නාදුගල හාමිනේ හෙවත් මයෙ ආච්චි අම්මා !

අපේ ආච්චි හෙවත් ගමටම නාදුගල හාමිනේ වූ ඈ බොහෝ කලක් වාත අමාරුවෙන් පීඩා වින්දාය. ඈ ඇගේ අසනීපයට කසාය හැලි ගනන් තම්බ තම්බා බී ප්‍රතිඵලයක් නැති තැන මේ වාත අමාරුව තාම හොඳක් නැති හැටි යැයි බොහෝම විස්සෝප වී, තිලේඅම්මා සමඟ ගොස් මාතර සිල්වා වාට්‍ටුවෙන්ද බෙහෙත් ගත්තාය.

ඉනුදු ගුණයක් නැතිකල බලෙන්ම මෙන් අම්මා ඈ ගාල්ලේ අපේ ගෙදර ගෙන්වාගෙන සමූපකාර රෝහලේ ලොකු දොස්තර මහත්තයෙකුට පෙන්නුවාය. ඈට ඇති වාත අමාරුවක් නැත. ඇත්තේ ඊට වඩා දරුණු රෝගයකි. ලියුකේමියා ය. ඒ අසා අපේ අම්මාගේද ලේ වතුර විය.

ඉඳින් නාදුගල හාමිනේ නැවතත් හක්මන රුප්පේ ගෙදරට යනවාට අම්මාගේ වැඩි මනාපයක් නොතිබුනේ කරාපිටිය ඉස්පිරිතාලේ අසලම ඇති අප නිවසේ සිට ප්‍රතිකාර සඳහා යෑම හක්මන සිට ඒමට වඩා ඉතාමත් පහසුවක් වූ නිසාය. රුප්පේ රාළහාමිත් ඊට වසර කිහිපයකට පෙර නො එනා ගමන් ගොස් සිටි නිසා ඈට දමා එන්නට බැරි දෙයක් රුප්පේ ගෙදර නොතිබුනේය.

ආච්චි බොහෝම ප්‍රිය මනාපය. ගෙදර හිඳි පොල්තෙල් ගා හවරිය තබා බඳිනා කොණ්ඩාගුලිය ඈට අමුතුම සිරියාවක් එක් කළාය. ඈට අද කාලේ කෙල්ලෙන්ටත් නැති තරම් සම දත් පෙළක් තිබුනාය. අම්මා පවසන පරිදි ඈගේ දත් සැට් එක මට්ටම් කර තිබුනේ සීයා ගම්මුලෑදෑනි වූ අළුත ගෙදරට පැමිනි දත් බඳිනා චීනෙකි. අපේ සීයාට මුලෑදෑනි හාමිනේ හැඩට තියාගන්නට උවමනා වන්නට ඇත.

සීයගේ දත් සේරම හැලී ලොඹු කටින් තළුමර මරා කෑම කන විට ආච්චී ඇගේ යස අපූරුවට තිබූ දත් වලින් හපා කෑම කැවාය. ඒ සීයාට වඩා ආච්චි අවුරුදු පහලොවක් බාල නිසා වෙන්නට ඇත. ඇතැම් විටෙක බුලත් වට්ටියේ ගිරය හොයාගත නොහැකි විටෙක හක්කේම තබා කුරුට්ට සුද්ද කල පුවක් තලාගත්තාය.

ඈ ගමේ හැමගේ ආදරයට පාත්‍රවූ අම්මා ය. පන්සලේ පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවන් සමඟ ආරෝවක් ඇතිකරගත් සෑම විටම ආච්චි බැලීමට වඩී. එක් වරක් උන්නාන්සේ තරහවී ගොස් ගැටමාන්නේ පන්සලේ ඉන්නාවග ආරංචි වී ඈ පොඩිමාමා සමඟ ගොස් නැවත වැඩමවාගෙන ආවාය.

ඈ ඉන්නා විට ගෙදරට ගොඩවැදි යමෙක් නොකා නොබී ගිය වගක් අසා නැත. කොයි වෙලාවෙත් ලිපේ නටනා වතුර හැලියට, නොහි‍ඳෙන බත් මුට්ටියට ලොබ බැන්දවුන් නිතර දෙවේලේ “හා නාදුගල හාමිනේ” කියා ගෙට ගොඩවෙති. සීයාගේ තුන්මාසේ දානෙ දොහේ කුරුඳු මඩුවේ වාඩිලාගත් ගමේ ගෑණු ළමා ළපටින් සමඟ සතියක් යනකන් කෑම වේල සරිකරගත්තද ඈ බොහොම ආදරයෙන් ඒ සියල්ල ඉවසුවාය. ඒ අම්මලාගේ හැටිය. මුළු ගමම ඈට දරුවන් ය.

හඳුනා ගන්නාවිට බොහෝ ප්‍රමාද වී තුබූ හෙයින් ඈගේ අසනීප තත්වය බරපතලය. එහෙයින්ම නිවසේ තබාගෙන කරනා ප්‍රතිකාර නවත්වා ඈ රෝහල් ගතකිරීමට සිදුවිය. එතැන් පටන් අපේ ගෙදර රට වටා විසිර සිටි සියළුම නෑදෑයන්ගේ නවාතැන්පොළක් විය. උදේට ලොකුපුංචි ආච්චී බලන්න යනවිට දවාලට යන්නට ලොකු මාමා සැදීපැහැදී සිටී. හැන්දෑවට තාත්තා බාප්පා එක්ක යයි. ඉඩක් ලැබුනු සෑම විටෙකම කවුරු කවුරු සමඟ හෝ මාද ආච්චී බලන්න ගියෙමි.

පිළිකා වාට්‍ටුව අනිකුත් වාට්‍ටු හා සසඳා බලනා කල එතරම් ප්‍රසන්න තැනක් නොවේ. බොහෝ රෝගීන් මරණයට සූදානම් වූවන්ය. ඇතෙමකුගේ හිසේ කෙස් ඇත්තේම නැත. තවෙකෙක් ඇවිදින ඇටසැකිල්ලක් බඳුය. එහි සේවය කරනා හෙද හෙදියන් ඉතාමත් කාරුණිකය. හෙට අනිද්දා මරණය කරා යන්නට සැදී පැහැදී සිටිනා රෝගීන් හට අකාරුණික විය හැක්කේ එහෙමත් කෙනෙකුටය.

එම වාට්‍ටුවේ සිටි රෝගීන් අතර මා මෙන්ම රෝගීන් බැලීමට එන සියළුදෙනාගේම පාහේ දෑස් යොමුවූ එක් රෝගී තරුණියක් විය. දරුණු ළය පිළිකාවටද ඇගේ සොඳුරු පෙනුම පූර්ණ ලෙසම අකා මකා දැමීමට නොහැකි වී තිබුනි. නිරන්තරයේ ස්කාෆයකින් හිස ආවරණයක කර හුන් ඈගේ තෙත් දෑස හැමෙකෙක්ම සමඟ දොඩමළු වෙයි. ඇගේ තනි නොතනියට බාල සොයුරියක්ද ඈ හා නිතොරම හුන්නාය.

ඈගේ සුහදා තුන්වේලටම ඈ බලන්න පැමිනේ. එතැන් සිට ඔවුන් ඔවුන්ගේ ලෝකයේය. කිසිවෙකු කිසිවක් නොකියයි. අපේ ආච්චීද ඔවුන්ගේ ඇදයක් කුදයක් නොදැක ඇගේ පාඩුවේ හිඳියාය. විකිරණ ප්‍රතිකාර හේතුවෙන් කෙස් ගිය ඈගේ තට්ට හිස ඔහු ආදරයෙන් පිරි මදී. ඈ හා එක ඇඳේ වාඩිවී කෑම කවයි. ඔවුන් සොඳුරු පෙම්වතුන්මය. රෝගීන් බලන වෙලාව අහවර වූ පසු නෙත නැඟි කඳුළු ඇගෙන් සඟවා ඔහු පිටව යයි.

ඈ අපේ ආච්චි හා ඉතා විගසින් කුළුපග විය. බිත්තර නොකන ආච්චිට රෝහලෙන් ලැබෙනා තැම්බූ බිත්තරයේ හිමිකාරිය ඇය විය. ආච්චිගේ හිස පීරන්නේද ඇය ය. ඔවුන් දෙදෙනා සොඳුරු මිතුරියන් විය. දිනෙක ඈ අත වූ සුජීවගේ “භාවනා” සඟරාව හැබෑ භාවනා පොතක් යැයි වරදවා වටහාගත් ආච්චී එය කියවන්නට ගොස් ලැජා හිතී දෝ ඈ හා නොදොඩා හිඳි වරුව ගතකල අපහසුව තිලේඅම්මාට පවසා තිබුනේ බොහෝ දුකිනි.

දිනෙක අප යනවිට ඈ නොකියාම ගොස් තිබිණි. එදින ආච්චී බොහෝ සේ කම්පා වූ දවසක් විය. “අනේ ඒ දරුවා මට කලින් ගියා නෙව” යැයි පැවසූයේ අප සියල්ලන්ම මොහොතකට ගොළු කරවමිනි.

අප සැමට වඩා බණ දහම් දත් ඈ ඊලඟ නවාතැන්පොළ කරා යාමට සූදානම් වී සිටියා ය.

හෙට දිනයේ ආච්චීට නිවන් සුව පතා ඈ භාවිතා කල රන් අබරණ මුදල් කොට බෞද්ධයා රූපවාහිණී නාළිකාව දීප ව්‍යාප්ත කිරීමේ අරමුදලට බැර කෙරේ. මයෙ ආච්චිට සුහතියක උපදින්න ඒ පිනම ඇති !

Advertisements

35 Responses to නාදුගල හාමිනේ හෙවත් මයෙ ආච්චි අම්මා !

  1. අනේ වාසනාවන් !!!
    ආච්චි අම්මට පින් තකා කරන වැඩේ නම් හොදයි අයියා. නවම් අයියගේ ආච්චිඅම්මට නිවන් සුව පතමු !!!!1

    කැමතියි

  2. Alchemiya says:

    මක්කා කොරන්නද ? ජීවිතේ හැටි ඔහොමම තමයි..
    අපිටත් මේ සතියේ ඔය වගේ…

    කැමතියි

  3. Siri says:

    ආච්චිඅම්මට නිවන් සුව පතමු !!!

    කැමතියි

  4. හුඟක් සංවේදී සටහනක් අයියෙ. අපේ ආච්චි පහුගිය දවසක රෝහල් ගත කරා. ඈට ශල්‍යකර්මයක් කරන්නට නියමිතව තිබුණා. වෛද්‍යවරු කිව්වෙ ඇගේ වයසත් එක්ක ඈට ශල්‍යකර්මයෙන් පසු දරාගැනීමේ ශක්තියක් තිබේදෝයි සැක සහිත බවක්. ඒ දින කීපය මම දරාගත්තෙ හුඟක් අමාරුවෙන්. ඒත් අපි කාටත් සහනයක් වෙලා ඈ සුවපත් උනා. ආච්චි කෙනෙක්ගෙ වටිනාකම කියල නිමකරන්න බෑ අයියෙ.

    කැමතියි

  5. ආදරණීය ආච්චි අමිමාට නිවන් සුව ………..

    මගේ තාත්තගේ ගමත් හක්මණ,කෝන්ගල ……

    කැමතියි

    • නවම් says:

      අපේ ආච්චිලයි ගෙදරත් කෝංගල තමා. කෝංගල කන්ද මුදුනෙන් තියන බලවේගෙ පාරෙ මීටර සීයක් එකසීය පණහක් ගියතැන පාරෙන් යටිපැත්තෙ තමා ගේ තියෙන්නෙ. රුප්පෙ රාළහාමිලැයි ගෙදරයි කිව්වම දන්නව.

      කැමතියි

      • අයියගෙ ආච්චිට නිවන් සුව ප්‍රාර්ථනා කරනව…!!
        මගේ තාත්තගෙ අම්ම නැත් වෙද්දි මට අවුරුදු හයක් විතර ඇති… මම රෑට නිදාගත්තෙත් ඈ ලඟ.. හදිසියෙම ඈ වියෝ වුණේ… ඇගේ මළගෙදර අවසානගේ නෑ හිතවතුන් විසිර ගිය පසු ඒ දවස්වල මට දැණුන පාලුව මේ දැනුත් දැනෙනව වගේ…

        අපේ පෙම්බර ඇත්තන්ටත් නාදුගලට නෑකමක් තියේ… එයාගෙ ලොකු අම්මෙක් මාතර වලස්ගල පැත්තෙන් නාදුගලට දීගගිහින් ඉන්නෙ..

        කැමතියි

  6. ආච්චිට නිවන් සුව පතනවා.
    ලස්සනට ලියලා තියෙනවා කියලා වැඩක් නෑ, හරිම රසවත් විදිහට.
    මගේ නම් ආච්චිලා සීයලා කව්රුත් දැන් නෑ.
    හාමිනේගෙ නම් ඉන්නවා ආච්චි කෙනෙක්.
    කව්රුවුනත් දුක් නොවිද ලස්සන මරණයකට පත් වෙනවනම් ඒකත් ලොකු දෙයක්

    කැමතියි

  7. මමත් මගේ ආච්චිට ගොඩාක් ආදරෙයි. අම්මා තාත්තා නැති කාලේ මාවයි නංගිවයි බලාගෙන අපිව මිනිස්සු කලේ අපේ ආච්චි අම්මා. නවම් සහෝගේ ආච්චිටත් පිළිකාවක් කිව්වම මටත් ගොඩක් දුක හිතුනා. පිළිකා වාට්ටුවේ බැලු බැලු අත තියෙන දුක මම හොඳට විඳලා තියෙනවා. මගේ එකම අයියත් පෙනහළු පිළිකාවකින් පීඩා විඳ විඳ අවුරුද්දකටත් වඩා පිළිකා රොහලේ හිටියා. මමත් ඒ ලඟ හිටි නිසා ඒ ගැන දන්නවා. ඔය වගේ පින්වන්ත ආච්චි අම්මා කෙනෙක්ගේ මුනුපුරා වෙන්නත් පිං කරන්න ඕනේ සහෝ…

    පිංවත් ආච්චි අම්මාට උපදිනා ඊළඟ භවයේදීත් පිංවත්ම උපතක් ලැබේවායි පතන්නම්… ඒ… නිවන් තව දුර නිසා…!

    කැමතියි

  8. කුෂ් says:

    නවම්ගේ ආච්චීට නිවන් සුවම අත්වේවා….!!!

    කැමතියි

  9. දැනෙන්න ලියල තියෙනව අයියෙ.ආත්තම්මට නිවන්සුව පතනව…

    කැමතියි

  10. ආච්චී කෙනෙක් ගැන මෙතරම් සංවේදීව ලියපු ලිපියක් මම කියවල නැහැ.. මේ වගේ යුග කාන්තාවන් දැන් සමාජයේ හිඟයි..විශාල හදවතක් ඇති මේ වගේ හොඳ අය ජීවත් වෙන්නේ අඩු කාලයක්.. මරණය දක්වා ආදරයෙන් වෙලී සිටි දෙදෙනා ගැන කියෙවුවම මට මතක් උනේ හදිසි අනතුරකින් පිළිස්සුන බිරිඳ දික්කසාද කල මං දන්නා මිනිහෙකුගේ කතාව.. ඒ වගේ තිරිසනුන අතරේ මේ වගේ දෙවි වරුන් ඉන්නවා.. ඔබේ ආච්චී නොවරදවාම හොඳ තැනක උපදීවී.. මේ ආත්මේ කල පින් නැවත මෙවන් දුකක් නොවීමට හේතු වේවි … එහෙම වේවා කියල මං පතනවා..

    කැමතියි

  11. blog gadol says:

    ගොඩක් සංවේදී සටහනක් අයියා. අයියාගෙ ආච්චිට නිවන් සුව පතනවා.

    කැමතියි

  12. sameera says:

    අපොයි දෙයියනේ නවම් මමත් නාදුගල කෙනෙක් තමයි අපි ” හේවා නාදුගල ” අපි මාතර මාලිම්බඩ , කොහොම උනත් ආත්තම්මට නිවන් සුව පතනවා……

    කැමතියි

  13. praveena says:

    ඔයාගේ ආච්චි අම්මාට නිවන් සුවම අත්වේවා…

    ඔයාගේ සටහනින් මට මගේ අත්තම්මාවත් සිහියට නැගුනා. හරිම දුකයි….

    කැමතියි

  14. ඇල්කෙමියාට ලිව්වා විතරයි. අනේ මලේ ආවොත් යනවාමයි. ඒත් මේ යන්නේ නම් අපේ අතීතයයි. ඒකයි දුක. කෙසේ හෝ ඇයට නිවන් සුව පතමි!!!

    කැමතියි

  15. අපේ ආච්චිත් මට හෙනම ආදරෙයි… ඒත් අපි ඉන්න දුරත් එක්ක බලද්දී ආච්චි නැතුවුනා කියලා ලියුම ආවේ දවස් 6කට පස්සේ… එතකොට මොබයිල් ​​නෑනේ… අන්තිමේ කොහොමහරි මට පුංචිම කාලේ දැකපු මූන විතරක් මතකයේ තියලා අපිට නොපෙනීම ආච්චි ගිහිල්ලා…

    කැමතියි

  16. බුරු බබා says:

    මොන හේතුවක් හරි හින්දා නවම්ගේ පෝස්ට් මගේ රීඩරේට එන්නේ නෑ.

    ලියන හැම සටහනක්ම බොහෝම සංවේදියි.

    පිලිකා රෝහල කිව්වම මටත් මතක් වුනේ එතන නම් මිනිසුන් මානසිකවත් වට්ටන තැනක් වගේ මට පෙනුනේ.

    කැමතියි

  17. Giza says:

    බොහෝම සංවේදි ලිපියක් අත්තම්මට නිවන් සුව ලෑබේවා…!!!

    කැමතියි

  18. budhajeewa says:

    ආච්චිට නිවන් සුව!

    දූෂිත ආහාර, වාතය, ජලය, අහිතකර විකිරණ මට්ටම් වලට ජනතාව නිරාවරනය කරන, ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන ගෙන්වන – නිෂ්පාදනය කරන සැමට සුව!

    කැමතියි

  19. Gimhani says:

    දයාබර මාතාවකගේ සමුගැනීමක්!!
    නිවන් සුව පතනවා!!!!

    කැමතියි

  20. Ravi says:

    පපුවටම වදින සටහනක් නවම්,

    මටත් අපේ අත්තම්මා මතක් උනා.දෙතුන් පාරක්ම උඹේ සටහන් කියවල මම කමෙන්ට් කරල තියනව ඔය වගෙ අත්දැකීමක් මටත් තියනව වෙලාවක ලියන්න ඕන කියල…….ඒත් තවම ඒ බලාපොරොත්තුව ඉටුකර ගන්ට ලැබුනෙ නම් නෑ…..

    පිළිකා රෝගී යුවතිය පිළිබඳ ඔබේ සටහන නෙතට කඳුලක් එක්කලා නවම්…..

    කැමතියි

  21. මට අපේ අචිචිල ( අම්මගේ සහ තාත්තගේ මව්වරු) දෙන්නගේ සමුගැනීම් මතක් උනා. නවම් ගෙ ආච්චිට නිවන් සුව!

    කැමතියි

  22. අවංකවම මට මගේ අම්මා තාත්තාට වඩා වටින්නේ ආච්චිඅම්මාව..කොටින්ම මම ආච්චි අම්මාට කියන්නේ අම්මා කියලමයි..මට කියන්න තෙරෙන්නේ නැ..මම අයියාගේ ආත්තාම්මට නිවන් සුවම පතනවා…

    කැමතියි

  23. සොසී says:

    මොහොම වෙහෙස වී අමතක කළ මතකයක් , යළිත් මසිතට කැන්දාන එන්නට සමත් වූ මේ ලිපිය ගැන නුඹට දොස් පැවරීමට මට සිතේ, අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ , කරාපිටිය පිළිකා රෝහල කරා බර වූ සිතින් යන මා , අමාරුවෙන් එහි දමා ආ සිත යළිත් එකතු කර මා දෝතට දෙන බව දනී නම් , මා මේ ලිපිය කියවන්නේ ද නැත. එය ඔබේ වරදක් නොවේ…ඔබේ ලිවීමේ වරදකි….. සංවේදී සිත් ඇත්තවුන් , ලියන්නවත් , කියවන්නවත් නොසුදුස්සන් ද?

    ජීවිතය කළකිරීමට එක් වරක් පිළිකා රෝහලකට යෑම සෑහෙන බව මගේ අත්දැකීමයි.. ඔබගේ ආත්තම්මා වැන්නියක එහි ගිය දින කිහිපයකම මට මුණ ගැසී ඇත. නමුත් මා කිසිදු විටක රෝගීන් හා නොදෙඩූවේ , මගේ සිත දුක ට තවත් දේ එකතු කර ගැනීමට නොකැමති වූ නිසාය. නමුදු ඒ ආත්තම් , ගේ සිත ශක්තිය ගැන මට පුදුම සිතෙන්නේ දැන්ය. ඇය කිසිදු විටක ඇයට සිදු වී ඇති අභාග්‍ය සම්පන්න රෝගය ගැන නොතැවුන්නීය. ඇය සෑම විටම පැවසූවේ. “ අනේ දරුවෝ , අපේ කාලේ ඉවරයි , ඒත් මේ පොඩි වුන් තවම ජීවිතේ පටන් ගත්ත විතරයි “

    මගේ පියා වින්ද දුක් වේදනා සිමිවන විට , ඔහුව පණ පිටින් තබා ගැනීමට අප ගත් වෙහෙස , ඔහු වෙනුවෙන් කෙරූ අකටයුත්තක් බව දැන් මට වැටහේ…. වේදනාවෙන් තොර ජීවිතයක් නැතිනම් සැබවින්ම මිය යාම හෝ සිවදිවි නසා ගැනීම සුදුසුම ප්‍රතිකාරය නොවන්නේ ද?

    ඔබේ දයාබර ආතම්මාටත් ,මගේ ආදරණිය පියාටත් , වාසනාවන්ත ආදරයක් ලැබ එය විඳින්නට නොහැකිව තැවෙන රෝගී තරුණියටත් මතු උපදින උපදින බවයන් පුරා , මෙවන් වේදනාවන් නොවිද , නිරෝගි මනුස්ස ජීවිතයක් විදීමට හැකි වේවායි යන්න මගේ පැතුමයි…..

    කැමතියි

  24. අසනි says:

    අනේ අයියේ..මටනම් ආච්චි අම්මා කෙනෙක්ගෙවත්..සීයා තාත්තා කෙනෙක්ගෙවත් ආදරේ ලැබිලා නෑ..ඒ නිසාම මම ඒ ආදරේට ලෝබයි..

    මේ ලොකේ ආව හැමෝම දවසක යන්න යනවා..ඒ අය අපි වෙනුවෙන් කරපු දේවල් වලට පින් පමුණුවන එක විතරයි අපිට කරන්න පුලුවන්…

    අයියගේ ආච්චි අම්මට නිවන් සුව පතනවා..!!!

    කැමතියි

  25. මොනා කරන්නද ..ආවොත් යන්ඩ වෙනවා ..ආරාධනාවක් නැතුවම එන අපිට ආරාධනාවකින් තොරවම යන්නත් වෙනවා ..

    මමත් නවම් අයියාගේ ආච්චි අම්මට නිවන් සුව පතනවා .!!

    කැමතියි

  26. පුංචි කාලෙ මගෙ ජීවිතේට කිට්ටුම කෙනෙක් මගෙ ආච්චි.. ආච්චි නැතිවුන දවසෙ මට දැනුනු හැඟීම්ම ආයෙත් හිතට දැනුන…

    නවම් ඔබේ ආච්චි අනිවාර්යයෙන් හොඳ තැනක ඇති…

    කැමතියි

  27. සෝරෝ says:

    උපන්නොත් යම් කෙනෙක් මෙලොවේ.. මරණයක් කොටා ඇත නලලේ ලු

    කැමතියි

  28. නවම්ගේ ආච්චි අම්මාට නිවන් සුව !
    මට මතක් උනේ අපේ ආච්චි. අම්මගෙවත් තාත්තගෙවත් අම්මා නොවුනට නැන්දාගේ අම්මා ආච්චි මට හරිම ආදරෙයි. එයත් මේ දවස්වල කරාපිටියෙ පිළිකා රෝහලේ ප්‍රතිකාර ගන්නවා. ඒකට ගියාම හිතෙන්නෙ හතුරෙකුටවත් පිළිකාවක්නම් හැදෙන්න එපා කියලා…

    කැමතියි

  29. හොයාගෙන ආවේ මොනාද අලුතෙන් ලියලා තියෙන්නෙ බලන්න.

    මං කල්පනා කලේ අපේ ආච්චිලා සීයලා අපිට නිදහසේ දක්වපු ආදරය, කරුණාව, අපේ දරු මුණුබුරන්ට දක්වන්න පුලුවන් වෙයිද කියලා.

    සමහර විට අපේ ආච්චිලා සීයලා වෙන්වෙද්දි අපට දැනෙන මේ කම්පනය උන්ට දැනෙන්නෙ නැති වෙයි.

    ආච්චි වෙනුවෙන් කරන වැඩේ ගොඩක් හොදයි මමත් හිතනවා. දානයෙන් උතුම්ම දානය ධර්මදානයනේ.

    මමත් අපේ කතන්දර සීයා ගැන ලිව්වා කාලෙකට ඉස්සර දවසක…..

    http://cyberyaya.blogspot.com/2010/07/blog-post_31.html

    කැමතියි

  30. අමා says:

    මම මගේ ආච්චිට කොච්චර ආදරේද කියනවානම් ඈ නැතිඋනු වෙලේ මම පැය ගානක් ඔහේ බලන් හිටියා අඬන්නෙත් නැතිව. මට ඕන උනේ මම දකින්නේ නපුරු හීනයක් වෙන්න. යතාර්තයට මුණ දෙන්න මට ඕන උනේ නැහැ.

    ආච්චි ලාගේ ආදරේ අම්මගේ ආදරේ ට වඩා වෙනස්. ඒක තේරුම් ගන්න නම් ඒක විඳලම තියෙන්න ඕන.

    ඔබේ මිත්තණිය ට නිවන් සුව පතනවා!

    කැමතියි

  31. නවම් says:

    ප්‍රතිචාර දැක්වූ, කියවූ හැමෝටම බොහෝම ස්තූතියි !

    කැමතියි

  32. මට මගෙ ආච්චි මතක් උනා . අපි කිව්වෙ අත්තම්මා කියල. ළමයි අම්මට තාත්තට වඩා ආදරේ සීයට ආච්චිට. ඒක හරි ලස්සන දෙයක්. ඉස්සර තාත්ත මට ගහන්න එනකොට මම දුවන්නෙ අත්තම්ම ළඟට. ” අත තියාපන් බලන්ට මගෙ කොල්ලට ” අත්තම්මා අපේ තාත්තට සැර දානව. ඒ අය හරි අපූරු අහිංසක චරිත. ඔබේ ලිපිය කියවා හැමෝගේම සිත් පහන් වෙන්න ඇති.. ඒ පිනම ඇති නාදුගල හාමිනේට නිවන් යන්න.

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: