කසාද බඳින්නද යන්නෙ

ඇයි කසාද බඳින්නෙ? ප්‍රේමයේ ඵල නෙලන්නද ? ලෝකාපවාදයෙන් බේරිලා අහවල් වැඩේ කරන්නද ? වටේ පිටේ ඉන්න අය කියන නිසාද? එහෙමත් නැත්නං වයසට ගිහිල්ල තනිවෙනවට බයේද?

මං නං අඩු වැඩි විදියට ඔය හේතු කිහිපයි ලියන්න කියන්න නොතේරෙන හේතු කිහිපයකුයි නිසා. කොයි කොහොම උනත් මං දැං බැඳලා. ඒක එතනින් අහවරයි. එතනින් පස්සෙ තමයි හොඳ සෙල්ලං තියෙන්නෙ.

ඒව ගැන නෙමෙයි මේ ලියන්න යන්නෙ. ඊට කලින් හිතන්න ඕන දේවල් කිහිපයක් ගැන….

බඳින්න නම් ඉන්නෙ, ඊට කලින් හොඳට හිතල බලන්න කවුද බඳින්න යන්නෙ කියල. මම දැක්ක කොහේ හරි බ්ලොග් පෝස්ට් එකක තියනව “හදිස්සියේ විවාහ වන්නා නිවිසැනසිල්ලේ පසු තැවේ” වගේ අදහසක්. මට හිතෙන විදියටනම් ඒක හරි.

මම විවාහ උනේ ප්‍රේම සම්භන්දකම් හතරකට [පහකට …. ?] පස්සෙ. ඒවායින් එකක් නම් පොරොන්දම් බලල නැකැත් තීරණය කරන තැනටම දුරදිග ගියා. ඒත් පහුවදා උදේ බෑ කියල හිතිල සභා තොමෝ සතුටින් නොවුනත් විසිර ගියා. අනිත් ඒවත් එච්චර දුර දිග නොගියට එක්කෝ මට බෑ කියල හිතිච්ච නැත්නම් අනිත් පාර්ශවයට බෑ කියල හිතිච්චා.

මම හිතන්නෙ එදා කොච්චර අමාරුවෙන් හරි බෑ කියල කියාපු නිසා අද හිතේ සන්තෝසය ඉතුරු වෙලා කියල. ඒක නිසා හිත සීයට සීයක් එකඟතාවයකට එනකන් විවාහයට “හා” කියන්න එපා.

බොහෝමයක් වෙලාවට ඔබ සහ මම යමෙකු හා ප්‍රේමයෙන් බැ‍ඳෙන්නේ හැබෑවටම ඔවුන්ව දැකල නෙමෙයි. සමහර විට ඒ බැඳීමට මූලික වෙන්නෙ, ලස්සන පා යුගලක්, ලස්සන හිසකෙස් කළඹක්, ලස්සන උල් වූ නහයක්, හා තව තවත් අනන්ත වූ පුද්ගල බද්ධ භෞතික ස්පර්ශක කාරනා.

ආරම්භයකට එය එතරම් වරදක් නොවෙන්නෙ ලංකාවෙ අපිට විරුද්ධ ලිංගිකයන් යම්තාක් දුරකට ෆැන්ටසියක් නිසා. ඒත් දීර්ඝ කාලීන බැඳීමකට යන්නේනම් ඔබ එම මානයන්ගෙන් ඔබ්බට යා යුතුයි. මොකද ඔබට ලස්සන පා යුගලක්, නාසයක් එක්ක විතරක්ම පවුල් කන්න බැරි නිසා.

ඔබ ප්‍රේමයෙන් ගතකරන කාලයේ කොයියම් ම මොහොතක හෝ සිතුනොත් යම් දෙගිඩියාවක්, වහාම නවතින්න ! සිතන්න ! සාකඡාකරන්න ! ඇතැම්විට එය නොසලකා හැරිය හැකි තරම් දෙයක් වෙන්න පුළුවන්. ඒත් අමතක කරන්න එපා වැවි බැම්මට පුංචි සිදුරත් දීර්ඝකාලීනව බලපානව. ඒ මදිවට වැවෙන් පෝෂණය ලබන අයටත් මහා විනාසයක් ගෙනදෙනව.

එහම හිතනකොට ඔබට හිතුනොත් මේ සම්භන්දයෙ කෙළවර තියෙන්නෙ නොසතුටක් කියල, ඔබ මොකක් කරාවිද ?

ඔබ කුමක් කරයිද කියල කියන්න මම නොදන්නවට මම දන්නව මම ඒ වගේ වෙලාවට මොකක්ද කලේ කියල. දෙනෝදාහක් එපා කියද්දි, “ඔයා නැති වුනොත් මම මැරෙනව” කියද්දි සමාදානයෙන් මම පැත්තකට උනා. බොහොම අමාරුයි, බොහෝම වේදනායි, බොහෝම කේන්තියි. ඒත් ඒ ටික කලකට විතරයි. අවුරුදු පනහක හැටක සතුට වෙනුවෙන් අවුරුද්දක දුකක් නොසලකා හරින්න පුළුවන්. දැන් හැමෝම සතුටින් !

ඇතැම් විටක ඔබට සම්භන්ධයක් නවත්වන්න උවමනාවක් ආවත්, යාළුවො, දෙමාපියො, නෑදෑයො මොනවා කියයිද කියල බයේ ඒ තීරණය ගන්න පසුබට වෙනව. මට එක සම්භන්ධයක් නවත්වන්න ඕන වෙච්ච වෙලාවක යාළුවෙලා උන්නු ගෑණුළමයගෙ පුංචිඅම්මගෙ දුව මාත් එක්ක තරහ වෙයි කියල ඒ තීරණය කල් දැම්ම. තවත් වෙලාවක යාළුවො බනීවි කියලත් කල් දැම්ම. එදා ඒ කාරණා බොහොම ලොකුවට දැක්කට අද වෙනකොට ඒ දේවල් ළූණු පොත්තක් තරම් වත් වැදගත් නැති කාරනා.

ඒක නිසා හැම විටම තමන්ගේ හිතට ඇහුම් කන් දෙන්න පුරුදුවෙන්න. ජීවිතයේ බොහෝම බරපතල කාරණා ගැන තීන්දු තීරණ ගනිද්දි අද ගැන නෙමෙයි, අනාගතයය ගැනත් හිතන්න. හැම කෙනෙක්ටම සවන්දෙන්න. ඊටපස්සෙ ඇනලයිස් කරල බලන්න. එන රිසල්ට් එකට අවංකව මූණ දෙන්න.

විවාහ උනාට පස්සෙ මොනවද වෙන්නෙ ?

කිසිම වෙනසක් වෙන්නෙ නෑ. හැමදෙයක්ම සාමාන්‍ය විදියට ගතවෙනව අමතර වගකීම් රාශියකුත් එක්ක. ඔබ විවාහවෙන්නෙ කානිවල් එකකට ඇතුළුවෙන හැඟීමෙන් නම් ඔබ ගේට්‍ටුවෙන් ඇතුළුවූ වහාම බලාපොරොත්තු කඩකර ගන්නව.

විවාහය මිනිස්සු වෙනස් කරන්නෙනම් නෑ කොහෙත්තම. ඇතැම් විට ඔබ විවාහ වෙලානම්. ඔබට හිතෙනවනම් අනෙකා විවාගයෙන් පස්සෙ වෙනස් කියල, ඔබ ඒ වෙනකල් මුළාවක ඉඳල තියෙන්නෙ. අනෙකාගේ සැබෑව ඔබ දකින්න උත්සාහ කරල නෑ. එහෙමත් නැත්නම් ඉඳ හිටක දැක්කත් “පස්සෙ ඕව හරියයි” කියල හිත රවට්ටගෙන.

ආයෙමත් කියනව, මිනිස්සු වෙනස් කරන්න බෑ. එහෙමත් නැත්නම් හරිම අමාරුයි. හැබැයි අවංකවම ඔවුනට වෙනස් වෙන්න උවමනාවක් තියනවනම් පුළුවන්. ඒ උවමනාව ඇතිවෙන්නෙ තමන් දැන් දරන ස්ථාවරය වැරදියි කියල තේරුම් ගනිපු කෙනෙක් තුල විතරයි. හැම අතකින්ම තමන්ගේ ක්‍රියාවන් සර්ව සාධාර්ණයි කියල හිතන්න පුරුදු වෙච්ච මිනිස්සුන්ට තමන්ගෙ ස්ථාවරය වැරදියි කියල පිළිගන්න තියන ඉඩකඩ හැන මටනම් තියෙන්නෙ ලොකු සැකයක්.

ඒ වගේම අමත කරන්න එපා විවාහයට පෙර ප්‍රේමයෙන් ගතකරන කාලයේ අනෙකා ඔබට පෙන්වන්නෙ සැබෑවම නොවෙයි කියලත්.[මේක ස්වාභාවිකවම ඇතිවන්නක් මිසක් අනිකා මුලා කරන්න හිතාගෙන සිද්ධවෙන දෙයක් නෙමෙයි මගේ දැනුමෙ හැටියටනම්] ඔබ සෑම විටම මනස විවෘතව විචක්ෂණශීලීව පවත්වාගෙන යන්න ඕනෙ ඉඳ හිටක හමන හුලඟකට මෑත්වෙන තිරයෙන් පි‍ටුපස හිඳිනා අනෙකාව දකින්න. ඔබ ප්‍රේමයේදි අනෙකාට අවංක නම් පෙරළා ඔබවෙත අවංකත්වය එයි. ඔබේ හිතේ සතුට පවතියි. ඔබ කොතැනද අනෙකාව මුලා කරන්නෙ, එතනයි ඔබ ‍රැවටෙන්නට පටන්ගන්නේ ඔබේම බොරුවෙන් මුලාවූ අනෙකාට.

විවාහයට පෙර සිදුවන ප්‍රේමය අත්පත් කරගැනීම හා පවත්වා ගැනීමේ උත්සාහය විවාහයෙන් පස්සෙ ඉබේටම හීන වෙලා යන්නෙ “ඔබ මගේ, මම ඔයාගේ අපි දෙන්න දැන් එක්කෙනෙක්” කියන සමාජය විසින් බලෙන් ප්‍රේමවන්තයන්ගෙ කරමත පටවපු තඩි බොරුවට යටවෙලා. පුද්ගලයන් දෙදෙනෙක් කිසිම වෙලාවක එක්කෙනෙක් වෙන්නෙ නෑ. විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙක්.

ඔබ පිලිගන්න සූදානම් නම් ඔබ හා අනෙකා දෙදෙනෙක්, ඔබ දෙදෙනාගේ අවශ්‍යතාවයන් දෙවිදියක්, සතු‍ටු වෙන්නෙ වෙනස් ක්‍රම වලින්. හිතන්නෙ පතන්නෙ හිත් දෙකෙකින්. ජීවන පුරුදු දෙවිදියක්. කොටින්ම ඔබ දෙදෙනා එක වහලක් යට ජීවත්වෙන පුද්ගලයන් දෙදෙනෙක් කියල, එතන ඉඳල ඔබ දෙදෙනා අතරෙ තියන හිස් ඉඩ සතුටින්, සමාදානයෙන්, අදරයෙන්, ඉවසීමෙන් පිරිලයනව. එහෙම නැතුව අපි දෙන්නා දැන් එක්කෙනෙක් කියල හිතනවනම් ඔබ දෙදෙනා අතරෙ තියන හිස් ඉඩ පිරිල යන්නෙ පසුතැවිල්ල, කේන්තිය, වෛරය වගේ භින්නාත්මක ආකල්ප වලින්.

හැම දෙයක්ම මුලදී සැක කරන්න, විමසන්න, අවබෝධයෙන් පිරික්සන්න. පිළිතුරු දැනගන්න, සැකය සමනය කරන්න. ඉන් අනතුරුව මිසක් විශ්වාසයේ පදනම අතුරන්න එපා. පදනම ශක්තිමත් නම් ඔබට ඔබේ විවාහ ජීවිතට බොහෝම උසට ගොඩනඟන්න හැකි වෙයි. මොකද සාර්ථක ජීවිතයක් කියන්නෙ ගොඩනැගිල්ලක්, වෘක්ෂයක් වගේ සිරස් අතට මිසක් වැලක් වගේ තිරස් අතට ගමන් නොකරන්නක් නිසා.

මම කියන්නෙ නෑ ඔබටත් මේ ලියල තියන දේවල්ම කරන්නය කියල. ඔබ කැමතිනම් පිලිගන්නත් අකමැතිනම් පිලිනොගන්නත් පූර්ණ අයිතිය ඔබ සතුයි. මොකද ඔබේ ජීවිතයට වගකියන්නෙ ඔබම මිසක් මම හෝ ඔබේ අනෙකා හෝ වෙනයම් කිසිවෙක්වත් නොවෙන නිසා.

පින්තූරය ගත්තේ http://9gag.com

Advertisements

55 Responses to කසාද බඳින්නද යන්නෙ

  1. praveena says:

    හොඳ ලිපියක්. විවාහය ගැන කල්පනා කරන්ට හිත යොමු කරලා තියනවා.

    හැබැයි පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ, ඔය විදියට සම්බන්ඳ තුන, හතර, පහකටම පැටලිලා, කේන්දරේ බලන තැනටම ගිහින් ඒවා අත ඇරියොත් ගෑනුන්ටත්, පිරිමින්ට විදියටම සලකන්ට අපේ සමාජය තාම පුරුදු වෙලාද කියන එක. පොඩ්ඩක් ඔය කොල්ලෙකුගෙන්ම අහලා බලන්ටකෝ ඒ වගේ ගෑනු ලමයෙකුට එයාලා නම් බඳින හැටි.

    කැමතියි

    • නවම් says:

      නෑ තාම ලංකාවෙ බහුතරයක් එහෙම කරන්න සූදානම් නෑ. ඒත් තව පරම්පරාවක් ගියාට පස්සෙ ඒ ආකල්ප දරන්නන් 50% කින් අඩුවෙයි.

      ඒ කොහොම උනත් අනුන් නිසා ජීවිතේ අල කරගන්න එකනම් එච්චර හොඳ දෙයක් නෙමෙයි. මොකද එදා ඉඳල විඳවන්න නෙ වෙන්නෙ.

      කැමතියි

    • දුශ් says:

      මෙතැන පොඩි ඇත්තක් තියනවා, සමාජයෙන් ඒ ගැනු ළමයි දිහා බලන කොනෙ එකක්.. එක කොල්ලෙක් පැත්තෙන් බලන තරම් සරල නැ, කෙල්ලෙක්ට.. හැබැයි ඉතින් බැදලා වෙන් වෙනවට වැඩ දාහකින් සැපක් තමයි තේරුම් අරන් කලින්ම අයින් වෙන එක. එත් ඔකේ තව පැත්තක් තියනවා, හිතන්න සමහර කෙල්ලෝ ඉන්නවා කොල්ලොත් ඉන්නවා.. පලවෙනි ආදරේ කියල මැරෙන්න හදනවා.. ගොඩක් දෙනෙක් කරන්නේ බොරුව.. එත් සමහරුන්ට ජීවිතේ පලවෙනි වතාවට දැනෙන මේ හැගීම් මලාට අමතක කරන්න බැරි, එහෙම අමතක නොවෙන උන් ඉන්නවා.. එහෙම එකෙක් දෙන්නෙක් තමා ඔය සියදිවි හානි කරගන්නේ.. එතින් අපි මේ ගැනුදෙනු කරන්නේ ඒ වගේ චරිතයක් එක්ක නම්.. අපි උඩින් බැලුවම පෙන්නේ පිස්සෙක් අපරාදේ ජීවිතේ නැතිකර ගෙන කියල, එත් ඒ අත්දැකීමට මුණදෙන්න සමහරුන්ට අමාරුයි.. නවම් අය්යා කියන කතාව මම වගේ කොල්ලෙක්ට නම් හරියට හරි, උන්නත් දාහයි මලත් දාහයි, එත් සමහරුන්ට එහෙම නැ.. හැබැයි කොල්ලෝ ඔක්කොම එකයි.. කියන්නේ ඔය ගියොත් මම මැරෙනවා මයි කියල.. එත් ඉතින් උන් එහෙම මැරෙන්නේ නැ.. හැබැයි මැරෙන උනුත් ඉන්නවා.. මැරෙන ජාතියයි නැති ජාතියයි වෙන් කරලා අදුර ගන්න වෙන්නේ එකෙක් මලාම තමා.. හැබැයි මෙහෙම එකකුත් තියනවා, ගොඩක් කෙල්ලොන්ට පලවෙනි ආදරේ අමතක කරන්න ලේසි නැ… මම දුතුන් දෙනෙක් දුක් ගැනවිලි අහල අත්දැකීමෙන් කියන්නේ.. හික් හික්

      කැමතියි

  2. මම බැලුවේ නවම් පවුල් සංවිධාන සංගමයක් වත් පටං අරංවත්දෝ කියලා ..

    කැමතියි

  3. අඩේ පට්ටයි මචං ……
    කොහොමටත් කෙල්ල උනත් කොල්ලා උනත් අනිවා බඳින්න කලින් තමන්ගෙ යථා තත්වෙ පෙන්වනවා අඩුයි, සරලම උදාහරණයක් ගත්තොත් යාලු වෙලා ඉන්න කාලේ ගෑනු ලමයි කඩේකට ගියාම ගන්න බීම බෝතලෙනුත් බාගයයි බොන්නෙ ඉතුරු කරනවා, බැඳලා ටික දවසකින් පලයංකො කඩේකට කොහොමද බලන්න ………….

    ඔය ගැන මම ලියපු ලිපි දෙක තුනක්ම තියනවා, මෙතන ලින්ක් එක දැම්මට කමක් නැහැ නේ ……..

    බඳින්නෙ කොහොමද ඉන්න තැනක් නැහැ හරි හමන් ආදායමක් නැහැ

    ඉන්න තැනක් ඇතුව හරි හමන් ආදායමක් ඇතුව කසාද බැඳීම

    අලිය ගත්තනෙ හෙණ්ඩුව පස්සෙ ගන්නවා

    ඔන්න කසාදෙන් පස්සෙ වෙන්න පුලුවන් දේවල් පහලින් දැම්මා ………
    විවාහයෙන් පසු යුද්ධය හෙවත් නැන්දම්මා ලේලී ගැටුම……………..

    කැමතියි

  4. Sachi says:

    බොහොම ස්තුති අය්යෙ.. ඈත්තටම ගොදක් වඩගත් ලිපියක්…. 🙂

    කැමතියි

  5. අඩේ පට්ට ලිපිය…. මමත් 7 කට විතර පස්සෙ ඔන්න 8 වෙනි ( 9 ?? ) කම්මැලියි මතක් කරන්න… කමක් නෑ… ඒ කෙල්ල එක්ක ජීවිත කාලෙම බැහෙන්න තීරනය කරා… ඔය ඔහොම හිතුවමයි….

    කැමතියි

  6. Observer says:

    ලංකාවෙත් බඳින්න ඉස්සෙල්ල “Living together” ප්‍රචලිත කරන්න ඕනෙ

    කැමතියි

  7. දුකා says:

    “ඔබ පිලිගන්න සූදානම් නම් ඔබ හා අනෙකා දෙදෙනෙක්, ඔබ දෙදෙනාගේ අවශ්‍යතාවයන් දෙවිදියක්, සතු‍ටු වෙන්නෙ වෙනස් ක්‍රම වලින්. හිතන්නෙ පතන්නෙ හිත් දෙකෙකින්. ජීවන පුරුදු දෙවිදියක්. කොටින්ම ඔබ දෙදෙනා එක වහලක් යට ජීවත්වෙන පුද්ගලයන් දෙදෙනෙක් කියල, එතන ඉඳල ඔබ දෙදෙනා අතරෙ තියන හිස් ඉඩ සතුටින්, සමාදානයෙන්, අදරයෙන්, ඉවසීමෙන් පිරිලයනව. එහෙම නැතුව අපි දෙන්නා දැන් එක්කෙනෙක් කියල හිතනවනම් ඔබ දෙදෙනා අතරෙ තියන හිස් ඉඩ පිරිල යන්නෙ පසුතැවිල්ල, කේන්තිය, වෛරය වගේ භින්නාත්මක ආකල්ප වලින්”

    මේ ටිකත් අනෙක් හැම කරුනක්ම 100%ක් ඇත්ත මළේ . . .

    විවාහකයෙක් විදිහට මට මේ ගැන අලුතෙන් කියන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නෑ මේ ලිපියේ . . ඔක්කෝම ටික උඹ පැහැදිලිවම කියලා තියෙනවා.

    ඕන නම් පොඩි එකතු කිරීමක් කරන්නම් .. .

    විවාහ වුනු එයෙක් හෝ වෙන්න ඉන්න අයෙක් නම් අනිවාර්යෙන් ඩොක්ටර් ප්‍රියංග ඩි සොයිසා ලියපු “ගැහැනු ලොව පිරිමි ලොව” පොත කියවන්න . . ඒකේ කරුනු හොඳින් හිතේ ධාරණය කර ගන්න . . සිදුවීම් වලට මූන දෙන්න උනාම මේ නවම් ලියපු දේවල් වගේම ඒ පොතේ කරුනුත් සීහිකරගෙන මොලෙන් ඒ සිදුවීමට මූන දෙන්න. විවාහ ජීවිතේ අනිවාර්යෙන් අපායක් නොවී සුන්දර ම සුන්දර තැනක් වේවී . .

    කසාද බැන්දට පස්සෙ උනත් දෙන්න දෙන්නෙක් බව තේරුම් නොගෙන සමාජය විසින් අති කරපු “දෙන්න දෙමල්ලෝ දැන් ඉතිං එක්කෙනෙක්” කියන මායාවෙන් ජීවිතය ගෙවන්න හදන අය තමන්ගේ විතරක් නෙමෙයි දරුවන්ගේත් ජීවිත එක්ක භයානක සෙල්ලමක් කරන බව තේරුම් ගන්න ඕන . .

    කැමතියි

  8. වැදගත් ලිපියක්. ස්තුතියි නවම්…..

    කැමතියි

  9. අනුෂ්ක says:

    මම නම් ළඟදි බැන්දේ…අපි යලු වෙලා හිටපු කලෙ අම්බානට රණ්ඩු වුනා..(දැනුත් එහෙම තමයී ) . දාල යමු කියල දෙන්නම අම්බානට කියා ගත්තා. හැබැයි දෙන්නම එකක් දැනගෙන හිටියා. කොච්චර රණ්ඩු වුනත් වෙන අය එක්ක මේ තරම් සතුටින් ආයෙ ජීවත් වෙන්න බැරි බව. මගේ හොඳ කන් වගේම බූරු කනුත් එයා හොඳට දැනගෙන හිටියා. ඒ වගේම එයාගෙ මිස්ටේක්ස් (අනන් මනන් කන් ගැන ලියල මොකටද නිකන් ආහාර සලාකය අහිමි කරගන්නෙ ) මම දන්නවා. මම ඇන ගන්න ගිය ගොඩක් තැන්වලදි එයා තමයි මට හරි පාර පෙන්නන්නෙ. ඒක පිලිගන්න ඕනෑ

    කවදත් ඉතින් ..”මහ වරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි”.

    කැමතියි

  10. නියම ලිපියක් අයියා…. මාරම වටිනවා…. ඇත්දැකීම් වලින් ඉගෙන ගත්ත දේවල් බෙදාගත්තට බොහොමත්ම ස්තූතියි….. ඔන්න මම මූණුපොතෙන් බෙදා ගන්නවා මේක…. තවත් අයට වැදගත් වේවි………..

    කැමතියි

  11. buddhiprasad says:

    හොඳ ලිපියක්. විවාහයෙන් පස්සෙ එන කරදර බාධක මසනය කරගන්න ආං කතන්දරත් ක්‍රම 10 ක් කියලා කියලා තියෙනවා.

    http://kathandara.blogspot.com/2011/10/advice-to-married-people-my-version.html

    කැමතියි

  12. gandharaya says:

    හ්ම්ම් හිතලා බලන්න ඕන කාරනයක් තමයි බොහොම් ස්තූතියි මතක් කරාට…… 🙂

    කැමතියි

  13. indika27 says:

    මම කසාද බඳින්නෙ ලිංගික අවශ්‍යතාවයන් සපුරා ගැනීමසඳහා…

    කැමතියි

  14. Buru says:

    නවම් මේ ලිපිය එක්ක සීයට සීයක් එකතුයි.

    @පොකු,
    ඔය තරම් යල් පැන ගිය කොහේද අනේ ඉන්නේ? මම හිතන්නේ ඉස්සර තරම් ඔය වගේ දේවල් වෙනවා අඩුයි නේද මේ වෙද්දි ලංකාවේ?

    කැමතියි

  15. කියන්න දෙයක් නෑ සහෝ… එකඟයි… මටත් නිරාකණය කරගන්න බැරුව ඉන්න පොඩි ගැටළුවකට උත්තරේකුත් හම්බවුනා. හැම විවාහකයෙක්ම තම තමන්ගේ අත්දැකීම් (අතිශය පෞද්ගලික ඒවා නොවේ !) අනික් අයත් එක්ක බෙදා ගත්තොත් මම හිතන්නේ ඒක තව එක්කෙනෙක්ට හරි ආදර්ශයක් වේවි. අපේ සමාජයේ පවුල් ප්‍රශ්ණ ගැන කථා කෙරෙන්නෙම නෑනේ. උඹට එපා නං මටත් එපා සම්ප්‍රදායෙනේ හැමෝම වගේ ඉන්නේ. ඔයාගේ ලිපිය නූතනවාදයට නැඹුරු වැඩියි කියලා හිතුනත් යථාර්තවාදීව බැලුවම ඇත්ත තමායි… !

    කැමතියි

  16. පින්ග්කිරීම: are-u-going-to-marry « ලහියාගේ සිතුවිලි

  17. පූසා says:

    ආ හොඳ ලිපියක් අනාගතේට ප්‍රයෝජනවත් වෙයි…. 🙂

    කැමතියි

  18. No woman no cry!

    ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක් ද? 😀 😀

    මොනව උනත් ලිපිය නං 100% ඇත්ත.

    කැමතියි

  19. //ලංකාවෙ අපිට විරුද්ධ ලිංගිකයන් යම්තාක් දුරකට ෆැන්ටසියක් නිසා.//

    මට නං ඒක ෆැන්ටසියක් උනේ නෑ . . . කසාද බඳින්න තීරනය කලේ මම ඒ දවස් වල දුවපු දිවිල්ලෙ අවසානය අන්තිම නරක එකක් වෙනවයි කියල මට දැනුන නිසා. අවුරුද්දක කෙටි ඇසුරකින් පස්සෙ කසාද බැන්දත් . .. . පස්සෙ මොනතරං කසාද බැඳපු එක ගැන කලකිරුනත් . . . මම සතු‍ටු වෙනව මම අවුරුදු 31කට පස්සෙ ගත්ත තීරනය හරි කියල.

    කැමතියි

  20. roshanrh says:

    වැදගත් ලිපියක්.. ඇත්ත ඇති සැටියෙන්ම ප්‍රායෝගිකව පෙන්වලාදීලා තියෙනවා..

    කැමතියි

  21. හසී says:

    ” අමතක කරන්න එපා වැවි බැම්මට පුංචි සිදුරත් දීර්ඝකාලීනව බලපානව. ඒ මදිවට වැවෙන් පෝෂණය ලබන අයටත් මහා විනාසයක් ගෙනදෙනව.”

    මේක හිතට වැදුනා අයියේ… ඇත්තටම අන්න ඒ වගේ පුංචි පුංචි සිදුරු නිසා මම තීරණයක්‌ ගත්තා,, හදවතට එකඟව… ජිවිතේ පුංචි කෑලි වලට කැඩිලා යන්න කලින් ඒ ගත්ත තීරණේ ගැන මම අදට වඩා ඉදිරියේදී සතුටු වෙයි…

    ++++++++++++++++++++++ අයියා පොස්ට් එකට 🙂

    කැමතියි

  22. malmi says:

    ලිපිය වැදගත් බව ඇත්ත. ඒත් මේතරම් කාලයක් මොකද මේක ලියන්න පරක්කු කලේ. දැන් කරන්න දෙයක් නෑ. මාත් කසාද බැන්දා.

    “ඒත් දීර්ඝ කාලීන බැඳීමකට යන්නේනම් ඔබ එම මානයන්ගෙන් ඔබ්බට යා යුතුයි. මොකද ඔබට ලස්සන පා යුගලක්, නාසයක් එක්ක විතරක්ම පවුල් කන්න බැරි නිසා.

    දැන් ඉතිං නහය කාලවත් ජීවත් වෙන්න වෙනවා.

    කැමතියි

  23. shashi says:

    ela lipiya. mama meka dakke fb eken. math onna share karanawa meka. etharam watinawa.

    කැමතියි

  24. sampath fernando says:

    ඉතාමත් වටිනා ලිපියක් නිර්භීතව මෙවැන්නක් ලිවීම ගැන සතුටු වෙනවා,නමුත් ඔබ කියන ආකාරයට කලක් ආශ්‍රය කිරීමෙන් පසු ඔතරම් ලේසියෙන් යුවතියක් අත්හැරිය හැකිද අපේ සමාජයේ,එය කෙතරම් දුරට සාධාරනද?මෙවැනි සමාජයක ප්‍රේම සම්භන්දයකින් නියම සහකරැවා සොය ගත හැකිද?ප්‍රතම ලින්ගික එක්වීමෙන් පසු අනාතයි කියන සමාජයේ නියම විදියට සහකරුවෙක් සොයා ගැනීම කෙතරම් දුරට කල හැකි දෙයක් ද?

    කැමතියි

  25. Bunny says:

    මං තව අවු 10 විතර මේක කියවන්න බුක්මාර්ක් කරගත්තා.. 😀

    කැමතියි

  26. ~ChAnDiKa~~ says:

    හිතන්න දෙයක් දුන්නට ගොඩක් ස්තුතියි අයියා !!!

    කැමතියි

  27. දුශ් says:

    හැබැයි ඉතින් සර්ව සම්පුර්ණ ගැණු මිනිස්සු හොයා හොයා නාකි වෙනවට වැඩ හොදයි, වැරදි අඩු මනුස්ස පරානයක් හොයල බදාගන්න එක.. ඔය එකක් වත් ලේසි නැ.. බැදපු එක විතරක් නෙමෙයි විදවන්නේ.. නොබදපු එකත් ඒ හා සමානව විදවනවා..

    කැමතියි

  28. මම මේ මසුරන් හොයනවා බොලාගෙ කටට දාන්න. මසුරන් නෑ. සත පනහෙ මාරු කාසි ටිකක් තියෙනවා.

    කැමතියි

  29. පළමු පෙම නුඹ නූනත්
    අවසන් පෙම මෙයම යැයි පැවසු දින
    නුඹෙන් ගැලූ සිනා ගඟ
    මා සිත දෙගොඩ තලා
    පළමු පෙම් කැළැල් සෝදා ගිය අපූරුව……

    නවම් ලියපු මේ කවිය මට මතක් වුනේ ඇයි කියලා මම කල්පනා කලේ.

    කැමතියි

  30. මාරයා... says:

    කසාදේ නේද..? හුම්ම් මල විකාරයි ඕයි… පොඩ්ඩක් හිටුකෝ

    කැමතියි

  31. Bindi says:

    ඇත්ත සහෝ . හැබැයි ඔය හරියටම ගැලපෙන කෙනා සොයා ගන්න එකත් අමාරුයි නේද . ඇත්තම කියන්න එහෙම අය මේ ලෝකේ නැහැ . අනික් මනුස්සයත් තමන්ටයි කියල හිතක් තියෙන මනුස්ස පරානයක්ය කියල හිතන්න පුළුවන් නම් එච්චරයි . අනික වෙනස් ගෙවල් දෙකක හිටිය දෙන්නෙක් එක ගෙදරකට වෙනවා කියන්නේ සංස්කෘතීන් දෙකක් එක්කහු වුනා වගේ. අනික ජිවත් වෙන හැටි හරියටම මෙහෙමයි කියල කියල දෙන්නත් බැහැ. ඒ ඒ වෙලාවට සුදුසු ක්‍රියාමාර්ග ගන්න මොලේ පාවිච්චි කිරීම හැර . විවාහය කානිවල් එකක් නම් නෙමේ 100%ක් එකඟයි .

    රණ්ඩු වෙනවා යාළුවෙනවා . අපි කවුරුත් මැරෙන මිනිස්සු . ඉන්න ටික සතුටෙන් ඉන්න බලන්න ඕන .

    මෙව්වා බලල බය වෙන්න ඕන නැහැ . ජිවිතේ කලුමත් නැහැ . නවම්ලාට බ්ලොග් ලියන්න නිදහස දෙන චුටි මැණිකේ ලා වගේම බින්දිලට පරිගණකය ඉස්සරහ පැය ගණන් හිටියට මුකුත් නොකියන බනිලගේ තාත්ත වගේ අයත් ඉන්න බව සතුටෙන් කියන්න ඕන .

    කැමතියි

  32. ගොඩක් වෙලාවට කෙනෙක්ට ආදරයක් ඇති වෙන්න ඒ කෙනාගේ භෞතික ස්වරූපට ගොඩක්ම බලපානවා. ඊට පස්සේ තමා අදහස් ගැලපෙනවද කියලා බලන්නේ.

    අර දෙන්නා එක්කෙනෙක් වෙනවා කියන කතාවට නම් එකඟ වෙන්න බෑ. අයියා කියන එක හරි. දෙන්නෙක් කියන්නේ අදහස් දෙකක්. ඒ වගේම ගති පැවතුම් දෙවිදිහක්.

    කැමතියි

  33. “ඔබ මගේ, මම ඔයාගේ අපි දෙන්න දැන් එක්කෙනෙක්” කියන සමාජය විසින් බලෙන් ප්‍රේමවන්තයන්ගෙ කරමත පටවපු තඩි බොරුවට යටවෙලා. පුද්ගලයන් දෙදෙනෙක් කිසිම වෙලාවක එක්කෙනෙක් වෙන්නෙ නෑ. විශේෂයෙන්ම විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙක්.”

    මේ පෝස්ට් එකේ මං දැකපු හරවත්ම දේ තමා මේ උපුටාගත්තෙ..ඇත්තෙන්ම මේ ටික තේරුම්ගන්න පුලුවන්නම්..ඕනම ගැහැනියකට සහ පිරිමියෙකුට පවුල් පංසල් වෙන්න පුලුවන් කියලයි මංචිගෙ නම් අදහස.අර කිව්වත් වගේ….පුංචි කාලෙ ඉඳන් හුරුපුරුදු වුණු චර්යාවන්,රසවිඳිමේ රටාවන්..කැමති අකමැති දෙය..විවාහය කියන එක සංසිද්ධියක් නිසාම වෙනස් වෙනව කියලා හිතන්න අමාරුයි..කළ යුත්තෙ එකිනෙකා අනික් පාර්ශවය වෙනුවෙන් නම්‍යශීලි වෙන එකයි..

    ආදරය කරන අය විවාහයෙන් පස්සෙ වෙනස් වෙන්නෙ අහේතුකවම නෙවෙයි..විශේෂයෙන් විවාහයට පෙර ආදරය කතා බහෙන්,සුලු කාලයකට කෙරෙන හමුවීම් වලින් ඔබ්බට නොයන ලංකාව වගේ රටක…යුවලක් එකිනෙකාගෙ සැබෑ ජීවන චර්යාව,කොටින්ම එකිනෙකාගෙ සැබෑම බාහිර පෙනුම පවා දකින්නෙ විවාහයෙන් පස්සෙනෙනෛතින් එතකොට තමා තේරෙන්නෙ ආදරේ කරන කාලෙ..කලින් පුහුණු වුණු කතාබහෙන්..උඩින් තවරපු මේකප් තට්ටු වලින්,පැය ගානක පෙරහුරු වලින් ඉස්මතු කෙරිලා තිබුණු සුන්දරත්වය මායාවක් බව..ඉතින් එතකොට නොගැලපීම් ඉලිප්පිලා පෙනෙන්න ගන්න එක නිකම්ම සිද්ධ වෙනවනෙ..හැබැයි ඉතින් එතකොට බෙරේ බැඳගෙන ඉවරයිනෙ…..ඉතින් නොගහ කොහොමද…. 😀

    කැමතියි

  34. දුශ් says:

    මෙව්වා කියවල මගුල් කැඩුනොත් නවම් අය්යා වගකියනවද?

    කැමතියි

  35. උඹෙ කතාව සීයට එකසිය පනහක් හරි.ඒත් මචන් ඇඹුල් අඹ කන එකාගෙයි දත් හිරි වැටෙන්නේ දකින එකාගෙ කටට කෙළ උනනව.

    කැමතියි

  36. Samadhi says:

    me post ekata 100% ekagai!

    Aurudu 6 k tisse adare karala, dana adura gena, banda miniha ge lokuma loku adu padu bandata passe eliyata awe kohomada kiyala hita ganna bari una matat kalayakma..

    terun ganna ony de tamai gati guna hangagena hamadamat jivat wenna baha..eli una dawasata wella kaduna wage okkoma yata karagena yanawa…

    bada gatta kiyala bere gahanna giye naha habai mama bere galawala oluwa bera gatta…adat e nisama satutin innawa…

    banda kiyala tamanta satutak, wiswasayak,adarayak,hagimak dannene nattam amaruwen kare tiyan samajeta penna hina wela wat hangila horen adala wat terumak naha..tamange jiviteta waga kiyanna onyet tamanmai…marenakan jivat wenna wiswasa wantayek nattan taniyama marena eka sapak !

    කැමතියි

  37. Thiwanka says:

    කතාවෙ ලොකු තේරුමක් තියෙනවා…

    කැමතියි

  38. ඔය ගැන මගේ අදහස මේකයි. බඳින්න ඕන තමන්ට ආදරය කරන්න කෙනා මිස තමන් ආදරය කරන කෙනා නෙමෙයි.මොකද කාලයක් යනකොට තමන්ට ආදරය කරන කෙනා ගැන තමන්ටටම ආදරේ හිතෙනව!

    කැමතියි

  39. ඔයාගේ අදහස් එක්ක මම සම්පූර්ණයෙන්ම එකඟයි. ගොඩක් තරුණියන් තමන්ගේ පෙම්වතුන්ගෙන් අයින් වෙන්න හරිම බයයි. සමහරු බයයි එහෙම අයින් උනහම සමාජය තමන් දිහා වැරදියට බලයි කියලා. තවත් සමහරු බයයි තමන්ට ආයෙත් තමන්ට ආදරයක් හොයා ගන්න බැරි වෙයි කියලා. අන්තිමට විවාහා උනාට පස්සේ අඬා ගත්තු ගමන් ඉන්නේ.

    මමත් හැමතිස්සේම හිතන දෙයක් තමයි අපිට ඕන විදිහට අනිත් මනුස්සයව වෙනස් කරන්න බැහැ. අනිත් කෙනාගේ හොඳ නරක දෙකම තේරුම් අරන් ඒ හැමදේම එක්ක ජීවත් වෙන්න පුලුවන්නම් විතරක් විවාහ වෙන්න ඕනා. නිකන් කසාඳ බඳින්න ඕන කමට ඔහේ බැඳගෙන අන්තිමට මුලු ජීවිත කාලෙම දුක් වෙන්න වෙන්නේ.

    ඉතාමත් හොඳ ලිපියක්…

    කැමතියි

  40. “ඔබ මගේ, මම ඔයාගේ අපි දෙන්න දැන් එක්කෙනෙක්” මේ වගේ දෙකයි පනහේ ගොන් අදහස් එන්නේ දැන් ලංකාවේ පෙන්නන සීනි බෝල ටෙලි නාට්‍ය නිසා කියලයි මට හිතෙන්නේ

    කැමතියි

  41. lasanthasri says:

    නවම්,
    මම ඔබේ බ්ලොග් පොස්ට් කියවන්න ගත්තෙ හරියටම මෙන්න මේ පොස්ට් එකෙන්. කියල වැඩක් නෑ….. සිරාවටම ලියල තියෙනව. අද වෙනකොට මම පොස්ට් 20-30 ක් විතර කියවන්න ඇති. නිකම්ම නිකන් වල්පල් නොලිය ලස්සනට අර්ථවත් දෙයක් ලියන්න ඔබට ඇති හැකියාව ඉතාම අගය කල යුතුයි. මම සාමාන්‍යයෙන් බ්ලොග් කියවන්නෙ නැහැ. නමුත් මේ බ්ලොග් එක මම කියවනවා. එකෙන් මම ජීවිතය ඉගෙනගන්නව. මොකද ඔබට තරම් අත්දැකීම් මට නැති නිසා. ඔබේ අත්දැකීම් මෙසේ අපහා බෙදාහදාගැනීම ගැන ඔබට බොහොම ස්තුතියි. තව තවත් අලංකාර රචනා කිරීමට හැකියාව ලැබේවා…!
    ප.ලි. – ඔබේ විද්‍යුත් ලිපිනය ලබාදිය හැකිනම් තවත් private comments කීපයක් ලබාදිය හැක.

    කැමතියි

  42. podi lamayah says:

    උඹටත් එහෙනම් යමක් කමක් තේරෙනව

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: