ඔවුහු සිරගෙය බින්දෝය [සමාවන්න එය පලමු බිත්තිය පමණි]

ඈ එතුවක් කල් දුක් විඳි සිරයෙන් පලා ඒමෙන් ලද ප්‍රීතියෙන් දෑස් හැර බැළුවාය. වසර ගනනාවක් ගතකල ඒ අඳුරු කුටියේ ඇති මන්දාලෝකයට හුරු නෙත් බාහිර පරිසරයේ ප්‍රභාවයෙන් එක්වනම හැකිලී ගියද බොහෝ කලකට පසුව දකිනා නිදහස් දසුන් අහිමිකරගැනීමට අකමැති වූ ඇය නැවතත් ආයාසයෙන් දෑස් හැරියාය.

නිද්‍රාශීලී ශීත සෘතුව නිමාවී ගොසිනි. නැවුම් ලදළු පැළඳි වෘක්ෂයෝ අභිමානවත් එහෙත් සෞම්‍ය හරිතවන් ඔ‍ටුනු පළන් දේව දූතයන් මෙන් ගගනතට බැළුම් ලා සිටිති. පුස් ගන්ධය ‍රැඳි තෙත් සුසුම් ‍රැලි මුදා, නැවුම් වසන්ත සුලඟ හා මුසුව දසත හමනා මල් සුවඳ කැටිකරගත් සුවඳින් තම පෙනහළු පුරවා ගත් ඈ මෙතුවක් කල් තමා හා ඒ අඳුරු කුටියේ අපා දුක් විඳි ඔහු දෙස බැළුවාය.

හිරු‍රැසින් මඳින් මඳ දියවී ඇද හැලෙනා සියුම් හිම දිය බිඳිති ‍රැඳි පඳුරු ගොල්ලේ පිපුණු, නමක් නොදන්නා ලා නිල් පැහැති මල් දෙස පුදුමයෙන් ඔහු බලා උන්නේය. අඳුරු කුටියේ තෙත පැලුම් දාරයක වැඩී තිබූ දියසෙවෙල මත ඉඳ හිට පිපුණු නහය හකුළුවන ගන්ධයක් ‍රැඳි පුස් හැර මල් පිළිබඳව මතකයක් නොතිබූ ඔහුට එය අපූර්වතම දසුනකි.

ගැලවී ගිය නිය, හම ගිය දෑත්, දැඩි වෙහසින් මැඬීගිය මුහුණු, සිරගෙය බිඳීමෙහි ලා ඔවුන් දෙදෙනා ගත් අතිමහත් වෙනස මනාව විද්‍යාමාන කලමුදු එය ඔවුන්ගේ චිත්තාභ්‍යන්තරයේ සිට නැඟී ආ අතිමහත් උද්‍යෝගය මඳකට හෝ සැඟවීමට ප්‍රමාණවත් නොවිණි. සියවස් ගනනාවක් තිස්සේ වියළී හැකිළී තිබූ නහරවැල් නැවතක් නිදහස් ජීවයේ ලෙයින් පුරවමින් එම එම මොහොතේ අවට පරිසරය විචිත්‍රවත් කලේය.

මෙතුවක් කල් ඔවුන් නොදු‍ටු, පරිසරයේ අපූර්වතම සිද්ධීන් ඔවුන් නෙත ගැටෙනා තුරු නොඉවසිල්ලෙන් බලා උන්නද ගිමන් හැරීමට තරම් තවමත් කල් ගත වූවා මදිය. මුරකරුවන් අවදි වී ඔවුන් පසුපස එලවන්නට පලමුව සැලසුම් කල පරිදි ඔවුන් තව බොහෝ දුරකට පලා යා යුතුය. එම සැලැස්මද බොහෝම සූක්ෂම ලෙස දින ගනනක් නිදි වරා කරන ලද්දකි. විසල් බැමිවලින් හා තියුණු බැල්මැති මුරභටයන්ගෙන් යුතු මුර අටොළු වලින් සුසැදීගත් එ සිරගෙයින් පලා ඒම අතිමගත් දුෂ්කර ක්‍රියාවක් බව වසර ගනනාවක අත්දැකීම් ඔවුනට පසක් කර තිබුණි.

ඔවුන් දෙදෙනාගේ සෑම පියවරක් ගැනම පූර්ව අවබෝධයකින් යුතු මුරභටයන්ගෙන් මිදී පලා යෑම සඳහා කිසිම විටෙක ඔවුන් ගමන් නොගනිතැයි සිතනා මාර්ග තෝරාගත යුතුවිය. ඇතැම් විටෙක එම මඟ දරුණු වන සතුන්ගෙන් ගහන එකකි. තවත් විටෙක එය භයකර ප්‍රපාතයන් අසලින් වැ‍ටුණු ඒවා විය. එහෙත් ඔවුන් දෙදෙනා තුල දැඩිව දැල්වෙනා නිදහසේ බලාපොරොත්තුව ඒ සියළු බාධකයන් හරහා දැමූ පාලමක්ම විය.

ඔවුන් ගමන් කලෝය….. දින ගනන්, සති ගනන් ගමන් කලෝය….. නොනැවතීම ගමන් කලෝය. ගිමන් හැරීමට මොහොතක් හෝ නතර නොවී, විඩාපත් දෙපා නොසනහා ඔවුන් සිත් අභ්‍යන්තරයේ වූ බලාපොරොත්තු මඟින් නැවත නැවතක් ආරෝපනය වෙමින් වෙහෙස මඬිමින් ගමන් කලෝය…. එය අතිමහත් දුෂ්කරවූ දීර්ඝ වූ ගමනක්ම විය.

ක්‍රමක්‍රමයෙන් මුරභටයන්ගේ බල සීමාව ඉක්මවා හිරු ‍රැසින් නැහැවීගත් සොඳුරු මිටියාවතට පැමිණෙන ඔවුන්ට ප්‍රථමයෙන් ඇසුනේ ඔවුනට පෙර සිරගෙය බිඳ මෙහි පැමිනියවුන් ගේ ප්‍රීතිමත් සිනහවය. තබනා පියවරෙන් පියවර තමන් වෙත ලංවෙනා ඒ අපූර්වතම බිම්කඩෙහි ඇති ප්‍රීතිමත්භාවය ඔවුන් දෙදෙනාගේ චිත්තයන් ප්‍රහර්ශයෙන් පුරවාලූයේ සිරගත වීමට පෙර එකිනෙකා කෙරේ තිබූ සොඳුරු ආකර්ෂණය ක්‍රමයෙන් වඩවමිනි.

සිර කඳවුරේ දී මෙන් මොවුන් වටලාගත් ‍රැකවලුන් කිසිවෙක් මෙහි නොවීය, ජේශ්ඨයන් කිසිවෙකු නොවීය කල යුත්ත මෙය යැයි පැවසීමට නයුවෙකු මෙහි නොවුනු සෙයකි. එනමුදු සියල්ලන්ම තම තමන් විසින් කලයුතුයැයි හැඟි කාර්යන්හි මැසිවිළි නොනඟා නිරතවූ ආකරය අප කථානායක යුවල මහත් පුදුමයට පත්කලෝය. සුපිරි පාලකයන් කිසිවෙක් නොමැති මෙහි ගැ‍ටුම් කිසිවක් නොමැති සෙයකි, ඉඳ හිටක ඇතිවන සුළු මත ගැ‍ටුමක් වුවද පොකුණෙහි ඇති වූ ‍රැල්ල මඳ වෙලාවකින් පොකුණ තුලම වියැකී යන්නාක්මෙන් මඳ වෙලාවකින් සමනය වී ගියේ සුළු හෝ කැළලක් ඉතිරිනොකරමිනි.

කිසියම්ම ආගමික සංස්ථාවක සලකුණකුදු නොතිබූ මෙහි සංවිධානාත්මක ආගමක ප්‍රථිඵලයක් වන සමාජීය පරපෝෂිතයන් වන් ආගමික නියෝජිතයන් ගේ පැවැත්මක්ද නොවී ය. එහෙයින්ම වර්ගකලවූ බෙදීමක් නොමැති විය. තොපට වඩා අප නිවැරදියැයි පවසන්නන් කිසිවෙකුද ඒ සියල්ලේම ප්‍රතිඵලයක් ලෙස මෙහි නොවිනි. තවෙකෙකු අභිබවා යාමේ ආශාවෙන් මඬනා ලද්දවුන් නොවූ මෙහි සාමකාමීත්වයම ආගම වූවා සේය.

නිදහස තුලම සාමය ගැබ්වී ඇතැයි කිසිදාක නොසිතූ අප කථානායක යුවලට මෙම සංහිඳියාව මහත් අරුමයකි. ‍රැකවළුන්, නායකයින්, විවිධාකාර සංවිධානාත්මක ආගම් වැනි දෑවලින් සියල් සපිරී තුබූ කඳවුරෙහි නොතිබූ සංයමයක්, එකමුතුවක්, සංහිඳියාවක් මෙහි වූයේ කුමන නම් හේතුවක් නිසාවෙන් දැයි ඔවුනට සිතාගත නොහැකි විය. ඇතැම් විටෙක එය අසීමාන්තික නිදහසම ඔවුන් වෙත ගෙන ආ ස්වයං ශික්ෂණයක් , ස්වයං පාලනයක් විය හැක. ඔවුන් ස්වභාදහමත් සමඟ ජීවත් වීමෙන් උගත්තා විය යුතුය.

පින්තූරය ගත්තේ :integratingcorporateleaders.com

Advertisements

35 Responses to ඔවුහු සිරගෙය බින්දෝය [සමාවන්න එය පලමු බිත්තිය පමණි]

  1. අහවල් දෙයක්ද මන්ද තෙපලලා තීන්නෙ..පූර්වාපර සන්ධි ගලපාගන්න බෑ නොවැ.අර මාතෘකාව තමා ඔක්කොටම මුල.

    කැමතියි

  2. Ravi says:

    මේ ඔවුන් දෙදෙන බිඳ දැමුයේ පළමු පවුර පමණෙකි.උත්තර භූමියක සිහිනය සාක්ෂාත් කරගැන්මට පූර්වයෙන් තවත් බොහෝ පවුරු බිඳදැමිය යුතු බැව් චිත්තාභ්‍යන්තරයේ තරයේ සනිටුහන් කොටගෙන තබාගත යුතු බැව් පමණෙක් මේ මොහොතේ සටහන් කර තබනුයේ ඔවුන් කෙරෙහි උපන් ලෙහි කරුණාව කරන කොටගෙන මිස අනෙකක් නිසා නොවේ.

    දුක්ඛ දෝමනස්සයන්ගෙන් සපිරුණු සිපිරිගෙයක් අභ්‍යන්තරයේ දිගු කලක් බන්ධන ගතව හිඳ අප්‍රතිහත ධෛර්යයෙන් ඉන් ස්වෝත්සාහයෙන් මිදී පළාගිය බොහෝ දෙන පිටත පවත්නා සතුට සහ නිවහල් නිදහස් බවෙහි ආකර්ෂණයෙන් මත් වන්නේ උත්තර භූමිය කරා යා යුතු ගමන අත් හැර දමන්නෝය.

    ඔවුන් දෙදෙන සියළු පවුරු වලළු බිඳ දමා උත්තර භූමිය සොයා යන්නා වූ චාරිකාවට මාගේ හෘදයාංගම ආශිර්වාදය!!!

    නවම් මලණුවනි, ඒ ධෛර්යමත් යුවලගේ සිපිරිගෙයින් මිදී පලායාමේ සටහන අක්ෂර චිත්‍රනය කිරීමේදී ඔබ දක්වා ඇති නිසර්ග කුසලතාව මහත්ම අගනේය.මම ද ඔවුන් හා සමඟ සිපිරිගෙය බිඳීමට හවුල් වූයෙමි. ඔවුන් සමඟ මුරකරුවන් පසුපස හඹා එතැයි බියෙන් ත්‍රස්තව පසු පස නිතොර හැරී බලමින් පලා ගියෙමි. මම ද අවසන නිදහස් භූමියට ඔවුන් හා එක්ව සපැමිණ ප්‍රීතියෙන් සිනා සුනෙමි.

    මෙවන් ප්‍රහර්ෂයක් මා සිත්හි ඉපදවූ ඔබට මගේ නොවක් ස්තූතිය ..නවම්, මා දයාබර සොයුර,

    කැමතියි

  3. අයියූ මුකුත් තේරෙන්නේ නෑ අනී…..:(

    කැමතියි

  4. බුරු බබා says:

    පරිවර්තනයක් කියෙව්වා වගේ….
    රවීගේ කොමන්ට් එක කියෝපු හින්දා අගක් මුලකට ආවේ නැත්නම් මඤ්ඤඤ්….

    කැමතියි

  5. රවී අයියාගේ කොමෙන්ටුව නිසා යන්තමින් වත් යමක් තේරුණි. නැත්තං අම්මපා අයියේ මම ඔලුව මඤ්ඤං වූ තරම කොතරම්දැයි කිවහොත් බිත්තියක ඔලුව ගහගැනීමට මට සිත් විය.

    කැමතියි

  6. පූසා says:

    යථෝක්ත කතාවේ සඳහන් සිපිරි ගෙය හෝ වේවා බිත්තිය හෝ වේවා, එවන් වූ කිසිවක් බිඳ දමා පලා යාමට මා හටනම් මෙතෙකුදු කිසිම අදහසක් හටගෙන නැත්තේමය. දිවියේ දශක දෙකක් පමණක් නිමවා ඇති මා වැන්නවුන් හට එවන් වූ පලා යාමක් පිළිබඳ සිහිනෙකිදු නොසිතීමම සාමාන්‍ය සිද්ධියක් විය හැක. හැරත් ‘ඇය’ නම් වූ ප්‍රධාන චරිතයක් නැතිව මා තනිව කොහේ පලා යන්නටද?
    නවම් අයියේ උඹේ මේ නිමාණය හැබවින්ම අපූරුය!

    කැමතියි

  7. රවිගෙ ‘නිදහස් සිතුවිලි’ කියවීමෙන් මානසික ආභාධයකට ගොදුරු වූ නවම් ගැන ගතයුතු පියවර…..???

    කැමතියි

  8. සමීර says:

    ලියාගෙන ගියපු එක මඟදි නවත්තලා වගේ මට නම් තේරෙන්නේ.. තව ටිකක් ඉස්සරහට ලිව්වනම් තේරුම් යන්න තිබ්බා…

    කැමතියි

  9. සම්භාව්‍ය ගණයේ නිර්මාණයක් නොවැ නවම් අයියෙ…..

    කැමතියි

  10. බොල නවම් අපිට පෝස්ට් එකක් කියවන්න පැයක් වෙන් කරන්න බෑ, ඒක හින්දා දෙයක් ලියන කොට අපිටත් තේරෙන්න ලියපන්, නැත්නම් යටින් දාපන් සම්භාව්‍ය ලිපි කියවන්නන්ට පමණයි කියලා ……..

    කැමතියි

  11. abeetha says:

    ලියන දේ පාඨකයාට නොතේරෙන තරමට එම නිර්මාණයේ ඇති සම්භාව්‍ය ගතිය ඉතා ඉහල වෙනවා මචන්,,,,,

    මේකේ තව කොටසක් පොතේ හැටියට මඟ එන්න ඕන….

    කැමතියි

  12. Gold fish says:

    පිස්සු හැදෙනවානේ මේක තේරුම් ගන්න ගියාම… හිටිං මං නිවාඩුවක් දාලම කියවන්න….

    කැමතියි

  13. මේක හරිම සම්භාව්‍යයිනෙ. මා මඤ්ඤං වී දෝ දැනේ.

    කැමතියි

  14. ඇත්තටම හරිම මෙවුව එකක් තියන ලිවිල්ලක් . . මගෙ මොලේ සුසුම්නාවත් එක්කම මෙවුව වෙලා ගියා

    කැමතියි

  15. නවම් උතෝපියාවක් ගැන සිහින දකින උන් ගොඩාක් ඔහොම හිතනවා. ඒත් මං හිතන්නෙ නෑ හෝ ගාල නිදහසක් තිබ්බම ඕක හරියයි කියල. හොඳ නිර්මානයක්

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: