සියඹලාපිටියේ භූතයා

පහුගිය දොහක ගියා ගමෙන් පිට පොඩි ගමනක් කෑගල්ලෙ සියඹලාපිටිය දිහාවෙ. එහේ නෙව අපේ ගුරු පුංචි ඉන්නෙ. හරිම අපූරු ගම. වෙල මැද්දෙන් හැතැප්ම බාගයක් විතර වංගු වංගු පාරකින් ගියාම තමයි ගෙවල් මණ්ඩිය තියෙන්නෙ.

ඔය පල්ලෙහා තියෙන්නෙ ඒ වෙල් යාය මැදින් යනකොට දැක්ක භූතයා

[ලොකුකරන්න ඕන නම් පින්තූරෙ උඩ ක්ලික් කරන්න]

භූතයට කියල වී ලාහක කුඹුරුකෑල්ලක් කප්පවාගන්න යන්නෙ රුපියල් හත්සීය පනහයි

අත්තං දීල කුලී කරයො දාල දැං කාලෙ පිරිමහන්න බෑලු. ඔය කුඹුරු කෑල්ලෙ වී ලාස් දෙකක් විතර තිබිල තියෙන්නෙ.  භූතය ඉල්ලල තියෙන්නෙ රුපියල් එක්දාස් පන්සීයයි.

ඒ රුපියල් එක්දාස්පන්සීයට,

ගොයං කපල,
පාගල [ගොයමෙන් වී ඇට වෙන් කරල]
හුලං කරල [කා‍ටුව, පිදුරු, බොල් අයින්කරල]
ගෝනි වලටත් දාලම දෙනව.
වැඩේට යන්නෙ විනාඩි විස්සකටත් අඩුවෙන්.

කුලියට කැප්පෙව්වනං වරුවක්ම යනව කපන්න.
ඊලඟට කමතෙ ගොයංකොලේ ගහන්න ඕන,
ඊටපස්සෙ ගොයං පාගන්න ඕන [හරක් දාල එහෙම නැත්නං ගොයං පාගන මැසිමෙන්]
ඊලඟට ෆෑන් දාල හුලං කරන්න ඕන,
ඊට පස්සෙ වී මළුවලට දාන්න ඕන.
ඔය අතරෙ වැස්සොත් එහෙම තෙත ගොයම වේලෙනකන් ඉන්න ඕන පාගන්න එහෙම නැත්නං හුලං කරන්න.

හප්පේ වැඩ කෝටියයි !!

ඒ විතරක්නං මදෑ කුලිය දීල මදිපාඩුවට කසිප්පු දෙන්නත් එපැයි. ඒක නෙව කොරල පිරිමහන්න බැරි.

භූතයට ඔය මුකුත්ම නෑ, ආව, කැපුව, ගෝණියටම පැටෙව්ව ගාන ගත්ත ගියා….

ඔයිට වැඩිය ලොකු එකෙක් ඉන්නව අම්පාර අක්කරෙයිපත්තු දිහාවෙ මහා කුඹුරු යායවල් ඔල, ඒකට කියන්නෙ “සුනාමි” කියල. එදාවේල හම්බකරන් කන කුලීයට ගොයං කපන මිනිස්සුන්ටනං මේ ජාතියෙ හාවස්ටර්ස් “භූතයො”, “සුනාමි” ආව වගේ තමා]

ප.ලි :

ලාස් අටක් බුසල් එකයි ලොකු ගෝණියක බුසල් එකහමාරයි ලු.

එතකොට කුරුණි ? [දන්න කවුරුහරි ඔය සූත්තරේ කිව්වනම්]

Advertisements

63 Responses to සියඹලාපිටියේ භූතයා

  1. අපේ පැති වල නම් සුනාමි තමා. දැන් කාලෙ කුඹුරක් තියෙනවට වඩා ආදායමක් එනවා සුනාමියක් ගත්ත නම්. අනික කුලී කාරයො හොයනවා තරම් අමාරු වැඩක් තියෙනවද මේ කාලෙ. බේතකට වත් ගොයම් කපන්න මිනිස්සු දහ දෙනෙක් එකතු කරගන්න බැහැ.

    කැමතියි

    • නවම් says:

      සුනාමියෙ ගනං නං දන්නෙ නෑ, ඒත් ඔය චීනෙ හදාපු [කම්බයින් ග්‍රේන් හාවස්ටරය] බූතයා නං ලක්ෂ 8ක් උනාලු. ඔය බූතයටෙ ඒ කුඹුරු යායෙ තිබිච්චි ඉල්ලුම දැකල අයිතිකාරයා කිව්ව ඊලඟ කන්නෙට තවත් දෙකක්වත් ගන්නවෙයි කියල..

      හැබෑටම අර කුඹුරු කපන මිනිස්සුන්ගෙන් බේත් හදන්නෙ උන්ව අඹරලද නැත්නං පත අට එකට හිංදල ද බං ?

      කැමතියි

  2. සමන් says:

    මම මෙ විස්තරය ගත්තෙ දිවයින​ පත්තරෙන්
    මමත් ඔය අවට තමයි පදිංචිය​

    ඉඩම් මැනීම සඳහා ධාන්‍ය මිම්මක්‌ විය. ධාන්‍ය මනින උපකරණ වන ලාහ, කුරුණිය වැනි දෙයක්‌ ඇසුරින් ඉඩමේ වපුරන ධාන්‍ය ප්‍රමාණය අනුව බිම නිශ්චය විය. වී කුරුණියක බිම වී මල්ලක හෝ අමුණක බිම යන්න අදත් භාවිත වේ. එහෙත් ධාන්‍ය වර්ග අනුව බිම වෙනස්‌ විය. වී වලට වඩා කුරක්‌කන් වැපිරෙන බිම වෙනස්‌ වූ අතර ධාන්‍ය වර්ග ද සඳහන් කිරීම අවශ්‍ය විය. වයඹ දිසාපති වාර්තාවලට අනුව ඉඩමේ සරු නිසරු භාවය ද පිහිටීමේ ස්‌වභාවය ද අනුව වැපිරෙන ප්‍රමාණයන් තීරණය වූ බව පෙනේ. ධාන්‍ය ඇසුරින් ඉඩම් ප්‍රමාණ කිරීම අදත් ප්‍රාදේශීය වශයෙන් පවතිනු දක්‌නට ලැබේ. පුද්ගලයාගේ සමාජ තරාතිරම කීමේදී ද ධාන්‍ය ප්‍රමාණ කිරීම අතීතයේ සිට පවතින්නක්‌ වේ. කිසිදු යෑපීම් මඟක්‌ හෝ ඉඩමක්‌ නැති පුද්ගලයා හඳුන්වන ලද්දේ “වී මිටක” හෝ “බිම් අඟලක” අයිතියක්‌ නැත්තා ලෙසය. “මිට”, “පත” යන භාවිතයන් දෙකම ඉතා කුඩා මිනුම් ඒකක දෙකක්‌ වූ අතර අතීතයේදී එවන් මැනීම් ක්‍රමයන් ද භාවිතයට ගනිමින් සකස්‌ වූ චක්‍ර ද මහනුවර සමයේ භාවිතයේ පැවැතිණි.

    මිට 4 අතළොස්‌ස 1 යි

    මිට 8 පත 1 යි

    පත 2 මනාව 1 යි

    මනාව 2 නැළි 1 යි

    නැළි 4 ලාහ 1 යි

    ලාහ 4 තිඹ 1 යි

    කුරුණි 5 බෙර 1 යි

    බෙර 2 පෑළ 1 යි

    පෑළ 4 අමුණු 1 යි

    පෑළ 6 යෙල් 1 යි

    අමුණු 12 යල 1 යි

    කැමතියි

  3. රාජ් says:

    සුනාමියෙත් පොඩි පොඩි දෝශ තියනවබං. ඉස්සර ‍අතින් ගොයම් කපල ඒව ගොඩට යනකොට දවසක් ගතවෙලා ඉවරයි. එතකොට කෙලින්ම පෑගීමෙන් පස්සෙ වී ටික මල්ලට දාන්න පුළුවන්. දැන් ගසේ තිබෙන වී ඇට කෙලින්ම මල්ලට. ඒකෙන් සිද්ධ වෙන්නෙ ආයෙත් සැරයක් වී ටික වේලන්න සිද්ධ වෙනඑක. ඒක නං හැබෑ කරදරයක් තමයි. අනිත් කාරණාව හොදින් නොවියලුනු වී සුනාමියෙන් පිරිසිදු කිරීමේදී (බොල් ඉවත් කිරීමේදී) නිසියාකාරව එය සිදු නොවීම. මේ ප්‍රධාන දෝශ දෙක තිබුනත් ක්‍රමේ හොදයි.
    මම ආවෙනං හොල්මං ගැන කියවන්න. මේ බූතයොනං අපිට හොදට පුරුදුයි.

    කැමතියි

    • නවම් says:

      ඒකත් එහෙමද බං. එතන උන්න අය නං ඔය බූතයට හරියට මනාපයිබං. එ අය කිව්වෙ බොන්න දීලම පිරිමහන්න බැරි නිසා මිනිස්සු දාල කපනවට වඩා මේක ලේසියි කියල. ඒකෙන්ම හිතාගන්න ඇහැකි ඒ පැත්තෙ උන් බොන තරම කසිප්පු. හෙහ් හෙහ්

      කැමතියි

    • මෙන්න මේවා කමයි මේකේ තියෙන අවාසි. බොල් නම් ෆෑන් එක ටිකක් වැඩි කරාම හරිය්නනත් ඉඩ තියෙනවා. ඒත් “බට කෑලි” හුගක් වී එක්ක එනවා.ඉතින් භුතයා ගහපු වී වලට අඩු මාකට් එකක් තමා තියෙන්නේ.සුනාමි ගහපුවා 25ට ගන්නවනම් ඉස්සල්ලම බට වලට කියලා රුපියලක් අඩු කරනවා. ඊළගට වේලිලා නෑ කියලා තව රුපියලක් අඩු කරනවා. ඕක තමයි තිත්ත උනත් ඇත්ත. මිනිස්සු එක රුපියලක් හරි බේර ගන්න ඒ හන්දා මෝල් වල කමත් වලට දාලා වී වේලලා දෙනවා. ඔක්කොම වී වේලන්නේ නෑ හුගක් වෙලාවට.එක මිටියක් වේලනවා දවසක් විතර. ඒකරලා අඩුවෙන බර අනික් එවටත් ආදේශ කරලා ගනන් බේරන එක තමයි වෙන්නේ..
      අනික් තියෙන ප්‍රධානම දෝශයක් තමයි වැටිලා තියෙන..එහෙම නැත්තන් පාත් වෙලා තියෙන වී ගස් කපද්දි.කරල් කැපිලා මේකේ තියෙන කුල්ලට නැතුව බිමට වැටෙන එක. සෑහෙන්න අපතේ යාමක් වෙනවා ඒකෙනුත්.. අතින් කපනවනම් එක කරලක්වත් අත ඇරලා යන් නෑ හුගක් වෙලාවට. අනික අතඇරෙන ඒවා අහුලන්නත් පොඩි එව්න් පස්සෙන් එනවනේ සාමාන්‍යයෙන්.. මේකෙ ඉතින් පස්සෙන් ගියාට වැඩක් නෑ හුග වෙලාවට. වැටෙන කරල ඒකේ බෙල්ට් එකට අහුවෙලා වී ඇට විසිරෙනවනේ.. ඉතින් ඇටෙන් ඇටේ අහුලන්නයැ..
      කොහොමත් කාර්්‍යක්ෂමතාවය කිසිම යන්ත්‍රයක 100%ක් නැති නිසා මේ වැඩිත් එක්ක අපේ මිනිස්සුන්ට..

      කැමතියි

  4. abeetha says:

    සියඹලාපිටිය පහු කරලා තව එක ගමක් ගියානම් දාස්වත්ත.. ආන්න මගේ වැයික්කිය…

    මැශින් එක්ක මල පනින්නේ ඉස්සර ආතල් එක මතක් වෙද්දි…. දවස් පහ හය ඉස්කෝලේ යන්නේ නෑ කුඹුරු වැඩ කාලේට…..

    කැමතියි

  5. අයියෙ.. මේක බූතයද නැත්තං ටිකක් දියුණු කරපු සුනාමියක්ද??
    ඇයි දන්නවද මං එහෙම අහන්නෙ… ඔය අම්පාර පැත්තෙ මං යනකොට දැක්ක අක්කර ගණං කුඹුරුවල බැහැල ගොයං කන යෝද බුතයො… මං හිතුවෙ උන් විතරයි බූතයො කියල…. බැලුවාම මුනුත් බූතයොද??

    කැමතියි

  6. මේකට නෙමේ බං අපේ පැත්තේ භූතයා කියන්නේ මීට වඩා ලොකු එකකට.හැබැයි මේ ක්‍රියාකාරීත්වයම තමයි..අනික ගනනුත් වෙනස්. අපිට අක්කරයකට ගිය කන්නේ ගියේ 9000. (මේ සැරෙ ගනන් අනිවා..) ඊටත් වඩා ලොකු මැෂින් එකකුත් තියෙනවා.ඒක මහ ට්‍රැක්ටරයක් වැඩි දියුණු කරලා හදපු එකක්..හැබැයි බර වැඩි නිසා පොළොවේ තෙත ගතිය වැඩිනම් කුඹුරට දාන්නෑ.. හැබැයි ඒකේ එකවර වී කිලෝ 750 පිරෙන ටැංකියක් තියෙනවා.. මේ දාලා තියෙන ඒකේනම් වී කිලෝ 200ක් විතර තමා අල්ලනවා ඇත්තේ.. ඒක ටිකක් අපහසුයි.මොකද ටැංකිය පිරුනම එතනට ගෝනි ඇරන් ගිහින් පුරවනවා. ඉතින් කපලා ඉවර වුනාම ගෝනි හතර පහ කුඹුරේ තැන් තැන් වල. ආපහු පාරට අදින්න ඕනේ කරෙන්. 😦 අනික් භුතයාගේ කිලෝ 450ක් විතර වදිනවා ටැංකියට.. එ‍්කෙත් ඉතින් අර සෙතේම තමා.හාබැයි අක්කරෙකට තැන් හය හතක් තමා උපරිම..

    ගොවීන්ටනම් ඇත්තටම මේක නිධානයක් පහල වුනා වගේ වැඩක්.. මාරම පහසුවක් තියෙන්නේ. දැන් සුනාමි ගනන් ගන්නෙත් නැති සයිස් අපේ පැතිවල. හැබැයි ඉතින් වැස්සොත් නම් ආයෙත් සුනාමි පිහිටම තමා. මොකද වැස්සයින් පස්සේ මෙවා කුඹුරු වලට දානවා කියන්නේ විහින් නන්නත්තාර වෙන වැඩක්..
    භුතයිගේ තියෙන ප්‍රධානම වාසිය කාලය ඉතුරු වීම.ඊළගට පිදුරු ටික ආපහු කූඹුරටම නිසා ඒකත් වාසියක්. සුනාමි ගැහුවම පිදුරු එක තැනක ‍ොඩ ගැහෙනවනේ. සාමාන්‍යයෙන් ඒවට ගිනි තියන එක තමයි වැඩි හරියක් වෙන්නේ.. අනික සුනාමි ගහන්න ගොයම් කප්පවන්න ඕනේ මිනිස්සු දාලා. මැෂින් එකටත් පහක්වත් ඉන්න ඕනේ. භුතයගේ ඔය කෙළි මොනවත් නෑ..ගොවියෝ මේකට දැන් කොච්චර මනාපද කියනවනම්. ගිය කන්නේ ගොයම් කපද්දී කපන දිහා බලන් හිටපු සීයා කෙනෙක් කිව්වා “මේක ‍හදපු එකා නම් බුදුවෙන්න ඕනේ ” කියලා 🙂

    ආ තව දෙයක් ..අර ගෝනියකට බුසල් එක හමාරයි කියන එක නම් ප්‍රශ්නයක්.. අපිනම් ප්‍රීමා පිටි ගොනියකට බුසල් දෙකක් දානවා.. ඒ කියන්නේ දළ වශයෙන් කිලෝ 40ක් විතර.. නැත්තම් මෙහේ වැඩි හරියක් ගන්නේ ප්‍රීමා කුකුල් කෑම උර. ඒවට අනිවා කිලො 50-55 වදින්න පුරවනවා.. හැබැයි පුරවපු රගේ තේරෙන්නේ අදින්න ගියාම තමයි.. 🙂

    කැමතියි

    • නවම් says:

      උඹහැ අනුරාජපුරේ එකා වෙච්චි ආයෙ මට වඩා මේගැන දන්න එකාත් වෙච්චිකොට උඹ කියන එක හරි ඇති බං

      මං හිතාන උන්නෙ අර කුඹුර පුරාම යන මහා විසාල මැසිම තමයි සුනාමියා කියන්නෙ කියල නෙව. උඹ කියන විදියට ඒ මහා විසාල බූතයෙක් එහෙනං ඈ ?

      ඔව් ඔය කුඹුරු කෑල්ලෙ පෝර උර තුනක විතර වී තිබුන. ඒ එකක්වත් කට කපල පුරවල තිබුනෙත් නෑ තමා. මගෙ ගනං වරදින්න ඇති එහෙනං..

      කිව්වත් වගේ සියඹලාපිටියෙ කුඹුරු කාරයො නොවඳිනා ටික විතරයි ඔය මැසිමෙ ඩැයිවර් උන්නහේට උන්නෙ කුඹුරත් කපල දෙන්න කියල, හෙහ් හෙහ් …. මිනිහ මඩ නොගාහෙනම රජවෙලා ඒ කුඹුරු යායටම.

      කැමතියි

      • ආයෙක් අහලා.. මං ඉතින් මහපොළවත් එක්ක ඔට්ටු වෙන එකානේ සහෝ.. 🙂

        කැමතියි

        • අපේ පැත්තෙත් හැබැයි ඔය පොඩි මැෂිමට කියන්නෙත් බූතය කියල තමා!!

          ගිය කන්නෙ දවසක් මං අපේ අම්මට උදේ අටට විතර කතා කරනකොට උන්දැ අපේ වෙලේ…. ආයෙ එකොලහට විතර කතා කරද්දිත් එතන මයි… මොකද කියල ඇහුවාම මේ බූතයෙක් අල්ලගන්ඩ කියාපි…!! ඒ කියන්නෙ ඔය අනුරාධපුරේ පැත්තෙ ඉන්න සුනාමි බූතයො වගේ මැෂින් අපේ පැත්තට එනව කුලියට වැඩ කරන්ඩ… ආං ඒකෙක්ව අල්ලගන්ඩ…
          බලන්ඩකො ඒකෙත් හැටි!!! වෙන මිනිස්සු බූතායා එලවන්ඩ තමා මහන්සි වෙන්නෙ.. ඒකට අපේ පැත්තෙ!!

          කැමතියි

  7. nasaraniya says:

    මචං,
    මමත් ඔය ගැන පොඩ්ඩක් විතර දන්න නිසා මටත් හිතුණා පොඩ්ඩක් වනලා යන්න.
    මේ දවස්වල මම ඉන්නෙ අක්කරෙයිපත්තු සයිඩ් එකේ නිසා ඕව ගැන පොඩි දැනුමක් තියෙනවා.

    හැබැයි මචන් මේවට ලින්ක් ඇඩ් කොරන්න මං දන්නෙ නැතුවා. උඹට පුලුවන්නං ඒක කොරහං.

    මේ තියෙන්නේ භූතයා.

    මේක සුපිරි වැඩකාරයා. වතුර ගතිය නැත්නම් ඕන කුඹුරක යකා වගේ වැඩ. ඉස්සෙල්ලා ආවේ 2WD විතරයි. ඒත් පස්සෙ 4WD ආවා. දැන් වැඩිපුර දුවන්නෙ 4WD. මේක කුඹුරට දැම්මාම වී මුදලාලි ලොරිය අරන් එනවා. කපපු ගමන් අරන් යනවා. සිම්පල් ප්ලෑන් එක.

    මේ තියෙන්නේ සුනාමිය.
    මේකට නම් ඉතින් කුඹුර කපලා ගොයම් ගොඩගහලා ගන්න වෙනවා. හැබැයි මේකෙ අවුට්පුට් එක සුපිරි. ගින්දර වගේ පිරිසිදු බඩු. දැන්නම් මේකට තියන ඉල්ලුම අඩුවේගෙන යනවා.

    තවත් එකක් තියනවා. ඒ තමයි චේන් මැෂින් එක නොහොත් ක්ලාස් එක.
    ඒකට අයකිරීම ටිකක් වැඩියි. හැබැයි ඕනම තැනක වැඩ කරනවා.

    උඹේ පෝස්ට්ටුවට ඕන නම් පොටෝ කෑලි දෙක තුනකුත් එවලා දාන්න පුලුවනි.

    [මේක ස්පෑම් වෙලා තිබුනනෙ අර ලින්ක් ටික නිසා. ඕං මං ඒක හරිගස්සල බබ්ලිෂ් කලා. ස්තූතියි නසරාණියෝ – නවම් ]

    කැමතියි

    • uwiniran says:

      මමත් රැකියාවක් හැටියට කරන්නේ ගොවිතැන, මම දන්න විදියට සුනාමිය කියන්නේ නිල් පාට මැශින් එකට ඒක ඇදගෙන යන්නෙ මහ ටැට්ටරෙන්, භූතයා කියන්නෙ නවම්ගේ පින්තූරෙ තියෙන එකට ඒක දුවන්නෙ චේන් එකෙන්. වතුර තියෙන කුඹුරකට උනත් ඒක බස්සනවා.
      තව එකක් තියෙනවා ඒකට කියන්නෙ ජෝන් ඩියර් කියලා, අර ටීවි එකේ ඇඩ් යන්නෙ ‘ගන්න මයි ඩියර් මෙන්න ජෝන් ඩියර්’ කියලා. ඒ කම්පනි එකේ කම්බයින් හාවෙස්ටරය. ඒක වතුර කුඹුරුවලට දාන බැහැ, එරුනොත් ඩෝසරයක්ම ඕනෙ ගොඩ ගන්න. මේකෙ ටැංකියත් ලොකුයි, තලෙත් ලොකුයි.ඒකනිසා වැඩේ මාර ඉක්මන්.
      මේ දෙකෙන්ම පෙරලිච්ච ගොයම උනත් කපනවා. හැබැයි එතකොට ගාන ටිකක් වැඩියි.

      කැමතියි

  8. අපේ පැත්තේ නම් ඔය භූතයොන්ට සුනාමි වලට ඉඩ නෑ, මොකද අපේ තියෙන්නේ පොඩි පොඩි කුඹුරු කෑලි. අතින් කුලියට ගොයම් කපලා ගොයම් පාගන මැෂිමට දාලා තමයි ගන්නේ!

    කැමතියි

  9. ඔය මැසින් එකක් එක්කවත් වැඩ කරන්න ලැබුනෙ නෑ. . . තාත්ත තිබ්බ කුඹුරු ඔක්කොම විකුනල දැම්ම

    කැමතියි

  10. අනුරාධපුරෙත් කියන්නේ භුතයා කියලා…

    කැමතියි

  11. weniwel says:

    එහෙන් මෙහෙන් දැකලා තිබ්බට ඕන්න අද තමයි හරියටම දැක ගත්තෙ.. නවම් මල්ලි

    කැමතියි

  12. කතාවක් කියන්නම් මගේ පුංචි පර්චස් හතලිහ සුද්ද කරගන්න ඕන උනා.. මන් දන්නා දුප්පත් මනුස්සයෙකුට දුන්න බැකෝ එක දාල රුපියල් දෙදාහට කරන්න තිබුණු එක. ඔන්න ඒ මනුස්සය දවස් අටක් ඇද්දා අටවෙනි දවස වෙනකොට පලවෙනි දවසේ සුද්ද කල පැත්තේ ගස් නැගිටලා කොලපාටයි. කුලිය 8000.00 යි. මිනිහගේ තණකොළ කපන මැසිමට පෙට්‍රල් වලට 3500.00 යි.. මගේ ගෙදර තිබ්බ බුට් දෙකත් දුන්න.. කෑමත් බීමත් දුන්න.. ඔන්න දැන් අම්මල කියනවා එතන මහා කැලයක් ලු මාස දෙහෙකට පස්සේ. අපේ හාමිනේ කියනවා ඔයාට හොඳ වැඩේ ඔයාගේ සත්ත කරුණාවට තමයි ඔය ලැබුනේ කියල… කාගේ පැත්තද මන් ගන්නේ ?

    කැමතියි

  13. මරු කතාව, බූඩි නම් කුඹුරු කෙරුවාව ගැන මොනවත් දෙන්නේ නැත. 😦

    කැමතියි

  14. Chamil says:

    ඔය සුනාමියෙ ,භූතයගෙ වී රජය ගන්නෙ නෑ කියන්නෙ.

    කැමතියි

  15. භූතය නිසා වැඩ ටික ඉක්මනට කරගන්න පුලුවන් නේද නවම් අයියෙ….

    කැමතියි

  16. Observer says:

    කුරුණි, ලාස්, බෙර, පෑල, වී මනින්න වගේම කුඹුරු වල වපසරිය {වර්ග ප්‍රමාණය} කියන්නත් භාවිතා වුනා, කට වචනෙට විතරක් නෙමේ, ඔප්පු වල පවා.

    ‘සුනාමි ‘ කියන මැෂිමක් අපේ තඹුත්තේගම ඉන්න නෑදෑයෙකුගේ ගෙදර ගිය වෙලාවෙ දැක්ක.

    නවම් කළකට පස්සෙ නේද වෙලකට [බ්ලොගේට] බැස්සෙ ?

    කැමතියි

  17. නවම් නිකං ඉන්න වෙලාවක බලපංකො ආඩම්බර නොබලා පොල් ගහකට යවලා පොල් ටික කඩවා ගන්න පුලුවන් බූතයෙක් ඉන්නවද කියලා.

    henryblogwalker the Dude

    කැමතියි

  18. sAm sRi says:

    තව සුනාමි කියලත් එකක් ආව නේද බොල..

    කැමතියි

  19. සෝරෝ says:

    ගොයම් කවියක් කියාගෙන ෆුල් ජොලියේ කස්ටිය සෙට් වෙලා ගොයම් කපන කාලයක් ආයේ එන එකක් නෑ මම හිතන්නේ…

    කැමතියි

  20. අපේ පැත්තේ තියෙන්නේත් ඔය බූතයාම තමා. ඒ උනාට උගෙන් ගොයම් කැපුවම අතින් කැපුවා වගේ නෙමෙයි. වී හැම අතම ඉහිරෙනවා !

    කැමතියි

  21. රුපවාහිනියේ ඇමටි තුමාලා කියල අහල තිබුනට ඔන්න අද තම මොකක්ද මේ සුනමියා, බූතයා කියල කියන්නේ කියල හරියට විස්තර ඇතුව දැනගත්තේ. මේ විස්තරේ රූප සටහන් එක්ක පැහැදිලිව දාපු එකෙන් වගේම ප්‍රතිචාර වලිනුත් සැහෙන දෙයක් තේරුම් ගත්තා.

    මේකෙන් සිද්ද වෙන අපතේ යාමක් තියනවා නම් අනිවාර්යෙන් එක නවත්තන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. මොකද මේ යන්තරේ හරියටම බටහිර රටවල් වල තිරිඟු කපන යන්තරේ පොඩි පරිමානේ එකක් වගේ. තිරිඟු ඇට නාස්ති වෙන එකක් නැතුව ඇති…

    කැමතියි

    • නවම් says:

      මම දැක්ක එකෙන් නම් අපතේ යාමක් සිද්දවෙන්නෙ නෑ වගේ. එකම අවුල කමතෙ දාල පාගනකොට අව්වෙ රස්නෙට වී වේලෙන එක සිද්දවෙන්නෙ නෑ. ඊට අමතරව වී එන්න ගොයං බට කෑලි ටිකකුත් ගෝණියට පිරෙනව. එච්චරයි.

      ඔව්, මේක ගොයං කපන්නම හදාපු එකක් නෙමෙයි. ඒ ඒ ධාන්‍ය වර්ගවලට ටියුන් කරගන්න පුළුවන්.

      කැමතියි

  22. හුන්ඩු/පත 2 = මනා 1
    මනා 2 = නැලිය/සේරුව
    නැලි 4 = ලාහ/කුරුණිය
    ලාස්/කුරුණි 4 = තිඹ 1
    ලාස්/කුරුණි 5 = බෙරය
    බෙර 2 = පෑල/මළු 1
    පෑල/මළු 4 = අමුණ

    මේ උත්තරේ වෙන කෙනෙක් දීල තියෙනවද දන්නෙ නැහැ.

    කැමතියි

  23. කමෙන්ට් ටිකෙන් සෑහෙන දෙයක් ඉගෙන ගත්තා

    කැමතියි

  24. ow e dawaswela kolapaganawa kiyala kamath suddakaranna ona deviyanta yahan hadannaona kiri uthurannaona goyampagana ayonta batha uyanna ona lantharum nowei petrolmax kiyala jathiyak paththukarannaona oya boothayata oya mokawath nahaluneda. honda kathawa, godak dewal commentswelinuth danuma labagaththa thanks hamotama.

    කැමතියි

  25. Ravi says:

    මම මේ කල්පනා කලේ ඔය අටල් පහුරු ඒ කාලෙ ඉඳම්ම තිබ්බ නම් අමරෙ මහත්තය “‘බොල් වී අහුරු මඳ සුළඟේ ගිය සේම ” කියල එහෙම කියන්නෙ කොහොමද කියල……

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: