බේරේ වැව් පතුලේ සැඟවී ගිය ඇගේ ගල

ට්‍රීං…. ට්‍රීං……….

මොන මළ කරදරයක්ද මේක වැඩක් කරන්න දෙන්නෙම නෑ නෙව,

හෙලෝ..

හෙලොව්… [අප්පට සිරි හරිම සුවීට් වොයිස් එකක්…..]

හෙලෝව්.. අයියා මට ඔයාව මීට් වෙන්න ඕනෙ….

බඩුම තමා, ඇයි ඕයි මේ මොන විනාසයක්ද, එක කෙල්ලෙක්ගෙන් ඊයෙ නිදහස් උනා විතරයි මේං තවත් එකක්.. මයෙ සිකුර ඉස්මුදුනටම ගහලද කොහේද.

මීට් වෙන්න නම් පුළුවන්, ඒත් මම ඔයා කවුද කියල දන්නෙ නෑ නෙ?

අනේ ඔයාට මාව අඳුරගන්න බැරි උනාද? මම නිරාෂා, මධූගෙ නංගි.

හුටා ! ඔයි තියෙන්නෙ කරමුලින්ම කෙළවිලා. ඇයි හත්වලාමෙ මේකි මට මයේ පාඩුවෙ ඉන්න දෙන්නෙ නැත්තෙ.

ආ.. ඔයාද මේ, මට වොයිස් එක අඳුරගන්න බැරි උනානෙ. ඉතිං කොහොමද?

කොහොඹත් නික වගේ තමා …. මම ගැන කතා කරන්න නෙමෙයි කෝල් කලේ, අක්කගෙ පොඩි පණිවිඩයකට.

ආයෙ මට කියන්න තවත් මොනවද එයාට ඉතුරුවෙලා තියෙනෙ, ඊයෙ හැන්දාවෙ ඔක්කොම කියල අහවර කලේ එයා..

ඔය ඉතිං…. ඔයාට කේන්ති යනවනෙ පොඩ්ඩ ඇත්නං.

ආයෙ කේන්ති නොයා තියෙයියැ ඊයෙන් පස්සෙ ආයෙ මගෙ මූණ බලන්නෙ නෑ කියල නෙව ගෑණි ගියේ. මාත් ඉතිං අනේ හොඳයි කියල බොහෝම සන්තෝසෙන් පැත්තකට වෙලා උන්නෙ. ඉතිං එහෙව් ගෑණි ඒකිගෙ නඟා අතේ පණිවිඩ එවනකොට මට කියන්නෙ ආයෙ චූන් එකේ ඉන්නෙයි කියලැයි.

ඒවයින් වැඩක් නෑ. මොකක්ද පණිවිඩේ ?

ඒක මෙහෙම කියන්න බෑ අයිය, අපි අද හවසට මීට් වෙමුද?

ම්….. ඒ ගමන මේකි මොකාටද එන්න හදන්නෙ, මම දන්නව මේකිත් මට කැමැත්තෙන් උන්නෙ ඒත් අක්ක හන්ද සද්දෙ වහල හිටිය කියල. දැං ඉතිං අක්ක මාත් එක්ක බ්‍රේක් හන්ද මේකි පොටක් පාදගන්නද හදන්නෙ.

මාත් ඉතිං එපා කියයි එහෙව් හැඩ කෙල්ලෙක් මයෙ පස්සෙන් එන්න පටන්ගත්තොත්. අක්කට වඩා නංගි හරි හැඩයි කියල ඒ දවස් වලත් දකින දකින එකා කිව්ව නෙව.

මොකද ඔයා සද්ද නැත්තෙ, එන්න බෑ ද?

මං දැං එහෙම එකක් කිව්වද?

මං ටක් ගාල ශේප් කරල දැම්ම, නැත්නං මෙච්චර සුවීට් කෙල්ලෙක්ග පරම පිවිතුරු හිත රිද්දල මාව අපාගතවෙන්නත් බැරි නෑ නෙ. එහම උනොත් ආයෙ දෙකක් නෑ අපායෙ කොත්තු තැටියෙ තමයි මට ලගින්න වෙන්නෙ.

එහෙනං…

මේකි තො‍ඳොල් වෙනව.

හරි හරි මං එන්නං. කොතනටද එන්නෙ ඕනෙ?

හ්ම්… අක්ක ඔයා එක්ක යන්න ආසම තැනට යමු.

ඔන්න මට ආයෙම මළ පැනගෙන එන්නෙ. ඇයි හත් ඉලව්වෙ මේකි මේ මොකාටද එන්නෙ. කතා කරන්නෙ හරියට මගෙත් එක්ක අවුරුදු ගානක් යාළුවෙලා උන්න වගේ.

මේ.. මඟුලක් කරන්නෙ නැතිව කියනව තමුසෙට එන්න පුළුවන් තැනක්. මම එන්නම්.

හ්ම්… එහෙනං එන්නකො මැක්ඩොනල්ඩ්ස් එකට.

අහා…. මේකි මයෙ හක්කෙන්ම දතක් ගලවන්නයි හදන්නෙ. මාසෙ අන්තිම, තාම පඩි හම්බු උනෙත් නෑ. බෝඩිමට සල්ලි දෙන්නත් තියෙනව. ඒ උලව් අස්සෙ මේකිත් එක්ක මැක්ඩොනල්ඩ්ස් ගියොත් පඩි හම්බුවෙනකන්ම හක්ක අල්ලං තමයි ඉන්න වෙන්නෙ.

මම තමුසෙගෙ කොල්ලද මැක්ඩොනල්ඩ්ස් එක්කං යන්න. ඕනෙ නං එනව නවලෝකෙ ගාව තියෙන ‍තෝසෙ කඩේට.

ඊයා.. පෙරේතයා.. මට බෑ ඔය ජරා කඩවල්ගානෙ ඇවිදින්න. [කන්න කුඩු නෑ….. ඒත් කටේ තියන නරිවාදම මේකිගෙ….. අහන්න දෙයක් නෑ අක්කගෙම නඟා නෙව]

පෙරේතයා… ? තමුසෙගෙ අක්ක මාව හින්දුවෙ නැත්නං තමුසෙව මැක්ඩොනල්ඩ්ස් එක්කං යන්න තිබුන.

හරි හරි මම හෙට එකට ඕෆ් වෙනව. නවලෝකෙ ගාවට එන්නකො.

හා..

මධූ කියන්නෙ මීට කලින් කීප සැරයක්ම නවම් මාවතේ ලියන්න ගිහින් අසාර්ථක වෙච්ච මගේ පරණ ආදර කතාවක්. ඒ දේවල් කිසිවක් ආයෙම මතක් කරන්න මට කිසිම උවමනාවක් තිබුනෙ නැති උනත් ආයෙම ඒ  ගැන මතක් උනේ මීට දවස් දෙකකට කලින් මධූ පුංචි කෙලිපැටියෙක් වඩාගෙන සැවෝයි එක ලඟින් කාර් එකක නැගල යනව දැක්ක නිසා.

ඉස්සරටත් වැඩිය හැඩයි !

කතාකරන්න උවමනාව ලොකුවටම තිබුනත් අපි මීට අවුරුදු ගානකට කලින් වෙන් වෙච්ච විදිය ආයෙම මතක් වෙද්දි ඒ සිතුවිල්ල එහෙම්මම යටපත් වෙලා ගියා. ඉස්සර වගේම එයා අයෙම දරුණු උනොත්…… [ඒ කාලෙ මධූට ආරූඪ වෙලා තිබුනෙ මම දැකපු දරුණුම හිතක් පපුවක් නැති කෙල්ලක් – ආදරේ අහිමි වෙන්න හදනකොට ගෑණු ළමයි එහෙම වෙනව ඇති]

නිශාරා කියන්නෙ මධූගෙ ලොකු මාමගෙ දුව. ඒත් හැමෝටම කිව්වෙ එයාගෙම නංගි කියල. ඒකෙ වැ‍රැද්දක් නෑ, මොකද අම්ම නැති නිශාරාව අතදරුව කාලෙ ඉඳලම බලාගත්තෙ මධූගෙ අම්ම. නිශාරාගෙ පිච්චෙන ඇස් දෙකයි තුන් හතර පාරක් බැළුවත් ඇති නොවෙන පෙනුමයි මාසයකට සැරයක් වත් ටවුන් එකේ කොහේහරි වලියකට මුල උනා. මධූ නම් කිව්වෙ ඒ ගොඩක් දේවල් නිශාරා උවමනාවෙන්ම ඇති කරපුව කියල.

නිශාරා මධූගෙ නංගි කියල දැනගත්තු කොල්ලන්ගෙන් ඒ කාලෙ මට බේරුමක් නැති උනා ඒකිව යාළුකරල දෙන්න කියල. ඒත් නිශාරා ඒ කාලෙ පස්සෙන් ආපු කිසිම කොල්ලෙක් දනින් උඩට මායිම් කලේ නෑ. රූපෙ නිසා පුදුම ආඩම්බරයකින් උන්නෙ. ඒත් එහෙමයි කියල කිසිම කොල්ලෙක් උත්සාහය ඇතෑරියෙ නෑ.

එක පාරක් කොල්ලො ටිකක් ගාල්ලෙ සංගමිත්තෙ කිට්‍ටුව රොඩ්ඩගෙ ‍කෙමෙස්ට්‍රි ක්ලාස් එක ඉස්සරහදි මේකිව වට කරගෙන වචනයක් ගන්න පුදුම උත්සාහයක් ගත්තෙ. අන්තිමට නිශාරා ඒ කොල්ලට “අනේ මේ ඔයා මගේ පස්සෙන් එන්න කලින් ගෙදර ගිහින් කණ්නාඩියෙන් මූණ බලල එන්න” කියල තිබුන. ඔන්න ඔහොම සිද්ධි අනන්තයි. හරිම හැපනින් කේස් එකක්.

කියාපු විදියටම මම සෙනසුරාදා හවස ගියා නවලෝකෙ ලඟට.

නිශාරා එනව හොස්පිටල් ගේට්‍ටුවෙන්.

අපි යමු බේරෙ පැත්තට. කියල එයා ඉස්සර උනා. අර ෆෝන් එකෙන් කතාකරපු තො‍ඳොල් කතා මුකුත් නෑ.

මාත් ඉතිං කතා නැතුව පාර පැනල ගංගාරාමේ සීමාමාලකය පැත්තට යනව. මට අඩි දෙක තුනක් ඉස්සරහින් ගියපු නිශාරා නෑතුනා වැව අයිනෙ තඩි නුග ගහ යට තියන බස් හෝල්ට් එකේ.

මාත් ලඟටම ගිහිල්ල නැවතුනා.

මොකක්ද පණිවිඩේ ? මම ඇහුව.

මුකුත් නොකියා නිශාරා මගෙ මූණ දිහා බලාගෙන ඉන්නව. නහයෙ අග තෙත් වෙලා, යටි තොල හපාගෙන. අඬන්න ඔන්න මෙන්න වගේ.

ඇයි මේ… ඔයාට අඬන්න මුකුත් මෙතන උනාද?

ඒත් නිශාරා එහෙම්මමයි.

එකපරටම එයා කරේ තිබුන රෙදි මල්ලට අත දැම්මා.

මම අඩියක් පස්සට උනා.. මම දන්නව නිශාරා කොච්චර දරුණුද කියල.

ලඟට එන්න, එයා ඔළුවෙන් කතා කලා. ඇස් දෙකේ කඳුළු පිරිල.

කෝ ඔයාගෙ අත දෙන්න…

මම දකුණත දික් කලා.

බෑග් එකෙන් ගුලිකරල ගත්තු අත මගේ අත උඩින් තිව්වා.

මගෙ අතට දැනෙනව මොකක් හරි දෙයක් එයා මගෙ අල්ල උඩින් තිව්ව කියල. ඒත් නිශාරාගෙ අතට මගෙ අල්ල වැහිල නිසා පේන්නෙ නෑ ඒ මොකක්ද කියල.

මොකක්ද? මම ඇහැව්ව…

ඔයා දන්නව….

කෝ මගෙ අත අතාරින්න මේක මොකක්ද කියල බලන්න.

නිශාරා මගේ ඇස් දෙක දිහා බලාගෙනම එයාගෙ අත අරගෙන මගෙ අත මිටමෙලෙව්ව.

මම දැන් යනව අයියෙ. අක්ක එයාගෙ ෆෝන් නම්බර් එක ඊයෙ මාරු කලා.

එහම කියල නිශාරා ඉස්සරහට ඇවිදගෙන ගියා.

මම එතනම ඉඳන් මිටමෙලවිලා තිබුන අතේ ඇඟිලි දිහෑරියා.

අල්ලට දාපු දාවිය වලින් තෙමිච්ච, වතුර පාරකට මැදිච්ච ජිල් බෝල දෙකක් තරම් රවුම් කළු පාට ගල් කැටයක්.

ඒත් එක්කම මාව දෙදාස් දෙකේ අවුරුද්දෙ අනිතිම කාලයටම ගියා. මම හිටියෙ සිංගරාජෙ මෙදේරිපිටිය පැත්තෙ කඳවුරට ඩිංගක් උඩහින් තියනෙ දිය ඇල්ලක් ලඟ සූස්තියක් එහෙම කටේ ගහං මධූට දෙන්න ලස්සන ගල් කැටයක් ‍තෝර ‍තෝර. මම දැක්ක අද මගේ අල්ලෙ දාඩියට තෙමිච්ච ගල් කැටේ වතුර පාරෙ තියනව. මම ඒක එදා ලේන්සුවෙ ඔතල සාක්කුවෙ දාගත්ත.

මට ඒ මතකයින් ආයෙම ඕනෙ නෑ. ගල් කැටේ ඔළුවට උඩින් ඇ‍ඟේම වීරිය දාල බේරෙ වැවට වීසි කලා

ජබුං !

සද්දෙට වැවේ නිස්කලංකයේ ඔහේ පාවෙවී උන්න පෙලිකන් කුරුල්ලො රෑනක් කලබල වෙලා පියාඹලා ආයෙමත් ඊට ඩිංගක් එහායින් ආයෙම වතුරට පාත් උනා.

මම නිශාරා ගිය පැත්තට විරුද්ධ පැත්තට ඇවිදන් ගියා.

Advertisements

60 Responses to බේරේ වැව් පතුලේ සැඟවී ගිය ඇගේ ගල

  1. මේ හදිස්සියෙ මොකද බන් ඒක දෙන්න මතක් වෙලා තියෙන්නේ. ඒ ගලත් එක්කම ඔය සීන් එක අමතක කරලා දාපන් බන්. නිකම් හිත කරදර වෙන එක විටහ්‍රයි වෙන්නෙ.

    කැමතියි

  2. Dee says:

    සද්දෙට වැවේ නිස්කලංකයේ ඔහේ පාවෙවී උන්න පෙලිකන් කුරුල්ලො රෑනක් කලබල වෙලා පියාඹලා ආයෙමත් ඊට ඩිංගක් එහායින් ආයෙම වතුරට පාත් උනා… Relationships have consequences! 😉

    කැමතියි

  3. බෙලෙකා says:

    පරණ මතකයක් වගේ.පට්ට සිරාවට ලියල තියෙනව අයියෙ.අන්තිමට එනකම්ම මොන වගේ අවසානයක් ඇත්ද කියල හිතාගන්න බැරි උනා.
    නියමයි.
    [මෙව්ව ලියල කඩෙන් කන්න උනොත් රු.10.00 ක් මගෙ ගානෙ.]
    😛

    කැමතියි

  4. සෝරෝ says:

    අතීතය සිහිනය පමණයි.. ඔවා ඔහොම තමයි…….

    කැමතියි

  5. කෙල්ලව දැක්ක නිසා අලුත් උනු මතකය නැවත අමතක කරල දාපන් යාලුව.. දුක ඇති උනොත් උබට විතරයි..

    ජය..

    කැමතියි

  6. කාගෙ කාගෙත් කිල්ලෝට වල හුණු තමා. අර කිව්වත් වගේ මේක ලියලා කඩෙන් කන්න උනොත් මගෙ ගානෙත් රුපියල් 5ක් ඈ..

    කැමතියි

  7. abeetha says:

    මටත් මේ කතා ඕන තරම්.. දාන්න අමාරු මගේ නමින්ම බ්ලොග් එක ලියන නිසා… දුක හිතෙන්නේ මේ වෙලාවට……

    මතක තියාගනින්… අපි ජීවිතයක් මහන්සි වෙලා ගොඩ නගන ජීවිතේ බිඳ වැටෙන්න යන්නේ තත්පරයයි….. පරිස්සමින්….

    කැමතියි

  8. අඩෝ . . . උඹ දන්නවනෙ මචං.. . මට උඹව රුපියල් දහයකට පහකට වඩා වටිනව . . . . කඩෙං කන්න උනොත් උඹ වරෙං මචං හැමදාම වැඩට යනගමං අපේ ගෙවල් පැත්තෙං . . . . නැන්දම්ම මට ඔතල දෙන කෑම එක මම උඹට දෙන්නං . . . . ලුනුයි මිරිසුයි චූට්ටක් විතර අඩුයි (අඩුයි කීවට නෑ වගේ තමයි) . . . . .

    කැමතියි

  9. ඉතිං ඊට පස්සේ… නිරාශාට මොකද වුනේ…?? පවු අසරණී….

    නවම් අයියා ගැන හෙන ඇල්මෙන් ඉන්න ඇති…..

    කැමතියි

  10. පූසා says:

    කොහොමද කාලෙකින් දැකපු ගමං මහා අමුතු හැඟීමක් ආවා නේද? නෑ කියලා බොරුනම් කියන්න එපා!

    කැමතියි

  11. මොකෑ අයියා මේ හදිස්සියේම පරණ කතාවක් මතක් වෙලා තියෙන්නේ ?
    ඔන්න කියන්න බලන්න මේ සිද්ධියෙන් පස්සේ පරණ නිමිලා තිබ්බ හිත ආයෙම ඇවිලුනේ නෑ කියලා.

    කැමතියි

  12. ඔන්න මමත් පවුම් දහයක් දානව අරමුදලට. දැන් ඉතින් රෑ කෑම හරි!

    කැමතියි

  13. මට නම් වෙලාවට තාම පරණ ඒව එකක් වත් මූණට මූණ හෝ ළඟින් වත් ගිහින් නෑ… හම්බ වෙච්ච වෙලාවට මොනව වෙයි ද දන්නෑ.. දැනට නම් පොර සේ ඉන්නවා.. අනේ මොන බම්බුවක් ද බන් කියාගෙන… හික්…

    කැමතියි

  14. දකින්නත් ආස පරණ ඒවා, අහම්බෙන්වත් දකින්නේ නැති හැටි අම්මපා.

    කැමතියි

  15. අසනි says:

    අතීතය සිහිනයක් පමණයි අයියන්ඩි…දිය බුබුලක් වගේ ඒ මතකය හිත අස්සට රින්ගුවත්..ඒ තප්පරේම අර බේරේ වැවට වීසි කරපු ගල වගේ, ඒ මතකයත් වීසී කරලා දාන්න..

    කැමතියි

  16. දුමී says:

    ඉතින් බොලේ ඕක අහන්න දෙයක්යෑ…. කෙල්ලෙක්ට දියසෙවෙළ බැඳිච්ච ගලක් දුන්නහම ඒකි උඹත් එක්ක එච්චර කාලයක් හරි හිටපු එකට ස්තූතියි කරපන්….! කෙල්ලන්ට ඕනෙ රවුම් වෙච්ච ගල් නෙමෙයි බං…. දියමන්ති, දියමන්ති….!

    කැමතියි

  17. නිරාශට තිබ්බ ආසාව නැතිවෙලාම යන්නැත්තේ.හි හි සීන් එක තමා කියන් හිතාගෙන නේද ඇද්දෙ..

    කැමතියි

  18. Luckey says:

    // චූටි මැණිකෙ මේව නියපොත්තෙන් උඩට මායිං කොරන්නෙ නෑ….//

    අනේ මන්දා. ඔය විදියට හිතන එක නම් භයානකයි රජෝ…බොරු නම් චූටි මැණිකෙගෙන් අහල බලපන්. කටින් කියවෙන දේම නෙවෙයි ඇත්ත..

    උඹ අර ගැහැණු තේරුම් ගැනීම කියන අති විශාල පොත කියවලා තියනවද…

    මෙන්න මගෙනුත් පහක්….

    කැමතියි

    • නවම් says:

      අම්මප මං තුන් හතරවතාවක්ම කියවන්න බැලිව. ඒත් ඒකෙ ලියල තියන මේලෝකෙ දෙයක් තේරෙන්නෙ නෑ නෙව. හැබැයි ගෙදර උන්දැ නම් “පිරිමියා” කියන කාණ්ඩ විසිපහක් තියන තඩි පොත කියවල තියනවද කොහේද…. නැත්නම් මෙලහකටත් මයෙ බත් කාඩ් එක කැන්සල් වෙලා….. 😉

      කැමතියි

  19. බලමු නවම් ලොකු අයියගේ කතාව . බලාගෙන යනකොට උඹ මාර ලකී මිනිහෙක් අයියේ මගේ පස්සෙන් මෙතුවක් කාලෙකට කිසිම කෙල්ලෙක් ඇවිල්ලා නෑ නෙව . මම තමයි මුලින්ම පස්සෙන් ගිහිං සැට් කරගන්න උත්සහ කරන්නේ ..

    බලමු මේ ආදර කතාව කොතනින් නිමා වේවිද කියාල . මට නම් දැනටමත් පොඩි අදහසක් තියනවා කෙල්ල මොකටද එන්න හදන්නේ කියලා . බලමු ..

    කැමතියි

  20. ~ChAnDiKa~~ says:

    මේ මොන හරුපයක්ද කියල දැනගන්ට යටටම කියවන්න උනා නෙව 🙂

    කැමතියි

  21. මාරයා... says:

    මං මේ කල්පනා කලේ සම්පූර්ණ දුසිම් දෙකක් වෙච්ච මගේ පෙම් කතා පුරාණයටත් බ්ලොග් එක හරහා පණ දුන්නොත් මොන මගුලක් වෙයිද කියලා…

    අර කිව්වත් වගේ ගලක් දීලා ඔහොම හිටියවත් මදෑ.. ගලක් දීලා උඹ උඹට මොනවද ලැබුනේ බං..?

    කැමතියි

  22. මාත් ඉස්සර යාලු වෙලා හිටපු කෙල්ලෙකුට රාවණා ඇල්ලගාවින් තඩි රෝසපාට ගල් ගෙඩියක් ගිහින් දුන්න .. ඒක තාම උන්දැලෑ ගෙදර දොරට තියනව මහිතෙ…
    .
    .
    .
    උන්දැනම් ආන් අපේ ගෙදර බත් තම්බනව…

    කැමතියි

  23. කරපු වැඩ දෙකම හොඳයි මන් කිවුවේ ගල් කටේ විසි කරපු එකයි විරුද්ද දිසාවට ගමන් කරපු එකයි..ආ තව එකක්.. අර ළමයාගේ අම්මට ඔහේ ඉන්න දීල පාඩුවේ ගිය එකත් හොඳයි.. නැත්නම් ඉතින් අර ටෙලි නාට්‍යයේ එකා කියන්න වගේ මිනී තුනයි පෙට්ටි දෙකයි

    කැමතියි

  24. රතු මුහුද says:

    ඕකනේ අර කවුදෝ කිව කියන්නේ ආදරේ සුන්දර වරදක් කියල…..

    කැමතියි

  25. blog gadol says:

    සිරාවටම ලියලා තියෙනවා අයියේ! මමත් අහලා තියෙනවා ගෙදර උන්දැලා ඔය පරණ ලව් ස්ටෝරි අහන්න කැමති නෑයි කියලා

    කැමතියි

  26. රොඩ්ඩ කවදද පිසික්ස් කරේ?

    ඔන්න හැමෝම ආධාර එකතු කරන එකේ මාත් රුපියලක් දෙකක් දෙන්නම්…

    කැමතියි

  27. නවම් says:

    අප්පේ වස වැ‍රැද්දයි උනේ….. ඕං හැදුවා !
    ඒ කියන්නෙ හොඳ වෙලාවට මේ වෙනකං ගාල්ලෙ එකෙක්වත් මේක කියවල නැ.

    කැමතියි

  28. මුලින්ම උඹට ස්තුතියි මම ගැන හොයලා බැලුවට ……..

    මට මේ පැත්තෙ හුඟ දවසකින් එන්න බැරි උනාට නවම් මාවත කියන්නෙ මම අනිවාර්යෙන් කියවන බ්ලොග් වලින් එකක්. මම පහු වෙලා හරි අනිවා කියවලා කමෙන්ට් කරනවා ……….

    උඹගේ ඔය ගල ගැන මගේ පෝස්ට් එකක කමෙන්ට් එකකින් කියලා තිබුනා මට මතකයි. ගිය දේ ගියා බං ‍‍….

    දැන් වයිෆ් හදිසියෙ උඹගේ වීසා කැන්සල් කලොත් එහෙම පල ඒකිගේ දිහාවෙම මොකද ඒකි ගැන ලියලනේ උඹට කෙල උනේ ……….

    කැමතියි

  29. Ravi says:

    ප්‍රේම පුරාණ කතා නම් නවම් මල්ලි අනන්තවත් තියෙනව.

    අර සුනේත්‍රා අක්ක කියනව වගෙ ඒ කැලැල් අතගගා ඉන්න එක තමයි කරන්න තියෙන්නෙ……හෙහ්, හෙහ්,

    කැමතියි

  30. vajiradevi says:

    අතීතය සිහිනයක් පමණයි… කාගේ කාගෙත් ජීවිත කතා වල මේ වගේ ප්‍රේම පුරාණ ඕනේ තරම්. එහෙම නැත්තම් අතීතය සුන්දර වෙන්නෙත් නෑනේ. අපේ මේ පපු කැවුතු වල ඉරි තලපු වාර අනන්තයි..

    කැමතියි

  31. හපොයි!!! ඔන්න මට ආයෙත් දුක හිතෙන්ඩයි එන්නෙ.. මට ඔය ගල් බොරලු එක්ක තිබුණෙ ඔහොම ප්‍රේම සැමරුම් නම් නෙවෙයි අමුතුම සම්බන්ධයක් නවම් අය්යෙ..මට පුරුද්දක් තිබුණ යන හැම තැනකින්ම අමුතු හැඩේ,අමුතු පාට ගල් කැට එක්කාසු කරන….එව්ව සේරම මම මගෙ පුංචි පොත් අල්මාරිය උඩ ලස්සනට තියල තිබුණ… සිප්පිකටු ගල්මල්, එකී නොකී විවිධ ජාති….මං තුම්මුල්ලෙ ලොකු ඉස්කෝලෙට ආවට පස්සෙ අපේ අම්ම දවසක් මගෙ ගල් කැට සේරම ටික අයින් කරල තිබුණ. මගෙ බොළඳ වැඩ ඉවසල අම්මට ඇතිවෙලා තියෙන්ඩ ඇත්තෙ…ඒක දැනගත්තට පස්සෙ මට වෙච්ච දේ හිතාගන්ඩ පුලුවන්නෙ…..

    කැමතියි

  32. ඔය වගේ සිද්දි දැන් මතක් වෙද්දි මාරම හැඟීමක් එනවා… මම මේ පාර ලංකාවට ගිය වෙලේ එකම වහලක් යටදි පරන කෙල්ලො දෙන්නෙක් මාට්ටු… අනේ හපොයි කීවා මගේ හිත….

    නවම් උබ ගල්ලෙද ?

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: