මම පරමාදර්ශී “පොර” චරිතයක් සොයමි.

ඉස්සර ඉඳලම මට පොරක් වෙන්න ඕනෙ වෙලා තිබුනෙ. මුලදි යාන්තං තිබුන මේ අමාරුව පහු පහු වෙනකොට දරුණු තත්වයකට පත් උනා. ඔය කියන්නෙ ඉස්කෝලෙ ගිහිල්ල අහවර වෙච්ච අළුතමයි. පොරක් වෙන්න ඕනෙ කියල හිතුනට කිසිම පරමාදර්ශී චරිතයක් මට තිබුනෙ නෑ ඒ කාලෙ.

ඉස්කෝලෙ ඉන්නකොට පොරක් කියල හිතාන උන්නු, ඉස්කෝලෙ ගේට්‍ටුව ඉස්සරහ පාට පාට ස්ටිකර් විකුන්න ස්ටිකර් කඩේ අංකල් පන්තියෙන් පන්තිය ඉහලට හිය මට තව දුරටත් පොරක් උනේ නෑ. ඉස්කෝලෙ ලොකු පන්තිවල උන්නු මදාවියො කාලයක් මගෙ පොරවල් වෙලා උන්න. උනුත් බිග් මැච් දවස් වල එක එකාගෙන් ගුටි කාල ඔළු පලාහෙන පාරවල් අයිනෙ කාණුවල වැටිල ඉන්නා දැක්කම උනුත් එපා වෙලා ගියා.

ඔය කාලෙ ආව ගිය පොඩි පොඩි පොර චරිත අතරෙ හිටපු ලොකු චරිතයක් වෙච්ච සන්නස්ගල මට පොරක් උනා මේ කියන්නෙ සන්නස්ගල වැලන්ටයින් කාලෙ ආදරණීය වස්සානය නැවත මුද්‍රණයක් එලිදක්වපු අළුත. ලව් කෝච්චියෙන් නුවර ගියපු කාලෙ. මිනිහත් පොරක් වෙන්නෙ බිස්නස් වැඩිකර ගන්න කියල තේරෙනකොට ඒ පොරත් හෙමීට දියවෙලා ගියා. හැබැයි මම තවමත් මිනිහ ලියන කතා වලට ආසයි. [ඒ කියන්නෙ තාම සන්නස්ගල මට පොරක් – ඒත් මහ ලොකුවට නෙමෙයි]

ආයෙමත් පොරක් නැතුව නූල කැඩුන සරුංගලේ වගේ ඔහේ හුලං අතට පාවෙවී  ඔහේ තටම තටම උන්න මොකක් හරි පොටක් පෑදෙයි කියල. ඔය කාලෙ තමයි ගාල්ලෙ මහජන පුස්තකාලෙට ඇබ්බැහි උනේ දරුණු විදියට. ඒත් මට ඒකෙ තියන නවකතා එකක්වත් කියවන්න හිතුනෙ නෑ. මොකද මම හිතේ මවාගෙන හිටිය “මම පොර” ඔය බොලඳ දේවල් බැහැර කරපු කෙනෙක්. ඒක නිසා පුස්තකාලෙ බැහැරදෙන අංශයේ තිබිච්ච ලොකුම පොත වෙච්ච “කරමසෝ සහෝදරයෝ” අරගෙන ආව ගෙදර. පි‍ටු පනහකට හැටකට වඩා කියෙව්වෙ නෑ. ගොඩක් වෙලා කියවගෙන යනකොට පපුව හිරවෙනව වගේ දැනෙන්න පටන් ගත්ත. ඒ වෙන දෙයක් හන්ද නෙමෙයි පොතේ බරට, මම පොත් කියවන්නෙ ඇඳේ විට්ටමට කොට්ටයක් තියල හාන්සිවෙලා පොත පපුව උඩ තියාගෙන හන්දා ඒ කියවිල්ල එහෙම්මම නැවතුනා. පොත ගෙනැල්ල දවස් දෙකෙන් ආයෙ මාරුකරන්න යන්නත් ලැජ්ජයි. ඒක හන්ද සතියක්ම මේසෙ උඩ ඔහේ තියෙන්න ඇරල තමයි පුස්තකාලෙ පැත්තෙ ආයෙ ගියේ.

ඊට පස්සෙ පුස්තකාලෙ විමර්ශණ අංශයට මාරු උනා ඒකෙ තිබිච්ච බයිබලේ දැකල. කාලයක් උදේ පාන්දර ගිහිල්ල හැන්දෑ වෙනකං ඒකෙ පි‍ටු අතරෙ හිරවෙලා ආගම් වාදෙකට කවුරුහරි ආවොත් දෙන්නං බැටේ කියල සමහර දේවල් සටහනුත් කරගත්ත. ඊටත් පස්සෙ අයින්ස්ටයින්ගෙ සාපේක්ෂතාවාදය තේරුම් ගන්න කාලයක් ආයෙම පොත් එක්ක වලි කෑව. ඒත් උන්නැහේගෙ බොහෝම ප්‍රසිද්ධ සූත්‍රය කටපාඩම් කරගන්නවට වඩා කිසිම දෙයක් කරගන්න බැරි උනා. ඒත් ඒ නොතේරෙන දේවල් හරිම ආසාවෙන් කියෙව්වෙ. ඊට පස්සෙ බ්ලැක් හෝල්ස්, වර්ම් හෝල්ස්, ටයිම් ට්‍රැවලින් එක්ක තව මහා අනං මනං ගොඩක පැටලිලා හිටියෙ. ඔය කාලෙ පුස්තකාලෙට හැමදාම වගේ පාඩම් කරන්න එන ගෑණුළමයෙකුත් මාත් එක්ක කතාකරන්න උනන්දුවක් පෙන්නුව. ඒත් මගේ “පොර ආසාව” ඒවට නෙමෙයි ඉඩක් දුන්නෙ. මගෙන් කිසිම ප්‍රතිචාරයක් නැතිවෙනකොට ආයෙම ඒ ළමය ගොළුබෙලික‍ටුවට රිංග ගත්ත.

ඊට කාලෙකට පස්සෙ දීප්ති කුමාර ගුණරත්න එයාගෙ නඩය ඩෙරීඩත් එක්ක ඇවිත් මගේ හිතේ පදිංචි වෙනව. මට උන් කියන කිසිම දෙයක් නොතේරුනත් හරි වැදගත් මනුස්සයෙක් මයෙ ගෙදර ඉන්නව කියල හරි සන්තෝසෙන් ආඩම්බරෙන් තමයි උන්නෙ. ඒ දවස් වල මම හරිම විප්ලව කාරය. ගෙදර මම තමයි ඔක්කෝම දන්නෙ, පාරට බැස්සත් රෑම්පාට් එකේ සෙට් එකත් එක්ක බියර් එකක් ගැහුවත් මම තමයි පොර. ඇයි මම කියවන්නෙ ලන්ඩන් නෙ. හැබැයි ඔහොම කාලයක් ඉන්නකොට දීප්තිවත් එපාවෙලා යන තැනටම ආව.  ලන්ඩන් වල කුණු කානු උතුරල දෝරෙගලනකොට මං ඉබාගාතේ ඇවිදින්න පටන්ගත්තා විතරයි. ඒක නිසා වැඩිය ගඳක් දැනුනෙ නෑ මට.

ඊටපස්සෙ මට මුනගැහුනෙ ඕෂෝ. ජෝ සෙනවිරත්න තමයි පාර කිව්වෙ. හරිම සරළයි, හැම දෙයක්ම පිළිගන්නව. ගැ‍ටුමක් ඇත්තෙම නෑ. දෙමළිචිචෙක්ගෙ යටිබඩෙන් ගැලවිලා හුළ‍ඟේ පාවෙන තුනී පිහා‍ටුවක් වගේ සැහැල්ලුවක් මම ඕෂෝගෙන් දැක්කෙ. “ජීවිතයට ඉඩ දෙන්න” “ගැහැණු මනුස්සයා” මම ආසම කරපු ලියමන්. ඕෂෝ ගැන මොන තරම් විවේචන තිබුනත් ඕෂෝ තවමත් මට පොරක්. ඒ සරළ කම ඇතුලෙ තියන ගැඹුරු බව මට හුල‍ඟේ යන්න නොදී රඳවාගෙන.

ඕෂෝට පස්සෙ මගෙ ජීවිතේ පොරක් වෙමින් පවතින අජාන් බ්‍රහ්මවංසෝ [සිනාසෙන සුදු හාමුදුරුවෝ] හාමුදුරුවන්ගෙ දේශනා, දේශනා ඇසුරෙන් ලියවුණු ලිපි ආයෙම මගේ පොරක් සෙවීමේ ආසව සංතෘප්ත කරමින් ඉන්නෙ. උන් වහන්සේත් බොහොම සැහැල්ලුයි. සරළයි, අපේ අග්ගමහා, ධර්ම චක්‍රවර්තී, අධිකරණ සංඝනායක වගේ මහා නම්බු නාම තියන උන්නාන්සේලාට වඩා පැහැදිලි, සරළව හිතට දැනෙනෙ ජීවිතේ හදාගන්න උදව් දෙන බොහෝමයක් කාරණා කියනව. උන්නාන්සෙට අනිත් අයට වගේ චීවරය බරක් නෙමේ වගේ. හරිම සැහැල්ලුවෙන් !

ඒත් මට තවමත් උපරිම සෑහීමකට සෑහීමකට පත්වෙන්න බැරි උනා.. මම තාමත් පොරක් හොයනව.. කවදා මට පොරක් මුනගැහේවිද රෙද්ද උස්සල බැළුවම ඕජස් ගලන ශරීරයක් නොමැති,  පපඩමක් වගේ ඇතුල හිස් නැති, වැල ගෙඩියක් වගේ බිමට වැටිච්ච ගමන් සී සී කඩ ඇට මදුළු නොවිසිරෙන ?????

Advertisements

52 Responses to මම පරමාදර්ශී “පොර” චරිතයක් සොයමි.

  1. සියළු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුය…..

    ඔය කියනවා වගේ පොරක් හොයන එක නොමළ ගෙදරකින් අබ හොයනව වගේ වැඩක්…..

    කැමතියි

  2. උබ ඔය හොයන ජාතියේ පොරක් නම් මේ මහ පොළවෙන් හොයා ගන්න අමාරු වෙයි බන්.. මට නම් කාලෙන් කාලෙට එක එක ආකරයේ එවුන් පොරවල් උනා… ලිස්ට් එක නම් හුඟක් දිගයි.

    කැමතියි

  3. amilaart says:

    හ්ම්……
    මේක නම් සෑහෙන ලෙඩක් තමයි.
    අපෙත් හිටිය ඉස්සර සන්නස්ගල , පින්නපොලලා පොර කරන් හිටපු කාන්ඩයක්. මටත් ඔය පොත් කිය්වල පොර වීමේ ආසවක් තිබ්බ කාලයක්.
    “අපරාදය හා දඩුවම” ගෙනල්ල කියව්වෙත් ඒ නිසා

    කැමතියි

  4. දුකා says:

    ඉතිං ඔය ජීවිතේ සරලව සැහැල්ලුවෙන් ගතකල යුතු හැටි උගන්වන පොරවල් දෙකක් හමු වෙලත් ඇයි තව හොයන්නේ . . .

    කැමතියි

  5. අනුෂ්ක says:

    උඹ වගේම පොරක් සොය සොය ගියා කෙනෙක් අවුරුදු 2600 කට විතර ඉස්සර. අන්තිමට ඇසතු බෝරුකක් මුල දී එළියේ ඉන්න පොර සෙවීම නතර කරලා ඇතුල ඉන්න පොර සොයා ගත්තා.

    අජාන් හාමුදුරුවන් ගේ බුදු දහමේ හදවත භාවනාවයි පොත කියවපන්. 4 , 5 පාරක් හරි. උඹට පොරක් හොයා ගන්න පුළුවන් වෙයි.

    කැමතියි

  6. asanka says:

    අන්තිම පුද්ගලා හෑර අනික් සියලුම අය භෞතික ලාබ තකා පොරවල් වෙන්න උත්සහ කල අය කියලා තමයි මටනම් හිතෙන්නේ,අචාන් බ්‍රක්මවන්සෝ හාමුදුරුවන්ගේ දෙශනා කිහිපයක් මටත් අහන්න ලෑබුනා(http://www.bswa.org.au/) , ඇත්තටම ගොඩක් හරවත් දේශන මාලවක්.

    පුද්ගලිව මම නම් ,සංකීරන පොරකට වඩා ,සරල නිකමෙකුට ආසයි….

    කැමතියි

  7. මම බ්‍රහ්මවන්සෝ හාමුදුරුවෝ ගැන අහල තිබුනට කවදාවත් දේශනාවක් අහල නැහැ.. මේ රටේ ඉඳහිට ඇවිත් ධර්මය දේශනා කරන පුන්නජී හාමුදුරුවෝ ගැන මගේ ලොකු පැහැදීමක් තියෙනවා. හොඳට සාවධානව සවන්දෙන බුද්ධිමත් කෙනෙකුට උන්වහන්සේගේ දේශනාව බොහොම පැහැදිලියි.. බොහොම දේ ගැන වැරදි වැටහීම අයින් කරගන්න උන් වහන්සේගේ දේශනා මට පිහිට උනා. උන් වහන්සේ ගිහි ජීවිතෙයේ බටහිර වයිද්යවරයෙක් වෙලා ඉඳලා මහන වෙලා ඉන් පස්සේ බොහෝ දුරට වැඩිදුර අද්යයනය කල උගතෙක්.. උන්වහන්සේගේ දේශනා වලින් නියම බුද්ධ ධර්මය වටහාගන්න පුළුවනි.. බොහොම දේශනා මේ සයිට් එකේ තියෙනවා හැබැයි ඉංග්‍රීසි බසින්..

    කැමතියි

  8. Kiri says:

    ඕෂෝ නම් එලකිරි පොරක් තමා… මචන් ඕෂෝගේ පොත් ගොඩක් තියෙනවා ඔන්ලයින් (pdf)
    simple english ( ට්‍රයි කරලා බලපන්.. )
    පරමාදර්ශී පොර අවටින් හොයනවට වඩා ඈතුලතින්ම හොයන්න ගත්තොත් මොකද? ( මම හිතන්නේ එහෙම කලොත් හම්බවෙයි ) ඈරත් බන් පරමාදර්ශී වෙනවට වඩා නිකම්ම පොරක් වෙන එකත් නරකම නෑ

    කැමතියි

  9. දීප්ති කුමාරය සහ නඩේ නං හෙනම මැන්ටල් බලපෑමක් කොලා අපේ හුඟක් එවුවන්ට, වෙලාවට මම පුද්ගලිකවම දැනං උන්න ග්‍රහය කවුද කියල ඒ නිසා ‍රැලේ ගියෙ නෑ . . .

    ප.ලි.
    උඹට ඔය උඹ හොයන විදියෙ පොරක් කවදාවත් හම්බවෙන්නෙ නෑ මචං . . මම උඹට කියන්නද හොඳ සිස්ටම් එකක් පොරක් හොයාගන්න . . . .කන පාත් වෙන්න දෙකක් දාගෙන කන්නාඉය ඉස්සරහා ගිහිං ඇස් දෙක පිහදාගෙන බලපං . . . .

    කැමතියි

  10. Weni says:

    මමත් ඔහොම හෙව්වා.. අහු වෙන අහුවෙන “පොර” වෙනස් වෙනවා..උන් වෙනස් නොවෙන කොට මම වෙනස් වෙනවා..මම හොයන “පොර” සංකල්පයම වෙනස් වෙනවා..නැත්නම් මේ සියල්ලම වෙනස් වෙනවා..හිතා ගන්න බැරි වේගෙකින් !.. මගේ පොර තමයි “වෙනස් වීම”..මන් ඌට ආදරෙයි ! මන් ඌව තමයි ෆලෝ කරන්නෙ..නවතින්න වෙන්නෙ අංගොඩින් නම්.. ඒකත් වෙනස් වෙයිනෙ !

    කැමතියි

  11. Observer says:

    මම එච්චර බණ අහන කෙනෙක් නෙමේ, අජාන් බ්‍රහාම් හාමුදුරුවන්ගෙ බණ නං ආසාවෙන් අහනවා. ඊයේ ලංකාවේ ගෑනු ළමයෙක් මෙහෙදි පැවිදි වුනා. අජාන් බ්‍රහාම් හාමුදුරුවෝ හිතට වදින බණක් ඉතාම සරල විදියට දේශනා කළා

    කැමතියි

  12. මම නම් කියන්නෙ පරමාදර්ශී චරිතයක් හොයන්න එපා.. තමන්ගෙ හිතට ෆිට් වෙන පරමාදර්ශී දර්ශනයක් හොයාගන්න බලපන්… ඒකට සන්නස්ගලගෙනුත්,දීප්තිගෙනුත්, ඔෂෝ ගෙනුත් (උදාහරණයක් හැටියට ) ගන්න ඕන දේ අරන් ඕන නැති දේ අහක් කරල දාපන්…

    එහෙම නැතුව පරමාදර්ශී චරිත හොයන එක හති වැටෙන වැඩක්…

    කැමතියි

  13. කාලයක් අපේ පොරවල් වෙලා ඉන්න අය ටික කාලෙකින් නිකන්ම හැලිලා යනවා. හැමෝටම වගේ එහෙමයි. හැබැයි අයිය හොයන විදියේ පොරක් නම් හොයා ගන්න බැරි වේවී.:)

    කැමතියි

  14. praveena says:

    අජාන් බ්‍රහ්මවංසෝ වගේ පොරක් වෙන්ට පුලුවන් නම් හොඳයි. එයා ඔය ඔයා හොයන ජාතියෙම පොරක්.. 🙂

    කැමතියි

  15. නවම්, මට නම් පොරක් ඉන්නවා… ඒ ‘මම‘…

    උඹත් හොඳට හොයලා බලපන් හිත අස්සේ !!!

    කැමතියි

  16. malmi says:

    මට නම් පොරක් වෙන්න ආසාවක් තිබුනේ නැහැ. ඒත් අර වේලි වේලි හිටපු කාලේ නම් පොරක් හෙව්වා පාලුව මකා ගන්න. දැන්නම් ඒකත් අපරාදේ කියලා හිතෙනනවා. මොකද පොර දැන් පොර කුකුළා වෙලා.

    කැමතියි

  17. arunishapiro says:

    මට පරමාදර්ශී ‘පොර’ චරිත ගොඩක් ඉන්නවා ඉතා අගයන. ටික දෙනෙක් මෙන්න.

    මුලින් ම සුදු අප්පුහාමි (හොර බොරු වංචා සහ සූරා සූදුව ගෑවිලා නැති කරන හැම දෙයක් ම විශිෂ්ඨ ලෙසින් කරන්නට උත්සාහ කරන සුදුම සුදු චරිතයක්)

    ඊ ළඟට මගේ කෙල්ල ටිකිරි (විචාරාත්මක චින්තනය අති විශිෂ්ඨ, මානව දයාව සත්‍යයෙන් ම තියන, කරන හැම දෙයක් ම විශිෂ්ඨ ලෙසින් කරන්න උත්සාහ ගන්න තවත් සුදුම සුදු චරිතයක්)
    (මේ දෙන්නා ගෙන් මම තවමත් මගේ හැදියාව හදාගන්න ඉගෙන ගන්න දේවල් හැමදාම!)

    නෝර්මන් බෝර්ලාවුග් -තිරිඟු වගාවට වෙහෙසී ලොවට ආහාර වැඩි කළ පුද්ගලයා

    ජෝ ලුවිස් -කරාතේ හපනා බොක්සිං ශූරයා

    බෙයර්බෙල් බොහ්ලේ -අරමුණ පාවා නොදුන් එකම සටන්කාමී කොමියුනිස්ට් අදහස් දැරෑ කලා ශිල්පිණිය

    රොන් පෝල් -ඔහු ගැන දැනගත් දවසේ සිට තවමත් අගයන එකම දේශපාලනඥයා

    රසායන විද්‍යාවෙන් 2010 නොබෙල් තෑග්ග දිනාගත් මහාචාර්ය අයි-චි නිගිෂි

    14 වැනි දලෙයි ලාමා

    කැමතියි

  18. මලින්ම කියන්න ඕනෙ මම මාස ගානකටම ඉතාමත්ම ආසාවෙන් කියවපු blog post එක මේක. ඒ ඇයිද කියනවනම් මේක කියවනකොට එය මගේ ජීවිතේටත් ගොඩක් අදාල දෙයක් කියල හිතෙන නිසා.

    කැමතියි

  19. දුමී says:

    අපි ඔය පරම-ආදර්ශී කියලා හොයන චරිත ගොඩක් වෙලාව්ට ලෝකෙට පරකාසේ, ගෙදරට මරගාතේ උදවිය. ඒ අතරෙ ඉන්නවා, ලෝකෙටද ගෙදරටද මරගාතේ අයත්.

    කැමතියි

  20. ඔහොම යද්දි, අජාන් බ්‍රාහ්ම් ගේ එකම කතා සෙට් එකම රී ප්ලේ වෙන්න ගන්නවා.. ඊට පස්සේ එතනින් එහාට මොනවා ද තියෙන්නේ කියලා ආයේ හොයන්න හිතෙනවා.. භාවනාවටත් සෙට් වෙයි. ඊට පස්සෙ භික්ඛු අභය වගේ හාමුදුරු කෙනෙක් ලඟින් ආස්‍රය කරන්න ලැබෙයි. අන්තිමට ඒ පොරවල් ඔක්කොම වෙන පොරවල් ගැන කියනවා මිසක් ඇත්ත පොරවල් නෙවෙයි කියලා හිතෙයි.
    ඊට පස්සේ හිතෙනව එතනින් එහාට පාරවල් දෙකක් තියෙනවා කියලා… එක්කෝ ආරණ්‍ය ගත වෙලා තනියම පොරක් වෙන්න ඕනේ.. එහෙම නැත්තම් ආයෙත් තව පොරක් හොයන්න ඕනේ.. දෙවෙනි පාර තෝර ගත්තොත් හම්බෙයි රිචර්ඩ් ඩොව්කින්ස්, ඩේවිඩ් මිල්ස්, සෑම් හැරිස් වගේ පොරවල් සෙට්… ඊට පස්සේ පොඩි කාලයක් එනවා ආයෙත් තමන් පොර වෙන… ඊට පස්සේ පොරත්වය පුහු වෙනවා – කලකිරෙනවා දත් මන්දා… ඊට පස්සෙ ගානක් නැතුව ඒ මොහොතේ ජීවත් වෙනවා… 🙂

    කැමතියි

  21. මට හිතෙන විදියට නම් ඔය කියන හැමෝවම පුළුවන් විදියට ඇසුරු කරලා එයාලාගෙන් ගන්න තියෙන දේවල් සේරම අරන් තමන්ට ම කියලා virtual පොරක් හදාගන්න එක තමයි හොඳ ම වැඩේ!!!!

    කැමතියි

  22. ඇයි බං පරමාදර්ශී පොරකට මම ඉන්නෙ. හික්ස්. මගෙ නං පරමාදර්ශී චරිතය තාත්තා සෑහෙන කාලයක් යනකං. එතකොට මාත් ඔය කරමසෝ සහෝදරයෝ කියවන්න ට්‍රයි කරලා කොන්දෙ අමරුවක් හැදිලා නැවැත්තුවා. මට ඔය පොතෙන් මතක එකම දේ ඔය පොතේ රුසියානු නම බ්‍රාත්යා කරමසෝ කියලා විතරයි.
    එතකොට උඹ බය ව්න්න එපා කොල්ලො අයින්ස්ටයින්ගෙ Theory of relativity and E = mc2 මටත් කවදාවත් තේරුනේ නෑ. තේරුනා වගෙ හිටියා. හුඟ දෙනෙක් එහෙමයි නොකිව්වට.
    හේයි නවම්, ස්තුතියි අකුරු ලොකු කරන්න දුන්න බැක් අප් එකට. අන්න මම උඹට ස්තුති කරලම අලුත් පෝස්ට් එකක් දැම්මා. උඹට දෙවි පිහිටයි.

    කැමතියි

  23. අයින්ස්ටයින්ම කියපු විදියට, පෙම්වතිය එක්ක පාක් එකේ බංකුවක් උඩට වෙලා ගතකරන පැය පෙම්වතෙකුට දැනෙන්නෙ විනාඩියක් වගෙ. එතකොට රත් වූ ඉස්ත්‍රික්කයක් මත විනාඩියක් අත තියාගෙන ඉන්න එක දැනෙන්නෙ පැයක් වගෙ.ඒක නම් ලේසියි නේ?

    කැමතියි

  24. Alchemiya says:

    ඇයි මිනිහෝ ඔය ලංකාවෙ ඕනතරම් ඉන්නේ… පිටරට මොනවා හොයනවද ?
    සිල්වලා දෙන්නෙක්ම, ලංසා මහත්තයාගේ කට්ටිය, එස් බී උන්නැහේ… මේ ළඟදි පාර්ඩොන් හම්බ වුන සේනානායක උන්නැහෙත් ඒ වගේ පරමාදර්ශීය චරිත නේ…

    මේ මාව නං ගාවගන්න එපා ඔය වගේ වැඩ වලට….
    මං ඇවිල්ලා සුරාවෙන් තොර, බොරු කියන්නෙ නැති, ගෑණියෙක් දිහා හැහැක් ඇරලා බලන්නෙ නැති මිනිහෙක්.
    අනිත් වැඩ නං ඔක්කොම කරනවා…
    මට අධ්‍යාත්මික උපදෙස් දෙන මේරිලන්ඩ් ප්‍රාන්තයේ වෙසෙන කරුණාරත්න බණ්ඩා මහතාගේ චරිතය පරමාදර්ශී චරිතයක් ලෙස ළඟින් යන චරිතයක් යැයි කියන්න පුළුවනි..
    නමුත් ඒ මහතාත් පෘතජනයෙක්…
    පෘතහ්ජන කාගෙ ගාවත් වැරදි තියෙනවා… ඉතිං අපට පරමාදර්ශීය චරිතයක් හොයන්න අමාරුයි…

    කැමතියි

  25. Ravi says:

    යමක් කමක් තේරෙන්ඩ පටන් ගත්තු දා ඉඳල මගේ ප්‍රධාන “පොර” චරිතෙ බුදු හාමුදුරුවො….ඒ නොම්මර එකේ “පොර” චාට් එකේ අංක එකෙන් පහළට කවදාවත් වැඩියෙ නෑ…මම හිතන්නෙ නෑ…කවදාවත් එහෙම වෙයි කියලත්….හෙහ්, හෙහ්,

    ඊලඟට අංක දෙකට ඉන්නෙ වෙන කවුරුත් නෙවෙයි “මම” කියන පොර….මම ඇත්තටම පොරක්…..ඒ මගෙ අවංක අදහස….මෙහෙම කියන්නෙ මම ගැන ලොකුවට හිතල නෙවෙයි…ඒත් තමන් ගැන තමන්ගෙ ස්වයං තක්සේරුව අනුව තමන් “පොරක්” කියල හිතෙන්නෙ නැත්නම් එතන මොකක් හරි අඩුපාඩුවක් තියනව කියලයි මට හිතෙන්නෙ…..

    පොර යනු කවරෙක්ද?…..සංක්ශිප්තව අර්ථ දක්වන්න……කියල විභාගයකට ප්‍රශ්නයක් ආවොත් දහ දෙනෙක් දෙන්නෙ දහ විදිහක උත්තර…ඒ නිසා අනික් අයගෙ අර්ථ කථන වලට නොගැලපුනත් මගේ අර්ථ දැක්වීම අනුව මම අනිවා…”පොරක්”…..

    හරි….බුදු හාමුදුරුවො යාවජීව එක……මම යාවජීව දෙක…..ඊළඟට තව ඉන්නව ඊට පහළ කට්ටිය…..අයින්ස්ටයින්….ඩා වින්සි……මැන්ඩෙලා….ආතර් සී. ක්ලාර්ක්….ඒ ඔය ඊට පල්ලෙහා හැමදාම ඉන්න අය…..ඒ ඇර කාලෙන් කාලෙට ඇවිදිල්ල එහෙම්මම බොඳ වෙලා යන තාවකාලික පොරවල් නම් අනන්තයි… අප්‍රමාණයි….

    පරමාදර්ශී චරිතයක් ඒ කියන්නෙ “පොරක්” අපේ ජීවිතයට අත්‍යාවශ්‍යයයි කියන එකයි මගේ හැඟීම…..

    කැමතියි

  26. කට්ටිය පොර කියන දේට එක එක අදහස් දීලා තියනවා ..

    එල එල ඒත් මම නම් කීයටවත් හිතන්නෑ මම පොරක් කියලා ! ඒක ඇවිල්ලා අධි මානය වගේ දෙයක් ..

    උදා – ඔන්න මම මයික් ටයිසන් එක්ක ගේමට යනවා මෙහෙම හිතාගෙන “මම මූට දෙකයි දෙන්නේ මූ මොකෙද්ද මම නේ පොර කියලා හිතාගෙන .! මම ගහලා එයිද ඌට ?”

    එක එක්කෙනා හොයන හිතන පොර චරිත වෙනයි බං .. මට නම් කැම්පස් ගිය ඕන එකෙක් පොරක් .ආමි එකේ ඩයල් එකක් පොරක් ..කොච්චර බීවත් වැටෙන්නැති එකා මට පොරක් ..

    මට ඉතින් උඹත් පොරක් ..‍

    පොර ඉන්නේ අපේ ඇහේ බං ..අපි බලන බැල්මට් එකේ තමයි පොර ඉන්නේ .

    කැමතියි

  27. buddhiprasad says:

    අකාලික ධර්මය දකින්න “පොර” හමුවේවී. මේච්චර පාර ක්ලියර් වෙලා තියෙද්දි මොකෝ මේ කැලැ ගානේ යන්නෙ……!

    කැමතියි

  28. අන්න සපතේරු උන්නැහේ පොරවල් කීපයක් ගැන ලියලා

    කැමතියි

  29. නිරෝෂන් says:

    මම සැහෙන කාලයක් නවම් මාවත කියවනවා, මම හිතන්නේ අද තමයි කොමෙන්ට් එකක් දමන්නේ…

    මම නං හිතන්නේ ඔයා දැනටමත් පොරක් , බොරුනං අහන්ඩකෝ චුටි මැණිකේගෙන!

    කැමතියි

  30. ratak watina eka says:

    hamoma PORA araya PORA meya kiya kiya PORA kukullu vage PORA kanne nathuwa thama thaman PORAK venna uthsaha karoth narakada ayibowan?

    කැමතියි

  31. Power of Now කියල පොඩි පොතක් තියෙනව… මටත් ඔහොම ගතියක් කාලයක් තිස්සෙ තිබිල දැන් දැන් අඩුවෙලා යන්න පටන් අරන් තියෙන්නේ… ඔය පොත පුළුවන් නම් හොයාගෙන කියවල බලපන්කෝ…

    කැමතියි

  32. වෙන කෙනෙක් පොර කරවනවට වැඩිය තමන් පුලුවන් තරම් පොරක් වෙන එක හොඳයි කියලයි මං හිතන්නේ. ඒ කියන්නේ වෙන කෙනෙක්ට තමාව පොරක් වගේ පේනවනම්… පොරකට වගේ සලකනවනම් ඒ බව තමන්ට දැනෙනවා නම්… අන්න නියම පොර….

    මගේ සිතුවිල්ලක් විතරයි….!!!!

    කැමතියි

  33. පින්ග්කිරීම: උසස් රස වින්දනයක් උදෙසා…. වීඩියෝද…? ඕඩියෝද…? | ගෝල්ඩ් fish ගේ blog ටැංකිය

  34. පින්ග්කිරීම: kottuCopy › මගේ ජීවිතේ පොරක් වූ " තනිකමත් " එක්ක ජීවීතේ විදීම….

  35. Dush says:

    ඇයි මේ එක එක්කෙනා ඇතුලේ පොරවල් හොයන්නේ…තමන් ඇතුලේ ඉන්නේ පොර හොයාගන්න බැරුවද? තමන්ට තමක් පොරක් වෙන්න බැරිද ( මේ කියන්නේ අනුන්ට පොරක් වෙන්න කියල නෙමෙයි ඔං, වලිගෙ පාගගන්න එපා හොදේ) ?

    කැමතියි

  36. සෝරෝ says:

    අපිට ලද දෙයින් සෑහීමට පත් වෙන්න බැරි නිසාන් බං මැරි මැරී උපදින්නේ….. 😀

    කැමතියි

  37. ලකී says:

    ඇයි නවම්, උඹ දැනටමත් පොරක්නෙ..එහෙම නෙවෙයි කියලා කවුරු හරි කිව්වද ?..ඉරිසියාකාරයෝ බන්….ගනන් ගන්න එපා..කාට නැති වුනත් මට නම් උඹලා ගොඩක් එවුන් ටොප් පොරවල්…

    කැමතියි

  38. අඩේ නියම පොරකගේ ෆොටෝ එකක් අර මාලුව ෆේස් බුක් එකේ දාලා තිබුනා නිකමට වගේ ගිහිං බලපං ඌ කොහොමද කියලා ……….. මට මතක හැටියට “දිය රෙදි අතරින් අනන්තය සොයන ……..“ කියලා තමා දාලා තිබුනෙ …………

    (ඉතුරු පෝස්ට් ටික කියවන්න වෙලා මදි හෙට කියවනවා)

    කැමතියි

  39. කසුන් says:

    නත්තිමේ සරණන් අඤඤ්…බුද්ධෝමේ සරණන්වරන්..‌

    http://www.beyondthenet.net/audio/Bhikkhu_K_Nanananda/Bhikkhu_K_Nanananda_Nivane_Nivima.htm

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: