෙකක් දන්නවා. ඒ ගැණ ලිව්වා කතන්දර බ්ලොග් එකේ මුල හරියේ.
    http://kathandara.blogspot.com/2009/07/blog-post_23.html

    -කතන්දරකාරයා

    කැමතියි

  12. හොඳ කතාවකුයි, හොඳ කමෙන්ට් ටිකකුයි උදේම කියෙව්වා….

    කැමතියි

  13. මාර සීන් එකනෙ වෙලා තියෙන්නෙ පව් වැඩේ ………….
    මම හිතුවෙ නැහැ අන්තිම වෙනකං ඒ කොල්ලා මැරිලා කියලා ………..

    කැමතියි

  14. මතකද 93දි (මම එතකොට එකේ), එතකොට හිටපු ප්‍රින්සිපල් සර්ගෙ පුතා නැති වුනා. ඒත් බීක්කෙම තමයි.

    කැමතියි

  15. ඔය කාලේ ඔහොම වැඩ නොකරන්නේ කවුද ? වෙලාව තමයි.. යන්න වෙලාව ආවම යනවා. මායි මගේ මචමායි දෙන්න පොඩි කාලේ වත්තේ තිබුන හෙන ගැඹුරු ලිඳකට ළිං කටේ ඉඳල පනිනවා ජොලියට. ඉස්සෙල්ල මං පනිනවා. ඊට පස්සේ ඌ පනිනවා උඹ නැතුව ඉඳල වැඩක් නෑ අයියේ කියල.. එකේ පතුලේ ගලක් අල්ලන් ඉන්නවා වෙලාවක් උඩට නෑවිත් උඩ ඉන්න උන් බය කරන්න. අපොයි ගොන් වැඩ.. මලා නම් දෙමවුපියන්ටයි දුක..

    කැමතියි

  16. kurun gurun says:

    umba kiyala thibba ->හැබැයි මොන හේතුවකටද මන්ද ටොකු පාර කාපු එකෙක්වත් ගහපු එකා එක්ක තරහ උනේ නෑ… kiyala oka oya joolgas handiye school eke hati.. kavadavath rag thibbe na .. loku loku tharaha maraha thibbe na.. chandiyo unath anith aya gana baluwa.. mata oka hondatama therune galle valin ain vela colombo avilla mehe school vala inna kollonge hati dakkama… joolgaha schl eka vage schl ekak aaai 1000 kin hoyanna bane

    mama dannava oya scene eka mama th koda ekka eka panthiye indala thiyenava.. chandiya unata uge hitha hondai

    කැමතියි

  17. Poorna says:

    අද තමා මුල්ම වතාවට මේ පැත්තෙ ආවෙ.මාත් ජූල්ගස් හන්දියෙ ඉස්කෝලෙ තමයි.මටත් ඔය සිද්දිය යාන්තම් වගේ මතකයි,එතකොට මම පොඩි එකා.කලින් Post එකක දැක්ක අයියා කරාපිටියෙ කියල,මම හිරිඹුර.අයියා AL කලේ කොයි කාලෙද?මම 2008

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: