සර්……. මම ගිහිල්ල විගහට එන්නම් – සිරකරුවෙකුගේ සමු ගැන්මක් නොවූ සමුගැනීම

සර්… සර්……

කවුද…..

මේ….. මම සර්….

හා….. මොකෝ මේ..

මම අද නිදහස් වෙලා යනව සර්.. කියල යන්නයි ආවෙ.

අවුරුදු විසිපහක තිහක විතර වයසෙ කොණ්ඩෙ කොටට කපාපු ගොරහැඬි පෙනුමක් තියන තරුණයෙක් දොරකඩට වෙලා බොහෝම බයාදු බැල්මකින් මාමා දිහා බලාගෙන ඉන්නව.

බොහොම හොඳයි.

ඒත් ඉතිං පුතා ආයෙම ලඟදිම අපිව බලන්න එනව නේද?

තරුණයා ලැජ්ජාවෙන් බිම බලාගෙන හිනා වෙනව.

ඒව කියන්න බෑ සර්. යන්නෙ නම් ආයෙ සර්ල ඉන්න පැත්ත බලාගෙන බත් කන්නෙ නෑ කියල. ඒත් කරුමෙ තිබුනොත් ආයෙම එන්න වෙයි සර්.

ඔව් ඔව්..මීට කලින් තුන්වතාවක් එහෙම කියලනෙ ගියේ නේද?

හ්ම්…

ආ….. ගෙදර යන්නත් සල්ලි නැතුව ඇතිනෙ. ඔහොම පොඩ්ඩක් ඉන්නකො

මාමා ගේ ඇතුලට ගිහිල්ල රුපියල් පණහක් ගෙනැත් අර තරුණයාට දුන්නා.

මම යන්නම් සර්, මම යන්නම් පොඩි සර්

ඔහු මටත් මාමාටත් කියල ගියා.

බන්ධනාගාර නිළ නිවාස අතරින් පහලට වැටිල තියෙන පාර දිගේ ඇවිදගෙන යන ඔහු දිහා බලාගෙන ඉඳපු මාමා “ඔය ගියේ වැඩි කාලෙකට නෙමෙයි, සීල් එක මැකෙන්න කලින් ආයෙම ආවත් පුදුමයක් නෑ” කියල ගේ ඇතුලට ගියා.

සීල් එක කියන්නෙ, නිදහස් වෙලායන සැම සිරකරුවෙක්ගෙම අතේ තීන්තෙන් තබනා සලකුණක්. ඒක ගොඩක් වෙලාවට වැදගත් වෙන්නෙ කුඩු උරන්නන්ට, එහෙමත් නැත්නම් සුළු හොරකම් සඳහා ප්‍රසිද්ධ පුද්ගලයන්ට. මොකද කුඩු උරන්නො එහෙම දැක්කම අඳුරගන්න පුළුවන් පොලීසියට. ගෙදර යන්නත් කලින් සැක පිට අතඩංගුවට පත් වුනොත් එහෙම සීල් එක පෙන්නල නිදහස් වෙලා යන්න පුළුවනි. හැබැයි ඒ වෙනකොට කුඩු පාවිච්චිකරල හරි පැකට් එකක් හරි තිබුනොත් සීල් එක වලංගු නැතිවෙනව.

මම ආයෙ බල බල ඉඳපු පත්තරේට ඔළුව ඔබාගත්ත. ඒත් කියවන්න හිතෙන්නෙ නෑ.අර තරුණයා පිළිබඳව උඩින් බැලුවම හිනා යන, ඒත් කල්පනා කරල බැලුවම ඔහු කුඩ්ඩෙක් වෙන්න බලපාපු එක හේතුවකුත් මගෙ හිතේ කැරකෙන්න පටන්ගත්ත.

ඉස්සෙල්ලම මම ඔහු දැක්කෙ දෙදහස් පහ වසරෙ අන්තිම කාර්තුවෙදි වෙන්න ඕනෙ. ඒ වෙනකොට මම කොළඹ ‍රැකියාවකට ඇවිල්ල නතරවෙලා උන්නෙ වැලිකඩ හිරගෙදර වැඩ කරන චූටි මාමගෙ නිළ නිවාසයේ. මේ කියන තරුණයා වැටිල හිටියෙ ගරාජ් පාටියට. මාමා යටතෙ තමයි ගැරේජ් පාටිය තිබුනෙ.

ගැරේජ් පාටිය කියන්නෙ වැලිකඩ හිරගෙදර තියෙන ගරාජ් එකේ වැඩ කරන්න ‍තෝරාගෙන ඉන්න මත්ද්‍රව්‍ය [කුඩු] වලට ඇබ්බැහි වුනු, සුළු සොරකම් සහ තවත් බරපතල ගනයේ ලා නොසැලකෙන වැරදිවලට දඬුවම් ලැබූ සුළු හෝ කාර්මික හැකියාවන් ඇති පිරිසකට.

ඔය ගැරේජ් පාටිය වගේම තවත් පාටි කිහිපයක් තියෙනව, කුස්සි පාටිය [කෑම උයන අය], කුණු පාටිය [හිරගෙදර හා නිළ නිවාසවලින් බැහැර කරන කුණු එකතුකරන අය], ලැට් පාටිය [නිතරම හිර වෙන මළාපවාහන පද්ධතිය පිරිසිඳුකරන අය], වඩු පාටිය…..

ඔය මම දන්න කිහිපයක් විතරයි, ඒ ඒ පාටි වලට කට්ටිය ‍තෝරාගන්නෙ විඳිනා දඬුවමේ බරපතල කමේ හැටියට තමයි. මොනව උනත් මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මහා පරිමාන මංකොල්ලාකෑම්, කප්පම්, මහා පරිමාන කුඩු වෙලඳාම්, වගේ දරුණු ගණයේ අපරාධ සඳහා දඬුවම් විඳිනා කිසිවෙක් මෙම පාටි වලට ඇතුල් කරන්නෙ නෑ.

ඔය පාටි අතරින් වැඩිපුරම නිදහසක් තියෙන්නෙ කුණු පාටියෙ අයට තමයි, උදේ වරුවෙම වගේ ඔවුන් කාලය ගත කරන්නෙ එලිමහනේ, නිළ නිවාසවල කුණු එකතුකරමින්. ඇතැම් වෙලාවට ඔවුන් නිළ නිවාස පරිශ්‍රයෙන් ලෙස්ලි රණගල මාවත [වනාත පාර] ට මුනුණලා ඇති ගේට්‍ටුවෙන් එලියට ගිහිල්ල නිළධාරීන්ට අවශ්‍ය දෑ එහෙමත් ගෙනැත් දෙනව.

එක දවසක මාමාට මිරිස් ඇට වගයක් කොහෙන්දෝ ලැබුන.

පාටී…. මාමා කතාකලා අර තරුණයාට

සර්……

මෙන්න මේ ඇට ටික තවාන් දාන්න ගෙයි පිටිපස්සෙ වතුර ටැංකිය ලඟ.

හා සර්.

විනාඩි දෙකක් ගියේ නෑ වැඩේ හරි කියල මිනිහ ගියා.

මේ මිනිහා මෙච්චර ඉක්මනට මේක තවාන් දැම්මෙ කොහොමද කියල මාමා ගියා ගේ පිටිපස්සට.

පුතා… මාමා ගේ පිටිපස්සෙ ඉඳලා මට කතාකලා.

මම යනකොට කුස්සියෙ පහලම පඩිය උඩ හිටගෙන අත් දෙකත් ඉනට ගහගෙන මාමා තනියම හිනාවෙනව.

මොකෝ මාමෙ?

ආං අර මනුස්සයා මිරිස් තවාන් දාපු හැටි, කියල මට අලුත පස් වහපු පොල්ක‍ටුවක් සයිස් වලක් පෙන්නුව.

ලඟට ගිහිල්ල බැලින්නම් අර මනුස්සයා එක උදලු පාරෙන් වලක් කපල ඇට සේරම ඒකට දාල පස් දාලා වහල.

ඔන්න පුතා ගොඩක් කුඩුකාරයො නිදහස් වෙලාගියාට ආයෙම අපිව බලන්න මෙහේ එන එක හේතුවක්?

මිරිස් ඇට?

ඔව්, ඔය මනුස්සයා කිරීබ්බන්ආරෙ. එහේ මිනිස්සු කරන්නෙම ගොවිතැන්. ඒත් මේ මනුස්සයා මිරිස් ඇට තවාන් දාන්න දන්නෙ නෑ. ගමම කරන මේ වගේ සරළ දෙයක් කරන්න දන්නෙ නැති මනුස්සයා ජීවත් වෙන්න හොරකම් කරන්නත්, ඊටපස්සෙ කුඩු ගහන්නත් පටන් අරන් මෙතන යාවජීව සාමාජිකයෙක් වෙන එක පුදුමයක් නෙවෙයිනෙ.

මෙහේ ඉන්න කුඩු කාරයන්ගෙන්, හොරුන්ගෙන් සීයට හැත්තෑපහක් මේ වගේ. රස්සාවක් කරන්න තරම් කිසිම දෙයක් ඉගෙනගෙන නෑ. ඒවගේම හුරු වෙච්ච ක්‍රමයෙන් මිදෙන්න උවමනාවකුත්, රාමුවෙන් පිට හිතන්න දැනුමකුත් නෑ. ඒත් නිදහස් වෙලා ගියාම උනුත් කන්න බොන්න ඕන. කන්න බොන්න හොයාගන්න උන් දන්නෙ එක ක්‍රමයයි.

ප/ලි :

වැලිකඩ ජීවත් වෙච්ච අවුරුදු තුනක කාලයේ සිරකරුවන් හා ලබපු අත්දැකීම් බොහෝමයි. මාමාගෙනුත් තවත් නිළධාරීන්ගෙනුත් ඇහිච්ච බොහෝමයක් අයගෙ කතා හිතට දුකක්, ඇහැට කඳුලක් නැ‍ඟෙන ඒවා. තවත් සමහර අයගෙ කතා හිතන්නත් බැරි තරම් දරුණු ඒවා. කොහොම උනත් සීයට අසූවක් විතර දෙනා ඒ වැරදි කරල තියෙන්නෙ විනෝදෙට නෙමෙයි. ඔබට මට දැනෙන, භීතිය, කුසගින්න, අනාරක්ෂිත භාවය, ලැජ්ජාව, වගේ ප්‍රාථමික හැඟීම් නිවැරදිව ගලපා ගන්න බැරුව.

හිරකරුවෝත් මනුෂ්‍යයෝය කියල වැලිකඩ බන්ධනාගාරයේ බේස්ලයින් තාප්පෙ ලියල තියෙන්නෙ ඒ ගැන දන්න කෙනෙක් වෙන්න ඇති.

Advertisements

35 Responses to සර්……. මම ගිහිල්ල විගහට එන්නම් – සිරකරුවෙකුගේ සමු ගැන්මක් නොවූ සමුගැනීම

  1. පූසා says:

    ඉතිං ඔයවගේ තව තව කතා බොහොමයක් දන්නවා ඇතිනේ. ඒවත් ලියමුකෝ 🙂

    කැමතියි

  2. තව කතා ටිකකුත් ලියන්න පුලුවන් නම් හොදයි.සමහර මිනිස්සු නිදහස් වෙලා ගියාට ආයෙම එන්න බලාගෙන යන්නේ. මොකද එලියට ගියාම ඒ අයව බලාගන්න කවුරුත් නෑ. ඉන්න හිටින්න තැනක් නෑ. කන්න බොන්න දෙන්න කවුරුත් නෑ. කොටින්ම තිබහට වතුර ටිකක් දෙන්නත් ඉන්නේ එහෙමත් කෙනෙක් තමා.

    පොඩි හරි වැරැද්දට හිරේ ගියාම එලියට එද්දි ගහන සීල් එක වැඩිම උනොත් මාසයක් තියෙයි. ඒත් එලියෙදි සමාජය හොරා මංකොල්ලකාරයා මිනිමරුවා කියලා ගහන සීල් එක ජීවිත කාලෙම තියෙයි. ඒ නිසා මේ මිනිස්සු ආයෙම ඇතුලට එන එක වරදක්ද ????

    කැමතියි

    • නවම් says:

      ඔව්. එහෙම අයත් සීයට විස්සක් විතර ඉන්නව වැලිකඩ. මම එහේ හිටපු කාලෙ ගෑණියි ළමයයි මරල හිරගත වෙච්ච මනුසයෙක් හිටිය. අවුරුදු පහලවකින් නිදහස් වෙලා යන්න සතියයි තිබුනෙ. බිත්තියක වද්දගෙන ඔළුව පළාගෙන බන්ධනාගාර රෝහල් ගතවෙලා උන්න ගෙදර යන්න තියන අකමැත්තට

      මධුරංග, ඒ සීල් එක අතපය සෝදනකොය දවසින් දෙකෙන් මැකිල යනව. අනික සමහර දෙනා ඒ සීල් එක පෙන්නල මිනිස්සුන්ගෙන් සල්ලි එකතුකරනව මෙන්න මෙහෙම කියල
      “මහත්තයෝ, නෝනා මම මේ හිරෙන් නිදහස් වෙලා එන ගමන්, ගෙදර යාගගන්නවත් කීයක් වත් අතේ නෑ, පුළුවන් නම් කීයක් හරි දීල යන්න” එහෙම කියල එකතු කරල ආයෙම කුඩු පැකට් එකකට ඒ ගාන දීල දානව

      කැමතියි

  3. upul says:

    ගොඩක් හොදයි දිගටම ලියන්න.

    කැමතියි

  4. අපි බොහෝ විට මතුපිටින් මේ මිනිස්සු දිහා බලලා පිළිකුල් කරනවා. ඒත් ඇතුළතින් මේ හැමෝටම මේ තත්වෙට පත්වෙන්න රුකුල් දෙන්නෙත් සමාජයම නේද.

    කැමතියි

  5. යන එකා ආයෙ එන්නැති වෙන්ඩ අද කාලෙට ගැලපෙන වෘත්තීය පුහුණුවක්වත් දුන්නොත් කොමොහ වෙයිද?

    කැමතියි

  6. Beetle says:

    ඒ කියන්නේ උඹ අවුරුදු තුනක් වැලිකඩ බෝඩින් වෙලා ඉඳලා තියෙනවා… 🙂

    බ්ලොග් එකක නිවි සැනසිල්ලේ මෙහෙම කතා කරනවා මිසක්, සැබෑ ජීවිතේදී අපි වුණත් මේ විදියට හිතනවා අඩුයි නේද… වැලේ දාල තියෙන ඩෙනිමක් උස්සන කුඩ්ඩෙක් මාට්‍ටු වුණොත් ඉස්සෙල්ලම ඌට අම්බානකට නෙළලානේ ඌ මනුස්සයෙක්ද කියලා බලන්නේ…

    කැමතියි

    • නවම් says:

      අයිත් අහල. මාත් චංඩියෙක් තමා වැලිකඩ ඉඳපු. හික්… දැනුත් සතියකට පාරක් විතර මාමයි නැන්දයි බලන්න වැලිකඩ යනව.

      කතාව සම්පූර්ණ ඇත්ත. අපි කොයි කවුරු උනත් මුලදී දක්වන ප්‍රතිචාරය එක වගේ තමයි. මුලින්ම අම්බානකට නෙළල හති වැ‍ටුනම තමයි, කියාගන්න පණක් කටක් තිබුනොත් උගෙ කතාව අහන්නෙ.

      කැමතියි

  7. Ravi says:

    මුලින්ම කියන්න ඕන සිරකරුවන් කියල කොටසක් දැන් නැහැ………….හෙහ්, හෙහ්,……. දැන් ඉන්නෙ රැඳවියන්,

    සිරගතවෙන මිනිසුන් නැවත සමාජගත කිරීමට මනා වැඩපිළිවෙලක් නොමැති කමේ අඩුපාඩුව තමයි නවම් ඔය.

    මිනිස්සු හිරෙන් නිදහස් වෙලා ගියාම ආපහු එන්නෙ කැමැත්තකින් නෙවෙයි බොහෝවිට. මම මේ කියන්නෙ හැමෝ ගැනම නෙවෙයි. කොහොමත් මිනිස්සු ගැන යමක් කියනකොට පොදුවේ කියන්ඩ බැහැ. ඒක තමයි ඇත්ත. හැම ජාතියෙම මිනිස්සු ඉන්නවනෙ.

    මම ඉස්කෝලෙ යන කාලෙ අපෙ තිබුන ව්‍යාපෘති වැඩ කියල විෂයයක්.ඒකට අපි කලේ ඔය වැලිකඩ බන්ධනාගාරෙ රැඳවියන් ගැන සමීක්ෂණයක් කරපු එක. එයාලගෙ ජීවන තොරතුරු ඒ වගේම සිරගත වෙන්ඩ හේතු ඔන්න ඔයවගෙ දේවල්. ඒ වැඩේ වැඩිකල් කරන්ඩ බැරි උනා. මොකද ඒ විෂය සම්පූර්ණයෙන් විෂය මාලාවෙන්ම අයින්කරල දාපු නිසා…….

    ඇත්තටම මගෙ බන්ධනාගාර ගත වුනු යහලුවන් කීප දෙනෙක් කියපු ඔවුන්ගෙම අත්දැකීම් අනුව අපේ බන්ධනාගාර කියන්නෙ අපරාධකරුවන් යහමඟට ගන්න ස්ථාන නෙවෙයි, හොඳ මිනිසුන් අපරාධකරුවන් කරන, ඇත්තටම නම් “අපරාධ පුහුණු පාසල්”

    කැමතියි

    • budhajeewa says:

      [said:Ravi]
      අපේ බන්ධනාගාර කියන්නෙ අපරාධකරුවන් යහමඟට ගන්න ස්ථාන නෙවෙයි, හොඳ මිනිසුන් අපරාධකරුවන් කරන, ඇත්තටම නම් “අපරාධ පුහුණු පාසල්”
      [/said]

      +1

      ආධුනිකයෙකුට තමංගෙ ක්‍ෂේත්‍රයේ ප්‍රවීණයන් සමග ඇසුරු කරමින් සාර්ථක ඉදිරි ගමනකට මනා පිටිවහලක් තනා ගන්නත්, දැවැන්ත සමාගම් වල රැකියා අවස්ථා ලබාගන්නටත් අවස්ථාව සලසන වටිනා ආයතනයක් ලෙස මෙය හඳුන්වන්නට මා මේ අවස්ථාවේදී ඉතාම ප්‍රීතිමත් වනවා.

      කැමතියි

      • Ravi says:

        හෙහ්…..හෙහ්, බුධාජීව, ඔබ හරියටම හරි,

        අපරාධයකට හුදු අහම්බයක් ලෙස සම්බන්ධවීමෙන් හෝ අන්ත දරිද්‍රතාවය නිසාම වෙන විකල්පයක් නොමැතිවූ හෙයින්ම වැරැද්දක් බව දැන දැනම අපරාධයක් කොට, බලවත් පශ්චාත්තාපයෙන් සහ සිත තුල රැඳි බියකින් යුතුව, බන්ධනාගාරයට පිවිසෙන යෞවනයා ඉන් පිටවන්නේ, අපරාධ වලට ඇති විලිබිය සම්පූර්ණයෙන්ම නැතිකරගත්, අපරාධ ක්‍රම සහ විධි පිළිබඳව හසල දැනුමක් ඇති, අපරාධ හැර වෙන ජීවන මාර්ගයක් ගැන කිසිත් නොදන්නා, වෘත්තීය අපරාධකරුවෙකුසේ ජීවිතය ඇරඹීමට නොඉවසිල්ලෙන් සිටිනා, නරුමයකු ලෙසය. ශ්‍රී ලංකා බන්ධනාගාරය හැර, මෙවන් මහඟු කාර්යයක් ඉතා කෙටි කලක් තුල සර්ව සම්පූර්ණ අයුරින් ඉටුකිරීමට සමත් වෙනත් ආයතනයක් මේ මුලු මහත් ලෝක ධාතුව තුල උදක් නැත්තේමය.

        කැමතියි

  8. ය්‍රේ මං බෝගම්බර හිරගේ ගාවින් ගියා. ඒකෙත් ලියලා තිබුනා ඔය වගේ බරපතල වාක්‍යක් මට මතක නෑ අප්පා එකේ සමහර කෑලි.

    මොනා වුනත් හිරකාරයෙක්ව එලියට දාන්න කිලං එයාලට ඉදිරි අනගාතය වෙනුවන් කරන්න පුළුවන් දේවල් ගැන මාර්ගෝපදේශනයක් දෙනඑක ඉතාම වටිනවා.

    කැමතියි

  9. මනුස්සයෙක් හැදෙන පවුල් පරිසරය තමා ඒ මනුස්සයගේ අනාගතේට බලපාන්නෙ, පවුල් පරිසරේ හොඳනම් සාටර් ලයිෆ් එකකට යන්න තියන ඉඩ කඩ අඩුයි ………

    කැමතියි

  10. Observer says:

    හිතන්න දෙයක් ලියල තියෙන්නෙ

    කැමතියි

  11. ඉතින් නවම්..! වැලිකඩ ගතකරපු ජීවිතේ ගැන තව කතා ගොඩක් ඇති නේද ඒවත් එකින් එක කියා දැම්මා නම් හොඳයි .

    නුවර හිටිය කාලේ බෝගම්බර බන්ධනාගාරේ නම් නිතරම දකිනවා උඩ පාරෙන් යද්දී රැඳවියන් එක එක වැඩ කරන හැටිත් අපි බලාන ඉන්නවා . දැන්නම් ඔය කුඩු ඊට පස්සේ ගංජා ඔවුවා හැම එකක්ම හිරේ ඇතුලට යනවා කියලා මම අහලා තියනවා . සමහර විට එවුවා කටකතා වෙන්න ඇති ..

    මම හිතනවා නවම් මේ වැලිකඩ කතා මාලාව දිගටම ගෙනියාවි කියලා ..

    කැමතියි

  12. ඔය හිරගෙවල්වලට තියන අධ්කාරියෙන් මේ යන ඈයොන්ට ආයේ නො එන්න වැඩපිළිවෙලක් හදන්න බැයිද දන්නේ නෑ.ඉස්සරනම් ඔය එක එක කර්මාන්ත වලට පුහුණු කිරිල්ලක් තිබුනා වගේ මතකයි.

    කැමතියි

  13. nihal says:

    මං ඉන්නා රටේ ජේල් එක , ප්‍රිසන් එක කියන වචන පාවිච්චි කරන්නෙ නෑ. ඒ වෙනුවට තියෙන්නේ නිවැරදි කිරිමේ ආයතන(Department of Correction). හැමෝටම ජීවත්වෙන්න ක්‍රමයක් හරි ගස්සල දෙනව නං එයාල ආයෙම ඇතුළට එන එක අඩුවෙයි.

    කැමතියි

    • නවම් says:

      මිනිස්සු ගොඩක් දෙනා හිරේට නියම වෙන්නෙ ජීවත් වෙන්න ක්‍රමයක් නැති නිසාම නෙවෙයි. මුදල් හොයන්න තියෙන ඔප්ශන් අතරෙන් වඩාත්ම නිවැරදි ක්‍රම ‍තෝරා නොගැනීමේ වරදට. හොරෙක් නිදහස් වෙලා ඇවිල්ල වඩුමඩුවක් දාගන්න තියෙන ඉඩ බොහෝම අඩුයි. ඒ ඔවුන් හිතන පතන විදියේ වැ‍රැද්ද නිසා…. ඒකට පිළියමක් කරන්න පුළුවන් නම් සහ සිරකරුවන් පිළිබඳව සමාජයේ පවතින පොදු මතය වෙනස් කරන්න පුළුවන් නම් මීට වඩා හොඳ පැත්තකට රෝදෙ කැරකෙයි.

      කැමතියි

  14. හැබැයි අර අතේ දානවයි කියන හංවඩුව නම් හොඳ එකක් නෙවෙයි.. ඔය මනුස්සයෝ ගිය ගිය තැන කොන්කිරීමට ලක් වෙන්න එක හේතුවක් වෙනවා නේද ? සමහර විටත් අපරාදයක් කරලා හිරේ ගිහින් ආ මිනිහට හොඳ මිනිහෙක් වෙන්න පුළුවන් කියල සමාජය විස්වාස කරන්න කැමති නැහැ. ඉතින් අර මිනිහව ඒ වලටම ආයිත් ඇදල දානවා.. මං හොඳ උදාහරණයක් කියන්නම් අපේ ගමේ හිටිය යකා මහත්තය කියලා කොල්ලෙක්. හොරකමට අහුවෙලා හිරේ ගියා.. ගියේ මග්ගොනයි.. ආපහු ඇවිත් බාබර් සාප්පුවක් දාගෙන හොඳට හිටිය එත් මිනිස්සු විස්වාස කලේ නැහැ මිනිහ එහෙම ඉඳියි කියල. මොකක්ද හොරකමකට මිනිහ අල්ලන් ගියා. පස්සේ ආයිත් අත්හැරිය.. ඒ මනුස්සය එක කරලා නැහැ.. නමුත් අපහු ආවට පස්සේ අර බාබර් සාප්පුව දාපු තැනට පැනල එකේ තිබ්බ ඔක්කොම බඩු කවූරුහරි අරන් ගිහින් කියල දැනගන්න ලැබුන. ඊට පස්සේ මිනිහ ගියා යන්න.. කොහේ ගියාද දන්නේ නැහැ.. නමුත් මිනිස්සු කිවුවේ වෙන පළාතක ඉඳන් හොරකම් කරනවා ඇති කියල..

    කැමතියි

  15. නවම් says:

    හිරෙන් නිදහස් වෙලා යන හැම කෙනෙක්ටම ඒ සීල් එක ගහනවද කියලනම් මම දන්නෙ නෑ. ඒත් කුඩු පාවිච්චි කරල දඬුවම් විඳල නිදහස් වෙලා යන අයටනම් ඒ සීල් එක අතේ මැනික් ක‍ටුවත් වැලමිටත් අතරේ ඇතුල් පැත්තෙ ගහනව. සාමාන්‍ය සීල් එකක් වගේ නිසා දවසකින් විතර වතුරට, දාඩියට මැකිල යන එකක් ඒක.

    ඒක ගහනව කියන්නෙ, කුඩු උරන්නො වගේ ලේසියෙන් පොලීසියට හඳුන ගන්න පුළුවන් අයව සැකපිට හෝ එදිනම අතඩංගුවට පත්වීම වැලැක්වීම සඳහායි. කොහොම උනත් සමහර කුඩු උරන්නෝ ඒ සීල් එක පෙන්නලත් මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරනව “මේ හිරෙන් නිදහස් වෙලා එනගනම්, ගෙදර යාගන්නවත් සල්ලි නෑ” කියල. හැබැයි ගොඩක් වෙලාවට ඒ ආයෙමත් කුඩු උරන්න.

    ලංකාවෙ අපේ මනස හැඩගැහිල තියෙන්නෙ සිදු වෙච්ච වරදක් අමතක නොකරන්නත්, හොඳක් අමතක කරන්නත් නිසා, හිරෙන් නිදහස් වෙලා එන අය ගැන පොදු සමාජයේ දැන් තියෙන ආකල්පය වෙනස් වෙන්න තවත් ගොඩක් කල් යයි. ඒ දේවල් ක්‍රමක්‍රමයෙන් මිසක් බලහත්කාරයෙන් ඇතිකරන්න බෑ නෙ.

    කැමතියි

  16. manik says:

    “වැලිකඩ හිරගෙදර වැඩ කරන චූටි මාමගෙ නිළ නිවාසයේ”. අපේ චූටි මාමා නෙවෙයිනේ. මමත් වැලිකඩ අයගෙ දුක් බර කතා අහල තියනවා. ඒ කතා වලින් එක දෙකක් ලියල ඇති.
    මැණික්

    කැමතියි

  17. Kathandara says:

    සිරකරුවා ගේ බ්ලොග් එකේ ආදර්ශ පාඨයත් සිරකරවෝත් මනුශ්‍යයෝය කියන එකයි.

    කැමතියි

  18. හිරකරුවෝත් මනුෂ්‍යයෝය කියල වැලිකඩ බන්ධනාගාරයේ බේස්ලයින් තාප්පෙ ලියල තියෙන්නෙ ඒ ගැන දන්න කෙනෙක් වෙන්න ඇති.

    ඔන්න වැඩේ……….. මට මතක විදිහට ඔය වාක්‍යයේ අල් තයන්න හැලිලා තමයි බන්ධනාගාර තාප්පේ ලියැවිලා තියෙන්නේ………………

    හිරකරුවෝ මනුෂ්‍යයෝය

    ඒ කියන්නේ අනිත් මනුෂ්‍යයෝ අමනුෂ්‍යයෝ ය කියලා වෙන්න බැරිද? 🙂

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: