කිසිවෙකුට සැමදාටම කිසිවකගෙන් සැඟවී සිටිය නොහැක – සිර මැදිරියේ මරණය.


මේ කතාවෙ තියන සිද්ධිය සිදුවුනේ මීට අවුරුදු හය හතකට කලින්. ඒ වෙනකොට මම ක‍ටුනායක කරපු ‍රැකියාව අතහැරල ගෙදර ඇවිල්ල පරිගණක පාඨමාලාවක් කරන කාලෙ. හැමදාටම ක්ලාස් නැති නිසා මගේ දුරින් නෑදෑ වෙන සොහොයුරෙක්ගෙ කර්යාලයේ ඩේටා එන්ට්‍රි පාට් ටයිම් ජොබ් එකකුත් කරනව. පඩිය රුපියල් දෙදාහයි. ක්ලාස් යන බස් ගාස්තුවටයි ගෝල්ඩ් ලීෆ් එකයි ප්ලේන්ටියකටයි ඒ ගාන ශේප්. අනික ගෙදරිනුත් බොහෝම කැමති උනා මම එහෙම හරි ගෙදරින් පිටවෙලා සමාජගත වෙලා ඉන්න එක ගැන. සමහර වෙලාවට අම්මයි තාත්තයි බයවෙන්න ඇති මම ආයෙම ඉස්සර වගේ අයාලේ යයි කියල. හරි දැං පඳුර වටේට තඩිබෑව ඇති, දැං ඔන්න හාවට නෙළන්නයි සූදානම.

වෙනද වගේම මම චේම්බර් ඔෆ් කොමර්ස් එකේ මගේ නෑදෑ සොහොයුරාගේ කාර්‍යාලයට ගිහිල්ල සුපුරුදු විදියට වැඩේ කරගන ඉන්නව. කිසිම වෙනසක් නැතුව. එකපාරටම ෆයර් එලාම් එකක සද්දෙට ඔ‍ෆිස් එකේ හැමෝම ඔළුව ඔබාගෙන උන්නු මොනිටර් වලින් ඔළුව උස්සල බැළුව. රිසෙප්ශන් අක්ක දුවගෙන ඇවිල්ල කියාපි

“එල්. බී ‍ෆිනෑන්ස් එක මකොල්ලා කාලා” කියල..

ඒ කිව්වා විතරයි අපි සේරම මේස පු‍ටු පෙල්ලගෙන ඔ‍ෆිස් එකෙන් එලියට දුවගෙන ආව මහා කලබලයක් බලන්න. ඇයි ‍ෆිල්ම්ස් වල තියෙන්නෙ ප්‍රාණ ඇපකාරයො එහෙම තියාගෙන.

ඒත් මොන, මේලෝකෙ කලබලයක් නෑ, වෙනදා වගේම මිනිස්සු පාරෙ යනව, බස් යනව.

මේකිගෙ බොරුද කොහේද.

අපි රිසෙප්ශන් අක්කට බනිනවා.

නෑ නෑ ඇත්තටම මංකොලා කාලා. මට ඇහුනා ඒකේ සෙක්‍යුරුටි අංකල් ජනේලෙන් පැනල කෑගහනව.

අපි තව පොඩ්ඩක් ලඟට ගිහිල්ල බැළුවා. තඩි වීදුරු ජනේලයක් බිඳිල. ඇතුලෙ ඉන්න අය බිරං තට්‍ටුවෙලා බලාගෙන ඉන්නව.

විස්තරේ හැටියට තුන් හතරදෙනෙක් සාමාන්‍ය ව්දියට රත්තරං බඩු උකස් කරන්න වගේ ඇතුලට ඇවිත් තුවක්කුවක් පෙන්නල එතන උන්නු එකම ගාඩ්ව බිත්ති කණුවකට තියල ගැටගහල, දොරවල් ලොක් කරල, මැනේජර්ට කියල සේප්පු ඇරවගෙන ඒවයෙ තුබුන රත්තරං බඩු සේරම ගෝණි වල පුරවගෙන, උන් ලොක් කරපු දොර ආයෙම ඇරගන්න බැරුව ජනේලයක් බිඳගෙන ආපු ත්‍රීවීල් එකේම නැගල ගිහිල්ල.

එච්චරයි !

එතනින් එහාටයි මෙහාටයි උනේ මොකක්ද කියල කවුරුවත් දන්නෙ නෑ. අඩුම ගානෙ පොලීසියවත්.

ඊට සති දෙකකට විතර පස්සෙ ඔන්න ආරංචියක් එනව දංගෙදර පැත්තෙද කොහෙද ඉඳල සැකපිට මනුස්සයෙක්ව පොලීසියෙන් අල්ලල කියල. අපි ඉතිං අනේ හොඳයි කියල අපේ වැඩක් බලාගන්න හදනකොටම…

මෙන්න බොලේ පොලීසියෙන් පැනපි අපේ ඔසිස් එකට.

කවුද අර කිව්ව කෙනා… පොලීසියෙ තරු පටි තියන නිළධාරියෙක් මගෙ නැදෑ සහෝදරයාගෙන් අහනව.

මේ.. අර ඉන්නෙ අතන කෙළවරේ මේසෙ…. මේ යෝදයා මාව ඇඟිල්ල දික් කරල පෙන්නුව.

බඩුම තමයි. පොලීසියෙන් එන්නෙ මොකටෙයි මාව හොයාගෙන. ඇයි මම අහවල් වැ‍රැද්දක් කරලැයි. මට දැං තුං මුනිං දාඩිය දානව. ඒ මදිවට ඇඟම කසනව බයට.

මගේ ලඟටම ආපු ඒ නිළධාරියා ආපහු හැරිල අයියගෙන් අහනව “ඔයාට ෂුවර්ද මෙයා වැඩේ දන්නවද කියල” කියලා අහපි.

බුදුඅම්මෝ… මේ අහවල් ගිණිගඩියක්ද පාත්වෙන්න යන්නෙ..

ඒක අහපු අපෙ අයියත් ගත් කටටම කියාපි “ඕව් ඔව්.. මිනිහ ඔය වැඩ වලට දක්ෂයා මාත් මිනිහට කියල පොඩි වැඩ දෙක තුනක් කරගෙන තියනව”

ඉතිං මොකේදැයි දං වළඳන්නේ මූත් මෙහෙම කියනකොට. ඉස්සර අපි දෙන්නත් එක්ක එකතුවෙලා ලොකු සීයගෙ කෝට් සාක්කුවට බැහිල්ලෙන් එහාට කිරිමේල් වැඩක් කරලම නෑ කියල මට හොඳටම ෂුවර්.. ඒත් යකෝ ඒව පොලීසි යන වැඩෙයි…

හුහ්… කොලත් කියයි මං….

ඇයි පුතා බයවෙලා වගේ…. ?

න් න් නෑ.. ස…ර්.. ඇයි?

අයියා කිව්ව පුතා කොම්පියුටර් වැඩවලට දස්සය කියල. මේ අපිට බොහොම පෞද්ගලික වැඩක් කරගන්න තියනව.

ඕං මට දැනුයි ඔළුවට උඩින් හයිකරල තියෙන ඒ/සී එකේ හීතල ඇඟට දැනෙන්න පටන්ගත්තෙ.

මොකක්ද සර්?

මෙන්න මේ පින්තූරෙ ඉන්න අනිත් ගෑණු ළමයි දෙන්න අහක් කරල මේ ළමය විතරක් අරගෙන දෙන්න පුළුවන්ද පුතා?

පාසැල් නිළ ඇඳුමෙන් ඉන්න ගෑණු ළමයි තුන්දෙනෙක් කොහේහරි ට්‍රිප් එකක් ගියපු වෙලාවකද කොහේද ගල් තලාවක් උඩ වාඩිවෙලා ඉන්න පිංතූරයක් මට දීල ඇහැව්ව.

ෆොටෝෂොප් නම් ඉතිං මට මොනවද.. අනික බැරි උනත් ඇහුවෙ පොලීසියෙන් නෙව. එතකොට ඉතිං බැරි වැඩත් පුළුවන් වෙනවනේ.

හරි සර් පුළුවන් පැයක් දෙන්නකො.

හරි පුතා, වැඩේ අහවර කරල අයියට කියන්නකො. කියල එයා ගියා.

ඔ‍ෆිස් එකේ එවුන් කන්න වගේ මගේ දිහා බලාන ඉන්නව. ඇයි පොලීසියෙන් ආවට මාව කුදලං ගියේ නෑ නෙව. ඕං දෙකක් තුනක් ඇනල ජීප් එකේ දාගෙන ගියානං උන්ට හරි.

මාත් ඉතිං අයියගෙ වැඩ පැත්තක දාල පින්තූරෙ එහෙම ස්කෑන් කරල පොලීසියෙ වැඩේට බැස්සා. ටික වෙලාවකින් අයියත් පු‍ටුවක් ඇදං මගේ පැත්තකින් වාඩි උනා.

ඒ බං අයියෙ..

හ්ම්..

කවුද මේ හැඩ කෙල්ල. අර ආපු බුවාගෙ දූ ද?

නෑ බං. උඹට මතකයිද පහුගිය දවසක අර මංකොල්ලෙට සැකපිට එකෙක්ව ඇල්ලුව කියල ආපු ආරංච්ය.

ඕව්.. ඒත් ඉතිං ඒකෙයි මේකිගෙයි සම්භන්දෙ මොකක්ද?

මේ උගෙ ගෑණි බං.

අප්පටසිරි. ඈ ඕයි. එහෙනං ඌ දෙපාරක් හිරේ දාන්න එපැයි.

දෙපාරක්… අර අහවල් දේකටෙයි?

බැංකු මංකොල්ල කෑවයි බාල අපරාධ කළාටයි.

බාල අපරාධයක් නං මම දන්නෙ නෑ. ඒත් ඌට දෙපාරක් හිරේ නං යන්න වෙයි..

ඒ කිව්වෙ?

මංකොල්ලෙටයි මිනී මැරුමකටයි.

මංකොල්ලෙදි කවුරුවත් මළේ නෑ නෙ බං අයියෙ.

මංකොල්ලෙදි නෙමෙයි, මේ උගේ ගෑණිව මරල තියෙන්නෙ..

අප්පටසිරි මූ උල තියන්න එපාය.

අයිය කියාපු විදියට, මංකොල්ලෙට සැක පිට අතඩංගුවට අරගෙන ප්‍රශ්ණ කලාට මනුස්සයගෙන් මුකුත් ගන්න බැරි වෙලා. ඒත් පොලීසිය කියන්නෙ එහෙම ලේසියෙන් ගේම අතාරින කට්ටියක් නෙමෙයිනෙ. අර එක පාරක් වලස් තඩියෙකුත් හාවෙක් කලේ…..

පොඩ්ඩක් දරුණුවට ප්‍රශ්ණකරනකොට මිනිහට කියවිලා උගෙ ගෑණි මරාපු කතාවක්. ඒ සැරේ තව ඩිංගක් ආදරෙන් අහනකොට තමයි දැනගෙන තියෙන්නෙ මේ මනුස්සයා ඊට අවුරුදු අටකට කලින් තමන්ගෙ ගෑණිව මරල පුච්චල වලදාල ගමේ එවුන්ට ගෑණි හදිස්සියෙම රට රස්සාවකට ගියා කියල බොරුවකින් වැඩේ යටගහපු වග.

ඔය කතාව අහල අහවරවෙනකොට පින්තූරෙත් හදල ඉවරයි. මාත් ඉතිං හැන්දෑ වෙච්ච නිසා පොලීසියටයි අයියටයි පින්තූරෙ බාරදීල ගෙදර ආව.

පහුවෙනිද ආයෙමත් වැඩට යනකොට මෙන්න ආරංචියක් එනව අර සැක කාරයා පොලිස් කූඩුවෙදි ඇඳන් උන්නු කලිසමෙන් බෙල්ලෙ වැලදාගෙන මැරිල කියල.

ප/ලි : එදා තමයි තමන්ගෙ ගෑණි මරල වලදාපු තැන පෙන්නන්න යන්න නියමිත වෙලා තිබුනෙ.

ප/ප.ලි : වැ‍රැද්ද කරන්නෙ කවුද, කවද්ද, කොතැනද කියල නෑ, වරු තුනෙන් නොවුනත් ප්‍රථිපල නියතයි.

Advertisements

42 Responses to කිසිවෙකුට සැමදාටම කිසිවකගෙන් සැඟවී සිටිය නොහැක – සිර මැදිරියේ මරණය.

  1. says:

    වෙලාවකට ඔය දණ්ඩුවම් ක්‍රමය සාධාරණ වගේ පෙනුනට ඕකෙන් අහිංසකයෙක්ට උණත් දණ්ඩුවම් ලැබෙන්න ඉඩ තියෙනවා

    කැමතියි

  2. ඔව් අර යට ගැහිලා ගිය SLIIT කේස් එක මතකනේ.. තව පොඩ්ඩේන් උන්ගේ පෞද්ගලික තරහකට අර පොඩි කොල්ලේක් පාතාල කාරයෙක් වෙලා මැරෙනවා. හොඳ වෙලාවට උගේ අම්මලා තාත්තලාටත් දේශපාලුවොන්ට සම්බන්ද කම් තිබ්බා..

    කැමතියි

  3. අප්පා මාර ක්‍රිමිනල් කේස් එකක් නේ. ඌව උල තියන්න තියෙන්නේ. අර අහිංසක ගෑනිව මරලා ඒ මදිවට මංකොල්ලත් කාලා.

    කැමතියි

  4. අසනි says:

    සත්‍ය කවදාවත් වලදාන්න බෑ කියනවනේ..ඒ විතරක් නෙමේ වරදක් කලොත් දඩුවමකුත් නියමයි..

    මනුස්සයෙක්ට හොරකමක් කරන්න පුලුවන් කියමුකෝ.. ඒත් ගොඩක් වෙලාවට අහන දකින සිදුවීම් වලදි, තමන්ගේම අයව මරන්නේ කොහොමද කියලයි හිතා ගන්න බැරි..මනුස්ස වේෂයෙන් ආවත් ඒ මිනිස්සුන්ට මිනිස්සු කියන්න පුලුවන්ද..?

    කැමතියි

  5. සෝරෝ says:

    “ඒත් පොලීසිය කියන්නෙ එහෙම ලේසියෙන් ගේම අතාරින කට්ටියක් නෙමෙයිනෙ.”

    මේ කියලා තියෙන්නේ කොහේ පොලීසිය ගැන ද බං නවම්මයියේ…….. 😀

    කැමතියි

  6. පව් ඒ අහිංසක ගෑණි.ඉතිං මිනිහමයි මංකොල්ලෙ සිද්ධ කරේ කියල ඔප්පු වෙලා නෑනෙ.අනික මංකොල්ලෙට සම්බන්ධ අනිත් උන් අහුවුනාද?

    කැමතියි

  7. පව් කියලා තමා කියන්න තියෙන්නේ…
    අයියේ සැප්තැම්බර් 10 එනවද??
    මට ඊමේලයක් දාන්න

    කැමතියි

  8. arunishapiro says:

    ගෙල වැල දාගත්ත එක ඔහුට දඬුවමක් නෙමෙයි. නීතිය ඉදිරියේ වරදකරු වී ලබන දඬුවමින් පලා යන්නට ගත් තීරණයක් ක්‍රියාවට නැංවීමට හැකියාවක් දීම නීතියේ අඩුපාඩුවක්. එයාව උසාවියට ඉදිරිපත් කරලා චෝදනා හමුවේ මරණ දඬුවමක් හෝ ජීවිතාන්තය දක්වා සිර කාලයක් තීරණය වීම එයා මරපු භාර්යාවට යුක්තිය ඉටු වීමක් නිසා එහි දී පමණයි ඔහුට දඬුවමක් ලැබුනා වෙන්නෙ.

    කැමතියි

    • නවම් says:

      උසාවි දාල නඩු අහල දෙන දඬුවමින් මැරිච්ච මනුස්සයට කොහොමද සාධාරණයක් ඉ‍ටුවෙන්නෙ. ඒ අපි හිත හදාගන්න ක්‍රමයක් විතරයිනෙ. සාදාධාරනේ කොහොමද අර්ථදක්වන්නෙ. ඒ මනුස්සයා මැරිල ගියා. එච්චරයි. ඒකට වෙන කෙනෙක් මරල “ඇහැට ඇහැ” කියල කිව්වම හරි යන්නෙ නෑ මම හිතන විදියටනම්.

      සිදුවෙච්ච කිසිම දෙයක් කිසිම ක්‍රමයකින් ක්ෂය කරල දාන්නවත් සාධාරණයක් කරන්නවත් කිසිම ක්‍රමයක් නෑ. සිද්ධ වෙන්නෙ අපි ඇතිවෙච්ච පාඩුවට ලංසුවක් තියල වරදකාරයාගෙන් ඒක හිලව් කරගන්න එකක් විතරයි. ඒකෙන් අපිට සැනසුමක් ලැබුනට මැරිච්ච මනුස්සයට ඉ‍ටුවෙන යුක්තිය මොකක්ද?

      කැමතියි

  9. අපෝ උන් හිරේ ගියානම් උන්ට කන්න දෙන්න වෙන්නෙත් අපිටමයි, ඔහොම මැරුණ එක හොදයි

    කැමතියි

  10. දුමී says:

    නිකං ඇක්ෂන් ෆිල්ම් එකක් බැලුවා වගේ…..! පොලීසිය සුදු වෑන් එහෙකද ආවෙ ?

    කැමතියි

  11. blog gadol says:

    හපොයි! පිස්සු හැදෙන කේස් එකක්නෙ‍

    කැමතියි

  12. පූසා says:

    මම නම් කියන්නේ ඔය වගේ වැරදි කාරයන්ට ඔහොම කරන්න ඕනේ……

    කැමතියි

  13. ඒක තමයි මචං . . . . ඇත්ත කියන්නෙ දිය යට හංගන්න හදන රබර් බෝලයක් වගේ දෙයක් . . . . මොන උත්සාහය දැරුවත් මතුවෙන්නමයි බලන්නෙ. ඇත්ත කියන දේ කාගෙං හැංගුවත් තමංගෙ හිතෙං හංගන්න බෑ . . . . ඒකනෙ මචං අර පොලිස් කාරය දකිද්දි උඹට දාඩිය දාල ගැහෙන්නෙ පටංගත්තෙ . . . . දැං වත් හොඳ ලෝයර් කෙනෙක් එක්ක පොලීසියට ගිහිං පාපොච්චාරනය කරපං . . . . .

    කැමතියි

  14. පොලීසියෙන් නවම් අයිය හොයාගෙන එද්දි මම බය උනා මංකොල්ලෙට නවම් අයියා ගෑවිලාද කියලා. ෂුවර් නැති මිනිස්සුනේ අප්පා…

    කැමතියි

  15. පොර ගෑණිව මරලා අවුරුදු ගානක් හිත හදාගෙන ජීවත් වුන හරියම මදෑ… ඒ අවුරුදු ගානට මෑන් විඳින්න ඕනේ දුක් ඔක්කොම විඳින්න ඇති.

    කැමතියි

  16. මොනවා කරන්නද ? සල්ලි මත්තේ නැහෙන එකෙකුට ආදරේ කියන්නේ එක වචනයක් විතරයි .. ජීවිතයක වටිනාකම දැනෙන්නේ නැති අවස්ථාවකට මිනිහෙක් පත් වෙන්න පුලුවන් ..

    කැමතියි

  17. හීනියට says:

    ඕං බලහන් ඉතින් ඌව කොටුවුන යස අපූරුව….
    පොලිසියෙන් එක කෑම වේලයි කන්න ඕනේ නේ බං, සියවස් ගානක් වම අරින්න….හික්

    කැමතියි

  18. එළ මචං මම හැමදාම උබගෙ Post බලනවා..අද තමයි Comment එකක් දැම්මෙ…එළ කිරි….අනික් Blog වලට වැඩිය උබගෙ එක වෙනස් නිසයි හැමදාම බලන්නෙ අළුත් මොකුත් තියෙනවද කියල..නියමයි තව අලුත් Post දාන්න….

    කැමතියි

  19. අපරාධයක් කලමිනිහ හොයාගෙන කවදාහෝ කොතැනකදී හෝ අපරාධය ඔහුව අල්ලගන්නවා කියන එක මෙතැනදී නම් ඇත්ත එත් බල සහිත අපරාධකරයින්ට මේ තියරිය වැඩ කරන්නේ නැහැනේ..

    කැමතියි

  20. ඌ කොහොමටත් ඒ වෙනකනුත් මැරි මැරි උපදින්න ඇති ……..
    එදා තමයි හරියටම මැරෙන්න ඇත්තෙ ……….
    තමන්ගෙ හෘද සාක්ෂියට බොරු කරන්න බැහැ ……

    මම මේ සිරාවට කියන්නෙ උඹවත් ගැහෙන්න ගත්තෙ නිකං වෙන්න බැහැ, මොනා හරි තියනවා නම් දැන්ම විසඳ ගන්න බලපං දැන් පොඩි එකෙකුත් ඉන්නවානේ ……….

    කැමතියි

  21. නිර්නාමික says:

    මට පේන්නේ උඹත් ගෑනු දෙතුන් දෙනෙක් මරල තියන පාටයි..

    කැමතියි

  22. ගැමියා says:

    මට පේන්නේ උඹත් ගෑනු දෙතුන් දෙනෙක් මරල තියන පාටයි..

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: