ප්‍රේමණීය හිඩැස

මොහොතකට පෙර ඔවුන් හුන් තැන මෙය යැයි කියන්නට මෙන් සීරුවට ඇතිරූ ඇඳ ඇතිරිල්ලේ පොඩි වී හැකිළුණු තැනට ඔබ්බෙන් ගලවා දැමූ මුතු ඇට පොටකි. ඇඳ රෙද්දෙහි වර්ණයටම සමාන යැයි කිවහැකි එය බැලූ බැල්මට නොපෙනුනත් කණ්නාඩිමේසයට මඳක් ඉහලින් ඇති සෑන්ඩ් ස්ටෝන් බිත්තියේ සවි කර ඇති බිත්ති ලාම්පුවෙන් නික්මුන මන්දාලෝකය ඇති කල සෙවනැල්ල එය උළුප්පා පෙන්නීය. කාමරයේ අනෙක්පස ඇති පු‍ටුවක ඇන්දක් මත දැමූ ස්ටෝන්ස් සාරිය මත වැ‍ටුණු විදුලි එළිය පංකාවේ සුළඟ විසින් වරින් වර කාමරය පුරා විසුරවා දැමුයේ මොහොතකට පෙර රාගී සුසුමින් කැළඹීගිය වා තලයේ දරාගැනීමට නොහැකි වත්මන් නිශ්චලභාවය බිඳින්නට මෙනි.

කවීෂ හිඳගෙන හුන් තැනින් නොනැඟිටම අත මානයේ තිබූ ජංගම දුරකථනය ගෙන වෙලාව බැලීය. රාත්‍රී අටටත් කිට්‍ටුය. ඈ නානකාමරයට ගොස් පැයකට ආසන්නය. ඔහු සෝෆාවෙන් නැඟිට බැල්කනියේ විසල් ජනේල විවෘත කර දැමුයේ පරිසරයේ අඳුරට කාමරයට එන්න ඉඩ හරිමිනි. නමුත් ජනේලයෙන් එලියට ආ කාමරයේ වූ ආලෝකය අඳුර හා සටන් වැද මඳ දුරක් ඈතට පලවා හැරියේ ඔහු බලාපොරොත්තු නොවූ පරිදිය.

ජනෙල් පළු දෙක මැදින් පැමිණ අඳුර මරා දැමූ ආලෝක ඉර දිගේ සීරුවට ඉදිරියට ගොස් බැල්කනියේ සීතල යකඩ වැට අල්ලාගත් ඔහු ජනේලයෙන් එපිට ඇති ඉමක් නොපෙනෙන මහ සයුරේ ඇතින් පාවෙන ආලෝක ගුලි දිහා බලා සිටියේ මින් පෙර නොදැකි දසුනක් මෙන් ය. අඳුරු මුහුදේ ඈත ක්ෂිතිජයේ ඇති කුඩා එළි පේලි ඉඳහිට නොපෙනී යන්නේද අහසේ තරු මෙන්ය. මඳ වෙලාවක් ඒ දෙස බලා සිටි ඔහුට අහස හා මුහුද තනි යායක්ව පෙනුනේ බොඳ වී ගිය දෙනෙතට හසුවීමට තරම් ක්ෂිතිජ මායිමේ දැල්වෙනා එළි දීප්තිමත් නොවූ නිසාවෙනි.

කවීෂ…

එක්වරම පි‍ටුපසින් නැඟි හඬින් ගැස්සී කල්පනා දැහැනින් මිදුනු ඔහු සීතල යකඩ වැට අත්නොහැරම උරහිසට උඩින් හිස හරවා පි‍ටුපස බැලීය.

වර්ෂා….

මොහොතකට පෙර නොදු‍ටු සුන්දරත්වයක් තෙත් හිසකෙසින් යුතු ඈගෙන් නික්මේ. පපු මත්තට හැඳ උන් ලා ක්‍රීම් පැහැති නානකාමර තුවායෙන් නිරාවරණය වූ ඈගේ දඟයුග මෙතෙක් සීතලේ බැල්කනියට වී හුන් ඔහුගේ ගත සිත යලි උණුසුම් කරන්නට විය.

ඔයා ඉස්සර හිටියට වඩා හැඩවෙලා……

කෝමල බැල්මක් හෙලා රතුවූ මුහුණින් ඈ බිම බලා සිනාසුනාය.

පුදුම හමුවීමක් නේද ? ….. මෝටර් රියෙන් බසිනාවිට නැවතූ තැනින් ඔහු නැවතත් කථාව පටන්ගත්තේය.

හ්ම්….

මම දැනගන හිටියෙ නෑනෙ දේවින්ද ඔයාගෙත් යාළුවෙක් කියල….. එක අතකට නොදැන හිටිය එකත් හොඳයි, ඔයා එනව කියල මම දැනගෙන හිටියනම් සමහර විට මං නොඑන්නත් ඉඩ තිබුන.

ඇයි ඒ… ඔයා මාව දකින්න ඒ තරම්ම අකමැත්තකින්ද හිටියෙ ?

නෑ… මං කැමැත්තෙන් හිටියෙ. ඒත් ඔයා අකමැතිවෙයි කියල මම හිතුවෙ.

ඔයාටනම් ඉස්සර වගේම පිස්සු… හී හී….

ඇගෙ සිනහව තවමත් පෙර මෙන්ම චමත්කාරය. හිනැහෙන විට පුංචි වෙන ඇස්වලටත් වලගැහෙනා වම් කම්මුලටත් පෙම් බැඳි අතීතය ඔහුට සිහි විය.

වර්ෂා….

ම්..

ඇයි අපිට අපේම වෙලා ඉන්න බැරි උනේ…..

එන්න. අපි මෙතනින් වාඩිවෙලා කතාකරමු..

ඈ ඔහුගේ අතින් ඇද බැල්කනියේ පසෙක තිබූ කාමරයෙන් පෙරී එන ලා එළියට මඳක් නිරාවරණය වී ඇති දිගු සීතල යකඩ බංකුව මත වාඩි වූවාය.

ඔයා ඇඳුමක් දාගන්නෙ නැද්ද?

කමක් නෑ මෙහෙම හොඳයි.

නෑ ඉන්න.. මම ඕවර්කෝට් එක ගෙනැත් දෙන්නම්. නැත්නම් මේ සීතල මුහුදු සුළඟට ඔයා ලෙඩවෙයි. එහම උනොත් ආයෙ අනිද්දට ආපහු ෆ්ලයි කරන්න අමාරුවෙයි.

කාමරයට ගිය ඔහු ඇඳවිට්ටමේ දමා තිබූ ඕවර් කෝට් එක ‍රැගෙන විත් බැල්කනිය අසල හිටගෙන කාමරයට පි‍ටුපා මුහුද වෙත නෙත් යොමා සිටි ඈගේ උර මතින් දමා ඉන වටා දෑත් යවමින් තම තුරුළට ගෙන ඇගේ දකුණු උරහිස මත තම නිකට රඳවාගත්තේ අපමණ සෙහෙනෙහසිනි. ක්ෂණයකින් සිදුවූ දෙයින් ඈ නොසන්සුන් වුවද ඒ මින් තුන්වසරකට පමණ අපමණ ලොබ බැඳි සුපුරුදු උණුසුම ඔහු හා ඈ අතර තිබූ ඇඳුම විණිවිදින තුරු පමණි.

වර්ෂා… ඔහු ඇසෙන නෑසෙන ස්වරයෙන් ඇගේ සවනට මිමිණුවේය.

ම්ම්.. … ඔහුගේ ගැඹුරු, හැඟුම් බර හඬ ඈ සවනත වැටෙත්ම මැකී ගිය හිරිගඬු වැටිය නැවතත් ගෙල පුරා පැතිර ගියේය.

ඔයා ඇයි මාව දාල ගියේ …. ?

කවීෂ…

ම්..

ඒ ප්‍රශ්ණය එච්චරටම සාධාරණ නෑ කියල ඔයාට හිතෙන්නෙ නැද්ද?

මංද.

කවීෂ… අපි අපිට නැති උනේ ඇයි කියන එකට උත්තර හොයන්නෙ නැතුව ඉඳිමුද ?

ඇයි ඒ…. ?

එන්නකො.. අපි වාඩිවෙමු අතනින්, දැන් නම් මගෙ කකුල් දෙකත් රිදෙනව.

යමු…

ඇයි ඔයා ඔතන වාඩි උනේ.. වෙනද වගේ මගෙ උකුලෙ ඔළුව තියාගෙන ඉන්න අකමැතියිද ?

අකමැත්තකට නෙමෙයි වර්ෂා… අවුරුදු තුනක් තිස්සෙ පිච්චිලා යාන්තම් නිවීගෙන ආපු මගෙ හිත ආයෙම අවුලවාගන්න මට බෑ.

ඔයා හරිම අසාධාරණයි කවීෂ. ඇයි ඔයා අමතක කරන්නෙ ඒ වගේම කාලයක් මමත් ගතකලා කියන එක?

වර්ෂා.. අපි ආයෙම මේ රණ්ඩුවෙනවද ?

හි හී…. ඔව් නේද…?

ඉස්සර වගේමයි අපි තාමත්.

නෑ කවීෂ.. ඉස්සර අපි රණ්ඩුවෙනකොට තේරෙන්නෙ නෑ රණ්ඩුවෙනව කියල.

හ්ම්.. ඒකත් ඇත්ත තමා.

මට ආරංචි උණා ඔයාගෙ අම්ම නැතිවුණා කියල. ඒත් මම ගියපු අලුතම නිසා නිවාඩු ගන්න බැරි උනා හොස්පිට්ල් එකෙන්, අනික කන්ට්‍රැක්ට් එකේ විදියට වැකේෂන් යන්න පුළුවන් අවුරුද්දෙ අන්තිමට විතරයිනෙ.

ඒකට කමක් නෑ වර්ෂා. අම්මා ඔයාට සලකපු විදියට මම කොහෙත්ම බලාපොරොත්තු උනේ නෑ ඔයා ඒවි කියල. අනික ඔයා ආවානම් නෑදෑයොන්ගෙන් ඔයාට ප්‍රශ්ණයක් වෙන්නත් තුබුන. හැමෝම ඔයා එක්ක තරහෙන් හිටියෙ ඒ කාලෙ.

ඔයත් ?

කොච්චර රණ්ඩු උනත් එදා ඔයා සේරම දාල යයි කියල මමවත් හිතුවෙ නෑනෙ.

ඒත් මම ඇහුව එකට ඔයා උත්තරයක් දුන්නෙ නෑ නෙ

මොකක්ද?

ඔයත් මාත් එක්ක තරහෙන්ද කවීෂ හිටියෙ ?

ඒක තරහක්ම කියල කියන්න බෑ වර්ෂා. ඒක මහා සංකීර්ණ හැඟීමක්. මහප්‍රාණ ඔළුවෙ තියාගෙන හිටපු නැදෑසනුහරයක් මැද මහේ හිතට එන ඕනම විකාරයක් කියන්න පුළුවන් ආදරණීය හිතත් අරගන ඔයා ගියාම මාව හිස් වෙලාම ගියා. ඒ හිස්කම පිරවුනේ නෑදෑයො ටික වටවෙලා ඔයාගැන කියාපු වැරදිවලින්. අන්න ඒ පීඩනය හිතින් පිට වුනේ ඔයා ගැන ඇතිවෙච්ච වෛරයක් විදියට. ඒකම තමයි ඔයා කැනඩා යනව කියල දැනගත්තත් වචනයක්වත් කතාකරන්න නොහිතුනේ. ඒත් මමත් ලංකාවෙන් ඇවිල්ල තනියම කාමරේකට කො‍ටුවෙලා ඉන්නකොට තමයි කල්පනා උනේ ඔයාට මාවදාල යන්න පරිසරය හැදුවෙත් මම නේද කියල. මට තිබුන ඔයාවත් අරන් ගමෙන් යන්න ඒ දවස් වලම.

නෑ කවීෂ, එහෙම නොවුන එක හොඳයි

ඒ කියන්නෙ ඔයා කැමතියි මාව දාල යන්න වෙච්ච එක ගැන ?

කැමැත්තටත් වඩා මට උවමනාවක් තිබුන කිව්වොත් හරි ඒ පරිසරයෙන් ඈත්වෙන්න. මම බය උනා හතරවටෙන්ම මට ආපු පීඩනය මාව පොඩි කරල දායි කියල. මම ජීවත්වෙන්න ආස ගෑණියෙක් කවීෂ.

ඇයි ඔයා මට කිව්වෙ නැත්තෙ අපි මෙහෙන් යමු කියල, එහෙම කිව්වනම් මම ඔයත් එක්ක එනවනෙ.

මම බලාපොරොත්තු වුනා ඔයා මාව තේරුම් ගනී කියල. අනික මම ඒ දවස් වල මට උන කෙණෙහිළිකම් ඔයාට කියල සාධාරණයක් බලාපොරොත්තු උනා නම් එතන ලොකු විනාසයක් වෙන්න තිබුන. ඊටත් මම එහම කිව්වනම් මායි නෑදැයොනුයි අතරෙ හිරවෙලා ඔයා ප්‍රශ්ණ ගොඩක පැටලෙන්න ඉඩ තිබුන. සමහර වෙලාවට ඒකෙ බරත් මගෙ කරට එන්න තිබුන. ඉතින් එවෙල මට කරන්න තිබුන හොඳම දේ තමයි ප්‍රශ්ණවලින් ඈත්වෙලා යන එක. මට දැන් තේරෙනව මම ඒ ගත්තෙ හොඳ තීරණයක් කියල

ඇයි ඔයා එහෙම හිතන්නෙ ?

මම හැම ප්‍රශ්ණයක්ම දරාගෙන සාම්ප්‍රදායික ගෑණියෙක් වගේ ඔයාත් එක්ක හිටියනම් ඔයාටයි මටයි කිසිම දවසක අපි දෙන්නට උනේ මොකක්ද කියල තේරුම් ගන්න බැරිවෙන්න ඉඩ තිබුන. එහම උනානම් අද වගේ අහම්බෙන් දැක්කත් හිනාවක්වත් නැතුව වෙන් වෙලා යන්න හොඳටෝම ඉඩ තිබුන. ඒත් අද …….. අවුරුදු තුනකට පස්සෙ නිවිහැනහිල්ලෙ කල්පනා කරල නිවිච්ච හිත්වලින් එක කාමරේක බොහෝම සන්තෝසෙන්. ඉතින් ඔයාට හිතෙන්නෙ නැද්ද මම ගනිපු තීරණය හරි කියල.

ඒත් ඔයාට අපරාදෙ කියල හිතෙන්නෙ නැද්ද නිස්කාරනේ දෙතැනක ගෙවිල ගියපු අපි දෙන්නගෙ ජීවිතේ ?

නෑ කවීෂ, අපි දෙන්නගෙ ජීවිතේ නිස්කාරනේ ගෙවිල ගියේ නෑ…. ඒ අවුරුදු තුනේ ඔයයි මමයි තනියම ජීවිතේට මුණදීල යම්තාක් දුරකට හරි යථාර්තය තේරුම් ගත්ත. ඒ වගේම ඔයා මාස්ටර් ඩිග්‍රී එකක් කලා, මම ඇල්බටා හොස්පිට්ල් එකේ ස්ටාෆ් නර්ස් කෙනෙක් උනා. ඉතින් ඔයාට හිතෙනවද ඒ පහුගිය කාලෙ අපරාදෙ කියල.

හ්ම්… වර්ෂා හිතනවද අපිට ආයෙම සන්තෝසෙන් ඉන්න පුළුවන් වෙයි කියල.

ඔයා අහන්නෙ මීට අවුරුදු හතරකට කලින් ප්‍රශ්ණ ඇතිවෙන්න කලින් තත්වය ගැනනම්; ඔව් මම හිතනව පුළුවන් කියල. ඒත් ඔයා අහන්නෙ අදින් පස්සෙ එක වහලක් යට ජීවත්වෙන එක ගැනනම්; අපිට ඒ ගැන ගොඩක් කතාකරන්න තියනව. ඒ වගේම විසඳගන්න දේවල් ගොඩක් තියනව. අනික මේ හැඟීම ගිණි ගත්තු පුළුං ගොඩක් වගේ ඉක්මනට පත්තුවෙලා ඉක්මනටම නිවිල යන එකක් නෙමෙයි කියල කාටද කියන්න පුළුවන්. සමහර වෙලාවට හෙට උදේට ඔයයි මමයි පුරුදු ජීවිත වලට අයෙම ගියාම මේ පුළිඟුව නිමිල යයි. ඒක නිසා මම කැමති නෑ හිත ගොඩක්ම සන්තෝසයෙන් තියන වෙලාවක ජීවිතේගැන ලොකු තීරණ අරගන්න. අපි ජීව්තේට ඉඩදෙමු යන්න ඕන පාර හොයාගන්න. එහෙම හොඳයි නේද කවීෂ ?

පින්තූරය ගත්තේ : පින්තූරය ගත්තේ : http://www.wallchan.com

Advertisements

55 Responses to ප්‍රේමණීය හිඩැස

  1. පළවෙනි ඡේද තුන නම් නවම් අයියෙ මෙලෝ රහක් නෑ… දෙතුන් පාරක් කියෙව්වත් හරි චිත්‍රයක් මැවෙන්නෙ නෑ… කැටයම් විතරයි… ගොඩක් ප්‍රවීන ලේඛකයන්ගෙ ලිවිල්ලක් වගේ… ඒවගෙත් වචන ගොඩක් දැම්මට පැහැදිලි අදහසක් ඉදිරිපත් කරන්නෙ නෑනෙ… (මගේ අදහසක් විතරයි..)

    ඉතුරු ටික නම් නියමයි නවම් අයිය… මාර ගති… කියවන්න කැමතිම ස්ටයිල් එකයි, කතාකරන්න කැමතිම මාතෘකාවකුයි 🙂

    කැමතියි

  2. අඩේ මම එක.. පුදනකොටම කාපි යකා කියල විවේචනයක් 😉

    කැමතියි

  3. මට පේන්නෙ එක වහලක් යට ජීවත් වෙන්න කලින් විසඳගන්නතියෙන දෙවල් වලින් සමහර දේවල් දැනටමත් අවලංගු වෙලා තියෙන්නෙ කියලා. හිතලා බැලුවොත්…

    henryblogwalker the Dude

    කැමතියි

  4. ශානka says:

    ලස්සනට ලියල තියෙනවා මචන්…
    ඕකෙ දෙවෙනි කොටසක් එහෙම තියෙයි.

    කැමතියි

  5. ඔව් ඇත්ත. සමහර වෙලාවට කාලයත් එක්ක විසඳගන්න අමාරු ප්‍රශ්න වලට උත්තර ඉබේම ලැබෙනවා. අපිට තියෙන්නෙ ඉවසීමෙන් බලාගෙන ඉන්න එක තමයි.

    කැමතියි

  6. calhara says:

    විවාහ ජීවිතේදී හුඟක් වෙලාවට අම්මලා තාත්තලා, නෑදෑයෝ එක්ක ඉන්න කොට පිරිමියා ගිරේට අහු වෙච්ච පුවක් ගෙඩියක් ගානට වැටෙනවා, කාන්තාව හැම පැත්තෙන්ම තැලෙනවා, කසාද බැඳපු දවසෙ ඉඳලා වෙනම ජීවත් වෙනවා නං ඔය එක කේස් එකක්වත් නැහැ …………

    වෙලාවට මුන් දෙන්නට ලමයි ඉඳලා නැත්තෙ, නැත්නං වැඩියෙන්ම අසරණ වෙන්නෙ ලමයි ……

    ලකුණු 95% දෙන්න පුලුවන්, ලමයෙක් දෙන්නෙක්වත් දාලා කතාව පැටලෙව්වා නං මරේ මරු ……..

    කැමතියි

  7. Ravi says:

    අතීතයේ සිටි ඒ අප දෙදෙන,
    අද සිටිනුයේත් ඒ අප දෙදෙනම ද?
    ඔවුනුත් නොවේමය,
    ඔවුන් නොවන්නෙත් නොවේමය.

    එසේ හෙයින් හෙටක් ගැන කෙසේ උපකල්පනය කරමුද?
    එබැවින් මා පිය සබඳ,
    ඔබට පවසන්නෙම් සෙනෙහසින්,

    සියළු දුක් වේදනාවන් සමනය කරනා,
    එසේම මේ මොහොතේ ගිනි ගෙන දැවෙනා රත්වූ හැඟුම්,
    හෙට දින නිවා සිසිල් කරනා,
    කාලයට ඉඩ දෙන්න,

    මා පිය සබඳ,
    ජීවිතයට ඉඩ දෙන්න,

    මාරයි නවම්….ඇත්තටම….

    හෙහ්, හෙහ්, උදේ පාන්දර දාහක් වැඩ අස්සෙ උනත් මේක දැක්ක ගමන් කමෙන්ට් එකක් නොලියම බැරි උනා…..

    කැමතියි

  8. Lahiru says:

    ම්ම්ම්….. ලස්සන කථාවක්! එක එක ජාතියේ ප්‍රශ්න එක්ක ජීවිතේ වෙනස් වෙන හැටි!

    කැමතියි

  9. කතාව නම් නියමයි නවම් අයියෙ…මට නිකන් මැවිල පෙනුන…හැබැයි අර මුල්ම පරිච්ඡේදෙ ඒවා කියාද්දි නම් අමුතු අමුතු ඒවත් මැවිල පෙනුන…දැන් ඉතින් ඒ මොනවද කියල නම් අහන්න එපා… 😀

    කැමතියි

  10. X-Porter says:

    මට හිතෙන දෙයක් මේකෙ තියෙනව…. අපි ජීවත්වෙන සමාජ ක්‍රමය ඇතුලෙ (නිශ්පාදන ක්‍රමය කිව්වොත් වඩාත් නිවැරදියි) අපිට අපේ ආදරය විඳින්න පුලුවන්ද…..වැඩවසම් සමාජ සම්බන්දතා එක්ක අපේ ආදරය අපිට විඳින්න පුලුවන්ද…..අපේ සමහර ඊනියා විප්ලව කාරයො කියනව කලාවෙං විප්ලවය කරන්න … විරෝදාකල්ප කලාවක් ගැන කියනව.. කලාව ජනතාව සඳහා කියනවා…. නවම් ඔයා ඒවට මේකෙන් සුලුවෙන් හෝ උත්තරයක් දීල තියෙනව… කලාව කලාව සඳහාද හෝ ජනතාව සඳහාද කියල ප්‍රශ්නයක් නෑ ඒකියන්නෙ ඒ ප්‍රශ්නෙම වැරදී. කලාව අපේ අඳුම් පැලඳුම් යාන වාහන සහ ගෙවල් දොරවල් වගේම මිනිසා විසින් නිර්මානය කරන ලද්දක්…. නමුත් කලාවේ විශේෂ්ත්වයක් තියෙනව.. කලාව ගනුදෙනු කරන්නෙ හැඟීම්,විඤ්ඥානය හා පරිකල්පනය එක්ක…. …ඔයා මේ කතාකල දේ… අපේ ආදරය, අපේ හිත පුරා විඳගන්න බෑ.. කලාවෙන් මේ අවශ්‍යතාව උද්දීපනය කරනව.. සෞන්ද්ර්ය ශුංගාරය වැනි ගැඟීම් උද්දීපනය කරනව… අපිට ඒව විඳගන්න මැඩිය නොහැකි ආශාවක් එනව… ඒත් සැබෑලෝකෙදි ඒක විඳින්නබෑ..ඔන්න ගැටලුව එනව ඇයි අපිට බැරි කියල හොයනව වැරදිච්ච තැන හොයනව ඊටපස්සෙ අපි ඒක විඳින්න ඇවැසි පසුබිම සකසන්න මාර්ග හොයනව ..ඊටපස්සෙ මේක හුදෙක් පුද්ගල අවශය තාවකට වඩා සමාජ අවශ්‍යතාවක් වෙනව (මමකෙටියෙන් කිව්වෙ මේක සමාජ අවශ්‍යතාවක් වීමට වට පිටාව සැකසීම පුලුල් කතාබහක්..) එතකොට අපි සමාජය වඩාත් යහපත් තැනක් කිරීමේ අපිට නිදහසේජීවත් වීමට හැකි තැනක් කිරීමේ අවශ්‍යතාව එනව…. ඉතිං මේ කලාව විවරකලේ මොකද්ද… කලාව යතාර්ථයට අපේ ඇස් යොමු කරනව… නියම කලාව අපිව තැන්පත්කරවල අපේ මනස විවර කරනව නැතුව මරපියවු.. කොටපියවු….කියල මිනිස්සුන්ව උසිගන්නන්නෑ..ආවේගශීලීකරන්නෑ ..කලාවෙන් කරන්නෙ එච්චරයි… සමාජ විප්ලවයට කලාව උර දෙන්නෙ එහෙමයි… නමුත් කලාවෙන් විප්ලවය කරන්න බෑ ඒකට විද්‍යත්මක පදනමක් මත ක්‍රියාත්මකවෙන දේශපාලන පක්ශයක් ඕනෙ….. විප්ලවේ කියන්නෙ තුවක්කුබටේ අතට අරං විරුද්ධ සියලුදෙනාවම මරන එක නෙමේයි.. ඒක සුලුධනේශ්වර ෆැසිස්ට් වාදය….විප්ලවය ඊට හාගිය ඓතිහාසික විද්‍යාත්මක වැඩපිලිවෙලක්

    මම මේකට කැමතියි. සුලු සුලු අඩුපාඩිකම් තිබ්බත් සමස්තයක් වශ්යෙන් ගොඩක් හොඳ නිර්මානයක්….බොහොම ස්තූතියි අපේ ඇස් වලට අලුත් කෝනයක් පෙන්නුවට.. තව ලියන්න….

    කැමතියි

    • නවම් says:

      අගය කිරීමට වගේම වෙලාව මිඩංගු කරගෙන රිප්ලයි එකක් ලිව්වට බොහොම ස්තූතියි, බොහෝමයක් වෙලාවට නිර්මාණ විදියට එළියට එන්නෙ හැබෑ ලෝකෙ විඳගන්න අවථා දුලබ ඒත් හිත ඇතුලෙ කැකෑරෙන ෆැන්ටසි තමා.

      කැමතියි

    • X-Porter says:

      සමාවෙන්න….. මම මේ වැලිකාන්තාරෙ නහුතෙට වැඩවැඩ කරන ගමංතමයි comment කරන්නෙ..ඉතිං හිතන්නකො අපි කොච්චර ආසාවකින් ඔයගොල්ලන්ගෙ blogs කියවනවද කියල…. දන් තමයි දැක්කෙ ඉස්සෙල්ල හදිස්සියෙ copy paste කරල තියෙන්නෙ වටිනාම කෑල්ල නැතුව. ….. ඔන්න ඔහේ ඒ කෑල්ලත් දානව…එතකොට හිතට සැනසීමයි……

      “……….විප්ලවය ඊට එහාගිය ඓතිහාසික විද්‍යාත්මක වැඩපිලිවෙලක් .

      ඇත්තටම ඔයාගෙ මේ පොඩි නිර්මානයෙන් අපේ මනස විවර කරනව… ඔයා වස්තුකරගත්ත දේ ගැන වඩාත් සංයමයෙන් බුද්ධිමත්ව පුලුල් මනසකින් නැවතවරක් අලුත් විදිහට හිතන්න ඔයා අපිව පොලඹෝනව… ඇත්තටම ඔයා ඒකට උතරයක් දෙන්න යන්නෙනෑ.. කලාකාරය කිසිම දේකට උත්තර දෙන්නෙ නෑ උත්තරය අපිට හොයන්න ඉඩ හරිනව…. ප්‍රශ්නෙ දිහා නැවත අලුත් කෝනෙකින් බලන්න අපිව පොලඹෝනව…

      මම මේකට කැමතියි. සුලු සුලු අඩුපාඩිකම් තිබ්බත් ………”

      කැමතියි

  11. පරණ හුට්ටප්පරයක් පටලවාගන්න වගේ..

    කැමතියි

  12. uwiniran says:

    හුදකලා උනහම ආදරේ වටිනාකම තේරෙනවා වැඩියි, උඹ ඒක පෙන්නලා තියෙන විදියත් අපූරුයි නවම්.

    කැමතියි

  13. සොසී says:

    නවම් ඔයා මම ලියන්න කල්මර මර හිටිය දෙයක් ඒ විදිහටම ලියල කියල මට හිතෙනව. වෙනසකට තියෙන්නේ , මම පිරිමි චරිතයෙන් කියන්න හදපු දේ ඔයා කියල තියෙන්නේ ගැහැණු චරිතයෙන්….

    බොහොම ස්තූතියි. තවත් කෙනෙක් තමන්ගේ හිතේ ඇති වෙන දෙයක් ඒ විදිහටම ලියල තියෙනව දැක්කම හිතා ගන්න බැරි අපුරූබවක් දැනෙනවා…..

    සමහර වටි ඒ , තමන් විතරක් ඒ විදිහට හිතන්නෙ නැහැ කියල දැනෙන නිසා වෙන්න ඇති.

    කැමතියි

  14. Observer says:

    මේකට කොමෙන්ට් කොරන්න ‘නැණ පමණ’ මදි වගේ.

    කැමතියි

  15. sAm sRi says:

    සරලව පෙනුනට ගැඹුරැයි ‍වගේ..

    කැමතියි

  16. පට්ට සංකිර්ණයිනේ…… මට තෙරුණාද මන්දා

    කැමතියි

  17. මට මතක් වෙන්නෙ පැය තුනේ මනමාලියක්ව…..

    කැමතියි

  18. ඇත්තටම ලස්සනයි අයියේ. ඒත් මම හිතුව විදියේ අවසානයක් නෙමෙයි.:(

    කැමතියි

  19. අනේ මචෝ ටිකක් කියවල අතෑරල දැම්ම . . . නිවාඩු පාඩුවෙ කියවන්නං

    කැමතියි

  20. මේක ටිකක් මහප්‍රානයි වගේ නෙව, අපි වගේ පෘතග්ජනයොන්ට හැපෙන ගතිය අඩුයි!! හිහ් හිහ්! හැබැයි මරු ලිවිල්ල!

    කැමතියි

  21. Beetle says:

    මම මාර ලයික් නවමා… පටන් ගද්දී හිතුනේ මෑතකදී ලියවුණ කුණුහරුප පෝස්ට් වල දිගුවක්ද ගියලා… 😛 ඒත් ටික වෙලාවකින් ට්‍රැක් එකට වැටුණා… වර්ෂා වගේ එඩිතර වෙන්න බැරිව ගැහැණු කීදෙනෙක් හිරගෙවල් වල තමනේ ආදරණීය සැමියා එක්ක දුක් විඳිනවා ඇත්ද…

    කැමතියි

  22. මට පෙනෙන විදිහට නවම් මැද මාවතේ කතාලියන්නේ. සම්භාව්‍ය අසම්භාව්‍ය දෙක මැද්දෙන් ගානට බැලන්ස් කරගෙන.. මම ඒ ශයිලියට කැමතියි..

    කැමතියි

  23. abeetha says:

    මට හිතිච්ච දේ මම උඹට මූනුපොතේ මැසේජ් එකක් විදිහට එව්වා ඔන්න….

    කැමතියි

  24. malmi says:

    ලස්සනයි හොදයි, කියන්න ගොඩක් දේ තියනෙවා. ඒත් විදියක් නැහැ.

    කැමතියි

  25. මම ආස අර මුල් ටිකට. ඒ ටිකේ කතාව මවා ගත්තා.
    තාමත් මැවිල පේනවා

    කැමතියි

  26. ona maGULAK KIYALA EDA VINDINNA GATHTHANAM JEEVITHE HONDAI .MOKADA MAHAPPARANAwelin jeewath wenna baha.

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: