ඇයි බං උඹ හැමදේකටම ඉක්මන් උනේ……….

මේ කතාව මට ලියන්න ලොකු උවමනාවක් තිබුනත් පහුගිය මාසෙක තිබුන වාර්ශික දානෙ උණුහුම පහවෙනකන් ඉවසාගෙන හිටිය. ඒ දවස් වලම ලිව්වනම් සමහර විට සමහර අයගෙ හිත් රිදවීම් වැඩි වෙන්න ඉඩ තිබුන.

නෑ නෑ.. මේ කතාව බ්ලොග් ලියන කිසිවෙක් හා සම්බන්ධ එකක් නෙමේ.

මේක අදින් අවුරුදු හතරකට විතර ඉස්සර මම සහ මගේ පාසැල් මිතුරන් හැමෝම වගේ කම්පනයට පත්කරපු සිද්ධියක්.

මේ චරිතයට අපි අන්වර්ථ නාමයක් දෙමු සාගර වීරංසිංහ කියල.

පාසැලේ අ.පො.ස සාමාන්‍ය පෙළ කරද්දි එකටම හිටියත් උසස් පෙළ කරද්දි වෙනස් විෂය ධාරාවන් ‍තෝරාගනිපු නිසා සාගරගෙයි මගෙයි ආශ්‍රය පොඩ්ඩක් විතර දුරස් උනා. ඒත් කොහේදි දැක්කත් “මචං” කියල කතාකරන්න අමතක කලේ නෑ.

උසස් පෙළින් පස්සෙ සාගර අගනුවර ප්‍රසිද්ධ සමාගමක මෙඩි රෙප් කෙනෙක් උනා. මගෙ මතකයෙ හැටියට ඔහු තමයි අපේ උසස් පෙළ කණ්ඩායමෙන් මුලින්ම ‍රැකියාවකට ගියේ. අපි විවිධ වෘතීය පාඨමාලා හදාරන අතරෙ සාගර බොහෝම ආඩම්බරයකින් සති අන්තයේ මෝටර් රථයකින් නිවාඩුවට ගෙදර එනව මට තවමත් මතකයි. සමහර විට ෆුට් බයිසිකල් වලින් ටවුන් එක පුරාම කරක් ගහන අපිට හෝන් නාදයකින් විතරක් ආචාර කරගෙන පියාඹලා ගියේ ඒ වෙනකොට ඔහු කලේ අපිට සාපේක්ෂව ලොකු ‍රැකියාවක් නිසා වෙන්න ඇති.

කාලයක් යනකොය ඉබේම අමතක වෙලා ගියපු සාගර, හදිස්සියේ විවාහවීමේ ආරංචියකුත් එක්ක ආයෙම අපේ මතකයට ආවා. ඒ වෙනකොටත් අපි සමහරක් ක්ලාස් යනව, සමහර අය කැම්පස් යනව. තවත් සමහර අය ක්ලාස් ඇරිල කෙල්ලො එනකන් බස් හෝල්ට් වල කට්ට කනව. කසාදයක් ගැන හීනෙන් මිසක් හිතල නෑ.

කොහොම හරි අපිට ආරංචි වෙනව සාගරගෙ ෆීල්ඩ් ඒරියා එක වෙච්ච නුවර පලාතෙ මිනිහා නැවතිලා ඉඳපු ගෙදර ගෑණු ළමය තමයි මේ විවාහකරගෙන තියෙන්නෙ කියල. තවත් කාලෙකට පස්සෙ ආරංචි වෙනව ඔහුට බලෙන්ම තමයි ගෑණු ළමයගෙ පැත්තෙන්න් මේ විවාහය කරල දීල තියෙන්නෙ කියලත්.

සාගරගෙ තාත්ත අපේ තාත්තත් එක්ක එකම ආයතනයේ ‍රැකියාව කරල පසුව ලෝයර් කෙනෙක් උන කෙනෙක්. ඔහු නගරයේ යම් තරමක ප්‍රසිද්ධ චරිතයක්. ඔහුට මේ සිද්ධිය ලොකු ගැස්මක් ඇතිකරපු දෙයක් නිසාත් ලැජ්ජාව හා කේන්තිය නිසාත් සාගරව පවුලෙන් ඈත්කරල තිබුනෙ. ඒත් සාගරට ඒක එච්චර දෙයක් නොවුනේ ඔහු ‍රැකියාව කලේ  අග නුවර නිසා. ඒත් හදිස්සියේම ඔහුට ආයතනයෙන් ‍රැකියා ස්ථාන මාරුවක් ලැබෙනව වෙනත් පළාතකට. ඒ වෙනකොට සාගර තාත්ත කෙනෙක් වෙන්න ඔන්න මෙන්න. මේ වෙලාවෙ දෙමාපියන් පිහිට නොවුනත් ඔහුගේ ජේෂ්ථ පාසැල් මිතුරෙක් ඉදිරිපත්වෙනව තම නිවසේ ඇනෙක්සියක් ඔවුන් දෙදෙනාට දෙන්න. අපි ඔහුට සමන්ත කියමු.

දවසක් මම ක්ලාස් ඇරිලා ගෙදර එනකොට මම සාගර දකිනව අපේ හන්දියේ තියන වලං කඩේට වෙලා සිංහල අවුරුද්දට කිරිඋතුවරන්න හිල් නැති මුට්ටියක් ‍තෝරන්ව. ඊට පොඩ්ඩක් ඉස්සරහ නවත්තපු කාර් එකට හේත්තුවෙලා ඔහුගේ ගැබ්බර බිරිඳ බලාගෙන ඉන්නව. මම ඉස්සර පුරුද්දට “හා මචං කිරි උතුරවන්න වගේ” කියල ඇහැව්වා. මිනිහා මගේ දිහා දමපු අමුතු බැල්ම නතර උනේ මගේ අතේ තිබුන පොත් ටිකේ. ආපහු ඒ ඇස් නතර උනේ කාර් එකට හේත්තු වෙලා ඉඳපු බිරිඳ ලඟ. “

මම යන්නම් මචං…..

ඊට වඩා අඩුත් නෑ වැඩිත් නෑ. හරියටම ඒ වචන ටික ව්තරයි. වලඳත් කඩේම තියල සාගර බිරිඳත් එක්ක පිටත් උනා.. මම උනේ මොකද කියල හිතාගන්න බැරුව  ඈත යන කර් එක දිහා පොඩ්ඩක්වෙලා බලගන ඉඳල ගෙදර ආව.

මට උනා වගේ සිද්ධි කිහිපයක් තවත් යාළුවො කීපදෙනක්ටත් සිදුවෙච්ච සිද්ධි නිසා සාගර “මුල අමතක කරපු එකෙක්” කියල අපි මනුස්සයාව අමතක කරල දැම්ම.

ඔය වෙනකොට සාගර තාත්තා කෙනෙක් වෙලා හිටපු නිසා සාගරගෙ තාත්ත ඔවුන්ගේ නිවසටම තවත් කොටසක් එකතුකරල සාගරටයි බිරින්දටයි දරුවාටයි ඒකෙ ඉඩ දුන්න. ඒත් ඉස්සර තරම් ලෙංගතු කමක් නෑ. හරියට කුලියට ඉන්න වෙනම පවුලක් වගේ තමයි සාගරගෙ පවුල ඒ ගෙදර ජීවත් උනේ. තාත්තගෙන් නැති සොයා බැලීම්, උදව් පදව් සේරටම වගේම යාළුවටත් ලඟින් හිටියෙ මුලින්ම තමන්ගෙ ඇනෙක්ස් එක දීපු සමන්ත.

ඔහු ඒ වෙනකොට මේ පවුලේ ගොඩක් කිට්‍ටු සාමාජිකයෙක් වෙලා හිටියේ. කොච්චර කිට්‍ටුද කියතොත් දෙවෙනි ළමයා ලැබෙන්න ඉන්න බිරිඳට හදිස්සියක් උනොත් ‍රැකියාව කරන ප්‍රදේශයේ දුර බැහැර නිසාම නිතර ගෙදර එන්න වෙනෙ නැති සාගර ඒ රාජකාරියත් බාර දීල තිබුනෙත් සමන්තටමයි.

මේ කාලෙ වෙනකොට මම ‍රැකියාවකට කොළඹ ඇවිල්ල. ඒක නිසා සාගර ගැන අමතක වෙලා තිබුනෙ.

මචං… මට ගමේ යාළුවෙකුගෙන් කෝල් එකක්.

ඇයි මචං?

සාගර බෙල්ලෙ වැල දාගෙන මැරිල මචං.

+++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

සමන්ත සාගරගෙ බිරිඳ හොඳට බලාගන්න ලේසියි කියල මිනිහගෙ ගෙදර එක්කෙගන ගිහිල්ල.

හම්බුවෙන්න ඉන්න දෙවෙනි ළමය සාගරගෙ නෙමෙයි ලු.

තමන්ගෙ ජීවිතේ ප්‍රශ්ණ කතාකරන්න, හීතේ තියන ආවේග පිට කරගන්න අම්ම තාත්ත, යාළුවෙක්, නෑදෑයෙක් නැති සාගර උත්තර හොයාගෙන තිබුනෙ ගෙදර කුස්සියෙ බාල්කෙ ගැටගහපු තොණ්ඩුවකින්.

ප/ලි :

මචං සාගර අපි උඹව තනි කලේ නෑ බං. උඹයි අපි හැමෝගෙන්ම ඈත් වෙලා තනියම උඹෙ ලෝකෙ ගොඩනගාගන්න ගියේ. ඒකයි බං උඹේ ලෝකෙ කඩාගෙන වැ‍ටුන වෙලාවෙ උඹ අසරණ උනේ. උඹ කලින් රසාවක් හොයාගත්තු එක, කාර් එකක් ගත්තු එක, කසාදයක් බැන්ද එක, තාත්ත කෙනෙක් වෙච්ච එක නෙමෙයි බං උඹයි අපියි ඈත් කලේ. උඹේ හිතේ තිබිච්ච හීනමානෙ මචං. උඹ අපිත් එක්ක හිටියනං අදටත් අපිට හිනාවෙලා කතාකරන්න තිබුන, මයෙ පොඩි එකාට උඹෙ පොඩි එකා එක්ක සෙල්ලං කරන්න තිබුන. ජීවිතයේ සෑම දෙයකටම සුදුසු කාලයක් තියනව, ඇයි බං උඹ හැමදේකටම ඉක්මන් උනේ…..

මේක කියවන ඔයාල හැමෝටම ඇති කාලෙකින් කතා නොකරපු යාළුවො. එයාල කතා නොකලට කමක් නෑ ඉඩක් තියෙන වෙලාවක දුරකතන ඇමතුමක් දීල විස්තර කතාකරන්න.

සමහරවිට ජීවිතයක් බේරගන්න පුළුවන් වෙයි !

Advertisements

38 Responses to ඇයි බං උඹ හැමදේකටම ඉක්මන් උනේ……….

  1. පූසා says:

    හ්ම්ම්ම්ම්ම්ම්…..
    අනේ මන්දා……….

    කැමතියි

  2. මිනිස්සු නිකන් සැක කරලා අන්තිමේ ලොකු විනාසයක් කරගන්නවා. පව් සාගර අයියා!!!! දරු දෙන්නෙක් එක්ක ඒ අක්කා තනි උනා !!!

    කැමතියි

  3. deeps says:

    හ්ම්ම්..මගෙත් යාලුවෝ ඉන්නවා ගොඩ කාලෙකින් කතා කලේ නැති අය. කතා කරන්න ඕනේ….

    කැමතියි

  4. සිරාවටම සිරා කථාවක්…..ඇත්තටම දුක හිතෙනවා බන්..

    කැමතියි

  5. ඒත් අයියා ඉස්සර හුඟක්ම ලඟින් හිටපු යාලුවොන්ගෙ යාලු කමත් මගදි හම්බුනාම වචනෙකට දෙකකට සීමා වෙන්න තරමටම ඈත් වෙලා. උන්ගෙ ප්‍රේම සම්බන්ධකම් වලට අපි උදව් කරේ ගෙවල් වලින් බැනුනුත් අහගෙන. උන් තරහ උනාම යාලුවො එකතු වෙලයි ජෝඩුව යාලු කරවන්නෙ. අන්තිමට උන්ගෙ වෙඩින් එකවත් අපිට නොකියන ගානට අපි දුරස් වෙලා. කෝල් කරත් කෝල් කරන්නෙ වැඩක් කරගන්න විතරයි. අපේ වැරැද්දද මේ සමාජ ක්‍රයේ වැරැද්දද කියල හිතාගන්න බෑ. මොනා උනත් ඉස්සරට වඩා දැන් මිනිස්සු මනුස්සකම් වලින් හරිම දුරස්.

    කැමතියි

  6. Observer says:

    ලඟදි කාලෙකින් කතා කොකළ යාළුවො දෙන්නෙකුට කතා කලා, මේ පෝස්ට් එක කියෙව්වට පස්සෙ තව කතා කරන්න ඕනෙ කීප දෙනෙක්ම ඉන්නව කියල මතක් වුනා.

    කැමතියි

  7. දුකා says:

    අයියෝ . . ඇඟ හිටි වැටුනා කියවලා ඉවර උනාම . .

    ඇත්ත තමයි බන් . . සමහර උන් අපෙන් ඈත් වෙලා යනවා . . .

    ඒත් අපි උන්නු තැනම ඉඳගෙන උන්ගේ මිත්‍රත්වයට දෑත පාන්න ලෑස්තියි . . .

    උන්ට ලැජ්ජයි අමතක කරපු නොසලකා හැරපු අපි ලඟට එන්න . .

    අපිත් ඉන්නවනේ මචං උඹලට එපා නම් අපිට මොකෝ කියලා . .

    ඒත් මේක කියෙව්වට පස්සේ හිතුනා අපි ඒ නොසලකා හැරීම් අමතක කරලා උන්ට පෙන්න්න ඕන කියලා හිතුවා අපි එදා වගේමයි කියලා . .

    ඌට නිවන්සුව අත්වෙවා . . .

    කැමතියි

  8. Kathandara says:

    අපිට තියෙන ලොකුම අඩුව තමයි පුද්ගලික මානසික ප්‍රශ්ණවලට විසදුම් හොයා ගන්න විදියක් නැති එක.
    අන්තිමේ දී පලා යනවා!

    කැමතියි

  9. ChammA says:

    හ්ම්ම්ම්ම්…පවු අර අසරණ දරු පවුල…කාලෙකින් කතා කරන්න බැරි උන යාලුවෝ කිහිප දෙනකම ඉන්නවා..එයාලට කතා කරන්න ඕන..නැතනම් පස්සේ පසුතැවිලි වෙන්න වෙයි……

    කැමතියි

  10. මටත් ඔය සමාන දෙවල් වෙලා තියනවා. ඒ කාලේ 88-89 භීෂණය. ඉතිං අපි අපේ ජීවිත බේර ගන්න ලොකු වෙහෙසක් දැරුවා. විශේෂයෙන්ම ඒ වෙනකොට කැම්පස් යන ගමන් නිසා තත්වය තවත් භ්‍යානක වුනා. මේ වෙත්දි අපේ සමහර් යාළුවෝ රැකියා කරනවා. මේ සමහර අයට ඒ කාලේ අපිව පෙනුනේ මහා වරදක් කරලා හැංගිලා ඉන්න අය වගෙයි. දැන් නම් මේ අය අපිට හරියට සලකනවා දැක්ක තැන. ලෝකෙ එහෙම තමයි. අපි කිසි දෙකින් සැලෙන්න හොඳ නැහැ මල්ලි.
    ජය!!!

    කැමතියි

  11. නවම් අයියා අන්තිමට කියපු ටික නම් ඇත්ත. ඇත්තටම යාළුවෙක්ව උනත් විශ්වාස කලයුතු මට්ටමක් තියෙනවා. ඒක සීමාව ඉක්මවා ගියාම සොරි තමා. ඒ වගේම අර යාළුවෙකුගේ සැප දුක හොයා බලන එකත් නියමයි. අපේ උං​ට කතා කලොත්… ලබන සතියේ සෙනසුරාදා සෙට් වෙමු. බෝතල් ටික මගේ ගානේ… බලහං ඉතිං අපේ එවුං කොච්චර සතුටින් ඉන්නවද කියලා….

    කැමතියි

  12. අක්කත් හරි වැඩ කාරියෙක් තමා. තාත්තලාගේත් වැරද්ද.
    ඔය යාලුවෝ කියන්නේ හැම තිස්සෙම කතාකරන්න පුලුවන් වුන් නෙමේ. එහෙමනම් ඉතින් වෙන වැඩක් නැතිවෙයි. ඒත් ඉතින් හම්බෙච්ච හැම වෙලාවෙම මාර ෆන් එකෙන් තමා ඉන්න ඕනේ. අපේ උන්ට කතා නොකලත් කතා කරන ඕන වෙලාවක උන් අපිත් එක්ක, අන්න ඒකටයි යාලු කම කියන්නේ.

    කැමතියි

  13. roshanherath says:

    ඒ වුනාට අපි දැකලා තියෙනවා ගොඩක් වෙලාවට විහින් විනාශ වෙන්න යන අයව බේරන්න අපි යනකොට ඒ අයගේ ගෑනු ළමයි අපිව ඒ යාලුවන්ගෙන් ඈත් කරනවා. වලේ වැටෙන එකාට වලෙන් ගොඩඑන්න දෙන් නැතිව අපිටවත් යාලුවාව ගොඩගන්න අවස්ථාවක් නොදෙන තත්වයකට මේ දවස්වල මම මූනදීලා ඉන්නෙ. කෙල්ල බලන්නෙ දවස තිස්සෙම මල් කඩ කඩ ඉන්න මිසක් දෙන්නාගෙම අනාගතය ගොඩනංවාගන්න නෙවෙයි.

    කැමතියි

  14. හොඳ කතාව. ඒත් කියවන්න හිතෙන්නෙ නෑ. මොකද දන්නවද ? මම මීට කලිනුත් කියල ඇති. අපේ වයස ගැන සලකලවත් ෆොන්ට් සයිස් එක නූල් එක හමාරකින් විතර ලොකු කරන්න කියල. නැත්නම් අපරාදෙ රසවත් දෙයක් කියවන්න තියෙන චාන්ස් එක අහිමි කරනව.

    කැමතියි

  15. ජීවිතේම එකියක් වෙනුවෙන් වෙන් කරලා .. උපන්දා ඉඳන් දන්න අඳුනන එවුන්වත් අත ඇරලා . තීරණයක් ගත්ත මනුස්සයාට . ආයේ අඩිය පස්සට තියන්න පුලුවන්ද ? . කතාව කියවලා බොක්ක කූල් වෙලා ගියා .

    මටත් ඉතින් කරන්න පුලුවන් සාගරට නිවන් සුව පතන එක විතරමයි ..

    කැමතියි

  16. arunishapiro says:

    ඔතන නවම් මල්ලී හීනමානේ කියලා බෝඩ් ගහන්න එපා සාගරට. ඊට වඩා ලොකු ප්‍රශ්න සමූහයක් තියෙන්නත් ඇති එයාට කාටවත් කියන්න බැරි විදියෙ. අපි ඒවා දන්නෙ නෑනේ. කොච්චර යාළු වුනත් හිත් ඇතුලේ අනේක සිත් පීඩා තියාගන ඉන්න අය, පිටතින් හිනා වෙලා ඇතුලතින් දුක් විඳින අය ගොඩක් ඉන්නවා. දුක එයාලා අපිත් එක්ක බෙදා ගන්නවා නම් අපි කැමති වුනාට ඒ ගැන එයාල වටහා නොගන්නා කම. එයාලව වෙනස් කරන්න බැහැ. ඔවුන් යාළුවන් වෙතින් අයින් වෙන්නෙ ඇතුලතින් විඳින වේදනාව දකියි කියන බයට. දුක දැන ගනියි කියලා යාළුවෝ වෙතින් ඈත්වෙලා, තනිවෙලා අන්තිමේ දී මෙතෙක් සිත් පීඩා විඳි ලැජ්ජාව නිසාම දිවිනසා ගැනීම තමන්ට ඇති එකම තෝරා ගැනීම යැයි සිතනවා.

    කැමතියි

  17. දුමී says:

    නවම් මල්ලි, කතාව සිරාවටම හිතට වැදුනා බං. උඹ කිව්වහම තමයි අපිටත් ඔය විදිහේ යාළුවෝ ඉන්නවා නේද කියලා හිතුනේ.

    මොනව උනත් උතේ තියෙන ඕන දෙයක් කියා ගන්න, විශ්වාසවන්ත යාළුවො ගොඩක් අපි වටේ ඉන්නවා කියන්නෙ ලොකුම ලොකු වාසනාවක්. අපේ දරුවන්ට උනත් අපි යාළුවො විදිහට කිට්ටු වෙන්න පුළුවන්නම්, ඒ ගොල්ලො හිතේ තියාගෙන ඉන්න හදන ප්‍රශ්න වලට අපිට හොඳ විසඳුම් දෙන්න පුළුවං වේවි.

    කැමතියි

  18. Beetle says:

    සාගර බ්ලොග් ලිව්වනම්… බස් පැද්දානම්… අඩුම ගානේ මූණු පොතේ වත් හිටියනම්…?

    ජෝක් නෙමෙයි…

    කැමතියි

  19. ~ChAnDiKa~~ says:

    හදිසිය නිසා ජීවිතයක් විනාස වුනා එහෙනම්!!!!

    කැමතියි

  20. මගේ යාලුවෙකුත් ගිය ඉරිදා නෝඑන ගමන් ගියා!මේ වගෙම මෝඩ කමක් කරගෙන!කොහෙවත් යන මෝඩ කෙල්ලෙක් නිසා! කියවලා බලන්න

    http://sabithl.blogspot.com/2011/07/blog-post.html

    කැමතියි

  21. මොන හේතුවකට මන්දා ඉස්කෝලෙ යන කාලේ තිබුන සම්බන්දකම් කාලයත් එක්ක නැති වෙලා යනවා, අන්තිමට ඉතුරු වෙන්නෙ තමන්ට තමන් විතරයි …………..

    කැමතියි

  22. මේව මෙහම වෙන්නෙ මානය නිසාම තමා ..කෙහෙල් ගහක් උනත් නියම කාලෙට කලින් පූදින කොට් වඳ බැහැල කියනවනෙ . කොහොම උනත් යාළුවො ගැන , නැතිවෙච්ච යාලුවො ගැන මටත් ටිකක් හිතල බලන්න හිතුන ..මට කියන්න තියෙන්නෙ උඹ ජීවත් වීමේ කලාව දන්නව කියල විතරයි ..

    කැමතියි

  23. kubuwi says:

    මචන් මේක බෙන්තර ගඟෙන් එහා පැත්තෙ වුනු දෙයක්ද?මටත් ඔහොම කතාවක මතකයක් තියෙනවා.මගේ අයිය කෙනෙක්ගේ හොඳම යාලුවෙක්.

    කැමතියි

  24. ratak vatina eka says:

    thank you vewa nawam.. mama scene eka dana gena hitiyata.. mokada une kiyala dana gena hitiye na… dan thamai dana gaththe……..ඌට නිවන්සුව අත්වෙවා . . .

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: