මගේ පුතා හරි හපනා DHA + බොන්නා

මයේ කොල්ලා දැං කිරි බීමට එච්චර මනාපයක් නැතිය. අවුරුද්දක් වෙනකං අම්මාගේ තනේ එල්ලී සිටි කොල්ලට දැං කිරි වලට වඩා රහ ජාති ලැබේ. ඌ පාං කයි, බත් කයි, ආප්ප කයි, කඩල කයි, මුං කයි, චීස් කයි. ඒත් වැඩි හරියක්ම කන්න කැමති පරිප්පුය. පිය පාර්ශවයෙන් ආරෙට එනවා වෙන්නට ඇත. උගෙ තාත්තාද කන තරමක් කන්නේ පරිප්පු ය. ඒත් අපේ ගෙදර වැඩිප පරිප්පු උයන්න වෙන්නේ නැතිය. ඒ අපි අකමැති නිසා නොව කොලුවාගේ නැනී පද්මා ඇන්ටී නිසාය. ඈට පරිප්පු වහ කදුරු සේය. එහෙයින් උන්දෑ මාසෙකට වතාවක් ගම ගියපසු පරිප්පු උයමු, තෙල් දමමු, තෙම්පරාදු කරමු. ඒ ඊලඟ මාසය වෙනකල් ඉඳ හිටක මිසක් කෑමට නොහැකි වන නිසාය.

කියන්න ආවේ කිරි ගැනය, ලියා ඇත්තේ පරිප්පුය. මේවාට කියන්නේ “යන්නේ කොහේද මල්ලේ පොල් කියාය”. ඉස්කෝලේ යන කාලේ අපි කිව්වේ ඊට තවත් කෑල්ලක් එකතු කරය. ඒ “යන්නේ කොහේද මල්ලේ පොලුයි පොල්ලේ මලුයි” කියාය.

පොල් කීවාම තවත් කතාවක් මතක් විය.

අපි පොල් ගන්නේ දෙමටගොඩ පොලෙනි. ඒ ඉතිං හැන්දෑවටය. පොල් ගන්න හොඳ උදේම යැයි අම්මා කිපදොහක් කීවද අපිට නම් මළාට උදේක පොල් ගන්නට බැරිය. ඒ වෙන කිසිවක් නිසා නොව පොල් අරං ඔ‍ෆිස් යන්න බැරි නිසාය. ඉතිං අපි හැන්දැවේ හත හමාරට විතර වැඩ ඇරී ගෙදර එන ගමන් දෙමටගොඩ පොලට යමු. උදේ එතනින් යනකොට තිබු මහා පොල් ගොඩ බාගෙට බාගයක් අහවර වී ඇත. කරන්නට දෙයක් නැත. උදේ ඉඳං දෙනොදහක් හොල්ලා බලා තේරී ඉතුරු වූ පොල් ගොඩෙන් අපිද කනට කිට්‍ටු කර හොල්ලා යාන්තං දිය අඬන පොල්ගෙඩි ටිකක් කද බැඳගෙන ගෙදර එමු.

දෙමටගොඩිං පොල් අරගෙන බයිසිකලයේ අංගොඩ යනවා කියනේ එලෝ පොල් පේනා වැඩකි. එනමුත් අංගොඩ දිහාවේ පොල්වල ගිණි ගනං ඇහූ විටද එලෝ පොල් පෙනේ. එහෙයින් අපි අඩු මිලට එලෝ පොල් බැලීමට කැමති වෙමු.

එක දොහක තනියම පොල් මල්ලක් බයිසිකලයේ එල්ලං එනකොට කොලොන්නාව යූ.සී පල්ලමේ මල්ල ලිහී දොහ් දොහ් ගා පාර පුරා පොල් ගියේය. සුළු ප‍ටු නැත. පොල් ගෙඩිම දහයකි. කරන්න දෙයක් නැත. බයිසිකයලය පරේ අයිනේ හි‍ටුවා ලැජ්ජ බිම දිගේ යන්නට හැර පාර දෙපැත්තේ කාණුවලින් පොල් ඇහිලුවෙමි.

ඉස්සර නම් අම්මේ මුත්තේ කිව්වත් නොකරන දෙයකි. දැං ඉස්සර කෙලි කරන්නට බැරිය. ඒ වෙන උලව්වක් නිසා නොව දැං බැඳලා නිසාය. එහෙයින් ළූණු බිකත් බඩට යැයි සිතිය යුතුය. නැත්නම් මේ කෙළිය මෙලෝ පුතෙකුට මේ සම්මජාතියේ කරන්නට බැරිය.

ආයෙමත් පීළි පැනලාය. කිසි දවසක තනි පීල්ලක ගමනක් නොතිබුන මට පීලි ගමං බොහොම අමාරුය. ගෙදර උන්දෑ නොඉන්නට මෙලහකටත් පීලි පැන කොහේ හෝ ඇණගෙනය. උන්දෑ නම් පීල්ලේ ගමනට හරි රුසියෙකි.

වැල් වටාරං හොඳටෝම ඇතිය. ආයෙම කිරි කතාවට එමි.

පොඩ්ඩාට මුලදී අම්මාගේ කිරි මදි වී දොස්තරගෙන් අසා ගිණි ගනන් දී අකුරු තුනේ ටිං කල පිටි ජාතියක් ගෙනාවෙමි. ඌ නෙවේය ඒ කටේ තිව්වේ. රෑ දෙගොඩ හරියේ මේකා බෑඟිරි දී අඬයි. බලං ඉන්නට බැරිය. මට පොඩි එකාගේ අම්මා එක්ක කේන්තිය.

දැං ඔහේවත් ඔය පිටි ටිං එක බොනවා යැයි මම කීමි. උන්දෑ ඒ බීවාදැයි මට මතක නැතිය. කොහොම උනත් කීපදොහකින් උන්දෑට හොඳහැටි කිරි එරුනේය. ඒ හොඳ වෙලවටය. නැත්නම් බාගවෙලාවට තාත්තා වෙච්චි මට කිරි එරෙන්න ඉඩ තිබුනේය.

මාස හතක් අටක් යහතින් අම්මාගේ කිරි බිව් කොල්ලාට ආයෙම කිරි මදිවිය. ඊට පසු ආයෙම හරකා සහ ගේට්‍ටුවේ පිටි ටිං එකක් බොහොම සර්දාවෙන් ගෙනාවෙමු.

අ‍ඳොමැයි.

මේකා ඒක කටේ තියන්නේ නැත. ඊට පසු බැරිම තැන මාත් හිච්චි එකා කාලේ බීපු බීපු ලැට්ටෝජං පෙට්ටියක් ගෙනාවෙමු. අගේ ය මේකා ඒක අපූරුවට බොයි. ඒ හරියට ඌ තාත්තාගේ මාසේ පඩිය ගැන දන්නවා වගේය. තාත්තාටම හරියන පුතයෙකි.

පොඩි එකා සනීපෙට ලැට්ටෝජං බොන සඳ උගේ අම්මාට ඌට ඒ වෙනුවට ෆුල් කිරීං මිල්ක් පවුඩර් දෙන්න ඕනෑ විය. මුල්ම වතාවේ ඉස්තරං පිටි ටිං වලින් පටන් අරං අහවර වූ හැටි මතක තිබු නිසා මෙවර වන් ප්ලස් වලින් පටන් ගත්තෙමු.

පුදුමයකි මේකා මේ වතාවේ ලාබ දේවල්වලට අකමැති හැඩකි. කටේ තිව්වේ නැත. ඊට පස්සේ “ෆයිව් ෆයිව් ටෙං” හා “පූසං සිංහයන් කරනා” මගාර්ඝ පිටි පැකට්‍ටුව ගෙනාවෙමු. දවසකට දෙවරක් පොඩි එකා ඒකනං බොයි. බොනවා විතරක් නම් මදෑය ඒකා ඒ වෙළඳ දැන්වීමේ සද්දේ ඇහුනොත් කොහේ හිටියත් දිවවිත් කට බලියාගෙන ටී.වී එක බලයි.

කිරි කතාව එතනින් අහවරය.

දැං අපි බලාන ඉන්නේ පොඩි එකා “ෆයිව් ෆයිව් ටෙං” කියා අල්ලපු ගෙදර පූසා සිංහයෙක් කරනා තුරුය.

පසු සටහන: අර පොඩි එකා නොබිව් වන් ප්ලස් එක උදේට උදේට දීල ගෙදර උන්දෑ මට දී ඇත. දැං මටත් මොළේ එහෙම පෑදීගෙන එනවා වගේ දැනේ.

පස්සේ ලියමි : ඊයේ පෙරේදා කෙහෙල්කො‍ටුවට වෙච්චි අලකලංචිය හන්ද ඇ‍ඟේ ලේ වතුර වී ඇතිය. දන්නා පිංවතෙක් මගේ වර්ඩ්ප්‍රෙස් බ්ලොග් පඩංගුව අ‍ටුවෙන් බාගන්නා හැටි මුල සිට සරළව කියනවානම් අගේයැ.

පින්තූරෙ මෙතනින් : http://www.panoramio.com/photo/37722539

Advertisements

59 Responses to මගේ පුතා හරි හපනා DHA + බොන්නා

  1. ඉස්සර නම් අම්මේ මුත්තේ කිව්වත් නොකරන දෙයකි. දැං ඉස්සර කෙලි කරන්නට බැරිය.

    සහසුද්දෙන්ම ඇත්ත බන් අයියේ… මේ නොබැඳ.. බැන්දම අනේ අප්පේ.. හිතා ගන්නත් නොහැකිය…

    නවම් අයියත් එහෙනම් දැන් බොන්නෙ 1+ අහ්….

    කැමතියි

  2. ඔහෙට බ්ලොග් එක බැකප් කරගන්ටෙයි ඕනැන්නෙ?
    ඩෑස්බෝඩ් එකේ Tools > Backup තියෙන්නෙ!

    කැමතියි

  3. amilaart says:

    නවම් ගොයියත් දැන් 1 වසරේය්, සුඅර් එකටම උගෙ පුතා තරම් හපනෙක්නම් නොවෙති

    කැමතියි

  4. Weni says:

    පාරට බැස ඔළුව හැරුනු හැරුනු අතේ යාමට මමත් හරි කැමතී.. ඒ වගේ ලියපු මේ ලිපිය සුපිරිය.. මේ වගේ සුපිරි ලෙස මට ලියන්නට බැරි නිසාම දෙතුන් වරක්ම කියවා රස වින්දෙමි. ඔය මොලේ පෑදී ගෙන එන්නෙ දිනපතා ක්ලෝරීන් වතුර නාන නිසා කියා මට කීවේ මගේ දොස්තරය.. එතනින්ම මගේ බහුස්සුරුතයෙක් වීමේ සිහිනය කඩා වැටිනි.. දැන් 1+ බී බලන්නට උවමනාය !

    කැමතියි

  5. පූසා says:

    “ඉස්සර නම් අම්මේ මුත්තේ කිව්වත් නොකරන දෙයකි. දැං ඉස්සර කෙලි කරන්නට බැරිය”
    බය හිතෙනෝ! 😀

    කැමතියි

  6. chathu says:

    //අර පොඩි එකා නොබිව් වන් ප්ලස් එක උදේට උදේට දීල ගෙදර උන්දෑ මට දී ඇත. දැං මටත් මොළේ එහෙම පෑදීගෙන එනවා වගේ දැනේ.//

    එහෙනම් නවම් සහෝ පොඩි එකාට උදේ හවා වැඳපන්… උගේ ආච්චිට, අම්මට වත් බැරිවෙවච්ච වැඩේ නෙව ඌ මේ කලේ …

    කැමතියි

  7. මලික් says:

    අම්ම ගහයි…… ලෙසටම ලියල තියෙනවා මචන්…….. හිනා වෙලා බඩත් කොර වුණා……. මටත් ඔය වයසේම පොඩ්ඩෙක් ඉන්නවා

    කැමතියි

  8. කාලෙකට පස්සේ හරවත් වින්දනාත්මක දෙයක් කියෙව්වා!බොහොම ස්තුතියි 🙂

    කැමතියි

  9. තන කිරි වලින් පටන් ගෙන පරිප්පු, පොල්, හරහා එළකිරි ලෙසටම ලියා ඇති ලිපියකි. මට එකඟ වන්නට අමාරු එකම කාරණාව නම්, නවම් ගොයියා පීලි පනිද්දී චූටි මැණිකේ පීල්ලේ යාමය. මා දන්නා තරමින් කතාවෙන් පිට පැන අතුරු කතා ගනනාවක් හරහා ගමනාන්තයට ප්‍රමාද වී ලඟා වන්නේ චූටි මැණිකෙලාය.
    henryblogwalker the Dude

    කැමතියි

  10. මං හිතාගෙන ඉන්නෙ දුමියගෙයි උඔගෙයි බ්ලොග් වලට එන්නැතුව ඉන්න. නිකං මොකටද හිත බය කර ගන්නෙ

    කැමතියි

  11. Buru says:

    වියමනක අපූරුව.
    පොඩි එකා කොහොමත් හෙට අනිද්දාට පූසාව සිංහයෙක් කරන එක නම් සුවර්.

    කැමතියි

  12. kingkusa says:

    meke google unicode walin kotananta bariya eka nisa mage comment eka liya gannata bariya.
    honda welawata umba dehi aragena giye naththe. ekek malu aragena giya kathawak mama kohedido kiyewwaya. dan mathaka nathiya.

    mama kiyanna awe eka noweya. umba 1+ umba dan baba wela athi neda banz ayye.

    කැමතියි

  13. පොල් ගෙඩි ටිකේ මුඩ්ඩ විද රෙදි පටියකින් ගැට ගසා මොටෝ සයිකලයේ වැ‍ටුං පොල්ලේ පල්ලෙහෑ කෑල්ලෙං එල්ලාගත්තා නං යූ සී පල්ලමේ කානු දිගේ බඩගාන්න වෙන්නේ නෑය.
    හිච්චි එකාට ඔයතරමිං හෝ තන කිරි ජුංඩක් ඉතුරුවීම නවමා වැනි තාත්තෙක් ලැබුන ඒ හිච්චි එකාගේ පෙර කල පිං ඩිංගක් පලදීමකි.

    ප.ලි:
    නිකං ඉන්න පූසා සිංහයෙක් කරගැනීමේ කරුමය කසාද කාරයෙක් වූ නවමාට තවම දැනී නැති හැටියකි . . .

    කැමතියි

  14. දැන් දැන් ඉස්සර කෙලි කරන්නට බැරි වීම ගැන දුකක් ඇති අතර ම මගේ අනාගත සුරක්ෂිතතාවය ගැන මට බිය දැනේ!

    කැමතියි

  15. මාරයා... says:

    මුං මේ දවස්වල ලියන්නේම අර පූසවයි බුද්දියවයි බය කොරන්නම තමා…

    කැමතියි

  16. ලඟදි දවසක බංඩිය චන්ඩි වෙන්නත් ඕනේ කියලා කියයි. ඒක නම් කමක් නෑ කියලා කියමුකෝ. කොහොමද කන්නයි බොන්නයි එහෙම ඉල්ලුවොත්. 🙂

    කැමතියි

  17. //රෑ දෙගොඩ හරියේ මේකා බෑඟිරි දී අඬයි. බලං ඉන්නට බැරිය. මට පොඩි එකාගේ අම්මා එක්ක කේන්තිය.//

    කෝ මේ කාන්තා විමුක්ති නඩේ..

    කැමතියි

  18. Beetle says:

    උඹට වන් ප්ලස් ඇඩ්වාන්ස් වැඩිද දන්නේ නෑ…? කෝකටත් ඩොක්ටකෙනෙක්ගෙන් අහලා හිටියොත් නේද හොඳ..? 😀 😀

    කැමතියි

  19. ඩිලාන් says:

    කිවුවත් වගේ මොකද බොලව් අපි වගේ කොල්ලන්ව බය කරන්නම හදන්නේ

    කැමතියි

  20. වර්ඩ් ප්‍රෙස් වල ආයත කිරීම හා නිර්යාත කිරීම කියා එකක් ඇත්තෙය එතෙනින් ඔය ඉලව්ව කරගත හැක.

    මට පේන විදියට නවම් අයියා අක්කාට බය පාටය. අයියා වගේම කර්යශුර බුද්ධිමත් කොලු පැටියෙක් වෙන්න ඕනේ… 🙂

    කැමතියි

  21. Observer says:

    ලැජ්ජ බිම තියා පොල් අහුලන හැටි මැවිලා පෙනේ

    කැමතියි

  22. Bindi says:

    අද නම් කතන්දර ගොඩකි . මන් නම් කැමතියි මේ වගේ පිලි පනින ලිපි වලට . පරිප්පුයි .පොලුයි .කිරියි …අගනා සංයෝගයකි . අපේ පොඩි කෙල්ලත් මාස නවයක් පිටිකිරි වර්ජනය කලා.
    ළමයි රෑට අඬන කොට මොකද තාත්තලට තරහ . අපේ උන්දැත් ඒ කාලේ එහෙමයි . නින්දට බාධා වෙන නිසාද .

    කැමතියි

  23. අපේ දෙවෙනි එකා අම්මගෙ කිරි වලට වඩා ආස නැන් බොන්න. අනේ මන්ද ඌට එව්ව දැම්ම එපා වෙලා. ලොකු උනාම අම් භාජන වලට රැවටිල එව්වම ඉල්ලයි හැබැයි!

    කැමතියි

  24. අපේ කොමෙන්ට් වලට කිසිම පිළිතුරක් නොදී මග හැරීම නං කිසිසේත්ම අනුමත කරන්නෙ නෑ පු‍තෝ. විශේෂයෙන්ම අර ඕනයා සහ ඔබා අයියාගෙ කමෙන්ට් වලට.

    henryblogwalker the Dude

    කැමතියි

  25. හුටා ඒ ගමන පිළිතුරු දීලා නේද? සමාවෙයන්. අරුන් දෙන්නාට දී ඇත්තේ නම් කටේ මසුරං දාන්න වටින පිළිතුරුය.
    henryblogwalker the Dude

    කැමතියි

  26. මේ පෝස්ට් එක නම් ලෙසටම ලියල තියෙනවා නවම් අයියේ. මරු.

    කැමතියි

  27. praveena says:

    මට නම් පෙනෙන්නේ පොඩි එකා හොඳ මොලකාරයෙක් බවය. 🙂

    කැමතියි

  28. ඔබගේ ලිවීම නම් අගනේය… ලැජ්ජාව බිම තියා පොල් ඇහුලූ සැටී මැවී පේනේ… 1+ බී හෝ මොලේ පාදා ගැනීම හොඳ දෙයකි. 😀

    කැමතියි

  29. maali says:

    oh ayya inne angoda hariyeda? mamath e paththe thama. pol wala ganan nam mathak karanna epaya.. :/

    කැමතියි

  30. ඇඬෙනවා නවම් තනි ඇහැට… උඩින් හිනාවෙන ගමන් හිත යටින් අනාගතය ගැන බයවෙන්නත් ඉඩ සලසලා කියලා තියෙනවා

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: