මගේ තනිකමේ ප්‍රීතිය

පිලේ පහන නිව්වා මං ගොම්මන් අඳුරේ
තනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ

පෑල වියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්න
දොලේ හඬට උණ පඳුරේ වැනියන් මට බලා ඉන්න
කාගෙත් දුකට හූ මිටි ලන උල ලේනෝ හඬා යන්න
මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදා ගන්න

ගායනට : සුනිල් එදිරිසිංහ
රචනය : කුමාරදාස සපුතන්ත්‍රි

වටේ පිටෙ කොච්චර මිනිස්සු උන්නත් හිතට මහා තනිකමක් දැනෙනෙ වෙලාවල් අනන්තයි. සමහර වෙලාවට ඒ තනිකමෙත් අනන්ත සුවයක්. තනියම ඉපදුනාට තනියම මියගියාට මිනිස්සුන් තනියම බොහෝ කලක් ජීවත්වෙන්න කැමති නෑ. ඒත් සාමූහික විසීමකින් ඇතිවෙන හිත් රිදවීම් ඇතමෙක් තනිකමට සින්නක්කරේටම ලියල දීල. ඇතැම් විටක ඔවුන් ස්වකැමැත්තෙන්ම තනිවෙලා.

සෑම ප්‍රේම කතාවක අවසානයේ ඇතිවෙච්ච තනිකමට, හිස් බවට මාත් බොහෝම ප්‍රිය කලා.

ඒ හැම වෙලාවකම තනියම කාමරේ ඇඳේ බිත්තිය පැත්තෙ විට්ටමට හේත්තුවෙලා දොරට උඩින් බිත්තියෙ අලවල තිබුන සයිමන් ඇන්ඩ් ගාෆන්කල්ගෙ “හෙලෝ ඩාක්නස් මයි ඕල්ඩ් ෆ්‍රෙන්ඩ්” සිංදුවෙ පෝස්ටරේ තිබිච්ච අඳුර අතරෙ බොහොම කැමැත්තෙන් හිරවෙලා උන්නෙ. ඒ සින්දුවට ආසා උනෙත් කේ. කේ. සමන් කුමාර [සර්පයා] ගෙ “පිණි අහුරක් ඉහිරුණා” කියවල. ඒ පොතේ චරිත වටහාගන්න බැරි සාමූහික තනිකමකින් පීඩා විඳිනව.

කොටින්ම කිව්වොත් ප්‍රේමයක් අත්විඳින්නත් කලින්ම මට ඕන වෙලා තිබුනෙ ප්‍රේම වියෝගයක් අත්විඳින්න. ඒක නිසාම ගෑණුළමයෙක් එක්ක යාළුවෙලා මොකක්හරි හේතුවකට එයා මාව දාල ගියාම ඒ තනිකම පාළුව විඳගන්න හැටිත් හිතාගෙන උන්නෙ…

ඒත් ඒ ඉස්කෝලෙ දවස් වල එහම දෙයක් සිද්ද නොවුනත් ඊටපසෙ ඇතිවෙච්ච් ප්‍රේම බිඳවැටීම් නම් බොහොම අපූරුවට වින්දනය කලා. බීල කානු පල්ලේ නොවැටී, තනිකමේ අපූර්වත්වයෙන් පීඩා විඳීම ගැන ආපස්ස හැරිල බලල අදටත් සන්තෝසෙන් මතක් කරන්න පුළුවන්.

ගාල්ලෙ ලයිට් හවුස් එක පාමුල තියන කොන්ක්‍රීට් ලෑල්ල, රෑම්පාට් එකේ කාලතුවක්කු ගේ ඒ කාලෙ තනිකම හොයාගෙන ගියපු තැන්. ඒ තැන්වලට වෙලා හැන්දෑවෙ බහින ඉරට පි‍ටුපාල වාඩිවෙලා දිගට දිගේ තනකොළ බිස්සෙ ඇදිල ගිහිල්ල අඳුරු වෙලායන පරිසරයටම මුහු වෙලා නොපෙනී යන මගේම හෙවනැල්ල දිහා හිස් හිතින් බලාගෙන ඉන්න එකට මම බොහොම ඇලුම් කලා.

තනිකම දුකක් කිව්වට ඒක සම්පූර්ණ ඇත්තක්ම නෙමෙයි. තනිකම දුකක්, ඒත් ඒකෙ රසයකුත් තියනව, හරියට නෙල්ලි වගේ. තනිකම ඇතුලෙ ක්‍රමානුකූලව ගොඩ නැගෙන ස්වයං ආත්මානුකම්පාව වෙලාවක කන්දෙකෙන් පටන් අරන් කකුලෙ සුළැඟිලි වෙනකන් හීනි විදුලියක් වගේ ගමක් කරන අමුතුම හැඟීමක් ! මට හිතෙන්නෙ භාවනානුයෝගීව ඉන්න අයත් ඔවුන්ගේ ආධ්‍යාත්මික චාරිකාවෙ අතරමඟකදි යම් මට්ටමකට විඳින්නෙ තනිකමේ ගුප්ත රසය කියලයි.

පාළුව දෙවනත් කරලා
නාඬන් උළලේනෝ..
කාටත් නපුරු දා තනිකම් ඇතිවෙනවා
උළලේනෝ…‍උළලේනෝ..

හීත හුලංහිරිකඩයි කැලේ අපට උරුමේ
උඹට පිහාටුයි මට පැල්පතයි තියෙන්නේ…
උළලේනෝ….‍උළලේනෝ…

ගායනය : ගුණදාස කපුගේ
පද රචනය : රන්බණ්ඩා සෙනෙවිරත්න

විවිධ වයස්කාණ්ඩ වලදි තනිකමට විවිධාකාර සමාජීය අර්ථයන් සැපයෙනව. ඒ කොයිම අවස්ථාවකදිවත් මම හිතන්නෙ නෑ හිතට දැනෙන්නෙ පුර්ණ දුකක් කියල. ජීවිතයේ අවසාන භාගයේ ඇතිවන තනිකම ගැන අත්දැකීමක් නැති වුනත් පහු කරපු අවුරුදු විසි නමෙයේ මතක ඇති අවුරුදු පහලව විස්සෙ තනිකමක් දැනුන කිසිම වෙලාවක ඒක දුකක්ම විතරක් උනේ නෑ. සතුට, ආත්මානුකම්පාව, ශෝකය, වෛරය මුසුවෙච්ච අච්චාරු හැඟීමක් මිසක්. ඒ තනිකමේ වින්දනයට මගෙ හිත බොහෝම ලෝභයි.

ඉස්සර වගේම අදටත්… සමහර විට හෙටත්….. !

පින්තූරෙ ගත්තේ : http://daksheshparmar.blogspot.com/2011/05/

Advertisements

36 Responses to මගේ තනිකමේ ප්‍රීතිය

  1. blog gadol says:

    හ්ම්…හිතන්නට යමක්. හොඳ සටහනක්

    කැමතියි

  2. abeetha says:

    දන්නවනේ මචන් මීට පස්සේ තනිකමක් දැනුනොත් කතා කරන්න ඕන කාටද කියලා…

    කැමතියි

  3. Ravi says:

    ඔන්න නවම්….තව එකක්…..උඹේ ලියවිලි බලල මමත් ලියන්න ඕනය කියල හිතාගෙන ඉන්න එව්වට තව එකක් එකතු උනා…….තනිකම කියන්නෙ මහ පුදුම හැඟීමක්……හෙහ්, හෙහ්,….මගෙ අමරණීය ප්‍රේම පුරාණෙ ඔයවගෙ විරහව වින්දනයක් සේ අත්විඳි අවස්තා තියනව බොහොම…….

    ඒ කාලෙ මට තිබ්බ විරහව විඳීමේ විධි ක්‍රමයකුත් මමම හදාගත්තු…….හෙහ්, හෙහ්,

    හවස වැඩ ඇරිල එනව…..ඇවිල්ල යනව ටේබල් ටෙනිස් ගහන්ට…..මරු වැඩේ කියන්නෙ දවසෙ අනික් වැඩ ඔක්කොම කරනව කිසි අවුලක් නැතුව, විරහව ඒ වෙලාවට මතක වත් නෑ………සෙල්ලං කරල ඇවිත් නාගන්නව…….ඔන්න දැන් හයට විතර ඇති…..විරහව මතුවෙන වෙලාව……….මිදුලෙ ජෑම් ගහ යටට ගන්නව ඇඳි පුටුවක්…..ඒ කරල සිගරට් තුනයි ඕල්ඩ් බාගෙකට චුට්ටක් අඩුවෙන්……..හපන්ඩ ඔය කඩල ඇට හත අටක් තිබ්බ නම් ඉහටත් උඩින්…..ආ…..ඔය වෙලාවෙ ලියනව කවි……හෙහ්, හෙහ්….විරහ කවි……

    ඇඬෙනව මටම……හොටු හූරල එහෙම දාල…..සරමෙන්ම පිහගෙන ගිහිල්ල රෑට තියන දෙයක් කනව…….පහුවදත් එහෙමයි……….හෙහ්, හෙහ්…..මතක් වෙන කොටත් හිතට සනීපයි බං…….ලියන්නම ඕන මා විරහව ගෙවූ හැටි කියල පෝස්ට් එකක්………..

    කැමතියි

    • නවම් says:

      මේ පෝස්ට් එක ලියනකොට මම රවී අයියගෙ මේ කමෙන්ට් එක බලාපොරොත්තු උනා. මොකද මට හොඳටම මතකයි මගේ මීට සමාන පෝස්ට් එකකට රවී තියල ගියපු සටහන.

      එදා වගේම අදත් තනිකම ගැන සටහනක් තියන්න තරම් තනිකම අපූරුවට විඳපු රවී අයියා ලඟදිම ඒ දේවල් පෝස්ට් එකක ලියයි කියල බලාගෙන ඉන්නෙ.

      කැමතියි

  4. “තනිකම දුකක්, ඒත් ඒකෙ රසයකුත් තියනව, හරියට නෙල්ලි වගේ. ” අන්න ඒ වචන ටික මගෙ හිත හෙලෙව්වා.

    කැමතියි

  5. තනිකම කියන්නේ විඳලා බලන්න ඕන අත්දැකීමක් තමයි. එක රසයක් වෙන්නේ තනිකම නැතිවුණා දාටයි.. තනියෙන් ජීවත් වෙනකොට හිත බොහොම හයියයි.. ඕනෑම දෙකට මුණ දෙන්න පුළුවන්.. මම එහෙම තට්ට තනියම අවුරුදු පහක් ගෙදරක ජීවත් උනා. එක මගේ ජීවිතේ හොඳ අත්දැකීමක්.. මට හුඟක් මිනිස්සු දේවල් ගැන හිතන්න වෙලාව තිබුනා. අද වගේ බ්ලොග් කලාවක් තිබුනා නම් මම කොහේ ඉඳීද දන්නේ නැහැ.. ඒ වෙනුවට මම දිනකට පිටුව ගන්නේ ලිවූ දේවල් අදත් මට කියවපුවම අතීතයේ තනිකම රසවිඳින්න පුළුවන්.

    කැමතියි

  6. මගේ ජිවිතේ මාත් එක්ක වැඩි පුරම හිටියේ ඔය තනිකම විතරයි. මට කාටවත් කියාගන්න බැරුව හිටපු ඒ තනිකම ගැන ඔයා නියමෙට කියලා තියෙනවා.

    කැමතියි

  7. තනිකම වින්දනය කරගත් නවම් මාවත ………..
    හොඳ පෝස්ට් එකක්, තනිකම දැනෙන වෙලාවට කියවන්න ටොප් ………

    කැමතියි

  8. ගොඩයත් ඔහොම තනිකම ගැන ලිය ලිය හිටිය දැන් ඩබල් වෙලා මිනිහව තනියෙන් අල්ලගන්නත් බැහැ.. මෙන්න මෙයත් ලියනවෝ.. තව ටික දවසකින් ගොඩයා ගිය පාරේම යයි..

    කැමතියි

  9. තනිකමට කොච්චර අකමැති වුනත් සමහර සම්බන්ධතා එක්ක බලද්දි තනිකම දාහෙන් සම්පතක්… මාත් විඳිනවනේ…

    කැමතියි

  10. තනිකම කියන්නෙ වෙනමම කථා කොරන්න ඕනි මාතෘකාවක්.තනිකමේ ප්‍රභේද තියෙනවා.තනියම ඉන්නකොට ඇතිවෙන තනිකමනම් මෙහෙම විදින්න පුලුවන් වුනාද සෙනඟ මැද්දෙදි ඇතිවෙන තනිකමනම් විදින්න අමාරුයි.එතකොට පුදුම වේදනාවක් හිතට දැනෙනවා.

    කොටින්ම මේ තියෙන සිංදු දෙකෙත් තියෙන්නෙ දෙවිදියක තනිකමක් ගැන නොවැ.

    පිලේ පහන නිව්වා එකේ තනිකම ඔය මම වගේම ගොඩක් දෙනෙක් අත්විදින රසවිදින තනිකම.

    උලලේනෝ තනිකමනම් ඉතිං සිංදුව ලියන්න හේතුව දන්න හැමෝම දන්නව ඇති නොවැ.
    නන්දා මාලිනීගෙ වචනෙන් කියනවනම්..

    රට ගිනිගෙන ඇති බව දුටු මගේ එකම පුතනුවන්.
    එගිනි නිවන මග සෙවීම වරදක් දැයි මට කියන්..

    ඒ තනිකම මේ පුතාලට ඇතිවුන තනිකම ගැන.

    හැබැයි ඔය ඔක්කොටම වඩා නවම්ට ගැලපෙනම සිංදුව මග ඇරිල කියල මට හිතෙන්නෙ..


    බිරින්දෑ ගෙදර නැති තනිකම හෙවත්..

    කළේ පැන් ඇත නැවුම් රහ නැත…

    සිංදුව.

    කැමතියි

  11. අසනි says:

    වේදනාවෙන් තොර තනිකම හිතට ගේන්නේ පුදුම මිහිරියාවක්..වැව රවුමේ ගහක් යටට වෙලා..ඉර බැහැලා යන හැටි බලාන ඉද්දි දැනෙන සුවය..බෝ මලුවේ එරමිණියා ගොතාන ඒ බෝ පත් වල සිසිලස හද පත්තලටම කිදා බහිනවකොට ඒ දැනෙන මිහිරියාව විදලා ඉවර කරන්න බැහැ..තනිකමේ පාඩුවේ ඒ සුවය කොපමණ විදලා තිබුනත් තාමත් මගේ හිතේ ඉඩ කඩ නම්, ඒ සුව විදින්න ඕනෑ තරම්…

    ජීවිතේ එහෙමයි කියලා තාම හැල හැප්පිම් වලට මූන නොදුන් නිසාමදෝ..වේදනාබර තනිකමටනන් අසනි ඩිංගිත්තක් විතර බයයි ඕන්…

    තනිකම අපූරුවට ලිපියකට කොටලා.. අගෙයි අයියන්ඩි…

    කැමතියි

  12. නවම් says:

    වේදනාවත් එක්ක එන තනිකම ඊට වඩා මිහිරියි. තනියම පැත්තකට වෙලා හො‍ටු ගලනකං හිමීට අඬනකොට නෙව තනිකම අපූරුවටම දැනෙන්නෙ…..

    කැමතියි

  13. Gimhani says:

    මගෙ තනියට හැමදාමත් හිටියෙ තනිකම විතරයි..

    කැමතියි

  14. “කොටින්ම කිව්වොත් ප්‍රේමයක් අත්විඳින්නත් කලින්ම මට ඕන වෙලා තිබුනෙ ප්‍රේම වියෝගයක් අත්විඳින්න.”

    මටත් දැනෙමින් පවතින්නෙ මේකමයි දෙයියනේ 😀

    කැමතියි

  15. Alchemiya says:

    මගේ තනිකම ඇවිල්ලා මේ හැමෝටම වැඩිය වෙනස් එකක්.
    ඇල්කෙමිච්චිත් පැටියත් නිතරම මා දෙපස හිටියත් මට තනියි..
    මගේ දෙමාපියො නෑදෑයො කිසි කෙනෙක් නැතිව මම තනි වෙලා. ඒත් දෙයියනේ කියලා ටෙලිෆෝන් වලට පින් සිද්ධ වෛන්න නිතරම මම ඒ අයට කතා කරනවා. නමුත් ඉස්සර වගේ දැකලා මූණ බලලා හිනාවෙලා කතා කරන්න බැරු එක ගැන නම් තියෙන්නේ අප්‍රමාණ දුකක්.
    මම පවුලේ ලොකුම ලොකු පුතා නොවුනත්, (මට වැඩිමල් ඥාති සහෝදරයෙක් ඉන්නවනේ) මාමලා මම්මලා හැමෝම කට පුරවලා මට කතා කරන්නේ ලොකු පුතේ කියලා. මම ඒ ආමන්ත්‍රණයට හරි කැමතියි. මම ලොකු පොරක් වෙන්න හදන නිසා නෙවෙයි. ඒක මට හරිම ආදරණීයයි. (නම කියලා කතා කරනවාට වඩා සමීපයි)
    ඉතිං මට ඒ ලෙන්ගතුකම නැතිව මම තනි වෙලා…
    මමත් ඉස්සර කොටුපවුරේ වාඩි වෙලා නතියම ඉඳලා තියෙනවා…කොටු පවුර කියන්නේ කව් සිතිවිලි ගලාගෙන එන තෝතැන්නක්….. එතැන දෙවැනි වෙන්නේ මට නම් රුවන්වැලිසෑයේ මළුවෙදි ඇතිවෙන හැඟීමට විතරයි….

    කැමතියි

  16. මම නම් වැඩිපුරම හිටියේ තනියම නෙවේ .. ගෙදර හිටියොත් තනි වෙන්න වෙන නිසාම මම හිටියේ කොයි වෙලේත් යාලු මිත්‍රයන් එක්ක ඇවිදිමින් ..

    ජීවිතේ පලවෙනි ලවු එක කුඩු වුණාට පස්සේ මාරම තනි කමක් දැනුනා ! ඒත් සතියකින් දෙකකින් ඒ තනිකමත් මැකිලා ගියා මගේ තනිකම නිවන්න මගේ ගාව මිතුරෙක් ඉන්නවා එදා ඉඳන් අද වෙනකම්ම ..

    අමුතු පෝස්ට් එකක් නවම් අයියා ..එලමයි !!

    කැමතියි

  17. සඳු says:

    තනිකම ගැන ලස්සනට ලියල තියෙනවා…..

    මට අද උදේ පුදුම තන් කමක් දැනුනා යෙහෙලියක් නිසා…. කොච්චරද කියනවනම් බස් එකෙන් බහින්නත් අමතක වෙනව තව ඩ්ංගෙන්…. මං ඒ තරමටම තනිවෙලා කියල දැනුනෙත් මේක කිහෙව්වට පස්සෙනෙ…. වෙනදට නම් තනි නමක් එක්කම ලොකු දුකක් එනවා ඉවස ගන්නම බැරි උනාම අඩනව ඉක් ගගහ…. සති ගනන් අඩල වැලපිල ඉවර උනාම හිතට මාර සැනසීමක් දැනෙනවා….අද නම් අඩන්න තරම් හැගීමක් නෑ…

    කැමතියි

  18. මම් ඔය තනිකමේ ප්‍රීතිය තමයි තාමත් විඳින්නේ. ඇත්තටම ඒක ගොඩක් නිදහස්. ඒත් ආදරය කරන දෙන්නෙක් දැක්කම නම් ගොඩක් දුක හිතෙනවා. ඒක ඉතින් සෝඩා බෝතලේ කැඩුවා වගේ නැති වෙලා යන නිසා අවුලක් නෑ. 🙂

    කැමතියි

  19. තනිකම වේදනාවක් නෙමෙයි … ඇත්තටම තනිකම වින්දනය කරන්න බොහො දෙනා කැමති
    .මට මතකයි මගෙ යාළුවෙක් මේ ගැන දීර්ඝ විස්තරයක් කරා..ඒත් ඒ ඔක්කම ලියන්න වෙලාව මදි නවම්… ගෙදර ගිහින් එන්නම්…

    කැමතියි

  20. Chinthana says:

    මට නම් මේ ලිපියට මොනා කියන්නද තෙරෙන්නෙ නෑ…………… ඔන්න අයියෙ මාස 5කට පස්සේ සිංහල බ්ලොග් අවකාශයට වගේම නවම් මාවතටත් මම අවා………….

    කැමතියි

  21. නවම් මේ බ්ලොග් එක මට තාමත් හුරු පුරුදු එකක් නෙමෙයි… අභියා ලිව්ව ” නවම් මේ වගේ එව්ව ආයෙ ලියන්න එපා ” කියන ලිපියෙන් තමයි මට මේ බ්ලොග් එක මුලින්ම බලන්න ලැබුනේ…

    උබේ ලිපි ටික කියවන්න වෙලාවක් හොය ගත්තෙ අද… හිතට වදින ලිපියක්… හිතන්න යමක්.. ඇත්තටම මමත් ඔය තනිකමට හුඟක් කැමතියි.
    ඒක විඳින්න ක්‍රමයක් තියෙනවා…

    කැමතියි

  22. මට නම් මේක කියෙව්වම මතක් වුනේ මහගමසේකරගෙ කවියක්

    “දහස් මුවකින් නැගෙන ඔල්වර
    සිනා හඬ දසතින් ඇසේ
    දහස් ගනනක් සෙනග අතරේ
    මහා තනියක් මට දැනේ”

    මැණික්

    කැමතියි

  23. මම මොකුත් කියන්නම ඕනෙද ඔය තනිකම මකාගන්න විදියක් ගැන ???

    කැමතියි

  24. malmi says:

    හිතන්න හුගක් දේ එකතු කල පෝස්ටුවක්!!!

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: