මට ප්‍රශ්ණ ගොඩයි [උත්තර දන්නෙ නැත්නම් ප්‍රශ්ණ අහපු එකා මරන්න ඔට්‍ටු නෑ හරිය]

පහුගිය පෝය දවසෙ අහම්බෙන් වගේ බෞද්ධයා නාලිකාවෙ ප්‍රචාරය උන බණක් අහන්න ලැබුන. ඒකත් චූටිමැණිකෙයි මායි පොඩ්ඩයි අම්මලගෙ ගෙදර ගිය නිසා. දේශනාව කලේ බුද්ධංගල ආනන්ද ස්වාමීන්වහන්සේ. පැවිදි නමින් ගොඩක් දෙනා නොදන්නවට ගිහි නම වෙච්ච උතුරුමැද අණදෙන නිළධාරී මේජර් ජෙනරාල් ආනන්ද වීරසේකර ගොඩක් අය දන්නව ඇති. පහු කාලෙක පුනුරුත්තාපන කොමසාරිස් වෙලත් උන්න.

හෝව් !!

මම බණ කියන්න යනව වත්, යමෙක් වර්ණනා කරන්නවත් යනව නෙමෙයි. කියවන අය නොදන්න දෙයක් දැනගන්න කැමති වෙයි කියල හිතුන නිසයි ඒ විස්තරය කෙරුවෙ.

මම කියන්න ආවෙ මෙන්න මේක,

ඔය බණ අතරතුරේ මෙන්න මේ වගේ අදහසක් කියවුනා.

//ගව ඝාතනය වැලැක්විය යුතුය. අප ඒ සඳහා ආණ්ඩුවට බල කල යුතුය. ආණ්ඩුව ලංකාව තුල ගවඝාතනය නීතියෙන් තහනම් කල යුතුය.! එවිට ඇතමෙක් අසනා “ඇයි ගවයා විතරක්, කුකුළා ?” යන ප්‍රශ්ණ කිසිවෙක් නඟන්නේ නම් ඒ මේ සද්කාර්යයට අකුල් හෙලීම උදෙසා මය.//

ඔය මතය ඒකියන්නෙ සත්ව ඝාතනය, මත් පැන් පානය, හා වෙනත් සදාචාර විරෝධී කටයුතු, අන්‍යාගමීකරනය වගේ දේවල් වැලැක්වීම සඳහා රජය නීති පනවා ඒවා බලාත්මක කලයුතුය යන්න මෑතක බොහෝමයක් ජනප්‍රිය වේගවත් ගමන්ධාරී ස්වාමීන්වහන්සේලා ජනප්‍රිය මාධය හරහා පැවසූ අදහසක්. බැලූ බැල්මට ඒක හොඳ වැඩක් කියල නෙපෙනෙනව නෙමෙයි. මතුපිටින් බැලුවම අගෙයි කියල සාධු ! කියන අය බොහෝමයි. ඒත් ඇත්තටම ඒක එහෙමද ? අගෙයි ද ?

බෞද්ධ හිමිවරුන්ගේ කාර්ය භාරය තමන්ගේ අනුගාමිකයන් යහමඟට ගැනීම, යහම‍ඟෙහි පවත්වාගැනීම කියලයි මම හිතන්නෙ.[ඔය යහ මඟ කියන එක බොහොම ගැටළු සහගත මඟක්, මට ඒගැන පැහැදිලි අවබෝධයක් නැති නිසා ඒ ගැන ලියන්න යන්නෙ නෑ. ඒත් යහමඟ එකිනෙකාට සාපේක්ෂයි කියල නම් මට හිතෙනව] ඕනෙනම් ඔය අදහසම මීට වඩා බරපතල, ඇතැම්විට තේරුමවත් හරියට නොදන්න වචන දාල ආලවට්ටම් කරල කියන්නත් පුළුවන්. එහෙම උනොත් මේකත් තවත් එක බණක් වෙයි කියන මනුස්සයටත් අහන මනුස්සයටත් දෙන්නටම නොතේරෙන.

[හරියට පාලි ගාථා වගේ, ශබ්ධ රසය මිසක් වෙන මෙලෝ දානයක් මටනම් තේරෙන්නෙ නෑ. ඉතිං නොතේරෙන දෙයකින් තවත් ප්‍රත්‍යක්ෂ නොව්ච්ච දෙයක් ‍තෝරගන්න පුළුවන් කියල තියන විශ්වාසය මහ ‍රැවටිල්ලක් නෙමෙයිද?]

ඉතින් මිනිසුන්ගෙ අභන්තරය වෙනස් කරන්න, සිතුම් පැතුම්, විස්වාසයන් වෙනස් කිරීම තුලින් මිනිසුන් “යහමඟට” ගන්න දරන උත්සාහයන් බොහෝමයක් අසාර්ථකයි කියල නොකියා කීමක් නෙමෙයිද තමන් විසින් කලයුතු දේ ආණ්ඩුවක් විසින් කළයුතුය කියල අතහෝදාගැනීම තුල තියෙන්නෙ ?

එතනදි ඇයි දේශකයන් වහන්සේලාට නොහිතෙන්නෙ ශාස්තෲන් වහන්සේ උගන්වා ඇතිපරිදි මේ මේ ක්‍රියා කලොත් අත්වන්නේ මේ ප්‍රතිඵලයයි. එහෙයින් අවබෝධයෙන් රිස්සක් කරව ! කියල දේශනා කරන්න. ඇයි බලහත්කාරයෙන්, ආණ්ඩුබලයෙන්, බාහුබලයෙන් මිනිස්සුන් නිවන්දක්කන්න හදන්නෙ ? ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද ? තමන්ගෙ ගොඩ වැඩිකරගෙන අයුතු සමාජ බලයක් ගොඩනඟා ගැනීමක් නෙමෙයි ද?

ධර්ම දේශණා කරන බොහෝමයක් ස්වාමීන්වහන්සේලා [බොහෝමයක් කිව්වේ සියල්ලන්ම එසේ යැයි නොදන්නා නිසා] කරන්නෙ කටපාඩම් කරගනිපු දෙයක් ගිරව් වගේ ඔහේ කියන එක. මොකද ඒ දේශනාව තමන්ට අවබෝධයි නම් ඒ කියන පරිදිම මාර්ගඵලවලට එළැඹිලා තියෙන්නෙ ඕනෙ. ඒත් ඒ අයම කියනව අපි තාමත් පෘතුග්ජනයි කියල. ඉතින් තමන් ප්‍රතක්ෂයෙන් නොදත් දෙයක් තවකෙනෙකුට කියල දෙන එක සධාරණයිද? තවත් අයකුට අවබෝධකරවන්න කලින් තමන් ඒ පිළිබඳව අවබෝධයක්, ප්‍රත්‍යක්ෂ භාවයක් ඇතිකරගැනීම වැදගත් නෙවෙයිද ? බණ කියන තරමට මිනිස්සුන්ට අවබෝධ නොවෙන්නෙ විවිධ අය විවිධාකාරයෙන් කරනා දේශනාවෙ කොතනක හෝ තියන අඩුපාඩුවක්, අමතකවීමක් නිසා වෙන්න ඉඩක් නැතුවද?

ප.ලි : මට මෙහෙම හිතෙන්න මගෙ මොකක්හරි අවුලක් නිසාද? එහෙමත් නැත්නම් තවත් අයට මෙහෙම හිතෙනවද ? ඒ හිතෙන අය ඒ ගැන ඔහේ හිතෙන්න ඇරල නිකන් ඉන්නව මිසක් හිතන්නෙ නැද්ද? හිතුනත් කියන්නෙ නැද්ද ?

Advertisements

44 Responses to මට ප්‍රශ්ණ ගොඩයි [උත්තර දන්නෙ නැත්නම් ප්‍රශ්ණ අහපු එකා මරන්න ඔට්‍ටු නෑ හරිය]

  1. මටත් ඔහොමම තමා හිතෙන්නෙ. අද ඉන්නෙ හාමුදුරුවන්ට වැඩිය ගණින්නාන්සේලා. තමන්ගෙ ස්ටයිල් එකට බන හදාගෙන පැජරෝ එකේ ඇවිත් බණ කියලා ඒකට ගෙවීමකුත් අරගෙන මදි පාඩුවට තමන්ගෙ බණ සීඩී ටිකකුත් අපේ උපාසක නෝනලා මහත්තුරුන්ට විකුණලයි යන්නෙ. ඒත් සිල්වත් හාමුදුරුවොත් නැතුව නෙමෙයි.

    කැමතියි

    • නවම් says:

      ඔව්. සිල් ‍රැකීම [පව් නොකිරීම ද?] වගේම ඊට වඩා බොහෝමයක් එහාට ගිහිල්ල ඇතිය කියල හිතන ස්වාමීන්වහන්සේලා ඉන්න තැනකට මම මීට මාසෙකට විතර උඩදි ගියා. එතන අපේ අම්ම සතියක්ම නැවතිලත් උන්න. ඒ ඇවිල්ල කියාපු විස්තර වල හැටියට නම් බොහොම දුර ගියපු ස්වාමීන්වහන්සේලා එතන ඉන්නව. උන්වහසේලාගෙන් ඇහුවම ඇයි ජනප්‍රිය මාධ්‍යයට ඇවිල්ල බොහෝදෙනාගෙ හිතසුව පිණිස දහම් දෙසන්නෙ නැත්තෙ කියල මෙන්න මේකයි දීල තියන පිළිතුර

      අපි පිටතට ඇවිදගෙන යනමන්. ඉතිං ඇයි ආපසු හැරිල යන්නෙ ?.

      ඒ වගේ තවත් විස්තර බොහෝමයි. ඒත් ඒව මේ වගේ තැනක ලියන්න සුදුසු නෑ.

      කැමතියි

  2. /* මොකද ඒ දේශනාව තමන්ට අවබෝධයි නම් ඒ කියන පරිදිම මාර්ගඵලවලට එළැඹිලා තියෙන්නෙ ඕනෙ. ඒත් ඒ අයම කියනව අපි තාමත් පෘතුග්ජනයි කියල. ඉතින් තමන් ප්‍රතක්ෂයෙන් නොදත් දෙයක් තවකෙනෙකුට කියල දෙන එක සධාරණයිද? */

    ඔය කාරණාව ඔලුවෙ තියා ගෙන නම් හැමදෙයක් දිහාම බලන්නෙ නවම් අයියගෙ වරදක් කියල මම හිතන්නෙ 🙂

    කැමතියි

  3. “එහෙයින් අවබෝධයෙන් රිස්සක් කරව ! කියල දේශනා කරන්න. ඇයි බලහත්කාරයෙන්, ආණ්ඩුබලයෙන්, බාහුබලයෙන් මිනිස්සුන් නිවන්දක්කන්න හදන්නෙ ?”

    උඹට කියන්න බං මාත් “නිවන් යනවට” වඩා කැමැති ” පත්තු කරන්” යන්න..

    කැමතියි

    • නවම් says:

      හපොයි මම කියන්නෙ නෑ නිවන් දකින්න බෑ කියල, ඒවගේම පුළුවන් කියන්නෙත් නෑ. මොකද මම ඒ දෙක ගැනම දන්නෙ නෑ. අපි කොයි කවුරුත් නිවන නිවන නිවන !!! කියල කිව්වට ඒ තත්වයට පත්නොවී ඒ ගැන පැහැදිලි කරන්න බෑ කියලයි මම හිතන්නෙ. හරියට කොළඹ නොගිය නොදැකපු මනුස්සයෙකුය ඒ ගැන නිවැරදි විස්තරයක් දෙන්න බෑ වගේ.

      නිවන් යනකොටත් පත්තුකරන් ගියොත් වලේ නොවැටී යන්න පුළුවන් වෙයි නේ ?

      කැමතියි

  4. udara says:

    අසනා බණ බොහෝය – කියනා බණ බොහෝය
    රකිනා කෙනෙක් ගං හතකත් නැතුවාය කියලා සිංන්දුවක් කිව්වාළු අමරදේව මහත්තයා.
    නවම් මාවත අහලා තියෙනවාද පිරිත් කියන කොට පටන් ගන්නේ එවං-මෙසුතං කියාලා
    ඉතින් උන්නාන්සේලාට වැටහිලාත් නැහැනේ, අහලා විතරනේ තියෙන්නේ

    කැමතියි

    • නවම් says:

      ඔව් බොහෝමයක් අය සාම්ප්‍රදායට ඔහේ කරගෙන යනව මිසක් විමසන්න පෙළඹෙන්නෙ නෑ කියලයි මම හිතන්නෙ. ගිහි පැවිදි දෙපැත්තම. එතනදි ශ්‍රද්ධාව විශ්වාසය තමයි මට හිතෙන විදියට විමර්ෂණයට බාධා ඇතිකරන්නෙ. මේ කියන්නෙ විමසීමෙන් අනතුරුව ලැබෙන අවබෝධයෙන් ඇතිවන ශ්‍රද්ධාව පිලිබඳව නෙමෙයි. [එහෙම වෙන්න පුළුවන් කියල මම හිතනව] ඒත් මට නම් තවම අවබෝධයක් නැති නිසා ශ්‍රද්ධාවක් ඇතිවෙලා නෑ.

      මේ කමෙන්ට් එක ලිව්වට පස්සෙ මට මෙන්න මේ ප්‍රශ්ණත් ආව

      01. යම් විශ්වාසයක් පිළිබඳව කරනා විමසීම් ඉවසා දරාගන්න පුළුවන් අය ඉන්නවද?
      02. ඔය කියන්න “ශ්‍රද්ධාව” මොනවගේ දෙයක්ද ?

      කැමතියි

      • aayubovanda says:

        එක්තරා සූත්‍ර දේශනාවක(නමනම් මතක නෑ.අන්ගුත්තර නිකායෙ වෙන්න ඕන) ශ්‍රද්ධාවේ සිට ප්‍රඥාව දක්වා හේතු ඵල වශයෙන්
        ශ්‍රද්ධාව-එළඹීම-ධර්මශ්‍රවනය-ධර්ම ධාරනය-ධර්මය විමසීම-පස්සද්ධිය-ප්‍රීතිය-සුඛය-ඒකග්ගතාවය-ප්‍රඥාව
        ශ්‍රද්ධාව කියන්නෙ මොකක්ද කියල තේරැම් ගන්න හොඳ හෝඩුවාවක් කියන්නම්. රහතුන් හඳුන්වන තවත් එක නමක් තමයි ‘අසද්ධා’ කියන්නෙ. සද්ධාවක් නැති-එළඔීමක් නැති.

        කැමතියි

  5. රාජ් says:

    එකින් එකට උත්තර දෙන්නං.
    මේකාලෙ වෙනකොට තියන එක රැල්ලක් තමයි ගවඝාතන විරෝධය. මේක කොච්චර තියනවද කියනවනං ගවඝාතනයට විරුද්ධව සංවිධාන ඇතිකරගෙන පැයගනන් මාධ්‍යන්වල සාකච්ඡා පවත්වනව. කුමන හෝ සත්ව ඝාතනයක් අනුමත කරන්න බැරිවුනත් “බුද්ධාගම කියන්නෙ ගවමස් නොකෑම” කියන තත්වෙට සමාජය තල්ලු වෙමින් පවතිනව. මම නං හිතන්නෙ “ප්‍රාණඝාතය නරක දෙයක් බව” පසක් කර දීමෙන් මිසක් එක එක අන්ත වලට තල්ලු වෙලා වැඩක් නෑ.

    බෞද්ධ හිමිවරුන්ගේ කාර්ය භාරය වෙන්න ඕන හරිනං බණ භාවනා කරල යන තැනට වැඩ සලස්වගන්න එක. දැනට තියෙන්නෙ එහෙම දෙයක් නෙවේ. දැන් ඉන්න හැමෝම උත්සාහ කරන්නෙ බුද්ධාගම රැකගන්න මිසක් බුදුහාමුදුරුවො කියපු මාර්ගයේ යන්න නෙවේ. ඇත්තටම සිල්වත්, ප්‍රතිපත්තිගරුක එක ස්වාමීන්වහන්සේ කෙනෙක් වටිනව ධර්මය රැකගන්න සිවුර උස්සගෙන කෑගහන අයට වඩා. සිල්වත් වීම හරි ආගමාණුකූල බව හරි වැඩි දියුණු වෙන්නෙ තම තමන් කොතරම් දුරට ඒව ආරක්ෂා කරනවද යන කාරණය මත.

    අන්තිම කාරණාව දැනට කියන බණ ගැන. අපි පොඩිකාලෙ, මට මතකයි පෝය දවසට හරි ඉරිදදට හරි ගුවන් විදුලියෙන් බණ අහපු හැටි. ඒක‍ාලෙ හාමුදුරුවරු යම් යම් ධර්ම කරුණු ගැන කියල දෙන්නයි උත්සාහ කලේ. ඒත් අද තියන “කාලීන බණ” කියන කුණුහර්පය නිසා අහන්න ලැබෙන්නෙ හරක් මස් කන්න එපා, අරක්කු බොන්න එපා, අම්මට තාත්තට සලකන්න, පන්සල් දියුණු කරන්න …… වගේ එකම දේවල්. හැබැයි එහෙම කිව්ව කියල ඒකාලෙට සාපේක්ෂව ඇතිවෙච්ච දියුණුවක් නෑ.
    බුද්ධාගමට කැමැත්තක් තියනවනං බුදුහාමුදුරුවො කියපු විදියට සිත කය මෙහෙයවන්න. ධර්මය රැකගන්න අනුන්ට ඇගිල්ල දික් කරන්න එපා. ඒකෙන් වෙන්නෙ නරකක් මිසක් හොදක් නෙවේ.

    කැමතියි

    • නවම් says:

      බුද්ධාගම කියල මේ මතුපිටින් පේන දේ ගැන කැමැත්තක් නම් ඇත්තෙ නෑ. ඒ වගේම යටින් තියන දේ ගැන අවබෝධයකුත් නෑ. හැබැයි එතනදි අදහස් වෙන්නෙ නෑ නොදන්න දෙයක් දැනගන්න කැමැත්තක් නෑ කියල.

      අනේ ඉතිං මං අකමැති උනා කැමති උනා කියල වෙන කාටවත් පාඩුවක් ලාබයක් ඇතෙයි මට මිසක් කියලත් හිතෙනව.

      කැමතියි

  6. Ravi says:

    @ ආනංද හාමුදුරුවෝ,

    අවසර ආනංද හාංදුන්නේ…තරහ අවසර….දැං ඔය ගවයො ගැන හිතන එකනං බොහොම හොඳා……එව්ව කෙරෙන්ට ඕන…බුදු හාමුදුරුවො කිව්වෙත් සියළු සත්වයෝ නිදුක් වෙත්වා කියල නෙව…..හෙහ්, හෙහ්,

    ඒත් ගවයංට වැඩිය සේසයක් වත් ඉහලිං ඉන්නව නෙව මේ මිනිස්සු කියල ජාතියක්….තරහා අවසර…ගවයො මරන්ට එපයි කියල බලකරන්ට කලියෙං නරකෙයි ආණ්ඩුවට බල කලොත් ඔය ධවල වර්ණාලේපිත දිව්‍ය රථ වලින් මිනිසුන්ගේ ගමන් පහසුව සැලසීම නතර කරන්ටෙයි කියල…අපිට පයිං ගිහෑකි තවම… 🙂 🙂

    අනික ගව ගාතනේ තහනං කොරන්ටෙයි කියල ආණ්ඩුවට බල කොරන්නෙ ආය ආණ්ඩුවයැ ගවයො මරන්නෙ?….:) 🙂 ඔන්න මම කියපු ඉල්ලීම නම් අවුලක් නෑ….ආණ්ඩුවට අනිවා ඒක තහනං කරතැහැකි.

    හැබැයි ඉතිං ඔබ තුමාම කියල තියන විදිහට මමත් මේ සද් කාර්යයට අකුල් හෙලන අධර්මිෂ්ඨ මිසදිටුවෙක්ය යන බරපතල චෝදනාව එකත් එකටම නැඟෙන්න පුලුවන් නිසා මගෙ මේ මෝඩ පුරස්නෙ එක්කොත් ඉල්ලා අස්කරගන්නව ඔන්න….

    බලාගෙන යනකොට ඔබතුමාගෙ කතාවත් ඇත්ත… කොහෙං හරි පටං ගන්න නෙව ඕන…ගවයගෙං පටං ගමු.. ඊලඟට කුකුල, ඌර, තාරාව, මුවා, ගෝන….මාලුව..ඔන්න අන්තිමට එමු මිනිස්සු ගාවට…. 🙂

    ***************************************

    @ නවම්,

    / ප.ලි : මට මෙහෙම හිතෙන්න මගෙ මොකක්හරි අවුලක් නිසාද? එහෙමත් නැත්නම් තවත් අයට මෙහෙම හිතෙනවද ? ඒ හිතෙන අය ඒ ගැන ඔහේ හිතෙන්න ඇරල නිකන් ඉන්නව මිසක් හිතන්නෙ නැද්ද? හිතුනත් කියන්නෙ නැද්ද ? /

    අවුලක් කියන්නෙ නවම් ඕක බොහොම දරුණු අසනීපයක්… හෙහ්, හෙහ්,ඕකට කියන්නෙ ” චුල්ල මාණික්‍යයං ඛාද්‍ය බෝජ්‍ය නහිජාතං මස්තිෂ්ක කලකොලොප්පං අනවශ්‍ය ප්‍රශ්ණ විචාරණං සහලක්ෂ්‍යය ” ඒ කිව්වෙ බොල බොට තියෙන්නෙ ” චූටි මැණිකෙ උයා පිහල දෙනදෙයක් කාල බීල පැත්තකට වෙලා ඉන්නෙ නැතුව මොලේ කොලොප්පං කොරගෙන අනවශ්‍ය ප්‍රශ්න ඇසීමේ රෝගය”

    වැඩේ හරියන්නෙ නෑ බොල..විජහට දාන්ට වෙනව ඉහ මුදුන පලල බේත් ගැල්ලුමක්….

    ප.ලි. –

    මට මලේ උඹෙ ප්‍රශ්න ඔක්කෝටම උත්තර නම් තියනව.ඒත් මෙතන ලිව්වොත් මාව මරං කන්න එන නිසා ලියන්නෙ නෑ…මම කියන්නෙයි?…නවම් මාවත පැත්තෙ ආපු දාක උඹට විතරක් කියඤ්ඤං 🙂 🙂

    කැමතියි

    • නවම් says:

      ආනන්ද හාමුදුරුවො ඉතිං ගිහි කාලෙ ආණ්ඩුවෙ කීමට යුද්ධ කලා නෙව. තාම ඒ පරණ ඇඟෑළුම් කම් වලින් මිදෙන්න බැරුව ඇති. ඒක හන්ද කිව්වත් වගේ හරකගෙන් පටන් අරං අන්තිමට හරි මිනිහ ගාවට එන්න හිතාගෙන ඇත්තෙ. ඒ ගැන නං ආයෙ මුකුත් මම කියන්නෙ නෑ.

      අම්මප අපේ අම්මත් කිව්ව දොහක් ඔය කතාවම අර කෙල්ල තම්බල දෙන දෙයක් ගිලල පාඩුවෙ හිටිං ය කියල. ඒත් කොහෙ ඉන්නද ඔය මක්කවත් නොහිත ඉන්න කොට පණුකැවිල්ල වගේ අමාරුවක් එනව නෙව ඉසවගන්නම බැරි. හෙහ් හෙහ්.. මේ පහුගිය අවුරුදු දොහේම කලේ අම්මයි මායි දරුණුවටම මේව ගැන හාරවුස්සපු එක තමයි. උන්දැත් බොහොම මනාපයි මේ වගේ ඇවිස්සිලි වලට. වැරදිලාවත් චූටි මැණිකෙත් එක්ක මේව කියවන්න ගියොත් මාව ඇදං යනව අල්ලපු වැටේ ඉස්පිරිතාලෙට. එහෙව් එකේ හොඳ වෙලාවට බ්ලොග් එකක් ලිව්වෙ, නැත්නං ඔළුගෙඩිය පුපුරල මං මැරිල !!

      මට තව ප්‍රශ්ණ මහ ගොඩක් තියනව. ඒත් අර මරං කන්න හදන සීන් එක හන්ද බොහොම පරිස්සමෙන් තමයි අහන්නෙ. 😀

      කැමතියි

  7. අද මේ උඩින් තියෙන බුද්ධාගම ගැන නම් මගේ කිසිම පැහැදීමක් නැහැ. ඒ වගේම අද කාලේ බණ දේශනා කරන හාමුදුරුවෝ ගැනත් කිසිම පැහැදීමක් නැහැ. තමන් බුද්ධාගමේ කියලා අනිත් අයට ඇඟිල්ල දික කරන අය ගැනත් කිසිම පැහැදීමක් නැහැ.

    තමන් ධර්මයට අනුව ජීවත් වෙනවා කියලා හිතා ගෙන තමන්ගේ වාසියට විතරක් ආගම අදහන, පන්සල් යන කට්ටියවත් පෙන්නන්න බැහැ.

    අපේ මිනිස්සු බුද්ධාගමේ කියලා පම්පෝරි ගැහුවට හරියට බුද්ධ දර්ශනය අවබෝධ කර ගන්න උත්සාහ කරන කට්ටිය හොයා ගන්න හරිම අමාරුයි.

    කැමතියි

    • නවම් says:

      බුද්ධ දර්ශණය මේ “බුද්ධාගම” ඇතුලෙ උගන්වන්නෙ නෑ පාසලෙත් දහම්පාසලෙත් පන්සලෙත්. හැබැයි අඩුවක් නැතුව බෞද්ධ සාහිත්‍යය උගන්වනව. ඒක තමයි පරම සත්‍ය කියල ඒ දිහා විචාරශීලීව බැලුවම පේනව බොහොම ලොකු හිස් තැන්. එතන ඉඳල සැක කරනව මේක හරිද කියල. ඔන්න ඔතනයි ඔය එපාවීමට මුල. දැත් එකතුකරල මිමිණුවට අවබෝධ වෙන කෙහෙල්මලක් නෑ. එහෙමනං මේකෙ එකෙක්වත් ඉන්න විදියක් නෑනෙ.

      ධර්මය අනුව ජීවත් වෙන අය නෑ කියල කියන්නනම් බෑ. මොකද අපි හැම කෙනෙක් ගැනම දනෙන් නෑ නෙ. ඒත් මතුපිටින් පේන්න බැබලි බැබලී ඉන්න අය නම් ඉතිං කරන්නෙ මහා ‍රැවටීමක්. මතුපිටින් නොබැබලුනත් අභ්‍යන්තරය බැබලෙන අය ගැන ලියන්න කිසිම කෙනෙක්ට බැරිවෙයි ඒ තත්වයට පත්වූ කෙනෙකුටම ඇරෙන්න.

      කැමතියි

  8. සම්පූර්ණයෙන්ම නොවුනත් ඔයත් හරි යාලුවා.ඒ වගේමයි ස්වාමීන් වහන්සේලාත්.[හැබැයි ඔය අතරේ බණ විකුනණ මුදලාලිලත් ඉන්නවා. ඒ අයව අපි අතහරිමු.මොකද ඒ අය චීවර ධාරියෝ මිස ස්වාමීන් වහන්සේලා නෙමේ.]සිය වස් ගනනාවකට පෙර බුදුන් වහන්සේ දේශනා කල ධර්මය ඔය හැමෝම එකතු වෙලා මෙහෙම ගෙනාව නිසයි, අද අපි මේ විධිහට හරි ඒ ගැන කතා කරන්නේ.ඉතින් ඒ ගේන අතරේ ඒ අය මේවා[බුදු දහම] නවී කරණය කරලා.[එක එක ආල වට්ටන් දාල මොඩ් කරලා] සැලෙන්න එපා. හිත කරදර කර ගන්නත් එපා.ඕකයි ලෝක ස්වභාවය. සියලු දේ නැසෙන සුලුයි කියන බුදු වදන බුදු දහමටත් වලන්ගු ඇති.එයාල කියන දේට වඩා යමක් අපට තේරෙනවා නම්,අපි හරි දේ කරමු. ඒ අයව ප්‍රශ්න නොකර.

    කැමතියි

    • නවම් says:

      ප්‍රතිචාරයට බොහොම ස්තූතියි සරත්.

      අපි කතාකරන්නෙ බුද්ධ දර්ශණය ගැන නම් අපි කරන්නෙ අපිව රවටාගැනීමක්. මොකද මම හිතන විදියට බුද්ධ දර්ශණය අවබෝධ කරගන්න ඕනෙ ඒ ගැන නිවැරදි කතාවක් කරන්න. හැබැයි ඒ අවබෝධය ලැබුන නම් අපි බ්ලොග් ලිය ලිය ඉන්න එකක් නෑ.

      කල්පනාකරගෙන යනකොට මං මේ ප්‍රශ්ණ ඇහුවෙ ඇයි කියලත් වෙලවකට හිතෙනව. අපේ හිත් මහ පුදුමාකර විදියට හැසිරෙන්නෙ. 🙂

      කැමතියි

  9. Alchemiya says:

    සැටිපිකේට් ටෘත්..
    අපේ ස්වාමීන් වහන්සේලා බණ කියන්නෙ ඕඩියන්ස් එකට… නැත්තං පෝස්ටර් බෞද්ධයොන්ට…
    ධර්මය හදාරන ධර්මය විශ්ලේෂණය කරලා ගැඹුරින් ධර්මය හිතන මිනිස්සුන්ට බණ කියන්න මේ කට්ටිය දන්නෙ නෑ…
    ඒ වගේමයි… පෝස්ටර් බෞද්ධයො බොහොම ඉක්මනින් සැලෙනවා… තම්බියෙකුට බුදු පිළිමයක් ඉස්සරහ පඩයක් ගියත් උන්ට ඇති ඒක ෆේස් බුක් එකේ හරි ඊ මේල් එකක හරි දාලා රට පුරා යවන්න… නමුත් අපේම කට්ටිය ආගමට කරන දේවල් ගැන උන්ට පේන්නෙ නෑ…
    හැබැයි ඉතිං හොඳින් ජීවත් වෙන්න ආගමක් අවශ්‍යම නැහැ…. සියළුම ආගම්වල හරය එකයි… පසුකාලීනව එකතු වුන දේවල් නිසා තමයි ආගම් මූලික පරමාර්ථයෙන් අපගමනය වෙලා තියෙන්නෙ…
    නවම් හරි… මම ආගම ගැන ඇදලා නොගන්නෙ අපේ පෝස්ටර් බෞද්ධයොන්ට ඒක කොච්චර කියලා දුන්නත් අවබෝධ වෙන්නෙ නැති නිසා… ඕක ගැන හිතලා හිත අවුල් කරගන්න එපා… තමන්ට හොඳයි කියලා හිතෙන විදියට අනුන්ට කරදරයක් නැතිව ජීවත් වෙන්න… තමන් තමන්ව අදහන්න… ඒකයි යතාර්ථය

    කැමතියි

    • නවම් says:

      හපොයි මම නම් ඔය “මූණක් නැති සිංහල බෞද්ධයා” ගැන කතාකරන්න කැමති නෑ. උන් වපුරවන්නෙ වෛරය විතරයි.

      ධර්ම විශ්ලේෂණය ගැන නම් මටත් අපූරු අත්දැකීම් කීපයක් තියනව. මේ ඒකෙන් එකක්.

      දකුණු පළාතෙ ප්‍රසිද්ධ සේනාසනයකට අපි යාළුවො කට්ටියක් දානයක් දුන්න. ඉස්කෝලෙන් අවුට් වෙච්ච අලුතම. දානෙට කලින් අපිට බණක් එහෙම කියල ඔන්න භාවනා කරන්න උගැන්නුව කලේ මෛත්‍රී භාවනාව.

      ඒක පටන් ගන්න කලින් අපිට කිව්ව තමන්ගෙන් පටන් අරගෙන ටිකෙන් ටික මෛතිය පතුරුවන ප්‍රදේශය වැඩිකරල දුරක ඉන්න කෙනෙක්ට මෛත්‍රී කරන්න. එතකොට ඔබට වෙනසක් දැනෙයි කියල.

      භාවනාව අවසානයේ උපදෙස් දුන්න ස්වාමීන්වහන්සේ එකිනෙකාගෙන් අත්දැකීම් ගැන ඇහුව. කට්ටිය හෝ ගාල විස්තර කියනව. සමහරු කියනව පාවෙලා යනව වගේ දැනුන. සමහරුන්ට එලියක් පෙනිල තිබුන, තව තව අයට තව තවත් දේවල්. අනේ මටනම් මෙලෝ දෙයක් පෙනුනෙ නෑ. ඉතිං මං කිව්ව මටනම් කිසිම වෙනසක් දැනුනෙ නෑ කියල.

      ඊට පස්සෙ මෙන්න අර ස්වාමීන්වහන්සෙ කියාපි “ඔය ළමයට කිසිම භක්තියක් නැති කිසිම කෙනෙක්ට මෛත්‍රී කරන්න බැරි අධර්මිෂ්ඨ කෙනෙක්ය කියල”

      කැමතියි

  10. aayubovanda says:

    ප.ලි : මට මෙහෙම හිතෙන්න මගෙ මොකක්හරි අවුලක් නිසාද? එහෙමත් නැත්නම් තවත් අයට මෙහෙම හිතෙනවද ? ඒ හිතෙන අය ඒ ගැන ඔහේ හිතෙන්න ඇරල නිකන් ඉන්නව මිසක් හිතන්නෙ නැද්ද? හිතුනත් කියන්නෙ නැද්ද ?

    ඕව හිතනවට වඩා තව කොච්චර දේවල් තියෙනවද හිතන්න. චූටි මරැටියක්. සිරසෙ ලස්සන ගෙදර වගේ ගෙයක්.
    මේ ලඟදි මහාචාර්්‍යය ඩෙස්මන් මල්ලිකාරච්චි හොඳ ලිපියක් ලිපියක් ලියල නිබුන ඔය ගැන. ‘බුදුදහම- සදාචාර දර්ශනයක සිට දෘෂ්ඨිවාදයක් දක්වා’ කියල. රාවෙයෙ වෙන්න ඕන.

    කැමතියි

  11. sAm sRi says:

    සරලව කියන්නම් මචෝ මේක ධර්මය කැලෑ ගත වෙන කාලයක්. බුද්ධ දේශනාවේ විදිහට..

    හොද පෝස්ටුවක්. මත විසංවාද වලට හොදයි !

    කැමතියි

  12. X-Porter says:

    ගවයන් මරන්න එපා කියල උඩ පනින හාමුදුරුවරු මිනීමරන්න පිරිත් නූල් ගැට ගැහුව.සත්යක්‍රියා කරා…යුද්දෙට උල්පන්දම් දුන්න.සිවුර කරේතියංඩෙඟා නැ‍ටුව…මම දන්න හැටියට බුදුහාමුදුරුවො යුද්දෙට විරුද්දවෙලා අහන්නැති තැන වන වැදුන……මොන පිටකයෙද දන්නෙනෑ රටජාතිය ආගම වෙනුවෙන් මිනීමරපිය කියල තියෙන්නෙ.රට ජාතිය රකිපිය කියල තියෙන්නෙ…මම දන්න හැටියට බුදුන් ජාතිය,ජන්මය,කුලය ප්‍රතික්ශේප කලා……බුදු හාමුදුරුවො හොඳ වෙලාවට ඒ දවස් වලම පිරිනිවන් පෑවෙ… අද හිටියනං බෙල්ලෙ වැලදාගෙන හරි සයිනයිඩ් කාල හරි තමයි මැරෙන්නෙ මේ බුද්ධ පුත්‍රයො කරන විකුර්තිය දැකල…අහේතුකාලේන කජ්ජේන පූලං කිවුවලු. ආගම අබිං.සියලුම අදපවතින ආගම් කරන්නෙ පවතින ක්‍රමයට මිනිසුන්ව ගැටගහල තියෙන එක….අලුත් විදිහට හිතීම වලක්වන එක…. මිනිස්සුන්ගෙ නිර්මානශීලී චින්තනයට විලංගු දාන එක…අවිද්යාවෙ හිරකරල තියෙන එක.. යම්කිසි සමාජයක් කුමක් හෝආගමක් උත්කර්ශයට නංවනවනං ඒ සමාජය පසුගාමී සමාජයක්.

    කැමතියි

    • නවම් says:

      //ගවයන් මරන්න එපා කියල උඩ පනින හාමුදුරුවරු මිනීමරන්න පිරිත් නූල් ගැට ගැහුව.සත්යක්‍රියා කරා…යුද්දෙට උල්පන්දම් දුන්න.සිවුර කරේතියංඩෙඟා නැ‍ටුව//

      ඕක අද ඊයෙක පටන්ගනිපු දෙයක් නෙමෙයි. දු‍ටුගැමුණු යුධ වීරයෙක් කලේ මහාවංශෙන්. වෙන කිසිම රජෙකුට නැති තරම් විස්තරයක් [මම අහල තියන විදියට එහෙම නැතුව මම කියවල නෑ] ජාතික වීර හාමුදුරුවොත් ඉන්නෙ. ඔක්කොම ඇන්දිල්ලක්. ‍රැවටිල්ලක්. අපි හැමෝම අඩු වැඩි විදියට ‍රැවටිලා. සංවිදානාත්මක බුද්ධාගමට රජය අත්‍යාවශ්‍යයි පැවැත්ම තහවුරු කරගන්න. එතනදි කරන්න වෙන කැප කිරීම බොහොම භයානකයි. අප්‍රසන්නයි.

      කැමතියි

  13. ඔයා මෙහෙම ප්‍රශ්ණයක් මතු කරපු එක ගැන කනගා‍ටුවක් ඇති කරගන්න උවමනාවකුත් නෑ යාලු.ලැබිලා තියෙන ප්‍රතිචාර දිහා බැලුවම පේනවා මේ මාතෘකාව කවුරුවත් උපහාසයට ලක් කරලා නෑ කියලා.හිටි ගමන් ‘බුදු දහම ගැන නිවැරදි අවබෝධයක්’ ගන්න කියලා අපි ඒ ගැන ‘ගැබුරින් අධ්යයණය’ කොරන්න ගියොත් අපේ වැඩිහිටියොම කියාවි ‘මූ අපටත් හොරා ගංජා බීලද කොහෙද, මුගේ නහර කරවෙලා’ කියලා.එහෙම උනොත් ”අනිවා”ගෙදර උන්දැත් නැති වෙනවා.මට හිතෙන විධිහට එහෙම අවධානමක් ගන්නවට වඩා හොදයි,අපේ හිතට එකගව අපි හදාගත්ත රාමුවක ජීවත් වෙන එක.එතකොට ‘ටෙන්ෂන්’නෑ.උඩුගං බලා පීනනවට වඩා සරලයි.[මේ මම හිතන විධිහ.]

    කැමතියි

    • නවම් says:

      ඔව් සරත්. මම හිතුවට වැඩිය විමර්ශණශීලී අන්තවාදී නොවූ සංවාද ඔක්කොම. ඒ අතින් සතු‍ටුයි. මම හිතුවෙ මේක පබ්ලිෂ් උනාට පස්සෙ මට අල්ලං ගහයි කියල වචනවලින් හරි.

      //අපේ හිතට එකගව අපි හදාගත්ත රාමුවක ජීවත් වෙන එක.එතකොට ‘ටෙන්ෂන්’නෑ//

      ඔව් ආයාසයෙන් කරනවට වඩා මෙහෙම දෙයකට පෞද්ගලිකව මම වඩා කැමතියි.

      කැමතියි

  14. @තවත් අයකුට අවබෝධකරවන්න කලින් තමන් ඒ පිළිබඳව අවබෝධයක්, ප්‍රත්‍යක්ෂ භාවයක් ඇතිකරගැනීම වැදගත් නෙවෙයිද ?
    වෛද්‍ය පීඨයේ දේශකවරු සියලු දෙනා වෛද්‍යවරු නොවෙති.නමුත් වෛද්‍ය විද්‍ය‍ලයෙන් පිටවන් ශිෂ්‍යයන් ‍පිටවන්නේ වෛද්‍යවරු ලෙසය,(ඕනෑම විශ්ව විද්‍යාල ඕනෑ පීඨයකට මේ කතාව අදාලය)
    තව ටිකක් ඈතට යමු.උසස් පෙල භෞතික විද්‍යාව,රසායන විද්‍යාව ….. උගන්වන්නේ වෛද්‍යවරු හෝ ඉංජිනේරුවෝ නොවෙති.නමුත් ශිෂ්‍යයෝ වසර 6-7 කට පසු ඒ ඒ තත්ව වලට පත් වෙති.
    යම් දෙයක් වෙන අයෙකුට ඉගැනෟවීමට තමන් 100%ක් ම ඒ විශය පරතෙරට ගොස් තිබීම අත්‍යවශ්‍ය නොවේ

    කැමතියි

    • නවම් says:

      හොඳ තර්කයක්, මට මේකට දෙන්න තරම් පැහැදිලි පිළිතුරක් ගලපාගන්න බෑ. යම් තරමකට හෝ ධර්ම අවබෝධය තියන කෙනෙක්ට හෝ මට වඩා පුළුල්ව මේ දිහා බලන්න පුළුවන් කෙනෙකුට සාර්ථක පිළිතුරක් දෙන්න පුළුවන් වෙයි. මොකද ධර්මාවබෝධය ලැබීම උපාධියක් ලබා ගැනීමකට සමාන කරන්න බැරිකමක් මට දැනෙනව.

      සමාවෙන්න මගේ අදහස පැහැදිලිව සටහක් කරන්න මම අසමත්වීම ගැන.

      කැමතියි

    • arunishapiro says:

      ජයශ්‍රී,

      තවත් අයකුට අවබෝධ කරවන්න කලින් තමන් ඒ පිළිබඳව අවබෝධයක්, ප්‍රත්‍යක්ෂ භාවයක් ඇතිකරගැනීම වැදගත් .

      වෛද්‍ය පීඨයේ සිසුවන්ට ඉංග්‍රීසි උගන්වන්නෙ ඉංග්‍රීසි උපාධියක් තියෙන කෙනෙක්. වෛද්‍ය පීඨයේ දේශකවරු සියළු දෙනා වෛද්‍යවරු නොවුනට උගන්වන සියළු දෙනා ඒ ඒ උගන්වන මට්ටමට අවශ්‍ය වූ තරමින් ඒ ඒ විෂයය අවබෝධයක් ඇති අය. වෛද්‍යවරයෙක් බවට පත් වූ අයෙක් ද සියළු රෝග සුව කරන්න දන්නෙ නැහැනෙ. එයා දන්නෙත් ඉගෙන ගත්තු ප්‍රමාණය විතරයි. ප්‍රැක්ටිස් කරන්න ගියාම අත්දැකීම් වලින් එයාගෙ දැනුම තවත් වැඩිවෙනවා.

      ඕනෑම විශ්ව විද්‍යාලයක ඕනෑම පීඨයකට එය අදාලයි වගේ ම ඕනෑම විෂයයකට ඕනෑම වෘත්තියකට ද එය අදාලයි.

      හෝඩියෙ පංතියේ දී අකුරු කියවන්න උගන්වපු මිස්/සර් අකුරු කියවන හැටි අවබෝධයෙන් එය ඉගැන්වූ නිසා … උසස් පෙළ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව උගන්වපු අය ඒ අවබෝධයෙන් ඒවා ඉගැන්වූ නිසා …. ඒවා ඉගෙන ගත්තු අය ඒ ඒ කාලයේ එකතු කරගන්නා දැනුමට තව තව දැනුම එකතු කරගෙන තමයි අවසානයේ වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙන්නෙ.

      හෝඩියේ පංතියෙ මිස් අකුරු කියවන්න දන්නෙ නැත්නම් උගන්වන එක වැරදියි. උසස් පෙළ මට්ටමේ රසායන විද්‍යාව මොනවා ද කියලා අවබෝධයක් නැති කෙනෙක් එය උගන්වන එකත් වැරදියි …. අවබෝධයක් නැති දේවල් උගන්වන්න යෑමේ ලොකුම අඩුපාඩුව ඉගෙන ගන්න එන අය හිතනවා ගිරව් වගේ කියන ඒවා අවබෝධයෙන් කියන ඒවා කියල. ප්‍රශ්න අහනවා තමන්ට අවබෝධයක් ලබන්න. ඒත් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න දන්නෙ නැහැ.

      අවබෝධයෙන් යමක් වටහා ගත්තම කට පාඩම් කරලා නැවත වදාරනවාට වඩා ලොකු වෙනසක්. කටපාඩමින් පුළුවන් සීමිත ප්‍රශ්න වලට උත්තර දෙන්න. අවබෝධයෙන් පුළුවන් ඒ ගැන අහන ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙන්න.

      කැමතියි

      • ස්තුතියි අරුණි අක්කේ ,
        නමුත් මා කියන‍්නේ මෙයයි.බුදු දහම තුල ගෝලයාට ගුරුවරයා පසුකර යාමේ ඉඩ ලබාදී තියෙනවා.මාර්ගඵල නොලබපු කෙනෙක් ගෙන් ධර්මය අසා ඒ ඔස්සේ ශ්‍රාවකයාට මාර්ගඵල ලැබීමේ හැකියාව වුනත් තියෙනව(ඇත්ත මෙහිදී ශ්‍රාවකයා ගේ උත්සහය අත්‍යවශ්‍යයි).ඒ සිද්ධීය තමයි මම වෛද්‍ය විද්‍යාලයට apply කළේ.තමවහන්සේ ලද බුද්ධත්වයට ද වෙනත් අයෙක්ට පත්විය හැකි බව බුදුන්වහණසේ දේශනා කළා.

        කැමතියි

        • arunishapiro says:

          ජයශ්‍රී,

          ඔව් ඔබ හරි ජයශ්‍රී මල්ලි- බුදු දහම තුල ගෝලයාට ගුරුවරයා පසුකර යාමේ ඉඩ ලබා දී තියෙනවා.

          සිද්ධාර්ථ ගෞතම නොයෙක් ගුරුවරයන් වෙතින් ධර්මය ඉගෙන ගත්තා. ඒවා අතරින් ගන්නේ මොනවා ද නොගන්නේ මොනවා දැයි තීරණය කරමින් ඒ ඒ ගුරුවරුන් කියා දුන් දේ තමන් අවබෝධයෙන් ඒ දහම් ඉක්මවා ගිහින් තමන් විසින් අවබෝධ කරගත් ධර්මයක් ලොවට කියා දුන්නා.

          ඒත් ගිරව් වගේ යමක් කියාදෙන කෙනෙක් … අද පංසල් වල විතරක් නෙමෙයි පාසැල් වල හා විශ්ව විද්‍යාල වලත් වැඩියෙන් ඉන්නේ එහෙම අය … තමන් අවබෝධයෙන් තොරව විභාගය පාස් කරන්න මෙහෙම ලියන්න කියන අය .. වෙතින් ලැබෙන දැනුම සීමිතයි. තම දැනුම වැඩි කරගන්න ප්‍රශ්න අහන අයට උත්තර දෙන්න ඔවුනට හැකියාවක් නැහැ. එහෙම ප්‍රශ්න අහනවාටත් අකමැතියි. ඒ නිසා වැඩියෙන් ඉන්නෙ අවබෝධයෙන් තොරව නොදන්නා යමක් දන්නවා ලෙසින් ඊ ළඟ පරම්පරාවට පාස් කරන අයයි. අවසානයේ වෙන්නෙ ගිරව් ටිකක් ඉතිරිවෙන එක මිසක් අවබෝධයක් ඇති අය බිහිවීම නෙමෙයි. එහෙම වාතාවරණයක දී ගෝලයාට ගුරුවරයා පසුකර යෑමට දැනුම තුලින් අවබෝධයක් ලැබෙන්නේ නැහැ. හැමෝම එකම තැන.

          කැමතියි

  15. අවුලක් අවුලක්. ලොකුම ලොකු අවුලක්. ප්ලේටෝගේ ගුහාවේ දම්වැල් වලින් හදිසියේ මිදුන සිරකරුවෙක්. http://menik-p.blogspot.com/2012/01/blog-post_07.html
    මැණික්

    කැමතියි

  16. නවමෝ, උඹට කරන්න තියෙන හොඳම දේ තමා.. ඕනේ ආගමක ඕනේ එකෙක් ඕන මඟුලක් කරගත්තාවේ කියල උඹේ හිත ඇතුලේ මේ මොහොතේ වෙන්න මොකද කියල අවධානෙන් ඉන්න එක.. එහෙම ඉන්න කොට එක වෙලාවක උඹට තේරෙයි ඇත්තටම වැදගත් දේ මොකක් ද කියල…ඒක ඔය මොකකටවත් අයිති නැති අපි හැමෝම ගාව හැමදාම තිබිච්ච අපූරු දෙයක් විදියට දැනෙයි.. ඊට පස්සේ ඔයවගේ දේවල් ගැන වොරි වෙන එක ටික ටික අඩුවෙලා යයි..

    කැමතියි

  17. // බුද්ධාගම කියල මේ මතුපිටින් පේන දේ ගැන කැමැත්තක් නම් ඇත්තෙ නෑ. ඒ වගේම යටින් තියන දේ ගැන අවබෝධයකුත් නෑ.
    මට නම් තේරෙන විදියට අයියේ ගැටළුව තියෙන්නෙ ඔන්න ඔතන… ඇයි දන්නවද? ඒ ගැන අවබෝධයක් නැතිනිසා. ස්වාමින් වහන්සේලා ඔය විදියට අවබෝධයකින් තොරව බණ දෙශනා කරන එක වැරදියි නම් අපි මේ ගැන කතා කරන එකත් තරමක් ගැටළුසහගතයි නේද…වචන හරඹයක් නම් නෙවෙයි. (තරහ වෙන්නෙපා අයියේ මම එහෙම කියනවට ). බුද්ධ කාලයේ සමහර ස්වාමින් වහන්සේලා හිටියා එතරම් ප්‍රසිද්ධ නැති. මිනිස්සු දන්නෙ නෑ මේ රහතන් වහන්සේ නමක්ද කියලවත්. නමුත් උන්වහන්සේලා ධර්මය දේශනා කළා, මිනිස්සු ධර්මය අවබෝධ කරගත්තා. උදාහරණයක් විදියට අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේ ගත්තොත් උන්වහන්සේ කාලයක් යනතුරු ම සෝවාන් ඵලයේ විතරයි පිහිටලා හිටියේ. නමුත් උන්වහන්සේ නිවන කියන එක අවබෝධ කරලා තිබුණේ නැහැ. එහෙම වෙලත් බුදුරජාණන් වහන්සේ වෙනුවට ඇතැම් වෙලාවට උන්වහන්සේ ධර්මය දේශනා කළා. අනිත් කාරණය තමයි ඔය බණ කියන ස්වාමින් වහන්සේලා විවේචනය කිරීම ගිහියන් වන අපේ කාර්යයක් නෙවෙයි නේද? උන්වහන්සේලා කියන දේවල් උන්වහන්සේලා ගෙනයාවි. අපි ඒ දේවල් වල සත්‍ය/අසත්‍ය බව ගැන හරියටම නොදැන විවේචනය කරන්න ගියොත් අකුසල් රැස්වෙන්නෙ අපිටමයි නේද? අනිත් එක ඊටත් වඩා ස්වයං විවේචනය කරගතයුතු වැරදි ගොඩක් අපි ළඟත් ඇති. අපිට ඒ කියන දේවල් ගැන සැකයක් තියෙනවනම් අපි කරන්නෝන නුවණින් විමසලා බලන එකයි. ඒකට උදව්වට තවමත් පිරිසිදු ත්‍රිපිටකය අපි ලඟ තියෙනවානේ. බුදුරජාණන් වහන්සේ වුණත් දේශනා කළේ සැකයක් තියෙනවනම් ධර්මය, විනය දෙකේ බහා බලන්න කියලනේ.
    …// ඊට වඩා බොහෝමයක් එහාට ගිහිල්ල ඇතිය කියල හිතන ස්වාමීන්වහන්සේලා ඉන්න තැනකට මම මීට මාසෙකට විතර උඩදි ගියා. අයියා එහෙම හිතනවා නම් ඇයි එතනින් වත් බුදුදහම අවබෝධ කරගන්න උත්සහ කරන්නේ නැත්තේ? මොකද මේ අවබෝධය කියන දේ දැනටත් වඩා අපිට වැදගත් වෙන්නේ අපි දන්නවනම් මේ සසර කියන දේ කොයිතරම් නම් භයානක ද කියලා දන්නවනම්. කවුරුහරි හිතනවනම් මේ ඉන්න ටිකේ උප්පැන්න සහතිකයේ ලියන්න ආගමක් විදියට බුද්ධාගම ඕන කියලා, එයා තමයි රැවටිලා තියෙන්නෙ. තවමත් පිරිසිදු ධර්මය ගැන ලියැවුණු පොත්පත්, ස්වාමින්වහන්සේලා ඉන්නවා. ඒ නිසා තවමත් ප්‍රමාද නෑ මම හිතන්නෙ. ටිකක් හරි ධර්මය ස්පර්ශ කරලා බලන්න, එතකොට ඔය තියෙන ප්‍රශ්න ගොඩක් නැතිවෙලා යාවි. අයියා තරහා වෙන එකක් නෑ මම හිතන්නේ මෙහෙම කිව්වට. වෙලාවක් තියෙනවනම් http://www.yeslahiru.blogspot.com/2012/04/blog-post.html සබැඳියට ගිහින් බලන්න.

    කැමතියි

    • arunishapiro says:

      ලහිරු,

      //උදාහරණයක් විදියට අග්‍ර උපස්ථායක ආනන්ද ස්වාමින් වහන්සේ ගත්තොත් උන්වහන්සේ කාලයක් යනතුරු ම සෝවාන් ඵලයේ විතරයි පිහිටලා හිටියේ. නමුත් උන්වහන්සේ නිවන කියන එක අවබෝධ කරලා තිබුණේ නැහැ. එහෙම වෙලත් බුදුරජාණන් වහන්සේ වෙනුවට ඇතැම් වෙලාවට උන්වහන්සේ ධර්මය දේශනා කළා.//

      ආනන්ද තෙරණුවන් බුදු රජාණන් වෙනුවට ඇතැම් වෙලාවට ධර්මය දේශනා කළා යැයි සඳහන් වෙන්නේ කොතැන ද?

      ආනන්ද තෙරණුවන් පළමුවැනි ධර්ම සංගායනාවේ දී බුදුන් කියූ දහම වඩාත්ම මතකයේ තබාගත් අය හැටියට කටපාඩමින් කියන දේ තමයි පසුව සුත්ත පිටකයට එකතු වූයේ යැයි සටහන් වෙන්නේ. අර්හත් නොවෙච්ච නිසා ආනන්ද තෙරණුවන්ට පළමු ධර්ම සංගායනාවට සහභාගී වෙන්නටත් ඉඩ දෙන්න අකමැති වූවා යැයි සඳහන් වෙන්නෙ.

      කැමතියි

      • බුදුරජාණන් වහන්සේ වයස්ගත වනවිට , දම්සභා මණ්ඩපයේ ධර්මය දේශනා කරන ඇතැම් අවස්ථා වල “ආනන්දය මට වෙහෙසයි ” යනුවෙන් ප්‍රකාශ කරලා ඉතිරිය ආනන්ද ස්වාමින් වහන්සේ ට පැවරූ අවස්ථා ධර්මයේ සඳහන් වෙනවා. ඒවගේ ම තවත් අවස්ථා වල තියෙනවා බුදුරජාණන් වහන්සේ, භික්ෂුණීන් වහන්සේලා සඳහා ධර්මය දේශනා කරන්නට සෝවාන් ඵලයේ පිහිටි ආනන්ද ස්වාමින් වහන්සේ ව යොමු කළ අවස්ථා. එතකොට අනෙක් අය අහනවා එතකොට උන්වහන්සේට කාමරාඝය හටගන්නෙ නැද්ද කියලා, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට ආනන්ද ස්වාමින් වහන්සේ සසරේ පුරුද්දක් වශයෙන් කාමරාඝය දුරු කළ කෙනෙක් නිසා එහෙම වෙන්නෙ නැහැ කියලා. නමුත් හරියටම නම් වශයෙන් මේ සියල්ල සඳහන් වෙන තැන් ගැන කියන්න බැරිවීම ගැන කණගාටුයි. මම හිතනවා ඒක ඒ තරම් ප්‍රායෝගික නැති බව පිළිගනීවි කියලා. අනිත් කාරණය ඒ ධර්මය නිවැරදිව දරාගත්ත නිසා තමයි බුදුන් ජීවමාන ව ඉද්දිත් ආනන්ද ස්වාමින් වහන්සේ ට අග්‍රස්ථාන 3-4ක් පමණ ලැබුණේ. ඒ නිසා ඒකට අර්හත් බව ඒතරම් වැදගත් වුණේ නැහැ.
        …ආනන්ද තෙරණුවන්ට පළමු ධර්ම සංගායනාවට සහභාගී වෙන්නටත් ඉඩ දෙන්න අකමැති වූණත් ආසන 499ක් පමණයි පැනෙව්වේ 500 වෙනි ආසනය ආනන්ද ස්වාමින් වහන්සේ ට ඉතිරි කරලා. කලින් දා රාත්‍රියේ උන්වහන්සේ අර්හත් බව සාක්ෂාත් කළ එක වෙනමම කරුණක්.
        … //ආනන්ද තෙරණුවන් පළමුවැනි ධර්ම සංගායනාවේ දී බුදුන් කියූ දහම වඩාත්ම මතකයේ තබාගත් අය හැටියට කටපාඩමින් කියන දේ තමයි පසුව සුත්ත පිටකයට එකතු වූයේ යැයි සටහන් වෙන්නේ.
        …අයියා හිතනවද එහෙම කටපාඩමින් රැගෙන ආ දෙයක් නිසා මේ වෙනකොට ධර්මය වෙනස්වෙලා ඇති කියලා?

        කැමතියි

  18. . නවම් හරි.. උගුරට හොරා බේත් කන ඒකෙ තේරුමක් නැහැ.. කුකුල් මස් මාළු කන ගමන් ගව ගාතනය නතර කරන්න කෑ ගැසීමේ ඇත්තේ තමුන්වත් අනුන්වත් රැවටීම විතරයි.. මම සැබෑ විදිහට ධර්මය ශ්‍රවනය කලේ ලංකාවෙන් පිටදී.. ඒ මොකද ලංකාවේදී හැමදාම කියන දානානිසංස වගේ දේවල් හැරුනුකොට බුදු දහමේ අන්තර්ගත හරය දේශනා කරන්න පුළුවන් හිමිවරුන් විරලයි.. එහෙම දේශනාකරන්න නම් පොත් පත්වලින් ලද දැනුම විතරක් මදි.. භාවිතයෙන් වැඩිදියුණු කරගත්ත දැනුම තියෙන්න ඕනා. එහෙම අවබෝධයක් තියෙන්නේ භාවනානුයෝගීව මනස දියුණු කරගත්ත හිමිවරුන්ට පමණයි.. ධර්මය එහි පස්සික වෙන්නේ එහෙමයි.. තමුන් ඇසීමෙන් නොව අවබෝධයෙන් දැනගතයුතු නිසයි.

    කැමතියි

  19. S.R. says:

    බුද්ධ ධර්මය ගැන දන්නෑ කියකිය ඒ ගැන විවේචන කරන්න ඔහේට තියෙන අයිතිය මොකක්ද ? ඔක්කොටම කලින් බුදුදහම හදාරල ඉන්නව . බුදුදහම “ඒහිපස්සිකෝ” කියන්නෙ ඒකයි .

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: