හොඳම කොන්දොස්තර සමඟ මැණික, වස්තුව, පැටියා ඇතුළු තවත් කතා

මෙන්න අර කලින් පෝස්ට් එකේ අන්තිමටම කියනව කියාපු හොඳම කොන්දොස්තරගෙ කතාව

මම ඉස්සෙල්ල කිව්වනෙ අපි ගියා කියල අමන්දොළුව – බේස්ලයින් පාරෙ නීතක්කලගෙ බෝඩිමට. අන්න එදා ඉඳල හැමදාම උදේට අපි මේ අනර්ඝ මගී ප්‍රවාගන සේවයේ තමයි යන්නෙ එන්නෙ. අපි යන එන වෙලාවල් වෙන්නෙ උදේ හයයි තිහයි හතත් අතරෙයි ආයෙම හැන්දෑවෙ හතයි අටයි අතරෙ වගේ තමා. මතක හැටියට ඒ පාරෙ බස් වැඩ කලෙත් ඒ වගේ වෙලාවල් වල විතරයි වගේ. ඒ අතරෙ ඕන නම් පැයකට එකක් එහෙ මෙහෙ යන්න ඇති.

බස් විතරක් නෙමෙයි ඔය පාරෙ තියන කඩවලුත් ඇරෙන්නෙ ඔය ඩියුටි ඕෆ් වෙන වෙලාවල් වලට විතරයි. දවාලට ලෑලි දාල වහල තියෙන්නෙ. කොටින්ම දවල් කාලෙට ඔය පාර හරියට අර කව්බෝයි පිචෑර්වල තියන පාළුවට ගියපු දූවිලි පිරිච්ච ටවුමක පාරක් වගේ. ගිණි කාස්ටක අව්වෙ ඇවිස්සෙන දුවිලි හුළඟින් ඒ ගතිය තවත් වැඩි වෙනව.

හැබැයි උදේ හතට විතර හරි හැන්දෑවෙ හතරෙන් පස්සෙ හරි ගියානම් හිතාගන්න බැරිවෙනව මේ ඊයෙ දවාලෙ දැක්කෙ මේ පාර ද කියල ඒ තරමටම වෙනස්. ඇඳුම් කඩවල්, කෑම කඩවල් ඇරල කෙල්ලො කොල්ලො පිරිල. වැඩට යන ගමන් කොල්ලො එහෙම ඒ දුවනගිරි කඩවල් ඉස්සරහට වෙලා තේ යාර දානකල් බලාගෙන ඉන්නව.

තව තැනක කීපදෙනෙක් ප්ලේන්ටියයි සිගරට් එකයි අතේ තියාගෙන ලොකු කතාවක්. ඒ අස්සෙ ඉන්නව ලොකු ලොකු ජපන් බයිසිකල් තියාගත්තු ආම් කට් ඇඳපු අයියලත්. ඒ ඉන්නෙ ඉතිං තම තමන්ගෙ ගෑණු ළමයි මුනගැහිල එදා වේලට කීයක් හරි හොයාගන්න.

මොකක් ?

ඕව් එදාවේල හොයගන්න ! කොන්දොස්තරගෙ කතාව පැත්තක තියල ඒ ගැන කියල ඉන්නම්.

ඔය පැත්තෙ ඉන්නව සමහර එවුන් උපන්තේකට රස්සාවක් නොකරපු, ඒත් රස්සාවක් කරන උන්ටත් වඩා ජැන්ඩිපහට ජීවත් වෙන. උන්ගෙ ආදායම් මාර්ගය උන් යාළුවෙලා ඉන්න කෙල්ලො. කෙල්ලො කියල බහුවචනෙන් කිව්වෙ ඇත්තටම එතන “බහු” සීන් එකක් තියන නිසා. එක කොල්ලෙක්ට අඩුම තරමෙ කෙල්ලො තුන් දෙනෙක්වත් ඉන්නව. මුලින්ම අපි හිටපු ගෑණු බෝඩිමෙ අල්ලපු වැටෙත් හිටිය එහෙම එකෙක්.

මට හොඳටම මතකයි අපි මුලින්ම ගෑණු බෝඩිමට ගිහිල්ල සති දෙකකින් වගේ තමයි වැලන්ටයින්ස් ඩේ එක ආවෙ. ඒ සති දෙකට අල්ලපු වැටේ භෘංගය අපිත් එක්ක ‍ෆිට් උනේ දුං දාන්න උගෙන් ලයිටරේ ඉල්ලලමයි. ඌ බැළුවොත් ඇත්නං තඩි බයිසිකලේ අරං බෝඩිම ඉස්සරහ පාරෙ එහීට යනව මෙහාට යනව. අපි ලයිටරේ ඉල්ලන සුනංගුවෙන් මිනිහ ඒක දෙන්නෙ බෝඩිම ගාව බයිසිකලේ නවත්තන්න ඒක හොඳ හේතුවක් නිසා වෙන්න ඇති. [අහන්න එපා ඉතිං ඇයි අපිට ලයිටරයක් තියාගන්න බැරි උනේ කියල. මේක උනේ ඉඳල හිටල විතරයි, ඒ ටික දවසට තමයි මේකව ‍ෆිට් උනේ]

එක දවසක් උදේ අපි වැඩට යනකොට අපේ පස්සෙන් පන්නගෙන ආපු බුවා, මචංලා මෙන්න මේක උඹලට කියල දුන්නෙ නැද්ද විසාල චොක්ලට් පෙටියක්. ගාල්ලෙදි නං ඒ සයිස් පෙට්ටියක් දැකලම තිබුනෙ නෑ. අම්මේ ඒකෙ විසාල. ඒ මදිවට ප්ලාස්ටික් නැට්ට තියන රෙදි වලින් හදාපු රතු රෝසමලකුත්. ඒකෙ පෙති වල වතුර බින්දු වගේ මුතු ඇටද කොහේදත් අලවල තිබුන. [ඔය මල ගෑණු බෝඩිමේ කාමරේ දොරේ ගහල තිබුන කාලයක් යනකල්ම]

කොල්ලොන්ට කොල්ලෙක්ගෙන් චොකලට් !!!!

අපේ භිරන්ත වෙලා තිබිච්ච මූණු දැකලද කොහෙද බුවා කියාපි, ඕක මට දැන් හම්බු උනේ බං. උඹල ඕක කාපල්ල කියල.

එතකොට අයියට ?

හපොයි බං මට හවසට තව දෙකක් එන්න තියනව. ඔයාකාර චොකලට් කන්නෙ ඇකැක් කාටෙයි කියල බරාස් ගාල හරවං ගියා.

පස්සෙ දැනගත්තු විදියට ඒක මෙහේ සාමාන්‍ය දෙයක්.

ඔන්න ආයෙම කොන්දොස්තර කතාවට,

නීතක්කලගෙ බෝඩිමේ ඉඳල මුලින්ම වැඩට යන දවස. උදේ හය හමාරට විතර ගියා හන්දියට. එතනින් තමයි බස් ඇවරිවත්තට යන්න පටන්ගෙන්නෙ. උදේම හන්දද කොහෙද අපි යනකොට දෙතුන් දෙනයි හිටියෙ. ඒත් කෙල්ලො. අපි උන්ව පහුකරගෙන ගිහිල්ල පිටිපස්සෙම සීට් එකේ දොර පැත්තෙ මුල්ලෙ වාඩි උනා. එකා දෙන්න ඇවිල්ල බස් එක පිරෙනව. වැඩේ කියන්නෙ බස් එකේ සීට් ඔක්කොම වගේ පිරුනත් පිරිමි පරාණ දෙකකට කියල ඉන්නෙ නාලකයයි මායි ඉතරමයි. ඒ ඉන්නෙත් පෙම් මුළු දෙකෙන් එකක.

හිතාගන්නවලකො කෙල්ලො විතරක් පිරිච්ච බස් එකක පෙම් මුල්ලෙ ඉන්න කොල්ලො දෙන්නෙක්ගෙ ඛේදනීය තත්වය !!!

හොඳ වෙලාවට ඊලඟ විනාඩියෙ බස් එක යන්න පටන් ගත්තෙ. ජනේලෙ කපාගෙන එන හුලං පාරත් එක්ක අපේ ඛේදනීය තත්වයත් ගහගෙන ගියා වගේ.

තව පොඩ්ඩෙන් අමතක වෙනව කියන්න, මේ අර තනි දොරේ පාං බාග වගේ රෝසා බස්. මළකඩ ගොඩ. ඒවයෙ හැම තැනින්ම සද්ද එනව හෝන් එකෙන් ඇරෙන්න. සමහර ඒවයෙ ඇතුලට අව්වත් වැටෙනව වහලෙන්.

ඊලඟ හෝල්ට් එකෙන් දුවගෙන ඇවිල්ල දොරේ එල්ලිච්ච එකෙක් “හා හරේ යාං” කිව්ව. බැලින්නං ඒ අපේ කතානායක කොන්දොස්තර. බස් එක හෝල්ට් එකක්ම ඇවිල්ල තියෙන්නෙ කොන්දොස්තර නැතුව.

“හා කෝ බලන්න මගෙ චූටි පැටව් ටික සල්ලි ගන්න බලන්න”

තාලෙට ඇදල පැදල කියපු කොන්දොස්තර ඉස්සරහ ඉඳල සල්ලි එකතු කරන්න පටන් ගත්තෙ.

මූණ පුරාම තඩි කුරුලෑ වලව තියන කළුම කළු කොන්දොස්තර අර ගෑණු ළමයි ලඟට ගිහිල්ල එහෙම කියනකොට මගෙ නං බඩ දඟලන්න පටන්ගත්ත.

“අනේ මයෙ මැණිකෙ කෝ මාරු රුපියලක් දෙන්න රත්තරං”

අනේ ඉතිං අර කෙල්ලත් පර්ස් එක කූරු ගාල රුපියලක් කොහොමහරි හොයල දෙනව මුකුළු හිනාවකුත් එක්ක.

ඔන්න බස් එක නවත්තනව හෝල්ට් වල, ඒ හැම තැනකම ඇහෙන්නෙ මෙන්න මෙහෙම වචන තමයි,

“කෝ මයෙ වස්තුව ඔතනින් පොඩ්ඩක් ඉස්සරහට යන්න”

“මයෙ අම්ම පෝඩ්ඩක් අනිත් පැත්ත හැරුනොත් තව එක්කෙනෙක්ට ඇතුලට යන්න පුළුවන්”

“කෝ මේ ඔය මැද ඉන්න බට්ටි, පොඩ්ඩක් එහාට වෙන්න රං”

“අනේ සුදු මැණිකෙ ඔන්න ඔය පඩියත් උඩට නඟින්නකො, නැත්නං මං බිම”

හෙහ් කොහොමද වචන සැට් එක, ආයෙ මෙහෙම කිව්වම පස්සට වෙලා, හරස් වෙලා, පැත්ත පෙරෙළිලා, ඇඹරිලා, නැමිල ඉඩ දෙන්න හිතෙන්නෙ නැත්තෙ කාටද නේද ?

කොන්දොස්තරගෙ වචනෙ බලේ බලන්න ඕන නම් ඇවරිවත්තෙන් බස් එක නැවැත්තුවම බහින සෙනඟ කන්දරාව දකින්න ඕනෙ. 138 රූට් එකේ දොර දෙකේ බස් එකක ලෝඩ් කරන තරමටම සෙනඟ.

සැ.යු :
ඔය වෙලාවට ඔය බස් වලට නඟින්නේ වෙළඳ කලාපයේ වැඩකරනා අය පමණක්ය ඒ අයගෙනුත් සීයට හැත්තපහකටත් වඩා ගෑණු ළමයින් ය. එහෙයින් ජැක්සන්ලා මෙහි ඇත්තේම නැති ගානය. ඒත් කොන්දොස්තර අයියා නං හත් අට වංගියක්ම බස් එක ඇතුලේ එහාට මෙහාට යයි ය !!

Advertisements

34 Responses to හොඳම කොන්දොස්තර සමඟ මැණික, වස්තුව, පැටියා ඇතුළු තවත් කතා

  1. Gold fish says:

    කොන්දොස්තර කෙනෙක් වීමේ භාග්‍යය අත්විඳිනව වෙන්ටෑ….

    කැමතියි

  2. ඇවරිවත්ත කියන්නෙ අරුම පුදුම ටවුමක්. කෝමද කටුනායක කෑම්ප් එකේ කොල්ලොයි, බොලාගේ ගැල්ලමයි සෙට් එකයි එක වෙලාවෙ ටවුමට බැස්සම…. කඩල කාරයින්ගේ බේසං කීයක් බිම පතබෑවිලා ඇද්ද? ඔවා නරඹන්න ගිහිල්ලා. හෙහ් හේ….

    කැමතියි

  3. උඹ මේ ඇත්තමද බං කියන්නෙ. මට නම් අදහගන්නත් බෑ කතා දෙකම!! සත්‍යය ප්‍රබන්ධයට වඩා විශ්මයජනක වෙච්ච වෙලාවක්ද මේ?
    henryblogwalker the Dude

    කැමතියි

    • නවම් says:

      හෙහ් හෙහ්.. උඹල ඇවරිවත්ත පැත්තෙ ඇවිල්ල නැතුව වෙන්ඩැ ඔහොම කියන්නෙ. ඒක අමුතුම ලෝකයක්. ඒරියා 51 එහෙම නැත්නම් බර්මියුඩා ට්‍රෑන්ගල් වගේ.

      අහල තියනවද කුකුල් දැල් ගහල හදාපු පෙට්ටි කාමරවල චීත්ත රෙදි එල්ලල හිල් වහගෙන රෑට නිදාගන්න ගෑණුළමයි ගැන, එහෙම නැත්නම් ගමේ ඉන්නකොට බෝපැල වගේ අය මෙහේ ලිවින් ‍ටුගෙදර්, එහෙමත් නැත්නම් ගෙදරට එකක් කියල මෙහේ තව දෙයක් කරන අය ගැන එහෙම. දන්නවද මම ඒ කාලෙ වැඩ කරපු තැන පුස්තකාලෙ තිබිච්ච මල් පත්තර සේරම අහක් කරල ජීවත්වෙන්න උගන්වන පොත් පත් දැම්ම කියල. [කීදෙනෙක් ඒව කියෙව්වද කියලනම් දන්නෙ නෑ]

      මේ කියන අත්දැකීම් ලැබුවෙ මීට අවුරුදු නමයකට දහයකට කලින්. දැන් නම් එහෙම නැතුව ඇති කියල හිතනව.

      ප.ලි : හෙන්රි අයියට පුදුම හිතුනට මම නම් ඒ අවුරුද්දක වගේ කාලෙ පුදුම කළකිරීමකින් හිටියෙ. [ඒ කළකිරීම කවුරු ගැනද කියල අදටත් හිතාගන්න බෑ]

      කැමතියි

  4. ඔය කොන්දොස්තරයා සැහෙන්න කෙට්ටු ඇති.. මලේ ඔය ජපන් බයික් අරන් කෙල්ලෝ තුන් හතරදෙනා අල්ලන් උන්ගෙන යැපීම නම් ලෝකේ පරණම ගෑනු රස්සාව වෙච්ච ඇඟ විකිණීමටත් වඩා තුච්චයි.. ඕක අර අසරනයින්ව සුරා කෑමක්නේ ..

    කැමතියි

    • නවම් says:

      ඔව් ඔව් මිනිහත් මං වගේ පතුරක් තමා. 😀

      බයිසිකල් අයියල ගැන නම් කියන්න තියෙන්නෙ උන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න එවුන් වගයක් කියල. උන් එහෙමයි කියල ඒ ගෑණුළමයි නොදැන ඉන්න විදියක් නෑ. ඒත් ඒ ගෑණු ළමයින්ව උදේ ෆැක්ටරි වලින් ගිලහෙන හවසට හපකරල එළියට දාන ජීවිතේ ඒකාකාරී ගතිය මකාගන්න වෙන ක්‍රමයක් නැතුව ඇති [මේක හැමෝටම අදාල වෙන්නෙ නෑ. ඒත් දහස් ගනනක් අතරෙන් ඒ වගේ අය නෑ කියන්නත් බෑ]

      කැමතියි

  5. රාජ් says:

    බොරු කියල හිතන්න බෑ. මේව ඇත්ත තමයි. කොන්දොස්තර රස්සාවත් නරක නෑ.

    කැමතියි

  6. මේක කියවලා ඉවර උනාම මට මතක්වුනේ අයියේ මගේ මිත්‍ර කොන්දොස්තර කෙනෙක් කියපු කතාවක්….

    “ජැක් ගහන්න පර්මිෂන් තියෙන එකම ජොබ් එක මේක….”

    කතාව ඇත්ත මූ ජැක් ගහනවා විතරක් නෙමෙයි හොඳට අත පත ගාගෙනත් යනවා එක්කෝ කෙල්ලොන්ට ලාදුරු නැත්තම් මූ කොන්දා නිසා සැකක් නොහිතනවා ඇති…..

    //හිතාගන්නවලකො කෙල්ලො විතරක් පිරිච්ච බස් එකක පෙම් මුල්ලෙ ඉන්න කොල්ලො දෙන්නෙක්ගෙ ඛේදනීය තත්වය !!!//

    මේක මැවිලා පෙනුනා පට්ට හිනා…

    හැබැයි ඉතින් මේ කතා කරන විදියට කතා කරන කෙල්ලෙක්ව කොන්දොස්තර වරියක් කරලා බස් එකකට දැම්මොත් කවුරුත් මුකුත් කියන එකක් නෑ බස් එකට බස් 4ක් 5ක කට්ටිය ලෝඩ් කරත්

    කැමතියි

  7. ඉස්සර අපේ පන්තියෙත් ඔය වගේ අනංගයෙක් හිටියා. වැලන්ටයින් දවසට චොක්ලට් වැහි වැහැලා පන්තියෙ. ඌට හම්බෙන ඒවා අපිත් එක්ක බෙදාගෙන කනවා.

    ආ අපේ සජිත්ලෑ ගෙවල් තියෙන්නෙත් ඔය කිට්ටුව. සීදූවෙ.

    කැමතියි

  8. X-Porter says:

    බලන්න අහිංසක දුප්පත් ගෑනු ලමයින් වගේම අර එදාවේල හොයාගන්න දුප්පත් කොල්ලොන්ගෙ තත්වේ….. ඇයි මිනිස්සු මේ තත්වෙට වැටෙන්න හේතුව…ඒ අයට තමන් ඉන්න තත්වෙ තේරුම් ගන්න අධ්‍යාපනයක් දැනුමක් තිබ්බනම්…..අදටත් ඔය තත්වෙ වෙනසක් නෑ ඊට වඩා කුජීතයි… ජරාජීර්නයි….. නමුත් අසින්කරල වහල තියෙන්නෙ….

    අදත් හොඳට හිනාවෙලා නතර නොවී හිතන්න ඕන කතාවක් කිවුවට ස්තූතියි..හරියට චාලි චැප්ලින්ගෙ කොමඩි වගේ… ඇත්තටම ඉස්සෙල්ලා බඩ පැලෙන්නෙ හිනාවෙලා ඒක ගැන හිතුවට පස්සෙ අඬෙනව…..

    ඔයිට වඩා එහාගිය තත්වයක් මෙහේ ලංකාවෙ ගෑනු මිනිස්සු අතර තියෙන්නෙ….ඔයාකිවුව වගේ කලකිරෙනව ඒ මෙහේ ඉන්න මිනිස්සු ගැන නෙමයි ඒ ජීවිත මෙතෙන්ට ඇදල දාපු ක්‍රමය ගැන… සහ ඒකට කෙලින්ම හෝ වක්‍රව උල්පන්දම් දීපු අපි ගැන….

    කැමතියි

  9. අපි හිනා උනත් ඊට යටින් තියෙන්නේ දුක හිතෙන කතාවක් වගේ නේද යාලු.අපේ රටේ ආර්ථිකයයට උරදෙන එක්තරා පිරිසක්. ඒ අයත් අපේම නේද..? ඒත්….. නෑ වැඩක් නෑ යාලුවේ. අපි කතා කොලාට මේ කෙරේමේ වෙනස් වෙනවා කියලැයි. ජය…!

    කැමතියි

    • නවම් says:

      කතා කිරීමෙන් ක්‍රමයක් වෙනස්වීමට එක‍රැයකින් දායකත්වයක් නොලැබුනත් සංවාදයන් හරහා ඒ දේ නොදැකපු කිහිපදෙනෙක් හරි ඒගැන හිතන්න යොමු වීම වටිනව. මොකද සමාජය කියන්නෙ අපෙන් වෙන් වෙච්ච දෙයක් නෙමෙයි. අපි හැමෝගෙම එකතුවක්. අපි වෙනස් නොවී සමාජය වෙනස් කරන්න හදන එක කිසිසේත්ම ප්‍රායෝගික නෑ සරත්. මම විශ්වාස කරන්නෙ මගේ දැක්ම වෙනස් උනොත් මගෙ පොඩි එකාගෙ දැක්මටත් ඒක යම්තාක් දුරකට හරි බලපයි කියන එක.

      කැමතියි

  10. පූසා says:

    එකම බොරුවයි කියලා තියෙන්නේ. නවම් අයියා බස් එකේ වාඩිවෙලා යනවයි කියලා! 😀

    කැමතියි

  11. මේක මීට කලින් කොහෙදිද බොලන් කීවෙ.කමෙන්ටුවකවත්ද?මට මෙ කථාව හොඳට මතකයි.

    කැමතියි

  12. කටුනායක වගේම නැති උනත් බියගම තත්වෙත් ඔය වගේම තමා.. මට නම් උඹට වගේ ඔය තරම් අත්දැකීම් නෑ… බෝඩින් ජීවිතයක් තිබිච්ච නැති නිසා.. හැබැයි අපේ ගෙදරට අල්ලපු ගෙදර බෝඩිමේ කෙල්ලන්ගේ ජීවිත ගෙවිල ගිය හැටි මම දැක්කා.. පොඩි ලයින් එකකුත් ඒ දවස් වල හීනීයට වැඩ කලා එක ළමයෙකුත් එක්ක… දැන් නම් කොහෙ ඉන්නවද මොනව කරනවද දන්නෙ නෑ.. ඔය කුකුල් දැල් ගහපු බෝඩිං කාමර වල ජීවත් වෙන අය නම් තාම ෆැක්ටරි කිට්ටුව ඉන්නවා… අනේ මන් ද අපි කියල මොනව කරන්න ද..?

    කැමතියි

  13. ඔහොම කොන්දලා ඉන්නව බං.
    පුදුමෙ කියන්නේ කොච්චර සෙනග හිටියත් මුන් ඇතුලෙ ඇවිදින ලස්සනනේ..

    කැමතියි

  14. malmi says:

    ඔයා ඔය විස්තර කලේ මම අදටත් නොදැකපු ලංකාවක්. බොරු කියලා නම් හිතෙන්නේ නැහැ. . මේ බ්ලොග් එකට ඇවිත් පෝස්ට් බලලා හිතින් මවාගන්නකොට ඇහින් දැක්කා වගේ තමයි. හැබැයි හිතට ලොකු කළකිරීමක් දැනෙනවා.

    කැමතියි

  15. දුකා says:

    මමත් කාලයක් කටුනායක වැඩ කලා . . එයාපොර්ට් එකේ ප්‍රොජෙක්ට් එකක් කලා. ටික දවසක් බෝඩ් වෙලාත් හිටියා . . ඒ හින්දා උබ කිව්වේ ඇත්ත කියලා දන්නවා . . අර කොන්දා තමා කොන්දා . . .හෙ හෙ හේ

    කැමතියි

  16. Ruka says:

    නවම්ද මෙ බසයෙ හොද හැටි ගොස් ඇති ගානය,

    කැමතියි

ඔබගේ ප්‍රතිචාර

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

%d bloggers like this: