යමක් සිදුවෙමින් පවතී. එහෙත් එය කුමක්දැයි නොදනිමි.

ඔබ කිසිවෙක් ජීවිතයේ හිස් බව විඳ ඇත්දැයි නොදනිමි. නමුත් මම විඳිමි. සුවපහසු දිවියක, සෙනෙහෙබර බිරිඳක් හා හුරතල් කොළුපැටියෙක් සමඟ ගතකරනා ජීවිතයේ කිසියම්ම හෝ හිස් බවක් දැනෙනුයේ නම්….

ඒ ඇයි දැයි පහදා පවසන්නට තරම් දැනුමක්, ජීවිතාවබෝධයක් නොමැති හිතින් තැවෙමි. පහදා දීම ඔබට නොව මටමය. ඒ ගැටළුව ලිහා ගැනීමට ප්‍රථමයෙන් ගැටළුව අවබෝධ කරගත යුතු හෙයිනි.

නැත, මට ඉන්ද්‍රිය ගෝචර නොවන්නා වූ යම්කිසි සිද්ධීන් සමුදායක් මා වටා සිහින්, සියුම් පෙනෙනා නොපෙනෙනා දුමාරයක් මෙන් වෙලී ඇත. එය විනිවිද දකිමි, එහෙත් ඒ දැක්ම සිතට මේ දෑනෙනා හැඟීම වටහා ගැනීමට ප්‍රමාණවත් නොවේ.

ජීවිතයේ පසුගාමීත්වයක් නොමැත. සියල්ලම සිතූ පරිදි සැලසුමක් නැතිවම ක්‍රියත්මක වේ. සියල්ලම සැප පහසු ය. සියල්ලම පිළිවෙලය. එනමුදු යම් කිසි හිස් බවක් අතට ඇල්ලිය නෑල්ලිය හැකි දුරකින් පවතී.

මට යමක් නොකර සිටිය යුතුයැයි හැ‍ඟේ. එය කුමක්දැයි සිතාගත නොහැක. යමකින් ඈත් වී සිටීමට අවැසිබවක් දැනේ. එහෙත් කුමකින්දැයි නොවැටහේ. කෑ ගැසීමට සිතේ, එහෙත් කුමක් අරභයා කා වෙනුවෙන් දැයි නොතේරේ.

අභාග්‍යයකි !

කිසිවෙකු නොමැති මහ වන මැදක, පාළු වෙරළක, තනි ගසක් ඇති ගල් කුලක මේ සරතැස නිවාගනු වස් තනිවීමට සිතේ. එහෙත් කිසිවක් දමා යා නොහැක. සියල්ලම දැඩි ආදරණීය බැඳීමකින් මා හා වෙලී පවතී. බිරින්දෑ හා පුතා නොමැතිව ‍රැයක් පහන් කිරීමට සිතීමම විහිළුවකි. මා රවටා ගැනීමකි.

ඔහේ දෙඩවීමට සිතේ. පිස්සෙකු යැයි නොසිතන්නේ නම් එයද නොකර සිටීමට බැරි කමක් නැත. ඒත් මිනිස්සු කලබල කරන්නේ කුමකටදැයි සිතා මම මුනිවත රකිමි.

ප.ලි : මෙය කලකට පෙර සිතට දැනෙනා විට වරින් වර වචන ඇමිණූ අසම්පූර්ණ සටහනකි. දැන් මා එම ව්‍යාධියෙන් මිදී සිටිමි. නමුදු සිදුවූයේ කුමක්දැයි නොදනිමි! කුමක් සිදුවීමට ඇත්දැයිද නොදනිමි !

Advertisements

56 Responses to යමක් සිදුවෙමින් පවතී. එහෙත් එය කුමක්දැයි නොදනිමි.

  1. “දැන් මා එම ව්‍යාධියෙන් මිදී සිටිමි. නමුදු සිදුවූයේ කුමක්දැයි නොදනිමි! කුමක් සිදුවීමට ඇත්දැයිද නොදනිමි !“

    ලොක්කො ඔය දේ නම් මට විශ්වාස නැහැ, හැම දේම හිත හරි හැටි දැන ගත්තත්, හිත ටිකක් අදි මදි කරපු නිසා කිව්වෙ නැහැ කියලා තමා හිතෙන්නෙ …………

    ඕක උඹට විතරක් නෙමේ හැමෝටම හිටපු ගමන් හැදෙන ලෙඩක් ………

    කැමතියි

  2. මොනා වුනත් ඔය ලෙඩේ හරිගියේ අර ඕනේ අයියා වගේ වරු පිරිතකින් පස්සේ කියලනම් සුවර්….

    කැමතියි

  3. Gimhani says:

    පංසල් හන්දිය සමඟ එකඟයි. මේවා අපේ සිත්තුල කලින් කලට පහල වෙන සිතුවිලි. ටික කලකදී නැතිවෙනවා නමුත් නැවතත් ඇතිවෙනවා.මේ මිනිස් සිතේ ස්වභාවය.ඔබට පමණක් නොවේ අපි හැමටත් ..

    කැමතියි

  4. ඇයි හත්වලාමේ මට මෙව්වා තේරුං ගන්න බැරි. නවම් අයියා මට මේ සීන් එක සරලව පැහැදිලි කරලා දෙන්න.

    කැමතියි

  5. කිසිම පුදුමයක් නැහැ. ඔය මනුස්ස හිතේ හැටි තමයි.. අවකාශයේ තියෙන වායුවෙන් තොර හිස් තැන වගේ අපේ ජීවිතවලත් විස්තර කරන්න නොතේරෙන හිස් තැන් ඇතිවෙනවා..

    කැමතියි

  6. දැන් හරි නම් ඉතින් අවුලක් නෑ… කාලෙන් කාලෙට එක එක විකාර හිතට එනව නෙව…

    කැමතියි

  7. ඈ බන් නවම්… උබ ඌ පෙළ කොරේ මොන අවුරුද්දෙද… ? බද්දේගම දිහා ඉදන් ආව බසයේ තමා මමත් ගමන් බිමන් ගියෙ

    කැමතියි

  8. Weni says:

    වචනවලට පෙරල ගන්න බැරි හිස් බවක් , අසාර බවක්, කලකිරීමක් වගේ හැඟීමක් හිතට ඇවිත් යන එක මටත් සාමාන්‍ය දෙයක් !ජීවිතේ සම්පූර්න වුනත් ඒ වගේ දෙයක් වෙනවා..ටික කාලෙකින් හරි යනවා ! මුල කාලෙ මමත් හිතුවා යකෝ මට පිස්සු හැදෙන්නද එන්නෙ කියල..පස්සෙ මටම හිනා ආයි අමුතුවෙන් හැදෙන්න දෙයක් තියේයැ කියලත්..

    කැමතියි

  9. arunishapiro says:

    නවම් මල්ලි අර midlife crisis කියන්නට මුහුණ දීලා වගේ.

    මිනිසා තම physical මොළයෙන් තමයි වැඩියෙන් වැඩ කරන්නෙ. ඒත් ඒකට ආහාර දෙන එක වයසින් වැඩි වෙන කොට අමතක කරලා දානවා.

    කාර්යාල ඇතුලෙ, ගෙවල් ඇතුලෙ ඉඳගන, රෑට ටී.වී. බලමින් ඉන්දැද්දී ඒ මොළය ජරාවට යනවා. ජීවිතය කියන්නෙ ජවය පිරුණක්. ජීව විද්‍යාත්මකව මොළය කරන්නෙ වැඩ දෙකක්: 1. වර්ධනය 2. ජරාවට යෑම.

    physical මොළය ප්‍රාථමිකයි. ගෙයින් පිට ගිහින්, කණ්ඩායම් එක්ක එකතු වෙලා කරන කටයුතු වලින්, දහදිය දාන වැඩ කරමින්, ඒ ප්‍රාථමික මොළයට වැඩ දුන්නෙ නැත්නම් හිත ඔහොම හිස් බවකින් පිරෙනවා. ඊට හුරු වීම හිස් බවින් ගොඩ ඒම යැයි බාරගන්න එපා. ඒක ඉක්මණින් ජරාවට යන මාර්ගය.

    වර්ධනයට හැක්කේ physical මොළයට physical වැඩ ලබා දීමෙන්.

    කැමතියි

    • නවම් says:

      බොහොම ස්තූතියි අරුණි අක්කේ ඇවිල්ල මට පිස්සු කියල නොකිය වෙච්ච පැටලිල්ලෙන් බේරෙන්න පොටක් පාදල දීපු එකට.

      කිව්වත් වගේ ජීවිතේ හරිම ඒකාකාරී තමා. වැඩට එනව, ගෙදර යනව, බුදියගන්නව ආයෙම උදේට වැඩට යනව. වෙනසක් වෙන්න තියන ඉඩ බොහෝම අඩුයි. අර මිදුන කියල දැනෙන්න ඇත්තෙ, පොඩි පොඩි ගමන් දෙකතුනක් ගියා, පරණ යාලුවෙ කීපදෙනෙක් මුණගැහුන නිසා වෙන්න ඇති.

      දැන් නම් ඉතිං මොනවහරි කරන්න වෙනව. නැත්නං අර කළුවර කාමරේ මං ආයෙම හිරවෙයි.

      කැමතියි

  10. මොනව හරි වෙන එක ගැන සතුටු වෙයන් බන්… මොකුත්ම නොවෙන නිසා මිනිස්සු කී දාහක් දුක් විඳින කාලයක් ද මේ…. හික්…

    කැමතියි

  11. කොහොමෙන් කොහොම හරි දැන් වැඩේ හරිනේ….. කාලෙන් කාලෙට තාලෙන් තාලෙට එක එක ඒවා වෙනවා තමයි තේරුම් ගන්න බැරි විදිහේ

    කැමතියි

  12. Sayuri says:

    ” සුවපහසු දිවියක, සෙනෙහෙබර බිරිඳක් හා හුරතල් කොළුපැටියෙක් සමඟ ගතකරනා ජීවිතයේ කිසියම්ම හෝ හිස් බවක් දැනෙනුයේ නම්….”

    මේ නම් නිසැකවම හුරතල් කෙළි පැටියෙකු ගේ අඩුවයි 😀

    කැමතියි

  13. මම පෝස්ට් එක තුන් පාරක් කියෙව්වා. මම බය වුනේ අනිත් උන් ඔක්කොටම තේරෙන දේ මට නොතේරෙන්න මම මෝඩයෙක්ද කියලා? තුන් පාරට තේරුනේ තුන් විදියක. කොහොම් හරි කමක් නෑ දැන් සනීපනෙ. තව එකක් මහන වෙන්න හෙම අදහසක් තියෙනව නම් අර මාරය කන්සල්ට් කලානම් හොඳයි, හික්ස්.
    henryblogwalker the Dude

    කැමතියි

  14. anushka says:

    මචං වෙලාවකට කිසිම චැලේන්ජ් එකක් නැතිව දුවන ජීවිතේත් එපා වෙනවා. අර අරුණි අක්කා කියන කතාවත් වෙන්න පුලුවන්. අපේ ඇඟ වල් හැදිලා තියෙන්නෙ කොම්පුටර් ඉස්සරහ කොට කොට ඉන්න නෙමේ නෙ. පොඩ්ඩක් එක්සයිස් කරපන්.

    ඔක බූත දෝසයක් වෙන්නත් පුලුවන්.

    කැමතියි

  15. අර කියන්නත් වගේ හවසට ඕනයවත් අඬගහගෙන පැයක් හමාරක් පා‍රෙ දුවපං…. ලෙඩක් තිබ්බොත් නිට්ටාවට සුවයි. කොහෙද උඔලා ඕනයාලා එක්ක සෙට් වෙලා වෙන වෙන එව්වනෙ කරන්නෙ

    කැමතියි

  16. Buru says:

    මොන හේතුවක් හින්දා හරි මේ බ්ලොග් එක මගේ රීඩරේට එන්නේ නෑ.
    කොහෙන් හරි මොකක් හරි දැකලා ආවම පසුවෙච්ච ලියුම් ගොඩයි.

    කැමතියි

  17. ඕක අයියේ ගැස්ට්‍රයිටීස් වැඩි වුනාම ඇතිවෙන රෝග තත්ත්වයක්. 😀

    කැමතියි

  18. ඇත්තට මොකද්ද මචං උඹට වෙලා තියෙන්නේ ? උඹට ඉහෙන් බහින ලෙඩනම් නැති බව මට සුවර් මොකද ලෙඩක් නම් ඉතින් උඹට බේත් ගන්න බැරියැ තනියම .

    හෙඩ් ෆෝන් එක දාගෙන පැයක් හමාරක් සින්දු අහලා බලහං අයියා තනියම . ! මම අත් දැකීමෙන් කියන්නේ .

    කැමතියි

  19. එක පාරටම හිතුනා මේ මම ලියපු දෙයක්ද කියලා.. මොකද සමහර වෙලාවට මටත් මේ වගේ හිතෙනවා. වෙලාවකට හිතෙනවා මට පිස්සු වෙන්න ඇති කියලා. ඒත් නිදහසේ කොහේ හරි ලස්සන තැනක හිතේ හැටියට ඇවිදලා ආවහම ඒ ඔක්කොම නැති වෙලා හරිම සතුටක් දැනෙනවා…

    කැමතියි

  20. දුශ් says:

    මේක ඇවිල්ල බොහොම බුද්ධිමතුන්ට හැදෙන බොහොමත් වැදගත් ලෙඩක් හරිය.. අරින්න එපා.. ඕක ඔය නිදහස් චින්තනයක් තියන බ්ලොග් කාරයන්ට හැදෙන ලෙඩක්. ලෙඩක් කියන්නත් බැ හැබැයි ඉතින්, මේක ඇවිල්ල සිරාම case එකක්… වැඩි විස්තර පස්සේ කියන්නම්

    කැමතියි

  21. අසනි says:

    ඔය ව්‍යධියෙන්මද මන්දා අයියන්ඩි මේ දවස් වල මාත් පෙලෙන්නේ…මට කියා ගන්න බැරි දෙයක් කිය වුනාවද්ද කියලා මටම හිතුනා…

    “කිසිවෙකු නොමැති මහ වන මැදක, පාළු වෙරළක, තනි ගසක් ඇති ගල් කුලක මේ සරතැස නිවාගනු වස් තනිවීමට සිතේ. එහෙත් කිසිවක් දමා යා නොහැක. සියල්ලම දැඩි ආදරණීය බැඳීමකින් මා හා වෙලී පවතී. “

    කැමතියි

  22. ගල්වාන පැත්තෙ තියන කංසා වලට ෆෝමලීන් ගහනවලු මචෝ. . . . පාවිච්චිය පරිස්සමින්

    කැමතියි

  23. Ravi says:

    අපොයි, නවම් ඒක ගනන් ගන්න එපා…… සියලු දෑ සම්පූර්ණ, අඩු පාඩුවක් හිතාගත නොහැකි ජීවිතයක් ගත කරන අද උනත් අනිවාර්යයෙන් උඹට ඉඳහිට මේ හිස්බව දැනෙන්ට ඕන,

    මම දන්නෙ නෑ මේ ව්‍යාධියෙන් දැන් මිදුනයි කියල කිව්වෙ ඇත්තටමද කියල……ඒක ඇත්තනම් තමයි ගොයියො මගේ මතේ හැටියට උඹ කලබල වෙන්ට ඕන………

    මම මේ කියන්නෙ මට දැනෙන මම තේරුම් ගත් හැටියට, නවම් කියපු ජාතියෙ නිසසල ගඟක් මෙන් හැල්මේ ගලායන සෑම මිනුම් දණ්ඩකින්ම සාර්ථක යයි කිවහැකි ජීවිතයක් ගත කලත් මම ඉඳහිට අදටත් නවම් කියාපු වටහාගත නොහැකි හිස් බවකින් නැත්නම් ඉච්ඡා භංගත්වයකින් පෙලෙනවා.උඹ කිව්වෙ සහතිකම ඇත්ත. ඒ ඇයි කියල කෙනෙකුට තේරුම් කරන්ට තියා මටම තේරුම් කරන්ට වත් මට තේරෙන්නෙ නෑ.

    මම දැනට හිතාගෙන ඉන්නෙ මෙහෙමයි,

    හැම කෙනෙකුටම මේ හිස් බව දැනෙනවා ඇති, ජීවිතේ සාර්ථක බව මනින මිනුම් දණ්ඩ වෙන්නෙ ඒ හිස් බව දැනෙන වාර ගණනයි.

    හිස් බව දැනෙන වාර ගණන ප්‍රතිලෝමව සමානුපාතිකයි ජීවිතේ සාර්ථකත්වයට…….මම වැරදි වෙන්න පුලුවන්….ඒත් මගේ ජීවන දර්ශනය ඕකයි.

    කැමතියි

  24. malmi says:

    ඉදල හිටල මටත් ඔහොම වෙනවා නොකිව්වට මොකෝ මං හිතන්නෙ බාගෙට ……

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: