චූටි මැණිකේ පැහැරගනී – පපුව නතරවී රුධිර ගමනාගමනය වැඩිවීම.


ඒකාංගික ටෙලිනාට්‍ය තිරපිටපත

රචනය : නවම්

අධ්‍යක්ෂණය : නවම්

නිෂ්පාදනය : තවමත් සොයමින් පවතී

ප්‍රධාන නිළිය : චූටි මැණිකේ [කෙල්ල]

ප්‍රධාන නළුවා : නවම් [කොල්ලා]

සහාය නළු 01 = ගාමිණී සීයා [ජෝකර්]

සහාය නළු 02 = කළු තඩි ත්‍රීවීල් රියදුරු [දුෂ්ඨයා] [නම මතක නෑ, ගිරිගෝරිස් කියමු. ගිරිගෝරිස්ල ත්‍රීවීල් පදින්නෙ නැතිඋනාට ඒ නළුවාගේ පෙනුමට අනුව ඒ නම තමා වැඩිපුර ගැලපෙන්නෙ]

+++++++++++++++++++++++++++++++++++++++++++++++++

පලමු දර්ශණය:

අංගොඩ හන්දිය [කඩුවෙල පාර] රාත්‍රී හතයි කාලට පමන.

මෝටර් බයිසිකලයකින් කහ පැහැති ත්‍රීවීල් රථයක් ලුහුබඳින තරුණයෙක්. ඔහු කෙතරම් උත්සාහ කලත් එම අවස්ථාවේ පවතින මාර්ග තදබදය හේතුවෙන් ඔහුට ත්‍රීවීල් රථය ඉස්සර කිරීමට ඉඩක් නොලැබේ. එක් වතාවක් යාන්තම් ලද ඉඩකින් ත්‍රීවීල් රථයේ වම් පැති දොරට ආසන්නවත්ම එහි තුල සිටි තරුණියක් ඉතා අපහසුවෙන් යන්තම් ඔළුව එලියට දමා ඔහුට යමක් පවසයි [ඊට පි‍ටුපසින් පැමිණි හංවැල්ල බස් රථයක කන් බිහිරි කරවන හෝන් සද්දෙට ඔහුට ඈ පැවසූ කිසිවක් නෑසෙයි]

මොන රෙද්දක්ද… ඔහු කේන්තියෙන් හිස හරවා බස් රථය දෙස බලයි. එවිටම ක්ලච් බැලන්ස් නැතුව බයිසිකල් ක‍ටුව “හුටස් !” ගා මහපාර මැදම නතර වෙයි.

සෙල්ෆ් ස්ටාර්ට් කලත් වැඩක් නැත. පෙරදා ඇඳ විට්ටමේ වැදී දකුණු කකුල ඇමැට්ටි වී තිබූ බැවින් කික් ස්ටාර්ට් කල නොහැක. කරුමයක මහත. අසරණ ඔහු පාර මැද කිසිවක් කරකියාගත නොහැකිව සිටියදී පෙරකී තරුණිය ‍රැගත් ත්‍රීවීල් රථය ඉදිරියට ඇදේ. පසුපසින් වාහන පෝලිමක් හෝන් හඬවයි.

යකෝ හෝන් ගැහැව්වට පාර පලල් වෙන්නෙවත් මේක ස්ටාර්ට් වෙන්නෙවත් නෑ. [ඔහු සිතයි – සිතනා දේවල් රූපගත කල නොහැකි බව හැබෑය. එනමුත් බෙල්ට් එකක් නොලැබුනොත් තිර පිටපත නවකතාවක් හෝ කෙටිකතාවක් හෝ කිරීම රචකයාගේ අරමුණයි]

බොහෝම අමාරුවෙන් ඔහු තල්ලු බයිසිකලය තල්ලු කරන් පාරේ අයිනකට ගෙන කිහිප වරක උත්සාහයෙන් පනගන්වාගෙන නැවතත් හි‍ටු කියා දර්ශණ පථයෙන් නොපෙනී ගිය ත්‍රීවීල් රථය ලුහුබඳී.

++++++++++++++++++++++++++++++++++++++++++++++++++

[දෙවැනි දර්ශණය]

පලමු දර්ශණයෙන් පැය තුනකට පෙර.

අංගොඩ හන්දියේ රාත්‍රී දර්ශණය බොඳවී, පෙර දසුනේ ත්‍රීවීල් රථයේ සිටි තරුණිය හා ඈ ලුහුබැඳගිය තරුණයා අත්වැල් පටලා පිටකො‍ටුවේ පලමු හරස්වීදියේ ගිණිගහන අව්වේ ඇවිදින දර්ශනයකට මාරුවේ.

ඔවුන් දෙදෙනා කැමරාවට පි‍ටුපා යමක් සොයනා විමසිල්ලෙන් පාර දෙපස කඩවල් දෙස බලමින් ඉදිරියටම යයි.

තරුණයා තරුණියගේ අතින් ඇද නවතී.

හා ගාමිණී සීයා…

ඔහු වයස හතලිස්පහක පනහක පෙනුම ඇති අත් දිග කමීසයකින් හා කළු කලිසමකින් සැරසීගත් පුද්ගලයෙකි. [:)] [තරුණයාට බොහෝම දුරින් නෑකමට සීයා වෙන්නෙකි – නෑකම හඳුනාගත්තේ එදිනම උදයේය]

හා දැං බඩුටික ගන්නෙයි ආවෙ, කාත් එක්කෙයි ආවෙ, කෝ නෝන ආවෙ නෑතෙයි [ඔහු හුස්මක් කටක් නොගෙන අසයි]

ඔව් ඔව් බඩුටික ගන්නයි ආවෙ, මේ ඉන්නෙ මයෙ නෝන තමයි [තරුණයා පිළිතුරු දෙයි]

හප්පේ.. මේ නෝනයි? මං උන්න ඔහේගෙ දුවෙක්ය කියල [ඔතන කලින් ලියල තිබුනෙ “මං උන්නෙ ඔහේගෙ ලොකු අක්කයි කියල” ඒත් නිසි බලධාරිණී දැඩි සේ බලපෑම් කලා ඒක වෙනස් වෙන්න ඕනෙය කියල]

එන්න එන්න.. මෙහෙන් එන්න. අපි බලමුකො බඩු ටික ඉස්සෙල්ලම.

බලන්න දෙයක් නෑ සීයෙ වේලපහම බලලනෙව තියෙන්නෙ. ඔන්න ඔහේ බිල සෙට්ල් කරල බඩුටික පටවන්නකො.

එහෙම හරියනවයි, අන්තිමට ඔහේ කියාවි බඩුවල පොත්ත විතරෙයි මදේ තිබුනෙ නැතෙයි කියල. ආයෙ එහෙම බෑ බඩුව බල අතගාලම මිසක් මම නෙමෙයි දෙන්නෙ.

හා හා එහෙනං බලමුකො.

ඔතනින් වාඩිවෙලා ඉන්නකො [සීයා තරුණ ජෝඩුවට අසුනක් පෙන්වා කඩය ඇතුලට යයි]

විනාඩි පහලවකට පමණ පසු තරුණයා හා තරුණිය ඇනවුම් කරතිබූ ශීතකරණය හා රූපවාහිණිය පෝටර් කෙනෙකු කර මතින් පැමිනෙයි.

සීයා හා තවෙකෙකු එකතුව පෙට්ටිය කඩා තරුණයාට පෙන්වයි.

ෂා නියමයි ! ඔය තියෙන්නෙ කිරි ටොයියා වගේ [තරුණයාට ඉබේම කියවෙයි]

දැං කොහොමෙයි මේක හෙනියන්නෙ? [තරුණිය ඉදිරියට පැන අසයි]

හා.. ඒකට බය වෙන්න දෙයක් නෑ, අපේ තියනව බඩු අදින්න හදාපු ත්‍රී වීලර්ස්. එයින් එකක පටවන්න පුළුවන්.

ගිරිගොරිස් අයියා….. හයර් එකක් තියනවා යමුද? [ගාමිණී සීයා ඈත සිටිනා යමෙකුට කෑගසා කතාකරයි]

හරේ ගාමිණී අයියා යාං…

කහ පැහැති ත්‍රීවීලර් රථයක් පැමින තරුණයා හා තරුණිය සිටිනා කඩය ඉදිරිපිට නවත්වා කළු මහත බූතයෙක් වැනි මනුස්සයක් බසී.

මෙතනට යන්න කීයක් ගන්නවද ? [තරුණයා කොළයක ඇඳි මාර්ග සිතියමක් පෙන්වා අසයි]

හම්මෝ අද මරදානෙ පිකට් එකක්, එතනින් යන්න පැයක්වත් කට්ට කන්න වෙයි, රුපියල් දාහක්වත් ගන්න වෙනව.

දාහක් අපෙ අප්පෝ [තරුණයාගේ ඇස් උඩයයි]

අනේ ගිරිගෝරිස් අයියෙ, මේ බඩු ටිකටම අතේ තිබිච්ච සබ්බ සකලමනාවම අහවර උනා. ඔන්න ඔහේ කීයක් හරි අඩු කරන්නකො [තරුණයා ඔහුට දනින් වැටී නොවඳිනා ගානය]

දාහක් කිව්වෙත් මේ ගාමිණී මහත්තයට සලකල. නැත්නං රුපියල් එක්දාස් පන්සීයක්වත් ගන්න හයර් එකක් මේක [ගිරිගෝරිස් තම බුලත් කහට බැඳුනු දත් පෙන්වා මෝඩ හිනාවක් පායි]

හ්ම්.. එහෙනං මොකක් කරන්නෙයි, ආයෙ අපි හන්ද රුපියල් පන්සීයක්ම පාඩු කරගත්තු එකේ තවත් අඩු කරන්නෙයි කියන්නෙ කොහොමෙයි, ඔන්න ඔහේ යං එහෙනං. [තරුණිය පවසයි]

මේකිට දෙකක් මෙතනම දෙන්න ඇත්නං. ඕනෙ එකටයි එපා එකටයි හැමතිස්සෙම කට දානව [තරුණයා තරුණියට රවන ගමන් සිතයි]

හරේ මහත්තයා, විනාඩි පහක් දෙන්න බඩුටික පටවගන්න.

ගිරිගෝරිස් තවත් දෙදෙනුකු හා එක්ව බඩු පටවන අතර තරුණයා හා තරුණිය ඒ අසල වඩේ කරත්තයකින් රුපියල් පහ බැහින් ගත් රුපියල් දෙකේ වඩේ ළූණු පෙති සමඟ ඇදල අරී.

හරේ මහත්තයා, පටෝල අහවරයි යං.

ඒත් සමඟම පොද වැස්සක් ඇදහැලීමට පටන්ගනී.

දැන් කොහොමෙයි යන්නෙ [තරුණයා අසයි]

හා ඒක අවුලක් කරගන්න එපා. ගෙනියන්න ඕනෙ තැන එඩ්‍රස් එක ගිරිගොර්රිස්ට දෙන්න. මිනිහා ගානට බඩු ටික ගෙනිහින් බායි. [ගාමිණී සීයා]

හා එහෙනං අවුලක් නෑ නෙ මෙන්න මෙතනට… [තරුණිය තරුණයාගේ කකුල හයියෙන් පාගා ඔහුට රවා]

ඔයාට විකාරද, ලක්ෂෙක විතර බඩු මේ නොදන්න මනුස්සයෙක්ගෙ අතේ යවන්නෙ, ඔයා බයිසිකලේ එන්න, මම ගිරිගෝරිස් එක්ක ත්‍රීවීලර් එකේ එන්නම් [තරුණයාට තවත් යමක් පැවසීමට ඉඩක් නොතබා ඈ ත්‍රීවීලර් එකග ගොඩවෙයි]

එහනං මහත්තය යන්න. මං බඩු ටිකයි නෝනයි පරිස්සමින් අරන් යන්නං [ගිරිගෝරිස් බුලත් කහට දත් පෙන්වා කට කොනකින් සිනාසෙයි]

ත්‍රීවීලරය පණගන්වා ඉදිරියට ඇදෙයි.

ඒයි ඔහොම ඉන්නවා….. මගේ ෆෝන් එකේ බැටරි බැහැල, ආයෙ මාව මිස් උනොත් හොයාගන්න බැරි වෙයි. [තරුණයා බෙරිහන් දෙයි]

එය ඔවුන් කිසිවෙකුටත් නෑසුන සෙයකි.

වේගයෙන් ඉදිරියට ඇදෙනා ත්‍රීවීලරය දෙස තුෂ්නිම්භූතව මඳ මොහොතක් බලා හිඳි තරුණයා සිදුවූ දෙය පිළිබඳව සිහි එලවාගත් විගස වැස්සේම ඔවුන් ලුහුබඳින්නට විය.

පිටකො‍ටුවේ කෙලින් වීදියේ දහසක් වාහන අතරේ ඉදිරියෙන් යන ත්‍රීවීලරයක් ලුහුබැඳීම අතුරේ යාමක් වැනිය. පොඩ්ඩක් එහාට මෙහාට වුනහොත් වෙනත් වාහනයකට අඩයක් විය හැකිබව දැන දැනත් අප වීර තරුණයා සිය ප්‍රියම්බිකාව පැහැරගන යන වාහනය ලුහුබඳී.

ගෑස්පහ හන්දියේ ලොරි රථ අස්සෙන් දමන්නට ගොස් බයිසිකලෙයේ සිග්නල් ලයිට් එකක්ද කඩයක් ඉදිරිපිට තිබූ පොල්තෙල් බැරලයක හැඬලයක වැදී ඇද විය. ඉන් එහා වෙනත් අලාබ හානි ඇත්දැයි සෙවීමට ඔහුට නොහැකි වූයෙ පොල් තෙල් කාරයා කඩය තුල සිට දැමූ “ඕයි” සද්දයටත් වඩා කහ පැහැති ත්‍රීරෝද රිය ඇස් මානයෙන් ඈතට ඇදීයනු දැකීමය.

කෙසේ හෝ පේව්මන්ට් උඩින්, රෙදි වැලවල් අස්සෙන්, පකිස් පෙට්ටි අස්සෙන් දන්න රථ ශිල්ප සියල්ලම දමා අප කථා නායක තරුණයා නැවතත් ත්‍රීවීලයට කිට්‍ටු කරන් ඔරුගොඩවත්ත, කොටිකාවත්ත පසු කරන් අංගොඩ දිගාවට ඇදේ.

+++++++++++++++++++++++++++++++++++++++++++++++

[තෙවැනි දර්ශණය – නැවතත් වර්ථමානයට – අංගොඩ හන්දියේ බයිසිකලය නතරවූ අවස්ථාව | මෙතන සීන් එක මාරුවෙන එක පොඩ්ඩක් විතර අප්සට්, ඊලඟ පාර නාට්ටියක් ලියනකොට ඒව හරියයි]

තරුණයා නැවතත් බයිසිකලය පණගන්වා ත්‍රීවීලරය ගිය දිහාවට ලුහුබැන්දද ඔවුන් පෙනෙනා මානයක නොමැත. බඩුටික යා යුතු තැනටගියද එතැනට ඔවුන් පැමින නොමැත.

තරුණයා නැවතත් බයිසිකලය හරවාගෙන ත්‍රීවීලය අවසානයට දු‍ටු හතරමං හන්දියට පැමින ඔවුන් කොයි අත ගියාදෝයි හිස කසමින් කල්පනා කරයි.

ඈ හට ඔහුට දුරකථන ඇමතුමක් දීමටද නොහැක [ඒ වනවිට ඔහුගේ දුරකතනයේ බැටරි බැස ඇතිබව ඈ නොදනී]

ඔහු වහ වහා අසල ඇති කොමියුනිකේෂන් එකකට ගොස් ඈ හට ඇමතුමක් ගනී. එනමුත් ඈගෙන් ප්‍රතිචාරයක් නොමැත. නැවතත් ඔහු අවසිහියෙන් මෙන් බයිසිකලයට නැඟී හතරමං හන්දියෙන් දකුණට හැරී අංගොඩ මානසික රෝහල දෙසට පවනට බඳු වේගයෙන් ඇදේ. ඔවුන් පිලිබඳව කිසිම සලකුණක් නොමැත. නැවතත් ඔහු බයිසිකලය හරවාගෙන හන්දියට පැමිනේ.

තරුණයා නැවතත් පෙර දුරකථන ඇමතුම ලබාගත් ස්ථානයට ගොස් එහි හිමිකරුට තමාට සිදුවූ අකරතැබ්බය පවසා තම දුරකතනය ඇපයට තබා සිම් පත තාවකාලිකව දමාගැනීමය දුරකථනයක් ඉල්ලාගනී. ඉන් නැවත්ට ඇමතුමක් ගත්තද ඈගෙන් කිසිම ප්‍රතිචාරයක් නොමැත.

තරුණයාට හැඬුම් ඒ. ඔහු දකුණතින් දෑසට නැඟුනු කඳුළු පිසදමා නැවතත් බයිසිකලයෙන් ඔවුන් යා යුතුවූ ගමනාන්තය බලා ගමන් කරයි.

ගිරිගෝරිස්ට මඟ වැරදීවත්ද? එහෙමත් නැත්නම් ඔහු ඈ පැහැරගත්තේද? ඈ ගෙළ මිරිකාදමා බඩු ටිකත් අරන් පැනගියේද? දාහක් සිතුවිළි ඔහුගේ සිතේ පෙරළිකරයි [මෙම සිතිවිලි බැක්ග්‍රවුන්ඩ් වොයිස් එකක් සමඟ රූපය හා මුසුවේ]

පාරේ අලි නාවන සයිස් වලවල් වල වැටී කොන්ද කැඩී යාම වලකනු පිණිස අප කතානායක වීර තරුණයා ෆුට් රෙස්ට් එක මත හිටගෙන මෙවර බයිසිකලය පවනට බඳු වේගයෙන් පදී.

තරුණයා හා තරුණිය තව නොබෝ දිනයකින් පදිංචියට යාමට නියමිත ඇනෙක්සිය අසලට ලඟාවත්ම එය ඉදිරිපිට කිසියම් පිරිසක් කලබලයෙන් මෙන් එහා මෙහා දුවනු බයිසිකලයේ ලයිට් එලියෙන් තරුණයා දකී. තරුණයා වේගය අඩුකර ඔවුන් අසල නවත්වනවාත් සමඟම පිරිස තුලින්,

“කොහේද මනුස්සයො ගියේ මාව මේ රෑ අර යකක් වගේ මනුස්සයෙක් එක්ක ත්‍රීවීලර් එකක මේ බඩුගොඩක් එක්ක පටවල”

යනුවෙන් හඬක් නැගිනි.

අනේ දෙවියනේ කාට කියම්ද මා මේ අවනඩුව [තරුණයාගේ කඳුළු පිරුණු ඇස් වල සමීප දසුනක් සමඟ බැක්ග්‍රවුන්ඩ් වොයිස් එකක් මුසු විය]

නිමි !

වෙලඳ දැන්වීම:

ඒජන්ට් වොරන්ටි සමඟ [සොෆ්ට් ලොජික්, අබාන්ස් ……] ඔබට අවැසි සියළුම ඉලෙක්ට්‍රොනික බඩු, [ටීවී, ෆ්‍රිජ්, ඕඩියෝ සෙට්ප්ස්, හෝම් තියටර් සිස්ටර්ම්ස්, ඩී.වී.ඩී ප්ලේයර්ස්, ප්‍රොෆෙෂනල් කැමරා ඇතුළු එකී මෙකී නොකී දෑ ඉතාමත් අවම මිලකට ලබාගැනීමට අවැසි නම් පිටකො‍ටුව පලමු හරස් වීදියේ “මංගලසිරි” ට්‍රේඩර්ස් වෙත අදම පිය නඟන්න.

[කම්පැනි ප්‍රයිස් වලට වඩා රුපියල් විසි හත්දාහක් අඩුවෙන් ඒ වගකීමේ සහතිකයත් එක්කමයි මම මයෙ බඩු ටික ගත්තෙ]

හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ මේ බඩු රට ඉඳල එන අයගෙ ඩියුටි‍ෆ්‍රී එකවුන්ට් හරහා ගන්න නිසා වොරන්ටි ලියවෙන්න ඔබගේ නමට නෙමෙයි. හැබැයි වොරන්ටි ක්ලේම් කරන්න ඒක ගැටළුවක් වෙන්නෙ නෑ.

අනික ගන්නකොට අමතක කරන්න එපා වොරන්ටි කාඩ් එකේ සටහන් වෙලා තියෙන පර්චස්ඩ් ඩේට් එක. මම ගත්තු බඩු මීට මාසෙකට කලින් පර්චස් කරපුවා. සමහර ඒව ඇති ගොඩක් ඉස්සර ඩියුටි ‍ෆ්‍රී ෂොප්වලින් මිලදී ගනිපුවා. එහෙම උනොත් අපරාදෙනෙ.

ලාබ බඩුවෙ පොඩි හිලක් තියෙනෙවනෙ. ඒත් ඉතිං හිල ලොකු නොවෙච්ච බඩුවක් හරියට බලල ‍තෝරල ගත්තොත් කාලයක් යනකං හිතට බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. නැද්ද මං අහන්නෙ ?

පින්තූරෙ ගත්තෙ මෙතනින් : http://www.flickr.com/photos/71952913@N00/603512646/

Advertisements

64 Responses to චූටි මැණිකේ පැහැරගනී – පපුව නතරවී රුධිර ගමනාගමනය වැඩිවීම.

  1. පූසා says:

    ෂඃ මරු නාටිටිය. කියවනකොට මැවිලා පේනවා.
    ප්‍රේක්ෂකයව අන්ද මන්ද කරලා දාලා එකපාරටම අන්ද මන්ද ගතිය නැති කරනවා 😀

    කැමතියි

  2. Alchemiya says:

    //ඒත් ඉතිං හිල ලොකු නොවෙච්ච බඩුවක් හරියට බලල ‍තෝරල ගත්තොත් කාලයක් යනකං හිතට බයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. නැද්ද මං අහන්නෙ ?//

    අනේ මන්දා…
    මේ කාලේ හිල ලොකු නොවෙච්ච බඩු තියෙනවද කියලා හොයන්න නම් සෑහෙන ගේමක් දෙන්න වෙයි….. නැද්ද මං අහන්නේ……..

    කැමතියි

  3. මටත් කතාව මැවිලා පෙනුනා. ලස්සනයි. මම් තකහනියේ දුවගෙන ආවේ චූටි මැණිකේ අක්කව පැහැර ගත්තේ කවුද කියලා බලන්න. අම්මෝ මම් බයවෙච්චි තරමක්.

    කතාව එලකිරි අයියේ නියමයි. නියම නාට්ටියක්. !!!! 🙂

    කැමතියි

  4. Chinthana says:

    අහා නවම් අයියේ…… කාලෙකින් ආවේ…… ‍මේ දවස් වල ගොඩක් වැඩ අයියේ.පස්සෙ බ්ලොග් එතම කියවල Comment එකක් දාන්නම්….

    කැමතියි

  5. සමීර says:

    මරු කතාව.. තව පොඩ්ඩ පොඩ්ඩ නළුවා සහ නිළිය හිතන කෑලි ටිකක් දාලා දිග්ගස්සලා ගත්තා නම් මෙගා ටෙලියක් කරන්න තිබ්බා..

    තිර පිටපත නියමට ලියලා තියෙනවා…

    කැමතියි

  6. මේ මොකෝ මේ එක කොටසකින් ඉවර කරල? මේක සති 10 ක් වත් අදින්න තිබ්බනෙ? හප්පේ අර පස්සෙන් ෆොලෝ කරන සීන් එකම සති 7 ක් වත් අද්දහැකි! හික්!
    සිරාවට ලියල තියෙනව චිත්ත රූප මැවෙන විදිහට!

    කැමතියි

  7. Anushka says:

    මේ නාට්ටියේ අනුබූතිය එහි ප්‍රස්තූතයට නොගැලපේ. මෙහි එන චරිත ගොඩනැංවීමෙහිලා එහි අද්යක්සක නවම් මහතා තරමක් නොසැලකිල්ලක් දක්වා ඇත. මෙහි කැමරා කෝණ ඒකාන්තරව පවත්වාගෙන ඉන් සෑදෙන බහුවලයතුල නොවැටී සිටීමට කැමරාකරුට අසීරුය. මෙය පෂ්චාත් නූතන සිනමා ක්‍රමය තුළ අද්විතීය ස්ටානයක් හිමිකර ගන්නාඅතර මාටින් වික්‍රමසින්හ විසින් ගොඩනැගුනු මතවාද ඉදිරියට ගෙනයමින් ඉන් නොනැවතී නූතන වයිද්‍ය විද්‍යාවට සුවකල නොහැකි රෝග අට අනූවක් සුවකිරීමට දායක වෙයි. නූතන ගෝලීයකරණ තත්වය තුල ඊට එරෙහිව යමින් ගොඩනගන ප්‍රපංචයතුල මෙම කතාවෙහි රස නිශපැත්තියක් ඇති කිරීමට මෙහි පාඨකයා සමත්වෙයි.

    අවසාන වශයෙන් මට කීමට ඇත්තේ මෙම කතාව එහි නිර්මානකරුවන්ට සාපේක්ෂව පෘථිවියේ පරිභ්‍රමණය ගණනය කිරීමට සමත්වන අතර ඒ දවස මට කිසිදා අමතක නොවේ යන්නයි.

    කැමතියි

    • නවම් says:

      මෙතනදී රචකයා පස්චාත් නූතන වාදී රාමුවෙන් බැහැරව ටෙලිනාට්‍ය කලාවේ නව මානයන් සොයා යෑමක් තමයි සිදුකරල තියෙන්නෙ. ඇතැම් විටක ඔබ පවසා ඇති බහු වලය තුලට වැටීම වැලැක්විය නොහැකි වුනා විය හැකියි, එහෙමත් නැත්නම් ඔහු උවමනාවෙන්ම, ගොඩ ඒමක් නොමැතිබව දැන දැනත් පනින්න ඇති.

      කෙසේ වූවත් පුරුෂෝත්තම වාදී සමාජ රටාව තුල මෙහි කථානායිකාව තනියම ත්‍රීවීලරයක ව්යැවීමට තරම් රචකයා ස්ත්‍රීවාදී වීම බොහෝ කාන්තා සංවිධානවල නොමඳ පැසසීමට ලක් වී ඇත. එහෙත් ඔහුට නොදැනුවත්වම ඔහු තුල ක්‍රියාත්මක වන සංකල්පීය පුරුෂයා ඉස්මතුවී මෙම තිරපිටපත ඇතැම් තැනක්දී භක්ෂණය කර ඇත.

      කැමතියි

      • මෙහි අඛ්‍යානය සන්ධර්භයෙන් ව්‍යුත්පන්නකොටගත් විට ගම්‍ය වන්නේ අධ්‍යතන පරපුර සිරවී ඇති ෆැන්ටසියෙ යථාර්තමය නොවන තත්වය තුලින් පැණනඟින්නාවූ ඛේදවාචකය නිරමණය කොට ඇති අර්බුධයේ ඒක්පාර්ශවික පැතිකඩ සමඟින් ජනතවන්න වූ දේශීය දුපත් චින්තනය ගෝලීය පශ්චාත් නුතනදීවය හා වන්නා වූ නොගැලපීම තුල පත්ව ඇති පසුගාමීත්වය ජනිත කරවන වර්ගවාදී පුරුෂෝත්මවදී ගොත්‍රික අර්බුධයයි. මෙය කාල් පොපර්ගෙ න්‍යායන් ලෝනිගේ ශුද්ධ සමීකරණ්යෙන් විනිවිද දැකීමෙන් පෙනී යන්නෙ සමස්තය තුලින්ම මෙම කෘතියේ ඇති අසාර්ථක භාවයයි.

        කැමතියි

        • නවම් says:

          සරළ රේඛීයව කිසියම්ම හෝ සමාජයක ප්‍රගමන රේඛාව ගමන් නොකරන බව ඩෙරීඩා ඉතාමත් පැහැදිළිවම තම සාර්ව ආර්ථික න්‍යායෙහි පුරෝකථනය කර ඇත. එමඟින් ඔහු නව සමාජීය තාර්කනයක් ඉදිරිපත් කර ඇති අතර එය හුදෙක් විකර රූපී සිටිතිවිල්ලක් යැයි බැහැර කෙරීම නොකල යුතුය. කෙසේ නමුත් මෙම තිර පිටපත සමාජය හමුවේ තබනා සෘජු නොවූද වක්‍ර නොවූද සියුම් පණිවුඩය බුද්ධිගෝචර නොවීමේ අරුමයක් කිසිසේත්ම නොමැත. මන්ද යත් එහි හුදු විමසුමකට ලක්විය යුතු කිසිවක් නොමැති හෙයිනි.

          කැමතියි

      • Anushka says:

        සමාජය ෆැන්ටසිමය තත්වයකින් ගලවා එහි යතාර්ථයට අභිමුඛ කිරීමේ අයිතිහාසික කාර්යභාරය නවම් විසින් අම්තක කරදමා ඒ වෙනුවට ජනප්‍රිය “මෙගා” සන්ස්කෘතියට පොළාපැනීම අපි මහත් කේදවාචයක් ලෙස දකිමු.

        කැමතියි

        • නවම් says:

          මූල්‍යමය බල කණු මත ගොඩ නැගී ඇති සමාජ ස්ථාවරත්වය මන්දනයකට ලක් නොවීම උදෙසා කුමන හෝ බෝලයක් ඔබා ඒකීය ත්වරණයකින් චලනය වීමේ භාරධූර කර්තව්‍යය මනාලෙස වටහාගත් තිරපිටපත් රචකයෙකු ලෙස නවම් ඔහුගේ සමාජීය වගකීම වගකීම මනාව ඉ‍ටුකරයි,

          දෙන්නං ජම්බූ….. !

          කැමතියි

          • Anushka says:

            මෙහි එන තරුණයා ගෙන් නිරූපණය කිරීමට නවම් උත්සාහ කරන්නේ කුමක්ද? තමන්ගේ සැබෑ ජීවිතයේ දී තමන් විසින්ම ඝාතනය කරගත් සිය ප්‍රතිරූපය “නළුවා” හරහා ගොඩ නැගීමට නවම් උත්සාහ දරයි.

            උදාහරණයක් ලෙස අපි කවුරුත් දන්නා පරිදි නවම් යනු ගෙදරට ඉලෙක්ටික් බඩුවක් තබා ලූනු බිකක් වත් ගෙනියන පුද්ගලයෙකු නොවේ. එක්කෝ ඌ බඩු තෝරන්න දන්නේ නැත. තේරුවත් ඒවා ගෙදරකට නොගැලපේ. නමුත් ඔහු කතාවේ දී මහත් වෙහෙසක් දරා “නළුවා” ලවා තමන් ගෙදරට වටිනාකියන බඩු මුට්ටු ගෙනියන පුද්ගලයෙකු බවට ලොවට පෙන්වීමට උත්සාහ දරයි.

            මෙහිදී නවම් විසින් මුලුලෝකෙන්ම වසන් කිරීමට උත්සාහ කලද සැබෑවටම සිදුවන බිරිඳගේ බැනුම් වලට පසු එල්ලවන සෙරප්පු පහර ඇය විසින් ඉතා තාත්වික අන්දමින් ඉදිරිපත් කල බව එදා එහි සිටි සහාය නළුවන් බීබීසී ප්‍රවුර්ති සේවයට වාර්තා කර තිබේ. විලිලැජ්ජාවෙන් බේරීමට නවම් විසින් එම කොටස ඉවත් කලද ඉතැ සැලකිල්ලෙන් බලන විට පෙනෙන්නේ බැනීම ආරම්භ වන විට බිරිඳගේ කකුල් දෙකේම සෙරප්පු තිබ්බද බැනීම ඉවරවෙන විට තිබෙන්නේ එක සෙරප්පුවක් බවත් අනික නළුවාගේ කකුල අසල බිම වැටී තිබෙන අයුරුය.මෙය මනෝවිද්‍යාවේදී හඳුන්වන්නේ “මලපැන්නාස්ස්ලිපරේඇටෑක්” ලෙසයි. තමන් විසින් හැබෑ ජීවිතයේ අත්විඳින දෙයක් රඟපෑමේදී සත්ය ලෙස දැනීමේ තත්වයට නිළිය (චූටි මැනිකේ) විසින් පත්වීමයි මෙහිදී සිදුවන්නේ.

            මෙහි එන දේශපාලනික භංගත්වය ගැන අපි ඉදිරියේදී අවධානය යොමු කරමු.

            කැමතියි

            • නවම් says:

              විචාරකයා මෙහිදී ද්වේෂ සහගත ලෙසින් රචකයාගේ පෞද්ගලික ජීවිතයට එබී ඇත. තවද ළූනු බිකක්වත් නිවසට නොගෙනියතැයි පවසා ඇත්තේ පළමුදා ගෙනෙගිය රතු ළූණු කිලෝව හා ලංකා අල කිලෝව නොදු‍ටු නිසා බව හැඟීයයි. විචාරකයන් සෑමවිටම දෑස් දල්වා සිටිය යුතුයැයි පවසා ඇත්තේ එහෙයිනි.

              කෙසේ වූවද කිසියම් රචකයෙක් තම නිවසෙහි සිදුවන දෑ පිළිබඳව අමු අමුවේම සටහන් කරන්නේ නම් එම සටහන් අතිශය ගුජුප්සාජනක වීම, අතිශය අමානුශික දර්ශණ හෝ අතිශයින්ම වැඩිහිටියන්ට පමනක් ලේබලය යටතේ ‍රැඟුම්පාලක මණ්ඩලයේ හිත් පිත් නැති කතුරට ගොදුරක් විය හැකි බව මෙම අංකුර විචාරකයා හට අවබෝධයක් නොමැතිවීම විචාරයෙහි ලා ඔහුගේ කුදුබව මනාවට පසක් කරයි.

              සූටිං අපෙ වඩුවෝ උඹ අපෙ පු‍ටු කැඩුවෝ………

              කැමතියි

  8. ඕනයා says:

    අඩේ උඹට තිබුන බං මේකට සිංදුවක් දාන්න . . . . හරියට නිකං මේ වගේ එකක් . . .

    කැමතියි

  9. අංගොඩ කිටුට්වනේ ඉන්නේ…

    හික්… තාප්පෙන් පැන්න ගමන් ගේම පිනිස් කිව්වනේ නෙහ්… ඔය තියෙන්නේ අපුරුවට ගේම පිනිස් වෙලා… යකෝ අයියේ ඉක්මනට බෙහෙත් ටිකක් ගන්.. දැන්නම් හොඳටම වැඩියි වගේ…

    කැමතියි

  10. ඕනය නං අංගොඩ ඉන්නෙ, දැන් හරි මෙයත් ඒ පැත්තටම වුනාම

    කැමතියි

  11. ඩිලාන් says:

    මේක සිරසටද දෙන්න ඉන්නේ,,,,තව චරිත ටිකක එකතු කලොත් කොහොමද

    කැමතියි

  12. හරිම සුන්දර නාට්ටිය . තව ඇක්‍ෂන් ටිකක් තිබ්බානම් හොඳයි මම මේ කිවුවේ ගහ මරා ගන්න සීන් ටිකක් තියෙන්නම ඕන .. කමක් නෑ මෙවෙම වත් කතාව අවසාන වෙච්ච එක හොඳයි . හැබැයි ඊලඟ නාට්ටිය හදන කොට මටත් කොහොම හරි කැරට්ටුවක් දෙන්න බලෙන් හරි මාවත් ඒක ඔබවන්න .පාරේ ගිය මිනිහෙකුගේ චරිතයවත් මට දෙන්න .

    නලුවාගේ කකුල ඇඳ විට්ටමේ වැදුන හින්දා කෙලින්ම නාට්ටියක්ම නිර්මාණය වෙච්ච හැටි බලාපල්ලා කෝ ! ගෑනු ළමයට බයික්කේ දීලා නලුවට වීල් එකේ එන්න තිබ්බා ..

    කැමතියි

  13. ඔය කෙල්ල පන්ඩිත වැඩ කරද්දි කොල්ලා රවන රැවිල්ල නේද. හික්ස්. අරයට සල්ලි මාරු කරගන්න ඕනෙ වෙලා කඩේට මාරු සල්ලි නෑ කිව්වම මම මැද්දට පැනලා කියනවා ඉන්න මගෙ ගාව මාරු ඇති කියලා. ඕක කොච්චර මතක තියාගන්න හැදුවත් හරි යන්නෙම නෑ. අන්තිමට සල්ලි මාරු කරගන්න නැතුව බැන බැන යනවා.

    කැමතියි

  14. මට මතක් වුණු කතාවක්.
    දවසක් මං රට ගිහින් එනකොට කටුණායක දී ගත්තේ මල්ලි ගේ පුතාට කී බෝ් එකක් විතරයි.
    කඩේ පොර මට කතා කරනවා ප්‍රිජ් එකක් ද, ඒසී එකක්ද කොහෙද අරං දාමු, මට ගානක් දෙන්නං කියලා.
    මං ඇහැව්වා කීයක්ද? ඩොලර් පනහක් වගේ ගානක්.
    මං කිව්වා ඒ ගානට මාව ගන්න බෑ කියලා.
    කතාව එතනින්ම ඉවර වුණා.

    කැමතියි

  15. මම මෙතනට ආවෙ සිරා සීන් එකක් කියලා හිතාගෙන බැලුවාම නාට්‍යයක්නෙ ………..
    මේක දැන් මොකේද පෙන්නනන් හිතාගෙන ඉන්නෙ ……….

    කැමතියි

  16. යකෝ ඊයේ රෑ මේ පෝස්ට් එක දැකලා නිදි මත හින්දා නිදා ගත්තෙ හොඳ වෙලාවට. නැත්තං නිදාසිටින සිංහයින් අවදිකරලා එක මගුලක් වෙනවා. කතාව මරු…..

    රූපගත කරද්දි අර බඩු චෙක් කරන හරිය තමයි පොඩ්ඩක් රුපගත කරන්ඩ අමාරු උනොත්…….

    ඒක නෙමේ නවං උඹ ගත්තු හැම බඩුවලම පොඩි හරි හිලක්තියෙනවද? නැ මං නිකමට ඇහැව්වෙ….

    කැමතියි

  17. අම්මේ ..මෙන්නතව සුපිරි නට්ටිකාරයෙකුත් සෙට් උනා ……….මේ බ්ලොග් කායරන්ට බැරි දෙයක් නෑ නෙ බොල

    කැමතියි

  18. දැන් මේ කතාවේ පිටපත මැණිකේ නොහොත් හෝම් ඇන්ඩ් කම්පැනි එකේ මැනේජින් ඩිරෙක්ටර අනුමත කොලාද ? ඕක MD කියෙවුවොත් ඇඳෙන් පැදුරට ඩිමොට් වෙන්නේ නැද්ද ?

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: