ජාත්‍යාලය වඩවා ජාතික සමඟිය ඇතිකිරීම හෙවත් මම සිංහලයෙක් මම දෙමලෙක් සහ මම පිස්සෙක්

මිනිසුන් රටවල්, ආගම්, භාෂා, ජාතීන්, වර්ණ, දේශපාලනය පාදකකොට බෙදීමකට ලක් වී ඇතිබව ඔබ සහ මම හොඳාකාරවම දනිමු. මෙය ලංකාවට පමණක් අදාල වූ කාරණාවක් නොව මුළුමහත් ලෝකයේම තත්වයයි. මේ බෙදීම හේතුකොටගෙන අනාදිමත් කාලයක පටන් අප එකිනෙකා මරාගත්තෙමු, මරාගනිමින් සිටිමු, මතුවටද මරාගනිමු !!!

ඉතිං මිනිස්සුන්ට මෙච්චර කෙළියක් වෙනකං තේරුනේ නැද්ද ? මුකුත් කරන්නෙ නැද්ද ?

මොකෝ නොතේරී.. ඔය කියන්නෙ “ලෝක සාමය ඕනෑ” “අන්තර් ආගමින සහජීවනය ඕනෑ” “ජාතීන් අතර සමඟිය ඕනෑ” කියල කතා මහා ගොඩක් එලියට ආවෙ ඒක තේරිච්ච හන්ද නේන්නං.

ඉතිං අනේ එහෙම සංකල්ප ආවකියල මොකක්වත් වෙනස් වෙලා නෑ නෙ. ඔය හි‍ටු කියල ලෝකෙ වටේම උන් මරාගන්නෙ තවමත් ගජරාමෙට.

එහමටමත් නෑ.. ඔය සමහර එවුන් එකතුවෙලාත් ඉන්නෙ සමහර තැන්වල. අපේ රටෙත් ටික කලකට ඉස්සෙල්ල ඔක්කොම එකතුවෙලා ඉන්නව වගේ පෙනුනනෙ චණ්ඩියා මට්‍ටුකරන කල්. හා නැද්ද ?

ඒ….. ඇත්තමයි. එහෙම බැලුවම මිනිස්සු අතරෙ සමඟියක් නැත්තෙම නෑ නේද ?

****************************************************************************************

එක එක ජනකොට්ඨාශ අතර සමඟියක් නැහැ කියල පාරටම කියන්න බෑ. මිනිස්සු එකමුතු වෙනව, සමඟි වෙනව. ඒත් ඒ හැම වෙලාවකම පෞද්ගලික උවමනාවන් උඩ. ආත්මාර්ථය සඳහා. තනි තනිව කරන්න බැරි දේවල් කරගන්න. ඉලක්ක සපුරා ගන්න. ඒ ඉලක්ක සපුරා ගත්තට පස්සෙ ආයෙම උන්නටත් වඩා දරුණු විදියට වෙන්වෙලා යනව සමහර වෙලාවට.

පහිගිය යුධ කාලේ ශ්‍රී ලාංකිකයන් ඔක්කොම වගේ ආගමික, ජාති, භාෂා වශයෙන් ඇති වෙනස්කම් පැත්තකට දාල එකමුතු උනා, නැත්නම් අඩුමගානෙ එහෙම උනා කියල එන්නුවනෙ. තර්ජනය නැතිවෙලා ගියාට පස්සෙ. ඒ එකතුවේමේ හේතුව නැතිවෙලා ගියාට පස්සෙ ආයෙම පොඩි පොඩි ඉරිතැලීම් පටන්ගෙන. සමහර වෙලාවට ඒ ඉරි තැලීම් එකපාරටම බැලුවම සමහර කෙනෙක්ට නොපෙනෙන්න පුළුවන්. ඒත් කල් ගිහිල්ලහරි වැව් බැම්ම පුපුරන්න ඉඩ තියනව.

මේකට පැහැදිලිවම පේන උදාහරණයක් ගනිමු.

ඉන්දියාවේ විවිධ ආගමිකයන් බොහෝමයක් දෙනා එකතුවී බ්‍රිතාන්‍යන්ගෙන් දිනාගත් නිදහස ගෙදර අරං එනකොටම එහේ ගිණි විජ්ජුම්බර. මෙන්න එකට උන්න, මෙච්චර දවසක් එක පතේ කාපු උන් ඒකෙම පහරල එකිනෙකා මරාගන්නව. මරාගගෙන ඉස්සෙල්ලම කුට්ටි දෙකකට රට කැඩුන. ඊටපස්සෙ ඉන්දියාව විදියට ඉතුරුවෙච්ච කොටස තවත් අනු කොටස්, ප්‍රාන්ත වලට කැඩිල වෙන්වෙලා ගියේ භාෂාව, ආගම වගේ කාරණා මූලික කරගෙන. තව ඉස්සරහට තව තවත් කොටස්වලට නොබෙදෙයි කියල කියන්න බෑ.

ආත්මාර්ථයන් මූලික කරගෙන ඇතිවෙන ඕනෑම එකමුතු වීමක අවසානය ඕක තමයි. පොදු සතුරා විනාස උනාම ආයෙම හිටියටාත් වඩා දරුණු විදියට බෙදීමකට ලක් වෙනව.

ඇයි මිනිස්සුන්ට වෙන් වෙන හිතෙන්නෙ කියල කල්පනා කරල බැලුවම පැහැදිලිව පෙනෙන කාරණය තමයි ඔවුන් අනෙකුත් අයගෙන් වෙනස් කියල දරන මතය. මෙම මතය පාදක කරගෙන තමයි අනෙකුත් ප්‍රශ්ණ සියල්ලම පැන නඟින්නෙ.

මොකක්ද මේ වෙනස? කොහොමද අඳුරගෙන්නෙ ?

ශාරීරිකව මිනිස්සුන් නිසිවෙක් වෙනස් නැහැ උස, මිටි සහ වර්ණය හැරෙන්න. ඒ වෙනස සිද්ධ උනේ ලෝකයේ විවිධ දේශගුණික කලාපවල සුළු ජාන වෙනසකින් උපදින අය පරිසරයට වඩාත් අනුගතවී ක්‍රමිකව ඔවුන්ගේ සංඛ්‍යාව බහුතරය වීම හේතුවෙන්.

එසේ නොමැතිව මිනිසාගෙ එකිනෙකාගෙන් වෙනුවූ ජෛව විද්‍යාත්මක වෙනසක් ඇත්තේ නැහැ. අඩුම තරමේ විවිධ වර්ණ විවිධ, ශරීර ප්‍රමාණ හේතුවෙන් ඔවුන් එකිනෙකාගෙන් වෙනස් උප විශේෂයක්ද වෙන්නෙත් නෑ. බල්ලෙකුයි එළුවෙකුයි අතරෙ එකතුවීමකින් පැටව් බෝවෙන්නෙ නෑ, ඒවගේම මීයෙකුයි ලේනෙකුයි අතරෙත් නව පරම්පරාවක් බිහිවෙන්නෙ නෑ. ඒ උන් සත්ව විද්‍යාත්මකව වර්ග දෙකකට අයත් නිසා. නමුත් අප්‍රිකානු පිරිමියෙකු හා ඇස්කිමෝ ගැහැණියකගේ රමණයෙන් පැටියෙක් උපදිනව, ඒකා මනුස්ස පැටියෙකු මිස වෙනයම් මොකෙක්වත් නෙවෙයි.

එසේනම් මේ කියන මිනිසුන් අතරෙහි පවතින වෙනස මොකක්ද ?

කෙනෙක්ගෙ උප්පත්තිය පරීක්ෂාකරල මේකා අයිති අහවල් ආගමට, අහවල් ජාතියට කියල කියන්නෙ පුළුවන් දොස්තර කෙනෙක් ඇත්තෙ නෑ. ඒත් යම් යම් සංකල්ප ඔළුවේ තියාගෙන ඉන්න ඕනම මනුස්සයක්ට කියන්න පුළුවන්. හැබැයි ඒ සංකල්ප ගැන දැනෙනා නොදැනෙනා ඇඟවීමක් මිසක් වෙන දෙයක් ඇත්තෙ නෑ. ඒ සංකල්පයන් ආවේ කොහෙන්ද කියල පැහැදිලිව කියන්න ඔවුනට බෑ. ඒ අය අතට අහුනොවෙන ඇහැට පේන්නෙ නැති, ඒත් තියනව කියල විස්වාස කරන ඇඟවීමක් මූලික කරගෙන මෙන්න මෙයා මේ “ජාතියේ” කියල.

ඉපදිච්ච දවසේ ඉඳල කාලයක් යනකන් කිසිම කෙනෙක් දන්නෙ නෑ තමන් මොන “ජාතියට” අයිති කෙනෙක්ද කියල. ඒ උනාට අවුරුදු හය හතකට පස්සෙ සමාජයෙන් එන ඇඟවීම බාර අරගෙන මම “අහවල් ජාතියේ එකෙක්” කියල මානසික රාමුවක් හදාගන්නව. මනුස්ස දරුවෙක් විදියට ඉපදිච්ච මගෙ පොඩි එකාට මම ඉගැන්නුවෙ නැත්නම් පුතේ උඹ “සිංහලයෙක්” කියල, සමාජයෙන් ඇඟවීමක් ආවෙ නැත්නම් “උඹ සිංහලයෙක්” කියල පොඩි එකාට “දෙමළ යැයි කියාගන්නා” මනුස්සයකුයි උගෙයි අතරෙ වෙනසක්, ඇඟවීමක්, ඇතිවෙන එකක් නෑ. එහම නැත්නම් මගේ පොඩි එකා ඉන්දියාවෙ කෙනෙක්ට හදාවඩා ගන්න දුන්නොත් බංගාලි / සික් / දෙමළ / ජාතිකයෙක් වෙයි, ඇමරිකාවෙ කෙනෙක් හදා වඩාගත්තොත් ඇමරිකානු ජාතිකයෙක් වෙයි. උප්පත්තියෙන්ම ජාතිය වර්ගකිරීමේ ක්‍රමවේදයක් තිබිනනම් එහෙම වෙන්න පුළුවන්ද ?

චාරිත්‍ර වාරිත්‍ර, ඇඳුම් පැළඳුම්, ආහාරපාන විධි ක්‍රම, ආගම, භාෂාව වගේ අටෝරාසියක් කාරණා ලැබෙන්නෙ ඉපදුනාට පස්සෙ. යමෙක්ට තමන් මෙන්න මේ “ජාතියේ” කියල ඇඟවීමක් එන්නෙ හැදී වැඩෙන සමාජයේ පවතින “ජාතිය” පිළිබඳ මතත් එක්ක.

ලංකාවෙ උපන්න කෙනෙක්ට පැහැදිලිවම කියන්න පුළුවන් වෙන්නෙ තමන් “ලාංකිකයෙක්” කියල විතරයි. ඒක විතරයි හැබෑවටම පවතින “වර්ගකිරීම”. හැබෑවටම නොපවතින “සංකල්පයන්” හැබෑවටම පවතිනවා කියල විස්වාස කරන්නෙ පිස්සො. හැබෑවටම නොපවතින සංකල්පයක් තමන්ට ආදේශකරගෙන මං අහවලා කියල හිතාගෙන ඉන්න අයට “පිස්සො” කියලත් කියනව. මම සිංහලයෙක්, දෙමළෙක් කියලනැති දෙයක් විස්වාසකිරීමත් පිස්සුවක් තමයි.

පොඩිකාලෙ ඉඳල අපිට මිත්‍යාමත මහගොඩක් උගන්නල අහවරයි. ඒකට වගකියන්න ඕනෙ අපේ අධ්‍යාපන ක්‍රමය, ගුරුවරු, දෙමව්පියො, වැඩිහිටියො. ඔවුනට ඒවා ඉගැන්නුවෙ ඊට කලින් පරම්පරාව. හැබැයි ඒ ඉගැන්වීම කලේ කිසිවෙක් ‍රැවටීමේ අදහසකින් නෙමෙයි. ඒක තමයි පරම සත්‍ය කියල විස්වාස කරල. ඒ නිසා මෙතන හරි කවුද, වැරදි කවුද කියන එක මහා සංකීර්ණ දෙයක්.

මිනිස්සු ඇණකොටාගන්නෙ මරාගන්නෙ මේ “ජාතිය” කියන සංකල්පය මත ඉඳගෙන. කවදාහරි මිනිසුන්ට සංසි‍ඳෙන්න ඕනෙ නම් හැබෑවටම නොපවතින එක මානසික රාමුවක් වෙච්ච “ජාතිය” කියන සංකල්පය බැහැර කරන්න වෙයි.

හැබැයි “ජාතිය” කියන සංකල්පය බිඳල දාන එක දැනට ගොඩනඟා ඇති හරපද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනව. ඒකට අකමැති බොහෝදෙනෙක් ඉන්නව. ඒක නිසා මේ කියන්නෙ එක ‍රැයකින් කරන්න පහසු දෙයක් නෙමෙයි. ඒත් අමාරුවෙන් හරි නොකලොත් ලොක විනාසය වලක්වන්න බැරිවෙයි.

ප.ලි : සමාවෙන්න පරණ නවම්ට ආයෙම එන්න තව ටිකක් කල් යයි වගේ. මේ දවස්වල නවම්ගේ “අනෙකා” තමයි දිනල ඉන්නෙ.

Advertisements

57 Responses to ජාත්‍යාලය වඩවා ජාතික සමඟිය ඇතිකිරීම හෙවත් මම සිංහලයෙක් මම දෙමලෙක් සහ මම පිස්සෙක්

  1. පූසා says:

    නියමයි නවම් අයියේ නියමෙටම නියමයි! යුද්දේ තියන කාලේ එකතුවෙමු කිව්ව අපේ උන්ම ආගම ජාතිය ඉස්සරහට දාං රණ්ඩුවෙන හැටි දැක්කාම ඇත්තටම හිතට දුකයි! මම දැකපු තවත් විශේෂම දෙයක් තමයි ඔය ජාතිය ආගම එක්ක තරහා උනාට ඒක වහගන්න කියන මෝඩ කතා. මං උදාහරණයක් දෙන්නම්….

    මම ඇහැව්වා මගේ යාළුවෙක්ගෙන් මෙහෙම
    “ඇයි බං උඹ මුස්ලිම් උන් එක්ක ඔච්චර තරහා? උනුත් උඹලා අපි වගේම සාමා‍න්‍ය මිනිස්සු නෙමෙයිද?”

    “නෑ බං මට මුස්ලිම් උන් එක්ක තරහක් නෑ මට තරහා උන් හරක් මස් කන හින්දා”

    “එත කොට උඹ කුකුළ් මස් කන්නේ? කුකුළත් සතෙක්නේ!”

    “කුකුළා වැඩකට ඇති සතෙක්ද බං. හරකා මිනිහට කොච්චර උදව් කරනවද?”

    මම නිශ්ශබ්ද උනා දෙන්න උත්තරක් නැති හින්දා නෙමෙයි. මෝඩයෙක් එක්ක වාද කරන්න තියෙන අකමැත්ත නිසා. මිනිහට උදව් කළා නැතා සතා සතාමයි!
    අන්තිමේ බැලුවාම මනුෂ්‍යයෝ හැමෝම එකම වගේ. තමන් කෙනෙක්ගේ වැරැද්දක් පෙන්නලා කෑ ගහනවා හැබැයි තමන් දන්නේ නෑ තමනුත් වක්‍රව ඒ වැරැද්දම කරනවා කියලා.

    අනිවාර්යයෙන් මේ යන විදිහට ගියොත් ආගම සහ ජාතිය කියන දේවල් නිසා ලෝකේ ලොකු ප්‍රශ්න ඇති වෙන්න කලින් අපේ ලංකාවනම් නැත්තටම නැතිවෙනවා!

    කැමතියි

    • නවම් says:

      ස්තූතියි පූස්. මිනිස්සු මිනිස්සු අතරෙ අමනාපයකට කිසිම ඉඩක් නෑ. මොකද ඔවුන් හැම දෙනාම එකම කුලකයක ජීවීන් නිසා. ඒත් “ජාතිය” කියන මානසික රාමුවෙන් බදුනට පස්සෙ එතන ගැ‍ටුමක් !

      //ආගම සහ ජාතිය කියන දේවල් නිසා ලෝකේ ලොකු ප්‍රශ්න ඇති වෙන්න කලින් //

      ඇයි දැනටමත් ඇතිවෙල තියන ප්‍රශ්ණ ලොකු මදියිද පූස් මල්ලී ? 😀

      කැමතියි

  2. //ඒක විතරයි හැබෑවටම පවතින “වර්ගකිරීම”. හැබෑවටම නොපවතින “සංකල්පයන්” හැබෑවටම පවතිනවා කියල විස්වාස කරන්නෙ පිස්සො. හැබෑවටම නොපවතින සංකල්පයක් තමන්ට ආදේශකරගෙන මං අහවලා කියල හිතාගෙන ඉන්න අයට “පිස්සො” කියලත් කියනව. මම සිංහලයෙක්, දෙමළෙක් කියලනැති දෙයක් විස්වාසකිරීමත් පිස්සුවක් තමයි.‍‍\\

    මේ මතේ හොඳයි 80%-90%ක්වත් මිනිස්සු පිළිගන්නවා නං. එහෙම නැත්තං පිටි පැකට් එකෙයි සෝයා පැකට් එකෙයි අරකෙයි මේකෙයි ගහගෙන ගහගෙන යන හලාල් ලේබලේ අපේ පිටෙත් ඇලවෙන කං වර්ගකිරීම් කරන්නේ පිස්සෝ කියලා අපි කිය කියා ඉඳියි නවම්………………….. මට දැන් කඩේට ගියහම පුදුම හිතෙනවා මෙච්චර කල් ලංකාවේ හිටපු මුස්ලිම් ජාතිකයෝ බඩගින්නේ නේද ඉඳලා තියෙන්නේ කියලා හිතුනහම. පීසා හට් එකේ ගහලා තියෙනවා අපි පෝර්ක් විකුණන්නේ නැහැ, ඇල්කොහොල් විකුණන්නේ නැහැ මෙහි තියෙන සේරම කෑම හලාල්……………… කොහොමද පිස්සුවේ තරම…………………………..

    // මම සිංහලයෙක්, දෙමළෙක් කියලනැති දෙයක් විස්වාසකිරීමත් පිස්සුවක් තමයි.‍‍‍‍\\

    කැමතියි

    • නවම් says:

      ආගමික උමතුව ජාතික උමතුව කියන්නෙ ලෝකෙ තියන විශාලම සහ දරුණුම පිස්සු වර්ග. එතන තියන භයානකම දෙය තමයි ඒ දේ පිස්සුවක් කියල අඳුරගන්න අමාරු එක. මොකද කිසිම වෛද්‍යවිද්‍යාලයක ඒක අසනීප තත්වයක් කියල උගන්වන්නෙ නෑ. ඉතිං හොයාගන්න බෑ. හිතනව මේක තමයි සාමාන්‍ය තත්වය කියල.

      කැමතියි

  3. ඇත්ත. මිනිස්සු එකා වගේ සමඟි වෙන්න නම් පොදු සතුරෙක් ඉන්න ඕනෙ. වැඩිය ඕනෙ නෑ. රටේ නෙමෙයි ඔෆිස් එකේ උනත් බොස් යකෙක් නම් ඊට පල්ලෙහා ඉන්න ඔක්කොම තරහ මරහ අමතක කරලා ඒ පොදු සතුරා වෙනුවෙන් එකතු වෙනවා.

    කැමතියි

  4. දුකා says:

    නවම් මචං . . .
    මේ අද උදේ දේශපාලන ගෲප් එකක මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධව නිතර අරගල කරන්න හදන මිතුරෙක්ගේ මතේකට මම දාපු කොමෙන්ටුවක් . . මේකෙන් උඹට තේරෙයි කියලා හිතනවා මම හිතන්නේ මොන විදිහටද කියන එක . .

    “පුබුදු අනේ මචං ප්ලීස් අපි අවුරුදු තිහක් සිංහල දෙමළ ජාති වාදයක් නිසා දුක් වින්දා . . ආයේ නම් කිසිම ජාතිවාදී යුද්ධයක් අපේ දුප්පත් රටට ඕනම නෑ . ..

    සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, වැදි, බෝරා, බායි, කොච්චි අරව මෙව්වා මේ ඔක්කෝටම ජීවත් වෙන කාලේ අවුරුදු 70යි කියලා හිතුවොත් . .

    මේක කෑලි කෑලි කපාගෙන මේ කෑල්ල මගේ මේ කෑල්ල මගේ කිය කියා කොටා ගන්නේ නැතුව . . .

    සිංහල අවුරුදු කාලේට සිංහලයින්ගේ කෑම පිඟානක් ඔය අනිත් ජාතික යාලුවන්ගේ ගෙවල් වලට යවන, දීපවාලි දවසට දෙමළ යාලුවෙක්ගේ ගෙදර ගිහින් පහන් පත්තු කරන, රාමසාන් දවසට මුස්ලිම් යාලුවෙක්ගේ ගෙදරින් බුරියානි බත් එකකුයි වටලප්පමකුයි ලැබෙන ජාතියේ සමඟියෙකින් අපි ඔක්කෝටම මේ ලස්සන රට ඇතුලේ ඉන්න බැරිද මචං . . “

    කැමතියි

    • නවම් says:

      වර්ග කරාපු, උඹ මෙහෙමයි, මම මෙහෙමයි, අරූ මෙහෙමයි කියල මානසික රාමු වලින් මෙදිච්ච සමාජයක සමඟියෙන් ඉන්න පුළුවන්. හැබැයි ඒකට අන්තවාදී නොවෙන මිනිස්සු ඉන්න ඕනෙ. ඒත් එහෙම මිනිස්සු බහුතරයක් මේ ආකල්ප තියන කල් ඇතිවෙන්නෙ නෑ. ඒ කියන්නෙ සදාකාලික සහයෝගී සාමකාමී රටක් ලෝකයක් ඇතිවෙන්නෙ නෑ යම් යම් විශේෂ හේතු කාරණා මත කෙටිකාලීන එකතුවීමක් මිසක්.

      සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, වැදි, බෝරා, බායි, කොච්චි සහ තවත්..වර්ග බොහෝමයක් තියාගෙන අපිට ඇයි එකතුවෙන්න බැරි වෙල තියෙන්නෙ ? උවමනාවක් නැති නිසාද ? නෑ.. උවමනාවක් නැති නිසා නෙමෙයි. සංහිඳියාවට යන පාර “වර්ගකිරීම” කියන තාප්පෙන් වැහිල තියන නිසා.

      //සිංහල අවුරුදු කාලේට සිංහලයින්ගේ කෑම පිඟානක් ඔය අනිත් ජාතික යාලුවන්ගේ ගෙවල් වලට යවන, දීපවාලි දවසට දෙමළ යාලුවෙක්ගේ ගෙදර ගිහින් පහන් පත්තු කරන, රාමසාන් දවසට මුස්ලිම් යාලුවෙක්ගේ ගෙදරින් බුරියානි බත් එකකුයි වටලප්පමකුයි ලැබෙන ජාතියේ සමඟියෙකින් අපි ඔක්කෝටම මේ ලස්සන රට ඇතුලේ ඉන්න බැරිද මචං //

      උඹටයි මටයි පුළුවන් දුකා අයියෙ. ඒ වගේම ඒ අපි යන ගෙවල්වල උන්ටත් පුළුවන් වෙන්න ඕනෙ අපේ ගෙදර ඇවිල්ල යන්න. අපි දෙන්න වගේම අහල පහල එවුනුත් එහෙම කරන්න ඕන. ඒත් දුකයිය හිතනවද මමයි උඹයි ගියාට අල්ලපු ගෙදර එකා අපිත් එක්ක එයි කියල ?

      කැමතියි

      • දුකා says:

        හෙන්රි කියපු දේවලුත් සලකා බැලුවාම මම කියන්නේ අන්තවාදීන් ට බලය අල්ලන්න පුලුවන් වෙන්නේ අන්තවාදීන්ට රැකෙන්න පරිසරයක් තිබ්බොත් නේ . .

        හැමෝම සමානාත්මතාවය ට ගරු කරන්න පටන් ගන්නවා නම් අන්තවාදීන් ඉබේ ඔවුන්ගේ අන්තවාදය අත්හරින්න වෙනවා සමාජේ රැකෙන්න රැඳෙන්න ඕන නම් . .

        අපි පොඩි පොඩි ගැටි හදාගන්න එක අනිවාර්යෙන් සිද්දවෙනවා.

        එක වගේ හිතන, එක ම සිතුම් පැතුම් තියෙන, එකම රසවින්දනය තියෙන, එක පාසලේ, එක ගමේ, එක කුලේ, එක භාෂාවක් කතාකරන ජාතියෙ, එක ආගමේ, එක බැච් එකේ, බ්ලා බ්ලා මේ ඕනැම විදියක ගැටි තියෙන අය එකට සෙට් වෙන එක නතර කරන්න ලෝකේ කාටවත් බැරි වෙයි . .

        ඒත් ඒ ගැටි නිසා අනෙක් උන් තමන්ට වඩා පහත් කියලා හිතන්න ගන්න තැනදී තමයි අනෙකා පරයා නැගී සිටින්න අනෙකා මත ආදිපත්‍ය පතුරවන්න පටන් ගන්නේ . . .

        ගැට්ට ගහපු තැනක උනත් අන්තවාදී වෙන්න හදන එකෙක්ට “ගාල්ලේ අපේ මහින්දේ උන් වගේද බන් රිච්මන්ඩ් එකේ උන් . . උන් චාටර්නේ” වගේ දෙයක් කියපු පලවෙනි එකාවම ඒ ගැට්ටේ ඉන්න උන්ම කපන්න ඕන . . “අඩෝ හැමෝම මිනිස්සු . . . අපේ ස්කෝලේ උන්ට වඩා උන් චාටර් වෙන්නේ කොහොමද” වගේ කියලා . .

        හා නැද්ද?

        කැමතියි

  5. නවම්, ඔය මතවාදය පිලිගන්නෙ අන්තවාදී නොවන උං විතරයි. අන්තවාදයෙන්, ජාතිවාදයෙන්, ආගම්වාදයෙන් අන්ධවෙලා ඉන්නවුන් කවදාවත් ඔය කියන තැනට එන්නෙ නෑ. එතකොට ඔය මධ්‍යස්ත මතධාරීන් ඔය විදියට හැමෝම මනුෂ්‍යයො කියන තැනට ඇවිත් ජාතිය ආගම සංකල්පය අතහැරියා කියලා අපි මොහොතකට හිතමු. එතකොට අර අන්තවාදීන් වහාම බලය අල්ලාගන්නවා සටනකින් තොරවම.

    අනික නවමා, උඹ අර කියලා තියෙන විදියටම, මිනිස්සු බෙදී වෙන්වෙන්න, කල්ලි ගැහෙන්න එකක් නැත්නක් එකක් ක්‍රම හොයා ගන්නවා. මම බස්නාහිරයා, උඹ දකුණේ එකා. නැද්ද මම අහන්නෙ? ‘ඔය බෙන්තර ග‍ඟෙන් එහා පැත්තෙ උන් සත පහකට විශ්වාස කරන්න එපා’ කියලා මම කිව්වම උඹේ හිත රිදෙන්නෙ නැත්ද? උඹත් කීපාරක් ආඩම්බරෙන් කියලා ඇත්ද “මම ගාල්ලෙ!” කියලා. ඊටත් එහාට ගියොත් “මම නාලන්දෙ” කියලා මම තවමත් කියන්නෙ මම වගෙ මෝරපු මිනිහෙකුට නොගැලපෙන පුහු මානසිකත්වයකින් නොවේද?

    කැමතියි

    • වෙල් සෙඩ්………………… මමත් කියන්නේ නවම් දෙන මතය හොඳයි 80%-90% මිනිස්සු ඔය කථාව පිළිගන්නවා නං……………….. කට්ටියක් සමානාත්මතාව සහජීවනය ගැන හීනයක් තුල ගුලිවෙද්දි, ඒ පිරිස පාගාගෙන නැගී සිටින්න තව පිරිසක් කුරුමානම් අල්ලනවා නං………… ඒ සහජීවන සිහිනය සිහිනයක්ම පමණක් වෙනවා. අපි කවුරුත් මැරෙන මිනිස්සු……….. ඒත් ඉපදිලා තාඩන පීඩන වලට ලක් වෙලා මැරෙන්න කවුරු නං කැමති වෙයිද? අපේ රටේ ආර්ථික ප්‍රශ්න තියෙන බව ඇත්ත…. ඒත් අපි නිදහසේ ජීවත් වෙනවා. වේලක් කාලා වේලක් නොකා හරි නිදහසේ ජීවත් වෙනවා‍. කොටින්ම බෝම්බ පිපිරුණ කාලේ වුනත්, උඹලා මෙහෙම හිටපල්ලා, මෙහෙම ඇඳපල්ලා කියලා නීති රිතී නැතුව අපි නිදහසේ හිටියා. එහෙම නිදහසේ ජීවත් වෙනවා කියලා නොදැනෙන්න තරම් අපට නිදහසක් තියෙනවා කියලා මං විශ්වාස කරනවා. හුස්ම ගන්න ඕනෑ කියලා මතක් වෙන්නේ හුස්ම හිරවෙනකොටයි. ඒ වගේ කවදා හරි දැනට සුළු සුළු බලපෑම් මගින් ඉහලට එන අන්තවාදී කණ්ඩායමක් නැගී හිටියොත් එදාට අපිට වැටහෙයි, අපි පතපු දේ නෙමෙයි එයාලා පතලා තියෙන්නේ කියන එක.

      මැදපෙරදිග රටවල සේවය කරන අපේ සහෝදරයෝ කොච්චර නම් කියනවද මලබාරි ජාතිකයින්ගේ විත්ති. ඒ අනුන්නේ රටක ඉඳන් තවත් ජාතියකගේ හැසිරීමෙන් වෙහෙසට පත්වෙලා එහෙම කියන්නේ. තමන්ගේ ම රටේ එහෙම වුනොත් අපට කොහොම දැනෙයිද කියන එක හොඳටම හිතලා බලන්න වෙනවා.

      කැමතියි

      • නවම් says:

        ඔව්. මෙතනදි තනි පුද්ගල වෙනස් වීමක් මඟින් මුළු ක්‍රමයම කණපිට හරවන්න බෑ. ඒවගේම ඒ ක්‍රමය කණපිට හරවන්න දරන හැම උත්සාහයක්ම වලක්වන්න සූදානම් වෙච්ච කොට්ඨාශයකුත් ඔය ක්‍රමය ඇතුලෙම ඉන්නවනෙ. තියරියක් විදියට රාමු වලින් මිදීම කේතුමතියට පාර උනාට ඒ පාරෙ කිසිම් දවසක කාටවත් යන්න බැරිවෙයි. එහෙම උනොත් සාමය හැමදාමත් අතේ දුරින් පෙනි පෙනී තියන දෙයක් විතරක් වෙයි කිසිම දාක අත්විඳින්න නොලැබෙන.

        කැමතියි

    • නවම් says:

      සහතික ඇත්ත.

      //‘ඔය බෙන්තර ග‍ඟෙන් එහා පැත්තෙ උන් සත පහකට විශ්වාස කරන්න එපා’ කියලා මම කිව්වම උඹේ හිත රිදෙන්නෙ නැත්ද? //

      අපි නිකමට හිතමුකො මගෙ හිත රිදුන කියල. ඉතිං ඇයි මගෙ හිත රිදුනෙ ? එහෙම උනේ මගේ රාමුවෙන් පිට ඉඳල මට මං උපන් පළාත ගැන කියල කරපු විහිළුවට. කාලයක් ගිහිල්ල ඕක සීරියස් මතවාදයක් උනොත් බෙන්තර ග‍ඟෙන් එහා එවුන් අනිත් උන් එක්ක වෛරබැඳ ගන්නව. උන්ගෙ වැඩේ අපි උපන් පලාත ගැන කියල නෝන්ඩි කරන එකයි කියල.

      බිග්මැච් වලදි ඉස්කෝල දෙකක උන් ඔළුගෙඩි පලාගෙන්නෙ ඇයි. මොකක් බෙදාගන්න බැරුවද? “අපි” “අපේ ඉස්කෝලෙ” “අපි උසස්” “අපි දක්ෂයි” අපි වැදගත්” “උන් කොහොමද අපිට ගහන්නෙ” “අඩෝ අන්න අපේ කොල්ලෙක්ට අරුන් ගහල , යමල උන්ට නෙලන්න”

      ඔය බෙදීමම, ඔය හැඟීමම තමයි ග්‍රෑන්ඩ් ස්කේල් එකකින් ඇවිල්ල ජාතින් අතරෙ ගැ‍ටුම් ඇතිකරන්නෙ.

      කැමතියි

    • රවිඳු says:

      // එතකොට ඔය මධ්‍යස්ත මතධාරීන් ඔය විදියට හැමෝම මනුෂ්‍යයො කියන තැනට ඇවිත් ජාතිය ආගම සංකල්පය අතහැරියා කියලා අපි මොහොතකට හිතමු. එතකොට අර අන්තවාදීන් වහාම බලය අල්ලාගන්නවා සටනකින් තොරවම.//

      හෙන්රි සහ රන්දිල් කියන්නෙ එතකොට එක අන්තවාදයක් දිනන්න ඉඩ තියෙන නිසා, ඒකට විරුද්ධව තව අන්තවාදයක් පෝෂණය කරන්න ඕන කියන එකද? මම හිතන්නෙ ඒක තේරුමක් නැති දෙයක් කියල. අන්තවාදයක් පෝෂණය කරන්න පුලුවන් පහසුම මඟ තමයි ඒකට ප්‍රතිවිරුද්ධ අන්තවාදී අදහස්වල එල්බ ගන්න එක.

      ඇයි අපිට බැරි වර්ග කර ගන්නෙ නැතුව හැම වර්ගයකම අන්තවාදයන්ට, වර්ගවාදයන්ට ග්‍රෝත්‍රික මතවාදයන්ට විරුද්ධ වෙන්න. උදාහරණයකින් කිව්වොත්, ඉස්ලාම් අන්තවාදයට විරුද්ධ වෙන්න අපි කරන්න ඕන බෞද්ධවාදයක ඉල්ලෙන එක නොවෙයි, පොදුවේ මේ හැම වාදයකටම විරුද්ධ වෙන එක.

      එහෙම නේද?

      කැමතියි

  6. සටිපිකෙට් ඇත්ත මලයා. කවදාහරි මේ පුංචි බිම් කෑල්ලේ ඉන්නේ ශ්‍රීලාංකිකයෝ කියන එකම ජාතිය විතරයි කියල පිළිගත්ත දාට අපේ ඉදිරි ගමන පටන් ගනීවි. එත් එක දකින්න ජීවත් වෙන්න අපිට වාසනාවක් නැති හදයි.. ඒ මොකද වැටයි නියරයි ගොයම් කනවා. සෑම විධිහෙම භේද වලට එරෙහි දහමක් දෙසු බුදුන් වහන්සේගේ ශාවකයෝ ජාති බේදේ කර පින්නාගෙන බේද වලට ආවඩනකොට කොහොමද අනිත් මිනිස්සු හැදෙන්නේ ?

    කැමතියි

    • නවම් says:

      වෙනස මතම පාදක වෙච්ච ක්‍රමයක් තුල ජීවත්වෙන ප්‍රථිලාභ ලබන ප්‍රමාණාත්මකව සුළුතරයක් උනත් අධික බලයක් හිමි කොටස කිසිම වෙලාවක මේ වෙනස දුරුකරන්න කරන්න ඕන දේවල් කරයි කියල විස්වාස කරන්න බෑ සරත් අයියෙ. ඒකෙන් වෙන්නෙ සමාජය වෙනස් කරන්න අවංකවම උවමනාවක් තියන දැක්මක් තියන මිනිස්සු අධෛර්යයට පත්වෙලා නිශ්ක්‍රීය චරිත වෙලා සමාජය දිහා අනුකම්පාවෙන් බලල විතරක් ඉන්න එකයි. එහෙම චරිත වලට උදාහරණ ඕනෙතරම්.

      කැමතියි

  7. Beetle says:

    මේකට මගේ කමෙන්ට් එක මේ පෝස්ට් එකේ තියෙනවා 🙂

    http://www.akurublog.blogspot.com/2011/03/pale-blue-dot.html

    කැමතියි

  8. Observer says:

    මේ නවමත් නරක නා…වැඩේ තියෙන්නෙ පොඩ්ඩක් විතර මොළේ කොලොප්පන් වෙන එක විතරයි… :-))

    කැමතියි

    • Ravi says:

      ඔන්න බලාපං ඔබ්, නවම මේ කට කැඩෙනකල් කියනව බේද තියන එව්ව නැතිකර ගනිල්ලය අපි ඔක්කොම මිනිස්සුය කියාල. ඔබා හදන්නෙ තියන බේද නැතිකරගන්නව නෙවෙයි තව තිබ්බෙ නැති බේදයක් එකතු කොරන්ට… 🙂

      මොලේ කොලොප්පං එවුං සහ එහෙම නැති එවුං

      ඔන්න ඔබා ලෑස්ති ජාතිය ආගම කුලය, පාට කියන මිනිස්සු බේද කරන කාරනා වලට මොලේ තත්වය කියල තවත් එකක් එකතු කරන්ට…චික් අන්තිම නරකයි නෙව මේ ඔබා…. 😦

      කැමතියි

  9. මචෝ, මම ලිව්වේ මේ වගේ ප්‍රශ්න වලට සරලවම අපිට ගන්න පුළුවන් විසඳුම ගැන තමා.. අපිට අනිත් මිනිස්සුන් ව පිළිගන්න පුරුදු වෙන්න වෙන එක තමා කරන්න තියෙන සරලම විසඳුම.. ඒකට තමන්ගේ ඔලුවේ තමන් ගැන තියෙන පුහු මාන්නේ (මේක අපි හැමෝම ගාව අඩු වැඩි වශයෙන් තියෙනවා එක එක ස්වරූප වලින්) නැතිව අනිත් මනුස්සයත් තමන් වගේම අපිට වගේම ජීවන බර,ප්‍රස්න,ආශාවල් තියෙන අපිට වඩා වෙනස් ආගමික,සමාජ,පවුල් පසුබිම් වල හැදුන කෙනෙක් නිසා ආකල්ප සහ හැසිරීම් වල වෙනස් කම් තිබුණට අපි හැමෝම එකම ජීවයක කොටස් විදියට දකින්න ටිකෙන් ටික ඉගෙන ගන්න එක තමා අපි කරන්න ඕනේ…

    ප්‍රශ්නේ මේකයි කියන එක අපි හැමෝම දන්නවා.. අපි දන්න ටික එක එක විදියට පට්ට ගගහ ඉන්නව මිසක් තම තමන් අතින් ඒ වෙනුවෙන් කළයුතු දේ ගැන අපි ගොඩක් වෙලාවට හිතන්නේ නෑනේ… බනින්න, උදාහරණ දෙන්න ඕනේ තරම් අය ඉන්නවා.. විසඳුම ගැන හිතල විසඳුම තනි තනි වශයෙන් හරි ක්‍රියාත්මක කරන්න අපි කවුරු කවුරුත් පටන් ගන්න ඕනේ..

    කැමතියි

  10. //රමණයෙන්// මේ මොකක්ද නවමෝ?
    බූඩිට මතකයි මෙහෙම පොදු හතුරෙකුට සෙට් වෙල දෙන ගේමක් ඒක තිබුනේ කුස පබා එකේ !! 🙂

    කැමතියි

  11. රාජ් says:

    සත්වයා ස්භාවයෙන්ම කැමතියි බෙදාගන්න-බෙදෙන්න. දැං බලන්න බල්ලො ටිකක් ඉන්න තැනකට මැරිච්ච ලොකු සතෙක් දැම්මොත් (කට්ටියටම ඇතිවෙන්න තිබුනත්) උං ඉස්සෙල්ලම කරන්නෙ “තමන්ටම කියල” මස් කුට්ටියක් කඩාගෙන පැත්තකට ගිහිල්ල ඒක කනඑක. හැමතැනම සිදුවෙන්නෙ ඕක තමයි.

    මිනිස්සු ගැන කියනවනං, බෙදීම් කියනදේ ඓතිහාසිකයි. ඒව සමනය වෙන්නෙ බොහොම ටික ටික. දෙමළ ජනතාව ඉන්නෙ සිංහලයන්ගෙ කක්කුසි හෝදන්න නෙවේ කියන මානසිකත්වය සිංහල දෙමල දෙගොල්ලටම තේරුම් ගන්න අවුරුදු 30ක් මරාගන්න සිද්ධවුනා. (දැනටත් ඒ මතයම දරන අන්තවාදීන් නැතුව නෙවේ).
    ඒ වගේම මම දැඩිව අදහන දෙයක් තමයි ආර්ථික ප්‍රශ්න වැඩිවෙන තරමටත් මේ බෙදීම් වැඩියි කියනඑක. අන්තිම කාරණාව මේ විදියේ බෙදීම් වැඩිවුනු තරමට අපේ “එතුමන්ලට” රට කන්න වඩාත් පහසුයි. ඒ නිසා බෙදීම් කියන දේවල් දිගටම තියාගන්න දේශපාලන නායකත්වය දක්වන කැමැත්ත වැඩියි. ඒනිසා තමයි “සිංහල පක්ෂ” “දෙමළ පක්ෂ” “මුස්ලිම් පක්ෂ” ඇතිවෙලාතියෙන්නෙ.
    මනුස්සයා බෙදීම් වලින් තොරවුනු දවසටයි සත්තුන්ගෙන් වෙනස් වෙන්නෙ.

    කැමතියි

    • නවම් says:

      //බෙදීම් වැඩිවුනු තරමට අපේ “එතුමන්ලට” රට කන්න වඩාත් පහසුයි//

      ඇත්ත, මිනිස්සුන්ට ඇත්තටම හිතන්න තියන ඉඩ කඩ මේ වගේ පොඩි පොඩි මානසික රාමු වලින් කො‍ටු කලාම “යහ පලනය” කෙසේ වෙතත් පාලනය හරිම පහසුයි. බැලූ බැල්මට බෙදීම් වැඩි වීම තුල ඇතිවන ප්‍රශ්ණ රාජ්‍ය පාලනයට ගැටළු ගේනව කියල පෙනුනට, විවෘත මනසකින් කල්පනා කරන වැසියන්ගෙන් රාජ්‍ය පාලනයට ඇතිකරන බලපෑම ඊට වඩා බොහෝම වැඩියි.

      කැමතියි

  12. Weniwel says:

    සාමය සමගිය වෙනුවෙන් නේන්නම් මෙච්චරම බෙදී බෙදී වෙන් වෙන් වෙවී පොර කන්නෙ .. හික්ස්…

    කැමතියි

    • නවම් says:

      නැතුව නැතුව. රණ්ඩු වෙනකොට දෙන්නටම සීනිබෝල දෙකක් සූප්පු කරන්න දීල දෙපැත්තකය කරල තියනව. සීනිබෝලෙ දියවෙලා ගියාම ආයෙම අරුන් දෙන්න ගුටි කෙළ ගන්නව. උන් දෙන්න මරාගෙන්නෙ අහවල් දෙයක් හන්දද කියල හොයල බලනකල් ඔය සෙල්ලම දිගටම පවතිනව. එත්කොට බලං ඉන්න අපිට අර මැද ඉන්න ලොකු අයියා නැත්නං රණ්වු වලක්වන්න කවුරුවත් නෑ කියල හිතිල ලොකු අයියට ගෞරව කරනව. ඉතිං මොකාද අකමැති ලොක්කෙක් වෙලා ඉන්න. ඒක හන්ද ඌ දෙන්නෙම විගහට දියවෙලා යන ලොසිංජර. එතකොට බැරිය ආයෙම සැරයක් !

      කැමතියි

  13. Gold fish says:

    සමහර එවුන්ගේ බක පන්ඩිත වැඩ නිසා තමා, තාමත් මේ වගේ ආගම් වලට බෙදිලා මරා ගන්න හදන්නේ. මං ආසා නෑ මේ මාතෘකාව ගැන කතාකරන්න. හිතද්දිත් නිකං ලේ පිච්චෙනවා…

    කැමතියි

  14. Sudath says:

    මම ගොඩක් සතුටුවෙනව මේ කාලේචිත ලිපියට. පිරිබාහරන් මැරුණයින් පස්සෙ දැන් සමහර එවුන්ට අමුතු ජාතික කැක්කුමක් පහළ වෙලා. මේක දැකපුවහම දෙමළ මිනිස්සුන්ට සමහර විට හිතෙයි අනේ පිරිබාහරන් හිටියනං හොඳයි කියල. මොන තරම් තුච්ඡ වැඩ කළත්, දෙමළ මිනිහාත් මනුෂ්‍යයෙක් කියල සමහර අය පිළිගන්න පටන් ගත්තෙ එල් ටී ටී ඊ කාරයන්ගෙ මරාගෙන මැරෙන ගැහිල්ල නිසායි. ඒ වගේ විනාශකාරී බලවේගයක් බිහිකළේ මේ ජාති උම්මත්තකයන් විසින්මයි. පහුගිය අවුරුදු තිහේ බයේ හිටිය උන් දැන් එනව සිංහයො වෙලා. මටත් පෙනුනු දෙයක් තමයි අද හෙටම මුන් ටික මුස්ලිම් එවුන් එක්ක කෙළ ගන්න පොටක් හදාගන්නව. නවම් කියනව වගේ එතන තියෙන්නෙත් පුද්ගලවාදී උවමනාවන්. තමන්ගෙ කඩේ බිස්නස් නැගල යන්නෙ නැත්තෙ මුස්ලිම් කාරයගෙ කඩේ බඩු ලාබෙට දෙන නිසානං කොහොම හරි ජාත්‍යාල පාරක් දාල ඌ නැතිකරන්න ඕනැ කියල හිතාගෙන තමයි වැ‍ඩ පටන්ගන්නෙ. ඒ වෙලාවට තමයි තමන්ගෙ නෑදෑ සනුහරේ ගැන, ජාතිය ගැන මතක් වෙන්නෙ. නැත්තං තමන්ගෙ ජාතියෙ එකාට තමයි කළු කඩේ බිස්නස් කළේ මෙච්චරකල්. එල් ටී ටී ඊ ‍එකෙන් එළවලා උන් හිටි තැන් නැති වෙච්ච මිනිස්සු පාරවල් ගානෙ, තැන් තැන් වල ලගින කොට මොන සිංහලයද ඇහැක් ඇරල බැලුවෙ. දැන් එනව ජාතිය ගැන කතා කරන්න.

    කැමතියි

    • නවම් says:

      ආගම, ජාතිය කියන්නෙ බොහොම තදබල පිස්සුවක්, පිස්සුවක් කියල නොපෙනෙන. ඒකට යට උන පුද්ගලයොන්ට ආගමේ නාමයෙන්, ජාතියේ නාමයෙන් කියල වෙන කිසිම අවස්ථාවක කරන්න බැරි, තුඡ්ඡ නිහීන වැඩ ඕනම දෙයක් කරන්න පුළුවන්. ඒකට සමාජීය ආගමික ව්‍යවස්ථානුකූල අවස්ථා ඕනෙතරම්. සමාජ සම්මතයම නිවැරදියි කියල පිළිනොගන්නා යමක් දිහා විමසිල්ලෙන් බලන මිනිස්සු ඇතිවෙනකල් අපි හැමදාම මරා ගනීවෙ මොනයම්ම හෝ හේතුවකට.

      මේ දවස්වල ඊ-මේල් හරහා සංසරණය වෙන අදහසක් තමයි ඔය මුස්ලිම් ව්‍යාපාරිකස්ථාන වර්ජනය. ඒ හැම ලිපියකම අවසානයට තියනව “තෙරුවන් සරණයි” කියල්. එතන තමයි මහා ඛේදවාචකය.

      කැමතියි

  15. sAm sRi says:

    දැන් ජාත්‍යාලය මාකටින් කරන පොරවල් පාර්ලිමන්ට් එකේ ඉන්නේ. එකෙක්ටවත් රට ගැන වැඩක් නැහැ.

    අද තිබ්බ රැලියේ ගියේ ජනාඨිපතිතුමා ගැන රැලියක් වගේ මම දැක්කේ. රට ගැන කියවුනේ සුලුවෙන්..

    කැමතියි

  16. praveena says:

    මිනිස්සු කියන ජාතිය මේ වගේ තමයි. කොහෙන් හරි බෙදිල්ලක් හොයාගන කන්ඩායමක් බිහි කරගන්ට දඟලන්නේ.

    මම ලාංකිකයෙක් කීවාම මිනිස්සුන්ගේ ඊලඟ ප්‍රශ්නය තමා සිංහලද, නැද්ද යන එක. මිනිස්සුන්ටත් ඕනේ නැති දෙයක් නැනේ. හැබැයි ඔස්ට්‍රේලියන් කීවාම, මොන ප්‍රශ්නයක්වත් අහන්නේ නෑ. 🙂

    කැමතියි

  17. Ravi says:

    තොප මේ දිනවල නවමයනි, ඉතා බහුශ්‍රැත මාතෘකාවන් එසේම විවාදාපන්න මාතෘකා වන්හි කරවටක් ගිලී දිවි ගෙවන සැටියකි. ඉතා මනරම්යැ, චිත්තාකර්ෂණීයයැ,මෙම මැයදැ එසේමයැ, දෙදෙනෙකුට පවා එකඟ වියහැකි තැන් බොහෝ සේ හිඟයැ,…….. වියත් බස එතෙකින් නිමියේයැ.

    ජාත්‍යාලය, ජාතික හැඟීම …..මිනිස්සු පිස්සු වට්ටවන්ට ඔයිට වඩා දෙයක් නෑ…මේ අනික් ඕනම මාතෘකාවක් ගැන ඉතාම යථාර්තවාදීව මයිල් ඉස්මයිල් වෙන අන්දමේ සාරගර්භ දේශන උදේ හවස කෑමට පෙර පවත්වන උදවිය…අප්පට සිරි…සිංහල ජාතිය මතක් කලාම බලන්ට එපාය වෙස් පෙරලෙන අපූරුව….තනිකරම වෙනම මිනිහෙක් වෙනව වගේ තමයි….

    ජාත්‍යාලය පිළිබඳව මගේ අපූරු අත්දැකීම් අලලල වෙලාවක මලේ ලියන්න ඕන පෝස්ට් එකක්…..එකකින් නම් බැරිවෙයි මයෙ හිතේ… 🙂

    මිනිස්සු කියන සත්තු ජාතිය ස්වභාවයෙන්ම ගෝත්‍ර වාදීයි, ඒ අපේ එකා, නම්මඩ ආල්, Our Man කියන හැඟීම වනචාරී යුගයේ ඉඳන්ම පැවත එන්නක්. ඒ දවස්වල මිනිස් වර්ගයාගෙ පැවැත්මට අත්‍යාවශ්‍ය සාධකයක් ඒ ගෝත්‍රික හැඟීම, ඒත් අද මට හිතෙන්නෙ ඒ හැඟීමමම මිනිස් වර්ගයාගෙ පැවැත්මට තර්ජනයක් වෙලා කියලයි.ඒ කියන්නෙ භෞතික දියුණුවෙ වේගයට සමාන්තරව චින්තනය එහෙමත් සිතුම් පතුම් දියුණු වුනෙ නැති නිසාද?…..

    ජාතීන් අතර තරඟකාරිත්වය අවශ්‍යයෙන්ම නරක දෙයක් නෙවෙයි. නමසිය හැටගණන් වල පළමුව අභ්‍යාවකාශ ගත වීමට අමෙරිකාව සහ එකල තිබූ සෝවියට් දේශය අතර පැවති තරඟය නිසා මුළු මිනිස් වර්ගයාටම අත්වූයේ වාසියක් මිස අවාසියක් නෙවෙයි.

    එහෙත් එකම රටක් තුල විවිධ ජනවර්ග අතර පවතින තරඟකින් මට හිතෙන්නෙ වෙන්නෙ වාසියකට වඩා අවාසියක්…

    ජාතිය කියන සංකල්පය ගැන මගේ මතය නම් බොහොම දෙශද්‍රෝහී මතයක්… 🙂

    සිවිල් යුද්ධය උග්‍රව පැවතුණු සමයේ, දශක දෙකකට පමණ පෙර මගේ ප්‍රාණසම හිතවතුන් පවා මා එක්ක මූණ නොබලන තරමට අමනාප වෙලා තියනව ජාතිය පිළිබඳ මගේ මතය නිසා…. 😦

    විශේෂයෙන් මත්පැන් සාදවලදී ( මෙයින් මම ඉගෙනගත් එක් වැදගත් පාඩමක් = කිසිම දිනක මත්පැන් පානය කරමින් ජාතිය ගැන කතාකරන්න එපා )සාද කඩා කප්පල් කරන්නා හැටියට මම ප්‍රසිද්ධ වෙන තරමට මෙ වැඩේ දුර දිග ගියා. ඒත් මම මගේ අදහස් අත ඇරියෙ නෑ….ඒ ගැන ප්‍රසිද්ධියෙ කතා කිරීම අත ඇරිය විතරයි… 😦

    දන්නවද මෙච්චර කෙලියක් වෙන්න මම ඇහුවෙ එක ප්‍රශ්නයයි කියල…මෝඩ ප්‍රශ්නයක් වෙන්න ඇති සමහර විට …ඒත් ඒ ප්‍රශ්නෙට පිළිගත හැකි තර්කානුකූල උත්තරයක් දෙන්ට බැරිඋනා ජාතිය ගැන බොහොම ආඩම්බරෙන් කතා කරපු කාටවත්,

    ” ඔබ සිංහලයෙක් කියල ස්ථිරවම දන්නවාද?….උත්තරේ ඔව් නම් එහෙම දන්නෙ කොහොමද? ”

    මම කතාකලේ මගෙ යාළුවො එක්ක, එයාල බහුතරයක් සිංහලයො..ඒ නිසයි මම ප්‍රශ්න ඒ විදිහට ඇහුවෙ…ඒත් අදාලත්වය අනුව දෙමලෙක්…මුසල්මානුවෙක්…( මෙතන නම් පොඩි ගැටලුවක් තියනව මුසල් මානුවන් කියන්නෙ එක් ආගමක් අදහන අය විතරයි )ජාවෙක්,මැලේ…ඔය ඕන නමක් දාගත හැකි අවුලක් නෑ, ප්‍රශ්නය ඒත් වලංගුයි.. 🙂

    පොදු සතුරාගේ තර්ජනය හමුවේ එකමුතු වීම ….මේ ප්‍රපංචය ටක්කෙටම තේරුම් අරගෙන හරියටම ක්‍රියාත්මක කරනව අපේ පාලකයො…කාලෙන් කාලෙට අපිට දෙනව පොදු සතුරෙක්…කාලයක් බැං කි මූන්….ඊට පස්සෙ අර අම්මණ්ඩි..නවනීතම් පිල්ලෙ ද කවුද?….මේ ඊයෙ පෙරේද කවුද පොදු සතුරා…නගරයක්….ජිනීවා…. 🙂

    මුළු ලෝකෙම එකාවගෙ එකතුවෙන දවසක් ගැන දන්නවද නවම්?….ඒ තමයි පොදු සතුරා පිටසක්වලින් එන දවස…අන්න එදාට මුළු ලෝකෙම එකතුවෙයි….ඊට කලින් නම් ඒ දේ වෙන එක හීනයක් විතරයි,

    අප්පච්චියේ….ලියන්ට ගියාම මේ මාතෘකාව නම් ආයෙ ජාපාල ඇට කෑව වගෙ තමයි….යනව යනව ඉවරයක් නෑ…එහෙනම් මලේ දැනට ඔය ඇති…ආයෙම හෙටානිද්දම වෙලාවක ජාපාල ඇට ටිකක් කාරිය කාල ඉඳගන්න ඕන මේ ගැන මොනවහරි ලියන්න…

    එතකං නවම් ස්තූතියි හොඳේ ආයෙම පාරක් හිතන්න හොඳම මාතෘකාවක් මතක් කරල දුන්නට… හෙහ්, හෙහ්,

    මේ අර උඹේ ” අනෙකා” …Alter Ego….ඌ හොඳ එකා බං…ඒකා හොඳයි අර කලිං හිටපු උඹට වැඩිය…මගෙත් ඉන්නව ඔය අනිකෙක්….ඌයි මූයි ජාඩියට මූඩිය…තකට තක….:) 🙂

    ප. ලි. – මේ මලේ ඒක නෙවෙයි වැදගත්ම කතාව,……ඇත්තම කියාපං හොඳද? බොට අහු උනයි චූටි මැනිකෙගෙ තාත්තණ්ඩියගෙ කොට්ටෙ අස්සෙ තිබිල කේරළ මිටියක්කත්…මේ දවස් වල උඹ කියන කොරන එව්වයෙ හැටියට මලේ මටනං එහෙම්මයි ඕං හිතෙන්නෙ…හෙහ්, හෙහ්,

    කැමතියි

    • නවම් says:

      මේවට වගකියන්නෙ ඕන මේ මාස දෙක තුනක ඉඳල කියවන පොත් පත් ටික තමා. හරි හරි දේවල් නෙව ඒවැයි තියෙන්නෙ.

      //මගේ ප්‍රාණසම හිතවතුන් පවා මා එක්ක මූණ නොබලන තරමට අමනාප වෙලා තියනව ජාතිය පිළිබඳ මගේ මතය නිසා//

      හපොයි මට “කොටියා” කියලත් හීනියට කාඩ් එකක් වැදීගෙන ආවෙ. මං විගහට ඒ ගැන කතා කරන එක නවත්තල “ඇම්ඩන්” ගැන කතාකරන්න පටන් ගත්ත. කට්ටියම හරිම සන්තෝසෙන් අහං ඉන්න ගත්ත.

      //” ඔබ සිංහලයෙක් කියල ස්ථිරවම දන්නවාද?….උත්තරේ ඔව් නම් එහෙම දන්නෙ කොහොමද? ”//

      ඔන්න ඔතන තමයි ජාතිය ඔළුව උඩ තියාගෙන “අපි තමයි පොර” කියල හිතාගෙන ඉන්න උන් ප්‍රශ්ණෙ අහපු ට්කාට එලව එලව ගහන්න පටන් ගන්න තැන. ගහන්නෙත් “ජාතිද්‍රෝහී” පොල්ලෙන් ඔළුගෙඩි පැලෙන්නම.

      //මුළු ලෝකෙම එකාවගෙ එකතුවෙන දවසක් ගැන දන්නවද නවම්?….ඒ තමයි පොදු සතුරා පිටසක්වලින් එන දවස//

      නැතුව නැතුව. ඔය හොලිවුඩ් පිචෑර්වල පෙන්නන්නෙ ලෝකෙම එවුන් එකතුවෙලා බැටේ දීල පිටසක්වලය එලවනව. හැබැයි ඒ හැම එකකම වීරය වෙන්නෙ ඇමරිකං කාරය නෙව. ඒකෙන් යටි අරුතක් මිනිස්සුන්ට කාවද්දනව සුප්‍රීම් හීරෝ තමාය, තමා කරන සියළුම ව්‍යායාමයන් මුළු මහත් ලෝකයාගේ සුභසිද්ධිය සඳහාය කියලත්.

      //මේ අර උඹේ ” අනෙකා” …Alter Ego…//

      මේක අපි හැමෝගෙන ඇතුලෙ ඉන්නව නෙ. අවුල තියෙන්නෙ ඌට කෙලින් කටින් ඉන්න ඇති තරම් කෑම නොදෙන එකනෙ.

      ප.ලි : කේරල මිටියක්, ඒ මක්කයි අයියෙ ?

      කැමතියි

  18. Ravi says:

    / මේවට වගකියන්නෙ ඕන මේ මාස දෙක තුනක ඉඳල කියවන පොත් පත් ටික තමා. හරි හරි දේවල් නෙව ඒවැයි තියෙන්නෙ /

    අන්න, නියම පොත් ටිකක් නෙව…අපිටත් කියහංකො තුන හතරක නං….ආපු දවසක ගන්ට බැරුවය…..

    / ප.ලි : කේරල මිටියක්, ඒ මක්කයි අයියෙ ? /

    අඩේ මලේ කේරළ කියන්නෙ සුපර්ම මල් ජාතිය නෙව..හප්ප මතක් වෙනකොටත් නිකං පාවෙනව වගේ 🙂 කේරළ කියන්නෙ ආයෙ මොනවද දර්ශනවාදය, ආධ්‍යාත්මිය ප්‍රවණතා, ඔය හැම එකකම මුල….කල්පනා කරතැහැකි ආයෙ නෑ ශරීරයෙන් සම්පූර්ණයෙන් විනිර්මුක්ත වෙලා අනෙ අම්මප….

    අර පොලිස් රාළහාමිල දෙන්නට මෙහෙම කිව්වෙ එහෙම උන්නු එක්කෙනෙක් . 🙂

    පොලීසියට නෙවෙයි ඕනම තැනකට එන්නං රාළහාමිලා..ඒත් කියන තැනකට වඳිඤ්ඤං, ආතල් එක කඩන්ට නම් එපා සත්තරනේ,හෙමීට උස්සල ජීප් එකේ තියන්ට , හොඳද? 🙂 🙂

    කැමතියි

    • පූසා says:

      අපූරු උත්තරයක් රවී අයියේ!
      හත් දෙයියනේ නවම් අයියා බඩු පාවිච්චි කළාට නම දැනං ඉඳලා නෑ නොවැ! 😀

      කැමතියි

      • Ravi says:

        @ පූසා,

        මා හිතාදර ශ්වේත බිලාල මළනුවනි,තොපගේ අන්වර්ථ නාමය ඇස ගැටුණු වහාම මසිත් පැණ නැඟෙනුයේ වෙනත් අර්ථයෙකි. 😀

        එනමින් තොප අමතනුයේදෝහෝයි තිර තීරණයකට එලඹ ගත නොහී මෙතෙක් එකෙළ මෙකෙළ වූයෙම්.අවසන එසේ කිරීමම නවමුවන්ගේ වියුණුව සින්ඩියෙන් ඉවත්කිරීමෙහි අවදානමකට භාජනය කිරීමෙකැයි හැඟී ගිය බැවින් වන්නාටය, තොපගේ අන්වර්ථ නාමය ඒ හා පර්යාය සත්ව විශේෂය හා සබැඳියයි සළකාලීමට තීරණය කළෙමි.

        / හත් දෙයියනේ නවම් අයියා බඩු පාවිච්චි කළාට නම දැනං ඉඳලා නෑ නොවැ! /

        එසේමයැ,භාණ්ඩ නිතොර භාවිතා කලද නවමෝ එහි නාමය දැන සිටැ නැති. ඒ හිමිදිරියේමැ ජලය ගැළුමක් පානය කළ ඉක්බිති පහ කෙරෙනා සුළුදිය මෙන් පැහැදිලියැ 🙂

        ඔබගේ අටුවාව ඇසැ ගැටුණු විගසැ ඒ හා සමාන සිද්ධියක් යලි ආවර්ජනය විය. හුදෙක් දුහුණනගේ ජීර්ණය පහසු කරනු වස් ග්‍රාම්‍ය බසින් පවසමි.

        ඔන්න එකෝමත් එක රටක ගෑණු දරුවෙක් හිටිය. අම්ම තාත්ත මෙයාව මලක් වගේ ( ඒ මල නෙවෙයි බොලව්…පුෂ්පය කියන මල ) තමයි රැක බලා ගත්තෙ. ඉස්කෝලෙ ගියාද කෙලිම්ම ගෙදර. ආයෙ කොටිම්ම යාලුවෙක් ආස්සරේ කරන්ට වත් දුන්නෙ නෑ.ඔන්න ඉතිං මේ ළමය ලොකු මහත් වෙලා අම්ම තාත්තම හොඳ තැනකින් කටයුත්තකුත් කොරල දුන්නයි කියමුකො.

        ළමය බැඳල ගියා සුවාමියගෙ ගෙදර. සතියකට දෙහෙකට පස්සෙ අම්ම ගියා දුව බලන්ට. ගිහිල්ල ආගිය විස්තර කතා කරල ළඟට කිට්ටු වෙලා මෙහෙම කිව්ව කණට කිට්ටු කරල.

        ” දුවේ මම මේ දුවට කියන්ටමයි හිටියෙ. දුවගෙ මහත්තය නම් මෙහෙම කෙනෙක් නොවෙන විත්තිය මට සීයට දෙසීයක් විස්වාසයි. ඒත් මෙහෙම මිනිස්සුත් ඉන්නවය කියල දුව දැනගෙන ඉන්න එක හොඳයි. ”

        අම්මට කියන්ටත් මොකක්ද වගෙ..ඇඹරි ඇඹරි ඔන්න කියනව, දුව සාවදානව අහං ඉන්නව.

        ” මම මේ කියන්ට ආවෙ සමහර නරක මිනිස්සු ඉන්නව…ඒ අය ඔය ගෑණු පිරිමි එකතුවෙලා කරන දේ තියනවනෙ, ඒ නියම විදිහ වෙනුවට උං කැමති වෙන වෙන මහ අසික්කිත ක්‍රම වලට.දුවට දැනගන්ටයි මම මේ කියන්නෙ. ”

        ඔහොම කියල ඒ ක්‍රමෙත් පැහැදිලි කලා මෙන්න මෙහෙමයි කියල ඒක හඳුන්වන නමත් එක්කලම.

        කතාව ඉවරවෙන්ට හම්බ උනේ නෑ. කෙල්ලගෙ ඇස් දෙකත් උඩ ගිහිල්ල මූණත් එක්ක සුදු මැළි උනා.

        ” ඇයි දුවේ මොකද මේ? ” අම්ම ඇහැව්ව

        ” දෙයියෝ සාක්කි, මේ යකා බැඳපු දා ඉඳලම මට ඔය වැඩේනෙ කොරල තියෙන්නෙ”

        කෙල්ල එහෙම්මම සිහි නැති උනා.

        කැමතියි

  19. arunishapiro says:

    විප්ලව කලා ඇති දැන් පරිනාමය වෙමු!

    කැමතියි

  20. අනේ මන්දා නවම් අයියා! අපි ලංකාකිකයෝ කියන මානසිකත්වයෙන් අපේඑ රටේ උන්න මිනිස්සු හිතන දවසක් ගැන මට හිතාගන්නවත් බෑ! අර කියනවා වගේ ඔක්කොම වාසියට තමයි! ජාති ආලයත් දැන් බිස්නස් ට්‍රික් එකක් වෙලා!

    කැමතියි

  21. kevin perera says:

    “As man advances in civilization, and small tribes are united into larger communities, the simplest reason would tell each individual that he ought to extend his social instincts and sympathies to all members of the same nation, though personally unknown to him. This point being once reached, there is only an artificial barrier to prevent his sympathies extending to the men of all nations and races.
    Charles Darwin

    කැමතියි

  22. පින්ග්කිරීම: උමතු ලෙනන් දු‍ටු විකාර සිහිනය « මට හිතෙන හැටි

  23. දැක් කට්ටිය අපි සිංහල නෙවෙ අපි ලාංකීය කිය කිය ඉන්න මේ උගත් බුද්ධිමත් නවම් කියන ප්‍රාඥයාගෙ කතාව අහල.
    එතකොට මුස්ලිම් දෙමල අයත් ඔවුන්ගෙ ජාති වාදය අතෑරල අපි මුස්ලිම් නෙවේ අපි ලාංකික කියයයි 😛

    නිකං පොර වෙන්ට වෙනස් මතවාද ගෙන්න හදන්න එපා සහෝදරයා,
    ජාතිවාදය හොඳ නෑ තමා,
    ඒත් නිකං ඇදගෙන නාගෙන අඬගහල ඔළුවට අත හෝදාගෙන නිකං චා වෙන්න ඕන නෑනෙ.
    අපිට ඉස්සර ඉදන්ම වුනේ ඕක තමා,
    දැන් ඉතින් මේවා ඔඩු දුවපු ප්‍රශ්න අපෙ රජ කාලේ ඉඳන්ම මෝඩ රජවරු පවා කරේ ගොං කං,
    ඔක්කොම අපි වගේ හොඳ මිනිස්සු කියල හිතුවෙ,
    එහෙම හිතල දුන්නා චූටි කෑලි මඩකලපුවෙ,
    දැන් මොකද වුනේ?

    ඔයාලත් නිකං එක එක රටවල් වල ඉඳන් මෝඩ කතා නොකියා කතා කරන්නකො කුඅරගල ගැන.

    කැමතියි

    • නවම් says:

      “සාධාරණ සත්‍යය” සහෝදරය මාතෘකාවෙ ඉඳලම පටලවාගෙන නෙ. එක් කොටසක අතෑරීම පිළිබඳව මම කතාකරල නෑ මම හිතන්නෙ.

      කමක් නෑ. සහෝදරය ඉන්නකො සහෝදරයගෙ “බුද්ධිමත් මතවදයේ”. ඒක මට කිසිම ගැටළුවක් නෑ. මට කිසිම කෙනෙක් මගේ මතවාදයට අනුව නිවැරදිකරන්න ඕන කියන “මහා වගකීමක්” ඇත්තෙ නෑ.
      ඒක නිසා සහෝදරයා දකින, හොඳයි කියල හිතන දෙයක් ක්‍රියාත්මක කරන්න. ඒකට මට බලපෑම් කරන්න කිසිම අයිතියක් නෑ. මොකද මම කියන දේ “සර්ව සාධාරණ සත්‍යම” නොවෙන්න පුළුවන් කියල මම හොඳාකාරවම දන්නව.

      //ඔක්කොම අපි වගේ හොඳ මිනිස්සු කියල හිතුවෙ//

      හැමෝම හිතනව අපි තමයි හොඳ අනිකා තමයි නරක කියල [මමත් ඇතුළුව]. ඒක සාමාන්‍ය දෙයක්. ඒත් ඒකමද සත්‍ය කියල කැමතිනම් හිතල බලන්න.

      කැමතියි

      • http://www.thambapanne.net/?p=8957
        වාද විවාද නවත්තල පුළුවන් නම් ඔයාලගෙ ඔය ප්‍රසිද්ධ බ්ලොග් වල ලියන්න මේව ගැණත්,
        කුරගල ආදිය ගැනත් ඇත්තටම කැක්කුමක් තියනව නම්.

        කැමතියි

        • නවම් says:

          එක සිද්ධියක් හුදෙකලා කරගෙන ඒක කපල කොටල විශිලේෂණය කරන එකෙන් එහාට ගියපු දෙයක් ගැනයි මෙතන සඳහන. ඒකෙන් කියවෙන්නෙ නැහැ කූරගල ගැන කතාකරන එක වැරදියි කියල. ඒත් මම ඉන්නෙ එතන නෙමෙයි ඊට ගොඩක් එහායින්. කිලෝමීටර් වලින් නෙමෙයි මතවාදීව. ඔබ සතු‍ටුනම් ඒ ගැන කතාකරන්න, මගෙ කිසිම අමනාපයක් නෑ. ඒත් සිදුවී අවසන් සිද්ධීන් පිළිබඳව සාකඡාවට වඩා සිද්ධීන් වලකා ගැනීම පිළිබඳ සාකඡා වැදගත් වෙයි.

          සමහර විට ඔබට මම මේ කියන දේ ගැන පැහැදිලි අවබෝධයක් නැතුව ඇති. ඒකට කමක් නෑ, මොකද අපි හැමෝටම තේරුම් යන්නෙ අපි තේරුම් ගන්න කැමති දේවල් විතරයි.

          කැමතියි

  24. පින්ග්කිරීම: 58. උමතු ලෙනන් දු‍ටු විකාර සිහිනය « මට හිතෙන හැටි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: